Saturday, December 10, 2011

පෙරුම්පිරුවෙ මං සමනලයෙක් වෙන්න - සිද්ද වුණේ මට යුද සෙබලෙක් වෙන්න..


රියා අද්මිරාල් සරත් වීරසේකරගෙ පළවෙනි චිත‍්‍රපටිය ‘ගාමණී’ බලන්න ෆිල්ම්හෝල් එකකට යන්න මට හිත හදා ගන්නම බැරි වුණා. රියා අද්මිරාල් කෙනෙක් චිත‍්‍රපටි අධ්‍යක්‍ෂවරයෙක් විදිහට ගනිද්දිම නිකං ‘ප්‍රොපගැන්ඩා’ වැඩක් කියන එක ඔලූවට එන්නෙ නිකංම. ලෝකෙ පළවෙනි වතාවට ලංකාවෙ රියා අද්මිරාල්වරයෙක් වෘත්තාන්ත චිත‍්‍රපටි අධ්‍යක්‍ෂවරයෙක් වෙනවා. ඇයි සරත් වීරසේකරට හමුදා ඇඳුම ගලවලා චිත‍්‍රපටිය හදන්න බැරි වෙන්නෙ? (නිකංම සරත් වීරසේකර විදිහට*

චිත‍්‍රපටිය හැදිච්ච පසුබිම ගැන ගොඩක් කතා මං අහලා තිබුණ. ඒවා  ඕපා¥ප. එයින් එකක හැටියට මේ චිත‍්‍රපටියෙ පිටපත පවා ගෙනිහින් නළුවන්ට දීලා තිබුණෙ හමුදාවෙ කට්ටිය. හමුදාවෙන් චිත‍්‍රපටියක පිටපතක් අරන් ඇවිත් ර`ගපානවද, නැද්ද කියල අහනකොටම දැනෙන අපහසුතාවය නිසා එක නළුවෙක් චරිතෙ ප‍්‍රතික්‍ෂේප කළාලූ. අනිත් නළුවො ඒක හින්දම ර`ගපාන්න ආවලූ.

සරත් වීරසේකරගෙ එළඹුමම හරියට ‘ස්පූෆ්’ :ිචදදෙ* එකක් වගේ. යුද්දෙ සම්බන්ධව හමුදාවට විරුද්ධ යැයි කියන විදිහෙ චිත‍්‍රපටිවල ර`ගපාපු නළුනිළියන්වම ඒ චිත‍්‍රපටිවල හඳුන්වාදුන් චරිත ආශ‍්‍රිතවම යොදාගෙන හමුදාවට පක්ෂපාතී කතාවක් කීම. එතනින්ම සරත් වීරසේකර පටන් ගන්නෙ විමුක්ති, හඳගම වගේ අයට දෙවෙනි තැනකින්. කියන්න වෙන අලූත් කතාවක් සරත් වීරසේකරට නෑ. තියෙන්නෙ විමුක්තිලා හඳගමලා කරපු කතා නිවැරදි කරන්න විතරයි.

මේ ඔක්කොම පලහිලවු නිසා මට ගාමණී බලන්න යන්න එපා වුණා.

ඒත් මෑතකදි, උසාවි තීන්දුව ගන්න ඔන්න මෙන්න තියෙද්දි මට ගාමණී කොපියක් පිටකොටුවෙන් හම්බුණා. ඒක නිසා මං හවසක ඉඳගෙන ගාමණී බැලූවා. (ගරු අධිකරණ තීන්දු ගරු කරන පුරවැසියෙක් වශයෙන් මා පසුව ඒ කොපිය විනාශ කර දැමුවෙමි*

ගාමණී කතා සාරාංශය මෙහෙමයි. රියා අද්මිරාල් සරත් වීරසේකරගෙ කතාව මං දැක්ක හැටි.

