Tuesday, May 10, 2016

ජ්‍යෙෂ්ට උතුමන්ගෙන් අවසරයි


මේ දවස්වල කැම්පස්වල රැග් ගැන කතාවක් ලොකුවට පැතිරීගෙන යනවා. හැම අවුරුද්දකම වගේ රැග් සීසන් එකට මේ විදිහෙ කතාබහ ඇවිලෙන එක සාමාන්‍යයක්. ඊට පස්සෙ කැම්පස් ඇතුලට පොලිසිය දැමීමේ ආණ්ඩුවෙ කුමන්ත‍්‍රණයක්, නිදහස් අධ්‍යාපනයට එරෙහි තව මොකක් හරි වගේ චෝදනා කැම්පස් පැත්තෙනුත් එල්ලවෙන්න ගන්නවා, හැමදාම. හරියට බැලූවොත් මේකත් රැග් එක එක්කම බැඳිච්ච සම්ප‍්‍රදායක් වගේ. කැම්පස්වලින් හැමදාම කියන්නෙ මේ එකම කතාව. 

ඒත් කාලෙන් කාලෙට කැම්පස් සහ පිටත අතර ඇතිවෙන මේ සංවාදෙදි කැම්පස් පැත්තෙන් මේ කතාව කියන පිරිස වෙනස් වුණා. අවාසනාවන්ත විදිහට ඒකත් එක්ක පුදුමාකාර මැටිබවක් ඒ පැත්තෙන් ප‍්‍රදර්ශනය වෙන්න පටන් ගත්තා. ඉස්සර මේ කුමන්ත‍්‍රණ ගැන කියද්දි මාධ්‍ය අනිත් පැත්තට අහන හරස් ප‍්‍රශ්න වලට යම් තාර්කික සහ සබුද්ධික බවක් පේන උත්තර ගේන්න ඒ හිටපු ශිෂ්‍ය නායකයන්ට පුළුවන් වුණා. ඒත් මේ අවුරුද්දෙ මේ කතාව කියන නායක නායිකාවන්ගෙ වීඩියෝ දැකලා මාව තිගැස්සුනා. ඒ අය වෙන මොකකටවත් වඩා පෙන්වමින් හිටියෙ තමන්ගෙ බුද්ධිමය හා තාර්කිකමය දුප්පත්කම. බරපතල තත්වය තියෙන්නෙ එතන. විශ්ව විද්‍යාල අධ්‍යාපනය විසින් බිහිකරන පිරිස් පවතින සමාජීය තත්වයන්ට සාපේක්ෂ දැනුමක් නැති අය වීම සහ ඔවුන් නිකම්ම තමන්ට දුන් කතාවක් කොලයක් බලාගෙන වගේ පුනරුච්චාරණය කිරීමත්. මේ අය මෙතැනින් පස්සෙ රජයේ නොයෙක් තනතුරු වලට යනවා. සමහරු කතිකාචාර්යවරු වෙනවා. දරුණුම තත්වය වෙන්නෙ ගොඩක් අය ගුරුවරු වෙන එක. ඊට පස්සෙ මුලූ සමාජයම මේ නොදැනුවත්කමෙන්, කටපාඩම් දැනුමෙන්, සහ තේරුමක් නැති ආවේගයෙන් ආසාදනය වෙන්න ගන්නවා. එතනදි වහාම මේ විශ්ව විද්‍යාල අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කරන්න හරි, පෞද්ගලීකරණය කරන්න හරි, වෙන කොයියම්ම හෝ ප‍්‍රායෝගික, තාර්කික ක‍්‍රමවේදයක් මේ වෙනුවෙන් නිර්මාණය කරන්න රජයේ බලධාරීන් මැදිහත් වෙන්න සිද්ද වෙනවා. තොග පිටින් මේ නිෂ්පාදනය කරමින් ඉන්නෙ දැවැන්ත සමාජ හානියක්.

