Saturday, November 29, 2014

වෙනසට බය ඇයි?



අපේ මිනිස්සු වෙනසකට බය තරම දැක්කම මට බය හිතෙනවා. ඒ වෙන කිසි දෙයක් හින්ද නෙමෙයි අනාගතයක් නැති බව දැනෙන හින්ද. වෙනස පිළිගන්න හෝ බාරගන්න ලෑස්ති නෑ කියන්නෙ ඉන් එහාට සිතීමක් වර්ධනයක් සිද්ද වෙන්නෙ නෑ කියන එක. මේකෙ ආයිමත් හොඳ වෙනස හෝ නරක වෙනස කියල නෑ. මොන විදිහක වුණත් වෙනසක් හැමතිස්සෙම හොඳයි. ඒ වෙනස අපිව අභියෝගයට ලක්කරනවා. සක‍්‍රීය කරනවා. ශක්තිමත් කරනවා. මුල්ම වානරයො සිංහල වුණා නම් තාම අපි ගස් උඩ යන වඳුරො.

කලින් දවසක කියපු විදිහට සමහර විට මේ වෙනස් වෙන්න ඇති බය එන්නෙ කන බත් ටිකත් එක්ක වෙන්න ඇති. වී ගොවිතැන එක්ක පුරුදු වෙච්ච සම්ප‍්‍රදාය රකින, ගතානුගතික රටාව අපිට ජානමය විදිහට බලපානවා නොවෙනස්ව ඉන්න. අපි ලොකුකමක් විදිහටයි ඒක කියන්නෙත්. කවදාවත් නොවෙනස්... ඒ කියන්නෙ සදාකාලික මැටි.

මේ වෙනස් වෙන්න ඇති බය පුද්ගලික ජීවිතේ ඉඳන් සමාජ සංස්කෘතික දේශපාලන හැම ඉසව්වකටම බලපානවා. උදා විදිහට අපි යාලූ වෙන කෙල්ල හෝ කොල්ලා වෙනස් වෙනවට ඇති බය, කසාදය වෙනස් වෙනවට ඇති බය, සමහර විට අපි මාර විදිහට දෙමව්පියො ගැන වර්ණනා කරන්නෙත් ඒ අය වෙනස් කරන්න බැරි වස්තූන් හින්ද වෙන්නැති. මේක යම් පමණකට  ඕනම රටක මනුස්සයෙකුට තියෙන්න පුළුවන්. ඒත් මේ වෙද්දි බටහිර රටවල් සවිඥාණකව මේ වෙනස්වීමේ අභියෝග බාරගන්න පුරුදු කරනවා.  ඕනම විෂයක. වෙනස් නොවීම සුවපහසු කලාපයක හුදකලා වීමක් විදිහට බැහැර කරනවා. හැමතිස්සෙම වෙනසේ වල්මත්බවට මුහුණ දෙන එකයි දියුණු මනුස්ස තෝරා ගැනීම වෙන්නෙ. ඒත් ලංකාව යන්නෙ පස්සට.

මේ වෙලාවෙ මෛත‍්‍රීද මහින්දද කියන්නෙත් මේ වෙනසෙ තීන්දුවක්. පුද්ගලයො විදිහට මේ දෙන්නා කිරා බලමින්,  ඕපාදූප විනිශ්චය කරමින් තාවර වෙන්න දෙයක් නෑ. දේශපාලනිකව හැමතිස්සෙම වෙනසක් සුබයි. ඒක ඉතිහාසය තහවුරු කරපු දෙයක්. ඒකෙන් දේශපාලනික, ආර්ථික, සමාජ දේහයේ ලොකු වෙනස්කම් ඇති වෙනවා. සමාජය පුළුල් වෙනවා. සිතීම වර්ධනය වෙනවා. ඇරත් සමාජයක් විදිහට සංකෝචනය තෝරගෙන අවුරුදු දහයක් ගතවෙන තැනදිවත් වෙනස්වීම තෝරා නොගන්න සමාජයක ඉරණම දෛවෝපගයි. පව්.

