Sunday, July 7, 2013

ගල්කණු උරුමය වෙනුවට හුස්ම ගන්නා උරුමයක්.

මට කවදාවත් මහාවංසෙ ඉතිහාස කතාව මට අදාල කතාවක් කියල දැනිලා නෑ. කාලාන්තරයක් පුරා අද වගේම බලය තිබුණු උන් කරපු ජඩකම් සූරාකෑම් සහ චණ්ඩිකම් ටිකකට එහායින් ඒ ලිඛිත ඉතිහාසය ගැන මට වටිනාකමක් නෑ. කවුරුහරි අද මහින්ද ගැන ලියන ප‍්‍රශස්තියක් වගේම මහා වංසකතාවෙත් ඇත්ත කෑල්ල තියෙන්නෙ නොලියූ කතාවෙ. මේ රාජාවලිය එක්ක ගැටගැහිලා එයින් එකෙක් කියලා උද්දාම වෙන සිංහල බහුතරය දිහා බලන් ඉද්දි මට දුකයි. අපි මේ කියන රාජ කතාවෙ රදළ නෑකමක් නොතිබී ගං තුලානෙ ලබු වැලක් වවාගෙන ඉන්න හුදී ජන සන්නිපාතයෙන් එකෙක් වෙන්න ඇති ඉඩ කොයිතරං ලොකුද? රජා හෝ රදළයා හෝ එද්දි ලොකුවට හැදුණු ලබ්බ ගෙයි හංගන, වැඩිවිය පත්වෙච්චි කෙල්ලො ගැන බයවෙන ඒ ගංවැසියො මට ළ`ගයි ඒ රාජ උරුමයට වැඩියෙන්. අද ප‍්‍රජාතාන්ත‍්‍රික ආණ්ඩුව අපිට සළකන විදිහ බැලූවම රාජාණ්ඩුව කොහොම සළකන්න ඇද්ද කියල හිතාගන්න පුළුවන්.  මේ අපි පුරවැසියො වෙලා ඉඳිද්දි. එදා අපි යටත්වැසියො.

ඒත් අපි රජ වාසල ගැන කතා කියන්නමයි කැමති. ඒ කවටයන්ගෙ හැටි.

අජිත් කුමාරසිරි ලස්සන කතාවක් කියනවා.

ඉතිහාසයට ඉංග‍්‍රීසියෙන් කියන්නෙ හිස්ටරි. ඒක හිස්- ස්ටොර්ි විදිහටත් සද්දෙ අනුව කඩා ගන්න පුළුවන්. ඒ කියන්නෙ ඔහුගේ කතාව. ඒක තමයි අපි ඉතිහාසය විදිහට කියවන්නෙ. ඒක බලය මූලික පිරිමි කතාව. අපි හොයාගන්න  ඕන හර්-ස්ටොරි. ඇගේ කතාව. ජීවිතය මූලික ගැහැණු කතාව. මං හිතන්නෙ ඒක තමයි හුදී ජනීජනයාගෙ කතාව. ඒක තමයි ජාතියක ඇත්ත උරුමය වෙන්නෙ. ගල්කණුවත්, වැව් දාගැබ් වත් නෙමෙයි. මේ ගැන හිත හිත ඉඳිද්දියි හදිස්සියෙ මැණික් සන්දසාගර් මුණගැහුනෙ.

එයා ගේනවා ‘ලිවින් හෙරිටේජ්’ කියල අදහසක්. ඒක ඇත්තටම ව්‍යාපෘතියක්. අපේ චර්යාමය උරුමයන් හා ප්‍රොතෙස්තන්ත වෙන්න කලින් අපේ ඇත්ත විශ්වාස මිත්‍යා පද්ධති හොයාගෙන යන එක. මට හිතෙන්නෙ උරුමය ගැන සජීවී සංකල්පයක් සන්ද්‍රසාගර් කතා කරනවා විතරක් නෙමෙයි එයා ඒක ජීවිත පුහුණුවක් විදිහට ගන්නවා. ඒකට හේතුවත් මැණික්ම විස්තර කරනවා. න්‍යායික, විෂයික දැනුම් සංදර්භයන් බටහිර දැනුම් කලාපයට අයිති අර්ත ගැන්වීම්. ඒ වෙනුවට පෙරදිග තිබුනෙ අවබෝධය, භාවනාව සහ ඇවතුම් පැවතුම්.