කොටි කියල හතරපස් දෙනෙක් පොඩි  රා මඩුවක් වගේ තැනක හිඳ වරින් වර ගමක මිනිසුන් කපා කොටා මරා දමමින් සිටී. ඒ ගම අමුතු ගමකි. බ්‍රොයිලර් කුකුල්ලූ වගේ කිසි ජීවිතයක් නැතිව අලූත් ඇඳුම් ඇඳගෙන කයිය ගහමින් ඉන්න ඒ ගම්මුන්ට සිද්ද වෙන එකම වැදගත් දේ කොටි පහරදීම පමණකි. කොටි පහර දීම කොයිතරම් බිහිසුණුද ඒ තරමට හාස්‍යජනකය. කඩු ඔසවාගෙන එන කොටි ගම්මුන් කපා කොටා දැමීම රූ ගත කර තිබෙන්නේ පන්සලේ අපායේ යමපල්ලන් වගේය. හමුදාවෙ කෙනෙක් වෙලත් මේ වගේ සමූහ ඝාතනයක් පිළිබඳ තියෙන රෝයිද සිල්වා වර්ගයේ රූපය ගැන මට හිතුණේ දුකකි. විස්තර පස්සට තියල මං සාරාංශය කියල ඉන්නං.

එකවර ගමම කපා කොටා දැමූ බිහිසුණු සිද්දියකට පසු යාබද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකුට ඒ ගමේ අලූත් ගුරුවරියගෙන් ඒ ගැන බැණුම් අහන්නට සිදුවෙයි. ඒ ගුරුවරිය හිස්ටීරියාවෙන් පෙලෙන්නියක් බව පැහැදිලිව පෙනේ. ඇගේ පියා නාවුක හමුදාවේ උසස් නිලධාරියෙකි. ඇය හමුදා නිලධාරියාගේ අවධානය ගැනීමට සහ ඇගේ උවමනාව පළකිරීම කරන්නේ ගමේ ආරක්‍ෂාව හරහාය. ඇය හමුදා නිලධාරියා ගැන පුද්ගලික විස්තර සොයා ගන්නේ සහ ඔහු ලූහුබැඳ යන්නේ ‘ගමට ආදරය’ නිසා යැයි කිව්වත් බලා ඉන්නා අයට දැනෙන්නේ වෙන එකකි. ටයිටැනික් නැව පෙරලූණේ ජැක් සහ රෝස්ගේ ආදරය නිසා යැයි කැමරන් කියන්නා වාගේම සරත් වීරසේකර කියන්නේ ගෝනගල ගමේ සිවිල් ආරක්‍ෂක බලකාය හැදුනේ හිස්ටීරියාවෙන් පෙලෙන ගුරුවරියක් සහ දුර්වල හමුදා නිලධාරියෙකුගේ ආදරය නිසා කියාය. ගාමණී පුරාම කියවෙන වැදගත්ම කරුණ හැටියෙන් මට පෙණුනේද එයයි. ජාත්‍යාලය හෝ වෙන මොනයම් එකක් හෝ කියාගෙන ඉදිරියට එන මානසිකත්වය පිටුපස ඇති ලිංගික උවමනාව (ලිංගික ඊර්ශ්‍යාව සමාජවාදී විප්ලවය බවට පෙරලෙන්නා වගේම* සරත් වීරසේකර පැහැදිලිව දැකීමයි. උදාහරණයක් විදිහට ගමට එන දෙමළ පවුලක් ආරක්‍ෂා කිරීමට මහේන්ද්‍ර (ග‍්‍රාමාරක්‍ෂකයා* උනන්දු වෙන්නේ ඒ පවුලේ තරුණ කෙල්ල ගැන ඇල්ම නිසාය.

