Saturday, July 12, 2014

මං කොයි ජාතියෙ මිනිහෙක්ද?



මං ජාතිය ගැන හිතන්න පටන් ගත්තා. පහුගිය දවස් කීපයෙ ඇති වෙච්ච ලෝක නවනිංගිරාවට පත් වෙන අපේ ශ‍්‍රී වික‍්‍රමයන් ඒකට එක හේතුවක්. ඇත්තටම මම මොන ජාතියෙ මිනිහෙක්ද? උප්පැන්නෙ ලැජ්ජාවෙන් ගැලවෙන්න මට හිතන්න සිද්ද වුණා.

පහුගිය දවසක දලයි ලාමා ලංකාව ගැන මතක් කිරීමක් කරලා තිබුණ. ඒ ලෝක බෞද්ද උරුමයක් විදිහට සළකන සංගවරයෙක් (සංග කියන ගුණයන්ගෙන් පිරුණා වූ) බෞද්දකම ගැන කරපු මතක් කිරීමක්.

‘මියන්මාරයේ සහ ශ‍්‍රී ලංකාවේ සිටින බෞද්ධයන්ට මා කියා සිටින්නේ මෙබඳු අපරාධ කරන්නට කලින් බුදුන්ගේ රුවක් මනසින් මවා ගන්න. බුදුන් දේශනා කළේ මෛත‍්‍රිය සහ කරුණාවයි. මෙබඳු අවස්ථාවක බුදුන් එතන සිටියා නම් උන්වහන්සේ නිසැකවම මේ බෞද්ධයන්ගෙන් පහර කන මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙනු නිසැකයි’

දලයි ලාමා එහෙම කිව්වා කියල මං ෆේස් බුක් එකේ දැම්මා.

‘ෂටප් බිච් ප්ලීස්’ කියල ඒකට සිංහල බෞද්දයෙක් කමෙන්ට් කරලා තිබුණ. දලයි ලාමාටත් බෞද්දකම උගන්නන තත්වයකයි සිංහල බෞද්දයො දැන් ඉන්නෙ. බුදුන් යලි ආවත් අපෙන් බුද්දාගම ඉගෙන ගන්නවා මිස නැත්තං අබසරණයි..

මේ ජාතිය කියන එක හරි අමුතු වචනයක්. අවුරුදු කීපෙකට කලින් අපි ජාතිය වෙනුවෙන් මරා ගත්තා. ඒ සිංහල ජාතිය සහ දෙමළ ජාතිය විදිහට. අපි දින්නා. රට සිංහල රට වුණා. අපි දැන් ආයිමත් මරා ගන්න පටන් අරන්. ඒ බෞද්ද මුස්ලිම් විදිහට. දැන් මේ ජාතිය, ආගම කියන තැනට මාරු වෙලා. මීට ටික කාලෙකට පස්සෙ අපි කුලය, පවුල දක්වාමත් නැත්නම් පාසැල, ලේන් එක කොයි ආදී වශයෙන් වුණත් මරා ගන්න පුළුවන්. අපි ඒ ජාතියෙ.

මේ ගැන ෆේස් බුක් එකේ සටන් ඇවිලෙද්දි මගේ යාලූවෙක් ඉදිරිපත් කරපු තර්කයක් වුනේ මේක රේසිසම් (වර්ග වාදයක් නෙමෙයි) මේක නැෂනලිස්ම් (ජාතිකවාදයක්) වගේ අදහසක්. ඒකෙන් ටිකක් මේ තත්වය සාධාරණීකරනය කරන්න කරපු උත්සාහයක්. මට හිතෙන්නෙ මේක මොන විදිහෙ වාදයක් වුණත් තියෙන්නෙ එකම උවමනාවක්. එකම හැඩයක්. එකම අරමුණක්. වචනෙ විතරයි වෙනස් වෙන්නෙ.

