Monday, July 15, 2013

වඳුරා නිදහස් කරන්න.

බොන එක කොහෙත්ම මට අල්ලලා ගිය වැඩක් නෙමෙයි. ඒ වෙනුවට ගොඩක් අප්පිරියාවක් එකතු කරපු වැඩක්. විශේෂයෙන්ම ලංකාවෙ ඇල්කොහොලික් මේන් ස්ටී‍්‍රම් සිතීමම (මේක බොන නොබොන සමස්තයටම අදාලයි) මට ගෙනාවෙ අවුලක්. ඒත් මේ ලියමනේ කතා කරන්න යන්නෙ ඊට වඩා ක්‍ෂුද්‍ර තලයෙ කතාවක්.
බොන්න සෙට් වෙන එක බීමට වඩා එපා වුණේ සෙට් වෙන කට්ටිය හින්ද කියල මං හිතන්නෙ. කතා කරන්න දෙයක් නැතුව බැරි බැරි ගානෙ පරණ සිංදු කියන්න ද`ගළන ක්ලැසික් බේබදු හිස්කම මට සෙට් වුනෙම නෑ. ඒත් ඉඳලා හිටලා දකින තමන්ට විශේෂ බේබදු ආඛ්‍යානයක් තියෙන උන් හිටියා.  සමහර විට ඒක සිරිමල් වගේ වීදුරු බිඳින එක වෙන්න පුළුවන්, මදයා වගේ කුණුහරපෙන් බණින එක වෙන්න පුළුවන්, උදයා වගේ කතා කියන එක වෙන්න පුළුවන්.

කොහොම වුණත් නොබොන උන්ට වඩා බොන උන්ව මං ප‍්‍රිය කළා. හොඳ ළ`ග යාලූවෙක් දෙන්නෙක් එක්ක (කතා කරන්න දෙයක් තියෙන) රන්දෝලියෙ හීන් අඩියක් ගහන්නත් මං ආස කළා. බොන උන් අතරෙ නොබී ඉඳන් බයිට් කන, අක්මාව අමාශය ගැන කාංසාවෙන් පෙළෙන නොබොන්නො මට ඇති කළේ දුක්ඛිත හැ`ගීමක්. ජීවිතේ නොමේරූ ළපටිකමක්.

කොයිතරං වාතයක් වුණත් බොන උන් ළ`ග මොකක් හරි ෆන් එකක් තිබුණ.  උන්ගෙ ජීවිතවල වෙනස් වෙනස් අතුරු පාරවල් තිබුණ. සමාජය විසින් උන් පිට දාපු ජීවිතේ නඩත්තු කරනවට පිටින් රහස් ජීවිතයක් උන් බෙදා හදා ගත්තා.

සරලව ගත්තොත් බොන උන්ට විරුද්ධව කැම්පේන් කරන උන්ට වඩා පවා බොන එවුන් වෙනුවෙන් කරන කැම්පේන් වල පවා නිර්මාණාත්මක බවක් තිබුණ. උදා විදිහට බියර් බිව්වත් ගඳයි වගේ ගෑණු එක්ක නිදාගැනීමටම පිළිවෙත් පුරන ඇඩික්ට් එකේ කතාවකයි චිත‍්‍රපටියක් මැද්දෙ බොන ජවනිකාවක කොටු දාද්දි ඒ වාරණයට යටින් වැටෙන ‘රස නොමරා රස විඳින්න’ කියන සරල ලයින් කතාවෙයි වෙනස මතක් කරන්න.
බොන එක සහ නිර්මාණශීලීත්වය අතරෙ මොකක් හරි නිල නොවන සම්බන්ධයක් තියෙන වග හොඳට බීලා තියෙන කවුරු වුණත් දන්නවා (ඒක පොසිටිව්ද නෙගටිව්ද කියන එක තීරණය වෙන්නෙ මිනිහා මත මිස බීම මත නෙමෙයි) ඒත් බීම සහ ක‍්‍රියේටිව් වීම අතර නිල සම්බන්ධයක් ගැන සයිකොලොජි ටුඬේ වෙබ් එකේ තිබිලා මට කියවන්න ලැබුණ.  ඒ ලිපියෙ අදහස් මැරිච්ච විදිහට සිංහලට  දානවා වෙනුවට මං ඒක පරිවර්තන- අනුවර්තන සහ පරාවර්තන (මගේ විදිහට) ලියන්නං.

