Monday, August 20, 2012

මට ගෙදර යන්න ඕනි..

කොළඹ එකම පාරවල් ආයිමත් ආයිමත් දැකලා එන ඔක්කාරෙන් මිදෙන්න හික්කඩු ගියා. මුහුද දිහා බලාගෙන හීනියට ජොයින්ට් එකක් එක්ක චිලී වයින් බෝතලයක් ගත වෙද්දි අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා සිංදු වගයක් දැම්මා යූ ටියුබ් එකේ.





‘බ්‍රෝකන් හාර්ට්ස් සිංහල කියල ගහන්න’ ඌ කිව්වෙ එහෙම.
ආදරයේ උණුසුම ළ`ග දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ...

මං කවදාවත් සෝමතිලක ජයමහ කියද්දි ඔය සිංදුව කණේ තියන්නෙ නෑ. ඒත් තිළිණ දුලාන් කියන මේ කොල්ලා කියද්දි ඒකෙ තිබුණෙ සෝමතිලක කියන කතාව නෙමෙයි. ඒක වෙනම තනුවක්. වෙනම සිංදුවක්..ගිටාර් එකකට යන්තම් තට්ටු කර කර කියන සිංදු කීපයක් එක දිගට ඇහුණා. ඒ හැම සිංදුවකම තිබුණෙ එකම කතාවක්.
මරණය....

‘මේ කොල්ලට බූට් එකක් තියල. එයා යාලූවො එක්ක ඒ දුකට සෙට් වෙලා තමයි මේ සිංදු කියල තියෙන්නෙ. ඊට පස්සෙ බයික් එකට නැගලා ඇහුවලූ,
මචං මං මැරෙන්න යනවා. කවුද එන්නෙ?’ කියල.
‘මං එනවා’ කියල තව එකෙක් නැග්ගලූ.

ඒ යන අතරෙ වෑන් එකක වැදිලා දෙන්නම එතනම මැරිලා. ඇක්සිඩන්ට් එකේ ෆොටෝ ටිකත් වීඩියෝ එකක දාලා තිබුණ. අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා කතාව කියාගෙන ගියා. ඒ හුදකලාව, ඒ කාංසිය ඒ තරමට වචන වලට ගේන්න කිසිම ගායකයෙකුට බෑ. ඇත්තටම එතනදි වචන වැදගත් නෑ. එයා කියන්නෙ මරණය. ඒක තනිකරම මරණය.

හවස ඒ තෝන්තුව මකා ගන්නත් එක්ක පාර දිගේ ඇවිදින්න ගියා. හික්කඩුව හරිම උණුසුම් නගරයක්. මූඞ් ෆික්ස් කරන්න මරු. රාස්සිගේ අව්ව වැල්ල දිගේ මැකීගෙන යද්දි ඒ අහසෙ පාට කැන්වස් පෝලිමක් දැකලා අපි නතර වුණා. ‘සැෆ්රන් රෝබ්ස්’ පොඩි චිත‍්‍ර කඩයක් වුණාට ගොඩක් ගැඹුරු වර්ණ පදාස එතන තිබුණ. ගහක ගෙඩියක් කහ පාට ඉඳන් ගුරු පාට වෙනකල් ඉදිලා නටුවෙන් ගැලවිලා විමුක්තිය ලබන තාක් පැහැ මුහු වුණු සිවුරු ගැන අදහස භාවනාවක් වගේ කැන්වස් ගණනාවක් උඩ එළලා තිබුණ. ඒක බෞද්ධ නෙමෙයි. ඊට වඩා විමුක්තියෙ පාට ගැන කතාවක්. මනුස්ස රූප වැදගත් වුණේ හරි යන්තමට.

වැඩියෙන්ම ඒ පොඩි කඬේ හැම දේකටම අදහසක් තිබුණ. ඒ ආර්ටිස්ට්ගෙ එකම තේමාවක් වෙනුවෙන් හැම පොඩි ලී කෑල්ලක් පවාම කැපවෙලා තිබුණ. පැන්සල්, බුක් මාර්ක් වගේ පුංචිම පුංචි එක්තැන් කිරීමකින් පවා ඒ ගාථාව කියවුණා. මරණය ගැන මගේ ඇතුලෙ අවුල මරණානුස්සතියකට පෙරළන්න ඒ පොඩි කඬේ පිංතූර ටිකට පුළුවන් වුණා.

 කාලෙකට පස්සෙ ආයිමත් තර්කොව්ස්කි පෙන්නනවා එස්එල්ටීටීඅයි එකේ. මුලින් බලද්දි මට තර්කොව්ස්කිව වැදුණෙ නෑ. ඒක හින්ද පස්සෙ මං ගොඩක් එයා ගැන කියෙව්වා.