සරලවම මේ අදහස විශ්ව විද්‍යාල පෞද්ගලීකරණයට සහයෝගය දැක්වීමක් විදිහට පේන්න පුළුවන්. ඒත් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට වඩා තාමත් රජයේ විශ්ව විද්‍යාල සංස්කෘතියෙ පවතින සාධනීය කාරණා තියෙනවා. මේ දකිමින් ඉන්න හීනතාවය- දිළිඳුකම ඒ විදිහටම තිබුණත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් බිහිවෙන උපාධිධාරීන්ට සාපේක්ෂව රජයේ විශ්ව විද්‍යාල වලින් බිහිවන අයගෙ යම් සුවිශේෂතාවයන් තියෙනවා. ඒවා හොඳ සහ නරක වෙන්න පුළුවන්. මගේ අත්දැකීමේ හැටියට පෞද්ගලික විශ්ව විද්‍යාල වලින්න බිහිවෙන අයගෙ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, නැත්තම් එම්පති වගේ සමාජ-බුද්ධිමය හැකියාවන් පැත්තෙන් ලොකු හිඩැසක් තියෙනවා. ඒ අය වඩා විවෘත, ලෝකය සමග සාපේක්ෂ සිතීමක්- දැනුමක් පළ කලත් අනෙකාව තේරුම් ගැනීම, පිරිසක් ලෙස සංවිධානය වීම, සන්නිවේදනය ආදී පැති වලින් රජයේ විශ්ව විද්‍යාල අයට වඩා දුර්වලයි (මේක අඩුලූහුඩුතා සහිත ප‍්‍රකාශයක්). මේක සාමාන්‍ය තත්වයක් විදිහට මං මෙතන ලිව්වත් මේ ගැන විධිමත් සමීක්ෂණයක් කිරීම වටිනවා. රජයේ විශ්ව විද්‍යාල වලින් තෝරාගත් පිරිසක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් තෝරා ගත් පිරිසක් අතර සියුම් බුද්ධිමය සහ මනෝමය වෙනස්කම් හඳුනාගත හැකි ආකාරයේ පර්යේෂණයක් මධ්‍යස්ථව පවත්වන්න පුළුවන් නම් අපිට මේ දෙපැත්තෙම සුවිශේෂතා සහ දුබලතා අඳුරගන්න පුළුවන්. ඒ විදිහෙ විධිමත් උපකරණයකින් අධ්‍යාපනයේ වෙනස්කම් මැනලා බලන එක අනිවාර්යෙන්ම සිද්ද වෙන්න  ඕන.

රජයේ විශ්ව විද්‍යාල වලින් එලියට එන පිරිස් ඉතාමත් අඩු මට්ටමේ දැනුමක්, සිතීමක් සහ අලූත් දෙයක් වෙනුවෙන් බෙහෙවින් මැලි බවක්, විරෝධයක් පළ කලත් ඒ සංස්කෘතිය විසින් ලබා දෙන වෙනත් සියුම් ශක්‍යතාවයන් ගොඩක් තියෙනවා. මම දන්න ඇඞ්වර්ටයිසින් කලාපයේ වුණත් මොරටුවෙන් බිහිකරන නිර්මාණ ශිල්පීන් සහ ඒ ඕඞී වගේ ආයතනයකින් බිහිකරන නිර්මාණ ශිල්පීන්ගේ කැපී පෙනෙන වෙනස්කම් දකින්න පුළුවන්. වඩා හොඳින් සමාජය තේරුම් ගනිමින්, පවතින තත්වයන්ට ඉක්මණින් අනුගත වෙමින් වඩා ප්‍රොඩක්ටිව් දෙයක් කරන්න රජයේ විශ්ව විද්‍යාලවල අයට පුළුවන් (මේක ඉතාමත් නරක විදිහටත් ඉතාමත් හොඳ විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්). අනෙක් පැත්තෙන් ‘අවුට් ඔෆ් ද බොක්ස්’ වර්ගයේ වැඩ කරන්නත්, ඒ හරහා අලූත් දිශානතීන් නිර්මාණය කරන්නත් ප‍්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් වල අය දක්ෂයි. ඒත් ගැලපීම, අනුගත වීම සහ සාමාන්‍ය තත්වයන් තේරුම් ගැනීම පැත්තෙන් තියෙන හි`ගකම නිසා ඒ අයගෙ අදහස් පාවෙන සුළුයි. බද්ධ වීම අඩුයි. (නැවතත් මගේ පුද්ගලික නිරීක්ෂණයක් විතරයි). 