ඒක ලියලා තිබුනෙ බොන අය  ඇත්තටම නොබොන අයට වඩා නිර්මාණශීලීද කියන එක ගැන කරපු පර්යේෂණයක් ගැන.  ඇල්කොහොල් බීමට ගැනීමම නව- අලූත්- නිර්මාණාත්මක දෙයක් වගේම ඒක කරන අයත් ඒ වගේ නිර්මාණශීලී ගුනයකින් පෙළෙනවද? ඒක තමයි ඒ ගොල්ලො සාකච්ඡුා කරන්න යන්නෙ.
මිනිස්සු ඇල්කොහොල් වලට පුරුදු වුණේ ගස් බෙණ වල පිරිච්ච වතුර වල පල්වෙන පළතුරු යුෂ බොන තැන ඉඳලා කියලයි කියන්නෙ. මේ යුෂ වලින් සත්තු පවා මත් වෙන හැටි දැකලා මිනිස්සුත් අත්හදා බලන්න ඇති. 4%ක් විතර ඇල්කොහොල් ප‍්‍රතිශතයක් තියෙන්න ඉඩ තියෙන මේ මත්වීම අපේ සැර අඩු බියර් එකකට ළ`ගයි.
මීට අවුරුදු 10000ට විතර කලින් වෙනකල් මිනිස්සු බිව්වෙ බොනවා කියල දැනගෙන නෙමෙයි. මත්පැන් දැනුවත්ව පෙරන්න පටන් ගත්තෙ හු`ගක් මෑත ඉතිහාසෙදි. ඒක සිද්ද වෙන්නෙ කෘෂිකර්මය, වැවිලි කර්මාන්තය වගේ නිෂ්පාදනවල ලොකු දියුණුවත් එක්ක. ඉතිහාසෙ සාක්ෂිවල හැටියට වසර 6000දි විතර තමයි මෙසපොතේමියාවෙ බියර් සහ වයින් නිෂ්පාදනය වෙලා තියෙනවා කියන්නෙ.  ඒත් ස්පිරිට් විදිහට මත්පැන් නිෂ්පාදනය වෙන්න ගන්නෙ ඊට හු`ගක් පස්සෙ ක‍්‍රිව. 700 දි විතර. ඒ මැදපෙරදිග හෝ චීනෙ වෙන්න පුළුවන්.

ඇල්- කොහ්ල් කියන නමේ අරාබි ප‍්‍රකෘතියක් තියෙන්නෙ. ඇල්ජිබ්රා, ඇල්ගොර්, ඇල්කෙමිස්ට් වගේ මේකෙත් ඉස්සරහට අල් කියන්නෙ ඉංග‍්‍රීසියෙන් ‘ද ’ කියනවා වගේ තේරුමක්. ඉතා හොඳින් පිරිසිදු කරපු පව්ඩර් එකක් වගේ තේරුමක් තමයි මේ වචනෙ මුල් අදහසේ එන්නෙ. පස්සෙ ඒක ලතින් වලට ගිහින් එතනින් ඉංග‍්‍රීසියට එනවා.

ඇල්කොහොල්් ඉතිහාසෙ මුල් කාලෙ පාවිච්චි වුණේ කෑමක් විදිහට. ඉතා මෑත ඉතිහාසෙ බීමක් විදිහට- වෙනස් නිෂ්පාදනයක් විදිහට ඇල්කොහොල් පරිණාමය වෙන්න අලූත් විදිහට හිතන, අනිත් සාමාන්‍ය පිරිසට වඩා නිර්මාණශීලී පිරිසක් මේ මත්වීම පිටිපස්සෙ ඉන්න ඇති කියල උපකල්පනය කරනවා. එතනදී නිෂ්පාදනය වුණු ද්‍රව්‍යය (දියරය) සහ ඒක පාරිභෝජනය කරන විදිහ යන දෙකම අලූත් අදහස්.

