මේ ලෝකෙ තියෙන ඛේදවාචකම තත්වෙ කල්පනා කරගෙන ගියොත් ඒ තමයි හැම මිනිහෙකුටම තමන්ගෙ ක‍්‍රියාව සාධාරණීකරණය කරගන්න පුළුවන් සාධාරණ හේතු තියෙන එක. හොරකමක මිනීමැරුමක ඉඳන් නිකං ඉඳලා සල්ලි හෙවීම දක්වාත් ඕනෑම කුප්පකමක් දක්වාත් මේ සාධාරණීකරනය වලංගුයි. ඒක පූර්ණ සාධාරණයි. ඕනම කෙනෙකුගේ පැවැත්ම ඇතුලෙන් එයා කරන යම් ක‍්‍රියාවකට සාධාරණ හේතුවක් තියෙනවා. එතකොට වරද වෙන්නෙ අපි මානව සම්මුතියක් කඩලා තියෙන එක. ගිල්ටිය ඇති කරන්නෙ එතනින්.
මං හිතන්නෙ මේ එකඟතාවය හෝ සම්මුතිය අවශ්‍ය වෙනවා මොනම දෙයක් වුණත් කරන්න. එහෙම නැත්තං ලංකාවෙ වගේ වෙනවා. හැමෝම තමන්ගේ සාධාරණ හේතු කියමින් ඉන්නවා මිසක් කිසි දෙයක් වෙන්නෙ නෑ. මිනිස්සුන්ගෙ පුද්ගලික හොඳ හෝ නරක කියන දේ ගැන වැඩි බරක් තියාගැනීම කොහොමත් බංකොලොත් තත්වයක් ඇණවුම් කිරීමක්. හොඳ හෝ නරක ඒ තරම් අදාල දෙයක් නෙමෙයි. ඒක මිනිස්සුන්ගෙ ඇතුලෙ තියෙන ඇත්ත උවමනාවක් නෙමෙයි. ඒක පිළිගැනීමට, එකඟතාවයට අදාල කාරණයක්. එතකොට හොඳ හෝ නරක කියන්නෙ පිටත තියෙන තත්වයකින් අපේ ඇතුලට ආරෝපණය කරන දෙයක්, අපිව තත්වානුකරණයක් මිස අපේ නිදහස් තත්වයක් නෙමෙයි වෙනවා. අපේ නිදහස් තත්වය වෙන්නෙ හොඳක් හෝ නරකක් නැති තත්වයක්. ඉතින් මට හිතෙන්නෙ ඒ එකඟතාවය පිළිගැනීම හෝ නොපිලිගැනීම (හොඳ හෝ නරක වීම) පුද්ගල අයිතියක්. සමහර වෙලාවට පුද්ගල පැවැත්මට සිද්ද වෙනවා මේ එකඟතාවය උල්ලංඝනය කරන්න. ඒක අනිවාර්යයක්. අපිට වඩා අපේ ජීවිතේ විශාලයි. හිරගෙවල් වල හිටියත් නොහිටියත් අපි හැමෝම වැරදිකාරයො. පව්කාරයො. අපි ඒ දේවල් සාධාරණීකරනය කරගෙන ජීවත් වෙනවා. කැඩෙන කැඩෙන පාරට පන්සිල් ගන්නවා ඇරෙන්න ඉතින් වෙන විකල්පයක් නෑ.
‘ඒක ඔයාගෙ ජීවිතේ නෙමෙයි. ඒක ජීවිතේ. ජීවිතේ විශාලයි ඔයාට වඩා. ජීවිතේ කියන්නෙ ඔයාට අයිති දෙයක් නෙමෙයි. ඒක ඔයා කොටස්කාරයෙක් වුණු, ඔයා සාක්කිකාරයෙක් වුණු එක්තරා තත්වයක්..’
-ලූවි සීකේ
මේ එක්කම මතක් වෙනවා මං ෆේස් බුක් එකේ ෂෙයාර් කර ගත්තු ස්ටීවන් රසල්ගෙ කියමනක්. ස්ටීවන් රසල් කියන්නෙ ඇමෙරිකානු නාට්‍යකරුවෙක්. රචකයෙක්.