මේකට හේතුව මේ කලාපයන් දෙකට බෙදී වෙන්වෙන සමාජ පංතිවල වෙනස වෙන්නත් පුළුවන්. ඒ ආයතන ඇතුලෙ සංස්කෘතිය වෙන්නත් පුළුවන්. ඉගැන්වීමේ රටාව වෙන්නත් පුළුවන්. ඒත් පැහැදිලිවම මේ ශක්‍යතාවන් දෙකොටස අතර මුහුවීමක් අපිට හොයන්න වෙනවා. ස්ටුඩන්ට් ලෝන් ක‍්‍රමයක් නිර්මාණය කරලා ඒ හරහා තමන් කැමති විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීමේ හැකියාව සහ අයිතිය ශිෂ්‍යයන්ට පැවරුවොත් මේ සීමාවන් ඉක්මවා හොඳ නරක ශක්‍යතාවයන් මුහුවෙන පරිසරයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙයි. 

ආයිමත් කතාව පටන් ගන්න තැනට ආවොත් මේ ලියන්න හේතුවෙච්ච රැග් එක ගැන ඇත්තටම මට තියෙන්නෙ පොසිටිව් අදහසක්. කොයිතරම් ප‍්‍රතිගාමී අදහසක් විදිහට පේන්න ඉඩ තිබුණත් රැග් එකට විරුද්ද සියලූ ප‍්‍රගතිශීලී අදහස්වලට ගරු කරමින් මං මේ අදහසත් මේසෙට ගේනවා. 

පාරෙ යන්න ඉගෙන ගත්තෙ රැග් එක හින්ද, සිංදු කියන්න ඉගෙන ගත්තෙ රැග් එක හින්ද, දත් මදින්න ඉගෙන ගත්තෙ රැග් එක හින්ද වගේ බොළඳ අදහස් කීපයකුත් කැම්පස් ගිය අය අතින් රැග් එකට පක්ෂව ෂෙයාර් වෙන්න ගත්ත. ඒවා ගැන කොහොම වුණත් රැග් එක ඇතුලෙ සිද්ද වෙන හොඳ දේවල් ටිකක් මං දකිනවා. එක එක දේශපාලන පක්ෂවලට තෙල් ගහන වැඩකට වඩා රැග් එක වගේ දේවල් හොඳ සමාජ-මනෝ අභ්‍යාස විදිහට පාවිච්චි කරන්න පුළුවන් අවකාශ.

එක පැත්තකින් මේ ජවිපෙට බර වමේ තෙල් ගැහිල්ල වුණත් කැම්පස් එන බහුතරය පැත්තෙන් ධනාත්මක වෙන්න පුළුවන්. (මං මේ කියන අදහස් මගේ කැම්පස් ජීවිතේ ගතවුණු කාලෙට සාපේක්ෂ වෙනවා) එක එක දුර පළාත් වලින් කැම්පස් වලට එන බහුතරය ඇත්තටම අපිට හිතාගන්න බැරි තරම් දුරස්ත, හුදකලා තැන් වල හිරවෙච්ච ජීවිත. පුද්ගලික නිදහස, අයිතිය වගේ නාගරික දියුණු කාරණා පැත්තෙන් රැග් එක වගේ දේවල් වලට එල්ල වෙන විවේචනවලට වඩා ඒවායේ ෆන්ක්ෂනල් කාරණා ගැන සාවධානව බලන්න  ඕන කියල මට හිතෙනවා.

නිදහස් අධ්‍යාපන ක‍්‍රමයේ නඩත්තු වෙන යල් පැන ගිය ක‍්‍රමවේදයන් හරහා හුදෙක් කටපාඩමින් හෝ වෙනයම් අනියම් බුද්ධිය හා සම්බන්ධ නොවෙන ක‍්‍රම වලින් වැඩි ලකුණු දාගත් බහුතරයක් කැම්පස් වලට සිලෙක්ට් වෙනවා. මේ බහුතරය කප්පාදු කළ යුතුයි කියල මං නොකියන්නෙ මේක රටක මානව සම්පතක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් සහ අවශ්‍යයි කියල හිතන හින්ද. මේ බහුතරය අතිශය අතාර්කික, වියුක්ත, විවිධ කර්කශ වටපිටාවලට අනුගත පිරිස්. මේ අයගේ බුද්ධිමය හැකියාව කට පාඩමෙන් එහාට එච්චර වර්ධනය වෙලා නැති වුණත් ජීවිතය තුල දේවල් දරාගැනීමේ හැකියාව අසාමාන්‍ය විදිහට වර්ධනය වෙලා තියෙනවා. ඒ එන්ඩියුරන්ස් එක කොහෙත්ම සුළුවෙන් තකන්න පුළුවන් ශක්‍යතාවයක් නෙමෙයි. 

