Sunday, June 3, 2012

Story of O

















අසාමාන්‍ය කිසි දෙයක් නෑ.. කිසි දෙයක් අමුතු නෑ
මොකක්වත්ම නැති ගානයි
පරණ විදිහමයි... ඒ පරණ වැස්සමයි
මෙතන එක්ස්ප්ලෝෂන්ස් නෑ
ඊට පස්සෙ
සාමාන්‍ය නැති දෙයක්... මොකද්දෝ අමුත්තක්..
ඒ කිසි දෙයක් නැති හිස්තැනින්..

මං දැක්කා පියාඹන පීරිසියක්
ඉගිල්ලෙනවා ඔයාගෙ ජනේලෙට එහායින්
ඔයා දැක්කද... ඒක නොපෙනී ගියා...
ඒමී... එන්න මගෙ තාප්පෙ උඩින් ඉන්න...
ඇවිත් කියවන්න ‘ස්ටෝරි ඔෆ්  ඕ’
කියන්න විශ්වාසෙන් වගේ
මේ ශතවර්ෂෙ අන්තිමේ
වෙනසක් තියෙයි
ඔයාටයි....මටයි...

මේ ලෝකෙ මං ආසම සිංදුව. ඒක කියන්නෙ ඬේමියන් රයිස්...එයාගෙ පපුව ගැඹුරෙන්ම එන කෙඳිරියත් එක්ක... ඬේමියන් රයිස් මේ සිංදුව කියල නොතිබුණා නම් මං කවදාවත් ඔයා ළ`ගට එන එකක් නෑ... ඒමී මට කිව්වා.

ඬේමියන් රයිස් කියන්නෙ අයිරිෂ් ගායකයෙක්. තමන්ගෙම සිංදු ලියන..තමන්ම ලියන සිංදු කියන.. ඇත්ත ගායකයෙක්.. රයිස් මුලින් වැඩ කරන්නෙ ‘ජුනිපර්’ කියලා බෑන්ඞ් එකක් එක්ක. පස්සෙ රෙකෝර්ඞ් ලේබල් එක්ක එයාගෙ ආර්ට් එකට කරන්න වෙන සීමාවන් වලින් කළකිරිලා එයා බෑන්ඞ් එකෙන් අයින් වෙනවා. සිංදු කියන එක අත්ඇරලා ආයිමත් ගම් පළාතට ගිහින් වගා කරන්න පටන් ගන්නවා. එහෙදි අහම්බෙන් එයාගෙ සිංදු අහන හිතවතෙක් තමයි එයාට මෝබයිල් ස්ටුඩියෝ එකක් දෙන්නෙ ඉස්සරහට වැඩ කරගෙන යන්න.

ඒමී සිංදුව එන්නෙ රයිස්ගෙ ‘ ඕ’ කියන ඇල්බම් එකේ. මොකක්ද මේ ‘ ඕ ගේ කතාව’?

අවුරුදු දා හතරෙ පහලොවෙ කාලෙදි අපි ෆිල්ම් බලන්න එකතු වෙනවා වීඩියෝ ප්ලේයර් එකක් තියෙන කවුරු හරි යාලූවෙකුගෙ ගෙදරට. ඒ ගෙදර කවුරුවත් නැති දවසට. හොඳට සෙක්ස් තියෙන වීඩියෝ එකක් හොයාගෙන ඇවිත්  බලන එක කියන්නෙ මාර ලොකු වැඩක්. ආතල්ජනක අපරාදයක්. ඒ කාලෙ තියෙන්නෙත් වීඑච්එස්. ගොඩක් වෙලාවට ඒවායෙ පුස්.

