Saturday, September 14, 2013

දෙයියොත් සූදු කෙළී

මේ දවස් වල ෆේස් බුක් එකේ ද්වන්ධව සටනකට කලින් දෙපාර්ශ්වයේ පිරිසගේ වහසි බස් ඇහෙනවා එහෙන් මෙහෙන්. ඒ දීප්ති හා නිර්මාල් අතර මහා වාදය අරඹයා. මඩ ගැසීමේ දේශපාලනයක් ඇත කියන තේමාව යටතේ මේ දෙපැත්ත ඇණකොටා ගැනීමට නියමිතයි. මට හිතෙන්නෙ ඇත්ත මාතෘකාව වෙන්න  ඕන නිර්මාල් ගැන කියපු කතා (විශේෂයෙන් ගෑනු කතා) ඇත්තද නැත්තද කියන එක. මේක සංවාදයක් නෙමෙයි මරා ගැනීමක් නැත්තං වාදයක් වෙන්න  ඕන කියල දීප්ති කියල තියෙනවා. මේ ගැන උනන්දු අනෙක් දෙපාර්ශ්වයේ පිරිස යමක් කමක් කියවන, අදහස් නිෂ්පාදනයට ඍජුව හෝ වක‍්‍රව දායක වෙන අය. එක පැත්තකින් මට දීප්ති සහ නිර්මාල් මේ වගේ තේරුමක් නැති කුළල් කා ගැනීමකට උනන්දු කාරණය මේ චරිත ගැන පීචං හැ`ගීමක් දෙන අතරෙම ඒ පොරකෑම වෙනකල් බලන් ඉන්න අයගේ ත‍්‍රිල අප්පිරියාවක් ඇති කරනවා.

සංවාදයක් වෙනුවට වාදයක් ඉල්ලන එකේ තේරුමම වෙන්නෙ තේරුමක් නැති මමත්ව (ඊගෝ)කේන්ද්‍රීය ගහමරා ගැනීමක් විතරයි  ඕනි කියන එකමයි. එතන කියන කරන කවරක් වුණත්, ඒක බුදු වීම තරම්ම සංසුන් වෑයමක් හැටියෙන් පෙනුනත් ඒක යට තියෙන්න පුළුවන් මේ ඊගෝ ඇවිළීම විතරයි. ඒ කියන්නෙ ඒ වචන සහ ක‍්‍රියා නිකං ආයුධ විදිහට පාවිච්චි වෙනවා මිසක අදහසක් තේරුමක් වෙනුවෙන් පාවිච්චි නොවෙන වගයි.

එතකොට මේ සටන ඉල්ලා සිටින අය විඳින්න යන්නෙ වෝර් ආර්ට් එකක්ද? වඩා හොඳ ග්ලැඩියේටරයා කවුද කියන එකද? එතකොට මේ රටේ යුධවාදී මහා ජනතාව ලබන ප‍්‍රමෝදයේ සහ මේ සමාජ දේශපාලන ක‍්‍රියාකාරිකයන් ලබන ප‍්‍රමෝදයේ වෙනස මොකක්ද? මං කියන්නෙ ඒ පුද්ගලික ප‍්‍රශ්න (නිර්මාල් සහ දීප්ති අතර වගේ) ගෙවල් වල විසඳ ගන්න. සමාජය වේදිකාවක් කර ගන්න එක විගඩමක් විතරයි.

වාදයක් කියන්නෙ අනෙකාව තේරුම් ගන්න හෝ ඒ අදහස් අතර සංසර්ගයක් ඇති කරන වෑයමක් නෙමෙයි. ඒක සෙක්ස් වෙනුවට යුද්ධය ඉල්ලනවා වගේ වැඩක්. මර්වින් සිල්වාගේ කතාවකට වඩා ආතල් එකට වඩා මේ දෙන්නාගේ වාදයකදි ලැබෙයි කියල අනුමාන කරන්න පුළුවන් ත‍්‍රිල් එක මොකක්ද?

මට හිතෙන්නෙ මේ අපේ සිතීමේ ලොකු අවුලක් පෙන්නන තැනක්. මේ අවුල හැම තැනම පේනවා. ඒත් නොදැක්කා වගේ ඉන්නවා. අපි මොන තරම් දියුණු කතිකාවන් පොත් වලින් කියෙව්වත් අපේ තත්වානුරෝපනය (කන්ඩිෂන් වීම) වෙනස් නොවෙන බව පෙන්නන හිඩැසක්. අනිත් පැත්තෙන් සමාජයේ අපි දරන දේශපාලනය තාමත් නිව්ටෝනියානු යාන්ත‍්‍ර විද්‍යාවේ සීමාවෙන් මෙපිටට ඇවිත් නැති වග කියන සරල සළකුණක්. අපි නිව්ටෝනියානු සිතීම වෙනුවට ක්වොන්ටොම් සිතීමකට උත්සාහ කළොත් තත්වය කොහොම වෙයිද?

