අඳුරන්නෙ නැති නොම්මරේකින් කෝල් එකක් ආවා. අඳුරන්නෙ නැති කටහ`ඩක්.
‘හලෝ චින්තනද? මං අනුරාධපුරෙන් කතා කරන්නෙ. රන්දිව පත්තරේ ඔයා ලියන කල්ට් පිටුව දිගටම මං කියවනවා’
එක මොහොතකට මට විශ්වාස නැතුව ගියා. අනුරාධපුරේ කල්ට් පාඨකයෙක් ගැන මගේ හිතේ කොහොමවත් සිතුවිල්ලක් තිබුනෙ නෑ. ජාතික පත්තරයක් ඇතුලෙන් මේ තරං ඈතට මේ අදහස් පැතිරෙන්න පුළුවන් කියල මං හිතලා තිබුනෙ නෑ.
ඒක එක විදිහක සතුටක් සහ එක විදිහක අවදානමක් කියන දෙකම එකපාර ඇති කළා.කල්ට් ලියන්නෙම මහා පාඨක පිරිසක් වෙනුවෙන් නෙමෙයි. විශේෂයෙන්ම ඒක වැඩිහිටියන්ට පමණයි.එතකොට පොඩි ළමයි ඒක කියෙව්වොත් අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අනිත් අතටසංදර්භයෙන් ගලවලා හුදකලාව මේ අදහස් භාවිතාවට ආවොත් තියෙන අවදානම. සතුට පැත්තෙන් ගත්තොත් කීප දෙනෙක් හරි රට පුරා තැනින් තැන මේ අදහස් හුවමාරුවට එකතු වෙන එකේ දැනෙන ආස්වාදය. ඒ ආස්වාදය තවත් වැඩි කරමින් ඒ යාලූවා කරන්න යන ස`ගරාවකට ලිපියක් ලියන්නත් ආරාධනයක් කළා. මේ ලියමන ලියවෙන්නෙ ඒ විදිහට.
අදාල නැති කතා ඇතුලෙ රස්තියාදු වෙනවට වඩා කෙලින්ම අදාල දෙයක් ගැන ලියන්න මං කැමතියි.
අනුරාධපුරය ගැන. ඒ නටඹුන් අතරෙ ජීවත් වෙන මිනිස්සු ගැන.
පූජා නගරයක් ඇතුලෙ ගතවෙන සාමාන්‍ය ජීවිතය කොයි වගේද කියල මං කීප විටක් කල්පනා කරලා තියෙනවා. කොල්ලො කෙල්ලො ආදරේ කරන හැටි, තරුණ කාලෙ ගත වෙන හැටි මවා ගන්න මං උත්සාහ කළා. මට මුණගැහිලා තියෙනවා අනුරාධපුරේ ඉඳන් බ‍්‍රෑන්ඩඞ් සපත්තු ඩෙනිම් ගන්න විශේෂයෙන් කොළඹ එන කොල්ලො. කවදාවත් සරම් අඳින්නෙ නැති ඒ හාදයො කොට කලිසං ඇඳන් ස්මාර්ට් ෆෝන් මාරු කර කර ජීවත් වෙනවා. ගස්ලබු වගේ ජාති කන්න අප්පිරියයි. ගෙඩිය කටේ තියාගෙන තැඹිලි බොන්න ලැජ්ජයි. බාප්පා කෙනෙක් හරි මාමා කෙනෙක් හරි රටකට ගෙන්න ගන්න කල් දවස් ගණං කර කර ඉන්නෙ.