මේ උපකල්පනය මත පිහිටලා ඇමෙරිකාවෙ සහ එංගලන්තෙ මත්පැන් වලට යොමුවීම ගැන ලොකු පර්යේෂණයක් කරනවා. ඒකෙන් ඔප්පු වුණු දේ ටිකක් සංස්කෘතික පැත්තෙන් තිගැස්මක් ඇති කරන දෙයක්. වඩාත් බුද්ධිමත් යැයි පිළිගන්නා දරුවන් (අයි කිව් ලෙවල් එකේ වැඩි* අඩු බුද්ධි මට්ටමකින් යුත් දරුවන්ට වඩා ඇල්කොහොල් භාවිතයට යොමු වීමේ නැඹුරුවක් තියෙනවා කියලා මේ පර්යේෂකයො පෙන්නලා දුන්නා.  මේ පර්යේෂනයෙදි ළමයින්ගෙ වයස, ළමා කාලයේ බලපෑම්, දෙමව්පියන්, පංතිය, ජාතිය, පළාත ආදී විවිධ තත්ත්ව පාලනය කරමින් ඉතා පැහැදිලි තීරණයකට එළඹෙන්න පුළුවන් විදිහට පර්යේෂණය සැලසුම් කරලා තිබුණ කියලත් කියනවා. අන්තිමට උත්තරේ වුණේ වැඩි බුද්ධියකින් සහ නිර්මාණාත්මක බවකින් හෙබි දරුවන් වැඩියෙන් ඇල්කොහොල් වලට නැඹුරු වෙනවා කියන එක. මෙතනදි ඒ පර්යේෂකයන්ගෙන් වැදගත් ප‍්‍රශ්නයක් අහනවා. ‘ඒ කියන්නෙ බුද්ධිමත් අය ඒ ගොල්ලොන්ගෙ ශරීර සෞඛ්‍යය ගැන නොහිතන පිරිසක් කියලද?’

පර්යේෂකයන්ගෙ උත්තරේ වෙන්නෙ, ‘බුද්ධිමත් අය අලූත්, නිර්මාණශීලී දේවලට තමන්ගේ සෞඛ්‍යයට වඩා ප‍්‍රමුඛතාවයක් දෙනවා’ කියන එක.

ඒත් පුරුද්දට බීගෙන යන කණමද ජනතාව බෝවීමේ වේගය වැඩියි මේ කියන ක‍්‍රියේටිව් කට්ටියට වඩා (මංදා ලංකාවෙ නම් එහෙමයි). බීමට වෙනස් සංස්කෘතියක් නිර්මාණය වෙන්න  ඕන. බොන්න බොන්න ආයිමත් සිස්ටම් එකට ඇලීම වෙනුවට බොන්න බොන්න සිස්ටම් එකෙන් ගැලවෙන සති සම්ප‍්‍රදායක් ක‍්‍රියේට් වෙන්න  ඕන. සිහිය නැති වෙන්න බොන එක සිහිය ඇති කර ගන්න උත්සාහයක් විදිහට පාවිච්චි කරන්න බැරිද?
‘මේ මාගේ රුධිරයයි. එය රැුගෙන පානය කරව’ කියල ජේසුස් තමන්ගෙ යාලූවො ටිකට අවසාන රාත‍්‍රී භෝජනයෙදි කියනවා. ඒකෙ තේරුම් දෙකක් තියෙන්න පුළුවන්. දෙවියන් හා ඒකීයත්වයට පත්වීමක් හැටියෙන් මේ මුද්‍රික පානය කරව කියන එක එකක්. අනිත් අතට මාව පාවලා දෙන තොපි මගේ රීරි මාංසයත් කාපං කියන එක දෙක. මේ දෙකෙන් කොයික වුණත් බයිබලයේ ඊට එහායින් මේ ගැන විස්තරයක් නෑ. (අනිත් ප‍්‍රධාන ආගම් ඔක්කොම මේ බීමත් ප‍්‍රකෘතිය වාරණය කරමින්මයි ගොඩනැගෙන්නෙ) ඒත් තන්ත‍්‍රයානයේ මේ ගැන ලස්සන කතාවක් රාජනීෂ් උපුටා දක්වනවා.

