Sunday, April 28, 2013

TURN ON-TUNE IN-DROP OUT


මං ටෙරන්ස් මැකේනා එක්ක ටි‍්‍රප් එකක් යන ගමන් හිටියෙ. එයා ගැන මං හිතන්නෙ කිසි දෙයක් සිංහලට පරිවර්තනය වෙලා නෑ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මේ දැනුම් කලාපය ගැන අපේ රටේ සිතීමේ කලාප තාම වර්ධනය වෙලා නෑ. ඒත් සයිකඩෙලික්ස් වලින් (විකිපීඩියා තේරුම හැටියට ප‍්‍රජානනය හා සංවේදනය දියුණු කරන මනෝක‍්‍රියාකාරී රසායන. ලේසි විදිහට කිව්වොත් කංසා, එල්එස්ඞී, එක්ස්ටසි ආදී අපේ රටේ රාස්සයන්ට අන්දලා තියෙන මත් ද්‍රව්‍ය) වෙනස් යතාර්ථයන් තේරුම් ගැනීම සහ ඒ හරහා සිද්ද වුණු වෙනස් පරිණාමයන් ගැන මැකේනා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරනවා.

‘මචං ඒක ඇත්තක්. ඇමෙරිකාවෙ 1960 වෙනකල් කිසි ලොකු වෙනස්කමක් වුනේ නෑ. පොඩි පොඩි වෙනස්කම් විතරයි හිතාගන්න පුළුවන් වුණේ. ඒත් මචං 60න් පස්සෙ ඒ ගොල්ලොන්ගෙ ලොකු වෙනසක් වුණා. තනි එකක්, සමස්තයක කොටසක් විදිහට තේරුම් ගැනීමක් ආවා. ඒකෙන් සාමය ගැන නිදහස ගැන ලොකු අයිඩියාස් ආවා. මචං මේ වෙනස වෙන්නෙ ඇමෙරිකාවට හිපි මූව්මන්ට් එක හරහා ඩ‍්‍රග්ස් එන්න පටන් ගත්තම’ ඉස්තෙපාන් ටිකක් දේවල් ඇඞ් කළා.

‘ඔයා කියන්නෙ මේ සිලෝසයිබින් මෂ්රූම් (ස්වභාවික එල්එස්ඞී අඩංගු හතු විශේෂයක්) පිටසක්වළ ඉඳන් ආපු ඉහළ මට්ටමේ විඥාණයක් සහිත ජීවින් කොටසක් කියල. ඒවායෙ අරමුණ මානව වර්ගයා එක්ක සහජීවන පැවැත්මක් ගොඩනගා ගැනීම කියල’ ටෙරන්ස් මැකේනාගෙන් එක වෙලාවක ප‍්‍රශ්න කරනවා එයාගෙ අදහසක් ගැන.

මෙතනදි මැකේනා කියනවා එයා කතා කරන්නෙ පිටසක්වලින් පොලොවට ජීවය ආවා කියන කතාව නෙමෙයි ඒ වෙනුවට පිටසක්වල ඉඳන් පොලොවට ‘ඉන්ටෙලිජන්ස්’ (බුද්ධිමත්භාවය, උසස් විඥාණයක්) ආවා කියන කාරණය කියල. තව අවුරුදු සීයකින් ජීව විද ්‍යාව මීට වඩා වැඩුණු දවසක එහෙම මේ ජීවානු විශ්වය හරහා එන්න බෑ කියල හිතපු දවස් ගැන මිනිස්සු මතක් කරලා හිනාවෙයි කියල මැකේනා කියනවා.
‘සිලොසිබින් මෂ්රූම් සහ ඒවායෙ අපේ විඥාණය එක්ක තියෙන ගණුදෙනුව මීට වඩා සැලකිල්ලට ගන්න  ඕන කාරනයක්. මේක ගැන කතා කරන්න මේ අත්දැකීම තියෙන පිරිසක් ඉන්න  ඕන. පිළිගන්න එක හරි නොපිලිගන්න එක හරි වෙනම කාරණයක්. ඒත් අපේ විද්‍යාඥයො කීයෙන් කී දෙනාටද මේ මෂ්රූම් අත්දැකීම තියෙන්නෙ?’ එයා ආපහු ප‍්‍රශ්න කරනවා.

