ඓතිහාසික දෙවෙනි වතාවටත් මහල්වරාවෙ බේකරියෙ සංගීත සැණකෙලිය සංවිධානය වෙනවා. ඩවුන් ටවුන් පල්ස්. ඒකයි මේ පාර නම. ෆේස් බුක්, යූ ටියුබ් වලින් ඉතා හොඳ මට්ටමක ප‍්‍රචාරයක් දුන්නා කියන එකයි මගේ අදහස. වඩාත් වැදගත් දේ මේ වැඬේ තවත් පළල් වෙමින් වෙනස් වෙනස් මියුසික් වැඩ සන්තතිකව කරමින් ඉන්න තවත් අය එක්වෙමින් තවත් පාරක් කෙරෙන එක. ලංකාවෙ මේ වෙලාවෙ කිසි දෙයක් නොකර අනිත් උන් කරන දේක දොස් විතරක් කියන වටපිටාවකදි මේ වගේ වැඩ අලූත් හුස්මක් දෙනවා. මොනවා වුණත් කල්චරල් ප්‍රොඩක්ෂන් එකක් (සංස්කෘතික නිෂ්පාදනයක්) විදිහට මේ කනත්තක් වගේ වුණු රටක සිංදු කියන එකත් ලොකු වැඩක්.
මේ කරන්න යන වැඩෙත් එක්ක අපි ගොඩක් වෙලාවට මේ විදිහෙ ප‍්‍රසංග හඳුන්වන්න පෙළඹෙන ‘අන්ඩර් ග‍්‍රවුන්ඞ් මියුසික්’ කියන ෂොනරය ගැන මං ටිකක් කියෙව්වා. ‘ප‍්‍රධාන ධාරාවට බැහැරින් වැඩ කරන විවිධ සංගීත ධාරාවන් සමස්තයක්’ වෙනුවෙන් මේ අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියන වචනෙ පාවිච්චි කරන්න පුළුවන්. විකිපීඩියාව කියන විදිහට පොදු භාව සංකේතයන් ප‍්‍රකාශමාන කරන, වඩාත් අවංක සහ සංවේදී කියන තත්වයන්ට සමීප වෙන්න උත්සාහ කරන, ප‍්‍රධාන ධාරාවේ අතිශය වාණිජකරණය වූ සහ වට්ටෝරුගත වූ සංගීතයට වෙනස් යමක් යෝජනා කරන කියන අදහස මේ අන්ඩර්ග‍්‍රවුන්ඞ් කතාව ඇතුලෙ එනවා. ලෝක මට්ටමෙන් මේ විදිහ වුණත් ලංකාවෙ අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියලා හඳුන්වන්න පුළුවන් සංගීතයක් ඇත්තටම බිහිවෙලා තියෙනවද කියන එක ගැටළුවක්. ඒ විදිහෙ පුළුල් භාවිතාවක් තාමත් අපේ අඳුරගන්න බෑ කියන එකයි මගේ අදහස. අජිත් විසින් කරන සුගම ස්වර වෙනුවට එකිනෙක හැපෙන ස්වර භාවිතාව කියන රළු ප‍්‍රවේශය අපේ අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියන කලාපෙ ඇතුලෙ අධිනිෂ්චය වුනා කියලයි මට හිතෙන්නෙ. වෙනස් ප‍්‍රවේශයන් ගණනාවකින් තමන්ගේ සංගීතමය ප‍්‍රකාශනය ඩිවොලොප් කරනවා වෙනුවට එකම භාවිතාවක් වටේ ගොඩක් දෙනෙක් හැසිරෙන්න ගත්තා වගේ කියල මට හිතෙනවා. මේක මේ ඊයෙ වාමාංශික කට්ටියක් කරපු මරා ගැනීමකදි හැඳින්නුවෙ ‘අජිත්ගෙ ටේරන්ඞ්’ එක කියල.
