Saturday, November 1, 2014

දේවදූතයො යන්න යනවා, පව්කාරයො ඉතුරු වෙනවා.



‘කන්නලාගෙ තාත්තා නැති වෙලා’
මට යායුතු තවත් මරණයක් එකතු වුණා. මේ නොවැම්බර් මාසෙ මළවුන්ගෙ මාසෙ හින්දමද කොහෙද ගොඩක් අය සමුගන්නවා. කොහොම වුණත් ඒ මරණය ගැන මට ආපු පළවෙනි දැන්වීම.

‘දන්නෙ නැද්ද? කේ. ඞී කියන්නෙ පරණ ෆිල්ම් පොරක්’
‘මාර සිංදු තොගයක් ලියලා තියෙන්නෙ...’
‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු.. ඒකත් කේ. ඞීගේ..’

දෙවෙනි තුන්වෙනි විස්තර දැනගනිද්දි මං මගේ නොදැනීම ගැන ලැජ්ජ වෙන්න පටන් ගත්තා.
‘කොච්චර වැඩ කරපු මිනිස්සු ඉන්නවද එහෙම කවුරුවත් නොදැන මැරිලා යන...’ මාධවයා කිව්වා.

කේ. ඞී නිකලස් කියන්නෙ පුදුම පරාසයක එහා මෙහා යන්න පුළුවන් නිර්මාණශීලීත්වයක් තිබ්බ කෙනෙක්. ඒක මං දැනගත්තෙ කලාභවනෙ දාලා තිබ්බ සිංදු අහද්දි. බයිලා වල ඉඳන් සම්භාව්‍ය, කලාත්මක, සාහිත්යයික  ඕනම විදිහක සිංදු කේ. ඞී ලියලා තිබුණ.

‘දේව මන්දීරේ... පුදසුන අබියස වැතිරී බැතියෙන්..
ආයාචනා කරම්... දැවෙන සිතේ..
සංකා සෝ දුක් නිවන ලෙසේ...’

ඒ කාලෙ හැම බූට් එකකදිම ඇෙ`ග් හිරිගඩු පිපෙන්න වැදිච්ච සිංදුවකුත් ඒ අතරෙ තිබුණ. පාර්ලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එක පවා ලියපු කේ. ඞී නිකලස් ගැන මං මොකුත්ම දැනං ඉඳලා නෑ. (ඒක ලංකාවෙ හැදිච්ච මං ආසම කොමඩියක්)

කේ. ඞී නිකලස්ලා චිත‍්‍රපටි කළේ සම්මාන ගන්න නෙමෙයි. දළුගම ස්ටුඩියෝ එකේ නිතර රස්තියාදු ගහපු චිත‍්‍රපටි පිස්සන්ගෙන් කෙනෙක් කේ. ඞී. ඒ ආසාව චිත‍්‍රපටි ගැනම වූ ආසාවක් මිසක් එතන සම්භාව්‍ය පීචං භේදයක් තිබුනෙ නෑ. රිදී තිරය උඩ  ඕන දේකට උන් ලව්. ඒ චිත‍්‍රපටි පිස්සුවට ලිව්වා, ඇසිස්ට් කළා, සෙට් එකක  ඕන දෙයක් කළා මිස ටයිට්ල් ගැන පවා කේ. ඞීලා උනන්දු වුණේ නෑ. සිනමාව ගැන තියෙන ඒ ආදරේ මාර පිවිතුරු එකක්.

වෙන්න  ඕන විදිහටම කේ. ඞීලා වෙන වෙන අය වෙනුවෙන් පාවිච්චි වෙන්න ඇති. ඒ පාවිච්චි වීම ගැන හිතන්න හෝ ඒ ගැන කළකිරෙනවා වෙනුවට දිගටම ඒ අය දිගටම තමන්ගෙ වැඬේ කරගෙන ගියා. දෝංකාරයක් පවා නොඇසෙන ප‍්‍රපාතයකට මැරෙන කල් සිංදු කියන්න කේ. ඞී නිකලස්ලාට හයිය තිබුණ. (මෙතන කේ. ඞී නිකලස්ලා කියලා ලියන්නෙම තවත් ඒ වගේ පරපුරක් ඉන්න හින්ද)
ඒක ආදරයක්. විචාරයක්, ප‍්‍රතිචාරයක් අනවශ්‍ය, තමන්ගෙ කලාව තමන්ගෙ ප‍්‍රකාශනය වෙච්ච මිනිස්සුන්ට විතරක් කරන්න පුළුවන් විදිහෙ ආදරයක්.

මට අද සිනමාව ගැන හිතුණ. මාත් ඇතුළු තවත් සිනමාකරුවො ගොඩක් ගැන හිතුන. කේ. ඞී නිකලස්ලට සිනමාව හෝ තමන් කරන කවර හෝ කලාවක් ගැන තිබුණ පැෂන් එක තවදුරටත් අපි ළ`ග තියෙනවද?
මං හිතන්නෙ සිනමාව මැරෙන්න අරගෙන. සිනමා පිස්සන්ගේ විචිත‍්‍රත්වය නැතුව සිනමාවක් පවතින්න බෑ. ඒ ආදරය අහිමි සිනමාවක් කියන්නෙ මැරිච්ච පිංතූර පෝලිමක් විතරයි.

මේ අතරෙ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ්ස් අතිඋත්සවාකාරෙන් පැවැත්වුණා. ඒ සංදර්ශනේට දීපු මාධ්‍ය ප‍්‍රචාරය හින්දම මට ඒකට යන්න ලැජ්ජ හිතුණ. හිරු ඒ සිනමා සම්මාන උළෙල අරගෙන තිබ්බෙ මෙගා බ්ලාස්ට් තැනින්මයි. අර වචන කණපිට ගහන බයිලා එක විතරයි අඩු.

මට දැනිච්ච විදිහට ඒ සම්මාන උළෙල තරමට අපේ සිනමාව ලොකු නෑ. ඒක හින්දම හිරු සම්මාන උළෙල සිනමාවෙන් පරාරෝපිත වෙන කොහෙද අවකාශෙක තමයි තිබුණෙ. ඉන්දියාවෙ තරු විසිතුරු සහ විශාල පරිමාණයේ විනෝද වරුසාවක් ඉස්සරහ අපේ නළු නිළියො පුංචි වෙලා ගියා. අපේ සිනමාව ඒකට අදාල නොවෙන පිට්ටනියක කිච වුණාදෝ කියල හිතුන.

උදා විදිහට අනිල් කපූර්, බිපාෂා බාසු, ඔබ්රෝයි එන එක සම්මාන උළෙලක විශේෂිතම කාරණය වීම පොඩි අවුලක්. වෙන රටවල ආර්ටිස්ට්ලා එන එක හොඳ දෙයක් තමයි. ඒත් ලොකු ගණං ගෙවලා මේ වගේ අය ගෙන්නද්දි අපේ සිනමාව (හෝ ඒ වගේ එක) හෑල්ලූවට ලක් වෙනවා. අපේ නිර්මාණ ගැන කිසි හැ`ගීමක් නැතුව අනිල් කපූර්ලා ප්‍රොෆෙෂනල් බොරු කියද්දි ඒක දැනෙන්න ගන්නවා.

මේ හැම දෙයක් එක්කම මට හිතුනෙ හිරු සිනමා සම්මාන උළෙල සිනමාවෙන් බැහැර වෙන තැනකට මොකක් හරි කියන්න හදනවා කියල. සිනමාව තුල ස්ථානගත නොකර ඒ සම්මාන උළෙල ස්ථානගත කරන්නෙම පොදු ජනප‍්‍රියවාදී තැනක. එතනට හරියන්න අපේ තරු නෑ කියල ගන්න තීරණයක් නිසා හිරු කට්ටිය ගෙවලා වෙන රටවලින් තරු ගෙන්නනවා. ඊළ`ගට අපේ රටේ සිනමාව ඒ තරමට මදි හින්ද වෙන රටවලින් ගෙවලා සිනමාවත් ගෙන්නාවිද?

මේ කිසි දෙයක් නරක දේවල් නෙමෙයි. සිනමාව ඒ තරම් නොවුණට සම්මාන උළෙලක් මේ තරම් වෙන්න බැරිද කියලත් හිතන්න පුළුවන්. සමහර විට මේ ජනප‍්‍රියවාදී රැුඩිකල් ප‍්‍රවේශයෙන් සිනමා කර්මාන්තයේ පිබිදීමක් ඇතිවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම සිනමා උළෙලේ තත්වය අන්තර්ජාතික මට්ටමෙන් පවත්වාගෙන යන්න ඒ අය වුණු මහන්සිය අගය කරන්නම  ඕන.

ඒ වගේම සම්මාන සහ ඇගයීම් වල මැදිහත්බව සහ පිළිගතහැකි බව ගොඩක් වැදගත්. ඒත් මට හිතෙන්නෙම මේක සිනමාවෙන් එලියෙ සිද්ද වෙච්ච දෙයක් කියල. ඒ වගෙම සිනමාව තමන්ට අදාල නොවන වපසරියක පොසිෂන් කිරීම සිනමාවට හානියක් කියල. (උළෙල නොනැරඹූ මගේ අදහස් බෙහෙවින් දෝෂ සහිත විය හැකි බව කරුණාවෙන් සලකන්න)

කාලෙකට පස්සෙ මාරයා කතා කළා. හරි විදිහට කිව්වොත් මං ෆෝන් එක ආන්සර් කළා. සුජිත් අක්කරවත්තගේ පොත් කීපයක් එලියට එන එකෙන් ඌ පිනා ගිහින්. සුජිත් එක්ක සංවාදය හරහා මතු කරගත්ත කාරණා ගොන්නක් එක දිගට කියාගෙන ගියා.

‘මචං අපේ හාමුදුරුවරු වැඩිය එලියට අදින්නෙ නැති සූත‍්‍ර තුනක් තියෙනවා. එකක් අංගුලිමාල සූත‍්‍රය. මිනිස්සු නවසිය අනූනවයක් මරන අංගුලිමාල කියන පෝරිසාදයා එක මොහොතකින් රහත් වෙනවා. අවබෝධයට පත් වෙනවා. කිසිම වත්පිළිවෙත් පිරීමක්වත්, බණ භාවනා කිරීමක් වත් නැතුව. දරුණු අපරාධකාරයෙක්. ඒත් එක මොහොතකින් නිර්වාණය අවබෝධ කරගන්නවා.

මචං මේක අපේ හාමුදුරුවරුන්ට කියන්න පුළුවන් කතාවක් නෙමෙයි. එතකොට පින්පව් කතාව අවුල් වෙනවා. ඒත් මචං මේ
ක බුදුන්ගෙ මාර ලස්සන තැනක්.

දෙවෙනි එක සර්කානි සූත‍්‍රය. සර්කානි ශාක්‍යසිංහ කියන්නෙ සුද්දෝධන ගෙ මල්ලිගේ පුතා. සර්කානි බේබද්දා. ශාක්‍ය පරම්පරාවටම නිගා දෙමින් පාරෙ තැන තැන බීලා වැටෙනවා. සුද්දෝධනගෙන් පස්සෙ එක්තරා වෙලාවක රාජ්‍ය බාරගන්න කියල සර්කානිට කියනවා. එයා ප‍්‍රතික්‍ෂේප කරනවා. සර්කානි කසාද බඳින්නෙත් නෑ. බිබී, සිංදු කිය කිය, ඇවිද ඇවිද, තැන තැන වැටි වැටි සර්කානි සතුටෙන් ජීවත් වෙනවා.

මේ විදිහට බිබී ඇවිදින මේ ඇල්කොහොලික් සර්කානිව ශාක්‍ය වංසෙන් නෙරපනවා. අන්තිමට සර්කානි බීලා ඇවිදිද්දි පාරෙ වැටිලා මැරෙනවා. මිනිය වළලන්නවත් ශාක්‍යයෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.
බුදුන් ආනන්දත් එක්ක සර්කානි හොයාගෙන යනවා. ගිහින් මිනිය වළදානවා. බුදුකෙනෙක් අතින් වැළලෙන පළවෙනි මිනිහා සර්කානි.

ආපහු එද්දි බුදුන්ට ශාක්‍යයන්ගෙන් බරපතල චෝදනා. ඒ වගේ අපහාසයක් කළා කියල වර්ගයට.
‘සර්කානි බුද්ධ වංශයෙ කෙනෙක්. එයා සෝවාන් ඵලයට ඇවිත් හිටපු කෙනෙක්..’
ශාක්‍යයන්ගෙ හකු මාට්ටු වෙන්න බුදුන් උත්තර දෙනවා. මචං, ඇල්කොහොලික් සර්කානි අවබෝධයට පත් වුණා කියල කොහොමද අපේ් හාමුදුරුවරු කටක් ඇරලා කියන්නෙ? (දැන් මේක මරු ඥානසාර වගේ කෙනෙකුට..)

තුන්වෙනි සූත‍්‍රයෙන් මචං ඔය ස්ත‍්‍රීවාදය අනං මනං කුඩු වෙලා යනවා.  ඕසාක මන්ත‍්‍ර සූත‍්‍රය.
ඔන්න සිටු කෙනෙක් තමන්ගෙ පුතාව යවනවා ශිල්ප ඉගෙන ගෙන එන්න කියල. කල වයස හරි නං, පුතා දක්ෂයෙක් නං, ශිල්ප කෙලවර ඇදුරගෙ දුවෙක් බැඳගන්නත් පුළුවන්. නැත්තං අස්සයෙක් අරන් එන්න පුළුවන්.

ඉතින් මේ ඇදුරට දුවලා නෑ, පුතා එනවා අස්සයෙක් අරගෙන.
‘මං ශිල්ප කොරලා අහවරයි අප්පොච්චි...’ කොල්ලා කියනවා.
දැන් මුගේ කලවයසත් හරි. කසාදයක් කරලා දෙන්න. අප්පොච්චා අහනවා,
‘උඹ  ඕසාක මන්තරෙත් ඉගෙන ගත්තද?’ කියල.
‘එහෙම එකක් නං ඉගැන්නුවෙ නෑ..’ කොල්ලා කියනවා.

ආපහු මේකව ඇදුරා ළ`ගට යවනවා කසාදයක් කරගන්න කලින්  ඕසාක මන්ත‍්‍රය දැනගෙන වරෙන් කියල. ‘ආ... ඒකත් එහෙමද කියල...’ ඇදුරා වැඬේ බාර ගන්නවා.

‘එතකං ඔය මගේ වයසක අම්මට තෙල් සාත්තු කරගෙන ඉඳපං...’ කියල ගුරා වැඩකුත් බාර දෙනවා. ගුරාගෙ අම්මා ඇස් දෙකත් හරියට නොපෙනෙන මැහැල්ලක්. ඇඳේ ඉන්නෙ.

දවස ගානෙ අර කොල්ලා ඉතින් මේ ආච්චිගේ ඇ`ගපතේ හැමතැනම තෙල් ගාලා සාත්තු කරනවා. ටික ටික ආච්චි වෙනස් වෙනවා. වෙන වෙන හැ`ගීම් පහලවෙනවා.

අන්තිමට කොල්ලට කියනවා තමන්ට ඒකා එක්ක රමණය කරන්න  ඕන කියල.
කොල්ලා ගිහින් මේක ගුරාට කියනවා. ගුරා කියනවා, ‘තමන් ඉන්න කල් ඒක කරන්න හිත හදාගන්න බැරිය කියපං’ කියල.

‘ගුරුතුමා ඉන්න කං මගේ හිතට හරි නෑ...’ කියල ඒකා මැහැල්ලට කියනවා.
එතකොට මැහැල්ල සැලසුම් කරනවා ගුරා, ඒ කියන්නෙ තමන්ගෙ පුතාව මරන්න. කණවැල අල්ලගෙන ඇවිත් පොරොවෙන් නිදාගෙන ඉන්න පුතාට කොටනවා.

ඒත් කලින් සැලසුම් කර ගත්ත විදිහට එතන තියෙන්නෙ කෙසෙල් කඳක් හින්ද අවුලක් වෙන්නෙ නෑ.
‘මං ඔසාක මන්ත‍්‍රය ඉගෙන ගත්තෙ නෑ අප්පොච්චි මං ඒකෙ ජීවත් වුණා...’ කියල කොල්ලා ඇවිත් තාත්තාට කියනවා.

‘එහෙනං උඹ ගෑනියෙක් බඳින්න සුදුසුයි’ කියල තාත්තා කොල්ලව නතර කර ගන්නවා..
මාරයා තවත් කියාගෙන කියාගෙන යනවා.

‘මචං සුජිත් අක්කරවත්ත මේ ලියන ටෝන් එක මාරයි. ඒක අර බටහිර දාර්ශනික එකත් නෙමෙයි, මාක්ස්වාදී එකත් නෙමෙයි.. ඒක හින්ද ඌට මාර තැන් ටිකක් ඉතිහාසෙ අහුවෙනවා...

ඉතිහාසෙ කියන්නෙ අතීතෙට නෙමෙයිනෙ බං.. අතීත දත්ත පාවිච්චි කරලා අනාගතේදි කරන කියවීමකට. ඉතිහාසෙ කියන්නෙ අනාගත විෂයක්....’

ගොඩක් වෙලා ඉඳන් මං කබඞ් එක උඩ තියෙන බුදු පිළිමෙ දිහා බලාගෙන. මගේ ඇස් වලට කඳුළු ආවා. ඒ බුදුන් ගැන හිතිලා නෙමෙයි. මාරයා ගැන හිතිලා.