මේ වෙලාවෙදි පටු මනස්වල වාදය තියෙන්නෙ පුද්ගලයො දෙන්නෙක් අතර. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිහාවට වැඩෙන ක‍්‍රියාවලියක් විදිහට මැතිවරණ තෝරාගැනීමක් දකින්න තරම් පරිණත අය ඉන්නෙ සොච්චමයි. කොයිතරං ග‍්‍රාමීය මූලයන් සහිත පක්ෂයක් වුණත් මේ වෙලාවෙ ජවිපෙ කියන කතාව දේශපාලනිකව ගොඩක් පළල්.

මෛත‍්‍රීපාල කියන්නෙ අවසානයක්, නිර්වාණයක් නෙමෙයි, ගමනක එක පියවරක් කියන එක. ඊට එහාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩෙන්න  ඕන. ඒ සාකච්ඡුාව තවදුර යන්න  ඕන. ඒක ජනතාව අතර නිරන්තර කතිකාවක් වෙනවා මිස රටක් හැටියට ඒ දේශපාලනික පුහුණුව ගන්න විදිහක් නෑ. අපි පුරුදු ඉබේ ලැබෙන දෙයක් බාරගෙන මිසක් වැඩක් කරලා උපයාගෙන නෙමෙයි. අපේ රටේ නිදහස වුණත් එහෙමයි.

මේක අපේ උරුමයේ කොටසක්. අපේ වහරෙ කතන්දර හැදිලා තියෙන්නෙත් ඒ විදිහට. උදා මේ ඡුන්දෙ ගැන වුණත් ඇහුවම සමහරු ලොකුවට දෙන උත්තරයක් වෙන්නෙ ‘දන්න යකා හොඳයි නොදන්න දෙයියට වඩා’ කියල. වහරෙන් ආපු හින්ද ආප්තෝපදේශයක් වගේ කිව්වට මේක අතිශය පසුගාමී ජාතියක කතාවක්. කොයිතරම් දුෂ්ට හෝ අවාසි සහගත තත්වයක් වුණත් ඊළ`ග අවධිය නොදන්නා නිසා වෙනසක් නොකර තියාගැනීම. හරිනං වෙන්න  ඕන ඊළ`ගට එන්නෙ වඩා නරක යකෙක් වුණත් ඉන්න යකා පන්නලා අලූත් යකා තෝරගන්න එක. හේතුව අලූත් වෙන්නෙ යකා නෙමෙයි අපි හින්ද. අලූත් යකා එක්ක අපි මුහුණ දෙන්නෙ අලූත් තත්වෙකට. පරණ යකා එළවීම හින්දම අපි වෙනස් වෙනවා. ඇත්ත ගැටළුව තියෙන්නෙ අපේ පරිණාමය. ඒ පරිණාමය අනුව එලියෙ තත්වයන් වෙනස් වෙනවා. ඒත් අපි ජාතියක් විදිහට හුරු වෙලා ඉන්නෙ දෙයියෙක් වෙනුවෙන් වත් යකෙක් මාරු නොකරන්න. හරක් එක්කො කරත්තෙ බඳින්න  ඕන. නැත්තං මස් කඬේට යවන්න  ඕන. ඡුන්ද බලය වගේ එකකින් උන්ට වැඩක් නෑ.

මේ වෙනසට ඇති බය විසින් අපිව කොයිතරම් පාලනය කරනවද කිව්වොත් අනෙකාට වඩා වෙනස් වෙන්න පවා අපි බයයි. සමූහයට අනුව ඉන්නවා මිසක සමූහයෙන් වෙනස් වෙන එක අපිට අභියෝගකාරීයි. ඒ වගේම අපි සමූහයක් විදිහට වෙනස බාරගන්නත් බයයි. සමලිංගිකත්වය, මතට නිදහස වගේ සංකීර්ණ තත්වයන් නෙමෙයි කොණ්ඩෙ වැවීමක්, කොටට ඇඳීමක් වගේ සරල දෙයක් පවා බාර ගන්න බැරි තරමට අපි සමාජයක් විදිහට දුර්වලයි.

