Saturday, July 24, 2010

Facebook එකේ ලියන කවි


දිය කිඳුරියක්
ආදරේ කරන්න

පටන් අරං

පීනන්නවත්

බැරි

මට

Facebook කවියෝ වැහි වැහැලා නිකං තියෙන හින්ද වැදගැම්මකට නැති කවි අම්බානක ලිය ලියා දාන හින්ද මං කවි කියවන එක නවත්තලා තිබුණෙ. පොත් වල කවි කියල ලියවෙන්නෙත් පට්ට පරණ, කටේ තියන්න බැරි පිළුනු අත්දැකීම් සහ ඒකටම හරියන බාසාවක් හින්ද පත්තරේක කවියක් දකින එක වුණත් ඉක්මණට අනිත් පිටුවට පෙරළන එක සාමාන්‍යයක්. ඒක හින්ද ඉන්දික ගේ කවි මට මුණ ගැහුණෙ අහම්බෙන්.

ඒ කවි present කරල තිබුණ විදිහ අවුල්. ඇස් වලට අමාරු, තනි පාට කොල තීරු වල නිකම්ම අකුරු ටයිප් තිබුණෙ web එකේ කවියක් එක්ක කරන්න පුළුවන් හුගක් දේවල් අමතක කරල. ඒ වෙනුවට තාමත් කවියේ ඉදිරිපත් කිරීම පොතක මට්ටමෙන් හිතන වගක් ඒකෙ දැණුන.

ඒත් ඒ කවි මට කතා කළා. වචන වලින් තනිකරම කියල ඉවර කරන්න බැරි ඇත්ත අත්දැකීම වලින් ඒ වචන බඩ වෙලා තිබුණා. ඉන්දික හුගක් හොඳ කවියෙක් වෙන්නෙ ඒ විදිහට වචන බඩ කරන්න තියෙන දුර්ලබ හැකියාව හින්දමයි. ඒ එක්කම කවි පේලි අතර වැටෙන හුස්ම, ඒකෙන්ම ගොඩ නැගෙන නිරායාස තාලය කවියේ පරිපූර්ණත්වය ස්පර්ශ කරමින් තිබුණ. ආයිමත් වතාවක් කවියෙක් මුණ ගැසීමේ ත‍්‍රිල් එකෙන් මං කවි ඔක්කොම එක හුස්මට කියෙව්වා.

ඉන්දික කවි වලදි වචන පේලි අතර හිඩැස් හදනවා. අත්දැකීම එතැනින් මාරු වෙන්නෙ කියවන කෙනාගේ මතක හෝ අත්දැකීම් හරහායි. සම්පූර්ණ කතාවක් හරි සිද්ධියක් හරි වෙනුවට ඉන්දික කරන්නෙ විෂුවල් එකක්. ඒ අතර සොඳුරු භාෂාමය ෙඡ්දන ඔහු පාවිච්චි කරනවා. එතකොට අත්දැකීම ප‍්‍රක්‍ෂේපණය වෙන්නෙ කවි කොලය උඩ නෙමෙයි. කියවන කෙනාගේ මනස උඩ. ඒ අත්දැකීම විඳින්නෙ කියවන්නාම හින්ද හිරිගඩු පිපෙන ආතල් එකකින් එකපාර හිත කිතිකැවෙනවා. ඉන්දික කවියෙක් වෙන්නෙ මේ හින්ද.

මං හීතලෙන්
බැට කකා

ඉන්න කොට

මහ රෑ
තට්ට තනියම

ඔයා
දුම් දමන
උණුම උණු

කෝපි කෝප්පයක් හදා ගෙන
බලා සිටි බව
මං දන්නෙ පස්සෙ

එතකොට
හොඳටෝම
ඇල්වෙන්න

නිමිලා


මේ කවි වල දේශපාලනේ කතා කරන්න නෑ. ඒ වෙනුවට ජීවිතය කතා කරනවා. හරිම abstract විදිහට. කවි එකතුවේ නමක් abstract. පුංචි තැනකින් කතාව කියනවා ඕනම කෙනෙකුගේ අත්දැකීමට ඇතුල් වෙන්න ඉඩ තියලා. මේ කවි වල දොරවල් වැහිලා නෑ. හයිකු නැත්නම් සෙන් කවි වගේ කවිය ඇතුලෙ කියවන්නාට සක්මන් කරන්න පුළුවන්. ඒ වියුක්ත අත්දැකීම තම තමන්ගේ මනස් ඇතුලෙ සංයුක්ත කර ගන්න පුළුවන්. ඉන්දික නිදහස් කවියෙක්. ඒ එක්කම එයා පුංචි තැන්වලින් ජීවිතය කියවන්න දන්න රොමැන්ටික් කවියෙක්.

මේ කවි web එකේ දිග ඇරෙන එකත් හරි විශේෂයි. හේතුව කවි පොතක් කියලා ඕක print කරලා ලොකු නමක් තියෙන පරණ කවියෙකුට කියලා බෞතිස්ම නොකර Facebook යාලූවො අතරෙ බෙදා ගන්න ඇත්ත ආදරයක් විදිහට එළියට දාපු එක ගැන ඉන්දිකට සැලියුට් කරනවා. කවි මේ විදිහට නිදහසේ බෙදෙන්න ඕන. පොත් විදිහට සීමා වෙන්නෙ නැතුව, ජීවිතේ පාලූව, කාන්සිය, අසහනය, ආදරය වගේම අසනීප බෙදා ගන්නා මිළක් නැති තැන් වල art හුවමාරු වෙන එක හුගක් ලස්සනයි. ඒත් මේ කවි ඊට වඩා පිරිසක් අතරට යන්න ඕන. මිනිස්සු සජීවිව මුණ ගැහෙන තැන් වලට මේ අත්දැකීම් එන්න ඕන. ඒකට කවි ගැන කතා කරන්න, මුහුදු වෙරළක්, කනත්තක්, බෝඩිමක් හරි කොහේ හරි තැනක් ගැළපේවි. රස වින්දනයත් එක්ක අලූත් ඇගට දැනෙන love එකක් එකතු කරන්න එතකොට මේ කවි වලට පුළුවන් වේවි. ඉන්දික හොඳ කවියෙක් වෙන්නෙ ඒ නිසා. මේ හිස් කාන්තාරෙට එයා ආපහු ලැබෙන දෙයක් ගැන බලාපොරොත්තුවක් නැතුව ලියපු නිසා.

මහරජ
ඔබට ඒ ඥාතීත්
මේ ඥාතීත් හැර
තවත් ඥාතීන්

සිටිත්ද??

ඉන්දිකගේ කවි සමහර තැන් වලදී තියුණු විදිහටම දේශපාලනිකයි. ඒ දේශපාලනයට වැඩි දෙයක් ඒ කවි ඇතුලෙ තියෙද්දි. ඒත් වෙන්න පුළුවන් විදිහටම සමහර තැන් වලදී ඉන්දික පටුයි. සුලබ දේශපාලනික හෝ ජනතාවාදී පණිවුඩයට කොටු වෙනවා. කවිය පරණ වෙලා තියෙන තරමට කොයි තරම් අලූතෙන් හිතුවත් පරණ පුස් ගඳ දැනෙන්න ගන්නවා. හැබැයි එතැනින් එහාට දේශපාලනය විඳින්න පුළුවන් තැනක් වෙනකල් නැත්තං රහට හපන්න පුළුවන් තැනක් වෙනකල් ගේන්න ඉන්දිකට ගොඩක් තැන් වලදි පුළුවන් වෙනවා.

මෙතැනදි මං උපුටා ගත්ත කවි හැම එකකම අර්ථය මතුවෙන්නෙ ඒ කවි වලට එයා දීලා තියෙන මාතෘකාවත් එක්කයි. මං උවමනාවෙන්ම මාතෘකා මග හැරියේ ඉන්දිකගේ original කවි වලටම ගිහින් ඒවා කියවන්න ඕන නිසයි. ඒක හින්ද ඒ කවි කියවන්න කවියාගේ අඩවියට යන්න. ගිහින් එයාව වැළඳ ගන්න.

නොහිතුවට
අපි
හැමෝම

ටොම්ලා.
හැමදාම
ජෙරී
පස්සෙන්

පන්නන
ඉන්දිකගේ කවි වල visual හැඩයකුත් තියෙනවා. ඒ කවි වල පේලි ගැලපෙන්නෙ තාලෙට වගේම visual එකක් විදිහටත් හැඩයක් මතු කරන ගමන්. මේක ආකෘතියක් විදිහට ගන්න ගිහින් ඉන්දික ඇණ ගත්ත තැනුත් තියෙනවා. මොකක් වුණත් ඒක ආකෘතියක් විදිහට එන්න ගත්තම ඇතුලෙ දේවල් අවුල් වෙන්න ගන්නවා.

ඒත් ඉන්දිකගේ කවි කාලෙකට පස්සෙ මට කවියක ආතල් එක අරන් ආවා. මගේ ඇතුලෙ ජීවිතය එක්ක ගණුදෙනු කළා. ඒක හින්ද අනික් ගොඩක් අයගේ කවි බොරු වෙද්දි මට ඒ කවි ඇත්ත.

No comments:

Post a Comment