Saturday, September 7, 2013

ඉබ්බා සහ හාවා (ඉබ්බාගේ ලෝකයට පසුවදනක්)

විමුක්තිගේ චිත‍්‍රපටි උළෙලෙදි ගත්තත් හොයාගන්න බැරි වෙලා කියවන්න කල් ගිය ඉබ්බාගෙ ලෝකෙ එක හුස්මට කියෙව්වා. ඒක හරිම හොඳ ට‍්‍රයි එකක් ලේසි විදිහට සංකීර්ණ තේමා මුණගස්සන්න. විශේෂයෙන්ම ඒ දාර්ශනික තර්කනයට එලියෙන් විමුක්තිගෙ අත්දැකීම තියාගෙන කතා කරන එකෙන් සංවාදය සජීවී වෙනවා. සන්නස්ගල ප‍්‍රින්ට් කරපු හින්ද සමහර විට මේ පොත කඩ වල ඇති. සන්නස්ගල ප‍්‍රින්ට් කරපු හින්ද සමහර විට මේ පොත කඩවල නැතුවත් ඇති.

විමුක්තිගෙ ‘ලයිට් ඉන් ද යෙලෝ බී‍්‍රතින් ස්කයි’ ෂෝර්ට් ෆිල්ම් එක මං තාම බලලා නෑ. එහෙම වුණා නම් විමුක්ති කියන කාරණා එයාගෙ කෘතියත් එක්ක කරන ගනුදෙනුව ගැන ටිකක් බරපතල විදිහට කතා කරන්න තිබුණ. ඒක හින්දම මේ පොතෙන් ඉදිරිපත් කරන අදහස් ගැන සංවාදයට ගන්න තිබුණ හොඳම වපසරිය මට අහිමි වෙනවා. ඒත් පරමත්වය ගැන, ලෝකය සමස්තයක් හැටියෙන් ලබන කේවල අවබෝධයක් ගැන විමුක්තියානු අත්දැකීමත් මෙයිසු කියන අලූත් දාර්ශනිකයා ගැන වංගීස කරන අඳුන්නා දීමත් මට කතාවට ගන්න පුළුවන්. ‘මම’ නැති කිරීම වගේ අතිශය සාංදෘෂ්ටික කාරණා ගැන කරන සාකච්ඡුාවක් හින්ද පොඩි පොඩි දෙයින් පුද්ගලික රිදවාගැනීම් නොවේවි කියලා හිතනවා.

විමුක්ති ආධ්‍යාත්මික අත්දැකීමක් හරහා නිර්මාණකරනය ගැන කියන්න උදාහරණයක් විදිහට ගන්නෙ ඬේවිඞ් ලින්ච්. උත්තර- අනුභූතික කියලා මෙතන කියන්නෙ ට‍්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් ගැන වෙන්න  ඕන. තමන්ගේ භාවනාව හරහා වඩා ලොකු මාළුන් (ලොකු අත්දැකීම්) අල්ලා ගන්න පුළුවන් වුණා කියල ලින්ච් කියනවා. මං හිතන්නෙ මේ කාරණය විමුක්තිට වඩා වෙනස් තැනක්.

ට‍්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියන්නෙ මහාරිෂි මහේෂ් යෝගි විසින් ‘විද්‍යාත්මකව සහතික කරන ලදී’ කියලා බටහිරට විකුණපු ස්පරිචුවල් ප්‍රොඩක්ට් එකක්. ඒකෙන් කරන්නෙ තේරුමක් නැති එක වචනයක් මන්ත‍්‍රයක් වගේ එක දිගට හිතෙන් කියමින් ඉන්න එක. එතකොට නිතරම අතීතය සහ අනාගතය අතර පැද්දෙමින් නිර්මාණය වෙන මනස අවුල් වෙනවා. සිස්ටම් එක කැඩෙනවා. මෙතනදි මනසින් තොර යමක් අත්දකින්න පුළුවන් කියන එක තමයි එයාගෙ සිද්ධාන්තෙ වුණෙ.

