Sunday, January 8, 2012

දවස් කෝච්චියේ අන්තිම පෙට්ටියේ ඉඳන්.


දවසක් කෙනෙක්  ඕෂෝගෙන් (ලංකාවෙ කවුරුත් දන්නවා  ඕෂෝ කියන්නෙ කවුද කියල* අහනවා, ‘කෙනෙක් අලූත් අවුරුද්දට අධිෂ්ඨානයක් කරනවා නම්, ඔබ කියන්නෙ ඒ කොයි වගේ එකක් වීම සුදුසුයි කියලද?’

 ඕෂෝ උත්තර දෙනවා. ‘එකම එක අධිෂ්ඨානයයි තියෙන්න පුළුවන්. ඒ තමයි කිසිවක් අධිෂ්ඨාන නොකිරීම. හැම අධිෂ්ඨානයක්ම, ප‍්‍රාර්ථනයක්ම කියන්නෙ අනාගතයට දාගන්න සීමාවක්. හැම සිහිනයක්ම කියන්නෙ හිර ගෙයක්. ඔබ අද කොහොමද හෙට දෙයක් ගැන තීරණය කරන්නෙ? එහෙම්පිටින්ම ඔබ අතින් හෙට කියන එක විනාශ වේවි.

හෙට ගැන පැවැත්ම හෙටට බාර දෙන්න. ඒක ඒ විදිහට එයි. එයා ගේන තෑගි තෝරන්න එයාට ඉඩ දෙන්න.
අධිෂ්ඨානයක් නැත්තං ප‍්‍රාර්ථනයක් කියන්නෙ ඔබ එක් දේකට පමණක් විවෘතයි කියන එක. ඒ කියන්නෙ ඔබ කැමතියි ඉර බටහිරින් නැගෙනවා නම් නැගෙනහිරින් නැතුව. ඉර නැගෙනහිරෙන් නැගුණොත් ඔබ ජනෙල් විවෘත කරන්නෙ නෑ. ඔබේ ජනෙල් විවෘත බටහරිට විතරයි.

මොකක්ද අධිෂ්ඨානය කියන්නෙ? අධිෂ්ඨානයක් කියන්නෙ ලොකු අරගලයක්. ලොකු මමත්වයක්. අධිෂ්ඨානයක් ඇතුලෙ කියවෙන්නෙ ඔබට ඒ මොහොත බාරගෙන ජීවත් වෙන්න බෑ කියන එක. ඒ මොහොතෙ ජීවත් වෙන්න ඔබට බෑ කියන්නෙ ඇත්තටම ඔබ ජීවත් වෙන්නෙ නෑ කියන එක. ඔබ ජීවත්වෙනවා වගේ පෙන්නනවා.

ඒක නිසා එක අධිෂ්ඨානයක් විතරක් තියාගන්න. ඒ තමයි ‘මම කිසිවක් අධිෂ්ඨාන නොකරමි’ කියන එක. ඔක්කොම ප‍්‍රාර්ථනා, සිහින අත්හරින්න. ජීවිතේට ස්වභාවික විදිහට ගලන්න ඉඩදෙන්න. තියෙන එකම ස්වර්ණමය නීතිය තමයි කිසිම ස්වර්ණමය නීතියක් නෑ කියන එක.’

-පාද නොතබා ඇවිදින්න. අත්තටු නැතිව පියාඹන්න සහ හිතක් නැතිව හිතන්න.

අලූත් අවුරුද්ද ඉස්සරහ තියෙද්දි  මං පරණ අවුරුද්ද ගැන හිතුවා. මේ අවුරුද්දෙ මං කොයිතරං මගේ ජීවිතේ වෙනස් කරගෙන තියෙනවද? හැම අවුරුද්දකම එකවගේ ගතවෙනවා කියන්නෙ එක තැන පල්වෙනවා කියන එක මිස වෙන මොකක්ද? අපේ රටේ හරි අමුතු කතාවක් තියෙනවා. ‘උඹ ඉස්සර වගේ නෑ. වෙනස් වෙලා’ මේක කියන්නෙ අවුලකින් වගේ. වෙනස සාදරයෙන් බාර ගන්නවා වෙනුවට අපි අපේ සම්බන්ධතා ඇතුලෙ නිශ්චිත පරණ එකෙක් හෝ එකියක් ඉල්ලනවා. අපි වටේ ඉන්න යාලූවො වෙනස් වුණේ නැත්නම් අපි කොහොමද අලූත් වෙන්නෙ? අපි කොහොමද වෙනස් විදිහකට හිතන්නෙ? මට හිතෙන්නෙ වෙනස් වෙලා නැත්තං වැඩක් නෑ කියල.