ජාතියක් විදිහට අපි ම්ලේච්ඡුයො කියල ලෝකය හංවඩු ගසමින් ඉන්නවා. අපි, ‘ඔව් අපි මරාගෙන කනවා යකෝ’ කියල බෙරිහන් දෙනවා. මං කියන්නෙ උප්පැන්නෙ ජාතිය ගැන අහන හිස්තැන් පිරවීම දැන් තෝරා ගැනීමක් වෙන්න  ඕන. ආයිමත් වෙන රටක එයාර් පෝ්ර්ට් එකකින් ඇතුලට යන එන කොට නොරුස්සන බැලූම් සහ වෙනත් නොයෙක් අපහසුතා දුෂ්කරතා විඳින්න අපි ජාතියක් හැටියට ලෑස්ති වෙන්න  ඕන.

ලෝකයේ  ජීවත් වීමට නරකම රටවල් දහය අතරෙ ඉන්නෙ රටක මහ ජාතිය විදිහට අපි තප්පුලන්න  ඕන. මං කියන්නෙ මොනම දේශපාලන තකතීරුකම් නිසා හරි අපිට අහිමි වෙමින් යන්නෙ සිවිල් පුරවැසියෙක් විදිහට හිමි අභිමානය. ලෝකයේ වෙනත් රටවලින් අපි සිවිල් සමාජයක කොටස්කරුවන් විදිහට නොපිලිගනිමින් යනවා. අපේ දුටුගැමුණු හදපු රුවන්වැලි සෑය මදි ඒ හෙළුව වහගන්න. උන්ට වඩා හොඳ අතීතයක් අපිට තිබුණා කිව්වට වඩා හොඳ වර්තමානයක් සහ අනාගතයක් තියෙන්නෙ උන්ට.

මොනවා වුණත් මේ ජාතියත් එක්ක මට තියෙන ප‍්‍රශ්නෙ පුද්ගලයෙක් විදිහට මගේ පැවැත්මට ඒක තර්ජනයක් වීමයි. ඒ කියන්නෙ මගේ ජාතිය මගේ පැවැත්මට ප‍්‍රශ්නයක්. මගේ පුද්ගලිකත්වයට, මගේ පුද්ගලික ආශාවන්ගේ සහ ජීවිතයේ විකාශනයට ජාතිය සෑහෙන අර්බුද මතු කරමින් ඉන්නවා.

මේ ජාතිය කියන්නෙ සිංහල හෝ දෙමළ වීම වගේ එකක් විතරක් නෙමෙයි. කවර හෝ කණ්ඩායමක අනන්‍යතාවයකින් ජීවත් වීම කියන එක. පුද්ගලික උවමනාවන් වෙනුවට පොදු අරමුණක් වෙනුවෙන් සකස් වුණු කාණ්ඩයක් කියන එක. මා වැනි පුද්ගලික ඒකක සමස්තයකින් හැදිච්ච දෙයක් විදිහට සමූහය අඳුර ගන්නවා වෙනුවෙට ඒ සාමූහිකයේ කොටසක් විදිහට මාව අඳුරගැනීම සිද්ද වෙන තත්වයක්.

