Saturday, April 25, 2015

අප්පච්චි මළා....


ළගදි මගේ යාලූවෙක් එයාගෙ අලූත් පොතක් එළිදක්වන උත්සවයක් සංවිධානය කළා. ඒකට පරණ කතිකයො පෝලිමකටත් කතා කරලා තිබුණ.

‘මචං ඇයි අලූත් පොතක් පරණ විදිහටම එලිදක්වන්නෙ?’
මං යාලූවාගෙන් ඇහුවා.

‘අපි ඇත්තටම පරණ තැනෙන් ඉස්සරහට ගිහින් තියෙනවද?’
යාලූවා මගෙන් ආපිට ඇහුවා.

අපි තාම ඉන්නෙ පරණ තැනමද? නැත්තං අපි අලූත් තැන් පවා පරණ විදිහට තේරුම් ගන්න ට‍්‍රයි කරනවද? මං කල්පනා කළා.

අපේ කියවීම් සහ තේරුම් ගැනීම් තාමත් පරණ තැන්වලින්ම සිද්ද වුනත් මට හිතෙන්නෙ තාක්‍ෂනය විසින් අපේ කැමැත්ත අකමැත්ත නොතකා අපිව අලූත් තැනකට තල්ලූ කරලා තියෙනවා කියල. අපි මේ වෙද්දි වර්චුවල් ආත්ම සහිත මිනිස්සු. මුහුණට මුහුණ ගනුදෙනු වෙනුවට අපි කරන්නෙ ඔන්ලයින් ගනුදෙනු. ලංකාවෙ වුනත් අපි පාලකයො මාරු කරන්නෙ ෆේස්බුක් එකෙන්.

තවදුරටත් මේ සමාජය කියවන්න, අර්ථ ගන්වන්න පරණ තියරි වලින් පුළුවන්ද? නැත්තං මේ වෙන්නෙත් පැරදිච්ච මහින්ද බලන්න බස් පිටින් මැදමුලනෙ යනවා වගේම වැඩක්ද?

‘අප්පච්චි මළා. මිනිය කුණු වෙවී තියාගෙන වැඩක් නෑ වළලන්න  ඕන...’
විජිතමුනි සොයිසා කියපු කතාව මිනිහෙකුට නෙමෙයි යුගයකටම අදාලයි.

අපිව අලූත් අභියෝග වලට තල්ලූ කරන්න තල්ලූ කරන්න අපි පරණ දේවල් වලම එල්ලෙන්න හදනවා. අලූත් වීම තියෙන්නෙ වර්තමානය විසින් අතීතය අර්තකතනය කිරීමේ මිස අතීතය විසින් වර්තමානය අර්තකතනය කරන තැන නෙමෙයි. අපි ප‍්‍රගතිශීලී විද්වත් කතිකාවන් විදිහටත් නූගත් ජනතාවක් විදිහටත් කරමින් ඉන්නෙ එකම දෙයක්. වර්තමානය අතීතයට පාවා දීම.

කෝපි එකක් බොන්න ස්ටෙෆාන් මුනගැහුන වෙලාවක අතීතෙන් උගත හැකි පාඩම් ගැන අපි පොඩි කතාවකට වැටුන.

‘මචං අපිට කිසි දෙයක් නෑ අපේ අතීතෙන් ගන්න. රටක් විදිහට අපි අපේම රටේ මිනිස්සු එක්ක අවුරුදු 30ක් යුද්ද කරලා තියෙනවා. ඒ තමයි අපේ කලින් පරම්පරාවෙ තරම. ඉඩම් වලට, කුල වලට, ජාති වලට මරාගත්ත අතීතෙකින් අපිට ඉගෙන ගන්න තියෙන්නෙ මොනවද? මං කියන්නෙ අපේ අම්මලා තාත්තලාගෙන් අපි කිසි දෙයක් ඉගෙන ගන්න හොඳ නෑ...’

මේ වචනම නොවුනත් ස්ටෙෆාන් කියපු අදහස වුනේ මේක.

ඒක බරපතල ඇත්තක්. ආඩම්බර වෙන්න පුළුවන් අතීතයක් නෙමෙයි අපේ පිටිපස්සෙ තියෙන්නෙ. වර්ගවාදී, ජාතිවාදී, මානව විරෝධී, නිදහස් විරෝධී අතීත පරම්පරාවන්ගෙන් අපි මොනවා කියල ගන්නද? අතීතයක් පුරා අපේ පැවත එන්නෙ සමාජ රෝග විතරයි.