ඔහොම දවසක අපි මෝටර් බයිිසිකලේකුත් තල්ලූ කරගෙන (ඒක පැද්දට වඩා කළේ තල්ලූ කරපු එක) වීඩියෝ සෙන්ටර් එකට ගිහින් යාන්තං රැවුල වැවිලා තිබ්බ අපේ යාලූවෙක් ඉස්සරහට දාලා අරං ආපු සොෆ්ට් පෝර්න් එකක නම ‘ස්ටෝරි ඔෆ්  ඕ’. ඒ වීඩියෝ කඩවල ‘පෝර්න්’ කියලා ගොඩක් වෙලාවට දෙන්නෙ (සම්භාව්‍ය) ෆිල්ම්ස්. මං මුලින්ම ‘ලේඩි චැටර්ලි ගේ ආදරවන්තයා’ බැලූවෙත් ඒ වගේ හොරෙන් ගෙනාපු වීඑච්එස් එකකින්. ඊට පස්සෙ ඒ නම හොයාගෙන මෙල්වින් ගුණසේකර පරිවර්තනය කරපු ‘අවසර කල් රහස් තැන’ තඩි පොත පුස්තකාලෙ පෙරළලා අරං ඇවිත් කියවන්න ගත්තා. හරිහමන් කෑලි හොය හොය මුලූ පොතම කියවන්න වුණා.

කොහොම වුණත් ‘ස්ටෝරි ඔෆ්  ඕ’ බලපු දවසෙ කරන්ට් ගිහින් අපිට වීඩියෝ එක එලියට ගන්න බැරි වුණා. ගෙදර අයට අතේ මාට්ටු. පස්සෙ කට්ටියම පෝලිමට තියලා ‘මොනවද මේ බලන්නෙ?’ කියල උන්ගෙ අම්මයි තාත්තයි ඇහුවා.
මං කිව්වා,
‘ඒක සම්භාව්‍ය චිත‍්‍රපටියක්’ කියල.
ඇත්තටම තාමත් මට ‘ෆිල්ම්’ කිව්වම එන ශෘංගාරය මේ හැම රහස් දෙයක්මත් එක්ක එකතුවුණු අමුතු නිදහසක් ගැන හැ`ගීමක්.

‘ස්ටෝරි ඔෆ්  ඕ’ ගැන මගේ මතකය ආයිමත් ඇවිස්සුණේ මේ සිංදුව අහද්දි. මොකක්ද මේ ‘ස්ටෝරි ඔෆ්  ඕ’?

‘ස්ටෝරි ඔෆ්  ඕ’ කියන්නෙ 1954 පීඩකකාමය සහ ලිංගික යටත්වීම වගේ කලාප හරහා ලියවෙච්ච ප‍්‍රංශ ශෘංගාරාත්මක නවකතාවක්. ඒකෙ කර්තෘ විදිහට සඳහන් වෙන්නෙ  ‘පෝලින් රේගේ’ කියලා නමක්. ඒත් ‘ඈන් ඩිස්ක්ලෝස්’ කියන ප‍්‍රංශ ලේඛිකාවයි මේ කතාව ලියන්නෙ. ඒ ‘මාර්ක්ස් ඩි සාද්’ ගෙ රචනා වලට මාර විදිහට ආශක්ත වෙලා හිටපු එයාගෙ පෙම්වතා වෙනුවෙන්. මේ පෙම්වතා ‘ජීන් පෝලන්’ ඡයාරූප ශිල්පියෙක්. එයා ඈන්ට කිව්වෙ කවදාවත් ගෑණියෙකුට ‘සබ්මිෂන්’ කියන වර්ගයේ සාද් තරම් භාවමය කෘති කරන්න බෑ කියලා. ඈන් අභියෝගය බාර ගන්නවා. එයා ජීන්ට එවන ආදර හසුන් විදිහට මේ නවකතාව ලියන්න පටන් ගන්නවා. ඇත්තටම ඒ ලියවිල්ලෙන් ජීන් අන්දමන්ද වෙනවා.

මේ පොතට පූර්විකාව ලියන්නෙත් ඒ පෙම්වතා, තමන් මේ ලේඛිකාව ගැන කිසි දෙයක් නොදන්න ගානට. මේක ඇත්තටම ඒ දෙන්නා අතර ආදර ගණුදෙනුවක්. පොත මුද්‍රණය වෙන්නෙ ඒ ආදරේ ලකුණක් විදිහට. තමන් නොසිතපු තරම් අඳුරු ගැඹුරු තැන් දක්වා කිමිදෙන්න තමන්ගේ පෙම්වතියට තිබුණු හැකියාව ගැන ආඩම්බරයක් විදිහට. පිරිමි කවුරුවත් විශ්වාස කළේ නෑ මේ පොත ඇත්තටම ගැහැණියක් විසින් කළා කියන එක.

1955දි මේ පොතට ප‍්‍රංශ සාහිත්‍යය සම්මානය පිරිනමනවා. (ඒ සම්මානෙ නම කියන්න ගියොත් මගේ දිව උළුක් වෙනවා) ඒත් පොත අසභ්‍ය රචනාවක් කියන චෝදනාව යටතේ අධිකරණයට යනවා. මේ ගැන ප‍්‍රංශ සදාචාර කමිටුව විසින් යෝජනා කරන ද`ඩුවම් ප‍්‍රතික්‍ෂෙප කරත් වර්ෂ ගණනාවකට මෙහි මුද්‍රණය තහනම් කරන්න අධිකරනෙට සිද්ද වෙනවා.

අවුරුදු ගාණකට පස්සෙ අසූ ගාණක් වයස ඩොමිනික් අවුරි කියන විද්වත් කාන්තාවක් පිළිගන්නවා මේ වෙස්මුහුණු හා කොටු කළ මාළිගා ආශ‍්‍රිත පරිකල්පනය තමන්ගේ කියලා. ඊට අවුරුදු දහයකට විතර පස්සෙ ඈන් ඩිස්ක්ලෝස් මරණාසන්නව ඉඳිද්දී හෙලි කරනවා ‘ස්ටෝරි ඔෆ්  ඕ’ ගැන ඇත්ත. එතකොට එයාට වයස 90ක් සහ ඊට කලින් ඩොමිනික් කියන නමින් පෙනී ඉන්නෙත් ඇයමයි..මේ විදිහට ජීවිතේ ඇතුලෙ කැරලි ගහන දෙයක් හැටියට කලාව පාවිච්චි වෙද්දි ඒක හැමදාටම හුස්ම ගන්න දෙයක් විදිහට දැනෙනවා කියල මට හිතෙනවා. ආයිමත් මට ඬේමියන්ගෙ සිංදුව මතක් වෙනවා.

ඒත්, මං ප‍්‍රාතිහාර්යයක් නෙමෙයි..
ඔයා සාන්තුවරියක් නෙමෙයි
ගමනාන්තයක් නැති මේ පාරෙ
තවත් එක සොල්දාදුවෙක් විතරයි....

‘ ඕ’ ගෙ පෙම්වතා විසින් ශෘංගාරයේදී තමන්ගෙ සිරුර සහ අනන්‍යතාව දියකිරීම, කැපකිරීම ගැන පුහුණු වෙන්න ඇයව පිරිමි කණ්ඩායමක් අතට පත් කරනවා. පියවරෙන් පියවර තමන්ව සම්පූර්ණයෙන් දිය කර හැරීමෙන් තෘප්තිය ලැබීම ප‍්‍රගුණ කරන ඇය සම්පූර්ණ වස්තුවක් බවට පත්වෙන තුරුම ඇගේ පුහුණුව තීව්ර කරනවා. ඒක නෙගටිව් දෙයක් විදිහට නෙමෙයි කතාව ඇතුලෙ එන්නෙ. ආර්ට් එකක් විදිහට. වෙනස් ගැඹුරු වින්දන මානයන් විදිහට. ඒ පරිකල්පනයේ අපූර්වත්වය වෙන්නෙ ආත්මය ඇතුලෙන් ඇත්ත ගැහැණියක් පිරිමියෙකුගේ වස්තුවක් බවට පරිවර්තනය වීමේ සංතෘප්තිය අත්දකින ඇත්තක් එතන නිර්මාණය වෙන හින්ද. සහ දේශපාලනය, හෝ දර්ශනය වෙනුවට මේ ගමනෙදි ආදරය සහ ශෘංගාරය පමණක්ම ආගම වෙන හින්ද. මේ අත්දැකීම සහ අත්විඳීම ගැන ප‍්‍රබන්ධය වෙනස් යතාර්ථයක් ඒ අවංකකම ඇතුලෙ. අවසානෙ කොහොම වුණත් මේක ආදරයේ අභ්‍යාසයක්. පීඩකකාමයේ (සේඩිස්ම්) පියා විදිහට සැලකෙන මාර්කස් ඩි සාද්ට වඩා එහාට යන්න ඈන්ට පුළුවන් වෙනවා. සාද් දකින පිරිමි ආස්වාදය ඇතුලෙන් ගිහින් ඊට විෂය වෙන ගැහැණු මනසෙ තෘප්ත සංවේදනා අවදි කරන්න ඈන් ‘ස්ටෝරි ඔෆ්  ඕ’ කරනවා. අවසානයේ වෙස්මුහුණකින් සැරසී, දම්වැලකින් බැඳී සුරතල් සතෙක් සේ මහා ප‍්‍රභූ පිරිසක් අතරට ඇවිද එද්දී ‘ ඕ’ අත්විඳින ‘සේඩිස්ම්’ වල ස්ත‍්‍රී අර්ධය (ස්වපීඩකකාමයේ ප‍්‍රාතිහාර්යය) ඈන් පලවෙනි වතාවට ලෝකෙට අඳුන්නා දෙනවා.

