Tuesday, March 15, 2016

කොන්දේසි විරහිත ජීවිතයක්..


ජීවිතය කියන්නෙ ආපහු ආපහු චැලෙන්ජ් කරන්න  ඕන දෙයක්. කොයි විදිහක වුණත් අනුගත වීමක් ඒක සාධාරණ වේවා අසාධාරණ වේවා, ඇති කරන්නෙ හීලෑ වීමක්. ඒක ඉතිහාසයට වෙන්න පුළුවන් නැත්තං අති දියුණු ප‍්‍රගතිශීලී අදහසකට වෙන්න පුළුවන්. පුද්ගලික පැවැත්ම ඇතුලෙ අපේ හැම පිළිගැනීමක්ම කඩන්න බිඳින්න අපිට සිද්ද වෙනවා. ඒ ජීවිතේ අලූත් කිරීම වෙනුවෙන්. හැම නීතියක්ම සම්ප‍්‍රදායක්ම ච ැලෙන්ජ් කරන්න අපිට සිද්ද වෙනවා. නැත්තං අපේ පැවැත්ම ගල් ගැහෙනවා. ගල් ගැහුණු ජීවිතයක් කියන්නෙ මරණයක්. ජීවිතය පවතින්නෙ අවදානමේදී විතරයි. අවිනිශ්චිතයෙදි, අතාර්කිකත්වයෙදි, අන්ධකාරෙදි අපිට ජීවිතේ මුණගැහෙනවා. ඒ අවිනිශ්චිතය, අතාර්කිකය නිශ්චිතයක්, මතයක්, සම්ප‍්‍රදායක් කරන්න උත්සාහ ගන්න මොහොතෙදි ආපහු ජීවිතේ මගඇරෙනවා. කොන්දේසි විරහිත ඇඞ්වෙන්චරස් ජීවිතයක් කියන්නෙ පැවැත්ම සාක්ෂාත් කරන එකම එක විදිහ කියල මම හිතනවා.

නූතන වෙන්න හෝ පෞරානික වෙන්න  ඕන නෑ. එකම අරගලය වෙන්න නියමිත අපේ ආස්ථානයට එරෙහිව අපි. මට එරෙහිව මම. ඒ අලූත් මමත්වයක් වෙනුවෙන්. පුනරුත්පත්තියක් වෙනුවෙන්. නිර්මාණශීලීත්වය වෙනුවෙන්.

එහෙම කොන්දේසි විරහිත ජීවිතයක් හානිකර වෙන්න බැරිද? අපිට ආපහු හිතන්න වෙන්නෙ කොන්දේසි සහිත ජීවිතයක් කොයිතරම් හානිකර වෙන්න පුළුවන්ද කියලයි. ජාතිය ආගම කුලය 2500ක ඉතිහාසයට එරෙහිව මම වගේම ජාතියෙන් කුලයෙන් ආගමෙන් හෝ ඉතිහාසයෙන් නිදහස් මම කියන්නෙත් මගේ පුද්ගලික නිදහස් පැවැත්මට කොන්දේසියක්. ආකෘතියක්. මම කියන්නෙ ඒ මොහොතෙ මමට එරෙහිව මගේ ඇතුලෙ පවතින කැරැුල්ලක්. සමාජය මගෙන් නිරතුරව ඉල්ලා සිටින්නෙ මා ගැන කොන්දේසියක්. කොන්දේසි සහිත පැවැත්මක්.

මට හිතෙන්නෙ පුද්ගලික විමුක්තිය ගැන තන්ත‍්‍රවල එන අදහස් ගොඩක් ගැඹුරුයි වගේම පරිණතයි.

ප‍්‍රචලිත ආයතනගත ආගම් වලට වඩා ජීවිතය, පැවැත්ම එක්ක පළල් ගනුදෙනුවකට යනවා. අවාසනාවට තන්ත‍්‍ර ගැන ආකල්පය ඒකෙ තියෙන ලිංගික නිදහස කියන කාරණය එක්ක විතරක් ගැටගැහුනා. ඒක සෙක්ස් වලදි විතරක්  ඕන වෙන දෙයක් විදිහට පෙරලූනා. අපි  ඕන දෙයක් බාර ගන්නෙ අපේ සීමාව ඇතුලට. අපේ හිඩැස, අහිමි තැන වෙනුවට.

ඉන්දියාවෙ වේද ගත්තම ඒකට තිබුනෙ බයිබලයට වගේ තැනක්. ඉන්දියානු දර්ශනයෙ එන න්‍යාය, වෛශෙයික, සාංඛ්‍ය, මීමංසා සහ වේදාන්ත කියන සම්ප‍්‍රදායන් හයෙන්ම වේදය කියන එක අවසානය හැටියට බාර ගත්තා. ඒ හින්දා ඒවා වේද දර්ශන හැටියට ගන්නවා. අනෙක් පැත්තෙන් බුද්ධාගම, ජෛනාගම, චාර්වක සහ ආජීවක කියන කාණ්ඩ වේදය පිළිගත්තෙ නෑ. ඒක නිසා ඒවා වේද නොවන දර්ශන හැටියට වැටෙනවා. අවුරුදු සිය ගානක් තිස්සෙ මේ දෙපැත්ත අතරෙ වාද ගියා. බුදුන් වුණත් අරයව පැරුද්දුවා මෙයාව පැරැුද්දුවා කියලා අපි කියවන්නෙ මේ වාදයන් ගැන. ඉන්දියානු දර්ශනය කියන සමස්තය ගොඩනැගෙන්නෙ මේ වාද විවාද ඇතුලෙ.

මේ අතරෙ තියෙනවා තන්ත‍්‍ර කියන කොටස. ඒ ගොල්ලො වේදය පිළිගන්නේ හෝ නොපිලිගන්නේ නැහැ. ඒ අය බුද්ධාගම, ජෛනාගම හෝ වෙන කිසිම ආගමික සම්ප‍්‍රදායක් පිළිගන්නෙත් නෑ. ඒවාය විරුද්ද වන්නෙත් නෑ. තාන්ත‍්‍රිකයො වාද වලට එළඹෙන්නෙ නෑ. ඒ ගොල්ලො තමන්ගෙ අභ්‍යන්තරය තේරුම් ගැනීමේ ගමනක නිරත වෙලා ඉන්නවා. ජීවිතයේ සියුම් සියුම් තැන් අත්දකින්න ඒ අයගෙ පුහුණුව කැපවෙනවා. මේක ඇතුලෙ තන්ත‍්‍රවල මනුස්ස සම්බන්ධතා ගැන ගවේෂනය කෙරෙනවා. මම සහ මගේ සම්බන්ධතා ගැන, මා තුල සහ මගෙන් පිටත, මම දන්නා මෙන්ම නොදන්නා පැවැත්ම ගැන අත්දකින, තර්ක නොකරන, පැවැත්මෙන් ඉගෙනගන්න එළඹුමක් තන්ත‍්‍ර වල තියෙනවා. දර්ශනයට වඩා ඔවුන් හැමතිස්සෙම පුහුණුව, පැවැත්ම බාර ගන්නවා. ඒ අය තමන්ගෙ සමහර කාරණා තේරුම් ගත හැකි පරිදි ඉදිරිපත් කරන්න දර්ශනවාදයන් පාවිච්චි කරනවා විතරයි. ඒ අය ඒ තුල අඩංගු වෙන්නෙ නෑ.

තාන්ත‍්‍රිකයො කියන්නෙ ස්වාධීන සිතන්නො පිරිසක්. තමන් විසින් අත්දකින ලද සත්‍යයට වඩා අන් කිසි සත්‍යයක් ඔවුන්ට ලොකු නෑ. තමන්ගේ ආචාර ධර්ම සහ සදාචාරය පිළිබඳ අදහස් පවතින කවර හෝ මතවාදයකට අනුකූලද කියන කාරණය ගැන තන්ත‍්‍ර කවදාවත් උනන්දු වෙන්නෙ නෑ. ඒ ගොල්ලො කිසිම දේකට අනුගත කරන්න බැරි රැුඩිකල් සම්ප‍්‍රදායක් වුණා. ඒ සම්ප‍්‍රදායම තමන්ගේම සහ අන් සියල්ලන්ගේම සම්ප‍්‍රදායන්ට එරෙහිව යාමක් වුණා. තාන්ත‍්‍රිකයො වේද දර්ශනවලින් මෙන්ම වේද නොවන දර්ශන වලින් තමන්ට අවශ්‍ය දේවල් ගත්තා. ඒ හින්දම අනෙක් දර්ශන වල එල්බුණු අයට තාන්ත‍්‍රිකයන්ගේ ‘ඉන්ටග‍්‍රිටි’ එක නැත්තම් සංගතභාවය, ප‍්‍රතිවිරෝධය ලොකු ගැටලූවක් වුණා. තන්ත‍්‍රික අදහස් ප‍්‍රචලිත නොවෙන්නත්, රහසිගතව පවතින්නත් හේතු වෙන්න ඇත්තෙ මේකමයි.

තන්ත‍්‍ර ඇතුලෙ තියෙන්නෙ බාර ගැනීම. තමන්ගේ ප‍්‍රතිවිරෝධයත් සමග එකට සංවාසය. ලිංගික එක්වීම ගැන රූපකාර්තය සරල ඍජු තැනින්ම සමාජගත වෙන්නෙ මේ සංකල්පයත් එක්කයි. තන්ත‍්‍ර වලදි කිසි දෙයක් හොඳ හෝ නරක වෙන්නෙ නෑ. නිවැරදි හෝ වැරදි වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ දේවල් ඒ මොහොතේ පැවැත්මට සාපේක්ෂ අර්ථ ගන්නවා.

තන්ත‍්‍ර වලදි සංසාරය කියන්නෙත් නිර්වාරණයමයි. සංසාරයෙන් ගැලවෙන්න කරන උත්සාහයක් එතන නෑ. මැක් ඩොනල්ඞ් එකේ හැම් බර්ගර් එකක් කන එක ආරණ්‍යයක කුටියක භාවනා කරන තරම්ම ගැඹුරු අත්දැකීමක් වෙන්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නෙ තන්ත‍්‍ර කියන්නෙ ලෝකය තුල ලබන විමුක්තියක් මිස ලෝකයෙන් විමුක්තියක් නෙමෙයි.

හැම ආගමකින්ම උගන්වන්නෙ අපිවම බැහැර කිරීමක් ගැන. අපේ ජීවිතයම දුකක් හෝ විඳවීමක් හැටියෙන් ගැනීමක්. කර්මය හෝ පාපය හෝ වෙන කවර ආකාරයකින් හෝ අපේ ජීවිතය ස්කිසොෆ‍්‍රිනික් කරනවා. අපේ පැවැත්ම අඳුර සහ ආලෝකය සමස්තයක් හැටියෙන් ගන්න උගන්වන එකම සම්ප‍්‍රදාය ගොඩනැගෙන්නෙ තන්ත‍්‍ර වල.

මට හිතෙන්නෙ කාල් යුංග් තාන්ත‍්‍රික සම්ප‍්‍රදායෙ ඇතුලෙ නොවුනත් තන්ත‍්‍ර විග‍්‍රහ කරන ගැඹුරු කතාවක් කොටින් කියනවා.

‘ගහක අතු ස්වර්ගය ස්පර්ශ කරන්න නම්, ගහක මුල් අපාය දක්වා දිවෙන්න  ඕන’ කියල.

සාකච්ඡුාව මිස විවාදය පලක් නොවෙන්නෙ මේ හින්දයි. එතනදි ගැටුමක් මිස සංවාදයක්, සුරතාන්තයක් නෑ. අදහස් හුවමාරුවක් මිස වාදයකින් ඇති පලක් නෑ. මොනම ආකාර හෝ ‘ඉසම්’ එක්ක ජීවිතය වාරණය කිරීමක්. ඒක ෆෙමිනිසම් වුණත් බුඩිසම් වුණත් වෙනසක් නෑ.

අපේ ගොඩක් සංවාද වල තියෙන අවාසනාවන්ත කාරණය වෙන්නෙ මේකයි. අනෙකාව බාර ගනිමින්, ඔහුගේ හෝ ඇයගේ පැවැත්මට ගරුත්වයක් දෙමින් කරන ආස්වාදනීය සංවාදය වෙනුවට තමන්වත් අනෙකාවත් කොටු කර ගනිමින්, සීමා පනවා ගැනීමක් දක්වායි සංවාදය යන්නෙ. එතනදි දිනුවත් පැරදුනත් දෙන්නම තමන් ගැන නිශ්චිතයකට රාමු වෙනවා. නිශ්චිත රාමුවක් වෙනුවට තවත් අලූත් රාමුවක් පැනවීම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. බුදුන් දෙවියන් වුණත්, ජාතිය, ඉතිහාසය විතරක් නෙමෙයි තමන්වම වුණත් බැඳීමක්, අරටුවක්, සීමාවක් විදිහට ගේනවා නම් ඒ සංවාදයේ ආස්වාදය කෙලවරයි. සිද්ද වෙන්නෙ අපේ රාමුව විසින් අනෙකාගේ රාමුව විතැන් කිරීමක් විතරයි.

සුගතපාලද සිල්වා හරි ලස්සන කතාවක් කියනවා මේ ගැන. තමන්ට තමන්ගෙම ජීවිතය කොට්ට උරයක් වගේ දෙකොනින් අල්ලා කණපිට ගසා වැලේ වනන්න පුළුවන් වෙන්න  ඕන කියල. මේ ළ`ගදි දානෙකදි මට ගමේ පන්සලේ හාමුදුරුවො ලස්සන කතාවක් කිව්වා. ඒ මගේ දුටුගැමුණු සංග‍්‍රාමය ගැන..

‘ ඕවා අපිම කාලයක් තිස්සෙ කියල කියල මිනිස්සුන්ගෙ ඔලූවලට බස්සපු අදහස්. ඔහොම තර්ක කළා කියල, කාරණා කිව්වා කියල ඒවා වෙනස් කරන්න බෑ.. ඇටමස් වලටම කාවැදිච්ච දේවල් නෙ...’

අපි ඒ තරමටම පරණ ජාතියක්. අපි නිදහස  ඕන මොකටද කියල පවා නැවත ප‍්‍රශ්න කරන ජාතියක්. අපිව පාලනය කරන්න කියල අපිම නැවත නැවත ඉල්ලා සිටින වර්ගයක්. එතනදි බුදුන්ව හෝ ඉතිහාසය හෝ සම්ප‍්‍රදාය පරිස්සම් කිරීම අපි අපේ පැවැත්මේ තේරුම විදිහට දකිනවද, නැත්තං අපේ පැවැත්ම වඩා පුළුල්, නිදහස් තලයක අත්විඳීම වෙනුවෙන් සියලූ ඉතිහාසයන්, න්‍යායන් සහ නිර්වාණයන් පාවිච්චි කරනවද කියන එක අපේ පුද්ගලික තෝරා ගැනීමක්.

චින්තන ධර්මදාස

Saturday, February 27, 2016

කුරුල්ලන්ට ගී කියන්න ඔබෙ කටහ`ඩ දෙන්න.....


