Friday, March 30, 2018

අලින්ගෙයි කූඹින්ගෙයි වැඩ




කූඹියෝ දැන් ඉවර හින්ද ඒ ගැන මගේ තියෙන අවංකම අදහස් එලියට දැම්මට කවුරුවත් තරහ වෙන එකක් නෑ. ඒ නාට්ටිය හදපු උන් වෙනුවෙන් වුනත් මට කරන්න පුළුවන් හොඳම දේ ඒක කියලයි මං හිතන්නෙ.

කූඹියෝ මාත් පැල් බැඳගෙන බලපු ඩ්‍රාමා එකක්. සෙනසුරාදා ඉරිදා කොටස් දෙකම එකතු කරලා එකට බලන ආතල් එකකට මං ලොල් වෙලා හිටියෙ. ලංකාවෙ ටෙලි කියන කිසිම දෙයක් බලන එක අත්ඇරලා හිටපු මාව කූඹියෝ ආපහු ටීවී එකට ගෙනාවා. ටීවී එක යූටියුබ් එකට ගෙනාවා.

කූඹියෝ කියන්නෙ මට මාර නාට්ටියක් නෙමෙයි. ඒත් කූඹියෝ කියන්නෙ මාර වැඩක්. නාට්‍යයක් විදිහට ගත්තොත් ඒකෙ ප්ලොට් එක හිල් ගොඩක්. මුලදි ඉන්න ජෙහාන්ව එකපාරට කරකවලා නොම්මර එකේ ගේම්කාරයෙක් කරන එක කොහෙත්ම විශ්වාසනීය විදිහකට ගොඩනැගිලා තිබුනෙ නෑ. ප‍්‍රියන්තව ටේ‍්‍රන් කරවන්න කරපු වැඩ කියල පස්සෙ හිතාගන්න සිද්ද වෙන, මුලදි කරපු සගරා ගහන, එලවළු බෙදන වැඩ කතාවෙ නිකං එල්ලිලා තියෙන දේවල් වගෙයි. කතාව ඇත්තටම පටන් ගන්නෙ ශාක්‍යා හෝල්ඩින්ග්ස් එක ඇතුලෙ ඉඳන්. යුරේනිගෙ චරිතෙ විතරක් නෙමෙයි ප්‍රියන්තගෙ වගේ දැවැන්ත චරිත පවා අන්තිම වෙද්දි හොඳටම අබ්බගාත වෙනවා. ගොළුවෙලා වඳවෙලා යනවා. අන්තිම කොටස් කීපයකම ප්‍රියන්තට තිබුනෙ ඔහේ හිටං ඉන්න විතරයි. කතාවෙ සම්පූර්ණ ඉමෝෂනල් ලින්ක් එක නිරාපරාදෙ අත්ඇරගන්නවා.

ඒ වගේම ටීවී සීරීස් එකක් විදිහටත් කූඹියෝ ඉතාම අසාර්තක සැකැස්මක්. කතාවෙ මුල ටික පට්ට බෝරිං වෙන්නෙ තනිකරම ප්‍රියන්ත සහ ජෙහාන් කියන චරිත දෙක උඩ කතාව දුවන හින්ද. උන් දෙන්නා සතියෙන් සතිය මොකක් හරි විකාරයක් කරන ගානට වැටෙනවා. සාමාන්‍යයෙන් ටෙලි සීරීස් එකක් හොඳට දුවන්න නං හොඳට පැතිරෙන්න  ඕන. සබ්ප්ලොට් හැදෙන්න  ඕන. වෙන වෙන අතුරු පාරවල් වල යන්න  ඕන. ඒත් කූඹියෝ දුවන්නෙ තනි කෙලින්. ඊටත් වඩා එකතැන උඩයට කැරකෙන අභව්‍ය ප්ලොට් ට්විස්ට්.
කතාවෙ ඇත්ත චරිතය ජෙහාන් නෙමෙයි, ප්‍රියන්ත. ප්‍රියන්තගෙ ර`ගපෑම වගේම ප්ලොට් එකෙන් දීලා තියෙන ස්පේස් එකත් වැඩියි. ජෙහාන්ගෙ චරිතය ඒකාකාරීයි. එකම හිනාව. එකම දෙබස්. ෙප්‍රඩික්ටබල් ඇක්ටින්. ඒත් ප්‍රියන්තට වඩා ජෙහාන් පොප්. නිතර එකම රංගනය, එකම දෙබස් කියන චරිතයක් ලේයර්ස්වලට ගැඹුරට ගමන් කරන වේරියේෂන් තියෙන චරිතෙකට වඩා ජනප්‍රිය වෙනවා. රජිනි කාන්ත්, ෂාරුක් ඛාන්, අමිතාබ් මේ හැමෝම ලොකු කැරැක්ටර් ඩෙප්ත් වලට ගිය අය නෙමෙයි. ඒ හින්දම හිට් සහ පොප් අය. නවසුදින් සිද්දික් වගේ චරිතයක් එක්ක සංසන්දනය කළොත් මේක හරියටම තේරෙනවා.

ඒ නිසාම ජෙහාන් ජනප්‍රිය නළුවා වෙන එක අන්තිම සාධාරණයි. එහෙම තමයි ඒක වෙන්නෙ.

මෙහෙම තියෙද්දිත් මං කූඹියෝවලට පට්ට කැමති ඇයි? කූඹියෝ ටෙලි ඇතුලෙ කරන්න හදන නිර්මාණාත්මක වැඬේ මීට කලින් කවුරුවත් කරලා තිබුනෙ නෑ. තමන්ගෙ ආර්ට් හරි සම්භාව්‍ය හරි කියන සීමාවෙන් ගැලවිලා ජනප්‍රිය රැල්ලෙ තියෙන කෑලි එක්ක හැප්පෙන වැඩක් කරන්න කවුරුවත් ට්‍රයි කළේ නෑ. නාලන් මෙන්ඩිස්ලාගෙන් වගේම ඉන්දියන් මෙගාවලින් ඉගෙන ගන්න කිසිකෙනෙක් ලෑස්තිවෙලා හිටියෙ නෑ.

කූඹියෝ ලක්මාල් සහ දමිත මේ අභියෝගෙ ගන්නවා. මිනිස්සු ඉන්න තැනට යනවා. තමන්ගෙ කතාව, තමන්ගෙ හැඩය ටෙලි  ඕඩියන්ස් එකේ විහිලූ සහ සරලමිතික හැඩයන් එක්ක ගලපගන්නවා. එක දිගට සමස්තයක් විදිහට නෙමෙයි කෑලි කෑලි විදිහට හිට්වෙන ආතල් දෙන වැඩක අවශ්‍යතාවය තේරුම් ගන්නවා. ළ`ග නැමෙන, අනෙක් ටෙලිකතා නිතර ගැවසෙන පරිසරයකම තමන්ගෙ කතාව තමන්ගෙ වෙනස්කම් ඇතුව කියාගන්නවා. ප‍්‍රධානම දේ වෙන්නෙ අපේ උන් වැඩක් කරන්න ගියාම වැෙඩ් පුරා එළන කාලකණ්ණිකම, දේශපාලනය,  බරපතල සංවාද වගේ කාරණා වෙනුවට නාට්ටිය පුරාම බලාපොරොත්තුව, ත්‍රිල පවත්වාගෙන යන්න සැලසුම් කරන එකයි.

ඇත්තටම ගත්තොත් කූඹියෝ බැලූවෙ හැමදාම ටීවී ඉස්සරහ ඉන්න ජනතාව නෙමෙයි. ටීවී බලන එක අත්ඇරලා දාලා ඉන්න ජනතාව. වෙනම ඔන්ලයින් මාස් එකක්, ඩයස්පෝරාවක් කූඹියෝ එක්ක ටීවී එකට ගැටගැහුනා. ටීවී එක ඔන්ලයින් ගැටගැහුනා.
මේ මාස් ඇපීල් එක මට දැනෙන්නෙ හරිම වැදගත් විදිහට. මේ අය පරණ පවුල් නාටක බලන එක බෝරිං වෙච්ච අය. පොදු පොලිටිකල් දේවල් ගැන සංවාදයකට ගන්න පුළුවන් අය. මේ කියන්නෙ වමේ හෝ වෙනත් පොලිටිකල් කල්ට් දේවල්වලට නෙමෙයි. මාක්ස් ගැන හෝ අල්තූෂර් ගැන සංවාදවලට නෙමෙයි. දැනෙන පොදු සමාජ කතිකාවලට එකතු කරගන්න හැකියාවක් තියෙන අය.

කූඹියෝ කියන්නෙ වෙනස් වෙනස් මතවාද ඇති මේ විශාල පිරිසකට එකට රස විඳින්න පුළුවන් වැඩක් වුනා. ඒ ඩ්‍රාමා එකේ ඉතා සියුම්, සමහර විට වැදගැම්මකට නැති නිරීක්ෂන පවා උනන්දුවෙන් බෙදාහදා ගනිමින් ඔවුන් ඇසුරක් නඩත්තු කළා. මං ඇත්තටම විශ්වාස කරන්නෙ අනාගත දේශපාලනයකට අවශ්‍ය සහ සූදානම් නියැදිය මේ කූඹිගුල ඇතුලෙ එලිදරව් වුනා කියල. මතුපිට අසමානතාවලට යටින් ඇති පොදු රස වින්දනයක් හෝ අදහසක් වෙනුවෙන් එකතු වීමේ හැකියාව කූඹියෝ හරහා පර්යේෂණයට ලක්වුනා.

කූඹියෝවල ඉන්නෙ ගේම්කාරයෙක්. මේ ගේම්කාරයාව උත්කර්ෂයට නැංවීමෙන් ප‍්‍රමෝදයට පත්වෙන්නෙත් අපේ අපත මානසිකත්වය කියන දේශපාලනික කියවීම අන්තිම පටු එකක්. ඇත්තටම මේ අදහස ප‍්‍රකාශකරන සහ ඒ වටේ එල්ලෙන වාමාංශික පිරිස් (මේ අය සහෝදරයා වගේ නාට්‍යවලට බැතිමත්) නාට්‍ය හරහා සමාජයට පණිවුඩයක් දිය යුතුයි කියන සරල වින්දනමානය තෝරගන්න අය. සුචරිත ගම්ලත්ලට පවා මේ ලෙඬේ තිබුන.

