Wednesday, February 15, 2012

බල්ලට ගිය ස්ටයිල් එක


දවසක් දා හැන්දෑවක ෂෝර්ට් ෆිල්ම් එකක් බලන්න ගියා. ෆිල්ම් එක දිහා බලාගෙන හිටියට කිසි දෙයක් තේරුං ගන්න බැරිවුණා. ගෙදර ඇවිත් මං ජොයින්ට් එකකතුත් ඔතාගෙන ෆේ‍්‍රම් එකෙන් ෆේ‍්‍රම් එකට සෙමියොටික්ස් (ෆිල්්ම් එකේ සහ ඉන් පිටත* කියවන්න ගත්තා. ස්ටයිල් එකක් සහ ෆැෂන් එකක් අතර වෙනසෙ මං නතර වුණා.

මට දැනිච්ච එක චාල්ස් බුකොව්ස්කි මෙහෙම කිව්වා.

‘හරි, අපි පටන් ගමු. අනං මනං විකාර නැතුව කෙලින්ම ඔය කියන කලාව ඇතුලට බහිමු..ස්ටයිල්..ඒක තමයි හැම දේකටම දෙන්න තියෙන උත්තරේ. කම්මැලි දේකට හරි අන්තරායකාරී දේකට හරි බහින්න තියෙන අලූත් විදිහක් කියන එක. අනතුරුදායක දෙයක් වුණත් ස්ටයිල් එකක් නැතුව කරනවට වඩා හොඳයි කම්මැලි වැඩක් ස්ටයිල් එකට කරන එක. ඒත් මං ආර්ට් කියන්නෙ අනතුරුදායක දේවල් ස්ටයිල් එකක් ඇතුව කරන එකට. බුල් ෆයිටින් කියන්නෙ ආර්ට් එකක්. බොක්සින් කියන්නෙ ආර්ට් එකක්. ආදරය කරන එකත් එහෙමයි. සාඩින් ටින් එකක් අරින එක වුණත් ආර්ට් එකක් වෙන්න පුළුවන්. ගොඩක් අයට ස්ටයිල් එකක් නෑ. ගොඩක් අයට ස්ටයිල් එකක් තියාගන්න බෑ. මං දැකලා තියෙනවා මිනිස්සුන්ට වඩා ස්ටයිල් එකක් තියෙන බල්ලො. ඒත් ගොඩක් බල්ලන්ට ස්ටයිල් එකක් නෑ. පූසො හැමෝටම වගේ ස්ටයිල් එකක් තියෙනවා. හෙමින්වේ ෂොට් ගන් එකකින් එයාගෙ මොළ කෑලි බිත්තියෙ ඇලවෙන්න වෙඩි තියාගනිද්දි එතන ස්ටයිල් එකක් තියෙනවා. සමහර වෙලාවට ඔයාට ස්ටයිල් එකක් දෙන්නෙ අනිත් මිනිස්සු. ජෝන් ඔෆ් ආර්ක් ට ස්ටයිල් එකක් තිබුණ. ක‍්‍රිස්තුස්ට, සොක‍්‍රටීස්ට, සීසර්ට, ගාර්සියා ලෝකාට ස්ටයිල් එකක් තිබුණ. මට හිරගෙදරදි ස්ටයිල් එකක් තියෙන මිනිස්සු මුණගැහිලා තියෙනවා. මට හිරගෙදරදි එලියෙ ඉන්නවට වඩා ස්ටයිල් එකක් තියෙන මිනිස්සු හම්බුවෙලා තියෙනවා. ස්ටයිල් එක කියන්නෙ වෙනස. ඒක කරන විදිහ. ඒක කරපු විදිහ. වතුර වලක් ළ`ග කොක්කු හය දෙනෙක් හිටගෙන ඉන්නකොට...නැත්නම් ඔයා මාව දකින්නෙ නැතුව හෙළුවෙන් නානකාමරෙන් එලියට ඇවිදන් යනකොට...එතන ඒක තියෙනවා.’

-චාර්ල්ස් බුකොව්ස්කි

ලංකාවෙ ගොඩක් අයට ස්ටයිල් එකක් නෑ. ඒ වෙනුවට තියෙන්නෙ ෆැෂන් එකක්. ස්ටයිල් එකක් කියන්නෙ විලාසයට. ඒක ජීවිතෙන් හැදෙන හැඩයක්. ඒක ඇතුලෙ තියෙන්නෙ අත්දැකීම්. ඔයාගෙ ස්ටයිල් එක තියෙන්නෙ ඔයාට විතරයි. ඒත් ෆැෂන් කියන්නෙ විලාසිතා වලට. විලාසයක් ඇතුලෙ විලාසිතා ගොඩක් තියෙන්න පුළුවන්. ඒ ඔයාගෙ විලාසය එලියට කියන්න. ඒත් ඔයාට තියෙන්නෙ විලාසිතාවක් විතර නම්, ඒක බොරුවට මැජෙස්ටික් සිටි එකේ ඇවිදලා නැත්තං බැරිස්ටා කෝපි බීලා මිඞ්ල් ක්ලාස් ගතියක් පෙන්නන්න යනවට වැඩි දෙයක් නෙමෙයි. අපි ආර්ට් කියල ලංකාවෙ දකින තරමක් දකින්නෙ මේ විලාසිතා විතරයි. කොහේ හරි තියෙන රාමුවකට හැඩයක් දෙනවා මිසක් තමන්ගෙ ජීවිතෙන් ඒ හැඩය තීරණය කරන්න පරිණතකමක් ලංකාවෙ ජීවිත වල අඩුයි. මේ ෂෝර්ට් ෆිල්ම් එකෙත් රූප, සංස්කරණ, මියුසික් ඔක්කොම තිබ්බත් මොකක්ද කියන්න  ඕන කියන එක හිස්තැනක්. 

මියුසික් වීඩියෝ ඇතුලෙ මේ ‘ෆැෂන් විතරක්’ ගතිය නැගලා යනවා. පිටරට මියුසික් වීඩියෝ දිහා බලාගෙන ඉඳලා ඒකට ළ`ගින් යන මියුසික් ට‍්‍රැක් එකක් හම්බවුණු ගමන් ඒ රූප සංස්කරණ රොත්ත මෙහාට දානවා. ඒ වෙනුවට ක‍්‍රිස් කනින්හැම් වගේ රූපය තත්පර දශම දක්වා අංශූ කරමින් අදහසක් ගොඩනගන මියුසික් වීඩියෝ ඩිරෙක්ටර් ලා පවා ඒ රූප ඇතුලෙන් තමන්ගේ සංවේදනා හොයාගෙන යනවා. ඒ රූප ඇතුලෙ තමන්ගෙ අවිඥාණය ප‍්‍රකාශ කරන්න පාරවල් හොයනවා. ඒත් ලංකාවෙ අයට ඒ විදිහෙ ප‍්‍රකාශනයක් නෑ. තාක්‍ෂණික කොපියක ආතල් එක විතරයි. කඩින් කඩ තැනින් තැන අපිට එන ආර්ට් ටෙ‍්‍රන්ඞ් එක්ක (කැටලොග් එකක් නැතිව* මේ පොඩි පොඩි බොරු දාර්ශනික වෙනවා. ආර්ට් ඇතුලෙ නිශ්චිත, විචාරයක් සහිත කතිකාවක් නැති වීමත් එක්ක කොපි මෙහෙදි ඔරිජිනල් වෙනවා. මේකෙ අවදානම තියෙන්නෙ ඒ අය ලබන පුද්ගලික ලාබ වල නෙමෙයි. ඒ ෆැෂන් එක ස්ටයිල් එකක් කියල හිතාගෙන ඒ එක්ක ගනුදෙනු කරන සමාජය ඇතුලෙ. උදා විදිහට රොක් කියන එකේ වෙන රටවල තියෙන ප‍්‍රකාශනය කොයි තරම් සංකීර්ණ වුණත් ලංකාවෙදි ඒක ‘වෙන්න රොක්’ තැනකින් එහාට යන්නෙ නෑ. මෙට්ල් රොක් ගහන ලංකාවෙ කණ්ඩායම් එක්ක කතා කළාම දුක හිතෙන ගානයි. ඒ අය මෙට්ල් වෙන්නෙ ස්ටේජ් එක උඩ ඇඳුම් වලින් විතරයි. ඒ අයට මෙට්ල් වලින් කියන්න අදහසක් නෑ. ලංකාවෙ ඉංග‍්‍රීසියෙන් කවි කතා ලියන ගොඩක් අයගෙත් මේ පොත්ත විතරක් ගතිය මට මුණගැහිලා තියෙනවා. සම්මාන දිනපු ලංකාවෙ ඉඳන් ඉංග‍්‍රීසි කවියෙක්ගෙ කවි සිංහලෙන් ලියන කවියෙක් එක්ක සංසන්දනය කරලා බලන්න. ගේ‍්‍රෂන් සම්මාන දින්නත් ඒ කවි පට්ට බොළඳයි. එක්කෝ කොලෝනියල් අච්චුවට, නැත්නම් පොඩි ළමයි වගේ. ඒවා ෆැෂන්. මාර්කට් එකේ එහා මෙහා යනවා විතරයි.