”....බොහෝ දුර සැරිසරන්නට මග කියන තරු එලිය වූයේ ඔබයි.. ගිමන් නිවන්නට අවැසි වූ කළ සිහිල් පැන් බිඳක් දොතොල් මත තැබූ සොඳුරු නවාතැන්පොල ඔබයි...මා අතින් නිමවූ හැම ගීයකම රැුයේ රහසින් මට කොඳුරා කියූ සොඳුරු තනුවද ඔබයි.. මා ඔබම මිස මා, මා නම් නොවේ.. මා හැමදාම පේ‍්‍රම කළ තාරුණ්‍යයට ගැහැණු ළමයිනේ ගීතාවලිය තුටු ප`ඩුරක්ම වේවා.. හද ගැහෙන හැම තත්පරයකම ඔබේ සිත පේ‍්‍රමයෙන් පිරේවා...”

ගුවන් විදුලියේ වෙළඳ සේවය විසින් වික්ටර්ගෙ අවුරුදු හතලිස් පහක සංගීත ජීවිතේ අනුස්මරණය කරමින් පවත්වපු ප‍්‍රසංගෙක හ`ඩ පටිය යූටියුබ් එකේ තියෙනවා. ඒ ආරම්භය වික්ටර් සටහන් කරන්නෙ මේ විදිහට.

වික්ටර් තමන්ගෙ තැන හරියටම අඳුරගෙන හිටියා කියල මට හිතෙනවා. වික්ටර් රත්නායක කියන්නෙ ලංකාවෙ සංගීතයේ රොමාන්තිකයා.. අපිට කියන්න පුළුවන් මිල්ටන් පෙම්වතා කියල. ඒත් වික්ටර් ඊට වඩා ගොඩක් ගැඹුරු රොමාන්තික අවකාශයක්.

හරියටම හිතලා බැලූවොත් අද කසුන් කල්හාර නියෝජනය කරන තැන හැත්තෑව දශකයේ වික්ටර් විසින් නිර්මාණය කරනවා. අමරදේව ඇතුළු පිරිස විසින් නිර්මාණය කරන ප‍්‍රබුද්ධ සම්භාව්‍ය ගීතය ජනප‍්‍රිය තලයට අරගෙන යන්නෙ වික්ටර්. එයා කරන්නෙ පොප් වැඩක්. රාගධාරී සංගීතයේ හිරවෙන්නෙ නැතුව බටහිර සංගීතයත් මුහුකර ගනිමින් වික්ටර් ලංකාවට අනන්‍ය රොමාන්තික සංගීතයක් නිර්මාණය කරනවා.
මට හිතෙන්නෙ අපේ රටේ නූතන ගීතයට නිර්මාණශීලී වැඩක් කරපු ගායකයන් ඉන්නෙ දෙන්නයි.

එක්කෙනෙක් විකටර්. අනිත් එක්කෙනා මර්වින් පෙරේරා. මේ දෙන්නම නිකං ගායකයො නෙමෙයි. බටහිර පෙරදිග සංගීත ධාරා දෙකේම හොඳ දැනුමක් සහ සංගීතයෙන් ඔබ්බට සමාජ සංස්කෘතික අවකාශය ගැන හොඳ අවබෝධයක් තිබුණු අය.

වික්ටර් ලංකාවෙ සම්භාව්‍ය ගීතය සහ ජනප‍්‍රිය තලය අතර හරිම ක‍්‍රියේටිව් පාලමක් හදනවා. ක්ලබ් සිංදු වල ඉඳන් රාගධාරී ගීතය දක්වා විශාල පරාසයක වික්ටර් සිංදු කියනවා. ඊට නොදෙවෙනි සංගීතමය නිර්මාණශීලීත්වයක් පළ කරනවා. වික්ටර්ගෙ මෙලඩි ස්ට‍්‍රක්චර්ස් අරගෙන බැලූවොත් ඒවා අසාමාන්‍ය විදිහට නිදහස්. කොන් හතර හිර කරලා ගහපු වැටවල් වගේ නෙමෙයි. තවත් පැත්තකින් බැලූවොත් සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහණක,  අමරදේවගේ කුමරියක පා සළඹ වගේ ගීත වල පවා සංගීතය නිර්මාණය වෙන්නෙ වික්ටර් අතින්.

හැත්තෑව දශකයෙ අපි ආදරය කරන කලූසුදු සිනමාවෙ හ`ඩ වෙන්නෙ වික්ටර් රත්නායක (චිත‍්‍රපටවල පසුබිම් හ`ඩ නෙමෙයි. ඒ සමස්ත සිනමා රූපයෙන් දැනෙන හ`ඩ)   එක විදිහක ලාංකේය හිපි සංස්කෘතියක ආරම්භය මේ හ`ඩ ඇතුලෙ සටහන් වෙනවා.

කොහේද කොහේද අපේ ලොවක්...
කොහේද කොහේද අපේ රටක්...
මුරකාවල් නැති - වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්...

මට මේ වෙනකල් අපේ රටේ ඇහුණු තාරුණ්‍යයේ නිදහස ගැන හොඳම ගීතය මේක. එක පැත්තකින් අමරෙද්වගේ අනුකරණවාදී සංගීතයත් අනෙක් පැත්තෙන් ජෝතිපාලගේ අනුකරණවාදී සංගීතයත් අතර සැබෑ ජනතා සංගීතයක් හොයන්න වික්ටර් රත්නායක මහන්සි වෙනවා. පහළම මාස් එක දක්වාම යන්න බැරි වුණත් එයා සැලකිය යුතු තරමෙ පිට්ටනියක් කවර් කරනවා.

මාලිනියේ වගේ පර්යේෂණාත්මක ගීත, ගිගිරි ගීත රාවේ වගේ බටහිර ක්ලබ් ගීත වගේම පොඩි කුමාරිහාමිනේ, බනින්න එපා පොඩි දෝණිට වගේ ගැමි ආරෙ ගීතත් කිසි වෙනසක් නැතුව වික්ටර්ගෙ හ`ඩින් පණගහනවා. ඒක අමු කොට්ටම්බා කහට කටහ`ඩක් කියලයි මට දැනෙන්නෙ. ඒ හ`ඩ ඇතුලෙ  ඕන දෙයක් රොමාන්තික වෙනවා.

අනෙක් පැත්තට වික්ටර් විසින් ගායනා කරපු ගීතවලත් සුවිශේෂතාවයක් තියෙනවා. අපේ ප‍්‍රබුද්ධයි කියන ගායක පෙළ ගත්තම අමරදේවගේ නන්දා මාලිනීගේ ඉඳන් හැමෝම පාහේ ජාතිවාදයට හෝ ආගම්වාදයට බර (මධ්‍යස්ත විදිහට කිව්වොත් දේශානුරාගී) ගීත ගායනා කරලා තියෙනවා. නන්දාගේ තුන් හෙළේ කැලෑ තුල, අමරදේවගේ රත්නදීප ජන්ම භූමි, සුනිල් එදිරිසිංහ නම් බොදු බල සේනා ගීතය පවා ඔය විදිහට මතක් කරන්න පුළුවන්. ඒත් වික්ටර්ගේ අතින් ඒ විදිහෙ පස්වලට අනුබද්ධ අනුරාගයක් කියවෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ ගීතවල තියෙන්නෙ මානව පේ‍්‍රමයක්.. ඒ මානව පේ‍්‍රමයෙන් ඔද්දල් වුණු අනුරාගයක්.. * (ප.ලි)

රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුනේ සැමදා බැබලේ
එය රැුකීම අප උරුමේ වේ.....

වික්ටර් කියන්නෙ අපි ඔක්කොම රජවරු අපි ඔක්කොම වැසියෝ කියලා. එහෙම දැක්මක ඉඳන් සිංදු කියන්න සංගීතයට එහා ගිය සවිඥාණකත්වයක්  ඕන වෙනවා. ගොඩක් වෙලාවට ඒක එන්නෙ දේශපාලනයක් එක්ක. කපුගේ හොඳම උදාහරණයක්. ඒත් වික්ටර්ගේ මානව පේ‍්‍රමය එන්නෙ දේශපාලනයක් ඇතුලෙ නෙමෙයි. නැවත නැවත ආදරය ඇතුලෙමයි. හැම තත්පරයකම පේ‍්‍රමයෙන් බැඳෙන්න කියල වික්ටර් තමන්ගෙ ගීතාවලිය පටන් ගනිද්දි කියනකොට පපුවට දැනෙන්නෙ ඒක ඇත්තක් හින්දයි.

අපි හැ`ගුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..
හඳපානේ... අඩ අඳුරේ....
අත්පටලා යමු ආයේ.....
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
මම මගේ සෙවනැල්ලෙන් මිදී....

මේ සමහර ගීතවල ඉතාමත් ගැඹුරු ආදර සක්මන් යෝජනා වෙනවා. ඒවා හුදු සාම්ප‍්‍රදායික පේ‍්‍රමාලාප නෙමෙයි. ඒ වෙනුවට කවුරු හෝ විසින් අත්විඳින ලද වෙනස් මානයක ආදර සංවේදන. මාලිනියේ ගීතයේ පවා ඒ නැගෙන අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධය ඒ විදිහට ගීතයක් ඇතුලට ගේන්න හැකිවීමම විප්ලවීයයි.

මං ආදරය කරපු හැම කෙල්ලෙකුටම මම වික්ටර්ගෙ සිංදු දීලා තියෙනවා. මුලින් කැසට්වල පස්සෙ සීඞී වල දැන් ෆේස්බුක් ෂෙයාර් විදිහට.. ගොඩක් වෙලාවට පටන් ගන්නෙ, ‘කොහේ සිට ඔබ පැමිණියේදෝ.... කියල. ඊට පස්සෙ යාලූ වෙලා ඉන්න කොට හිත මිතුරු සුළ`ග... දෛවයෝගයකින්... සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති වගේ සිංදු.. අන්තිම වෙද්දි අහිමි වුණත් ඔබ ළඳේ... වගේ තැනකින් වැඬේ කෙළවර වෙනවා. වික්ටර්ව අහගෙන යනකොට මම ආයෙ ආයෙත් මගේ තරුණ අත්දැකීම් එක්ක නිදිවදිනවා.

සමහර තැන්වල වික්ටර් දරුණු සමාජ දේශපාලන ප‍්‍රශ්න මතු කරනවා. දළදා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න වගේ ගීතයක් මේ කාලෙ කිව්ව නම් එහෙම හොඳට කන්න වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් දළදා මාළිගාව එක්ක බැඳුණු කුලවාදී අධිපතිවාදී ආකෘති වික්ටර් ප‍්‍රශ්න කරන්නෙ හරිම හියුමන් තැනකින්. පාත රටින් ආවත් හිතේ තියෙන්නෙ එකම ශ‍්‍රද්ධාව කියන මානවීය තැනින්.

ගායකයෙක් හුදකලාව බිහිවෙන්න බෑ කියලයි මම විශ්වාස කරන්නෙ. සංගීතය ගැන දැනුමෙන් විතරක් බෑ සිංදු කියන්න. ඒකට වටේ ඉන්න පිරිසත් බලපානවා. උදා විදිහට වික්ටර් හිටියෙ පේ‍්‍රමකීර්තිද අල්විස්, චින්තන ජයසේන වගේ දරුණු ක‍්‍රියේටිව් සෙට් එකක් එක්ක.

ලංකාවෙ සාර්ථකම සංගීත ප‍්‍රසංගය කරන්නෙ වික්ටර්. ඒකට නම තියන්නෙ චින්තන ජයසේන. එක අකුරෙ ප‍්‍රසංගයක් කරන්න  ඕන කියලයි චින්තන ඒ නම දාන්නෙ. එක විදිහට බැලූවම ඒවා අපේ ‘බීට් ජෙනරේෂන්’ එකක වැඩ. චින්තන ජයසේන කියන්නෙත් බුද්දිමය සමාජය විසින් හරිහමන් කියවීමකට ලක් නොකර හෑල්ලූවෙන් අත්ඇරපු චරිතයක්. මෙහේ සිද්ද වුණු ගොඩක් අමුතු වැඩ පිටිපස්සෙ චින්තන ජයසේන කියන චරිතෙ ඉන්නවා.

වික්ටර්ගෙ ‘ස’ ප‍්‍රසංගයට මිනිස්සු එන්නෙ හෝල් කඩාගෙන. පළවෙනි වතාවට ලංකාවෙ ප‍්‍රසංගයක් හාස්‍යයට ලක් කරලා කැසට් එකක් පවා එනවා. නිහාල් සිල්වා අතින් නිර්මාණය වුණා කියල රාවයක් තිබුණු මේ කැසට් එක පවා නිර්මාණශීලී වැඩක්. වික්ටර් නිසා ලේයර් ගණනාවක දේවල් ඉන්ස්පයර් වුණා.

‘තොටු පොල අයිනේ කවුද අත වනන්නේ..? වේසියෙක් වෙන්නැති...’

මං කලින් කිව්ව වගේ හැත්තෑව දශකෙ බටහිර හිපි නිදහස්කාමී අදහස් ගොඩක් වික්ටර්ගෙ සිංදු ඇතුලෙ අපේ විදිහට ඇහුන.

‘සඳහිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
අනග තරුණ බමරු අපි- අමර වරම අපිට හිමි
අපි මැරෙන්නෙ නෑ... අපි මැරෙන්නෙ නෑ.....’

මේ විදිහට ජීවිතය, එහි ලෞකිකත්වය වැළඳගන්නා ගීත නිර්මාණය කරපු වෙන කිසි ගායකයෙක් නෑ. වික්ටර්ගෙ ඒ රොමාන්තික දාර්ශනිකත්වයට අනිවාර්යෙන්ම මධුවිත ලොකු පිටුවහලක් වෙන්න ඇති. ඒ ලාංකේය බොහිමියානු ජීවිතය ඇතුලෙයි වික්ටර් රත්නායක තමන්ගේ සංගීතමය සළකුණ තියන්නෙ.

වික්ටර් ගැන මට විශාලතම ගෞරවයක් තියෙන්නෙ ලංකාවෙ ප‍්‍රබුද්ධ සංගීතය ප‍්‍රජාතන්ත‍්‍රීකරණය කරන්න දරපු වෑයම හින්දයි. සුළු පිරිසකට සීමා වුණු  බටහිර සහ රාගධාරී සංගීතය වික්ටර් ජනතාව අතරට අරගෙන යනවා. අජිත් කුමාරසිරි කියන විදිහට වික්ටර් සිංදු ඇතුළට ගේන කවුන්ටර් පාර්ට් වගේ දේවල් ඒ වෙද්දි එහෙම පාවිච්චි වෙලා තිබුනෙ නෑ. ඒ ගීත ඇතුලෙ හැම සංගීත සම්ප‍්‍රදායක්ම විවෘත කරනවා. ආදරයට, ජීවිතයට බද්ධ කරනවා.

මේ වෙද්දි වික්ටර් බීම නවත්තලා. ඒ මදිවට බීමේ ආදිනව ගැන කියන්නත් ඉදිරිපත් වෙලා. කොයිතරම් ආදිනව කිව්වත් බීමේ සෞන්දර්යයේ ප‍්‍රතිඵල නිර්මාණය වෙලා ඉවරයි. නොබීම ඇතුලෙ කිසි දෙයක් සිද්ද වෙලා නෑ.