මෙතනදී මං ක්වොන්ටොම් භෞතිකවාදය (ද්විඝටනාත්මක භෞතිකවාදය කියන විහිළුව නොවේ) ගැන ගණිතමය පැහැදිලි කිරීම් මගඇරලා ඒ විද්‍යාත්මක තර්කනය පාදක වෙන සිතීම පැත්තට ෆෝකස් වෙන්නම්.

ගොඩක් වෙලාවට අපි කතාවෙදි මිනිස්සු වර්ග කරනවා. දීප්තිට අනුව නිර්මාල් තක්කඩියෙක් වෙන්න පුළුවන්. නිර්මාල්ට අනුව දීප්ති හිට්ලර් වෙන්න පුළුවන්. ඒත් මට අනුව මේ අය කවුද? නැත්තං වෙන කාට හරි සාපේක්‍ෂව නිර්මාල් හා දීප්ති කවුරු වෙන්න පුළුවන්ද? අපි එකිනෙකාට මුණගැහෙන්නෙ තවත් කෙනෙකුගේ එක නිමේෂයක් විතරයි. අපි ඒ නිමේෂය ඝනීභවනය කරනවා. ඒක චරිතයක් කරනවා. එතකොට අපිට හැමදාම ඒ පුද්ගලයා මුණගැහෙන්නෙ ඒ චරිතෙ ඇතුලෙ විතරයි. ඒත් ඊට පිටින් ඒ පුද්ගලයාට තවත් නිමේෂයන් දහස් ගානක් තියෙනවා. සාමාන්තර යතාර්ථයන් තියෙනවා.  එතකොට දීප්ති නිර්මාල් ගැන හරි නිර්මාල් දීප්ති ගැන හරි නිශ්චිත යමක් දන්නවද? මං කියන්නෙ එහෙම වෙන්න බෑ.

මං කියන්නෙ සරල නිව්ටෝනියානු යාන්ත‍්‍ර විද්‍යාවෙන් පදම් වුණු අපේ ජීවිත වල සමීකරණ හෝ අපි දේශාලනය කියන තැන මේ තරමට ප‍්‍රාථමිකයි. අපි මේ හිර වෙච්ච පුංචි කොටුව වෙනස් කරන්න හදන්නෙ නෑ. ඒ කොටුවෙන්ම නැවත අර්ථ ගැන්වෙමින් අපි මරා ගන්න කොටුව ඇතුලට කතා කරනවා.

නිශ්චිත හෝ පරම හෝ යමක් නැත ඇත්තේ අනේක සංඛ්‍යාත සම්භාවිතාවන් ප‍්‍රමානයක් විතරයි කියල ක්වොන්ටොම් සිතීම ඇතුලෙ කියනවා. ඒ වගේම භෞතිකය මූලික සිතීම මෙතනදි අභියෝග වෙනවා.