මේක ලින්ච් පාවිච්චි කරන්නෙ හරිම පටු විදිහකට. අටුවම් බැහැපු බටහිර සිතීමක් සහිත ලින්ච්ට මේක අවශ්‍ය වෙන්නෙ වඩා කාර්යක්‍ෂම වෙන්න, හොඳ නිර්මාණ කරන්න, ස්ටෙ‍්‍රස් අඩු කරන්න වගේ දේවල් වලට. විමුක්ති මෙතන කතා කරන ‘මම’ නැති කිරීම වගේ දේවල් වලට භාවනාව පාවිච්චි කරන්න එයාට  ඕන වෙන්නෙ නෑ. ඒක ටිකක් ආසියාතික අ(සනීපයක්) හින්ද. ලින්ච් එයාගෙ භාවනාව හරහා අත්විඳින සිහිනමය, අවිඥාණයට කතා කරන සුළු අත්දැකීම් ප‍්‍රතිනිෂ්පාදනය කරනවා. හැබැයි ඇත්තටම එයාගෙ ගැඹුරු හෝ වෙනස් හෝ අත්දැකීම් වලින් වෙනස් සිනමාවක් නිර්මාණය වෙනවා. ලින්ච්ට බෑ පවතින සිනමා ආකෘති ඇතුලෙ කතා කියන්න. එයා ලින්චියානු සිනමාවක් නිර්මාණය කරනවා. මට හිතෙන්නෙ ඒ වගේ අනුභූතින් කලින් සකස් කරන ලද ආඛ්‍යාන වලට කොටු වෙනවට වඩා විශාල නොන්- ආර්ට් කියන කලාපයක් එක්ක ගනුදෙනු කරනවා (කලාවේ කලාපය විශාල කරනවා) ලයිට් ඉන් ද යෙලෝ බී‍්‍රතින් ස්පේස් ඒ වගේ සිනමාවක් එක්ක ගනුදෙනු කරනවද කියලා මං දන්නෙ නෑ.

විමුක්ති විසින් අත්දකින පරම වූ යමක් ගැන එයා මේ සංවාදය ඇතුලෙ කියනවා. ඒ පරම වූ යම ආගමික අර්ථයෙන් ගලවාගෙන යළි වාස්තවික ලෝකය නිර්මාණය කරන්න වංගීස මෙයිසු හරහා සටන් වදිනවා. මට දැණුනු පළවෙනි අර්බුදය වුණේ භාෂාව ඇතුළෙ විස්තර කරන්න බැරි දෙයක් භාෂාවෙන් කියන්න යාමෙන් වෙන අවුල. මෙයිසුට තේරුම් ගන්න පුළුවන් තර්කය විතරයි. භාෂාමය නොවෙන අත්දැකීමක් වචන කරන්න යද්දි ඒ වචන අතර පවතින තේරුම් ගන්න එයාගෙ දේශපාලනික සීමාව එයාට ඉඩ දෙන්නෙ නෑ. වංගීස කියන විදිහටම එයා එන්නෙ සහසම්බන්ධතාවාදය (අපි එක්ක සම්බන්ධ වෙන සීමාවෙන් එහාට අපිට යමක පැවැත්ම ගැන කිසිවක් කියන්න බෑ, අපි දන්නෙ නෑ කියන අදහස මූලික තර්කනයක්) එක්ක සංවාදයකට නෙමෙයි. ඇතුළතින් පුපුරුවා හරින කුමන්ත‍්‍රණයකට. එතකොට අපි නිකං රතු ඉර වගේ ප්‍රෝග‍්‍රෑම් එකක් බලාගෙන ඉන්නවා කියල මට හිතෙන්නෙ. ආත්මීය අතිශය ආගමික අත්දැකීමක් බෙදාගනිමින් හිටපු  විමුක්ති අන්තිම වෙද්දි මෙයිසු එක්ක එක තැනක හිටගන්නවත් එක්ක මට ඒ සංවාදයේ පැවැත්ම- නොපැවැත්ම තීරණය කර ගන්න බැරුව අනාථ වුණා.

