Sunday, April 21, 2013

කිකිළිද? බිත්තරේද?

‘ඔබ හිතන් ඉන්නෙ බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඔබ ජීවත් වෙනවා කියලද? කළු මුඩුක්කුවක් මැද්දෙන් ඇඳිරි වෙලාවක ඇවිදන් යන්න. උස මහත කල්ලෙක් එක්වරම කඩා පැනලා ඔබව බිම පෙරලාගෙන ඔලූව පාරෙ හප්පගෙන හප්පගෙන යද්දි ඔබ සිහිනයෙන් ඇහැරේවි’ කියල චාර්ල්ස් මැන්සන් එක වෙලාවක කියනවා.

ලයිෆ් ඔෆ් පායි චිත‍්‍රපටිය බැලූවොත්  ‘මං ජීවත් වුනේ ඔරුවේ අනික් කොනේ ව්‍යාඝ‍්‍රයා හිටපු නිසා. මට අවදියෙන් ඉන්න සිද්ද වුණා’ කියල පිසින් පටෙල් කියනවා.

මට හිතෙන්නෙ බොදු බල සේනාව දිහා බලන්න කලින් අපිට මේ හිතීමේ වංගුව පහු කරන්න වෙනවා කියල. ඒක ‘ගැටළුවක්, වහා විසඳුම් සෙවිය යුතු’ යන විදිහෙන් හිතද්දි අපි මේ ප‍්‍රවණතාවය සමාජයෙන් වියුක්ත කරලා අපිට  ඕන විදිහට හුදකලා කරලා ගන්නවා, හරියට බටහිර වෛද්‍ය විද්‍යාවෙදි වගේ. එතනදි අපි උවමනාවෙන් මග අරින ඇත්තක් තියෙනවා. බොදු බල සේනා කියන්නෙ වරින් වර ප‍්‍රකාශමාන වෙන ඒ ඇත්තෙ මුහුණුවරක් විතරයි.

මේ අපි ජයග‍්‍රහණය කළා කියන යුද්දයේ පසු ප‍්‍රතිඵල. ඇත්තටම එක විදිහකින් මේ පසු සමාජ මානසික ප‍්‍රතිඵල යුද්දෙට වඩා භයානක වෙන්න පුළුවන්. යුද්දෙන් පස්සෙ අපි හිතුවෙ උතුරු නැගෙනහිර පලාත් ටිකත් එක්ක වඩා ලොකු ශ‍්‍රී ලංකාවක් බුක්ති විඳින්න. ඒත් ඇත්තටම අපි බුක්ති විඳින තත්වය මොකක්ද? අපි කන්නෙ මොනවද? අපි බලන්නෙ මොනවද? අපි කියවන්නෙ මොනවද? අපි රස විඳින්නෙ මොනවද? ඇත්තටම අපි හංගොල්ලො ගොළුබෙල්ලො ගානට ඇකිළිලා නෙමෙයිද? බොදු බල කියන්නෙ ඒ ඇකිලීමේ ප‍්‍රකාශනයක්, අනෙක් පැත්තට ප්‍රොටෙස්ට් එකක් නොවෙන්නෙ ඇයි?

අපි යුද්ද කළේ දෙමළව මට්ටු කරන්න. ඒකෙන් අපි සිංහල කියන ලොකු එකට අයිති වුණා. එච්චර කාලයක් ‘කවුරුවත් නොවුණු’ නන්නත්තාර ජන රොත්තක් වුණු අපි යුද්දෙදි සිංහල කියන මාර පොරවල් ටිකක් වුණා. හොඳ ඇල්කොහොලික් ආතල් එකක් වුණු ඒ පොදු ජන ආවේශයේ කෙලවරදි අපිට තව ටිකක් ලොකු රටක් අයිති වුණා. බිම ලොකු වුණා. ඒත් අපි පොඩි වුණා. දෙමළ ශරීර ගණනක් යුද්දෙන් අඩු වෙන්න ඇති. ඒත් අපි දේශීය වෙද්දි ඒ ගොල්ලො අන්තර්ජාතික වුණා. වෙන විදිහකට නම් මනස, පැවැත්ම විශාල වුණා. ඇත්තටම යුද්දයක් දිනනවා කියන්නෙ හොඳ අයිරනි එකක් කියල මට හිතෙන්නෙ.

