Sunday, January 8, 2012

තක්කාලියි බෝල්ට් ඇණයි - නොහොත් වඳ චිත‍්‍රපටි හදන්න වද වෙන්න එපා 2



කාලෙකට කලින් මං ලියපු ගාමණී ගැන විචාරෙකට රියා අද්මිරාල්වරයා උත්තර ලියල තිබුණ. ඒ උත්තරේ හින්ද මං කළකිරුණ. එයාට මං කියපු දේ තේරිලා නෑ. ඒ වෙනුවට එයා මගේ විචාරයට ලියන්නෙ හමුදා වර්ගයේ උත්තරයක්. ඒක පාදක වෙලා තියෙන්නෙ කාරණා දෙකක් උඩ.

1. මාව දේශද්‍රෝහියෙක් විදිහට හංවඩු ගැහීම.

2. මාව මත්ලෝලියෙක් විදිහට හංවඩු ගැහීම. (මතට තිත*

අද්මිරාල් නොකියා කියන්නෙ මේ  චිත‍්‍රපටිය හැදුණෙ මහින්ද චින්තන සිනමා න්‍යායට අනුව කියන එක. ඊට පිට සිනමා විචාර මේ චිත‍්‍රපටියට අදාල නෑ. යුද්දෙ ඇත්තට හිටපු කෙනෙක් හින්ද එයා යුද්දෙ ගැන කියන කතාව සිනමාත්මක වෙන එකත් අනිවාර්යයි වගේ දෙයක් එයාගෙ ඔලූවෙ තියෙනව. කොහොමත් ඉහත කාරණා දෙකම මගේ සිනමා විචාරයට බාහිරයි. ඒක අද්මිරාල්වරයාගේ විචාරයේ අනිවාර්යයි. ඒ කියන්නෙ හොඳ චිත‍්‍රපටියක් හදන්න නම් එයා දේශපේ‍්‍රමියෙක් වෙන්න  ඕන. ඒ වගේම රා බීමෙන් අයින් වෙලා ඉන්න  ඕන. මං සාමාන්‍යයෙන් බලන්නෙම නැත්තෙ සහ මට බෝරිං ම චිත‍්‍රපටි වැටෙන්නෙ ඔය කාණ්ඩෙට.

ඉතිං අද්මිරාල්වරයා මේ කතා කරන සිනමාව ගැන මට කිසි දැනුමක් නැති එක ඇත්ත. අපි කතා කරන්නෙ ලෝක දෙකක් ගැන. මං ලියන්නෙ සිනමාව ගැන. අද්මිරාල් උත්තර දෙන්නෙ මහින්ද චින්තනේ ගැන. සමාවෙන්න. අපිට සංවාදයක් නෑ.

අපි කතා කරගෙන ගියේ කෙටි චිත‍්‍රපටි  ගැන. ළහිරුගෙ කතාවෙන් කතාව කල්ට් ෆිල්ම් පැත්තට පැන්නත් මං එතනදි කල්ට් ෆිල්ම් ගැන වැඩි විස්තරයක් කරන්න ගියේ නෑ. කල්ට් ෆිල්ම් කියන්නෙ ඒකමිතික දාර්ශනික පද්ධතියක් උඩ හැදෙන චිත‍්‍රපටි නෙමෙයි. අපේ රටේ හඳයා, ප‍්‍රසන්න වගේ අය මේන් ස්ටී‍්‍රම් වෙද්දි රෝයි ද සිල්වා වගේ අය කල්ට් ෆිල්ම් විදිහට ගන්න වෙනව. ඒත් ඒ කල්ට් භාවිතාව අන්තිම දුර්වලයි. නොදියුණුයි. අපේ චිත‍්‍රකතා සහ බටහිර ‘කොමික්’ අතර වෙනස වගේ. අපේ චිත‍්‍රකතා අඳින අය චිත‍්‍රකතාවේ පිරිහීමට හේතුව විදිහට දකින්නෙ සභ්‍යත්වයෙන් දුරස් වීම. ඒත් බටහිර කොමික් කියන්නෙම සභ්‍යත්වයෙන් එලියට යන එක. අපේ රටේ චිත‍්‍රකතාකරුවා කතා අඳින්න යන්නෙ ළමයින්ට. අර්ථයෙන් ධර්මයෙන් පිරුණු කතා තමයි එයා අඳින්න යන්නෙ. මේ අපේ රටේ කිසිම සම්ප‍්‍රදායක් සමාජයක් එක්ක නොවැඞීමේ කරුමෙ. උඩින් වැටුණ වගේ සම්ප‍්‍රදායන් අහුලගෙන තමන්ගෙ පටු දැක්මක් ඇතුලෙ හසුරුවන්න යනව. හරියට රොක් මියුසික් පාවිච්චි කරලා බුද්ධාගම කියන්න යනව වගේ. මේකට අපේ නෙළුම් පොකුණෙ කට්ටිය කියන්නෙ ‘බටහිර දේ අපේ හැටියට පාවිච්චි කිරීම’ කියල.

කල්ට් එකක් කියන්නෙ නිශ්චිත පේ‍්‍රක්‍ෂාගාරයක් එක්ක හැදෙන සම්ප‍්‍රදායක්. ඬේවිඞ් ලින්ච් කියන්නෙ ඇමෙරිකාවෙ කල්ට් සිනමාකරුවෙක්. ටැරන්ටිනෝ කියන්නෙ තව කල්ට් එකක්. මේවා එකිනෙකට වෙනස්. එන්ටර්ටේන්මන්ට් කියන්නෙ සිංදු ෆයිට් කියන එක නෙමෙයි. සජීවී පේ‍්‍රක්‍ෂාගාරයක් එක්ක සජීවී සිනමාවක් බෙදා ගන්න එක. සිනමාවට බාහිර වෙන වෙන මනස්ගාත දර්ශනවාද වෙනුවට මේ චිත‍්‍රපටි ඇතුලෙ හැසිරෙන්නෙ සිනමාව. වින්දනය.
‘හව් අයි වොන්ඩර්’ සමහර කාරණා අතින් ෆේල් කියල මං පිළිගන්නව. සාකච්ඡුාව මට  ඕන කරන දිශාවට ගන්න මං දීපු උත්තරේට සභාවේ සිනා ආවා. ‘මං කතා කරමින් ඉන්නෙ කාටද?’ මට දුක හිතුණ. ඒ දුකම අද්මිරාල්ගෙ ලිපිය කියවද්දිත් මට ආයිමත් ආවා.
කෙටි චිත‍්‍රපටි කියන්නෙ වඳ වෙන සම්ප‍්‍රදායක්. මං මගේ මාතෘකාවට ආවා. කෙටි චිත‍්‍රපටියක් කරන්න අවශ්‍ය මූලික අරමුණු තියෙන්නෙ දෙකයි.

1. තමන්ට අභ්‍යාසයක් විදිහට.

2. තමන්ගේ හැකියාව පිටස්තර අයට ඔප්පු කිරීමක් විදිහට.

කෙටි චිත‍්‍රපටි වලින් මේ  කාරණා දෙක සිද්ද වෙනවා කියල හිතන එකත් අතාර්කිකයි. විනාඩි කීපයක කෙටි  චිත‍්‍රපටියකින් දිගු වෘත්තාන්ත චිත‍්‍රපටියක් ගැන ගන්න පුළුවන් පුහුණුව  මොකක්ද? තාක්‍ෂණික කාරණා කීපයක් අරුණම චරිත ගොඩනැංවීම, කතා වින්‍යාසය වගේ තීරණාත්මක දේවල් අතින් කෙටි චිත‍්‍රපටි වෘත්තාන්ත චිත‍්‍රපටි වලට වඩා ගොඩක් වෙනස්. සමහර කාරණා වලදී මේ දෙක පරස්පරයි.

දෙවෙනි කාරණේ ලංකාවෙදි තාමත් යම් දුරකට අදාල වෙන්න පුළුවන්. ඒත් මේ වෙද්දි කෙටි චිත‍්‍රපටියක් බලලා වෘත්තාන්ත චිත‍්‍රපටියක් කරන්න පුළුවන් කියල වෙන රටවල චිත‍්‍රපටි නිෂ්පාදකයො තීරණය කරන්නෙ නෑ. වෘත්තාන්ත චිත‍්‍රපටියක් කියන්නෙ විශාල පරාසයක විවෘත වෙන වින්දන අවකාශ ගොඩක්. ඒක කෙටි චිත‍්‍රපටියක් වගේ හැකිළුණු සංක්ෂිප්ත රසයක් වෙනුවට විශාල පැතිරුණු තෘප්තියක් පේ‍්‍රක්‍ෂකයට දෙනව. ‘හව් අයි වොන්ඩර්’ අපි කරපු චිත‍්‍රපටිය යම් කාරණා අතින් අසාර්ථකයි කියල මං කිව්වෙ මේ අදහසත් එක්ක.
මේ වෙද්දි ලෝකෙ වෘත්තාන්ත චිත‍්‍රපටියත් එක් දර්ශන තලයක්, එක නළුවෙක් දක්වා හැකිලෙන ප‍්‍රවණතාවයක් තියෙනව (බෙරීඞ්, රෙක්ඞ් වගේ චිත‍්‍රපටි*. අපේ චිත‍්‍රපටියෙනුත් මේ අවමතාවාදය ගැන අපි අත්හදා බැලූව. ඒත් මේ ප‍්‍රවණතාවෙ හැදෙන විශිෂ්ට කෘතිවල දර්ශන තලය සහ නළුවන් ප‍්‍රමාණයෙන් හැකිළුණත් කතා තේමාව නැත්නම් විෂය හැකිලෙන්නෙ නෑ. වින්දනය සංක්ෂිප්ත වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට මං නම් සඳහන් කරපු චිත‍්‍රපටි දෙකම හරියටම හොලිවුඞ් න්‍යාය අනුව ලියවුණු තියුණු තිර රචනා උඩ පදනම් වුණු ඒවා. අපේ චිත‍්‍රපටියෙදි අපි මෙතන අසාර්ථක වෙනවා. අපේ අතින් නිර්මාණය වෙන්නෙ පැය එකහමාරක කෙටි චිත‍්‍රපටියක්.
කෙටි චිත‍්‍රපටි වඳ වෙනවා කියන කතාවට බූඩි එක`ග වුණේ නෑ. ධනුෂ්ක අනාගතවාදී අදහස ගැන කතා නොකර මේ මොහොතේ කෙටි චිත‍්‍රපටි වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද කියන ප‍්‍රායෝගික අදහසට ගියා.

බූඩි ලංකාවෙ පුදුම විදිහට අවතක්සේරු වුණු චිත‍්‍රපටිකරුවෙක්. ඇත්තටම අපේ චිත‍්‍රපටකරුවන් අතරින් වැඩියෙන්ම සිනමා භාෂාව කියන එක තේරෙන්නෙ බූඩිට. ‘සිහින දේශයෙන්’ ‘මිල්ලෙ සොයා’ චිත‍්‍රපටි වල ඒ ඇෙ`ගන් එන සිනමාව (අනිත් ගොඩක් අයට එන්නෙ ඔලූවෙන්*  කියන එක හොඳට දැනෙනව. ඒත් බූඩිගේ සිනමා භාෂාව ගැන කතා කරන්න ලංකාව ඒ ගැන දන්නෙ නෑ.

බූඩි ‘මාතා’ කරන්න යද්දි  මං විරුද්ධ වුණා. පිටපත කියවලා බැලූවම මට එපාම වුණා. ඒත් බූඩි මාතා කරන්න පටන් ගත්ත.

‘යකෝ ලංකාවෙ වෝර් ෆිල්ම්  එකක් කරන්න පුළුවන් වෙන්නෙ කීයෙන් කී දෙනාටද? ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙම වුණත් වෝර් ෆිල්ම් එකක් කියන්නෙ පුදුම චාන්ස් එකක්. මං ඒ ෆිල්ම් එක කරන්නෙ මට ඒ ෆිල්ම් එක්ස්පීරියන්ස් එක ගන්න  ඕන හින්ද ’

බූඩි පස්සෙ කිව්ව. අපි අයිඩියොලොජි  එක්ක හැප්පෙද්දි බූඩි හැප්පෙන්නෙ නැවත නැවත සිනමාව එක්ක. එහෙම සංස්කෘතියක් නැති රටක ඉඳන් තනියම හීනෙක ඇහැරෙන්නෙ නැතුවම ඉන්න බූඩිට තියෙන්නෙ පුදුම ‘ගටක්’.

‘මං කියන්නෙ කෙටි චිත‍්‍රපටි  වෙන වෙන ෆෝර්ම් වලට පරිවර්තනය වෙනව කියල. උදා විදිහට මියුසික් වීඩියෝ, යූ ටියුබ් වැඩ විදිහට මේ ෂෝර්ට් ෆිල්ම් වල තිබුණු ක‍්‍රියේටිව් දේවල් වෙන වෙන විධි වලට එලියට එනව.’

බූඩි කිව්ව.
ඒක ඇත්තක්. මෑතක ඉඳන් ලංකාවෙ තැනින් තැන ඇත්ත ‘කල්ට්’ වැඩ වෙන්න පටන් අරන්. මියුසික් වීඩියෝ වගේම ඞීආර්ජී මෑතක කරපු ෂෝර්ට් ෆිල්ම් වැඩෙත් මෙතනදි මතක් වෙනව. අපේ ගොඩක්  කෙටි චිත‍්‍රපටිකරුවො ෆෙස්ටිවල් වලට සහ ත‍්‍රිකෝණි එකේ පෙන්නන්න ෂෝර්ට් ෆිල්ම් හදද්දි ඞීආර්ජී එයාගෙ ෂෝර්ට් ෆිල්ම් ප‍්‍රංශ සංස්කෘතික කේන්ද්‍ර ශාලාය කුලියට අරගෙන පෙන්නුව. ඒක ෆිල්ම් එක්ස්පීරියන්ස් එකක් කරන්න, ඇත්ත පේ‍්‍රක්‍ෂාගාරයක් ඉස්සරහ තක්සේරු වෙන්න එයා මහන්සි වුණා. ඒක හොඳ ට‍්‍රයි එකක්.

ඒත් මේ වෙද්දි අලූත් සිනමාව බිහිවෙමින් තියෙන්නෙ වෙබ් එකේ. වෙබ් එකේ අපි ඉස්සරහ ඉන්නවා විශාල පේ‍්‍රක්‍ෂාගාරයක්. අපේ නිර්මාණ සාර්ථකද අසාර්ථකද කියන එක වගේම ඒ නිර්මාණ ගමන් කරන දිශාව ගැනත් හොඳ වැටහීමක් වෙබ් එකෙන් ගන්න පුළුවන්. ලංකාවෙ කවි ලියන අය මේක හොඳට පාවිච්චි කරනවා. ඉන්දික ගුණවර්ධනගේ ‘හිතේ කෙටූ ටැටූ’ මුලින් ලියවුණේ ෆේස් බුක් කවි විදිහට. ඒ ජනප‍්‍රියතාව එක්කයි කවි පොත එලියට ආවෙ.

‘වෙබිසෝඞ්ස්’ කියන්නෙ අලූත් සිනමාකරුවන්ට තියෙන හොඳම මාර්ගය කියන එකයි මගේ අදහස. වෙඩිසෝඞ් එකකදි අපිට චරිත ගොඩනැංවීම, කතා විකාශනය වගේ වෘත්තාන්ත සිනමාවක වැදගත්ම කාරණා අහුවෙන්න ගන්නවා. වඩාත් වැදගත් දේ අපේ සිනමාව නිතර පේ‍්‍රක්‍ෂාගාරයක් ඉස්සරහ තක්සේරු වෙනව. ඒ ජනප‍්‍රියතාව හෝ හිට් ගාණ පාවිච්චි කරලා අපිට ඞීවීඞී හෝ සිනමා ශාලාවක් දක්වා යන්නත් ප‍්‍රායෝගික ඉඩක් තියෙනව. ඒත් අපි තාම කෙටි චිත‍්‍රපටි ඇතුලෙ හිරවෙලා. ඒ මාධ්‍ය ලංකාවෙ ගොඩගන්න බැරි තරම් කුණු වෙලා.

කෙටි චිත‍්‍රපටි මේ තියෙන තැනින් හොඳ හැදෑරීමක් සහ තව තව චිත‍්‍රපටි හදන්න ඉඩක් විදිහට පාවිච්චි කරන්නෙ කොහොමද කියල ධනුෂ්ක විස්තර කළා. ගන්න දෙයක් නැති ගාණට වැටිලා හිටපු එස්එල්ටීටීඅයි එකේ ධනුෂ්ක අලූතෙන් චිත(පටි කෝරස් එකක් පටන් ගත්ත. ඒත් ලංකාවෙ ඒ විදිහට විධිමත්ව වැඩක් කරන්න පුළුවන් කියල විශ්වාසයක් මට තිබුණෙ නෑ. ඒත් අවුරුද්දක් ඉවර වෙලා ඒ පාඨමාලාව ඇතුලෙන් හදපු කෙටි චිත‍්‍රපටි දකිද්දි මට පුදුම නොවී ඉන්න බැරි වුණා. අදහස් අතින් අපරිණත තැන් ගොඩක් තිබුණත් තාක්‍ෂණය අතින් සහ විනය අතින් මේ දක්වා ලංකාවෙ කෙටි චිත‍්‍රපටි වල නොදැකපු පරිණතබවක් ඒ නිර්මාණ වල තිබුණ. ධනුෂ්ක ගේ කෝර්ස් එක වැඩකරල තිබුණ.

ඒත් මේ වෙද්දි ඒ කෝර්ස් එකත් නවත්තන්න දේශපාලනය මැදිහත් වෙලා. ආණ්ඩුවේ හිතවත්කමට එස්එල්ටීටීඅයි එකට අලූතෙන් ආපු අධ්‍යක්‍ෂකට  ඕනලූ ඒක ප්‍රොඩක්ෂන් හවුස් එක්ක කරන්න. අධ්‍යාපන ආයතනයක් විදිහට ඒක පාඩුයිලූ.

රජයේ ‘අධ්‍යාපන’ ආයතනයක් කියන්නෙ පාඩුයි කියල වහලා දාන්න පුළුවන්ද? ලංකාවෙ චිත‍්‍රපටි ගැන යම් තරම් හෝ ඇත්ත අධ්‍යාපනයක් ගන්න මෙ රටෙ තියෙන එකම තැන ප්‍රොඩක්ෂන් හවුස් එකක් කරන්න තරම් මේ ආණ්ඩුව පිරිහිලාද? ඒත් ආණ්ඩුවට එකතු වුණු චත‍්‍රපටි ලොක්කො කියන විදිහට දැන් අපේ සිනමාවෙ නවෝදය ඇවිල්ලා තියෙන්න  ඕන. චිත‍්‍රපටි කියන එක ගැන විධිමත්ව එක අකුරක් වත් ඉගෙන ගන්න තියෙන එකම තැනත් වහලා දාද්දි අපිට නවෝදය කියල ඉතුරු වෙන්නෙ ‘සෙල්වම්’ වගේ බහුබූත විතරයි. මහින්ද චින්තනය තමයි සිනමාව කියල හිතන රටක එස්එල්ටීටීඅයි වගේ එකක අධ්‍යාපනයෙන් වැඩක් නෑ කියල හිතෙන එකත් ස්වභාවිකයි.

ඉඩම් වල වටිනාකම් ගැන අවධානයෙන් මේ ඉඩම් හා ගොඩනැගිලි බිස්නස් වලට යොදවන එක ගැන තේරුම් ගන්න පුළුවන්. ඒත් මේ අධ්‍යාපනය වෙන කොහෙට හරි ගෙනිහින් ඒ දේ කරන්න තරම් වත් සිහිබුද්ධියක් පාලනයකට තියෙන්න  ඕන. කොහොම වුණත් වැඬේ පටන් ගනිද්දිම මේ ගැන දැනීමක් ධනුෂ්කට තිබුණ. ‘පුළුවන් තරම් කාලයක් මේක කරනවා මචං. කොයි වෙලාවක හරි උන් මේක නවත්තලා දායි. සිනමාව ගැන ඇම්මක් උන්ට නෑනෙ’

ධනුෂ්ක කෝර්ස් එක පටන් ගනිද්දිම කිව්ව.
මගේ අදහස තිබුණෙ ඊළ`ග සිනමාව බිහිවෙන්නෙ වෙබ් එකේමයි කියන එක. අලූත් කට්ටිය වඩාත් වෙබ් එකත් එක්ක වැඩ කරන්න  ඕනෙ කියන තැන බූඩිත් හිටිය. වෙබ් සිනමාව කියන්නෙ එහෙම්පිටින්ම අලූත් ඉඩක්. ආයෝජකයන් ගැන ප‍්‍රශ්නයක් නැති නිදහස් මාධ්‍යයක්. එතනදි බලපාන්නෙ අපි ඇත්තටම කොයි තරම් එන්ටර්ටේනිංද කියන කාරණේ විතරයි. පරණ සිනමාවේ අන්දමන්ද පේ‍්‍රක්‍ෂාගාරය වෙනුවට අපිව තේරෙන අපේ පේ‍්‍රක්‍ෂාගාරය හදන එක අපිට එතනින් පටන් ගන්න පුළුවන්. ඒත් අපේ අලූත් සිනමාකරුවො ඒ අලූත් පාරවල් දිගේ යනවා වෙනුවට තාමත් දෙන ලද මාතෘකාවට ගැලපෙන කෙටි චිත‍්‍රපටි හදනව.
චතුරිකාට තිබුණෙ තමන්ගෙ චිත‍්‍රපටිවල සමාජ යතාර්ථය නිරූපණය වෙන්න  ඕන කියන අදහසක්.

‘මට අනුව සිනමාව කියන්නෙම යතාර්ථයෙන් එලියට යනවා කියන එක. ෆැන්ටසිය. ඉතින් මේ සමාජ යතාර්ථය පෙන්නන්න චිත‍්‍රපටි  හදන්න  ඕනෙ නෑ. ඒක සිනමාවෙ සීමාවක්.’ මං විරුද්ධ වුණා. සමාජ යතාර්ථය චිත‍්‍රපටි වල පෙන්නන්න එන උවමනාවම සිනමාවට බාහිර දේශපාලනයකින් එන උවමනාවක්. අපේ ලංකාවෙ චිත‍්‍රපටිවලට කෙළ වුණෙම සිනමාවට බාහිර මේ වගේ කාරණා උඩ වැඩ කරන්න ගිය නිසා. උදා විදිහට බදු සහන නිසා චිත‍්‍රපටි හදන්න නිෂ්පාදකයො පෙළඹෙන එකෙනුත් කිසි වැදගැම්මකට රහකට නැති චිත‍්‍රපටි හැදෙනවා ඇරෙන්න කර්මාන්තමය දියුණුවක් ලැබෙන්නෙ නෑ. චිත‍්‍රපටි හැදෙන්න  ඕන චිත‍්‍රපටිමය වූම හේතුවලට විතරයි. මියුසික් වීඩියෝ කියන එක පවතින මාධ්‍යයක් වදිහට මං තේරුම් නොගන්නෙත් මේ හේතුව නිසාමයි. ලංකාවෙ මියුසික් වීඩියෝ හදන්නේ මියුසික් වීඩියෝ හෝ මියුසික් ඉන්ඩස්ටි‍්‍ර එක සම්බන්ධ කාරණා වලට නෙමෙයි. රින්ග් ටෝන් එකක් විදිහට විකුණ ගන්න සහ ඇඞ් එකකට සෙට් වෙන්න තියෙන ආශාව තමයි මියුසික් වීඩියෝ එකක යටිපෙළ. මේ නිසාම ඉන්ඩස්ටි‍්‍ර එක්ක විදිහට මියුසික් වීඩියෝ ගැන කතා කරන අය කතා කරන්නෙ ‘පිම්පිකමක්’ ගැන මිස ආර්ට් එකක් ගැන නෙමෙයි.
කොහොම වුණත් සමාජ යතාර්තෙ කියන කාරණය සිනමාවට බාහිර කාරණයක් සහ ඒ කාරණට වෙනුවෙන් චිත‍්‍රපටි හදන එකට මං එක`ග වුණේ නෑ. ඒකෙන් එතන ෆැන්ටසිය සහ රියැලිටිය අතර ප‍්‍රශ්නාවලියක් පැන නැගුණ. දේශපාලනික අදහසකින් මං කියපු කාරණය ආයිමත් දාර්ශනික, න්‍යායික තැනක් දක්වා යන්න පටන් ගත්ත.

අනෝමා ඇවිත් වෙලාව ඉවරයි කිව්ව. සංවාදය කාටවත් වැඩක් වුණේ නෑ කියන එක පැහැදිලියි. දාර්ශනික අදහසක් විදිහට මිසක් වෙන කිසිම කර්මාන්තමය හෝ විනෝදාස්වාදී හෝ සංදර්භයකින් අපේ ඔලූ වලට අදහසක් ඇතුල් වෙන්න ඉඩක් නෑ. ඒවා අගුල් වැටිල.

ඒ අගුල් ඇරෙන කල් කවදාවත් අපිට සිනමාවක් හැදෙන්නෙත් නෑ.

වැදගත් දේකට වුණේ කාලෙකට පස්සෙ මායි බූඩියි ධනුෂ්කයි කෝපි බොන්න ගිය එක.

-චින්තන ධර්මදාස

3 comments:

  1. ගාමිණී හැදුනේ මහින්ද චින්තන රාමුව ඇතුලේ කියල අද්මිරාල් කියන්න ඕනි නැ. බහුතරයක් දන්නවා ඒ ගැන.. එත් අද්මිරාල් හිතන්නේ රටේ උන් හද්ද මෝඩයෝ සහ උන් සිනමාව ගැන මෙලෝ සසරක් දන්නේ නැති ඈයෝ කියල. අද ලංකාවේ සිනමාව පෝෂණය වෙන්නේ මහින්ද මත.. චිත්‍රපටි හැදෙන්නේ උන් .බලන්නේ උන්.. අත්පුඩි ගහන්නේ උන් ... ගාමිණී චිත්‍රපටිය හැදුවේ සිංහල හමුදාව වීරයෝ සහ ත්‍රස්තවාදීන් මිලේච්ච්යෝ කියල සහ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට පුදුමකරයේ ආරක්ෂාවක් ලබා දුන්න එක පෙන්නන්න කියල හිතන උන්ට දෙයියන්ගේම පිහිටයි. උන්ට හොදටෝම වැරදිලා. ගාමිණී කියන්නේ මහින්දගේ ගේමේ තවත් එක පුංචිම පුංචි කෑල්ලක් විතරයි.අද්මිරාල් කියන්නේ ඒ ගේම් එකේ එක ඉත්තෙක් විතරයි. ලංකාවට තවත් war movies ඕනැ නැත.. දැනටමත් war movies බලා ඒවා ජීරණය කර ගැනීමට නොහැකිව සිටි..මහින්දගේ සිනමාවට විකිනීමට හැකි දෙයක් ඉක්මනට ලැබේවායි පතමි.

    ReplyDelete
  2. ප්‍රතිචාරය පලවුනේ කොහෙද කියල කියන්න පුලුවන්ද?

    ReplyDelete
  3. රමෙිෂාගේ අදහසට මාත් එකගයිගඒක ඇත්ත

    ReplyDelete