Friday, August 26, 2016

බල්ලො ගොඩක් මැද පූසෙක්..


(රාවය පුවත්පතේ "කියනු මැන දිවි අරුත" අතිරේකය වෙනුවෙන් ලියන ලද්දකි)

මං මිනිස්සුන්ව දකිනවා ප‍්‍රධාන කොටස් දෙකක් විදිහට. පූසො සහ බල්ලො. එතනින් මං වැටෙන්නෙ පූසන්ගෙ කාන්ඩෙට. තනියි. පොකුරුවාසී ජීවිතේට අකමැතියි. තනි නිදහස ගැන උපරිමෙන් හිතනවා. ඒත් ගොඩක් වෙලාවට සමාජ දේශපාලන වැඩවලදි අපිට මුනගැහෙන්නෙ බල්ලො. සාමූහිකයි. රැලේ තීරණයට යනවා. ඉතිං මගේ බරපතල නොපෑහීමක් තියෙනවා මං ගැවසෙන විෂය ප‍්‍රදේශයත් එක්ක.

ඇත්තටම ඇයි පූසෙක් සමාජ කාරණා ගැන උනන්දු වෙන්නෙ? එතනදි මේ අවුල අහුවෙනවා. මට සමාජය කියන්නෙ මගෙන් පිටත පවතින දෙයක් නෙමෙයි. ඒක මගේ පුද්ගලික ජීවිතය සමබන්ද කාරණයක්. මං නොදන්නා කලාපයක මගෙන් බාහිර දෙයක් වෙනුවෙන් මං පෙනී ඉන්නෙ නෑ. මගේ සාකච්ඡුාව තියෙන්නෙ මගේ අවට ගැන. මගේ නිදහස ගැන. මට හිතෙන්නෙ හැම මනුස්සයෙක්ම ඒ විදිහට තමන්ගෙ ජීවිතේට දැනෙන තැනින් ප‍්‍රශ්න ගැන කතා කළොත්, තමන්ගෙන් බාහිර ඔබ්ජෙක්ටිව් කියල මවාගත් තැනකින් නැතුව, අපිට විවාදයක් නෑ. එතන තියෙන්නෙ සංවාදයක්. මනුස්ස ජීවිත හුවමාරුවක්.

මං නැවත නැවත පරීක්ෂා කරන්නෙ මාව. ගොගොල්ස් දෙකක් සහ ඔක්සිජන් ටැංකියක් අරගෙන සහ නැතුව මං නැවත නැවත කිමිදෙන්නෙ මගේ හිතුවිලි පතුලට. මට දේශපාලනය, දර්ශනය, විද්‍යාව, මිත්‍යාව හැමදේම මුනගැහෙන්නෙ මගේ ආත්ම පතුලෙදි. ඒක අන්තිම සාපේක්ෂයි. මං කැමතියි සාපේක්ෂ පුංචි පුංචි සත්‍යයන් දහස් ගානකින් හැදිච්ච ලෝකෙකට. අනිත් පැත්තට මං අකමැතියි එක සත්‍යයකින් ජීවිතේ ඉසව්වක්ම වහගන්න සමතල ලෝකෙකට. මං සමානකම් වලට වඩා වෙනස්කම් වලට ආසයි.

මං ලෝකෙ සියල්ල විශ්වාස කරන කෙනෙක්. ඒ මතුපිට සත්‍යය හෝ අසත්‍යය කියන කාරනයට වඩා මං ආකර්ශනය වෙන්නෙ ඒ සත්‍යය හෝ අසත්‍යය පැන නගින උවමනාව ගැන. ඒකට සම්බන්ද පැවැත්මීය කාරණය ගැන. එතනදි මට අපේ රටේ ගොඩක් වෙලාවට මුනගැහෙන්නෙ සර්වයිවල් කියන උත්තරේ. ඒක හරිම බාල තැනක්. අපි සර්වයිවල් කියන තැනින් තීරණ ගන්නවා කියන්නෙ කිසිම දවසක මනුස්ස පැවැත්මෙ උපරිම ආනන්දයන් (ආතල්) ගන්න ලැබෙන්නෙ නෑ. ලෝක ලංකාව වගේ වුනානම් කවදාවත් කවුරුවත් අභ්‍යවකාශෙට යන්නෙ නෑ.