යුද්දෙදි කාට හරි එරෙහි වීමෙන් නිර්මාණය වුණු අනන්‍යතාවය ඒ අනිත් එකා නැති වුණාම කනාටු වෙන්න ගන්නවා. ඒ එරෙහි වීම, ගැටීම ඇරෙන්න වෙන කිසි දෙයක් නිර්මාණය වෙලා නෑ. ඒ ආතතියට, පෙලීමට අපි ඇබ්බැහි වෙලා. ජනතාවක් විදිහට අපි පරපීඩකකාමී. ඉතින් දෙමළට පස්සෙ මුස්ලිම්. ඊට පස්සෙ ක‍්‍රිස්තියානි. ඊට පස්සෙ උඩරට පහත රට. අපේ අනාගතය පැහැදිලියි මගෙ හිතේ.

බොදු බල කියන්නෙ මේ සමාජ සංස්කෘතික අවකාශයට (හිස්තැනට) අත පෙවීමක්. ලංකාවෙ උගත් බුද්ධිමත් ජනතාව කාලයා විසින්ම දේවල් වෙනස් කරන තුරු බලන් ඉද්දි ඒ යුද්දෙ නැතුව පාළු ජනතාව පාරට බහිනවා. ඒක පිටිපස්සෙ තියෙන දේශපාලනික උවමනාවන් සහ බලයන් ගැන සාකච්ඡුාව මට අනුව හරිම පටු කතා බහක්. ඊට වඩා ප‍්‍රගතිශීලී ගොඩක් කාරණා මං මේ කඩාපැනීම එක්ක දකිනවා.
එකක් මේක සංස්කෘතික අරගලයක් වුණු එක. මේක යම් කිසි ආකාරයක ජීවිතයක්, පිළිවෙලක්, ඒකත්වයක් ඉල්ලා සිටින අරගලයක් කියලයි මට දැනෙන්නෙ. දේශපාලනය වෙනුවට මිනිස්සු ඉල්ලන්නෙ ආගමක්. එ් ආගමෙන් තමන්ට සදාචාරවත් අනන්‍යතාවයක්. ඒ ඇරෙන්න වෙන කිසිම අනන්‍යතා අවකාශයක් රටේ ඉතුරු වෙලා නෑ. එකම දේ දේශපේ‍්‍රමය හා දේශද්‍රෝහය විතරයි.

මේ ගැඹුරු සමාජ මානසික තත්වයන් පැත්තෙන් මිසක් බොදු බල කියන ව්‍යාපෘතිය කොහෙත්ම සීරියස් වැඩක් නෙමෙයි. ඒක පොඩි තාවකාලික කැම්පේන් එකකට වඩා එහා යන්න නියමිත නෑ. ඒත් බොදු බල නිසා වෙන ගොඩක් දේවල් එලියට එන්න ගන්නවා.

එකක් ලංකාවෙ බුද්ධාගම මේ වෙද්දි නැත්තටම නැති වෙලා ඉවරයි කියන එක. බුද්ධාගම කියන එක බිත්තරය දක්වා පහළ වැටෙද්දි කිසිම හාමුදුරු කෙනෙකුට හෝ බෞද්ධ අධිකාරියකට බැරි වෙනවා ඒ වෙනුවෙන් පෙනී ඉන්න. අඩුම තරමෙ ප‍්‍රධාන සංඝනායකවරුන් අත්සන් කරපු ප‍්‍රකාශනයක් වත් එලියට ගේන්න තරම් ලංකාවෙ බුද්ධාගම ශක්තිමත් නැති වෙලාවක්. බොදු බල කියන්නෙ අපේ රටේ බුද්ධාගම ඉවරයි කියන මළබෙරේ හ`ඩ. නිකමට හිතලා බැලූවොත් කර්මය, පටිච්ච සමුප්පාදය වගේ බුද්දාගමේ සාරාර්ථයන්  සාකච්චා කරන්න ආයිමත් ඉඩක් තියෙයිද? ආධ්‍යාත්මික මාර්ගයක් විදිහමට බුදුදහම කැන්සල් වෙලා ඒක වාර්ගික අයිතීන් ගැන බල ව්‍යාපෘතියක් දක්වා ලඝු වෙනවා. මෛත‍්‍රිය, නිදහස වගේ බෞද්ද ආචාර ධර්ම කණපිට පෙරලෙනවා.