මහින්දගේ පාලනය අවසන් කරන්න වඩා පුළුල් හේතුවක් වෙන්නෙ මේ වෙනස බාර ගන්න පුළුවන් සමාජයක් ඇති කිරීමේ උවමනාව. ජාතියක් විදිහට, ආගමක් විදිහට, විශ්වාසයක්, මතවාදයක් විදිහට වෙනස් දෙයක් දරන්න, අදහන්න වගේම බාරගන්න පුළුවන් අවකාශයක් ඇති කිරීම. හැම වෙනසක්ම හතුරුකමක් හෝ ද්‍රෝහී වීමක් කියල කියවන ගුහාගත තත්වයෙන් එලියට එක. මේක නොදියුණු සමාජයක් විදිහට අපේ තිබුණු තත්වයක් රාජ්‍ය තාන්ත‍්‍රික විදිහට තහවුරු වීමක් වගේ. අතිශය තාර්කික, බුද්ධිමය හා සවිඥාණක විය යුතු රාජ්‍ය නායකත්වයක් කේන්දරවලින් පාලනය වෙන තැන දක්වාම මේ වෙනස් නොවීමේ විපාකය දුර දිග ගිහින්. විද්‍යාව දියුණු වුණත්, පෝෂෙ මොන්ටෙරෝ පැද්දත් අපි වෙනස් නෑ. කොටින්ම පුතා අභ්‍යවකාශ ගගනගාමියෙක් වුණත් මහින්ද තාම ග‍්‍රහයො ගැන කේන්දර බලනවා.

මේ පාර මැතිවරණ තීන්දුව සංස්කෘතික තීන්දුවක් වෙන තැන අතිශය සරලයි. ඍජුයි. වෛරයද, මෛත‍්‍රියද? සංස්කෘතික මායිම තියෙන්නෙ එතන. වෙනස එතන.

මෙච්චර කාලයක් අපි ජීවත් වුණේ වෛරයේ කලාපය ඇතුලෙ. අපි අපේම රටේ ජාතීන් එක්ක ජීවත් වුණේ වෛරයෙන්. දෙමළා කොයි වෙලාවෙ අපිට ගහයිද කියල නොසන්සිඳෙන බයකින් ජීවත් වෙන්න අපි තෝරගෙන තිබුණ. තාමත් මහින්ද කියන්නෙ ආණ්ඩුව පෙරළුණොත් කොටි ගහයි කියල. අපි අපේම රටේ ආගම් එක්ක ජීවත් වුණේ වෛරයෙන්. මුස්ලිම් ජාතිය වැඩිවෙනවා සිංහල ජාතිය වඳවෙනවා කියල අපි වෛර කරමින් ජීවත් වුණා. අපි ලෝකෙ අනිත් රටවල් එක්ක ජීවත් වුණේ වෛරයෙන්. කොයි වෙලාවක විජාතික කුමන්ත‍්‍රණ එනවද කියල තේරුමක් නැති සැකයකින් අපි තැවි තැවී පැහි පැහී හිටියා.

මේක මං මුලින්ම දැකලා තිබුණෙ අපේ ආච්චිගෙන්. කිසිම හේතුවක් නැතුව එලියෙ මිනිස්සු බලන් ඉන්නෙ අපිට හිනාවෙන්න කියල භීතියක් එයාගෙ හිතේ තිබුණ. මං හිතුවෙ වයස හින්ද වෙන්නැති කියල. ඒත් ආච්චිගේ භීතිය රටක පාලනය දක්වා වැඩෙන්න පුළුවන් කියල මං තේරුම් ගත්තෙ ලොකු වෙලා. අපි ජනතාවක් විදිහට ජීවත් වෙන්නෙ ආච්චිලාගෙ ඔලූගෙඩි ඇතුලෙ.

මේ සීමාව වෙනුවට ලෝකයක් එක්ක ජීවත් වෙන්න පුළුවන්, අනෙකා බාරගන්න, අනෙකා සමග බෙදාහදාගන්න පුළුවන් තත්වයක් දක්වා අපි විවෘත වෙන්න  ඕන. කැමපේන් භාෂාවෙන් කියනවා නම් අපි මෛත‍්‍රී වෙන්න  ඕන. වෛරයෙන් පනවපු සීමාවන් බිඳින්න පුළුවන් මෛත‍්‍රියෙන් විතරයි.