මං මෙතන කතා කරන දේ මගෙන් අන්ඩර්ග‍්‍රවුන්ඞ් මියුසික් කරන මගේ යාලූවන්ට වෙන විවේචනයක් විදිහට බාර ගන්න එපා කියලා මං ඉල්ලනවා. මේක විවේචනයකට වඩා යාලූකමට කරන අදහස් සාකච්ඡුාවක්. නැතුව මං වෙන තැනක ඉඳන් ඒ අයව තව තැනක තියාගෙන කරන වාමාංශික බැට දීමේ කලාවක් ප‍්‍රගුන කරන තැනකට වැටෙන්න මට ඕන නෑ. මාත් ඇතුළු සෞන්දර්ය ප‍්‍රවේශයක් වෙනුවෙන් වැඩ කරන පිරිසක් අතර අදහස් ගනුදෙනුවක් විදිහට මේ කතාව ලියන්නෙම උන් කරන වැඬේට ආදරේ හින්ද. ( මේ මෑතක පශ්චාත් මාක්ස්වාදියෙක් කියන කෙනෙක් මට කිව්වෙ එහෙම අදහස් වලින් වැඩක් නෑ ඒ ගොල්ලොන්ට අවශ්‍ය ආර්ගියුමන්ට් (තර්ක) කියල. වාසනාවකට මං වාමාංශිකයෙක් නෙමෙයි)
අපේ රටේ අන්ඩර්ග‍්‍රවුන්ඞ් එකිනෙකට අසම්බන්ධිත ධාරා දෙකක් විදිහට ගොඩනැගෙනවා. එකක් සිංහල ධාරාව. අනික ඒ හා කිසි ගනුදෙනුවක් නැති ඉංග‍්‍රීසි ධාරාව. බ්ලැක් මෙට්ල්, ඩෙත් රොක් වගේ පිටරට අන්ඩර්ග‍්‍රවුන්ඞ් ධාරාවන් කොපි කරමින් ඉංග‍්‍රීසි එක හැදෙද්දි බොබ් මාලෙ, ජෝන් ලෙනන් වගේ අය අනුව යමින් සිංහල එක ගොඩනැගෙනවා. මේ ධාරාවන් දෙකේම තියෙන පොදු ලක්ෂණයක් මං දකිනවා. ඒ තමයි පරාරෝපණය. විකිපීඩියා අර්ථය අනුව තමන් අවට ඇති සමාජයේ සැබෑ මූලයන් සහ ශක්‍යතාවයන්ට අවංක වීමේ අරමුණින් අන්ඩර්ග‍්‍රවුන්ඞ් මියුසික් කියන එක හැදෙනවා කිව්වට අපේ රටේ ඒක වෙන්නෙ වෙනස් විදිහට. අපි අපිට අදාල නැති වෙනස් සංදර්භයන්ට, වෙනස් ජීවිත කලාපයන්ට පරාරෝපණය වීමක් සිද්ද වෙනවා. ඉංග‍්‍රීසි ධාරාවෙ පිරිසට ලංකාවෙ පොලොව ගැන අබමල් රේණුවකවත් වැටහීමක් නෑ. සහ ඒ අය දේශපාලනික ප‍්‍රවේශයන් ප‍්‍රතික්‍ෂේප කරන තත්වයක් තියෙනවා. සිංහල ධාරාව සම්පූර්ණයෙන්ම ලංකාවෙ වම විසින් ගිලලා. ඒ වාමවාදී මළ අදහස් ප‍්‍රතිරාවය කරනවා ඇරෙන්න ලංකාවෙ ඇත්ත ශ‍්‍රව්‍ය කලාපය එක්ක අභියෝගයකට සිංහල අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියල අපිට හඳුනගන්න තියෙන භාවිතාව වැඩ කරන්නෙ නෑ. උදා විදිහට ලංකාවෙ යම් ප‍්‍රජාවකට ඓන්ද්‍රිය සංගීතමය භාවිතාවක් එක්ක තමන්ගෙ වෙනස් අදහස් ස්ථානගත කරන්න ඒ ගොල්ලොන්ට බැරි වෙනවා.
මේ වාමවාදී (මේකට මං කියන්නෙ පරාරෝපිත කියල) අර්බුදයෙන් යම් තරමකට හරි ගොඩ ආවෙ මේ රැුල්ලෙන් දෙන්නයි කියලයි මං හිතන්නෙ. එක්කෙනෙක් අජිත් කුමාරසිරි. අනිත් එක්කෙනා ජෝන් සීනා කියපු අමිල. ඒත් කරුමෙක මහත කියන්නෙ ඒ දෙන්නා සමාජගත වීමේ සහ ඇසීමේ අවකාශය පවා මේ වම විසින් සීමා කරනවා. උදා විදිහට මෑතක පවත්වපු මං කලින් කියපු ගුටි ඇණ ගැනීම සඳහා එකතු වීමට මාතෘකාව වෙලා තිබුනෙ ‘අජිත් ගේ ගීතය දේශපාලනිකද?’ කියන එක. මේක හරි විහිළු අදහසක් මං කියන්නෙ. තේ කෝප්පයක පවා දේශපාලනය තියෙනවා කියන්නෙ හු`ගක් ඇරිස්ටෝටල්ගෙ කාලෙ ඉඳන් කියන කතාවක්. යම් සමාජ ක‍්‍රියාවක තියෙන දේශපානික ගතිකයන් තේරුම් ගැනීම දක්වා තමන්ගේ ‘දේශපාලන දේශපාලන’ කියන බිත්ති ටිකක් ලොකු කර ගන්නවා වෙනුවට මේ සාකච්ඡුා වලින් කරන්න හදන්නෙ තමන්ගෙ දේශපාලනයට කොයිතරං එක`ගව අජිත් සිංදු කියනවද කියල හොයන්න යන විදිහෙ වැඩක්. අනිත් පැත්තෙන් අජිත්ව ඒ කඳවුරට ඒ මෝඩ සීමාවට තියලා බැඳගැනීමේ උත්සාහයක්. ඕන ආර්ටිස්ට් කෙනෙක් (භාතිය සන්තුෂ් වුනත්) අපේ වාමවාදී පක්ෂයකට වඩා දේශපාලනිකයි. මගේ අදහස අනුව පොලිටිකල් කියන ගොළුබෙලි කට්ටෙන් එලියට එන්නෙ නැතුව ආර්ට් කරන්න බෑ. ඒ පරාරෝපිත අවකාශයෙන් එලියට ආවමයි ඇත්ත දේශපාලනයන් මුනගැහෙන්නෙ. සංගීතය පැත්තෙන් ගත්තොත් ලංකාවෙ ශ‍්‍රව්‍ය ව්‍යවස්ථාවන් එක්ක ඇත්ත ගැටුමකට යන්න පුළුවන් ඒ විවෘත පිට්ටනියෙදි විතරයි. උදා විදිහට ආයිමත් අජිත් කුමාරසිරිව ගත්තොත් එයා නාද වලට එරෙහිව ශබ්ද කියන එයාගෙ අභියෝගය ස්ථානගත වෙන්න අවශ්‍ය විශාල වේදිකාව මේ වම නිසා ඉස්කෝලෙ පංතියකට වගේ සීමා කර ගන්නවා. අමිලගේ (ඇත්ත නැත්ත මං දන්නෙ නැති වුනත්) ජෝන් සීනා ඩයලොග් රින්ග් ටෝන් එකකට විකුණන්න කතා කරපු වෙලාවත් මේ වගේ. ජෝන් සීනා රින්ග් ටෝන් එකක් වෙන එක තමයි මට අනුව ඇත්ත ශ‍්‍රව්‍ය කලාපය මුණගැහෙන්න තිබ්බ අවස්ථාව.
මොකක් හරි ලොකු අවුලක් හින්ද අපේ අන්ඩර්ග‍්‍රවුන්ඞ් ආර්ටිස්ට්ලා ජනප‍්‍රිය වීමට විරුද්දයි. පොපියුලර් වෙනවා කියන එක නිකං පොලිටිකල් නොවන හෝ අඩු තත්වයක දෙයක් වගේ ගොඩක් අය හිතන්නෙ. පොපියුලැරිටි එකට විරුද්දව මේ විදිහට ගුහාගත වෙන එක මං හිතන්නෙ නියම ඇත්ත කන් වලට ඇතුල්වෙන්න තියෙන බයක්. යම් කිසි කන්‍යාරාමයක වගේ කොටසක් වීමෙන් ආත්මාරක්‍ෂාව සලසා ගැනීමේ උත්සාහයක්. මගේ අදහස ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙ අම්බපාලි වගේ ගණිකාවක්.
ෂොල්මො ෂර් කියන ‘ෆිලෝසොෆි ෆෝ ආර්ටිස්ට්’ නිබන්ධනයෙ කියන විදිහට අන්ඩර්ග‍්‍රවුන්ඞ් මියුසික් ගැන තියෙන බරපතල වැරදි වැටහීමක්. ඒක රේව් හෝ ඉලෙක්ට්‍රොනික හෝ කියන කිසියම් සංගීතමය ෂොනරයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. ඒ වෙනුවට ප‍්‍රධාන ධාරාවට අභියෝගයක් වෙන කවර හෝ සංගීතමය ප‍්‍රවේශයක් අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියන කාණ්ඩයට වැටෙනවා. ඒකෙ වෙනස වාණිජමය වටිනාකම් වෙනුවට බෙදාහදා ගැනීම සහ බිම් මට්ටමේ යතාර්ථයන් එක්ක ගැටීම කියන කාරණා ප‍්‍රමුඛ කර ගන්න එක. ඒ වගේම ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් තමයි ඒ අය වාණිජ ප‍්‍රධාන ධාරාවට අනුගත නොවී වැඩ කරන්නෙ. ආර්ට් කියන එක වඩා ගැඹුරු, අවංක තැනක් දක්වා ස්පර්ශ කරවීමයි මේ අභ්‍යාසයේ අරමුණ.
මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ සිංහල අන්ඩර්ග‍්‍රවුන්ඞ් මියුසික් රැුල්ලෙ අභාෂයක් වුණු ජෝන් ලෙනන්, බොබ් මාලෙ වගේ සංගීතමය භාවිතාවන් තමන්ගේ අනන්‍යතාවය එක්ක ජනප‍්‍රියතාවයට පත්වෙච්ච මියුසිික්. ජෝන් ලෙනන් එක වෙලාවක කියනවා ‘දැන් අපි ජීසස්ටත් වඩා ජනප‍්‍රියයි’ කියල. වාණිජ ධාරාවන්ට බැරි වෙනවා ඒ අයගේ ඔරිජිනල් හිතුවක්කාරකම සංවර කරන්න. ඒක ඓන්ද්‍රිය හින්ද. ඩෝර්ස් කියන සංගීත කණ්ඩායමේ ජිම් මොරිසන් රේඩියෝ චැනල් එකක් ඇතුලෙ ‘කමොන් බේබි ලයිට් මයි ෆයර්’ කියනවා. අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියන්නෙ මුළුගැන්වීම නෙමෙයි. ඒ වෙනුවට වඩා විශාල පිට්ටනියක් යෝජනා කිරීම. ප‍්‍රධාන ධාරාව විසින් මග හරින තිත්ත යතාර්ථයන් අභිමුඛ කිරීම. ඒක සරල වැඩක් නෙමෙයි කොහොමවත්.
විලියම් කෝච් කියන ආචාර්යවරයා යෝජනා කරන විදිහට තමන් යෙදෙන ආර්ට් එක සම්බන්ද දාර්ශනික ඉතිහාසය ආර්ටිස්ට් කෙනෙකුට ගොඩක් වැදගත්. ඒක ලංකාවෙ ප‍්‍රධාන ධාරාවෙ අයටත් නැති එක ඇත්ත වුණත් අන්ඩර්ග‍්‍රවුන්ඞ් ආර්ටිස්ට් කෙනෙකුට ඒක නැතුවම බැරි වෙනවා. මං කියන්නෙ ෆැක්චුවල් (සිද්ධිමය) ඉතිහාසයක් නෙමෙයි. දාර්ශනික ඉතිහාසය කියන්නෙ අදහස් පරිණාමය ගැන අවබෝදය. නීට්ෂෙ කියන විදිහට පැරණි බලපෑම් වලින් නිදහස් වෙන්නත්, ඒ බැඳීම් අවශ්‍ය පරිදි මෙහෙයවා ගන්නත් ඒ හැ`ගීම් වල ඉතිහාසය දැනගැනීම වැදගත්. (විලියම් කෝච් දක්වන උපුටනයක්)
ඇන්ඩි වාර්හෝල් ගේ මේ පොලොවෙ මීට කලින් සිද්ද වුනා කියලා හිතා ගන්න බැරි වැඩ වුණත් ඇත්තට පැලකරන්න එයාට පුළුවන් වෙන්නෙ මේ අදහස් ඉතිහාසය ගැන දැනීම ඇතුලෙ. අපේ සංගීතය කරන අය ඇතුලෙ තමන් යෙදෙන සංගීත ප‍්‍රවාහයේ අදහස් ඉතිහාසය ගැන සංසන්දනාත්මක තේරුම් ගැනීමක් තිබ්බා නං මේ විකල්ප ධාරාව ටිකක් සීරියස් තැනකට එන්න තිබුණා. යම් තරමක හෝ ඒ විදහෙ කියවීමක් සහිත කීප දෙනා අතින් මේ ධාරාව ප‍්‍රවණතාගත වීම ඇතුලෙ මේක කියවෙනවා. මේක කොහෙත්ම අවුලක් නෙමෙයි. ලංකාවෙ ඉතිහාසය ගැනවත් දාර්ශනික ඉතිහාසය කියවීමක් අපේ විශ්ව විද්‍යාල වල වත් කෙරෙන්නෙ නෑ. ඒ ආචාර්යවරුන් පවා ඉල්ලා සිටින්නෙ තවදුරටත් සිද්ධිමය ඉතිහාසය විතරයි.
ඒත් මේ වෙනස් සංගීතයක් විශ්වාස කරන පිරිස මේ විදිහට එක වේදිකාවක් උඩට එන එක බලාපොරොත්තු සහගත තත්වයක් සළකුණු කරනවා කියල මං හිතනවා. මං කලින් කියපු වාමවාදී ගුටි ඇනගැනීමේ එකමුතුවෙදි මේ තත්වය අදේශපානය වෙතට තල්ලූවීමක් හැටියෙන් කියවන්න ගත්තා. ඒ කියන්නෙ මේ වමේ ගොහොරුවෙන් ටිකක් ඈතට මේ මියුසික් කට්ටිය යමින් ඉන්නවා. වෙනස් සංස්කෘතික අරගලයක්, වෙනස් ජීවිතයක් වෙනුවෙන් අප‍්‍රකාශිත එක`ගතාවයක් ඒ අය අතරෙ තියෙනවා. සහ ඒක භෞතිකයක් කරන්න ඒ ගොල්ලො සිංදු කියනවා. ඒකමත් ඇති.
-චින්තන ධර්මදාස
No comments:
Post a Comment