‘ඔයාට පුළුවන් ඕනම කෙනෙකුගේ මනුෂ්‍යත්වය විශ්වාස කරන්න, මිනිස්සු විදිහට අපි පෙන්වන හැම නොගැලපීමක්ම එක්ක. වංකකම සහ අනිවාර්ය පාවාදීමත් එක්ක. අපි හැමෝම මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන් හැම චර්යාවකටම සමර්ථයි. ඕනම තත්වයකදි සාන්තුවරයා පටන් අධමයා දක්වාම යන්න අපිට පුළුවන්. කෙනෙක්ව එයාගෙ පටු කළාවූ හෝ සීමා කළාවූ හෝ ක‍්‍රියා සමුදායක් නිසා විශ්වාස කිරීම කියන්නෙ හරි බොළඳ තත්වයක් වගේම අනිවාර්යෙන්ම බලාපොරොත්තු කඩවීමක්’
ඒත් අපිට ඒ සීමාවෙන් එහාට කෙනෙක් ගැන විශ්වාස තියන්න පුළුවන්ද? එයා සමාජය එක්ක දරන සම්මුතියෙන්, හොඳ- නරක විනිශ්චයෙන් එපිටට නොදැමුණු පැවැත්මක් බාර ගන්න අපිට පුළුවන්ද? ඒ කියන්නෙ අනෙකාට ‘සමාජය’ නොවී මුණගැහෙන තවත් මනුස්සයෙක් වෙන්න අපිට පුළුවන්ද? ඒ පුළුවන් තැනටයි පුද්ගලික ජීවිතේ කියලා කියන්න වෙන්නෙ. අවාසනාවකට අපිට පුද්ගලික කියලා මුණගැහෙන ගොඩක් සම්බන්ධතා නැවත සමාජ සම්බන්ධතා. ගොඩක් ලංකාවෙ පවුල් සම්බන්ධතා පවා. අනිත් පැත්තෙන් සමාජ සම්බන්ධතා පුද්ගල සම්බන්ධතා වෙමින් යනවා. උදා විදිහට ලංකාවෙ දේශපාලනය, ආර්ථිකය කියන්නෙ පවුලක්. එක විදිහකට මේක අපේ විකල්ප දේශපාලන කණ්ඩායම් කාලෙක ඉඳන් ඉල්ලමින් හිටපු තත්වයක්. පවුල ඇතුලෙ දේශපාලනය, ආදරය ඇතුලෙ දේශපාලනය කිය කිය මේ සම්බන්ධතා වර්ග දෙක පටළවා ගත්ත ඒ අයට දැන් තත්වයක් විදිහට ලංකාවම තියෙනවා හදාරන්න.
මේ මෑතක කැසිනෝ පණත සම්මත කර ගැනීම ගැන ලොකු හාහෝවක් ආවා. අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවෙදි කොන්ද පණ ඇති කතාවක් කළා. කැසිනෝ වලින් වෙන්න පුළුවන් සමාජ අර්බුදය ගැන. ඒක ඇෙඟ් හිරිගඩු පිපෙන කතාවක්. මාත් ඒක හැමතැනම ෂෙයාර් කළා. කැසිනෝ එක්ක තියෙන අපේ සංස්කෘතික අර්බුදය තමයි ඒ හැම කාරනේකින්ම වගේ ප‍්‍රශ්න කළේ.
මං ඒ කතාවට කැමති වගේම කැසිනෝ වලටත් කැමතියි. මං හිතන්නෙ අනුර කුමාර කතා කළේ අපේ ඇති සමාජ එකඟතාව කියන කාරනේ ගැන. විශේෂයෙන්ම මේ ආණ්ඩුව සමාජයත් එක්ක ගහපු එකඟතාවය ගැන. මේක යූඇන්පී එකෙන් කළා නම් කමක් නෑ, එයා නැවත නැවත කිව්වා. ප‍්‍රශ්නෙ තියෙන්නෙ විශ්වාස භංගය.