අනුරාධපුරේ කිව්ව ගමන් මතක් වෙන කාරණා කීපයක් එක්ක ඒ නගරෙ සමාජ මානසික උරුමය ටිකක් තේරුං ගන්න බලන්නයි මං උත්සාහ කරන්නෙ. සාමාන්‍යයෙන් අංක එකට මතක් වෙන්නෙ ගල්කණු උරුමය. වෙන විදිහකින් කිව්වොත් මළගිය උරුමය. රට වටේම ඉඳන් මිනිස්සු අනුරාධපුරේ යන්නෙ තමන්ගෙ මියැදුණු අතීතෙන් පපුව පුම්බගන්න. ඒ උරුමය සංස්කෘතිය වැට කම්බි ගහගෙන ආරක්‍ෂා කරනවා. බෝම්බ බයට අටවපු මුරකපොලූ වල දැන් ගෑණු සාය වල දිග මනිනවා. ඒ නිශ්චිත දිගට නැත්තං උරුමය බලන්න ඇතුල් වෙන්න බෑ. එතකොට අනුරාධපුරේ ගැන අපේ රටේ තියෙන සරල හැ`ගීම තේරුං ගන්න ලේසියි. ඒක කෞතුක නගරයක්. ඒ කෞතුක නගරේ ජීවිතේ ගැන කාටවත් දැනීමක් නෑ.
ඒ මිනිස්සු ගොඩක් ජීවත් වෙන්නෙ මේ කෞතුක වටිනාකමම අළෙවි කරලා. මල් විකුණලා, වැව් මාළු විකුණලා වෙනස් ජාතික උරුමයක ත‍්‍රිලක් දීලා ජීවිකාව උපයගන්න පිරිස වැඩියි. ඊට පස්සෙ යුද්දෙත් එක්ක අනුරාධපුරේ හමුදා නගරයක් වුණා. සොල්දාදුවන් ගෙවල් බලා යන එන මග නැවතුමක් වුණා.
මායිම් ගම්මාන වල ජීවිත අවදානම් වුණා. ආර්ථිකය නතර වුණා. ඒ ආතතිය තුනී කරන නොයෙක් නොයෙක් මාර්ග විවෘත වුණා. උදා විදිහට ලංකාවෙ ගණිකා වෘත්තිය සම්බන්දයෙන් සැලකිය යුතු තැනක් අනුරාධපුරේට හිමි වෙනවා. අනුරාධපුරේ පැත්තෙන් ගත්තොත් මේක යුද්ධය එක්ක තියෙන සම්බන්ධය සළකුණු කරන්න පුළුවන් වුණත් යුද්දෙ බලපෑමක් නැති ලංකාවෙ අනිත් පූජා නගරවලත් මේ තත්වයම ඇති වෙන එකෙන් අපිට ඊට වඩා ගැඹුරු තැනක් තේරුම් ගන්න වෙනවා. උදා විදිහට රන්දිව පත්තරේම ගිය සතියෙ හෙළිදරව්වක කියවුනා කතරගම සිද්ද වෙන අඩු වයස් ගණිකා වෘත්තිය ගැන. පූජා නගරයක් වැඳ පුදා ගැනීම සහ ආශාවන් සතපවා ගැනීම කියන සාමාන්‍ය සිතීමට අනුවපටහැණි තත්ව දෙකක් එකට අතිපිහිත වීම ටිකක් අමුතු කතන්දරයක්. ශුද්ධ දෙය කෙළෙසීමේ පර්වර්ට් ආශාවෙ සමාජ අර්බුදය මට දැනෙන්නෙ මේ ඒ මළ උරුමයක වටිනාකම ලොකු වෙලා ඒ ඇතුලෙ ජීවිත වල වටිනාකම කුඩා වීම එක්ක ඇති වෙන තත්වය ඇතුලෙ.
ඉස්තෙබාන් කියන මගේ යාලූවාගෙ උපන්දිනේ තිබුනෙ දෙසැම්බර් 25. නත්තල් දවසෙ. ‘ෂා මරුනෙ’ කියල මං කිව්වෙ එතකොට කොහොමත් පාර්ටිනෙ කියල හිතලා. ‘මචං, ඒක කවදාවත් වෙන එකෙකුට තේරුං ගන්න බැරි දෙයක්. හැමෝටම පොදු දවසක මගේ උපන්දිනේට පුද්ගලික වටිනාකමක් නෑ. ඒක මගේ දවසක් නෙමෙයි. ඒක හැමෝගෙම දවසක්’
මේ පොදු උරුමයක් ලොකු වීම ඒකෙ ජීවත් වෙන මිනිස්සුන්ට ලොකු කරුමයක් වෙනවා කියන එකයි මගේ අදහස. කතරගම ගැන කතාව පැත්තකින් තියල මං අනුරාධපුරේට විතරක් නාභිගත වෙන්නං.
අනුරාධපුරේ ගැන ඊළ`ගට අපිට මතක් වෙන ලොකුම කතාව වෙන්නෙ වකුගඩු ප‍්‍රශ්නෙ. මේ වකුගඩු ප‍්‍රශ්නෙත් ඒ නගරේ ජීවත් වෙන උන්ගෙ උරුමය ගැන රූපකයක් වගේ. අනුරාධපුරේ කියන්නෙ වැව්බැඳි රාජ්‍යය. ඉතින් මේ රාජ්‍යයේ තමයි අපේ හාල් ටික වැවෙන්නෙ. වියළි කලාපෙ දාහකුත් ප‍්‍රශ්න මැද්දෙ (වී විකුණගන්න ප‍්‍රශ්න, පෝර ප‍්‍රශ්න) මේ මිනිස්සු තාමත් කුඹුරු කරනවා. ඒ කුඹුරු වලට රටින් ගෙන්නලා දෙන පෝර වල ආසනික් තියෙනවා. ඒ ආසනික් පරම්පරාවෙන් පරම්පරාවට මේ මිනිස්සුන්ට පිළිකා, වකුගඩු රෝග ආදී විවිධ විධි වලින් මරණය ගේනවා. අපේ කෘෂි උරුමය රකින අනුරාධපුරේ මේ වෙද්දි වකුගඩු මාවත කියල පාරවල් පවා තියෙනවා (ඒ පාරෙ හැම ගෙදරකම කවුරු හරි වකුගඩු රෝගයකින් මැරිලා) ඒත් කිසි කෙනෙක් වැඩි ගානකට ගන්නෙ නෑ. ගොවියො වහ බිව්වට, වකුගඩු නැති කර ගත්තට, ඒ පවුල් වල ගෑණු ළමයි වීදි ගානෙ විකිණුනාට, ළමා අපචාර එන්න එන්නම වැඩි වුණාට අතීත උරුමය ඇතුලෙ ඒ දේවල් ලේසියෙන්ම වැළලෙනවා. මට හිතෙන්නෙ අනුරාධපුරේ ජීවිත කියන්නෙත් නටඹුන් ගොඩකට එහා හැ`ගීමක් මේ රටේ මිනිස්සුන්ට දනවන දෙයක් නෙමෙයි.
අනුරාධපුරේ කියන්නෙ අපේ රටේ අනිත් පළාත් වල මිනිස්සුන්ගෙ අතීත උරුමයක් විදිහට නඩත්තු වෙන පළාතක් මිසක් මිනිස් ජීවිත සහ අනාගත වටිනාකම් ගැන සිතීමක් ඇති බිම් පෙදෙසක් නෙමෙයි (සමාජ මානසික සිතියමේ ඒක ඒ විදිහට සළකුණු වෙලා නෑ) ඒක ජාතික උරුමය ගැන මාර්කට් එකක් විතරයි. ලෝකෝත්තර රසයෙ ඉඳන් ඊට ප‍්‍රතිවිරුද්ධම ලෞකික රසයන් දක්වා දේවල් අළෙවි කරන සංචාරක තිප්පොලක්. හික්කඩුවෙ සංචාරකයො විදිහට එන්නෙ විදේශිකයො නිසා යම් යම් විදියෙන් දියුණුවක් අනාගතයක් ඒ පැතිවල දකින්න තිබුණත් අපේ රටේ සංචාරකයො වෙනුවෙන් අතීත උරුමයක් විදිහට පාවිච්චි වෙන අනුරාධපුරේට අයිති අතීතයක්ම විතරයි.
මගේ අදහස වෙන්නෙ අනුරාධපුරේ ජීවිත වලට පුද්ගලික වටිනාකම් ගොඩනැගෙන සමාජ වැඩසටහන් අවශ්‍යයි කියන එක. ඒ පළාතෙ ගල්කණු උරුමයට වඩා ඒ පළාතෙ ජීවිත විසින් ගොඩනැගූ වටිනාකම් ගැන සාකච්ඡුා ඇති වෙන්න ඕන. නටඹුන් නගරයක් වෙනුවට මිනිස්සු ජීවත් වෙන, ඒ ජීවිත වලට අගයක් තියෙන බිමක් බවට අනුරාධපුරය කියවෙන්න ඕන. ඒත් ඒක ලේසි දෙයක් නෙමෙයි. අනුරාධපුරේ ජීවිත මුල් ගැලවුනු ජීවිත විදිහට ජීවත් වෙන්න පටන් අරං දැන් හු`ගක් කල්. සමහර විට රුවන්වැලි සෑය හදන කාලෙ ඉඳන්ම පවා මේ ජීවිත මේ විදිහට පාවිච්චි වෙන්න ඇති.
බලාපොරොත්තුවක් නැතුව එදා දවස වෙනුවෙන් ජීවිතේ ගැන හිතන, අලූත් සෞන්දර්යයකින්, දැනුමකින්, හෝ ආස්වාදයකින් පිබිදීමක් අහිමි මේ ජීවිත ඒ වැව් වගේම ඉරි තැලිලා. වේළිලා. කාශ්ටක වෙලා.
කවදා හරි වෙන රටකට යනකං ඔරිජිනල් සපත්තු කුට්ටමක් දාගෙන බලාගෙන ඉන්න තරුණයා කියන්නෙ මේ හිස් අහස දිහා හිස් බලාපොරොත්තුවකින් බලාගෙන ඉන්න මේ පොලොවෙ මුල් ගැලවුණු උරුමය.ඒ කියන්නෙ බ‍්‍රෑන්ඩඞ් ඇඳුම් අඳින එක අවුල් වගේ වමේ කතාවක් නෙමෙයි. මේ විලාසිතා, හීන ඔක්කොම පිට පොත්තක් විතරයි කියන එක. ඒවා එම්බාම් එක ලස්සන කරනවා මිසක් මිනියට ජීවිතයක් දෙන්නෙ නෑ. මං හිතන්නෙ මේ බුබුළක් ඇතුලෙ ගතවෙන තරුණයා, වීදියේ වැඩි වෙන ශරීර අළෙවිය, දරුවන් තුල පවා තැන්පත් ආසනික් කියන්නෙ අනුරාධපුරේ ඇත්ත ජීවිතය. චින මහා ප‍්‍රාකාරෙට යටවෙලා මළ වහල්ලූ වගේ මේ ජීවිත ගල්කණු වලට යට වෙලා අතීතෙන් වැහිලා යනවා.
අරුණ ජයවර්ධනගෙ නිකිණි වැස්ස මට මතක් වෙනවා. ඉඩෝරය ඉවර වෙලා වැස්සක් වැටෙනකල් වෙලිච්ච පොලොව උඩ දුම් දාන ජීවිත බලාගෙන ඉන්නවා. ඒත් ඉඩෝරෙ රස්නෙට වැස්ස මගදිම වාෂ්ප වෙනවා. අනුරාධපුරේට වහින්නෙ මේ නිකිණි වැහි විතරයි.
වී ටික පැහෙන්න වැස්ස එනකං බලන් ඉන්න ජීවිතේට වඩා විශාල ජීවිතයක් අනුරාධපුරේට උරුම වෙන්න ඕන. ඉතිහාසෙන් එලියට මේ මිනිස්සු වැඩෙන්න ඕන. පිච්ච මල් පූජාවට අනුරාධපුරේට යන වයස්ගත උපාසක උපාසිකා පිරිසට වඩා (මරණය විඳින්න යන පිරිස) සිංදුවක් නැටුමක් චිත‍්‍රපටියක් බලන්න (ජීවිතේ විඳින්න) අනුරාධපුරේ යන පිරිස් වැඩි වෙන්න ඕන.
මේ මළ උරුමයට පණ දෙන්න පුළුවන් එකම විදිහ එච්චරයි. මේ ලියමනක් කියවන සංවාද කරන කීප දෙනා හරි ඒ ජීවත් වෙන උරුමයේ කොටස්කාරයො වෙනව නං එච්චරක් වුණත් කොච්චරක්ද?
-චින්තන ධර්මදාස