මේක ගැන හිතාගෙන හිතාගෙන හොයාගෙන හොයාගෙන යනකොටයි මට අයින් රැන්ඞ් ව හම්බුනේ. අයින් රැන්ඞ් කියන්නෙ 1905 විතර ඉඳන් 80 විතර වෙනකල් කාලෙ ජීවත් වුණ දාර්ශනිකාවක්. සාමාන්‍යයෙන් ස්ත‍්‍රී දාර්ශනිකාවො කියන අදහස් මට ජුගුප්සාජනක වුණත් අයින් ?න්ඞ්ගේ පරණ අදහස් වුණත් මට අලූත් තත්වයන් එක්ක වඩා හොඳින් ගැලපුණා. ඒ වගේම එයත් මාර ඉන්ටරෙස්ටින් කැරැුක්ටර් එකක්. එයා ඉපදෙන්නෙ ඉගෙන ගන්නෙ රුසියාවෙ. පස්සෙ ලේඛිකාවක්, දාර්ශනිකාවක් විදිහට ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ. අයින් රැන්ඞ් එයාගෙ දාර්ශනික අදහස් අරගෙන එන්නෙ එයාගෙ බෙස්ට් සෙලින් නවකතා හරහා. එයාගේ අදහස් වඩා නිදහස් වෙළඳ ආර්තිකයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේ ආර්තිකයක් යටතේ විතරයි මිනිහෙකුගේ පුද්ගලික පැවැත්මට ඇති අයිතිය පූර්ණව ලැබෙන්නෙ කියල එයා තර්ක කරනවා. වෙන්න අවශ්‍ය විදිහටම අයන් රැන්ඞ්ගේ දාර්ශනික අදහස් ඇකඩමියාව විසින් සංවාදයට ගන්නෙ නෑ. ඒ වෙනුවට නොදැක්කා නෑහුනා වගේ ඉන්නවා. ඒත් සමාජයේ ක‍්‍රියාකාරී කන්ඩායම් වගේම දේශපාලන කණ්ඩායම් මේ සිතීම තවදුරටත් අරගෙන යන්න වැඩ කරමින් ඉන්නවා. මේ වෙද්දි ඇකඩමියාව පවා රැන්ඞ්ව සීරියස් විදිහට බාර ගන්න පෙළඹිලා තියෙනවා.

අයින් රැන්ඞ් ගැන තියෙන උනන්දුව හින්දම එයාගෙ ප‍්‍රධාන දාර්ශනික ප‍්‍රවේශය ගැනත් කොටට හරි කියලා එයාගේ ජාතිය ගැන කතාවට මාරු වෙන්නම්. වාස්තවිකවාදය නැත්තං ඔබ්ජෙක්ටිවිස්ම් කියල ප‍්‍රවේශයක් එයා අරගෙන එනවා. ඒකෙ පදනම වෙන්නෙ පැවැත්ම පැවැත්මක් හැටියෙන් ඇති බව පිළිගැනීමයි. ඒ කියන්නෙ විඥානවාදී පදනම් වලින් පැවැත්ම අපේ ප‍්‍රක්‍ෂේපනයක් හෝ පැවැත්ම නොපැවැත්මක් හැටියට ගන්නවා වෙනුවට ඉස්සෙල්ලම ඇති දේ ඇති හැටියෙන් බාර ගැනීමයි.

අපි ජීවත් වෙනවා කියන්නෙ ඒ යතාර්තයේ ස්වභාවය අඳුරගෙන වඩා හොඳින් ඒ තුල සාර්තක විය හැකි මාර්ග අනාවරණය කර ගැනීමයි.

පවතිනවා කියන්නෙම යමක් බවට පත්වීමයි. ඒ කියන්නෙ අනන්‍යතාවයක් ලබා ගැනීමයි. ‘ඒ’ අකුර කියන්නෙ ‘ඒ’ අකුරම තමයි. කරුණු කියන ඒවා (වාස්තවික තත්වයන්) පවතිනවා. අපි පිළිගත්තා නොපිලිගත්තා කියල ඒ කරුණු වෙනස් වෙන්නෙ නෑ.

රැන්ඞ් කියන්නෙ යතාර්තය තියෙන්නෙ යලි සකස් කරන්න හෝ මග අරින්න නෙමෙයි කියල. ඒකට ආඩම්බරෙන් මූණ දෙන්න  ඕන. සොබා දහම (යතාර්තය) පාලනය කරන්න නම් ඊට යටත් විය යුතුයි කියන බේකන්ගේ කියමන රැන්ඞ් නිතර මතක් කරනවා.

පැවැත්ම, ඒකට විකල්පයක් නෑ. තරගයක් නෑ. එය ඉක්මවා යන්නක් නෑ. පැවැත්ම බාර ගන්න නම් ඊට පෙර හිතින් තනා ගත් සියලූ සංකල්ප බැහැර කළ යුතුයි. දෙවියන්ද ඇතුළුව.