කූඹියෝ හරහා යෝජනා කරන රුචිකත්වයේ වෙනස ඒ අය දකින්නෙ නෑ. නාගරිකත්වය සහ ග්‍රාමීයත්වය අතර ගැටුම මේ අය දකින්නෙ නෑ. එක එක චරිත හරහා යෝජනා වෙන වෙනස් වෙනස් මිනිස් ගතිකයන් මේ අය අඳුරගන්නෙ නෑ. කොටින්ම අන්තිම දරුණු ගේම්කාරයෙක් වුනත් නාට්ටිය හරහා ජෙහාන්ගෙ ගොඩනැගීම ඇතුලෙ ආරක්ෂාකරන සදාචාරය මේ අයට අහුවෙන්නෙ නෑ.

මිනිස්සු ජෙහාන්ට කැමති ඌ ගේම්කාරයෙක් හින්ද නෙමෙයි. ඒ ගේම් ඇතුලෙ යම් සදාචාරයක්, මනුස්සකමක් ඉතුරුවෙලා තියෙන හින්ද. ජෙහාන්ගෙ චරිතය ඇතුලෙ මුලදි ගොඩනැගෙන අහිංසකකම පස්සෙ නිකං වචනවලින් එලිදරව්වෙන ගේම් වලින් කැන්සල් නොවෙන හින්ද. ජෙහාන් කියන්නෙ ලංකාවෙ ලොකුම දේශපාලකයන්ට පවා ගේම් දෙන්න සමත් ප‍්‍රතිවීරයෙක්. ඒ වගේම ජෙහාන්ට අනන්‍ය වුනු කොලිටීස් තියෙනවා. ඒවා සාම්ප්‍රදායික, ගම්බයි ඒවා නෙමෙයි. ජෙහාන්ට ස්ටයිල් එකක් තියෙනවා. ලංකාවෙ පළවෙනි වතාවට ඉතාම ජනප්‍රිය තලයක වමට නැති වෙන්න කෙලින තනි වීදි චරිතයක් ජෙහාන් ඇතුලෙ ගොඩනැගෙනවා. ඒක වීරත්වයක්. ජෙහාන් අතින් කෙලවෙන්නෙ බොරු සදාචාරවාදී, ග්‍රාමීය, වාමාංශික කඩතුරාවලට විතරයි.

කූඹියෝ වැඩක් වෙන්නෙ ටීවී තිරය උඩ නෙමෙයි. කූඹියෝ තියෙන්නෙ ටීවී එකෙන් එලියෙ. මෙතනදි හසින්ද උදලාගම වගේ අය මූලිකවෙලා හදපු කූඹිගුල කියන කන්සෙප්ට් එකත් ලොකු වැඩකොටසක් කරනවා. ඩ්‍රාමා එක ඔන්ලයින් මාස් එකට කතා කළාට ඒ අයට අනන්‍යතාවයක් දැනෙන, සමීපත්වයක් දැනෙන අවකාශයක් හැදෙන්නෙ කූඹිගුලෙන්. මේ අය එකට සම්බන්ද කරන, එක දිශානතියකට බලහත්කාරයෙන් තොරව යොමු කරන බලය වෙන්නෙ කූඹිගුල. ඇත්තටම ලංකාවෙ දේශපාලන ව්‍යාපාරවලට මගඇරෙන දේශපාලනය කූඹිගුලේ තියෙනවා.

මෙතන ඉන්නෙත් දෙවෙනි ඉනිම බලන, ජාතිවාදී හෝ ලිංගවාදී පිරිසමයි කියල මේ හවුල අවතක්සේරු කරන්නෙ ඇත්තටම කිසිම දේක පොසිටිව් දෙයක් දකින්න බැරි අය. මේක ලංකාවෙ දරුණු ලෙඩක්. මේ රටේ බහුතරයකට සතුට, සුබදායක බව වගේ දේවල් බාරගන්න අමාරුයි. ඒක ඒ අයගෙ මනස අභ්‍යන්තරයේ ගැටුම් ඇති කරනවා. එක පැත්තකින් බුදුනුත් අනෙක් පැත්තෙන් මාක්සුත් මේකට බලපානවා කියලයි මට හිතෙන්නෙ. කොයිවෙලාවක වුනත් ඉස්සරහට එළඹෙන අවදානමක්, අන්තරායක් වගේ දෙයක් මේ මනස්වල පැවැත්මට  ඕනවෙනවා.

කූඹිගුලේ හැමෝම මාර ලිබරල් හරි මාර ඇඩ්වාන්ස් හරි කියල මං හිතන්නෙ නෑ. ඒත් ඒ අය සක්‍රීයයි. අදහස් බෙදාහදාගන්නා සුලූයි. සංවාද කරනසුලූයි. විරෝදයන්, විවේචනයන් එක්ක පොසිටිව් විදිහට ගැටෙනසුලූයි. විශේෂයෙන්ම ලංකාවෙ පළවෙනි වතාවට ඇතිවුන මේ වගේ සාර්තක ෆෑන්බේස් එකක ගතිකයන් ගනං නොගැනීම කියන්නෙ  සමාජ දේශපාලනික දැනුමෙ හිලක් විදිහටයි මට පේන්නෙ.

මේ පිරිස කූඹියෝ කියන රසවින්දන මානය එක්ක කාලයක් පුරා එකට පවත්වාගෙන යන්න පුළුවන් වුනා. ඒ සාකච්ඡා සංවාද ඇතුලෙ විවිධ නිර්මාණශීලී දේවල් සක්‍රීයව සිද්ද වුනා. නාට්ටිය බලලා නිකං ඉන්නවට එලියෙන් ඒ අය විවිධ දේවල් කළා. නාට්ටියේ අවසාන කොටස එකට නරඹන යෝජනාව වුනත් සරල වගේම වැදගත් එකක්. මේ ඔන්ලයින් සම්බන්දතා කොයිතරම් ඇත්ත ලෝකෙ පෙනී සිටීමකට හරවන්න පුළුවන්ද කියන එක එතනදී ටෙස්ට් වුනා.

අන්තිමට ජනප්‍රිය නළුවා සම්මානය දිනාගැනීම කියන අරමුණ දක්වා මේ පිරිස සංවිධානය කරන්න පුළුවන් වුනා. තමන්ගෙ වියදමෙන් එස්එම්එස් ගහන්න, ප්‍රචාරය අරගෙන යන්න කැපවෙන පිරිසක් මේ හරහා  ඕගනයිස් වුනා. අන්තිමට දෙවෙනි ඉනිමේ අනුහස්ව පරද්දලා ගේම්කාර ජෙහාන් ලංකාවෙ ජනප්‍රිය නළුවා කරන්න මේ ප්‍රවාහයට පුළුවන් වුනා.

මං දකින්නෙ මේක රටේ ජනප්‍රිය කියන ධාරාව අභියෝග කරපු අවස්තාවක් විදිහට. සාම්ප්‍රදායික ඔතෑනි සුකුමාල ජනප්‍රියතාවය නාගරික ගේම්කාර පොලිටික් එක විසින් පැහැර ගත්තා. රවීන් කනිෂ්ක වෙනුවට තුමිදු ජනප්‍රිය නළුවා වීම ඇතුලෙ දේශපාලනයක් වැඩකරනවා කියල දකින්නෙ නැති බුද්දිමතුන් ගැන ඇත්තටම මට කියන්න වචන නෑ.
කූඹියෝ කියන්නෙ ලොකු වෙනසක්. ඒක වෙනස් සම්ප්‍රදායක ඇරඹුමක්. මේක දෙවෙනි කොටසක් වෙනකල් ඇදගෙන යන්න  ඕනද නැත්තං මේ වගේ තව තව නාට්ටි හදන්න  ඕනද කියල අදහසක් මට නෑ. මොකද කූඹියෝ කියන්නෙම අහම්බයක්. වැඩකරපු අහම්බයක්. මට වඩා වැදගත් වෙන්නෙ මේ කූඹියෝ විසින් කරපු සමාජ පර්යේෂණය 2020ට පාව්චිචි කරන්නෙ කොහොමද කියන එකයි. මේක අවශ්‍යම කේස් ස්ටඩි එකක්.


Friday, March 23, 2018

ජාතික කොඩියෙන් පටන් ගමු


ජාතිවාදය කියන්නෙ ඉහල සිට පහලට තල්ලූ කරන දෙයක්. පහලම පංතිවල මිනිස්සු ජාතිවාදී නෑ. වෙන විදිහකට කිව්වොත් ජාතිවාදය වගේ දෙයක් අෆෝර්ඞ් කරන්න තරම් ඒ පංතිවල මිනිස්සුන්ට පුළුවන්කමක් නෑ. ඉහලම පංතියෙ මිනිස්සුන්ටත් ජාතිවාදයෙන් ඇති වැඩක් නෑ. ඒ අය මේ ජාතික සීමාවලට එහායින් තමයි ජීවත්වෙමින් ඉන්නෙ. ජාතිවාදය කියන්නෙ ලංකාවෙ අලූත් මිඞ්ල් ක්ලාස් උන්ගෙ ගේම් එකක්. මේක ග‍්‍රාමීය එකක් නෙමෙයි. මේක හොඳටම නාගරික එකක්. මේ මිඞ්ල් ක්ලාස් එක එන්න එන්නම ලොකුවෙද්දි ජාතිවාදයත් ලොකුවෙනවා.  පහල පංතිවල මිනිස්සු කරන්නෙ  කඬේ යන එක විතරයි.

බැලූබැල්මට අපිට පේන්නෙ රටේ නූගත්, කර කියාගන්න දෙයක් නැති, නන්නත්තාර පිරිස් ජාතිවාදය අවුලනවා වගේ. ඒත් ඇත්ත කතාව වෙනස්. ජාතිවාදය ඇත්තටම තියෙන්නෙ ඉංග‍්‍රීසි කතා කරන, ලොකු ලොකු ඉස්කෝලවලට ගිය, අපි උගත් බුද්දිමත් කියල රැුවටෙන මිනිස්සු ළ`ගමයි.