ජවිපෙ හෝ අන්තරය විසින් මේ ගහන පොලිටිකල් තෙල නාගරික සුළුතරයක් ශිෂ්‍යයන්ට දිරවන්න අමාරු වීම ස්වභාවිකයි. ඒ ගැන මතුවෙන විරෝධයත් ඇත්තටම ධනාත්මකයි. ඒත් රැග් එක පිළිබඳ කාරණය විශ්ව විද්‍යාල අභ්‍යන්තරයෙ කතිකාවක්, කෙළගැනීමක් ඇතුලෙන්ම විසඳිය යුතු කාරණයක් මිසක් ඉහළින් හෝ පහළින් අත දැමිය යුතු කාරණයක් නෙමෙයි කියලයි මං හිතන්නෙ. රජයේ විශ්ව විද්‍යාල වලින් ලැබෙන අධ්‍යාපනයට වඩා වැදගත් ශක්‍යතාවයන් නිර්මාණය වෙන්නෙ මේ විදිහෙ අවිධිමත් උපසංස්කෘතික අභ්‍යාස හරහායි. උදා විදිහට පිකට් එකක් කිරීම, පෝස්ටර් ගැහීම, පොලිසිය සමග ගැටීම, කණ්ඩායම් විදිහට සංවිධානය වීම වගේ ගොඩක් දේවල් විශ්ව විද්‍යාල ජීවිතේ තියෙනවා. ඒවා පෙනී ඉන්න දේශපාලනික කාරණා අතිශය නොදියුණු බව ඇත්ත. ඒවා සළකන්න වෙන්නෙ යම් යම් ප‍්‍රායෝගික පුහුණු අභ්‍යාස විදිහට කියලයි මං දකින්නෙ. අනිවාර්යෙන්ම ඒ දේවල් හරහා සාමූහිකත්වය, සංවිධානය, එකිනෙකා තේරුම් ගැනීම වගේ හැකියා බන්ඩලයක් නොදැනීම වර්දනය කරනවා. 

රැග් එක පැත්තෙන් කිව්වොත් අපේ යම් යම් සීමාවන් ප‍්‍රසාරණය වීමට (ඉලාස්ටිසිටි) වැදගත් අවස්ථා රැග් එක ඇතුලෙදි මුණගැහෙන්න පුළුවන්. (රැග් එක ගැන ලාංකේය සීමාවෙන් මිදිලා ලෝක මට්ටමේ වින්දනයක් ගන්න රිචර්ඞ් ලැන්ක්ලැටර්ගේ ඬේස්ඞ් ඇන්ඞ් කන්ෆියුස්ඞ් බලන්න). මගේ අත්දැකීමකින් කිව්වොත්, අපේ රැුග් සීසන් එකේදී කැන්ටිමෙන් බිත්තර හෝ මාළු වගේ (ඒවට කිව්වෙ ස්පෙෂල්) දේවල් ගන්න තහනමක් තිබුණ. සාමාන්‍ය බත් එක විතරයි කන්න කැප. ඒ අතරෙ කවුරු හරි කෙනෙක් බිත්තරයක් අරගෙන අහුවුනොත් ෆ්‍රෙෂාලා පෝලිමේ ඉන්දවලා එකඑකාගෙ කටින් කටට බිත්තර කහමදේ මාරු කරන ද`ඩුවමක් දුන්නා. ඒක පට්ට අප්පිරිය වැඩක්. අන්තිමට කහමදේ දියවෙලා දියවෙලා දෙතුන් දෙනෙකුට වමනෙ යනවා. ඒත් ඒ රැග කෑවට පස්සෙ මගේ අප්පිරියාව ගැන තියෙන සීමාව වෙනස් වුණා. ඒක මහ ලොකු කාරණයක් නෙමෙයි. ඒත් සමහර විට නියුරො ලින්ග්විස්ටික් වගේ ප්‍රෝග‍්‍රෑම් වල සල්ලි ගෙවලා ඉගෙනගන්න සිද්ද වෙන දේවල් කැම්පස් රැුග් ඇතුලෙ නොදැනිම ඉබේ ලැබෙනවා.