මෛත‍්‍රී කියන්නෙ පුද්ගල තෝරාගැනීමක් වෙනුවට සංස්කෘතික තෝරාගැනීමක් වෙන්නෙ ඒ විදිහට. මෛත‍්‍රී කියන්නෙ නමක් වෙනුවට අභ්‍යාසයක් වෙන්නෙ ඒ විදිහට. එතනදි මෛත‍්‍රීපාල සිරිසේන කියන පුද්ගලයා නාම මාත‍්‍රිකයි. ඒ පිටිපස්සෙ තියෙන පොදු සවිඥාණක උවමනාවයි වැදගත් වෙන්නෙ. ඒ උවමනාව හරහා යෝජනා කරන අලූත් දේශපාලනික වෙනසයි වැදගත් වෙන්නෙ. අපි වෙනස බාර ගන්න ලෑස්තිද? සමහර විට අපි අපි විසින්ම දොරේ ඉබ්බා දාගෙන යතුර විසි කරන්න ඉඩ තියෙනවා.

මහින්ද කියන චරිතය ස්ථානගත කළේ යුද්ධයේ උවමනාව විසින්. ඒ කාලයේ අපිව වෙළාගෙන තිබුණු බය විසින්. ඒකට මුහුණදෙන්න අපි තෝරාගත්තෙ වෛරය. මහින්ද චින්තනය හැදුනෙ ඒ වෛරයේ බෙදුම්වාදය ඇතුලෙ. ප‍්‍රභාකරන්ගෙ අනෙකා විදිහට. යුද්ධය නැති වුණත් තාමත් මහින්ද දරාගෙන ඉන්නෙ ඒ මළකුණ. ඒ ජනතාව විසින් එයාට තීන්දු කළ චරිතය. තාමත් යුද්දෙ ගැන කියනවා මිසක් ඒ පිටපත එතනින් එහාට ලියවිලා නෑ.

අලූත් ජනතා උවමනාවක් එක්ක වෙනස් චරිතයක් අපිට  ඕන වෙන්නෙ ඒ හින්ද. වෙනස් උවමනාවක් ප්‍රොජෙක්ට් කරන නායකත්වයක්. නැවත ලෝකය එක්ක, අනෙකා එක්ක සම්බන්ධ වීම යෝජනා කරන දේශපාලනයක්. පවුල රාජ්‍ය දක්වා අරගෙන යනවා වෙනුවට අපිට පවුල හා රාජ්‍ය අතර පරතරය පළල් කිරීමයි වැදගත්.

මෛත‍්‍රී කියන්නෙ මේ මොහොතේ ඒ උවමනාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දේශපාලන චරිතය. මහින්ද වගේම ඊළ`ග දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී උවමනාවකදී අපිට මෛත‍්‍රී වෙනුවටත් වෙනසක් හොයන්න වෙයි. ජවිපෙ කියන කතාවෙ වැදගත්ම ඒකයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනවරත ක‍්‍රියාවලියක් විදිහට, අපි විසින් යා යුතු ගමනක් විදිහට අරගෙන එන එක. එතනදි අපිට වැදගත් වෙන්නෙ වෙනස විතරයි. චරිතෙ නෙමෙයි. බුදුබව පතන හෝ බුදුන්ට නෑ වෙන නායකයන් ප‍්‍රාර්ථනා කිරීම වෙනුවට සක‍්‍රීය ජනතාවක්, බුද්ධිමය දේශපාලනයක් වෙනුවෙන් වැඩ කරන එක ප‍්‍රගතිශීලියි. දියුණුයි.

මේ මොහොත නිශ්චිතයි. වෛරයද? මෛත‍්‍රියද? එච්චරයි.
දැන්වත් ගස්වලින් බිමට බහිමුද?