”ෆැෂන් නැති වෙලා යනවා. ඒත් ස්ටයිල් කියන එක සදාතනිකයි”

මට අනුව කෘතියක අඳුරගන්න  ඕන ඔච්චරයි. නාට්‍යයක් හරි චිත‍්‍රපටියක් හරි බලද්දි මං හැමතිස්සෙම ඒක කරපු කෙනා ගැන දැනගන්න උනන්දුයි. එතකොට ඒ වැඬේ විඳිනවා නෙමෙයි කියල මට ගොඩක් අය සාම්ප‍්‍රදායික චෝදනාවක් කරනවා. ඒත් ඒ කරපු කෙනා ගැන නොදැන කෘතියක් විඳින්න මං ලෑස්ති නෑ. මට දැනගන්න  ඕන ඒක ෆැෂන් එකක්ද, නැත්තං එයාගෙ අභ්‍යන්තරය එක්ක ගැටගැහුණු ස්ටයිල් එකක්ද කියන එක. එතනින් එහාට කෘතියක හොඳ හෝ නරක මට අදාල නෑ. තමන්ගේ විලාසයක්, ප‍්‍රකාශනයක් විදිහට එන හැම දෙයක්ම ඒකටම අනන්‍ය සෞන්දර්යක් ගේනවා. තාක්‍ෂණික දෝෂ පොඩි මතුපිට කාරණා විතරයි. කෙනෙක්ට තමන්ගෙ ස්ටයිල් එකක් තියෙනවා නම් එච්චරයි.

”ඇඳුමක වටිනාකම තියෙන්නෙ ඒක ඇඳන් ඉන්න ගෑණි මත කියන එක අවුරුදු ගාණක් තිස්සෙ මං නැවත නැවත තේරුම් ගත්තා”

ස්ටයිල් එකක් ඇතුලෙ ෆැෂන් එකක් පාවිච්චි වෙද්දි ගොඩක් දේවල් කරන්න පුළුවන්. ටැරන්ටිනෝගේ ෆිල්ම් වල අපි විඳින්නෙ ඒක. රොඞ්රිගුඅස්ගෙ ‘මචෙටි’ වල කිසි ගැඹුරක් නැති වුණත් දැනෙන ෆීල් එක ඒක. මට එදා ෂෝර්ට් ෆිල්ම් එකේ දැණුනෙ නැත්තෙ ඒක.

ලංකාවෙ දැන් ස්ටයිල් කියන එක වඳ වෙමින් යන්නෙ. ආණ්ඩුවේ සමස්ත වෑයම වෙන්නෙම ජනතාවම සිංහල කියල එක ගොඩකට දාලා ඒකට බෞද්ධ කියලා සීල් එකක් ගහලා පැත්තකින් තියන එක. කැම්පස් වලට දැන් වෙමින් යන්නෙ ඒක. සිංහල බෞද්ධ කියන්නෙ විලාසිතාවක්. ඒක විලාසයක් නෙමෙයි. ඒක එන්නෙ තවත් එකකට ප‍්‍රතිවිරුද්ධ දෙයක් විදිහට මිසක් ඔරිජිනල් දෙයක් විදිහට නෙමෙයි. ඒ සිංහල බෞද්ධකමට අදාල පොදු රීතින් සම්පාදනය වෙනවා. අපේ කම, අපේ සංස්කෘතිය කියලා. මතට තිත, රොෂාන් රණවන ගේ අවිහිංසාවාදය වගේ දේවලූත් එන්නෙ මේ විලාසිතා පිටුවෙම තමයි. සිගරට් බොන මිනිහෙකුට සිගරට් නොබොන්නෙකුට වඩා ස්ටයිල් එකක් තියෙනවා කියල මං කියන්නෙ ඒකයි. 

‘ෆැෂන් කියන්නෙ ඔබ ඔබ කවුද කියා නොදන්නා විට  ඔබ කරන හැඩගැසීමක්’

ෆැෂන් එක්ක යන එකේ අවුලක් නෑ. ඒත් ඒකෙන් දිගට දිගටම අපිට ජීවිතේ මගඇරෙනවා. ජීවිතේ කියන්නෙ ස්ටයිල් එක. ඇත්ත කියන්නෙ ස්ටයිල් එක. ඒ ස්ටයිල් එකෙන් ජීවිතේ කියන අදහස අයින් වුණාම ඒක ෆැෂන් එකක් වෙනවා. ඒක දහස්වාරයක් අයිමත් ප‍්‍රතිනිෂ්පාදනය වෙන්න ගන්නවා. ආයිමත් එහෙම ෆැෂන් එකකින් ඇත්ත අදහසක් කියන්න නම් ඒ ෆැෂන් එක ස්ටයිල් එකක් ඇතුලෙ පාවිච්චි වෙන්න  ඕන. හොඳම උදා තමයි ජෝන් ට‍්‍රැවෝල්ටාව ටැරන්ටිනෝ කාලෙකට පස්සෙ පල්ප් ෆික්ෂන් එකට පාවිච්චි කරන විදිහ. 

