ලංකාවෙ ජනගහනයෙන් බහුතරයක් මං හිතන්නෙ හි`ගන්නො. හි`ගන්නා කියන්නෙ අතපාලා කීයක් හරි හොයාගන්න භෞතික අර්තෙන් නෙමෙයි. ආත්මීය හි`ගන්නො කියන අදහසෙන්. මේ ආත්මීය හි`ගනකම අපි හිතනවට වඩා ගැඹුරුයි. තමන්ගෙ ඇතුළතින් යමක් පිටතට දෙනවා කියන එක නොදන්නාකම. එහෙම එලියට දෙන්න තරම් දෙයක් නැති කම. ඒ වෙනුවට එලියෙන් හැමදේම අරගෙන තමන්ව පුරවගන්න ද`ගලන එක. ඒක සල්ලි වෙන්න පුළුවන්, කීර්තිය වෙන්න පුළුවන්. අඩුම ගානෙ සම්පූර්ණ හිනාවක්වත් එලියට දෙන්න බැරි තරමට ලංකාවෙ මිනිස්සු දුප්පත් වෙලා.
අපි දන් දෙන්නෙ හි`ගනකමට. මහා දානයක් දුන්නත් ඒකෙන් වඩා හොඳ මතු ආත්මයක් ලබන්න. අපි ආර්ට් කරන්නෙ හි`ගනකමට. නවකතාවක්, චිත‍්‍රපටියක් පවා කරන්නෙ සම්මානයක් ඕනකමට. ඒ පිළිගැනීම නැතුව තමන් කවුරුවත් නෙමෙයි. ඒ පිළිගැනීමෙන්, පිටතින් ලැබෙන චරිතෙන් තමයි තමන්ට ආත්මයක් ලැබෙන්නෙ.
මේක බුදුන්ටවත් නොතේරිච්ච තැනක්. ඒ කියන්නෙ උත්පත්තියෙන් පස්සෙ පිටතින් ආත්මයක් ලැබීම කියන එක. මේක හින්දම අපි ගොඩක් දුප්පත් රටක්. ජාතියක් විදිහට අපි හි`ගනයි. එක්කො ලෝකෙන් හි`ගාකන එක හරි නැත්තං අතීතෙන් හි`ගාකන එක හරි තමයි අපේ පැවැත්ම. අපේ උරුමය, අපේ ජාතිය, මේ විදිහට අපේ කියන හැමදේම පිටිපස්සෙ තියෙන්නෙ මේ කැත ආත්මීය හි`ගනකම.
මේ හි`ගනකම එක්ක තියෙන අනිත් කාරණේ තමයි නිර්මාණාත්මක නැතිකම. කිසිම නව්‍යකරණයක් හෝ නව සිතීමක් සිද්ද නොවීම. අපි හැමදේම කරන්නෙ එලිය දිහා බලාගෙන. අපි චිත‍්‍රපටි හදන්නෙ කාන්ස් දිහා බලාගෙන. මේක සමහර විට අපේ ආහාර රටාව එක්ක සම්බන්ද ඇති.
අපේ සමෘද්ධියේ සිරාම තැන තමයි බතින් බුලතින් සරුයි කියන එක. මේක රටට කරගත්තොත් හරි කියන එකයි පොදුජන පැතුම. බත් කියන්නෙ බඩ පිරෙන්න කන්නයි, බුලත් කියන්නෙ හප හපා ඉන්නයි කියන එක. කන්නයි ඉන්නයි තිබුණොත් ඇති. සමහර විට ඒක පෙරදිග චින්තනය වෙන්නැති.
මෑතකදි ඉනටර්නෙට් එකේ ෂෙයාර් වුණා චීනෙ ගැන කරපු රිසර්ච් එකක්. ඒකෙදි ඒ අය කියන්නෙ සමහර විට අපේ ආහාර රටාව අපි හිතනවට වඩා ජීවිතේට බලපෑමක් කරන්න පුළුවන් කියල. චීනෙ උතුරු පළාතෙ තිරිගු වවන කොටසක් සහ දකුණෙ බත් වවන කොටසක් අතරයි මේ සමීක්‍ෂණය කරන්නෙ. මේක හින්ද ජාතික හෝ වෙනත් සංස්කෘතික මට්ටමකින් සිද්ද වෙන්න පුළුවන් වෙනස අවම කර ගන්නවා.