‘මිනිස්සු තනිකමට හරි බයයි. තනිකම කියන්නෙ බය වෙන්න  ඕන දෙයක් නෙමෙයි. ඒක හරි ලස්සන දෙයක්. මිනිස්සු ඉගෙන ගන්න  ඕන තනි වෙන්න. ඒ තනිකම ඇතුලෙන් තමයි නියම කලාව ප‍්‍රකාශ වෙන්නෙ’ තර්කොව්ස්කි කියනවා.

‘මං ඇත්තටම හිතනවා මං චිත‍්‍රපටි කරන්නෙ ඇයි කියල. විශේෂයෙන්ම චිත‍්‍රපටි දෙකක් අතර ගතවෙන දිග කාලෙදි. මේ තරං දුක් විඳගෙන මං චිත‍්‍රපටි කරන්නෙ ඇයි?’ එයා එායවම ප‍්‍රශ්න කරනවා.

මං නොස්තැල්ජියා බලන්න ගියේ හු`ගක් විශාල තර්කොව්ස්කි කෙනෙක් හිතේ තියාගෙන. මං යද්දි සමන් වික‍්‍රමාරච්චි චිත‍්‍රපටිය ගැන කතා කරනවා. ෆේ‍්‍රම් එකෙන් ෆේ‍්‍රම් එකට ගැඹුරු විශ්ලේෂණ කරමින් ඇවිත් එයා අන්තිම ෆේ‍්‍රම් එක ගැන කතාවක් කිව්වා. ඒ ප‍්‍රධාන චරිතය හරියට ෆොටෝ එකකට වගේ කැමරාව දිහා බලාගෙන එයාගෙ ගම්බද ගෙදර ඉදිරිපිට ඉන්න දර්ශනය. කැමරාව ඈතට යද්දි අපි දකිනවා ඒ ගෙදර තියෙන්නෙ රෝම බලකොටුවක් ඇතුළෙ වග.

‘මේ කිසි දෙයක් බාල සංකේත නෙමෙයි’ තර්කොව්ස්කි කියනවා කියල සමන් එතනදි කිව්වා.
ඒත් මේ ෂොට් එක මට අනුව පට්ට චාටර්. තනිකර අමුම අමු සංකේතයක්. කොලේක ලියන්න පුළුවන් තරම් ද්විමානයි ඒක. තර්කොව්ස්කි මගේ ඉස්සරහ ඇකිලෙන්න පටන් ගත්ත.

තර්කොව්ස්කි හරියට අපේ ජේවීපීකාරයෙක් වගේ. ගඩොලක් වගේ තදයි. පට්ට සීරියස්. එයා ‘ආර්ට්’ කියල එයාගෙම පරමාදර්ශයක් හදාගෙන ඒක වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්නෙ. ඒ පණ්ඩිතකම ඇතුලෙ මං දැක්කෙ ළදරුකමක්. චිත‍්‍රපටියක කාලය සහ අවකාශය ගැන තාක්‍ෂණික කාරණා අතින් එයා උපරිමයෙන් පරිණතයි. ඒත් ඒ තාක්‍ෂණය නිසාම එයා ජීවිතය පැත්තෙන් සීමිතයි. මට පුදුම හිතෙනම කාරණය වුණේ විචාරකයන් බොහොමයක් තර්කොව්ස්කි ආධ්‍යාත්මික සිනමාකරුවෙක් විදිහට හඳුනාගන්න එක. එයා දර්ශනික චිත‍්‍රපටිකරුවෙක්. ඒ දර්ශනය ඇතුලෙම එයා පුංචි වෙලා.