‘ඔබ බේබද්දෙක් නම් බීම නවත්තලා භාවනාවට එන්න එපා. ඒ බීමම ඔබේ භාවනාව කර ගන්න. ඔබේ පැවැත්මේ කොටසක් වාරණය කිරීමෙන් ඔබට ඔබව සොයා ගන්න පුළුවන් කියල හිතනවා නම් ඒක ලොකු මුළාවක්. ඔබ ඔබ විදිහටම මේ භාවනාවට පිවිසෙන්න’
මේ තාන්ත‍්‍රික අදහස තවත් දිගේලි කරමින් කෙනෙක් මේ ගැන හිතලා තිබුණ. තනිව බීමේ සෙන් කලාව (සෙන් ඔෆ් ඩි‍්‍රන්කින් අලෝන්) එහෙමයි ඒකට නම දාලා තිබුණෙ.

සෙන් කියන දේ හැම එකකටම පාවිච්චි කරන එක සීමිත ආගමික අර්තෙකින් එක ගන්න කෙනෙකුට අවුලක් දනවන්න පුළුවන්. ඒත් කරන හැම දේකටම සෙන් එළඹුමක් තියෙනවා. ඒ සෙන් පැවැත්ම හොයා ගන්න එකයි ඒ ක‍්‍රියාවෙ අත්දැකීම වෙන්නෙ. ඒ මොහොතෙදි කසල ශෝධනය පවා ආගමික මලක් පුදන තරම් සුපිරිසිදු ආගමික පිළිවෙතක් වෙනවා.

තනියම බොනවා කිව්වම බොන අය අතරෙ වුණත් සැලකෙන්නෙ ටිකක් අර්බුද තත්වයක් කියල. ගොඩක් ඩිප්‍රෙස් වෙච්ච, දුකෙන් පිරිච්ච වගේ ෆීල් එකක් තනියම බීමත් එක්ක බැඳිලා තියෙන්නෙ. ෆිල්ම් වල නම් පරාජිත පෙම්වතා කුණු වෙන්න බොනවා. (එක අතකට ලව් එක ගැන ෆැන්ටසිය කුඬේ කුඩු වෙන ඒ මූණට දමලා අරින ඇත්ත මොහොතෙදි අරක්කු වලින් පෙෙ`ගන එක හොඳ  ඕපනින් එකක්) අරක්කු වලට හදලා තියෙන්නෙ සමාජ තේරුමක්. ඒක පුද්ගලික තේරුමක් වෙන තැනදි ඒකට තියෙන්නෙ නෙගටිව් අදහසක්. අරක්කු කියන්නෙ සංවාදයක්, ඒක ඇත්ත. ඒත් ඒක තමන් එක්ක සංවාදයක් වෙන්න බැරිද?

තනියම බීම කියන්නෙ බොරු සමාජ කතා මැද්දෙ අරක්කු අපරාදෙ නොයවා අරක්කු වල ඇත්ත වැඬේට පරක්කු නොවී සෙට් වෙන එකට. තමන්ගේ ඇත්ත පැවැත්මට, ශිෂ්ටගත නොවුණු අඳුරු මුළු වලට, නිරුවත් තමන් එක්ක කැලෑ වදින එක. අවිඥාණක බීම සවිඥාණක අත්දැකීමක් කර ගන්න එක.