අද ලංකාවෙ අපි ගත කරන ජීවිතේ ගැන එයාගෙ විස්තරය හරි අලූත්. ‘අපි එන්නෙ කොහෙන්ද කියල අපි දන්නෙ නෑ. අපි යන්නෙ කොහාටද කියල අපි දන්නෙ නෑ. මේක තමයි අරාජිකත්වය කියන්නෙ. අද මේ රටේ තියෙන්නෙ ඒ අරාජිකත්වය විතරයි’

ඇත්තටම අරාජිකත්වය ගැන ඒක හොඳ අර්ථ කතනයක්. බාහිරයේ අරාජිකත්වය ගැන කතා කරනවට වඩා අපි විසින් එලියට ප‍්‍රක්‍ෂෙපනය කරමින් ඉන්න අපේ පැවැත්මෙන් විඳවන අරාජිකත්වය එයා සාකච්ඡා මේසෙට ගේනවා. මේ අරාජිකත්වය ඇතුලෙන් අපි යන්නෙ පරාරෝපණයට.  මේ හින්ද හැම කලාවක්ම, හැම අදහසක්ම පරාරෝපිත, මේ බිමට අයිති නැති, මෙහෙට අනුගත නැති විදිහට විකෘති වෙනවා විතරක් නෙමෙයි ඒ හින්දම ඒවායෙ සෞන්දර්ය අගයක් නැති වෙලා යනවා. ජීවිත වල ලස්සනක් නැති වෙනවා.

මේ පරාරෝපණයට ස්නද්‍රසාගරියානු  අදහස වෙන්නෙ ‘ගාලූපාර’. ඒක කොළඹ ඉඳන් ගාල්ලට වැටෙන ගාලූපාර නෙමෙයි. යාපනේ ඉඳන් කතරගම වෙනකල් දිගට යන මේ ගාලූ පාර කන්සෙප්ට් එකක්. මිෂනාරීන් ඉඳන් අද වෙනකල් සිදුවුණු හැම ශිෂ්ටකරන ව්‍යාපෘතියක්ම එයා බැහැර කරන්නෙ මේ ගාලූපාර කන්සෙප්ට් එක ඇතුලෙ. මේ ගෝල් රෝඞ් සංස්කෘතිය හින්ද මැද පංතියක් බිහිවෙනවා. ඒ පංතිය සම්පූර්ණයෙන්ම එළියෙන් පරාරෝපිත වටිනාකම් ඇතුලෙ ජීවිතේ හොයන්න දුක් විඳින පරපුරක්.

මේ හින්ද සිංහලෙන් කියවීම කියන එකත් තමන් බැහැර කරන වග සන්ද්‍රසාගර් කියනවා. මුඛ පරම්පරාගත දැනුමක්, ‘ඒවං මේ සුතං ඒකං සමයං භගවා’ මවිසින් මේ සුත‍්‍රය මෙසේ අසන ලදී... මේ කනින් කනට මාරු වෙන පෙරදිග දැනුම. ඒක පොත්වල ලිව්වෙ ගෝල්රෝඞ් වර්ගයේ මිනිස්සු. මේ වෙනස ඇතුලෙ සියලූ සැබෑ කලාවන් අහෝසි වෙනවා.

කලාව කියන්නෙ අපිව අපි නොදන්නා දේ ඇතුලට අරගෙන යන ප‍්‍රවේශයක්. ඒක අභ්‍යාසයක්. ජීවත්වීමක්. ඒක මිලක් නියම කරලා අත්සනක් ගහලා බිත්තියක එල්ලන්න තියෙන දෙයක් නෙමෙයි. පෙරදිග කලාව හැමතිස්සෙම ප‍්‍රායෝගික ජීවිතේ එක්ක බැඳිලයි තිබුනෙ. ඒ කලාවෙ අයිතියක් වෙනුවෙන් අත්සනක් නෑ. ජන කවි වල, පැරණි චිත‍්‍ර වල කරපු ඒවා කරපු අයගෙ නම් නෑ. ඒකෙ නම ගහගෙන ඒකෙන් වැජඹෙනවට වඩා ජීවිතයක් ඒ ගොල්ලොන්ට තිබ්බා. ඒක මුලින්ම පටන් ගත්තෙ ලියනාඩෝ ඩාවින්සි. එයා චිත‍්‍ර ඇඳලා අත්සන් කළා මේක මගේ කියල. එතන ඉඳන් ආර්ට් ඉවරයි.

