Saturday, June 14, 2014

මුල් තිබුණට මදි - තටු තියෙන්නත් ඕනි.


ලන්ච් බොක්ස් ෆිල්ම් එක එන්න කලින් දාපු පෝස්ටර්, ආපු කතාබහ හින්ද ඔලූවෙ හදාගෙන තිබ්බ චිත්‍රෙ ලොකු වැඩිද මන්ද. ෆිල්ම් එක බලපු ගමන් මළ පැන්නා. ඒක තනිකරම ෆෙස්ටිවල් වලට විකුණන්න  ඕන කරන අඩුමකුඩුම දාලා හදපු කෘතිම රසකාරක වලින් පිරිච්ච හොද්දක්. රූප ලස්සනයි, ගැලපීම ලස්සනයි, මදේ බාලයි.

‘වැරදි කෝච්චිය වුණත් ඔයා හරි ඉස්ටේසමට ගෙනියන්න ඉඩ තියෙනවා’

ෆිල්ම් එකේ තිබ්බ එකම හොඳ දේ ඒ වචන පේලිය විතරයි. ඉර්ෆාන් කාන්ගෙයි, නවසුඩින් සිද්දික්ගෙයි සිරා ටැලන්ට් එක වැඩක් වෙන ප්ලොට් එකක් නෙමෙයි ඒක. සුපුරුදු විදිහට දුර්වල, කපටි පිටපතට වුණත් ඒ දෙන්නා සෑහෙන දෙයක් කරනවා. ඒත් ෆිල්ම් එක බලලා ඉවර වෙද්දි අපිට අන්තිමට හිතෙන්නෙ මොකක්ද? අපිව පාවිච්චි කළා වගේ හැ`ගීමක් විතරයි. අධ්‍යක්‍ෂවරයා කෘතියට අවංක නෑ. ඒ චරිත වලට අවංක නෑ. මං මේ කියන දේ කොයි වගේද කියල බලන්න ලන්ච් බොක්ස් එක්ක ‘ලයිෆ් ඉන් මෙට්‍රො’ වගේ ෆිල්ම් එකක් බලන්න.

බලාපොරොත්තු විය යුතු විදිහටම ලන්ච් බොක්ස් ෆෙස්ටිවල් සිනමාව විසින් කරටම ගන්නවා. කෑම පෙට්ටි බෙදන මිනිස්සුන්ගෙ රූප පෙළ එද්දිම මට ඒක ගැන සැකයක් තිබ්බෙ නෑ. ඒත් මං හිතුවා ඊට අමතර මොනා හරි ජින්තු ටිකකුත් ෆිල්ම් එකේ තියෙයි කියල. විශේෂයෙන් අනුරාග් කාශ්‍යප් පවා වැඬේට සම්බන්ද නිසා. ඒත් ළාමක සිතීමකින් එහා කිසි ගැඹුරු මිනිස් මොහොතක් පහු කරන්න කෑම පෙට්ටියට බැරි වෙනවා.

මං හිතන්නෙ මේ ෆිල්ම් එක ගැන මෙහෙම ලියන එකම කෙනා මං වෙන්න පුළුවන්. ලෝකයක්ම ඒ ගැන ගුණ වැනුම් කරද්දි මේ ලියමන කිසි වැදගැම්මකට නැති එක්ක වෙන්නත් පුළුවන්. ඒත් ඉන්දියානු සමාජ අවකාශ මෝඩ රොමාන්තිකකරණයකට වැඩි යමක් ලන්ච් බොක්ස් වල සිද්ද වෙලා නෑ.

අන්තිමට මිනිහෙක් තමන් වයසට යන වග අත්දැකීම තමයි ෆිල්ම් එකේ කූටප‍්‍රාප්තිය වෙන්නෙ. එකපාරට අනියම් පෙම් ඇසුරක පළමු මුණගැහීමෙදි එයාට තමන් නාකියි කියල අවබෝධ වෙනවා. ඒක විකාරයක්. විශේෂයෙන්ම අධ්‍යක්‍ෂවරයා හිතාමතාම මේ චරිත නන්සෙක්ස් කරනවා. මල් පත්තරේක ලියවෙන නව කතාවකට වැඩි ගැඹුරකට කතාව අරගෙන යන්න එයාට බැරි වෙනවා. ප‍්‍රධාන චරිතය වගේම චිත‍්‍රපටියත් වඳයි. ඒක මනුස්ස ආත්මය හොයාගෙන යන ගමනක් වෙනුවට සම්මාන හොයාගෙන යන ළපටි තැනක නතර වෙනවා. එතකොට ර`ගපෑම්, ෆේ‍්‍රම් මොනා තිබුණත් අපිට බාල හැ`ගීමක් එනවා.