ඒත් පුද්ගලික සීමාවන් එක්ක, එරියස් එක්ක රැග් ඇතුලෙ දරුණු තත්වයන් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මාධ්‍යවලට ප‍්‍රකාශ නිකුත් කරන ශිෂ්‍යයන් වගේ අතිශය පටු මානසිකත්වයන් ඇති අය අතින් මේ වගේ දේවල් වැරදි විදිහට පාවිච්චි වෙන්න ඉඩ වැඩියි. අනෙක් පැත්තෙන් රැුග් වෙන්න අකමැති හෝ ඊට විරුද්ධ මතයන් වලටත් නිදහසක් හා ඉඩක් තියෙන්න  ඕන (අලයෙක් වීමට තෝරා ගැනීමේ පුද්ගලික අයිතිය)

අන්තරේ තෙල් ගැහිල්ල වුණත් පොදු අර්තයෙන් ඒ තරම් නරක දෙයක් විදිහට මං දකින්නෙ නෑ. විචාරයක් සහිත අය ඒ අදහස් ගැන විවේචනාත්මක වෙද්දි විචාරයක් නැති අය ඒ දේවල් ඒ විදිහටම බාර ගන්නවා. ඒත් බහුතරය පැත්තෙන් ගත්තොත් කිසි අදහසක් නැතුව හිටපු පිරිසක් යම් අදහසකට සංවිධානය කිරීමක්, යම් සමාජ-දේශපාලන අත්දැකීමක් ලබා දීමක් මේ තෙල හරහා සිද්ද වෙනවා. ලංකාවෙ අපි හැමෝම වගේ ගත්තොත් දේශපාලනයේ පටන් ගැන්ම සිද්ද වෙන්නෙ ජවිපෙට හුරු අදහස් මාලාවක් හරහා. කාට වුණත් ඒ වගේ රතු මතක තියෙනවා. මට හිතෙන්නෙ ඒක හරියට තීන්ත ගාද්දි පළවෙනි කෝටින් එක වගේ. එතන කියවෙන අදහස් වලට වඩා එතනින් ඇති කරන හුරුව, න්‍යායික සංවාදය වැදගත් වෙනවා (පොලිටිකල් හෝඩිය). ඒක හරියට ඉස්කෝලෙ ගිය සහ නොගිය වෙනස වගේමයි. ඉස්කෝල ක‍්‍රමය විසින් කොයිතරම් සිරගත මානසික තත්වයන් ඇති කරනවා වුණත් ඒ හරහා සුවිශේෂ සමාජ-මානසික හැකියාවන් ටිකක් වර්ධනය වෙනවා. බෙසික් ඩිසිප්ලින් එකක් නිර්මාණය කරනවා. ක‍්‍රමය බිඳහරින නිදහස් මතධාරීන් සුළුතරයක් අවශ්‍ය වුනත් ක‍්‍රමය පිළිගන්නා බහුතරයක් ප‍්‍රායෝගික පැවැත්මට  ඕන වෙනවා.

රැග් එක වධයක ස්වරූපයෙන් ඉවත් කරන්න දරන උත්සාහයට වඩා ඒක නිර්මාණාත්මක නියුරො ලින්ග්විස්ටික් අභ්‍යාසයක් විදිහට දියුණු කරන එකයි වැදගත්. ඒකට දේශපාලනික ව්‍යාපෘති ඒ හරහා දියත් වීම හෝ ඒ හරහා සිද්ද වෙන වාත තත්ව වළක්වා ගැනීම වගේම එයින් සිදුවන හොඳ තත්වයන් ගැනත් මැදිහත්ව බලන්න වෙනවා. විශේෂයෙන්ම සම්ප‍්‍රදායක් හැටියෙන් ප‍්‍රජාවන් තුලින් ඇතිවුණු තත්වයක් ගැන බලහත්කාරී තීරණවලට එළඹෙනවට වඩා ඒ හරහා සිද්ද වෙන කෘත්‍යමය වටිනාකම් ගැන සබුද්දික තක්සේරුවකට එන්න වෙනවා.