මගේ ආදරය මට අහිමි වුණා. ඒ චිත‍්‍රපටි හදන එක. ඇඞ්වර්ටයිසින් කරන්න ආපු දවසෙ ඉඳන් මං හිතුවෙ පුළුවන් තරං ඉක්මණට චිත‍්‍රපටියක් හදන්න එලියට එන්න. අවුරුද්දෙ මැදදි මං එලියට ආවා. පූර්ණ කාලීනව චිත‍්‍රපටි හදන්න. ඒත් මට ආයිමත් මුණගැහුණු ලෝකෙ ඇතුලෙ මට ජීවත් වෙන්න බැරි වුණා. පරණ පිළුණු වෙච්ච අත්දැකීම්. එකම තාර්කික රටාවක සිතීම්. සංස්කෘතියක් අහිමි ජීවිත... මෙච්චර කල් මං ඇඞ්වර්ටයිසින් වල නොදැකපු දේවල් මට පෙන්නලා දුන්නෙ චිත‍්‍රපටි ගැන මගේ ආදරය අහිමි වීම. මෙච්චර කල් මං චිත‍්‍රපටි ගැන නොදැකපු දේවල් මට කියල දුන්නෙ ඇඞ්වර්ටයිිසින් ගැන මගේ අලූතෙන් පිළිසිඳුණු ආදරය. හැම අහිමිවීමක් එක්කම අලූත් මුණගැසීමක් තියෙන විත්තිය මේ අවුරුද්ද මට කියල දුන්නා.

මං දවල්ට ගෙදරින් බත් ගේන එක නැවැත්තුවා. එක එක කඩවල් වලින් කන්න පටන් ගත්තා. මෙච්චර දවස් ගෙදර කෑම වලින් මගේ රහ සීමා කරලා තිබුණු තරම මට මුල්වතාවට තේරුණෙ එතකොට. ‘අම්මා උයන බත් එක මචං’, ‘ගෑණි උදේ නැගිටලා අමාරුවෙන්නෙ උයන්නෙ’... හැමදාම එකවගේ බත් කන ගමන් ගොඩක් යාලූවො කියන කතාවක්. බත් එක ආදරේක කේන්ද්‍රය වෙලා. ‘පිටින් කන එක වියදම් නෙ’ මේ හැම සිතුවිල්ලකම ජීවිතේට තියෙන සීමාව දැනෙන්න ඒ සීමාව වැරැුද්දෙන් හරි කැඩෙන්න  ඕන. කාලයක් තිස්සෙ පැවතෙන අපේ හැම අදහසක්ම අපේ සීමාවක් කියල මට දැනෙන්න ගත්තෙ කෑම වල රහ හොයන්න මං මහන්සි වෙන්න ගත්තට පස්සෙ. ලංකාවෙ මධ්‍යම පංතියෙ ගොඩක් මිනිස්සු කෙට්ටු ඒ ස්වභාවයක් විදිහට නෙමෙයි, හරියට කන්න නැති නිසා කියලා මට තේරුම් ගියෙත් දවල් කෑම විප්ලවේට පස්සෙ.

මගේ යාලූවෙක් කොණ්ඩෙ කපන්න රුපියල් දෙදාහක් විතර වියදං කරනවා. ‘රුපියල් සීයට කපන්න පුළුවන් එකනෙ’ අනිත් යාලූවො හැමදාම කියනවා. දවසක් අහම්බෙන් මං මේ වැඩි ගානෙ කොණ්ඩෙ කපන තැනට ගියා උගේ තනියට. ඒක වෙනස් සංස්කෘතියක්. කතුර වෙනුවට දැලි පිහියෙන් ඒ කපන කොණ්ඩෙ විදිහ එක එක අයට විශේෂයි. නිකං බාබර් සාප්පුවක හැම කෙනෙකුටම ගහන කට් එක අපිත් ගහගෙන එනවට වඩා මෙතන අපිටම වෙනම කට් එකක් හැදෙනවා. ශ‍්‍රී එෆ්එම් එක කණ පුරෝලා අහගෙන එක පෝලිමට ඉඳගෙන හමුදාවෙ වගේ කොණ්ඩෙ කපනවා වෙනුවට මෙතන කොණ්ඩෙ කපන එකට වෙනම සෞන්දර්යාත්මක අදහසක් අරං ඇවිත්. ඒ රුපියල් දෙදාහ ගන්නෙ කොණ්ඩෙ කපන එකට නෙමෙයි හරිම සුවදායී සංස්කෘතික අත්දැකීමකට. භාණ්ඩයක් හරි සේවාවක් හරි වෙනුවෙන් සල්ලි වියදම් කරද්දි අපේ ජීවිතේ වෙනස් වෙන්නෙ නෑ. ඒඑස්පී අයිතිකාරයා ගත්ත ලිමෝසින් එකෙත් ඒඑස්පී පැදුරු පාටිය කියලා ගහගෙන යන්නෙ මේ හින්ද. ඒත් සංස්කෘතියකට වියදම් කරන හැම මොහොතකම අපේ ජීවිතේ වෙනස් වෙනවා.