ඉස්තෙපාන් මට ළ`ගදි හොඳ කතාවක් කිව්වා. ‘මචං බීබීඑස් එකට විරුද්දව ඉටිපන්දම් ප්‍රොටෙස්ට් එකක්වත් කරන්න දෙන්නෙ නෑ. මචං ප්‍රොටෙස්ට් කරනවා කියන්නෙ මාර වැදගත් අයිතියක්. ඒක කිසි ගානක් නැතුව මෙහෙම ඉවර වෙන කල් හැමෝම බලන් ඉන්නවා’

ඌට ඒක මාර අවුල්. ඒත් මට හිතෙන්නෙ වෙන විදිහකට. මේ අයිතීන් ගැන, නිදහස ගැන, අධ්‍යාපනය ගැන තියෙන අදහස් මේ රටේ ජනතාවට ඇත්තට අදාල නෑ කියල. නිදහස එකපාරට ඇදන් වැටුන වගේ මේ හැම අදහසක්මත් නීතියක් විදිහට කඩන් පාත් වුණා මිසක් ඒවායෙ ඓන්ද්‍රිය සම්බන්දයක් නෑ අපේ රටේ ජීවිත එක්ක. ඇත්තටම ඒවා හිස් වචන. බොදු බල වගේ ව්‍යාපෘති වලින් ඔප්පු වෙන එක ඇත්තක් ඒක.
ලංකාවෙ මේ වෙමින් යන දේට මොකක්ද කරන්න පුළුවන් කියල මං ළ`ගදි දවසක විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්ගෙන් ඇහුවා. අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක බද්ධ තැන් වලින් මේ අවුල ගැන මිනිස්සුන්ට කියන්න ගන්න  ඕනි කියල මිනිහා බරපතල විදිහට කල්පනා කරලා කිව්වා. හිනාවෙන්න බැරිකමට මට ඇ`ඩුණ. දැන් ඒ වගේ මාතෘකා ගැන සංවාද කරන්නෙ ආණ්ඩුවෙ චැනල්. ඒ තරමට ඒවා පිරිත් වගේ නොතේරෙන්න ඈතින් කියන්න  ඕන වචන මිසක් මෙහේ භාවිතාවන් නෙමෙයි. අධ්‍යාපනයට සෞඛ්‍යයට කලින් මිනිස්සුන්ට  ඕන ජීවිතයක්. අනන්‍යතාවයක්. ආණ්ඩුව විකුණගෙන කමින් ඉන්නෙ ඒක.

මේක ලොකු හිඩැසක්. මෙච්චර කාලයක් සමාජ කණ්ඩායම් සහ දේශපාලන කල්ලි කරපු සංවාද, මණ්ඩප හැම එකක්ම පේල් කියල ඔප්පු වෙන තැනක් මේක. පිටරටින් දෙන ආධාර වගේ ලැබෙන අයිතීන්, බුක්තීන් අපේ ජීවිත වලට ගැලපෙන තැනක් දක්වා අරන් එන්න කවුරුවත් වැඩ කරලා නෑ. විශේෂයෙන්ම යුද්දෙ සහ යුද්දෙන් පස්සෙ කාලෙදි මිනිස්සුන්ගෙ භාව කලාපයන් සහ සිතීමේ කලාපයන් දියුණු කරන්න වැඩියෙන් වැඩ කිරීම වෙනුවට හැමෝම තෝරගත්තෙ නිහැ`ඩියාව. ඊට පස්සෙ ඒ නිහැ`ඩියාවෙ ප‍්‍රතිඵලයක් වුණු කෙලවරක් නැති හිස්කම. අරමුණක් නැති තෝන්තු සමාජ ජීවිතය. එතනදි බොදු බල කඩා පැනීම සාධනීය දෙයක් වුනා කියලයි මට හිතෙන්නෙ.

‘ගෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිශ්ශබ්දතාවය විසින් ඇහැරවනු ලබයි’ කියල මෝරා නාට්‍යය කරද්දි ජයන්ත චන්ද්‍රසිරි කිව්වා.

උදා විදිහට බොදු බල ව්‍යාපෘතිය එක්ක අවදි වුණු සංවාද, කතිකා, ප‍්‍රතිචාර එක්ක සංස්කෘතික අවකාශයෙ ගැඹුරු නැතත් යම් අදහස් සංවාදයක් පටන් ගන්නවා. පැණියන්ගෙ අඩවියක් වෙලා තිබුණු ෆේස් බුක් එක යුද්ද පිටියක් වෙනවා. වඩා යහපත් සමාජ අවකාශයක් වෙනුවෙන් හෘදයාංගම, දියුණු අදහස් මැදිහත්වීම් සිද්ද වෙන්න පටන් ගන්නවා.