අදහස් හිතන්න, කතා කරන්න, බෙදා ගන්න මාරයාට තිබුනා නොසිඳෙන පැෂන් එකක්. ප‍්‍රසිද්ධියට, දේශපාලනයට, හෝ වෙනයම් අරමුණකට නොවූ උවමනාවක් තිබුනා අදහස් ගනුදෙනුවකට..
‘මාව හම්බු වෙන්න වරෙං..’ හැමදාම වගේ මාරයා කියනවා.

කේ. ඞී නිකලස් වගේම දවසක මාරයාත් සමුගනීවි. කවුරුවත් නොදන්නා තරමට පුංචි, ඒත් ගොඩක් ලොකු විශ්වයන් වල ජීවත් වුණු මිනිස්සු ගොඬේ එකෙක් විදිහට.

අන්තිමට තරු විතරක් ඉතුරු වෙයි.

-චින්තන ධර්මදාස

7 comments:

  1. සුජිත් අකකරවත්තගේ එකම එක දේශනයක් මට අහන්න ලැබුනා සර්පයාගේ පොත තුන්වෙනි පාර එලිදක්වද්දි. වැදගත්දෙයක් කතාකරන අලුත් දෙයක් වෙනුවෙන් හීන දකින පොරක්..
    මාක්ස්වාදය කොයි තරම් සුපරි වුනත් හැමදාම ඒක සජජායනය කරන අයට වඩා සුජිත්ලා ඊට වඩා ඉස්සරහින් ඉන්නවා..

    ReplyDelete
  2. /////////මට දැනිච්ච විදිහට ඒ සම්මාන උළෙල තරමට අපේ සිනමාව ලොකු නෑ. ////////
    මට හිතුනෙත් ඔය විදිහට තමා.

    මාරයාගේ කතා ටික අදයි ඇහුවේ. කවුද මේ මාරයා ....අතවනන කම් බලාඉන්න එක නෙමේ නේද :D

    ReplyDelete
    Replies
    1. ජගත් මාරසිංහ සහෝදරයා නේද ඔය?

      Delete
  3. මෙම පෝස්ටුවට බුදු දහමේ ඇති අදාලත්වය කුමක්දැයි මට නොතේරේ. සර්කානි සූත‍්‍රය හා ඕසාක මන්ත‍්‍ර සූත‍්‍රය යනුවෙන් සූත්‍ර දේශනා තිබෙන්නේ කොහේදැයි කිව හැකිද? එවැන්නක් බුදු දහමේ ති‍බේනම් ඒවාද ‍පෙන්වාදිය හැක. අංගුලිමාල සූත්‍රය යනුවෙන් සූත්‍රදේශනාවක් ඇත. එය ඉහතින් දක්වා ඇත. මෙම පෝස්ටුව අසත්‍ය කරුණු මත පදනම්ව බුදු දහම පිළිබද ද්වේශයෙන් යුක්තව ලියා ඇත.

    ReplyDelete
    Replies

    1. ඕසාක මන්ත‍්‍ර සූත‍්‍රය පැත්තකින් තියල උම්මග්ග ජාතක කතාව පොඩ්ඩක් කියෙව්වනම් ,,
      ඔවැනිම කතවක් තියේ එකෙත්.
      සරකානි සූත්‍රය, සූත්‍ර පිටකයේ මහා වග්ගයේ සෝතාපත්ති සංයුක්තයේ හොයා ගත්ත හැකි.

      Delete
  4. මිනිස්සු නවසිය අනූනවයක් මරන අංගුලිමාල කියන පෝරිසාදයා එක මොහොතකින් රහත් වෙනවා. අවබෝධයට පත් වෙනවා. කිසිම වත්පිළිවෙත් පිරීමක්වත්, බණ භාවනා කිරීමක් වත් නැතුව. දරුණු අපරාධකාරයෙක්. ඒත් එක මොහොතකින් නිර්වාණය අවබෝධ කරගන්නවා.?

    .´´ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ තනිව, විවේකව, අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇතිව, හරණලද ආත්මාලය ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, මාර්‍ගබ්‍රහ්මචය්‍ර්‍යා කෙළවරකොට ඒ උතුම් රහත්බව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය විනාශ කරණ ලද්දීය. මාර්‍ගබ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිම වන ලද්දේය. සතර මාර්‍ගයෙන් කටයුත්ත කරණ ලද්දේය. මෙයින් පසු කළ යුත්තක් නැත්තේයයි දැන ගත්තේය. ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහතුන්ගෙන් එක්තරා කෙනෙක් වූහ

    http://dahamsithum.wordpress.com/2012/09/14/86-%e0%b6%85%e0%b6%82%e0%b6%9c%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd-%e0%b7%83%e0%b7%96%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ba/

    ReplyDelete