මං වැඩියෙන්ම ආස එයා ආගම් ගැන කියන කතාවට. බුද්ධ, ක‍්‍රිස්තුස්, මුහම්මද් මේ කවුරු ආවත් ලෝකෙ වෙනස් වුණේ නෑ කියල එයා කියනවා. එදා ඉඳන්ම ඉර නැගෙනහිරෙන් පායනවා. බටහිරෙන් බහිනවා. මොකද්ද වෙනස් වුණේ? ඒ ගොල්ලො වෙනස් ප්‍රොඩක්ෂන් එකක් පටන් ගත්තා. මේ හැම දෙයක්ම නිෂ්පාදනයක්. ධර්මය කියන්නෙ මෙතන මේ මොහොතෙ තියෙන දේ. ඒක කවුරුවත් අර්ථ දක්වන්න  ඕන නෑ. ඒක කාගෙවත් නෙමෙයි. ඒක මේ තියෙන ධර්මතාවය, එච්චරයි.

කවදාවත් ලංකාව එක රටක් එක ජාතියක් වුනේ නෑ කියල සන්ද්‍රසාගර් කියනවා. විසිහතරදාහක් ගම්, තවත් විසිහතරදාහක් විතර දෙවිවරු එක්ක කොහොමද එක ජාතියක් කියල කියන්නෙ? (මේ ගාන වෙනස් වෙන්න පුළුවන්)

‘‘මේ රට මුහුණ දීලා තියෙන්නෙ ආචාර ධාර්මික ව්‍යසනයකට නෙමෙයි, බුද්ධිමය (සිතීමේ) ව්‍යසනයකට’’ -සන්ද්‍රසාගර්

මේ කතාව අතරෙ එයා ආනන්ද කුමාරස්වාමි ගැන නිතර මතක් කරනවා. කුමාරස්වාමි කියනවා ‘ශ‍්‍රී ලංකන්නස්’ කියල අදහසක්. ඒක ශ‍්‍රී ලාංකේයකම වගේ පරිවර්තනය කළත් ඒ අදහස එන්නෙ නෑ මට හිතෙන්නෙ. ඒක අපි ගැන අපේ උරුමයන් ගැන ලැජ්ජ නැතුව කියන්න පුළුවන් සංකල්පයක්. අතීතය පැත්තට හැරීගෙන එන්න එන්න පුංචි වෙනවා වෙනුවට ඒ අතීතය ගල්ගහපු උරුමයක් තැනින් ජීවත් වෙන උරුමයක් දක්වා ගේන්නෙ කොහොමද කියන එකට ප‍්‍රවේශයක්.

තමන්ගෙ ජීවිතය සහ භාවිතාව ඇතුලෙන් තමන් පිළිබඳවම වුණු අධ්‍යනයක ප‍්‍රතිඵල විදිහට එන අදහස් දැනුම බෙදාහදාගත්තු මේ විශාල ජීවිත සහිත ලාංකිකයෝ වඳවෙලා ගිහින් මේ බෙලිකටු ඇතුලෙ හැංගෙන කුරුකුට්ටං ජීවිත ඉතුරු වුනේ කොහොමද කියල මට පුදුම හිතෙනවා. මැනික් සන්ද්‍රසාගර් ගැන කොළඹ සන්නිය කරපු චිත‍්‍රපටිකරුවා කියන එකට වඩා දෙයක් අපි දන්නෙ කලාතුරකින්. ඒත් චිත‍්‍රපටි කියන්නෙ එයාගෙ ආධ්‍යාත්මික භාවිතාවෙ එක චැප්ටර් එකක් විතරයි. අනිත් අතට ඇහුවොත් සන්ද්‍රසාගර්ගෙ චිත‍්‍රපටි ගැනත් අපි මොනවද දන්නෙ? එයාගෙ චිත‍්‍රපටි ගැන රිචර්ඞ් බොයිල් කියන විස්තරේ ඇහුවම මගේ ඇඟේ හිරිගඩු පිපුණ. මේ සිනමාව අපි කතාවක් නැතුවම වල දාලා.