ෂෝර්ට් ෆිල්ම් එකක් ගැන කතා කරගෙන යද්දි මේ විදිහට ඇදුනත් මේක මේ වෙලාවෙ ලංකාවෙ දේශපාලනය. අපි ජාතික ඇඳුම, කුරහන් සාටකය, නීතිය, මාධ්‍ය, සදාචාරය, අරක මේක, කියන්නෙ ෆැෂන් විතරයි. අනෙක් පැත්තට උද්ඝෝෂණ, විප්ලව, වර්ජන කියන්නෙත් ඒකට සාපේක්‍ෂ ෆැෂන්ම විතරයි. ඒක නිසා  ඕන දෙයක්  ඕන විදිහට වුණාට ජනතාවටත් කමක් නෑ. ජනතාව කියන්නෙමත් තනි සිංහල බෞද්ධ ෆැෂන් එකක් නිසා. ආර්ථිකය, විදේශ කුමන්ත‍්‍රණ විතරක් නෙමෙයි අන්තිමට අපේ මහ බැංකු වාර්තා පවා ෆැෂන් එකක් විතරක් වුණා. දැන් ශ‍්‍රී ලංකාව කියල අපි ලෝකෙට පෙන්නන ප‍්‍රතිරූපෙත් නිකංම විලාසිතාවක් විතරයි. ඒකට අනුරූප ජීවිත හැඩයක් නෑ.

ෆැෂන් වලට වෙන රටවලින් පිළිගැනීමක් හම්බුවෙනවා. අදහස් වල ඉඳන් හැම දෙයක්ම අපි වෙන රටවලින් කොපි කරන නිසා ඒවාට සාපේක්‍ෂ අගයක් ලැබෙනවා. ඒත් ඇත්ත විලාසයකට (ස්ටයිල් එකකට* ඒ පිළිගැනීම ලැබෙන්නෙ නෑ. ලංකාවෙ දැවැන්ත සිනමාකරුවෙක් විදිහට පිළිගන්න ලෙස්ටර්ගේ චිත‍්‍රපටි ඇතුලෙත් මට පේන්නෙ මේ විලාසිතාව විතරයි. ඊට එලියෙන් ලෙස්ටර්ගේ ජීවිතය ඇතුලෙන් ඒ චිත‍්‍රපටිවලට ආපු හැඩයක් නෑ. ඒත් ලෙස්ටර් යුරෝපය පවා පිළිගන්නා සිනමාකරුවෙක් වෙද්දි තුංමං හන්දිය කරපු සේකර හැලිලා යනවා. සේකරගෙ චිත‍්‍රපටිය ඇතුලෙ ජීවිතය තිබුණ. සේකරට ස්ටයිල් එකක් තිබුණ. ඒත් සේකරගෙ තුංමං හන්දිය සිනමාත්මකයක් විදිහට කියවන්න කාටවත්  ඕන වෙන්නෙ නෑ. මොකද සිනමාත්මකය කියන එකත් ආනයනය කරපු තනා නිමවපු එකක් නිසා. 

ඉතිං ඒ ෂෝර්ට් ෆිල්ම් එකේ විලාසිතාවට මං කැමති වුණේ නෑ. සහ නැවත නැවත ජීවිතය කියලා ඒ විලාසිතාව විලාසයක් කරන්න හදද්දි මගේ අකමැත්ත විරෝධයක් වුණා.

ආර්ට් කියන්නෙ ෆැෂන් වලට නෙමෙයි. ෆැෂන් වලට අදාල කෘතිම ජීවිත හැඩයක් හොයලා දෙන එක අයිති ඇඞ්වර්ටයිසින් වලට. ආර්ට් කියන්නෙ ස්ටයිල් එකට. ඒක ෆැෂන් කරනවට වඩා ගොඩක් අමාරුයි.

ෆැෂන් කියන්නෙ මොන තරං විකෘති හොරෙක්ද? කියල විලියම් ෂේක්ස්පියර් කියල තිබුණ.

-චින්තන ධර්මදාස


2 comments:

  1. අපේ මිනිස්සු හිතන්නේ වෙන එකෙක් වගේ වෙන්න හැම තිස්සෙම...තමන්ටම අවේනික ස්ට්යිල් එකකට බයයි ගොඩක් වෙලාවට...සමාජයෙන් හදල තියෙන රටවටන්ට පිටින් යන්නේ නැතුව එකේ ඇතුලේ ඉන්න එවුන් තමන්ගේ හිතට අවන්කනොවූ එත් රටාව එක නිසා කරන දේවල් ගොඩයි...දුකයි ඒ ජිවිත ගැන උන් කොහම ඒ ජිවිත වෙලා හිර වේල ඉන්නවද දන්නේ නෑ

    ReplyDelete