ටෙරන්ස් මැකේනා හරිම සුවිශේෂී අදහසක් කියනවා මානව පරිණාමය ගැන. තනිකරම පැතලි අතට අහුවෙන දේවල් උඩ විතරක් ගොඩනැගුණු පරිණාමවාදය ගැන අපි කතා කරන අදහස් වලට වඩා මැකේනාගේ අදහස නිර්මාණාත්මකයි. ඒක වෙන විදිහක තේරුම් ගැනීමකට, දෙබසකට ඉඩ හදනවා.

‘මේ මෂ්රූම් (හතු) පිටසක්වලින් ආවත් නැතත් මේ සයිකඩෙලික් හතු කෑමට එකතු වුණ තැන ඉඳන් අපේ පරිණාමයේ ගොඩක් වෙනස්කම් සිද්ද වුනා. සිලොසිබින් පොඞ්ඩක් කාපු ගමන් පෙනීම දියුණු වෙන්න ගන්නවා. මේක ඇත්තටම දඩයම් සාර්ථක වෙන්න ගොඩක් උදව් වුණා.  කෑම හොයා ගන්න එක වැඩි වෙනවා කියන්නෙ ප‍්‍රජනනය සාර්ථක වෙනවා කියන එක. ඒක තමයි පරිණාමයේ සෙල්ලම. කෑම එක්ක සිලොසිබින් ගත්ත ආදි මානවයන්ගෙ පෙනීම දියුණු වුණා. ටිකක් වැඩි පුර කාපු අයගෙ ලිංගික ශක්තිය, ප‍්‍රාණවත්වීම, ස්නායු පද්ධතිය එක්ක සම්බන්ද හැම තත්වයක්ම දියුණු වුණා’
එතකොට සිලොසිබින් වලින් සුරතාන්තය වළක්වනවා කියන කතාව බොරුද?

‘‘ඒ මං කියන මාත‍්‍රාවෙදි නෙමෙයි. යන්තම් දැනෙන ගානට සිලොසිබින් ශරීරගත වුනොත් ඒක වැඩ කරන්නෙ උත්තේජකයක් විදිහට. ඊට වඩා මාත‍්‍රාවන්ට ගියොත් මොලේ භාෂා නිර්මාණාත්මක හැකියාව දියුණු කරන්න පටන් ගන්නවා. ඒක හරියටම පෙනීම, ලිංගිකත්වය සහ පරිකල්පනය කියන තුනම එක්වර දියුණු කරන එන්සයිමයක් වගේ. මේ නිසා භාෂා මානවයා බිහිවෙන්න මේක හේතුවුණා. සිලොසිබින් ආදි මානවයාගේ මානසික සංවර්ධනයට බලපෑවා. මේක හරියටම පරිණාමීය එන්සයිමයක් වගේ’’
මෑත කාලෙදි පැරණිතම ශබද් තාක්‍ෂණයන් ගැන නැවත උනන්දුවක් ඇති වෙනවා. එක්තරා ලිපියක ඔබ කියනවා යම් මානසික තත්වයක් ඇතුලෙදි ඔයාට පුළුවන් කියලා මේ ශබ්ද තරංග පාවිච්චි කරලා ඒ අතීතය ආපහු දකින්න?

‘‘ඒක ෂාමනිස්ම් (වෙනස් වෙනස් මනෝ යතාර්ථයන් අත්දකින ආධ්‍යාත්මික පුහුණු වීම්) සම්බන්ද වැඩක්. ඞීඑම්ටී ශාකය මෙතනදි මූලික වෙනවා. ඞීඑම්ටී කියන්නෙ බොරු නියුරොට‍්‍රාන්ස්මිටර් එකක්. ඒකෙන් ශබ්දය රූපයෙන් දකින්න හැකියාව ලැබෙනවා. සංගීත සංකල්පනා නෙමෙයි ඒත් පිංතූර වලින් වෙන ගොඩඉනැංවීම් විදිහට ශබ්දය දකින්න ඉඩ ලැබෙනවා. මට හිතෙන්නෙ මේක අපේ භාෂා පරිණාමයේ තවත් ඉදිරි තත්වයක්. අහන භාෂාවක් වෙනුවට දකින භාෂාවක් දක්වා මාරු වෙන එක. භාෂාව ශබ්දයත් විදිහට තියේවි. ඒත් අපිට ඒකෙන් විෂුවල් අදහසක් දැනෙන්න ගන්නවා. මේක ඇමසෝන් වල ෂාමන් වරු කරපු දෙයක්. ඒ ගොල්ලොන්ගෙ සිංදු ශබ්ද නෙමෙයි. ඒවා පිංතූරමය අත්දැකීමක් ශබ්ද සංඥා වලින් කියනවා වගේ දෙයක්’’