මේක ටිකක් විවාදාත්මක මාතෘකාවක්. එතකොට විශ්ව විද්‍යාලෙ නොගිය අයට මේ විශේෂ සමාජ කුසලතාවයන් නැද්ද කියල ප‍්‍රශ්න කරන්න පුළුවන්. ඒත් ඒකෙන් විශ්ව විද්‍යාල ඇතුලෙ මේ කුසලතාවයන් නිර්මාණය වෙන්න යම් උදව්වක් තියෙනවා කියන එක නිශේධනය වෙන්නෙ නෑ. රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ගැන තීරණ ගනිද්දි අපි එතන ඉන්න බහුතරය ගැන හරි වැටහීමක් ඇති කරගන්න  ඕන. විශ්ව විද්‍යාල කාලෙ පුරාම කෙල්ලන්ට ඩෙනිම් අන්දවන්න, ටීෂර්ට් ඇඳගෙන ලෙක්චර්ස් යන්න, රබර් සෙරෙප්පු දාන්න වගේ නොයෙක් බොළඳ නිදහසවල් ගැන වලිදාපු මට අන්තිමට බැචෙක් මෙහෙම කතාවක් කිව්වා.

‘මචං මං කැම්පස් එනකොට දන්නෙ කුඹුරෙ පඹයො හිටවන්නයි කුරුල්ලො එලවන්නයි විතරයි. සපත්තු දාන්න, ටයි අඳින්න, ටොයිලට් යන්න පවා මං පුරුදු වුනේ කැම්පස් එකෙන්. උඹලට ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒත් අපිට කැම්පස් එක කියන්නෙ ජීවිතේ ලොකු වෙනසක් මචං. ඒ ගැනත් කල්පනා කරපං’’ (දැන් තත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්)

අපිට මේ ගැන දාහකුත් විවේචන තියෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්නෙ අපිට ඌව ඇහෙනවද කියන එකයි.

-චින්තන ධර්මදාස


13 comments:

  1. නවක වදය යනු හිංසා කිරීමයි. එයට මහ ලොකු අර්ථකථන විශ්ලේෂන ආදිය දීලා අමුතු එකක් ලෙස පෙන්නුවට ඒක නිකම්ම ජරා තගරි එකක් පමණයි. සාමාන්‍ය අපරාධකරුවන් ලෙසම අහුවෙන නවක වධකයන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ.

    ReplyDelete
  2. මම පහුගිය අවුරුදු 20 තුල යුරෝපයේ සහ ලතින් අමෙරිකාවේ විශ්ව විද්‍යාල හතරක සේවය කරලා තියෙනවා. ඉගෙන ගෙනත් තියෙනවා. නමුත් කවරදාකවත් ලංකාවේ වගේ වද හිංසනයක් දැකලාවත් අහලාවත් අත්විඳලාවත් නෑ. ඒ අතින් බලපුවාම ලංකාවේ විශ්වවිද්යාලවල ඉන්න අයගේ වද තර්කය අමූලික බොරුවක්. හිංසාව ගෙදරදි උනත්, පාසැලේ උනත්, කාර්යාලයේ උනත් හිංසාවමයි.

    ReplyDelete
  3. අන්තරයට ජය වේවා. අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්වවිද්‍යාල පරද්දවල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. එත් දිස්ත්‍රික් කෝටා එකට අඩු උසස්පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය ගැන නම් දුකයි. ඒ අයට අනාගතයක් නැහැ. අන්තරේ මේ අයව පාරවල් වල දක්කන්නවා , මේ අයට ඉංග්‍රීසි බැහැ , පරිගණක හැකියා නැහැ , කළමනාකරණය දන්නේ නැහැ . අන්තරේ මේ අයට උගන්වන්නේ පෝස්ටර් අඳින්න, පෝස්ටර් අලවන්න, කැට හොල්ලන්න , මහා පාරේ වේලෙන්න. ඉතින් ඉංග්‍රීසි දන්න, පරිගණක , කළමනාකරණ හැකියා තියන බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගත්ත අපි ලංකාවට ආවාම අන්තරේ කාබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන සෝම්බිවරුන්ට අපි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඉතින් ඕනෑම ආයතනයක තැන තියෙන්නේ උඩට යන්නේ අපි. අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු නුපුහුණු ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා.

