Monday, August 27, 2012

දෙවියෝ සහ භූතයෝ (සිනමා සොහොනකදී තර්කොව්ස්කිගේ අවතාරය හමුවීම)

’අපි අපේකම කියල පෙන්නන්නෙ මොනාද? අර පරණ ගල්කණු ටිකනෙ අයියෙ. උන්ට එහෙමද? කෑම ගත්තත්, ඇඳුම් ගත්තත්, ඒ ඔක්කොටම වඩා උන්ගෙ භක්තිය අයියෙ. ඔච්චර යුද්දෙකටත් පස්සෙ තාම ඒ භක්තිය පොඞ්ඩක් වත් අඩු වෙලා නෑ’
යාපනේ ගිහින් ආපු අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා එහෙම්පිටින්ම වෙනස් වෙලා.

‘මේ වවුනියාවෙන් එහාට සිංහල වචනයක් වත් තේරෙන්නෙ නෑ අයියෙ. ඒ ටික උන්ටම දීලා දාන්න තිබුණෙ’
දෙමළ ජනතාවගේ ජීවිතය උගේ ජීවිතය කණපිට පෙරලා ඇත. මටත් දෙමළ මිනිස්සු ගැන පුදුම හිතෙන දේ ඒක. හැම පවුලකින්ම එකෙක් හෝ බිලිවුණු යුද්දෙකින් පස්සෙත් තවමත් දෙවියන් ඉදිරියේ කඳුළු පිරිච්ච ඇස් වලින් ගලාහැලෙන ඒ භක්තිය... ඒ භක්තිය දරන්න පුළුවන් පොලොවෙ ගැඹුරටම මුල් ඇදපු විශාල ජීවිතයකටම විතරයි. හැම ලෞකික ව්‍යසනයක් ඉස්සරහම ආපහු නැගිටින්න පුළුවන් හයිය දෙමළ මිනිස්සුන්ට දුන්නෙ ඒ සදාතනික භක්තිය.. දෙමළ මිනිහෙක් ඉස්සරහදි හැම ඇත්ත සිංහල මිනිහෙක්ම අවුල් වෙන්නෙ ඒ හින්ද. වරදකාරී හැ`ගීම අපේ උරුමය. දෙවියන් ඒ මිනිස්සුන්ගෙ උරුමය.

තර්කොව්ස්කිගෙ චිත‍්‍රපටි ගැන කීප තැනකදිම කතා බහ ඇති වුණා. චිත‍්‍රපටි ඔක්කොම එක දිගට පෙන්නගෙන ගිය උණුසුමත් එක්ක. මට තර්කොව්ස්කි දිරවා ගන්න බැරි වීමත් එක්ක මේ කතා ටිකක් දික්ගැස්සුණා. ‘මාරයි නේ....’ කියල ගන්න ආස්වාදනීය හුස්ම මගේ මොට්ට ආයුදේ හින්ද බාධා වුණා.
’ඒ වුණත් උඹ මොකුත්ම නැතුව උගේ සිනමාව ඇතුලෙ ඔහේ දියවෙලා යන්න ඉඩ ඇරියොත් උඹට ඒක දැනෙයි. උඹේ අදහස් එක්ක ඇතුලට ගිහින් ඒක ගන්න බෑ’
ඩෙනිස් මට කිව්වා. ‘කර්තෘ මැරලා. රෝලන්ඞ් බාත් කිව්වා.
‘ඌ කවුද කියන එක අදාල නෑ කියලයි මං කියන්නෙ. අපි ගන්න  ඕන උගේ සිනමාව විතරයි’ ඩෙනිස් අපේ කතාවෙ සීමාවක් ලකුණු කළා.

මට කර්තෘ නැතුව කෘතිය කියවන්න බෑ. කෘතිය ඇතුලෙන්ම කර්තෘව නිර්මාණය කරන නිසා. විශේෂයෙන් තර්කොව්ස්කි වගේ කෙනෙකුගේ කෘතියක්. කර්තෘ මරලා කෘතිය කියවන්න මං එක`ගයි. ඒත් කෘතිය ඇතුලෙ කර්තෘ ක‍්‍රියාකාරීත්වයන් (මැදිහත්වීම්) දැනෙද්දි මං ඒවා ගැනත් කියනවා. ඒක කෘතිය ඉල්ලා සිටින දේශපාලනය. එතනදි ඒ දේශපාලනේ ඉතිහාසෙට මං ඇතුල්වෙනවා. ඒ සමස්ත කෘතිය ඇතුලෙදි මට තර්කොව්ස්කි පේල්. මොකද මට අනුව තර්කොව්ස්කි කියන එකයි කෘතිය. තනි තනි චිත‍්‍රපටි කියන්නෙ ඒ කෘතියෙ කොටස් විතරයි.

කෘතියක් ඇතුලෙන් මං බලාපොරොත්තු වෙන්නෙ කර්තෘගේ ලෝකයේ ඇවිදින්න යන්න. කර්තෘ කෘතියට වඩා විශාල තැනකදි ඒක වැඩියෙන්ම වෙනවා. මට කර්තෘගේ මානසිකත්වයට ඇතුල්වෙන්න යතුරු  ඕනි. ඒ යතුරු සම්පාදනය කෘතිය කිරීම වගේම කර්තෘගේ වගකීමක් විදිහටයි මං ගන්නෙ.
ඒත් කෘතිය විතරක් රස විඳින පේ‍්‍රක්‍ෂක උත්තෝමවාදය නරකයි කියල කියන්න බෑ. ඒක ඉතින් වෙන ඉස්කෝලයක්. වෙන සම්ප‍්‍රදායක්. ඒක තමයි අදේශපාලනික විදිහ. පැසිව් වර්ෂන් එක. ගෑණු එක. එතනදී කෘතිය ගැන හෝ කර්තෘ ගැන දේශපාලනික විචාරයකට යන්න පුළුවන්කමක් නෑ. අපි ගිහින් තියෙන්නෙ ආත්මීය චාරිකාවක්. වාස්තවික දෙබසකට එතන ටිකට් නෑ.

මට තර්කොව්ස්කි කියන්නෙ කලාව පරමාදර්ශීයි කියල විශ්වාස කරපු පටු ජීවිතයක් (කෘතියක්). ජීවිතය ඇතුලෙ පරමාදර්ශ ගොඩනගන්න බැරි වෙද්දි අපි අපේ නිර්මාණ ඇතුලෙන් පරමාදර්ශී දේවල් හොයන්න යනවා. කොහොමටත් කලාව කියන්නෙ මරණය පරාජය කරන්න අපි ගන්න ට‍්‍රයි එකක් කියලා ෆුකෝ කියනවා (මිචෙල් ෆුකෝ)

පරමාදර්ශී කලාව කියන්නෙ ඒ යුතොපියානු සිහිනය. අපි මේ කර්තෘගේ ළදරුකම ආධ්‍යාත්මික විදිහට කියවන්න උත්සාහ කරනවා. තර්කොව්ස්කි ‘ස්පිරිචුවල්’ ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා. එයා ගැන දේශපාලනික කියවීම පමා වීමෙන් එතන පරිණත බවක් පෙන්නන්න යන නොණ්ඩි ගහන යුරෝ ක‍්‍රිස්තියානු වාමාංශික කලා විචාරය නොස්තැල්ජියාවක් හදනවා. මේ කල්පිතය-රෝගය- මිත්‍යාව සම්මාන උළෙලවල් හරහා අධිනිශ්චය කරනවා.

ආදරය සහ මානවීයත්වය ගැන ගොඩක් දේවල් ආන්ද්‍රෙයි තර්කොව්ස්කි කියනවා. එයා ආධ්‍යාත්මික ගුරු කෙනෙක් තත්වයේ සිනමාකරුවෙක් කියල හඳුන්වන විචාරකයො ගොඩක් මේ කතා උපුටා දක්වනවා. ඒත් ආන්ද්‍රෙයි රුබලොව් චිත‍්‍රපටිය වෙනුවෙන් තර්කොව්ස්කි කෲර විදිහට අශ්වයෙක් මරා දානවා. කුරුස යුද්දයේ මානසිකත්වයෙන් ආර්ට් වෙනුවෙන් කළ මහා මොකක්ද වගේ සියලූ විචාරකයො ඒක උත්කර්ෂවත් අන්දමින් ඒක බාර ගන්නවා.  ඒත් මට එතනදී තර්කොව්ස්කි කියන ඒ කෘතියෙ සෙන්ටර් පොයින්ට් එකක් වෙලා තිබ්බ මානවීයත්වය කොටුවක් ඇතුලෙ හිර වෙනවා. ඬේවිඞ් ලින්ච්, ජිම් ජාර්මුෂ් වගේ අධ්‍යක්‍ෂවරුන් තරම් මාව වස`ගයට ගන්න ආන්ද්‍රෙයිට බැරි වෙනවා.
‘හැම මිනිහෙක්ම කියන දේයි කරන දේයි අතරෙ වෙනසක් තියෙනවා. ඒ වෙනස ප‍්‍රශ්න කරන එක තේරුමක් නෑ කියල මං කියන්නෙ’
ප‍්‍රියන්ත කිව්වා.

ඒ කතාව ඇත්ත. හැම මිනිහෙක්ගෙම ඒ ගැප් එක තියෙනවා. ඒත් ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙ එහෙම මිනිහෙක් නෙමෙයි. කර්තෘ මැරිලා කියන පෝස්ට් මොඩර්න් දෙබස ඇතුලෙන් එන කතාව ආයිමත් කර්තෘ කියන විශ්වයක් නිර්මාණය කරනවා. රෝලන්ඞ් බාත් කියන අදහසට මිචෙල් ෆුකො වෙනසක් යෝජනා කරන්නෙ ඒකයි. කර්තෘ මැරිලා. ඒක හරි. ෆ්‍රෙඞ්රික් නීට්ෂේත් ඒක කියනවා. ඒත් කර්තෘ එතැනින් වෙන ක‍්‍රියාකාරීත්වයකට මාරු වෙනවා. කෘති හරහා නැවත කර්තෘ කෙනෙක් ගොඩනැංවෙනවා. ඒ කර්තෘ විවිධ මාධ්‍යයන්ගෙන් විශාල විදිහට ප්‍රොජෙක්ට් කරනවා. ඒක දේශපාලනික කරනවා. විශේෂයෙන් තර්කොව්ස්කි වගේ චරිතයක් ඩිස්කර්සිව් චරිත බුදුවරු වගේ. ඒවා ගැන පුද්ගලික දේවල් මොකුත්ම අපි දන්නෙ නෑ. දන්න ඔක්කොම ප‍්‍රබන්ධ. කෘතීන්. සහ ඒ කෘතීන් විසින් දිශානුගත කරන දේශපාලනයක් සහ මතවාදයක් තියෙනවා. කෘතියක් සවිඥාණකව කියවීම කියල මං කියන්නෙ ඒකට. අනිත් එක බෙඞ් ටයිම් ස්ටෝරීස්.
එක්තරා රතු ඉන්දියානු ගෝත‍්‍රික නායකයෙක් මුණගැහෙන්න මාධ්‍යවේදියෙක් යනවා. ගෝත‍්‍ර නායකයා එක්ක කතා කරද්දි එයා ඒ පොලොව ගැන එයා දන්න තරම කියන තැනකට කතාව එනවා.
‘උදැල්ලකින් කොටන ගැඹුරෙ ඉඳන් ලිඳක් හාරන ගැඹුර වෙනකල් මේ පොලොව අපි දන්නවා’ ඉන්දියානු ගෝත‍්‍රිකයා නළල රැුලි කරලා මේ අහන අමුතු ප‍්‍රශ්න ගැන හිත හිත උත්තර දෙනවා.

මේක මාධ්‍යවේදියාගෙ ඔලූවෙ දාර්ශනීකරණය වෙනවා. ඒකට ආධ්‍යාත්මික වගේ එයාගෙ ඔලූවෙ තියෙන ගිල්ටීස් සහ එරියස් එකතු වෙනවා. අන්තිමට මේ ගෝත‍්‍ර නායකයා මාධ්‍යවේදියාගෙ සමාජ දේශපාලන දැනුම ඇතුලෙන් ආධ්‍යාත්මික/සවිඥාණක/ බුදු වගේ තැනකට තල්ලූ වෙනවා.
ඒත් ගෝත‍්‍ර නායකයා කියන්නෙ සරල කතාවක්. එයා උදැල්ලෙන් කොටලා තියෙනවා. ලිඳක් හාරලා තියෙනවා. එයා පොලොව ගැන දන්නෙ එච්චරයි.

මේ විදිහට අපි විසින් කරන දාර්ශනීකරණය කරන ලද කර්තෘට ඇත්ත ලියන්නා හෝ මිනිසා සමග ඇති සම්බන්දයක් නෑ. ඒක කෘතියක්. ඒ කෘතිය කියන්නෙම විෂයක්. තර්කොව්ස්කි සම්බන්දයෙන් මේ අවුල වැඩියෙන් සිද්ද වෙලා තියෙන්නෙ ඒ දාර්ශනීකරණය රුසියානු විප්ලවය සහ ජේසුන් වගේ කොන් දෙකක් සම්බන්ද කරමින් ගොඩනැගෙන නිසා. ඒක කම්බයින් සබ්ජෙක්ට් එකක්.

අපි අත්විඳින කෘතියක් පිළිබඳව ගැඹුරු දැනීමක් අපිට උවමනායි කියල මං හොඳටම විශ්වාස කරනවා. මේ වෙද්දි හුදකලා කෘතීන් නැහැ. ඒවා එකිනෙක සම්බන්දයි. කර්තෘ හා කෘතිය කියන්නෙ දෙකක් නෙමෙයි. එකක්. උදා වදිහට ජැක්සන් ඇන්තනි කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. ඒක කෘතියක්. ඒ කෘතිය තවත් කෘතීන් ගණනාවක් එක්ක සම්බන්දයි. කවුරු හරි ජැක්සන් කියන කෘතිය බාත් කියපු නිසා මගඇරලා ජැක්සන් කරපු වැඩවල ගංජා ආතල් එකක් ගන්න ගියොත්... (ගියාට කමක් නෑ) සහ ඒ ආතල් එක දැනුමක් විදිහට පාවිච්චි කරන්න ගියොත් ලොකු අවුලක් සිද්ද වෙනවා. ඒක රාවණා ආපහු එනකං බලන් ඉන්නවා වගේ අවුලක්. ඉතිහාසය ඇත්ත කියල පිළිගන්නවා වගේ අවුලක්.

අනික් අතට කෘතිය ගැන වාස්තවික දැනුමකින් එහා ආත්මීය අත්විඳීමක් වුණත් මේ තමන්ගේම වූ ආත්මීය චාරිකාවෙන් එහාට යන්න  ඕනි කියලයි මං හිතන්නෙ. නැත්තං අපිට එක එක නම් වලින් ආයිමත් ආයිමත් මුණගැහෙන්නෙ අපේ මනෝභාවයන්ම විතරයි. හරියට ඒක පාර්ශ්වික පේ‍්‍රමයක් වගේ. අන්තිමට සිද්ද වෙන්නෙ ස්වයං වින්දනයක් විතරයි.

ඒ වගේ ආත්මීය සුරතාන්තෙක පරිපූර්ණ තෘප්තිය ලබන්න කර්තෘ එක්ක යහන්ගත වීම අනිවාර්යයි කියලයි මං කියන්නෙ. ඒකෙදි කෘතිය සහ කර්තෘ එකට ගන්න වෙනවා. නැත්තං අපි අල්ලන් ඉන්නෙ ජංගියක් විතරයි. කෘතිය ඇතුලෙන් කර්තෘ සමග සංවාසයකට අපි යනවා. ඒ කර්තෘගෙම වෙනත් පොත් අපි කියවනවා. එක තැනකදි එයා අපිව අවුල්  කරනවා. ආතල් කඩනවා. අපි ටික ටික එයාව මගඅරිනවා. දැන් මාව අවදි කරන්න තර්කොව්ස්කිට බෑ. ඒත් එයා වෙන අයට මාර පොරක් වෙන්න ඒකෙන් බාධාවක් නෑ.

