Saturday, December 28, 2013

අවුරුද්දෙ අන්තිම වැස්ස...


අවුරුද්දෙ අන්තිම කෙළවර. මං ගාල්ල කොටුවෙ  ඕලන්ද හැඬේට හදපු පුංචි හෝටලේක බැල්කනියට වෙලා මේ අවුරුද්දෙ අන්තිම ලිපිය ලියනවා. හීනියට හිරිපොද වැස්සක් වැටිලා මුහුද තෙමෙනවා.

අවුරුද්දෙ මගේ ආසම මාසෙ දෙසැම්බර්. හීතලට, ලා අව්වට, නිතරම ඇඟේ හැපෙන හුළ`ගට අමතරව දෙසැම්බරයේ හැ`ගීමට මං ගොඩක් කැමතියි. ඒක උත්සව මාසයක්. හැම දෙයක්ම ලස්සනට සැරසෙන, මිනිස්සු උණුහුම් වෙන, පාටි දාන, කන්තෝරු වැහෙන මාසයක්. ජීවත් වෙන්න ආසාව ඇති කරවන අවුරුද්දෙ අන්තිම පරිච්ෙඡ්දය. හොඳට බීලා, බදාගෙන ඉඹලා, නටලා, සිංදු කියල පරණ අවුරුද්දට සමුදෙන්න පුළුවන්. ඒ වගේ ජීවිතේට පෙම්බඳින මාස කැලෙන්ඩරේටම තියෙන්නෙ එකයි.

දෙසැම්බර් වල මේ හැ`ගීමට ලොකුම හේතුව ඉස්සරහට එන අලූත් අවුරුද්ද නෙමෙයි. ඒක නත්තල් මාසෙ වුණු එක. නිකං හරි වෙසක් වගේ එකක් දෙසැම්බර් වල තිබුණ නං මේ මාසෙ ජීවිතේ වෙනුවට සරසන්න වෙන්නෙ මරණය. සුනාමිය වේවා, සෝම හාමුදුරුවො අපවත් වුණු එක වේවා, මේ දුර්වර්ණ හැ`ගීමකට දෙසැම්බරය කරුවල කරන්න බැරි වුනේ ඒ නත්තලට අයිති ලෞකික ප‍්‍රීතිය ඒ තරම්ම විශාල වුණු හින්ද.
වෙසක් කොයිතරම් විසිතුරු වුණත් ඒක මොකද්දෝ බෞද්ද කුණුකමකින්, කුහකකමකින් පිරෙනවා. පාර පුරා දන්සැල් දුන්නත් පිනක් ගන්න තියෙන තෘෂ්නාව හින්ද ඒ කිසි දෙයක් මනුස්සකමෙන් පිරෙන්නෙ නෑ. දානයක් දුන්නත්, දුප්පතෙකුට දුන්නත් පරලොවකට හරි, මියපරලොව ගිය කාට හරි ඒක ආයිමත් ආයෝජනය කරන්න තියෙන කැත උවමනාව ඒ ආදරයේ, බෙදාහදා ගැනීමේ, සංවේදිකම නැති කරනවා. ඒක බුදුන්ගෙ වැරැුද්දක් නෙමෙයි. දූපතක සංස්කෘතිය විසින් නිර්මාණය කරපු දුප්පත් හැ`ගීමක් සහ මහද්වීපික සංස්කෘතියකින් නිර්මාණය වුණු (අපි ආනයනය කළ) පොහොසත් හැ`ගීමක් අතර වෙනස. (ඒ සංස්කෘතික උත්සව පදනම් කරගෙන අපි බෙදාහදා ගන්නා හැ`ගීම)

නත්තලට පස්සෙ එනවා 31. මාස දොලහක කෙලවර. එදා ? සමරන අලූත් අවුරුද්ද එක්ක මට අපේ‍්‍රල් වල සිංහල අලූත් අවුරුද්ද මතක් වුණා. මේ තියෙන උත්සව හැ`ගීම වෙනුවට ඒ කාලෙ තියෙන්නෙ තෙල්ම තෙල් හැ`ගීමක්. හැම ගෙදරකම කැවුම්, කොකිස්, මුං, අතිරහ. එච්චරමයි. පාරෙ කඩ වහලා, මිනිස්සු කැතම කැත අලූත් ඇඳුම් ඇඳන් බුලත් වට්ටි අරං... දේශගුණයෙ වුණත් නෑ මේ රොමැන්ටික් ගතිය. ඔක්කොටම වඩා ටීවී එකේ දවසෙම යන අවුරුදු නාටක. මට හිතෙන්නෙ මේ උත්සව වෙනස ලොකු සංස්කෘතික සිතීමක වෙනසක් ගැන කියනවා. එකක් තාම කුඹුරට බැඳුනු, කුහක සදාචාරයෙන් පිරුණු, ගෝත‍්‍ර හැ`ගීම් දල්වන එකක්. අනික ජීවිතය හා බැඳුණු, ගෝත‍්‍රයක් වෙනුවට තනි තනි මිනිස් ජීවිත වල සතුට, විනෝදය පදනම් වුණු ලෝකයක් එක්ක සම්බන්ධ එකක්.

අවුරුද්දෙ මේ ලස්සන අවසානය කෙලවර වෙන්නෙ අලූත් අවුරුද්දෙ ඔක්කොම මැෂින් එක සද්දෙට පටන් ගන්න පළවෙනිදායින්. හැමෝම ආපහු පැය අටේ දහයේ තමන්ගේ රවුම දුවන්න පටන් ගන්න  ඕන. ඒ අවුරුද්ද ගැන අපිට එක එක විදිහෙ සැලසුම් තියෙනවා. ගොඩක් වෙලාවට මේ අවුරුද්දෙ අපිට බැරි වුණ දේවල් අපි ඊළ`ග අවුරුද්දට හර කරනවා. ගිනුම පටන් ගන්න කොටම ඉදිරියට ගෙන ආ ශේෂයක් තියෙනවා. අලූත් අවුරුද්දක් ගැන අපි හිතන්න  ඕන විදිහ රාජනීශ් එක තැනක ලස්සනට කියනවා.

‘තියෙන්න පුළුවන් එකම එකම ප‍්‍රාර්ථනයයි. ඊට වඩා කිසි දෙයක් ඉස්සරහ ගැන හිතන්න එපා. එකම දේ වෙන්න  ඕන ඒ අනාගතය ගැන කිසිම ප‍්‍රාර්ථනාවක් නැතුව ඉන්න එක. හැම ප‍්‍රාර්ථනාවක්ම කියන්නෙ හිර කූඩුවක්. අපි ඇයි අපේ හෙට ඒ විදිහට සීමා කර ගන්නෙ?

හෙටට හෙට විදිහට එන්න දෙන්න. එයාගෙ පැවැත්ම එයාට බාර දෙන්න. අද හිතලා හෙට තියෙන ඒ ලස්සන නැති කර ගන්න එපා.

අපි අධිෂ්ටානයක්, ප‍්‍රාර්ථනාවක් කරනවා කියන්නෙ අපි ඒක ඇරෙන්න වෙන කිසි දෙයක් බාර ගන්න ලෑස්ති නෑ. ඉර නැගෙනහිරෙන් පායනවා කියලා අපි නිශ්චිත කර ගෙන තියෙන නිසා නිකං හරි ඉර බටහිරෙන් පෑයුවොත් අපේ ජනේලේ අරින්න අපි සූදානම් නෑ.

හැම අධිෂ්ටානයක් කියන්නෙම සටනක්. ලොකු මමත්වයක්. ඔයාට බැරි නං මේ මොහොත ඒඑ න විදිහට බාරගෙන ඒකෙ ජීවත් වෙන්න, ඔයා ජීවත් වෙලා නෑ. ඔයා කරන්නෙ බොරුවක්.
ජීවිතේ ඒඑ න විදිහට බාර ගන්න. ඒක නිර්මාණය කරන්න යන්න එපා. ජීවිතේ ගැන තියෙන එකම ස්වර්ණමය නීතිය තමයි එහෙම ස්වර්ණමය නීති නැති එක.
-භගවාන් ශ‍්‍රී රාජ්නීශ්

බලාපොරොත්තුවක්, ඉලක්කයක් කියන්නෙ අපේ අතෘප්තියක ප‍්‍රකාශනයක්. අපේ ජීවිතය සම්පූර්ණ වෙන්න තව මොකක් හෝ මදි කියල හිතෙන තැනක් එක්ක ඒක ගැටගැහෙනවා. මොකක් හරි අපේ හිස්කමක් වහන්න බලාපොරොත්තුව, අධිෂ්ටානය, ප‍්‍රාර්ථනාව ඉස්සරහට එනවා. ඒක නිර්මාණයක් වෙන්න පුළුවන්, ලැම්බොගිනියක් වෙන්න පුළුවන්, නිර්වාණය වගේ ආධ්‍යාත්මික කඳු මුදුනක් වෙන්න පුළුවන්. ඒ දේ වෙතට හෝ ඉන් ඉවතට සිද්ද වෙන අපේ අභ්‍යන්තරයෙ ස්වභාවික වැඞීමක් වෙනුවට ඒක අරමුණක්, නිශ්චිතයක් කරගෙන ජීවිතේ ඒ දිහාවට දක්කන එක ඇත්තටම අපි අපේ ජීවිතය මගහරින්න ගන්න වෑයමක් වෙනවා.
මේක ගැන ක‍්‍රිෂ්නමූර්ති ලොකු විස්තරයක් කරනවා. එක දවසක අලූත් අවුරුද්දක මුල ක‍්‍රිෂ්නමූර්ති පිරිසක් අමතනවා. ඒත් එයා කතාවට ලෑස්ති වෙලා එන්නෙ අලූත් අවුරුද්දක් ආරම්භක කතාවක් විදිහට නෙමෙයි.

‘මං කතා කරන්නෙ අතෘප්තිය ගැන. අපි සෑහීමකට පත් නොවීම ගැන. ලෝකෙ ගොඩක් අය ජීවත් වෙන්නෙ මෙහෙම. ඒක තමයි ස්වභාවිකය වෙලා තියෙන්නෙ. අතෘප්තියෙන් පෙලෙමින් ජීවත් වෙන එක. මේ අතෘප්තිය එන්නෙ අපේ ඇතුලෙ හිස් බව දැනීමත් එක්ක. අපිට අපි ගැනම එන බෝරිං වීමක්. එතකොට අපිට  ඕන වෙනවා අපෙන් ඉවතට ගමන් කරන්න. අපි නොවෙන යමක් වෙන්න. මේ හිස්තැන මග අරින්න. ඔයාට  ඕන සාර්ථක මිනිහෙක් වෙන්න. මිනිස්සු ලොකු බයකින් පෙළෙනවා තමන් අසාර්ථක වෙයි කියල.
මේ තමන් නොවෙන වෙන දෙයක් බලෙන් ආරෝපණය කර ගනිමින් තමන්ගේ හිස්කම වහගන්න යාම ඇතුලෙ අපේ ගොඩක් ලස්සන දේවල් නැති වෙනවා. හරි කෘතිම මිනිස්සු හැදෙනවා. එතකොට තවත් හිස්කම දැනෙනවා. තවත් දේවල් වෙන්න  ඕන වෙනවා.

මට මොකක් හරි දෙයක්  ඕන වෙනවා. මං ද`ගලලා ද`ගලලා ඒක අයිති කර ගන්නවා. ටික දවසකින් මට ඒකෙ සතුට නැති වෙනවා. මට තව දෙයක්  ඕන වෙනවා. මේක අත්ඇරලා මං ඒකට ද`ගදානවා. ඒක ලබා ගන්නවා. ඒ සතුටත් ටික දවසකින් දිය වෙලා යනවා. කිසි භෞතික දෙයක් අයිති කර ගැනීමෙන් මේ සදාකාලික සතුට අයිති කර ගන්න බෑ කියලා මං ආදරය, මිත‍්‍රත්වය වගේ සම්බන්ධතා පැත්තට හැරෙනවා.
අදහස් පැත්තට හැරෙනවා. ඒවත් සදාකාලික තෘප්තියක් දෙන්නෙ නෑ කියලා තේරුම් අරන් ඊළ`ගට මං දෙවියන් පිළිබඳ සත්‍යය පැත්තට හැරෙනවා. ආධ්‍යාත්මික නිශ්චිත තෘප්තියක් හොයන්න පටන් ගන්නවා. මේ එකම ආශාවක වස්තු මාරුවක් විතරයි. මේක තමයි ආශාවේ පරිණාමය. මේ හැමදේකම අනිවාර්ය කෙලවර අතෘප්තිය.

මේ අතෘප්තියේ අනෙකා විදිහට තෘප්තිය හොයාගෙන යාම නතර වෙන්න  ඕන. කොයි විදිහකටවත් ඒ ආරෝපිතය විසින් මේක යටපත් කරන්න බෑ. නැවත නැවත මතුවෙනවා. අපි නැවත නැවත බලාපොරොත්තු හදා ගන්නවා. ඊට වඩා ටිකක් නැවතිලා මේ අතෘප්තිය දිහා කෙලින් බලන්න. වෙන ආදේශක නොහොයා ඒ දිහාවම. ඒ අතෘප්තියට යටින් තියෙන හිස්කම තේරුම් ගන්න. මේ මගහැර යන්න උවමනා කරන බය විසින් අපිට කියන්න යන දෙයක් තියෙනවා. මරණය ගැන බයෙන් දෙවියන් හෝ නිර්වාණය ගැන දේශනා කන්වල පුරවගෙන තෘප්තිමත් වෙන්න බෑ. මේ පැවැත්මෙන් කියන දේට සාවධාන වෙන්න  ඕන. ඉස්සෙල්ලම අපි ඒ පණිවුඩය අහගෙන ඉන්න  ඕන’
ජිඞ්ඩු ක‍්‍රිෂ්නමූර්ති.

පරණ අවුරුද්දෙ සතුටට, ඊළ`ග අවුරුද්ද ගැන බලාපොරොත්තුවට, මේ හැමදේටම ගැඹුරින් ලොකු සාවධාන වීමක් අපිට අපේ පැවැත්මෙ වෙනස් ගැඹුරක හ`ඩක් ඇහෙන්න සලස්සාවි. ක‍්‍රිෂ්නමූර්ති කියනවා වගේ ඒක දෙවියන්ගේ හෝ නිර්වාණයේ හ`ඩ නොවේවි. ඒත් මට විශ්වාසයි අනිවාර්යෙන්ම ඒක බේබදු බුකොව්ස්කිගේ හ`ඩ විත්තිය.

‘හරියටම රෑ දොලහට
1973-74
ලොස් ඇන්ජලීස්
ජනේලෙන් එපිට පාම්ගස් උඩට
වහින්න ගත්තා මහ වැස්ස
නලා සද්දෙයි, රතිඤ්ඤයි අහස්කුන්ඩුයි
පුපුරනවා සද්දෙට

මං ඇඳට යන්න ඇත්තෙ 9ට විතර
ලයිට් නිමලා, රෙද්දත් පොරවගෙන
උන්ගෙ ප‍්‍රීතිය උන්ගෙ සතුට
උන්ගේ කෑ ගැහිල්ල, උන්ගෙ කරදාසි තොප්පි
උන්ගෙ වාහන, උන්ගෙ ගෑනු
උන්ටම පුරුදු නැති උන්ගෙ බීම
අවුරුද්ද දවසෙ රෑ
හැමදාම බයකරනවා මාව.
ජීවිතේ දන්නෙ නෑ
අවුරුදු ගත වෙනවා කියල කතාවක්.

ඔන්න දැන් නලා සද්දෙ නෑ
රතිඤ්ඤයි අහස්කුන්ඩුයි පත්තු වෙලත් ඉවරයි
ඒ ඔක්කොම විනාඩි පහක් විතරයි
මට දැන් ඇහෙන්නෙ
පාම් කොල උඩ වැස්ස විතරයි.
මට මෙහෙම හිතෙනවා,
මට කවදාවත් බැරි වෙයි තේරුම් ගන්න මේ මිනිස්සු
ඒත් මං ජීවත් වෙනවා උන්ව ඉවසගෙන.

-චාර්ල්ස් බුකොව්ස්කි
(අමු පරිවර්තනය මගේ)

- චින්තන ධර්මදාස.




1 comment:

  1. මේ ටික නම් සිම්ප්ලි මසුරං කියුං...

    'වෙසක් කොයිතරම් විසිතුරු වුණත් ඒක මොකද්දෝ බෞද්ද කුණුකමකින්, කුහකකමකින් පිරෙනවා.'
    'දානයක් දුන්නත්, දුප්පතෙකුට දුන්නත් පරලොවකට හරි, මියපරලොව ගිය කාට හරි ඒක ආයිමත් ආයෝජනය කරන්න තියෙන කැත උවමනාව ඒ ආදරයේ, බෙදාහදා ගැනීමේ, සංවේදිකම නැති කරනවා.'
    'මේ තියෙන උත්සව හැ`ගීම වෙනුවට ඒ කාලෙ තියෙන්නෙ තෙල්ම තෙල් හැ`ගීමක්.'
    'එකක් තාම කුඹුරට බැඳුනු, කුහක සදාචාරයෙන් පිරුණු, ගෝත‍්‍ර හැ`ගීම් දල්වන එකක්.'

    හැබැයි මට පොඩි ගැටලුවක් මතු උනා... මහද්වීපික සංස්කෘතියකින් නිර්මාණය වුනා යැයි කිව හැකි new year resolution වගේ දේකට එදිරිව පෙරදිග අධ්‍යාත්මික ශාස්තෘවරුන්ගෙන් උපුටා දැක්වීම තේරුම් ගත නොහැකියි.

    මම දන්නවා.. චින්තනගෙ අදහස් ගල් වගේ නෙවෙයි වෙනස් වීමට, ඛන්ඩනය වීමට සහ වර්ධනය වීමට පුලුවන්!

    ඔබේ බ්ලොගය කියවීමෙන් පසුගිය වසර පුරා මා දැනඋගත් දේ මහත්. ඒ ගැන ඔබට ස්තුතියි.

    සුබ නව වසරක්!

    - Dimithri

    ReplyDelete