ජාතිවාදය හැමතිස්සෙම ඇවිලෙන්නෙ බිස්නස් අරමුණක් වෙනුවෙන්. එදා අනගාරික ධර්මපාල පවා ජාතිවාදය ඇදලා ගත්තෙ සිංහල බිස්නස් ප‍්‍රජාවගෙ උවමනාවට. අද මුස්ලිම් අයට විරුද්ද ජාතිවාදය ඇවිලෙන්නෙත් ඒ උවමනාවටමයි. මුස්ලිම් ව්‍යාපාර අස්තාවර කිරීම හරහා තමන්ගෙ ව්‍යාපාරික බලය වැඩි කරගන්න ද`ගලන සිංහල මුදලාලිලා ටිකක් තමයි මේ ජාතිවාදය අවුලන ඇත්ත පෙට‍්‍රල් සප්ලයි කරන්නෙ.  කෘතිමව ඇතිකරන කලබල ඇතුලෙ කඩසාප්පුම ගිනි තිය තිය ඇවිදින්න හේතුව ඒකයි.

ජාතිවාදයෙ ලොකුවම පත්තුවෙන සිංහල බෞද්ද කියන වචනෙ ගැටගැහෙන හැටි මං ටිකක් දුරට කල්පනා කළා. බුද්දාගම කොහොමත් හැදෙන්නෙ වාණිජ ආගමක් විදිහට. බුදුන්ගෙ කාලෙමත් ඒක වඩාත් ජනප‍්‍රිය වෙන්නෙ සිටුවරු වගේ පොරවල් අතර. එහෙන් මෙහෙන් සුනීතලා සෝපාකලා හිටියට බුද්දාගමේ කැපී පේන චරිත වුනේ අනේපි`ඩු, මිගාර වගේ ලොකු චරිත. අනිත් පැත්තෙන් කොසොල්, බිම්බිසාර වගේ රජවරුත් හිටියා. ඒ කාලෙ පැවතුණු බමුණු ආගම්වලට වඩා බුදුන්ගෙ අදහස් මේ වෙළඳ පංතියට ගොඩක් අනුකූල සහ පහසු ඒවා වුනා.

පස්සෙ මේ බුද්දාගම අශෝක අධිරාජයා යටතේ ආයුදයක් විදිහට පාවිච්චි වෙන්න ගත්තා. රටවල් යටත් කරගැනීමේ අලූත් විදිහක් විදිහට අශෝක බුද්දාගම පාවිච්චි කළා. අපිට බුද්දාගම ලැබෙන්නෙත් ඒ ධර්ම විජය කියලා හඳුන්වපු යටත්විජිතකරණයේ ප‍්‍රතිපලයක් විදිහට.

එතන ඉඳනුත් බුද්දාගම ඉතිහාසය පුරාම පාවිච්චි වෙන්නෙ රජාව ආරක්ෂා කරන්න. රාජ්‍යත්වය සහ බුද්දාගම අතරෙ හැමදාම ඞීල් එකක් තිබුනා. හාමුදුරුවරු රජාව ආරක්ෂා කළා. රජා හාමුදුරුවරුන්ව රැුක්කා. මහාවංශය පවා ලියවෙන්නෙ මේ අරමුන වෙනුවෙන්. අවශ්‍ය වෙලාවලදි රජුන් ලවා මිනිස් සංහාරයන් පවා අපේ හාමුදුරුවරු පසුබට වුනේ නෑ. බුද්ද දර්ශනයෙ එන අවිහිංසාව, මෛත‍්‍රිය, කරුණාව වගේ සංකල්ප ලංකාවෙ සංග සමාජය විසින් අවස්තානුකූලව තමන්ට උවමනා උවමනා අතට නමාගත්තා.

අදටත් පවතින්නෙ මේ යතාර්ථයමයි. ලංකාවෙ ජාතිවාදී අවුල් පිටිපස්සෙ වැඩියෙන්ම ඉන්නෙ හාමුදුරුවරු. මෙතනදි ඥානසාර, අංපිටියෙ සුමන එහෙම කියන්නෙ ලිහාදාපු සුනඛයන් විතරයි. හාම්පුතාලා ඉන්නෙ තිරෙන් පිටිපස්සෙ. පහුගිය කාලෙදි ඥානසාරව අත්අඩංගුවට ගන්න යද්දි අස්ගිරියෙ මහනායක ඥානසාරගේ වික‍්‍රම සාධාරනීකරණය කරමින් එයාව ආරක්ෂා කරන්න නිවේදනයක් නිකුත් කරනවා. ඒක එක්තරා විදිහක තර්ජනයක්.

මේ මෑතකම ෆේස්බුක් හරහා පැතිරුන කිරිබත්ගොඩ ඥානානන්දගෙ මහමෙව්නාවෙ අලවලා තිබුන දැන්වීම යට පවා තියෙන්නෙ මෙන්න මේ කතාව. වඳපෙති දාන්න ඉඩ තියෙන නිසා තමන්ට දානය උයද්දි අන්‍යාගමිකයො සම්බන්ද කරගන්න එපා කියලා ඒ දැන්වීමෙ ගහලා තියෙනවා. හාමුදුරුවරු වඳ නොවී ඉඳීමේ ඇති වැදගත්කම මොකක්ද කියන කාරණය පවා එතනදි අමතක කරනවා. සමහර විට සමස්ත සිංහල ජාතියෙම පිරිමි වඳවෙන තැනට පත්වුනාම හාමුදුරුවරු ටික ජාතිය වෙනුවෙන් ළමයි හදන මහා ව්‍යායාමයකට සම්බන්ද වෙන්න ඉන්නවා වෙන්නත් පුළුවන්.

මහමෙව්නාව කියන්නෙ බුද්දාගමේ හැදිච්ච අලූත් කල්ට් එකක්. මේ වගේ කල්ට් පිටිපස්සෙ ඉන්නෙ අලූත් ව්‍යාපාර පංති. ඒවා වැඩකරන්නෙ ඒ පංතිවල උවමනාවන් සහ තෘප්තීන් වෙනුවෙන්. අර කලින් කිව්ව විදිහට බෙන්ස්වල, බීඑම්ඩබ්ලිව් වල යන එන, ඉංග‍්‍රීසි කතා කරන, සමහර වෙලාවට විද්‍යා උපාදි පවා තියෙන මේ පංති ප‍්‍රජාව වඳපෙති නෙමෙයි හක්ගෙඩි, පාංගෙඩි අදහන තරම් ගොන්. මේ දැන්වීම පිටිපස්සෙ තියෙන ජාතිවාදය, මුස්ලිම් විරෝදය ඒ තක්කඩි සිංහල බෞ්දද ව්‍යාපාරිකයන් වෙනුවෙන් ආරක්ෂා කරන්න, වගාකරන්න මහමෙව්නාව බැඳිලා ඉන්නවා.

පන්සල් බහුතරයක් ඇතුලෙ වැඩකරන්නෙ ජාතිවාදය. හාමුදුරුවරු බණට කියන්නෙත් ජාතිවාදය. දහම් පාසැල්වල උගන්නන්නෙත් ජාතිවාදය. මේක පිළිලයක් වගේ ඇතුලෙන් ඔඩුදුවමින් තියෙන්නෙ.
ඒත් ආණ්ඩුව හදන්නෙ ෆේස්බුක් සීමා කිරීමෙන් ජාතිවාදී අවුල සමනය කරන්න. පයේ බරවෙට පිටිකරේ බෙහෙත් බැන්දා කියල ඇති පලක් නෑ.

පහුගිය මහින්ද රාජපක්ෂගෙ ආන්ඩුව කාලෙ මේ ජාතිවාදී අදහස් හැමතැනම පැලකළා. බීජ ඉස්සා. ජාතිවාදය දේශපේ‍්‍රමය වුනා. ඉස්කෝලවල ඉතිහාස පාඩම් ඇතුලෙ අනෙක් ජාතීන් වර්ග පහත් කොට සැලකෙන ඉගැන්වීම්-කියවීම් ව්‍යාප්ත වුනා.

නුවර ඇතිවෙච්ච සිද්දියෙදි ෆේස්බුක් හරහා ජාතිවාදය පැතිරුවා කියල අත්අඩංගුවට ගත්තෙ අවුරුදු දාසයක විතර කොල්ලෙක්. මේකෙන් තේරෙනවා අනතුර තියෙන තැන. 2000 විතර ඉපදිච්ච, මහින්ද චින්තනයේ යුද වින්දනයේ අවුරුදු දහයක් ගතවෙච්ච මේ පරම්පරාව අනාතයි. ඉස්සර අවුරුදු දොලහ දහතුන වෙද්දි අතට අහුවෙන රුසියානු පොත් එහෙම මේ අලූත් පරම්පරාවට අහුවෙන්නෙ නෑ. ඒ පොත්වලින් පස්සෙ වාමාංශික ආබාද ඇතිවෙන්න පුළුවන් වුනත් ජාතිවාදය වගේ පටු දැකීම් වල කොටු නොවෙන මහද්වීපික සිතීමක් ඒවායින් ලැබුන. මේ අලූත් නව යොවුන් පරපුරට ඇසුරු කරන්න ලැබුනෙ තනිකරම ජාතිවාදී සංස්කෘතියක්.
අපේ අධ්‍යාපන පද්ධතියම මේ වෙද්දි වැඩකරන්නෙ ජාතිවාදය පතුරන යාන්ත‍්‍රණයක් විදිහට. උගන්වන ගුරුවරු තමන්ගෙ හිතුමනාපයට මේ අදහස් හැදෙන අනාගත පරපුරට එන්නත් කරනවා. අපේ ඉතිහාසය ජාතීන් අතර සමගිය සංහිඳියාව ඇතිකරන ඉගැන්වීමක් විදිහට තුලනාත්මකව, දියුණු කියවීමකට ලක්කරන්න කාගෙවත් වෑයමක් නෑ. ඇත්තටම නම් මේ මහින්ද චින්තනයේ අසූචි ටික ෆ්ලෂ් කරලා දාන්න නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් සහ විවිධත්වය අගයන ඉගැන්වීමේ රටාවක් වෙනුවෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ නව වැඩසටහනක් අත්‍යාවශ්‍ය වුනත් කාටවත් ඒ ගැන වගේ වගක් නෑ.