මේ ආදරය වටා ගමේ පන්සලේ හාමුදුරුවො, වෙදෙකුගේ අංගම් පුතෙක්, ඉස්කෝලෙ සිංහල ගුරු, ගමේ කෙල්ලො පස්සෙ කරක් ගහපු කොල්ලො ටික පෙළගැසීමෙන් අර රා පොලක් වගේ තියෙන කොටි කෑම්ප් එක විනාශ කර ගම රැුකගන්නට ඔවුන්ට පුළුවන් වෙයි. පසුව ගුරුවරිය මුලින් ගමේ ආරක්‍ෂාව ගැන කළ චෝදනාවට මූණ කෙලින් තියාගෙන පිලිතුරු දෙන්නට හමුදා නිලධාරියාට පුළුවන් වෙයි. ගාමණී කියන්නෙ ගමේ ආරක්‍ෂාවයි ඒ දෙන්නගේ ආදරෙයි.

ප‍්‍රශ්නෙ තියෙන්නෙ මේකෙ ‘ඇසින් දුටුවන්ගෙ හෘදය සාක්ෂිය’ කියල ගහල තියෙන එක. මේක මේ ගම්දනවු ගැන, ජීවිත ගැන යතාර්ථය විදිහට පෙන්නන්න උත්සාහ කරන එක සහ ඒක ඒ විදිහටම අපේ නූගත් පේ‍්‍රක්‍ෂකයා බාර ගන්න එක. චිත‍්‍රපටියෙ ඇතුලෙමත් ‘සමහරු යුද්දෙ ගැන චිත‍්‍රපටි හදන්නෙ ප‍්‍රංශෙ ඉඳන්’ කියල කියන එක. ඒ වගේම මේ කියන විදිහෙ දේශපාලනික, යතාර්ථවාදී කතාවක් ගාමණී වල නැති එක.

ගාමණී කියන්නෙ යුද්දෙ අළලා කරපු කොමර්ෂල් ෆිල්ම් එකක්. ඒකෙන් හඳගමලා, විමුක්තිලා කියන මායිම් ගම්මාන ගැන කතාව වෙනස් කරනවා නෙමෙයි. ඒ කතාව තවත් තහවුරු කරනවා. සරත් වීරසේකර කියන විදිහටත් මේ ගමේ හැමතැනම තියෙන්නෙ කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ආදර පැටළිලි (ලිංගික කාරණය එයා වහන් කරනවා*. හැම දෙයක්ම මේ ගමේ කොල්ලන්ට පේ්න්නෙ වල් විදිහට. ‘මුන් එක්ක ඉඳලා හමුදාවත් වල් වෙනවා’ කියල සාජන්ට් කෙනෙක් චිත‍්‍රපටිය ඇතුලෙ නිතරම කියනව. සරත් වීරසේකරට පේන්නෙත් මේ මනක්කල්පිත ගම ‘වල්’ විදිහටම තමයි. ඒත් එයා ඒක නොපෙන්නා ඉන්න උත්සාහ කරනවා. එයා කියන්නෙ, ගම වල් තමයි, ඒත් හමුදාව ඇවිත් මේ ගම ශිෂ්ට කළානෙ කියල. ඒ ශිෂ්ට කිරීම කරන්නෙ සිවිල් ආරක්‍ෂක බලකාය හරහා. ගමේ හාමුදුරුවො, වෙද මහත්තයා, ගුරුවරිය එකතුවෙලා කරන මේ ගම ශිෂ්ට කිරීමේ ව්‍යාපෘතියට සරත් වීරසේකර හමුදා නිලධාරියාවත් එකතු කරනවා. (ස`ග වෙද ගුරු ගොවි සහ යුහ*