ද්‍රව්‍යය යනු නැවත අවකාශයක්ම හෝ ශක්ති තරංගයක් විතරයි කියන තැනින් එහාට ඒ ද්‍රව්‍යය ද්‍රව්‍යයක් බවට පත්වෙන්නෙ එය නිරීක්‍ෂණය කරන්නාගේ බලපෑමෙන් කියලත් විද්‍යාත්මක සීමා ඇතුලෙ යලි යලිත් ඔප්පු කරනවා. ක්වොන්ටොම් විද ්‍යාඥයන්ට අනුව මුහුදු රැල්ලක් සහ ඒ රැල්ල වදින වෙරළේ ගලක් කියන්නෙ එකම ක‍්‍රියාකාරීත්වයක්. ඉතාම කුඩා අංශුව හොයාගෙන ගිය නිව්ටෝනියානු සිතීම ක්වොන්ටොම් ඉවුරෙදි තව දුරටත් තමාගෙන් බැහැර, තමන්ගෙන් වෙන් වුණු අංශුවක් පවතිනවද කියන තර්කනයක නන්නත්තාර වෙනවා. තමන්ගෙන් බාහිර ලෝකයක් කෑලි වලට ගලවමින් ගියා නිව්ටන්ට තමන්ගෙම වල්ගය මුණගැහෙනවා. සියල්ල තමන්ද අයත් සමස්තයක් පමණයි. අන්වීක්‍ෂීය විශ්ලේෂණ වෙනුවට ටිකක් පසුපසට වී බලන සමස්තයක් තේරුමක් ඇති දෙයක් කියනවා කියන තැනට විද්‍යාව එනවා. මේ විද්‍යාත්මකය වෙනස් වීමත් එක්ක විශ්වය වෙනස් වුණා. එක යතාර්ථයක් වෙනුවට එක විට පැවතිය හැකි සමාන්තර යතාර්ථ කදම්බයන් ගැන මිනිස්සු කල්පනා කළා. එතකොට හේතුඵලවාදයට වඩා වැඩි සම්භාවිතාවන් ගානක් තියෙන එළඹුම් වලින් මිනිස්සු හිතන්න උත්සාහ කළා. සයිබර් අවකාශය සහ ත‍්‍රිමාන සජීවීකරණ හරහා අපි දැන් අත්විඳිමින් ඉන්නෙ ඒ නව යතාර්ථයන්. ඒත් අපි තාමත් කෙටේරිය අතින් අරන්. ඊට කලින් ලෝකය ගොඩනැගූ තර්ක ඇතුලෙන් කවදාවත් පැහැදිලි කර ගන්න බැරි මේ සනාථවීම් ඉස්සරහා ඇල්බට් අයින්ස්ටයින් පවා තක්බීර් වුණා. ක‍්‍රිස්තියානි පල්ලියේ සිතීමේ රේඛාවෙන් එලියට යා ගන්න බැරුව අයින්ස්ටයින් තමන්ටම ඔප්පු වෙන සත්‍යයන් පවා නොපිලිගනිමින් හිටියා. ‘දෙවියො සූදු කෙලින්නෙ නෑ’ අයින්ස්ටයින් අන්තිමට ක්වොන්ටොම් නිගමනයන් බැහැර කරන්නේ එහෙම. මේ අයින්ස්ටයින් තමයි බුදු දහම හොඳයි කිව්වා කිය කිය ලංකාවෙ බෞද්ධයො උද්දාම වෙන්නෙ.

කොයිතරම් ගැඹුරට තර්කනය මෙහෙයවන්න පුළුවන් වුණත් අයින්ස්ටයින්ට වුණත් පුළුවන් වුණේ දී ඇති රේඛාවක් දිගේ හිස්තැන් පුරවන්න විතරයි. වෙනස් පැරඩයිමයක් ධනාත්මකව පිළිගන්න තරම් නිර්මාණශීලීත්වයකට ඉඩක් ඒ සිතීම ඇතුලෙ තිබුනෙ නෑ. අයින්ස්ටයින්ටත් එහෙම නම් අපිට කොහොම වෙන්න පුළුවන්ද?

‘‘අලූත් අදහසක් ප‍්‍රතික්‍ෂේප කිරීම ලේසියි. මොකද ඒක වෙනස් ආකාරයක පැවැත්මක් ඉල්ලා සිටිනවා. අපි කලින් දේවල් කරපු විදිහ දැකපු විදිහ වෙනස් කරන්න යෝජනා කරනවා. ඒකෙන් අවිනිශ්චිතතාවය ඇති වෙනවා. අතීතය විසින් අනාගතය නිර්මාණය කරනවා කියලා හිතාගෙන ඉන්න සරල රේඛීය මිනිස්සු මේ විදිහෙ අලූත් අදහස් වෙඩි තියලා දානවා.

මිනිස්සු වෙනස් වෙන්න අකමැතියි. 16 වෙනි ශතවර්ෂෙ ගැලීලියොට වුණෙත් මේකමයි. ඒත් විසි වෙනි ශතවර්ෂෙදිත් අපිට අලූත් දේ දකින්න, පිළිගන්න, තේරුම් ගන්න බැරි කරන බාධාව මොකක්ද?