තාමත් අපි සිංහල, දෙමළ, මුස්ලිම් විදිහට බෙදිලයි ඉස්කෝල පවත්වාගෙන යන්නෙ. සිංහල බෞද්ද පාසැල් වගේම ක‍්‍රිස්තියානි, මුස්ලිම් පාසැල් වෙනම පවත්වාගෙන යාම කියන්නෙම ජාතිවාදය පවත්වාගෙන යාමක්. ජාතීන් අනුව පාසැල් බෙදෙන්න අවශ්‍ය නෑ. විවිධ ජාතීන් විදිහට එකට පැවතීම හුරු වෙන්න ඇති ප‍්‍රධානම අවකාශය අපි ජාතිවාදී විදිහට අහුරලා තියෙනවා. ආණ්ඩුවට ඇත්තට ජාතිවාදය පිටුදකින්න  ඕන නම් ලේසි තැන්වල කරන සෝබන අතපෙවීම් පලක් වෙන්නෙ නෑ.

මේ නැවත නැවත උත්සන්න වෙන, එක එක ජාතීන් දිහාවට මෑනෙන ජාතිවාදී ආයුදය සීරියස් විදිහට ඇඩ‍්‍රස් කරන්න නම් පුළුල් දැනෙනසුලූ ව්‍යාපාරයක්  ඕන කරනවා. ජාතීන් අතර විශ්වාසය ගොඩනැගෙන ලොකු සංකේතාත්මක වැඩක්  ඕන වෙනවා.

මට දැනෙන විදිහට අපිට ජාතිවාදය පිටුදකින එක අපේ ජාතික කොඩියෙන් පටන් ගන්න වෙනවා.
මේ කොඩිය ඇත්තටම ජාතිවාදී කොඩියක්. මේ කොඩියෙ එලියෙ කෑල්ලෙ තීරු දෙකක් විදිහට සුළු ජාතීන් නිරූපනය කරන එකම වැරදි වැඩක්. විවිධ ජාතීන් එකට ජීවත් වෙන එක නිරූපණය කරන්න වෙනස් වර්ණයන් පාවිච්චි කිරීම සාධාරණයි. ඒත් ඒ ජාතීන්ගේ ප‍්‍රමානයන් ජාතික කොඩියෙ නිරූපණය වෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම සිංහල මහ ජාතිය වෙනුවෙන් ලොකු රතු පදාසයක් සහ සුළු ජාතීන් පැත්තට කඩුව දික්කරගත්ත සිංහයෙක් දාන එක කොහෙත්ම ජාතීන් අතර සංහිඳියාව උනන්දු කරන තත්වයක් නෙමෙයි. ජාතික කොඩිය ඇතුළට බෝකොල වගේ බෞද්ද කෑලි යොදා ගැනීමත් විවිධ ආගම් අදහන පිරිස් එකට ජීවත් වෙන රටක් විදිහට සුදුසු වෙන්නෙ නෑ. මේ කොඩිය දකින දකින වතාවක සුළු ජාතිකයෙකුට එන හැගීම වෙන්නෙ තමන් පිටමං කරන ලද සුළු තීරුවක් කියන හැගීම විතරයි. මේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ජාතීන් අතර සහ ආගම් අතර විවිධත්වය, සමානාත්මතාවය, එකිනෙකා අතර සහයෝගිතාවය වගේ කාරණා ගැන කිසි හැගීමක් හෝ දැනුවත් බවක් තිබිලා නැතිවග පැහැදිලියි.

ජාතික කොඩිය විතරක් නෙමෙයි අපේ ව්‍යවස්ථාවම පදනම් වෙලා තියෙන්නෙ මේක සිංහල බෞද්ධ රටක් කියන පිළිගැනීම මත. ඒ පිළිගැනීමම ජාතිවාදී එකක්. අපේ රටේ ව්‍යවස්ථාව පදනම් වෙන්න  ඕන මේක බහුවාර්ගික, බහුආගමික රටක් කියන එක. අපි තනි ශුද්ධ වූ ජාතියක් කියන තැනින් හයිබි‍්‍රඞ් ජාතියක් කියන තැනට මාරු වෙන්න  ඕන.

මගේ සිහිනමය යෝජනාව වෙන්නෙ අපි ජාතික කොඩිය අලූතෙන් නිර්මාණය කරන තැනින් පටන් ගමු කියලයි.

මේ ආන්ඩුව නිශ්චිතවම පවතින්නෙ තව අවුරුදු දෙකයි. හොරු අල්ලලා නෙමෙයි තව මොන මොන පෙළහර පෑවත් මේක ගොඩගන්න දැන් පරක්කු වැඩියි. ඒ හින්ද මේ ආණ්ඩුවට තියෙන හොඳම අවස්ථාව වෙන්නෙ සුවිශේෂ වෙනසක් වෙනුවෙන් නිර්භීත අලූත් පියවරක් තියන එකයි. ඩූ  ඕර් ඩයි වයිල්ඞ් කාර්ඞ් එකක් ගහන එකයි.

අලූත් ජාතික කොඩියක් කියන්නෙ ජනමත විචාරණයක් දක්වා යන්න අවශ්‍ය වෙන කාරණයක්. අමාරු වුනත් ඒක හොඳ තත්වයක් විදිහටයි මං දකින්නෙ. අලූතෙන් ජාතික කොඩිය නිර්මාණය කරනවාට වඩා එහි අවශ්‍යතාවය, වටිනාකම මිනිස්සුන්ට කියලා දෙන කැම්පේන් එකයි වඩා වැදගත් වෙන්නෙ. ඒකම ජාතීන් අතර සංහිඳියාව සහ විවිධත්වයට ගරු කිරීම උගන්වන විශාල ව්‍යාපෘතියක්. අවුරුදු ගානක් ගියත්, අන්තිමේදි පරාජය වුනත්, අපි සුබ දිශාවකට එක අඩියක් හරි තියන්න උත්සාහ අරගෙන තියෙනවා.

2000දි ජොර්ජ් බුෂ් එක්ක ඩිමොක‍්‍රටික් පාර්ටි එකෙන් ඉදිරිපත් වුනේ ඇල්ගෝ. ඇල්ගෝ ගෝලීය උණුසුම් වීම ගැන පුළුල් පරිසර කතිකාවක් තමන්ගෙ කැම්පේන් එක කරගත්තා. ඒත් චන්දෙන් දින්නෙ ජොර්ජ් බුෂ්. නමුත් අද වෙනකල් මුළු ලෝකෙම ගෞරවයෙන් වැළඳගන්නා චරිතය විදිහට ඉතිරි වුනේ ඇල්ගෝ.
මේකත් ඒ විදිහෙ වැඩක්. සුද්දාගෙන් පස්සෙ අපිට නිර්මාණය කරගන්න බැරිවුණු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලාංකේය ජාතිය නිර්මාණය කරන ව්‍යාපෘතියක්.

උදා විදිහට මට අනුව අපේ ජාතික කොඩිය විදිහට වඩාත් සුදුසු අපේ ක‍්‍රිකට් කොඩියයි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැමෝම එකම ජාතියක් විදිහට හිතන එකම තැන සහ හොඳම තැන ක‍්‍රිකට්. ඒ කොඩිය අපි හැමෝගෙම කොඩියක් කියන හැගීම හැමෝටම තියෙනවා. පටිගහලා, කොටු කරලා එතන ජාතීන් වෙන්කරලා නෑ.
ජාතික කොඩිය වෙනස් කිරීම ගැන විවිධ මත ගැටේවි. විරෝධයන් අහස උසට නැගේවි. ඒත් සංහිඳියාව ගැන කතිකාව බොරු රොමැන්ටික් තලවලින් ගැලවිලා මිනිස්සුන්ට ඇත්තට දැනෙන වැදෙන තැනකට ඒවි. විවිධ ජාතීන්ගේ එකමුතුව ශක්තියක් විදිහට සළකන අලූත් ශ‍්‍රී ලාංකේය ජාතිය ජාතිවාදයට එරෙහි ප‍්‍රබලම ගොඩනැංවීම වේවි.

ඒ අලූත් ජාතියේ කොඩිය දවසක නිල් අහසේ ලෙලදේවි. ඒ සැබෑ වෙන තෙක් අපිට දරුණු අදහස් සටන් තියේවි.

ඒත් මේ රටේ පුරවැසියෙක් විදිහට මං දකින්න කැමති, කැපවෙන්න කැමති අනාගතය ඒකයි. ඒ වෙනුවෙන් අවශ්‍ය  ඕනෑම කාලයක් කිසිම මුදලක් නැතුව මගේ උපරිමයෙන් වැඩකරන්න මං ලෑස්තියි.
මගේ හීනය ඒකයි.

-      චින්තන ධර්මදාස

Sunday, March 4, 2018

ඩයොජිනිස්ගේ කතා



මට අද උදේ ඩයොජිනිස්ව මුනගැහුනා. පහල ගේට්ටුවට හයියෙන් තඩිබබා ඉන්නකොට. ඒ ගෙදර මනුස්සයා දුවගෙන ආවා. ඩයොජිනිස් හිනාවෙලා අතපෑවා. ගෙදර මනුස්සයා බැනලා එලවගත්තා.
නෑ නෑ යනවා යනවා. මෙතන..

ඩයොජිනිස් හයියෙන් හිනාවුනා. හිනාවෙවී පාර දිගේ ආපහු ගියා. දුකක කණස්සල්ලක සේයාවක් වත් තිබුනෙ නෑ. මිනිස්සු ගැන ඊට වඩා හොඳ බලාපොරොත්තුවක් ඩයොජිනිස්ගෙ හිතේ තිබුනෙ නෑ.

ඒ සල්ලි ඉල්ලපු මනුස්සයගෙ නම ඇත්තටම ඩයොජිනිස්ද කියල මං දන්නෙ නෑ. සමහර විට සිමියොන්, අබිලිං, ඒබරං නැත්තං ඩෙස්මන්ඞ්, ලැනරෝල් , පීරිස් ඔය  ඕන එකක් වෙන්න පුළුවන්. ඒත් ඒ මනුස්සයා මට මතක් කළේ සිනෝපයේ ඩයොජිනස්ව.