මං ඉස්සර වික්ටර්ව ආයෙ ආයෙත් අහනවා.
දැන් වික්ටර්ව අහන එක නතර කරලා දාලා තියෙන්නෙ.
(කතාබහ කරමින් නොයෙක් කරුණු මතුකර දුන් සුදන්ත මාධවට සහ අජිත් කුමාරසිරිට ස්තුතියි)

*(ප.ලි) බොහෝ දෙනෙක් විසින් ‌facebook හි පෙන්වා දී ඇති පරිදි මා හට යම් මගහැරීම් ප්රමාණයක් සිදුවී ඇති අතර අඩු තරමේ වික්ටර්වත් එම ජාතිවාදී ගො‌ෙහාරැවෙන් මිදී නැති වග බාර ගැනීමට සිදුවේ. සියලු ප්රබුද්දයන් මෙන්ම ඔහුද ඉදහිට හෝ ඒ කුණු වලට බැස තිබේ. නමුත් ඔහුගේ රත්තරං කෙණ්ඩියේ, අපි ඔක්කොම රජවරැ ආදී ගීත හරහා ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව පළල් මානව ප්රේමයක් වෙනුවෙන් ආමන්ත්රණය කර ඇති බව පිළිගන්නත් සිද්ද වෙනවා. වික්ටර් අතීතයේ ඇති කළ ට්රෙන්ඩ් එක ඇතුලෙ මතක් වෙන්නෙ ප්රේමාන්විත පෙනී සිටීමක් වග මගේ හැගීමයි. ඒකට බෙහෙවින් හේතුවන්නට ඇත්තේද මා ලියා ඇති පරිදි ප්රේමකීර්ති ආදීන්‌ෙග් සමාගමය වෙන්න පුළුවන්.

-චින්තන ධර්මදාස
ඉරුදින පුවත්පතේ වික්ටර් රත්නායක විශේෂ අතිරේකය වෙනුවෙන් ලියන ලද්දකි

Friday, February 19, 2016

වීරයන් පිස්සු වැටීම....


දීප්ති විසින් මාව ඉවර කරන්න කියලා ආරම්භ කරලා තියෙන මඩ ප‍්‍රහාර ගැන කිසි දෙයක් නොකියන්නයි මගේ තීරණය වුණේ. ඒත් මම කියපු දෙයක් විකෘති කරලා නැවත නැවත පළකිරීමෙන් නොකියපු අදහසක් සමාජගත වෙමින් තියෙන නිසා කියපු දේ මොකක්ද කියල පැහැදිලිව සටහන් කරලා තියන්න හිතුවා . ඒ වගේම සිද්ද වෙමින් යන දේ ගැන මගේ පුද්ගලික විපරීත කියවීමත් සටහන් කරන්න මේක හොඳ ඉඩක්.
පුද්ගලිකව මගේ චරිතයට එල්ල කරන මඩ හෝ අවලාද මම කියවන්නෙ විනෝදෙට. අදහස් මිස මිනිස්සුන්ගෙ චරිත ආරක්ෂා කිරීමෙන් සමාජයට ඇති වැඩක් නෑ කියලයි මං විශ්වාස කරන්නෙ. අනෙක් අතට චරිත විනාශ කිරීමෙන් ඊට වඩා හොඳක් සිද්ද වෙන්නත් පුළුවන්.

ඒත් දීප්ති තමන්ගේ පක්ෂය වෙනුවෙන් පවත්වාගෙන යන ව්‍යාජ ෆේස් බුක් අකවුන්ට් හරහා (ෆේස්බුක් පාවිච්චි කිරීමට එරෙහි වෙන ගමන්ම මේ කරමින් ඉන්න වැඬේ ප‍්‍රතිවිරෝධය දීප්ති තමන්ගෙ ඇතුලෙ විසඳගන්න  ඕන ගැටලූවක් වෙනමම) මම කිව්වා කියලා සමාජගත කරන්න හදන දීප්තිගේ දුව සහ එයා අතර ලිංගික සම්බන්දයක කතන්දරේ කියවන ගොඩක් අයට ප‍්‍රහේලිකාවක් වෙලා තිබුණ.

දීප්ති කවි පොතක් එළි දැක්වීමක කරපු කතාවක් කාලෙකට පස්සෙ (දීප්තිගේ විරෝධය මැද වෙන්න  ඕන) ෆේස් බුක් එකේ පළවුනා. ෆේස් බුක් එකේ ඉන්නෙ කවියොද වගේ කතා කිය කිය රෝල් වෙවී ඇවිත් දීප්ති හැමදාම වගේ මැක්කාගෙ කතාවට ගොඩවෙනවා. ෆේස්බුක් එකේ ඉන්න අචාර්යවරුන්ටත් බෙදාගෙන යනවා. ඔන්න නිර්මාල්ගෙ ඇෙ`ග් එල්ලෙනවා. එයා කියනවා නිර්මාල්ට ශිෂ්‍යාවො සුබපැතුම් එවනවා. ඒකට නිර්මාල් තෑන්ක් යු කියනවා කියල. දාර්ශනිකයෙක් නම් එහෙම වෙන්න බෑ වගේ කතාවක් එයා කියන්නෙ. මට තාමත් හිතාගන්න බෑ දීප්ති විහිළු කරනවද කියල.
මම ඒකට කමෙන්ට් කළා.

”නිර්මාල් පෙනී සිටින කාරණා සම්බන්දයෙන් මගේ එක`ග නොඑක`ගතාවයන් ඇත. නමුත් ලැප්ටොප් අරගෙන කෙල්ලන් සමග රැුල්ල පාගමින් දර්ශනය කතා කරන දාර්ශනිකයෙක් හදිස්සියෙම සුබ පැතුමකට තෑන්ක්ස් කියන එක බාල විදිහට දැකීම ටිකක් විහිළුකාරයි මං හිතන්නෙ”

මෙතනදි මම කෙල්ලෙක් සමග රැුල්ල පාගනවා යැයි කියන්නෙ දීප්ති විසින් කලින් පළ කරපු වීඩියෝ එකක් ගැන. කවුරු හරි දීප්තිව විහිලූවට ලක් කරන්න කරපු වීඩියෝවක් හැටියටයි මම නං ඒක අවංකව දකින්නෙ. ඒ වීඩියෝවෙ දීප්ති කිසි තේරුමක් නැතුව අයිපැඞ් එකක් පෙන්නන්න හදනවා. ඊට පස්සෙ ‘යමක් සම්පුර්ණ වීමට නම් ඊට විනෝදය අඩංගු විය යුතුය’ කියල වැල්ලෙ පෙම් කරන කපල් එකක් පෙන්නනවා.

එතැනින් වීඩියෝව කෙලින්ම කැපෙන්නෙ දීප්ති තරුණ කෙල්ලෙක් එක්ක රැුල්ල පාගන දර්ශනයකට. අඩුම තරමෙ මේ දීප්තිගේ දුව කියල ටයිට්ල් දැමීමක් හෝ දීප්ති තාත්තා වග පෙන්නන කිසිම ඉ`ගියක් හැසිරීමක් මේ දර්ශනයේ නෑ (කැමති අයට මේක ආපහු බලන්න  පුළුවන්). දීප්තිගේ පක්ෂයේ පස්හය දෙනා ඇරුණම මං හිතන්නෙ නෑ මේ දීප්තිගෙ දුව කියල වෙන කිසි කෙනෙක් දන්නවා ඇති කියල. අනෙක් අතට ඒක මට අදාල වෙන්නෙ කොහොමද? මං කියන්නෙ කෙල්ලෙක් එක්ක රැුල්ල පාගනවා කියල විතරයි. ඒක ලිංගික හෝ අනුරාගික කාර්යයක් විදිහට පෙරලෙන්නෙ දීප්ති සහ පක්ෂයේ අයගෙ කමෙන්ට් ඇතුලෙයි.  ඒ ගොල්ලොන්ට  මේක පියා සහ දියණිය අතර ලිංගික සම්බන්ධයක් ගැන ප‍්‍රකාශයක් විදිහට පේන්න හේතුව මොකක් වෙන්න ඇතිද? තමන් මැවූ ඇදහූ මනෝ විශ්ලේෂණ අවතාර තමන්වම නැවත බියපත් කරනවා වත්ද? දීප්තිට දැන් සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් ගැන කියන්න තියෙන්නෙ මොන වගේ කතාවක් වෙන්න පුළුවන්ද?

”තාත්තයි දුවයි අඳුරන්නෙ නැහැ කියන එකා සහ උගේ දුව බීච් එකේ ඉද්දි අන්න නිර්මාල් කෙල්ලෙක් එක්ක ලව් කරනවා කීවම නිර්මාල් උඹව ගෙදර එක්කන් ගියාට දීප්ති එහෙම නෑ. උඹ උඹේ නංගිත් එක්ක නිදා ගන්නවා කිව්වොත් උඹ හිනාවෙලා ඒකත් උඹේ වෝල් එකේ දායි....”

”රනිල් වික‍්‍රමසිංහගේ මාධ්‍ය භාවිතාව ගැන ප‍්‍රශ්න කරන නිර්මාල් මහාචාර්යවරයා නාග විහාරයේ ගෑනු එක්ක නිදාගන්න සහ කර`ඩුවේ මාල හොරකම් කරපු හාමුදුරුවො ගැන වචනයක්වත් කියන්නෙ නෑ. නිර්මාල් තමන්ගේ ගෙදරට පුළුවන් නම් මේ විපරීතයාව එක්ක ගිහින් දුවත් එක්ක තියලා ෆොටෝ එකක් ගහලා ෆේස් බුක් එකේ දාගන්න..”

මේ විදිහෙ විකාරසහගත දේවල් තමන්ගේ දුව වෙනුවෙන්ම ලියා ගැනීමේ ආශාව මොනවගේ වෙන්න පුළුවන්ද? අන්තිමට දීප්තිගේ දුවව ශෘංගාර වස්තුවක් කරන්නේ මමද? ඒ සදාචාරය ගැන කතා කරමින්ම අනෙක් අයගෙ දරුවන්ට පවා අපහාස කරන්නෙ කවුද? දීප්ති මෙතෙක් කල් පංති කරමින් උගන්වන සංඥාර්ථවේදයේ පාඩම මේකද?

දීප්ති සහ එක්ස් කණ්ඩායම විසින් ගෙනාපු අදහස් කතිකාවෙන් (කවදාවත් එක්ස් සමාජිකයෙක් වෙලා නොහිටියත්) මමත් ගොඩක් දේවල් හිතන්න ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම ඒ අදහස්වල තිබුණු නිර්මාණශීලී බව ගැන ගෞරවයෙන් සෑහෙන කොටසක් දීප්තිට හිමි වෙන්න  ඕන කියල මම අදටත් පිළිගන්නවා. ඒක ලංකාවෙ අනූව දශකෙ සිද්ද වුණු අදහස් විප්ලවයක්.

ඒත් මේ වෙද්දි දීප්ති යමින් ඉන්නෙ ඒකෙ අනෙක් අන්තය දිහාවට. මේ ප‍්‍රතිචාර දැක්වීම් වලින් අපිට නැත්තං පොදුවේ එලියට පේන පෙරටුගාමී පක්ෂය මොකක්ද? කංසා වලට මත්ද්‍රව්‍යවලට එරෙහි, වික්ටෝරියානු සදාචාරය වෙනුවෙන් පෙනී සිටින, අඩුම තරමේ සංවාදයකට හෝ අවශ්‍ය සංයමයෙන් තොර, අතිශය පටු මෙන්ම පැරණි අවකාශයක හිරවුණු, කොටින්ම මහින්දගේ පක්ෂයටත් වඩා ලෙන්වාසී පක්ෂයක් නෙමෙයිද?

”උඹ විපරීතයෙක් නිසා සංකේත නීතිය ඉල්ලන්නෙ පිටතින්. උඹ තක්කඩියා නිසා අපි මේ පාර පටන් ගන්නෙ බේට්ස් එකෙන්. අපි ළ`ගදිම ඒකට ඇවිත් උඹේ ආයතනයේ හිමිකරුවන්ගෙන් ප‍්‍රශ්න කරනව උඹ වගේ එකෙක්ව කොහොමද ඔතන තියාගන්නෙ කියල. ඒ වගේම උඹෙ ආයතනයට ඇඞ් දෙන මිනිස්සුන්ගෙන් සහ ආයතනවලට අපි ආපුවම උඹට වෙන දේ බලපන්”

”ඒත් හිරේ යන්න වුණත් අපි අනිවාර්යෙන්ම උඹට ගහනවා. ඒ වගේම උඹ වැඩ කරන ආයතනයටත් එනවා. පුළුවන් නම් ඒක වළක්වපන්. අපේ පක්ෂයේ නායකත්වයට සහ ඔහුගේ දියණියට අපහාස කිරීමට පෙර උඹගේ විපරීතකම ගැන උඹට සිතන්නට තිබුණි. සමාජ වැඩ කරන සංවිධාන සහ දේශපාලන පක්ෂවලට චන්ඩි පාට් දමන පිස්සන්ට අපි ප‍්‍රතිචාර දක්වන්නේ අනිත් උන්ටත් පාඩමක් ලබා ගත හැකි වන පරිදිය”

මේ ලියන්නේ දීප්තිගේ පක්ෂයේ නිල මාධ්‍ය ප‍්‍රකාශකයි. තනිකරම නොදියුණු දාමරිකකම නෙමෙයි නම් මෙතන තියෙන්නෙ වෙන මොකක්ද? අඩුම තරමේ සිංහලේ වැනි ජාතිවාදී ව්‍යාපාරයක පවා මීට වඩා දේශපාලනික බවක් තිබුණ. පෙරටුගාමී පක්ෂය කියන්නෙ නමට හෝ රටෙන් චන්දෙ ඉල්ලපු පක්ෂයක්. දීප්තිට දැන් පොලිටික්ස් කියන්නෙ ජෝක් එකක් වගේද? මොකද්ද මේ පක්ෂයට තියෙන සමාජ වගකීම? වාමාංශික දේශපාලනයටම නිග‍්‍රහයක් මේක.

දීප්තිගේ මේ ඇදවැටීමෙන් මට කොහෙත්ම කාලකණ්ණි සතුටක් ලබන්න උවමනා නෑ. ඒ වෙනුවට මට ඇතිවෙන්නෙ දුකක්. මේ දේශපාලනික සියදිවි නසා ගැනීමේ පංගුකාරීත්වයක් ලබන්න වෙන එක පාපයක්.
ජාතික පුවත්පතක ප‍්‍රධාන කතුවරයෙක් විදිහට සමාජයට දීප්ති ගැන හිතාගන්න පුළුවන් තත්වය මොකක්ද? දීප්තිගෙම දුව වුණත් තමන්ගෙ තාත්තාගේ දේශපාලනය ගැන ආඩම්බර වෙයිද?

මීට වඩා සවිඥාණකත්වයක් පරිණතබවක් සමාජ කතිකාවකට හෝ දේශපාලනයකට  ඕන කරනවා. අපේ පුද්ගලික එදිරිවාදීකම් වෙනුවෙන් අදහස් පාවා දෙන්න පුළුවන් නම් එතන දේශපාලනයක් නෑ. ඒ වෙනුවට අපිට පුළුවන් වෙන්න  ඕන වෙනස්කම් ඇතුලෙ වුනත් එක`ග අදහස් වෙනුවෙන් පෙනී ඉන්න. ප‍්‍රගතිශීලී අදහස් වෙනුවෙන් හිටගන්න. අඩු ගානෙ කතාබහ කරන්න.