කාලෙකට පස්සෙ ආයිමත් චිත‍්‍රපටියක් ගැන ලියන්න හිතුනෙ බේකරියෙ කට්ටිය සෙට් වෙලා කරපු කොයින්ස් ෆිල්ම් පෙන්නන වැඬේ හින්ද. ඒක ඒ වගේ ස්ක‍්‍රීනින් එකකට මරු තැනක්. පුවක් ගස් දෙකක බැඳපු තිරයක් උඩට ෆිල්ම් ටික ප්‍රොජෙක්ට් වෙනවා. කණ පැලෙන්න සද්දෙත් තියෙනවා. ස්වභාවික අන්ධකාරෙත් එක්ක ලයිට් නිමලා කරුවල කරන්න හේතුවක් නෑ. කොණක තම්බපු මයියොක්කයි, කට දන කොච්චි සම්බෝලෙකුයි එක්ක සීතල බීර කෑන් තියෙනවා. චිත‍්‍රපටි හදන, කතා කරන, එහෙම නැත්තං උනන්දුවෙන් බලන මිනිස්සු ටිකක් එකතු වෙලා ඉන්නවා. ඊට වඩා තව මොනවද?

එකම නොගැලපීමකට තිබුනෙ මටයි විදර්ශනටයි ටිකක් කතා කරන්න පැවරිලා තිබුණ එක. මොනම කතාවකින් වුණත් අනවශ්‍ය විනයක්, සංවිධානගත වීමක් යෝජනා කරනවා මිස ඊට වඩා වැඩි දෙයක් වෙන්නෙ නෑ. අනවශ්‍ය විදිහට කට්ටිය සීරියස් වෙනවා. ඒත් කරුමෙකට අපිට ඒ වගේ හැඩයක් තාම  ඕන වෙනවා.

විදර්ශන එයාගෙ සිනමාව ගැන එයාගෙ කතාව කරගෙන ගියා. සිනමාකරුවා දේශපාලන නොවීම හෝ දේශපාලන දැක්මකින් තොර වීම වගේ චෝදනාවක් එක්ක විදර්ශන කොයින්ස් සිනමා ව්‍යායාමය පිටිපස්සෙ ඉන්න තක්කඩින් එලි කිරීම වගේ තැනකට ගියා. ආණ්ඩුව එක්ක සම්බන්ධ ආයතන හරහා ආණ්ඩුවෙ ප්‍රොජෙක්ට් විදිහට සිද්ද වෙන දේවල් වලින් කිසි දෙයක් වෙන්නෙ නෑ වගේ ආස්තානයක් ඒක. ඒ දේශපාලනය ගැන අවිඥාණක වීම නිසාම මේ චිත‍්‍රපටි හදපු කට්ටියත් වැඩක් නෑ වගේ අදහසක් ඒ කතාවෙ තිබුණ. (මට ඇහුණ විදිහට)
මේ විදිහට දේවල් දිහා බලන ආකෘතිය ලංකාවෙ ස්වභාවිකයි කියල හිතන තරමට මුල්බැහැල කියලයි මං හිතන්නෙ. දේවල් සහ ඒ පිටුපස ඇති බලවේග අඳුන ගන්නවට වඩා දේවල් සහ ඒවා ඉදිරියේ තියෙන තත්වයන් අඳුරගන්න එක අලූත් පිවිසීමක්. උදා විදිහට මං හිතන්නෙ කොයින්ස් වගේ වැඩක යටි පෙලේ ලකුණු හෝ වාසි හෝ ලබන දේශපාලකයන්, නිලධාරීන් කියන්නෙ වැඩකට නැති යතාර්ථයක්.
අපි ඒ තලය එක්ක ගනුදෙනු කරන, ඒ තලයේ සිතීම එකම යතාර්ථය හැටියෙන් විස්තර කරන මොහොතේම අපි ඒ තලයේ ජීවිතයක් ලබනවා. මට හොඳටම විශ්වාසයි එදා විදර්ශන තක්කඩියෙක් කියපු රංජිත් කවදා හරි දවසක විදර්ශන වගේම සිස්ටම් එක ප‍්‍රශ්න කරන්න ඇති. මොකද ප‍්‍රගතිශීලී පැත්තට වේවා ප‍්‍රතිගාමී පැත්තට වේවා කොහොම ගියත් මේ සිතීමේ ආකෘතිය සමානයි. අනෙකා තක්කඩියෙක් හොරෙක් වංචාකාරයෙක් කියන පුද්ගල කේන්ද්‍රීය දැක්ම සමානයි.