කර්තෘ කියන ස්වභාවික මිනිහාගේ මරණය සිද්ද වෙන්නෙ ඒක ප‍්‍රකාශනයක් විදිහට නිෂ්පාදනය වෙද්දිමයි. එතැනින් එහාට ඉන්නෙ කෘතියට සාපේක්‍ෂ කර්තෘ කෙනෙක්. ලිජන්ඞ්ස් හැදෙන්නෙ ඒ කර්තෘත්වය එක දිගට තවත් තවත් විශාල අවකාශයන් දක්වා පුළුල් කරන එකෙන්. අන්තිමට එයා පුංචි හිලක් නම් අපි ඒකට හුලං ගහලා මොකටද?

කර්තෘ කියන කාරණය මේ වෙද්දි වඩාත් සංකීර්ණ අවකාශයක් වෙලා කියල ෆුකෝ විස්තර කරනවා (වට් ඉස් ඇන්  ඕතර්?) ඒක තවදුරටත් යම් කතිකාවක් නිෂ්පාදනය කිරීම කියන ඍජු කාරණය එක්ක සම්බන්ද නෑ. කර්තෘ තවදුරටත් පුද්ගලයෙක් නෙමෙයි. ඒක පුද්ගල එකතුවක්. කතිකා සමූහයක්. සංකීර්ණයක්. පුද්ගලයා සහ කර්තෘ කියන එක අතර මේ හැම දෙයක්ම තියෙනවා. ෆ්‍රොයිඞ්, මාර්ක්ස් වගේ අය මෙතනදි වැටෙන්නෙ මහා ආඛ්‍යාන ගොඩට. සිනමාවෙදි තර්කොව්ස්කිත් ඒ වගේ කියලයි මගේ අදහස.

කර්තෘ මැරිලා කියන බාත්ගේ අදහසට අවුරුදු දෙකකට පස්සෙ මිචෙල් ෆුකෝ කර්තෘත්වයේ ඉතිහාසය සහ බලය ගැන තමන්ගෙ කතිකාව එලියට ගේනවා. එතනදි කර්තෘ සංකීර්ණයක් වෙනවා. සමහර විට කෘතියට වඩා විශාල සංකීර්ණයක් වෙනවා. කර්තෘ අමතක කර කෘති කියවන්න යාමෙන් මේ සංකීර්ණ අතිවිශාල වෙන්නත් එතනින් බෝවෙන රෝගයක් වෙන්නත් පුළුවන්. තර්කොව්ස්කි සින්ඩ්‍රෝමය දැනටමත් තියෙන්නෙ වසංගත මට්ටමට ටිකක් අඩුවෙන්. වැළඳුණු අය අඩුවෙන් වාර්තා වුණත් වාර්තා නොවූ ආසාදිතයන් ප‍්‍රමාණය විශාලයි.

-චින්තන ධර්මදාස

Monday, August 20, 2012

මට ගෙදර යන්න ඕනි..

කොළඹ එකම පාරවල් ආයිමත් ආයිමත් දැකලා එන ඔක්කාරෙන් මිදෙන්න හික්කඩු ගියා. මුහුද දිහා බලාගෙන හීනියට ජොයින්ට් එකක් එක්ක චිලී වයින් බෝතලයක් ගත වෙද්දි අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා සිංදු වගයක් දැම්මා යූ ටියුබ් එකේ.





‘බ්‍රෝකන් හාර්ට්ස් සිංහල කියල ගහන්න’ ඌ කිව්වෙ එහෙම.
ආදරයේ උණුසුම ළ`ග දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ...

මං කවදාවත් සෝමතිලක ජයමහ කියද්දි ඔය සිංදුව කණේ තියන්නෙ නෑ. ඒත් තිළිණ දුලාන් කියන මේ කොල්ලා කියද්දි ඒකෙ තිබුණෙ සෝමතිලක කියන කතාව නෙමෙයි. ඒක වෙනම තනුවක්. වෙනම සිංදුවක්..ගිටාර් එකකට යන්තම් තට්ටු කර කර කියන සිංදු කීපයක් එක දිගට ඇහුණා. ඒ හැම සිංදුවකම තිබුණෙ එකම කතාවක්.
මරණය....

‘මේ කොල්ලට බූට් එකක් තියල. එයා යාලූවො එක්ක ඒ දුකට සෙට් වෙලා තමයි මේ සිංදු කියල තියෙන්නෙ. ඊට පස්සෙ බයික් එකට නැගලා ඇහුවලූ,
මචං මං මැරෙන්න යනවා. කවුද එන්නෙ?’ කියල.
‘මං එනවා’ කියල තව එකෙක් නැග්ගලූ.

ඒ යන අතරෙ වෑන් එකක වැදිලා දෙන්නම එතනම මැරිලා. ඇක්සිඩන්ට් එකේ ෆොටෝ ටිකත් වීඩියෝ එකක දාලා තිබුණ. අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා කතාව කියාගෙන ගියා. ඒ හුදකලාව, ඒ කාංසිය ඒ තරමට වචන වලට ගේන්න කිසිම ගායකයෙකුට බෑ. ඇත්තටම එතනදි වචන වැදගත් නෑ. එයා කියන්නෙ මරණය. ඒක තනිකරම මරණය.

හවස ඒ තෝන්තුව මකා ගන්නත් එක්ක පාර දිගේ ඇවිදින්න ගියා. හික්කඩුව හරිම උණුසුම් නගරයක්. මූඞ් ෆික්ස් කරන්න මරු. රාස්සිගේ අව්ව වැල්ල දිගේ මැකීගෙන යද්දි ඒ අහසෙ පාට කැන්වස් පෝලිමක් දැකලා අපි නතර වුණා. ‘සැෆ්රන් රෝබ්ස්’ පොඩි චිත‍්‍ර කඩයක් වුණාට ගොඩක් ගැඹුරු වර්ණ පදාස එතන තිබුණ. ගහක ගෙඩියක් කහ පාට ඉඳන් ගුරු පාට වෙනකල් ඉදිලා නටුවෙන් ගැලවිලා විමුක්තිය ලබන තාක් පැහැ මුහු වුණු සිවුරු ගැන අදහස භාවනාවක් වගේ කැන්වස් ගණනාවක් උඩ එළලා තිබුණ. ඒක බෞද්ධ නෙමෙයි. ඊට වඩා විමුක්තියෙ පාට ගැන කතාවක්. මනුස්ස රූප වැදගත් වුණේ හරි යන්තමට.

වැඩියෙන්ම ඒ පොඩි කඬේ හැම දේකටම අදහසක් තිබුණ. ඒ ආර්ටිස්ට්ගෙ එකම තේමාවක් වෙනුවෙන් හැම පොඩි ලී කෑල්ලක් පවාම කැපවෙලා තිබුණ. පැන්සල්, බුක් මාර්ක් වගේ පුංචිම පුංචි එක්තැන් කිරීමකින් පවා ඒ ගාථාව කියවුණා. මරණය ගැන මගේ ඇතුලෙ අවුල මරණානුස්සතියකට පෙරළන්න ඒ පොඩි කඬේ පිංතූර ටිකට පුළුවන් වුණා.

 කාලෙකට පස්සෙ ආයිමත් තර්කොව්ස්කි පෙන්නනවා එස්එල්ටීටීඅයි එකේ. මුලින් බලද්දි මට තර්කොව්ස්කිව වැදුණෙ නෑ. ඒක හින්ද පස්සෙ මං ගොඩක් එයා ගැන කියෙව්වා.

‘මිනිස්සු තනිකමට හරි බයයි. තනිකම කියන්නෙ බය වෙන්න  ඕන දෙයක් නෙමෙයි. ඒක හරි ලස්සන දෙයක්. මිනිස්සු ඉගෙන ගන්න  ඕන තනි වෙන්න. ඒ තනිකම ඇතුලෙන් තමයි නියම කලාව ප‍්‍රකාශ වෙන්නෙ’ තර්කොව්ස්කි කියනවා.

‘මං ඇත්තටම හිතනවා මං චිත‍්‍රපටි කරන්නෙ ඇයි කියල. විශේෂයෙන්ම චිත‍්‍රපටි දෙකක් අතර ගතවෙන දිග කාලෙදි. මේ තරං දුක් විඳගෙන මං චිත‍්‍රපටි කරන්නෙ ඇයි?’ එයා එායවම ප‍්‍රශ්න කරනවා.

මං නොස්තැල්ජියා බලන්න ගියේ හු`ගක් විශාල තර්කොව්ස්කි කෙනෙක් හිතේ තියාගෙන. මං යද්දි සමන් වික‍්‍රමාරච්චි චිත‍්‍රපටිය ගැන කතා කරනවා. ෆේ‍්‍රම් එකෙන් ෆේ‍්‍රම් එකට ගැඹුරු විශ්ලේෂණ කරමින් ඇවිත් එයා අන්තිම ෆේ‍්‍රම් එක ගැන කතාවක් කිව්වා. ඒ ප‍්‍රධාන චරිතය හරියට ෆොටෝ එකකට වගේ කැමරාව දිහා බලාගෙන එයාගෙ ගම්බද ගෙදර ඉදිරිපිට ඉන්න දර්ශනය. කැමරාව ඈතට යද්දි අපි දකිනවා ඒ ගෙදර තියෙන්නෙ රෝම බලකොටුවක් ඇතුළෙ වග.

‘මේ කිසි දෙයක් බාල සංකේත නෙමෙයි’ තර්කොව්ස්කි කියනවා කියල සමන් එතනදි කිව්වා.
ඒත් මේ ෂොට් එක මට අනුව පට්ට චාටර්. තනිකර අමුම අමු සංකේතයක්. කොලේක ලියන්න පුළුවන් තරම් ද්විමානයි ඒක. තර්කොව්ස්කි මගේ ඉස්සරහ ඇකිලෙන්න පටන් ගත්ත.

තර්කොව්ස්කි හරියට අපේ ජේවීපීකාරයෙක් වගේ. ගඩොලක් වගේ තදයි. පට්ට සීරියස්. එයා ‘ආර්ට්’ කියල එයාගෙම පරමාදර්ශයක් හදාගෙන ඒක වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්නෙ. ඒ පණ්ඩිතකම ඇතුලෙ මං දැක්කෙ ළදරුකමක්. චිත‍්‍රපටියක කාලය සහ අවකාශය ගැන තාක්‍ෂණික කාරණා අතින් එයා උපරිමයෙන් පරිණතයි. ඒත් ඒ තාක්‍ෂණය නිසාම එයා ජීවිතය පැත්තෙන් සීමිතයි. මට පුදුම හිතෙනම කාරණය වුණේ විචාරකයන් බොහොමයක් තර්කොව්ස්කි ආධ්‍යාත්මික සිනමාකරුවෙක් විදිහට හඳුනාගන්න එක. එයා දර්ශනික චිත‍්‍රපටිකරුවෙක්. ඒ දර්ශනය ඇතුලෙම එයා පුංචි වෙලා.

’‘මං ඊයෙ දෙවෙනි පාරට තර්කොව්ස්කිගෙ නොස්තැල්ජියා බලන්න ගියා. පළවෙනි වතාවෙ මං ඒක බැලූවෙ ලැප්ටොප් එකක. වැඩි ආස්වාදයක් බලාපොරොත්තුවෙන් මං කලින්ම ගොඩක් විස්තර ඒ ගැන කියෙව්වා. ඒත් ෆිල්ම් එක බැලූවම....ඒක ඛේදවාචකයක්. ඒක තර්කොව්ස්කිගෙ අවංකකම ගැන අවුලක් නෙමෙයි. ඒත් මට හිතෙන්නෙ ආර්ට් කියන්නෙ ජීවිතයට පරිබාහිරින් තියෙන වෙනම දෙයක් කියල ගන්න එකයි, සෞන්දර්යාත්මක අගයන්  ඕනවට වඩා තක්සේරු කරන එකයි හින්ද වෙන අපරාදයක් කියල. හැම ෂොට් එකක්ම ප්ලෑන් කරලා කියල දැනෙනවා. චරිත කැමරාවටම හරියට හැරෙනවා, නැගිටිනවා, නවතිනවා. මේ වගේ නිශ්චිත හැසිරීමක් ඇතුලෙ ෆිල්ම් එකක් පට්ට බෝරිං. ජීවත් වෙන කතාව කියනවට වඩා එයා ට‍්‍රයි කරන්නෙ ඒකෙ දර්ශනය කියන්න. මං හිතන්නෙ රුසියානු පොදු සින්ඩ්‍රෝමය එයාටත් තියෙනවා. මට හිතාගන්න බෑ මිනිස්සු මේ චිත‍්‍රපටි ගැන මහ ලොකුවට කතා කරන්නෙ ඇයි කියල’’
මං ෆිල්ම් එක බලලා ඇවිත් සත්‍යට කිව්ව. ඌ පට්ට උත්තරයක් දුන්න.

‘‘ඒක හින්ද තමයි මං කීප පාරක් ට‍්‍රයි කරල බැරි වුණාම තර්කොව්ස්කිව බලන්න කරදර නොවුණෙ. අනිවාර්යෙන්ම එයා සිනමා සෞන්දර්ය ගැන දෙවියෙක් වගේ වෙන්න ඇති. එයා මුදුන් මල්කඩ වගේ තමයි.
ඒත් ඉතින් දිව්‍යලෝකෙට ගියත් ඔයා ලොකුම එක්කෙනා හම්බුවෙන්න  ඕනද? මං නං ආසයි දිව්‍ය ලෝකෙ ගේට්ටුව ළ`ග ඉන්න අයට, මල් විකුණන අයට, කෝකියන්ට සහ ඩෝබි කෙල්ලන්ට’’

නොස්තැල්ජියා ඇතුලෙ කියන්නෙ මේ රුසියානු මාස්ටර්වරයාගේ ඇත්ත අත්දැකීමක්. තර්කොව්ස්කිගෙ අනිත් චිත‍්‍රපටි වලට වඩා මේක ගොඩක් වෙනස් සහ මට අනුව දුර්වලම එක. රුසියාවෙන් පිට තර්කොව්ස්කි කරන පළවෙනි වැඬේ. හැමදෙයක්ම අලූත්. වැඩ කරන අය අලූත්. එයා හිටියෙ රුසියාව ගැන වේදනාවෙන්. හෝම්සික් එක නිසා තර්කොව්ස්කි අත්විඳින භාවයන් මේ චිත‍්‍රපටිය ඇතුලට ගේන්නයි එයා ට‍්‍රයි කරන්නෙ. ආපහු ගෙදර යන්න එයාට තියෙන උවමනාව. ඒත් ඒක දාර්ශනීකරණය කරන්න යන එකෙන් එපාම වෙලා යනවා.

‘‘කලාවේ කාර්යය වෙන්නෙ අදහස් ප‍්‍රකාශ කරන එක නෙමෙයි. හැ`ගීම් අවුස්සන එක නෙමෙයි. කලාවෙන් කරන්න  ඕන මිනිහෙක්ව මරණයට සූදානම් කරන එක. එයාගෙ ආත්මය හාන්න සහ වපුරන්න පොළඹවන එක. ඒ ආත්මය වඩාත් හොඳ කරන්න පුළුවන් අවස්ථා යෝජනා කරන එක’’ ආන්ද්‍රෙයි තර්කොව්ස්කි.
මේ කියන අදහස් මාර වුණාට එයා ෆිල්ම් ඇතුලට මේක ගෙනියන විදිහ හු`ගක් ශාස්ත‍්‍රීයයි. ඒ හින්දම අජීවියි. තර්කොව්ස්කි කියන්නෙ මන්දගාමී සිනමාවේ පුරෝගාමී චරිතයක්. හොලිවුඞ් සිනමාව සංස්කරණයත් එක්ක වඩාත් ප‍්‍රවේගකාරී වෙන්න ට‍්‍රයි කරද්දි යුරෝපියානු ආර්ට්හවුස් කට්ටිය සිනමා රූපය නවත්තලා තියන්න ට‍්‍රයි කළා. මේක අන්ත දෙකක්. පස්සෙ මේ මන්දගාමී රූප වින්‍යාසය යුරෝපියානු ෆෙස්ටිවල් සිනමාවෙ සළකූනම වුණා. අපේ අලූත් සිනමාකරුවො ගොඩක් අයත් ෆේ‍්‍රම් එක නතර කරලා තියන්න සහ දෙබස් නැති චිත‍්‍රපටි හදන්න පෙළඹෙන එකේ ආභාෂය තියෙන්නෙ මෙතන.

‘‘අන්තිමට හැම දෙයක්ම පැවැත්ම සම්බන්ධ එකම එක තැනකට එනවා. ඒ තමයි ආදරය කරන්න තියෙන ඉඩ. ඒක කෙනෙකුගෙ ජීවිතයෙ හැම දේකම මූලික දේ වෙන තැන දක්වා වැඩෙන්න පුළුවන්. මගේ චිත‍්‍රපටිවල අරමුණ වෙන්නෙ ඒවා නරඹන අය ආදරය කරන්න තමා තුළ ඇති අවශ්‍යතාව ගැන සාවධාන කරන එක. ඒ ආදරය බෙදා ගන්න ඇති අවශ්‍යතාව ගැන සංවේදී කරන එක. ඔවුන්ව කැඳවන ඒ අලංකාරය ගැන ඇහෙන්න සලස්සන එක’’
-තර්කොව්ස්කි

නොස්තැල්ජියා බැලූවට පස්සෙ එක දිගට තිබුණු ඉතුරු චිත‍්‍රපටි ටික බලන්න මට තිබුණු උනන්දුව නැති වෙලා ගියා. ජීවිතය ගැන අර්ථයක් දෙන්න සිනමාවෙන් උත්සාහ කරනවා කියන එකම බොළඳ වැඩක්. ජීවිතේ තේරුං කරන්න හදන සිනමාව එක විදිහකින් නැත්තං වෙන විදිහකින් මතවාදීයි. ඒ මතවාදී සිනමාවට ජීවිතේ ගැඹුරු අහුමුළු ඉව කරන්න බෑ. කතෝලික ආධ්‍යාත්මයක් ඇතුලෙන් ජීවිතයේ වේදනාව ගැන සත්‍යයන් පසක් කරන්න තර්කොව්ස්කි වෙන මහන්සිය මට බලන් ඉන්න අමාරුයි.

 ඒත් අඩු තරමෙ ඒක අවංකයි. තර්කොව්ස්කිගෙ සිනමාව ඇතුලෙන් තමන්ගෙ ජීවිතය දකින්න හදන අපේ සිනමාකාරයො එතනදි කොයි තරං අවංකද?

මට වොරන් බෆට් කියන කතාවක් මතක් වෙනවා.
‘අවංකකම කියන එක හු`ගක් වටින දෙයක්. බාල මිනිස්සුන්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා’

-චින්තන ධර්මදාස


Monday, August 13, 2012

අදහස් සංසර්ගයක සුරතාන්තය


කාලයක් තිස්සෙ කමකට නැති ජෝක් කර කර හිටපු කාලෝ ෆොන්සේකා ටිකක් විතර හිනා යන ජෝක් එකක් ළ`ගදි කරලා තිබුණ. හේතුවාදී සංගමෙන් ලක්ෂ 10ක් දිනන්න හොල්මන් ඇත්ත කියල ඔප්පු කරන අභියෝග දහයක් දොළහක් ඉදිරිපත් කරලා තිබුණ. ඒබ‍්‍රහම් ටී කොවුර් ඉස්සෙල්ලා කරපු වැඬේ පාර්ට් ටූ එක. ලංකාවෙ මේ වෙලාවෙ භූත පිස්සුව හැදීගෙන යන වේගෙට මේ වගේ ප‍්‍රධාන ධාරාවෙ අභියෝගයක් ඉදිරිපත් වීම වැදගත්. මේක පුළුවන් තරම් පබ්ලිසිටි දීලා රට වටේ ගෙනියන එකත් වැදගත්. නැත්තං සතිපතා පත්තර වලින් හොල්මන් හදන වේගෙට, වැඩිවෙන කට්ටඩි, කේන්දරකාර තොගේට මේ කොදෙව්වෙ ඉන්න බැරි වෙනවා සිහියක් ඇති උන්ට.

රටකට එක කාලෙක පිස්සු වැස්සක් වැස්සලූ. ඒ ගැන කලින් දැනගත්ත පොරක් රජාට මේ ගැන කිව්වලූ. ඒ වැස්ස ආවෙත් පට්ට පෑවිල්ලකට පස්සෙලූ. ඉතින් පිස්සු වුණත් රජාටයි රටටයි වැස්ස රත්තරං වගේ වුණාලූ. වැස්ස වැටෙද්දි ඒ ගැන දන්න පොර විතරක් ගේ ඇතුළට වෙලා නොතෙමි ඉද්දි මුලූ රටම වැස්සෙ පිස්සු කෙලින්න ගත්තලූ. අන්තිමට ඔක්කොම පිස්සො මේ සිහියෙන් ඉන්න එකාට හිනාවෙන්න ගත්තලූ. හොඳ වෙලාවට ගෙයි පිළිකන්නෙ එකතු වෙලා තිබ්බ වතුර මුට්ටිය සිය කැමැත්තෙන්ම ඔලූවෙ නමා ගන්නවා ඇරෙන්න පොරට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.

මොනවා වුණත් අර්බුදය තියෙන්නෙ මේ අද්භූත පිස්සුව කාලෝ තමන්ම පෙනී සිටින මහින්ද රාජපක්‍ෂවාදී ජාතිකවාදී සීමිතකමේම ප‍්‍රතිඵලයක් වෙන එක. අපේ කම, අපේ ගම කියන කොදෙව්කරණයෙම අතුරු කතාවක් වෙන එක. කාලෝ විසින් මුග්ධ විදිහට පෙනී ඉන්න මතට තිත ව්‍යාපාරයේ දායකත්වයක් වෙන එක. ප‍්‍රධාන ධාරාවෙ සටනකින් මූණ දෙන්න බැරි ගැටළුවක් ඉතුරු වෙන්නෙ ඒ හින්ද. ලංකාව දූපතක් වීම අපේ භූගෝලීය සීමාවක් නෙමෙයි. ඒක අපේ මානසික සීමාවක්. අන්තර්ජාතික වෙන්න කියල හිතාගෙන අපි ගන්න මාක්ස්වාදී, පශ්චාත් නූතනවාදී කොයිවාදී වුණත් මතවාදයක් සහ නලින්ද සිල්වා වර්ගයේ ජාතිකවාදී මතවාදයක් එක පෙළට ඉඳගෙන බෙදා ගන්න ඇත්ත මේක. උදාහරණයක් විදිහට ලංකාවෙ කොයි බුද්ධිමතෙක් වත් අලූත් තාක්‍ෂණය බාර ගන්න කැමති නෑ. ජාතිකවාදීන් ඒක බටහිර දැනුම කියල බැහැර කරද්දි මාක්ස්වාදීන් ඒක බටහිර උගුලක් කියල බැහැර කරනවා. අධ්‍යාත්මිකවාදීන් ඒක අල්පේච්ඡු ජීවිතේ කියල බැහැර කරනවා. මේ වෙද්දි ලෝක මනුෂ්‍යයා බුදුවරුන් රහතුන් වහන්සේලා විසින් අධිඥාණ ලබා හිමිකරගත් හැකියාවන් තාක්‍ෂණයෙන් අත්පත් කර ගනිමින් ඉන්නවා. ලෝකෙ මේ කොනේ ඉඳන් එහා කොණට තත්පර දශම ගාණකින් සම්බන්ධ වෙන්න අපිට පුළුවන්. අන්තර්ජාලයේ විවිධ වේශයන්ගෙන් සැරිසරන්න අපිට පුළුවන්. එක තත්පරයකින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අපිට දැනෙන දේ සන්නිවේදනය කරන්න පුළුවන්. එකවර කීප තැනක පෙනී ඉන්න පුළුවන්. දැන් ඇත්තටම අධිඥාණ සමාපත්ති ගැන කතා නයිට් රයිඩර් කාර් එක තරම් පරණයි.

ඒත් ඒ තාක්‍ෂණය බාර ගන්න අපි ලෑස්තිද කියන එක ප‍්‍රශ්නයක්. මේ දූපත් මානසික සීමාවෙන් අපිට ඒ මානව තාක්‍ෂණයේ ආශ්චර්යයන් දකින්න බෑ. අපි ඒ අදහස් හුවමාරුව ඇතුළට යන්නෙ නෑ. මේ වෙද්දි මනුෂ්‍යයා සම්බන්ධ භෞතික පරිණාමය ඉවරයි. ඉතුරු ටික තියෙන්නෙ අදහස් පරිණාමය ඇතුලෙ. ඒත් ඒ සංවාදයට අපි එකතු වෙන්නෙ කොහොමද මේ දූපත් වැට මායිමත් එක්ක? බුදුන්ට පස්සෙ බිහිවුණු කිසිම බුද්ධිමතෙක් බාර ගන්න ලංකාවෙ ඔලූ පරිණත නෑ. අපි සෙක්ස් වලට විරුද්ධයි. ඩ‍්‍රග්ස් වලට විරුද්ධයි... කිසි හේතුවක් නැතුව. අපේ සංස්කෘතිය කියල අපිම කූඩුවක් හදාගෙන. අනාගතය වෙනුවට අපි යන්න ලෑස්ති අතීතෙට.

ටෙඞ් ටෝක්ස් වල මැට් රිඞ්ලි ලස්සන කතාවක් කියනවා. මැට් රිඞ්ලි කියන්නෙ බි‍්‍රතාන්‍ය විද්‍යාඥයෙක්. මාධ්‍යවේදියෙක්. රචකයෙක්. එයා කියනවා ලෝකෙ හැමදාම අනාගතය ගැන අසුබ කතා කීම පැවතුණා කියල. ජනගහණය වැඩිවෙනවා. කැන්සර් ඒඞ්ස් පැතිරෙනවා. කාන්තාර වැඩි වෙනවා. අම්ල වර්ෂා වැටෙනවා. තෙල් ඉවර වෙනවා...හැමදාම මේ වගේ කතා කිව්වා. ඒත් ඇත්තටම මොනවද වුණේ?
අපේ ජීවිත කාලය ඇතුලෙදි ඒක පුද්ගල ආදායම තුන්ගුනේකින් වැඩි වුණා. මිනිස් ආයු කාලය 30%න් වැඩි වුණා. ළදරු මරණ සංඛ්‍යාව 2/3කින් අඩු වුණා. තාක්‍ෂණයත් එක්ක ජීවන තත්වයන් සංවර්ධනය වුණා. ඒත් අපි තාම අනාගතේ ගැන දකින්නෙ භයානක හීන. අතීතෙ අපිට වඩාත් ආරක්‍ෂිතයි කියල හිතෙනව.

ලෝක ජනගහණය වැඩිවෙද්දි කොහොමද සංවර්ධනය වැඩිවෙන්න පටන් ගත්තෙ? මැට් විස්තර කරනවා. මිනිස් මොළ එකතු වෙලා හිතන්න පටන් ගත්ත. අදහස් වැඩි වැඩියෙන් සංසර්ගය කරන්න ගත්තා. මැට් කියන්නෙ අදහස් ලිංගිකව එක්විය යුතුයි කියල. අදහස් තමයි ශරීරය. අපි හැදිලා තියෙන්නෙ අදහස් වලින්. සමේ ෙසෙල ගැන අදහස, මොළයේ ෙසෙල ගැන අදහස මේ විදිහෙ අදහස් සමුදායක් තමයි ලෝකය. මේ අදහස් වැඩි වැඩියෙන් සංසර්ගය වෙමින් තනි මිනිස් මොළයට හිතාගන්නවත් බැරි පරිමාවක නිර්මාණ කරනවා. ඒකට කියන්නෙ හුවමාරුව (එක්ස්චේන්ජ්)

මැට් හෝමෝ ඉරෙක්ටස් විසින් පාවිච්චි කළ පොරොවක් සහ පරිගණක මීයෙක් තිරය මතට ගේනවා. මේ දෙකම මිනිස් අතට ගැලපෙන විදිහට නිර්මාණය කරපු තාක්‍ෂණයන්. ඒ ගල්පතුර ජීවත් වුණු පොලොවට සීමා වුණු තාක්‍ෂණයක්. ඒත් පරිගණක මීයා... පෙට්‍රෝලියම්, ප්ලාස්ටික්, සිලිකන් වගේ ලෝකෙ පුරාම විසිරුණු අදහස් ගණනාවක් එක්තැන් වුණු සංකීර්ණ තාක්‍ෂණයක්. ගල් පතුර ගැන අපිට හිතාගන්න පුළුවන්. ඒ පරිගණක මීයා කියන තාක්‍ෂණය ගැන හිතාගන්නවත් පුළුවන්ද? ඒක සිද්ද වෙන්නෙ ලෝකෙ පුරා අදහස් ලිංගිකව එක්වීමෙන්.

එතකොට ලංකාවෙ අපි ආයිමත් යන්න හදන්නෙ අපිම වවාගෙන කන පරණ තාක්‍ෂණයට. තනි තනි ඔලූ වලින් නිපදවෙන අදහස් වලට. කොකා කෝලා එපා කිය කිය, රාවණා තමයි පොර කිය කිය අපි ඉගිල්ලෙනවා වෙනුවට මීයො වගේ පොලොව යට ගුල් හාරනවා. මේක වුණා තස්මේනියාවට. මුහුදෙන් තස්මේනියාව වටවෙලා ප‍්‍රධාන බිමත් එක්ක සම්බන්ධය නැති වුණාම තස්මේනියාවෙ සියලූ තත්වයන් ආපස්සට යන්න ගත්තා. කිසි අලූත් නිෂ්පාදනයක් අවශ්‍ය වුණේ නෑ. ඒ පොඩි ජනතාව වෙනුවෙන් නිෂ්පාදනය කරන්න යන ශ‍්‍රමය ඵලදායී වුණේ නෑ. හුවමාරුව නතර වුණා. සංවර්ධනය එතනම නතර වුණා. ලංකාවෙ අපි දැන් අත්විඳිමින් ඉන්නෙ ඒ වගේ තත්වයක්. ලෝකෙත් එක්ක අපේ හුවමාරුවක් නෑ. ඇත්තටම අපිට අදහසක් නෑ. එන්න එන්න අතීතෙට යන ජාතියකට අතීත විශ්වාස ආයිමත් මුණගැහෙනවා. අනාගතයේ වෙනුවට අද්භූත ලෝකෙ ජීවත් වෙන්න පටන් ගන්නවා.

මිනිස් පරිණාමය සිද්ද වෙන්නෙ ලිංගික සංසර්ගයෙන්. ලිංගික සංසර්ගය නොවුණු සත්ත්ව වර්ග සංකීර්ණ තත්ව හමුවේ වඳවෙන්න පටන් ගන්නවා. සෙක්ස් වලදී වෙනස් වෙනස් කලාප වල අදහස් එකතු වෙලා සංකීර්ණ අදහස් ගොඩනැගෙනවා. සෙක්ස් වලින් පුළුවන් සමස්තයක අදහස් ගන්න. ජීව විද්‍යාවෙ ඒක වෙන්නෙ ජාන වලින්. සංස්කෘතියෙ ඒක වෙන්නෙ හුවමාරුවෙන්. ඒකෙන් සංකීර්ණ තත්ව ඉක්මවා වැඩෙන්න මිනිස් අදහසට පුළුවන් වෙනවා.

ඬේවිඞ් රිකාඩෝ මේ එක්ස්චේන්ජ් කියන එකේ වටිනාකම ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඇඩම්ට පැය4න් හෙල්ලක් සහ පැය 3න් පොරොවක් හදන්න පුළුවන් කියල හිතමු.  ඕස්ට පැයකින් හෙල්ලක් සහ පැය දෙකකින් පොරොවක් හදන්න පුළුවන්.  ඕස්ට හැම එකක්ම ඇඩම්ට් වඩා වේගයෙන් කර ගන්න පුළුවන්. ඒත්  ඕස් හෙලි 2ක් සහ ඇඩම් පොරෝ දෙකක් හදන්න එක`ග වුණොත් දෙන්නටම පැයක කාලයක් ඉතුරු වෙනවා. ඒකෙන්  ඕස් සහ ඇඩම් හෙලි සහ පොරොව හදන තාක්‍ෂණයේ දියුණුවත් එන්න එන්න වැඩිවෙනවා. රිකාඩෝ මෙහෙම කිව්වට ලංකාවෙ අපි ට‍්‍රයි කරන්නෙම එක්ස්චේන්ජ් එක නවත්තන්න. මාක්ස්වාදීන් ඒකෙ සූරාකෑමක් ගැන කියනවා. ජාතිකවාදීන් අපේ උරුමය රකින්න කියනවා.

මැට් තව උදාහරණයක් කියනවා. ලූවී රජතුමාට තමන්ගෙ හැම දේටම තොග ගණන් සේවකයො හිටියා. එයාගෙ අර හිනා යන ඇඳුම්, විහිළු කොන්ඩෙ මේ ඔක්කොම හදන්න කට්ටිය හිටියා. කෑම උයන්න විතරක් 398ක් හිටියා. ඒත් සාමාන්‍ය ජනතාවගෙන් කාටවත් මේ එකක් වත් තිබ්බෙ නෑ. ඒත් දැන් අපි වෙනුවෙන් මුලූ ලෝකයක ජනතාවක් ඉන්නවා. පරිගණක මීයා එක රටක අදහසක් නෙමෙයි. අපේ රෙස්ටුරන්ට් වල ලූවී ට හිතාගන්නවත් බැරි තරම් රස කෑම ජාති තියෙනවා. අපේ විලාසිතා වෙනුවෙන් ලෝකයක අදහස් එකතු වෙනවා. ඒත් අපි තාම හිතන්නෙ දුටුගැමුණු හරි පැරකුම්බා හරි නැත්තං ඊටත් වඩා එහා රාවණා හරි කාලෙකට යන විදිහක් ගැන.

මානව ඉතිහාසයේ වෙළඳාම කෘෂිකර්මාන්තයට වඩා දහගුණයක් පැරණි වග අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා. ලෝකෙ පුරා තැනින් තැන හමුවෙන සමාන ආයුධ වලින් කියවෙන්නෙ මිනිස්සු ගිය ගමනක් ගැන නෙමෙයි. සිද්ද වුණු වෙළඳාමෙ ප‍්‍රමාණය ගැන. මිනිස් සංවර්ධනය තීරණය වුණේ මේ හුවමාරුවේ ප‍්‍රමාණය උඩ. භාෂාවකින් අපිට කියන්න පුළුවන් වෙන්නෙ අපි දැනටමත් දන්න දෙයක් ගැන විතරයි. ඒත් පරිගණක මීයෙක්..එහෙම නැත්තං පැන්සලක් වුණත් කියන්නෙ තනි මිනිස් මොළයක පරිමාවට වඩා කොයි තරම් ලොකු දේවල්ද? ඒ අදහස් සංසර්ගයේ ප‍්‍රතිඵල

අයිකිව් වලින් මිනිස් මොළයේ තරම මනින එක තේරුමක් නෑ. තනි තනි මිනිස් මොළවලින් දැන් ඇති වැඩක් නෑ. වැදගත් වෙන්නෙ කොයිතරම් අදහස් ප‍්‍රමාණයක් එකතු වෙනවද කියන එකයි. හැම මිනිස් මොළයකම ධාරිතාවන් ගොනුවෙන සාමූහික මොළයක් ඇතුලෙයි අපිට හිතන්න වෙන්නෙ. අපි එතනදි නියුරෝන විතරයි.

ජ්‍යොතිෂයෙන්, අනාවැකි වලින් කියන නරකම දේවල් මනුෂ්‍ය ප‍්‍රජාවට සිද්ද වෙන්න පුළුවන්. ඒත් ඒ වෙද්දි මේ සාමූහික සිතීමෙන් නිර්මාණය වෙන තාක්‍ෂණය ඒ ව්‍යසන මතින් ඉගිල්ලෙන්න අපිට අත්තටු දීලා ඉවරයි. (ලංකාවෙ අපිට නෙමෙයි. අපි වර්තමාන මනුෂ්‍ය සිතීමෙන් හු`ගක් දුර අතීතෙක හුදකලා වෙච්ච කූඹි වගේ මිනිස්සු. වැස්සක්  ඕන නෑ. චූ පාරකින් වුණත් අපි හේදිලා යාවි)

-මැට් රිඞ්ලිගේ කතාවක් ඇසුරෙන්
චින්තන ධර්මදාස

Saturday, August 4, 2012

ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ

ඊයේ ඩෙනිස් එක්ක බීච් එක අයිනෙ ගරා වැටිච්ච රෙස්ටුරන්ට් එකක පරණ ෆ‍්‍රයිඞ් රයිස් එකක් කකා බොන අතරෙදි ඌ මාර කතාවක් කිව්වා. වන්දනා ගමන් ගැන. ලෝකෙ වන්දනා ගමන් කියන සංකල්පෙ හැදිලා තියෙන්නෙම වයසක පරම්පරාවෙන් සමාජයට දැනෙන බර සැහැල්ලූ කරන්න කියන එක. ඉස්සර දේපොල ලියලා දීලා වන්දනාවෙ යනවා කියලා ආච්චිලා සීයලා මේ විදිහට පිටත් වෙන්නෙ තමන්ගෙ මරණය බලාපොරොත්තුවෙන් කියන එකයි එයාගෙ අදහස. ලෝකෙ හැම සංස්කෘතියකම වගේ මේ වන්දනාවෙ යන චාරිත‍්‍රය පවතින විදිහ එයා විස්තර කළා.

1950 ගණන් වල කෙරෙන උගිත්සු කියලා ජපන් චිත‍්‍රපටියක් ඩෙනිස් උදාහරණයක් විදිහට පෙන්නුවා. ඉස්සරහ දතක් වැටීමත් සමග වයසක අය අපේ සිරීපාදෙ වගේ කන්දක වන්දනාවෙ යන එක ඒ සමාජෙ චාරිත‍්‍රයක් විදිහට තිබුණු කාලය ගැන කතාවක්. දතක් නොවැටී තියෙද්දිත් ඊළ`ග පරම්පරාවට සුබසාධන පහසුකම් සැලසීම වෙනුවෙන් දත බලෙන් කඩාගෙන කන්ද නගින ආච්චි කෙනෙක් ගැන ඒ කතාවෙ එනවා. අද වෙද්දි ආර්ථික කාරණා දියුණු වීමත් එක්ක මානුෂික සංකල්ප රොමාන්තික වීමෙන් ඒ වයසක පරපුර සදාචාරාත්මක වගකීමක් බවට පත්වෙනවා. ගොඩක් ඇමරිකානු චිත‍්‍රපටිවල බට දාලා වෙජිටබල් වෙලා ඇඳ උඩ ඉන්න වයස්ගත චරිත එන්නෙ මේ ප‍්‍රශ්නෙ සංකේත විදිහට.

මේ කතාව අසංවේදී වගේ පෙණුනත් හු`ගක් ඉන්ටරෙස්ටින්. හැමතිස්සෙම අපේ පරණ සදාචාරය ගැන සිහින කියනවට වඩා භෞතික විදිහට අතීතය පැත්තට හැරුණොත් අපිට ආපහු දකින්න වෙන්නෙ මේ කාලෙට වඩා රළු සහ සරල ඇගයීම් පද්ධතියක් එක්ක ගනුදෙණු කරන සමාජයක්. අපේ ජන කතා ගොඩක අමු සොහොනට සහ වනන්තරේට ගිහින් දාන දෙමව්පියන් ගැන කතා එන්නෙ මේ සංස්කෘතිය ඇතුලෙන්. වයසට යාම කියන්නෙ ජීවිතේ ඛේදාන්තයක්. සදාචාරයට එහා ගිය ප‍්‍රායෝගික විසඳුමක් ඒ වෙනුවෙන් දෙන්න තාම අපිට බැරි වෙලා තියෙනවා.

හැම දෙයක්ම කොපියක්
කොපියකින් කොපියක්
තව මිනිස්සු කොපි හදනවා
ස්ටාර් බක්ස් කෝප්ප තොල ගගා
ජැක් එයාගෙ කෝප්පය සහ
කොපි ටික ගත්තා
....යන්න ගියා
-ෆයිට් ක්ලබ්

නිමල් ලක්ෂපතිආරච්චි මැරුණු එක ගැන ෆේස් බුක් එකේ අ`ඩන තරම දැක්කම මුලින් ආවෙ අප්පිරියාවක්. දැන් ෆේස් බුක් ශෝක ප‍්‍රකාශ මොකක්ද අසනීපයක් වගේ වෙලා. හැ`ගීමක් ඇතුව හෝ නැතුව හැමෝම මීගමුවෙ ගෑණු වගේ බොරුවට අ`ඩන්න පටන් ගන්නවා. ඒත් තව ටිකක් ඒ ගැන හිතද්දි මට ඒකෙ හොඳකුත් පේන්න ගත්තා. හැමෝටම එකතු වෙන්න පුළුවන්, තමන්වත් යම් කුලකයකට හෝ සමාජයකට අයිති කියලා දැනෙන මොකක් හරි හැ`ගීමක් හෝ අදහසක් වෙනුවෙන් එකතු වෙන එක. ඒක හොඳ තත්වයක්. ඒ එකතු වීම් ප‍්‍රායෝගිකව කොයි විදිහටද වැඩ කරන්නෙ වගේ මාක්ස්වාදී කොණකට කොන් වෙන්න මං කැමති නෑ. වර්චුවල් හරි ඒ විදිහෙ එකතු වීමක් කියන්නෙ එක්තරා ප‍්‍රකාශනයක්.

නිමල් ගැන ලියන්න මං හිතුවට මට එයාව දැනෙන්නෙ නැති විත්තිය තේරුණා. මං නිමල්ගෙ යාලුවෙක් නොවුණත් කාලෙක ඉඳන් එයාගෙ හොඳ නිරීක්‍ෂකයෙක්. මීඩියා සංස්කෘතියක පාප්වරයා විදිහට කේ කේ සමන් හඳුන්වන, ඒ සංස්කෘතියෙම ලෙනින් විදිහට දීප්ති ඇතුළු පිරිස විසින් හඳුන්වන නිමල් ඇත්තටම ඒ තරම් ගැඹුරුද කියලා මං බලන් හිටියා. අඩු වැඩි විදිහට මේ කට්ටිය මේ අලූත් ධනවාදී ප‍්‍රවාදයේ නිර්මාපකයන් විදිහට අරන් තිබුණෙ සරත් අමුණුගම සහ රොහාන් පෙරේරා. මේ කතිකාව ප‍්‍රායෝගිකකරණය කිරීමේ පෞර්ෂය විදිහටයි නිමල්ව සළකුණු කරන්න ට‍්‍රයි කරන්නෙ. ඒත් ඒක එහෙමද? මට ෂුවර් නෑ.

ධනවාදයේ අලූත් ප‍්‍රවාදයේ නිර්මාපකයන් වෙන්න අමුණුගම සහ රොහාන් කවුද? වාමාංශික ඇස්වලින් සිද්ද වෙන ධනවාදී වෙනස්කම් පූර්ණ ලෙස වටහා ගැනීමේ මිත්‍යාව මිසක් ඒ ජීවිත වලට ධනවාදය අහුවෙන්නෙ කොහොමද? උදාහරණයක් විදිහට ධනවාදයේ විසිතුරු මැවුම්කරුවන් වන ඇන්ඩි වාර්හෝල්, මයිකල් ජැක්සන් වැනි අයිකොන් එක්ක බලද්දි මේ ඇකඩමික් වර්ගයේ සරල උත්සාහයන් දරමින් හිටි චරිත මේ විදිහට අධිතක්සේරු වෙන්නෙ කොහොමද? ලංකාවෙ න්‍යාය හැමතිස්සෙම වැඩ කරන්නෙ වමට. ඒකෙ හේතුව ඒක.

නිමල් ගැන මට දැනෙන්නේත් එහෙමයි. නිමල් පුද්ගලයෙක් හැටියට කොයිතරම් විශාලද සහ කාර්යක්ෂමද වගේ කාරණා වලින් පිටත මේ කියන අලූත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කළා කියන කතාව මට තරමක අතිශයෝක්තියක්. නිමල් කරපු මහා කාර්යය වෙන්නෙ සිරස එක්ක එෆ්එම් රැුල්ල පටන් ගත්ත එක. වෙන රටක මීඩියා ඇතුලෙ සිද්ද වෙන දෙයක් අදහසක් නැතුව බද්ධ කිරීම සහ ඒකෙන් සිද්ද වෙන  ඕනම ප‍්‍රතිඵලයක් හරි විදිහට බාර ගැනීමේ හිස්කමක් මට ඒ එෆ්එම් උත්සාහය ඇතුලෙ පේනවා. නිමල්ගෙ ව්‍යාපෘතිය සාර්ථක වෙන්නෙ මහරාජාගෙ දේශපාලනය ඇතුලෙ. අනික් පැත්තට කිව්වොත් මහරාජාට ඒ ව්‍යාපෘතිය ඇතුලෙ දේශපාලනයක් තියෙනවා නිමල්ට නැති. එතනින් එක්තරා මොහොතක නිමල් ඉවත් වෙන්නෙ ඒකයි.

ඊට පස්සෙ නිමල් කරන ව්‍යාපෘති අලූත් වගේ පෙණුනත් සාර්ථක වෙන්නෙ නෑ. ඒකට හේතුව ඒ ව්‍යාපෘති වැඩ කරවන දේශපාලනයක් අවශ්‍ය වෙන එක. නිමල්ගෙ දර්ශනය වෙලා තිබුණෙ ‘ඉල්ලන දේ දෙන එක’. ඒක ධනවාදයේ ලක්ෂණයක් කියන්නෙ වාමාංශික මැට්ටො විතරයි. මට නිමල් සහ ස්ටීව් ජොබ්ස් වගේ හෝ ඇන්ඩි වාර්හෝල් වගේ චරිතයක් අතර තියෙන වෙනස ඒකයි. නිමල් කියන්නෙ ක‍්‍රියාකාරීත්වයක් මිසක් සංකල්පයක් නෙමෙයි. ඒක  ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් තාක්‍ෂණයක්. කොතනකවත් නිමල් සතු සුවිශේෂ රසයක් හෝ වෙනස් මනුෂ්‍ය ගුණාංගයක් නොකියවෙන්නට හේතුවත් ඒක.

නිමල්ගෙ මළ ගෙදරට ජෝතිපාලට වගේ සෙන`ග ආපු නැති එක කතාවක් වුණා. ජෝතිපාල කියන්නෙ හදවතක්. නිමල් කියන්නෙ ඇ`ගක් විතරයි. ඒ ඇ`ග ගොඩක් දේවල් කරා. ගොඩක් දොරවල් විවෘත කළා. ඒත් ඒ දොරවල් වලින් එන දේ ගැන අදහසක් එයාට තිබුණෙ නෑ. ජනතාව එකතු වෙන්නෙ අදහසක් වෙනුවෙන්. තාක්‍ෂණයක් වෙනුවෙන් එකතු වෙන්නෙ වෙළෙන්දො විතරයි. මට දැනෙන්නෙ නිමල් මීඩියා රෙප් කෙනෙක්. එයා වෙන රටවල මීඩියා අවකාශයන් මේ රටේ ඇති කරන්න ව්‍යවසායකයො එක්ක ගනුදනු කළා. ඒත් ඒ මීඞීයා මේ සංස්කෘතිය හා සමාජය එක්ක ගැටගහන්න එයාට දැනුමක් වත් අභ්‍යාසයක්වත් තිබුණෙ නෑ. මේ කියන කාරණයේ ඇත්ත බලන්න නිමල් විසින් ඇති කළ එෆ්එම් සංස්කෘතියෙන් නිර්මාණය කරපු චරිත දිහා බලන්න. හිස්කම සහ තමන්ගේ ජීවිතය පවා අහිමි වීම ඇරණම ඒ ජීවිත තාම මේ පොලොවෙ ඇඩ‍්‍රස් හොයාගෙන ඇවිදිනවා.

නිමල්ගෙ හැම ව්‍යාපෘතියක්ම අසාර්ථක වුණා. ඒක මේ රටේ ජනතාවගේ නොදැනීම කියන එක ලේසියෙන් මගඇරීමක් කියල මට හිතෙන්නෙ. සිරස පවා මේ වෙද්දි ආගිය අතක් නෑ. හිරු ටීවී එයා පටන් ගන්නෙ ඩිජිටල් විප්ලවයක් විදිහට. ඩිජිටල් කතාව ඇත්ත. ඒත් ඩිජිටල් පෙන්නන්නෙ මොනවද කියල එයා හිතුවෙ නෑ. ඉන්දියානු එම්ටීවී එක ලංකාවෙ කොහොම හිටවන්නද කියල අවම සමාජ විද්‍යාත්මක දැනුමක් එයාට තිබුණෙ නෑ කියන එකයි මගේ අදහස. නිමල් හැමතිස්සෙම වෙනසක් කරනවා. ඒ වෙනස මේ රටට අලූත් වුණාට වෙන රටක කොපියක්. සහ ඒ කොපියට අදහසක් නෑ. රැුල්ලක් විදිහට ආවට වැල්ලට එන්න කලින් නිමල්ගෙ ව්‍යාපෘති ගිලෙන්නෙ මේ දේශපාලනික හිස්කම හින්ද. මහින්ද රජාපක්ෂගේ දේශපාලනය ඇතුලෙ නිමල් මිය යන්න නියමිතයි. ඒ හෘදය සාක්ෂි දේශපාලනය එක්ක ගනුදෙණු කරන්න නිමල්ගෙ පරාරෝපිත හඳුන්වාදීම් වලට බැරි වෙනවා. ඒක ධනවාදයේ අර්බුදයක් නෙමෙයි. ධනවාදය එක්ක ගනුදෙනු කරන අපේ දැනුමෙ සීමාවක්.

‘ඔයගොල්ලො වැඩිය කතා කරන්න එපා. සිංදු දාන්න. මිනිස්සු ආස සිංදු අහන්න’ නිමල් කිව්වා කියලා සත් එෆ්එම් එකේ හාදයෙක් පෝස්ට් කරලා තිබුණ. ඒක ධනවාදයේ හැඩයක් කියලා ලංකාවෙ වම්බට්ටො පිළිගන්න කැමති වුණාට ඒක පේමන්ට් ධනවාදයේ හැටියක්. ධනවාදය කියන්නෙ ඉල්ලන දේ දෙන එකට නෙමෙයි. ඉල්ලන්න ආශාව උපද්දන එකට. අපේ ආශා විශ්වය යළි සකස් කරන එකට. සංකල්පයක් නැතුව එතන ඇවිදින්න කාටවත් බෑ. සරත් අමුණුගම හෝ රොහාන් පෙරේරා හෝ කියන ඇකඩමික් වර්ගයේ හේදීගිය දාර්ශනිකයන්ට වඩා සයිබර් විශ්වය තුල ජීවත් වෙන වෙනස් විදිහෙ දාර්ශනිකයො අපිට මෙතනදි  ඕන වෙනවා.

හපුතල් කන්දට බර ගෙනියන කොට
සීපද කිය කිය ගොන්නු දැක්කුවට
සිංදුව වය වය
මිනිස්සුන්ව දක්කන්නෙ කොහාටද?
-අජිත් කුමාරසිරි

අනික් අතට ධනවාදයේ කාල් මාක්ස් එංගල්ස් හොයන්න යන එකමත් විහිළුවක්. මාක්ස්වාදයේ නිර්මාණ හැඩරුව ඒ විදිහට ධනාවාදය තුලත් තියේවි කියන ආරක්‍ෂිත සුන්දර උපකල්පන ඇතුලෙන් ගිහින් අපිට පුළුවන් වෙන්නෙ අලංකාරෝක්ති කියන්න විතරයි. ඒත් අපේ මාධ්‍ය හෝ වෙනත් සංස්කෘතියක් ගැන අලූත් කතිකාවකට යන්න අපිට ඒක මදි.

නිමල් කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. එක්තරා මීඩියා ආකෘතියක් ලංකාවෙ අත්හදා බලපු මෙහෙයුමක්. පොලොව ගැන තිබුණු අඩු දැනුම හින්දම ඒ මෙහෙයුම ලංකාවෙ විපරීතයක් වුණා කියන එකයි මගේ අදහස. නිමල් ගැන කතා කරද්දි එයාගෙ මාධ්‍ය ජීවිතයට වඩා සුදර්ශියෙ නුග ගහ යට ජීවිතේ ගැන කතා කරන්න මං කැමති ඒකයි. එතන ජොයින්ට් එකක් සහ යාලූවො එක්ක නිමල් ගත වුණා. කොච්චර කාර්ය බහුල වුණත්, වයසට ගියත් හැමදාම එතනට එන්න අමතක නොකරපු යාලූවා ගැන කතා කරන්න ගොඩක් දේවල් තිබුණ. ඒත් හැමෝම නිමල්ගෙ ජීවිතය අමතක කරලා කර්මාන්තය ගැන කතා කළා.

-චින්තන ධර්මදාස

Monday, July 30, 2012

මායාකාරියන්ට පෙම් බඳින පුංචි ඉවාන්ලා

සරල සාමාන්‍ය ගෑණු එක්ක යාලූ වෙලා සරල විදිහට ජීවිතේ එක්ක යනවට වඩා මගේ යාලූවො ගොඩක් කැමති සංකීර්ණ ගෑණු චරිත එක්ක පැටළෙන්න. ඒ සංකීර්ණ ගෑණුන්ගෙ ඇතුලෙ තියෙන ප‍්‍රහේලිකාව විසඳීමෙන් ජීවිතේ සුරතාන්තයට ළංවෙන්න. පස්සෙ ඒ හැමෝම ඔලූ බදාගෙන ඉන්න පටන් ගත්තා.

‘ඒ ගෑණු මිනිස්සුන්ව පණපිටින් කනවා’ එක යාලූවෙක් මට කිව්වා.
මාත් ඊට වෙනස් නෑ. ඔලූව බදාගෙන ඉන්න එක මගේ ආදරෙත් සාමාන්‍යයක් වෙලා තිබුණ. ඒක තමයි ස්ටයිල් එක.
‘මචං. අපි හොයන්නෙ මායාකාරියො, අපිව වස`ග කරන්න පුළුවන්. සාමාන්‍ය ගෑණු ළ`ග අපිට  ඕනකරන කම්ප්ලෙක්ස් එක නෑ’ මං පස්සෙ විස්තර කර ගත්තෙ එහෙම.

‘අපි හොයන්නෙ ලෙඩක්. ඒ ලෙඬේ තියෙන අය එක්ක විතරයි අපිට අරවුස් වෙන්නෙ. අන්තිමට කෙළවෙන එක ඒකෙ සාමාන්‍යයක්’ එක එක විදිහට අපි ඒ ගැන කතා කළා. දැන දැනම කෙළවාගන්නා සහ කෙළවාගැනීමම ආස්වාද කොට ගන්නා මේ පැටළිල්ල මාර ආතල්.

මායාකාරියන්ගේ ගොදුරු බවට පත්වීමම ආදරය කොටගත් ආදරවන්තයින් පරපුරක්.
කළු ගල් බිත්ති වල හතර අතට වැදිලා වැටිලා කුඩුපට්ටං වුණාට පස්සෙ පොඞ්ඩක් හිතන්න හුස්මක් ගන්න ඉඩක් ආවා.

‘අම්මෝ..ආයි නං වොට් තිස්දාහෙ ට‍්‍රාන්ස්ෆෝමර් බදාගන්නෙ නෑ’... එහෙම වෙලාවක යාලූවෙක් කිව්වා.
මේකෙ අනිත් පැත්තෙ කතාවත් මෙහෙමමයි. අපි වගේ විපරීතයො (විපරීතයා කියන්නෙ දීප්ති මට ආදරේට කියන නමක්) එක්ක කෙල්ලො යාලූ වෙන්නෙ මොකටද? ගේ දොර ඉඩං පෙළපත් වගේ සරල සමීකරණ වලින් නොවිසඳෙන මොකක් හරි එකක් ඒ ගොල්ලොත් හොයනවා.

 මොකක්ද තියෙනවා වගේ පේනවා. ඒක හොයාගෙන ළ`ගට එනවා. ළ`ගට ආවම එහෙම මොකුත් නෑ කියල පේන්න ගන්නවා. එතකොට.....

ඊට පස්සෙ ගෑණියෙක් අතින් වෙන්න පුළුවන් දේ ගැන සිනොප්සිස් එකක් ලියන්න මං තාම නාකි මදි.
කොහොම වුණත් මොකක්ද මේ නොසිඳෙන නොසන්සුන් පිපාසය?

‘අපි ඉල්ලන්නෙ ෆිසිකල් ෆ.. එකක් නෙමෙයි. එහෙම තෘප්තියක් ගන්න තරං අපි නිරෝගී නෑ. අපිට  ඕන බ්‍රේන් ෆ.. එකක්. අපි නිදියන්නෙ ගෑණු එක්ක නෙමෙයි. කන්සෙප්ට් එක්ක’ මං දවසක් ජොයින්ට් එකක් දාද්දි ඒක හරි විදිහට ගලපලා කිව්වා.

‘ලැකාන්ලා ඩෙරීඩලා ගැන කතා කළාට තමුසෙත් අර සාමාන්‍ය ගඳ පිරිමියෙක්ම විතරයි’ වෙනස් වෙනස් වාක්‍ය ගැලපීම් ඇතුව වුණත් ගෑණු අපිව ඇට දෙකෙන් උස්සලා පොලොවෙ ගහලා තියෙනවා.

නැවත නැවත මුණගැහෙන මේ කම්ප්ලෙක්ස් එක විස්තර කර ගන්න භාෂාව හැදිලා එනකල් බලන් ඉන්න සිද්ද වුණා. මෑත දවසක ෆේස් බුක් එකේ මේ කන්සෙප්ට් එක එලියට ආවා.

‘සේපියෝසෙක්සුවල්’ අනිල් හේරත් පෝස්ට් එකක් දාලා තිබුණ. ඒකත්එක්ක මං ඉන්ටර්නෙට් එක වටේ ගියා.

මේ වචනෙ මුල්වරට කියවෙන්නෙ 1998දි. වුල්ෆිබෝයි කියල බ්ලොග් ලියන්නෙක් අතින්.
ලිංගික හෝ වෙනයම් සම්බන්ධතාවයක් සඳහා ඔබ වඩා කැමති කුමන ලිංගිකයන්ටද?’ කියලා ස්ත‍්‍රී පුරුෂභාවය විමසන ප‍්‍රශ්නෙකට උත්තරයක් විදිහට වුල්ෆිබෝයි ‘සේපියෝසෙක්සුවල්’ කියල ලියනවා. ඒක අනුගමනය කරමින් එක එක අය තමන්ගේ උනන්දුවත් සේපියෝසෙක්සුවල් කියලා සඳහන් කරන්න ගන්නවා. ඒ අතරෙ සමහර අය ‘ඒ කියන්නෙ මොකක්ද?’ කියල අහනවා.

‘මම? අනේ මං ඔය පයිප්ප වැඩ ගැන වැඩිය උනන්දු නෑ. මට  ඕන විමර්ශනශීලී, ප‍්‍රශ්න මතු කරන විදිහෙ, සංකල්පනා වලින් පිරුණු, වෙනස් විදිහට හිතන මනසක්. මට  ඕන පූර්ව ලිංගික හැසිරීම් විදිහට දාර්ශනික කතා බෙදාහදාගන්න කැමති කෙනෙක්. එයාගෙ නපුරු, තියුණු උත්තර වලින් සහ උපහාසයෙන් මට සැරෙන් සැරේ ‘ආාාව්’ කියවෙන්න  ඕනි. 

ඒ හින්ද මං සේපියෝසෙක්සුවල් කෙනෙක්. මං කැමති මිනිස්සුන්ගෙ මනස් එක්ක සංසර්ගයෙ යෙදෙන්න.’
වුල්ෆිබෝයි විස්තර කරනවා.

ලතින් නිරුක්තියෙ හැටියට සේපියන් කියන්නෙ බුද්ධිමය හෝ ප‍්‍රඥාමය කියන අදහස. සෙක්සුආලිස් කියන ලතින් යෙදුමෙ තේරුම ලිංගික කියන එක. සේපියෝසෙක්සුවල් කියන වචනෙ හැදෙන්නෙ ඒ දෙක එකතු වෙලා.

‘1998 ගිම්හානයේ දවසක සැන්ෆ‍්‍රැන්සිස්කෝ ඉඳන් හරිහමන් නින්දක් නැති දවසක වාහෙන් එළවන් එද්දි එකපාර මට මේ අදහස ආවෙ. මේක පුළුවන් තරම් පාවිච්චි කරලා තව තව ව්‍යාප්ත කරන්න’

‘එතකොට මේකෙ කොහෙද ස්ත‍්‍රී පුරුෂ භාවය ගැන ගැටළුවක් තියෙන්නෙ? මං හොයන විදිහෙ අයට හොඳ ශරීරත් තිබුණොත් ඒක බෝනස් එකක්. මාංශය කියන එකත් ෆන් තමයි’
වුල්ෆිබෝයි බ්ලොග් එකේ දිගට කියාගෙන යනවා.

‘මං කියන්නෙ මේකයි. ඔයාට පුළුවන් කා එක්ක සංසර්ගයේ යෙදෙන්න පුළුවන් හරි උපරිම පැය 5ක් -8ක් විතරයි. ඒත් ඔයාට සදාකාලයටම කතා කර කර ඉන්න පුළුවන්. ඒක අනන්තයක් වගේ සුරතාන්තයක්’
මේ වෙද්දි ෆේස්බුක් එකේ මේ සේපියෝසෙක්සුවල් කාණ්ඩයට එකතු වෙන කට්ටිය ටික ටික වැඩිවෙන්න අරන්. ඒත් මේ වචනෙ ගැන තාම පුළුල් පැහැදිලි කිරීමක් වෙලා නෑ. සෘජු අදහසක් විදිහට සේපියෝසෙක්සුවල් කියන්නෙ කෙනෙකුගේ බුද්ධිය සහ බුද්ධිමය හැකියාව මගින් ලිංගික උත්තේජනයක් ඇතිවෙන අයට.

‘මටත් මේ විදිහයි. වඩාත් තාර්කික සහ බුද්ධිමය විදිහෙ ගණුදෙනු කරන අය ගැන මට හැ`ගීම් ඇතිවෙනවා වැඩියි. ඒත් මේ වචනෙ අහන්න කලින් ඒක සංකල්පයක් විදිහට දැනිලා තිබුනෙ නෑ’

‘අපි ගොඩක් වෙලාවට (අඩු තරමෙ මම) අලූත් දැනුම හොයාගන්නෙ, වැඩියෙන් බුද්ධිමය ආස්වාදයක්  අත්විඳින්නෙ ආදර හුවමාරුවක් ඇතුලෙ. මේක පරණ විදිහට කිව්වෙ ‘අයිඑන්ටීපී’ කියල. (ඇතුළතට යෙමුවුණු, සිතීමට ඇබ්බැහි, අභ්‍යන්තර ඉවකින් හෝ දැනීමකින් වගේ මෙහෙයවෙන අතිශය සීමිත පෞර්ෂ කාණ්ඩයක් හඳුන්වන්නෙ මේ විදිහට. මේ වගේ අය ඉන්නෙ 3%-5%ත් අතර ප‍්‍රමාණයක්. පෞර්ෂ වර්ග 16ක් අතර මේ එකක්) මේ අලූත් යෙදුම ඇහිච්ච ගමන් මට ඒක වැදුණ. මං වගේ තව ගොඩක් අයට ඒක එහෙමයි කියල මං දන්නවා’

මේ සංකල්පයත් එක්ක තාම යන සංවාද හු`ගක් ලයිව්. ඇකඩමික් වෙලා ගල්ගැහිලා නෑ. තම තමන්ගේ ජීවිත ඇතුලෙ සංකීර්ණ එලිපෙහෙලි කරන්න ෆේස්බුක් කොයිතරං ඉඩක්ද කියන එක මේ වගේ සංකල්පීය සංවාද වලින් තේරෙනවා. ලිංගික තෘප්තිය කියන කාරණේදි ස්ත‍්‍රී පුරුෂ භාවය පිළිබඳ සීමා අතික‍්‍රමණය කරන මේ සංකල්පීයකරණය එක්ක මට තව දේවල් මතක් වෙනවා.

ශරීරය මූලික ‘සෙක්ස්’ කියන කාරණය වඩාත් විකල්ප හැඩයකින් උත්කර්ෂයට නැංවෙන්නෙ හිපි සංස්කෘතියත් එක්ක. ලිංගික නිදහස කියන එකත් එක්ක 60 තරුණයො  විමුක්තිය එකට ගන්නවා. ‘සෙක්ස්, ඩ‍්‍රග්ස් ඇන්ඞ් රොක්ඇන්රෝල්’ එන්නෙ මේ සංදර්භය ඇතුලෙ. ඒත් 80 පන්ක් කල්ට් එක නැගිටින්න ගන්නවත් එක්ක යුරෝපයේ තරුණ විමුක්තිය ගැන අදහස මේ ශරීර මූලික සෙක්ස් කියන තැනෙන් එලියට එනවා.

ඇලෙක්ස් කොක්ස් ගේ ‘සිඞ් ඇන්ඞ් නැන්සි’ ෆිල්ම් එකේ එක තැනක වීදියක නිදා ඉන්න සිඞ් ළ`ගට තරුණියක් කිට්ටු වෙනවා. ‘සෙක්ස් කියන්නෙ  හිපි ගූ ගොඩක්. පට්ට බෝරිං’ සිඞ් අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවා.

ලංකාවෙ තාම මේ සේපියෝසෙක්සුවල් ආස්වාදය කෙලවර වෙන්නෙ අවුලකින්. අපි ඒ ගැන අවිඥාණක නිසාම ඒ වින්දනය ඇතුලෙ ජීවත් වෙන්න  ඕන කරන අවකාශයන් (පරතරයන්) පවත්වාගන්න අපි දැනුවත් නෑ. අපි ඒක ස්ත‍්‍රී පුරුෂ භාවයන් කේන්ද්‍රීය තැනකට අරන් එනවා. පරණ පවුල් සංස්කෘතිය ඇතුලෙ අන්තිමට ඇෙ`ගන් ප‍්‍රශ්නෙ විසඳගන්න හදනවා. මේ අවුල තේරුම් ගන්න හදන හැම දැනුම් ආකෘතියක්ම ශරීර මූලික ලිංගිකය උඩ විස්තර වෙන සංකල්ප. ඉතින් මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරුව ඇඩ‍්‍රස් නැති හන්දියකින් අපි බැහැලා යනවා.

ටික කාලෙකින් ආයිමත් ලෙඬේ මතු වෙනවා. පුංචි ඉවාන්ලා පාන් හොයාගෙන එනකල් ඇස් දල්වන් බලන් ඉන්න මායාකාරියො හොයාගෙන අපි වල් වදිනවා.

-චින්තන ධර්මදාස

Sunday, July 22, 2012

බල්ලට ගිය හෘදය සාක්‍ෂිය

ආණ්ඩුව බල්ලො කොළඹ නගරෙ බල්ලො 3000ක් මරන්න යනවට විරුද්ධව ඔඩෙල් එක ඉස්සරහ විරෝධයක් තිබුණ. මිනිස්සු කීපදෙනයි. වැඩි දෙනෙක් ගෑණු. ත‍්‍රීවීල් වල, බස්වල, පාර අයිනෙ යන අය හිනා වෙවී යනවා. ඒක ජෝක් එකක් වගේ. ගෝඨාභයගෙ නම ලියපු පෝස්ටර් එකක් උස්සන් ඉන්න හින්ද පොලිසිය විතරක් ටිකක් උනන්දුයි.

මේ බල්ලො මරන කතාව දැන් කීප වතාවක්ම උඩට ආවා. ආණ්ඩුව මරන්නෙ නෑ කිව්වා. ඊට කලින් හි`ගන මිනිස්සු මරන කතාවක් ආවා. ආණ්ඩුව නෑ කිව්වා. ඊටත් කලින් උතුරෙ දෙමළ මිනිස්සු මරන කතාවක් ආවා. ආණ්ඩුව නෑ කිව්වා.

බල්ලො කියන්නෙ මං ආස කරන  සත්තු ජාතියක් නෙමෙයි. එකක් බල්ලො ඇති කරන්න උනන්දු මිනිස්සුන්ගෙ තියෙන හීනමානෙ. ඩොබර්මන්, රොට්වේලර් කිය කිය සමහර වෙලාවට ප‍්‍රංශෙන් පවා බල්ලො ගෙන්නන පුරවගන්න බැරි හිස්කම (බල්ලාගෙ ක්ලාස් එකෙන් තමන්ගෙ ක්ලාස් එක පෙන්නන කට්ටිය). අනික බල්ලාගෙ තියෙන දුක්ඛිත ජීවිතය. මේ ලෝකෙ මං දැකලා තියෙන දුක්ඛිතම ජීවිත ගත කරන සත්තු බල්ලො. මිනිස්සුන්ගෙන් තොරව උන්ට පැවැත්මක් නෑ. ඌ සම්පූර්ණ වෙන්න මිනිහෙක්ගෙ වහලෙක් වෙන්න  ඕන. බල්ලො ඇති කරද්දි දන්නෙම නැතුව අපි වහල් හිමියෙක් වගේ වෙනවා. උගෙන් කීකරුකම, නගුට වැනීම සහ නොයෙකුත් වික‍්‍රම බලාපොරොත්තු වෙමින් අපි මිනිස්සුන්ගෙන් සම්පූර්ණ කර ගන්න බැරි අපේ අවුලක් බල්ලගෙන් සම්පූර්ණ කර ගන්නවා. ඒක හරියට යාලූවෙක් ආශ‍්‍රය කරන්න තියා පාරකට බැහැලා නැති සමහරු ෆේස්බුක් එකේ සමාජ වීරයො වෙනවා වගේ දෙයක්.

පාරෙ ඉන්න බල්ලො දිහා මං බලන් ඉඳල තියෙනවා. පාරෙ ඉන්නෙ ස්වාමියෙක් අහිමි බල්ලො. උන් කවදහරි ස්වාමියෙක් ඇවිත් තමන්ව බාර ගනීවි කියල බලන් ඉන්නවා. කන්න දෙන හැම කෙනෙක්ගෙ ඇස් වලම ඒ බලාපොරොත්තුව හොයනවා. පේමන්ට් උඩ වැතිරිලා කවුරු හරි ගලක් ගහයි කියල බයෙන් ඉන්න බල්ලොන්ගෙ ඇස් දැකලා තියෙනවද? උන් ගොඩක් වෙලාවට අ`ඩනවා. කඳුළු වැක්කෙරෙනවා. බල්ලන්ට මිනිස්සුන්ට වගේම අ`ඩන්න පුළුවන්. මිනිස්සුන්ට වගේම හිනාවෙන්න පුළුවන්. ඒත් බල්ලො හිනාවෙද්දි මිනිස්සුන්ට වඩා ලස්සනයි. උන් අ`ඩද්දි මිනිස්සුන්ට වඩා දුකයි.

‘බල්ලො මරන එක ගැන මට හරි බයයි. මාත් බල්ලෙක් දඩාවතේ යන. ඒ ගොල්ලො මාවත් මරයිද? මං රජෙක් වගේ බල්ලෙක්. ඒත් මං ඉන්නෙ මහ පාරෙ. ඒ හින්ද මේ බල්ලො මරනවට මං විරුද්දයි.
මං බල්ලොන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. ඒ ගොල්ලො හු`ගක් දේවල් දන්නවා අපි ගැන’ අජිත් කුමාරසිරි කිව්වා.

දැන් මේ මරන්න යන්නෙ පාරෙ ඉන්න ඇස් වල කඳුළු තියෙන බල්ලො. නගරෙ ලස්සන කරන කොට එහෙම අය ඉස්සරහ ඉන්න එක කැතයිලූ. ඒකට තාර්කික හේතුව විදිහට කියන්නෙ පිස්සු බලූ රෝගය වැඩිවෙනවා කියල. පිස්සු බලූ රෝගෙයි බල්ලොන්ගෙයි කිසි සම්බන්ධයක් නෑ. ඒක ලංකාවෙ ආණ්ඩුව හා ජනතාව දිහා බලපු ගමන් පේනවා. ඒත් දැන් අපිට  ඕන හිනාවෙන රට බල්ලො. මේ රටේ දුක් විඳින බල්ලො අපිට කරදරයක්. උන් අනතුරක්. උන්ගෙ ඇස් දිහා බලද්දි අපි අවුල් වෙනවා. මේ සරණාගත බල්ලන්ව දැන් ඉවරයක් කරන්න  ඕන. නම් නෑ, ලැයිස්තු නෑ, අයිතිවාසිකම් නෑ.... දුක් විඳින බල්ලො මරන්න කාගෙන්වත් බාධාවක් නෑ. ඒක ජනතාවටත් ජෝක් එකක් විතරයි.

ඔඩෙල් එක ඉස්සරහ පිකට් එකට සාමාන්‍ය ජනතාව හිනාවුනේ ඇයි? මේ බඩුමිළ, අධ්‍යාපනේ වගේ ලොකු ප‍්‍රශ්න තියෙද්දි බලූ ප‍්‍රශ්නයක්? ඒක හරියට කියුබාවට අත නොතබනු වගේ දුරයි. ඒත් මේකෙන් එක කතාවක් කියවෙනවා. තව දුරටත් පාරෙ ඉන්න උන් මැරෙන එක ගැන අපිට වැඩක් නෑ. අපිට ඊට වඩා ලොකු ප‍්‍රශ්න තියෙනවා. ඒත් මේ හැම ප‍්‍රශ්නයක්ම අන්තිමට එදාවේල ගැන ප‍්‍රශ්නයක්. ඊට වඩා එලියෙන් කිසි දෙයක් හොයන්න අපිට ඉඩක් නෑ. චිත‍්‍රපටියක් බලන්න, යාලූවෙක් මුණගැහෙන්න, සමාජයක් විදිහට ජීවත් වෙන්න අපිට තවදුරටත් දැනෙන්නෙ නෑ වගේම බල්ලො ගැන අපිට දැනෙන්නෙත් නෑ. අපේ රටේ අනිත් පැත්තෙ ඉන්න දෙමළ මිනිස්සු ගැන අපිට දැනෙන්නෙ නෑ වගේම හැමදාම උදේ යනකොට අපිට නගුට වනන බල්ලො ගැන අපිට දැනෙන්නෙත් නෑ. ඒත් මේ සිංහල බෞද්ධයන්ට මුන්නේස්සරමෙ එළුවො මරන එක පේනවා. ඒක මාර අවුලක්. දෙවියන් වෙනුවෙන් මරන එක අවුල් ඒත් ලස්සන කරන්න නම් මැරුවට කමක් නෑ.

මේ නැති වෙන්නෙ අපේ අපි අවට ජීවිතේ ගැන තියෙන සවිඥාණක කම. බස් එකේ අනිත් සීට් එකේ මිනිහා ගැන තියෙන දැනීම. බල්ලො ගැන අපේ නැති වෙලා තියෙන්නෙ මනුස්සකම. අඩුම ගානෙ ඒක ප‍්‍රශ්නයක් විදිහට බාර ගන්න තරම් වත් ඔලූවෙ ඉඩක් ඉතුරු වෙලා නෑ. එක අතකට ඇත්ත. අපි බල්ලො ගානට වැටිලා ඉඳිද්දි තව බල්ලො මොකටද?

පිස්සු බල්ලො නැති කරන්න ආණ්ඩුවට  ඕනකමක් නෑ කියන එක පැහැදිලියි. එහෙම නං රට වටේම ළමයි දූෂණය කර කර යන පළාත්සභා සහ අනිත් මන්ත‍්‍රීලා ගැන බල්ලොන්ට වඩා උනන්දු තීරණ ගන්න තිබුණ. පාරවල් ගානෙ මිනිස්සු මරන උන්ට විරුද්ධව බල්ලන්ට වඩා දරුණු තීන්දු ගන්න තිබුණ. යුද්දෙ ඉවර වුණු ගමන් දකුණට මුදා හැරපු පිස්සු බල්ලන්ව බැඳලා දාන්න ආණ්ඩුව මොනවද කළේ? ඒ ගොල්ලො රට කැත කරන්නෙ නෑ. මේ බල්ලො තමයි...

ගැටළුව තියෙන්නෙ ආණ්ඩුව බල්ලන්ගෙ ගානට වැටෙන එක නෙමෙයි. උදේ හවස බුඩිස්ට් චැනල් බලන, පරලෝකෙ ගැන ඉන්න ලෝකෙට වඩා උනන්දු බෞද්ධයන්ට බල්ලො මරන එක කොහෙත්ම ගැටළුවක් නොවීම. අඩුම තරමෙ මේ සත්ව අයිතිවාසිකම් කණ්ඩායමට පිටින් කිසි කෙනෙක් සීරියස් විදිහට මේක ගත්තෙ නැති එක. බල්ලො මරන එක නෙමෙයි. බල්ලො මරන එක ගැන ජනතාවට ගානක් නැති එක. මේක අපේ ජාතියේ සංවේදිතාව ගැන අවුලක්. ත‍්‍රස්තවාදී දෙමළ වගේ පිස්සු බල්ලො. නැත්තං දේශද්‍රෝහී බල්ලො. අපේ රටේ නම කැත කරන බල්ලො. අවිඥාණකව ජනතාව ආණ්ඩුව සමගයි.

අපි සිංගප්පුරුවක් කරා වේගයෙන් ගමන් කරමින් ඉන්න වග පැහැදිලියි. බල්ලො මරන එකෙන් නොනැවතී උන් මසට ගන්නත් ජනතාව පුරුදු කළා නම් බල්ලන්ගෙන් නගරය බේරා ගැනීමේ ව්‍යාපෘතිය තවත් සාර්ථක වෙන්න ඉඩ තිබුණ. සිංගප්පුරුව වගේම ලස්සන පාරවල්, නගර, ගොඩනැගිලි එක්ක මැරිච්ච ජනතාවක්. අනාගත ආශ්චර්ය ඒක. සත්‍යා  ඕක ලස්සනට කියනවා, ජීවානුහරණය කළ නගරයක්.

යුද්දෙත් එක්ක අපි එකට හිටපු දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නෙ අමතක කරන්න තාර්කික හේතුවක් හදා ගත්තා. ත‍්‍රස්තවාදීන් කියන්නෙ ඒ හේතුව. ඒ තාර්කික හේතුව උඩ අපි හෘදය සාක්‍ෂිය පාවා දුන්නා. තවදුරටත් ‘ගිල්ටි කොන්ෂස්’ නැත්තං ‘වරදකාරී හැ`ගීම’ කියන්නෙ සිංහල බෞද්ධ ජනතාවට අලූත් දෙයක් නෙමෙයි. අපි ජීවත් වෙන්නෙ ඒකෙ. යක්ෂයො භූතයො මළ පෙරේතයො ගැන කතා විතරක් අපේ මාධ්‍ය වල පළවෙන්නෙ ඒක හින්ද. තාර්කික හැ`ගීමකින් හෘදය සාක්‍ෂිය යටපත් කරන්න ජනතාවක් පුරුදු කළාට පස්සෙ එතනින් එහා සමාජයක් හෝ සංස්කෘතියක් ගැන කතා කරන පරිකල්පනයක් විතරයි. අපි බ්‍රේන් වොෂ් කරපු ජාතියක්. බුද්ධාගම, රට ගැන හැ`ගීම, අපේකම මේ ඔක්කොම ඒ බ්‍රේන් වොෂ් එකට පාවිච්චි කරපු උපකරණ. එතනින් එහාට අපිට හැ`ගීම් නෑ. බල්ලො නෙමෙයි ජනතාවක් පිටින් සංහාරයක් කළත් අපිට  ඕන වෙන්නෙ ඒක සාධාරණීකරණය කරන තාර්කික හේතුවක් විතරයි. අපි ආණ්ඩුවට කීකරු ජනතාවක්. (කීකරු කියන්නෙ කියන දේ කරන. ඒක බල්ලන්ට පාවිච්චි කරන යෙදුමක්)

පොඩි පත්තර නිව්ස් එකකින් එහාට කිසි මාධ්‍යයකට බල්ලො මරන ප‍්‍රවෘත්තිය වැදගත් වුණේ නෑ. ඒක විකිණෙන නිව්ස් එකක් නෙමෙයි. ඒත් මේ පේන්නෙ අපේ සංස්කෘතික වපසරියෙ තියෙන පුංචිකම. අපි අවට ගහකොළ වලට, සත්තුන්ට විතරක් නෙමෙයි මිනිස්සුන්ටත් වෙන දෙයක් ගැන සමාජ වගකීමක් නැති තරමට අපි පුංචියි. දුර්වලයි. හිරිවැටිලා. බඩු මිළ ගැන ප‍්‍රශ්නෙට වඩා බලූ ප‍්‍රශ්නෙ දේශපාලනික වෙන්නෙ ඒක නිසා. ඒක ආධ්‍යාත්මය පිලිබඳ ප‍්‍රශ්නයක්. බඩගෝස්තරේට වඩා දෙයක් අපිට දැනෙනවද කියන එක ගැන ගැටළුවක්. තමන්ගෙ ශරීරයේ ප‍්‍රමාණයට අදාල ප‍්‍රශ්න විතරක් වැදගත් කියලා ගන්න ඒ සීමාවෙන් පිටත අනිත් හැම ප‍්‍රශ්නයක්ම ජෝක් කියල ගන්න ලාංකේය ජීවිතයේ සීමිතබව එළිවෙන තැනක්.

කොහොම වුණත් බල්ලො ටික මරලා දාවි. ජිනීවා ප‍්‍රශ්න වගේ දේවල් වත් අදාල නැති නිසා ඒක හරි සරල දෙයක් වෙයි. ඒත් රට පුරා කිසි දෙයක් කර කියා ගන්න බැරි දරුවො දූෂණය කරන දේශපාලකයොයි, පාරෙ බල්ලො මරන බව  දැන දැන නොදන්නවා වගේ ඉන්න නැත්තං ජෝක් කරන ජනතාවයි ඉන්නෙ එකම තැනක. හෘදය සාක්ෂියක් නැතිකම. හෘදය සාක්‍ෂියක් නැති හැමෝටම  ඕන හිනාවෙන බල්ලො. මොකද අ`ඩන්න දන්නෙ නැති අයට හිනාවෙන්න අමතක හින්ද.

-චින්තන ධර්මදාස



Saturday, July 14, 2012

සත්තු එක්ක කතා කරන රහස කියන්න: ෆෙස්ටිවල් සිනමාව ගැන පේමන්ට් කතාබහක්.

පහුගිය දවස් කීපෙකට වැනිසියේ වෙළෙන්දෙක් ලංකාවට ඇවිත් හිටියා. එයා චිත‍්‍රපටි වෙළෙන්දෙක්. ඒ කියන්නෙ වැනීසියේ සිනමා උළෙලට ආසියාතික චිත‍්‍රපටි තෝරන්නෙක්. ලංකාවට ඇවිත් හිටියෙ අපේ අලූත් චිත‍්‍රපටිකරුවන් දැනුවත් කරන්න. ඒ මාර්කට් එකට චිත‍්‍රපටි යවන හැටි ගැන.
නෙළුම්ලගේ ගෙදර ? කෑමත් එක්ක පාවුලෝ (බර්ටොලින්) අඳුරගන්න ලැබුණට කෑම රහ වැඩි හින්ද මට පාවුලෝ අමතකම වුණා. පස්සෙ සත්‍යා පුකට පයින් ගහලා ඉන්ටර්විව් එකක් ගනින් කියල බල කළා. ඒක තිබුනෙ පාර්ක් ස්ට්රීට් හෝටලේ. එදා මං ඉන්ටර්විව් එක ගන්න යද්දි අපේ අලූත් පරම්පරාවෙ ඔක්කොම චිත‍්‍රපටි හදන කට්ටිය එතන. පාවුලෝ ඉස්සරහ සෝෆා එකකට වෙලා ඉන්ටර්නෙට් එක බල බල උත්තර දෙනවා ෆෙස්ටිවල් වලට චිත‍්‍රපටි දාන හැටි ගැන. මට එක පාරට මතක් වුනේ දොස්තර හොඳහිත. ඔක්කොම ඇවිත් හිටියෙ සත්තු එක්ක කතා කරන රහස ඉගෙන ගන්න.

ඒක ඉවර වෙලා මට පාවුලෝව අහුවුණා ටිකක් වෙලා කතා කරන්න. මට ෆෙස්ටිවල් ගැන තිබ්බ අවුල් ටික කෙලින්ම අහන්න මං තීරණේ කළා. මේ කතාබහ කියවද්දි පේලි, පේලි අතර සහ පේලි වල නොකියවුණු කියන හැම පැත්තක් ගැනම සාවධාන වෙන්න කියල මං ඉල්ලනවා. මොකද අවසාන වශයෙන් මං කතා කරන්නෙ වැනීසියෙ වෙළෙන්දෙක් එක්ක නිසා.

මං- මගේ ප‍්‍රශ්න සහ මම දකින විදිහ හු`ගක් පටු වෙන්න පුළුවන්. ඒත් ඒවා මට ඇත්තට දැනෙන ප‍්‍රශ්න. මං හිතනවා අපිට පුළුවන් ඒ ගැන ටිකක් කතා කරන්න කියල.

පාවුලෝ- අනිවාර්යෙන්ම

මං- මේ වෙනිස් ෆෙස්ටිවල් එකට පිටින් ඔයා සිනමාවට සම්බන්ධ වෙන්නෙ මොන විදිහටද?
මම හු`ගක් කාලෙක ඉඳන් චිත‍්‍රපට විචාරකයෙක්. අවුරුදු දහයක් විතර. ‘ඉල් මැනිෆෙස්ටො’ ඒක අපේ රටේ චිත‍්‍රපටි ගැන ලියවෙන ස`ගරාවක්. ඒ වගේම කොමියුනිස්ට් පත්තරයක්. ඒක තමයි සංස්කෘතික පැත්තෙන් ඉතාලියේ ගෞරවනීයම විදිහට සැලකෙන පත්තරේ. ඒක ආර්ට් වලට ලොකු ඉඩක් දෙන පත්තරයක්. මේ පත්තරේ ඇරුණම මං තවත් නොයෙක් සිනමා ස`ගරා ප‍්‍රකාශන වලට ලියනවා. අන්තර් ජාතිකව කියවෙන ප‍්‍රකාශන වලටත් මං ලියනවා. මෑතක මං අපිචත්පොන්ග් ගෙ අන්කල් බූන්මේ ගැන එහෙම ලිපියක් ලිව්වා. පසුකාලීනව මං ෆෙස්ටිවල් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. හැමතිස්සෙම මං වැඩ කළේ ආසියානු සිනමාවත් එක්ක.

මං- ඔයා කවදාවත් චිත‍්‍රපටි හදලා නැද්ද?
නෑ. මං කවදාවත් චිත‍්‍රපටි හදන එක සම්බන්ධව වැඩ කරලා නෑ. මං සමහර චිත‍්‍රපටිකරුවන්ට උදව් කරලා තියෙනවා මේ ව්‍යාපෘති වල ඉල්ලූම ගැන වටහලා දෙන්න. ඒ ගොල්ලොන්ගෙ ව්‍යාපෘති වෙළඳපොලක් කරා ගෙනියන්න උදව් වෙන එකයි මගේ වැඬේ.

මං- එතකොට ඒ චිත‍්‍රපටි හැදෙන්නෙ ෆෙස්ටිවල් වලටමයි?
පාවුලෝ- චිත‍්‍රපටිකරුවෙක් හදන්නෙ එයාට හදන්න  ඕන චිත‍්‍රපටිය. ඊට පස්සෙයි එයා හිතන්නෙ ෆෙස්ටිවල් එක ගැන. මේ කාලෙ නං රෆ් කට් එකේ ඉඳන් ෆෙස්ටිවල් එකට ඉදිරිපත් කරනවා..ඒක ඇත්ත.

මං- ඔයා වීරසේතුකල්ව හොඳට බලලා තියෙනවා..

පාවුලෝ- ඔව්..ඔව්..

මං- විමුක්තිගෙ චිත‍්‍රපටි සහ සංජීවගේ චිත‍්‍රපටියත් බලලා තියෙනවා?

පාවුලෝ- ඔව් ෆ්ලයින් ෆිෂ් මං බැලූවා.

මං-ඔයා කොහොමද මේ තුන්දෙනාගෙ දකින වෙනස?

පාවුලෝ- තුන්දෙනා හොඳටම වෙනස්. විමුක්තිගෙ චිත‍්‍රපටිය පෙන්නද්දි ගොඩක් අය කිව්වා එයා අපිචත්පොන්ග් කරන දේම කරන්නයි හදන්නෙ කියල. ඒ වගේම ෆ්ලයින් ෆිෂ් පෙන්නද්දිත් ගොඩක් අය කිව්වා සංජීව විමුක්ති කරපු දේමයි කරන්න හදන්නෙ කියල. ඒත් මං එක`ග නෑ ඒ අදහසට. මං දකින්නෙ නෑ ස්ටයිල් එකක් විදිහටත් ප‍්‍රකාශනයක් විදිහටත් සංජීවයි විමුක්තියි සමාන ලක්ෂණ දරනවා කියල. ඒ දෙන්නා සමාන වෙන්නෙ යුද්දෙ එක්ක සම්බන්ධ මේ රටේ මෑත ඉතිහාසය ගැන කතාවක් කියන එකෙන් විතරයි.
යම් තරමකට මං එක`ගයි අපිචත්පොන්ග් ගෙයි විමුක්ති ගෙයි ස්ටයිල් එක කිට්ටුයි කියන කාරණාවට. ඒ දෙන්නම යන්නෙ එක දිශාවකට. පිළිගත් සිනමා ව්‍යාකරණය විසංයෝජනය කිරීම සහ එක්ස්පෙරිමෙන්ටල් ෆිල්ම් ලක්ෂණ භාවිතා කිරීම.

විමුක්ති අපිචත්පොන්ග් එක්ක වෙනස් වෙන කාරනේදි විමුක්තියි සංජීවයි එක ළ`ගට එනවා. අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටි පිටපස්සෙ දේශපාලන න්‍යාය පත‍්‍රයක් නෑ. ඒත් විමුක්තිගෙ චිත‍්‍රපටි දේශපාලනික සමාජමය ප‍්‍රකාශනයක් කරන්නෙ. අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටියක දේශපාලනය ඔයාට තේරුම් ගන්න බෑ ඔයා තායිලන්තයේ දේශපාලනය ඉතාම සමීපව ඉන්න කෙනෙක් නෙමෙයි නම්. ඒ චිත‍්‍රපටිවල මතුපිට දේශපාලනය දකින්න නෑ.

එක දෙයක් මං පිළිගන්නවා. අපිචත්පොන්ග් සහ විමුක්ති දෙන්නගෙම කලාත්මක හුරුව ඇති කරන්නෙ බටහිර විසින්. අපිචත්පොන්ග් ඉගෙන ගන්නෙ චිකාගෝ. විමුක්ති ප‍්‍රංශෙ.

මං- සංජීව විමුක්ති වගේ චිත‍්‍රපටි වලට සම්මාන දෙන්න අවශ්‍යයි කියල ඔයා හිතන්නෙ මොන කාරණා නිසාද?
පාවුලෝ- දෙන්නගෙම විෂුවල් ස්ටයිල් එක ඉතා ප‍්‍රශස්තයි. කතාව පැත්තකින් තිබ්බත් මේ විෂුවල් ගලා යාම ආකර්ශනීයයි.

මං- තර්කොව්ස්කිව කොපි කරන ගතියක් දැනෙන් නැද්ද?

පාවුලෝ- මිනිස් රූපය පිහිටුවන තැන  අතින් ගත්තොත් සංජීවයි තර්කොව්ස්කිගෙයි සමානත්වයක් තියෙනවා. ඒ වගේම ෆ්ලයින් ෆිෂ් වල ඔයාට දකින්න පුළුවන් සමහර තර්කොව්ස්කිගෙ දර්ශන රිපීට් වෙනවා වගේ. උදා විදිහට අන්ද්‍රෙයි රුබලොව්. සංජීව නිතරම කියනවා ‘කිම් කි ඩුක්’ සහ තර්කොව්ස්කි ගැන. ඒ අයගෙ බලපෑමක් තියෙන්න පුළුවන්. ඒත් වැදගත් දේ වෙන්නෙ මේකයි. එයා ඒක හොඳට කරනවද? එච්චරයි.

මං- මේ සිනමා උළෙලවල තේරෙන චිත‍්‍රපටි දිහා බැලූවම මට පේනවා මේ තෝරන කොමිටි වල අයගෙ ඔලූවෙ කල් ඇතුව තෝරන්න  ඕන චිත‍්‍රපටි ගැන අදහසක් තියෙනවා වගේ. චිත‍්‍රපටියෙ ඔරිජිනල් ගතියට වඩා මේ කලින් සකස් කර ගත් වට්ටෝරුව වැඩ කරනවා වගේ.

පාවුලෝ- එහෙම අයත් ඉන්නවා. ඒක හොඳ තත්වයක් නෙමෙයි. මෙහෙමයි, සමහර ෆෙස්ටිවල් තියෙනවා යම් කිසි තේමාවක් අනුව චිත‍්‍රපටි තෝරන. ස්ත‍්‍රී පුරුෂභාවය ගැන වගේ. සමලිංගිකත්වය ගැන. ඒක හරි සීමිත අදහසක් සිනමාව ගැන. ඒත් වෙනිස් කාන් හෝ බර්ලින් වගේ ලොකු ෆෙස්ටිවල් වල එහෙම නෑ.

මං- කවුරුහරි එක ෆෙස්ටිවල් එකක් අවුරුදු කීපයක් තිස්සෙ අධ්‍යනය කලොත් බැරිද හරියට ඒ ෆෙස්ටිවල් එකේ ගොඩයන චිත‍්‍රපටියක් හදන්න?

පාවුලෝ- මට ෂුවර් නෑ. පළවෙනි පාර එහෙම තේරෙන්න පුළුවන් වෙයි. ඒත් දෙපාරක් නම් බෑ. අපි මෝඩ නෑ  ඕගොල්ලො හිතන තරම්. සමහර චිත‍්‍රපටියක් අපේ බොත්තම හරියටම තද කරනවා වෙන්න පුළුවන්. ඒත්  මේක හිතා මතාම කරන බොත්තම තද කිරිල්ලක් කියල තේරුම් ගන්න බැරි තරම් අපි මෝඩ නෑ.

මං- මාත් එහෙම කරලා තියෙනවා. ඒකයි ඇහුවෙ. ෆ්ලයින් ෆිෂ් කරද්දි මං සංජීවට කියලම ලියපු තැන් තියෙනවා මේකට සම්මාන හම්බුවෙනවා කියල. ඒක වැඩ කළා.

පාවුලෝ- එයා තේරුණේ රොටර්ඩෑම් වලට. කාන් වලට නෙමෙයි.
ඒක හොඳ නෑ එහෙම ඔයාගෙ යාලූවා ගැන කතා කරන්න එපා. ඇත්ත, සංජීවගේ ෆිල්ම් එක හොඳ උදාහරණයක්. ඒ ෆිල්ම් එක අගය කරපු, ඒකට සහයෝගය දක්වපු හැමෝම හොඳට දැනගෙන හිටියා ඒ චිත‍්‍රපටියෙ තියෙන දුර්වලතා ගැන.
ඒත් චිත‍්‍රපටිය හොඳට ෂූට් කරලා තියෙනවා. ඒක ලස්සනයි. එයාට විෂුවල් ටැලන්ට් එකක් තියෙනවා කියල පැහැදිලියි.

මං- පහුගිය කාලෙම මේ විදිහට ෆෙස්ටිවල් වලින් තෝරපු චිත‍්‍රපටි ඔක්කොම වගේ යුද්ධට පසුබිම් කර ගත්ත ඒවා?

පාවුලෝ- ඒක ප්ලොට් එක විතරයි. රොටර්ඩෑම් වල කොච්චර ලංකාවෙ චිත‍්‍රපටි පෙන්නනවද? කර්ම කියන්නෙ යුද්දෙ ගැන චිත‍්‍රපටියක් නෙමෙයි.

මං- ඒත් කර්ම වලට ඒ තරම් පිළිගැනීමක් ලැබුනෙ නෑනෙ.

පාවුලෝ- හරි. ඒත් යුද්දෙ ගැන හැදුවා කියලා චිත‍්‍රපටි තෝර ගන්නෙ නෑ. ඒකෙ විෂුවල් කොලිටි එකයි වැදගත්. ගොඩක්ම ලංකාවෙ බංග්ලාදේශ් වල චිත‍්‍රපටිවල නිෂ්පාදන තත්වයන් හොඳට නෑ. ෆ්ලයින්  ෆිෂ් වල නිෂ්පාදන තත්වය හු`ගක් හොඳයි. ඒ තාක්‍ෂණික කාරණා ගොඩක් අදාල වෙනවා.

මං- ඔයා දන්නවා නේද මේ ෆෙස්ටිවල් වල තේරෙන ගොඩක් චිත‍්‍රපටි ඒ රටවල ජනතාව අතින් ප‍්‍රතික්‍ෂෙප වෙනවා කියල.
(මේ වෙද්දි පාවුලෝට ඉන්න පුටුව හු`ගක් අපහසුයි වගේ වුණා. එයා උත්තර දුන්නෙ එහාට මෙහාට ඇඹරෙමින් හරිම වෙහෙසකර හුස්ම පිටකරමින්)

පාවුලෝ- ඔව්. ඒක සංවර්ධනය වෙමින් පවතින රටවලට සීමා වෙච්ච එකක් නෙමෙයි. කොරියාව හොංකොං වගේ හු`ගක් දියුණු ප්‍රෙක්‍ෂාගාර තියෙන රටවලත් එහෙම වෙනවා.
ෆෙස්ටිවල් යනවා කියන එක හරියට ස්ටිග්මා එකක් කැළලක් වගේ. බෝරිං චිත‍්‍රපටි තමයි ෆෙස්ටිවල් යන්නෙ කියල හිතන්නෙ. ට්සායි මින්ග් ලියෑන් වගේ අධ්‍යක්‍ෂවරුන්ගෙ චිත‍්‍රපටි වුණත් එහෙමයි.

මං- මං කිව්වොත් මේ කලාප වලින් තේරෙන චිත‍්‍රපටිවල සමාන ලක්ෂණ දකින්න තියෙනවා කියල. උදා විදිහට ට්සායි ගේ වීරසේතුකල්ගෙ සමලිංගික ප‍්‍රවේශය ගන්න පුළුවන්.

පාවුලෝ- ට්සායි ගෙ එහෙම කියමු. ඒත් ‘හෝ ෂියෝ ෂියැන්’ ගෙ එහෙම නෙමෙයි. වීරසේතුකල් තරමක් දුරට ඔව්. ඒත් ට්සායිගෙ චිත‍්‍රපටි සමලිංගිකත්වයට සීමා වෙලා නෑ. ඒවා කතා කරන්නෙ පවුලෙන් ඒ පරිසරයෙන් පරාරෝපණය වුණු නූතන නාගරික ජීවිත ගැන. ඒ ගොල්ලො මනුස්ස සම්බන්ධතාවයන් හොයනවා. ඒත් කවුරුවත් තේරුම් ගන්නෙ නෑ.

මං- ඒත් චිත‍්‍රපටියක් බලද්දිම කෙනෙකුට කියන්න පුළුවන් මේක නං ෆෙස්ටිවල් ෆිල්ම් එකක්ද නැද්ද කියල. කොහොමද ඒක වෙන්නෙ?

පාවුලෝ- එහෙම තමයි. ඒත් විශ්වාස කරන්න ෆෙස්ටිවල් වලට කියල හදන හැම චිත‍්‍රපටියක්ම එහෙම හොඳ වෙන්නෙ නෑ. මගේ කොම්පියුටරේ තියෙනවා එහෙම ෆෙස්ටිවල් වලට හදපු චිත‍්‍රපටි තොග ගනන්. කටේ තියන්න බෑ.
හිතන්න ඔයා ලංකාවෙන් හරි තායිවානෙන් හරි තායිලන්තෙන් හරි ඇවිත් චිත‍්‍රපටියක් හදන්න යනවා. ඔයාට හදන්න  ඕන ආර්ට් ෆිල්ම් එකක්. ඒත් මේ වගේ චිත‍්‍රපටියකට නිෂ්පාදකයො එන්නෙ නෑනෙ.
එතකොට ඒ වගේ අය ෆෙස්ටිවල් වලට චිත‍්‍රපටි හදන එක අපරාධයක්ද? ගැටළුව තියෙන්නෙ ඒ චිත‍්‍රපටිය ඇතුලෙ ඔයාට කියන්න  ඕන දේ තියෙනවද කියන එක.

මං- ෆෙස්ටිවල් කියල ජොන්ර එකක් සිනමා කාණ්ඩයක් තියෙනවා කියන එකට ඔබත් එක`ගයි.

පාවුලෝ- ඔයාට එහෙම කියන්න පුළුවන්. ඒත් ඒකෙත් හොඳ සහ නරක චිත‍්‍රපටි තියෙනවා.

මං- ලංකාවෙ මේ විදිහට ඇගයීම් ලබපු චිත‍්‍රපටි ගත්තොත් මේ දිග රූප රාමු, මිනිස්සු පොඩියට පේන, ලොකු ලෑන්ඞ්ස්කේප් වගේ සමාන ලක්ෂණ දකින්න පුළුවන්. ඇත්තටම මේ කෘති වල රිද්මය අපේ ඇත්ත ජීවිත වල රිද්මය නෙමෙයි. පිටින් බලන් ඉන්න සිනමාවක් මේක. ළ`ග කැපෙන, සමීප රූප තියෙන සිනමාවක් මේ ෆෙස්ටිවල් වලින් ගන්නෙ නෑ.

පාවුලෝ- ඔයාට කියන්න පුළුවන් ඒක අන්තර් ජාතික සිනමා භාෂාව කියල. මං ඒක නෑ කියන්නෙ නෑ. මේක ලංකාවට විතරක් සීමා වෙලා නෑ.

මං- ඒත් ඉරානෙදි වඩාත් සමීප රූප වලට ඉල්ලූමක් ලැබෙනවා. පීඩනය දක්වන විදිහෙ.

පාවුලෝ- එහෙම නෙමෙයි. කිරොස්තාමිගේ තියෙනවා දුර රූප. මිනිස්සු පොඩියට. ඉස්සෙල්ලා ඔයා කිව්වා මේක තර්කොව්ස්කිට ළ`ගයි කියල. සමහර විට ඒක යුරෝපීය රසය වෙන්න ඇත. යුරෝපීයන් ආස ඇති ඒ විදිහෙ වේගයකට.

මං- මේකෙදි මිනිස්සන්ට රූප රාමුව ඇතුලෙ කිසි අගයක් ලැබෙන්නෙ නෑ. පසුබිම තමයි ලොකු විදිහට දක්වන්නෙ? මේක මං කියන්නෙ මානව විද්‍යාත්මක රූප රාමුවක් කියල. මනසක් අහිමි මිනිස්සුන්ව පෙන්නන.

පාවුලෝ- ඔව් ෆ්ලයින් ෆිෂ් ගත්තොත් ඒක හොඳට පේනවා.

මං- මේකම දැකලා එපා වෙන්නෙ නැද්ද?

පාවුලෝ- අනේ මං ආසයි ඒ වගේ රූප දකින්න. මට ඒකෙ තියෙන විශේෂය තමයි එතනදි ඔයාට පුළුවන් සැබෑ කාලය දනවන්න. ඒක කරන්න පුළුවන් සිනමාවෙදි විතරයි.
ක්‍රොනන්බර්ග්ගෙ අලූත් ෆිල්ම් එකේ ෂොට් එකයි ඒකෙ රිවර්ස් ෂොට් එකයි හරියට පාවිච්චි වෙනවා. මං ඒකටත් හු`ගක් කැමතියි. ඒක ඇතුලෙ අමුතු භයංකාරත්වයක් අරන් යන්න එයාට පුළුවන් වෙනවා.

මං- ඔයා හිතනවද ඒක කැනඩාවෙන් නැතුව අපේ වගේ රටකින් ආවා නම් ඔයා බාර ගනී කියල?

පාවුලෝ- අනිවාර්යෙන්ම.
හාහ්...  ඕක ලංකාවට වත් ඉන්දියාවටවත් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. දැන් ලතින් ඇමරිකාවෙත් මේ ෆෙස්ටිවල් සිනමාව කියන්නෙ මොකක්ද කියල ලොකු කතාවක් යනවා. මේ දිග දුර රූප රාමු ඒ රටටත් හු`ගක් නුහුරුයි.

මං- ඉරාන සම්මාන දිනන චිත‍්‍රපටිවල ඔලූවෙ ඉඳන් වහන් ඉන්න ගෑණු දාඩියට පවන් ගහන රූප රාමු බහුලයි. ගම්බද, නූගත් පීඩිත ගැහැණු තමයි මේවායේ චරිත වෙන්නෙ. ඒත් අස්ගර් ෆර්හාඩි සෙපරේෂන් වගේ ෆිල්ම් එකක් එක්ක මේක වෙනස් කරනවා. එයා ක්ලෝස් අප් වලට යනවා. මධ්‍යම පංතිය ගැන කතා කරනවා.

අන්තිමට සම්මාන ගනිද්දි එයාගෙන් අහනවා ඉරානෙ චිත‍්‍රපටි හදන්න තියෙන බාධාවන් ගැන. එයා කියනවා ‘මමත් ඉරානෙ කොටසක්. මට ඒකෙ අමුතු අමාරුකමක් දැනෙන්නෙ නෑ’ කියල. එයා නැවත ඇවිත් රජයෙන් සමාවක් පවා ගන්නවා. ඒත් ඔයාට හිතෙන්නෙ නැද්ද මේ පිටිපස්සෙ මොකක් හරි දේශපාලනික කතාවක් තියෙනවා කියල.

පාවුලෝ-ඉරානෙ කියන්නෙ මං ඒ තරම් හුරුපුරුදු කලාපයක් නෙමෙයි. ඒත් සෙපරේෂන් මං ගොඩක් කැමති චිත‍්‍රපටියක්. ඒක හරියටම ඒ සීමාවන් ඇතුලෙ හිඳිමින් සිනමාව ඇතුළට ප‍්‍රවිෂ්ට වීමක්. පුහු විප්ලවකාරී උත්සාහයක් නෙමෙයි. ආන්දෝලනාත්මක වීම තමයි කතා බහට ලක්වෙන්න තියෙන ලේසි විදිහ. ඒ වෙනුවට එයා ජීවත් වෙන චරිත, ජිවිත ඇතුලෙන් කතාව කියනවා. මං හු`ගක් අගය කරනවා ඒක. මේ විදිහෙන් අර ඔයා කිව්වා වගේ ෆර්හාඩි එයාගෙ රටට එයාගෙ ජනතාවට තියෙන සැබෑ ගැඹුරු ආදරය ප‍්‍රකාශ කරනවා. එයා ගැඹුරු තැන් වලට යනවා. ඒත් එයාගෙ රටේ පේ‍්‍රක්‍ෂකයත් එක්ක ඉන්න ගමන්. හරි ලේසියි දෙයක් කරන්න සීමාවන් අභියෝග කරන. රටක පෙන්නන්න තහනම් කලාප පෙන්නන්න. එතකොට ඔයාගෙ ෆිල්ම් එක තහනම් වෙනවා. ඒකෙන් ඔයා ප‍්‍රසිද්ධ වෙනවා. මං සෙපරේෂන් වලට කැමති ඒ සීමාවන් දරාගන්න එයාට තියෙන ධෛර්ය මට පේන හින්ද. ඒක  තමයි කරන්න අමාරුම දේ.

මේ වෙද්දි පාවුලෝ හොඳටම රතු වෙලා. වටපිට බල බල නැගිටලා යන්න හු`ගක්  ඕනකමෙන්.
‘මේ ඇති. නැත්තං අපි අනිත් අයට කරන්නෙ අසාධාරණයක්’ කතා කරන්න බලාගෙන හිටපු අනිත් අය දිහා බල බල එයා කිව්වා. මටත් මහන්සියි මේ ගුග්ලි දාන එක.

එක අතකට ඒක එයාගෙ මාර්කට් එක. මං ඒකෙ කන්‍යාභාවය හොයන්නෙ මොකටද?
සුබ රාත‍්‍රියක් පාවුලෝ.. මං නැගිටලා ආවා. හෘදයාංගම නොවුණු සංවාදයක හිස්කම දවස පුරාම මාව හෙම්බත් කළා.

-චින්තන ධර්මදාස