Saturday, December 21, 2013

පෙති හයක අරලියා මලක්

අහම්බෙන් ආපු කෝල් එකක් මට ෆිල්ම් එකක් බලන්න ආරාධනා කළා. නිල සම්මත විදිහ නැතුව සරල අවිධිමත් විදිහට මේ කරපු ආරාධනය හින්දම මං ෆිල්ම් එක බලන්න යන්න හිතා ගත්තා. ප‍්‍රීමියර් එකක් කිව්වට මං හිතුවෙ ඒක ප්‍රෙස් එකට වගේ කරන ස්ක‍්‍රීනින් එකක් කියල. වැඬේ තිබුණෙත් පුංචි තියටර් එකේ.

පුංචි තියටර් එකේ ෆිල්ම් බලන්න මං මාර ආසයි. ඒ තියෙන පසුබිම, පොඩි සෙනග හැමදෙයක්ම එතන ඔල්ටර්නේටිව් වැඩකට හොඳම තැනක් කරනවා. පුංචි තියටර් එක පොඩි ඩිජිටල් තියටර් එකක් කරන්න පුළුවන් නම් ඒක වෙනස් සිනමා සංස්කෘතියකට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන ඉඩක් වෙන්න තිබුණ.

කොහොම වුණත් පුංචි තියටර් එකේ එදා තිබුණෙ ඒ ෆිල්ම් එකේ ප‍්‍රීමියර් එකම තමයි. ඒත් වෙන ප‍්‍රීමියර් වල තියෙන සම්භාව්‍යත්වය හෝ අලංකාර මෙතන තිබුණෙ නෑ. තරු නළු නිළියොන්ගෙ හිනා කතා වලින් ආලින්දය පිරිලා තිබුනෙත් නෑ. මීඩියා කැමරාවලින් පස්සෙන් පන්න පන්න හිටියෙත් නෑ. හැමදාම දන්න, විකල්ප වැඩකදි මුනගැහෙන යාලූවො ටිකට අමතරව මෙට්‍රො සංස්කෘතියක පිරිසකුත් ඒ සෙනග අතරෙ හිටියා. ඒක නුපුරුදු සංකලනයක්, වෙනස් පේ‍්‍රක්‍ෂාගාරයක් හැදුවා.

ෆිල්ම් එක පටන් ගත්තා. ෆ‍්‍රැන්ජිපානි. සිංහලෙන් අරලිය කියන නම කොතනකවත් පාවිච්චි වුනේ නෑ. ෆ‍්‍රැන්ජිපානිම තමයි සිංහලෙනුත්.

‘මේ පෙති හයක අරලියා මලක්...’
‘එහෙම වෙන්නෙ කොහොමද.. අරලිය මලට පෙති පහයි නේ...’

දසුනුයි, ජෙහානුයි, යශෝධයි (ඉස්සියි) වටේ ගෙතෙන සරල ආදර කතාවක්. කොටින්ම සුදෝ සුදු වලටත් වඩා සරලයි. ඒත් මේ කතාව වෙනස් වෙන්නෙ මේක පිරිමි දෙන්නා අතරෙ ඇති වෙන ආදරයක් සහ ගැහැණිය එතනදි තෙවැන්නා වෙන එක. මේ සරලකම ඇතුලෙම ඒ ට්විස්ට් එක ලොකු කම්පනයක් ඇති කරනවා.

කාලෙකට ඉස්සර මේ තුන්කොන් පේ‍්‍රමයම ගැන මං ෂෝර්ට් ෆිල්ම් එකක් කළා. ඒත් ඒ ෆිල්ම් එක ආයිමත් විෂම ලිංගික සීමාවකම හිර වෙච්ච කොටළු වර්ගයේ එකක් වුණා මිස මට  ඕන කරන කතාව වුනේ නෑ. සමලිංගික ආදරයක් ගැන කියන්න ගියත් අන්තිමට ෆිල්ම් එක බලන පිරිමි දැක්කෙ ඇඳුම් අඩු කෙල්ලෙක්ව විතරයි. මං හිතන්නෙ මගේ අවුරුදු දා හතරෙ පහළොවේ ගත වුණු සමලිංගික අත්දැකීම් වල ගැඹුර මදි ඒ චරිත වලට ජීවිතේ දෙන්න.