ඒ තමයි පැරඩයිමය. වෙබ්ස්ටර් ඩික්ෂනරියෙ විදිහට ඒක රටාවක් හෝ ආකෘතියක්. වෙන විදිහකට කිව්වොත් පැරඩයිමයක් කියන්නෙ නීති රෙගුලාසි පද්ධතියක්. ඒවායින් වැඩ දෙකක් කරනවා. එකක් සීමාව ලකුණු කිරීම (ජීවිතයේ, විශ්වයේ). අනික ඒ සීමාව ඇතුලෙ ප‍්‍රශ්න විසඳීමෙන් කොයි තරම් සාර්ථක වෙන්න පුළුවන්ද කියන එක කියා දීම (බුද්ධිමතෙක්, ඇකඩමිකයෙක්, ජනාධිපතිවරයෙක්)

තෝමස් කූන් හොයලා බැලූවා විද්‍යාඥයො කොහොමද ඒ ගොල්ලොන්ගෙ අලූත් සොයාගැනීම් එක්ක බලකරන  ඒ අයගේ පැරඩයිම් වෙනස කර ගන්නෙ කියල. එතනදි එයා දැක්කා ඇත්තටම පැරඩයිමය මගින් ඒ විද්‍යාඥයන් විසින් නිරීක්‍ෂණය කරන නිගමනය කරන දේ පවා සීමා කරන බව. දත්ත තත්වානුරෝපිත පැරඩයිමයට අනුව හැඩ ගස්වන බව. පැරඩයිමයට එක`ග දත්ත සහ විශ්ලේෂණ ඉතාමත් පැහැදිලි, නිවැරදි විදිහට පිළිගත් ඒ විද්‍යාඥයො පවතින පැරඩයිමයේ අපේක්‍ෂාවන් ඉටු නොකරන සොයා ගැනීම් වලදි ඇකිලෙනවා.  සමහරු ඒවා නොදැක්කා වගේ ඉන්නවා.

වෙන වචන වලින් කිව්වොත් අපි ඉන්න පැරඩයිමය අපේ අත්දැකීම් පාලනය කරනවා. ඒ දත්ත අවශ්‍ය විදිහට විකෘති කරලා නැවත පිළිගන්වනවා.

පැරඩයිම් වෙනසක් සිද්ද වෙද්දි හැමෝටම ආපහු බිංදුවෙ ඉඳන් පටන් ගන්න වෙනවා. ඒකෙන් විද ්‍යාව වෙනස් වෙනවා. ආර්ථිකය වෙනස් වෙනවා. දේශපාලනය වෙනස් වෙනවා.  මේ දැනුම තව දුරටත් අදාල නොවී යනවා. පරණ පැරඩයිමයේ ඔයා කොයිතරම් ලොක්කෙක් වුණත් අලූත් එකේදි අලූත් ලොක්කො බිහි වෙනවා.

මේ පැරඩයිමයන් තුල ජීවත් වීම නරක දෙයක් නෙමෙයි. ඒක ජීවිතේ  ඕනම කාරණයකට අදාල සාමාන්‍ය තත්වයක්. ඒත් සැබෑ තේරුම්ගැනීම විසින් බලකරද්දිත් පැරඩයිමය වෙනස් කරන්න අපිට බැරි වුණොත් අපි වඳවෙලා යනවා’

මේ මං ඉන්ටර්නෙට් එකේ අහම්බෙන් කියවපු නමක් නැති ලියවිල්ලකින් කොටසක්. මට හිතෙන්නෙ අපි අත්විඳිමින් ඉන්න තත්වෙ මේකයි. අපි අවශ්‍ය මොහොතේදීත් පැරඩයිමය වෙනස් නොකර ආරක්‍ෂා කරනවා. සයිබර් දේශපාලනය විසින් බලය, දැනුම පිළිබඳ තත්ව වෙනස් කරන්න බලකරද්දිත් අපි තාම පානදුරාවාදෙට කතා කරනවා.

නිව්ටන්ට අනුව ‘ඒක හෝ මේක’ කියලා කියන තර්කනය ක්වොන්ටොම් සම්භාවිතාවන්ට අනුව එකවර දෙකම විය හැකි තැනට වෙනස් වෙනවා. එක විට වෙනස් යතාර්ථයන් රැුසක් පවතින්න පුළුවන් විශ්වයකට අපි ඇතුල් වෙනවා. නිවටන්ගෙ සිතීමට අනුව පද්ධතිය ඇතුලෙ නොගැලපීම් පරස්පරතා තියෙන්න බෑ. හැම දෙයක්ම එක රූලට පිරිද්දෙන්න  ඕනි. ඒත් ක්වොන්ටොම් සිතීමට අනුව පරස්පරතා කියන්නෙත් ප‍්‍රවාහයේ කොටසක්. දුෂ්ටයා සහ වීරයා කියන්නෙ දෙකක් නෙමෙයි එකක්.