ඩයොජිනස් කියන්නෙ සිනිසිසම් නැත්තං නරුමවදය කියන එක දර්ශනයක් නම් ඒකෙ ආරම්බකයා. එයා ජීවත් වුනේ ග‍්‍රීසියෙ මාර්කට් එකක් ඇතුලෙ. ඒකෙ බැරල් එකක් තමයි එයාගෙ නිවහන. මාර්කට් එකට එන අයට අතපාලා එයා ජීවත්වෙන්න කීයක් හරි හොයාගත්තා. අතට අහුවෙන, හම්බුවෙන මොනා හරි කාලා මිනිහා ජීවත් වුනා. එකම වත්කම වුනේ වතුර බොන්න පාවිච්චි කරපු පොල්කට්ට. එකදවසක් පොඩි ළමයෙක් නිකම්ම පාරෙ වතුර වලකට කට තියලා තිබහ නිවාගන්නවා දැකලා ඩයොජිවනිස් තමන්ට තිබුන එකම වත්කමත් විසි කරලා දානවා.

මිනිහා නාන්නෙ නැති, ගඳ ගහන, කිළුටු වැරහැලි අඳින, දැකපු ගමන් පිස්සෙක් කියල හිතෙන මිනිහෙක්. ඒත් සියලූ පිලිගැනීම් සහ සම්මතයන් බැහැර කරන අමුම ප‍්‍රකෘතියේ ජීවිතයක් ඩයොජිනිස් අභ්‍යාස කරමින් හිටියා. බුදුන් හෝ වෙනත් ආධ්‍යාත්මික පොරවල් වගේ තමන්ගෙ එකට සැරසිල්ලක්, ආයිත්තමක් එකතු කරන්නවත් ඩයොජිනිස්ට  ඕන වුනේ නෑ. කිසිම දෙයක් ගැන කලින් පිළිසිඳගත් අදහසක් නැතිව එයා හැමදෙයක්ම ප‍්‍රශ්න කරමින් හිටියා.

ජීවත් වෙනවා සහ මැරෙනවා කියන දෙකේ වෙනසක් නෑ කියල එයා කිව්වා.
එහෙම නං තමුසෙ මොකෝ නොමැරි ජීවත් වෙන්නෙ? මිනිස්සු ප‍්‍රශ්න කළා.
ඉතිං වෙනසක් නැති නිසානෙ නොමැරි ඉන්නෙ. ජීවිතේට වඩා මරණය තෝරගන්නවත් මට හේතුවක් නෑ. ඩයොජිනිස් උත්තර දුන්නා.

එයා ඇහුවා හරිම සරල ප‍්‍රශ්නයක්. සරලම විදිහට මිනිහා කියන්නෙ කවුද?
පිහාටු නැති දෙපාවෙක් කියල පන්ඩිත ප්ලේටො උත්තර දුන්නා.

පරණ ග‍්‍රීසියො කැන්ගරුවො ගිබන්ලා වගේ සත්තු හිටියෙ නෑ. ඉතිං ප්ලේටො හිතුවා වැඬේ ෂේප් කියල. ඒත් ඩයොජිනිස් කුකුලෙක් හොයාගෙන ඌව හමගහලා ප්ලේටොගෙ ඇකඩමියට අරන් ගියා.
ආ මෙන්න මං අපූරු මිනිහෙක් හොයාගත්තා.. කියලා කුකුලව ප්ලේටොට දුන්නා.

මේ විදිහට කොහෙත්ම ආචාරශීලීත්වය වගේ හදාගත්ත කාරණා නම් ඩයොජිනිස්ට තිබුනෙම නෑ. එක සල්ලිකාරයෙක් ඩයොජිනිස්ගෙ ෆෑන් කෙනෙක් වෙලා එයාට ලොකු කට්ටිය එක්ක කෑමකට කතා කළා. ඩයොජිනිස් තමන්ගෙ සුපුරුදු කිළුටු විදිහටම කෑම කනවා දැකලා එතන හිටපු බවතෙක් මළපැනලා එයාට බල්ලා කියල බැන්නා. කොහොමත් සිනික් කියන වචනෙ තේරුම වෙන්නෙම බල්ලා කියන එක. ඒත් බල්ලා කියන සතා නම් කොහෙත්ම සිනික් ගනයට වැටෙන එකෙක් නෙමෙයි.
මේ කතාව ඇහුනම ඩයොජිනිස් කෑම මේසෙන් නැගිටලා අර මිනිහා ළ`ගට ආවා. ඇවිත් බල්ලෙක් වගේම කකුලක් උස්සලා මිනිහගෙ ඇ`ගට චූ කරන්න ගත්තා.

මේ විදිහට අනිත් අයට අපහාස උපහාස කිරීම වගේම ඩයොජිනිස් තමන්ට කරන අපහාස උපහාසත් පඬේකට ගනං ගත්තෙ නෑ. හි`ගා කකා ඉන්න අතරෙදි එතනින් යන එන අය ඩයොජිනිස්ට කෙළ ගැහුවා. කිසිම අපහසුතාවයකට පත් නොවී එයා කෙළ පිහිදගෙන ආයිමත් අත දික්කළා. මේ ගැන පස්සෙ වෙන වෙන හාදයො උසුළු විසුළු කරන්න ගත්තම ඩයොජිනිස් කියනවා,
මිනිස්සු මේ සාලයො ටිකක් අල්ලගන්න මුහුදු ගියාම මුහුදු රැුලි පාරවල් කොයිතරම් කාගෙන ඉන්නවද? ඉතිං මට මගේ කෑම වෙලා හොයාගන්න පොඩි කෙලපාරක් කාගෙන ඉන්න බැරිද?
ඩයොජිනිස්ට ඔය දාර්ශනික මහන්තත්ත කතන්දර පෙන්නන්න බෑ.

එක දවසක් ඔය අපේ ඉන්නවා වගේ තර්කය මුල් කරගත්ත දාර්ශනික ගැටයෙක් ඩයොජිනිස් ළ`ගට ඇවිත් කියනවා, දන්නවද, චලනය කියන්නෙ තනිකරම බොරුවක්. මට ඉඩදෙන්න ඒක ඔප්පු කරන්න කියල.
ඩයොජිනිස් කිසි උත්තරයක් දෙන්නෙ නෑ. ඉක්මනට එතනින් නැගිටලා යන්න යනවා.

තව දවසක ඩයොජිනිස් ගණිකා නිවාසයක් ඉස්සරහට වෙලා කෑ ගහනවා. ගණිකාවක් කියන්නෙ විස ලූ මී බඳුනක්.. ගණිකාවක් කියන්නෙ විසලූ මී බඳුනක්.. ගණිකාවක් කියන්නෙ විස ලූ..
ඉතිං එතනට ඇතුල්වෙන අය මේ මිනිහගේ කට වහන්න කීයක් හරි විසි කරනවා. ඩයොජිනිස් හැන්දෑ වෙනකල් කෑ ගගහා ඉඳලා සල්ලි එකතු වුනාම ගණිකා නිවාසෙ ඇතුලට රිංගනවා.

ඩයොජිනිස්ගෙ අනුගාමිකයන්ට ඔය අල්ලගෙන ඉඳිල්ල දිගටම අල්ලන් ඉන්න හයිය තිබුනෙ නෑ. ගොඩක් අය කාලෙකදි එයාව අත්ඇරලා ගියා. එයින් එක්කෙනෙක් ඩයොජිනිස්ට තමන් ලියපු පොතක් දුන්නා. ඩයොජිනිස් හිනාවුනා. ”උඹ හරි මෝඩයි.. කාට හරි ඇත්ත පළතුරු දෙනවා මිසක් පළතුරු ඇඳපු චිත‍්‍රයක් දීලා වැඩක් නෑ. දර්ශනය පුහුණු කරන ජීවිතය අත්ඇරලා පොත්වල ලියලා තියෙන දර්ශන කියෙව්වට වැඩක් නෑ..”

ඩයොජිනිස්ගෙන් අනුගාමිකයො ගැලවිලා වෙන ගුරුවරු හොයාගෙන යන එක ගැන හැමෝම වගේ ප‍්‍රශ්න කළා. ඒ ගිය කිසි කෙනෙක් ආපහු ඩයොජිනිස් ළ`ගට ආවෙත් නෑ. ඒ ගැන කිසිම පසුතැවිල්ලක් හෝ කළකිරීමක් ඩයොජිනිස්ට තිබුනෙත් නෑ. ඒත් සමහර වෙලාවට ඒකට උත්තර දෙන්න එයාට සිද්ද වුනා.
‘මිනිහෙක්ව නපුංසකයෙක් කරන්න  ඕන කෙනෙකුට පුළුවන්. යන අය යන්න හේතුව ඒකයි. ඒත් නපුංසකයෙක්ව ආපහු මිනිහෙක් කරන්න කිසි කෙනෙකුට බෑ. ඒක නිසා ගිය අය ආපහු ආවත් වැඩක් වෙන්නෙ නෑ..”

ඩයොජිනිස්ගෙ මේ හි`ගාකෑම ගැනත් මිනිස්සු ප‍්‍රශ්න කළා.
‘මං හි`ගාකන්නෙ මිනිස්සුන්ට වියදම් කරන හැටි කියලා දෙන්න. ඒ අයට ත්‍යාගවන්තබව උගන්නන්න..’
ඩයොජිනිස් කිව්වා.

ඉඳලා හිටලා මිනිස්සු ඩයොජිනිස්ට ප‍්‍රශංසා කළා. ඒ වෙලාවට එයා තමන්ගෙ මුහුණට රිදෙන්න අතුල් පහරක් දීගත්තා. ඊට පස්සෙ අ`ඩා වැළපුනා. ‘ලැජ්ජයි.. මං මොකක් හරි චාටර්ම දෙයක් කරලා වෙන්න  ඕනි...” ප‍්‍රශංසා ගැන එයා පසුතැවිලි වුනා.

ප්ලේටෝ එක්ක ඩයොජිනිස් ගොඩක් වලි දාගත්තා.

සොක‍්‍රටීස් ගැන මොකද හිතන්නෙ? කවුරු හරි ඩයොජිනිස්ගෙන් ඇහුවා.
‘සොක‍්‍රටීස් කියන්නෙ පිස්සෙක්’ ඩයොජිනිස් කිව්වා.
පස්සෙ කාලෙක ඩයොජිනිස් කියන්නෙ කවුද කියල ප්ලේටොගෙන් කවුරු හරි ඇහුවා.
සොක‍්‍රටීස් කෙනෙකුට පිස්සු හැදුනම.. ප්ලේටො කිව්වා.
‘ටියුබ්ලයිට්’ කියල ඩයොජිනිස් එතනදිත් ප්ලේටොව ජෝක් කරනවා.