කැසිනෝ නිසා ඇතිවෙන සංස්කෘතික ව්‍යසන කියලා ගොඩක් මතු කරන කාරණා වැදගත් වෙන්නෙ ඒ කාරණා ගැන අපි (කැසිනෝ වලට එකඟ අය) හිතලා තියෙනවද කියන එකට මිස ඒ කාරණා නිසා කැසිනො නවත්තන්න ඕන කියන තැනට නෙමෙයි. ඇත්තටම මේ ගණුදෙනුව ලංකාවට ආර්ථිකමය අතින් වාසි විදිහට සැලසුම් කරලා තියෙනවද කියන එක ඒ ගැන විශේෂඥ පිරිස් කතාබහට ගන්න ඕන දෙයක්. ආර්ථික පැත්තෙන් වාසිදායකද කියන එක විතරක්. සංස්කෘතික පැත්තෙන් තියෙන අවාසි අවශෝෂණය කර ගන්න පුළුවන් තත්ව ඇති කරනවා මිස ඒ අවාසි අවම කරන්න උත්සාහවත් නොකළ යුතුයි කියලයි මං හිතන්නෙ.
මේක ටිකක් ප‍්‍රචණ්ඩ වගේ කතාවක් වෙන්න පුළුවන්. ඒත් හැම අලූත් නිෂ්පාදන ප‍්‍රවේශයක් එක්කම පවතින සංස්කෘතිය අර්බුදයට යන එක අනිවාර්යයක්. ඒක එක එක ප‍්‍රමාණ වලින් වෙන්න පුළුවන්. උදා විදිහට පැය විසි හතරෙ කඩ සාප්පු ඇරලා තියන්න ගත්තොත් ලංකාවෙ දවාලට වඩා ගොඩක් වෙනස් රාත‍්‍රී සංස්කෘතියක් ඇති වේවි. එතකොට කලින් පැවති සම්මුති එකඟතා අභියෝගයට ලක්වෙනවා. වෙනස් විදිහකට කිව්වොත් ඒ එකඟතා අලූත් කර ගන්න අපිට සිද්ද වෙනවා. පවතින එකඟතාවයන් සම්මුතීන් වෙනුවෙන් සටන් කරනවට වඩා අලූත් සම්මුතීන් ඇති කර ගන්න උනන්දු වෙන එක සමාජයක් විදිහට ප‍්‍රගතිශීලියි.
මේ සාකච්ඡුාවෙ තව ඉස්සරහට යන්න කලින් මං පොඩි කතාවක් මතක් කරන්නං. ලිපිය කෙලවරේදි ඇවිස්සෙන්න ඉඩ තියෙන සදාචාර මමත්වයත් එක්ක මළ පැන්නොත් මේ කතාව ආයිමත් කියවන්න කියල ඉල්ලා සිටිනවා.
‘සාමාන්‍ය මිනිසාගේ හැසිරීම කල් ඇතුව නිශ්චය කිරීමට නම් ඔබ කළ යුත්තේ ඔවුන් එක`ග නොවෙන හැම අවස්ථාවකින්ම පලායාමට උත්සාහ කරන බවත් ඒ ගැන අඩුම බුද්ධි ප‍්‍රමාණයක් හෝ මිඩංගු නොකරන බවත් සිහිතබා ගැනීමයි’ කියල නීට්ෂෙ කියල තියෙනවා.