සමහර විට මම මෙහෙම හිතන්නෙ ඇඞ්වර්ටයිසින්කාරයෙක් හින්ද වෙන්න ඇති. දේශපාලනය ඊට වඩා වෙනස් ඇති.

Sunday, February 7, 2016

මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක්ද?


හෙඩිම මෙහෙම ලිව්වෙ ළාබාල උන්ව අවුස්සන්න හිතාගෙනමයි. ඇත්තටම මම ජාති ද්‍රෝහියෙක් වීමෙන් කොයිතරම් නම් ජාතික ප‍්‍රබෝධයක් දල්වන්න උදව් වෙලා තියෙනවද? පිංපොං වගේ ජාතික වීරයන් පහළ වුනේ මම දුෂ්ටයෙක් වීම නිසා නෙමෙයිද? කොයි වෙලාවකවත් වීරයා නිර්මාණය කරන්න දුෂ්ටයා විසින් කරපු මැදිහත්වීම අමතක කරන්න නරකයි. බුදුන් නිර්මාණය කරන්න දේවදත්ත ඉටු කරන කොටස, ජේසුන් නිර්මාණය කරන්න ජුදාස් කළ කොටස වගේම දුටුගැමුණු නිර්මාණය කරන්න එළාර විසින් කළ කොටසත් සුළුපටු නෙමෙයි. මෑතකම නම් මහින්ද නිර්මාණය කරන්න ප‍්‍රභාකරන් ඉටු කළ කොටසත්.

ලංකාවෙ ජාතික කැක්කුමේ හරි පුදුම හිතෙන තැන් තියෙනවා. උදා විදිහට මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක් වෙන්නෙ කොහොමද කියල මට තාම තේරුම් ගන්න බෑ. මද්දුම බණ්ඩාර කියන්නෙ මේ රටේ අවසාන රජු වෙන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහව ඉංග‍්‍රීසීන්ට පාවා දෙන ඇහැලේපොල නිලමෙගෙ පුතා. ඒ කියන්නෙ කන්ද උඩරට මහා පාවා දීම සිද්ද වෙන්නෙ මද්දුම බණ්ඩාරගෙ තාත්තා අතින්.  ඕනම නං ජාතියේ වීරවංසය ලියන විමල් වීරවංසගෙන් වුණත් අහලා බලන්න පුළුවන්. ඇහැලෙපොල පවුල මේ ද`ඩුවමට ලක් වෙන්නෙ නිලමෙව අල්ලගන්න බැරි වෙන හින්ද. ඒත් මද්දුම බණ්ඩාර ‘මැරෙන හැටි මං පෙන්නන්නං’ කියපු හින්ද ජාතියේ වීරත්වයට පත්වෙනවා. වෙන කිසි හේතුවක් නැතුව.

මේ පාවා දීම් සහ කුමන්ත‍්‍රණ පිටිපස්සෙ මීට වඩා සංකීර්ණ කතාවක් තියෙන බව මම බැහැර කරනවා නෙමෙයි. ඒත් මේක තමයි ව්‍යවහාරික ජනප‍්‍රිය ඉතිහාසයේ කතාව. මට පුද්ගලිකව ඇහැලේපොල දුෂ්ටයෙක්වත් මද්දුම බණ්ඩාර වීරයෙක්වත් නෙමෙයි. ඒත් මේ ප‍්‍රචලිත ඉතිහාසය ඇතුලෙම ජීවත්වෙන සිංහල බෞද්දයාට මේ විදිහෙ පරස්පරයන් එකට පවත්වාගන්න පුළුවන් වීම විශේෂයක්.

තවත් උදා විදිහට මේ වෙද්දි පට්ට ගහපු දුටු ගැමුණු චරිතය ගන්න පුළුවන්. ඉතිහාස කාරණා ගැන සංවාද විවාද ඔක්කොම පැත්තකින් තිබ්බත් ‘දුටු’ ගැමුණු කියන නමෙන් සංකේතවත් කරන්නෙ මොකක්ද? ඒක ‘දෙටු’ හෙවත් ජ්‍යෙෂ්ට යන්නෙන් බිඳී ආවා වගේ බොළඳ කතා නොකියා බැලූවොත් අපි නිතරම ‘ගැමුණු’ව හඳුන්වන්නෙ දුෂ්ට කියන විශේෂණයත් එක්ක. ඒත් එයා දුෂ්ටයි කියල පිළිගන්න අපිට බෑ. කාටවත්  ඕන වෙන්නෙත් නෑ ‘දුටු’ ගැමුණුගෙ නම ‘සුදු’ ගැමුණු වගේ වෙනස් කරන්නත්.

දුටු ගැමුණුගෙ සහෝදරයා සද්ධාතිස්ස. නමෙන්ම කියවෙන විදිහට බොහොම බුදු දහමට ළැදි ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරපු රජෙක්. ඒත් කාටවත් සද්ධාතිස්ස ජාතික වීරයෙක් නෙමෙයි. කාටවත් තිස්ස මහා රාමයෙන් රැස් විහිදෙන්නෙවත්, බුදු රැුස් පේන්නෙවත් නෑ. නම ‘සද්ධාතිස්ස’ වුණත් ජනතාව කැමති දුෂ්ට ගාමිනීට.

අපේ දෙවිවරු වුනත් අරං බලන්න. බාගෙට බාගයක් හරක් හොරු. මැරුනට පස්සෙ යකා සහ දෙවියා හැටියට පෙනී ඉන්නවා. මේ මිත්‍යාවෙ තියෙනවා අතාර්කික ගැඹුරක්.

මගේ අදහස මේ නොගැලපීම වෙනස් කරගත යුතු දෙයක් නෙමෙයි කියලයි. මේක අපේ ජාතික සංස්කෘතික ලකුණක්. මම සිංහල කියන ජනවර්ගයෙ ගොඩක් කැමති ගතියක් මේක. පරස්පරයන් එක්ක ජීවත් වෙන්න පුළුවන් වීම. තාර්කික නිවැරදිවීම් වලට මැළි වීම. ඒකෙ පොඩි පොයෙටික් ගතියක් විඳිනවා මම.
මේ ගතිය අපේ ඉතිහාසය පිළිබඳ විශ්වාසවල ඉඳන් එදිනෙදා ජීවිතයේ පැවතුම් දක්වාම සම්බන්ද වෙනවා.

ඒකයි මේක ජාතික සංස්කෘතික ලකුණක් වෙන්නෙ. සංස්කෘතියක් කියන්නෙ පොතක ලියපු හෝ ගලක කොටපු දෙයක් නෙමෙයි, ඒක ජීවන ක‍්‍රමය ඇසුරෙන් යළි යළිත් නිර්මාණය වෙන දෙයක් කියල තේරුම් ගන්න පුළුවන් අයට මේ කාරණය පැහැදිලි වෙයි.

ජාතික හැ`ගීම් වලට පොඞ්ඩක් හරි රිද්දන සුළු පෝස්ට් එකක් දාපු ගමන් වැටෙන කමෙන්ට්ස් වලින් අපේ සංස්කෘතිය ගැන ගොඩක් සියුම් ලක්ෂණ තේරුම් ගන්න පුළුවන්. උදා විදිහට බුද්ධ ශාසනය බේරා ගැනීමේ උදාර අරමුණෙන් කමෙන්ට් කරන ගොඩක් අය කතා කරන්නෙ ‘ජාතකේ’ ගැන. ඒත් බුදුන් වදාරන්නෙ යමෙක් ජාතියෙන් බමුණෙක් හෝ වසලයෙක් නොවේ කියල. ඒක වෙසක් වලට ලොකුවට තොරන්වලත් ගහනවා. ඒත් බුදුන්ගෙ ධර්මය බේරගන්න නම් සිංහල බෞද්දයාට ජාතකේ නැතුව බෑ. ඒක බුදුන්ට තේරෙන සත්‍යයක් නෙමෙයි.

මගේ අදහස මේ දේවල් නිවැරදි විය යුතුයි කියන එක නෙමෙයි. මේ තමයි අපි. ඒකෙ ලස්සනක් තියෙනවා. තාර්කික විධිමත් සිතීමක් නැති වුණත් උණුසුම් හැ`ගුම්බර ජාතියක් අපි. නලින්ද සිල්වා නම් මේක යුරෝ-ඇමෙරිකානු චින්තනයට නතු නොවුණු ස්වදේශීය මොකක් හරි කියල ගන්න ඉඩ තියෙනවා. ඒත් මං හිතන්නෙ දැනුමත් එක්ක සංවිධානය වෙන්න අපිට ඔරිජිනල් අත්දැකීම් තිබුනෙ නෑ. ඒක නිසා දැනුමත් නොදැනුමත් දෙකම තිබුනෙ එක වගේ මිත්‍යාවක. දැන් අපි උත්සාහ ගන්න  ඕන ඒක ආර්ට් එකක් කරගන්න.
හොඳට හිතලා බැලූවොත් අපි ආඩම්බර වෙන දේවල් ගැන මේ කතාවෙ තවත් පැත්තක් පේන්න ගන්නවා.

\ඇත්තටම වර්තමානයේ භෞතිකව අපිට ආඩම්බර විය හැකි කිසිම දෙයක් නිෂ්පාදනය කරන්න රටක් විදිහට බැරි වෙලා තියෙනවා. තාක්‍ෂණික විද්‍යාත්මක දේවල් නෙමෙයි අඩුම තරමෙ සිංදුවක් වත් අපිට අපේම කියල හදාගන්න අමාරුයි. විදග්ධ මහා නිර්මාණකරුවො පවා නිර්මාණාත්මකයි කියල කියන්නෙ අමු අමුවෙ කොපි කරලා හොයා ගන්න බැරි වෙන එකට. කොපි කිරීමකින් සාර්තක ප‍්රතිඵල ලැබෙන්න නම් ඒක කොපියක් කියල පිළිගැනීම අවශ්‍යමයි. එහෙම නැත්තං ඒක හොරකමක්.

ජාතික ගීය දෙමළෙන් කිව්වා කියල පුදුමාකාර සෝකෙකින් ජනතාව පෙළෙන්න ගත්තා. ඒත් මේ ජාතික ගීය ලියවෙන්නෙ බෙංගාලි භාෂාවෙන්. ඒක ලියන්නෙ රවින්ද්‍රනාත් තාගෝර්. ඒකට තනුව දාන්නෙත් තාගෝර්. ආනන්ද සමරකෝන් කරන්නෙ ඒක සිංහලට පරිවර්තනය කරන එකයි. ඒත් ඒක දෙමළෙන් කියන එක අපිට වාවන්න අමාරු කාරණයක් වෙනවා.

අපි ඇත්තටම ආඩම්බර වෙමින් ඉන්නෙ මොනවා ගැනද? අපේ අතීතය ගැන. අපි නොදන්නා කාලෙක, නොදන්නා ඉතිහාසයක් ගැන. සාමාන්‍ය එදිනෙදා ජීවිතේදි තමන්ගෙ අතීතය ගැන පාරම්බාන මෙලෝ වැදගැම්මකට නැති මිනිහෙක් මුණගැහුනොත් අපිට දැනෙන්නෙ කොහොමද? ඒත් අපි ජාතියක් විදිහට ඒ දේම කරමින් ඉන්න එක ගැන අපිට කිසි අවුලක් නෑ.

මේ අතාර්කික හැ`ගුම්මය අතීතයක ජීවත්වෙන ජාතියක් විදිහට අපිට නිර්මාණශීලී දේවල් තියෙනවා. ඒත් ඒ දේවල් නිර්මාණ විදිහට පිළිගන්නත් අපිට අමාරුයි. හරියට දැනුමෙන් ඛණ්ඩනය වෙලා නැති හින්ද යුග ගානක දේවල් එකට පැටලිලා තියෙන්නෙ.

ගොඩක් අය නොපිලිගත්තා වුණත් ලංකාවෙ අයට ක‍්‍රියේටිව් විදිහට කුණුහරුප කියන්න තියෙන හැකියාව ඇත්තටම අගය කළ යුත්තක්. භාෂාවෙ හැමෝම දන්න හත අටක් කුණුහරුප කියන වචන වලින් ගොඩක් කතන්දර ගලපලා කියන හැටි රසවිඳින්න පුළුවන් ආර්ට් එකක්. මට දැනට හම්බුවෙලා තියෙන අය අතරින් මේ ටැලන්ට් එක හොඳටම තිබුනෙ අම්පිටියෙ සුමනට.

‘‘හාල් එක ලිපේ.. දන් හැන්දක් දෙන්න එක හු......ගෙ පුතෙක් නෑ වටේ..’’

මේ අතාර්කිකත්වය සහ ඉමෝෂනල් වීම නොදියුණු හෝ වෙනස් කළ යුතු තත්වයක් හැටියට දකිනවට වඩා ශක්‍යතාවයක් විදිහට පාවිච්චි කරන එකයි ට‍්‍රයි කරන්න  ඕන. නරක පැත්තට වුණත් මහින්ද මේක සාර්ථකව කරලා පෙන්නුවා. උදා විදිහට මහින්දට  ඕන නම් පුළුවන් දුටු ගැමුණුව ජාතිද්‍රෝහියෙක් කරන්න වුණත්. මහින්ද විසින් ලංකාවෙ ඉතිහාසය යළි නිර්මාණය කළා. අනුරාධපුර යුගයෙ දුටුගැමුණුට පස්සෙ කෙලින්ම රාජාවලියෙ ඉන්නෙ මහින්ද. ඒ අතරෙ මැද්දක් නෑ.

හොඳට බැලවොත් පේනවා අපේ රට ගැන ජාතිකත්වය ගොඩක් තියෙන්නෙ රටෙන් පිට. කොහොම හරි වෙන රටක පදිංචියට යන හීනෙ ඇතුලෙ හෙම්බත් වෙලා වෙන රටකට රිංග ගන්න ගොඩක් අය ටික කාලෙකින් ජාතික හැ`ගීම්වලින් ඔද්දල් වෙනවා. පරණ නන්දා මාලනී අහන්න ගන්නවා. මේක ජාතිවාදයක් නෙමෙයි. පුංචි වෙමින් යන තමන්ගෙ ජීවිතය ලොකු විශාල යමකට ගැටගහලා තියන්න දැනෙන උවමනාව. ආඩම්බර වෙන්න තමන්ගෙන් පිට යමක්  ඕන. ජීවිතේ ඇකිලෙන්න ඇකිලෙන්න ආඩම්බරේ ලොකු වෙනවා.  බන්දු සමරසිංහ කියපු ‘ආඩම්බරයි තේරුමක් නැතුව’ කියන ලයින් එක ලංකාව ගැන මාර තේරුම් ගැනීමක් වෙන්නෙ ඒ හින්ද. මේ ලිපියෙ ඇත්ත හෙඩිම වෙන්න තිබුනෙ ඒක.