ඔහොම තව දවසක ප්ලේටො කෝප්ප ටිකක් මේසෙ උඩ තියාගෙන තමන්ගෙ දේවල්වලට ඔබ්බෙන් පවතින සංකල්ප ලෝකය ගැන අදහස පැහැදිලි කරන්න හදනවා.

‘මේ කෝප්ප එකට එක වෙනස්. ඒත් මේ හැම එකකම තියෙනවා ‘කෝප්පීය’ කියන අදහස. ඒක පවතින්නෙ මේ කෝප්පයට කලින්’ ප්ලේටො කියනවා.
‘මට පේනවා මේසෙ උඩ තියෙන කෝප්පය නං.  ඒත් කෝප්පීය කියලා එකක් නං පේන්නෙ නෑ..’ ඩයොජිනිස් උපහාසෙන් කියනවා.

ඒකට මේක තියෙන්න  ඕන කියල ප්ලේටො තමන්ගෙ ඔලූවට තට්ටු කරලා පෙන්නනවා.
‘ඔයාට කෝප්පයට පිටින් කෝප්පීය එක තේරුං ගන්න මොලේ නෑ..’ ප්ලේටො කෝචොක් කරනවා.
ඩයොජිනිස් මේසෙ ළ`ගට ගිහිල්ලා කෝප්පයක් අතට ගන්නවා. ‘මේක හිස්ද ?’
එයා අහනවා. ‘ඔව්’ ප්ලේටො උත්තර දෙනවා.

‘එතකොට මේ කෝප්පයේ හිස්කමට කලින් තියෙන හිස්කම කොහෙද?’
ප්ලේටො උත්තරයක් හොයාගන්න කලින් ඩයොජිනිස් ඇවිත් එයාගෙ ඔලූවට තට්ටු කරනවා.
‘මං හිතන්නෙ ඒක තියෙන්නෙ ඔයාගෙ ඔලූව ඇතුලෙ වෙන්න  ඕනි’

ඩයොජිනිස් කියන්නෙ තියරිවලට වඩා ප‍්‍රැක්ටිස් එක දර්ශනය කියල බාරගැනීමක්. සියලූ සම්මුතීන් නොපවතින තැනදි තමන් කවුද කියන එක තේරුම් ගන්න බැරුව ලෝකය තේරුම් ගැනීම සහ තේරුම් කිරීම විකාරසහගත යැයි ඔප්පු කරපු ජීවිතයක්. පැවැත්ම කියන දාර්ශනික සම්මතය ඉස්සරහ පවතිමින් ඒක කුඩු කිරීමම දර්ශනය කරගත් වයිරසයක්.

ඩයොජිනිස් ගැන ප‍්‍රසිද්දම කතාව එයාව මුනගැහෙන්න මැසිඩෝනියාවේ ඇලෙක්සැන්ඩර් ආපු එක.
‘මං ඔයාගෙ දරුණුම ෆෑන් කෙනෙක්. මොනාද ඔයාට මගෙන් කෙරෙන්න  ඕනි?’
ඇලෙක්සැන්ඩර් බක්තියෙන් අහනවා. ඩයොජිනිස් හිනාවෙනවා.

‘අනිවාර්යෙන් ඔයාට මං වෙනුවෙන් දෙයක් කරන්න පුලූවන්. ඒ තමයි චුට්ටක් ඔතනින් පැත්තකට වෙන එක. මොකද ඔයා ඔහොම හිටියම මට වැටෙන ඉර එලිය බ්ලොක් වෙනවා’

ඩයොජිනිස් අවුරුදු අසූ නවයක් ජීවත් වෙනවා. එයාව බල්ලෙක් කාලා මැරුනා කියලා කට්ටියක් කියනවා. එයාව පනුවො ගහලා මැරුනා කියල තව කට්ටියක් කියනවා. ඒත් මට හිතෙන්නෙ එයාට ජීවත්වෙන එක බෝරිං වෙලා හුස්ම නොගෙන ඉන්න ඇති කියල. එයා මළාට පස්සෙ තමන්ගෙ මිනිය සත්තුන්ට කන්න කැලේට ගිහිල්ලා දාන්න කියනවා. තමන් නොවෙන කිසිවක් බාරගැනීම ප‍්‍රතික්‍ෂේප කළ බුදුවරයෙක් ඒ විදිහට ග‍්‍රිසියේ බැරල් එකක පිරිනිවන් පානවා.

ගේට්ටුවෙන් ගේට්ටුවට තට්ටු කර කර තාමත් අපේ පාරෙ ඇවිදන් ආපු ඩයොජිනිස් කවුරුවත් තේරුම් නොගන්නා ධර්මය නිහ`ඩව මුනගස්වමින් පාරක් පාරක් ගානෙ යනවා. මට ඩයෝජිනිස්ගෙ ඒ හිනාව ඈතට ඇහෙනවා.


-චින්තන ධර්මදාස




Tuesday, February 13, 2018

ඕම් නමං ශිවාය!




මේ ලියවිල්ල අදාල වෙන්නෙ මේ කතා කරන රියැලිටියෙ අත්දැකීම් තියෙන අයට විතරයි. ඒ මැජිකල් මිතිකල් රියැලිටි එකත් ජීවිතේ කොටසක් හැටියෙන් පවත්වාගෙන යන අයට විතරයි. අනිත් අයට මේක විකාරයක් හැටියට ගංජා හීනයක් විදිහට නැත්තං තව නොයෙක් නොයෙක් තමන් දන්න ආතල් ප‍්‍රමානයන්ගෙන් කියවගන්න පුළුවන්. 

එක කාලෙක අවුරුදු ගානක පරිච්ෙඡ්දයක් මං සායිබාබා අනුගාමිකයෙක් වෙලා හිටියා. උගත් බුද්දිමත් විචාරශීලී කවවල ගොඩක් වෙලාවට සායිබාබා ආධ්‍යාත්මික පැත්තෙන් සීරියස් විදිහට බාරගන්නෙවත් නෑ. මාල මුදු මවන, අළු මවන, මැජික් දාන සායිබාබාට පිටින් වෙන කිසි දෙයක් නෑ. උදා විදිහට බුදුන්ට,  ඕෂොට මේ කතිකා ඇතුලෙ යම් බරක් තියෙනවා. ඒත් හදවතින් තමන්ගේ ධර්මය හරි අත්දැකීම හරි ෂෙයාර් කරගන්න, ඉමෝෂනල් ජර්නි එකක් යෝජනා කරන සායිබාබා නැත්තං ජේසුස් වගේ චරිත දාර්ශනිකව බාරගන්න අමාරු වෙනවා.

එක අතකට එතන තියෙන්න  ඕන දේත් ඒකමයි. ඒ අය දාර්ශනික නෑ. ඒ වෙනුවට ක‍්‍රියාවක් හරහා අවබෝධයකට යන මාර්ගයක් ඒ ගොල්ලො කියනවා. මෝඩ අන්ධ විදිහට හඳුන්වන භක්තිය හරහා ලබන ආධ්‍යාත්මික අත්දැකීමක් ගැන ඒ ගොල්ලො කතා කරනවා. විද ්‍යාත්මක මිනිහට මේ භක්තිය කියන කාරනේ දුරයි. ඒත් ඒ තමයි සුවහසක් ජනීජනයාට ආධ්‍යාත්මික අත්දැකීමක් ගන්න තියෙන එකම ප‍්‍රවේශය. ඒ මහා ජනතාවට ඥානයෙන් අවබෝදයට පත්වෙන මාර්ගය දුරයි. 

සායිබාබා කියන චරිතයෙ පෙනුමෙන් ඉරියව්වලින් පවා මට කිසිම හැගීමක් දැනෙව්වෙ නෑ. අනිත් පැත්තට මං ලේසියෙන්ම මේකා මිනිස්සු ගසාකන මෝඩ බිස්නස්කාරයෙක් කියල හිතාගත්තා. මොකක් හරි දේකට භක්තියක් ඇතිවෙන්න නම් ඒක තර්කයේ බිත්තිය කඩාගෙන යන්න  ඕන. ඒක භාෂාවකින් තොරව එකපාරටම දැනෙන්න  ඕන. ඒත් මට සායිබාබා ගැන එහෙම දෙයක් දැනුනෙ නෑ. මං කල්පනා කරලා බැලූවම මට කිසි කෙනෙක් ගැන එහෙම දෙයක් දැනෙන්නෙ නෑ කියල තේරුනා. හැම මිනිහෙකුටම තියෙන අතිසාමාන්‍ය ඉතාම සුන්දර වගේම ලේසියෙන්ම ගැඹුරට තල්ලූ කරන මාර්ගය මට අවහිර වෙලා තිබුනා. 
මේ මං ජගත් මාරසිංහ එක්ක දවස් ගනං දිග සාකච්ඡුා සහ ගතකිරීම් කරන කාලෙ. මාරයා ජ්‍යොතිශය භෞතිකයි කියල පෙන්නන්න තනියම සටන් කරන කාලෙ. 

‘උඹට ස්වාමිව බාරගන්න බැරි උඹේ මාන්නෙ හින්ද නේද?’
මාරයා මට කිව්වා. ‘බුද්ධිය ගැන දැනුම ගැන තර්කය ගැන උඹට තියෙන මාන්නෙ.. උඹට අනිත් මිනිහව පේන්නෙ මෝඩයෙක් වගේ...’

ඒ කතාවෙන් මගේ ඇතුලෙ දොරඅගුල් කීපයක් කඩාගෙන යනවා මට දැනුනා. බුද්දිය ගැන තියෙන මාන්නය අභියෝග කරන්න මෝඩකම තරම් ගැලපෙන මුනගැහීමක් තියෙනවද? මගේ දැනුම බුද්දිය විසින් එලියෙ තියෙන දේවල් ගැන මට විනිවිදිය නොහැකි තරමෙ විනිශ්චයන් ගොඩනැගිලා තියෙන වග මං දැක්කා.
හැම මිනිහෙකුගෙම ඇතුලෙ දැනුමට බුද්දියට උගත්කමට හෝ සමාජ තත්වයට එපිටින් ගැඹුරු ආධ්‍යාත්මික අවකාශයක් පවතිනවා කියල මට අමතක වෙලා තිබුනා. අපි අනෙකා සමග සම්බන්ද වෙන්නෙ අපි විසින් තෝරාගන්නා ලද යතාර්ථයක් ඔස්සේ කියල මට මගඇරිලා තිබුනා. අනෙක් අතට මගේ අවබෝධයට අනෙකාගේ බුද්ධත්වය ඇත්තක්ද බොරුවක්ද කියන ප‍්‍රශ්නය කොහොමවත් අදාල නැති වග තේරුම් ගන්න මට බැරිවෙලා තිබුනා. 