’‘මං ඊයෙ දෙවෙනි පාරට තර්කොව්ස්කිගෙ නොස්තැල්ජියා බලන්න ගියා. පළවෙනි වතාවෙ මං ඒක බැලූවෙ ලැප්ටොප් එකක. වැඩි ආස්වාදයක් බලාපොරොත්තුවෙන් මං කලින්ම ගොඩක් විස්තර ඒ ගැන කියෙව්වා. ඒත් ෆිල්ම් එක බැලූවම....ඒක ඛේදවාචකයක්. ඒක තර්කොව්ස්කිගෙ අවංකකම ගැන අවුලක් නෙමෙයි. ඒත් මට හිතෙන්නෙ ආර්ට් කියන්නෙ ජීවිතයට පරිබාහිරින් තියෙන වෙනම දෙයක් කියල ගන්න එකයි, සෞන්දර්යාත්මක අගයන්  ඕනවට වඩා තක්සේරු කරන එකයි හින්ද වෙන අපරාදයක් කියල. හැම ෂොට් එකක්ම ප්ලෑන් කරලා කියල දැනෙනවා. චරිත කැමරාවටම හරියට හැරෙනවා, නැගිටිනවා, නවතිනවා. මේ වගේ නිශ්චිත හැසිරීමක් ඇතුලෙ ෆිල්ම් එකක් පට්ට බෝරිං. ජීවත් වෙන කතාව කියනවට වඩා එයා ට‍්‍රයි කරන්නෙ ඒකෙ දර්ශනය කියන්න. මං හිතන්නෙ රුසියානු පොදු සින්ඩ්‍රෝමය එයාටත් තියෙනවා. මට හිතාගන්න බෑ මිනිස්සු මේ චිත‍්‍රපටි ගැන මහ ලොකුවට කතා කරන්නෙ ඇයි කියල’’
මං ෆිල්ම් එක බලලා ඇවිත් සත්‍යට කිව්ව. ඌ පට්ට උත්තරයක් දුන්න.

‘‘ඒක හින්ද තමයි මං කීප පාරක් ට‍්‍රයි කරල බැරි වුණාම තර්කොව්ස්කිව බලන්න කරදර නොවුණෙ. අනිවාර්යෙන්ම එයා සිනමා සෞන්දර්ය ගැන දෙවියෙක් වගේ වෙන්න ඇති. එයා මුදුන් මල්කඩ වගේ තමයි.
ඒත් ඉතින් දිව්‍යලෝකෙට ගියත් ඔයා ලොකුම එක්කෙනා හම්බුවෙන්න  ඕනද? මං නං ආසයි දිව්‍ය ලෝකෙ ගේට්ටුව ළ`ග ඉන්න අයට, මල් විකුණන අයට, කෝකියන්ට සහ ඩෝබි කෙල්ලන්ට’’

නොස්තැල්ජියා ඇතුලෙ කියන්නෙ මේ රුසියානු මාස්ටර්වරයාගේ ඇත්ත අත්දැකීමක්. තර්කොව්ස්කිගෙ අනිත් චිත‍්‍රපටි වලට වඩා මේක ගොඩක් වෙනස් සහ මට අනුව දුර්වලම එක. රුසියාවෙන් පිට තර්කොව්ස්කි කරන පළවෙනි වැඬේ. හැමදෙයක්ම අලූත්. වැඩ කරන අය අලූත්. එයා හිටියෙ රුසියාව ගැන වේදනාවෙන්. හෝම්සික් එක නිසා තර්කොව්ස්කි අත්විඳින භාවයන් මේ චිත‍්‍රපටිය ඇතුලට ගේන්නයි එයා ට‍්‍රයි කරන්නෙ. ආපහු ගෙදර යන්න එයාට තියෙන උවමනාව. ඒත් ඒක දාර්ශනීකරණය කරන්න යන එකෙන් එපාම වෙලා යනවා.

‘‘කලාවේ කාර්යය වෙන්නෙ අදහස් ප‍්‍රකාශ කරන එක නෙමෙයි. හැ`ගීම් අවුස්සන එක නෙමෙයි. කලාවෙන් කරන්න  ඕන මිනිහෙක්ව මරණයට සූදානම් කරන එක. එයාගෙ ආත්මය හාන්න සහ වපුරන්න පොළඹවන එක. ඒ ආත්මය වඩාත් හොඳ කරන්න පුළුවන් අවස්ථා යෝජනා කරන එක’’ ආන්ද්‍රෙයි තර්කොව්ස්කි.
මේ කියන අදහස් මාර වුණාට එයා ෆිල්ම් ඇතුලට මේක ගෙනියන විදිහ හු`ගක් ශාස්ත‍්‍රීයයි. ඒ හින්දම අජීවියි. තර්කොව්ස්කි කියන්නෙ මන්දගාමී සිනමාවේ පුරෝගාමී චරිතයක්. හොලිවුඞ් සිනමාව සංස්කරණයත් එක්ක වඩාත් ප‍්‍රවේගකාරී වෙන්න ට‍්‍රයි කරද්දි යුරෝපියානු ආර්ට්හවුස් කට්ටිය සිනමා රූපය නවත්තලා තියන්න ට‍්‍රයි කළා. මේක අන්ත දෙකක්. පස්සෙ මේ මන්දගාමී රූප වින්‍යාසය යුරෝපියානු ෆෙස්ටිවල් සිනමාවෙ සළකූනම වුණා. අපේ අලූත් සිනමාකරුවො ගොඩක් අයත් ෆේ‍්‍රම් එක නතර කරලා තියන්න සහ දෙබස් නැති චිත‍්‍රපටි හදන්න පෙළඹෙන එකේ ආභාෂය තියෙන්නෙ මෙතන.

