Saturday, December 10, 2011

යාලූවා, ගලක් වගේ නොඉඳ වතුරක් වගේ ගලන්න...




හවස චූ කරන්න යන ගමන් ස්ටෙෆාන් ටිකක් කතා කරන්න නැවතුණා. ඌ කොහෙද තැනක ගිහින් හොඳට ගුටි කන්න පුළුවන් සටන් කලාවක් ප‍්‍රගුණ කරනව.

‘මොකක්ද ඒකෙ තියෙන ත‍්‍රිල? උඹ වයලන්ස් එන්ජෝයි කරනවද?’

මං ඇහුවා. ඌ ටිකක් ගැඹුරු විදිහෙ උත්තරයක් දුන්න.

‘මචං, අපි එක එක දේවල් එක්ස්පීරියන්ස් කරනවනෙ. ලව් එක වෙන්න පුළුවන්, සෙක්ස් වෙන්න පුළුවන්, ඒ වගේ භාවනා වෙන්න පුළුවන්, නිවන වෙන්න පුළුවන්. මේ හැම එකක්ම එකකට එකක් වෙනස් එක්ස්පීරියන්ස්. ජීවිතේ එක්ස්පීරියන්ස් රේන්ජ්  එක නැත්තං පරාසය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි අපේ ජීවිතේ පළල් වෙන්නෙ. හැමතිස්සෙම අපි අපේ ජීවිතේ ලිමිට්ස් (සීමා* දාගෙනයි ඉන්නෙ. ඒවා අපේ ඔලූව ඇුතුලෙ කන්ඩිෂන් වෙලා. අපි මේ ලිමිට්ස් තල්ලූ කරන්න උත්සාහ කළොත් අපිට වෙන ඩයිමෙන්ෂන් එකක් නැත්තං අලූත් ජීවිතයක් මුණගැහෙනව.

අපි අපේ බොඩි එක ගැන හිතාගෙන ඉන්න සීමාවල් කොයි වෙලාවක වත් තල්ලූ කරන්න ට‍්‍රයි කරන්නෙ නෑ. අපි ෆයිට් එකකට ගියාම ඒ වෙලාවෙ ගුටි කද්දි අපේ මොළෙන් වැඩක් නෑ. මොළෙන් පණිවුඩයක් එනකොට පරක්කු වැඩියි. අනික ඒ කම්පනයට එයා හරියට වැඩකරන්නෙ නෑ. ඒ වෙලාවට අපේ බොඩි එකෙන් තමයි තීරණ ගන්න වෙන්නෙ. අපිට තේරෙන්න ගන්නව ඇත්තට අපේ බොඩි එකට කොයි තරම් හැකියාවක් තියෙනවද කියන එක. අපි ගොඩක් වෙලාවට නොදැන හිටියට බොඩි එකට තියෙනව වෙනම ඉන්ටෙලිජන්ස් එකක්. එයා වැඩකරන්න පටන් ගන්නව.

කොහොමවත් ඒ වගේ අවදානමකට මුහුණ දෙන්නෙ නැතුව අපිට ඒ එක්ස්පීරියන්ස් එකට යන්න බෑ. ගොඩක් වෙලාවට ගුටි  කන එක හරි, රිදෙන එක ගැන හරි අපිට තියෙන්නෙ ඉමැජිනරි (ඔලූවෙ හදාගත්ත* වේදනාවක්. ඇත්ත වේදනාව ඊට වඩා වෙනස්. ඔලූවෙ තියෙන එක ලොකු වැඩියි. මොකද අපි ආරක්‍ෂා වෙන්න  ඕනවට වඩා පරිස්සම් දේවල් හදාගෙන තියෙන්නෙ. ඒත් මිනිස්සුන්ගෙ ඇත්ත පොටෙන්ෂල් එකට යන්න මේ ලිමිට් එක කඩන්නම වෙනව. මැරෙන එක ගැන බයේ ජීවත් වෙන්න බෑනෙ. එතකොට ලයිෆ් එක එන්ජෝයි කරන්න බෑ. අපි අපේ ඇතුලෙ තියෙන බයට කෙලින් මූණ දෙන්න  ඕන’

මම ගුටි කෑමක් විදිහට සරලව දැක්ක දේ ගැන ඌ ලොකු විස්තරයක් කළා. මට ඒ ගැන තව හිතන්න  ඕන වුණා. මං ඉන්ටර්නෙට් එකට ලොග් වුණා.