මාක් ට්වේන් අපූරු කතාවක් කියනවා. මිනිහෙක් තමන්ට තරම් වෙන කිසිම දේකට බය නෑ කියල. ඇත්තටම අපි අකමැතිම දේ ඇත්ත අපිව මුණගැහෙනවට. අපි අපි කියල හිතාගෙන ඉන්න අපිට වඩා ඇත්ත අපි කොයිතරං කැතද? ඇත්තටම ඒ අපි ඉන්නෙ කැත හෝ ලස්සන වටිනාකම් වලින් එලියෙ. සමාජ ජීවිතේ හෙම්බත්, කාංසි මොහොතවල (ගෝෂාව නතර වුණු මොහොත) ඒ ඇත්ත එකාගෙ සද්දෙ අපිට ඇහෙනවා. අරක්කු මෙතෙනදි හැම දොරක්ම ඇරලා දානවා. ඒ කඩාවැදීම මගඅරින්න අපි යාලූවො එක්ක වට වෙනවා. හයියෙන් සිංදු කියනවා. ඒත් අපිට හැමදාම මේ වනසතා මගඅරින්න පුළුවන්ද?
කොයි වෙලාවක හරි ඒ ඌ එලියට එනවා. හංගන්න හංගන්න තව තවත් ප‍්‍රචණ්ඩ වුණු ඌ වෙලාවක කඩා පනිනවා. ඒ හින්ද කල් ඇතුව සතා අඳුරගෙන ඉන්න එක කෝකටත් හොඳයි.

ඇල්කොහොල් කෙනෙක්ව සමාජශීලී කරනවා වගේම තනියම තමන් ඇතුලෙ සංවාදයටත් තල්ලූ කරනවා (එලියෙ තාප්ප වගේම ඇතුලෙ තාප්පත් දියකරනවා) ලොකු පිට්ටනියක් මැද්දෙ අපිව අතරමං කරනවා. ඒත් සෙනග ඉන්න මැද්දකදි එළියට පනින වඳුරා කලබල වෙනවා. ප‍්‍රචණ්ඩ වෙනවා. තනි කාමරේක, නිදහස් වෙලාවක මේ වඳුරා එක්ක අපි හොඳ සම්බන්ධයක් ගොඩනගා ගත්තොත් පස්සෙ අපිට සමාජයක් මැද වඳුරෙක් වෙන අවදානම ගන්න වෙන්නෙ නෑ.

‘‘මං ඇඳ උඩට වෙලා බොන්න ගත්තා. බොන කොටත් ලෝකෙ ඒ විදිහටම තිබුණ. ඒත් බොන්න කලින් වගේ මාව බොටුවෙන් අල්ලං තාප්පෙට හේත්තු කරගන්න ලෝකෙට බැරි වුණා ඊට පස්සෙ’
-    චාර්ල්ස් බුකොව්ස්කි

කට්ටියක් මැද්දෙ අපේ අවිඥානක මනස විවෘත වෙන්නෙ නෑ. ඇල්කොහොල් වලින් මත්වීම ඇතුලෙ මේ අවිඥානය එක්ක කතාවක් පටන් ගන්න අපිට පුළුවන්. අනිත් හැම භාවනාවකට වගේම මේකටත් හුදකලාව  ඕන.

යාලූවො මැද්දෙ ජෝතිපාල හොඳ වුණාට මෙතනදි ගැලපෙන්නෙ ඊට වඩා ඇතුලෙ හ`ඩවලට ඉඩදෙන වැඩි වැඩියෙන් ගැඹුරට අපිව අරගෙන යන සංගීතයක්. (මට නම් ටොම් වේට්ස්)‘එතන ඉඳං මං මගේ බීමට කතාව කරගෙන යන්න ඉඩ දුන්නා’ කියල හම්ෆ‍්‍රි බොගාර්ට් වෙලාවක කියනවා. ඒ කියන්නෙ මත්වීමෙන් අවදි වුනු තමන්ගේ සතාට නිදැල්ලෙ යන්න ඉඩ දුන්නා කියන එක. පැවැත්ම එක්ක පොරබැදීම වෙනුවට පැවැත්ම බාර ගැනීම කියන උපේක්‍ෂාව.