මැකේනා ජීවිතේ වැඩි කාලයක් ගත කළේ වනගත ගෝත‍්‍ර ගැන අධ්‍යයනය කරන්න. එයා ඒ හැම ගෝත‍්‍රයකම තියෙන සයිකඩෙලික් අත්දැකීම් එකතු කළා. ඒවා ගැන පර්යේෂණ කලා. කොළ වල ඉලක්කම් වලින් කරන ප‍්‍රමාණාත්මක, ගුණාත්මක පර්යේෂණ සීමා වලට වඩා එහා ගිහින් ජීවිතේ අත්දැකීමක් විදිහට එයා මේ පර්යේෂණ කළේ. ටෙරන්ස් මැකේනාව අඳුන්නලා දෙද්දි විවිධ වූ නම් පාවිච්චි කරනවා. මං හිතන්නෙ මේ හැම නමක්ම අපිට අලූත් විෂයක්. මැකේනා එත්නො-බොටනිස්ට් කෙනෙක් කියලා එක විදිහකට කියනවා. ඒ කියන්නෙ මිනිස්සු සහ පැළෑටි අතර සම්බන්ධතා හොයාගෙන ගිය පර්යේෂකයෙක් විදිහට. මැකේනා ඇමසෝන් ගෝත‍්‍ර අතර මායා බල සහිත පැළෑටි ආදිය ගැන කරපු අධ්‍යයන අයිති වෙන්නෙ මේ කොටසට.

වෙන විදිහකට කිව්වොත් එයා ‘සයිකොනට්’ කෙනෙක්. ඒ කියන්නෙ විවිධ ආකාරයෙන් තමන්ගේම මනස ඇතුලට රිංගලා එහි විවිධ තත්ත්ව , අවධි, වෙනස්කම් අත්දකින්නෙක් සහ ඒ ගැන කතා කරන්නෙක්. රසායන වලින් වෙන්න පුළුවන්, වෙනත් පුහුණුවීම් වලින් වෙන්න පුළුවන් එයාගෙ පර්යේෂණ කලාපය වෙන්නෙ තමන්ගේම විඥාණය. සීමිත ඉරි ගහපු කොටු වලින් එහා තවත් ඒකෙ ඇවිදින්න තියෙන තැන් හොයාගෙන යන මනස් විශ්වයේ ගගනගාමියෙක්. මං කියන්නෙ මේ යුගයේ යෝගියෙක්. සන්‍යාසියෙක්. එයාගෙ තියෙන පැරණි මානව ශිෂ්ටාචාර පිළිබඳ අධ්‍යයන, මානව විද ්‍යාත්මක පර්යේෂණ, සයිකඩෙලික් අත්දැකීම් සහ භාෂාවේදය වගේ විෂය පථ ගානක් එකට සම්බන්ධ කරමින් නව අදහස් මුදාහරින්න තියෙන සුවිශේෂ දක්ෂතාවය නිසා එයාගෙ අලූත් අදහස් වලින් පළල් කතිකා ඇතිවුණා. අධ්‍යාත්මවිද්‍යාව, භාෂාව, ඉතිහාසය, පැරණි ශිෂ්ටාචාර, මනුස්ස විඥාණය ගැන වෙනස් ප‍්‍රවාද වගේම එයාගෙ සංකල්පයක් වුණු නව්‍යබවේ න්‍යාය (නවල්ටි තියරි) වැනි සුවිශේෂ දැනුම් පද්දතියක් එක්ක ගත කළ ඇමරිකානු දාර්ශනිකයෙක් මැකේනා.

මේ නවල්ටි තියරි කියන අදහස හරි අපූරුයි. එයා කියන විදිහට අපේ පැවැත්ම ඇතුලෙ ද්වන්ධ සටනක් තියෙනවා. ඒක මානව ශිෂ්ටාචාරය පුරාම එන විදිහ. එයා මේ න්‍යාය පැහැදිලි කරන්න චීන ඊ-චිං ශාස්ත‍්‍රය පාවිච්චි කරනවා. ඊ-චිං මිතොලොජි එකත් එක්ක නූතන භෞතික විද්‍යාව එකතු කළොත් කොහොම වෙයිද කියල මැකේනා මේ හෙලිදරව් කර ගැනීම ඇතුලෙ අහනවා. මානව පැවැත්ම තීරණය වෙන්නෙ අක්ෂ දෙකක් මත. එකක් පැරණි පුරුදු ආකාරයෙන්ම තීරණ ගනිමින් ඒ සීමිත ලෝකය තුල ආරක්‍ෂාකාරී පැවැත්ම. දෙක අලූතෙන් නැවත සමබන්ධතා හඳුනාගනිමින් අවදානම්කාරී නොදන්නා ලෝකය තුලට ඇතුල් වීම.

ශිෂ්ටාචාරයේ ගමන තීරණය වෙන්නෙ මේ දෙක අතරින්. කොහොම වුණත් අන්තිමට අලූත් එක තෝරා ගැනීම කියන කාරනේ ජයග‍්‍රහණය කරනවා කියල මැකේනා කියනවා. අපි කොයි විදිහකට ජීවත් වුණත් අපි අන්තිමට හැරිලා බලන කොට අපි අලූත් තැනකට ඇවිත් ඉන්නවා. පරිණාමය හැමතිස්සෙම තියෙන්නෙ ඉදිරි අතට.

නිව්ටෝනියානු කාලය ගැන අදහස මැකේනා විස්තර කරනවා. කාලය කියන එකට තියෙන අදහස තමයි ශුද්ධ වූ ගතවීම වගේ එකක්. බටහිර විද්‍යාවෙ කාලය පවතින එකම තැන මොකක්ද කියල බලන්න. ඒ එකවිට හැම දෙයක්ම සිද්ද නොවෙන අවකාශයක විතරයි. එකකට පස්සෙ තව එකක් වෙනවා නම් මිසක් කාලය කියන එකට පැවැත්මක් නෑ. කාලයට ගුනයක් නෑ. ඒක ගතවීමක් විතරයි. මේක හරි සුමට ගතවීමක්. අවුරුදු 500 ගානක් ගතවුණු මේ අදහස වෙනස් වුනේ අවුරුදු 100ට විතර කලින් අයින්ස්ටයින් අතින්.  දැවැන්ත ගුරුත්වයන් නිසා මේ සුමට බව විශාල වශයෙන් විපරීත වෙන්න පුළුවන් කියල අයින්ස්ටයින් පෙන්නලා දුන්නා. දැන් අපි ඉන්නෙ තරමක් වක් වූ කාල අවකාශයක. අයින්ස්ටයින්ට පස්සෙ කාලය තව දුරටත් සුමටව එක විදිහකට ගලාගෙන යන්නෙ නෑ.

මැකේනා කියන විදිහට අපි හැම කෙනෙක්ම තනි තනි ගවේෂකයෙක්. ජාතියකට රටකට ආගමකට අයිති වෙනවට වඩා අපි ලොකු මානව ශිෂ්ටාචාරයක කොටසක්. අපි අපේ මානව වර්ගයා නියෝජනය කරනවා. ඒ වෙනුවෙන් කරන්න තියෙන අවශ්‍යම සහ වටිනාම වැඬේ නැත්තං වගකීම අලූත් අදහසක් ලෝකෙට අරන් එන එක කියල මැකේනා කියනවා. හොඳ අදහස් නැතිකමෙන් ලෝකය අවදානමක තියෙන්නෙ. අපේ ලෝකෙ තියෙන ලොකුම අර්බුදය වෙන්නෙ සවිඥාණක නැති කම කියන එකයි එයාගෙ අදහස. ඒ හින්දම මැකේනාගේ හැම අධ්‍යයන කාර්යක්ම කැප වෙන්නෙ ද්‍රව්‍යවාදී, අපෙන් බාහිර භෞතිකයක පැත්තෙන් විස්තර කරපු දැනුම් ඉතිහාසයක් මානව සවිඥාණකබව ඇතුලෙන් ආපහු කියවන එක.

‘පරිකල්පනය තමයි ඉතිහාසයේ එකම අරමුණ, දිනාගැනීම වෙන්නෙ. මට පේන විදිහට කල්චර් එක කියන්නෙ සාමූහිකව අපේ සිහින අත්පත් කර ගැනීමේ උත්සාහයන් වලට’
-ටෙරන්ස් මැකේනා

සයිකඩෙලික් වලින් දෙන පණිවුඩය වෙන්නෙ කල්චර් නැත්තං සංස්කෘතිය කියන එක ආපහු පද්ධතියක් විදිහට සෙට් කරන්න පුළුවන් හැ`ගීම් සහ ආධ්‍යාත්මික වටිනාකම් විදිහට. දැන් ඒක සිද්ද වෙලා තියෙන්නෙ නිෂ්පාදන- ප්‍රොඩක්ට්ස් පදනම් කරගෙන. ඒ පනිවුඩය ඇත්තටම ඇ`ග හිරි වැටෙන විදිහෙ එකක්.

අපි ගොඩක් අය හිතන් ඉන්නෙ ආණ්ඩුව අපිට ආදරේට මේ මත්ද්‍රව්‍ය (සයිකඩෙලික්ස්) තහනම් කරනවා කියල. මැකේනා කියනවා මාර ආදරේ ආණ්ඩුවක් ඔයා මේවා පාවිච්චි කරලා තුන්වෙනි තට්ටුවේ ජනේලෙන් බිමට පනී කියල බයෙන් මේවා තහනම් කළා කියල හිතන්න තරම් බොළඳ වෙන්න එපා කියල. ඒවා නීති විරෝධී වෙලා තියෙන්නෙ ඊට වඩා බරපතල කාරණයක් හින්ද. සයිකඩෙලික්ස් වලින් හැදිලා තියෙන මතවාදී ආකෘති සහ සංස්කෘතිකව හදලා තියෙන චර්යාමය ආකෘති, තොරතුරු ක‍්‍රියාවලීන් දිය කරලා අරිනවා. ඒකෙන් ඔයා එක තැනකට ගේනවා මෙතුවක් දන්නවා කියලා හිතපු හැම දෙයක්ම වැරදි වෙන්න පුළුවන් කියල. ඒක දේශපාලනික බලය මූලික තැනක වැඩ කරන අයට භයානකයි.

මැකේනාගේ මං ආසම අදහසත් එක්ක මේ ටි‍්‍රප් එක ඉවර කරනවා.

‘සොබා දහම ආදරේ කරන්නෙ ධෛර්යයට. ඔයා කැපවීමක් පෙන්නනවා නම් සොබා දහම ඔයාට ප‍්‍රතිචාර දක්වන්නෙ තියෙන බාධක ඉවත් කරලා. කවදාවත් හිතා ගන්න බැරි තරම් ලොකු හීන දකින්න. ලෝකය ඔයාව පාගලා දානවා වෙනුවට ඉහළට ඔසවාවි. මේක තමයි රහස. මේක තමයි අපි කියන බුදුන්, ලෝකය තේරුම් ගත් මේ පැවැත්මේ ස්වභාවය විස්තර කරපු හැම චරිතයක්ම තේරුම් ගත්ත රසායනය. මේ තමයි දිය ඇල්ල යට කරන ෂාමනික නර්තනය. මේක තමයි මැජික් එක. නොදන්නා අඳුරු පාතාලය ඇතුලට ඔබව නිදහස් කළොත් ඔබ ඇද වැටෙන්නෙ පිහාටු අතුල යහනාවක් උඩට.

(ටෙරන්ස් මැකේනා සංවාද ඇසුරෙන්)
චින්තන ධර්මදාස

Sunday, April 21, 2013

කිකිළිද? බිත්තරේද?

‘ඔබ හිතන් ඉන්නෙ බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඔබ ජීවත් වෙනවා කියලද? කළු මුඩුක්කුවක් මැද්දෙන් ඇඳිරි වෙලාවක ඇවිදන් යන්න. උස මහත කල්ලෙක් එක්වරම කඩා පැනලා ඔබව බිම පෙරලාගෙන ඔලූව පාරෙ හප්පගෙන හප්පගෙන යද්දි ඔබ සිහිනයෙන් ඇහැරේවි’ කියල චාර්ල්ස් මැන්සන් එක වෙලාවක කියනවා.

ලයිෆ් ඔෆ් පායි චිත‍්‍රපටිය බැලූවොත්  ‘මං ජීවත් වුනේ ඔරුවේ අනික් කොනේ ව්‍යාඝ‍්‍රයා හිටපු නිසා. මට අවදියෙන් ඉන්න සිද්ද වුණා’ කියල පිසින් පටෙල් කියනවා.