ස්ටෙෆාන් ලංකාවෙ හැදිච්ච එකෙක් නෙමෙයි. ඒ නිසාම ඒකා ජීවිතේ විඳින හැටි, ඒ දිහා බලන හැටි හු`ගක් වෙනස්. ලංකාවෙ අපි ජීවිතේ හැම අලූත් අඩියක් ගැනම බයයි. සැකයි. කොටින්ම මිනිහෙක් ඇවිත් දොරට තට්ටු කළත් මරලා යයි කියල බයයි. උතුරෙ දෙමළ මිනිස්සු ඉන්න එකටත් බයයි. රටක් විදිහට අපි පිටරටවල් වලට මාර බයයි. කොයි දේටත් බටහිර කුමන්ත‍්‍රණයක් කියල ආණ්ඩුවත් කියන්නෙ මේ බය හින්ද. තනි තනි ජීවිත විදිහටත්, සමාජයක් රටක් විදිහටත් අපි කොයි තරම් සීමිත ජීවිතයක්ද අත්විඳින්නෙ? ඒ ගැන කියවන්න ගිහින් මං බෲස්ලිගේ ඇෙ`ග් හැප්පුණ.
බෲස්ලි ලංකාවෙ දන්නෙ සටන් නළුවෙක් විදිහට විතරයි. ඒ ලෙවල් කාලෙදි කරාටේ පිස්සුව හැදෙන ළාබාල කොල්ලන්ගෙ අවධානයට වඩා දෙයක් බෲස්ලිට මෙහේ නෑ. ශරීරය හික්මවීම සහ ශරීරයේ භාෂාව අලූතෙන් තේරුම් ගැනීම වගේ එයා අතින් සිද්ද වුණු නිර්මාණශීලී වැඩ කොටස ගැන හරි කියවීමක් සිද්ද වුණේ නෑ.  අනික ගහගන්න මිනිහෙක් දර්ශනවාදියෙක් විදිහට ගන්න බැරි සීමාවකුත් අපේ ඔලූවෙ තියෙනව.

බෲස්ලි වොෂින්ටන් විශ්ව විද්‍යාලෙ දර්ශනවේදී උපාධියක් ලබනව. සටන් කලාවට අමතරව ජීවිතේ තේරුම් ගන්න දර්ශනවාදයන් ගැන එයාට තියෙන්නෙ ලොකු ඇම්මක්. ඒත් අපේ විශ්ව විද්‍යාලවල කටපාඩම් දර්ශන උපාධියෙන් එහාට ගිහින් එයා ශරීරය ඇසුරෙන් එයාම ප‍්‍රත්‍යක්‍ෂ කරගත් දේවල් එක්ක මේ දර්ශනවාදයන් ගැටගහනව. ඒ නිසාම බෲස්ලි එයාගෙම වෙනස් අදහස් මාලාවක් ලෝකෙට කියනව.

පෙරදිග දර්ශනවාදයන් වගේම මනෝ විද්‍යාව ගැනත් එයා උනන්දු වෙනව. ඒත් එයා මේ දර්ශනයන් හදාරන්නෙ වඩාත් හොඳින් තමන්ව ප‍්‍රකාශ වෙන්න ඉඩ දෙන්නයි. අවංකත්වය ගැන සීමාවන් තවත් එහාට තල්ලූ කරන්න එයාට  ඕන වෙනවා. ඒත් ඒ විදිහට අවංකව තමන් ප‍්‍රකාශ වෙන්න නම් ඊට කලින් තමන් තමන් ගැන වඩාත් හොඳින් දැන ගන්න වෙනව. බෲස්ලිගේ දාර්ශනික උත්සාහය වැඩියෙන්ම තියෙන්නෙ මේ කරුණ විෂය කරගෙන.