ජාතිවාදය කියන්නෙ දේශපාලනිකව කෘතිමව නිර්මාණය කරන තත්වයක් මිස ඇත්තක් නෙමෙයි. තියෙන්නෙ යම් කිසි සමාජ මානසික උවමනාවක ප‍්‍රකාශනයක් විතරයි. පැහැදිලිවම ඒකෙ ලොකු කොටසක් තියෙනවා සෙක්ස්වලට අදාලව. අවුරුදු දහයක් පුරා මහින්ද ලංකාවෙ ජනතාව නෂ්ටකාමී කළා.

ලෞකික සැප විඳින කාමී පිරිස වුනේ රාජපක්ෂවරුන් සහ ඒ ආශ‍්‍රිත නිළමෙවරුන් විතරයි. ජනතාව සිය කැමැත්තෙන්ම දුක්ගන්නා රාළලා වුණා. ලිංගිකත්වය ඇහිරෙන්න ඇහිරෙන්න ජාතිවාදය ලොකු වෙනවා. ඒකයි ගොඩක්ම ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය පැතිරෙන්නෙත්. මෙතනදි ලිංගිකත්වය කියන්නෙ සංසර්ගය විතරක්ම නෙමෙයි. අපි ලෞකික ජීවිතේ අත්විඳින සුඛයන්. බ‍්‍රා එකට කුපිත වීමේ ඉඳන් සිංහලේ දක්වා දුවන්නෙ ආශාව ඇහිරීමේ එකම ව්‍යාධියක්. මේක සදාචාරය නෙමෙයි. මේක ලෙඩක්.

නදීෂා හේමමාලි මේ දවස්වල ඒ ඇත්ත එක්ක කෙලින් ගනුදෙනු කරනවා. තොල් සිපගැනීමෙන් රටේම සිල් බිඳිලා ඉන්න අතරෙ එයා (අඩ) නිරුවත් ඡුායාරූප පෙළකුත් කිසි පැකිලීමක් නැතුව මුදාහැරියා. තවදුරටත් ලංකාවෙ නිළියකගෙ පරාසය පරණ සංස්කෘතික සීමාවෙ රැුඳෙන්නෙ නෑ. නදීෂා ඒ කල්චරල් බෝඩර් එක වෙනස් කරනවා. ‘අනේ ඒක කළේ මං දන්නෙ නැතුව’ කිය කිය බබා වෙන්න හදන බොළඳ නිළි පෙලක් මැද්දෙ එයා තනියම හිටගෙන සිංහල බෞද්දයා අන්දමන්ද කරනවා.

මේ ෆේස්බුක් වල ඇවිලෙන කාරණා සංස්කෘතියෙ සංවේදී තැන් විදිහට තේරුම් ගැනීමම නොමග යාමක්. අපි මේ අත්දකිමින් ඉන්නෙ අවුරුදු දහයක් තිස්සෙ වපුරපු සාර්තක කැම්පේන් එකක විත්ඞ්රෝවල් සිම්ප්ටම්ස්. අධිපති සංස්කෘතික කතිකාවක් වෙනත් අදහස් ධාරාවක් විසින් විස්තාපනය කරමින් තියෙනවා.  ඒක සුහද මාරුවක් නෙමෙයි. ලොකු ගෝෂාවක්, ලොකු ප‍්‍රතික්‍ෂේප කිරීමක්, ලොකු පහරදීමක් මැද්දෙයි ඒක සිද්ද වෙන්නෙ. ඒත් අනිවාර්යෙන්ම ඒ වෙනස සිද්ද වෙන්න නියමිතයි.

අනෙක් අතට මේ ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශය ගොඩක් හොඳ දේවල් කරනවා. උදා විදිහට ඉතිහාසය සම්බන්ධ ලොකු කතිකාවන් ඇරඹෙනවා. ජාතිවාදී පාර්ශ්වයෙන් න්‍යායාත්මක ගොඩනැංවීම් කිසිවක් සිද්ද වෙන්නෙ නෑ. ඒ නිසා තේරුමක් නැති කුණුහරුප ගොඩක් මැද්දෙ සාර්ථක ඉතිහාස සංවාදයක් සිද්ද වෙනවා. දේවල් වඩා ශක්තිමත් විදිහට සමාජගත වෙනවා.

මං පුද්ගලිකව කවර හෝ ජාතිකවාදයකට අකමැතියි. ඒත් ජාතිකවාදී අදහස් වල පැවැත්මට මම ගරු කරනවා වගේම ඒකෙ අවශ්‍යතාවයකුත් දකිනවා. ඒත් දැන් ජාතික කියල තියෙන්නෙ අමු විහිළුවක් විතරයි.

එල්ලෙන්න ප‍්‍රධාන ධාරාවෙ ඉතිහාසය අවශ්‍යම නං  මං යෝජනා කරන්නෙ රුවන්වැලි සෑය වෙනුවට සීගිරිය තෝර ගන්න කියල. ලෞකික රාජ්‍යයක් වෙනුවෙන් වැඩකරපු ඉතිහාසයක්. ලෝකෙ  ඕනම රටක මිනිහෙකුට ගරු කරන්න පුළුවන් ඉතිහාසයක්. අනෙකාව මැඞීම වගේ පටු තැනක නැතුව වඩා යහපත් මනුස්ස සමාජයක් වෙනුවෙන්, ලෞකික ජීවිතයක් වෙනුවෙන් අපේ ඉතිහාසයෙන් කළ එකතු කිරීම් වලට යන්න. ඇත්තටම සීගිරිය අපේ ඉතිහාසයේ කේන්ද්‍රයක් වෙන එක ගොඩක් වටිනවා. ජාතියක් විදිහට අපි කරපු ගොංකං වල එල්ලිලා ඉඳලා තේරුමක් නෑ.

ඊටත් වඩා සාර්ථක වෙන්නෙ අපේ චූල ඉතිහාසයෙන් සංකල්ප ගොඩනගන එකයි. ඒ කියන්නෙ ‘හිස්- ස්ටෝරි’ (ඔහුගේ කතාව) වෙනුවට ‘හර්- ස්ටෝරි’ (ඇගේ කතාව)ට යන්න. අපේ සාමාන්‍ය ගැමි ජන ජීවිතයේ චර්යාවන් සහ සංකල්ප ගැන කරන නැවත කියවීමක් ඇසුරෙන් වෙනස් ඉතිහාසයක් ගොඩනගන්න පුළුවන්. නිදහස් ලිංගික ජීවිතයක්, නිදහස් සරල සාමකාමී පැවතුම්, ගොඩක් දේවල් එකවර කියන විවෘත සිනහව වගේ දේවල් එක්ක නව සංකල්ප නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක වඩා අර්ථවත් නූතන හිපි එළඹුමක් වෙන්න පවා පුළුවන්.

ජාතිකත්වය කියන්නෙ ඉස්සර තිබුණ දෙයක් නෙමෙයි. ඒක අපි විසින් මේ මොහොතේත් නිර්මාණය කරමින් පවතින දෙයක්. ඒ වෙනුවෙන් අපි කරමින් ඉන්න වැඩකොටස මොකක්ද කියල අපි අපෙන් අහන්න  ඕන.
අවුරුදු දහයක (හරියටම නම් සෝම හාමුදුරුවන්ගෙ කාලෙන් පටන් ගත්තෙ) මහරජ කැම්පේන් එකේ අවතාර තව ටික දවසක් ප‍්‍රතිවාදීව නැගී සිටිමින් අපිට උදව් කරයි. කුණුහරුප රැප් කරන්න. පුළුවන් තරම් බොරු කියන්න. ෆේස් බුක් එක කුඹුරක් කරන්න. හොඳ ඵලදායී සංවාදයක් බුද්ධිමය බිත්ති ඇතුලෙ විතරක් සිද්ද වෙනවා කියල මං හිතන්නෙ නෑ. ඒ හින්ද දේශපාලන කුලී හේවායන් නොවූ අවංක ප‍්‍රකෝප වුණු සිංහල බෞද්දයන් අපිට අවශ්‍යයි.

මේ ඔක්කොම මැද්දෙන් වසන්තය එනවා සත්තයි.


Tuesday, December 29, 2015

හෝ ගාන පොකුනෙ හෝ ගාලා සද්දෙ


ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ හෝ ගානා පොකුණ ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. මුහුද නොදැකපු රට මැද්දෙ මිනිස්සුන්ට පොකුණකින්, වැවකින් එහා මුහුදක් ගැන හිතාගන්න බැරුව වහරපු ‘හෝ ගාන පොකුණ’ කියන වචනෙ ඉන්සයිට් එකකට අරන් ෆර්ඩි කතාව ගොතාගෙන යනවා. ගමට කොටුවෙච්ච, වැවට සීමා වෙච්ච පරපුරක අනාගත බට්ටො ටිකක් මුහුදක් දකින්න පෙරුම්පුරන කතාවක් ඒක.

කන්සෙප්ට් එකක් විදිහටමත් මේ එළඹුම ලංකාවට ටිකක් අලූත්. හැමතිස්සෙම පරණ දේම බදා ගන්න, අතීතයටම රිංගන්න, පරණ පුරුදු වලම එල්ලෙන්න බලකරන චිත‍්‍රපට අතරෙ අලූත් දෙයක් හොයාගෙන යන්න, වෙනස් දේකට මුලපුරන්න උනන්දු කරන කතාවක් කියන්නෙම හැරවුමක්. විශේෂයෙන්ම ළමා කතාවක් ඇතුලෙ මේ විදිහෙ අදහස් ටිකක් විසුරවලා දාන එක ටිකක් හිතුවක්කාර වැඩක්.

සිංහල චිත‍්‍රපට ගැන සාමාන්‍යයෙන් නොකියන ඇත්ත කතාව වෙන්නෙ නාගරික මිඞ්ල් ක්ලාස් පේ‍්‍රක්‍ෂකයො ඒක නොබලා ඉන්න එක. විශේෂයෙන් ඉංග‍්‍රීසි හින්දි බලන කොළඹ කේන්ද්‍රීය පේ‍්‍රක්‍ෂකයො සිංහල චිත‍්‍රපට ගණන් ගන්නෙම බාල විදිහට. ඒකට හේතුව අපේ චිත‍්‍රපටවල දුර්වල පිටපත්, අධ්‍යක්‍ෂණ සහ තාක්‍ෂණික කාරණා. විනෝදාස්වාදයට අවශ්‍ය විචිත‍්‍ර බව, වර්ණවත් බව වගේම ආස්වාදනීය බව වගේ කාරණා අතින් සිංහල චිත‍්‍රපටි ෆේල්.

ඒත් ෆර්ඩි හෝ ගානා පොකුණෙදි මේ අභියෝගය යම් පමණකට හෝ ජයගන්නවා. ඒ කියන්නෙ අලූත් පේ‍්‍රක්‍ෂක පිරිසක් හෝල් එක ඇතුලට ගෙන්න ගන්න ෆර්ඩිට පුළුවන් වෙනවා. ටෙලි නාට්‍ය වගේ එදිනෙදා පාවිච්චි වෙන පොදු ජන මාධ්‍ය ඇතුලෙ පරණ වෙලා නොගිය අලූත් නිළියක් ප‍්‍රධාන චරිතය විදිහට පාවිච්චි කරන එකත් එතනදි ලොකු කොටසක් කරනවා. මැද නාගරික රස වින්දනයක් සහිත තමන්ගේ වේදිකා නාට්‍ය පේ‍්‍රක්‍ෂකයාවත් සිනමා ශාලාවට එකතු කරගන්නට අනසුයා පෙළඹවීමක් කරනවා.

ඒ වගේම චිත‍්‍රපටයේ කැමරාව, සංගීතය වගේම සිදුවීම් වලත් ඇති විචිත‍්‍ර බව නිසා චිත‍්‍රපටය ඇළෙන සුලූයි. විශේෂයෙන්ම මේ පුංචි නළු නිළියන්ව මෙහෙයවීමේදී ෆර්ඩි සෑහෙන දක්ෂකමක් පෙන්නලා තියෙනවා. ඒ පුංචි උන් කියන සරල දෙබස් ඇතුලෙ තියෙන ගැඹුරු කතන්දර ලොකු අයටත් නැවත හිතන්න බලකරනවා.

ඒත් හෝ ගානා පොකුණ කියන්නෙ හඳයාගෙන් පස්සෙ බිහිවුණු විශිෂ්ටතම ළමා චිත‍්‍රපටය කියල කියන්න තරම් මම ඉක්මන් වෙන්නෙ නෑ. මුලින්ම මේක ළමා චිත‍්‍රපටයක් විදිහට මං දකින්නෙ නෑ.

ළමා චිත‍්‍රපටයක වීරයා හෝ වීරයෝ වෙන්නෙ ළමයි. ඒත් ෆර්ඩිගේ චිත‍්‍රපටයේ වීරවරිය වෙන්නෙ ගමට අලූතෙන් එන ගුරුවරිය. ඒ ගුරුවරිය නිසා ළමයින්ට නිදහස ලැබෙනවා වගේ කතාවක් තමයි හෝ ගාන පොකුනෙන් ඇහෙන්නෙ. ඇත්තටම නං ළමයි කරන ලොකුම වීරකම වෙන්නෙ බස් ඩ‍්‍රයිවර්ට ලයිසන් අරන් දෙන්න උත්සාහ කරන එක. ඒත් ඒ උත්සාහය පවා අන්තිම මොහොතෙදි වැඩකට නැති වෙනවා. ගුරුවරියගේ සියල්ල කළ හැකි දස්කම නිසා ළමයින්ට හෝ ගානා පොකුණ බලන්න ලැබෙනවා.

මට හිතෙන්නෙ හෝ ගානා පොකුණ කතා කරන්නෙ ළමයින්ට වඩා දෙමව්පියන්ට. දෙමව්පියන් විසින් ළමයෙක් හදනවා කියලා හිතන සාම්ප‍්‍රදායික සිතීමට යම් විදිහක අභියෝගයක් ෆර්ඩි කරනවා. හෝ ගාන පොකුණ ගන්න වෙන්නෙ  ළමා චිත‍්‍රපට කියන ජොන්රා එකට වඩා ෆැමිලි නැත්තං පවුලේ චිත‍්‍රපට කියන කොටසට. ළමා චිත‍්‍රපට කියන්නෙ ළමයාවම කේන්ද්‍ර කරගෙන ළමයින් වෙනුවෙන්ම හැදෙන චිත‍්‍රපට කාණ්ඩයක්. ඒත් ඊට වඩා පළල් පේ‍්‍රක්‍ෂාගාරයක් ඔලූවෙ තියාගෙන හදන මේ විදිහෙ චිත‍්‍රපට වර්ග කරන්නෙ වෙන්නෙ පවුලේ චිත‍්‍රපට හැටියට.

එතනදි මේ පේ‍්‍රක්‍ෂාගාරය පළල් කරන්න කතාව මුලින් සහ අගින් කරන කොහෙත්ම චිත‍්‍රපටයට නොගැලපෙන දේශපාලනික ගැටගැහිල්ල ඇත්තටම චිත‍්‍රපටය දුර්වල කරනවා. විශ්ව විද්‍යාල මට්ටමේ අරගලයට නව අරුතක් සැපයීම වගේ තැනක ෆර්ඩි අපරාදෙ හිරවෙනවා කියල මට හිතුන. කොටින්ම ඒ ඇමිණුම හින්ද ගුරුවරියත් මහා ගොන් පාර්ට් එකක් වෙනවා.