සරත් දකින ගමේ තියෙන්නෙ හරිම නාගරික සම්බන්ධතා රටාවක්. ඒවා මායිම් ගමක තියා සාමාන්‍ය ගමක වත් නැති තරම් නාගරිකයි. මටසිළුටුයි. මෙගා නාට්‍යයක වගේ සුපැහැදිලියි. ඒ අය නිතර අඳින්නෙ අලූත්ම ඇඳුම් පැළඳුම්. ගෙවල් වල පාවිච්චි කරන්නෙ අලූත් බඩුමුට්ටු. කතාබහ කරන්නෙ හොඳම සිංහලෙන්. යුද්දෙත් එක්ක මායිම් ගම්මාන වල ගත කරපු හමුදා නිලධාරියෙක් විදිහට සරත් වීරසේකර ‘ගම’ දකින්නෙ කොළඹ අපි දකිනවටත් වඩා රොමැන්ටික් විදිහට. ඒ ගමේ මිනිස්සුන්ගෙ ඇත්ත ජීවිත ගැන මේ සරත් කිසි දෙයක් දන්නෙ නෑ. ඒ ගමේ මිනිස්සු හිනාවෙන හැටි, අ`ඩන හැටි එයා දැකලා නෑ. ඉබේ පහල වුණු මධ්‍යම පාංතික සම්බන්ධතා රටාවක් ඇතුලෙ මේ ගම්මු මොකුත් නොකර පල් වෙවී ඉන්නවා. මේ ගමට සිංහල ජාතියේ අභිමානය දනවන්න සරත් පාවිච්චි කරන්නෙ සැළලිහිණි සංදේශය. ඒක ශෘංගාර කාව්‍යයක්. ඒ වගේම ගුත්තිලයෙ තිසර තන ගැන කියන කවි විශේෂයෙන් සිංහල ගුරුතුමා නැවත නැවත අවධාරණය කරන්නෙ සාහිත්‍යමය ලිංගික ප‍්‍රමෝදයකින් පිනායමින්. ඒ චිත‍්‍රපටියෙ හැටියට තිසර තන කියල ගුත්තිලයෙ යොදන්නෙ හංසයා දියෙන් කිරි වෙන් කරනවා වගේ තනයත් ලෙයින් කිරි වෙන් කරන නිසාලූ. අනේ පව්.. චෝල පාණ්ඩ්‍ය එලවපු කතාවක් වරින් වර කටපාඩමින් වගේ හමුදුරුවො හරි ගුරුවරිය හරි (එකම කතාව* කියනවා කිසි තේරුමක් නැතුව. මහේන්ද්‍ර අන්තිමට තමන් ආදරය කරන දෙමළ තරුණිය වෙනුවෙන් වීරත්වය පෑමෙන් දරුණු විදිහට තුවාල වෙලා අරන් යද්දි ජාතිකාභිමානය  ගැන දිග විස්තරයක් දෙමළ දැරියකට කරනව. ඒ දැරියට සිංහල තේරෙන්නෙත් නෑ. (තේරුමක් නැති ජාතිකත්වය*

ඒ වගේම රටේ යුද්දෙ කෙරුණු විදිහ ගැන තියුණු හාස්‍යයක් චිත‍්‍රපටියෙ තියෙනව.