‘හැම දැනුමක්ම අවසානයේදී තමන් පිළිබඳ දැන ගැනීමක්. හොඳ සටන්කරුවෙක් වෙන්න නම් ජීවිතය ගැන වෙනස් විදිහට දකින කලාකරුවෙක් වෙන්න  ඕන’ - බෲස්ලී

එයාට  ඕන වෙනවා මිනිසා කියන විෂය පරිසමාප්තිය කරා අරගෙන යන්න. එයා ප‍්‍රායෝගිකව අත්හදා බලමින් ඒක කරනව. අනිත් ආත්මාරක්‍ෂක සටන්කරුවන්ට වඩා බෲස්ලි වෙනස් වෙන්නෙ එයාට මිනිසාගේ වෙනස් වෙන ගතිකයන් පිළිබඳ තිබුණු අවබෝධය නිසා. සාම්ප‍්‍රදායික සටන් කලාවන් ගොඩනැගිලා තිබුණෙ වෙනස් නොවෙන නිශ්චිත චලනයන් එක්ක. රටාවන් එක්ක. මේක හු`ගක් ප්ලෙටෝනියානු ගතියක් තියෙන්නෙ. ඒ අනුව වෙනස කියන එක අසම්පූර්ණත්වය දනවන දෙයක්. පරිසමාප්ත නිශ්චිත කියන පාරභෞතිකයක් නිසා සාම්ප‍්‍රදායික සටන් කලාවන් එකම තැනක හිරවෙලා තිබුණ.

මෙතනදි අපි කතා කරන්නෙ ශරීරයේ භාෂාව ගැන. ලංකාවෙ අපේ ඔලූවට මේක ටිකක් දුරයි. බෞද්ධ කතිකාව ඇතුලෙ අපේ ඔලූව හැදිලම තියෙන්නෙ ඇ`ග කියන එක නොතකා ඉන්නමයි. පුළුවන් තරම්  භාවනා සහ කතිකා ආශ‍්‍රයෙන් ඇත්ත කියල එකක් හොයනවට වඩා ශරීරය වෙනම භාෂාවක් විදිහට තේරුම් ගන්න අපේ හැකියාව බිංදුවයි.  ඕෂෝ පවා මේ ගැන කියනව. එකතැන ඉඳගෙන ඇස් පියාගෙන ජීවිතේ සත්‍යය තේරුම් ගන්නවට වඩා ශරීරය අවේශයෙන් වගේ ශක්තිය නිදහස් කරමින් සාවධාන වෙන ක‍්‍රම  ඕෂෝ අත්හදා බලන්නෙ මේ ශරීරය නොතකා හැරීමට විරුද්ධව. ඇත්තටම ශරීරයේ භාෂාව අවංකයි. ඍජුයි. ඒ එක්කම මනසේ භාෂාවට වඩා ප‍්‍රායෝගිකයි.

බෲස්ලි තමන්ගේ ජීවිතය සහ කලාව ගැන වාස්තවික විදිහට බලන්න ගත්ත. ජීවිතය නිශ්චිත, කලින් සදා නිම කරපු රටාවන්ගෙන් තීරණය නොකර එයා වෙනස් කිරීම සහ අභියෝග එක්ක තමන්ගේ පරිපූර්ණත්වය හොයන්න උත්සාහ කළා. අනිත් හැම සටන් කලාවක්ම ඒ නිශ්චිත චලනයන් පුහුණුව මගින් විශිෂ්ටත්වය පාන්න උත්සාහ කරද්දි බෲස්ලි මිනිස් ජීවිතයේ ඇත්ත සීමාවන්, හැකියාවන් හඳුනාගැනීම තුලින් විශිෂ්ටත්වයට යන පාරක් හොයන්න ගත්ත. ‘විලාසය (ස්ටයිල්* කියන එක අවසන් වෙනව. ඒත් මිනිසා එන්න එන්න වර්ධනය වෙනව’ බෲස්ලි කිව්ව.

”සටන් කලා ඉතිහාසය පුරාම අපිට දකින්න තියෙන්නෙ අනුකරණය සහ අනුව යාම කියන කාරණය විතරයි. මේක ගුරුවරුන්ට වගේම ගෝලයන්ටත් පොදුයි”

බෲස්ලි සටන් කලාවන් දැක්කෙ මිනිස් චලනයන් ආයතනගත කිරීමක් විදිහට. ඒ ආයතනගත වීම ඇතුලෙ තමන්ට තමන්ගේ සත්‍යයන් කරා මේ ශරීර ප‍්‍රකාශනය ගෙනියන්න බැරි වග එයා තේරුම් ගත්ත. තමන්ගේ ශරීර භාෂාව වෙනත් ආයතනගත භාෂාවකට අනුගත නොවී නිදහස් කරන්න බෲස්ලිට  ඕන වුණා. ”හැම මනුෂ්‍යයෙකුටම මේ ශරීර භාෂාව පොදුයි. ඒකෙ චලනයන් රිද්මයන් සහ සීමාවන් හඳුනාගැනීමත් එක්කයි ඒක සටන් කලාවක් බවට පත්වෙන්නෙ.” බෲස්ලි සටන් කලාවන්ගේ ථේරවාදී බවෙන් එලියට ගමන් කරන්න ගත්ත.