මට හිතෙන්නෙ කළ යුත්තෙ අපි වෙනස් යතාර්ථයකට ඇතුල් වීම. ඒ වෙනස් යතාර්ථය සාමූහිකව පොහොසත් කිරීම. දේශපාලනය කියන්නෙ ඒකට අඩංගු නොවිය යුතුම සාධකයක් විතරයි. ඒකට හේතුව දේශපාලනය නරක වීම නෙමෙයි. මේ ක‍්‍රමයෙන් නිර්මාණය කරපු දේශපාලන, සමාජ සිතීම් වලින් ඒ අලූත් තත්වය බාධා කිරීම සහ පරණ විදිහට විනයගත කිරීමට වැඩි දෙයක් සිද්ද නොවෙන හින්ද.

සාරයන්ගෙන් ගැටීම වෙනුවට සාරය අත්හැරීම හරහා අපිට සිතීමේ දිශාව වෙනස් කරන්න පුළුවන්. ආයිමත් උදාහරණයකින් සංයුක්ත කළොත්, ඒඞ්ස් වෛරසය කියන්නෙ සමාජ සංස්කෘතික වෙනසකට හොඳ ආදර්ශකයක්. ශරීරයේ ෙසෙල හා ගැටෙමින් ඒවා මර්දනය කිරීම වෙනුවට ඒ දේහයන්ගේම හැඩය ගැනීම හරහා ඒ ෙසෙල අතරින්ම වැඩෙමින් ශරීරයේ ප‍්‍රතිශක්ති පද්ධතිය අඩපණ කිරීම හරහා ඒඞ්ස් මාරාන්තික තත්වය අත්පත් කර ගන්නවා. ඒක හින්දම බෙහෙතක් හොයා ගැනීම විතරක් නෙමෙයි, ලෙඬේ හොයාගැනීමත් සෑහෙන දුෂ්කර වෙනවා. ඊළ`ග ඉපදෙන එකා පවා මේ වෛරසය අරගෙන යනවා. මට හිතෙන්නෙ අලූත් අදහස් පද්ධතියක්, නව සිතීමක් ආසාදනය වෙන්න  ඕන ඒඞ්ස් වගේමයි. එහෙම නැත්තං පවතින විශාල සමාජ සිතීම විසින් අලූත් වෙනස ඉවරයක් කරනවා. එක්කො ගිලිනවා නැත්තං කපලා අයින් කරනවා.

බලය හෝ ලාබය අරමුණු කර ගනිමින් කරන ව්‍යාපෘති හරහා බලය හෝ ලාබය තවදුරටත් වටිනාකමක් නොවන සිතීමක් ඇති කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. සුරංගනා කතාවක් වගේ පෙණුනත් ආයතනගත ඔලූ ගෙඩි වලින් හිතාගන්න බැරි තාක්‍ෂණික වෙනස හරහා මේකට  ඕනකරන යටිතලය හැදිලා ඉවරයි. මේ වෙනසෙන් මුලින්ම අභියෝග වෙන්නෙ තාර්කික කියල හිතන ජීවිතය. ඒකට හේතුවම පවතින තාර්කිකත්වය කියන්නෙ පවතින ක‍්‍රමයම වෙන එක. ඒ හින්ද හැම අතාර්කික දෙයක්ම මේ වෙලාවෙදි සමාජ විප්ලවයක් වෙනුවෙන් වැඩ කරනවා.

මේක ටිකක් අමුතු සිද්දියක්. නිකමට හිතුවොත්, අපි හි`ගන්නෙකුට රුපියල් දහයක් දුන්නා කියල හිතමු. අපි ඊට පස්සෙ හිතනවා මේකා මේකෙන් කුඩු ගහයි, කසිප්පු බොයි, මං මූට රැුවටුනා කියල හිතයි වගේ මනස්ගාත ගොඩක්. හු`ගක් අය පාර අයිනෙ මිනිහෙකුට කීයක් වත් නොදෙන්නෙ මේ වගේ තාර්කික හේතු හින්ද. ඒත් ඒ තත්පරෙන් අපිට නොදැනීම අපි හි`ගන්නාගෙ ගානට වැටෙනවා. තව කෙනෙක් රැුවටීම සහ තව කෙනෙක් විසින් රවටනු ලැබේ යැයි තියෙන බය ඒ හි`ගන සිතීමේ කොටසක්. ඒ වෙනුවට අපිට පුළුවන් හිතන්න

‘මූ මේකෙන් ෆන් එකක් ගනී. නැත්තං හොඳට කයි බොයි... කොච්චර හොඳද..?’
ඒත් එහෙම ඒවට සල්ලි දෙන්න අපිට අවුල් වගේ. පිං නෑ වගේ.