    ReplyDelete
  4. //රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ගැන තීරණ ගනිද්දි අපි එතන ඉන්න බහුතරය ගැන හරි වැටහීමක් ඇති කරගන්න ඕන//

    රජයේ විශ්වවිද්‍යාල වල සාදනිය ලක්ෂණය පෙන්වන්න ඔබ ගන්නේ බහුතරය තුල ඇති සුළුතරයක් උදාහරණ ඔබ //මම දන්න ඇඞ්වර්ටයිසින් කලාපයේ වුණත් මොරටුවෙන් බිහිකරන නිර්මාණ ශිල්පීන්//

    මොරටුව විශ්වවිද්‍යාලය ගැන කියනවා, මොරටුව තමයි නවකවදය ගැන කිසි ලෙසක ඉඩනොදෙන සහ යම් විදියකින් මෙවැනි තත්වයක් ඇත්තනම් අඩුම සහබගිත්වය තියෙන්නේ.

    පසුගිය දිනවල නොයෙක් විශ්වවිද්‍යාල විරෝදතා වලට සහබාගි උනත් මොරටුව සහබාගි උනේ නෑ නේද ?

    එතකොට මෙතන ඇති පරශ්නය පුද්ගලික විශ්වවිද්යාල වල ළමයි හැකි ඉක්මනීන් තම ඉගැනීම කිරීමට උත්සාහ කරනවා මොකද බැරි වෙලාවත් රිපීට් උනොත් විසාල වියදමක් දැරීමට සිදුවෙන නිසා, නමුත් රජයේ රජයේ විශ්වදිද්යාල එසේ නෙමෙයි.

    දැන් ඔබ මේ නවකවදය ලෝකයේ ඉහලම විහ්වවිද්යාල වල නැතිව එම ශිෂ්‍යයන් නවීන නිපයුම් ලෝකයට ලබාදෙන අතර ඔබ කියන නවකවාදයෙන් පන්නරය ලබන පිරිස රජයේ රැකියාවක් ලබාගැනීමට හිගමනේ යන්නේ අයි ?

    ඔය පන්නරය පාවිච්චි කරල තමන්ගේම ආයතනයක් පටන්ගෙන දියුණු වූ අය කීදෙනෙක් ඉන්නවද ?
    ඇයි යාපන විස්වාවිද්යාලයේ මෙවැනි දේ සිදු නොවෙන්නේ ? ඒ ළමයි හොදට ඉගනගන්නවා නේද ? ඔබට මතකද ඔවුන් අන්තරයේ ශිෂ්‍යයන්ට ගහල එලව ගත්ත. ඔවුන් දන්නවා ඉගැනීමේ වටිනාකම.

    මේ නවක වාදය නිසා වෙන්නේ කිසි පන්නරයක් ලැබීම නෙමෙයි එහෙම ලැබෙනවානම් කරන්න ඕනේ කොමාන්ඩෝ පුහුණුවකට යවන එකයි.

    ප්‍රායෝගික ලෝකය දෙස බලන්න ඔබ ඉන්න සුරංගනා ලෝකය කදාවටිල බොහෝ කල්

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණාව නිවැරදි වෙන්න ඇති. ඒත් ලෝකයට උවමනා උසස්තම අනගිතම නිපැයුම් කරන කීපදෙනෙක් විතරද? මට හිතෙන්නෙ අධ්‍යාපනයේ භූමිකාව ඊට වඩා විශාලයි. සීමිත කාලයක විභාග සමත්වීමේ ඇකඩමික පුහුණුව සහ ඒ කාලය තුල විවිධාකාරයේ සමාජ දේශපාලනික ක‍්‍රියාකාරකම් අත්හදා බලමින් ලබන පුහුණුව යන දෙකේම වාසි අවාසි තත්ව පෙන්නන්න පුළුවන්. මට අනුව වඩා වැදගත් වෙන්නෙ මේ කාරණය ගැන විධිමත් සමාජ පර්යේෂණයක් කරන එකයි. අපි කිසි දෙයක් ගැන ඒ විදිහට විද්‍යාත්මක තක්සේරුවකට එන්න අකමැතියි. ඒ වෙනුවට තම තමන්ගේ සීමිත අත්දැකීම් වලින් උත්තර හොයන්න යනවා.