උදේට වැඩට යනවා, ? වෙලා ගෙදර එනවා. එකම රවුමක් ඇතුලෙ මං හු`ගක් කල් පැද්දි පැද්දි ඉන්නවා. එන්න එන්නම ජීවිතේ හිස් වෙනවා දැනෙනවා. එතකොට අහම්බෙන් දවසක් මං අතින් නිවාඩු අරං කැලේකට ගියා. ළ`ගම හිටියත් මගේ නිදහසට අවුල් නැති යාලූවො ටිකක් එක්ක. ඒක ටි‍්‍රප් එකක් කියලා කියන විදිහෙ එකක් නෙමෙයි. ලංකාවෙ ටි‍්‍රප් කියන්නෙ නැගපු තැන ඉඳන් බීලා සිංදු කියන්න  ඕනි ආමි ටේ‍්‍රනිං එකක් වගේ මට නං. ඒක මහන්සියක්. ඒ වෙනුවට මං ගියේ විවේකයක් හොයාගෙන. ඒ කැලේ මැද්දෙදි මට මාව අමතක වුණා. මෙච්චර කාලයක් මං කියලා හිතාගෙන හිටපු මාව ආයිමත් පරාවර්තනය කරන්න මුහුණතක් නැතුව මං නැති වුණා. බලාපොරොත්තු, ප‍්‍රාර්ථනා, කාලය, සංස්කෘතිය විදිහට මගේ ඇතුලෙ ගල්ගැහිලා තිබුණු තාප්ප බුරුල් වෙනවා මට දැණුන. ඊට පස්සෙ ඉඳන් මං හැම මාසෙකම කැලේකට යන්න පුරුදු වුණා. උදේ හවස රවුම ඇතුලෙ දේවල් ගොඩක් තේරුම් ගන්න මට කැලේ උදව්වක් වුණා. කරන රස්සාව හරි, ගෙදර පවුල හරි, මගේ අදහස්ම හරි ජීවිතේ කියලා හිතනවට වඩා ලොකු පරාසයක ජීවිතයක් මට ඒ නික්ම යාම හින්ද මුණ ගැහුණ. එදිනෙදා අපේ ඇස්වලට පේන හැඩතල පුළුවන් තරම් වේගයෙන් මාරු කරන්න  ඕන. අපි අත්විඳින සංස්කෘතිය පුළුවන් තරම් නැවත නැවත අලූත් කරන්න  ඕන. අපිය රීස්ටාර්ට් කරන්න  ඕන කියල කැලේ මට කියල දුන්න.
මං මගේ හිතත් එක්කම ගතවෙනවා මිසක් ඇ`ගත් එක්ක ගතවෙන එක ගොඩක් ඈතට කරලයි තිබුණෙ. හැමදෙයක්ම හිතෙන් සංකල්පයක් විදිහට තේරුම් ගන්නවා මිසක් ශරීරයේ භාෂාව මට ගොඩක් ආගන්තුකයි. ඒත් දවසක් මට හිතුණ කණ්ණාඩියෙන් පේන මගේ රූපෙ වෙනස් කරන්න  ඕන කියල. මං හවසට ව්‍යායාම් කරන සංස්කෘතියට ඇතුල් වුණා. මුල් දවස් කීපයෙදි මගේ සමතුලිතතාවය එහෙම්පිටින්ම නැති වුණා. ඇ`ග වැඩ කරනවත් එක්ක අදහස් වල ලොකු හිස්තැනක් දැනෙන්න ගත්තා. ඒත් මං වෙනස් වෙන්න ගත්ත තීරණේම හිටියා. ටික දවසක් යද්දි මගේ සිතීම් එක්ක නිතර පැටලෙන දුක්මුසු ගතිය මට නොදැනී යන්න පටන් ගත්තා. මං ඇවිදින එක, නටන එක, හිටගෙන ඉන්න එක පවා අලූතෙන් විඳින්න පටන් ගත්තා. ශරීරය විසින් මට අලූත් භාෂාවක් හුරු කරන්න අරගෙන තිබුණ. ඒක මනසේ භාෂාවට වඩා හු`ගක් සරල ප‍්‍රීතිමත් භාෂාවක්. තනිකම, හුදකලාව, දුක වගේ දේවල් වෙනුවට වඩාත් විශ්වාසය, ආදරය දනවන භාෂාවක්. අදහස් කුහරයක් ඇතුලෙ අවුරුදු තිස් ගාණක් තිස්සෙ මං හිරවෙලා උන්නු වග මගේ ඇ`ග මට කියලා දුන්නා.