ඒත් අපි හිතන විදිහ වෙනස් කළොත් අපි ඇතුලෙත් වෙනස් යතාර්ථයක් හැදෙන්න පුළුවන්. සැක කරන්නා හෝ රැුවටෙන්නා වෙනුවට සතුටෙන් ඉන්න මිනිහෙක් තවත් සහෝදර මිනිහෙකුට කීයක් හරි දෙනවා. කාලයක් යද්දි හි`ගන්නට වුණත්  ඕන වෙන්නෙ නෑ එහෙම බොරු කියන්න. බීර එකක් බොන්නත් කීයක් හරි දෙන මිනිස්සු ඉන්නවා.

එතකොට අපිට හිතෙනවා ඒවා හොඳයි සල්ලි තියෙන උන්ට වගේ හිතුවිලි. සල්ලි ගැන තියෙන මේ නැති බැරි හිතුවිල්ලමත් සල්ලි බාර ගනිමින් ඉන්න යතාර්ථයේ අවුලක්. සල්ලි වලට තියෙන වටිනාකම වෙන දේකට විතැන් කිරීමෙන් විතරයි ඒ සිතීමේ වෙනස ඇති වෙන්න පුළුවන්. ඒක ඇටිටියුඞ් වෙනසක්. ඒත් එතකොටත් අපි අනුන්ගෙ සාක්කුවෙ තියෙන සල්ලි ගාන චෙක් කරන්න යනවා නම්....

‘අපිට බෑ ප‍්‍රශ්න විසඳන්න ඒ ප‍්‍රශ්න නිර්මාණය වුණු විදිහෙම සිතීමක් පාවිච්චි කරලා’
- ඇල්බට් අයින්ස්ටයින්

මගේ යෝජනාව වුනේ අපි මේ තියෙන කුණු වෙච්ච සිතීමේ විශ්වය වෙනුවට සමාන්තර විශ්වයක් තෝර ගමු කියන එක. නිර්මාණාත්මක බවට වැඩි ඉඩක් තියෙන, හැම අලූත් දේකම අවදානම හෝ අවුල වෙනුවට සාධනීය කොටස දකින, ඒ මත තවත් අලූත් දේ තනන වෙනස් යතාර්තයක්. හැම යතාර්තයක් කියන්නෙම මායාවක් හින්ද  ඕනතරම් යතාර්තයන්ට ලෝකෙ ඉඩ තියෙනවා.

මහපොලොවෙ ජීවත් වෙන මිනිස්සුන්ට හොඳ නිර්මාණකරුවො වෙන්න අමාරුයි. ඒකට හේතුව ඒ ගොල්ලොන්ට ඉගිල්ලෙන්න බැරි හින්ද. පොලොවෙ වුණත් කරන්න පුළුවන් කුඹුරු වගේ නිර්මාණ. ඒත් සිනමාව කියන්නෙ මහපොලොවට වඩා ලොකු අවකාශයක්. දේශපාලනය කියන්නෙ ඒකෙදි ගල්යුගයෙ පාවිච්චි කරපු මෙවලමකට වැඩි දෙයක් නෙමෙයි.

ජීවත් විය හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් කිසිම දේකින් ප‍්‍රමෝදයට පත් නොවීම. දෙවෙනි විදිහ කුඩා දේකින් පවා ප‍්‍රමෝදයට පත්වීම. පළවෙනි විදිහ වයසක මහල්ලෙකුගේ ඇසින් බැලීමක්. දෙවැන්න කුඩා දරුවෙකුගේ ඇස් වලින් බැලීමක්.
කියල අයින්ස්ටයින් කියල තියෙනවා.
-චින්තන ධර්මදාස




2 comments:

  1. පට්ටයි ... උඹ මචන් ෆිල්ම් ගැන ලියන එක නවත්තල ඔය සමාජේ ගැන ලියන ඒවා කරපන් ... ඒවා පට්ටයි ... ජය වේවා !!!

    ReplyDelete
  2. දමිත් දහනායකJune 14, 2014 at 6:37 PM

    හැම යතාර්තයක් කියන්නෙම මායාවක් හින්ද ඕනතරම් යතාර්තයන්ට ලෝකෙ ඉඩ තියෙනවා.

    ReplyDelete