තනියම බොන එක ආධ්‍යාත්මික චාරිකාවක්. හොඳ පොතක් හුදකලාවේ කියවන කොට දැනෙන ත‍්‍රිල පිරිසක් මැද්දෙ ඉඳන් කියවන කොට වාතයකට හැරෙනවා වගේ කට්ටිය සෙට් වෙලා බොන එක ගොඩක් වෙලාවට මරණයක්. රස නොමරා රස විඳින්න නම් තනියම බීලා බලන්න  ඕන.

අපිට යාලූවෙක් එක්ක දැනෙන්න පුළුවන් විවේකීම, නිදහස්ම, සුන්දරම මොහොත වෙන්නෙ ඒ යාලූවා එක්ක මොකුත් කතා නොකර පුඩවේ ඉන්න පුළුවන් වෙන මොහොත. ඒත් ඒ නිහැ`ඩියාව ඇතුලෙ යාලූකම තේරුම් ගන්න පුළුවන් යාලූවො ගොඩක් අඩුයි. අනිත් එකාට බෝරිං වෙයි කියල අපි කතා කියනවා. අපිට බෝරිං වෙයි කියල හිතන් ඌ කතා කියනවා. බෝතලේ ඉවර වෙලා ගෙදර යද්දි කතා කරපු කිසි වැදගැම්මක් ඇති දෙයක් නෑ. ඊට පස්සෙ ඒ හිස්කම පහුවෙනිදා වෙනකල් හොල්මං කරනවා. මේ අපි අත්විඳින බීමේ ඛේදවාචකය.

ඇල්කොහොල් වලින් මත් වෙන්න  ඕන ඇතුලෙ ඉන්න වඳුරවයි. ශිෂ්ටකම විසින් යටපත් කරපු ඒ අශිෂ්ටයාට කතා කරන්න ඉඩක් දෙන එකයි ඇල්කොහොල් වල නිදහස වෙන්න  ඕන. ඒ වෙනුවට අපේ සමාජගත කුහකයා ගෝෂාවෙන් ඔක්කොම වහලා දානවා. (බොන එක දේශපාලනික කරනවා*
‘ඔයා මිනිහෙක් ගැන කිසි දෙයක් දන්නෙ නෑ එයත් එක්ක කුණු වෙන්න බීලා නැත්තං’
-    චාර්ල්ස් රසල්

ඇතුලෙ ඉන්න වඳුරට නිදහසේ නටන්න දෙන්න. ඒ සංස්කෘතිය හෝ ජාතිය හෝ වර්ගය හෝ කිසි දේකින් කප්පාදු නොකරපු ඇත්ත ජීවිතය. ඒ තමයි අපේ ඇත්ත ආශාව. ඒ ආශාව යටපත් කිරීම තමයි හැම ඩිප්‍රෙෂන් එකකම හේතුව. ඒ වඳුරට ආදරය කරන්න පුරුදු වෙන මොහොතෙදි අපි අපේ බිඳුණු පැවැත්ම පාලමකින් යා කරනවා. අපි සමස්තයක් වෙනවා.

මත්වීමේ කෙලවරේදි අපි ආයිමත් බොරුකාර සමාජ ජීවිතේට එනවා. ඒත් කන්නාඩියකින් මූණ බලද්දි ඇහිබැම කොණකින් හරි අපි අඳුරන වඳුරගෙ ඉ`ගියක් අපි දකිනවා.
‘මගේ පරණම යාලූවා. අමතක නෑ උඹව කොහොමවත්. අපි ෂෙයාර් කරපු දේවල්. ආයිත් සෙට් වෙමු. උඹයි මමයි බෝතලෙයි විතරක්’
එතකොට අපි එහෙම හිතනවා.