අයින් රැන්ඞ්ගෙ අදහස් එක්ක මගේ ගැලපීම් සහ නොගැලපීම් තිබුණත් ඒ සිතීමේ කලාපය, පැතිකඩ මට ගොඩක් ප්‍රෝග්‍රෙසිව්. ගොඩක්ම එයාගෙ ජාතිවාදය ගැන මේ සටහන හරිම පැහැදිලි කැපුමක් කියලයි මට හිතෙන්නෙ. මෙතන ඉඳන් මං අයින් රැන්ඞ් වගේ ලියනවා.

වර්ගවාදය කියන්නෙ සාමූහවාදයේ තියෙන පහළම චාටර්ම විදිහ. ඒකෙන් කියන්නෙ මිනිහෙක් එයාගෙ ජානමය පරම්පරාවක් හින්ද ආචාර ධර්මීය, සමාජීය හෝ දේශපාලන විශේෂත්වයක් ලබනවා කියන එක. මිනිහෙකුගෙ චරිත ස්වභාවය සහ බුද්දිමය තත්වයන් ශරීරයේ රසායනිකයන් විසින් නිපදවනවා කියන එක. වෙන විදිහකට කිව්වොත් මිනිහෙක්ව මනින්න  ඕන එයා කරන කියන දේවල් වලින් නෙමෙයි එයාගෙ මුතුන්මිත්තන්ගෙ දේවල් වලින් කියන එක.

මේ විදිහට කෙනෙක් ඉපදෙන්නත් කලින් එයාගෙ මනසේ ගති ස්වභාවයන් තීරණය වෙලා ඉවරයි කියන අදහස ගුහාවාසී කාලෙ තිබ්බ එකක්. ඒක හරියට ගොවිපොලක වගේ. සත්තු පරපුර අනුව බෙදනවා වගේම මිනිස්සුත් වර්ග කරලා බෙදනවා. තනි තනි වටිනාකමක් තියෙන්නෙ මසට විතරයි.

වර්ගවාදයේ තියෙන නරකම තත්වය වෙන්නෙ මිනිසා සහ තිරිසනා අතර තියෙන ප‍්‍රධාන වෙනස වර්ගවාදය විසින් අහෝසි කරන එකයි. ඒ තමයි තාර්කික බුද්දිය. ඇත්තටම වර්ගවාදය මිනිසාගෙ පැවැත්මෙ වැදගත්ම තත්ව දෙකක් අහිමි කරනවා. එකක් තෝරා ගැනීම, අනික විමසා බැලීම. වෙන විදිහකට කිව්වොත් සදාචාරය සහ සිතීම (මනස). ඒ වෙනුවට වෙනත් රසායනික උත්තේජනයකින් පුරවලා දානවා.

පවුලෙ නම රැක ගන්න කියල වැරැද්දක් කරන තමන්ගෙ පවුලෙ කෙනෙක්ව වහන් කරගන්න නම්බුකාරයාගේ ඉඳන් (ඒක හරියට එක්කෙනෙක්ගේ සදාචාරය තව කෙනෙක්ගෙ වැඩ වලින් නැති වෙන්න පුළුවන් වගේ) තමන්ගෙ මීමුත්තා මේ රට ගොඩනගන්න හවුල් වුණා කියල ආඩම්බර වෙන පාදඩයෙකුගේ ඉඳන්, තමන්ගේ මුත්තා පාර්ලිමේන්තු සභිකයෙක් කියලා ආඩම්බර වෙන වෛශ්‍යාවකගේ ඉඳන්, කසාදයක් බන්දලා දෙන්න කලින් පවුලේ වතගොත හොයන තැන දක්වාම තියෙන්නෙ එකම වර්ගවාදය. මේ ගෝත‍්‍රික ම්ලේච්ඡ අවධියේ ඉඳන් තාම පවතින නෂ්ටාවශේෂ.