කතාව මේකයි. ලන්ඩන් වල පිලියන් ට‍්‍රස්ට් කියලා සුබසාධන සමිතියක් පොඩි රිසර්ච් එකක් කළා මිනිස්සුන්ගෙ මේ සුබසාධන හැ`ගීම පරීක්‍ෂා කරන්න. මුලින්ම මනුස්්සයෙක් ‘ෆක් ද පුවර්’ කියල බෝර්ඞ් එකක් එල්ලගෙන වීදි දිගේ ඇවිදින්න ගත්තා. මිනිස්සු නැවති නැවති ඒ මිනිහට බැන්නා. මේක අමුනුස්සයි කිව්වා. ගහගන්න පවා ආවා. ඊට පස්සෙ මේ මනුස්සයා ‘හෙල්ප් ද පුවර්’ කියල බෝර්ඞ් එකක් එල්ලන් පාරට බැස්සා. කෑ ගහලා උදව් ඉල්ලූවා. කිසි කෙනෙකුට මේ මනුස්සයව ඇහුනෙ නෑ. අඩු ගානෙ දැක්කෙවත් නෑ. මං හිතන්නෙ අපේ සදාචාර හැ`ගීම ඒ විදිහයි.
(ආයිමත් කැසිනො කතාවට)
සදාචාර තර්ක විදිහට මතුවෙන ගොඩක් කාරණා වලින් කීපයක් ගත්තොත් ලංකාවෙ ගණිකා වෘත්තියට නීතිමය තත්වයක් ඇතිවීම එකක්. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ගණිකා වෘත්තියට ඒ අදාල පිළිගැනීම දෙන එකෙන් මිස ඒ වෘත්තියේ ඇති මානසිකමය සහ ශාරීරිකමය අවදානම අඩු කරන්න වෙන කිසි විදිහකින් බෑ. ඒ පිළිගැනීම ඇතුලෙ විතරයි අපිට ඒඞ්ස් වගේ ප‍්‍රායෝගික අවාසිදායක තත්ව වලට පිළියම් හදන්න පුළුවන්. මෙතනදි ගම් පළාත් වල කෙල්ලන් සුද්දන්ට විකිණෙනවා වගේ මුවන්පැලැස්සෙ කතා හොඳ ටෙලි නාට්‍ය හදන්න විතරයි කියලයි මට හිතෙන්නෙ. ජීවිතේ සදාචාරයට වඩා සංකීර්ණයි.
මත්ද්‍රව්‍ය පැතිරීම ගැන ඇති කරන භීතියත් මේ සමානමයි. ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ ලොකු සමාජ භීතිකාවක් ආවා හෙරොයින් අඩංගු ස්ටිකර් වගයක් ගැන. ප‍්‍රවෘත්ති වල පවා කිව්වා. ඒ ස්ටිකර් දියවෙලා ඒක අඝාණයෙන් හෙරොයින් වලට ඇබ්බැහි වෙනවා වගේ කතාවක් තමයි පැතිරුනෙ. ඉස්කෝල ඉස්සරහ පාරෙ එලාගත්ත ස්ටිකර් අයියලටත් රස්සාව නැති වුණා. හෙරොයින් හෝ වෙන ඒ ජාතියේ මත්ද්‍රව්‍යයක් දැකලාවත් තියෙන කෙනෙක් දන්නවා මේක මොන විහිළුවක්ද කියන එක. අපි ඒ විහිළු රාජ්‍ය මට්ටමෙන් කළා. අරක්කු විතරක් දන්න ලංකාවට අනිත් හැමදේම කුඩු.
මත්ද්‍රව්‍ය ලංකාවට ඒ විදිහට එනවා නම් ඒක හොඳයි. දැනට තියෙන බාල පැනඩෝල් කුඩු වෙනුවට යම් ප‍්‍රමිතියක් ඇති දෙයක් පහළම මිනිහට පවා ලැබේවි. අනිත් අතට ඇල්කොහොලික් සංස්කෘතිය ඊට වඩා පළල් පරිකල්පනයක් ඇති තත්වයකට පරිණාමය වේවි. ඕන දේක වගේ අවදානමක් මෙතනත් තියේවි. ඒත් බිත්තර කීපයක් නොකඩා ඔම්ලට් එකක් හදන්නෙ කොහොමද? හොඳ හෝ නරක හැම වෙනසක්ම සිද්ද වෙන්නෙ ඒ වෙනුවන් මීයන් කීප දෙනෙකුගේ හෝ ජීවිත කැප කිරීමෙන්.
