Saturday, January 25, 2014

සිනමාව ඩ්ජිටල් කිරීම වෙනුවට සිනමාව නිදහස් කිරීම

ලියන්න යන කතාවට කොහෙත්ම අදාල නැති වුණත් කියන්න තියෙන ත‍්‍රිලට මේක ලියන්නම  ඕන. විශේෂයෙන්ම මේ වගේ කතා මාධ්‍ය වල පළ නොවෙන හින්ද. ඒක ‘බරක් ඔබාමා’ගේ කතාවක්. එයා කියනවා කංසා සිගරට් වලට වඩා අහිතකර දෙයක් නෙමෙයි කියල. ඇත්තටම කංසා නීතිගත කරන්න අවශ්‍ය කෙටුම්පත් ඉක්මණට සම්පාදනය වෙන්න  ඕන කියල. කොහෙත්ම ඇල්කොහොල් වලට වඩා අහිතකර බවක් නැති කංසා නිසා මිනිස්සු හිරේ දාන නතර කරන්න  ඕන කියලත් එයා අවධාරණය කරනවා.

ඇමරිකාවෙ හානිකර නෑ කියල කංසා නීතිගත වෙන තත්වයක් ආවොත් හැම වෛද්‍ය/ විද්‍යාත්මක තර්කයක්ම බටහිරෙන් ණයට ගන්න ලංකාවෙ කොහොම වෙයිද? කංසා උවදුර ගැන උඩ පැන පැන ලියන අපේ ජනමාධ්‍යවේදියො මේ වෙනස ගැන කතාව කොහොම ලියයිද? ඇමරිකාවට වැරදුනා, කංසා කියන්නෙ මාර භයානක මත්ද්‍රව්‍යයක්, වහාම අමුඩ ගහගනියව්, සංස්කෘතිය රැුකගනියවු, කියල සමහර විට අපේ අය දිගටම මේ විහිළුව කරගෙන යයි.

ඒත් අනිත් පැත්තට කංසා වගේ දෙයක් ලංකාවෙ නීතිගත කරන්න පුළුවන් එකම ආණ්ඩුවත් මේක. යූඑන්පී එක එහෙම ඔය වගේ දෙයක් කරන්න ගියොත් අනිත් දවසෙම ආණ්ඩුව පෙරළනවා ජෙප්පො. අනික යූඑන්පියට තේරෙන්නෙ නෑ ඒ වගේ දෙයක් කරන විදිහ. ගණිකා වෘත්තිය නීතිගත කිරීම, ගබ්සාව ඒ මවගේ අයිතියක් බවට පත් කිරීම, කංසා නීතිගත කිරීම වගේ (මට අනුව සාමාජීයව අතිශය වැදගත්) රැඩිකල් වෙනස්කම් කරන්න පුළුවන් මහින්දගෙ වගේ ආණ්ඩුවකට විතරයි (සමලිංගික අයිතීන් ලබා දෙන එක වගේ දේවල් නං මේ ඇල්ෆා-මේල් ආණ්ඩුවට කරන්න අමාරු වෙයි)

 මහින්දට කොච්චර අකමැති වුණත් දැන් ඒ චරිතයෙන් අවශ්‍ය වෙනස්කම් ටික නොකරගෙන ආණ්ඩු මාරු කරන එක බොරු වැඩක් කියලයි මං හිතන්නෙ. අනිත් අතට මානව අයිතීන් වගේ මතුපිට කාරණා වෙනුවෙන් සටන් කරනවට වඩා ඒ වගේ සමාජ සිතීම, ප‍්‍රතිමාන සහ ඇගයීම් පද්ධති යලි නිර්මාණය කරන්න බලකරන වෙනස්කම් ඉක්මන් කරන එක වඩා ප‍්‍රගතිශීලියි. ඒ වගේ කන්ඩිෂන් වුණු අදහස් ආකෘති ඉරි තලන කොට, වෙනස් සිතීම් ආකෘති හදා ගන්න වෙන කොට සාමාජීය අර්ථයන් වෙනස් වෙන්න ගන්නවා. එතකොට ජනතාව වෙනස් වෙනවා. දේශපාලනමය කාරණා වලට වඩා සමාජ අවිඥාණයේ සිද්ද වෙමින් යන වෙනස්කම් වලට සවිඥාණකව වැඩි බරක් තියන්න  ඕන.

කංසා හේන් ගිනි තිය තිය ආතල් ගන්න විනාශකාරී පොලිසියක් සහ ඒ නිව්ස් වලින් ෆන් ගන්න ඔලූවක් නැති මාධ්‍ය ගොඩක් මැද්දෙ ජීවත් වෙන මට බරක් ඔබාමා නිදහසේ වීරයෙක් වගේ පෙණුන. කංසා වලට නිදහස කියන්නෙ මත්ද්‍රව්‍ය ගැන සරල කාරණයක් නෙමෙයි. ඒක ඇල්කොහොල් වලින් හිතන්න පුරුදු වුණු සමාජ සම්මත සිතීම වෙනස් කරන්න පටන් ගන්නවා. ඒක සමාජය වෙනස් කරන රසායනික විප්ලවයක්.

ඇමරිකාවට මං ගොඩක් කැමති ඒකයි.  මං කියන්න ගිය කතාවට එන්නං. ඒ ලංකාවෙ සිනමාව ඩිජිටල්කරණය කිරීම ගැන. මේ ගැන සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ, ශිල්පීන්ගේ, නිෂ්පාදකවරුන්ගේ වගේ සංගම් කීපයක් මෑතකදි පා ගමනක් ගිහින් මාධ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක් කළා. සිනමා ශාලා ඩිජිටල් කිරීමට අදාල නීතිමය වෙනස්කම් ඉක්මන් කරන්න කියලා. ඊට පස්සෙ ප‍්‍රදර්ශන මන්ඩල තුනක් යටතට ඔක්කොම හෝල් ටික අරගෙන චිත‍්‍රපට බෙදා හැරීම ක‍්‍රමවත් කරන්න පියවර ගන්න කියල.

මේ පා ගමනට යන්න කියල ගොඩක් මගේ යාලූවො මාව තල්ලූ කළා. අන්තිම මොහොත වෙනකල් උත්සාහ කළත් මට යන්න  ඕනකමක් හදාගන්න බැරි වුණා. ඒ සිනමාව ඩිජිටල් වෙනවට මට ඇති විරෝධයක් නෙමෙයි. ඊට වඩා මේ වැඬේ තිබ්බ බොළඳකම මට එතන හිටගන්න අමාරු කරපු හින්ද.

හැම අවශ්‍ය දේකටම අනවශ්‍ය විවේචනයක් ගේනවා කියලා ලේසියෙන්ම මාව බැහැර කරන්න පුළුවන්. ඒත් හැම සාධනීයයි කියන දේකටමත් විවේචනයක් තියෙන්න  ඕන කියල මං හිතනවා. සමහර විට ඒකෙන් සාධනීයත්වය තවත් පුළුල් කරනවා. නැත්තං ඒ සාධනීයත්වය යට තියෙන නිශේධනාර්ථ කල් ඇතුව දකින්න විවරයක් හදලා දෙනවා. මේ කොයික වුණත් ඒක නිශේධනීය දෙයක් නෙමෙයි.

මේකෙ පෙරමුණ අරගෙන හිටියෙ අධ්‍යක්‍ෂවරුන්ගෙ කණ්ඩායම. ප‍්‍රසන්න විතානගේ මූලිකව, බෙනට් රත්නායක, ධර්මසේන පතිරාජ, විමුක්ති ජයසුන්දර වගේ තවත් ගොඩක් අය එතන හිටියා. මං මේ විස්තර කියන්නෙ මාධ්‍ය වලින් මේකට අවශ්‍ය තරම් ප‍්‍රචාරයක් නොලැබුන හින්ද.

කොහොම වුණත් මේ අධ්‍යක්‍ෂවරුන් ගොඩක් මීට ටික දවසකට කලින් නෙගටිව් නැත්තං සිනමාව ඉවරයි කියපු අය. නෙගටිව් වල තියෙන මොකක්ද ආර්ට් එකක් වෙනුවෙන් සෑහෙන පෙනී උන් මේ ඇනලොග් පිරිස එකපාරටම ඩිජිටල් බැනර් එකක් පිටිපස්සෙ හිටගත්තම පොඩි නොගැලපීමක් දැනෙනවා හිතට.

ඒත් තත්වයන් එක්ක මිනිස්සු වෙනස් වෙන්න  ඕන. ටැරන්ටිනෝලා වගේ ඩිරෙක්ටර් ලා නෙගටිව් නැති දවසක සිනමාව අත්ඇරලා යනවා කිව්වට අපි වගේ දූපත් වල ඒ වගේ වීරකම් අමාරුයි. ෆිල්ම් එකක් කරලා ඒකෙ කොපි ගහන්න යන වියදමත් එක්ක ෆිල්ම් කරලා පෙන්නගන්න බැරි කතාව යතාර්ථයක්. ඒත් මේ වෙද්දි ලෝකෙ ලොකු ස්ටුඩියෝස් වලින් තව දුරටත් රීල් විදිහට ෆිල්ම් නිකුත් නොකරන එක ඊට වඩා ලොකු යතාර්ථයක්. ඒ කියන්නෙ ඇනලොග් ප්‍රොජෙක්ටර් තියෙන හෝල් දාගෙන හිටියට පෙන්නන්න ෆිල්ම් නැති වෙනවා කියන එක. ලංකාවෙ චිත‍්‍රපටි ගැන කතාව කොහොම වුණත් හොඳ ඉල්ලූමක් තියෙන පිටරට ෆිල්ම් පෙන්නන්න නම් ඩිජිටල් ප්‍රොජෙක්ෂන් වලට යන්නම සිද්ද වෙනවා. ඒ වෙළඳපොල උවමනාව වෙනුවෙන් අනිවාර්යෙන්ම නීති වෙනස් වෙනවා.

එතකොට හෝල් අයිතිකාරයො කරන්න  ඕන දෙයක්  සිනමාකරුවො කරට ගත්තෙ මොකටද? කොහොමටත් ඊළ`ගට අනිවාර්යෙන්ම ෆිල්ම් හෝල් ඩිජිටල් වෙනවා. ඒකට පෙළපාලි යන්න උවමනාවක් ඇයි කියල මට එච්චර තේරුමක් නෑ. සිනමා ප‍්‍රක්‍ෂේපණය ඩිජිටල් වෙනකල් බලා නොඉඳ, ලක්ෂ සිය ගණන් ෆිල්ම් වලට හොයන්න විදිහක් නැතුව, ඩිජිටල් කැමරා වලින් කරලා ඩිජිටල් එඩිට් කරපු අලූත් උන්ගෙ චිත‍්‍රපටි ගොඩක් තියෙනවා. ප‍්‍රක්‍ෂේපණය ඩිජිටල් වුණු පමණින් ඒ ෆිල්ම් හෝල් වලට එනවා කියල කවුරු හරි හිතනවා නම් මං හිතන්නෙ ඒක සුබවාදී වැඩියි.

ප‍්‍රක්‍ෂේපණය ඩිජිටල් වීමේ වෙළඳපොල උවමනාවත් එක්ක බැඳෙන තවත් කාරණා ගොඩක් තියෙනවා. ප‍්‍රධාන එකක් තමයි ප‍්‍රාදේශීය චිත‍්‍රපටි ශාලා ටික වැහිලා යන එක. ඒවා ආයිමත් ඩිජිටල් ප්‍රොජෙක්ෂන් දාලා හදන්න ව්‍යවසායකයො ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට නාගරික මල්ටි ප්ලෙක්ස් කීපයක් අලූතෙන් ඇති වේවි. ඒවායේ අලූත් ඉංග‍්‍රීසි සහ හින්දි චිත‍්‍රපටි පෙන්නාවි. යාපනේ වගේ නම් ඉන්දියානු දෙමළ චිත‍්‍රපටි පෙන්නාවි. එතන ලංකාවෙ අලූත් සිනමාකරුවන්ගෙ වෙනස් වැඩ වලට ඉඩක් හැදෙන්න ප‍්‍රායෝගිකත්වයක් නෑ.  ඕනනං යන්තං ප‍්‍රසන්නලාගෙ බෙනට්ලගේ සෝමරත්නලගේ චිත‍්‍රපටි කීපයක් ඒ අස්සෙ තියේවි.

මට හිතෙන්නෙ මේක පරණ සිනමාකරුවො ටිකක් අලූතෙන් බයවීමේ තත්වයක් කියල. පොඩි කැමරා වලින්, ගෙදර කොම්පියුටර් වලින් හැදීගෙන චිත‍්‍රපටි රැුල්ලත් එක්ක මේ සිනමාකරුවන්ගෙ පිළිගැනීම් සහ භාවිතාවන් අර්බුදයට යනවා. ඒ ගොල්ලො ඉන්නෙ ටිකක් නියරෙන් එපිට වගේ දැනෙනවා. ඒත් ප‍්‍රක්‍ෂේපණය ඩිජිටල් වෙනකල් තමන්ගෙ ප‍්‍රකාශනය ඩිජිටල් කරන්න ඒ ගොල්ලො ලෑස්ති නෑ. මේක ආර්ට් එකකට වඩා ඒ ගොල්ලොන්ට දැනෙන්නෙ වැඩවසම් අභිමානයක් එක්ක.

ඩිජිටල් කියන්නෙ වෙනස් විදිහක ප‍්‍රකාශනයක්. ප්‍රොජෙක්ෂන් එක ඩිජිටල් වෙනවා කියන්නෙ ඒකෙ අන්තිම කෑල්ල විතරයි (ඒක තමයි නොවැදගත් තරම් කුඩාම කෑල්ල) ඊට කලින් මේ අලූත් සිනමා භාෂාවෙන් තමන්ගෙ ප‍්‍රකාශනය අභ්‍යාස කරන්න වෙනවා. සම්පූර්ණ මෙතෙක් පිළිගත් සිනමාව කියන සංසිද්ධියම මෙතනදි වෙනස්. (උදා ජෆර් පනාහිගේ ‘දිස් ඉස් නොට් අ ෆිල්ම්’)

මට මහගෙදර ෆිල්ම් එකේ දෙබසක් මතක් වෙනවා. ‘කුරුල්ලෙක්ගෙන් අහපන් ඌ සිංදු කියන්නෙ ඇයි කියල. ඒ උපමාව සුන්දර වැඩි නං බල්ලෙක්ගෙන් අහපන් ඌ දකින දකින පඳුරට කකුල උස්සන්නෙ ඇයි කියල...’ කාගෙ හරි ප‍්‍රකාශනයක් කියන්නෙ ඒ වගේ දෙයක්. ශ‍්‍රාවකයෙක් පේ‍්‍රක්‍ෂකයෙක් ඇතුව හෝ නැතුව ඒක සිද්ද වෙනවා. ප‍්‍රක්‍ෂේපණය වෙනස් වෙනකල් ප‍්‍රකාශනය වෙනස් කරන්න බලන් ඉන්න එක ආර්ට් එකක් විදිහට සිනමාව පැත්තට වඩා ජොබ් එකක් විදිහට සිනමාව පැත්තට බර වැඩියි.

ඇත්තටම මේ හ`ඩනැගීමේ විදිහත් හරිම පරණයි. රටේ මේ තරං චූන් තියෙද්දි මේ නොතේරෙන ඩිජිටල් එකක් ගැන විස්සක් තිහක් චිත‍්‍රපටිකාරයො පෙළගැහෙන එක මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. මේක මහජන ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒ වෙනුවට රාජ්‍ය ආයතනයක සේවක ප‍්‍රශ්නයක් වගේ එකක්. මං හිතන්නෙ ඩිජිටල් ප‍්‍රක්‍ෂේපණයට වඩා අපි දේවල් ගැන හිතන විදිහ ඩිජිටල් කාලෙට එන්න  ඕන.

උදා විදිහට මං කලින් කිව්වා වගේ ලංකාවෙ අලූත් සිනමාකරුවො කරපු ඩිජිටල් චිත‍්‍රපටි පෝලිමක් තියෙනවා පෙන්නන්න විදිහක් නැතුව. කෙලින්ම ඒ චිත‍්‍රපටි ප‍්‍රදර්ශනයට අවසර ලබා දීමේ වෑයමක් විදිහට, ඒ නිර්මාණ සහ නිර්මාණකරුවන් එක්ක මේ තල්ලූව කරන්න බැරි වෙන්නෙ ඇයි? සුනිල් ටී ලා වගේ පිරිසකට බාල චිත‍්‍රපටි ලාබෙට පුරවන්න මාර්ගයක් හදනවා වෙනුවට මේ අලූත් අදහස් (මං කියන්නෙ ඇත්ත ඩිජිටල් සිනමාවෙ ආරම්භයන්) සමාජගත කරන්න උත්සාහ කළා නම් ඒකෙන් ඇත්ත වැඩක් වෙනවා. එක පැත්තකින් සිනමාව ගැන අලූත් බලාපොරොත්තු ඇති වෙනවා. ඩිජිටල් කැමරා අතට අරගෙන වැඩ කරන උන්ට තමන් අයිති සිනමා පරපුරක් තියෙනවා කියලා හයියක් දැනෙනවා. ඒ වෙනුවට තමන්ගෙ ෆිල්ම් එක කොපි ටික නොගහා හෝල් එකකට දාගන්න පරණ සිනමාකරුවො ටිකම පොරකනවා වගේ දැණුනම ඒක පොඞ්ඩක් අප්සෙට්.

මං ඉස්සෙල්ලා අදහස යෝජනා කරන්නෙ ඩිජිටල්කරණය පිටිපස්සෙ ඇත්ත සමාජ දේශපාලන සිතීම ඇතුලෙ. සුළුතරයකගේ ප‍්‍රකාශනයටත් අවකාශ ලැබීම. මුදල් හෝ සමාජ බලයන්ට පිටතින් වැඩ කරන අදහස් ප‍්‍රවාහයන්ට වේදිකාවක් නිර්මාණය වීම. මං කියන්නෙ මේකයි ඩිජිටල් සිනමාව කියලා අපි සටන් කරන්න  ඕන තැන. ප‍්‍රක්‍ෂේපණය ඩිජිටල් වෙන කොට හෝල් අඩුවෙන පළාත් වලටත් මිනි තියටර්ස් හැදෙන්න පුළුවන් නිදහස් ඉඩක්. 50-60ක විතර පේ‍්‍රක්‍ෂාගාරයක් වෙනුවෙනුත් චිත‍්‍රපටි තිරගත වෙන වඩා ඈතට සිනමාව පැතිරීමක්.

ඒ වෙනුවට මේ සිනමාකරුවන් නැවත අධිකාරියක් ඉල්ලා හිටිනවා. ඒ ගොල්ලො රජයට කියනවා මණ්ඩල තුනකට අඩු කරලා බෙදා හැරීම විධිමත් කරන්නලූ. සිනමාවට කරන්න පුළුවන් ලොකුම උදව්ව වෙන්නෙ රාජ්‍ය මැදිහත් වීම අඩු කරන එක කියලා ඔප්පු වෙලා තියෙද්දිත් (දැන් සිද්ද වෙලා තියෙන්නෙත් පණතක් වෙනස් කර ගන්න) තවත් ඒ විදිහෙ අධිකාරියක් ඉල්ලා සිටීමම අවුලක්. පුළුවන් තරම් ඩිජිටල් හෝල් ඇති වෙන්න, වෙනස් වෙනස් තල ගණනාවක් ප‍්‍රදර්ශන ක‍්‍රමෝපායන් බිහිවෙන්න පුළුවන් අවකාශයකුයි අපිට නිර්මාණය කර ගන්න අවශ්‍ය. ඒ වෙනුවට ආයිමත් පාලනයක්, සීමාවක් නැත්තං වාරණයක් ඉල්ලා සිටින සිනමාකරුවො මං දැක්කෙ ලංකාවෙමයි...

ඩිජිටල්කරණය ඉක්මන් කරන්න ඇත්තටම සිනමාකරුවො හදිස්සි වෙන්න  ඕන නෑ. ඒ වෙනුවට ඩිජිටල්කරණය හරහා වැඩි නිදහසක්, සිනමා පේ‍්‍රක්‍ෂාගාරයක් හදාගන්නෙ කොහොමද කියන කාරණය ගැනයි පුළුල්ව හිතන්න  ඕන. විශේෂයෙන්ම ආනයනය කරන චිත‍්‍රපටි එක්ක ලොකු සිනමාකරුවන් පවා අර්බුදයට යන්න නියමිත වටපිටාවක අංකුර සිනමාකරුවන් ආරක්‍ෂා වෙන්නෙ සහ ඔවුන්ගෙ ප‍්‍රකාශන වලට ඉඩක් හැදෙන්නෙ කොහොමද කියන කාරණා ගැන. ඒක රජයකට කියලා කර ගන්න හිතන එක ඇනලොග් සම්ප‍්‍රදායෙ වැඩක්. ඒ වෙනුවට ඒකට වෙළඳපොල අවකාශයක් නිර්මාණය කරන්නයි  ඕන වෙන්නෙ. සිනමාව ඩිජිටල් කරන්න කියනවට වඩා සිනමාව නිදහස් කරන්න කියල ඉල්ලූවා නම් ඒකෙ ලොකු අදහසක් තියෙනවා.

සමහර විට මේ කාරණා ගැන ඒ ගොල්ලො හිතලා තියෙනවා වෙන්න පුළුවන්. මාධ්‍ය වලින් එලියට ආවෙ සාරාංශගත කරුණු වෙන්න පුළුවන්. එත් ෆේස්බුක් සහ වෙනත් විවෘත ඩිජිටල් මුනගැසීම් හරහා මේ ගැන වඩා සංවිධානය වීමක්, දැනුවත් කිරීමක් සහ අදහස් බෙදා ගැනීමක් නොවුණු එකම අර්බුදයක්. අපි සිනමාව ඩිජිටල් කරන්න ඉල්ලද්දි ඩිජිටල් භාවිතාවන් සහ ක‍්‍රමෝපායන් ගැන අපි කොයිතරං දැනුවත්ද කියන එක වැදගත්. ඇනලොග් විදිහකට ඩිජිටල් අරගලයක් මෙහෙයවීමම නොදියුණුයි.

කොහොම වුණත් නුදුරු අනාගතයේදී අනිවාර්යයක් වෙන ඩිජිටල්කරණය වෙනුවෙන් පෙළපාලි යනවට වඩා මේ සමග විවෘත වෙන අතිරේක ප‍්‍රවේශයන් වෙනුවෙන් වැඩපිලිවෙලක් ඉක්මන් කරන්න  ඕන. ඇත්තටම අලූත් සිනමාකරුවන්ගේ ඩිජිටල් ප‍්‍රකාශන ප‍්‍රදර්ශනයට ඉඩක් ලබා ගැනීම විදිහට මේ අරගලය ආවා නම් ඒක කොයිතරම් ලස්සනද? ඒ වගේම බිස්නස් වලට එලියෙන් සිනමාව කියන එකට කොයි තරං තේරුමක් දෙනවද?

මොනවා වුණත් මේ වගේ දෙයක් වෙනුවෙන් හරි එක පෙළට හිටගත්ත එක අගය කරන්න  ඕන කියල ගොඩක් අය කිව්වා. ඒත් ඒ පෙළගැහීම පරණ තාලෙ පිකට් එකක් වගේ වෙන එක සිනමාවට හරි නෑ කියලයි මගේ අදහස.

තාක්‍ෂණයන් සමාජගත කරන්න අරගල  ඕන නෑ. අදහසක් සමාජගත කරන්නයි අරගලයක්  ඕන වෙන්නෙ.

-චින්තන ධර්මදාස

Saturday, January 18, 2014

චුට්ටෙයි -පොඞ්ඩෙයි

ලංකාවෙ කොමඩියන්ලා කියන්නෙ අපි කිති කවාගෙන හිනාවෙන්න  ඕන වර්ගයේ විහිළු කරන කට්ටියක්. ඇ`ග අඹරනවා සහ දෙපැත්ත කැපෙන කතා කියනවා ඇරුණම මෙහේ කොමඩි වලට ගැඹුරක් හෝ අදහසක් නෑ. විශේෂයෙන්ම මේ අවුල පේන්නෙ සිනමාව හරහා බිහිවෙන කොමඩි චරිත වලින්. ඇත්තටම මට දුක හිතිලා තියෙනවා බැරි බැරි ගානෙ මිනිස්සු හිනස්සවන්න ද`ග දාන විදිහට. අපි කොමඩි කියල මෙහේ දකින්නෙ කෝලං. මේක හින්දම මං හිතන්නෙ මහින්දගේ ආණ්ඩුවෙ කට්ටිය අමතර සේවාවක් විදිහට විහිළු සපයන්න ගත්තම මේ වෘත්තීය පිරිස අර්බුදයට ගියා. දැන් ආණ්ඩුවේ කොමඩි සහ ආණ්ඩුව ගැන කොමඩි වලට එලියෙන් අපිට කොමඩි නෑ. මෑතක මාර ජනප‍්‍රිය වෙච්ච පුස් වෙඩිල්ල ගත්තත් එතනින් එහාට මොකුත් නෑ.

කොමඩි කියන එකේ හාස්‍යජනක- හිනා යන කියන මතුපිට තේරුමට වඩා (කෝලං වලට එහා) ගොඩක් ගැඹුරු තැන් තියෙනවා. උදා විදිහට කොමික් තියටර් කියන පැත්ත. මේකෙ බටහිර පටන්ගැන්ම විදිහට ගන්නෙ පැරණි ග‍්‍රීසිය. මෙතනදි තරුණයන්ගේ සමාජය සහ වැඩිහිටියන්ගේ සමාජය විදිහට දෙපැත්තක ගැටුමක් විදිහට කොමඩිය එනවා.  පස්සෙ වෙද්දි මේක ගතානුගතික සමාජය ඉස්සරහ බලයෙන් හීන තරුණයන්ගේ අර්බුදය විදිහට එලියට එන්න ගත්තා. හිනා ගියාට ඒ හිනාවට යටින් ලොකු දේශපාලන කතාවක් කියනවා. අද වෙද්දි මේ කොමඩි විශේෂයෙන් ස්ටෑන්ඞ්- අප් කොමඩි එහෙම (අපිට මේවා නෑ) සංකීර්ණ තලයන් (සබ්ජෙක්ටිව් සහ ඔබ්ජෙක්ටිව් දෙපැත්තෙන්ම) එක්ක ගනුදෙනු කරනවා. උදා විදිහට ලූවිස් සීකේ වගේ චරිත.

‘කසාද නොබැඳ ඉන්න නම් ඔයා ගොඩක් සුබවාදී/ධනාත්මක වෙන්න  ඕන. මෝඩයි. ඒ කියන්නෙ ඔයා මෝඩයෙක් වෙන්න  ඕන. ඒක තමයි සුබවාදී කියන්නෙ. සුබවාදී/ ධනාත්මක කියන්නෙ මෝඩයි කියන එක. සුබවාදියෙක් කොහොමද යන්නෙ? මොකක් හරි හොඳ දෙයක් වෙයි කියලා හිතාගෙන. මොන බම්බුවකටද එහෙම හොඳ දෙයක් වෙන්නෙ?’’
-ලූවිස් සීකේ.

සිනමාවෙන් බිහිවුණු ලංකාවෙ ලොකුම කොමඩි නළුවා (විදිහට සැලකෙන) ෆ්‍රෙඞී සිල්වාගෙ ඉඳන් බන්දු ටෙනී සහ එකී නොකී කිසිම චරිතයකට කොමඩිය කෝලමෙන් එහාට ගේන්න බැරි වුණා. මෙතනදි ෆ්‍රෙඞී ටිකක් වෙනස් වගේ හිතෙන්නෙ පේ‍්‍රමකීර්ති ලියපු සිංදු කියපු හින්ද මිසක් කරපු කොමඩි හින්ද නෙමෙයි. ඊට වඩා ඇත්තටම ජෝ අබේවික‍්‍රම හොඳ කොමඩියන් කෙනෙක් (චරිතාංග නළුවෙක් විදිහට)
ලංකාවෙ යම් පමණකට හරි හොඳ කොමඩියන්ලා බිහිවුනේ රේඩියෝ එකෙන්. උදා විදිහට බර්ටි ඇනස්ලි සැමුවෙල් තුන්දෙනා. මට හිතෙන්නෙ අපේ රටේ හ`ඩ පැත්තෙන් එන කොමඩිය ගොඩක් වැඩ කරන ගතියකුත් එනවා. මේ හ`ඩ අරගෙන ඒ ගොල්ලො ටීවී එකට ආවමත් ඒක ෂෝ එකක් විදිහට වැඩ කරනවා. ඒත් මූලික දේ වෙන්නෙ හ`ඩ. චරිත හැදෙන්නෙ, විහිළුව හැදෙන්නෙ ඒ හ`ඩ එක්ක. විෂුවල් පැත්තෙන් අපේ කොමඩි අතිශය ප‍්‍රාථමිකයි. (මේ කියන්නෙ කැමරා තාක්‍ෂණය ගැන නෙමෙයි. චරිතයේ විෂුවල් පොලිටික්ස් පැත්තෙන්)

මට කතාව ගෙනියන්න  ඕන වෙන පැත්තකට. ඒ චූටි මල්ලියි පොඩි මල්ලියි අලූතෙන් කරගෙන යන රේඩියෝ ප්‍රෝග‍්‍රෑම් එකකට. මේ රේඩියෝ ප්‍රෝගෑම් එක අහන අතරෙ මං මේ ඩබල කරමින් එන වැඬේ ගැන ටිකක් දිගට හිතුවා. කෙලින්ම නිගමනය තැනින් පටන් ගත්තොත් මං හිතන්නෙ කොමඩියන් කියන සංකීර්ණ තේරුමෙන් අඳුරගන්න පුළුවන් ලංකාවෙ පළවෙනි චරිත දෙක වෙන්නෙ මේ දෙන්නා. එකපාරට අපිට සමකාලීන දේවල් වල ගැඹුර පිළිගන්න බැරි වීමේ ආතතියෙන් මේක ප‍්‍රතික්‍ෂේප වෙන්න පුළුවන් වුණත් මේක කරුණු සහිත කතාවක්.

‘විහිළුවක් ඇනලයිස් කරනවා කියන්නෙ ගෙම්බෙක් කපනවා වගේ වැඩක්. කීප දෙනෙක් ෆන් එකක් ගනීවි. ඒත් ගෙම්බා මැරෙනවා’
-ඊ.බී වයිට්.

මං අර ආතල් ගන්න කීපදෙනාගෙන් එක්කෙනෙක්. විශ්ලේෂණයෙන් පස්සෙ කොමඩිය ඉවර වෙන්න පුළුවන්. ඒත් මේ විදිහට සමකාලීනව බිහිවෙන වෙනස් නිර්මාණශීලීත්වයන් වඩා උවමනාවකින් තේරුම් ගන්න සහ පිළිගන්න  ඕන කියල මට හිතෙනවා. එහෙම නැතුවම මේ දේවල් ලේසියෙන්ම මගඇරෙන්න පුළුවන්. කොමිඩිය පටන් ගත්ත දවසෙ ඉඳන්ම ඒකට අවශ්‍ය සීරියස් පිළිගැනීම ලැබුනෙ නෑ කියල ඇරිස්ටෝටල් ‘පොයෙටික්ස්’ වලදි කියනවා.

 චූටි මල්ලියි පොඩි මල්ලියි වගේම සීරියස් කියවීමක් අවශ්‍ය නමුත් ඒත් නොදුන්න චරිතයක් ‘පොඩි ළමයා’ (දීපාල් සිල්වා). එයා විවෘත වේදිකාවල ලොකු උඩු රැුවුලක් සහිත පොඩි ළමයෙක් විදිහට ගොඩක් ලොකු ප‍්‍රශ්න ඇහුවා. සමහර ඒවා ආණ්ඩුවට ඇහිලා තහනම් කළා. ඉතුරු ඒවා මිනිස්සු නෑහුන ගානට හිටියා. ඒත් ඒක හරිම අපූරු නිර්මාණාත්මක වැඩක්.

ආනන්ද භවන් එකට ගිහින් තෝසෙ ගිලිනවා
ඊට පස්සෙ යාපනේ දෙමළුන්ට බනිනවා..

මේක වෙනස් තලයක්. විවෘත වේදිකා සහිත සජීවී සංගීත වලට මේ චරිතය නාට්‍යමය එකතු කිරීමක් කළා. පොඩි ළමයා කියන්නෙ දීපාල්ගේ ප‍්‍රකාශනය. ඒක නිකං ජොලි සීයා වගේ රැුවුලක් විතරක් නෙමෙයි (ජොලි සීයාගේ ලලක්කා ගීතයට මේ උපහාසය අදාල නොවෙන වග සළකන්න). පොඩි ළමයා කියන්නෙ සමාජ දේශපාලන අදහසක්. මට හිතෙන්නෙ අපිට ඒක මගඅරුණ.

චූටි මල්ලියි පොඩි මල්ලියි කියන්නෙත් එහෙම චරිත දෙකක්. ඒත් මේ චරිත ඊට වඩා, ලංකාවෙ මං කලින් අත් නොවිඳපු ගැඹුරු තල ගණනාවක් හරහා තමන්ගේ කොමඩිය අරගෙන යනවා. මට හිතෙන්නෙ මේ චරිත වලට කලින් අපිට මේ ළ`ගින් තියන්න පුළුවන් ත‍්‍රිත්වය වෙන්නෙ ඇනස්ලි-බර්ටි- සැමුවෙල්. මේ චරිත තුන විවිධ විවිධ විදිහට ඇඳගනිමින් අපිට කතන්දර කියනවා. මේ කතා වල විහිළු ගොඩක් වෙලාවට අදේශපාලනික විහිළු. ඒත් රසවත් සමාජ - සංස්කෘතික දේවල් මේවා ඇතුලෙ තිබුණ. සහ කොමඩියන්ලා විදිහට ඒ ගොල්ලො ඒ නූතනවාදී රාමුවෙ ලොකු වැඩ කොටසක් කළා. 

ඒත් චූටි මල්ලියි පොඩි මල්ලියි කියන චරිත දෙක සංස්කෘතික දේශපාලනය ඇතුලට ඒ ගොල්ලන්ගෙ විහිළුව අරගෙන එනවා. මට ඒ දෙන්නා වඩා සීරියස් වෙන්නෙ මේ හින්ද. ඇඞ්වර්ටයිසින් විදිහට ගත්තොත් මේ ද්විත්ව චරිත අරගෙන එන එකටමත් ලංකාවෙ ඉන්සයිට් තියෙනවා. හතර රියන් සහ දෙරියන්, රයිගමයයි ගම්පොලයයි වගේ මේ විහිළු චරිත දෙකට හැඩයක් අපේ මනසෙ නිර්මාණය වෙලා තියෙනවා. ඒක චූටි මල්ලියි පොඩි මල්ලියි පසු- නූතන අවකාශයකට තල්ලූ කරනවා. 

චූටි මල්ලි ගත්තොත් එයා සම්ප‍්‍රදාය නියෝජනය කරන, ගැමි පැත්තට බර, පරණ දේවල් අගය කරන, ඒත් අලූත් වෙන්නත් ද`ගළන වගේ ලක්ෂණ දරන චරිතයක්. පොඩි මල්ලි ඊට වඩා මොඞ්, අලූත් දේට කර තියන, අලූත් තාලෙ චරිතයක්. ගමයා සහ නාගරිකයා වගේ දේශපාලනික සීමාවක් ඇතුලෙයි මේ චරිත දෙක හැදෙන්නෙ. (ගමයා කියන්නෙ ගමේ ඉන්න අයට නෙමෙයි. ගමේදි ගමයා නෑ. ගමයා හැදෙන්නෙ නාගරිකයා එක්ක මුනගැහෙන තැනදි. එක අවකාශයක් බෙදා ගනිද්දි)

මුලින් ඒ ගොල්ලො රේඩියෝවෙ ‘ලයිට් එනකල්’ කරනවා. ඇත්තටමත් ඒ ලයිට් කපන කාලෙ. වාහනේක හරි බැට්රි දාන හරි රේඩියෝවකින් හරි තමයි අහන්න වෙන්නෙ (සෙල් ෆෝන් ඒ තරමට තිබුණද කියල මට නිච්චි නෑ). සමහර වෙලාවට අහන්නෙම නැති වෙලාවක් හින්ද ටෙස්ට් එකකට දුන්නා වෙන්නත් පුළුවන්. මෙතනදි ලයිට් නැති හින්ද එකතු වෙන වයසක අංකල්ලා දෙන්නෙක් (චමින්දලා) අතර මොකක් හරි ගැන සංවාදයක් හැදෙනවා. මේ එක අංකල් කෙනෙක් මොඞ් වෙන්න කැමතියි. අනිකා පරණ එකටමයි කැමති. මේ හරහා එදා භාෂාව සහ අද භාෂාව ගැන, එදා විනෝදය සහ අද විනෝදය ගැන වගේ ගොඩක් මති මතාන්තර මේ නාගරිකයා (මොඞ්) සහ ගැමියා (ට‍්‍රැඩිෂන්) ආකෘතිය ඇතුලෙන් ඒ ගොල්ලො ඉදිරිපත් කරනවා.

එතනින් ටීවී එකට ආවම (අපි නොදන්න ලයිව්) වැඬේ නැගලම යනවා. වොයිස් ආර්ටිස්ට්ලා විදිහට තිබුණු නිර්මාණාත්මක බවම වැඩි වැඩ කොටසක් කළා කියලයි මට හිතෙන්නෙ. චූටි මල්ලියි පොඩි මල්ලියි කියන චරිත දෙක අඳුන්නා දෙන්නෙ එතනදි. මූන පෙනෙද්දි නාකි වොයිස් දාන එක මඤ්ඤං වගේ හින්ද ඒ ගොල්ලො එතනදි මල්ලිලා වෙනවා. ඒ කොමඩිය හැදෙන්නෙම ලයිව් ටීවී ප්‍රෝග‍්‍රෑම් ගැන. අපි මීඩියා ඇතුලෙ දකින නිමාව, දැනුම, දේශපාලනය මෙතනදී විහිළුවක් වෙනවා. මීඩියා සංස්කෘතිය තමන්ගේ වේදිකාව විදිහට ඒ ගොල්ලො පාවිච්චි කරනවා. මේ විහිළු රස විඳපු පිරිසත් මෙතනදි වෙනස් වෙනවා.

බර්ටි- ඇනෙස්ලි- සැමුවෙල් කාලෙ ඒ විහිළු රස විඳපු, අද බල්ලොත් එක්ක බෑ වගේ නාට්‍ය බලන රජයේ සේවකයා වෙනුවට වඩා කෝපරේට්, විවෘත, දැනුවත් පිරිසක් ටීවී එක ඉස්සරහ පුටුවෙ වාඩි වෙනවා. ඒ විහිළුව හරියට විඳින්න නම් මීඩියා ගැන යම් දැනුමක්/ දැනීමක්  ඕනම වෙනවා.

ඒක ඉස්සර විහිළු වලින් වෙනස් තැනක්. වෙනස් සංස්කෘතික දේශපාලනික පිහිටීමක්. ‘මාස්’ එක වෙනුවට නිශ්චිත පිරිසක් තෝරා ගැනීමක්. මං කලින් කියපු පසු- නූතන අවකාශයකට කොමඩිය අරගෙන යාම කියන වැදගත්ම දේ මේ හරහා සිද්ද වෙනවා.

මේ එක්කම තවත් යුගලයන් කීපයක් තැනින් තැන බිහිවෙනවා. ගොඩක් එලියට ආපු දෙන්නෙක් වුනේ රාජ සභාවෙ චරිත දෙක. සමකාලීනව බිහිවුනත් චූටි මල්ලි- පොඩි මල්ලි සහ රාජ සභාව දෙක අතරෙ පිහිටීම තේරුම් ගන්න එකෙන් ලේසියෙන්ම මේ වෙනස ගැන ප‍්‍රායෝගික වැටහීමක් ගන්න පුළුවන්. රාජ සභාව කරන දෙන්නා ආයිමත් යන්නෙ සුපුරුදු රජ විහිළුවට. ඒ කොමඩිය හසුරුවන්නෙ ග‍්‍රාම්‍ය දෘෂ්ටියකින්. ඒ වගේම ඒක ලේයර්ඞ් නෑ.

ඒත් චූටි මල්ලියි- පොඩි මල්ලියි පාර්ලිමේන්තුවෙ නොදුටු පැත්ත කියලා කැලෑ පැත්තකින් ඈතට පේන පාර්ලිමේන්තුව පෙන්නීම (වගේ දේවල්) හරහා තල ගණනාවක සාකච්ඡුාවක් එක විට කරනවා. එක අතකින් මීඩියා වල සීරියස් දේශපාලනික ප‍්‍රවාදයක් විදිහට නොදුටු පැත්ත අනාවරණය කිරීමේ මිත්‍යාව. අනෙක් අතට ඉදිරිපත් කරන්නන් තමන්වත් නොදන්නා දේවල් ගැන ලොකු කතා කියමින් කරන ඇන්දිල්ල (මීඩියා චරිත ගොඩනැගීම). තුන්වෙනුව හැම වෙලාවකම නොදුටු දෙයක් බලන්න කට ඇරගෙන ටීවී එක දිහා බලා ඉන්නා අපේ ජීවිතේ ජෝක් එක.

මේ වගේ එක එක සෙග්මන්ට් හරහා මෙගා ටෙලි නාට්‍ය, ප‍්‍රවෘත්ති, සජීවී සාකච්ඡුා, ඒවාට සහභාගි වන පිරිස් වල ඇත්ත තත්වයන්, මේ ආදී ගොඩක් මීඩියා පොලිටික්ස් කතා වෙනවා. ඒ වගේම චූටි මල්ලියි, පොඩි මල්ලියි හරහා සංස්කෘතික දේශපාලනයේ තියෙන ලොකුම අර්බුදය, ගැටුම වෙන නාගරික- ග‍්‍රාමීය වෙනස සාකච්ඡුා කරනවා. මේ විදිහෙ කතිකා ගණනාවක් හරහා නොයෙක් දේ විසංයෝජනය වෙමින්, ආකෘති සහ පිළිගැනීම් බිඳ වට්ටමින්, හප්පමින් මේ කොමඩිය ලොකු කතිකාවක් කරනවා. 

නැවත නැවත ටීවී එකේ ඒ කොමඩියම කරන්න ගත්ත උත්සාහය ඒ තරම් සාර්තක වුනේ නෑ. ඊට කාලෙකට පස්සෙ ඒ ගොල්ලො ආයිමත් රේඩියෝවට ගියා. එතන චුට්ටියි පොඞ්ඩෙයි විදිහට පරණ කරේ-මරේ නාකි කොල්ලො දෙන්නා ආපහු ගේන්න ඒ ගොල්ලොන්ට පුළුවන් වෙනවා. 

කරේ- මරේ කාලෙ නොතිබුණු තල ගණනාවක් හරහා චුට්ටෙයි පොඞ්ඩෙයි නිර්මාණය වෙනවා. ඒක හරියට ‘ලයිට් එනකල්’ සහ ‘අපි නොදන්න ලයිව්’ අතර සංසර්ගයකින් බිහිවුනා වගේ. ගතානුගතික නාකියා සහ මොඞ් නාකියා අතර සුපුරුදු ගැටුම, රේඩියෝ මාධ්‍යය ඇතුලෙ වෙන මීඩියා විහිළුව (සජීවී වැඩසටහන් සහ ගීත ප‍්‍රචාරය කිරීමේ සහ හිනැස්සීමේ විහිළුව) වගේම එලියෙ සංස්කෘතික දේශපාලනයේ වෙන විහිළුව ඒ ගොල්ලො එක වැඩසටහනකට පෙළ ගස්සනවා. උදා විදිහට ෆේස් බුක්, රිංග් ටෝන් වගේ සංසිද්ධි වල ඉඳන් භාෂාව, ආදරය වගේ කාරණා තේරුම් ගැනීමේ වෙනස්කම් දක්වා දේවල් විහිළු වලට එකතු වෙනවා. ෂෝ එකක් මේ විදිහෙ වෙනස් වෙනස් තල ගණනාවක ප‍්‍රකාශනයක් විදිහට ගොඩනගා ගැනීමම ලොකු වැඩක්. 

මේ කොමඩිය කරන හැඩයෙන් සහ ඒ කරන භාෂාවෙන්ම ඒකට අදාල විඳීමේ පරිමාණයන් සළකුනු කරනවා (සෙමියොටික්ස්). මේ දෙන්නා කරන්නෙ මාස් කොමඩි නෙමෙයි කියල මං කියන්නෙ ඒකයි. උදා ‘ෆැන්ටසිය කඩන්න නං එපා...’ කියල නාකියෙක් කියද්දි දැනෙන මතුපිට විහිළුවට අමතරව ඒ භාෂා භාවිතය ඇතුලෙ ලකුණු කරන සිතීමේ කලාපය පැහැදිලි කාරණයක්. ඒක ෆේස් බුක්, යූ ටියුබ් වල සරන, මෙතෙක් රේඩියෝව ඉදිරියේ ඇතැයි නොසිතපු කල්පිත පේ‍්‍රක්‍ෂාගාරයක්. ඒකෙන් වුනේ රේඩියෝවෙන් මේ කොමඩිය උන් ඇහුවෙ නෑ. ඒ වෙනුවට ඇඞ් කපලා අප්ලෝඞ් කරලා තියෙන යූ ටියුබ් වර්ෂන් එක ෂෙයාර් වෙන්න පටන් ගත්තා.

මේ පසු නූතන අවකාශයක නිර්මාණය වෙන කොමඩි චරිත වීම නිසාම චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි බ‍්‍රෑන්ඞ් එකක් වෙන්න පුළුවන් වෙනවා. මේ බ‍්‍රෑන්ඞ් එකත් එක්ක බද්ධ කරලා තවත් බ‍්‍රෑන්ඞ් විකුනන්න පුළුවන් වෙනවා. මෙතනදී වැදගත් වෙන්නෙ ඇඞ් එකක තවත් චරිතයක් වෙනවට වඩා (වෙන අයට වෙන දේ) චූටි මල්ලියි පොඩි මල්ලියි විදිහටම මේ දෙන්නා බඩු විකුණන එක. ඒ ගොල්ලො ඒ ගොල්ලොන්ගෙ ප්‍රොඩක්ට් එක ඇතුලෙන් (ප‍්‍රවාදය ඇතුලෙන්) විකුණන්න  ඕන දේට මොකක් හරි සම්බන්ධයක් හදනවා. ඒක නැගලා යනවා. උදාහරණයක් විදිහට කි‍්‍රකට් මැච් මැද්දෙ මොබිටෙල් කරපු ෆෑන් ටෝක්ස්.  

නූතන සිංහල නාගරික තරුණයාගේ විහිළුව වෙන්න අවශ්‍ය සංස්කෘතික දේශපාලන කාරණා සම්පූර්ණ කිරීම හරහා ඒ පිරිස අතර රැුඳෙන මොඩර්න් යාන්ස්, ගොසිප් වගේ දේවල් අතට ගන්න චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි පුළුවන් වෙනවා. කටින් කට යන විහිළුවක් වුණත් හිනා යන විදිහට අලූත් යමක් එක්ක ආපහු නිර්මාණය වෙන්න  ඕන. විහිළුවක් කරද්දි වැදගත්ම දේ වෙන්නෙ මේ ප‍්‍රතිනිර්මාණ හැකියාව. මේ චරිත දෙක හරහා කාලයක් තිස්සෙ ගොඩනැගුණු විස්තර එක්ක සහ විශේෂයෙන්ම හ`ඩ ඇතුළෙන් මේ චරිත ස්පර්ශ කරන (ඇස් ඉදිරියේ මවන) සියුම් දේශපාලනයන් නිසා නිතර අසා ඇති විහිළුවලට පවා වෙනස් ආකෘතීන්, පසුතලයන් යලි නිර්මාණය වෙනවා. මේ පෝස්ට්-මොඩර්න් ෆෝක්ලෝර් කියන කලාපය චූටි මල්ලියි පොඩි මල්ලියි නිතර ඇසුරු කරන කලාපයක් වෙනවා.

බොරුවට මහින්දගේ හරි ආණ්ඩුවේ හරි ඇෙ`ග් එල්ලිලා හිනස්සවන්න හදන විහිළුවට වඩා අපි පසුකරමින් ඉන්න සංස්කෘතික නිමේෂයන් හරහා අපේ සම්බන්ධතා වෙනස් වෙන විදිහ ගැන කියන මේ විහිළු හිනාවෙන් පස්සෙ සිතීමකට අපිව තල්ලූ කරනවා. අනුන්ට හිනාවෙලා නිකං ඉන්නවා වෙනුවට අපි ඇතුලෙ අපේ දෙපැත්තක් ගැන සදාතනික කොමඩිය අවදි කරනවා.

නාගරිකයා සහ ගමයා අතර මේ විහිළුකාර සංවාදය සමාජ අර්ථයෙන් ගම සහ නගරය විදිහට ගන්නවට වඩා බරපතලයි. ලංකාවෙ ඉන්නවට වඩා ගමයො ඉන්නෙ බටහිර පදිංචි ලාංකිකයො අතර.  සෑම නාගරිකයෙක් තුලම විඳවන ගමයා සහ සෑම ගමයෙක් ආසාවෙන් බලා ඉන්නා නාගරිකයා කියන නූතන ලාංකේය මනසේ දෙබිඞ්ඩ චූටි මල්ලියි පොඩි මල්ලියි වෙනවා.
ඒක සෑහෙන ඇබ්ස්ට‍්‍රෑක්ට් වැඩක්. 

-චින්තන ධර්මදාස

Saturday, January 11, 2014

අසැබි දේ අගුණ නැත

මං කංසා වලටත් වැඩිය පෝර්න් වලට ඇබ්බැහි වෙලා කියල මං හිතන්නෙ. කවද හරි දවසක මං ලොකු චිත‍්‍රපටිකාරයෙක් වෙලා මගේ සිනමාවට ගොඩක් බලපාපු වෙනත් සිනමාකරුවො කවුද කියල ඇහුවොත් මට කියන්න වෙන්නෙ තමන්ගෙ මෝබයිල් එකෙන්, හංගපු කැමරාවෙන් තමන්ගෙ අතිශය පුද්ගලික මොහොතක් අන්තර්ජාලයේ බෙදාහදා ගත්තු ඒ හැමෝම කියල. 

එච්එම්අයි ලයිට් ගහලා, සුරූපි නිළියො එක්ක සික්ස් පැක් තරුණයෝ දාලා කරපු ඒ ප‍්‍රධාන ධාරවෙ පෝර්න් යුගය මේ වෙද්දි අවසන්. ඒ වෙනුවට ලැප්ටොප් එකේ උඩ තියෙන, මෝබයිල් ෆෝන් එකේ කෙලවරක තියෙන පුංචි කැමරා සිදුරට අහුවෙන මේ පුංචි නිරුවත් මොහොත ආශාවේ බලය අතට අරගෙන තියෙනවා.
කොලිටිය ගැන, දිලිසිල්ල ගැන තිබුණු ග්ලොසි ආශාව තිත් පිරුණු, හ`ඩ ඇහිරුණු, හුස්මෙ වේගයට ගැහෙන වෙව්ලන කැමරාවෙ රළු රූපයෙන් වැලිකරදහියෙන් වගේ මැදෙනවා. මට හිතෙන්නෙ ඒ පුංචි කැමරා සිදුරෙන් ජීවිතය කඩාගෙන පනිනවා කියල.

ස්වයං මෛථුනයට ගතවෙන විනාඩි කීපයට පස්සෙ අපි දිගටම ඒ රූප රාමු දිහා බලාගෙන හිටියොත් වෙන ගොඩක් දේවල් පේන්න පටන් ගන්නවා. ඒ කැමරාව හරහා අපි ඒ චරිත අතරට එබෙන හැටි.. සමහර විට කැමරාව මානන්නා සහ අපි අතර ඇති එක`ගතාව, අපේ ආශාවේ රූපය සමග ඔහු (බොහෝ වෙලාවට) කිති ගැස්සෙන සුළු සෙල්ලම් කරන හැටි, මට හිතෙන්නෙ සිනමාව ඇතුලෙ අපිට කවදාවත් තේරුම් ගන්න බැරි තරම් තියුණු හා සංවේදී විදිහට මේ රූප වල කැමරාව හැසිරෙනවා කියල. අනෙක් අතට නිකම්ම බලා ඉන්න රූපයක් වෙනුවට කැමරාව මෙහෙයවන්නා එක්ක අපිට තියෙන සජීවී ගනුදෙනුව. ඒක අතිශය පුද්ගලික එකක්. අපේ ලැප්ටොප් එකේ තවත් පොඩියට පේන පුංචි කවුළුවෙන් අපි බෙදා හදා ගන්න. (ඒ රූපය ඊට වඩා ලොකු කළොත් රසය වැඩිවෙනවා වෙනුවට අවුල් වෙන වග වෙබ් පෝර්න් බලන කවුරුත් දන්නවා)
මේ හැමදේකටම වඩා මේ පෝර්න් ක්ලිප් අතරෙ මං දැකපු එක දෙයක් තියෙනවා. ඒකට තියෙන සිංහල වචනෙ එච්චරම ගැලපෙන්නෙ නෑ. ඉනසන්ස්. අවිහිංසකත්වය කියන එක ඒ තේරුම හරියට දෙන්නෙ නෑ. 

විශේෂයෙන්ම කැමරාවට අසුවෙන ගැහැණු අනෙක් චරිතයේ මේ මොහොත ඉන් පිටත සමාජයේ කොයිම තැනකදී වත් නැවත මුණ නොගැහෙන්නක්. මේක ලිංගික පාපතර සූරාකෑම අපයෝජනය වගේ දාහකුත් සදාචාරාත්මක අර්ත ගැන්වීම් වලින් විකෘති කරන්න පුළුවන්. ඒත් මේ පෝර්න් සංස්කෘතිය ඊට වඩා විශාල වෙනසක් යෝජනා කරමින් ඉන්නවා. මේ පෝර්න් වල ඉන්න චරිත සමග ඒ නරඹන්නාගේ තියෙන ගනුදෙනුව ඒ වර්චුවල් යතාර්ථයේදි ෆැන්ටසියක් විදිහටම ඉපදිලා ෆැන්ටසියක් විදිහටම අවසන් වෙනවා. නූතන ලිංගිකත්වයේ ගාමක බලවේගයන් දෙක වෙන එක්සිබිෂනිසම් සහ වොයරිසම් කියන කාරණා දෙක සම්පූර්ණ කරනවා. ඒ පුංචි පුංචි සෙක්ස් ක්ලිප් වලින් ලිංගිකත්වය පිළිබඳ අලූත් සංවාදයක පරාමිතීන් සළකුණු කරනවා.

මේක තාක්ෂණයේ ඉතිහාසයේ ඉඳන්ම නොකියා ගේන කාරණාවක්. ඒ තමයි ප‍්‍රදර්ශනකාමයේ සහ යතුරු සිදුරෙන් බැලීමේ ආශාව තෘප්ත කිරීම. 70 දශකේ පළවෙනි වතාවට විශාල ජනතාවක් වෙනුවෙන් පොලරොයිඞ් කැමරාව අඳුන්නලා දෙද්දි ඒකට කිව්වෙ ‘ස්වින්ගර්’ කියල. ඒ කියන්නෙ ක්ෂණික ඡුායාරූප සහ ක්ෂණික අසැබි රූප කියන දෙකම එකට. මේ කැමරාව වෙනස් වෙමින් ආවට මං හිතන්නෙ මේ ආශාව වෙනස් වුනේ නෑ. අද වෙද්දි මෝබයිල් එක අයිනෙ පුංචි කැමරා සිදුර හෝ ලැප්ටොප් එක උඩ හිටගෙන ඉන්න කැමරා ඇස ඉෂ්ට කරමින් ඉන්නෙ මේ අවශ්‍යතාවය.

ඉන්ටර්නෙට් එක 2.0 වෙනවත් එක්ක පෝර්න් කර්මාන්තයත් පිමි ගානක් ඉස්සරහට පනිනවා. තව දුරටත් මහා පේ‍්‍රක්‍ෂාගාරයක් වෙනුවෙන් හදන පෝර්න් නිෂ්පාදන වලට තියෙන ඉල්ලූම, වෙන විදිහකට කිව්වොත් ඒ අසාමාන්‍ය තත්වයට තියෙන ආශාව සාමාන්‍ය තත්වයන් අතරට එනවා. අපි අපි වගෙම තවත් කෙනෙකුගේ රහසිගත ජීවිතය බෙදා හදා ගන්නවා. වඩාත් සජීවී විදිහට. පුද්ගලික විදිහට. 

මේ වෙද්දි වෙබ් එක පුරාම පැතිරෙන ඬේටින් සයිට් වලින් සහ සමාජ ජාල වෙබ් අඩවි හරහා මේ ආශාවේ අලූත් මුහුණුවර පැතිරෙනවා. මේක වළක්වා ගන්න  ඕන අනතුරක් නෙමෙයි. වැළඳගන්න අවශ්‍ය නව තත්වයක් කියලයි මං හිතන්නෙ. මේ අපේ ආශාව අපිටම යලි නිර්මාණය කර ගන්න ඉඩ ලැබෙන පළවෙනි අවස්ථාව. මං හිතන්නෙ ආශාවෙ දේශපාලනය ජනතාකරණය වීම වගේ දෙයක්. පොඞ්ඩක් පැටලෙන්න ඉඩ තියෙන හින්ද මං අතීත කතාවත් එක්ක පැහැදිලි කරන්නම්.

මිචෙල් ෆූකො කියන මං ගොඩක් කැමිති දාර්ශනිකයා හිස්ටරි ඔෆ් සෙක්සුඇලිටි කියන පොතේ පැහැදිලි කරනවා අපේ ආශාව පාලනය කිරීම හරහා අපේ ශරීරය දේශපාලනික විදිහට හික්මවීම ක‍්‍රියාත්මක වුණු ආකාරය ගැන. මුලින්ම පල්ලිය හරහා පාපොච්චාරණයක් විදිහට අපේ ආශාව හික්මවනවා. ඒ හරහා අපේ ශරීරය පාලනය කරන බලය ගන්නවා.

ඊළ`ගට 19 වෙනි ශතවර්ෂෙන් පස්සෙ විද්‍යාව හරහා මේක කරන්න පටන් ගන්නවා. සෙක්සොලොජි කියල විෂයක් හදලා ඒකෙන් ලිංගිකත්වය පැහැදිලි කිරීමේ, නිර්වචනය කිරීමේ, විනයගත කිරීමේ බලය ගන්නවා. 20 ශතවර්ෂෙදි මනෝ විශ්ලේෂණය හරහා මේ ශරීරය දේශපානීකරණය කිරීමේ තාක්‍ෂණය පාවිච්චි වෙනවා. ඒත් මං කලින් කියපු 2.0 වෙබ් එකෙන් පස්සෙ මේ බලය මේ හැම පංතියකින්ම ගිලිහෙනවා. 

ෆුකෝ කියන විදිහට මේක වෙන්නෙ දැනුම සහ බලය හරහා. අපිට නිතර ඒත්තු ගන්වන ‘ලිංගිකත්වය කියන්නෙ අපි විසින් යටපත් කරන අපේ ආශාව’ කියන අර්තගැන්වීමට එයා එච්චර එක`ග වෙන්නෙ නෑ. එයා කියන්නෙ අපේ ඇත්ත ආශාවට වඩා විශාල කතිකාවක් පැවතීම නිසා අපිට ඒ විදිහෙ රිප්‍රෙෂන් එකක් දැනෙන්න පටන් ගන්නවා කියල. ඒ කාලයේ පවතින දැනුම සහ බලය දරන සමාජ දේශපාලන යාන්ත‍්‍රණ වලින් ඒ කාලයේ ලිංගිකත්වය තීරණය කරනවා කියන එක. 

ඒක හරියටම මනෝ වෛද්‍ය විද්‍යාව කියන එකෙන් නිරෝගී මනස නැත්තං සිහිය කියන සංකල්පය හැදුවා වගේ, හිරගෙවල් වලින් හොඳ පුරවැසියා කියන අදහස ගොඩනැගුවා වගේ සිද්දියක්. ලිංගිකත්වයේ විවිධ ස්වරූප අර්ත කථනය කරමින් නිර්වචනය කරමින් මේ දැනුම් බලය අපේ ජීවිත උඩ නෙමෙයි අපේ ශරීර උඩ පාලනය බාර ගන්නවා කියල ෆුකෝ විස්තර කරනවා.

මං මේ හදන්නෙ ෆුකෝගේ මේ එළඹුම හරහා විපරීත හෝ රෝගී හෝ මොකක් හෝ කියල ලේසියෙන්  හංවඩු ගහන්න පුළුවන් අලූත් ලිංගික විශ්වය තේරුම් ගන්න. මනෝ විශ්ලේෂකයින්ගෙ යුගය වෙද්දිත් ලිංගික රෝගී බව සහ නිරෝගී බව තීරණය කළේ එකිනෙකාගේ කැමැත්ත කියන කාරණය උඩ. අනිකා මත බලහත්කාරයක් වෙන ප‍්‍රදර්ශනකාමය හෝ යතුරු සිදුරෙන් බැලීම රෝගී තත්වයක් වුණා. ඒත් දැන් පරිගණක තිරයක් හරහා මේ කැමැත්ත ඉබේම ලැබෙනවා. ස්ක‍්‍රීන් එක ඔන් කරනවා කියන්නෙ ඒ උඩ පේන  ඕන රූපයක්, ආශාවක්, නිරුවතක් අපි බෙදාහදා ගන්නවා. මේක කලින් රෝග විදිහට හඳුන්නපු ලිංගික ස්වරූප ගණනාවක් සාමාන්‍ය තත්වයට ගේනවා. තව දුරටත් ලිංගිකව රෝගී නිරෝගී බව තීරණය කරන්න බලාධිකාරියක් නෑ. අපි අපිටම පාපොච්චාරණය කර ගන්නවා. මං හිතන්නෙ රියැලිටි පෝර්න් විදිහට අපි දකින ගොඩක් දේවල් ඒ විදිහෙ පාපොච්චාරණ.

ඉතිහාසෙ පුරාම යම් කිසි බලය-දැනුම පංතියක් මගින් මේ ලිංගික කතිකාව පාලනය කරනවා. ඒ පාලනය කරන ලද කතිකාව සහ සැබෑ තමන්ගේ ආශාව අතර තමයි මේ රිප්‍රෙෂන් එක දැනෙන්නෙ කියලයි ෆුකෝ විස්තර කරන්නෙ. දැන් ඉන්ටර්නෙට් එක හරහා මේ කතිකාව තීරණය කිරීමේ බලය ඒකෙ ඉන්න සුවහසක් ජනතාවටම පැවරෙනවා. ඒ හින්ද කවදාවත් අත් නොදුටු පරාසයන් වල, හැඩයන් වල, පර්යේෂණ වල මේ ආශාව නිදහස් වෙනවා. මෙච්චර කාලයක් පාලනය වුණු මේ ආශාව යලි විනයගත වෙන්නෙ ඒකෙම ඉන්න සමාජ ජාලයක් අතින්. 

බොහොම පොඩි කාලෙකට ඉස්සර කොම්පියුටර් ස්ක‍්‍රීන් එක දිහාම බලාගෙන ඉන්න අයව අපි තේරුම් ගත්තෙ සමාජශීලී නැති, සාමාන්‍ය නැති, ගීක් කොටසක් විදිහට. ඒත් මේ වෙද්දි ඒ ගීක් එක සාමාන්‍යයක් වෙලා තියෙනවා. අපි කෝපි බොන අතරෙ, පාරෙ ඇවිදින අතරෙ, වැඩ කරන අතරෙ, කොටින්ම සෙක්ස් කරන අතරෙ පවා අපි ඉන්නෙ ස්ක‍්‍රීන් එකක් එක්ක. මෙච්චර කාලයක් අපි මූලික කියල අඳුනගත්ත අනිත් හැම වැඩක්ම ද්විතියික වෙලා තියෙනවා. අපි අපේ සමාජ ජාලයක වගකීම් කොටසක් නිරන්තරයෙන් ඉටු කරමින් ඉන්නවා. 

එක විදිහකට මේක අන් කොයිම තත්වයකටත් වඩා වගකීම් සහිත පාලනයක්. ඒත් අපි නිදහස ගැන කිසි ඉල්ලීමක් පෙළපාලියක් නැතුව පූර්ණ කාලීනව මේ සමාජ ජාලයන් වෙනුවෙන් වැඩ කරනවා. ඇත්තටම කිව්වොත් වඩා නිදහස් විශ්වයක් වෙනුවෙන් වැඩ කරනවා. පෝර්න් කියන්නෙ හැමදාමත් වගේ එතන වැදගත්ම කොටසක්.

චැට්රුලේ කියල වෙබ් සයිට් එකක් තියෙනවා. ඒකෙ අරමුණ අපිව නාඳුනන අහම්බ පුද්ගලයන් එක්ක සම්බන්ධ කිරීම. ස්කයිප් වගේ දේකින් අපි සම්බන්ධ වෙනවා කියන්නෙ අපි එක්තරා සීමිත පිරිසක් එක්කයි ගනුදෙනු කරන්නෙ. මේක බෝරිං වගේ දැනිච්ච නිසා මේ අලූත් සමාජ ජාලය නිර්මාණය වෙනවා. එතනදි එක මොහොතක දහස් ගණනක් ජීවිත අපේ තිරය උඩ ඉන්නවා. ඒ  ඕන කෙනෙක් එක්ක තත්පර කීපෙකට හෝ සම්බන්ධ වෙන්න මට පුළුවන්. එතන ඉන්නවා විපරීත හෝ වෙන  ඕනම ආකාරයක ලිංගික ප‍්‍රදර්ශනයකට, එබී බැලීමකට ලෑස්ති අයත්. මට කැමති කෙනෙක් තෝර ගන්න පුළුවන්.  ඕනම දෙයක් බෙදා ගන්න පුළුවන්. ආයිමත් කිසිදාක මුණ නොගැහෙන මේ අමුත්තා එක්ක අපිට  ඕනම රහසක් බෙදා ගන්න පුළුවන්. ඊළ`ග මොහොතේ නෙක්ස්ට් බොත්තම ඔබන පරක්කුවෙන් අපි නිදහස්. ඒ රහස නිර්ණාමික හැ`ගීමක් එක්ක ඒත් රූපයක් සහිතව සයිබර් අවකාශයට නිදහස් වෙනවා.

නූතන යුගයේ ශරීරය වස්තුවක් විදිහට අරගෙන ඒ මත බලය ව්‍යාප්ත කිරීමේ යාන්ත‍්‍රණ ඔක්කොම මේ හින්ද අවුල් වෙනවා. සදාචාර හෝ මානසික රෝගී හෝ විපරීත හෝ විවිධ ලේබල් වලින් තමන්ගේ බලය තවදුරටත් තියාගන්න ඒගොල්ලො වැඩ කරනවා. ඒක සාමාන්‍යයක්. ඒත් අලූත් තාක්‍ෂණික යුගය එක්ක ශරීරය මත දේශපාලනික තාක්‍ෂණයනුත් වෙනස් වෙන එක අනිවාර්යයක්. පෝර්න් සයිට් පුරා අපි දකින්නෙ ඒ නව කතිකාව.

ඒක ඉස්සර වගේ ලිඛිතව හෝ ප‍්‍රකාශන විදිහට එන එකක් නෑ. ඒත් ඒ විෂුවල් වලින්ම, ඒ අමුද්‍රව්‍ය වලින්ම ඒකට අදාල ප‍්‍රකාශනය කරාවි. විශේෂයෙන් විෂම ලිංගික සීමාවන්ගෙන් නිර්ණය වුණු මේ ලිංගික සංකල්ප පරාසය ඒ වැටවල් වලින් නිදහස් වෙන එක ගොඩක් වැදගත්. ඒ වගේම සක‍්‍රීයව මේ වීඩියෝ ක්ලිප් ලෝකය හරහා හැ`ගීම් හුවමාරු කරන ප‍්‍රදර්ශනකාමියා හෝ නැරඹුම්කාමියා මේ හරහා නැවත වෙනස් වෙන්න නියමිතයි. හරියටම පුද්ගලයන් දෙදෙනෙක් අතර ඍජු සම්බන්ධය ද්විතීයික දෙයක් වෙලා ස්ක‍්‍රීන් එක හරහා සම්බන්ධය ප‍්‍රාථමික දෙයක් වීම ස්වභාවික වුනා වගේම මේ ලිංගිකත්ව පරාසය පුළුල් වීම තව ගොඩක් සමාජ දේශපාලන යාන්ත‍්‍රණ වෙනස් වෙන්න බලපානවා.

ලංකාව සෙක්ස් කියන වචනෙ වැඩියෙන්ම ගූගල් කරපු රට වුණු එක හොඳ ලකුණක් විදිහට මං දකින්නෙ මේ හින්ද. වැඩි වැඩියෙන් නිරාවරණය වීම, පුද්ගලික ලිංගික කලාප අලූතෙන් නිර්මාණය වීම, ඒ හරහා සංවාදය, විවිධාකාර වූ අනේක ලිංගික ප‍්‍රකාශනයන්ට ඉඩක් විවෘත වීම, දරා ගන්න පුරුදු වීම වගේ තත්වයන් හරහා මෙතෙක් අඳුරගත්තු මිනිස් විෂය වෙනස් වෙන්න ගන්නවා. ගොඩක් සංස්කෘතික සහ ආචාර ධාර්මික විවේචන මං දකින්නෙ මේ බිඳ වැටීමේ අඳෝනා විදිහට. පන්සල /පල්ලිය, හමුදාව සහ පාසැල මගින් කරපු ශරීර පාලනය තව දුරටත් ව්‍යවස්තාගත කරන්න පවා නොහැකි තරමට අංශුමාත‍්‍ර බවට පත්වෙලා නිදහස් වෙනවා.
ෆුකෝ නූතන යුගයේ මේ පාලනය පැනොප්ටිකන් එකක් විදිහට තේරුම් කරනවා. ඒක මැද විශාල කුළුණක් සහිත ගොඩනැගිල්ලක්. මේකෙ හැම කුටියකම සිරකරුවෙක් ඉන්නවා. මැද කුළුනෙ ඉන්න පාලකයන්ගෙ ‘ගේස්’ (බැල්ම) විසින් මේ වටේම ඉන්න සිරකරුවන් පාලනය වෙනවා කියලා ෆුකෝ කියනවා. මේ සම්පූර්ණ සිර නිවාස සංකීර්ණය ෆුකෝ අඳුර ගන්නෙ ශරීරය විදිහට. 

ඒත් මේ වෙද්දි මේක සිනොප්ටිකොන් එකක් දක්වා වෙනස් වෙලා. මෙතනදි මේ ගාඞ් ලගේ බැල්ම සර්වේලන්ස් කැමරා සහ ලයිට් විදිහටයි ක‍්‍රියාත්මක වෙන්නෙ. මේ කැමරා සිරකරුවන් වෙතට වගේම ගාඞ්ලා පැත්තටත් කැරකෙනවා. හිරකාරයොත් ගාඞ්ලත් එකම ඉලෙක්ට්‍රොනික් ගේස් එකකින් පාලනය වෙන තැනකට එනවා. හැම ප‍්‍රදර්ශනකාමියෙක්ම සහ නැරඹුම්කාමියෙක්ම එක වගේ අවංකව තමන්ගේ හැගීම් හුවමාරු කරමින් ඉන්නවා. 

ඉස්සර පාපොච්චාරණයක් වුනු එක දැන් ඇහෙන්නෙ ඒ විදිහට නෙමෙයි. කන්ෆෙෂන් එක පර්ෆෝමන්ස් එකක් බවට රූපාන්තරණය වෙනවා. ඒ පාපොච්චාරණය දැන් අපිට මුනගැහෙන්නෙ ප‍්‍රාසාංගික දෙයක් විදිහට. 

මේ අලූත් තත්වය පුංචි අඩි රූල් වලින් මනින එක නවත්තලා මේ මෝබයිල් පෝර්න් ක්ලිප් අලූත් ලිංගික විශ්වය නිර්මාණය කරන අංශූ විදිහට තේරුම් ගන්න වෙනවා. මේ කතිකාවෙ නිදහස බාර ගන්න අපි ලෑස්ති වෙන්න  ඕන. සයිබර් විශ්වයේ පුරවැසියෙක් විදිහට අපි සමාජ ජාලයන් හරහා අලූත් ශරීර දේශපාලන තාක්‍ෂණයන් අඳුර ගන්නවද නැත්තං ගොඩයෙක් විදිහට කැලෑ පත්තර ගහ ගහ ඉඳලා මැරිලා යනවද කියන එක තීරණය කිරීමේ අයිතිය අපි ඉස්සරහ තියෙනවා.

චින්තන ධර්මදාස

(සැල්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ඬේවිඞ් ක්‍රෙප් විසින් රචිත ‘ෆුකෝ- එක්සිබිෂනිසම් ඇන්ඞ් වොයරිසම් ඔන් චැට්රුලේ ’ ලිපිය ඇසුරින්)

Saturday, January 4, 2014

මේ වගේ දිනක් නෑ එන්නේ......


2014 දිහා මං හිස් කාමරයක් දිහා බලන් ඉන්නවා වගේ බලාගෙන හිටියා. ආයිමත් මොකක්වත් ලියන්න බලාගෙන ඉන්න හිස් කරදාසියක් නෙමෙයි, බඩු මුට්ටු ඔක්කොම හිස් කරපු, ආයිමත් කුලියට නොදෙන හිස් කාමරයක්. බිත්ති වල විතරක් අතීතයක් පිරෙන්න ගාපු කුරුටු. ළං වෙලා කියවන්න නොගිහින් කාලයක් යද්දි ඒ කුරුටුත් මැකිලා යනවා. නැත්තං නොපෙනී යනවා. කුරුට්ටක්වත් නැති හිස් ජීවිතේ මැද්දෙ පළවෙනිදා මං ඉඳගෙන ඔහේ ඉන්නවා.

හරි අමාරු ගෝසාවක් අවුරුද්දක් පටන් ගන්නවා වගේ දවසක දැනෙන්නෙ. එලියෙ විතරක් නෙමෙයි, ඇ`ග ඇතුලෙමත්. මං හිතන්නෙ මිනිස්සු නලියන්නෙ, ද`ගලන්නෙ ඒ ගෝසාව දරා ගන්න බැරුව. දෙසැම්බර් වෙනකොට හිස් වෙලා ගිය හැම දෙයක්ම ඊටත් වඩා ආයිමත් පුරවගන්නයි අපිට  ඕනි. දැනුම වේවා, ආදරය වේවා, මනුස්සකම් වේවා, සල්ලි හෝ ඇඳුම් ආයිත්තම් වේවා, තම තමන්ගේ දැනීමේ ප‍්‍රමානයට අපි පුරවගන්න හදනවා. ඒකයි සතුට.

ඊට පස්සෙ සුබ සුබ සුබ සුබ සුබ සුබ කියල කෙලවරක් නැති සුබ පැතීම්. ඇත්තටම සුබ පැතීමක් හොඳයි ඒක පතන මිනිහට, ඒ හැ`ගීම ඇත්තට දැනෙන වචනයක් වුනා නම්. සුබ අලූත් අවුරුද්දක් වගේ වචන කියන්නෙ කිසිම හැ`ගීමක් නොදැනෙන හෑලි. ඒවා ඔහේ රිපීට් වෙවී චාරිත‍්‍ර විදිහට ගලාගෙන යනවා. ගුඞ් මෝනිං, ගුඞ් ඊව්නිං වගේම. පළවෙනිදා වෙද්දි මිනිස්සු මුනගැහෙන්න මහන්සියි. සුබ පතලම හති. විරිත්තලම කට රිදෙනවා.

මේ අලූත් වෙන වේගෙ අත් ඇරලා ඉන්න කොට පලවෙනිදා ලේසියෙන්ම හිස් තැනකට වැටෙනවා. කිරිබත් හදාගෙන, අලූත් ඇඳුම් ඇඳගෙන මුලූ ලෝකෙම උන් වැඩට ගියාම ජොයින්ට් එකක් පත්තු කරන් පාලූ කාමරේ මැද්දෙ ඉඳගෙන ඉන්න මට ලැබෙනවා. නමක් ගමක් වයසක් දිනයක් මොකුත් නැති හිස්කම එක්ක විතරක්. ඒක හරි දුර්ලභ අත්දැකීමක් මට මේ වෙද්දි.

පැය අටේ දහයෙ දොලහෙ සමහර වෙලාවට විසි හතරෙ කුලී සේවයට ඇතුල් වෙන්න කලින් මට ඔරලෝසුවක් නැති දවස් ගොඩක් තිබුණ. ඒත් ඒ දවස් මහ කාලකණ්ණිකමකින් පිරුණ. හරියටම හව් අයි වොන්ඩර් වට් යූ ආර් ෆිල්ම් එකේ ඞී හිටියා වගේම. එතකොට ඉන්නෙ කැතී එනකං බලාගෙන. මොකක් හරි වෙනකං බලාගෙන මොකුත් නොකර ඉන්න වෙනවා කියන්නෙ හිස්කමක් නෙමෙයි. ඒක ඒක පුක මහලා බඩ යන්න බෙහෙත් දුන්නා වගේ වැඩක්.

ඊට පස්සෙ මේ ඔරලෝසුවෙ නැති කාලය හරි පුංචි, අලූකුත්තේරුකම් වලින් පිරෙන්න ගන්නවා. ඒ කියන්නෙ අපේ පැවැත්මෙ සීමාව පුංචි කරන පුංචි අදහස් කලාප. ගොඩක් වෙලාවට වාමාංශික අදහස් මට දැනෙන්නෙ මේ විදිහට. ඊට පස්සෙ ඒ පුංචි සිතියමේ අපි සෙල්ලම් කරනවා. පුංචි රස්සාවක්, පුංචි පවුලක්, පුංචි ගෙදරක්..

සමහර වෙලාවට අපි මේක වෙනස් විදිහට කරනවා. ලොකු රස්සාවක්, සල්ලි කන්දරාවක්, ගෑනු ගොඩක්... එතකොට අපි තත්පරෙන් තත්පරේට අපේ ඔරලෝසු වෙලාව මිළ කරනවා. මේ මොකක් හරි විදිහට චක්කරයක් හදාගෙන අපි ජීවිතේට පිලිවෙලක් දෙනවා. ඒ මැද්දෙ ඉඳලා හිටලා එනවා අසනීප දවස්. අර පිලිවෙලේ නැති දවස්. අපිට අපි හිටපු අපිලිවෙල ජීවිතේ ආයිමත් මතක් කරන දවස්. මං හිතන්නෙ රස්සාවක ජීවිතේට පුරුදු වෙච්ච මිනිහෙකුට මේ අහම්බ අනිවාර්ය වෙන නිවාඩු දවස් මරණවා වගේ. දොර ගාව නතර වෙලා ඉන්න කාලකණ්ණිකම උළුවහුත් ගලෝගෙන කඩා වදිනවා ඇතුලට.

ඉස්සර බස් වලට නැගපු හි`ගන්නො දැන් නෑ. ආරස්සක ලේකම් තුමා නගරෙ ලස්සන කරන්න මේ කැත මිනිස්සුන්ව අයින් කළා කියල තමයි රට්ටු කතා වුනේ. ඒත් මට හිතෙන්නෙ මේ හි`ගන්නො අපේ පැවැත්ම පැත්තෙන් අපිට ලොකු උදව්වක් කරමින් හිටියා. උදේ ඇඳගෙන, කාල සටහනක් කොටාගෙන, හැමදේම හරි යන්න කියල පහනක් එහෙම පත්තු කරලා එලියට බහින අපිට බස් එකකදි අත දික් කරගෙන, බඩක් කපාගෙන, කකුලක් ගලෝගෙන එන මේ මිනිස්සු මූනට මුනගැහෙනවා. ඒ මිනිස්සු අපිට කතා කරනවා. අපේ පිළිවෙලක් වුණු හීනෙ අවුල් කරනවා. ‘මොන මූසලකමක්ද?’ කියල මූන අකුලගන්න එක පිටිපස්සෙ තියෙන්නෙ අපිට වෙන තිගැස්ම. අපේ සැලසුම්ගත ජීවිතේ මරණය. සිදුහත් බුදුවුනේ ඇත්තටම මේ නිමිති ගෙනාපු මිනිස්සු හින්ද. මං හිතන්නෙ බුදු කෙනෙක් දකිනවට වඩා වටිනවා මේ පෙර නිමිති මුනගැහෙන එක අපිට.

ඒත් ආන්ඩුව විසින් තීරණය කළා සමස්ත ජනතාව අවබෝධය කරා ගෙනියන මේ පෙර නිමිති අහෝසි කරලා එකම අලංකාර සිහිනයක රඳවන්න. ඒත් වාහනේ යනකොට රතු එලිය යට තාමත් මේ දෙවි දේවතාවන් වැඩ ඉන්නවා. කොළ එළිය කියන්නෙ ඒ අවබෝධය ලබන්න තරම් හේතු වාසනා නෑ කියන එක. තැඹිලි කියන්නෙ යන්තං බණ පද ඇහෙන්න විතරයි පින තියෙන්නෙ. රතු කියන්නෙ අවබෝධය ඔයා හොයාගෙන ඇවිත් ඔයාගෙ ජනේලෙට තට්ටු කරනවා කියන එක.

අපිට හොඳටම මළ පනින්නෙ අපේ ජනේලෙට අනවසරයෙන් එහෙම තට්ටු කරද්දි. අපේ සීමාව තල්ලූ කරද්දි. ‘ච...’ ගගා ඉන්න යාබද වාහන වල උන් දිහා බලලා ත‍්‍රිල් ගන්න තරමට මේකට පදං වෙලා මං දැන්. ඒත් එක දවසක් මං රෝද පටුවකින් ආපු මේ දෙවියෙක් දිහා බලන් හිටියා. කෙළ පෙරාගෙන, දත් නැතුව කට විරිත්තං ගොරොද්දයක් විතරක් දාන මේ පුංචි මතක් කිරීමට කීයක් වත් දෙන්න ඉක්මන් නොවී මං ඒ දිහා බලාගෙන හිටියා. අත දික් කරගෙන ඒ මනුස්සයත් දිගටම එතන හිටියා. අම්බානක කුඩු ගහලා කියලා ලේසියෙන් මග ඇරලා නොගියොත් මං දැක්කා ඔන්  ඕෆ් වෙන මිනිහෙක්. කපටිකම හෝ පාදඩකම කියන අපේ තේරුම් ගැනීමේ නිශ්චයන්ට වඩා එහාට ගිය, බඩගින්න වගේ බේසික් විතරක් යන්තමට දැනෙන ශරීරයක් ඇතුලෙ ඉන්න නොඉන්න පැවැත්මක්. ඒ වයසට යනකල් ජීවිතේ අල්ල ගන්න කරපු පොර බැදීම් වලින් පස්සෙ ඒ විපාකයන්ගෙන් හා පරිපාකයන්ගෙන් එයා හැමදේම අත්ඇරලා වග පැහැදිලියි. ජීවිතය හා මරණය කියන සීමාවන්ගෙන් එහාට මේ කෝටු මිනිහා ගිහින් තිබුණ. මං රුපියල් පහක් දුන්නද නැද්ද කියන එක ගැන හිතන්න තරමටවත් එයා මේ ලෝකෙට අඩිය නොතියන වග සහතිකයි. ඇස් මං දිහාවට හැරිලා තිබුණට ඒ ඇස් පිටිපස්සෙ ඉඳන් කවුරුවත් මං දිහා බලාගෙන හිටියෙ නෑ.

මට හිතෙන්නෙ මේ වගේ හදිසි කඩා පැනීම් කියන්නෙ පැවැත්මෙන් එන ආදර පණිවුඩ. සිද්ධාර්ත මේවා දැකලා බයවුනා. එයාගෙ සැලසුම් ඔක්කොම අවුල් වුණා. එයා කැලේට පැනලා ගියා. මේ හැම දෙයක්ම පැහැදිලි කරන කේවල සත්‍යයක් සොයා නොගෙන එතනින් එහාට ජීවත් වෙන්න බැරි වුණා. ඒත් මං කියන්නෙ මේ ඩිප්‍රෙෂන් එක නෙමෙයි. ඒක හිස්කමෙන් පැනලා යන්නවත් ඒක තේරුම් ගන්න හෝ ජය ගන්න දාන ට‍්‍රයි එකක්වත් නෙමෙයි. මේ සැලසුම් අවුල් වෙන පොඩි පරතර වල ඔහේ වැතිරිලා ඉන්න එක.

මට රුවන් බන්දුජීවගේ කවි වල දැනෙන්නෙ මේ ත‍්‍රිල් එක. ෆේස් බුක් එකේ වමනෙ දානවා වගේ දෝරෙ ගලන කවි ජරාව මැද්දෙ ඒ කවි ෆේස් බුක් එක ඇතුලෙත් පොඩි හිඩැසක් හැදුවා. තොරතෝංචියක් නැති හැමෝගෙම කතා බහ ගෝසාවෙ ඒක පොඞ්ඩක් ඉඳගෙන ඉන්න පුළුවන් තැනක්,  බෝ ගහක් යට වගේ (බෝධි පූජා නොතියන).

රෝස උයනට පැමිනි කුමරිය
උයන් පල්ලා දෙස බලා

සියලූ වල් පැල උගුලගෙන ගොස්
පුළුස්සන්නට අණ කළා

ළංව බැලූවොත් මිසක් නොපෙනෙන
පුංචි තණකොල මල් දිහා
බලාගෙන සිටි උයන්පල්ලා
තදින් සුසුමක් පිටකළා..

මේ කවිය කියාගෙන යන සරලකම, තාලෙ වගේම කවිය ඇතුලෙ පේන කට් කීපයට මං ගොඩක් ආසයි. පොඩි මිනිහෙකුටයි පොඩි උන් ගැන දෙයක් දැනෙන්නෙ වගේ ෆ්ලැට් තේරුමට නොගිහින් ටිකක් එතන ඉඳගෙන හිටියොත්, කුමරියගේ රෝස උයන අවුල් කරන වල් පැල ගැන එයාට එන කේන්තිය එක පැත්තකින්, ඒ රෝස පැල යට වැවෙන වල්පැල කියන රොත්ත මැද්දෙත් පිපිච්ච පුංචිම පුංචි ඞීටේල් වලින් ලස්සන වෙච්ච තණකොල මල් තව පැත්තකින්. කුමාරිට පේන්නෙ ලොකු රෝස මල් විතරයි. ඒත් උයන්පල්ලාට පුංචි තණකොල මලූත් පේනවා. කුමාරිගේ රෝස සිහිනය අවුල් වුනාට වල්පැල වලින් උයන් පල්ලාගේ සිහිනය අවුල් වෙන්නෙ නෑ. එයා ඒ වල්පැල මැද්දෙත් ලස්සන මල් දකිනවා. හි`ගන්නො ඉන්නකොට කොළඹ උයන ගැන ආරස්සක ලේකම් තුමාගේ හීනය අවුල් වෙනවා. ඒ හි`ගන්නො ඔක්කොම එලවලා දාන්න හරි මකවලා දාන්න හරි නියම කරනවා. ඒත් ඒ මිනිස්සුන්ටත් පුංචි හරි මල් පිපෙන හීන තියෙනවා. ඒත් අපි උයන් පල්ලා තරං සංවේදී නෑ. අපිට ඒ ගැන තදින් හුස්ම වැටෙන්නෙ නෑ..

රුවන් ගේ කවි වල ගොඩක් වෙලාවට මං කැමති මුල් කෑල්ලට. හොඳට අඳින්න දන්න සිත්තරෙක් මුලින්ම පින්සලෙන් කැන්වස් එක උඩ ගාන නිදහස් බ‍්‍රෂ් පාරවල් කීපයක් වගේ. ගොඩක් අදහස් පිරෙන ඉඩක් හදනවා. ඒත් සමහර වෙලාවට රුවන් එතනින් එහාට ගිහින් කතාව සම්පූර්ණ කරන්න හදනවා. එතනදි මගේ ආතල් කැඩෙනවා.

මේ දැනුත් පිටකොටුවේ
ජෑම් බෝ කොට්ටම්බා පැල් තුල
පිපිරෙමින් ඇත කපුටු බිත්තර
පැටව් එලියට ආවම
උන් අහන පැණ වලට
කපුටන්ට කෝ උත්තර?

මට ඒ කවියෙ  ඕන එච්චරයි. ඒකෙන් මාව මං ඇතුලෙ හිඩසකට තල්ලූ කරනවා. ඒක විස්තර කරන ඉතිරි පේලි වලින් ඒ හිඩස පුරවලා මට ඒක මගේ අත්දැකීමක් නොකර වෙන කාගෙ හරි දෙයක් කියවන තැනට ගේනවා. ඒත් ඒක මගේ පුද්ගලික අදහස. වෙන කෙනෙකුට ඒ විස්තරය වෙන්න පුළුවන් ති‍්‍රල.

මේ කවි වල තියෙන ආනයනය නොකරපු අපිට ළ`ග ඇබ්ස්ට‍්‍රෑක්ට් ගතිය මගේ චූන් එක තවත් වැඩි කරනවා. ඒක ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙනියනවා වගේ එකක් නෙමෙයි. එහෙම ප‍්‍රඥාව පැත්තට ගෙනියන්න හදන කවි ටිකට තමයි මං රුවන්ගෙ අකමැතිම. මං කැමති ආනන්දයෙන් නතර වෙච්ච කවි වලට. සෙන් කවි වගේ ඇතුලෙ දේවල් ලිහෙන්න හදපු ගැලපිලි වලට. ඒක මං කලින් කියපු හිස්කම අපිට දනවනවා.
මේ උයන්පල්ලා තදින් හුස්මක් හෙළලා ඊළ`ගට උදැල්ල ගෙනැත් තනකොල මල් එක්කම වල්පැල ටික ගාලා දානවා. ඒක හරියටම සයිමන්ගෙ දඩයක්කාරයා කුරුළු පැටව් ටික මුලින් ලව් එකේ කූඩුව උඩින් තියලා ඊට ටිකකට පස්සෙ කිරිල්ලිව අතේ මිරිච්චං කරලා මැරුවා වගේ.

සමහර කවි පට්ට විෂුවල් හදනවා. නුවර වැව එක්ක වෙරි වෙන කවිය කියවන්න කියවන්න වදිනවා. මහ ජලාසය ඉස්සරහ හිටගෙන බෝතලයක් වැවට වක්කරන හැටි පේනවා. වැවක් එක්ක වෙරි වෙන්න...වැවක් තරමට වෙරි වෙන්න...මේ වගේ එකී නොකී තේරුම් මවන වචන පේලි එක්ක අපි පරණ ලව් මතක් කරනවා. ඒ මදිවට නුවර වැව ළ`ග..

හිස් පිටුවක පොඩියට කලූ අකුරෙන් කවි ප‍්‍රින්ට් වුනාමත් ලස්සනයි. ඒ ලොකු සුදු ඉඩ මැද ඒ ඉඩට තේරුං හදන කවි කියවන්න වගේම බලන් ඉන්නත් පුළුවන්. මං කියන්නෙ කවියක ලස්සන ඒ හිස්කම. කේවල තේරුමක්, දිශාවක් වෙන විදිහකින් නම් ‘ප‍්‍රඥාවක්’ දෙන්න යනවා වෙනුවට ගමනාන්තයක් නැති ගමනක් එක්කං යන එකයි මාව කවි කියවන්න පොළඹවන හේතුව. ඒක හරියට පිල් එකක් වගේ. ගන්න කෙනා යන්නෙ තමන්ගෙ ටි‍්‍රප් එක.

පළවෙනිදා ඉවර වෙන්න තව තියෙන්නෙ ඔරලෝසු පැය කීපයයි. හෙට ඉඳන් ආපහු කැලෙන්ඩරේ දවස් පටන් ගන්නවා. මේ ආශීර්වාද ලත් හිස්කම ඇතුලෙ වැතිරිලා ඉන්න හෙට ඉඳන් මං අකමැති වෙනවා.
හොඳ හුස්මක් හෙළලා මං වල් පැල උදලූ ගාන්න පටන් ගන්නවා.

-චින්තන ධර්මදාස