‘ස්ටෝරි ඔෆ්  ඕ’ කියන්නෙ ඒ කතාව.

මේ කතාව ගැන විචාරකයො එක එක දේවල් කිව්වා. ‘ ඕ’ කියන නම පාවිච්චි කිරීමේ හේතුව පවා ඒ ගොල්ලො කතා කළා. ඒ චරිතයේ නම කෙටි කිරීමට අමතරව ‘ඔබ්ජෙක්ට්’ (වස්තුව) කියන තේරුමත් මෙතනදි බලපාන්න ඇති කියලා මත පළවුණා. ඒ වගේම ‘ ඕ’ කියන අකුරෙ ස්වරූපය හැටියට නිකම්ම ‘හිලක්’ කියන රූපමය අදහසත් මේ නමේ තියෙනවා කියලා සමහරු කිව්වා. කොහොම වුණත් ස්ත‍්‍රීවාදියෝ මේ කතාවට මුල ඉඳලාම තදටම විරුද්ධ වුණා. ගැහැණියක් වස්තුවක් බවට පත්කිරීමේ පිරිමි අධමභාවය උත්කර්ෂයට නංවනවා කියලා ඒ ගොල්ලොන්ට ජුවල් නැග්ගා. කොහොම වුණත් ‘බීඞීඑස්එම්’ (බොන්ඩෙජ් සහ ඩිසිප්ලින්/ඩොමිනන්ස් සහ සබ්මිෂන්/සේඩිස්ම් සහ මැසොකිස්ම්) කියන ශෘංගාර කලාපෙ යෙදුම් ගණනාවක් ‘ස්ටෝරි ඔෆ්  ඕ’ නිසා බිහිවුණා.

ස්ත‍්‍රීවාදීන්ගේ විරෝධය ගැන කියද්දි මට සයිමන් ගැන අහපු ප‍්‍රබන්ධයක් මතක් වෙනවා. සයිමන්ගෙ කෘතිවල පිරිමි ලිංගික දෘෂ්ටියට තදින්ම විරුද්ධ ‘කුමාරි’ කියලා විද්වත් ඒත් ලස්සන ගෑණියෙක් මහජන පුස්තකාලෙ වේදිකාව උඩ සයිමන්ට පට්ට යන්න බනිනව(ලූ). සයිමන් හරිම ආසාවෙන් වේදිකාව පහළ ඉඳන් අහන් ඉන්නව(ලූ). බැනලා ඉවර වුණාම සයිමන් කියනව(ලූ), කුමාරි... ඔය තරම් සියුමැලි රතුපාට දෙතොල් තියෙන්නෙ ඔය තරං නපුරු වචන කියලා බනින්න නෙමෙය කුමාරි....ඔය රතුපාට සරාගී දෙතොල් තියෙන්නෙ මං වගේ පිරිමින්ව ඉඹින්න... කියල.

-චින්තන ධර්මදාස

1 comment:

  1. අප්පා...... මට මතක් වුනේ “මිනිත්තු එකොළහ“

    ඇත්ත පිළිගන්න අකැමැති වුනත්....... අනේ මන්දා...

    ReplyDelete