එක තැනකදි අල්ලපු ගමේ හමුදා කඳවුර භාර නිලධාරියා කියනවා ‘දැන් අපි  ඕඩර්ස් එනකල් ඉන්නෙ නෑ. ඒවා අපි ගෙන්න ගන්නවා’ කියල. මේ කියන්නෙ යුද්දෙ සැලසුම් කොළඹින් හෝ විධිමත් හමුදා පරිපාලනයක් යටතේ නොවී ප‍්‍රාදේශීයව තනි තනි නිලධාරීන් විසින් සකසා ගත් වගක්ද? ඒ වගේම තවත් තැනකදී දෙමළ පවුල් ඉතිරි කරන්න හොඳ නෑ කියල කේන්තියෙන් කියන ග‍්‍රාමාරක්‍ෂකයාටම ඊට කීප දවසකට පස්සෙ ඒ පවුල පරිස්සමෙන් අරන් යන්න බාර කරනවා. සම්සතයක විදිහට චිත‍්‍රපටිය පුරා යුද්දෙ ගැන දැනවෙන්නෙ විධිමත් බුද්ධිමත් විදිහට සංවිධානය වුණු රටක යුද්දයකට වඩා අසංවිධානාත්මක ‘ගං යුද්දයක්’ වගේ දෙයක් ගැන කතාවක්.
සමහරු යුද්දෙ ගැන ලිපි ලියන්නෙ කොම්පඤ්ඤවීදියෙ ඉඳන් කියල ඩබ් ජයසිරි හාමුදුරුවන්ට ඇඳලා කිව්වට මේ චිත‍්‍රපටියෙ මායිම් ගම්මාන චරිත ඔක්කොම හැසිරෙන්නෙ කොළඹ. (ර`ගපාන අය ඔක්කොමත් කොළඹ* අධ්‍යක්‍ෂවරයාට මේ ජීවිත රටාව ගැන සැලසුමක් හෝ දැක්මක් නොතිබුණු නිසාම ඒ චරිත වලට ගමේ ජීවිතමය තත්වයන් හා භාෂාමය තත්වයන් දෙකම අහිමි වෙනවා. ඒ චරිත කොහෙන් හරි ගෙනල්ලා හිටවලා වගේ. මේ හින්දම කිසිම නළුවෙකුට නිළියෙකුට රගපාගන්න බැරි වෙනවා. කිසි හේතුවක් නොදැනෙන ආවේග සහ හැරිලා බැලීම් විතරක් එක්ක චරිතෙ ඇදගෙන යනවා මිස ඒ චරිතෙ ආශාවන්, හැ`ගීම් එක්ක බද්ධ වෙන්න පුළුවන් පිටපතක් තිබිල නෑ. මේ නිසා චිත‍්‍රපටිය ඇතුලෙ කවුරු මැරුවත්, කැපුවත් ඒක බලන් ඉන්න අපිට දැනෙන්නෙ නෑ. ඒ අය ජීවිත නැති චරිත විදිහටමයි ලියවිලා තියෙන්නෙ.

තමන් විෂය විදිහට ගන්න කලාපය ගැනම නොදැනුම චිත‍්‍රපටිය පුරාම දැනෙන බංකොලොත්කමක්. පැණි බූන්දි ගේන්න ගිය අතරදි  පොඩි පුතා කපලා මරපු නිසා පිස්සු හැදෙන තාත්තා හරියට වෙසක් නාට්‍යයක වගේ. පිස්සා වුණත් හරියටම කැමරා පොසිෂන් එකට එනවා. ඇවිත් දෙබස කියනවා.
මිනී පෙට්ටි ගොඩක් එකපාර වළලනවා වගේ සංකීර්ණ දර්ශන (ප‍්‍රවෘත්ති වර්ගයේ* සරත් වීරසේකර අතින් හොඳටම නිර්මාණය වෙනවා. ඒත් හැ`ගීමක් පලකරන එක රූප රාමුවක් වත්, ඒ ජීවිතේක පොඩි තැනක් වත් අරගෙන දනවන්න එයාට බැරි වෙනවා. මේ චරිත පුරා දැනෙන ව්‍යාජය ‘ඇසින් දුටුවන්ගෙ හෘදය සාක්ෂිය’ බාල කරනවා.