-චින්තන ධර්මදාස

5 comments:

  1. ලංකාවේ කොයි අගු පිලක කවුරු හම්බු උනත් කතාව පොලිටික්ස්.රෑට කෑම දිරවනකන් බලන්න්නෙත් පොලිටිකල් ප්‍රෝග්‍රෑම්.ලක්ෂ ගානක් උසස් පෙළ ළමෝ දාස් ගානක් ටියුෂන් මඩුවල මැකියාවෙලි ඉඳන් කාල් මාක්ස් දක්වා පොලිටිකල් සයන්ස් වනපොත් කරනව.එහෙම පොලිටිකල් රටක තමුන්ගේ ජනතා නියොජිතය පත් කර ගනිද්දී සලකා බලන්නෙ උඩු රැවුල,ළමයි ගාන,බුදුන් වඳිනකොට දෑත නලලෙද වගේ කාරණා.ඉතිං සෙතක් වෙයිද මෙහෙවු රටකට ඕයි!

    ReplyDelete
    Replies
    1. ඒ තමයි අපේ රටේ 'උගත් පාඩම්' ක්‍රියාත්මක කරන විදිය... මමත් ඇත්තටම ඔය විදියට කල්පනා කළා, කල්පනා කළා.. ඕකට උත්තරයක් ගන්න පුළුවන් සරල තියා සංකීර්ණ සමිකරනයක්වත් හදාගන්න බැහැ.. එතරම් තර්කයෙන් පරිභාහිරයි. මමත් හිතුව 'මේකනම් දේව ප්‍රහිතිහාර්යයක් ' කියල.... ෂාහ්.... ඉක්මනටම විසඳෙනවා එහෙම හිතුවම

      Delete
  2. වෙනසකට බය එක?, ඇත්තටම ඒකට බයවෙන්න කාරණාවක් මට නම් පේන්න නැහැ. මොකද ඒ බය අපිට අපේ සත්ව ගතියෙන්ම ආපු දෙයක් මිසක් ( මුලික විද්‍යාවේදී උගන්වන 'චලනයට ඇති නොකැමැත්ත' ) අපි හදාගත්ත දුෂ්ට විද්‍යාවක් නොවෙයි.

    වෙනසකට යනවා කියල, හිම වලස්සු ලොම් ටික ගාල පටන් ගත්තොත්, ඇත්තටම ඒකම ඇති වෙනසත් එක්කම එන අනිත් නායයෑම ඇරඹෙන්න. මෙතැන මගේ අදහසට අනුව නම් 'හොරුන් අතුරින් හොඳම හොරා' තේරීමේ තරඟයක් මිසක්, යම් වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද දේශපාලන විචාර බුද්ධියක් තියෙන කිසිම අයෙකුට? වෙනස පැතිය යුත්තේ එතැනින් නොවෙයි.... එවන් වෙනසක බලාපොරොත්තු තියෙන හිත්වල ඒ සිහින බිඳිනකොට ඇතිකරන රළ පහරේ අවශ්‍යතාවය...

    වෙනස් විය යුත්තේ ජන මතයයි...

    ReplyDelete
  3. ලංකාවේ තවත් පසුගාමී කතාවක් තමා "ලද දෙයින් සතුටු වීම". මේක තනිකර වැරදි කියවීමක්. බොහොමයක් ලංකාවේ මිනිස්සු ලද ඕනේ පුකක් හොඳයි කියමින් ඔහේ ඉඳීමේ ජීවන රටාව, රට එක තැන පල්වීමට විශාල හේතුවක්. මෙම කියමනේ සබැ අර්ථය වෙන්නේ, තමන්ට නොලැබුණු දේවල් වලට දුක් නොවී (ඉරිසියා නොකර, ලැබුණු එවුන්ට සාප නොකර) තමන්ට ලැබුණු දෙයින් සතුටු වී තව ඉදිරියට යාමයි.

    නමුත් දශක ගණනාවක් තිස්සේ මේ කියමන අපේ මිනිසුන්න්ට පොවා තියෙන්නේ හම්බවෙන ඕනේ කුණු ගොඩකින් සතුටු වෙලා ඔහේ හිටපන් වැනි අරුතකින්. සිදුහත් ලද දෙයින් සතුටු උනානං අපේ කට්ටියට අදහන්න බුද්දාගමක් ඇත්තෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. චී චී කෙත වචන කියාන්න එපා. පුක කියන එක හොද නේනෙ.

      Delete