මේ ගුරුවරයාගෙන් මට ඉගෙනගන්න තියෙන්නෙ මොකක්ද?’  කියන නිහතමානී මොහොත මං අත්දැක්කා. 
සායි බජන් අහන්න හැම සිකුරාදම මං යන්න පටන් ගත්තා. බජන් පටන් ගන්නෙ හරිම හෙමින්. ඊට පස්සෙ ඒක ටිකෙන් ටික වේගවත් වෙනවා. අන්තිමට ඇ`ග ඇතුලෙ වයිබ්රේෂන් එකක් දැනෙනකල්ම උස්සලා එක පාරට නතර වෙනවා. ඒ නිහඩතාවයට අපි ඇදන් වැටෙනවා.  ඕනම මෝඩයෙකුට බ්ලිස්ෆුල් කියන එක නිමේෂයකට ස්පර්ශ කරන වෙලාවක් ඒක. 

බජන් කියද්දි මිනිස්සුන්ගෙ ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා මං දැකලා තියෙනවා. ඒ අය තමන් ඉස්සරහ දෙවියන් දකිනවා. ගොඩක් වෙලාවට වැඩිපුර සල්ලි, නැත්තං දියුනුව, ලෙඩරෝග වලින් සුවය වගේ දේවල් ඒ අය ප‍්‍රාර්ථනා කරනවා ඇති. ඒත් ඒ අය සම්පූර්ණයෙන්ම තමන්ගේ ආත්මීය සීමාවලින් එලියෙ විශාල පැවැත්මකට සම්බන්ධ වෙලා හිටියා. ඒ ට‍්‍රාන්ස් අත්දැකීම එතන ඉන්න හැම ශරීරයකටම දැනෙන තරමෙ එකක්.

මං සමහර දවස්වල දවල්ට පැය ගනං නිකං සායි ආශ‍්‍රමයෙ ඉඳගෙන ඉඳලා තියෙනවා. ඒ ලොකු ශාලාව ඇතුලෙ නිකං ඉඳන් ඉන්න එකම භාවනාවක්. සැරින් සැරේ එන තව එක්කෙනෙක් දෙන්නෙක් වැඳගෙන සායිබාබා හිඳගෙන ඉන්නවා කියලා විශ්වාස කරන පුටුව දිහා බලාගෙන ඉන්නවා. අපි ඉතාම කුඩා අංශූ තරමට කුඩාවුනු, අපිට වඩා විශාල නොපෙනෙන පැවැත්මක් ඉස්සරහ අපි දණගහගෙන ඉන්න, ඒ වෙලාව මේ ලෝකෙ වෙලාවක් නෙමෙයි. ලෞකික පන්සල්ගත ආකෘතිය ඇතුලෙ දැන් අපිට නැතිවෙලා ගිහින් තියෙන්නෙ මේ ආධ්‍යාත්මික මොහොත.

සිත පිළිබඳ තේරුම් ගැනීම් හෝ තර්ක කළ හැකි න්‍යායන් හෝ සායිබාබා ධර්මයෙ නෑ. ඒ වෙනුවට හොඳ හිතින් යහපතේ යෙදෙන්න වගේ සරල මාර්ගයක් එතන යෝජනා වෙන්නෙ. බජන් වලට පස්සෙ කවුරු හරි දානයක් දෙනවා. පැනිරස සහ පළතුරුවලින් හැමෝටම සංග‍්‍රහ කරනවා. එකිනෙකා අතර අපි සංස්කෘතිකව පනවාගත් පටු සීමාවලින් එහාට ගිය මනුස්ස ආදරයක, භක්තියක මොහොතක් ස්පර්ශ වෙනවා. ඇත්තටම පූජනීයයි කියන්න පුළුවන් ඒ අත්දැකීම සම්පූර්ණ වෙන්නෙ මේ සාමූහිකත්වයත් එක්ක. 
හරිම පුදුම විදිහට  ඕනම කෙනෙකුට තමන්ගෙ ඇතුලෙ තියෙන ඒ දිව්‍යමය මොහොත අත්දකින්න පුළුවන් විදිහට ඒ සම්පූර්ණ වන්දනාව නිර්මාණය වෙලා තියෙනවා. මේක සායිබාබා ගැන විතරක් නෙමෙයි. තව ගොඩක් අපි අතිසරල විදිහට බැහැර කරන ආගමික කාරණා ඇතුලෙ තියෙනවා.

උදා විදිහට පහන් පත්තු කරන එක. ගින්දර තරම් අපිව අපේ ප‍්‍රාකෘතික තත්වයට අරන් යන්න පුළුවන් වෙන කිසිම දෙයක් නෑ. ගින්දර කියන්නෙ අපේ සවිඥානය. ඒ පහන් දැල්ල දිහා බලාගෙන ඉන්න අපි ඒ වෙලාවෙදි ගිනිමැලය වටා එකතු වුනු අපේ ආදිතම මානවයා දක්වාම අවිඥානිකව බැඳෙනවා. මොහොතකට අපි අපේ සාමූහික අවිඥානය ෂෙයාර් කරගන්නවා. අපේ ආත්මීය සීමාවලින් මිදෙනවා.

දැනුමත් එක්ක අපේ ජිවිත සීමා වෙනවා. අපේ මිතිකල් පැවැත්ම අපි තාර්කික දැනුම වෙනුවෙන් පාවා දෙනවා. අන්තිම සාමාන්‍ය දෛනික මිනිස් ජීවිතේ ඉඳන් අපේ ශරීරය ඉක්මවූ මහා සමස්තයක් දක්වා ජීවිතේ විඳින්න, පවතින්න තියෙන හැකියාව අපි අහිමි කරගන්නවා. ඇත්තටම කිව්වොත් සම්පූර්ණ ජීවිතයක් කියන එක අපි දන්නෙම නැතුව අපිට නැති වෙනවා. 

ඇයි මං මේක ලියන්නෙ කියල මං දන්නෙ නෑ. ඒක හින්දම මේක මෙතනින් ඉවර වෙන්න  ඕන කියල තාර්කික අවසානයකුත් මගේ ඔලූවෙ නෑ. ඒත් ළ`ගදි ආපහු මාරසිංහ ගැන කල්පනා කරද්දි ඒ අතීතෙ ගැන දැනිච්ච භක්තිමත් හැගීම මට එලියට දාන්න  ඕන වුනා වෙන්න ඇති. 

සාමාන්‍ය ජීවිතේ තරම් ශුද්ධ වූ වෙනත් ආධ්‍යාත්මික ජීවිතයක් නෑ.
මෝඩකම තරම් දැනුම කවදාවත් පරිණත නෑ.

Thursday, February 8, 2018

එන්න ඡුන්දෙ දාන්න.





ලබන සෙනසුරාදා ඒ කියන්නෙ 10 වෙනිද ප‍්‍රදේශීය සභා- මහ නගරසභා ඡුන්දෙ. මේ පාර ඡුන්දෙදි වමේ අදහස් දෙකක් තරග කරනවා. ඒ එක පිලක් කියන්නෙ ඡුන්දෙ වර්ජනය කරන්න කියල. විරෝධය දක්වන්න කියල. ඒකටත් සෑහෙන සද්දයක් තියෙනවා. කලාකාරයො කතිකාචාරියො වගේ හැමදාම ඡුන්දයක් කිට්ටු වෙද්දි සොරි කලින් වැරදුනා කියලා අලූත් එකකට සපෝර්ට් කරන සෙට් එක මේ පාර කියන්නෙ ජවිපෙට ඡුන්දෙ දෙන්න කියල. රණ විරුවො, මතට තිත, සිංහල බෞද්ද කැම්පේන් එකෙන් ගොඩයන්න නිදහස් පක්ෂෙයි පොහොට්ටුවයි අතර තියෙන්නෙ තරගයක්. අන්තිම මොහොතෙදි බි‍්‍රතාන්‍ය එම්බසිය ඉස්සරහ බෙල්ල කසපු බි‍්‍රගේඩියර් යන්තං මෙතනදි මෛත‍්‍රී පිලට තුරුම්පුවක් ඇදලා දුන්නා. යූඇන්පිය තමන්ගෙ සුපුරුදු ලිබරල් කතා ටිකම කියාගෙන වැඩි ගානක් නැතුව යන්නෙ දිනන එක ගැන වැඩි ෂුවර් එකක් තියෙන හින්ද.

ඡුන්දෙ වර්ජනය කරන එක මෝඩ වැඩක්. ඡුන්දෙ කියන්නෙ ඉතාම උවමනාවෙන් රැුකගන්න  ඕන පුරවැසි අයිතියක්. ඡුන්දයක් වෙනුවෙන් ජනතාව එකතු වෙන එක, අදහස් හුවමාරු කරගන්න එක, සහභාගි වෙන එක මොන තත්වයක් යටතේ වුනත් හොඳ දෙයක්. ඒක මතවාදයක් අදහසක් වෙනුවෙන් සමස්ත රටවැසියන්ගෙ පෙළගැසීමක්. ඒ සක‍්‍රීය සහභාගීත්වය නිශ්ක‍්‍රීය කරගන්නවා කියන්නෙ සාර්තකබවේ ප‍්‍රතිශතය මොකක් වුනත් දශක ගානක් පුරා එක එක විදිවලින් සිද්දවෙච්ච පුරවැසියන් සංවිධානය කිරීමේ වෑයමක් ආපහු හරවනවා වගේ වැඩක්.  කාලයක් තිස්සෙ ගොඩනැගුන සමාජ දේශපාලන ආකෘතියක්, සංස්කෘතියක් වඩා ඵලදායී විදිහට පාවිච්චි කරනවා වෙනුවට අත්හැර දැමීමක්. ඒ යෝජනාව අතිශයින්ම අරාජිකවාදී යෝජනාවක්.