ගොඩක් වෙලාවට ජාතිවාදියො ඉතිහාසෙ තමන්ගෙ පරපුරේ උන් හදපුවා පෙන්නලා තමන්ගෙ ජාතිය කියල ආඩම්බරේකින් පපුව ඉස්සරහට දාගන්න හදනවා.  ඕන කාලෙක මේ දේවල් කරන්නෙ තනි තනි මිනිස්සු විසින්් මිස පරපුරක් විසින් නෙමෙයි. ධාතුසේන කලාවැව හැදුවා නම් ඒක ධාතුසේනගේ වැඩක් මිස සිරිසේනට ආඩම්බර වෙන්න වැඩක් නෙමෙයි. රජවරු ඇරුණම ඇත්තට ලෝකෙ අදට වැදගත් වටින දේවල් නිර්මාණය කළ මිනිස්සුන්ට (විද්‍යාඥයො දාර්ශනිකයෝ කලාකරුවො)  වුනේ නොතකා හරින ලදුව, දුක්ඛිත ජීවිත ගත කරමින් මැරිලා යන්න. මැරුණට පස්සෙ නගර මැද්දෙ ඒ ගොල්ලොන්ගෙ ප‍්‍රතිමා තැනුනා.

ඇණගහපු පල්ලියම ජේසුස් වගේ අය කුරුස ගහ පිටින්ම ඇතලට ගත්තා. ඒ අය ගැන කොහේවත් හිටියෙ නැති ජාතියක් ආඩම්බර වුණා. උදා විදිහට අනගාරික ධර්මපාල මැරුනෙ ඉන්දියාවෙ. මගේ මිනිය වත් ලංකාවට ගෙනියන්න එපා කියල. ඒත් දැන් ධර්මපාල කියන්නෙ අම්මට හුඩු.... ඒත් ලංකාවෙ රජවරුන්ට පස්සෙ සුද්දා කරපු දේවල් වලට අමතරව අපිට එහෙම ආඩම්බර වෙන්න දෙයක් නැති හින්ද මේ කරදරය අඩුයි.

එහෙම ජාතියකට අයිති මනසක් හෝ සාමූහික මනසක් කියල දෙයක් නැති හින්දම, ඒක අමූලික මනස්ගාතයක් හින්දම ජාතියක් විදිහට අත්පත් කර ගත්තා කියලා දේකුත් නෑ. තනි තනි මිනිස්සු ඒ අයගේ දේවල් සාර්තකව කරලා තියෙනවා. සංස්කෘතියක් කියන්නෙ මේ රොත්තට ජීවත් වෙන සමූහයකගේ, මේ රංචුවෙ නිර්මාණයක් නෙමෙයි. ඒක තනි තනි සිතීමක් ඇති මිනිස්සු විසින් කරන ලද ගොඩනැංවීමක්. උදා විදිහට ධර්මපාලගේ බාල අදහස් වුණත් ඒ මනුස්සයාගෙ සිතීමක් මිස සිංහල ජාතියක් විසින් ඒකට කරපු දෙයක් නෑ. එයා තනියම එහෙම සිංහල ජාතියක් නිර්මාණය කිරීමේ ආශාවෙන් පෙළුනා. ඒක බැරි වුණාම සාප කරලා මැරුණ.

මොන ජාතියකට අයිති වුණත් දක්ෂයෙක් නම් දක්ෂයෙක්. පාදඩයෙක් නම් පාදඩයෙක්. ජර්මානු කාලකණ්ණියෙක් එයා පැවැත එන්නෙ ෂීලර්, ගෝතෙ වැනි මහා කවීන් බිහි කරපු පරපුරෙන් කියල කිව්වට මොකක්ද ඒකෙ ඇති තේරුම.

ජාතිවාදයට තියෙන්නෙ එක මානසික හේතුවයි. ඒ තමයි තමන් ගැනම ඇති හීනමානය. අනිත් හැම සමූහවාදයක් වගේම ජාතිවාදය කියන්නෙත් තමන්ට නැති දේ, අහිමි දේ හොයා ගෙන යාමක්. ඒක හරියට නිකංම එකපාරටම තමන් මාර පොරක් වෙනවා වගේ. එකපාරටම නිකංම තමන්ට කවුරුහරි වෙන්න ලැබෙන අවස්තාවක්.. බොරු ආත්ම අභිමානයක්.