සටනක් කියන්නෙ ඇත්ත නිමේෂයක්. ඒක මනුස්ස ජීවිතයේ ඇත්ත බය ප‍්‍රශ්න කරන තැනක්. හැමදෙයක්ම නිරුවත් වෙන මොහොතක්. ඒක විධික‍්‍රමයකට හා සම්ප‍්‍රදායකට ගොනු කරලා ඒ මොහොත කියවන්න බෑ. මේ කෘතිම සම්ප‍්‍රදායන්ට වඩා ඒ මොහොතේ ජීවිතය දැනෙන ප‍්‍රවේශයක්  ඕන කරනව.
තමන්ගේ කලාවට ‘ජිට් කුන් ඩු’ කියන නම යෙදීම ගැන පවා බෲස්ලිට අවුලක් තිබුණ. ඒක තවත් එක සම්ප‍්‍රදායක් විදිහට ගල්ගැහෙයි කියන එක එයාට තේරුණ. ‘ජිට් කුන් ඩු කියන්නෙ සරලවම සරල කිරීම. සටන්කරුවෙක් තමන්ගෙන්ම අහන්න  ඕන ප‍්‍රශ්න දෙකක් තියෙනව.

එක, තමන්ට අවශ්‍ය දේ මොකක්ද කියන එක.

දෙක, ඒ දේට යන්න තමන්ට ඇති වේගවත්ම විදිහ මොකක්ද කියන එක’

එයා හැම සටන් කලාවකම ප‍්‍රවේශයන් අත්හදා බලනව.  ඕන දේවල් තියාගෙන හුදු සාම්ප‍්‍රදාය වෙනුවෙන් තියෙන දේවල් පැත්තකට කරනව.

” මම හැමදාම අලූත් දෙයක් හොයා ගන්නව. ඔබ එහෙම නෙමෙයි නම් ඔබ දැනටමත් ගල්ගැහිල”

බෲස්ලිගේ දර්ශනය පාදක වුණු කාරණා හරිම ගැඹුරුයි. ඒවා හුදු වචන හරඹ වලින් එලියට ඇවිත් ඇත්තට ඇෙ`ගන් කරන්න වෙන පුහුණු වීම්. වැදගත්ම දේ වෙන්නෙ මෙතනදි ජිවිතය සහ කලාව කියන දෙකක් නැති එක. ජීවිතය සොයා යාමම කලාව වෙන එක. ඒක අපි හරි කැමැත්තෙන් කලාවන් විදිහට පිළිගන්න ගොඩක් දේවල් වල(චිත‍්‍රපටි, කවි, කතා* නැති ඇත්තක්. බෲස්ලිගේ කලාව ඇතුලෙ කලාකරුවා සහ කෘතිය කියන්නෙ දෙකක් නෙමෙයි එකක්.

1. කෝප්පයක වටිනාකම තියෙන්නෙ ඒක හිස් නම් - නිතර පරණ දැනුම ඉවත ලා අලූත් දැනුමට සූදානම් වෙන්න.
2. කිසිම විදිහක් එකම විදිහ කර ගන්න එපා - කිසිම අවස්ථාවක් ගැන කලින් ඇති කර ගත් තීරණ මත නොසිටින්න.
3. කිසිම සීමාවක් සීමාවක් විදිහට ගන්න එපා - සැබෑ නිදහස සොයා ගෙන යන්න.

4. ආකෘතියේ සිට ආකෘතියක් නොවන තැන දක්වා සහ සීමිත බවේ සිට අසීමිත බව දක්වා ගමන් කරන්න - ආකෘතියක් නොවීම ඇතුලෙ සියලූ ආකෘතීන් දරා ගැනීමට හැකියි.
5. ශරීරය මෙහෙයවද්දී වැදගත්ම දේ වෙන්නෙ තමන් පිළිබඳ සැබෑ දැනීමයි - මේ අදහස ‘චලනයේ මොහොතේම පවතින්න’ කියන සෙන් අදහස හා සම්බන්ධයි. අයාලේ යන සිතුවිලි අවකාශයක් තුල නොඉඳ සැබෑ ශරීර ක‍්‍රියාව සමග පැවතීම කියන එකයි.