මට හිතෙන්නෙ අපි දේවල් සරල රේඛීයව ගන්නවා වැඩියි. උදා විදිහට තමන්ට චත‍්‍රක් චිත‍්‍රපටියට ලැබුණු ප‍්‍රශංසා නිසා ලැබුණු සතුටත් පියාගේ හදිසි වියෝව නිසා ලැබුණු වේදනාවත් හරහා (ආනුභූතික ඉරිතලා යාමක්) තමන් වෙනස් යතාර්ථයක් ගැන ලැබූ අත්දැකීමක් විමුක්ති විස්තර කරනවා. මට හිතෙන්නෙ ඒක අපි සිද්ධාර්ථ චරිතෙන් ලේසියට ගලවගත්ත ඛන්ඩනයක්. ඒත් සිද්ධාර්ථගේ ඇත්ත හොයාගෙන යන ඇත්ත උවමනාව ගත්තොත් ඒක ලේයර්ඞ් එකක්. එක පැත්තකින් සතර පෙර නිමිති දැකීම නිසා තමන්ගේ සංකේත විශ්වයේ ඇති වුණු හදිසි කැළඹීම. ඒක තමයි පොතේ කියන දේ. අනිත් පැත්තෙන් රාහුලගේ උපත හින්ද සිද්ධාර්තගේ ඇතුලෙ ඇති වෙන මහා කැළඹීම. මං හිතන්නෙ ඒ සංකීර්ණ මානුෂ කතාව ගැන අපිට වැඩි විස්තර නෑ. ඊට අමතරව තවත් එකී නොකී ගිණිය නොහැකි තරම් කතා රේඛා ගණනාවක් සිද්ධාර්තගේ අභිනිෂ්ක‍්‍රමණ සිදුවීම හරහා ගමන් කරනවා වුණත් අපි කියවන්නෙ එක කතා රේඛාවක් විතරයි. හැබැයි ඒ කතා රේඛාවෙත් එතන නැරටිව් එක දුර්වලයි.

මට ලෝක ඉතිහාස තත්ව උදාහරණ කරලා පෙන්නමින් දේශපාලන විද්වත්තු තර්ක කරන කොට බලන් ඉන්න අමාරු ඒකයි. තමන් නොදන්නා සංදර්භයක් තමන්ගේ දැනුමෙන් ඌනනය කරන විකෘතිය ඇරුණම මොකක් හරි එක කාරණයක් නිසා දෙවෙනි එක සිද්ද වුණා කියන තර්කනය මට පේන්නෙ අතිශය ළදරු විදිහට. ඒක හරිම ද්විමානී කියවීමක්. සංදර්භයක් අහෝසි කිරීමක්. මෙයිසුගේ නැරටිව එකේ බේසික් වියමන හැදෙන්නෙ මේ දුර්වලතා උඩ.

කොහොම වුණත් ඒ ආත්මීය අත්දැකීම ඇතුලෙ විමුක්ති වෙනස් අධිතාත්වික ආත්මීය කලාපයකට යනවා. ලංකාවෙ සිනමාකරුවෙක් තමන්ගෙ ආධ්‍යාත්මික ඛන්ඩනයන් මේ තරම් විවෘතව කතා කරනවා මං දැකපු පළවෙනි වතාව මේක. සහ තමන් සහ ලෝකය අතර සම්බන්ධය තේරුම් ගන්න භාවනාව යෝජනා කරන පළවෙනි තැන. ඒත් හරිම පැටළිලි සහගත විදිහට එයා අන්තිමට මෙයිසු කියන තමන්ගෙන් බැහැර පරම වූ අනිශ්චිත යතාර්ථයක් ඇත කියන තැනට එක`ග වෙනවා.

වංගීස ගොඩක් අමාරුවෙන් ගැඹුරු කරන්න හැදුවත් මට මෙයිසු කියන්නෙ හරිම සරල මැට්ටෙක්. මැට්ටෙක් කියන්නෙ ගනිතමය මෝඩයෙක් කියන එක. ‘වෙනස් නොවෙන එකම දේ වෙනස් වීමයි’ කියලා ත‍්‍රීවීල් වල පිටිපස්සෙ ගහන ස්ටිකර් එකක කතාවකට වඩා දෙයක් එයා කියන්නෙ නෑ (හැඳින්නීම ඇතුලෙ). ඒ වගේම වෙනස්ව වෙනස්ව දාර්ශනිකයන් එක්ක සංවාදයට නොගිහින් ඒ ඔක්කොමටම ගහන්න පුළුවන් තනි එකක් හදන්න යාම මෙයිසුගෙ වෑයමේ අපරිණත බව හොඳටම පැහැදිලි කරනවා. විශේෂයෙන්ම කාන්ටියානු හෝ සහසම්බන්ධවාදියො කියලා මෙයිසු හඳුන්නාගන්නා දාර්ශනිකයන්ගෙ ආත්මීය තේරුම් ගැනීම් හුදු භාෂාවෙ පරිමාණයෙන්ම, තර්කයක් විදිහටම මැනගැනීමෙන් මට තේරෙන්නෙ නෑ එයා අපිට අලූත් දෙයක් කියනවා කියලා. ඒක අලූත් වාක්‍යයක් හදනවා වගේ වැඩක් විතරයි.