ඒත් අපි දැනුම හොයන්නෙ අතීතෙන්. විශේෂයෙන්ම ලංකාවෙ වගේ රටවල දැනුම භාෂාව මූලිකයි. භාෂාව හද්දා පරණයි.  අලූත් දැනුමක් හිතීමක් බාර ගන්න තරමට අපේ අතීතෙන් අපි නිදහස් නෑ.

සමහර විට මේක ථේරවාදී උරුමයක් වෙන්න ඇති. කටපාඩම් මූලික, ආචිණ්ණ කල්පික දැනුම් සම්ප‍්‍රදායක් තියෙන රටක අපි ඉන්නෙ. අනවශ්‍ය දැනුම වළදාන්න තාම අපි ලෑස්ති නෑ. කුණු ගඳ ගැහුවත් සාලෙ මැද්දෙ තියාගන්නමයි ට‍්‍රයි එක. ගොඩක් සිද්ද වෙන බුද්දිමය කතිකා සංවාද සංස්කෘතිකව පිළුණු වුණු ඒවා. අලූත් පරපුරක් හැදෙන්න එතන ඉඩක් නෑ.

අතීතය කියන්නෙ අපේ ඔලූවෙ තියෙන කල්පිතයක්. ඒක ඇත්තට තියෙන හෝ ඒ විදිහට පැවතුණු දෙයක් නෙමෙයි. ප‍්‍රසන්ටිසම් නැත්තං වර්තමානවාදීන් කියන අය මේ කතාව ගොඩක් ගැඹුරට විස්තර කරනවා. ඒ කියන්නෙ වර්තමානයේ නොපවතින කිසිම අතීත කාරණාවක් හෝ සංසිද්ධියක් සැබවින් නොපවතී කියලා ඒ අය තර්ක කරනවා. ඒ කියන්නෙ යමක් සැබවින් පවතින්නෙ ඒ පැවැත්මට අදාල සංදර්භය ඇතුලෙ විතරයි කියන එක. සංදර්භයෙන් තොරව යමකට අර්ථයක් හෝ පැවැත්මක් නැති වෙනවා.

ඒක මිත්‍යාවක් වෙනවා. මනස් ප‍්‍රබන්ධයක් වෙනවා. ඒත් අපිට අවශ්‍ය ප‍්‍රබන්ධ අර්ථ දෙන්න පුළුවන් නිසා අපි ඒ අතීතෙට ඇලෙනවා. ඉතිහාසය කියන්නෙම ඇත්තක් විදිහට නොපවතින ප‍්‍රබන්ධයක් වෙන්නෙ මේ තේරුම් ගැනීම ඇතුලෙ.

අපි අපේ විමුක්තිය හොයන්නෙ අතීතේ හිරගෙවල් ඇතුලෙ නම්
රැුකවරණය හොයන්නේ කවදාවත් වෙනස් නොවේ යැයි අපිට ඉගැන්නූ සිස්ටම් ඇතුලෙ නම්
හැ`ගීම් තමයි රුවලට අන්ධ විශ්වාසය විතරයි හයියට
සැබෑ නිදහසේ හුස්මක් නැතුව අපි කොහේවත් යන්නෙ නෑ ඉක්මනට

දෙවියො මැරිලා දැන් නළුවෙක් දෙවියන්ට ර`ගනවා නම්
එයාගෙ බියකරු වචන ලගීවී අපේ හිත් පතුලෙත්
හරි හමන් විචාරයක් නැති හැම විශ්වාසයක්ම සාපයක්
අතීතෙන් නිදහස් නැත්තං පිරිහෙනවා විතරයි හැමදාමත්

(ස්ටින්ග් විසින් ගයන ‘හිස්ටරි විල් ටීච් අස් නතින්ග්’ සිංදුවේ කොටසක දුර්වල පරිවර්තනයක්)

පොදු උදාහරණයක් විදිහට ගත්තොත්  ඕනම සංකීර්ණ, නූතන ජීවිත ගැටළුවක් ගැන කතා කරද්දි ලංකාවෙ කොතනක වුණත්, කවුරු හරි කෙනෙක් තාමත් බුදුනුත් කියලා තියෙනවා කියල මොකක් හරි උපුටාගැනීමක් කරන්නෙ ලොකු විශ්වාසෙකින්. භක්තියකින්. බුදුන් කිව්වා නම් ඒක වෙනස් වෙන්න බෑ වගේ හිතකින්. ඒත් බුදුන් කියපු දෙයක්ම වුනත් කොහොමද අද සංදර්භයට අදාල වෙන්නෙ? අද බුදුන් කියන්නෙ අපේ තනි තනි මනසෙ කල්පිතයක් විතරයි. බුදුන් තවදුරටත් ඇත්තක් නෙමෙයි, මිත්‍යාවක්. මේක අනිත් කොයි අතීත ආගමක් ගත්තත් එච්චරයි.