අයින් රැන්ඞ් කියන්නෙ සමාජවාදය පවා වර්ගවාදයේම තවත් මුහුණුවරක් කියල. හැම සමූහවාදයක්ම කියල එයා අදහස් කරන්නෙ ඒක. පුද්ගලිකත්වය මුල් තැනෙහිලා නොපිලිගන්නා හැම සමාජ සංවිධානගත වීමක්ම එයා සළකුනු කරන්නෙ වර්ගවාදයේ තත්වයන් විදිහට. ඒක වර්ගවාදයේ මතුපිට තේරුම වෙනුවට ඒක සමස්තයක් හැටියට ඉටු කරමින් ඉන්න මානසික තේරුම අවධානයට ගැනීමක්.

හැමතිස්සෙම සාමූහිකත්වයේ එක්තරා කෙලවරකදි වර්ගවාදය පැන නගිනවා. උදා විදිහට යුද්දය වෙනුවෙන් ගොඩනගපු සාමූහිකත්වයම (රට බේරාගැනීමේ) ඊට පස්සෙ මුස්ලිම් බෞද්ද වර්ගවාදයක් විදිහට ආයිමත් උඩට එනවා.

සාමූහිකවාදයක් ඇතුලෙදි පුද්ගලයෙකුට තනි පැවැත්මක් නෑ. එයා වෙනුවෙන් තීන්දු තීරණ ගන්නෙ සමූහයයි. හරියට ජාතිය ගොඩනැගීමේ බද්ද අපිට නොදී බැරිවෙන්නෙ හරි ෆිල්ම් එකක් බලන්න ගියාම ජාතික ගීය යනකොට නැගිටින්න වෙන්නෙ හරි අපේ උවමනාවට නෙමෙයි වගේ. අපේ රටේ නම් අපිට සාමාන්‍ය කියල පේන ගොඩක් තත්වයන් මේ සමූහයේ බලකිරීම්. ඒත් පුද්ගලිකත්වය ගැන හරි සිතීමක් වර්ධනය වෙලා නැති අපිට ඒක එච්චර අර්බුදයක් නෙමෙයි. හොඳම උදාහරණය පවුල විසින් තමන් වෙනුවෙන් තීරණ ගැනීම අපි හදපු වඩපු දෙමව්පිය අයිතිය වගේ එකකින් සාධරනීකරනය කර ගන්නවා.

අපේ වගේ රටක වර්ගවාදය කියන්නෙ සාමාන්‍යයක්. ඒක පොඞ්ඩක් පත්තු වුනාම විතරයි ටිකක් අසාමාන්‍ය. ගොඩක් වෙලාවට ඒ වෙන රටවල අයට ඒක අවුලක් වෙන නිසා මිසක් අලූත්ගම සිද්දිය පවා ලංකාවෙ අයට සාමාන්‍ය දෙයක්. මගේ යාලූවෙක් කිව්වෙ ‘ඔය දර්ගාවෙ හැම අවුරුද්දෙම ඔහොම මරා ගන්නවා. මිනී හය හතක් මැරෙනවා. මේ පාර තමයි ඔය ප‍්‍රශ්නයක් වුනේ’ කියල.

ඒ සමූහය විසින් තනි පුද්ගලයාව ආත්ම පූජාවට වුනත් කැප කරන්න පුළුවන්. අපි රණ විරුවන්ට කළා වගේ. කොහොමත් රාජ්‍යය කියන අදහස එක තදින් විශ්වාස කරන හැම පාලනයක්ම විසින් ජාතිවාදය අරගෙන එනවා.