‘මේ මොහොතේ මම ලජ්ජාවෙන් විඳවමි. මගේ ආණ්ඩුව ගැන මට ලැජ්ජයි. මගේ යාළුවන් ගැන මට ලැජ්ජයි. මගේ රට ගැන මට ලැජ්ජයි. ඒ සියල්ලටම වඩා, මං ගැන මට ලැජ්ජයි. මගේ රට ගැන මේ විදිහට කිසි දවසක මට සිතී නැත. මා ගැන මෙසේ සිතෙති යි කිසි දවසක මට සිතී නැත. එහෙත් දැන් එසේ මට සිතෙයි. එසේ සිතීම, මගේ සිත පාරයි’
-ඬේවිඞ් බ්ලැකර්

විශේෂයෙන්ම ඒක ජාති ආගම් සංස්කෘතීන් ආහාර රටා චර්යා රටා එක්ක සම්බන්ද වෙමින් යන සංවාදයක් (නැත්තං විසංවදයක්). මේ ගැටීම ඇතුලෙ යම් වැදගත් ගොඩනැංවීමක් සමාජයෙ සිද්ද වෙනවා කියලයි මං දකින්නෙ. මතවාදයක් හැටියට බොදු බල අන්තවාදී සීමිත අදහස් පරාජය කිරීමේ වැඬේ ඇතුලෙ එක්තරා ඉඩක් විවෘත වෙනවා මං දකිනවා. අරමුණක්, දිශාවක්, ආරම්භයක් ලබා දීම නිසා බොදු බල මේ සංස්කෘතික පෙරළියෙදි වැදගත් කොටසක් ඉෂ්ට කරනවා. ඒක හරියටම ව්‍යාඝ‍්‍රයා අනෙක් පැත්තෙන් ඉන්න එක පිසින්ට වැදගත් වුණා වගේම.

මෑතක බොදු බල ව්‍යාපෘතියට විරුද්දව අයිතීන් සහ නිදහස වැනි දියුණු සංවාද ඇතුලෙ ජීවත් වෙන (ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සිහිනය) පිරිසක් ඉටිපන්දම් විරෝධයක් පටන් ගන්නවා. මේ විරෝධය ඇතුලෙ තියෙනවා මං කලින් කියන්න උත්සාහ ගත්ත හිඩැස, පරතරය ගැන කාරණය. බොදු බල ව්‍යාපෘතියට විරෝධයක් පිණිස ඉටිපන්දම් පත්තු කරන්න යන එක කොයි තරම් අදේශපාලනිකද? ලේසියෙන්ම ඒක ක‍්‍රිස්තියානි මූලධර්මවාදී වගේ කෝට් එකක් අන්දලා උඩ දදා ගහන්න බොදු බලට පුළුවන් වෙනවා. අනිත් අතට ඒක කෙරුණු දවස. අවුරුද්ද ඔන්න මෙන්න සිකුරාදා කියන්නෙ මිනිස්සු බොදු බල බල්ලට දාලා නෝ ලිමිට් වල පොරකන දවස. කාටවත් බොදු බල මතක තිබුනෙ නෑ. අපේ මිනිස්සුන්ගෙ චර්යාමය වෙනස ගැන තියෙන නොදැනුවත්කම මේ විරෝධය කාගෙවත් අවධානයට ලක් නොවෙන්න හේතුවක් වෙනවා. එතනදි විරෝධය පෑමේ අයිතිය වගේ දේවල් වලින් බොදු බල අසාධාරණ බව තහවුරු කරන්න යාම ආදී මේ හැම එකක් එක්කම මේ වෙලාවෙ මේ සමාජෙ සෙමියොටික්ස් (සංඥාර්ථ) තේරුම් ගන්නත් ඒ අනුව වඩා නිර්මාණශීලී ප‍්‍රවේශයක් ගන්නත් අපේ ඇක්ටිවිස්ට්ලට තියෙන නොහැකියාව පැහැදිලි වෙනවා. ඒක සීරියස් ප‍්‍රශ්නයක්. පිට්ටනිය වෙන තැනක තියෙද්දි අපි වෙන තැනක පිත්ත වැනුවට වැඩක් වෙන්නෙ නෑ. ලකුණු නෑ.

බොදු බල ආරම්භයක් විදිහට අරගෙන අපි කතිකාව වඩාත් පුළුල් කරගන්න  ඕන කියන එකයි මගේ අදහස. ඒ වෙනුවට බොදු බල සීමාවක් විදිහට අරගෙන මේ සංවාදයට ඇතුල් වෙන එකෙන් අපි තවත් පුංචි වෙනවා. ඊට පස්සෙ ජෝක් වෙනවා. බිත්තර ගැහුවට කමක් නෑ අපි කිකිළි ගැන කතා කරමු.