අපි කොයිතරම් අතීතවාදී විදිහට බාරගත්තත් බුදුන්ගෙ දැක්ම පදනම් වුනෙත් වර්තමානවාදයක. අතීතයේ හෝ අනාගතයේ නොරැඳී මෙතන මේ මොහොතේ පැවැත්ම බුදුන්ගෙ දැක්මේ පදනම වුනා. අතීතය කියන්නෙ රෝගයක් කියන එක බුදුනුත් දැනං හිටියා. ඒත් බුදුන් වදාල දහමටම පටහැනිව අපි බුදුන්ගේ දහම පාවිච්චි කරනවා.

මේ විදිහට අපිට අතීතය මාර වෙන්න දෙවිදියක් බලපාන්න පුළුවන්. එකක් අපිට ඒ දේ මාර වෙන්නෙ අපි ඒ දේ සමග ගත කළ ඒ කාලයට සාපේක්‍ෂව වෙන්න පුළුවන්. උදා විදිහට අපි පොඩි කාලෙ ටීවී එකේ බලපු කතාවක් ලොකු වෙලත් අපිට මතක මාර කතාවක් විදිහට. ‘දැන් ඒ වගේ කතා යන්නෙ නෑනෙ....’ අපි පරණ මතක රත්තරං කරනවා.

අහම්බෙන් අපිට ඒ කතා පෙළ ඞීවීඞී එකක හම්බුවෙනවා. අපි මාර එකෙන් ඒක බලන්න වාඩි වෙනවා. ඒත් ඒක දැන් කටේ තියන්න බෑ. සමහර වෙලාවට ඇත්ත එක බ්ලැක් ඇන්ඞ් වයිට් ඒත් අපිට මතක එක කලර්ඞ්. එදා කන්ටෙක්ස්ට් එක ඇතුලෙ ඒ කාලයට සාපේක්‍ෂව මාර වුණු කිසි දෙයක් අද මාර වෙන්නෙ නෑ. ඒක ෆිල්ම් වල ඉඳන් ඒ කාලෙ යාලූ වෙච්ච කෙල්ලො කොල්ලො දක්වාම එකයි. එක විදිහකට අපිට මේ අතීත කාරණා ගැන තියෙන මාරකම කියන්නෙ එක්තරා කාලයක අපේ වින්දන මට්ටම- තේරුම් ගැනීම ගැන කතාවක්.

තව විදිහකට අපිට අද බැලූවත් ඒ අතීත කතා පෙළ මාරම වෙන්න පුළුවන්. මට හිතෙන්නෙ වඩා දුක්ඛිත තත්වය වෙන්නෙ මේක. ඒ කියන්නෙ අපි ඒ අතීත මට්ටමෙන් එහාට තාම වැඩිලා නෑ කියන එක. කාලයට සාපේක්‍ෂව අපේ වින්දනය සහ අවබෝධය පරිණත වෙලා නෑ. ඇ`ග ලොකු වුනාට මොළේ හැදෙන එක නතර වෙලා. අලූත් ජීවිතේ අර්බුද විසඳන්න පරණ මතවාදම හොයාගෙන යන බුද්දිමය සගයො දැක්කම මට දැනෙන බය ඒක.

රටක් විදිහටම අපිට අතීතය බර වැඩියි. ජනගහනය විදිහටත් තරුණයන්ට වඩා වැඩිහිටියො වැඩියි. අනෙක් පැත්තෙන් අනුරාධපුරේ පොලොන්නරුවො ගල්කණු බර වැඩියි. ඉතිහාසෙ ආයිමත් කැරකෙනවා කියලා හිතාගෙන අපි අතීතෙ හාරනවා. ඉතිහාසෙ කවදාවත් එකම දෙයක් එකම විදිහට තාම දෙපාරක් සිද්ද වුනේ නෑ. ඉතිහාසයක් නැති රටවල් ඉස්සරහට යද්දි අපි පස්සට යනවා.

පැරදිලා ගිය මහින්ද ආපහු ගේන්න ද`ගළන දැ`ගලිල්ලත් මේ අතීතෙට යාමෙ උවමනාවෙම ලකුණක්. මහින්ද කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. මහින්ද කියන්නෙ සිංහල බෞද්ද අතීතය ගැන ප‍්‍රබන්ධය. (බුදුන්ගෙ ඥාතියා).  ඒ බොරුව නැති වුනාම ලොකු හිස්කමක් දැනෙන්න ගන්නවා. ‘මේකද යහපාලනේ?’ කියලා අහන්නෙ ඒ හිස්තැන. රජකතා බණකතා නැති ජීවිතයක් අපිට නෑ.

මේ මහා ප‍්‍රවාහයෙන් ගැලවෙන අතලොස්ස වෙනමම පොතක් පෙරලනවා. ඒ ගොල්ලො මහා වංශය වෙනුවට දාස් කැපිටාල් පෙරලනවා. තරාතිරමක් වෙනසක් නැතුව අපි ඔක්කොම අතීතවාදීන්.

එතකොට පරණ අත්දැකීම් වලින් ඉගෙන ගන්න නරකද?

පරණ අත්දැකීම් වලින් ඉගෙනීම සහ ඒ අත්දැකීම් අලූත් අත්දැකීම් වලට සීමාවක් කර ගැනීම කියන්නෙ දෙකක්. අපි අලූත් දේ අලූත් විදිහට බාර ගන්න මැළි වෙනවා. අලූත් දේ මානසික ලෙඩක නමකින් හෝ දේශපාලන අවුලක නමකින් ලේබල් කරනවා. ඒ ලේබල් කරන දැනුම අදාල වෙන්නෙ ඒ දැනුමට අදාල පසුබිමට විතරයි කියන එක අපි සහමුලින්ම අමතක කරනවා. ගොඩක් වෙලාවට ලංකාවෙ ප‍්‍රශ්න විස්තර කරන්න වෙන රටවල උදාහරණ ගන්න විද්වත්තු පවා පෙන්නන නොදැනුවත්කම ඒක.

අලූත් තත්වයන් විස්තර කරන්න අලූත් දැනුම  ඕන. ඒ අලූත් දැනුම ගන්න අලූත් විදිහට ඒ අත්දැකීම් වලට මුහුණ දෙන්න  ඕන. ඇත්තට මේ මොහොතේ අපි පැවැත්මක් විදිහට මුහුණ දෙන සංස්කෘතික, සාමාජීය, සාංදෘෂ්ටික අර්බුද විස්තර කරන්න කිසිම පරණ දැනුමකට පුළුවන්කමක් නෑ. ඒ හැම දැනුමක්ම උදව් වෙන්නෙ අපිට අලූත් තත්වය මගහැර ටිකක් පස්සෙන් ඉන්න විතරයි. උදා විදිහට මහින්ද එළවන්න සමහර ප‍්‍රගතිශීලී වාමාංශිකයො පවා කැමති වුනේ නෑ. ඒ අයගෙ කිව්වෙ මහින්ද එලවීමෙන් පස්සෙ ඇති වෙන තත්වයට තාම රට සූදානම් නැති හින්ද මහින්දව තියා ගන්න  ඕන කියල. මේ අනාරක්‍ෂාව ගැන ගුහාගත හැ`ගීම එන්නෙම අතීතවාදය ඇතුලෙ. ගොඩක් ප‍්‍රගතිශීලී කතා තියෙන්නෙ අතීතවාදයේ ගිලිලා. සද්දෙ අලූත් වුනාට වචන පරණයි.

මගේ යාලූවගෙ පොත ගොඩක් නූතන ජීවිතේ තැන් ස්පර්ශ කරනවා. සමහර තැන් ලංකාවෙ පළවෙනි වතාවට. ඒත් ඒ පොතට අර්ථකතන එන්නෙ පරණ කතිකාවකින්. ඒක හරියටම ලංකාවෙ සමහර අය පශ්චාත් නූතනවාදය ජාතක පොත ඇසුරින් පැහැදිලි කරන්න ගියා වගේ.

අලූත් දේකට අලූත් හැඩයක් දෙන්න  ඕන. අලූත් දෙයක් වුනත් පරණ හැඩයක් ඇතුලෙ නිකංම වැළලෙනවා විතරයි. මට හිතෙන්නෙ ගොඩක් දේවල් කරන්න කලින් අපි ලාංකිකයො විදිහට මතක් කර ගන්න  ඕන වදනක් තියෙනවා. ඒක නීට්ෂෙ කියපු ‘දෙවියන් මැරිලා..’ තරම්ම ප‍්‍රබලයි. අදාලයි.

‘අප්පච්චි මැරිලා.... මිනිය තියාගෙන මොකටද? .’


-චින්තන ධර්මදාස







4 comments:

  1. මේ ක්‍රමය තුළින් සදාචාරාත්මක අතින් පෝසත් සමාජයක් ඇති වෙයි කියල හිතනවද

    ReplyDelete
  2. Sting - History Will Teach Us Nothing ( Nothing like the sun)

    https://www.youtube.com/watch?v=RprN07SfFzc

    ReplyDelete
  3. Those who cannot remember the past are condemned to repeat it.
    - George Santayana

    ReplyDelete
  4. හැම සංකල්පයක්ම විකුණන්න පුලුවන් කියලද හිතන්නෙ ?

    ReplyDelete