මට හිතෙන්නෙ පවතින තත්වය ස්වභාවික හෝ සාමාන්‍යය කියලා අරගෙන ඒක ආරක්‍ෂා කරන්න දඟලන ගුහාවාසී ජීවිත වලින් අපිට එළියට එන්න වෙනවා. මේ වෙද්දි මොන තරම් කතා කිව්වත් ලංකාව වගේ පුංචි දූපතකට පවතින්න තියෙන එකම විදිහ සංචාරක ආශ‍්‍රිත කර්මාන්ත කියන එක පැහැදිලියි. ඒ වගේම ඒක සුබදායී තත්වයක්. අපේ උරුමය හරි ඔය රකින ගල්කණු ටික හරි වැදගත් වෙන්නෙ ඒ ආර්ථිකයකදි විතරයි. ආර්ථිකයක් නැති ගල්කණුවක් කරේ ගහගෙන කොහේ යන්නද?
ඒ විදිහෙන් කැසිනෝ කොළඹට එන එක ගැන මං සතුටුයි. කොළඹ ඒ සංස්කෘතික වෙනස අවශෝෂණය කර ගන්න පුළුවන් නගරයක්. නෛතිකව නොවුණට කැසිනො වලට වඩා දේවල් කොළඹ කෙරෙනවා. ඉතින් අර කිව්වා වගේ සම්මුතියෙයි ප‍්‍රශ්නෙ තියෙන්නෙ. කැසිනෝ ආශ‍්‍රිතව රාත‍්‍රී සංස්කෘතියක්, ප‍්‍රමිතියක් ඇති ගණිකා වෘත්තියක්, ප‍්‍රමිතියක් ඇති මත්ද්‍රව්‍ය සහ හොඳ ආර්ථිකයක් ලංකාවට එනවා නම් අපි ඒ වෙනස බාර ගන්න ඕන. සමාජ ගැටුම හෝ ආතතිය අවම කරන්න, අවශෝෂණය කරන්න සමාජ දේශපාලන ක‍්‍රියාකාරීන් මැදිහත් වෙන්න ඕන.
මං පුද්ගලිකව කැසිනෝ වලට කැමති හේතුව මේ හැමදේකටම වඩා වෙනස්. මං ඉස්තෙපාන් ගෙන් කැසිනෝ ගැන ඇහුවා.
‘මචං මං හිතන්නෙ සූදුවට කොහොමත් මිනිස්සුන්ගෙ කැමැත්තක් තියෙනවා. ෆේස් බුක්, ගූගල් වලින් තෙල් ගහන සිලිකන් වැලි සංස්කෘතියම දුවන්නෙ සූදුවෙන්. ඒත් කැසිනෝ මේවට වඩා වෙනස්. ඒකෙ තියෙනවා මාර සයිකොලොජිකල් ටි‍්‍රක් එකක්, කාලය ගැන හැඟීම එහෙම්පිටින්ම නැති කරන. ඒ වගේම උඹව අමුතු මෝහණයකට තල්ලූ කරනවා. බොරු ගණන් දාලා පෙන්නනවා උඹට ඇත්තටම දිනන්න ඉඩක් තියෙනවා කියල...’
මං කැමති ගොඩක් චරිත පාදඩ විදිහට සූදුවට ඇබ්බැහි වෙලා හිටියා. උදා විදිහට දොස්තයෙව්ස්කි. රෙනේ දෙකාර්ත්. දොස්තයෙව්ස්කි සූදු අන්තුවෙක් විදිහට ජීවිතේ ස්පර්ශ කළ අඳුරු ගැඹුර සාහිත්‍යයට අරගෙන ආවා. ඒක තාමත් වෙන කිසි කෙනෙක් ගමන් නොකළ තරම් පැවැත්මෙ ගැඹුරු පතුලක්.
