Saturday, January 25, 2014

සිනමාව ඩ්ජිටල් කිරීම වෙනුවට සිනමාව නිදහස් කිරීම

ලියන්න යන කතාවට කොහෙත්ම අදාල නැති වුණත් කියන්න තියෙන ත‍්‍රිලට මේක ලියන්නම  ඕන. විශේෂයෙන්ම මේ වගේ කතා මාධ්‍ය වල පළ නොවෙන හින්ද. ඒක ‘බරක් ඔබාමා’ගේ කතාවක්. එයා කියනවා කංසා සිගරට් වලට වඩා අහිතකර දෙයක් නෙමෙයි කියල. ඇත්තටම කංසා නීතිගත කරන්න අවශ්‍ය කෙටුම්පත් ඉක්මණට සම්පාදනය වෙන්න  ඕන කියල. කොහෙත්ම ඇල්කොහොල් වලට වඩා අහිතකර බවක් නැති කංසා නිසා මිනිස්සු හිරේ දාන නතර කරන්න  ඕන කියලත් එයා අවධාරණය කරනවා.

ඇමරිකාවෙ හානිකර නෑ කියල කංසා නීතිගත වෙන තත්වයක් ආවොත් හැම වෛද්‍ය/ විද්‍යාත්මක තර්කයක්ම බටහිරෙන් ණයට ගන්න ලංකාවෙ කොහොම වෙයිද? කංසා උවදුර ගැන උඩ පැන පැන ලියන අපේ ජනමාධ්‍යවේදියො මේ වෙනස ගැන කතාව කොහොම ලියයිද? ඇමරිකාවට වැරදුනා, කංසා කියන්නෙ මාර භයානක මත්ද්‍රව්‍යයක්, වහාම අමුඩ ගහගනියව්, සංස්කෘතිය රැුකගනියවු, කියල සමහර විට අපේ අය දිගටම මේ විහිළුව කරගෙන යයි.

ඒත් අනිත් පැත්තට කංසා වගේ දෙයක් ලංකාවෙ නීතිගත කරන්න පුළුවන් එකම ආණ්ඩුවත් මේක. යූඑන්පී එක එහෙම ඔය වගේ දෙයක් කරන්න ගියොත් අනිත් දවසෙම ආණ්ඩුව පෙරළනවා ජෙප්පො. අනික යූඑන්පියට තේරෙන්නෙ නෑ ඒ වගේ දෙයක් කරන විදිහ. ගණිකා වෘත්තිය නීතිගත කිරීම, ගබ්සාව ඒ මවගේ අයිතියක් බවට පත් කිරීම, කංසා නීතිගත කිරීම වගේ (මට අනුව සාමාජීයව අතිශය වැදගත්) රැඩිකල් වෙනස්කම් කරන්න පුළුවන් මහින්දගෙ වගේ ආණ්ඩුවකට විතරයි (සමලිංගික අයිතීන් ලබා දෙන එක වගේ දේවල් නං මේ ඇල්ෆා-මේල් ආණ්ඩුවට කරන්න අමාරු වෙයි)

 මහින්දට කොච්චර අකමැති වුණත් දැන් ඒ චරිතයෙන් අවශ්‍ය වෙනස්කම් ටික නොකරගෙන ආණ්ඩු මාරු කරන එක බොරු වැඩක් කියලයි මං හිතන්නෙ. අනිත් අතට මානව අයිතීන් වගේ මතුපිට කාරණා වෙනුවෙන් සටන් කරනවට වඩා ඒ වගේ සමාජ සිතීම, ප‍්‍රතිමාන සහ ඇගයීම් පද්ධති යලි නිර්මාණය කරන්න බලකරන වෙනස්කම් ඉක්මන් කරන එක වඩා ප‍්‍රගතිශීලියි. ඒ වගේ කන්ඩිෂන් වුණු අදහස් ආකෘති ඉරි තලන කොට, වෙනස් සිතීම් ආකෘති හදා ගන්න වෙන කොට සාමාජීය අර්ථයන් වෙනස් වෙන්න ගන්නවා. එතකොට ජනතාව වෙනස් වෙනවා. දේශපාලනමය කාරණා වලට වඩා සමාජ අවිඥාණයේ සිද්ද වෙමින් යන වෙනස්කම් වලට සවිඥාණකව වැඩි බරක් තියන්න  ඕන.

කංසා හේන් ගිනි තිය තිය ආතල් ගන්න විනාශකාරී පොලිසියක් සහ ඒ නිව්ස් වලින් ෆන් ගන්න ඔලූවක් නැති මාධ්‍ය ගොඩක් මැද්දෙ ජීවත් වෙන මට බරක් ඔබාමා නිදහසේ වීරයෙක් වගේ පෙණුන. කංසා වලට නිදහස කියන්නෙ මත්ද්‍රව්‍ය ගැන සරල කාරණයක් නෙමෙයි. ඒක ඇල්කොහොල් වලින් හිතන්න පුරුදු වුණු සමාජ සම්මත සිතීම වෙනස් කරන්න පටන් ගන්නවා. ඒක සමාජය වෙනස් කරන රසායනික විප්ලවයක්.

ඇමරිකාවට මං ගොඩක් කැමති ඒකයි.  මං කියන්න ගිය කතාවට එන්නං. ඒ ලංකාවෙ සිනමාව ඩිජිටල්කරණය කිරීම ගැන. මේ ගැන සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ, ශිල්පීන්ගේ, නිෂ්පාදකවරුන්ගේ වගේ සංගම් කීපයක් මෑතකදි පා ගමනක් ගිහින් මාධ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක් කළා. සිනමා ශාලා ඩිජිටල් කිරීමට අදාල නීතිමය වෙනස්කම් ඉක්මන් කරන්න කියලා. ඊට පස්සෙ ප‍්‍රදර්ශන මන්ඩල තුනක් යටතට ඔක්කොම හෝල් ටික අරගෙන චිත‍්‍රපට බෙදා හැරීම ක‍්‍රමවත් කරන්න පියවර ගන්න කියල.

මේ පා ගමනට යන්න කියල ගොඩක් මගේ යාලූවො මාව තල්ලූ කළා. අන්තිම මොහොත වෙනකල් උත්සාහ කළත් මට යන්න  ඕනකමක් හදාගන්න බැරි වුණා. ඒ සිනමාව ඩිජිටල් වෙනවට මට ඇති විරෝධයක් නෙමෙයි. ඊට වඩා මේ වැඬේ තිබ්බ බොළඳකම මට එතන හිටගන්න අමාරු කරපු හින්ද.

හැම අවශ්‍ය දේකටම අනවශ්‍ය විවේචනයක් ගේනවා කියලා ලේසියෙන්ම මාව බැහැර කරන්න පුළුවන්. ඒත් හැම සාධනීයයි කියන දේකටමත් විවේචනයක් තියෙන්න  ඕන කියල මං හිතනවා. සමහර විට ඒකෙන් සාධනීයත්වය තවත් පුළුල් කරනවා. නැත්තං ඒ සාධනීයත්වය යට තියෙන නිශේධනාර්ථ කල් ඇතුව දකින්න විවරයක් හදලා දෙනවා. මේ කොයික වුණත් ඒක නිශේධනීය දෙයක් නෙමෙයි.

මේකෙ පෙරමුණ අරගෙන හිටියෙ අධ්‍යක්‍ෂවරුන්ගෙ කණ්ඩායම. ප‍්‍රසන්න විතානගේ මූලිකව, බෙනට් රත්නායක, ධර්මසේන පතිරාජ, විමුක්ති ජයසුන්දර වගේ තවත් ගොඩක් අය එතන හිටියා. මං මේ විස්තර කියන්නෙ මාධ්‍ය වලින් මේකට අවශ්‍ය තරම් ප‍්‍රචාරයක් නොලැබුන හින්ද.

කොහොම වුණත් මේ අධ්‍යක්‍ෂවරුන් ගොඩක් මීට ටික දවසකට කලින් නෙගටිව් නැත්තං සිනමාව ඉවරයි කියපු අය. නෙගටිව් වල තියෙන මොකක්ද ආර්ට් එකක් වෙනුවෙන් සෑහෙන පෙනී උන් මේ ඇනලොග් පිරිස එකපාරටම ඩිජිටල් බැනර් එකක් පිටිපස්සෙ හිටගත්තම පොඩි නොගැලපීමක් දැනෙනවා හිතට.

ඒත් තත්වයන් එක්ක මිනිස්සු වෙනස් වෙන්න  ඕන. ටැරන්ටිනෝලා වගේ ඩිරෙක්ටර් ලා නෙගටිව් නැති දවසක සිනමාව අත්ඇරලා යනවා කිව්වට අපි වගේ දූපත් වල ඒ වගේ වීරකම් අමාරුයි. ෆිල්ම් එකක් කරලා ඒකෙ කොපි ගහන්න යන වියදමත් එක්ක ෆිල්ම් කරලා පෙන්නගන්න බැරි කතාව යතාර්ථයක්. ඒත් මේ වෙද්දි ලෝකෙ ලොකු ස්ටුඩියෝස් වලින් තව දුරටත් රීල් විදිහට ෆිල්ම් නිකුත් නොකරන එක ඊට වඩා ලොකු යතාර්ථයක්. ඒ කියන්නෙ ඇනලොග් ප්‍රොජෙක්ටර් තියෙන හෝල් දාගෙන හිටියට පෙන්නන්න ෆිල්ම් නැති වෙනවා කියන එක. ලංකාවෙ චිත‍්‍රපටි ගැන කතාව කොහොම වුණත් හොඳ ඉල්ලූමක් තියෙන පිටරට ෆිල්ම් පෙන්නන්න නම් ඩිජිටල් ප්‍රොජෙක්ෂන් වලට යන්නම සිද්ද වෙනවා. ඒ වෙළඳපොල උවමනාව වෙනුවෙන් අනිවාර්යෙන්ම නීති වෙනස් වෙනවා.

එතකොට හෝල් අයිතිකාරයො කරන්න  ඕන දෙයක්  සිනමාකරුවො කරට ගත්තෙ මොකටද? කොහොමටත් ඊළ`ගට අනිවාර්යෙන්ම ෆිල්ම් හෝල් ඩිජිටල් වෙනවා. ඒකට පෙළපාලි යන්න උවමනාවක් ඇයි කියල මට එච්චර තේරුමක් නෑ. සිනමා ප‍්‍රක්‍ෂේපණය ඩිජිටල් වෙනකල් බලා නොඉඳ, ලක්ෂ සිය ගණන් ෆිල්ම් වලට හොයන්න විදිහක් නැතුව, ඩිජිටල් කැමරා වලින් කරලා ඩිජිටල් එඩිට් කරපු අලූත් උන්ගෙ චිත‍්‍රපටි ගොඩක් තියෙනවා. ප‍්‍රක්‍ෂේපණය ඩිජිටල් වුණු පමණින් ඒ ෆිල්ම් හෝල් වලට එනවා කියල කවුරු හරි හිතනවා නම් මං හිතන්නෙ ඒක සුබවාදී වැඩියි.

ප‍්‍රක්‍ෂේපණය ඩිජිටල් වීමේ වෙළඳපොල උවමනාවත් එක්ක බැඳෙන තවත් කාරණා ගොඩක් තියෙනවා. ප‍්‍රධාන එකක් තමයි ප‍්‍රාදේශීය චිත‍්‍රපටි ශාලා ටික වැහිලා යන එක. ඒවා ආයිමත් ඩිජිටල් ප්‍රොජෙක්ෂන් දාලා හදන්න ව්‍යවසායකයො ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට නාගරික මල්ටි ප්ලෙක්ස් කීපයක් අලූතෙන් ඇති වේවි. ඒවායේ අලූත් ඉංග‍්‍රීසි සහ හින්දි චිත‍්‍රපටි පෙන්නාවි. යාපනේ වගේ නම් ඉන්දියානු දෙමළ චිත‍්‍රපටි පෙන්නාවි. එතන ලංකාවෙ අලූත් සිනමාකරුවන්ගෙ වෙනස් වැඩ වලට ඉඩක් හැදෙන්න ප‍්‍රායෝගිකත්වයක් නෑ.  ඕනනං යන්තං ප‍්‍රසන්නලාගෙ බෙනට්ලගේ සෝමරත්නලගේ චිත‍්‍රපටි කීපයක් ඒ අස්සෙ තියේවි.

මට හිතෙන්නෙ මේක පරණ සිනමාකරුවො ටිකක් අලූතෙන් බයවීමේ තත්වයක් කියල. පොඩි කැමරා වලින්, ගෙදර කොම්පියුටර් වලින් හැදීගෙන චිත‍්‍රපටි රැුල්ලත් එක්ක මේ සිනමාකරුවන්ගෙ පිළිගැනීම් සහ භාවිතාවන් අර්බුදයට යනවා. ඒ ගොල්ලො ඉන්නෙ ටිකක් නියරෙන් එපිට වගේ දැනෙනවා. ඒත් ප‍්‍රක්‍ෂේපණය ඩිජිටල් වෙනකල් තමන්ගෙ ප‍්‍රකාශනය ඩිජිටල් කරන්න ඒ ගොල්ලො ලෑස්ති නෑ. මේක ආර්ට් එකකට වඩා ඒ ගොල්ලොන්ට දැනෙන්නෙ වැඩවසම් අභිමානයක් එක්ක.

ඩිජිටල් කියන්නෙ වෙනස් විදිහක ප‍්‍රකාශනයක්. ප්‍රොජෙක්ෂන් එක ඩිජිටල් වෙනවා කියන්නෙ ඒකෙ අන්තිම කෑල්ල විතරයි (ඒක තමයි නොවැදගත් තරම් කුඩාම කෑල්ල) ඊට කලින් මේ අලූත් සිනමා භාෂාවෙන් තමන්ගෙ ප‍්‍රකාශනය අභ්‍යාස කරන්න වෙනවා. සම්පූර්ණ මෙතෙක් පිළිගත් සිනමාව කියන සංසිද්ධියම මෙතනදි වෙනස්. (උදා ජෆර් පනාහිගේ ‘දිස් ඉස් නොට් අ ෆිල්ම්’)

මට මහගෙදර ෆිල්ම් එකේ දෙබසක් මතක් වෙනවා. ‘කුරුල්ලෙක්ගෙන් අහපන් ඌ සිංදු කියන්නෙ ඇයි කියල. ඒ උපමාව සුන්දර වැඩි නං බල්ලෙක්ගෙන් අහපන් ඌ දකින දකින පඳුරට කකුල උස්සන්නෙ ඇයි කියල...’ කාගෙ හරි ප‍්‍රකාශනයක් කියන්නෙ ඒ වගේ දෙයක්. ශ‍්‍රාවකයෙක් පේ‍්‍රක්‍ෂකයෙක් ඇතුව හෝ නැතුව ඒක සිද්ද වෙනවා. ප‍්‍රක්‍ෂේපණය වෙනස් වෙනකල් ප‍්‍රකාශනය වෙනස් කරන්න බලන් ඉන්න එක ආර්ට් එකක් විදිහට සිනමාව පැත්තට වඩා ජොබ් එකක් විදිහට සිනමාව පැත්තට බර වැඩියි.

ඇත්තටම මේ හ`ඩනැගීමේ විදිහත් හරිම පරණයි. රටේ මේ තරං චූන් තියෙද්දි මේ නොතේරෙන ඩිජිටල් එකක් ගැන විස්සක් තිහක් චිත‍්‍රපටිකාරයො පෙළගැහෙන එක මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. මේක මහජන ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒ වෙනුවට රාජ්‍ය ආයතනයක සේවක ප‍්‍රශ්නයක් වගේ එකක්. මං හිතන්නෙ ඩිජිටල් ප‍්‍රක්‍ෂේපණයට වඩා අපි දේවල් ගැන හිතන විදිහ ඩිජිටල් කාලෙට එන්න  ඕන.

උදා විදිහට මං කලින් කිව්වා වගේ ලංකාවෙ අලූත් සිනමාකරුවො කරපු ඩිජිටල් චිත‍්‍රපටි පෝලිමක් තියෙනවා පෙන්නන්න විදිහක් නැතුව. කෙලින්ම ඒ චිත‍්‍රපටි ප‍්‍රදර්ශනයට අවසර ලබා දීමේ වෑයමක් විදිහට, ඒ නිර්මාණ සහ නිර්මාණකරුවන් එක්ක මේ තල්ලූව කරන්න බැරි වෙන්නෙ ඇයි? සුනිල් ටී ලා වගේ පිරිසකට බාල චිත‍්‍රපටි ලාබෙට පුරවන්න මාර්ගයක් හදනවා වෙනුවට මේ අලූත් අදහස් (මං කියන්නෙ ඇත්ත ඩිජිටල් සිනමාවෙ ආරම්භයන්) සමාජගත කරන්න උත්සාහ කළා නම් ඒකෙන් ඇත්ත වැඩක් වෙනවා. එක පැත්තකින් සිනමාව ගැන අලූත් බලාපොරොත්තු ඇති වෙනවා. ඩිජිටල් කැමරා අතට අරගෙන වැඩ කරන උන්ට තමන් අයිති සිනමා පරපුරක් තියෙනවා කියලා හයියක් දැනෙනවා. ඒ වෙනුවට තමන්ගෙ ෆිල්ම් එක කොපි ටික නොගහා හෝල් එකකට දාගන්න පරණ සිනමාකරුවො ටිකම පොරකනවා වගේ දැණුනම ඒක පොඞ්ඩක් අප්සෙට්.

මං ඉස්සෙල්ලා අදහස යෝජනා කරන්නෙ ඩිජිටල්කරණය පිටිපස්සෙ ඇත්ත සමාජ දේශපාලන සිතීම ඇතුලෙ. සුළුතරයකගේ ප‍්‍රකාශනයටත් අවකාශ ලැබීම. මුදල් හෝ සමාජ බලයන්ට පිටතින් වැඩ කරන අදහස් ප‍්‍රවාහයන්ට වේදිකාවක් නිර්මාණය වීම. මං කියන්නෙ මේකයි ඩිජිටල් සිනමාව කියලා අපි සටන් කරන්න  ඕන තැන. ප‍්‍රක්‍ෂේපණය ඩිජිටල් වෙන කොට හෝල් අඩුවෙන පළාත් වලටත් මිනි තියටර්ස් හැදෙන්න පුළුවන් නිදහස් ඉඩක්. 50-60ක විතර පේ‍්‍රක්‍ෂාගාරයක් වෙනුවෙනුත් චිත‍්‍රපටි තිරගත වෙන වඩා ඈතට සිනමාව පැතිරීමක්.

ඒ වෙනුවට මේ සිනමාකරුවන් නැවත අධිකාරියක් ඉල්ලා හිටිනවා. ඒ ගොල්ලො රජයට කියනවා මණ්ඩල තුනකට අඩු කරලා බෙදා හැරීම විධිමත් කරන්නලූ. සිනමාවට කරන්න පුළුවන් ලොකුම උදව්ව වෙන්නෙ රාජ්‍ය මැදිහත් වීම අඩු කරන එක කියලා ඔප්පු වෙලා තියෙද්දිත් (දැන් සිද්ද වෙලා තියෙන්නෙත් පණතක් වෙනස් කර ගන්න) තවත් ඒ විදිහෙ අධිකාරියක් ඉල්ලා සිටීමම අවුලක්. පුළුවන් තරම් ඩිජිටල් හෝල් ඇති වෙන්න, වෙනස් වෙනස් තල ගණනාවක් ප‍්‍රදර්ශන ක‍්‍රමෝපායන් බිහිවෙන්න පුළුවන් අවකාශයකුයි අපිට නිර්මාණය කර ගන්න අවශ්‍ය. ඒ වෙනුවට ආයිමත් පාලනයක්, සීමාවක් නැත්තං වාරණයක් ඉල්ලා සිටින සිනමාකරුවො මං දැක්කෙ ලංකාවෙමයි...

ඩිජිටල්කරණය ඉක්මන් කරන්න ඇත්තටම සිනමාකරුවො හදිස්සි වෙන්න  ඕන නෑ. ඒ වෙනුවට ඩිජිටල්කරණය හරහා වැඩි නිදහසක්, සිනමා පේ‍්‍රක්‍ෂාගාරයක් හදාගන්නෙ කොහොමද කියන කාරණය ගැනයි පුළුල්ව හිතන්න  ඕන. විශේෂයෙන්ම ආනයනය කරන චිත‍්‍රපටි එක්ක ලොකු සිනමාකරුවන් පවා අර්බුදයට යන්න නියමිත වටපිටාවක අංකුර සිනමාකරුවන් ආරක්‍ෂා වෙන්නෙ සහ ඔවුන්ගෙ ප‍්‍රකාශන වලට ඉඩක් හැදෙන්නෙ කොහොමද කියන කාරණා ගැන. ඒක රජයකට කියලා කර ගන්න හිතන එක ඇනලොග් සම්ප‍්‍රදායෙ වැඩක්. ඒ වෙනුවට ඒකට වෙළඳපොල අවකාශයක් නිර්මාණය කරන්නයි  ඕන වෙන්නෙ. සිනමාව ඩිජිටල් කරන්න කියනවට වඩා සිනමාව නිදහස් කරන්න කියල ඉල්ලූවා නම් ඒකෙ ලොකු අදහසක් තියෙනවා.

සමහර විට මේ කාරණා ගැන ඒ ගොල්ලො හිතලා තියෙනවා වෙන්න පුළුවන්. මාධ්‍ය වලින් එලියට ආවෙ සාරාංශගත කරුණු වෙන්න පුළුවන්. එත් ෆේස්බුක් සහ වෙනත් විවෘත ඩිජිටල් මුනගැසීම් හරහා මේ ගැන වඩා සංවිධානය වීමක්, දැනුවත් කිරීමක් සහ අදහස් බෙදා ගැනීමක් නොවුණු එකම අර්බුදයක්. අපි සිනමාව ඩිජිටල් කරන්න ඉල්ලද්දි ඩිජිටල් භාවිතාවන් සහ ක‍්‍රමෝපායන් ගැන අපි කොයිතරං දැනුවත්ද කියන එක වැදගත්. ඇනලොග් විදිහකට ඩිජිටල් අරගලයක් මෙහෙයවීමම නොදියුණුයි.

කොහොම වුණත් නුදුරු අනාගතයේදී අනිවාර්යයක් වෙන ඩිජිටල්කරණය වෙනුවෙන් පෙළපාලි යනවට වඩා මේ සමග විවෘත වෙන අතිරේක ප‍්‍රවේශයන් වෙනුවෙන් වැඩපිලිවෙලක් ඉක්මන් කරන්න  ඕන. ඇත්තටම අලූත් සිනමාකරුවන්ගේ ඩිජිටල් ප‍්‍රකාශන ප‍්‍රදර්ශනයට ඉඩක් ලබා ගැනීම විදිහට මේ අරගලය ආවා නම් ඒක කොයිතරම් ලස්සනද? ඒ වගේම බිස්නස් වලට එලියෙන් සිනමාව කියන එකට කොයි තරං තේරුමක් දෙනවද?

මොනවා වුණත් මේ වගේ දෙයක් වෙනුවෙන් හරි එක පෙළට හිටගත්ත එක අගය කරන්න  ඕන කියල ගොඩක් අය කිව්වා. ඒත් ඒ පෙළගැහීම පරණ තාලෙ පිකට් එකක් වගේ වෙන එක සිනමාවට හරි නෑ කියලයි මගේ අදහස.

තාක්‍ෂණයන් සමාජගත කරන්න අරගල  ඕන නෑ. අදහසක් සමාජගත කරන්නයි අරගලයක්  ඕන වෙන්නෙ.

-චින්තන ධර්මදාස

1 comment:

  1. http://www.huffingtonpost.co.uk/2013/12/13/legalise-cannabis-in-britain-would-save-money_n_4438609.html

    ReplyDelete