ඒත් විසාකේස චන්ද්‍රසේකරම් ඒක කරනවා. තමන් අත්විඳින ජීවිතේ ගැන කියන කතාවක් හින්දම එයා ඒක කරන්නෙ හරිම නිරායාසව. ඒ ජීවිත, ඒ අත්දැකීම ඒ තරම් දන්න නිසාම කතාවෙ සමහර ගැටගැසීම් වල දුර්වලතා පවා නොතකා එයා යන්නෙ හිතුවක්කාර විදිහට. ඒ නිදහස, ඒ පිරිමැදුනු නිමාවක් නැතිකමම පළමු අධ්‍යක්‍ෂවරයෙකුගේ විතරක් දකින්න ලැබෙන තරුණකම ඒ ෆිල්ම් එකට දීලා තිබුණ. විශේෂයෙන්ම දෙබස්. ඒ ඇත්ත ව්‍යවහාරය ඇතුලෙන් ආදරය, භාවය දැනවීමම ලොකු චැලෙන්ජ් එකක්. ඒකට පූර්වාදර්ශ නෑ.
මුලූ හෝල් එකම ගල්ගැහිලා වගේ ෆිල්ම් එක දිහා බලන් ඉන්නවා. යන්තං කැස්සක් වත් නෑ. සමහරු හේතුවක් නොදන්නා බයකින්, චකිතයකින් හිරිවැටිලා හිටි වග පැහැදිලියි. මේ තිගැස්ම මේ ෆිල්ම් එක පොදු පේ‍්‍රක්‍ෂකයාට විවෘත වෙන තැනදි මීට වඩා කීප ගුණයකින් වැඩිවෙලා එන වග ස්ථිරයි. (තමන්ගේ ලිංගික චකිතය උත්සන්න වෙලා මේ ලාංකේය ජනතාව ප‍්‍රකෝප වෙන්නත් පුළුවන්)

ලංකාවෙ ගොඩක් පිරිමින්ට සමලිංගිකත්වය ගැන තියෙන්නෙ බයක්. ඒක තමන්ට අදාල නොවීමක් හෝ නොකැමැත්තකට වඩා තමන්ගෙ ඇතුලෙ අනන්‍යතාවය අර්බුදයට යවන තැනක් විදිහටයි ඒ ගොල්ලොන්ට මුණගැහෙන්නෙ. ගොඩක් වෙලාවට ලංකාවෙ ලිංගික ජීවිතේ ගතවෙන අතිශය සුළු කාලයට පිටින් කෙනෙකුගේ සම්පූර්ණ සමාජ ජීවිතයම සමලිංගිකයි. මුණගැසීම්, විනෝද වීම්, සමීපතම සම්බන්ධතා මේ හැම දෙයක්ම පිරිමි නම් පිරිමි. ගෑණු නම් ගෑණු. අවිවාහක ගෑනියෙක් සහ පිරිමියෙක් එක කාමරයක හිටියොත් නීතියට ප‍්‍රශ්නයක් වුණත් පිරිමි දෙන්නෙක් හෝ ගැහැණු දෙන්නෙක් එක කාමරයක හිටියට කිසිම ප‍්‍රශ්නයක් නෑ. අපි රටක් විදිහට සමලිංගික සංස්කෘතියක ජීවත් වෙන්නෙ.

ලංකාවෙ ගොඩක් පිරිමින්ට ෂුවර් නෑ තමන් ඇත්තටම විෂම ලිංගිකද කියන එක. සමහර විට ලිංගික ආශාවේ දිශාව පැහැදිලිව ගොඩනැගෙන තරමට අපේ ලිංගික මනස සමාජීයව වර්ධනය වෙලා නෑ. නගරෙන් ටිකක් ඇතුලට හැරෙන කොට තමන් ලිංගිකව එකතු වෙන්නෙ පිරිමියෙක් එක්කද ගෑනියෙක් එක්කද කියන එක ගැනවත් පැහැදිලි දැනීමක් නැති ගානට ශිෂ්ටාචාරයේ දුර්වල තැන් මුණගැහෙනවා.

ඉතින් මේ තමන්ගේ ලිංගිකභාවය ගැන හරියට ඛන්ඩනය වුණු දැනීමක් නැති හින්දම ලංකාවෙ විෂම ලිංගිකයො ගොඩක් සමලිංගිකත්වය ඉස්සරහ අවුල් වෙනවා. තමන්ගේ පිරිමිකම (ගොඩක් වෙලාවට පිරිමින්ට මේක වෙන්නෙ) අර්බුදයට යවන අවුලෙදි සමහර වෙලාවට ප‍්‍රචණ්ඩ වෙනවා. මේ ෆිල්ම් එක කවදාවත් හෝල්වලට එයි කියලා මට විශ්වාසයක් නැත්තෙ ඒ සිංහල බෞද්ධ නිලීන සමලිංගික බහුතරය ගැන දන්න හින්දමයි.

පිරිමියෙක් ගෑනු ඇඳුම් අඳින්නෙ විරෝධය පාන්න කියලා අමු දේශපාලන කතාවක් ෆිල්ම් එක පටන් ගත්ත ගමන් කඩාගෙන පනිනවා. ඒත් ඒ විරෝධය මොකක්ද කියලා ඒක ඉවර වෙනකලූත් පැහැදිලි නෑ. (ඒ දේශපාලන කතාව දිගේ ෆිල්ම් එක නොගිය එක ලොකු දෙයක්)
ඒත් ඊට පස්සෙ මං ආයිමත් කල්පනා කළා.

ඒ ගැහැණිය කියන පිරිමි ගොඩනැංවීම ගැන විරෝධයද? ගවුම් අඳින, තොල් සායම් ගාන ළඳ බොළඳ ගැහැණිය ගැන භෞතික හීනය අර්බුදයට යැවීමද මේ විරෝධය? ගැහැණුකම (පොදු සම්මත) ස්වභාවිකයක් නෙමෙයි ඒක සංස්කෘතික දෙයක් කියන එක සහ ඒ මත ගොඩනැගුණු ලිංගික සම්බන්ධතා අතාර්කික කරන එක ගැනද මේ කියන්නෙ? ගැහැණු පිරිමි ආදරයක් මැද්දට පිරිමියෙක් එනවා මුලින්ම. ඊට පස්සෙ ඒක පිරිමි පිරිමි ආදරයක් මැද ගැහැණියෙක් බවට පෙරලෙනවා.

ලිංගික සම්බන්ධතා විදිහෙන් විතරක් කියවන සමලිංගික සම්බන්ධතා වලට විසාකේස චන්ද්‍රසේකරම් ආත්මයක් දෙනවා. ඒ ගැන රොමාන්තික කියවීමක් කරනවා. ඒ සංවේදිතා, දරා ගැනීම් සහ අත්හැර දැමීම් එයා විෂම ලිංගික නහර වලටත් දැනෙන ගානට ගේනවා.

මං කැමතිම මේ කතාව එයා කියන විදිහට. බොහොම ලේසියෙන් වෙන කොහේ හරි රටක පරාරෝපිත අත්දැකීමක් වෙන්න ඉඩ තියෙන මේ ආදර කතාව ලාංකේය සමාජය ඇතුලෙන්ම එහිම ස්වභාවිකයක් විදිහට එයා කරන ගොඩනැංවීම හරි දියුණු එකක්. අපේ රටේ විෂම ලිංගික ආදරය ගැන ගොළු හදවතේ ගොඩනැංවීම කොයි වගේද, එතනටම ගිහින් විසාකේස චන්ද්‍රසේකරම් සමලිංගික පේ‍්‍රමය ගැන එදා නොකී කතාව මෙදා කියනවා.

ගොළු හදවතේ පාවිච්චි වෙන සංගීතය විෂම ලිංගික පේ‍්‍රමයේ මෙලඩිය විදිහට කියෙව්වොත් ෆ‍්‍රැන්ජපානි වල මියුසික් මං කියවන්නෙ මෙට්‍රො ආදරයේ මෙලඩිය විදිහටයි. ගිටාර් තත් ගානක් මැද්දෙ නිරන්තරයෙන් වැයෙන ඒ සංගීතය සමහර තැනකදී ෆිල්ම් එකට බාධාවක් වුණත් ඒකෙන් ලොකු මූඞ් එකක් ෆිල්ම් එකට අරන් දෙනවා. ඒ වගේම කවියක් වගේ අන්තිම වෙනකල් ගලාබහින්න කතාවට ඉඩ හදලා දෙනවා.
මට කියන්න  ඕන වුනේ මේ අපෙන් පිට කියල හිතෙන තේමාවක් අපේම තැනකින් නිර්මාණය කරන්න අධ්‍යක්‍ෂවරයා දක්ෂ වෙලා තියෙන විදිහ ගැන. ඒ රබර් වතු මැද්දෙ වලව් වලට පස්සෙ හැදුනු ලිපිකරු වර්ගයේ ගෙවල් අතරෙ, ගමේ පන්සලේ, වෙසක් කූඩු අලවන කාලෙ, මේ පරිසරය අපිට මේ කතාව තවත් සජීවී කරනවා. විශේෂයෙන්ම මේ චරිත තුනේ අව්‍යාජ ඉදිරිපත් කිරීමත් නිසා සම- විෂම මොකක් වුණත් අපිව කතාවට අලවනවා.

පළවෙනි ෆීචර් එක වුණත් කුලරුවන්ගෙ කැමරාව ඒ නොස්තැල්ජියානු සුන්දරත්වය හොඳට බෝ කරනවා. එක රාමුවක ගේ ඇතුලෙ සිද්දියක් මිදුලෙ තියෙන කැමරාවට පේන්නෙ පොලූ ජනෙල් අතරින්. ඇතුලෙ පත්තු වෙන මළානික කහ එලිය ජනෙල් පොලූ වලින් එලියට ගලනවා. ඒ එලියෙන් ජනෙල් පඩිය වෙනකල් වැවිච්ච සමන්පිච්ච ගාල සිලූවට් වෙලා පේනවා. මේ විස්තර මේ විදිහට ගොඩනැගෙන රූප අපිට කතාවේ ප‍්‍රතිවිරෝධයට වඩා ඒ හැ`ගීම්වල සෞන්දර්යය උත්සන්න කරනවා.

මට හිතෙන්නෙ ලිංගිකභාවය ගැන ප‍්‍රශ්නයක් නැතුව මේ හැ`ගීම බෙදා ගන්න අපි ඇතුලතින් පෙළඹෙන්නෙ මේ කතාවෙ දැනෙන අව්‍යාජත්වයක් එක්ක. මොකද්ද පිවිතුරු බවක්, හරි වචනෙ ඉනසන්ස් එකක් ෆිල්ම් එක ඇතුලෙ වැඩ කරනවා. ඒක අධ්‍යක්‍ෂවරයා තමන්ගෙ කෘතියත් එක්ක ඇත්තට රමණයේ යෙදීමෙන් විතරක්ම තිරය උඩට එන දෙයක්. ඒ හින්දම විරල දෙයක්.

ඒ ෆිල්ම් එකෙන් දැකීමෙන් මාව පිනා ගියා. යුද්දෙ ගැන කරපු විකල්ප චිත‍්‍රපටි වලට වඩා ඇත්තටම ෆ‍්‍රැන්ජිපානි නිර්භීත පියවරක්.  ඒක එහෙම්පිටින්ම සමාජ කැරැුල්ලක් වෙන නිසා. අයිතීන්, නිදහස සහ බාර ගැනීම වෙනුවෙන් කරන ඇත්ත සටනක් ඒ ඇතුලෙ තියෙන හින්ද. පළවෙනි වතාවට ෆිල්ම් එකක් කරන කෙනෙක් විදිහට මේ හැම ආතතියක්ම, දේශපාලනයක්ම තමන්ගේ කෘතියට බලපෑමක් වෙන්න ඉඩ නොදී එතන හුස්ම වැටෙන රිද්මය පාලනය කරගන්න විසාකේසට පුළුවන් වීම ලොකු දෙයක්.

මේ සමාජ අසම්මත, ප‍්‍රතික්‍ෂේපිත, නීති විරෝධී චරිත ඇතුලට යන්න නිර්භීත වුණු මෙන්ම පොතෙන් ඉගෙන ගත්ත දේකට එහා ගිහින් ලේ මස් නහර ඇති, දැනෙන මිනිසුන් කැමරාව ඉස්සරහ නිර්මාණය කරන්න සමත් වුණු ජෙහාන් සහ දසුන්, උන් ඇත්තටම සිරා නළුවො. මේ පිරිමි ආදරයේ දුෂ්ටිය වෙන ඉස්සිත් උතුරා යන ජීවිතයකින් ඒ (හදවත් රෝගී) විෂම ලිංගික ගැහැණිය ජීවත් කරනවා.

මේ ලංකාවෙ මේ සංස්කෘතික අඳුනාගැනීම සිනමාවෙදි සිද්ද වුණු පලවෙනි වතාව. සහ ඒක ඉතා විශිෂ්ට විදිහට වෙලා තියෙනවා. මේ වගේ ෆිල්ම් එකක් නැවත නැවතත් සුළු හෝ පේ‍්‍රක්‍ෂාගාර වලට ප‍්‍රදර්ශනය වෙන්න  ඕන කියලයි මං හිතන්නෙ. ඒ වගේම ඔලිව් කොල වැටෙන කල් බලන් නොඉඳ මේ විදිහෙ වෙනස් සිනමා අත්දැකීමක් විඳින්න ලැබුණම කුහක නොවී අත් දෙක උස්සලා අත්පුඩි ගහන්න පුළුවන් වෙන්න  ඕන.

12 comments:

  1. ලිපිය කියවන්න ලැබීම සතුටක්..ජෙහාන් අප්පුහාමි සහ දසුන් පතිරනට හොඳ අනාගතයක් තියෙන අය බව සමහර ටෙලීනාට්‍යවලින් පෙනෙනවා. යශෝදා රඟපාන ටෙලිනාට්‍යයක් හෝ බලන්න තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. දැන් ෆිල්ම් එක හොයන්නෙ නැතිව ටෙලි නාට්ටි හොයන්නෙ මොන මංගල්ලෙකට ද? මට නං ජෙහාන්ගෙයි දසුන්ගෙයි අනාගතේ ගැන බය හිතෙන එක තමයි වෙන්නෙ ඔය ටෙලි නාට්ටි දකිනකොට...

      Delete
    2. නැහැ ඇනෝ... මම ඒ යශෝධාගේ කිසිම රඟපෑමක් කොහේවත් දැක නැහැ.

      Delete
  2. ඇත්තටම මේ චිත්‍රපටය මම හිතනවා පහුගිය කාලේ සමාජය තුල පුස් වෙඩි පත්තු කරපු පුහු සිනමා වලට වඩා යමක් ඇති කියලා.. ඒක නිසා නරඹන්න නොයිවසිල්ලෙන් සිටිමි.. ස්තූතියි විස්තරයට

    ReplyDelete
  3. අාසාෙවන් ඉන්නව ඉක්මනින් නරඹන්න

    ReplyDelete
  4. Moratuwa podi kollaDecember 24, 2013 at 8:29 PM

    Malata no - ena bamaru
    That is the first gay film in Sri Lanka

    ReplyDelete
    Replies
    1. No......
      Eya Den Loku Lamayek ,
      That was our first homosexual film with lesbian characters,
      Mp malini Akki done her great job as a passive lesbian role.
      But I don't think this vishwakesha 's film has something specialarity his trailer in you tube is totally crap.
      SWARA , is a another unsuccessful film which was not able to controversial the gay life , just. Kissing man and man , totally hopeless .
      Lot of people in these days , they are lacking of lot of topics to make film , then they are alternatively use gay characters to make a film , or gay life . That is not radical .............
      What's a shame....Sri lankan cinema is silly ......

      Delete
    2. @Dahanapala

      its okay baby.. watch the movie.. its really good

      Delete
  5. Dear Vishakesha,
    Congratulations!
    An experience is make greatest love stories.

    ReplyDelete
  6. වෙනස් කෝණයක්........
    ජය!!

    ReplyDelete
  7. මග අරින්නේ නැතුව බලනවා..
    මෙන්න මේ කෑල්ලට ගොඩක් රිදෙයි කට්ටියට..
    "ලංකාවෙ ගොඩක් පිරිමින්ට සමලිංගිකත්වය ගැන තියෙන්නෙ බයක්. ඒක තමන්ට අදාල නොවීමක් හෝ නොකැමැත්තකට වඩා තමන්ගෙ ඇතුලෙ අනන්‍යතාවය අර්බුදයට යවන තැනක් විදිහටයි ඒ ගොල්ලොන්ට මුණගැහෙන්නෙ. ගොඩක් වෙලාවට ලංකාවෙ ලිංගික ජීවිතේ ගතවෙන අතිශය සුළු කාලයට පිටින් කෙනෙකුගේ සම්පූර්ණ සමාජ ජීවිතයම සමලිංගිකයි. මුණගැසීම්, විනෝද වීම්, සමීපතම සම්බන්ධතා මේ හැම දෙයක්ම පිරිමි නම් පිරිමි. ගෑණු නම් ගෑණු. අවිවාහක ගෑනියෙක් සහ පිරිමියෙක් එක කාමරයක හිටියොත් නීතියට ප‍්‍රශ්නයක් වුණත් පිරිමි දෙන්නෙක් හෝ ගැහැණු දෙන්නෙක් එක කාමරයක හිටියට කිසිම ප‍්‍රශ්නයක් නෑ. අපි රටක් විදිහට සමලිංගික සංස්කෘතියක ජීවත් වෙන්නෙ."

    ReplyDelete