ළමා චරිත අතරෙ වුණත් මීට වඩා නිර්මාණශීලී වෙනස්කම් මතු කරන්න පුළුවන් වුණා නම් වැඬේ තව ගොඩක් රිච් වෙනවා. අන්ධ දැරිය පාවිච්චි කරමින් වරින් වර භාවාතිෂය කරන්න දරන වෑයම වගේම ඉතා සරල, පත්තියම් වුණු විවිධ ලක්ෂණ කීපයක් විතරයි ෆර්ඩි මේ ළමා චරිත නිර්මාණයෙදි පාදක කරගෙන තියෙන්නෙ. ඊට වඩා ළමයින්ගෙ සුවිශේෂතා පදනම් කරගෙන විචිත‍්‍ර චරිත නිර්මාණය කරන්න හැකියාව තිබුණ කියල චිත‍්‍රපටිය බලාගෙන ඉඳිද්දි මට හිතුණ.

මේ ටීචර්ගෙ හිතුවක්කාර චරිතය එක්ක ගමේ මිනිස්සු ඔක්කොම කැමැත්තෙන් පෑහීමත් කතාව පමණකට දියාරු කරලා තියෙනවා. මේ වගේ චරිතයකට එක`ග නොවීමේ ස්වභාවිකය හරහා තවත් රසවත්ව මේ කතාව කියන්න ෆර්ඩිට පුළුවන් වෙන්න තිබුණ. ළමයින්ට වෙනස පේන විදිහ සහ වැඩිහිටියන් ඒ වෙනස දකින විදිහ ගැන තල දෙකක කතාවක් ආස්වාදනීය විදිහට ගලපන්න තිබුණ. ඒත් ෆර්ඩි ග‍්‍රාමසේවක විතරක් දුර්වල දුෂ්ටයෙක් හැටියට වෙන් කර ගැනීමත් එක්ක කතාවෙ බහුතරය ප‍්‍රගතිශීලී ජනතාව වෙනවා. එතනදි අභියෝගය සරල වෙනවා.

ඒ වගේම ග‍්‍රාමසේවකගේ බිරිඳ විසින් ගන්නා ආරූඩයත් ළමා චිත‍්‍රපටයකට නම් නොගැලපෙන එකතු කිරීමක් වෙන්න පුළුවන්.  ඒක හාස්‍යය දනවන තැනකින් ඔබ්බට යම් ගූඪ, බියක් දනවන සිදුවීමක් හැටියට වැඩ කරන්න ඉඩ තියෙනවා. කතාව ගොඩනැගීමේදී මැද විදිහට පාවිච්චි වෙන ප‍්‍රධාන සිද්දි දෙක, පොඩි අය විසින් කතා පැවැත්වීම සහ බස් එකේ ඩ‍්‍රයිවර්ට ලයිසන් අරන් දීම කියන දෙකට වඩා තවත් යම් ප‍්‍රබල සිදුවීම් කීපයක් එහා මෙහා ගියා චිත‍්‍රපටිය තව ගොඩක් රහ වෙන්න තිබුණ කියල හිතුන.

විරුද්ද පැත්තට හිතුවොත් මේ ගුරුවරිය විසින් මේ ළමයින්ට කරමින් ඉන්නෙ මොකක්ද? මුහුද පෙන්නීමේ සිහිනය ඇරුණම එයා මේ ළමයි වඩාත් රස්තියාදුකාර දේවල් වලට යොමු කරනවා. උදා හැටියට බස් එකේ මිනිස්සු තගෙන් බස්සවලා බස් එක නවත්ත ගන්න පවා ළමයි පෙළඹෙනවා. ගමෙන් පිට ටි‍්‍රප් එකක් යන්න පොරකන ළමා පිරිසකට වඩා අගයක් මේ ළමයින්ට ගේන්න ටීචර් අසමත් වෙනවා.

කතාවෙ අවසානයේදී ළමා චිත‍්‍රපටයක දැනිය යුතු කූට ප‍්‍රාප්තිය හෝ ආස්වාදය දනවන්න හෝ ගානා පොකුණට බැරි වෙන එක අපරාදයක්. මුහුදකට දිව යන පොඩි උන් පිරිසක් සහ හැ`ගීම්බරව හ`ඩා වැටෙන ගුරුවරියක් කියන්නෙ කොහෙත්ම මේ චිත‍්‍රපටියෙ අවසානයට සුදුසු විදිහක් නෙමෙයි. මට දැනෙන විදිහට මේ අන්තර්ජාල යුගයෙදි මුහුද නොදැකපු ළමයෙක් ගමෙන් හෝ හොයාගන්න අපහසු වෙන එකත්, ඇත්තටම මුහුදක දර්ශනයක් පේ‍්‍රක්‍ෂකයාට මැජික් නොවීමත් කියන යතාර්ථය විසින් අවසානය අතරමග නතර කරනවා. බඬේ අමාරුවක් නිසා එන්න බැරිවෙන ඩ‍්‍රයිවර්ගෙ හිස්තැන පුරවන්න ටීචර්ට පුළුවන් වෙන්නෙ නෑ.

ප‍්‍රධාන චරිතය විදිහට අනසුයාගෙ රංගනය ගැනත් සෑහීමකට පත්වෙන්න බෑ කියල මට හිතුන. ගොඩක් තැන්වල එයා කරන  ඕවර්-ඇක්ට් එක චිත‍්‍රපටයට බාධාකාරී වෙනවා. ඒ මූනෙ ඉරියව් ආදිය එහා මෙහා වෙන ආකාරය තරමක් වෙහෙසකර බවක් ගේනවා. මනෝරත්න, දයාදේව, ජයනි වගේ අයගේ අනායාසකාරීව ගලායන රංගනයත් එක්ක ටීචර් ර`ගපාන්න ගොඩක් මහන්සි වෙනවා.

චිත‍්‍රපටයක් ගැන කොහොම විචාරය කරන්න පුළුවන් වුණත් ඒක නිර්මාණය කරද්දි අත්විඳින්න වෙන දුෂ්කරතා සහ වෙහෙසත්, නිර්මාණයක් විදිහට එය විසින් අත්පත් කරගෙන ඇති සාර්තකත්වයත් තක්සේරු කරද්දි හෝ ගානා පොකුණ ගැන ෆර්ඩිට ඉහළින්ම සතුටු වෙන්න පුළුවන්. පළවෙනි නිර්මාණය මේ තරම් සාධනීය මට්ටමකින් එළිදක්වන්න හැකිවීම නිර්මාණකරු හැටියට ෆර්ඩිටත් පේ‍්‍රක්‍ෂකයන් හැටියට අපිටත් එකවිදිහටම බලාපොරොත්තු සහගත බවක් ඇති කරනවා. ඒත් සිනමා කෘතියක් අධිතක්සේරු කිරීමත් එය නොතකා හැරීම තරම්ම අපරාධයක්. ඒ නිසාම කෘතියක තමන්ට සාපේක්ෂව සාධනීය නිශේධනීය කාරණා සාකච්ඡුාවට ගන්න එක, මාරයි මාරයි කියන එකට වඩා වැදගත් කියල මං හිතනවා.


Wednesday, December 23, 2015

කාංසාවේ සෞන්දර්යය



ජිම් ජාර්මුෂ් ගැන පොඩි ප‍්‍රමාණයක සංවාදයක් කරන්න පොඩි ඉඩක් වර්ල්ඞ් සිනමා ෆේස් බුක් පිටුවෙන් හදලා දුන්නා. ඒක මාසිකව ඒ කට්ටිය කරගෙන යන චිත‍්‍රපටියක් පෙන්නලා කතාබහක යෙදෙන වැඩක්. එක පැත්තකින් මේ විදිහෙ එකතු වෙලා සිනමාව නැරඹීම සහ කියවීම කියන අවකාශයන් නිර්මාණය කිරීම කොයි විදිහකින් වුණත් ලොකු දෙයක් වෙන අතරෙ මේ කට්ටිය සිනමාව රසවිඳින්නන්ගේ එකතුවක් වීම එතනදි වඩා වැදගත්. අපි නිතරම මුණගැහෙන්නෙ කෙටි චිත‍්‍රපටකරුවන් හෝ සිනමාව අධ්‍යනය කරන අය අතර සංවාදවලදි. ඒත් සිනමාව ගැන පේ‍්‍රක්‍ෂකයා පැත්තෙන් සංවාදයක් හදන එක, අදහස් හුවමාරු කරගන්න එක ටිකක් අලූත් විදිහෙ වැඩක්. හොඳ චිත‍්‍රපටියක් බැලූවම ඒක ගැන දැනුම් දෙන එක, කතා කරන එක, දැනුම ෂෙයාර් කර ගන්න එක චිත‍්‍රපටි නිර්මාණ පාර්ශ්වයෙ ඉන්න අයට වඩා නරඹන පාර්ශ්වයෙ ඉන්නෙ අය අතින් සිද්ද වෙද්දි ඒකෙ වඩා විවෘත බවක් වගේම ‘තියරි’ නැති සජීවී බවක් තියෙනවා. යමක් ඉගෙන ගන්න බලන් ඉන්න පිරිසක් එක්ක ගණුදෙනුවකට වඩා යමක් ෂෙයාර් කරගන්න කැමති පිරිසක් එක්ක මේ හුවමාරුව ආස්වාදනීයයි.

මගේ අදහස මේක තවත් සාමාන්‍ය,  ඕනම මෝඩ අදහසක් පළ කළ හැකි, අයාලේ යාමට පවා ඉඩ ඇති දේශක- ශ‍්‍රාවක සම්බන්දයෙන් මිදුණු තැනක් කරගමු කියන එකයි. ඒ වගේම චිත‍්‍රපටි අතින් අත යාමේ ක‍්‍රමයක් වුණත් අපිට මේ වගේ එකතුවක් හරහා නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි. උදා විදිහට යම් තැනක හයි කරලා තියෙන පෙන් ඩ‍්‍රයිව් එකක අපිට පුළුවන් වෙයි චිත‍්‍රපටි ගබඩා කරලා තියන්න.  ඕන කෙනෙකුට තමන්ගේ ලැප්ටොප් එකක් හෝ වෙනයම් උපාංගයක් ඒකට සම්බන්ධ කරලා අවශ්‍ය චිත‍්‍රපටි කොපි කරගන්න පුළුවන්. තමන් ළ`ග තියෙන චිත‍්‍රපටි ඒකට දාන්නත් පුළුවන්. රුපියල් පන්හය සීයට පෙන් ඩ‍්‍රයිව් තියෙන මේ කාලෙ  ඕක හොරකම් කරගෙන යයි කියල සැකසංකා තියාගන්න  ඕනත් නෑ. අසාර්ථක වෙන්න කොයිතරම් ඉඩකඩ තිබුණත් මේ විදිහෙ සම්බන්ධතා ජාලයක් සහ හුවමාරු සංස්කෘතියක් ඇති වෙන එක ගොඩක් වැදගත් කියල මං හිතන්නෙ. ඉතිහාසයක් පුරා හැමදෙයක්ම නිකං ගන්න විතරක් පුරුදු වෙච්ච සංස්කෘතියකට තමන්ගෙන් යමක් එකතු කිරීම කියන එක පුරුදු කරන එකත් ශාසනේ චිරස්තිථිය ඇතිකරනවට වඩා ලොකු ව්‍යායාමයක්.

ජිම් ජාර්මුෂ් කියන අධ්‍යක්‍ෂවරයා ගැන මෙතුවක් ලංකාවෙ කිසිම සංවාදයක් තිබුනෙ නෑ. ඉන්ඩිපෙන්ඩන්ට් සිනමාව කියන ධාරාව වෙනමම මාවතකට යොමු කරපු, ප‍්‍රධාන ධාරාව විසින් තමන්ට කරන බලපෑමට එරෙහිව අනවරත සටනක ඉන්න, තමන්ගේ ආත්ම ප‍්‍රකාශනය වෙනුවෙන් තමන්ගේම වූ සිනමාවක් විශ්වාස කරන මේ අරගලකරුවාව ලාංකේය සිනමා අවකාශයට මගඇරෙන්නෙ අහම්බෙන්ද?

ජිම් ජාර්මුෂ්ගෙ සිනමාවට ඇමරිකාවෙ තියෙන්නෙත් කල්ට් වටිනාකමක්. ඒත් යුරෝපයේ විශේෂයෙන් සම්මාන උළෙලවල ජාර්මුෂ්ට ලොකු පිළිගැනීමක් තියෙනවා. එයාගෙ ‘ස්ටේ‍්‍රන්ජර් දෑන් පැරඩයිස්’ චිත‍්‍රපටියත් එක්ක මේ අලූත් සිනමා භාවිතාව ගැන යුරෝපීය සිනමා කලා ප‍්‍රජාවෙ අවධානය යොමු වෙනවා. ඊට පස්සෙ ‘ඩෙඞ් මෑන්’ වගේ චිත‍්‍රපටියක් දක්වා එද්දි එයා ‘ ඕටර්’ කෙනෙක් විදිහට (තමන්ගේම වූ සුවිශේෂ සිනමා සම්ප‍්‍රදායක් තියෙන කෙනෙක්) විදිහට තමන්ගෙ ආර්ට් එක ගොඩනගාගෙන ඉවරයි.

ජාර්මුෂ්ට මාර්කට් එකක් තියෙනවා. එයා වෙනුවෙන් ඉදිරිපත් වෙන ප්‍රොඩියුසර්ස්ලා ඉන්නවා. ඒත් ජාර්මුෂ්ගෙ දරුණු හිතුවක්කාරකම සහ කිසිසේත්ම තමන්ගේ අදහස සුළුවෙන් හෝ වෙනස් කිරීමට එක`ග නොවීම කියන කාරණා එක්ක මාර්කට් එකට එයා එක්ක ඞීල් එකක් දාගන්න අමාරුයි. මේ හින්දම එයාට චිත‍්‍රපටියක් කරන්න අවුරුදු හතඅටක් විඳව විඳව ඉන්න වෙනවා.

ඒත් ඇයි අපේ ප‍්‍රවීණයන්ට ජාර්මුෂ් මගඇරෙන්නෙ? ඒක සිනමාවෙ හැංගිච්ච දේශපාලනයක් එක්ක ගැටගැහෙන කාරණයක්. ජාර්මුෂ්ගෙ සිනමාවට පාදක වෙන ප‍්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් එයා නිතර තමන්ගෙ කතාව ගොඩනගන්නෙ නාගරික පසුබිමක. ගොඩක් වෙලාවට අත්හැර දැමූ නගරයක. දෙවනුව ඒ නගරෙ ඇතුලෙ සිද්ධ වෙන අහම්බ මුණගැසීම් එක්කයි ජාර්මුෂ් කතාව කියාගෙන යන්නෙ. ඒ මුණගැසීම් තාර්කික කරන්න හෝ ඊට අදාල හේතු පැහැදිලි කරන්න එයා ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට එයා ඒ අහම්බ මුණගැසීම් හරහා විවිධ චරිත වල විචිත‍්‍රතාවලට යනවා. තුන්වෙනුවට ජාර්මුෂ්ගෙ චරිත වියළි, ගල්ගැහුණු ඒවා. මුහුණෙන් හෝ අභිනයෙන් ලොකු දේවල් කියන්න යනවා වෙනුවට ඒ චරිත නිහ`ඩව හිරිවැටිලා පැවැත්ම දරාගන්නවා. මේ රංගන විලාසය එයාගෙ පළවෙනි චිත‍්‍රපටියෙ ඉඳන්ම අඛණ්ඩව අරගෙන එනවා.

එයා පර්මනන්ට් වැකේෂන් කියන ෆිල්ම් එක ලියන්නෙ ෆිල්ම් ස්කූල් එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක විදිහට. ඒක ෆිල්ම් ස්කූල් එකෙන් ප‍්‍රතික්‍ෂේප වෙනවා. පස්සෙ ෂෝර්ට් ෆිල්ම් එකකට ලියපු ඒ පිටපතෙන් ජාර්මුෂ් ෆීචර් එකක් කරනවා.

‘ජීවිතේට ප්ලොට් එකක් නැත්තං ෆිල්ම් එකකට ප්ලොට් එකක් මොකටද?’

ජාර්මුෂ් ප‍්‍රශ්න කරනවා. එයාගෙ චිත‍්‍රපටවල උස් පහත් වෙමින් ගලා යන ප්ලොට් නෑ. සිනමාවෙ පිළිගත්ත සම්ප‍්‍රදාය විදිහට චරිතවල ආරම්භයේ සිට අවසානය දක්වා ගමනක් නෑ. ඒ වෙනුවට සියල්ල එකතැනක නතර වෙලා තියෙනවා වගේ. අපි ඒ නතර වුණු මොහොතෙ ඒ චරිත එක්ක පැය කීපයක් ගත කරනවා.

‘මට  ඕන මගේ චරිත ගැන පේ‍්‍රක්‍ෂකයාට රියල් ටයිම් එක්ස්පීරියන්ස් එකක් දෙන්න’ ජාර්මුෂ්

ජාර්මුෂ් ‘පර්මනන්ට් වැකේෂන්’ කළාම එයාගෙ චිත‍්‍රපටිය ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ.

‘එයා දක්ෂ ර`ගපාන්න බැරි නළු නිළියො ටිකක් එකතු කරගන්න එකට විතරයි’

විචාරකයො ලියන්නෙ ඒ විදිහෙ අපවාද. ජාර්මුෂ්ගෙ චරිත ර`ගපාන්නෙ නෑ. ජාර්මුෂ් එයාගෙ කතාව කියන්නෙ පිටස්තරයෙක් විදිහට. හැම සිදුවීමකින්ම අවකාශයකින්ම එයා පිටස්තරයි. ඒ පිටස්තර බව චරිතවල ර`ගපෑමෙන් පවා දැනෙනවා.

ඒ කියන්නෙ ජාර්මුෂ් කැරැුක්ටර්ස් එක්ක වැඩකරන්නෙ නෑ කියල නෙමෙයි. ඇත්තටම එයා චිත‍්‍රපටියක් කරද්දි හිතන්නෙ කැරැුක්ටර්ස් ගැන විතරයි. ඒ චරිත හරිම විචිත‍්‍රයි. ගොඩක් වෙලාවට පාදඩයො, අයාලෙ යන අරමුණක් නැති චරිත එක්කයි එයා වැඩ කරන්නෙ.

මේ චරිත එක්ක වැඩ කරනවා කියන්නෙ ඒවා යතාර්ථවාදී කරන්න හදනවා වගේ එකක් නෙමෙයි. ඒ වෙනුවට තමන්ට අවශ්‍ය සරියල්, නොපැවැත්මක් එක්ක ගණුදෙනු කරන විචිත‍්‍රභාවය හැදෙන කල් ජාර්මුෂ් ඒවා එක්ක ගත කරනවා. එයාගෙ රංග වින්‍යාසය තීරණය වෙන්නෙ එයාගෙ සමස්ත කෘතියට අදාල පිටස්තරභාවය ඇතුලෙ මිසක් ඒ චරිත සැබෑ යතාර්ථයත් එක්ක කරන ගණුදෙනුව උඩ නෙමෙයි.

එතකොට බර්ග්මාන්ලා, අන්ටෝනියෝනිලා, තර්කොව්ස්කිලා, රේගඩාස්ලා ගැන කතාබහ හැදෙන ලංකාවෙ මේ මනුස්සයා අත්ඇරෙන්නෙ කොහොමද?

මං දකින විදිහට ජාර්මුෂ්ගෙ මාවතේ චිත‍්‍රපටි හදලා ලංකාව වගේ රටක ඉඳන් කාන්- වැනිස් සම්මාන ගන්න අමාරුයි. ඇමරිකාවෙන් ජාර්මුෂ්ගෙ ආකෘතිය පිළිගත්තට ලංකාවෙන් ඒ විදිහෙ නාගරික එළඹුමක් පිළිගන්න යුරෝපීය කලා අධිපති මතවාදයට තාම අමාරුයි. අපෙන් ඒ අයට දකින්න  ඕන ගම.  අම්මා නංගි පවා  දූෂණය වෙන අසංස්කෘතික ගම තමයි ලංකාවෙ ප්ලොට් එක විදිහට ඒගොල්ලො බාරගෙන තියෙන්නෙ. එතනදි හු`ගක් ඈතට වෙලා බලාගෙන ඉන්න දුර රූපය පාවිච්චි කරන්න  ඕන. චරිත වල ළ`ගට යන්න හෝ ඒ චරිත වල ඒවාට සුවිශේෂී වූ ගති ස්වභාවයන් නිර්මාණය කරන නිදහස අපේ වගේ රටවලට නෑ. ඒක අපිට විතරක් නෙමෙයි ගොඩක් ආසියාතික රටවලට බලපාන ප‍්‍රශ්නයක්. උදා විදිහට නැගෙනහිර ආසියාවෙන් ඒ අය බලාපොරොත්තු වෙන්නෙ අසංස්කෘතික සමලිංගික ප‍්‍රකාශනයක් (ට්සායි මින්්ග් ලියෑන්ග් ධාරාව)

එතනදි අනෙක් පැත්තෙන් අපේ වගේ රටවල තමන්ගේ ඇත්ත ප‍්‍රකාශනයක් හෝ පැෂන් එකක් වෙනුවෙන් සිනමාව කරන පිරිස අවමයි. ඒ වෙනුවට සම්මානයක්, ඇගයීමක්, පිළිගැනීමක්, තානාන්තරයක් වෙනුවෙන් තමයි සම්භාව්‍ය සිනමාවෙ ගොඩක් අය වැඩ කරන්නෙ. එතකොට ඉල්ලූමක් තියෙන දේ සැපයීමෙන් තමන්ට අවශ්‍ය දේ උපයා ගන්න එක තමයි සරල සමීකරණය. මේකට හරියටම දෙන්න පුළුවන් ‘බෙගර්ස් සිනමා’ වගේ හැඳින්වීමක්. අපිට පව් කියලා දෙන සම්මාන මිස අපේ සෞන්දර්ය අගය කරලා දෙන සම්මාන නෑ.
එතකොට ජාර්මුෂ්ව අරගෙන මොනවා කරන්නද? ඒ වගේ අරගලකාරී ප‍්‍රවේශයක් වෙනුවට සම්මානවලට යන්න තියෙන හයිවේ එක පාවිච්චි කරන එක ලේසියි. අනිත් පැත්තට දේශපාලනික- සාමාජීය- යතාර්ථවාදී වාමාංශික කියවීමක් මුල්බැහැගෙන තියෙන රටක ජාර්මුෂ් වගේ සරියල්, ඉන්ඩිවිජුවලිස්ටික්, මොඩර්න් සිනමාවක් අභියෝගයක් වෙනවා. ඒ හින්ද මගඅරින එක හැමපැත්තෙන්ම ලේසියි.

ජාර්මුෂ් ගොඩක් වැඩ කරන්නෙ රෝඞ් මුවි කියන ජොන්රා එකත් එක්ක. ජෝන්රා එකක වැඩ කරන එක ගොඩක් සම්භාව්‍ය සිනමා කට්ටිය දකින්නෙ පීචං විදිහට. ඒත් ජාර්මුෂ් ජෝන්රා එකක් තමන්ගේ නිර්මාණශීලීත්වය සහ නිදහස වැඩි කරනවා කියලයි දකින්නෙ. ඒ රාමුව එහාට මෙහාට තල්ලූ කරමින් නිර්මාණය කිරීම ඇතුලෙ තමන්ගෙ ප‍්‍රකාශනය වඩා හොඳ ස්ථානගත කිරීමක් කරන්න පුළුවන් කියලා ජාර්මුෂ් විශ්වාස කරනවා.

මං ගොඩක් කැමති ජිම් ජාර්මුෂ් ජනප‍්‍රිය ධාරාවට එරෙහිව ජනප‍්‍රිය ධාරවත් එක්ක කරන මේ ගනුදෙනුවට. එයා ජෝන්රා ඇතුලෙ ජීවිතේ නන්නාඳුනන ඉවුරු වල සිද්දවෙන කතන්දර කියනවා වගේම ජනප‍්‍රිය නළු නිළියන් පවා ප‍්‍රධාන චරිත වලට පාවිච්චි කරනවා. උදා විදිහට එයා රොබර්ටෝ බෙනිංග්නි, ජොනී ඩෙප්, බිල් මුරේ වගේ චරිත එක්ක වැඩ කරනවා. ඒ ධාරාව අතරට තමන්ගේ ක‍්‍රම විරෝධී පන්ක් සමාජ දේශපාලන අදහස් අරගෙන යනවා.

ඔරිජිනල්ස් කරන්න ට‍්‍රයි කරන එක ගැන, නැත්තං ‘ඔතෙන්ටිසිටි’ ගැන ජාර්මුෂ් ලස්සන කතාවක් කියනවා. එයාට අනුව එහෙම ඔතෙන්ටික් කියල දෙයක් නෑ. ඒ වෙනුවට පුළුවන් හැම තැනකින්ම කොපි කරන්නයි  ඕන. ඒත් අපි කොපි කරන්න  ඕන ඇත්තටම අපේ ආත්මයට දැනෙන තැනකින්. එහෙම හොරකම් කරපුවා ගැන අපි සතුටු වෙන්න  ඕන. ඒ කොපි කිරීම ඇතුලෙන් ආයිමත් අපෙන් බිහිවෙන දේ අලූත් ආර්ට් එකක් වෙනවා. එයා මතක් කරනවා ගොඩාර්ඞ් මේ ගැන කියන කතාවකුත්. ‘මට අදාල නෑ ඔයා ඒක ගන්නෙ කොහෙන්ද කියල. මට අදාල වෙන්නෙ ඔයා ඒක ගෙනියන්නෙ කොහාටද කියන කාරණයයි’.

ජාර්මුෂ්ගෙ නිර්මාණයක් නරඹනවා කියන්නෙ හරියටම කාලෙකට පස්සෙ ළ`ගම යාලූවෙක් මුණගැහුනා වගේ අත්දැකීමක්. එයා කියවන පොත්, අහන සිංදු, නරඹන චිත‍්‍රපටි මේ ඔක්කොම එයාගෙ චිත‍්‍රපටිය ඇතුලට එනවා. ලෝකෙ ගොඩක් දේවල් ගැන රෙෆරන්ස් ගොඩක් එයා සිනමාව ඇතුලෙ ඉතුරු කරනවා. ශිෂ්ටාචාරය විසින් හැම හොඳ දෙයක්ම ඉක්මණින් විනාශ කරලා දානවා කියන මතයෙ ඉන්න නිසාම එයා මේ චිත‍්‍රපටියක් නරඹන කෙනෙක් යම් දවසක හෝ මේ රෙෆරන්ස් දිගේ හොයන්න උනන්දු වෙයි කියල එයා හිතනවා. ජාර්මුෂ්ගෙ ලෝකය දුක්මුසු- සුන්දර ලෝකයක් (සෑඞ් ඇන්ඞ් බියුටිෆුල්). එයාගෙ ආර්ට් එක වෙන්නෙ බෝර්ඩම් (කාංසාව) කියන එක. ඒ කාංසාවෙ සෞන්දර්ය විඳින්න දන්න අයට ජිම් ජාර්මුෂ් කියන්නෙ සංගීතයක්, සාහිත්‍යයක් සහ සිනමාවක්.

(ජාර්මුෂ්ගෙ ‘ඔන්ලි ලවර්ස් ලෙෆ්ට් අලයිව්’ චිත‍්‍රපටිය ගැන කතාව දෙවන කොටසක ලියන්නම්)

Friday, December 18, 2015

K-සෙරා A තරම් ලස්සනද?


‘කේ-සෙරා’ ගැන කිසිම දෙයක් නොලියාම ඉන්න මං තීරණය කළේ රූපවාහිනී නාළිකාවක් විසින් පවත්වන ලද සම්මාන උළෙලක තීන්දු තීරණ ඒ තරම් සීරියස් ගන්න  ඕනද කියල හිතුන හින්ද. අනිත් පැත්තට ජූරිය සහ සම්මාන නොලැබුණු පාර්ශ්ව කියන දෙපාර්ශ්වයෙන්ම මේ තීරණයට බලපාපු සිනමා කෘතියට බාහිර දේශපාලනයක් ඉ`ගි කෙරුණු හින්ද. ඒත් සමන් වික‍්‍රමාරච්චි විසින් නැවත රාවයට මේ සම්මාන දීම ගැන ප‍්‍රශංසා මුඛයෙන් කතා කිරීම නිසා මේ ගැන මගේ අදහස ලියන්න නැවත තීරණය කළා. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි, සිනමාව ගැන ඉතා පහළ මට්ටමේ කියවීමක් සහ විනිශ්චයක් මේ හරහා සමාජගත විය හැකි නිසා.

‘එය වනාහි කෘතහස්ත ජූරියක විචක්ෂණශීලී ගැඹුරු සිනමා කියවීමක් විසින් කරන ලද අලූත් සොයා ගැනීමක්’
කේ-සෙරා ට දීපු සම්මානය ගැන වික‍්‍රමාරච්චි කියන්නෙ එහෙමයි.

පුද්ගලික පහර ගැසීමක් නොවුණත් මට හිතෙන්නෙ සාහිත්‍යකරුවන් විසින් සිනමා කෘති ගැන විචාරය කරන්න ගියාම කෘතියට විතරක් නෙමෙයි සිනමාවටම හානි වෙන්න ඉඩ තියෙනවා කියල. වික‍්‍රමාරච්චි තමන්ගෙ විචාරයට පාදක කරගන්නෙ පත්තරේ වෙන පිටුවක ගිය රේමන්ඞ්ගෙ ඉන්ටවිව් එකක්. රේමන්ඞ් කියන කාරණා සහ පරාක‍්‍රමගෙ මේ සිනමා කෘතිය අතර සම්බන්ධය හොයන්න තරම්වත් එයා ඉස්පාසුවක් ගන්නෙ නෑ. මේ විචාරය රේමන්ඞ්ගෙ ඉන්ටවිව් එක ගැන විචාරයක් මිස පරාක‍්‍රමගේ කේ-සෙරා ගැන විචාරයක් නොවෙන්නෙ ඒ හින්ද.

‘ලිබරල් ධනවාදය තුල මරණය පවා සෞන්දර්ය වස්තුවක් ලෙස අළෙවි කළ හැකි බව මින් විදාරණය කරන අධ්‍යාපනික එළඹුමයි’ - සමන් වික‍්‍රමාරච්චි

මා විසින් නරඹන ලද කේ-සෙරා චිත‍්‍රපටියෙ මේ විදිහෙ එළඹුමක් අහල ගම් හතක වත් තිබුණෙ නෑ. මේක සමන් වික‍්‍රමරාච්චි විසින් දකින සම්පූර්ණයෙන්ම කෘතියට බාහිර මනඃකල්පිතයක්. කේ-සෙරා චිත‍්‍රපටියෙ අධ්‍යක්‍ෂ ලිබරල් ධනවාදය තබා එදිනෙදා මිනිස් ගණුදෙනුවල සාමාන්‍ය ස්වරූපය පවා අඳුරන්නෙ නැති වගක් තමයි මේ කෘතිය නරඹන කෙනෙකුට දැනෙන පොදු හැ`ගීම වෙන්නෙ.

නැවත සඳහන් කරන වග නම් මේ ලිවීම විසින් පුද්ගලිකව කිසිවෙකුව තල්ලූ කිරීම කිසිසේත්ම අරමුණු නොකරන බවයි. ඒ වෙනුවට අදාල නොවෙන කතිකාවන් සහ න්‍යායන් ඊට කොහෙත්ම සම්බන්ධයක් නැති කෘතියක් සමග ගැටගැසීමෙන් වෙන්න පුළුවන් අවුල විතරයි මෙතනදි අදාල කරගන්නෙ.

පරාක‍්‍රමගෙ ‘එකදා වැහි’ චිත‍්‍රපටය මං කලින් බලලා තියෙනවා. ඒකෙ කමල් අද්දරආරච්චි විසින් වතුර උණු කරන සාස්පානට තමන්ගෙ ලන්කට් එකද දමා උණු කරන දර්ශනය ආදී කොටස් තාමත් නැවත නැවත මතක් වෙන සුලූයි. කොයිතරම් දුර්වලතා සහිත වුණත් එකදා වැහි යම් විශිෂ්ටතා සහිත චිත‍්‍රපටියක් විදිහට ගොඩනැගෙනවා.

ඒත් මේ පරාක‍්‍රම ජයසිංහම ඊට පස්සෙ චෙරියෝ හොල්මන් කියලා එකක් කරනවා. ඊළ`ගට එයාගෙන් එලියට එන නිර්මාණය වෙන්නෙ කේ-සෙරා.

අධ්‍යක්‍ෂණයකදි චිත‍්‍රපටකරුවාගේ පරිණතබව දකින්න පුළුවන් වැදගත්ම තැනක් වෙන්නෙ රූප රාමුවෙන් රාමුවට අදාල චරිත ගොඩනැගෙන රිද්මයයි. ඒ වගේම ඒවා එකිනෙක ෙඡ්දනය වෙමින් අර්ථ (භාව) ගොඩනැංවෙන රිද්මයයි. මේක රිදම් කියන එකට වඩා බී‍්‍රතින්ග් කියන එකෙන් තේරුම් ගන්න පුළුවන්. ඒත් කෘතියක මේ හුස්ම වැටෙන වේගය නොතේරුම් ලෙස පාවිච්චි වෙනවා කියන්නෙ සිනමාකරුවෙක් හැටියට ඒ නිර්මාණකරුවා යම් අපරිණත බවක් දක්වනවා කියන එකයි. නවකතාවකට වඩා චිත‍්‍රපටියකදි බොරු කරන්න අමාරු වෙන්නෙ මෙන්න මේ විදිහෙ කර්තෘ එලිදරව්වෙන තැන් වහන්න අමාරු වෙන හින්දයි. සිනමා භාෂාව ලිඛිත භාෂාව හැසිරවීමට වඩා සංකීර්ණ කාරණයක්. මම නැවත වික‍්‍රමාරච්චිට යෝජනා කරන්නෙ කේ-සෙරා චිත‍්‍රපටියෙ රූප රාමු එකින් එක අරගෙන කියවන්න. රූප රාමු අතර කතාවට (ඉන්ටර්ටෙක්ස්චුවල් තැනකට) යන්න කලින් රූප රාමු වලින් එලිපිට කියවෙන කතාව දිහා බලන්න. අටහමාරෙ ටෙලි නාට්‍යයකට වඩා මේ රූපමය භාෂාවෙ තියෙන වෙනස පැහැදිලි කරන්න.

කේ-සෙරා චිත‍්‍රපටියෙ මේ හුස්ම වැටෙන රිද්මය අන්තිම අවුල්. චරිතවල ප‍්‍රකාශනය සහ රංගන පරාසය අතිශය පැතලියි. කොටින්ම කේ සෙරාට වඩා කෝපි කඬේ ටෙලියෙ මේ සමෝධානය ප‍්‍රාථමික වුණත් හොඳ මට්ටමක තියෙනවා. ඉංග‍්‍රීසියෙන් සහ සිංහලෙන් දෙපාර දෙපාර දෙබස් කියන්න යන එකෙන් මේ කෘතිම බව තවත් තීව්ර කරනවා.

කේ-සෙරා චිත‍්‍රපටිය ගොඩනැගෙන්නෙ සිංදු කියන හොල්මනක් වටා. හැම කාරණයක්ම මරණයෙන් මතු මේ පැවැත්ම ගැන කියන බොළඳ කතා මත ගොඩනැගෙද්දි එකපාරට මැද්දෙන් තොවිල් කවියක් විතරක් කලාව ගැන විචාරයකට පනිනවා. ඒක සමන් වික‍්‍රමාරච්චි දකින්නෙ නම් මාර වැඩක් විදිහට. ඒත් සිනමාත්මකව ඒක අතිශය බාල උත්සාහයක් විදිහටයි සටහන් වෙලා තියෙන්නෙ.

නිර්මාණකරුවාගේ නොදැනුවත්කම වගේම කෘතියේ බාලකම හොඳින්ම ඉස්මතු වෙන තැනක් වෙන්නෙ සිංගර් වෙළඳ දැන්වීමක් කෘතියට අඩංගු වෙන තැනින්. ඇත්තටම ඒක බලන් ඉඳිද්දි ලැජ්ජාවට ඇෙ`ග් හිරිගඩු පිපෙන ගානයි. හඳගම ආදී පිරිස මේ චිත‍්‍රපටය හත්අට සැරයක් බැලූවා කියද්දි මට පුදුම හිතෙන්නෙ ඒ නිසයි.

චිත‍්‍රපටියක් ඇතුලට වෙළඳ දැන්වීමක් වද්දා නොගත යුතුයි කියන පරණ අදහසින් නෙමෙයි මං මේ කාරණය මතු කරන්නෙ. උදා විදිහට චෙන්නායි එක්ස්ප‍්‍රස් චිත‍්‍රපටියෙ ‘නොකියා’ ෆෝන් ගැන දැන්වීම් ගැටගහලා තියෙන ආකාරය අතිශය නිර්මාණශීලීයි. ඒත් පරාක‍්‍රම මේ දැන්වීම තමන්ගෙ චිත‍්‍රපටියට අඩංගු කරන්නෙ මුලූ කෘතියම අන්තිම බාල තැනකට ඇද දමමින්.

අධ්‍යක්‍ෂකයෙක් විදිහට සිද්ධියක් ගොඩනැගීමේ කාල-අවකාශ පරතරයන් තේරුම් ගැනීම අතින් පරාක‍්‍රම ජයසිංහ මේ චිත‍්‍රපටියෙදි වයිඑම්බීඒ නාට්ටි ගාණට වැටෙනවා. ඒ වගේම එක් සිදුවීමකින් අනෙක් සිදුවීමට චිත‍්‍රපටය තුල සාම්‍යයක් ගොඩනගා ගැනීමට චිත‍්‍රපටකරුවා අසමත් වෙනවා. සම්මානයකට පවා පාත‍්‍ර වුණු දමිත් ෆොන්සේකාගෙ දර්ශනය වුණත් කොයිතරම් විහිළුකාරද? ගෝඞ් ෆාදර් චිත‍්‍රපටියෙ දොන් විටෝ කොර්ලියොනි වගේ එකක් නිර්මාණය කරන්න ගිහින් කෘතිය එක්ක කිසියම්ම හෝ නෑකමක් හදා ගන්න බැරි තැනක (ආඛ්‍යානමය) ඒ අහම්බ දර්ශනය වෙන කොහෙන්ද එල්ලලා වගේ තියෙනවා. මේ විදිහට චිත‍්‍රපටිය පුරාම සිදුවීමෙන් සිදුවීමට නැරටිව් ස්ට‍්‍රක්චර් එක එක අතට පනිනවා. ඒක දැනුවත්ව සිද්ද වෙච්ච දෙයක් නොවෙන හින්දම බලන් ඉන්න අය අන්දමන්ද වෙනවා.

චිත‍්‍රපටියෙ නළු නිළියො කිසිවක් කරකියා ගන්න බැරුව එක තැන කරකැවෙනවා. විශේෂයෙන්ම හොඳම සහාය නළුවා සම්මානය දීපු චරිතය කිසිම හැ`ගීමක් දැනීමක් දනවන්න අසමත් විකාරයක් බවට පත්වෙනවා.

සම්මානයක් දිය යුතුවම තිබුණා නම් මේ චිත‍්‍රපටයට සාපේක්ෂව එතන තවත් බොහෝ චිත‍්‍රපට තිබුණු බවයි මගේ හැ`ගීම. තණ්හා රතී රගා චිත‍්‍රපටිය ගැන මට කොයිතරම් ප‍්‍රශ්න තිබුණත් කවුරුන් හෝ ඒ චිත‍්‍රපටියෙ සාධනීයතා ගැන කියනවා නම් ඒක ‘විය හැකියි’ කියල බාර ගන්න මට පුළුවන්. ඒ කෘතියක් ගැන විවිධ අයට විවිධ වූ මතිමතාන්තර තිබිය හැකි නිසා. තණ්හා රතී රගා පැත්තකින් තිබුණත් සැමීගේ කතාව වුණත් ගොඩනැගීම අතින් (පරණ ආකෘතියක වුණත්) මීට වඩා පරිණතබවක් මතු කරලා තිබුණ.

කේ-සෙරා චිත‍්‍රපටය හොඳ චිත‍්‍රපටියක් කියල කියද්දි මාව තිගැස්සෙන්නෙ හරියටම මහින්ද රාජපක්ෂ හොඳයි කියල කෙනෙක් කියනකොට වගේමයි. ඒ මහින්දගෙ දේශපාලනය සමග මගේ ඇති මතවාදිමය වෙනස්කම් නිසා නෙමෙයි. ‘මහින්ද’ කියන්නෙ දේශපාලනික මතවාදිමය තලයක් ගැන කතා කරන්න බැරි තරමට දාමරිකකම, මෝඩකම, පාදඩකම, දූෂිතකම ආදිය එකතු වුණු ලොකු බංකොලොත්කමක්. කේ-සෙරා චිත‍්‍රපටයේ විශිෂ්ටතා දැකිය හැකි සිනමාකරුවන්, විචාරකයන් ගැනත් මට ඇතිවෙන්නෙ ඊට සමාන තිගැස්මක්.

ඒ සෞන්දර්යාත්මක කාරණා ගැන කතා කරන්නවත් ඉඩක් නැති විදිහට චිත‍්‍රපටිය මුල ඉඳන් අගටම බංකොලොත් නිසයි. එහෙම සංවාදයක් පවා ගොඩනැගිය නොහැකි තැනක පිහිටන නිසයි. සිනමාවේ වඩාත් ගැඹුරු සෞන්දර්යාත්මක ප‍්‍රවේශයන් කරා එළඹෙන්නට ඇති ඉඩකඩ අවුරා දමමින් රජ කතා බණකතාම නොවුණත් ඒ සිනමාවට සමාන්තර වූ පැතලි සිනමා කතිකාවක් නැවත ආරම්භ කරන නිසයි.

ඬේවිඞ් ලීන්ගේ උපුටනයක් කියූ පමණින් සිනමාව ගැන සෑහෙන දැනුමැත්තෙක් බවට පරාක‍්‍රම පත්කරන්නට වික‍්‍රමාරච්චි ඉක්මන් වෙනවා. මේක ටිකක් අර්බුදකාරී තැනක්. කෙනෙකුට පුළුවන් ලෝකෙ චිත‍්‍රපටි ඔක්කොම වුණත් නරඹන්න. ඒත් ඒ නැරඹීම ඇතුලෙ ඔහු විසින් කරන කියවීම ගැන කිසි කෙනෙකුට තක්සේරුවක් දෙන්න බෑ. සිනමාව පිළිබඳ පුළුල් දැනුමක් ඇතැයි අපි හිතන සමහර අය වුණත් චිත‍්‍රපට ගැන තමන්ගේ කියවීම කරන මට්ටම දැක්කම අපිට පුදුම හිතෙන්නෙ ඒකයි.

‘දුර්වල පිටපතකින් වුණත් සාර්ථක නිර්මාණයක් කිරීමට හැකි වීම’ වගේ කාරණයක් කේ-සෙරා ඇගයීමට හේතුවක් වුණා කියල හඳගමත් තැනක කියල තිබුණ. ඒත් මේ චිත‍්‍රපටියෙ කතාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්‍ෂණය කියන හැමදෙයක්ම කෙරෙන්නෙ පරාක‍්‍රම අතින්. එතකොට අසාර්ථක පිටපතකින් අසාර්ථක කෘතියක් නිර්මාණය කිරීමේ සම්පූර්ණ වගකීමයි එයාට පැවරෙන්න  ඕන.

පරාක‍්‍රමගෙ චෙරියෝ හොල්මන් වගේම කේ-සෙරා චිත‍්‍රපටියක් විදිහට හෝල්වල ප‍්‍රදර්ශනයෙ නෙමෙයි මේ ප‍්‍රශ්නෙ තියෙන්නෙ. ඒ අධ්‍යක්‍ෂවරයා තමන් විශ්වාස කරන හෝ ආශා කරන සිනමාව කරනවා වෙන්න පුළුවන්. ඒත් මේකට අනවශ්‍ය සම්භාව්‍යකරණයක් දෙන තැනයි මේ විකෘතිය පටන් ගන්නෙ. මං කියන්නෙ කේ-සෙරාට මල්වඩම් අනවශ්‍යයි කියලයි.

කෙසේ වුවත් මේ චිත‍්‍රපටය නැවත ප‍්‍රදර්ශනය කොට මේ පිළිබඳ විවෘත කතිකාවක් ගොඩනැගීම සිනමාව පැත්තෙන් ප‍්‍රතිඵලදායී වගේම මේ මොහොතේ සිදු විය යුත්තක්. එහිදී දෙරණ සම්මානය සහ ජූරිය මත වගේම තණ්හා රතී රගා මත එල්ලෙන්නේ නැතිව සමන් වික‍්‍රමාරච්චි වැනි තවත් මේ සිනමාවේ සෞන්දර්ය දකින පිරිස් එක්කර ගැනීමටත් සිනමා කෘතියක විශිෂ්ටතා කෙබඳු විය යුතුද යන්න ගැන සාකච්ඡුා කිරීමටත් පුළුවන් වේවි.

චින්තන ධර්මදාස