මෙතනදි ඒ පර්යේෂකයන් අනාවරණය කරනවා තිරි`ගු වැවීම හරහා ඒ ජන පිරිසටත්, බත් වැවීම හරහා අනෙක් ජන පිරිසටත් තීන්දු වුණු චර්යාවන් ගොඩනැගෙනවා කියල. උදා විදිහට තිරි`ගු වවන ජනතාව වඩාත් පුද්ගලවාදී, ඒ වගේම නිර්මාණශීලී, අලූත් විදිහට හිතන හැඩගැහෙන ජනතාවක් වෙද්දි බත් වවන පිරිස වඩා සාම්ප‍්‍රදායී, සමූහවාසී, අලූත් දේට බයක් සහ වෙනසට අකමැති චර්යාවන් දරනවා. මේකට හේතු වෙන්නෙ මේ කර්මාන්ත දෙකට අවශ්‍ය වන ශ‍්‍රම රටාවෙ සැකැස්ම හින්ද. ගොවිතැන වඩා සාම්ප‍්‍රදායී, සාමූහික ශ‍්‍රමය අවශ්‍ය, ගතානුගතික ක‍්‍රමෝපායන් උඩ පදනම් වෙද්දි තිරි`ගු වගාව නවීන, පුද්ගලික මුහුණුවරක් ගන්නවා. ගොවිතැන හින්දම බත බුලත තිබ්බම ඇති කියල පුරුදු වෙනවා. මඩ හෝදගෙන රජ පුටුවෙ ඉඳගන්න දවස එනකං බුලත් හප හපා ඉන්නයි තියෙන්නෙ.
මේ හින්දම වඩා අතීතෙට හැරිච්ච පරපුරක් ඇති වෙනවා. වඩා දූපතට වැහිච්ච සංස්කෘතියක් ඇති වෙනවා. කන එකෙන් අපි කවුද කියල තීරණය වෙනවා.
ඒත් ලෝකෙ දියුණු වෙනවා. වඩා පුද්ගලවාදී, මනසක් ඇති මිනිස් පිරිසක් නිර්මාණය වෙනවා. ඒ අය නව නව තාක්‍ෂණයන් හොයා ගන්නවා. බත් කලා බුලත් හප හපා ඉන්න අතරෙ මේ තාක්‍ෂණයන් අපිටත් මුණගැහෙනවා. ඒවා අනුව අපේ ජීවිත වල බල දේශපාලනයන් වෙනස් වෙන්න ගන්නවා. එතකොට නිරායාසයෙන්ම හි`ගනකම ඇති වෙනවා. හැමදෙයක්ම සිද්ද වෙන්නෙ එලියෙ මිසක් ඇතුලෙ නෙමෙයි. අපි දන්නෙ කන්නයි ඉන්නයි විතරයි.
මේක ජාතිය දිහා බලන ද්වේශසහගත විදිහක් කියල කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් අපි නැවත අපේ සැකැස්ම ගැන ක‍්‍රිටිකල් හිතීමකට යන්න ඕන කියලයි මට හිතෙන්නෙ. ඒක බැරිකමමත් අපේ දුප්පත්කමේ ලකුණක්.
කෘෂිකර්මාන්තය වඩාත් නිර්මාණශීලී වුණු යුගයක් තියෙන්න ඇති. වාපී සංස්කෘතීන් සහ මහා විහාර හැදුනෙ ඒ කාලෙ වෙන්නැති. ඒත් දැන් ඒ උරුමය අපේ කරුමයක් වෙමින් යනවා. අපි අපේ සිතීම කුඹුරෙන් එහාට නොගැනීමේ අවුල අපේ දේශපාලනික, සමාජීය, සංස්කෘතික හැම දේකින්ම පේන්න පටන් අරගෙන තියෙනවා.
මෑතක ජනාධිපතිතුමා අයවැය ප‍්‍රකාශය කරලා ඉවර කරපු විදිහ මේකට හොඳ උදාහරණයක්. ‘කොහොමද ගමේ බයියොන්ගෙ වැඩ?’ කියල මහින්ද රාජපක්‍ෂ අහද්දි ලංකාවට වෙලා තියෙන අවුල මොලේ තියෙන ඕන කෙනෙකුට දැනෙන්න ඕන. අපි රාජ්‍ය තන්ත‍්‍රය පවා ඒ තැනට අරගෙන ඇවිත්. මහින්ද කිව්වෙ ඇත්ත. අපි මේ අත්විඳිමින් ඉන්නෙ ගමේ බයියොන්ගෙ වැඩ තමයි. අපේ අධ්‍යාපනය, රටක් විදිහට සිතියමේ අපේ තැන, දකින දකින වතුර වල වටේ ඉදිවෙන වෝකින් පාත්, නැව් නොඑන වරායවල්, ප්ලේන් නැති එයාර් පෝර්ට්... එකී නොකී හැමදේම ගමේ බයියොන්ගෙ වැඩ.