චිත‍්‍රපටියෙ ප‍්‍රධාන විදිහට මතු කරලා ගන්න ගමෙන් පිට චරිත කීපය ඇරුණම මේ ගම ගැන දැනෙන චිත‍්‍රය මොකක්ද? ජීවිතයක් නැති, අදහසක්, ශික්‍ෂණයක් නැති (වල්* ගමක රංචුවක් ගැන හැ`ගීමක් විතරයි. හඳගමලා විමුක්තිලා ගම විදිහට ගේන දේ හැ`ගීමත් මේකට වෙනස් නෑ. සරත් වීරසේකර ඒ පරාරෝපණය, නන්නත්තාරකම වෙන විදිහකට කියනවා විතරයි.
චිත‍්‍රපටිය ඇතුලෙ ඩබ්.ජයසිරිගෙ ර`ගපෑම හරි විශේෂයි. ජයසිරිට කරන්න වෙලා තියෙන චරිතයේ ව්‍යාජය ජයසිරි ඇතුලෙම කැරලි ගහනවා. නළුවෙක් හෝ නිළියකගෙ රංගනයේ ඇත්ත ගැන ගොඩක් වෙලාවට එයාගෙ හ`ඩ සහ ඇසිපිය හෙලන වේගය වගේ දේවල් පේ‍්‍රක්‍ෂකයාට කියනව. ජයසිරි දන්නවා මේ හාමුදුරුවන්ගෙ චරිතය ගැන ඇත්තට. එයා ඒ ඇත්ත සහ සරත් වීරසේකරගෙ කාඞ්බෝඞ් එක අතරෙ කරන දැනුවත් අභ්‍යාසය ඇත්තටම ප‍්‍රශංසනීයයි. එයා චරිතෙට ගේන්නෙ ‘ග‍්‍රැෆික්’ (2ඞී කියල කියමු* ගතියක්. දෙබස් ‘එකම ටෝන්’ එකකින් අස්වාභාවික තාලෙකට කියාගෙන යනවා. හිටිහැටියෙ අසහනකාරී විදිහට කකුල් වනනවා. නළුවෙකුට තමන්ගෙ නළුකම ඇතුලෙ ප‍්‍රතිවිරෝධයන් මතු කරන්න පුළුවන් අතිසියුම් විධි ගැන ජයසිරි චිත‍්‍රපටිය පුරාම හෙලිකරන්නෙ තමන්ගෙ රංගනයේ පරිණතකම ප‍්‍රදර්ශනය කරමින්.

සරත් වීරසේකර චිත‍්‍රපටියට එක එක තැනින් අමුඅමුවෙ කෑලි කොපි කරනවා. අංගම්පොරකාරයගෙ කතාවම  ද`ඩුබස්නාමානෙන් ගලවලා ගත්ත එකක්. ඒ කෑලි එනකොට කේමදාස මාස්ටර්ගෙ කෝල්මුර කවිත් පොඞ්ඩක් වෙනස් කරල කියනවා ඇහෙනව.

මේ විදිහට චිත‍්‍රපටිය බලාගෙන යද්දි චිත‍්‍රපටියට බාහිර ඇත්තක් මට මුණගැහුණ. ඇත්තටම යුද්ද කරපු, මායිම් ගම්මාන වල ජීවත් වුණු හමුදා නිලධාරීන්ට ඒ වටපිටාව සහ ජීවිත හරියට නොපෙණුනේ ඇයි? අඩුම තරමෙ ප‍්‍රංශෙ ඉඳන් කරන චිත‍්‍රපටියක් තරම්වත් ළ`ගට ඒ අයට යන්න බැරි වෙන්නෙ ඇයි?

ගාමණී කරද්දි සරත් වීරසේකරගෙන් එලියට එන්නෙ මායිම් ගම්මාන ගැන ඇත්තක් නෙමෙයි. සිනමාව ගැන පරිණත හැදෑරීමක් හෝ අත්දැකීමක් නැති සරත් ආස කරන ෆිල්ම් කෑලි ගැන ඇත්තක්. දිල්හානි කවි කියල දෙන විදිහ, කොටි එක්ක සටන් කරන විදිහ, සමස්තයක් හැටියටම චරිත හැසිරෙන විදිහ තීරණය වෙලා තියෙන්නෙ සරත් වීරසේකර කියනවා වගේ ඇසින් දුටු හෘදය සාක්ෂියක් උඩ නෙමෙයි. එයාට නොදැනුවත්වම එයාගෙ හිතේ ගොඩගැහිලා තියෙන එයා අසූ ගණන් වල ලංකාවෙ දැකපු රූප රාමු පෙලක් උඩ. දොස්තරලා සිංදු කියන්න ගියාම, ඉංජිනේරුවො කවි ලියන්න ගියාම වෙන අවුලම හමුදා නිලධාරියෙක් චිත‍්‍රපටියක් කරන්න ගියාමත් වෙනවා.