(අරක්කු යෙදෙන සෑම තැනකම එය මත්පැන් ලෙස තේරුම් ගත යුතු බවත් මගේ වගේ ලිව්වත් මේ අදහස් වෙබ් අඩවි මූලාශ‍්‍ර ලිපි කීපයක් මත පදනම් බවත් කරුණාවෙන් සළකන්න)
-චින්තන ධර්මදාස


8 comments:

  1. බොන එකෙක් බොන එක ගැන කියවනවා අහගෙන ඉන්න පුලුවන්..ඒත් නොබොන එකෙක් ලොකු ටෝක් දාන කොට එපා වෙනවා.....:))

    ReplyDelete
  2. ///‘ඔබ බේබද්දෙක් නම් බීම නවත්තලා භාවනාවට එන්න එපා. ඒ බීමම ඔබේ භාවනාව කර ගන්න. ඔබේ පැවැත්මේ කොටසක් වාරණය කිරීමෙන් ඔබට ඔබව සොයා ගන්න පුළුවන් කියල හිතනවා නම් ඒක ලොකු මුළාවක්. ඔබ ඔබ විදිහටම මේ භාවනාවට පිවිසෙන්න’///

    මේක කියවන කොට මටත් බණ කථාවක් මතක් උනා....

    ///උත්තර කියන්නේ තරුණයෙක්. උත්තරගේ ගුරුවරයා පාරාසාරිය. බුදුහාමුදුරුවෝ පාරාසාරිය උගන්වන්නේ මොනවාදැයි උත්තර ගෙන් අහනවා.

    උත්තර කියන විදිහට පාරාසාරිය, ඇස් වලින් නොබලා සිටීමේන්, කන් වලින් නො අසා සිටීමෙන් ඉන්ද්‍රීය දමනය උගන්වන අයෙක්.....

    ඇස් නොපෙනෙන, කන් නො ඇසෙන අඳ බිහිරෙක්, ඉන්ද්‍රීය දමනයේන් නිවන් ගිය අයෙක් නොවන්නේ ඇයි....? බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්ණ කිරීමෙන් උත්තරට සත්‍යය තේරුම් යනවා....


    "Thoughts of lust in man itself is
    desire, not the beautiful things found in the external
    world. Let the beautiful things be as they are. The wise
    discipline their craving with regard to them.”
    ///

    ReplyDelete
  3. ‘මෙහෙ වරෙන් බෝතලේ..
    හිට ගනින් මේසෙ උඩ..
    අහගෙන හිටපන් උඹ..
    කතා කරන්නං මම..
    බෙදා ගනිමු ජීවිතය
    අපි දෙන්නා සමසමව...

    දොඩවලා දොඩවලා දොඩවල
    අන්තිමේ මම අහනව බෝතලෙන්...

    මොකක්ද හිතෙන්නෙ
    මේ දේ ගැන..?

    එවිට පෙනෙනව පිළිතුර...
    බෝතලයෙ පතුල තුළ..“

    -පසන් කොඩිකාර-

    ReplyDelete
  4. මට මෙහෙම හිතෙනවා බං.......අපි බොනවා කියල කරන්නේ අපේ ඇතුලේ හිරවෙච්ච පිඩනය එලියට ගන්න දරන වැඩක්.....මෙතන ගැටලුව බොන එක නේමේ ඇයි ඒ පීඩනය නොබී එලියට ගන්න බැරි කියන එක.......ඒකට මුලික හේතුව සමාජයක් විදිහට අපි ලගු වීම, අපි කාටවත් අපි ගැන හොයන්න වෙලාවක් නැති කරනවා මේ මහා ලොකුවට කතා කරන සමාජය.

    අනික ඇයි අපිට බැරි අපේ අභ්‍යන්තර නිරුවත එලියට ගන්න වීවෘත සමාජය ඉදිරියේ........ඒකට මේ ලොකුවට කෑ ගහන ශිෂ්ට සමාජය කැමති නැහැ.....