-චින්තන ධර්මදාස

6 comments:

  1. මචං මේක මාර සිරා ලිපියක්! සෑහෙන්න කාලයක් මං මගෙ යාලුවන්ට අමාරුවෙන් පැහැදිලි කරන්න හදපු concept එකක් ඊට වඩා ගොඩාක් හොඳට පැහැදිලි කරල තියෙනව! හැබැයි මේක පැහැදිලිවම කතිකාවතේ ආරම්භය විතරයි කියල පේනවා!

    ReplyDelete
  2. උබ මේ පොස්ට් එක ලියුවට මම මේකට කමෙන්ට් කරන්නේ කොහොමද.....???? කමෙන්ට් නොකර යන්නනෙත් නැහැ....ඒ පාට කන්නාඩි වලින් ලෝකේ දකින උන්ට වඩා මට ලෝකේ නිරුවත් පාට නොකරපු චිත්‍රයක් නිසා.....

    මට උබේ ලිවිල්ල ඉස්තරම්.....ඒත් බං මේ කියන්න කාරනාව සමාජක් විදිහට ගොඩ දෙනෙක් දකින්නේ මහ පටු විදිහට. කොහොමත් බොදු බල සේනාව බෞද්ධ දර්ශනයේ තිබුන විඤානය පැත්ත නැති කලා. විදග්ග සංවාද වෙනුවට පටු අදහස් මුල කරගත්ත දේශාභිමානී.....ජාතිකත්වයක් ගැන පරම් බාන්න ගත්ත. එක තුල බුදු දහමේ තිබුන ච්න්තන පරාසය ලගු කලා......

    අනිත් අතින් එදා පානදුරා වාදය කරලා බෞද්ධ දර්ශනය පිළිබද ලෝකයට සුමංගල හිමි කල එක දැක්ම බොදු බල සේනාවට දැන් තියෙනවද......කෝ සංවාදයක්, තියෙන්නේ ත්‍රස්තවාදයක්....

    ReplyDelete
  3. කාලෙක ඉඳන් බොහොම කැමැත්තෙන් කියවන බ්ලොග් එකක්.ඒත් අඩුපාඩුවක් වෙන්නේ චින්තන සහෝදරයා කොමෙන්ට් කරුවන් සමඟ යම්කිසි සංවාදයක නොයෙදීමයි.

    ReplyDelete
    Replies
    1. මචන්,

      චින්තන වෙඩි තියලා ඉවරයි..!

      මරණ පරීක්ෂණයට සාක්කි දෙන්න එන්නේ නැත්තේ ඇයි කියලා උගෙන් අහන්න එපා.

      ඒක උගේ ජොබ් එක නෙමෙයි.

      Delete
  4. යු හිට් ද නේල් ඔන් ටොප් ඔෆ් ද හෙඩ්..!

    මට තියෙන අවුල බොබසේ එක්ක වත් ඔය කැන්ඩ්ල් ලයිට් සෙට් එක එක්කවත් එක පෙළට හිට ගන්න බැරිවීම.

    මේ ගඟ මෙතැන් සිට වක්ව ගලනව කියලා පෙනී පෙනී, එයට එරෙහිව කිසි දෙයක් කර ගන්න බැරිවීම තරම් අසරණකමක් තවත් තියෙනවද..?

    ReplyDelete
  5. නිදහස් අධ්‍යාපනය හරහා ගමෙන් නගරයට කැටපෝලල වලින් විදපු මොලගෙඩි වලට නගරයෙදි නාගරිකයෙක් වෙන්නවත් ගමේදි ගැමියෙක් වෙන්නවත් තව දුරටත් හැකියාවක් නැහැ...
    උන් කුමක්දෝ අතරමග තැනක නවතිනවා.....
    උන් රස්සාව කලාට සල්ලලි ගත්තට මොකද්දෝ මදි ගතියක් එනවා...
    ගෑනු, සල්ලි , ගෙවලල් ලැබුනත් මදි ගතියක් එනවා...

    ඒ වගේ නිදහස් අධ්‍යාපනයෙන් කොළඹට විදපු මොලගෙඩි වල හිදැස පුරවන්න එක එක කාලෙදි එක එක දේවල් එනවා..යුද්දෙ කාලෙ මැරුන ස්කෝර් එක වෙනුවට මේ කාලෙ උන්ගේ ආතලල් එක තම්බි...මේ ආතල් එකේ දිශානතිය වෙනස් වීම විප්ලවයක්ද?
    පිස්සු තමයි...

    ReplyDelete