නිව්ටන්ගෙ විද්‍යාව කාලෙදි මේ සිතන්නො ගොඩක් ප‍්‍රාථමික අවුලක පැටළිලා හිටියෙ. ඒ අය පල්ලියට විරුද්ධවයි හිතුවෙ. ඒ විරෝධය ඇතුළෙම ඒ අය පල්ලියේ ක‍්‍රියාවට ප‍්‍රතික‍්‍රියා කරන ‘ලීනියර්’ සිතීමක් ඇතුළෙ හිර වෙනවා. අන්තිමට විද්‍යාව ඇතුළෙත් අපිට මුණගැහෙන්නෙ අපාය සහ ස්වර්ගය. ධන සහ ඍණ. ක‍්‍රියාව සහ ප‍්‍රතික‍්‍රියාව.

ඒත් ක්වොන්ටොම් සිතීම යෝජනා කරන්නෙම මේ තාර්කික ප‍්‍රවාහයෙන් එළියෙ යමක්. වඩා ආධ්‍යාත්මික, සවිඥාණක තත්වයක්. මමත්වය වෙනුවට සමස්තය වගේ එළඹුමක්. එක පරම වූ සත්‍යයන් වෙනුවට දහස් සංඛ්‍යාත සමාන්තර සත්‍යයන්.

මං මේ කියන්න හදන්නෙ අපි කඬේ සීනි පන්සීය ගන්න තැන ඉඳලා විෂයන් ගැන ලොරි ටෝක් දෙන තැන දක්වා එකම සිතීමේ ආකෘතියක් (නිව්ටෝනියානු ආකෘතියක්) බෙදා හදා ගන්නවා කියලා. මාතෘකා වෙනස් වෙන්න පුළුවන්. ඒත් සිතීමේ අංශූ (තාර්කිකත්වය) හැසිරෙන්නෙ එක රටාවකටමයි.

නිව්ටන්ට අනුව දේවල් ගැන නිශ්චිතව කියන්න පුළුවන්. ඒත් ක්වොන්ටොම් සම්භාවිතාවන්ට අනුව එහෙම නිශ්චිත වූ කිසි දෙයක් නෑ. ඒ වෙනුවට අපිට තෝරා ගැනීම් ලක්ෂ ගානක් විවෘත වෙලා තියෙනවා. සත්‍යය හා අසත්‍යය තවදුරටත් දෙකක් නෙමෙයි. එක විට පැවතිය හැකි සමාන්තර යතාර්ථ විතරයි. අයින්ස්ටයින් දෙයියො සූදු කෙලින්නෙ නෑ කිව්වට ක්වොන්ටොම් විද්‍යාඥයො දෙයියොත් සූදු කෙළිනවා කියන්නෙ මේ හින්ද.

අපේ සමාජ දේශපාලන ක‍්‍රියාකාරී කට්ටිය මේ නිව්ටන්ගෙ සපත්තුවෙන් එලියට බැහැලා වඩා සංවාදයට විවෘත, ප‍්‍රතික්‍ෂේපය වෙනුවට පිළිගැනීම යෝජනා කරන, යුද්ධය වෙනුවට සංසර්ගය යෝජනා කරන සාකච්ඡුාවකට එන්න උත්සාහ ගන්නවා නං අපි ටිකක් අනාගතවාදී වේවි. නැත්තං අතීත උරුමය කරේ තියාගෙන ආශ්චර්යය දකින මහින්ද පරපුරේම කවදාවත් ලොකු නොවෙන  පොඩි ළමයි වගේ අපි ‘හා බය නැත්තං නහය අල්ලලා පෙන්නනවා’ වගේ කතා කිය කිය ඉඳීවි.

පැහැදිලිද මන්දා.

-චින්තන ධර්මදාස


4 comments:

  1. පෝස්ට් එකේ අකුරු ටිකක් ලොකු කරන්න ,

    ReplyDelete
  2. "God does not play dice"

    මේක වැටෙන්නේ "Figure of speech" වාක්‍ය කණ්ඩයක් විදියට. මෙයින් ඇඟවෙන්නෙ නැහැ ඔහු දෙවියන් විශ්වාස කලා කියන එක.

    Figure of speech

    an expression in which words are used in a nonliteral sense, as in metaphor, or in an unusual construction, as in antithesis, or for their sounds, as in onomatopoeia, to suggest vivid images or to heighten effect.