මේ උරුමය හින්ද අපිට ගන්න පුළුවන් පැති දෙකයි තියෙන්නෙ. නලින්ද සිල්වා ගත්තොත් මේක හරියටම පැහැදිලි වෙනවා. එකක් එයා කියන අනුකාරකවාදය. ඒක තමයි කොළඹ අපි සංවර්ධනය කියල දකිමින් ඉන්නෙ. ඒක දකින්න විතරයි පුළුවන්. විඳින්න බෑ. ඒ විඳින්න ඕන කරන සංස්කෘතිය, ආත්මය එතන නෑ. එතන තියෙන්නෙ තහනමක් විතරයි. අන්තිමට දුවන්නෙ මොකටද කියල නොදැන අපි ඔහේ දුවනවා. මේක ගීතදේව ලස්සනට කියනවා. මං හිතන්නෙ රුවන් බන්දුජීවගේ කවියක් ඒක.
උයනක් කියන්නෙ මේකද?
උයනක් කියන්නෙ මේකද?
ලෑලි වෙන තුරු බඩවල්
පිරිමි දුවනා එකටද?
රවුම් වන තුරු පුකවල්
ගෑණු ඇවිදින එකටද?
නලින්ද සිල්වා චෝදනා කරන මේ අනුකාරකවාදය ඇත්තක්. ඒක එක ඔප්ෂන් එකක්. අනික නලින්ද සිල්වාම ඉන්න කුඹුර. අතීත මෝචනය. අපි ජීවත් වෙන ඕන තැනක්, ඕන කෙනෙක් දිහා බැලූවම මේ අන්ත දෙක අඳුරගන්න පුළුවන්.
අපිට ඉතිහාසෙන් සවිඥාණක අත්මිදීමක් අවශ්‍යයි. රොකට් එකක් වුණත් වායුගෝලය තරණය කළාට පස්සෙ පහල කොටස අත්හරිනවා. මේ කියන්නෙ ඉතිහාසය ප‍්‍රතික්‍ෂේප කිරීමක් නෙමෙයි. නව නිර්මාණාත්මක අර්තයකින් ඒක බාර ගැනීමක්.
මං සුජිත් අක්කරවත්තගෙ ලියවිලි වලට කැමති වෙන්නෙත් ඒකයි. මං හිතන්නෙ නෑ සුජිත් ඉතිහාසෙ ගැන ඇත්ත ලියනවා කියල. මං හිතන්නෙ නෑ කාටවත් එහෙම ලියන්න පුළුවන් ඇති කියල. සුජිත් කරන්නෙ ඉතිහාසය ලිංගික සහ වෙනත් නව මානයන්ගෙන් කියවන්න ගන්න එක. මේක ඉතිහාසෙට නෙමෙයි මාක්ස්වාදෙටත් වෙනවා නම් වැදගත්. කුඹුරෙන් එලියට බැහැලා ආයිමත් කියවන එක. තරමක් දුරට එහෙම වෑයමක්වත් දරන්නෙ වික‍්‍රමබාහු විතරයි.
ආයිමත් ජනාධිපතිවරණයක් එන්න යනවා. මං හිතන්නෙ තීරණය කරන්න තියෙන දේ ඉතාමත් සරලයි. ආයිමත් අපි ඡුන්දෙ දෙන්නෙ බයියන්ටද? නැත්තං රටක් විදිහට වෙනස් සිතීමක දිශානතියක් අපි පටන් ගන්නවද? ඒක ජනතාවක් විදිහට ගන්න ඕන තීරණයක් නෙමෙයි. තනි තනි මිනිස්සු විදිහට ගන්න ඕන තීරණයක්. ඒ තීරණය පක්ෂ නායකයන් වුණත් වගකීමක් ඇතුව ගන්න අවශ්‍යයි. එතනතදියි පොදු අපේක්‍ෂකයෙකුගෙ උවමනාව වැඩියෙන්ම දැනෙන්නෙ.
මේ හි`ගනකම වෙනස් කරන්න ඕන.
-චින්තන ධර්මදාස
මේකනම් එතරම් වැදගත් එක්කක් නෙමෙ...
ReplyDeleteමේක දාපු මනුස්සයාගේ හදවතේ තනා පටු අරමුණ.. හොඳට පේනවා.. එත් ලස්සන වැකියක් තිබුන එකටනම් පොඩි සිනහවක් සහ වැදගත් කමක්ක් පේනවා ..... හි. හි හි
ReplyDeleteලෑලි වෙන තුරු බඩවල්
පිරිමි දුවනා එකටද?
රවුම් වන තුරු පුකවල්
ගෑණු ඇවිදින එකටද?
ආත්මීය හිඟනකම ගැන මරු අදහස් ටිකක්!
ReplyDelete