ඡුන්දෙ ජවිපෙට දෙන්න කියල ආචාර්ය කලාකාර සෙට් එක යෝජනා කරන්නෙ වෙන දෙන්න කෙනෙක් නැති හින්ද. මෛත‍්‍රී ඒ ගොල්ලොන්ව රවට්ටපු හින්ද. කොයිතරම් සංස්කෘතික ආකල්පමය පැත්තෙන් විරෝදතා තිබුනත් හොරකම් කරන්නෙ නැති හින්ද ජවිපෙට සහාය දෙමු කියල ඒ ගොල්ලො කියනවා. හොරකම් නොකිරීම කියන එක හොඳ ගුනයක් වුනාට ඒක රටක ගමක වැඩකට තෝරගන්න මූලික සුදුසුකමක් නෙමෙයි. හොරකම් නොකිරීමන් නාස්තිය අවම කරගන්න පුළුවන් වුනාට පළාතක් සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒකට  ඕන වෙනවා දැක්මක්. සැලැස්මක්. ජවිපෙ කියන්නෙ එහෙම එකක් තියෙන පක්ෂයක් නෙමෙයි. ඒ වෙනුවට ග‍්‍රාම්‍ය හෘදය සාක්ෂිය උඩ දුවන බොළඳ පක්ෂයක්. ඉතාම හානිකර විදිහට ජනප‍්‍රිය මතය වෙනුවෙන් ජාතිවාදී ආගම්වාදී නිදහස් විරෝධී ස්ථාවරයන් උඩ හිටගන්න පක්ෂයක්. හොරකම් නොකිරීම කියන කාරණයට මුවාවීම හරහා මේ කලාකාර ආචාර්ය නඩය ජවිපෙ තියෙන හානිකර පැත්ත සහමුලින් වසන් කරනවා. ඒකම හොරකමක්.

ඡුන්දයක් කියන්නෙ අදහසක්. මේ පාර ඡුන්දයක් කියන්නෙ පුද්ගලයෙකුට වඩා පක්ෂයක්. පක්ෂයක මතවාදයක්. එතනදි කාන්තාවන්ගෙ සම අයිතිය පිළිනොගන්නා, සමලිංගිකයන් රෝගීන් පිරිසක් විදිහට දකින, කලාවේ නිදහස බාර නොගන්න, ආර්තික සංවර්ධනයක් ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති පක්ෂයක් වෙනුවෙන් මිනිස්සු සංවිධානය කිරීම සමාජය පැත්තෙන් ඉතාම හානිකර වෑයමක්. හොරකම් නොකිරීම ඉස්සරහට දාලා මේ කට්ටිය දැනුවත්ව හෝ නොදැනුවත්ව ජවිපෙ මේ ගතානුගතික සාම්ප‍්‍රදායිකත්වයට සුජාතභාවයක් අරන් දෙනවා. හයිවේ හදන්නෙ රේස් පදින්නද කියල අහපු, නෙළුම් කුළුණ තරු ගනින්නද කියල අහපු මානසිකත්වයක් ජවිපෙට තියෙන්නෙ. හොරකම කියන කාරණය ඇරුනම මහින්ද සමග හෝ සිරිසේන සමග හිටගන්න බැරි වෙන කිසිම මතවාදිමය වෙනසක් ජවිපෙට නෑ. 

නිදහස් පක්ෂය සහ පොහොට්ටුව තමන්ගෙ සුපුරුදු සිංහල බෞද්ද ඡුන්ද ටික වෙනුවෙන් සටන් වදිනවා. නිදහසක් ගැන කිසිම හැගීමක් නැති සිරිසේන නිදහසට පක්ෂ වෙන්න කියල කියද්දි මහින්ද නවත්තපු තැනින් පටන් ගන්න කට්ටිය එකතු කරනවා. ඒක ඇත්තටම අවංක පෙනී සිටීමක්. හොරකම් කරන එක, මිනීමරන එක, දුෂණය හැමදේම ආයිමත් නවත්තපු තැනින් පටන් ගමු කියල එයා කෙලින් කියනවා. කොළඹට ඒ පක්ෂෙන් ඉල්ලන අපේක්ෂකයෙක් ගෝටාගෙ ලිගසි එක ආපහු ගේන්න එයා එනවා කියලම කියනවා. අහද්දි ඇෙ`ග් හිරගඩු පිපෙනවා.

ඒ කොහොම වුනත් ජාතිකවාදී ජාතිවාදී ආගම්වාදී මත්විරෝදී, සදාචාරවාදී කට්ටියට පුළුවන් සිරිසේන හරි මහින්ද හරි තෝරගන්න. යුක්තිය, සාධාරණය, රාජ්‍ය තාන්ත‍්‍රිකබව, මානව නිදහස වගේ අනවශ්‍ය දේවල් ගනං ගන්නෙ නැතුව තමන්ට වාසි දේශපාලනය කරගෙන යන්න. මහින්ද මේ මතවාදෙ ඔරිජිනල් එක හින්ද සිරිසේනට ඉන්න වෙන්නෙ ටිකක් පස්සෙන්. ගැම්ම තියෙන්නෙ මහින්ද එක්ක. ගේම තියෙන්නෙ සිරිසේන එක්ක. ඒත් මතවාදයක් විදිහට දෙකේ වෙනසක් නෑ. සිරිසේන යන්නෙ මහින්ද හදපු පාරෙ.

යූඇන්පිය මේ ඡුන්දෙදි වැඩිය ද`ගලන්න යන්නෙ නෑ.  මහ බැංකු හොරකම ගැන කතාවත් එක්ක යූඇන්පිය නාගනිමින් හිටියෙ. ඒත් ඡුන්දෙ කිට්ටු වෙද්දි මංගල ගෙනාපු අමුතු යෝජනා ටිකකින් කතාව සෑහෙන දුරට අනිත් පැත්ත හැරුනා. ගෑනුන්ට මත්පැන් මිලදී ගන්න, පාවිච්චි කරන්න අයිතිය ලබාදීම හරහා මෙතෙක් නීතියෙන් කාන්තාව විෂයෙහි පැනවුන අසමානතාවය නිවැරදි කරන්න මංගල ජනප‍්‍රිය නොවන,  මතභේදයට තුඩුදෙන පියවරක් ගත්තා. ගත්ත සැනින් සිරිසේන ඒක අවලංගු කරමින් තමන්ගෙ සංස්කෘතික රෙද්ද හෝදගත්තා. රටක් විදිහට අපිට සාමාන්‍ය වෙලා තියෙන සෙක්සිස්ට් පැවැත්ම අභියෝග කරන එක හොඳ වැඩක්. ඒ අභියෝගයත් එක්කම සමානතා එලියට ආවා. සිරිසේන වගේම ජවිපෙත් කාන්තා අයිතිය ගැන යෝජනාවට විරුද්ද වුනා. ඊට පස්සෙ බෙල්ල කසපු බි‍්‍රගේඩියර්ව රාජ්‍ය තාන්ත‍්‍රික දැක්මකින් සහ විනයකින් යුතුව විදේශ සේවා අමාත්‍යංශය වහා වැඩ තහනමකට ලක්කළා. ඒත් ලංකාවෙ ජනතාව මේ අවිනීතකම වීරකමක් විදිහට උඩදාන්න ගත්තා. සිරිසේන වහාම රණවිරුවාව ආයිමත් සේවයේ පිහිටුවාලමින් මහින්දගෙ ලිගසියෙන් ටිකක් සාක්කුවෙ දාගන්න බැලූවා.

ඡුන්දෙට තියෙන්නෙ තව දවසයි. පක්ෂ ඔක්කොම ගත්තත් සංවර්ධනය පැත්තෙන් හෝ රටේ ස්ථාවරත්වයක්, දිශානතියක්, දියුණුවක් ඇති කිරීම පැත්තෙන් අන්තිම අසාර්ථක වෙලයි ඉන්නෙ. මේ අසාර්ථකත්වය හින්දම ආපහු ලෙන්වාසී ගෝත‍්‍රවාදය පැත්තට තල්ලූවක් ඇතිවෙමිනුයි තියෙන්නෙ. මේ අතරෙ රටටම වයිෆයි දෙන්න රනිල් ඡුන්ද පොරොන්දුවක් දෙනවා. ඒක සෑහෙන ජෝක් එකක් වෙනවා.

ඒත් මේ ඡුන්දෙදි මතවාදිමය අතින් යූඇන්පිය තාමත් අනිත් පක්ෂ ඔක්කොටම වඩා ප‍්‍රගතිශීලී තැනක ඉන්නවා කියන එකයි මගේ අදහස. හොරකම, දුෂණය, අකාර්යක්ෂමතාව වගේ කාරණාවලදි ඒකත් එහෙමම තමයි. ඒත් ශිෂ්ටත්වයක්, දියුණුවක් ගැන අඩුම තරමෙ විශ්වාසයක් පැවතීම, නිදහස, සමානාත්මතාවය වගේ කාරණාවලදි රටේ බහුතරයට ජනප‍්‍රිය නොවෙන ප‍්‍රවේශයන් පවා ගනිමින් යම් ප‍්‍රගතිශීලී උත්සාහයන් දැරීම, වැඩියෙන්ම ලෝකෙ අනිත් රටවල් එක්ක සම්බන්ධ වෙමින් සංස්කෘතීන් හුවමාරු කරගනිමින් ජීවත් විය යුතුයි කියන විශ්වාසය දැරීම වගේ කාරණා හින්ද යූඇන්පිය මට අනුව  වඩා ඉදිරිගාමීයි. ගැලරියේ විසිල් එකට වඩා රටක් විදිහට යම් ශිෂ්ට සැලැස්මකට අනුගතව වැඩකිරීම මේ වෙලාවෙදි පෙන්නන්නෙ යූඇන්පිය විතරයි. ග‍්‍රාම්‍යත්වය වෙනුවට නාගරිකත්වය වෙත යන ගමනක යෝජනාව තියෙන්නෙ ඔවුන් ළ`ග විතරයි. රනිල් සහ මංගලගෙන් පස්සෙ යූඇන්පියෙ තත්වයත් නිදහස් පක්ෂෙ ගානටම වැටෙයි.  

ඒත් තාමත් ග‍්‍රාම්‍යත්වය වෙනුවට නාගරිකත්වය තෝරගන්න අයට ඉතුරු වෙලා තියෙන්නෙ ඒක විතරයි.