මොකද පරම රාජ්‍ය පාලනයක් කියන්නෙ පාරෙ තගාලාගේ පාලනයම විධිමත් විදිහකට අරගෙන යනවට වඩා දෙයක් නෙමෙයි. ජර්මනියෙ වෙච්ච නාසිවාදයේම අනිත් පැත්ත රුසියාවෙදි වුණා. ජර්මනියෙදි තමන් ආර්යයෙක් කියල ඔප්පු කරන්න ප‍්‍රශ්න පත්තරේකට උත්තර ලියන්න වුණා වගේම රුසියාවෙදි තමන් කිසිවක් උරුම නැති පවුලකින් පැවත එන්නෙක් කියල ඔප්පු කරන්නත් ප‍්‍රශ්න පත්තරයක් පුරවන්න වුණා. එතකොටයි එයා ප්‍රොලිටේරියන් සම්භවයක් තියෙනවා කියල පිලිගත්තෙ. කොමියුනිස්ට් අය විශ්වාස කළා මිනිස්සුන්ව ජානමය විදිහට කන්ඩිෂන් කරලා කොමියුනිස්ම් වලට ගන්න පුළුවන් කියල. ඒ කියන්නෙ පරම්පරා කීපයක් ඒකාධිපති පාලනයක් යටතේ කන්ඩිෂන් කිරීම හරහා මිනිස්සු කොමියුනිස්ම් වලට තල්ලූ වෙනවා කියලත් ඊට පස්සෙ උපතින්ම කොමියුනිස්ට් දරුවො උපත ලබනවා කියලත් ඒ ගොල්ලො විශ්වාස කළා.

ජාතිවාදයට තියෙන්නෙ එකම එක ප‍්‍රතිකර්මයයි. ඒ තමයි පුද්ගලිකත්වය පිළිබඳ සිතීම ව්‍යාප්ත කිරීම. ඉන්ඩිවිජුවලිස්ම් ඉංග‍්‍රීසියෙන් කිව්වොත්. සහ ඊට අනුරූප සමාජ දේශපාලන ව්‍යූහයක්. ඒ කියන්නෙ වඩා නිදහස් වෙළඳ ආර්තිකයක්.

නිදහස් වෙළඳ ආර්තිකයකදී තවදුරටත් කෙනෙකුගේ ජාන වලට හෝ පරපුරට කරන්න පුළුවන් දෙයක් නෑ. එයා විසින් අත්පත් කර ගන්නා සාර්තකත්වය උඩයි ඒ වගේ ධනවාදයක් ඇතුලෙ එයාව මනින්නෙ. කොටින්ම එයාට පිටතක් තියෙනවා, ගුහාවෙන් එලියට.

පූර්ණ නිදහස් ධනවාදී ආර්තිකයක් ලෝකෙ කොහෙවත් නෑ. ඒත් හැමතිස්සෙම පාලිත ආර්තික තත්වයන්  තියෙන රටවල ජාතිවාදී තත්වයන් උත්සන්න වීම ආර්තිකය විවෘත රටවලට වඩා වැඩියි.

ධනවාදය කියන්නෙම ජාති හෝ ජාතික සීමා වලින් නිදහස. නිදහස් වෙළඳාම. ලෝකෙ හැම රටකින්ම වහල් ක‍්‍රමය අයින් වුනේ ධනවාදය හින්ද. මේ සිද්ද වෙන සමූහවාදයන් ඇත්තටම අපිව ආපස්සට තල්ලූ කරනවා. ලංකාවෙ නම් රජකාලෙටම දක්කනවා.

මිනිස්සුන්ව ආයිමත් පුද්ගලික අයිතීන් නැති, ඒ සියලූ දේවල් තමන් වෙනුවෙන් උත්තරීතර, බලය හිමි කණ්ඩායමක් විසින් පාලනය කරනවා කියන තැනට ගේන  කොටම පුද්ගලයාට ඒ කණ්ඩායමෙන් පිට පැවැත්මක් නැති වෙනවා. ඒ වගේ අය නිතරම තමන්ගේ් පැවැත්ම ගැන අවිනිශ්චිත බියකින් මොකක් හෝ කණ්ඩායමකට අයිති වෙන්න ද`ගලනවා. ඒ ගොල්ලොන්ට එකතු වෙන්න  ඕන සරල සාමූහිකත්වයක්. වැඩිය මොලේ නැති කණ්ඩායමක්. නිකංම අනන්‍යතාවයක් ලැබෙන තැනක්. වර්ගවාදය වෙන්නෙ ඒ වගේ එකක්.
මේ ලිපිය ලියන 1962 වගේ වකවානුවේ ඇමරිකාවෙ තත්වය ගැන අයින් රැන්ඞ් විස්තර කරනවා. ඒක හරියටම ලංකාවෙ 2014 ට සමානයි.