      Delete
    2. moratuwa sishya satan walata madihath wune na kiyanna ba..

      Delete
  5. අර බිත්තර කහ මදෙන් අප්පිරියාව නැති වෙච්ච කතාවට සම්පූර්ණ එකඟයි... වෙන කියන්න දෙයක් නෑ...

    ReplyDelete
  6. ඔය කෑගහන අය කාගෙන් හරි අහගත්ත හෝ හිතෙන් හදාගත්ත මනෝවිකාර මතයි උඩ පනින්නේ. ඉඳහිට සීමා ඉක්මවා යන සිදුවීම් වෙනව නම් ඒවාට එරෙහි වීම අදාළ ප්‍රජාවගේ වැඩක්. විශ්වවිද්‍යාල වලට බබ්බු යවන්න එපා. වැඩිහිටි සිසුන් යවන්න.

    ReplyDelete
  7. Rag eka ona ekata eka vidapu nathi alayo thama nawaka wadayata baninne rag kapu minissunta thiyenne hageem vitharai alayonta thiyenne daneem vitharai

    ReplyDelete
  8. මානව සබඳතා වැඩෙන්නේ එකිනෙකා අතර ඇතිවෙන සුහද සම්බන්දතා තුලින්. කෙනෙක් අනිකාට වඩා ඉහලින් සිට පාලනය කිරීම හෝ කන මිරිකා ටයි එක පලඳින හැටි හෝ සමාජයට අනුගතකරවීමට හෝ බලහත්කාරය අවශ්‍යනොවිය යුතුයි. කිසිවෙක් තවකෙකුට බලහත්කාරකම් කිරීම හෝ මෝඩ චූන් දැමීම, ඇන්දවීම පෞද්ගලිකවම පිලිකුල් කරනවා.

    ReplyDelete
    Replies
    1. නියුරෝ ලින්ගියුස්ටික් ප්‍රෝග්‍රැම්ස් කියන්නෙත්, නායකත්ව පුහුනු කඳවුරු වගේ කේස් එකක්ද?

      Delete
  9. I am a Peradeniya Science graduate and currently serving as Professor and Research Leader in a leading US university. I really enjoyed my first year ragging period. It was all fun for the young life and no one did anything to hurt us. I think the ragging culture was changed into a physical torture after all radical political ideologies started booming in the campuses. I still recall the sweet memories of my life in Peradeniya and most importantly the ragging season! It has all changed over the years and the worst part is the declining of academic quality.

    ReplyDelete
  10. අපේ රටේ තියන සියලුම ජරා ජීරණ වූ අනිකුත් දේ සේම මෙයටද මුඋලික හේතුව අප නීතියක් නැති රටක ගෝත්‍රිකයන් සමග ජීවත් වීමට සිදු වීමය්.
    රටක නීතියක් තිබේ නම්, එය ක්‍රියාත්මක කිරීමට පාලකයින් කටයුතු කරය් නම් මේ කිසිම දෙයක් ප්‍රශ්න බවට පත්වන්නේ නැත.

    කොල්ලෝ රැග් කරන්නේ නැත, හොරු ගෙවල් බිදින්නේ නැත, බස් එලවන උන් අහිංසකයන් යට කර මරා දමන්නේ නැත, දොස්තරලා උද්ගෝෂණය කරන්නේ නැත, ත්‍රී වීල් කාරයෝ හිතෙන ගණන් ගන්නේ නැත, කෙල්ලොන්ට බස් වලදී අතවර වෙන්නේ නැත .... තව ලියන්නට ඉඩ මදිය.

    ඒ නිසා ප්‍රශ්නයේ බීජ මුලය සොයා පිළියම් නොයොදා මේවාට විසඳුම් සෙවිය නොහැක. අපට හැමදාමත් මේවා කතාකර කර, TV වල RADIO වල පොර ටෝක් දී දී සිටිය හැක.

    ReplyDelete