මැනික් සන්ද්‍රසාගර් තමයි ලෙස්ටර් අධ්‍යක්‍ෂනය කරන ‘ගෝඞ් කිංග්’ චිත‍්‍රපටියෙ නිෂ්පාදකයා වෙන්නෙ. (නිෂ්පාදකයා කියන්නෙ සල්ලි දාපු කෙනා නෙමෙයි ෆිල්ම් එකට සම්පත් එක්රැුස් කරන්නා) ඒක කාශ්‍යප ගැන තවත් සිරි පැරකුම් වර්ගයේ රජ කතාවක් නෙමෙයි. මැනික් මේ කතාවට ඉන්ස්පයර් වෙන්නෙ ස්වාමි ගවුරිබාලා කියන ජර්මානු නමුත් යාපනයේ වසන යෝගීවරයෙක් හින්ද. එයා අවුරුදු තිහක් තිස්සෙ ‘සිහ ගිර’ ගැන අධ්‍යනය කරනවා.

ලෝකයේ මිත්‍යාමතික ආධ්‍යාත්මික තැන් ගොඩක් අතීත දැනුම් පරපුරකට අනුව පෘතුවි කේන්ද්‍ර. මේ කේන්ද්‍රයන් හරහා පොලොව සහ දිව්‍යමයභාවය අතර සම්බන්ධය ගොඩනැගෙනවා කියල පැරණි අය විශ්වාස කළා. මේ අදහසින්ම සීගිරිය කියන්නෙ ලංකාවෙ එබඳු කේන්ද්‍රයක් කියල ස්වාමි ගෞරිබාලා පෙන්නලා දෙනවා. බටහිර ද්‍රව්‍යවාදී දෘෂ්ටිය අනුව සීගිරියෙ කරන කැණීම් වලින් මෙම පැරණි දැනුම ගැන කියවන්නට ඇති අවකාශ බොහොමයක් ඇහිරෙන්න පුළුවන් වග එයා කියනවා.

සීගිරිය කියන්නෙ කාශ්‍යපගෙ රාජ්‍යය විතරක් නෙමෙයි ඒක එයාගෙ පන්සල. ගැඹුරු මහායානික හැදෑරීමක් ඇති කාශ්‍යප මේ කේන්ද්‍රය නගරයක් විදිහට නිර්මාණය කළා විතරක් නෙමෙයි ඒකෙ වෙනස් ගැඹුරු තේරුම් ගණනාවක් මූර්තිමත් කළා. මේ අදහස් වෙනුවෙන් පොත් වල දැනුමෙන් එපිට මිත්‍යා කතා වලට ආයිමත් එබිකම් කරන්න වෙනවා කියල ස්වාමි ගෞරිබාලා කියනවා. සීගිරියේ සත්මහල් ආකාරය මහායානික දිව්‍යලෝක හත ගැන සංකල්පයෙන් නිර්මාණය වුණා කියල එයා තර්ක කරනවා. ඒ වගේම සීගිරිය දිව්‍යත්වය පොලොව සහ නිරය අතර අක්ෂය විදිහට නිර්මාණය වුණා කියල ඒ තර්කනය ඇතුලෙ පෙන්නලා දෙනවා.

කාශ්‍යප විසින් තමන්ගේ පියා ධාතුසේන ඝාතනය කරන්නෙ රාජ්‍ය බලය අරමුණු කරගෙනම නෙමෙයි. ඊට පෙර ධාතුසේන විසින් තමන්ගේ මාහායානික ගුරු පරපුර මරා දැමීමේ පළිගැනීමකුත් හැටියට. තමන්ව රජෙක් පාලකයෙක් පමණක් නෙමෙයි ආධ්‍යාත්මික නායකයෙක් වශයෙනුත් තේරුම් ගත් මේ දැවැන්ත කාශ්‍යප චරිතය සහ සීගිරිය ගැන අපේ ඉතිහාසෙ කතා කරන්නෙ යන්තමට. මේ ඉතිහාස කතාව කියවන විල්හෙල්ම් ගයිගර් මෙහෙම කියනවා.

‘ලංකාවෙ ඉතිහාසය කියවන එකේ අසීරුව තියෙන්නෙ කියන කතාවෙ නෙමෙයි. එතන නොකියන කතාව තේරුම් ගැනීම ඇතුලෙයි’

මැනික් සන්ද්‍රසාගර් ලෙස්ටර් ලවා නිර්මාණය කරවන්නේ මේ අපූර්ව කාශ්‍යප චරිතය. ස්වාමි ගෞරිබාලා කියන්නෙත් යාපනේ අධ්‍යාත්මික පරපුරක උරුමය අරගෙන මේ පොලොවෙ උතුරෙ ඉඳන් දකුණට සක්මන් කළ විශාල චරිතයක්. එයාගෙ ගුරුවරයා වෙන්නෙ ඉන්දියාවෙ පවා සුප‍්‍රකට යෝගස්වාමි කියන යෝගීවරයා. සන්දසාගර් තමන්ගෙ කලාව හරහා අරගෙන එන්නෙ මේ විදිහෙ මේ පොලොව පුරා පැතිරුණු ආධ්‍යාත්මික වියමනක්.

ඊට පස්සෙ එයා කළුදියදහර චිත‍්‍රපටිය කරනවා. අද වෙද්දි මේකෙ එක කොපියක්වත් හොයා ගන්න බෑ. කළුදියදහරෙ කතා කරන්නෙ ලංකාවෙ තේ කර්මාන්තෙ සිද්ද වෙන වෘත්තීය සටනක් ගැන.
ස්පීල්බර්ග්ගෙ ජෝස් වගේ චිත‍්‍රපටි දැක්කම ඇති වෙන ආසාවත් එක්ක අලි මිනිස් ගැටුම ගැන අන්තර්ජාතික නිෂ්පාදනයකට සන්ද්‍රසාගර් අත තියනවා. ඒ රැම්පේජ්. මැණික් එතෙක් බටහිර සිනමාවෙ දුෂ්ටයා, ව්‍යසනය වුණු සතාගෙ පැත්තෙ ඉඳන් කතාව කියන්න පටන් ගන්නවා. එයා රැම්පේජ් වල කියන්නෙ අලියගෙ පැත්තෙන් කතාව. ඒක ලෝකෙ පළවෙනි ග‍්‍රීන් ෆිල්ම් එක කියලත් කියන්න පුළුවන්.

මේ ඔක්කොටම වඩා මං පුදුම වුනේ රිචර්ඞ් බොයිල් හා සන්ද්‍රසාගර් එකු වෙලා හදන්න ගිය ‘බ්ලඩි මේරි’ කතාව ඇහුවම. ඒකෙ තියෙන්නෙ 1942 ජපානය විසින් සිංගප්පූරුව අල්ලගත්තම ලංකාවට එවපු මේරි පැල්සර්ගෙ කතාව. එයා රජය එක්ක යන්තම් එක`ගතාවයකින් හිතවත් හමුදා පාර්ශව වලට විනෝදය සපයන කඳවුරක් කරගෙන යනවා පට්ටිපොල. ඒකෙ අශ්වයෝ සහ දඩයම් බල්ලො වගේ තවත් නොයෙක් දේ තියෙනවා. ඉතා දරුණු සහ ගැටෙන චරිතයක් වෙන මේරි රජයේ නිලධාරීන් එක්ක දිගටම හැප්පෙනවා. පට්ටිපොල ස්ටේෂන් මාස්ටර්ව බයකරගෙන ඉන්න ගිහින් එක වතාවක් දුම්රිය සේවකයො වැඩවර්ජනයක් පවා පටන් ගන්නවා මේරිව පිටුවහල් කරන මෙන් ඉල්ලමින්. මේ මේරි රටින් යද්දි තමන්ගෙ කඳවුර පුළුස්සා, සියලූ සතුන් වෙඩි තබා මරා දමා විතරක් නෙමෙයි කඳවුරේ හැම ගහක් මුලම සයනයිඞ් කරල් වළලලා තමයි යන්නෙ. මේ චරිතය අළලා මැනික් කරන්න යන චිත‍්‍රපටිය පිටපතකින් එහාට යන්නෙ නෑ. ඒත් ඒක අනිවාර්යෙන්ම පට්ට ෆිල්ම් එකක් වෙන්න තිබුණ.