6. මට පහර දෙන්න නම් ඔබට මාවෙත එන්න වෙනව. ඔබේ පහර දීම මට ලොකු අවස්ථාවක් වෙනව ඔබව ඉක්මවා යන්න.
7. ඔබේ මනස හිස් කරන්න. වතුර වගේ හැඩයක් රහිත වෙන්න. වතුර කෝප්පයකට දැමුවොත් ඒ කෝප්පෙ හැඩය ගන්නව. බෝතලයකට දැම්මොත් බෝතලේ හැඩය ගන්නව. වතුරට පුළුවන් ගලා යන්න. ඒ වගේම වතුරට පුළුවන් දේවල් විනාශ කරන්න.

තව තැනක බෲස්ලි ආර්ට් කියල දකින දේ ගැන කෙටි අදහසක් ලියලා තිබුණ.

‘ආර්ට් එකක් කියන්නෙ ආත්මීය ප‍්‍රකාශනයක් එලියට දාන්න තාක්‍ෂණයක් හොයන එකට. ඇත්තටම ආර්ටිස්ට් ගේ ඇතුලෙ සිද්ද වෙන ක‍්‍රියාවලිය ‘ආර්ට්ලස් ආර්ට්’ එකක්. ඒක ආධ්‍යාත්මික ක‍්‍රියාවලියක්. අපි කළ යුත්තෙ ආධ්‍යාත්මික ක‍්‍රියාවලියේ සෞන්දර්ය එලියට ගේන්න අවශ්‍ය භාෂාවක් හදන එකයි.

ආර්ට් එකක් කියන්නෙ ආත්මය දිගහැරෙන එකට. සහ ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට තමන්ගේ ගැඹුරු තැන් ගැන තේරුම් ගැනීම වැඩි වෙනව.

‘ආර්ට්ලස් ආර්ට්’ කියන්නෙ ආත්මයේ නිෂ්ශබ්ද කලාව. ඒක හරියට පොකුණකට වැටුණු හඳ එලියක් වගේ. ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙ එයාගෙ ජීවිතේ හැම මොහොතක්ම මේ ආත්මයේ ප‍්‍රකාශනය වෙනුවෙන් මුවහත් කරන්නෙක්. ඒක නිසා ආර්ටිස්ට් කෙනෙක් ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතය මාස්ටර් (පූර්ණ විදිහට හදාරන්න* කරන්න වෙනව. ’

ජීවිතේ සීමාවන් මුණගැසීම ගැන බෲස්ලි කියන දේවල් හු`ගක් ගැඹුරුයි. ඒ වගේම ප‍්‍රායෝගිකයි. අපි ගොඩක් වෙලාවට හාන්සිපුටු දාර්ශනිකයන්ගෙ කතා සංවාද කරමින් කල් ගත කරත් අපිව ප‍්‍රායෝගිකව ප‍්‍රශ්න කරන දර්ශනයන්ට ඉඩක් දෙන්නෙ නැත්තෙ ඒකෙන් අපි අපි ගැනම හදාගෙන ඉන්න සීමාවන් රිදෙන්න පුළුවන් හින්ද. ඒ කියන්නෙ ඒකෙන් අපිව වෙනස් වෙන්න පුළුවන් හින්ද. ඇකඩමික් අදහස් වගේ මේ ශරීරයෙන් අවබෝධ කර ගත් දර්ශනය නිකං වචන නෙමෙයි.  ඒ හැම වචනයක්ම අභ්‍යාස මූලික අවබෝධයක්.
බෲස්ලි එක්ක පුහුණු වීම් කරපු එයාගෙ යාලූවෙක් මෙහෙම සටහනක් ලියල තිබුණ.