අපි චිත‍්‍රපටියක් කරලා ඒක ලොකු තිරයක් උඩ ප‍්‍රක්‍ෂේපණය කරද්දි අපි කියන්න හදන කතාව වගේම අපි නොකියන කතාවකුත් ඒ තිරය උඩ තියෙනවා. ඒ අපිට ලෝකෙ පේන හැටි ගැන කතාවක්. අපි හෙලි නොකරන අපේ ආශාවන් ගැන කතාවක්.

යුද්ද කරපු හමුදා නිලධාරියෙකුට චිත‍්‍රපටියක් කරන්න හදිසියේ ආසාවක් එනවා. මේක ලංකාවෙ උතුරෙ යුද්දෙ දිනපු නිසා රටේ ආර්ථිකය, සංස්කෘතිය, හැමදේම ඒ අයට කරන්න පුළුවන් කියල හිතපු ලාංකේය සිතුවිල්ලෙම ප‍්‍රවර්ගයක්. ඒක නිසා හමුදා භාෂාවෙන් ටැග් ලයින් එකක් ඇවිත් ඇතුලෙ ටික පොඩි කාලෙ ඉඳන් චිත‍්‍රපටි කියල ඔලූව ඇතුලෙ තියා ගත්ත රූප වැලක් උඩට ඇලවෙනවා. යුද්දෙ ගැන සරත් වීරසේකරට කියන්න තියෙන්නෙ අනිත් හැමෝටමත් වඩා විචිත‍්‍ර කතාවක්. සිංදු කියන ටීචර් ලා සහ යුද්ද කරන සමනල්ලූ ගැන කතාවක්. දෙමළ කෙල්ලන් සහ සිංහල ග‍්‍රාමාරක්‍ෂකයන් අතර ආදරය ගැන කතාවක්. මේ ඔක්කොම තනි රොමැන්ටික් හීනයක්. චිත‍්‍රපටිය කියන කලාපෙට ඇතුල් වෙද්දි සරත් වීරසේකරගෙ ඇත්ත හමුදා ජීවිතය නොපෙනී යන්න පටන් ගන්නවා. යතාර්ථය ගැන එයා කියන්න යන කතාව කොමඩියක් විදිහට කෙලවර වෙනවා.
දැන් මං ටැග් ලයින් එක සහ රියා අද්මිරාල් කෑල්ල අයින් කරලා ගාමණී දිහා බලනවා.

යුද්දෙන් පස්සෙ යුද්දෙ ගැන කරපු ‘ලගාන්’ ‘චක්දේ’ වගේ කොමර්ෂල් ෆිල්ම් එකක්. මේකෙ ටීම් එක තමයි සිවිල් ආරක්‍ෂක බලකාය.

චිත‍්‍රපටිය පුරාම ගලා යන හොඳ හාස්‍යයක් සහ කෘතිම විදිහට හෝ මතු කරන භීතියක් තියෙනවා. ඒ වගේම හැම සිද්දියක්ම ආදර කතාවකින් වෙළෙනව. ඒක නිසාම පේ‍්‍රක්‍ෂකයා චිත‍්‍රපටියට හොඳට ඇලෙනවා. චිත‍්‍රපටිය බලන් ඉන්න පේ‍්‍රක්‍ෂාගාරය ගැන ඇ`ගට දැනෙන මේ ඉව සරත් පෙන්නන සාධනීයම ලකුණක්. ඒ වගේම චිත‍්‍රපටියෙ කැමරාව හැසිරෙන විදිහත් හු`ගක් පරිණතයි. රූප රාමු හසුකර ගන්න ගැන ඉඳන් සංස්කරණය දක්වාම හොඳටම චිත්තවේග දනවන ආකාරයෙන් ඒවා හැසිරෙනවා. කතාව රසවත් හැටියට කියාගෙන යන්න සරත් දක්ෂයි. ඒක ලංකාවෙ හු`ගක් චිත‍්‍රපටිකාරයන්ට නැති හැකියාවක්.

ඒ වගේම කතා ධාරා කීපයක් විදිහට ලිහිල්ව ගෙතෙන චිත‍්‍රපටිය හොඳ අවසානයක් දක්වා ගේන්න පුළුවන් වෙන එක පිටපතේ හොඳකමක්. හැම සිද්දියක්ම, ධාරාවක්ම ති‍්‍රල් එකක් දෙන අවසානයක් දක්වා අරන් එන්න පිටපත් රචකයාට පුළුවන් වෙලා තියෙනව.

ඒ එක්කම කුමාර තිරිමාදුර ගෙ ර`ගපෑම ගැන කියන්නම උවමනායි. පිටපතට එහා ගොඩක් දුර ගිහින් චරිතයට අවශ්‍ය දේවල් හොයාගෙන එන්න තිරිමාදුරාට පුළුවන් වෙනව. පිටපත කොයි තරම් ලිහිල් වුණත් ඒ පිටපත ඇතුලෙන් තමන්ගෙ චරිතයට ජීවිතයක් දෙන්න තිරිමාදුර දක්ෂයෙක්.
මේ චිත‍්‍රපටිය දෙවිදියකට කියවන්න වෙන්නෙ චිත‍්‍රපටිය ඇතුලෙ දෙන්නෙක්ව වෙනවෙනම පේන නිසාමයි. රියා අද්මිරාල්වරයෙක් විසින් සිංහල බෞද්ධයන්ට ඇත්ත පෙන්නන්න කරපු චිත‍්‍රපටියක් එකපැත්තකින් සහ සරත් වීරසේකර ලංකාවෙ පොදු පේ‍්‍රක්‍ෂකයාට කරපු හොඳ කොමර්ෂල් චිත‍්‍රපටියක් අනික් පැත්තෙන්. මේකෙ පළවෙනි චිත‍්‍රපටිය නන්නත්තාර විදිහට අසාර්ථක වෙද්දි දෙවෙනි චිත‍්‍රපටිය හු`ගක් සාර්ථක ලක්ෂණ පෙන්නනව.

? කැලේ ඇතුලෙ හඳ දිහා බලාගෙන චිත‍්‍ර අඳින ළමයි, බොරු අනුකම්පා සහ දියාරු භාවාතිෂය දර්ශන නොවුණා නම් සහ සරත් වීරසේකර ඇත්තටම තමන්ගේ පෞර්ෂයේ දෙබෙදුම හඳුනාගෙන සිටියා නම් ‘ගාමණී’ ඉතා ප‍්‍රශස්ත චිත‍්‍රපටියක් වෙන්න තිබුණ. මේ අදාල නැති දේශපාලන සහ සමාජ අරගලය (සිංහල බෞද්ධ* වෙනුවට ගාමණී ඒකට අදාල ඇත්ත තැනක ස්ථානගත වෙන්න තිබුණ.

ඒත් ඒක එහෙම වුණේ නෑ. අන්තිමට මහින්ද චින්තන රැුල්ලෙ තවත් චිත‍්‍රපටියක් විදිහට ගාමණී කෙලවර වෙනවා. අපරාදෙ. ඊළ`ග වතාවේවත්, රියා අද්මිරාල් හෝ සරත් වීරසේකර යන දෙන්නගෙන් එක්කෙනෙක් චිත‍්‍රපටියක් හැදුවොත් ඒක මීට වඩා ටිකක් හරි දියුණු එකක් වෙයි කියල මට හිතුණ.

ෆිල්ම් එක ඉවර වුණාම මට ඉබේ  කියවෙන්න ගත්තෙ සිංදු කෑල්ලක්.

‘පෙරුම්පිරුවෙ මං සමනළයෙක් වෙන්න..

සිද්ද වුණේ මට යුද සෙබළෙක් වෙන්න..’
මට සරත් වීරසේකරව දැණුන.


-චින්තන ධර්මදාස

No comments:

Post a Comment