    ReplyDelete
  3. Thushara N Daskon

    ජ්‍යාමිති ශාස්ත්‍රීය ප්‍රත්‍යක්ෂ්‍යයන් මිනිස් අවශ්‍යතාවයන් කෙරෙහි බලපාන්නේ නම් ඒවාද බිදහෙළීමට ප්‍රයත්න දරනු ඇතැයි යන සුප්‍රසිද්ධ කියමනක් තිබේ. දේවධර්මයේ පැරණි දුර්මතය් හා සංඝට්ටනය වන ස්භාවික විද්‍යාවේ න්‍යායයන් ඉතාමත් උමතු ප්‍රතිරෝධනයක් අවුස්සා ලූයේය. තවමත් අවුස්සා ලන්නේය. එනිසා, නවීන සමාජයේ දියුණු පංතිය අවබෝධයෙන් පෝෂණය කිරීමට සහ සංවිධානය කිරීමට කොලින්ම උපකාරී වන, මෙම පංතිය හමුවේ ඇති කර්තව්‍යයන් සනිටු හන් කරන සහ වර්තමාන ක්‍රමය වෙනුවට-ආර්ථීක සංවර්ධනය හේතුකොටගෙන - නව ක්‍රමයක් ආදේශ කිරීම නොවැලැක්විය හැකි බැව් පෙන්නුම් කරන මාක්ස්වාදී මූලධර්මයට ස්වකීය ජීවිතයේ සෑම ඉදිරි පියවරක් සදහාම සටන්කිරීමට සිදුවී තිබිම පුදුමයක් නොවේ. දේපළහිමි පංතිවල නැගීඑන පරම්පරාවේ ඔළුව අවුල් කිරීම සහ එය අභ්‍යන්තර සහ බාහිර සතුරන්ට විරැද්ධ හුරුපුරුදු කිරීම සදහා නිල මහචාර්ය වරු විසින් නිළ වශයෙන් උගන්වනු ලබන ධනපති විද්‍යාවට සහ දර්ශනයට මෙය අදාල වන බව කිවමනා නොවේ. මෙම විද්‍යාව මාක්ස්වාදයේ නම පවා ඇසීමට අකමැතිය. එය කියන්නේ මාක්ස්වාදය බිදහෙළා සුනු විසුනු කොට දමා ඇති බවය. සමාජවාදය බිද හෙළීම වෘත්තියක් කොටගත් තරුණ උගත්හුද, යල් පැන ගිය “ක්‍රම” වල නේකාකාර සම්ප්‍රදායයන් රකින්නාවු ජරා ජීර්ණ වෘර්ධයෝද යන දෙකොටසම එකාකාර අභිරුචියකින් මාක්ස්ට පහරදෙති. මාක්ස්වාදයේ ප්‍රගතියත්, එහි අදහස් කම්කරු පංතිය අතර පැතිර යමින් ඒ තුල තදින් මුල් බැස ගැනීමත් සැබවින්ම සිදුවන නිසා එයට විරුද්ධව ධනපති පංතිය මෙම ප්‍රහාරයන්ගේ නිරන්තර භාවය හා උත්සන්න කම අනිවාරණීය ලෙසටම වැඩි වේ. නිළ විද්‍යාව විසින් මාක්ස්වාදය “සුනු විසුනු” කරනු ලැබු සෑම අවස්ථාවකම එය වඩාත් ශක්තිමත් වේ, වඩාත් දැඩිවේ, හා වඩාත් බලවත් වේ. නිර්ධන පංති විප්ලවය මගින්, විවාද විශය කරුණු සියල්ලම තියුණු කෙරෙන විටත්, පොදු ජනතා සමූහයාගේ හැසිරීම නීර්ණය කිරීමේදී ඉතාමත් හදිසි වැදගත් කමක් ඇති කරුණු සම්බන්ධයෙන් වන වෙනස්කම් සියල්ලම අවධානයේ එල්ලයට ගෙන එන විටත්, සටනේ තාපය අසු අස්සේම සතුරන් හා මිතුරන් වෙන්තොට හදුනාගැනීම අවශ්‍ය කෙරෙන විටත්, සතුරාට තීරණාත්මක ප්‍රහාරයක් දීම පිණිස නරක මිතුරන් ඉවතලීමට සිදුවීම අහම්බයක් නොව අනිවාර්යතාවයකි.

    ReplyDelete
  4. "සතුරාට තීරණාත්මක ප්‍රහාරයක් දීම පිණිස නරක මිතුරන් ඉවතලීමට සිදුවීම අහම්බයක් නොව අනිවාර්යතාවයකි" ඉතින් තුශාර, දෑන් විවාදෙ කෙරෙනවෑයි???
    සමල්

    ReplyDelete