නෝ මෝර් ජුලයි වැඬේ ඉවර වෙලාම ලියනවා කියල හිටපු හින්ද ලියන්න වුණේ පත්තරේට යවන දවසත් පහුවෙලා. ඒත් ඒ වැඬේ ඇවිළිලා ගිය විදිහ හින්ද ඒ ගැන නොලියා වෙන මොකක්වත් ලියන්න හිත විරෝධය පළ කලා. මොනවා වුණත් ඊයෙ ? තමයි ?. ජූලිය පැත්තකින් තියල ගත්තොත් හැමතිස්සෙම මිනිස්සු විවෘතව එකතු වෙලා පොදු වැඩක් කරද්දි එතන ජීවිතේ පත්තු වෙනවා දැනෙනවා. නෝ මෝර් ජුලයි වැඬේ සැලසුම් කරන්න ගත්ත තැන ඉඳන් මං ඒ මිනිස් පොකුර වටේ කරකැවෙමින් හිටියෙ ඒ දැනිච්ච මොකද්ද උණුසුම හින්ද. ඒක ගොඩක් ඕන වෙන්නෙ ලංකාව මේ වෙලාවෙ හරි සීතල හින්ද. මිනිස් මුණගැහීමක තියෙනවා පුදුමාකාර ආශ්වාදයක්. ඉන්ටර්නෙට් එක ඉස්සරහ අබ්බගාත වෙලා ජීවත් වෙන අපේ අලූත් ජීවිත ක‍්‍රමය හින්දත්, රටක් විදිහට අ`ගළෙන් අ`ගලට හමුදාව දාලා තියෙද්දිත් කිසි ගානක් නැතුව, ඒක ස්වභාවිකයි වගේ ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන ආශ්චර්යමත් ජීවිතය ඇතුලෙත් විඳවන නොස්තැල්ජියාව බෙදාගන්න ලැබෙන මොහොතක් හින්ද වෙන්න ඇති. වැඬේට කෙලින්ම සම්බන්ද වෙන්න බැරි වුණත් දුරින් හරි ඉඳගෙන වැඬේ දිහා බලන් ඉන්න මං ආස කළා. මට හිතෙන්නෙ මිනිස්සු මුණගැහීම ඉක්මණටම අභාවයට යාවි. අලූත් උන්ට ඒක එච්චර ගානක් නැති වුණත් මට හිතෙන්නෙ අපිට ඒක ටිකක් වැඩියෙන් අමාරු වේවි.
අනාගත පරපුර වෙනුවෙන් ඒ මිනිස්කම හරි වෙන මොකක් හරි එක ඉතුරු කරගමු වගේ විහිළුවක් නෙමෙයි මං කියන්නෙ. එහෙම ඉස්සරහ පරපුරකට ඕන දේ්වල් දැන් තීරණය කරන්න අපිට බෑ. උදාහරණයක් විදිහට බොහොම බාල නිතර කියන ක්ලීෂේ අදහසක්නෙ අපි අනාගත පරපුර වෙනුවෙන් ගස් වැල් ඉතුරු කරන්න ඕන, මේ හරිත ලෝකය ඒ අයගෙ උරුමයක්් වගේ කතාව. ඒත් අනාගත පරපුර සමහර විට ගස්වැල් තවදුරටත් අවශ්‍ය නැති පරපුරක් වෙන්න පුළුවන්. ඒවා හරි කැත, පණුවො වගේ දකින කොටසක් වෙන්න පුළුවන්. මට මෑතක මුණගැහුනා එහෙම පොඩි උන් දෙන්නෙක්. උන් ගස් කොලන් මල් වගේ ඒවට කැමතිම නෑ. උන් ඩුබායි වගේ මැද පෙරදිග රටක ඉපදුණු පොඩි උන්. උන්ට තණකොල ටිකක් පෑගෙනවට තරම් අප්පිරිය දෙයක් නෑ. එතකොට ඒක අවුලක් විදිහට බාර ගන්න ඕනද?
කතාව වෙන කොහෙද යනවා. කියන්න ඕන වුනේ මේ අපේ මුණගැසීමේ, දේවල් බෙදාහදා ගැනීමේ, මිතුරුකමේ උවමනාව රටේ ජනවාර්ගික අර්බුදය අවසන් කිරීමේ උවමනාවට වඩා ලොකුයි කියන එක. ඇත්තටම දෙවෙනි එක කියන්නෙ වියුක්ත මනස්ගාතයක්. එහෙම එකක් කරන්න පුළුවන් වෙන්නෙ නෑ. වාර්ගික කියන බෙදීම වෙනත් ආකාර වලට පරිවර්තනය කරන එක විතරයි කරන්න වෙන්නෙ. මොකද මේ බෙදා වෙන්් කර ගැනීම, කණ්ඩායම් වලට අයිති වීමම ඩිෆෝල්ට සෙටින්ග් එකක් හින්ද. ඒත් දරුණු විදිහට වෙනස්කම හතුරුකමක් හෝ තර්ජනයක් කියල අඳුරගන්න සමාජයක වෙනස් උන්ගෙ පැවැත්ම වෙනුවෙන් අපිට පැය කීපයක අවකාශයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ ෆීල් එක ටික වෙලාවකට හරි ජීවත් කරන්න පුළුවන්. නෝ මෝර් ජුලයි මට වැදගත් වෙන්නෙ ඒ විදිහට.
ගොඩක් අය මේ වැඬේ තිබුණු ප‍්‍රාසාංගිකත්වය එක්ක හරහට හිටියා. විශේෂයෙන්ම කළු ජූලිය වගේ් ශෝකජනක දවසකට මියුසික් එනවට. නැටුම් එහෙම එනවට අනිවාර්යෙන්ම ඔතෑනි ලෙඩ වම විරුද්ද වෙනවා. ෆේස් බුක් එකේ තැන තැන මතු කරලා තිබුණු සදාචාරවාදී තර්කය වුනේ ජූලියේ ශෝකය විනෝදයෙන් පිරවීම හරිද වගේ එකක්.
මට හිතුනෙ ඒක මාර ගතානුගතික අදහසක්. ඒ ප‍්‍රශ්නෙ ඇත්ත තේරුම වෙන්නෙ කළු ජූලියේ මරණය නැවත ජීවිතයෙන් පිරවීම හරිද? මරණානුස්සතියක් ගිග් එකක් වෙන්න පුළුවන්ද? මං කියන්නෙ මේ ප‍්‍රශ්නෙ නැගෙන මුල් වල දිශාවන්.
හැමදාම ජූලිය සැමරීම සිද්ද වුනේ ඒ කියන විදිහට මරණයක්් වගේ තමයි. ඒක ශෝක රසයක් වුණා. මං කියන්නෙ ඒක වැරදියි කියන එක නෙමෙයි. ඒත් ජූලිය සැමරිය හැකි වෙනත් ආකාර තියෙන්න පුළුවන්. මරණයක් වගේ් ජූලිය සැමරීම කියන්නෙ මේ රටේ මේ වෙලාවෙ සාමාන්‍ය ජීවිතයම නැවත අත්විඳිමක් විදිහටයි මට දැනෙන්නෙ. හැමතැනකම තියෙන්නෙ ඒ මරණය, ශෝකය, අවදානම විතරයි. කරුවල බලන්න වික්ටෝරියා පාර්ක් එකට 23 වෙනිදම එන්න ඕන නෑ. මේ රටේ හැම පැයක්ම කරුවලයි. ඇත්තටම විප්ලවීය වෙන්නෙ නැවත විනෝදය අරගෙන එන එක. ‘ආණ්ඩුව විරුද්ද විනෝදය’ පොඩි වෙලාවකට හරි ජීවත් කරන එක. නිදහස, කෑ ගහන්න නටන්න, මයිල් කෙලින් වෙලා එකිනෙකා බදා ගන්න නිදහස් පිට්ටනියක්.
මරණයේ භීතිය, අවදානම නැවත සිහිකිරීම වෙනුවට මේ නිදහසේ ආදරයේ මොහොතක ස්පර්ශය නෙමෙයිද විරෝධය? දැන හෝ නොදැන ප‍්‍රගතිශීලී කියන බොහෝ අය චර්යාමය හැටියකින් මහින්ද චින්තනයට සමපාතයි.
හැම සාමූහික වැඩකම ගමනාන්තයට වඩා සුන්දර ඒ ගමන. නෝර් මෝර් ජුලයි ඕගනයිස් කරන එකම කල් ඉකුත් වී ආපු අදහසක්. මං හිතන්නෙ සුමාන දෙකක් විතර ඇතුළත යාලූවො කීප දෙනෙක් එකතු වෙලා හදපු ලොකු පිට්ටනියක් ඒක. එක එක විදිහෙ දේශපාලන කතිකා සහිත, එක එක විදිහෙ ජීවන විලාස සහිත වෙන වෙනම වැඩ කරමින් හිටපු හත් අට දෙනෙක් එකතු වුණා. ඒක හරිම ලස්සන මිනිස් මුහුවීමක්. සංසර්ගයක්. මට හිතෙන්නෙ වික්ටෝරියා පාර්ක් එකේ තිබ්බෙ ඒකෙ සුරතාන්ත මොහොත විතරයි. චිත‍්‍රපටියක් බැලූවත් අපි තිරය උඩ දකින්නේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිස මෝචනය කළ ධාතු විතරයි. මුළු ආශ්වාදජනක සංසර්ග කාලයම තියෙන්නෙ ඊට කලින්.
83 ජූලිය දෙමළ මිනිසුන් මරා දැමීම කියන තැනට වඩා ලොකු අදහසකට අරගෙන යන්න උවමනාව මුල ඉඳන් උන්ගෙ තිබුණ. නෝ මෝර් ජුලයි කියන නමේ පවා අදහස ඒක වෙන්න ඇති. නැවත ජූලියක් එපා. ඒ වෙනුවට ආදරෙන් ඇවිළෙන්න. ඒක පටන් ගන්නෙ වෙනස් අදහස්, වෙනස් ජීවිත ඇති කීප දෙනෙක් එකට වැඩ කරන්න ගන්න තැන ඉඳන්.
විදුර මුණසිංහ මේ කාරණය මතුකරලා ස්ටේටස් අප්ඬේට් එකක් දාලා තිබුණ. ඇත්තටම ඇයි තනි තනි මිනිස්සු එකතු වෙලා කරන දේවල් වත් දේශපාලන කණ්ඩායම් වලට කරන්න බැරි? මං ඒක කියන්නෙ ඇයි දේශපාලනය දිගින් දිගටම අදේශපාලනයට පරාද වෙන්නෙ? නෝ මෝර් ජුලයි වල අඩුපාඩු, අවුල් කිය කිය ඉන්න ගොඩක් දේ්ශපාලන සගයො අවුරුදු ගානක ඉඳන් කරන්නෙ කතා කියන එක විතරක් නෙමෙයිද? ආර්ටිස්ට්ලට, වෙනස් විදිහට හිතන මිනිස්සුන්ට එකට වැඩ කරන්න පුළුවන් විනාඩි ගානක හරි ඉඩක් හදන්න ඒ කිසි කෙනෙක් කිසි දෙයක් කළේ නෑ. ගොඩක් චෝදනා වල ඇහෙන්නෙ තමන්ගෙ පරාජයක අඳෝනා. මිනිස්සු තමන්ගේම කුහකකම් නිසා අර්බුදයට යනකොට ඉමෝෂනල් වෙන්න පටන් ගන්නවා. ඒක ඇල්කොහොලික් දේශපාලනයේ ගතික ස්වභාවය.
ඒ රාත‍්‍රී මුණගැසීම් සහ සැලසුම් කිරීම් මට මාර රොමාන්තිකයි. එතන ආදරයට අවශ්‍ය හැමදෙයක්ම තිබුණ. ප‍්‍රධානම දේ දේශපාලනය සහ මමත්වය දියවෙලා ගිය පොඩි හයිපර් තැනකින්් හැමදෙයක්ම සම්බන්ද වෙලා තිබුණ. මට හිතෙන්නෙ කොහොමත් මනුස්සකම කියන්නෙ ඒ වගේ හයිපර් මුමන්ට් එකක්. ඒක උන් ටික අතරෙ ජීවත් වුණු හින්ද වික්ටෝරියා පාර්ක් එකටත් ආවා. මේ වගේ දේවල් වලට හොඳටම ආගන්තුක ඉස්තෙපාන් පවා මගෙන් ඇහුවෙ,
‘මචං මේ ග‍්‍රවුන්ඞ් එකේ මිනිස්සු මාර හියුමන් නෙ.. උන් හිනාවෙන හැටි හිටන් වෙනස්.. හැමෝම හොඳට හැමෝම එක්ක කතා කරනවා.. එළියෙදි වගේ නෙමෙයි..’
වැඩක වටිනකම තියෙන්නෙ ඒ වැඬේ මූඞ් එක සජීවී කරන එක. නෝර් මෝර් ජුලයි ඒක හරියට කරලා තිබුණ. අනික කිසිම ආයතනයක් හෝ සංවිධානයක් මේ වැඬේට මැදිහත් නොවුණු එක. ඒක හරිම අහම්බෙන් උදාවෙන කන්‍යා මොහොතක්, අනිවාර්යෙන්ම පාපතරයෙක් අතින් දූෂණය වෙන්න නියමිත. ඒ වැඬේ උන් උන්ම සල්ලි දාලා කරන්න තීරණය කළා. මං ඇත්තටම පුදුම වුණා. උන් කවුරුවත් සල්ලිකාරයො නෙමෙයි. කොටින්ම ලොකු රස්සා කරන උනුත් නෙමෙයි.
මට නිතර මුණගැහෙන මිනිස්සු හරි පොඩියි. ඒ අයගෙ ප‍්‍රශ්න පවුලෙ අවශ්‍යතා කීපයකින් සහ එළියෙ අනියම් ගැහැණු පිරිමි සම්බන්ධතා කීපයකින් කෙලවර වෙනවා. එච්චරයි අවශ්‍ය තෘප්තිය. උදේ වැඩට එනවා හවස ගෙදර යනවා. ගොඩක් වෙලාවට ඒ වෙද්දි පවුල ඇතුලෙ ලිංගික සම්බන්ධතා ඇණහිටලා නිසා ඉක්මණට නිදා ගන්නවා. පහුවෙනිදා උදෙන්ම ආපහු ඇඳගෙන වැඩට එනවා. ඒ ප්‍රෝග‍්‍රෑම් එකට පිටින් කිසි දෙයක් ගැන උන් උනන්දු නෑ. මං හිතන්නෙ දුප්පත්කම කියන්නෙ ඒකට. කොයිතරං පුංචි ජීවිතද?
ඒ අතරෙදි මේ වගේ තමන්ගෙන් බැහැර වෙනත් අරමුණක් තමන්ගෙ ආශ්වාදයේ කොටසක් කර ගැනීම.. ඒ වෙනුවෙන් තමන් සහ තමන් දන්න හිතවතුන්ගෙන් තමතමන්ට හැකි පමණ සල්ලි එකතු කිරීම.. මේ මිනිස්සු රුපියලක් වත් දෙන වෙලාවක් නෙමෙයි. අනික නිවන හෝ වෙනත් ස්වර්ගයක් ගැන පොරොන්දුවක්වත් නැතුව.. මිනිස්සු එකතු වුණා. මිනිස්සු විශ්වාස කළා. මිනිස්සු ටිකක් හරි වෙනස් වෙන්න තමන්ට පුළුවන් කියල තමන්ටම ඔප්පු කළා. මං හිතන්නෙ ජූලි කරුවලට එරෙහි ස්වයං ආලෝකය ඒක.
මාර ලස්සන වැඩ ගොඩක් එතන තිබුණ. චිත‍්‍ර ඡුායාරූප සහ ස්ථාපන කලා වගේ දේවල් වලට අමතරව ලංකාවෙ දකින්න නොලැබෙන සජීවී ප‍්‍රසාංගික අත්දැකිම් මුදාහැරියා. ගොඩක් උන් තමන්ගෙ ප‍්‍රකාශනය අරගෙන එතනට ආවා. ඒ ප‍්‍රකාශන විනිශ්චය කිරීමක් තිබුණෙ නෑ. ඒ හැම දේකටම ඉඩක් තිබුණ.
විශේෂයෙන් බන්දුගේ රතිඤ්ඤා ඇඳුම.. ඒක ඇෙ`ග් හිරිගඩු පිපෙන අත්දැකීමක්. අපි ඒ රතිඤ්ඤා සහිත මිනිසා අපි අතර පුපුරා යාවි කියල අත්විඳින බය.. ඒ පිපිරීම අපෙන් ඈත තැනක වෙද්දි නැවත දුවලා ගිහින් ඒක බලන්න පෙළෙන කුතුහලය.. භීතිය ඇතුලෙ අපිව ප‍්‍රශ්න කරන ඇක්ට් එකක් ඒක.
ගොඩක් සෙනග ආවෙ මියුසිකල් ෂෝ එකට. වඩාත්ම ආන්දෝලනාත්මක වුණු කොටසට. ඒ වේදිකාව උඩ ගොඩක් අය සිංදු කිව්වා. ඒ කාලෙ ඉඳන් විමුක්ති ගී කියන ජයතිලක බණ්ඩාර පවා තමන්ගෙ ගීතය අරගෙන ඒ වේදිකාවට ආවා. ජයතිලක බණ්ඩාරගෙ ගීත ගැන මගේ පුද්ගලික අදහස් කොහොම වුණත් ඒ තරම් කාලයක් ඒ වැඬේ දිගට කරගෙන ඒම ගැන මට දැණුනෙ භක්තියක්. ඒක මනුස්සයෙකුගෙ ශක්තිය දරාගැනීම අනිත් උන්ට දැනෙන්න පළ කිරීමක්.
චාපා සිංදු කියන එක මොහොතකදි හැම තැනම ඉටිපන්දම් එලි පත්තු වුණා. ඒක විඳින්න ඕන මොහොතක් මිස ලියන්න ඕන මොහොතක් නෙමෙයි. ඇ`ග හිරි වැටෙන මනුස්සකම ඒකෙ පීක් එක, කඳුළු දක්වා නැගලා තිබුණෙ. සිංහල මුස්ලිම් දෙමළ ඉංග‍්‍රීසි හැමෝම සිංදු කිව්වා. සිංදු කියන්න බැරි උන් කවි කිව්වා. ඒත් බැරි උන් කතා කළා. අනිත් ඔක්කොම අත්පුඩි ගැහුවා.
දැන් කතාව ස්කිප් කරලා මං ස්කට්සො බෑන්ඞ් එක ප්ලේ කරපු තැනට පනිනවා. මාධව පුදුම ජවයකින් යෝධයෙක් වගේ වේදිකාව උඩ හිටියා. සංගීතයට අදාල සියලූ කාරණා අතික‍්‍රමණය කරපු මාර එනර්ජි එකක් උගෙන් එලියට පැන්නා. මිනිස්සු නටන්න ගත්තා. සමහරු වේදිකාව උඩට නැග්ගා. මාධව ආණ්ඩුවට ඇ`ගිල්ල දික් කරලා කෑ ගහලා බැන්නා. අහන් ඉන්න උන් ත‍්‍රිල් වුනා.
ගොඩක් අයගෙ විරෝධය එල්ල වුනේ එතනට. ශාන්ත දාන්ත ගී වෙනුවට ප‍්‍රකෝපය ත‍්‍රිල් එකක් හැටියෙන් මුදා හැරීම ගැන. ඒත් මට මිනිස්සුන්ගෙ අර්බුදය දැනුනෙ එතනදි.
ඒ විවේචනය සරල විදිහට මග නොහැර ගත්තොත් එතන එක පැත්තකින් තියෙන්නෙ මිනිස්සු ශික්ෂණය හෝ විනයගත විය යුතුයි කියන අදහසක්. අනිත පැත්තන් තිබුණෙ ආර්ටිස්ට් කෙනෙක් විදිහට මාධව පාලනය විය යුතුයි කියන අදහස. කෙටියෙන් කිව්වොත් ඒ මොහොත ගැන පස්සෙ කතා කරපු ගොඩක් අයගෙ විවේචනය පාදක වුණේ වාරණය සහ පාලනය කියන කාරණා දෙක උඩ. 83 ජූලිය විතරක් නෙමෙයි හැම මනුස්ස නිමේෂයකම මරණය ගේන්නෙ වාරණය සහ පාලනය කියන දෙක. උදා විදිහට මහින්ද කරන්නෙත් ඒක. එතකොට අපි නැවත ආදරයෙන් ඇවිළෙන්න කියන වේදිකාවට වාරණය සහ පාලනය අවශ්‍යයි කියනවද? එතකොට අපි කතා කරන මනුස්ස නිදහස මොකක්ද?
මේක ස්වයං වාරණය සහ ස්වයං පාලනය කියන තැනකින් සාධාරණීකරනය කරන්න හදන එකේ තේරුමක් නෑ. මොකද ස්වයං වාරණය සහ ස්වයං පාලනය නිසාමයි අපේ සමාජය මේ තරං නිහ`ඩ කියල ඒ විකල්ප මතධාරීන්ම නැවත කියන හින්ද. උදා විදිහට චන්ද්‍රගුප්ත තේනුවර මේක ඩිවලොප් නෙමෙයි දිව-ලොප් සමාජයක් කියන්නෙ මේ අදහස.
එතකොට අපි ආයිත් දිව ලොප් නෙමෙයි ඇ`ග ලොප් සමාජයක් ඉල්ලා සිටිනවද?
මට හිතාගන්න බැරි තරමට ලංකාවෙ මිනිස්සු නැටුමට විරුද්දයි. ඒක පහත් හෝ මොකක් හෝ අදහසකින් තමයි ජීවත් වෙන්නෙ. ඒත් නැටුම කියන්නෙ මිනිහෙකුගෙ භාව ප‍්‍රකාශනයක තියෙන්න පුළුවන් අවංකම මොහොත. ඒක තමන් තමන් තුලින්ම අත්විඳින ඇත්ත නිදහසක්. නෝර් මෝර් ජුලයි වේදකාවෙත් ඒ නිදහස වාරණය කරලා තිබුණ. එතන නර්තනයේ ප‍්‍රකාශන තිබුණෙ නෑ. ඒ අත්දැකීමේ ප‍්‍රහර්ෂයෙන් පිනා ගිය ඕඩියන්ස් එක ඒ අඩුව පිරෙව්වා. මං හිතන්නෙ ඒ්ක ෆිසික්ස්.
නර්තනය ගැන විවේචනය ඇති අය අනිවාර්යෙන්ම පැරනොයිඞ් අර්ත්ලින්ග්ලා ගැන කතා කරලා වැඩක් නෑ කියනවා ඇති. ඒ මෙට්ල් රොක් හරහා ගැලවිලා යන්නට තරම් වේගයෙන් ඔලූව වනමින් කරන ප‍්‍රකාශනය බාර ගන්න තරමට ගොඩක් විකල්පයො තාම පරිණත නෑ. ඒ අය තාම හිතන්නෙ සෙක්ස් කරන්න ඕන නිදන කාමරේ විතරයි කියල.
මං කැමතිම වුණ දේ ඒක. මිනිස්සු ඒක ඇෙ`ගන් බාර ගත්ත එක. නිකං අබ්බගාත ජීවිතයක් වගේ ඔලූවෙන් විතරක් නොගෙන ඒ ආවේගයට ප‍්‍රලය වුණු එකට. මෙච්චර කාලයක් මේ වගේ වැඩක මේ මුහුවීම තිබුණෙ නෑ. ඉංග‍්‍රීසි මෙට්ල් බෑන්ඞ් වල ආවේගය විකල්ප වේදිකාවට ආවෙ නෑ. නෝර් මෝර් ජුලයි වල තවත් වැදගත් විවෘත වීමක් ඒක. නෝර් මොර් ජුලයි කියන්නෙ ජාතීන් අතර මුහුවීමක් විතරක් නෙමෙයි, ඒක පංති අතර මුහුවීමක්, මතවාද අතර මුහුවීමක්, ලොකු විකල්ප අදහසක මුහුවීමක් වුණා. මට ඒකෙන් සිද්ද වුණු ලොකුම දේ ඒක.
ප‍්‍රසංගයෙ වැදගත්ම සජීවී ඉදිරිපත් කිරීම සිද්ද වුනේ මාධවලා ප්ලේ කරද්දි. පිස්සෙක් කේක් එකක් අරන් ඉස්සරහට ආවා. පිස්සුවක් නටලා කේක් ගෙඩිය පොලොවෙ ගැහුවා. එතකොටම වටේ හිටපු උන් පැන පැන පිස්සට ගැහුවා. ඕඩියන්ස් එක වටේ මේ ගුටිකෙලිය දිව්වා.
ඒක සිද්ද වුනෙත් ආදරෙන් ඇවිලී යාමේ ප‍්‍රතිඵලයක් විදිහට. පිස්සට ඕන වුනේ බෑන්ඞ් එකේ සගයෙක් වෙනුවෙන් බර්ත්ඬේ කේක් එකක් කපන්න. ඌට ඒක බෑන්ඞ් එකේ සගයා එක්ක කපලා මුලූ ජනතාවත් එක්කම බෙදාගෙන කන්න ඕනි. ඒක ආදරයේ ප‍්‍රකාශනයක්. ඒත් ප‍්‍රශ්්නෙ තියෙන්නෙ ඌට ඒක අනිවාර්යෙන් සිද්ද වෙන්න ඕනි.
ඒක වුනේ නැති හින්ද පිස්සා ප‍්‍රචණ්ඩ වුණා. ඒත් ඌ පිස්සනේ. වටේ හිටපු උන් ඊට වඩා ප‍්‍රචණ්ඩ වුණා. මීට මොහොතකට කලින් මනුස්සකමෙන් ඇවිලෙමින් හිටපු උන් ගුටිකෙලියේ ප‍්‍රචණ්ඩත්වයෙන් පොකුරු ගැහෙන්න ගත්තා.
මට හිතෙන්නෙ හොඳම සජීවී අත්දැකීම ඒක. අපිට කිසිම ප‍්‍රසාංගික අංගයකින්් ඉදිරිපත් කරන්න බැරි සංකීර්ණතම තැන ඒක. ජාතිවාදය වර්ගවාදය ඇවිලෙන්නෙත් ආදරයේ ප‍්‍රතිඵලයක් විදිහට. ලොකු හදවතක් ඇති ඒත් පුංචි ඔලූවක් ඇති මිනිස්සුන්ගෙන්.
මං මේ කියන අදහස් වලට මේ උළෙලෙ සංවිධායකයන් පවා එක`ග වෙන එකක් නෑ. ඒත් නෝර් මෝර් ජුලයි ඕගනයිස් කරපු අයව බේරන්න හෝ උන් වෙනුවෙන් පෙනී ඉන්න මට අවශ්‍යතාවයකුත් නෑ. අවසානයේදී වැඬේ විතරයි වැදගත්. කරපු උන්ගෙ ප‍්‍රතිරූපය මට අනුව හරිම නොවැදගත් කාරණයක්.
කොහොම වුණත් ඒ සිද්දිය හින්ද කාටවත් තමන් විසින්් ජාතීන් අතර සමගිය ඇති කළා වගේ රොමාන්තික තෘප්තියකින් ගෙදර යන්න බැරි වුණා. අන්තිම මොහොතෙ එතන හිටපු අපි ඔක්කොම ආදරය ඇතුළෙ පරාද වුණා.
‘මචං ගල් පොලූ අරන් ආණ්ඩුව ඇවිත් වැඬේ විනාස කරයි කියල හිතන්න පුළුවන්. ඒත් කේක් ගෙඩියක් අරන් එන යාලූවෙක් වැඬේ විනාස කරයි කියල කොහොම හිතන්නද?’
මං හිතන්නෙ මරණය එන්නෙ ආදරයේ වේශයෙන් නම් වැළඳගැනීම ඇරෙන්න වෙන කිසි විකල්පයක් නෑ. ඒ අපි මරණය පරාජය කරද්දි ආදරෙත් පරදින හින්ද. ඒක නිසා අපි නැවත ආදරය වැළඳගන්න ඕන. ඒකෙන් අපි විනාස වෙයිද කියන කාරණය ගැන නොහිතම.
ඈත 83ක් වෙනුවෙන් ඒ යාලූවා පාලනය කිරීම ශික්ෂණය කිරීම වෙනුවට ඌව බාර ගැනීම කරන තැනට අපි මිනිස්සු විදිහට දියුණු වෙන්න ඕන.
83දිත් අපිට නැති වුණෙ වෙනස බාර ගන්න පුළුවන් ඉඩ. වෙනස් වෙන්න අකමැති මිනිස්සු ගොඩක් භයානකයි. වෙනස් වෙන්න අකමැති නිසා ඒ අය වෙනස ප‍්‍රතික්‍ෂේප කරනවා. ඊට පස්සෙ වෙනස් උන්ව ප‍්‍රතික්‍ෂේප කරනවා. 83 ජූලිය ගැන 2014දි වෙන්න ඕන වෙනස බාර ගත හැකි මිනිස් අවකාශයක් නිර්මාණය කිරීම මිස 83දි මළගිය උන් නැවත සිහිකිරීම නෙමෙයි කියලයි මගේ අදහස. මට හිතෙන්නෙ සංවාදය තියෙන්න ඕන තැන මෙතනයි. අපි 83 ගිල්ටිය නැවත නැවත වමාරා කනවද නැත්තං ඒ හරහා සියලූ විකල්ප ප‍්‍රකාශන සහ පැවැත්මන්ට එකට පැවතිය හැකි අවකාශයක් නිර්මාණය කරනවද? මට හිතෙන්නෙ දෙවෙනි එක ඇත්තටම ප්‍රෝග්‍රෙසිව්.
83 ජූලිය ශුද්ධ වස්තුවක් ලෙස කරේ තියාගෙන යන විකල්පයාගෙත් පොළොන්නරුවෙ ගල්කණුවක් කරේ තියාගෙන ඉන්න ජාතිවාදියාගෙත් තියෙන වෙනස මොකක්ද?
හැමතිස්සෙම ගමනාන්තය නෙමෙයි ලස්සන. එතනට එනකල් ආපු ගමන. නෝර් මෝර් ජුලයි ලංකාවෙ මිනිස් සමාජයට එකතු කරපු පේන නොපෙනෙන දේවල් ගොඩයි. ඒ පරිශ‍්‍රමය වෙනුවෙන් ඒ සංවිධායකයන්ට මගේ හෘදයාංගම ආචාරය.
ඒ හැමදෙයක්ම වඩා පරිණත යතාර්ථයේ අත්දැකීමක් එක්ක පරිපාකයට පත් කිරීම වෙනුවෙන් පිස්සාට ජය.
-චින්තන ධර්මදාස
“මල්“ මිටක් තිබුණනම් මේක හරියටම විඳගන්න තිබුණා....
ReplyDeletehttp://ansathudinapotha.blogspot.com/2014/07/underwear-vs-editor.html
ReplyDeleteසැබැ මිනිස්සුත් එක්ක දේශපාලන වැඩ කරනවාට වඩා නෙට් එකේ ජිල් බලන ගමන් නාහෙන් අඬ අඬා බ්ලොග් කොටන එක කොච්චර පහසුද නෙ. අනෙක මේ කාලයෙ මෙවැනි ලුම්පන් චුන්(NO MORE JULY) වලින්,සැබැම පිඩිතයන්ට සහනයක් හෝ රජයකට කිසිදු බලපෑමක් සිදුනොවන බව සාමාන්‍ය මිනිස්සු පවා දන්නව. තවද අන්ඩුවක් මෙම ආටක නාටක රසාංග අවුල් නොකරන අතර මංඩලෙ කචල් එකකින් වැඩේ චොර විම නියතකි.
ReplyDeleteඅනේ මචං මේ 83 දෙමළ මිනිස්සු මරපු සිංහල උනුත් ඔහොම නටන්න ඇති සිංදු කිය කිය. උඹ කියන ඔය ලිබරල් තත්ත්වය ලංකාවට අදාළ නෑ මචං. ඒක විතරක් එහෙම වෙලා අනිත් ඔක්කොම බම්බු පට්ට ගොඩේ වෙන්න ඕන කියලද ඔයා කියන්නේ. මචං ඔයා ඔය බේරන්න හදන්නේ වෙන දෙයක්. දෙමළ මිනිස්සු ගැන සංවේදිතාවය ඇති කරන්න ඕන නට නට සිංදු කියලද? කේක් කපලද? ගංජා ගහලද? මොන කුණුහරුපද මචං මේවා. ඔයා ඔය හදන්නේ ගෙදර බේරගන්නනේ... හරි හරි ඉට්ස් ඕකේ. වැඩේ මොකද්ද කියලවත් හරියට දන්නෙ නැති බබ්බු වැඩ කරන්ඩ ගියාම ඔහොම තමයි. හැබැයි ප්‍රශ්ණෙ තියෙන්නෙ බබ්බු හිතං ඉන්නේ මාර ලොකුයි කියලා. ඔයාගෙ බබීත් එහෙමම තමයි. මේ කරපු වැරැද්ද හදන්න ඔය වගේ බ්ලොග් සීයක් ලිව්වත් වැඩක් නෑ නේද මචං?
ReplyDeleteමේ පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දාන්න හිතාගෙන පහලට එනකොට මට දාන්න ඕන උනු කමෙන්ට් එකේ කාරණා සේරම මෙතන තියෙනවා. මටත් මේක කියෙව්වම ආවේ දන්න අදුනන අය කරපු නිසා මොනවා උනත් ඒක හොඳයි වගේ අදහසක්!
Delete