තමන්ගේ මනසින් පිටත ගසක් පවතී
තමන්ගේ මනසින් පිටත ගසක් නොපවතී
ඒ ගැන දන්නෙ නෑ

මුලින් කතාව ජෝන් ලොක් වගේ කෙනෙක්, දෙවෙනි කතාව විඥාණවාදියෙක්  සහ තුන්වෙනි කතාව සහසම්බන්ධවාදියෙක් කියනවා කියල අරගෙනයි මෙයිසු තර්කය ඉදිරිපත් කරන්නෙ. එතනදි ගසක් පැවතීම හෝ නොපැවැතීම විය හැකියි කියන, මං මේ කඬේට සීනි ගේන්න ආපු ගමන් කියන විදිහෙ කතාව මෙයිසු අනිශ්චිතය අනිවාර්යක් කිරීම විදිහට ගන්නවා. එහෙනම් අනිශ්චිත වූ යතාර්ථයක් ඇත කියල කියනවා. ඒ යතාර්ථය තුල පැවැතීම සහ නොපැවතීම දෙකම එක තියෙන්න බැරි නිසා පැවැත්ම හා සංදිග්ධ නොවන (ගැටළුකාරී නොවන)දේවල් ඇත කියනවා. මට මේ තර්කනය දැකපු ගමන් මතක් වුනේ බුදුන්ගෙ කාලෙ කතාවක්.

එක බමුනෙක් බුදුන් මුණගැහෙන්න එනවා. ‘බුදුනි දෙවියන් ඉන්නවා නේද?’ දෙයියො ගැන විශ්වාස කරන බමුණා අහනවා. බුදුන් කියනවා ‘නෑ’ කියලා. බමුනට අවුල්. කමක් නෑ බුදුන්නෙ කිව්වෙ. එයා එලියෙ ගිහින් කියනවා ‘දෙයියො නෑ  ඕයි. බුදුනුත් කිව්වා’ කියලා. ඊට පස්සෙ තව බමුනෙක්වත් ඇදගෙන ඇවිත් අහනවා ‘බුදුනි, දෙයියො නෑ නේද?’ කියලා. බමුණා ගැන දන්න බුදුන් කියනවා ‘ඇයි නැත්තෙ’ කියල. බමුණ නෝන්ඩි. ඒ මදිවට හොඳටම අවුල්. බුදුන් පච නොගහන වගත් එයා දන්නවා. ඉතින් මිනිහා අහනවා ‘බුදුනි, දෙයියො ඉන්නවද? නැද්ද?’ කියල. ඔන්න බුදුන් උත්තරේ දෙනවා. ‘දෙවියෝ ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ’ කියලා.

මෙයිසු පැනපු ගමන් අනිශ්චිතයේ යතාර්ථය කියන්නෙ  ඕකට. ඒක කන්ටෙක්ස්ට්  එකම කණපිට ගැහීමක්. බුදුන්ගේ සිද්දිය ගත්තොත් එතනදි උත්තර දෙන්නෙ බමුණගේ නිශ්චිත යමක්, පරම වූ යමක් තිබේ කියල බාර ගන්න ඇති උවමනාවට. ආශාවට. ඒ ආශාව අනිශ්චිත කිරීම ඇතුලෙ විතරයි බමුණට ඊළ`ග දේ (ඊළ`ග ස්ටේජ් එක) තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. මෙයිසුට තියෙන්නෙත් ඒ  ඕනකම. පරම වූ යමක්, විද්‍යාත්මක යමක් තිබේ කියලා ආපහු ලෝකෙ හදා ගන්න. එයා තාම පුංචි ළමයෙක් කියල මට හිතෙන්නෙ ඒකයි.

මේ යතාර්ථය ආපහු ගොඩනැගීම අවශ්‍යයි කියල පෙන්නන්න වංගීස උදාහරණයක් පාවිච්චි කරනවා. ඒ තමයි වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් එකට පහර දීමේ සිද්දිය. එතනදි අල්කයිඩා එක ඒ පහර දීම දෙවියන්ගේ අණක් විදිහට අර්ථ දැක්වීම මේ හානිකර ආගමික යතාර්ථයන් ඇතිවීමක් විදිහට වංගීස විස්තර කරනවා. විද්‍යාත්මක යතාර්ථයක්  ඕන වෙන්නෙ එතකොට. මුස්ලිම් දෙවියන්ගේ යතාර්ථය වෙනුවට ක‍්‍රිස්තියානි දෙවියන්ගේ යතාර්ථය.