”මායි බෲස්ලියි දවසකට සැතපුම් තුනක් දුවන්න පුරුදු වෙලා හිටිය. අපි විනාඩි විසි එකක් හෝ විසි දෙකක් ඇතුලෙ මේ දුර දිව්ව. (බෲස්ලි තනියම දුවද්දි විනාඩි පහකට සැතපුමක් දක්වා වේගෙන් දිව්වා* ‘අපි අද හැතැප්ම පහක් දුවමු’ දවසක් බෲස්ලි පටන් ගනිද්දි කිව්වා. ‘මං උඹට වඩා ගොඩක් වයසයි. මට නං බෑ පහක් දුවන්න’ මං ඇත්තම කිව්ව. ‘අපි පහක් දුවලා වේගෙ අඩු කරලා ඉතිරි දෙක දුවමු. උඹට පුළුවන්’ බෲස්ලි අත් ඇරියෙ නෑ. මට එක`ග වෙන්න සිද්ද වුණා. අපි තුනක් දිව්වා. හතරවෙනි හැතැප්ම දුවද්දි තව විනාඩි තුන හතරකට වඩා අල්ලගෙන ඉන්න මට බැරි වුණා. මගේ පපුව එලියට පනින්න තරම් ගැහෙනව. මං බෲස්ලිට කිව්වා. ‘තව දිව්වොත් මට පපුවෙ අමාරුවෙ හැදෙයි’. ‘ඉතිං මැරිද්දෙන්’ එයා ගාණකටවත් ගත්තෙ නෑ. මට හොඳටම කේන්ති ගියා. කේන්තියටම මං හැතැප්ම පහ දිව්ව. පස්සෙ නාගෙන එහෙම මං එයාගෙන් ඇහුව, ඇයි උඹ එහෙම කිව්වෙ කියල.

‘උඹ කොහොමත් මැරෙන්න පුළුවන්. උඹට කරන්න පුළුවන් දේ ගැන උඹේ තියෙන සීමාව, ඒක ශාරීරික වෙන්න පුළුවන්, නැත්තං මානසික වෙන්න පුළුවන්. ඒක උඹේ ජීවිතේටම පැතිරෙනවා. උඹේ වැඩ වලට පැතිරෙනව. උඹේ සදාචාරයට පැතිරෙනව. උඹේ සම්පූර්ණ පැවැත්මම ඒ සීමාවට අයිති වෙනව. එහෙම සීමා නෑ. බාධක තියෙන්න පුළුවන්. ඒත් උඹ ඒවායින් එහාට යන්න  ඕන. උඹ මැරෙනවා නම් එතනදි උඹ මැරෙයි. ඒත් මිනිහෙකුගෙ ජීවිතය කියන්නෙ ඒ සීමාවන්ගෙන් එහාට යන්න කරන උත්සාහයට’ බෲස්ලි කිව්ව.
‘වතුර වගේ වෙන්න. පළුදු තුලින් පාර හොයා ගන්න. මමත්වය අත්හරින්න. බඳුනෙ හැඩය ගන්න. ඔබට පුළුවන් වෙයි ඒ ඇතුලෙන් හරි, පිටින් හරි මාවතක් හොයා ගන්න. ඔබ ඇතුලෙන් ගල්ගැහිලා නැත්නම් පිටත දේවලූත් ඔබ වෙනුවෙන් විවෘත වෙන්න පටන් ගනීවි” -
ස්ටෙෆාන් ගෙදර ගිහින්. මාත් කොම්පියුටරේ  නිමලා එලියට ආවා. තමන්ගේ සීමාවන් ඇතුලෙ හිරවුණු පුංචි මිනිස්සු මැද්දෙ මාත් පුංචි කොටුවක් වගේ පාරට එකතු වුණා. ශරීරයේ භාෂාව අපි කොයි තරම් අවතක්සේරු කරනවද.....

මං ආයිමත් ඇ`ග ගැන හිතෙන් හිතන්න පටන් ගත්ත.

-චින්තන ධර්මදාස-


1 comment:

  1. මේකනම් මරු ලිපියක්.
    බෲස්ලි ගැන මේක කියවනකම් කොයි තරම් වැරැදි අදහසකද හිටියෙ කියන එක වැටහුණා. සටන් කලාව ඉගැන්වෙන තැනක් පළමුව අධ්‍යාත්මික දර්ශන විද්‍යාලයක් වෙනවනම් එයින් හදාරන කෙනා අනෙකා ශාරීරිකව පරාජය කරන සටන්කරුවෙක් ඉක්මවා ගිය විශිෂ්ඨයෙක් වෙයි.

    ReplyDelete