    කොහොමත් අරක්කු,සිකරට්, ගංජා ආදී නොයෙකුත් මත් ද්‍රවය ගැන ලංකාව වගේ තුන් වන පන්තියේ රටකට තියෙන්නේ මහා පටු නිර්වචනයක්. ගොඩක් වුන් මේක දකින්නේ බුට් එකක් කෑවම, ගෙදර ගැණි එක්ක තරහ වුණාම, රස්සාවක් නැති වුණාම කරන මහා බොලද වැඩක් විදිහට.......

    කොහොමත් ලෝකේ ගොඩක් නිර්මාණාත්මක දේවල් බිහි කරපු පුද්ගලයෝ මොන විදිහකින් හරි මත් ද්‍රවය එක්ක කිට්ටු සබදතා පවත්වපු අය.....මොන වුනත් බාවිතා කරන මත් ද්‍රවය අනුව හිතට දැනෙන දැනීම් වෙනස් වෙනවා. කොටින්ම ජොයින්ට් එකකින් දෙන දැනිල්ල කවදාවත් අරක්කු වලින් දෙන්නේ නැහැ. ඒක පරාස දෙකක්....ත්‍රිල් දෙකක්......නිදහස් වීම් දෙකක්.......

    ReplyDelete
  5. //අරක්කු වලට හදලා තියෙන්නෙ සමාජ තේරුමක්. ඒක පුද්ගලික තේරුමක් වෙන තැනදි ඒකට තියෙන්නෙ නෙගටිව් අදහසක්. අරක්කු කියන්නෙ සංවාදයක්, ඒක ඇත්ත. ඒත් ඒක තමන් එක්ක සංවාදයක් වෙන්න බැරිද?//

    තනියම බොන එක තමා දැන් වැඩිය වෙන්නෙ.
    මේක කියෙව්වහම හිස් බෝතලේ මතක්වෙලා ලොකු හිස් කමක් දැනෙන්න ගන්නවා.

    ReplyDelete
  6. කියවගෙන යද්දි අයියම ලියපු how i what you are film එකේ තිබුන monologue එකක් මතක් වුණා.

    //අරක්කු කියන්නෙ පිරිමින්ගෙ කඳුළු. බාර්වල පිරිල ඉන්නෙ නටඹුන් මැද්දෙ කෑගහල අඬන පිරිමි. පිරිමින්ගෙ ඇස්වල කඳුළු නැති හින්දා සල්ලි දීලා වීදුරු පිටින් අරන් බොනවා; දුක දියවෙනකල්.. අක්මා ආමාෂ පෙනහළු ඔක්කොමත් එක්ක//

    ReplyDelete
  7. chinthana, umbawa policiyen hire daaida?

    ReplyDelete
  8. ඒ වඳුරට ආදරය කරන්න පටන් ගන්න මොහොතේ අපි ම්ලේච්ඡයන් වෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔය 'බොරුකාර' සමාජයෙන් තමයි අපිට උගන්නලා තියෙන්නේ සෙක්සි කෑල්ලක් දැක්කහම එන රාගික හැඟීම් පාලනය කරගන්න, අනිකාගෙ හොම්බට අනින්න හිතෙන එක නවත්තගන්න, අපේ ගොන් වැඩකින් තව එකෙකුගේ ජීවිතයක් නිකරුණේ විනාශ වෙන්න පුළුවන් බව හිතන්න.

    තමාව තේරුම් ගැනීම එක දෙයක්. ඒකට තනියම බොන්න අවශ්‍යම නැහැ. පොතක් පතක්, චිත්‍රපටියක්, එහෙමත් නැත්නම් සිංදුවක් එක්කත් ඒක කරන්න පුළුවන්. බීම තුලින් අපි මතුකරගන්න වඳුරාට පැවැත්මක් නැහැ... ඩෝප් ගතිය බැහැලා යනවා වගේම වඳුරත් හැංගිලා යනවා.

    ReplyDelete