‘වර්ගවාදය ගැන කතා කරන කණ්ඩායම් සහ ඒ ගොල්ලොන්ගෙ දේශපාලන වැඩවල පැවැත්ම ලැජ්ජා නැති විදිහට එලිපිට බාර ගනිමින් ඉන්නවා. කිසිම දර්ශනයක් ඇති දේශපාලනයක්, දුර දිග බලා කරන සැලසුමක්, ප‍්‍රතිපත්තියක් නැති තත්වයක් තියෙන්්නෙ. හැමෝම පිළිගන්නවා රට නිශ්චිත දිශාවක් නැතුව ඔහේ පාවෙමින් තියෙන වග. මොකක් හරි ඉක්මන් ප‍්‍රතිලාබයක් වෙනුවෙන් ව්‍යවස්තාවෙ බලය අතට ගන්න ද`ගදාන රාජ්‍යවාදී තග් ගැන්සි කීපයකට පින් සිද්ද වෙන්න මේ තත්වෙ ඇති වෙලා තියෙනවා.

නිශ්චිත දේශපාලන දැක්මක් නැතිකමෙන් හැම දේශපාලන කණඩායමක්ම තමන්ගේම මිනීවල හාරා ගනිමින් ඉන්නවා. ඒ වෙලාවෙ මොකක් හරි ලාබෙකට තමන්වම විකුණාගනිමින් ඉන්නවා’

සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි කියන සාමූහිකයන් ගැනත් අයින් රැන්ඞ් සඳහනක් කරනවා. පුද්ගලික අයිතියට මුල් තැන නොදෙන කිසි කෙනෙකුට සුළුතර අයිතියක් ගැන කතා කරන්න බෑ කියල එයා කියනවා. ඒකට හේතුව වඩාත්ම බලය අහිමි සුළුතරය වෙන්නෙ පුද්ගලිකත්වය නිසයි.
අයින් රැන්ඞ් නං තව දිගට විස්තර කරගෙන යනවා. ඒත් මං එතනින් හැරිලා මගේ අදහසක නතර වෙනවා.

මට කොයි වෙලාවකවත් මං මොන හෝ වර්ගයකට, ජාතියකට අයිතියි කියල හිතෙන්නෙ නෑ. ඒත් එහෙම මං පවතින ප‍්‍රජාවක් වර්ගයක් විදිහට හිතුවොත් වෙනුවට මට මගේ ජාතියෙ අය ගොඩක් මුණගැහෙන්නෙ ඉන්ටර්නෙට් එකේ.  හරිම කීප දෙනයි ඇත්ත පොලොවෙදි මුණගැහෙන්නෙ. තවදුරටත් භූමිය මූලික සාධකයක් උඩ වර්ග වෙන එක පැවැත්මක් නැති තත්වයක්. මනස්ගාතයක්. පොලොව දියවෙලා යමින් තියෙන්නෙ. ඒ වෙනුවට එක අදහස් සමූහයක්, එක සිතීමක් බෙදා හදා ගන්නා වර්ගයක් ගැනයි අපිට හිතන්න වෙන්නෙ. ඒක වෙන වර්ගයකගේ අනෙකා වෙනවට වඩා තමන්ගේ අදහස් ගනුදෙනු පරාසයන් ඇතුලෙ නිර්මානය වෙන වර්ගයක්.

වර්ගයක් ගැන සීමාව වඩා විශාල අවකාශයක් කරා තල්ලූ වෙමින් තියෙන්නෙ. තටු තියෙන උන් ඉගිල්ලෙද්දි කුර ගාන උන් පොලොව බදාගෙන සටන් කරනවා.

තවදුරටත් මං ඒ ජාතියෙ මිනිහෙක් නෙමෙයි.

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment