Saturday, July 24, 2010

පරා ගේ Art එක


සියත ටීවී එකේ රසවාහිනී, ශබ්ද කෝෂය, ස්වරූපන වැඩසටහන් කරන්නෙ පරාක‍්‍රම. පාරාක‍්‍රම ඒකනායක. කලින් සිරසෙ art එක කළෙත් එයා. පරාක‍්‍රම කරන වැඩ වල අමුත්තක් තිබුණ. අනිත් ටෙලිවිෂන් වැඩ වලට පිටින් වෙනම ධාරාවක ඒවා තිබුණ. වෙනස් අන්තර්ගතයක් වගේම වෙනම රිද්මයක්, රූප භාවිතාවක් ඒ program වල තිබුණ.

පරාක‍්‍රම ඒ විදිහෙ මොකක් හරි හැඩයක් දැනගෙන කරනවද?

මං ටෙලිවිෂන් වලට ආවෙ පත්තරෙන්. එතකොට මට ඕන වෙනවා ඒ මීඩියා එක ඇතුලෙ හරියට ස්ථානගත වෙන්න. ඒකට මට සිද්ද වෙනවා වෙන අය නොකරපු දෙයක් කරන්න. එක පැත්තකින් මට පුළුවන් ටෙලි නාට්‍ය කරන්න යන්න. අනිත් පැත්තෙන් මට තියෙනවා පත්තරකාරයෙක් විදිහට මං අතපත ගාපු පොත පත. මං මුලින්ම කළේ පොත් ගැන වැඩසටහනක්. ඊළගට art ගැන. මං ලියද්දි ලියන දේ කොහොමද ටෙලිවිෂන් එකට ගේන්නෙ කියන එක තමයි මට හිතන්න තිබුණෙ.

මට කලින් සෙනේෂ් මේ විදිහෙ වැඩක් කළා. ‘යාත‍්‍රා‘ කියල. මං කළේ ඊට පස්සෙ. යාත‍්‍රා වලින් කතා කරපු අවකාශයටම මම වෙන ආකෘතියකින් කතා කළා.

ටෙලිවිෂන් එකේ වැඩක් කරන්න පුළුවන් කියල හිතනවද?

පුළුවන් වෙන්න එපැයි. ටෙලිවිෂන් පටන්ගත්ත කාලෙ හොඳ වැඩ ටිකක් කළානෙ. පළිගු මැණිකෙ වගේ ටෙලි නාට්‍ය වුණත් හොඳ මට්ටමක තිබුණ. මෑතක් වෙනකල්ම ටෙලිවිෂන් එකෙන් වැඩක් කරන්න හදපු කට්ටිය හිටියා. පස්සෙ ඒක අත් ඇරෙනවා. දැන් නිකං ටීවී කියන්නෙ ලොලිපොප් වගේ නෙ.
උදාහරණයක් විදිහට සුපර්ස්ටාර් වගේ ප්‍රෝග‍්‍රෑම් එකක් බටහරි හැදෙන්නෙ එහේ ටෙලිවිෂන් එක ලොකු කාලයක් තිස්සෙ පරිණාමය වුණාට පස්සෙ. ඒ ප්‍රෝග‍්‍රෑම් එකට හොඳ බේස් එකක් එහේ තියෙනවා. ඒත් අපිට ටෙලිවිෂන් ඇවිල්ලා තාම අවුරුදු තිහක් විතර. ඉතින් අපි සුපර්ස්ටාර් කරන්නෙ උඩින් පැනලා. මැද හිස්.
මගේ වැඩසටහන් වල මැජික් නෑ. සාහිත්‍ය, කලාව කියන්නෙ ඉතින් තරු විසිවෙන මැජික් නෙමෙයි. පොතකට කවුද sms ගහන්නෙ?
ඉතිං මැජික් මැද්දෙ ඔයාගෙ වැඩ වලට මොකද වෙන්නෙ?
මැජික් අතරෙ ඇත්ත ලොකු හිස්කමක් තියෙනවා. ඒවා බලාගෙන අපි හිතනවා අපේ life එක පිරිලා කියල. ඒත් අපි තාම අඩනවා. කෙල්ල දාලා ගියාම අඩනවා. fone එක නැති වුණාම අඩනවා. මේ හිස් තැන අපිට දැනෙනවා. book fair එකට ගියහම එතන තියෙන ඔක්කොම පොත් ගන්නවා. ඒත් කියවන්නෙ නෑ. ඔය පොත් කියවිල්ල කියෙව්වා නම් ලංකාව වෙනස් වෙන්න එපැයි. ඒ හිස්කම පුරවන හැටි. ඔය ජනප‍්‍රිය ප්‍රෝග‍්‍රෑම් වලින් පෙන්නන තරම් අපේ ජීවිත පිරිලා නෑ. ඒවා දුප්පත්.

සමහර අය මගේ ප්‍රෝග‍්‍රෑම් බලන්නෙ fashion එකක් විදිහට. මං ‘art එක‘ බලන කෙනෙක් කියන්න. ඒත් ඇත්තට ජීවිතේ හිස්කම දැනෙන අයත් ඒවා බලනවා. මේ මැජික් අතරෙ වැඩ කරන්න පුළුවන් හිස්තැනක් තියෙනවා. හැමෝගෙම ජීවිත වල ඇත්ත හිස්තැනක එහෙම වැඩකට ඉඩක් තියෙනවා. මට වෙන්නෙ පළවෙනි සබන් කෑල්ල හදපු මිනිහට වුණු වැඬේ. හදපු එකා දැනගන්න ඕන විකුණන්න.

ඔබ ටීවී එකේ අතාර්කික වෙයිද?

මං අතාර්කික වෙන්න පුළුවන්. මං කරන්නෙ කහ ඉර තියෙද්දි වෙන තැනකින් පාර පනිනවා වගේ වැඩක්. එතකොට හැප්පෙනවා තමයි. ඒත් මං පාර පැන්නොත්....
මං හිතනවා මට පුළුවන් වෙයි මෙතනින් පාර පනින කට්ටිය එකතු කර ගන්න. මං ආස නෑ ඒ කහ ඉරට.

ජනප‍්‍රිය වෙන්න ඕන නැද්ද?

නෑ. ඒක සුනාමි වගේ වැඩක්. එද්දි හරි ලොකුයි. ඒත් ගියහම කාටවත් මතක නෑ. ජනප‍්‍රිය වෙනවා වෙනුවට මං කැමතියි ප‍්‍රසිද්ධ වෙන්න. ජනප‍්‍රියකම කියන්නෙ පොප් කෝර්න් වගේ. අනික දැන් හැමෝම ජනප‍්‍රියයි නෙ. මට මෙහෙම හොඳයි.

පරා ආදර කතා ලියනවා. දුසිම් ගාණට ආදර කතා එද්දි ඔයාටත් ලියන්න දෙයක් තියෙනවද?

අපි හැමෝටම කියන්න කතාවක් තියෙනවා. ඒත් අපි ගොඩක් අය ඒ කතාව කියන්නෙ නෑ. මං පොත් ලියන කාලෙදි ලියවුණු ආදර කතා හරි පවිත‍්‍රයි. සුන්දරයි. ඒ සම්බන්ධතා පිටිපස්සෙ තියෙන මිනිස්සුන්ගෙ ඛේදවාචක ඒවායෙ කියවෙන්නෙ නෑ. මට මුණගැහුණ මිනිස්සු හැමෝගෙම ජීවිතේ ලොකු ඛේදවාචකයක් වෙමින් තිබුණා. මං ඒ අයගෙ කතා ලියනවා. අපි හැමෝම ආසයි අනිත් අයගෙ වේදනාව කියවන්න. ඒත් ඒක කියවද්දි අපිත් ඒ ඛේදවාචකේම කොටසක්.

මං එන්නෙ ගමෙන්. කොළඹට ආවට පස්සෙ මට මිනිස්සු හම්බුවෙන්නෙ නෑ. හම්බුවෙන අයටත් ඒ අයගෙ ඛේදවාචක තියෙනවා. මට මනුස්සකම කියන එක කවදාවත් හම්බුණේ නෑ. හැම තැනම ඒක ගැන කතා කරනවා. හැමෝම ඒක තියෙනවා වගේ ඉන්නවා. මං අහන්නෙ කෝ ඒක?

පරාට දැනෙන්නෙ හුදකලාවක්ද?

හුදකලාවක් නෙමෙයි. ඒක හිස් තැනක්. ඒක පුරවන්න මං වැඩ කරනවා. කොළඹදී මට මිනිස්සු හම්බුණේ කීප දෙනයි. හැමෝම ඉන්නෙ අවුලක. ඒක නිසාම දුකක් කියන්න ගියොත් අනිත් කෙනා ඒක පාවිච්චි කරන්න ගන්නවා. ඒවා තමයි නාගරික සම්බන්ධතා. මේ හිස්කමයි මට කියන්න ඕන.

මට ජීවිතේ හම්බු වෙන මිනිස්සුන්ගෙ ඇත්ත ලංකාවෙ හැටියට හරි අවුල්. හැබැයි ඒ අවුලම තමයි උන්ගෙ සුන්දර. සමහර අය තමන්ගෙ පළවෙනි පේ‍්‍රමය වෙනුවෙන් දුක් විඳිනවා. ඒත් බැඳලා. තව කෙල්ලෙක් බලන් ඉන්නවා මුල්ම පෙම්වතාගෙන් දරුවෙක් හදා ගන්න කසාද බැඳපු මිනිහට හොරෙන්. මේවා සංස්කෘතික විරෝධීයි. ඒත් මාර ලස්සන ජීවිත. මං ආස කරපු පොත් වල තිබුණෙ මේ වගේ ජීවිත. මගේ කතාව ලියද්දි මං ඒ කිසි දෙයක් ලස්සන කළේ නෑ. නිල්ල නිලන දේදුනු යට කතා ලිව්වෙ නෑ. මං ඒ අවුල කියාගෙන ගියා.

මට පරා ව හම්බුවෙන්නෙ පාරාදීසෙ පත්තරේදි

පාරාදීසෙ කියන්නෙ මගේ මුල්ම ස්ථිර රස්සාව. සිරිමල් එක්ක. මට කියන්න තිබුණ දේවල් එක්ක එතන මාරට ගැලපුණා. මගේ ප‍්‍රශ්න කියන්න මට භාෂාවක් හම්බුණා. මං තාම විශ්වාස කරනවා ඒ වගේ සගරාවක් අදටත් ඕන. මේ වගේ ෆෝන් කනේ ගහගෙන ඉන්න පරම්පරාවට ඒ අයගෙ ඇත්ත අවුල ගැන කතා කරන තැනක් නෑ. අයාලෙ යනවා කියන්නෙ ඒ විදිහට දෙබසක් අහිමි වුණහම. අද ඒ වගේ මැගසින් එකක් නැති අඩුව හොඳටම දැනෙනවා. අනික අපි තමයි ඒ කාලෙ fashion එක (සිනා)

-චින්තන

2 comments:

  1. Ah...ayeth chinthana

    ReplyDelete
  2. samahara ballonta pedigree dennama ona natnam un kannena..habai wal ballo ehema nemei onadeyak kanawa..habai un pedegree gana dannewath na..

    ReplyDelete