මේ විස්තර ඔක්කොමත් එක්ක සාමාන්‍ය ලංකාවෙ ඔලූවකට ගළපගන්න බැරි වෙනස් කලාපෙකුත් සන්ද්‍රසාගර්ගෙ තියෙනවා. මං ගොඩක්ම කැමති එයාගෙ මේ තියෙන ප‍්‍රතිවිරෝධතා එක්ක පැවතුන රූල් නැති ජීවිතේට. එයා එකපාරක් ලංකාවට මොකක්ද මැෂිමක් ගෙනාපු එංගලන්ත සුද්දෙක් මුනගැහෙනවා. මේ මැෂිම කිසි කෙනෙකුට විකුණගන්න බැරුව කණස්සලූ වෙන සුද්දව සන්ද්‍රසාගර් වෙන අදහසකට එක`ග කර ගන්නවා. ඒ මැෂිම ඇතුලෙ කංසා පුරවලා නැවත එංගලන්තෙට යවන්න. මේ වැඬේ අතරමගදි සුද්දා එංගලන්ත පොලිසියට කොටු වෙනවා. සන්ද්‍රසාගර්ට නෝරිවිච් සිර මැදිරියක ඉතා පීඩිත සිර ද`ඩුවමක් ගෙවන්න සිද්ද වෙනවා. කොහොම හරි නැවත ඇම්ස්ටර්ඩෑම් වලට පැනලා එන සන්ද්‍රසාගර් එහේ යටිතලයේ සම්බන්ධතා හරහා බෝට්ටුවකින් ආයිමත් ලංකාවට එන්නෙ නැවත ලංකාවෙන් පිට යන්නෙ නෑ කියන තීන්දුවක් එක්ක.

මැණික් කංසා නීතිගත කිරීම වෙනුවෙන් ගොඩක් සටන් කළා. ලංකාවෙ ඉතාම වැදගත් ගස් දෙකක් තියෙනවා කියල එයා කියනවා. එකක් කිතුල් ගහ. අනික කංසා ගහ. ලංකාවෙ සංස්කෘතිය හැඩගස්වන්න මූලික වුණු මේ ගස් දෙකම සුද්දන් විසින් තහනම් කරනවා.

1977දි ඒ කියන්නෙ විවෘත ආර්ථිකය ලංකාවට අඩිය ගැහුවා විතරයි සන්ද්‍රසාගර් චිත‍්‍රපටියක් කරන්න යනවා ක‍්‍රයිටේරියන් කියල. ඒක හරියට ක්‍රොනන්බර්ග්ගෙ වීඩියෝඩ්‍රෝම් වගේ වැඩක්. ලංකාවෙ ටීවී එකක ධර්මවාහිනී කියල විකාශය වෙන නාලිකාවක තරංග දියුණු අභ්‍යවකාශ ජීවින් පිරිසක් විසින් ග‍්‍රහනය කරනවා. ඒ ගොල්ලො මේ දැනල් එකේ ප‍්‍රසන්ටර් එක්ක කෙලින් සම්බන්ධ වෙනවා. ධර්මය ගැන මේ රූපවාහිනී තරංගමය සාකච්ඡුාවත් එක්ක රටේ සිද්ද වෙන වෙනත් අපූර්ව වෙන්සකම් මේ කතාවට විෂය වෙනවා. වැදගත්ම දේ වෙන්නෙ ටීවී ලංකාවට එන්නත් කලින් ටීවී හරහා මේ තරම් රැඩිකල් ප්ලොට් එකකට යන්න ඒ ඔලූවෙ තිබුණු ඉඩ ගැන (පරිකල්පනය) කාරණය.

පත්තර පිටුවකින් කියන්න බැරි තරම් මැනික් සන්ද්‍රසාගර්ගෙ චරිතය විශාලයි. ඒ වගේම චිත‍්‍රපටියකට වඩා විචිත‍්‍රයි. ඒ සංකල්ප, අදහස් සහ භාවිතාවන් හැමතිස්සෙම යුග ගනනාවක් ඉස්සරහට විහිදුණු ඒවා. තමන්ගේ කාලෙට වඩා ඉස්සරහින් ජීවත් වුණු මේ අතිශය නිර්මාණාත්මක චරිතය ලංකාවෙ පොට්ට සමාජයට මගහැරෙන එක ඒ තරං පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

ඒ වගේම මේ චරිත අනාගතේදී මීට වඩා විශාලව ආයිමත් කියවන්න ගන්න එකත් වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.

-චින්තන ධර්මදාස



1 comment:

  1. Chinthana, do you have any articles, videos, lectures by sandrasagara? specially about history of Sri Lanka and culture.i would very much appreciate if you can send some of those.Thanks !

    ReplyDelete