තේරුම් ගැනීමේ ගැඹුරු සාධනාවක් විදිහට මං සයිකඩෙලික්ස් විශ්වාස කරනවා. එක්ස්ටී‍්‍රම් එකකට ගිහින් කියනවා නම් සයිකඩෙලික්ස් පාවිච්චි නොකරන මිනිස්සු ජීවිතේ ගැන කියන ගැඹුරු කාරණා මම සීරියස් ගන්නෙ නෑ. අපිට සයිකඩෙලික්ස් අනිවාර්යෙන්ම  ඕන වෙනවා සාමාන්‍ය පොදු පැවැත්ම විසින් අපි ඇතුලෙ හදපු ආකෘතීන් ගලවගෙන යන්න. උදා විදිහට එල්එස්ඞී වගේ සයිකඩෙලික් එකක් තමන්ගේ පැවැත්ම ගැන දෙන ගැඹුරු අවබෝධය හැම සිතීමක් සහිත මනුස්සයෙකුටම ලැබෙන්න  ඕන දෙයක්. එහෙම නැති වුනාම අපි විකාරසහගත විදිහට මනුස්ස ජීවිතය බාල්දු කරන සුළු සාමූහිකත්වයක් නඩත්තු කරමින් ඉන්නවා.

මට පුළුවන් තාර්කිකත්වය වගේම අතාර්කිකත්වය ඇතුලෙත් ජීවත් වෙන්න. ඇත්තටම නං මට තාර්කික දේවල් සෑහෙන බෝරිං. ඒ වගේම මිත්‍යාව ඇතුලෙ මට විද්‍යාවට වඩා ගොඩක් ඇත්තවල් මුනගැහෙනවා. මට ලෝකෙ කිසි දෙයක් සැබෑ හෝ ස්වාභාවික නෑ. හැම දෙයක්ම ගොඩනැංවීම් වගේම හැම මනුස්සයෙක්ම තමන්ගෙ ජීවිතය ඇතුලෙන් ඒ ගොඩනැංවීම් යම් පමනකින් හෝ සංස්කරණය කරන්න  ඕන. ඒක තමයි ශිෂ්ටාචාරය.

පුද්ගලික පටන් ආයතනික දේවල් දක්වා පාලනය හෝ අධිකාරිමය සියල්ල මට අවුල්. ඒ වෙනුවට මං විශ්වාස කරන්නෙ සියලූ හොඳ සහ නරක මිනිස් ආශාවන් අනෙකාට හානිකර නොවන විදිහට මුදාහැරිය හැකි සමාජ අවකාශයක් ගැන. ඒත් ඒ අවකාශය නිර්මාණය කරන්න අපිට  ඕන වෙනව සවිඳාණක පුරවැසියෙක්.

ඒ ගැන සිද්ද වෙන සාකච්ඡුාවෙදි හැමතිස්සෙම,
මම බල්ලො ගොඩක් මැද පූසෙක්..

-චින්තන ධර්මදාස

5 comments:

  1. බල්ලෙක්ද පූසෙක්ද කියල තීරණය වෙන්නේ උපන් වෙලාව සහ ග්‍රහ පිහිටීම් මතයි.අපේ මේ බ්ලොග් ලියන භෝතිකවාදී රැඩිකල් මහත්තුරු අපිට කියා දීල තියෙන්නේ එහෙමයි.

    ReplyDelete
  2. බලු වැඩ කරන පූsex

    ReplyDelete
  3. බල්ලො ගොඩක් මැද පූසෙක් ද, බල්ලො පූසංගෙ ඇඟේ එල්ලිලා ඉන්න මැක්කෙක් ද?

    ReplyDelete
  4. අවුරැදු 50 60ක් පරණ, එහෙන් මෙහෙන් කියවල, කියවපු තැන් අමතක වෙච්ච මේ වගේ ප්ලේජරයිස් පෝස්ට් මොඩනිස්ට් කුරැවල් ජීවන දහම්වලට අපේ රටේ දැනුයි අනුගාමිකයො හැදෙන්නෙ. මිත්‍යා විශ්වාස, මලවුන්ගෙන් නැගිටීමේ මිතුරැ හවුල්, කේන්දර, හක්ගෙඩි, මාවෝ සේතුං, නව-ස්ටැලින්වාදය ආදී ඒව එක්ක එකතුවෙලා ෆේස් බුක් වගේ උපසංස්කෘති ඇතුලේ මේව ආපහු ආපහු පැලවෙනවා කාක් බෝ වගේ. වෙන රටවල නම් මේවට එකතුවෙන්නෙ මැද වයසේ සෙකස් ඇරියස් ලයිෆ් ක්‍රයිසිස් කාරයෝ.

    ReplyDelete
  5. උපමා තේ හැන්දයි, ලිබරල් තේ හැන්දයි, ස්වයං විචාර තේ හැන්දයි, සාංදෘෂ්ටිකවාදී තේ හැන්දයි, රැඩිකල් තේ හැන්ද යි, පශ්චාත් නූතනවාදි තේ හැන්ද යි, අරාජිකවාදී තේ හැන්දයි (ඡේද පිළිවෙලට බව කරැණාවෙන් සලකන්න) කලතා ලියා ඇති මාරාන්තික ලියවිල්ලකි.

    ** කම්මැලිකමෙන් සිටින අපිට ක්‍රියේටිව් කොමෙන්ට් ලියා ආතල් ගැනීමට ඉඩ සැලසීම ගැන තුති!

    ReplyDelete