මට හිතෙන්නෙ මේ විදිහෙ අන්තගාමී ආගමික යතාර්ථයන්ගෙන් වෙන හානිය වළක්වන්න තාර්කික උත්තර වලින් බෑ. මොකද තර්කනය කියන්නෙත් වෙනම පල්ලියක් හින්ද. ඒත් මෙයිසු කියන්නෙ එයා මේ අදහස් ඇතුළතින් පුපුරුවනවා කියල. මට මතක් වෙනවා මහින්ද බලයට එන්න කලින් මට නිර්මාල්ව මුණගැහුන දවසක්. මහින්ද බලයට එන එක හානිකරයි, මං කිව්වා. නිර්මාල් මෙයිසුගෙ කතාව කිව්වා. ‘ඇතුළට ගිහින්  ඕන පුපුරවන්න’ කියල. ඒත් මහින්දට ඇතුළක් තිබුනෙ නෑ. තියෙන්නෙ පිටතක් විතරයි. ගොඩක් වෙලාවට මේ භෞතිකවාදියො විඥාණවාදින්ටත් වඩා ආත්මීයයි. රොමාන්තිකයි.

මෙයිසු කරන්නෙත් පිටතක් විතරක් තියෙන දේක ඇතුළක් හොයන්න යන එක. මොකක්වත්ම නැත්තං අනිශ්චිත බව හරි පැවැත්මක් විදිහට යලි ගොඩනගන එක. ආගමික අන්තවාදය වගේ දේකදි තර්කනය අදාල නෑ. ඒක භක්තියක්. ඒක පැවැත්ම ඇතුලෙ නොපැවැත්ම එක්ක සංවාදයක්. මෙයිසු මගඅරින්න හදන සංදිග්ධතාවයක්. භාෂාව බිඳීමෙන් හෝ ඒක යලි පිරිද්දිමෙන් නෙමෙයි ප‍්‍රකට හේතුවට වඩා අප‍්‍රකට ලක්ෂ සංඛ්‍යාත හේතු අතරෙ කිමිදෙන්න වෙනවා ඇත්තට ඒ වගේ දේකට උත්තර හොයන්න නම්. මෙයිසු වගේ කම්මැලියෙකුට ඒක කොහොමවත් කරන්න බෑ. එයා පැවැත්ම ගැන ප‍්‍රශ්නයකට ෂෝර්ට් කට් හොයන අලස හිතන්නෙක්. ඒ අන්තවාදයේ පැවැත්ම ඇතුළට ගිහින් ඒ පැවැත්ම අවබෝධ කර ගැනීමෙන් (ඒ හා තර්ක කිරීමෙන් නොවේ) ඒ කලාපය ඊට වඩා විශාල කරනවා මිස නැවත ක‍්‍රිස්තියානි විද්‍යාත්මක තර්කනය ඇතුළට වෙනස් ආගමික ආඛ්‍යානයන් ගන්න හදන එක මට හිතෙන්නෙ ප‍්‍රතිගාමී වැඩක්.

මෙයිසු ගැන තව පොතක් පරිවර්තනය කරගෙන යනවා කියලත් වංගීස කියල තිබුණ. සමහර විට ඒ සමස්ත දර්ශනය මීට වඩා පලල් තේරුම් ගැනීමක් යෝජනා කරනවා ඇති. ඒත් මේ සරල කාටීසියානු හිරවීම ඇතුලෙ නම් එයාගෙ නැරටිව් එක අතිශය සීමිතයි වගේම කිසි වැලියු ඇඩිෂන් එකක් නෑ.

-චින්තන ධර්මදාස

3 comments:

  1. chinthana ,
    what philosophy do u use for ur day to day life ?
    i am very intersted in your blog posts unlike deepthis 3mana and madyasthnaya ur posts are worth reading which cover day to day examples with simple example which is very easy to remember .

    ReplyDelete
  2. වන්ගිසයි විමුක්තියි මෙතන කොරයි අන්දයයි වගේ. උන් දෙන්න උන්ට ගිලිහුන දෙයක් ආයි හොයනවා . ත්‍රීවීල් වල සටන්පාට වල සරලකම ඔයතරම් හැල්ලුවට දක්කින එපා, මෙයිසු ගැන තව ටිකක් හිතන්න. ස්තුත්යි !

    ReplyDelete
  3. චින්තා සංජිව පුෂ්පකුමරවත් මේ වගේ තැනින් තැන උඩින් තිබ්බනේද ,, එකත් අන්තීමට පච උනා නේ.

    ReplyDelete