මේ හැම දෙයක් එක්කම රස්සාවට යන එක තවත් ජීවිතයක් වගේ වුණා. වැඩ වලට අමතර ගොඩක් වෙනස්වීම් සහ සංස්කෘතීන් එක්ක මං ඒ පැය ගාණ ගත කළා. ගතවෙන හැම පැයකම සජීවී උද්යෝගයක් එක්ක මං දවස් ගත කරන්න ගත්තා. එතකොට කොහේ හරි කොම්පැණියක කාගෙ හරි ලාභයක් වෙනුවෙන් මාව හූරගෙන කනවා කියන අදහස වෙනුවට මගේ ජීවිතයේ අලූතෙන් කවුළු විවෘත වෙන කලාපයක් විදිහට මං කරන වැඬේ විඳින්න, අත්දකින්න මට පුළුවන් වුණා.

දෙසැම්බර් මාසෙ හීතල හුළ`ගත් එක්ක පහුවුණු අවුරුද්ද ගැන මට දැනෙන්නෙ උණුුහුමක්. හැම දවසක්ම උණු කෝපි සුවඳයි. මගෙන් පිටස්තර රටෙන්, ජාතියෙන්, මතවාද වලින්, දේශපාලනෙන් මගේ ජීවිතේට අදහසක් දෙනවට වඩා මගේ ජීවිතේ ඇතුලෙන් මගේ සීමාවන් හොයාගෙන මේ අවුරුද්ද මාව ගොඩක් දුර අරං ගියා. වෙන කිසිම අවුරුද්දකට වඩා තෘප්තිමත් හැ`ගීමකින් මං අවුරුද්දෙ අන්තිම මුහුදු රැුළි දිහා බලාගෙන හිටියා. තවත් මං නොදන්නා කලාපෙකට මාව අරං යන දවස් පේලියක් එන කං.
”අලූත් අවුරුද්දක අදහස අපිට අලූත් අවුරුද්දක් තියෙන්න  ඕන කින එක නෙමෙයි. අලූත් අවුරුද්දක් කියන්නෙ අපිට අලූත් ආත්මයක් සහ අලූත් නහයක් තියෙන්න  ඕන කියන එක. අලූත් පාද, අලූත් පිටකොන්දක්, අලූත් කන් සහ අලූත් ඇස් තියෙන්න  ඕන කියන එක. ඒ විදිහෙ මිනිහෙක් නොවී කරන අධිෂ්ඨානයක් අලූත් අධිෂ්ඨානයක් නෙමෙයි.  මිනිහෙක් අලූතෙන් දේවල් පටන් ගත්තෙ නැත්තං එයා අතින් වැඩකට ඇති කිසි දෙයක් වෙන්නෙ නෑ. මිනිහෙක් තමන් මීට කලින් ජීවත් වුණු මිනිහෙක් නෙමෙයි කියන අමුතුම අදහසින් වැඩ කරන්න නොගත්තොත් පැහැදිලිවම එයා ඊට පස්සෙ ජීවත් වෙන එකක් නෑ. මිනිහෙක් අලූතෙන් ඉපදුණේ නැත්නම් කවදාවත් එයාට ස්වර්ගයේ දොරටු ඇරෙන එකක් නෑ”

-ජී කේ චෙෂියර්ටන්


-චින්තන ධර්මදාස

1 comment: