Saturday, May 3, 2014

සාදු ඩෝ!


බොබසෙ ගැන ආයිමත් ලියන්නෙවත් අඩුම ගානෙ හිතන්නෙවත් නෑ කියල හිතාගෙන හිටපු මාව ආපහු ඒ ගොහොරුවටම ගේන්න තරමට බොබසෙ මාර්කටින් වැඩ කළා. ඒ ගොල්ලො මල්වතු මහනායක මුණගැහෙන්න යාම සහ එතනදි මහනායක හාමුදුරුවො කරපු මං කොහෙත්ම බලාපොරොත්තු නොවුණු ප‍්‍රකාශය හින්ද මාව තිගැස්සුණා. කෙටියෙන් ඒ අදහස සම්පිණ්ඩනය කරනවා නම්, මේ රටේ පාලකයො අතින් බුද්ධාගම රැුකීමට අවශ්‍ය දේවල් සිද්ද නොවෙන හින්ද තමයි බොබසෙ පාරට බැහැලා තියෙන්නෙ. ඒක හින්ද මේක රැුක ගන්න පුළුවන් දෙයක් කරන්න කියලා මහනායක හාමුදුරුවො බොබසෙ ඥානසාරට කියනවා. ඥානසාරත් මාර කතාවක් කියලා සම්පූර්ණ වගකීම මහනායක හාමුදුරුවන්ගෙ කකුල් දෙක ළ`ග තියනවා. ‘ඔබවහන්සේලා කියන  ඕනම වෙලාවක මේ කාර්යය අත්හරින්න පොරොන්දු වෙනවා, ඒත් මේ වෙන කවුරුවත් කිව්වට අපි නවතින්නෙ නෑ කියල’ තග ටෝක් එකක් දෙනවා වැඳගෙනම. ඒක මගේ අවුරුදු තිස්ගානකට දැක්ක ශාසන ඉතිහාසෙ මාරම තැනක්. මල්වතු මහනායක හාමුදුරුවන්ට පොඩි වචන ටිකයි කියන්න තිබුණෙ මේ අවුල සදහටම ලිහලා දාන්න. ‘ඥාණසාර එහෙනං ඔය වැඬේ ඔතනම නතර කරන්න. සාසනේ බේරගන්න ඒ ටිකම ඇති’ කියලා උන්නාන්සෙ කිව්වා නම් ආගම් නොඅදහන මාත් සාදුකාර දෙනවා ටීවී එක දිහා බලාගෙන හරි. ඒත් මල්වතු හාමුදුරුවන්ට ඒ වචන කටට ආවෙ නෑ. හැමදාම ලංකාවෙ ථේරවාදී ශාසනේට නායකත්වය දීපු අනෙක් අය වගේම උන්නාන්සෙත් ප‍්‍රචණ්ඩත්වයට ආශීර්වාද කළා. නීතිය තමන් අතට ගැනීම සාධාරණීකරනය කළා. මගේ ජීවිතේ ගැන මට බයක් දැණුනා.

තවදුරටත්  මේ අමනකම් සුළුතර පිරිසක් විසින් කරනවා කියන මනස්ගාතය මේ ප‍්‍රකාශයෙන් පස්සෙ අවසන් වෙනවා. ඒක මහනායක හිමිවරුන් විසින් අනුදැන වදාල මාර්ගයක්. බුදුදහම රැක ගැනීම පිණිස ඥාණසාරට ලබා දුන් පදවියක්. ඒක තමයි ලාංකේය බෞද්ධ සම්ප‍්‍රදාය වෙන්නෙ. බුදුදහම රැක ගන්නත් තග අවශ්‍යයි කියලා මහනායක හිමිවරුත් ආශිර්වාද කරද්දි අපිට කියන්න ඉතුරු වෙන්නෙ ‘අනේ බුදුහාමුදුරුවො පව්’ කියල විතරයි.

මේක මල්වතු නායක හාමුදුරුවන්ගෙ විතරක් අදහසක් නෙමෙයි. ඇත්තටම මේ තමයි සමස්ත ලාංකේය සිංහල බෞද්ධ ජනතාව ඉන්න තැන. ඒ අය ඉල්ලා සිටිනවා මේ ප‍්‍රචණ්ඩත්වය. නිකං කතාබහේදි ඥාණසාරව ජෝක් කරන ගොඩක් අය එක්ක ටිකක් වෙලා කතා කරගෙන යනකොට ඒ ගොල්ලො එක දෙයක් කියනවා. ‘මොනා වුණත් මචං කරන වැඬේ හරි. කරන විදිහයි වැරදි’. උගත් නිදහස්කාමී විදිහට පෙනී ඉන්න බහුතරයක් බෞද්දයො මාව පුදුම කරමින් මේක මට කිව්වා. මට කාලෙකට කලින් ෆේස්බුක් එකේ ජනප‍්‍රිය පිටුවක් මතක් වුණා. යුද්දෙ නැතුව පාළුයි. ඇත්තටම මේ වෙලා තියෙන්නෙ ඒක.

තිස් අවුරුද්දක යුද්දෙන් පස්සෙ රටක මානසිකත්වය වැඩෙන්න  ඕන තවත් ආයිමත් නං යුද්දයක් එපා කියන තැනකට. පුළුවන් තරම් සහයෝගිතාවය, සහජීවනය, ඒ මගුල් වචන පැත්තකට දැම්මොත් අනෙකාව පිළිගැනීමට සහ බාර ගැනීමට පුළුවන් ඉඩක් නිර්මාණය කරන්නයි සමාජ සංස්තා වැඩ කරන්න  ඕන. විශේෂයෙන් ආගම් වලට මෙතනදි ලොකු වගකීමක් පැවරෙනවා. රාජ්‍ය විසින් හිතාමතාම තමන්ගෙ වාසිය පිණිස භීතිය තෝර ගත්තා. යුද්දෙන් අවුරුදු තිහක් පිරිලා තිබ්බ ජීවිත වලට යුද්දෙ නැති වුණාම කුඩුකාරයාට කුඩු නැති තරම් සික්. ඒ තරම් යුද්දෙට ඇබ්බැහි වුණු ජනතාවක් පුනරුත්ථාපනය වෙනුවට දිගටම කුඩු සප්ලයි කරන්න සහ ඒ ලාබෙන් යැපෙන්න ආයතන ඔක්කොම තීරණය කළා. ආයිමත් යුද්දයක්  ඕනි. ඒකයි ජනතා ඉල්ලීම.

සහජීවනය වෙනුවෙන් කතා කරන අය බොරුවට එළි නොකළට මුස්ලිම් ආගමේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඇත්ත ගැටළුවක් තියෙනවා. කුරානයට එක`ගව හෝ නොඑක`ගව සංස්කෘතියක් විදිහට මුස්ලිම් ආගමිකයන් ව්‍යාප්තියෙන් ආක‍්‍රමණශීලී වෙලා තියෙනවා. ඒක ලංකාවට විතරක් අදාල තත්වයක් නෙමෙයි. මේ වෙද්දි ප‍්‍රංශයේ සාමාන්‍ය ජනතාවට වඩා දෙගුණයක වේගෙන් මුස්ලිම් ජාතිකයන්ගෙ බෝවීම සිද්ද වෙනවා කියල ගැටළුවක්. එංගලන්තෙ, නෝර්වේ මේ හැම රටකම මේ ව්‍යාප්තිය අර්බුදයක් මතු කරනවා. ඒකට විශේෂ හේතුවක් වෙන්නෙ මේ මුස්ලිම් ආගමික සම්ප‍්‍රදායෙ තියෙන දැඩි බවමයි. ඒක අදාල සංස්කෘතියක් හා මුහුවී වැඩෙනවා වෙනුවට ඒ සංස්කෘතියට නිදහස සීමා කිරීම්, සමාජය පාලනය කිරීම් රැුසක් නැවත යෝජනා කරමින් ඉන්නවා. ඒ සමාජයන් වර්ධනය තුල අත්පත් කර ගත් නිදහස ආපිට හැරවීමක් මුස්ලිම් ජන ව්‍යාප්තිය හරහා මතු වෙනවා. උදා විදිහට රටක වැඩි ජනතාවක් මුණූ සහ ශරීරය කළු ලෝගුවකින් ආවරණය කරගෙන ජීවත් වීම දෘෂ්‍යමය තත්වයක් විදිහට පවා සමාජයක ඉදිරි පුරවැසි නිදහස වෙනුවෙන් ඇති වෙන අරගල වලට බාධාකාරීයි. මට හිතෙන්නෙ මුස්ලිම් ජාතිකයන් සමාජයක් විදිහට තමන්ගෙ ආගමික විකාශනය ඇතුලෙ අත්පත් කර ගත යුතු නිදහස අත්පත් කර නොගැනීම සහ ඒ සීමාවන් තමන්ගේ ආධ්‍යාත්මික අයිතීන් විදිහට බාර ගැනීම ඇතුලෙ අනිත් ලෝක පුරවැසි සමාජයට බරක් වෙමින් යනවා.

ඉස්ලාමික ආගමික අදහස් හෝ ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට එහි ඇති ශක්‍යතාවය ගැන මට කිසිම ගැටළුවක් නෑ. ඒ වගේම සුෆි වගේ ඉස්ලාමික ආධ්‍යාත්ම ප‍්‍රවේශයන් බෞද්ධ භාවනා වලට වඩා අභ්‍යන්තරය විවෘත කර ගැනීමේ ලා සාර්ථකයි කියල මං විශ්වාස කරනවා. ඒත් සෑම ආගමක්ම සමාජයත් එක්ක ප‍්‍රගමනය වෙන්න  ඕන. ඒ සංස්කෘතික විපර්යාසයන්ට ලක්වෙන්න  ඕන. තාමත් කස පහර දීම, ගල් ගසා මරා දැමීම වගේ තත්වයන් අනුමත කරන සමාජයක් කියන්නෙ ඒක අවවර්ධිත සමාජයක්. ඇමරිකාවත් බෝම්බ දානවා වගේ ප‍්‍රතිතර්ක වලින් සමනය කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි ඒක. ඇමරිකාව බෝම්බ දැම්මත් ඒක සාධාරණීකරනය කරන්න උත්සාහ ගන්නෙ නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදී තර්කයන් ඇතුලෙයි. ඒත් ඉස්ලාමික ප‍්‍රචණ්ඩත්වයන් නැවත සාධාරණීකරනය වෙන්නෙ ආගමික මූලධර්මයන් මත සකස් වුණු පීඩිත නීති කෙටුම්පත් ඇතුලෙයි. මේ නිශේධනාත්මක තත්වයන් ගැන මුස්ලිම් ආගමික වියතුන් සහ යම් අවබෝධයක් ඇති අය කල්පනා කරන්න  ඕන වුණත් ඒ විවෘත බව ඒ මනස් වලට ලැබී ඇත්තෙ අවමයෙන්.

අනිත් පැත්තට අපේ අධ්‍යාපන ක‍්‍රමයට සහ මහා සංස්කෘතියට බැරි වෙලා තියෙනවා මේ කුඩා සංස්කෘතිය අනුයෝජනය කර ගන්න. ඒ වෙනුවට උප සංස්කෘතියක් විදිහට වෙනමම වැඩෙන්න, එකම තැනක රැුඳෙන්න මහා සංස්කෘතියෙන් ඉඩ හදලා දීලා තියෙනවා. මේ අවශ්‍ය අනුයෝජනීය ක‍්‍රියාවලිය කරන්න බැරි වීම මහා සංස්කෘතියෙ දුර්වලතාවයක් වගේම ඒ උපසංස්කෘතික ප‍්‍රජාව නොතකා හැරීමක්. මේ සංස්කෘතික සහ නිදහස වෙනුවෙන් වූ යෝජනාවන් මිත‍්‍රශීලීව යෝජනා කිරීම සහ විධික‍්‍රමික විදිහට අනුයෝජන ක‍්‍රියාවලිය වඩාත් සවිඥාණක කිරීම වෙනුවට අපි තෝරගෙන තියෙන්නෙ ඒ මට්ටමටම බහින්න. අපි විසින් අත්පත් කර ගත් නිදහස, අයිතීන් වගේ හැම දෙයක්ම පාවා දෙමින් ඒ සීමිත අවකාශයේ හැඩය ගන්න. උදා විදිහට බුදුන් ජීවමානව හිටියා නම් මේ බුද්ධාගම බේරා ගැනීමේ සටන හා පෙළ ගැහෙයිද? මං කියවලා තියෙන බුද්ධ චරිතය අනුව නම් ඒ බුදුන් සාසනය අත්හැර යනවා අනිවාර්යෙන්ම. මුස්ලිම් ජාතිකයන් දෙවියන් අදාල නැති දේව ධර්මයක් වෙනුවෙන් සටන් කරනවා වගේම අපි බෞද්ධයොත් බුදුන් අදාල නැති බුද්ධ ධර්මයක් වෙනුවෙන් සටන් කරමින් ඉන්නවා.

ආගමෙන් පවා නිදහස් සිතීමක් ගැන හිතන්න මට බල කරපු මගේ උප්පැන්නෙ ලියැවුනු ආගම බුද්ධාගම ඇතුලෙ මං විඳපු නිදහස ගැන තියෙන මතකය පවා මාර දුකකට පෙරළෙනවා. මේ වෙද්දි අපි ආගමික සංස්කෘතියක් විදිහට මුස්ලිම් ආගම සමග සමපාතයි. මහා සංස්කෘතියක් චූල සංස්කෘතියක් දක්වා ඇකිළීම කුඩා වීම කියන්නෙ වේදනාවක්. ඒ මහා විමුක්ති මාර්ගය මේ තරම් ඇල්කොහොලික් වර්ගවාදයක් දක්වා පිරිහීම කියන්නෙ ඒ මාර්ගය අහෝසි වීමක්.

අපි නැවත යුද්දයකට අත වනමින් ඉන්නවා. කවුරු හරි පිස්සෙක් ඥානසාර වගේ චරිතයකට ගලකින් ගැහුවත් අපි ආපහු 83ක් යලි ජීවමාන කරන තරමේ අසහනයක ඉන්නෙ. මේ ජීවිත කාලෙ ආයිමත් අවුරුදු තිහ හතළිහක් වල්බූරු යුද්දෙක වාර්තා කියවන්න වෙනවා කියන්නෙ අපේ ජීවිතේ සාමාන්‍ය ජීවිතයක් විදිහට ගත කරන්න, විඳින්න අවස්තාව  මට සහ තවත් සුවහසක් මං වගේ ලංකාවෙ ඉපදුණු කරුමක්කාරයන්ට අහිමි වීමේ ඛේදවාචකයක්.

ඒක හින්ද මං හීන දකිනවා. මේ වෙලාවෙ හැම බෞද්දයෙකුගෙම ඇත්ත සියදිවි නසා ගැනීමකට වඩා භයානකයි මං හිතන්නෙ. ඒක හින්ද මං වඩා යහපත් දවස් ගැන අඩුම තරමෙ හීනයක් ජීවත් කරනවා.
මං හිතන්නෙ අපේ රටට ජාතික දිනයක් හැටියට ‘ ඕල් රිලිජන්ස් ඬේ’ වගේ අදහසක්  ඕන කරනවා. විශේෂයෙන්ම දූපත්වාසී, ලේසියෙන්ම මූලධාර්මික නැඹුරුවකට යා හැකි පශ්චාත් යුධ මානසික රෝග තත්වයන්ගෙන් පෙළෙන අපි වගේ රටකට ඒ වගේ දෙයක්  ඕනි. මේක ‘සර්වාගමික’ වගේ නමකින් හඳුන්වන්නෙ නැත්තෙම වටරැුක විජිත වගේ ජෝක් එකක් වෙන්න  ඕන නැති හින්ද.

අපිට පුළුවන් නම් ඒ වගේ දවසක හැම ආගමික නායකයෙක්ම අනිත් ආගමක ඇති සාධනීය දෙයක් ගැන කතා කරන්න. ෆේස්බුක් පිටුවල, මාධ්‍ය වල මේ වෙනස් ආගම් වල ආධ්‍යාත්මික බෙදා හදා ගැනීම් වලට ඉඩක් හදන්න, අඩුම තරමේ ඊළ`ග පරම්පරාවකටවත් ඒකෙන් හොඳක් වේවි. මේ කියන්නෙ ආගමික සහජීවනය වගේ දේවල් ගැන කෙප්ප ඇද බාන්න කියල නෙමෙයි. ඒ වෙනුවට බණට කුරානයේ පාඨයක් තේමා කර ගැනීම වගේ දෙයක්. අපේ ආගමික සම්ප‍්‍රදායන් ඇතුළට වෙනත් ආගමික සංකල්පයන් ඇතුල් කර ගැනීමේ වෑයමක්. ඒ වගේම සමාජයක් විදිහට එක දවසක් හරි අපි රටේ අපි එක්ක ජීවත් වෙන සහෝදර ප‍්‍රජාවකගේ ආධ්‍යාත්මය බෙදා ගන්න කරන ඉඩක් නිර්මාණය කිරීමක්. සමාජ සංස්කෘතික බෙදා හදා ගැනීම් කියන විකාරයට වඩා මේ අධ්‍යාත්මික බෙදා ගැනීම වැඩ කරනවා කියලයි මගේ අදහස.

තමන්ගේ දේශපාලන ලාබ වෙනුවෙන් මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික විශ්වාස පාවිච්චි කරන මේ සූදුව ඇතුලෙ අපිට සමාජ දේශපාලන ආයතනේකින් මේ විදිහෙ අදහසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් අපිට පුළුවන් අපිට තියෙන පුංචි ඉඩකඩ ඇතුලෙ අපේ ප‍්‍රමානයෙන් මේ වගේ බෙදාහදා ගැනීමක් පටන් ගන්න. ඒක දීප ව්‍යාප්ත වැඩක් නොවෙන්න පුළුවන්. ඒත් ඉස්සරහට තියෙන අවදානම තත්පර කීපෙකින් හරි පස්සට දාන්න ඒක උදව්වක් වේවි.

-චින්තන ධර්මදාස

11 comments:

  1. මචන්, චන්ද්‍රගුප්ත තේනුවර්‍ර මහත්මයා යුද්දේ ඉවර වුනාට පස්සේ ආපු ත්‍රිල් කාලේ ඇතුළතදීම කරනවා "පෝස්ට් වෝර් බැරලිස්ම්" එක්සිබිෂන් එකක්. මට මතක විදියට ඒකෙ නම 'ඉරේසින්ග් දි කැමෆ්ලාජ්". ඔය එක්සිබිෂන් එකේදී පෙන්නනවා කැමා එක සහ අර කහ පාට බැරියර් කොහොමද පොදු ජන විඥානය ඇතුළේ උත්කර්ෂට නැංවෙන්නේ සහ සාමාන්‍ය ජීවිතයේම කොටසක් වෙන්නේ කියන එක. හැබැ‍යි එක්සිබිෂන් එකේ අවසාන අංගය වෙන්නේ තනි හිස් සුදු කැන්වසයක්. පශ්චාත් යුධ මානසිකත්වය කියන්නේ හිස් පාටක් නැති අවකාශයක් කියලා. හැබැ‍යි මම එදා තේනු සර්ට කිව්ව දේ තමයි, මේ හිස් ඉඩ පුරවන්න වෙන විදියක කැමා එකක් එනවා ෂුවර් කියලා. ඒක තේනු සර්ට මතකද දන්නෙ නෑ, මට මේ වෙනකල් මතක තිබ්බෙත් නෑ. අපරාදෙ මම වැරදි වුනානම් කියලා දැන් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය සුදු කැන්වස් එක පාටකරන එක තමයි අර බූරු බල සේනාව කරන්නේ. මේ පෝස්ට් එකේ ලියලා තියෙන විදිහටම එදා මල්වතු ලොක්කා එහෙම දෙයක් නොකියපු එක ගැන නිව්ස් බලන ගමන් මම හිතුවා. අදටත් බල සේනාව ගැන මහනායකලා ගත්ත ඇක්ෂන් එකක් නැහැ. අත පිහිදාන පත්තර කෑලිවලින් සාකච්ඡාව නොමග යැව්වා.

      Delete
  2. Damith DahanayakeMay 3, 2014 at 6:43 PM

    මුස්ලිම් ජාතිකයන් දෙවියන් අදාල නැති දේව ධර්මයක් වෙනුවෙන් සටන් කරනවා වගේම අපි බෞද්ධයොත් බුදුන් අදාල නැති බුද්ධ ධර්මයක් වෙනුවෙන් සටන් කරමින් ඉන්නවා.

    ReplyDelete
  3. මේ කොමෙන්ට් එක මේ ලිපියට අදාල නැති දෙයක් ගැනයි. මම bitter lips එක හුස්මට එක දිගටම කිය වීමි. එය කොතරම් බලපෑමක් මට ඇති කරාවීදැයි දන්නේ අනාගතය පමණි. ස්තූතියි.

    ReplyDelete
  4. //ඒ වෙනුවට බණට කුරානයේ පාඨයක් තේමා කර ගැනීම වගේ දෙයක්. //

    සිංහලබෞද්ධයෝ(තනි වචනයකි) උඹව ධර්ම චක්කරේ තියලා ඇණ ගහයි මෙව්වා කියලා හොඳේ!

    ReplyDelete
  5. ''prchandathwayak nethi lookaya harima borin ban..liberal americawa udda karanna! mokak hari hethuwak hadagena..unge rate futer economic eka rekaganna!

    ReplyDelete
  6. London waka inna sinhala bauddayek innawanam palayan kingsbury pansalata.. Gihillama ath dekapan. Mun siwura perawan jada weda. Pohosath ekaata eka widihak.. Duppath ekata thawa widihak.. Oya bodu bala wesa sena gena mona kathada ban?

    ReplyDelete
  7. Religions, their purpose and mechanisms are well discussed, analysed, enough explained and most importantly well ignored for the sake of religions themselves and what they are needed for. Supporting that project, this article and its 'pretentious non-religious stance' lament the exposure of 'errors' that reveal the holes of the system; and suggest how to fix the holes..... Now you can say, let's won't go that deep waters what makes our 'trance' shatter..:) Let's indulge shallow waters and pretend its deep enough as we always do :)

    ReplyDelete
  8. ප්‍රශ්නය: මගේ බොහෝමයක් මිතුරන් මෙන් ම මමත් ශ්‍රද්ධාවන්ත සිංහල බෞද්ධයෙක්.අපේ ආගම හා සංස්කෘතිය පිළිබඳව ලොකු ඇල්මක් සහ භක්තියක් මා තුළ තිබෙනවා.එසේ වුවත් අවාශනාවකට වගේ අපේ ආගම හා සංස්කෘතිය ගොඩනගන්නට උත්සහ ගනිද්දී අපි ප්‍රතිවිරුද්ධ ලෙස බෙදීමකට ලක්වෙනවා. මේනිසා මා කුමක්කළ යුතුද?

    ක්‍රිෂ්ණමූර්ති : මෙය අවවාද දීම පිළිබඳ කරුණක් නොවේ.මේ ගැටළුවට විෂය වී ඇත්තේ කුමක්දැයි අපි එක්ව සොයා බලමු.
    තමා ශ්‍රද්ධාවත් සිංහල බෞද්ධ ආගමිකයෙකු බව ඔබ කියනවා.එහෙත් ඔබ නිකමටවත් සිතා බැලුවද සිංහලයෙකු හෝ බෞද්ධයෙකු හෝ වන අතරෙම ආගමික වීමට පුළුවන්ද? කියා.
    (සභාවෙන් සිනහ හඬ නැගේ)
    මහත්වරුනි සිනහ නොවන්න,මෙය දේශපාලන රැස්වීමක් නොවේ.මේ ප්‍රශ්න කිරීම ක්‍රිස්තු භක්තිකයකු හෝ ස්ලාම් භක්තිකයෙකු හෝ හින්දු භක්තිකයෙකු හෝ සම්බන්ධයෙන් ගෙන බැලුවත් එසේමයි.ඔබ කුමන හෝ ජාතියකට අයිතිවන ගමන් ධාර්මික(ආගමික)වීමට ඔබට පුළුවන් ද? මේවා පරස්පර විරෝධී දේ නොවේද?
    ජාතිවාදය හා මෛත්‍රිය ගැලපෙන්නේ කෙසේ ද?
    බලන්න මෙය නොවේද ඔබේ ගැටළුව.
    මම බෞද්ධයෙකුවත්,කිතුනුවෙක්වත්,හින්දු භක්තිකයෙක්වත්,ස්ලාම් භක්තිකයෙක්වත් නොවෙමි.කිසියම් ජාතිවාදී කණ්ඩායමකට අයත් වූවෙක්වත් නොවෙමි.මෙය ඔබේ ප්‍රශ්නයක්.
    ඇයි මේ? තමා ශ්‍රද්ධා සම්පන්න සිංහල බෞද්ධ ආගමිකයෙකුබව අගවමින් ඔබ එක්තරා සංස්කෘතියක් පවත්වාගෙනයෑමේ අභිප්‍රාය ඇතිව සිටියි.
    බලන්න එම ප්‍රකාශයේම ඇති දෙබිඩි බව.පරස්පරතාවය.

    සංස්කෘතිය යනුවෙන් ඔබ අදහස් කළේ කුමක් ද? තමා බෞද්ධයෙක්ය,සිංහලයෙක්ය(අනෙකුත් ආගම්ද ජාතින් ද මේ ආකාරම වේ)යන මේවාහි අර්ථය කුමක් ද?

    මේරටේ ජීවත්වීමට සිදු වූ නිසා,සන්නිවේදන මධ්‍යයන්ගෙන්,දේශ පාලන ව්‍යාපාර මගින්,අධ්‍යාපනයයි කියාගන්නා දේ මගින්,අනේකවිධ බලපෑම් මගින්,ඔබ එක්තරා වර්ගයකට, කණ්ඩායමකට අයිතියි යන හැඟීම ඇතිකරගෙන තිබේ.ඉතිං ඔබ ඒ වර්ගයට අනුව සිතන්නට පුරුදු වී ඇත.
    ඒ වගේම,ආගමික වීම යනුවෙන් ඔබ අදහස්කර සිටින්නේ කුමක්ද?
    පැහැදිලිවම කිසියම් වූ සංවිධානාත්මක ආගමකට අයත් වීම ආගමික වීමක් ලෙස කිසිසේත් සැළකිය නොහැක.මන්ද ආගමිකවීම යනු කාරුණික වීම ය,නිර්ලෝභී වීම ය,ආදරය කිරීමය,හිංසා නොකිරීමය,ඝාතනයන් සිදු නොකිරීමය. ඉතින් ආදරය කිරීමට, කරුණාවන්ත වීමට, යම් ආගමකට බැඳීසිටීමට උවමනා ද? ක්‍රෝධ නොකිරීමට, උන්නතිකාමී නොවීමට,ආත්මර්ථකාමී නොවීමට, කිසියම් දෘෂ්ටියක් ගැනීම හෝ විශ්වාස විධියක් පෙරටු කර ගැනීම කිසිසේත් අනවශ්‍ය ය.
    ආගම සංවිධානය කරන ලද විශ්වාස සමූහයක් වුනාම සත්‍යයෙන් තොරවෙයි.කිසිම පන්සලක,කිසිම පල්ලියක,කිසිම දේවස්ථානෙක සත්‍යය නොපවතියි.ඒ සියල්ල මනුෂ්‍යයන් විසින් ගොඩනගන ලද දේ පමණය. මනුෂ්‍යයන් විසින් ගොඩනැංවූ දේ ඔවුන්ටම විනාශ කළ හැකිය.එනිසා තවදුරටත් ඔබ සිංහලයෙකු හෝ බෞද්ධයෙකු හෝ(මේ ආකාරයෙන්ම කිතුනුවෙකු,හින්දුවකු,ස්ලාමිකයකු..) කියාගන්නේ ඇයි.
    මහත්වරුනි අප සැම මනුෂ්‍යයන් විනා ලේබල් කළ කිසිවක් නොවෙමු.අපි සැම දෙන දුකින් පෙලෙන්නෝ වෙමු.
    ඇතුළතින් අපි දුකෙන්, තනිකමෙන්,දොම්නසෙන්,වේදනා විඳින අය වෙමු.
    මේවා පොදු මානසික ගැටළු විනා බෞද්ධ හෝ ක්‍රිස්තියානි හෝ හිංදු හෝ ස්ලාම් හෝ ගැටළු නොවේ.
    මේවා මනුෂ්‍යයන් හැටියට අප සැම එක්ව විසඳා ගත යුතු ගැටළුය.

    නැවත සකස් කොට පලකරන මෙම සටහන 'ඒ.ඒස් බාලසූරිය' මහතාගේ පරිවර්ථනයක්වන "පූර්ණ විප්ලවය" නමැති පොතින් උපුටා ගත්තකි.

    ReplyDelete
  9. ගැටලුවලට එක හේතුවක් අපි සමාජයක් විදියට ශිස්ඨාචාරගත නොවීම. අපේ අධයාපන ක්‍රමය ඇතුලෙදි ඉතිහාසය සහ ආගම කියලා ජාතිය ආගම ගැන පොරටෝක් විශයක් විදියටම උගන්වනවා. දෙවන බස විදියට දෙමල හෝ සිංහල වලට වඩා කලිං ඉංගිරිසි උගන්වනවා..

    ඉතිහාසය සහ ආගම පොත පත බැලුවාම ඒවායේ අස්සෙ තියෙන අන්තවාදී අදහස් ග්‍රහනය කරගන්න අමාරුවක් නැහැ. අපේ අධයාපන ක්‍රමය ලෝක මට්ටමේ නැහැ..ඉතාම දැඩි ලෙස එකිනෙකා බෙදන සාමුහිකත්වයෙන් ඈත්කරලා පුද්ගලික ටාගට් පස්සෙ දුවවන එකක් තමයි අපේ රටේ අධයාපනය.

    මේ ජාති ගැටලු විසදන්න නම් මුලින්ම ආගම ඉරිදට ඕනි නම් පංසලට පල්ලියට ගිහිං ඉගෙනගන්න කියලා සිලබස් එකෙන් අයින් කරන්න ඕනි..ඉතිහාසය කියන පට්ට පල් මහාවංස කෙබර උගන්වන්නෙ නැතුව අඩුතරමෙ විද්‍යාත්මක පුරාවිද්‍යාව වගේ විශයක් වත් උගන්වන්න ඕනි... ජාතිය කියන දේට ආගම කියන දේට වැඩිපුර ඇලෙන එකා කොච්චර ඉගෙනගත්තත් සමාජෙට වැඩක් නැහැ..ඌ හිතන්නෙ කොටුවක් ඇතුලෙ විතරයි..

    ReplyDelete