කැසිනෝ හෝ සූදුවෙදි මං කැමතියි මේ සල්ලි එක්ක කරන සෙල්ලමට. වෙන විදිහකින් කිව්වොත් සල්ලි වල ප‍්‍රකෘතිය තියෙන්නෙ කැසිනො වල (සූදුවෙදි) විතරයි කියලයි මට හිතෙන්නෙ. සල්ලි විසි කිරීම, නැති කිරීම, නැත්තටම නැති වීම විනෝදයක් විදිහට විඳින්න පුළුවන් එතන. අනිත් හැමතැනදිම සල්ලි වෙන මොනවා හරි බොරු උවමනාවක්, වටිනාකමක් එක්ක ගැටගැහෙනවා. කැසිනෝ එකකදි මිනිහෙක් ඒ මොහොතට විතරක් ජීවත් වෙනවා. හැමදේම සල්ලි වලට ගන්නවා. අමාරුවෙන් හම්බු කරනවා කියන පොදි ගහන සල්ලි කොල වලින් සිගරට් පත්තු කරන තරම් උන්මාදයක් ප‍්‍රමෝදයක් කැසිනෝ සංස්කෘතියෙ තියෙනවා. ඒක හොඳද නරකද කියන්න මං උනන්දු වෙන්නෙ නෑ. ඒත් ඒක වෙන කොතනදිවත් ගන්න බැරි ආස්වාදයක්. නිරුවත් සල්ලි එක්ක නිරුවත් විනෝදය.
කොහොමවත් මිනිස් ආශාවෙ දිශාවට විරුද්ද වෙන්න මං පෙළඹෙන්නෙ නෑ. ඒක ජීවිතය ගැන හෝ මරණය ගැන වේවා ඒක යමෙකුගේ ආශාවේ දිශාව නම් සහ ඒක ඒ කෙනාගෙ පුද්ගලික තෝරා ගැනීම නම් මං ඒක නිර්මාණාත්මක රස විඳිනවා. ඒ මනුස්ස නිදහස ඒ තරම්ම රමණීය නිසා. ආශාවට බාධාකාරී හැම සංස්කෘතික ප‍්‍රවේශයක්ම ආශාව සමග අනුවර්තනය වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. අනිත් හැම දෙයක්ම ඒ දිහාවට මෙහෙයවෙද්දි සංස්කෘතිය විතරක් ප‍්‍රතිරෝධයක් වෙන එක තේරුමක් නැති වැඩක්.
‘උඹ අහලා තියෙනවද රෂියන් රුලේ...?’
ඉස්තෙපාන් අහද්දි මං ඒ ගැන අහලා තිබුණෙ නෑ.
‘මචං කෝටිපතියො සෙට් එකක් උණ්ඩ හයේ රිවෝල්වරයක් අරන් ඉඳගන්නවා මේසයක් වටේට. ඒ රිවෝල්වරේට එක උණ්ඩයක් දානවා. ඊට පස්සෙ එක එක්කෙනා තමන්ගෙ ඔලූවට තියලා කොකා ගස්සන්න ඕන. රිවෝලවරය අතින් අතට මාරු වෙනවා කාගේ හරි ඔලූව කුඩු වෙලා යනකල්. ඒ මැරෙන එකාගෙ දේපොල අනිත් උන් අතරෙ බෙදෙනවා’
ආශාවේ දිශාව ඒ තරම් විපරීත වෙන්න පුළුවන්. ඒ ඇත්තටම එක විදිහකින් ජීවිතේ කියන්නෙ කැසිනෝවකට වඩා ලොකු සූදු පිට්ටනියක් හින්ද. ඒ පිට්ටනිය මැද්දෙ කන්‍යාවන්ට පැවැත්මක් නෑ. එකඟ වෙනවට වඩා විකල්පයක් නෑ. ඒ එකඟ වීම නිර්මාණාත්මක කරන්න අපිට පුළුවන්.
හරියට ගණිකාවක් වගේ.
-චින්තන ධර්මදාස
මොනව කියන්නද .. මාත් හිතන්නෙ උබ හරි
ReplyDelete