‘‘අන්තිමට හැම දෙයක්ම පැවැත්ම සම්බන්ධ එකම එක තැනකට එනවා. ඒ තමයි ආදරය කරන්න තියෙන ඉඩ. ඒක කෙනෙකුගෙ ජීවිතයෙ හැම දේකම මූලික දේ වෙන තැන දක්වා වැඩෙන්න පුළුවන්. මගේ චිත‍්‍රපටිවල අරමුණ වෙන්නෙ ඒවා නරඹන අය ආදරය කරන්න තමා තුළ ඇති අවශ්‍යතාව ගැන සාවධාන කරන එක. ඒ ආදරය බෙදා ගන්න ඇති අවශ්‍යතාව ගැන සංවේදී කරන එක. ඔවුන්ව කැඳවන ඒ අලංකාරය ගැන ඇහෙන්න සලස්සන එක’’
-තර්කොව්ස්කි

නොස්තැල්ජියා බැලූවට පස්සෙ එක දිගට තිබුණු ඉතුරු චිත‍්‍රපටි ටික බලන්න මට තිබුණු උනන්දුව නැති වෙලා ගියා. ජීවිතය ගැන අර්ථයක් දෙන්න සිනමාවෙන් උත්සාහ කරනවා කියන එකම බොළඳ වැඩක්. ජීවිතේ තේරුං කරන්න හදන සිනමාව එක විදිහකින් නැත්තං වෙන විදිහකින් මතවාදීයි. ඒ මතවාදී සිනමාවට ජීවිතේ ගැඹුරු අහුමුළු ඉව කරන්න බෑ. කතෝලික ආධ්‍යාත්මයක් ඇතුලෙන් ජීවිතයේ වේදනාව ගැන සත්‍යයන් පසක් කරන්න තර්කොව්ස්කි වෙන මහන්සිය මට බලන් ඉන්න අමාරුයි.

 ඒත් අඩු තරමෙ ඒක අවංකයි. තර්කොව්ස්කිගෙ සිනමාව ඇතුලෙන් තමන්ගෙ ජීවිතය දකින්න හදන අපේ සිනමාකාරයො එතනදි කොයි තරං අවංකද?

මට වොරන් බෆට් කියන කතාවක් මතක් වෙනවා.
‘අවංකකම කියන එක හු`ගක් වටින දෙයක්. බාල මිනිස්සුන්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා’

-චින්තන ධර්මදාස


7 comments:

  1. මෙහෙම පෝස්ට් ලියන සිරිතක් තියෙනවද..?

    පෝස්ට් එක කියව්වේ තිළිණ දුලාජ්ගේ සින්දුව බැක්ග්‍රර්වුන්ඩ් එකේ යන ගමන්. මගේ හුස්ම හිරවෙන්න වගේ ආවා. උබට මූඩ් ෆික්ස් කර ගන්න චිත්‍ර ටිකක් වත් තිබුණා, දැන් අපි මූඩ් ෆික්ස් කර ගන්නේ "සිහින පියාපත්" බලලද..?

    මේ වගේ පෝස්ට් ලියනවට මූව මූද මැදට ගිහින් දාන්න ඕන.
    "මර්වින් මෙන්න මූව මූද මැදට ගිහින් දාපන්"

    ReplyDelete
    Replies
    1. well said. slowly dying while listening...

      Delete
  2. Broken Heart by Thilina Dulan.

    මරණය ඔහුට සැනසීමක් ගේන්න ඇති. අපි හිතන තරම් මරණය කළු නැහැ.

    ReplyDelete
  3. ඔහු සිතේ වෛරය ක්‍රෝධය පලාතකවත් නැහැ වේදනාව හා මුසු වෙච්චි ආදරයයි මට නම් දැනුනේ...

    “ සුරංගනා වි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවි“

    ReplyDelete
  4. lets js call it tharkowsy syndrome

    ReplyDelete
  5. mokak liyannada kiyala therenne na. mukuth noliya innam.

    ReplyDelete
  6. නෝනාවරුනි මහත්වරුනි, මේ සිද්ධි දාමයෙන් අපට ගතහැකි ආදර්ශය ඉතා වැදගත් එකක්.
    ඒ තමයි, “ බීමතින් රිය පැදවීම අනතුරුදායකයි “ කියන එක.

    ReplyDelete