මට හිතෙන්නෙ බොදු බල සේනාව දිහා බලන්න කලින් අපිට මේ හිතීමේ වංගුව පහු කරන්න වෙනවා කියල. ඒක ‘ගැටළුවක්, වහා විසඳුම් සෙවිය යුතු’ යන විදිහෙන් හිතද්දි අපි මේ ප‍්‍රවණතාවය සමාජයෙන් වියුක්ත කරලා අපිට  ඕන විදිහට හුදකලා කරලා ගන්නවා, හරියට බටහිර වෛද්‍ය විද්‍යාවෙදි වගේ. එතනදි අපි උවමනාවෙන් මග අරින ඇත්තක් තියෙනවා. බොදු බල සේනා කියන්නෙ වරින් වර ප‍්‍රකාශමාන වෙන ඒ ඇත්තෙ මුහුණුවරක් විතරයි.

මේ අපි ජයග‍්‍රහණය කළා කියන යුද්දයේ පසු ප‍්‍රතිඵල. ඇත්තටම එක විදිහකින් මේ පසු සමාජ මානසික ප‍්‍රතිඵල යුද්දෙට වඩා භයානක වෙන්න පුළුවන්. යුද්දෙන් පස්සෙ අපි හිතුවෙ උතුරු නැගෙනහිර පලාත් ටිකත් එක්ක වඩා ලොකු ශ‍්‍රී ලංකාවක් බුක්ති විඳින්න. ඒත් ඇත්තටම අපි බුක්ති විඳින තත්වය මොකක්ද? අපි කන්නෙ මොනවද? අපි බලන්නෙ මොනවද? අපි කියවන්නෙ මොනවද? අපි රස විඳින්නෙ මොනවද? ඇත්තටම අපි හංගොල්ලො ගොළුබෙල්ලො ගානට ඇකිළිලා නෙමෙයිද? බොදු බල කියන්නෙ ඒ ඇකිලීමේ ප‍්‍රකාශනයක්, අනෙක් පැත්තට ප්‍රොටෙස්ට් එකක් නොවෙන්නෙ ඇයි?

අපි යුද්ද කළේ දෙමළව මට්ටු කරන්න. ඒකෙන් අපි සිංහල කියන ලොකු එකට අයිති වුණා. එච්චර කාලයක් ‘කවුරුවත් නොවුණු’ නන්නත්තාර ජන රොත්තක් වුණු අපි යුද්දෙදි සිංහල කියන මාර පොරවල් ටිකක් වුණා. හොඳ ඇල්කොහොලික් ආතල් එකක් වුණු ඒ පොදු ජන ආවේශයේ කෙලවරදි අපිට තව ටිකක් ලොකු රටක් අයිති වුණා. බිම ලොකු වුණා. ඒත් අපි පොඩි වුණා. දෙමළ ශරීර ගණනක් යුද්දෙන් අඩු වෙන්න ඇති. ඒත් අපි දේශීය වෙද්දි ඒ ගොල්ලො අන්තර්ජාතික වුණා. වෙන විදිහකට නම් මනස, පැවැත්ම විශාල වුණා. ඇත්තටම යුද්දයක් දිනනවා කියන්නෙ හොඳ අයිරනි එකක් කියල මට හිතෙන්නෙ.

යුද්දෙදි කාට හරි එරෙහි වීමෙන් නිර්මාණය වුණු අනන්‍යතාවය ඒ අනිත් එකා නැති වුණාම කනාටු වෙන්න ගන්නවා. ඒ එරෙහි වීම, ගැටීම ඇරෙන්න වෙන කිසි දෙයක් නිර්මාණය වෙලා නෑ. ඒ ආතතියට, පෙලීමට අපි ඇබ්බැහි වෙලා. ජනතාවක් විදිහට අපි පරපීඩකකාමී. ඉතින් දෙමළට පස්සෙ මුස්ලිම්. ඊට පස්සෙ ක‍්‍රිස්තියානි. ඊට පස්සෙ උඩරට පහත රට. අපේ අනාගතය පැහැදිලියි මගෙ හිතේ.

බොදු බල කියන්නෙ මේ සමාජ සංස්කෘතික අවකාශයට (හිස්තැනට) අත පෙවීමක්. ලංකාවෙ උගත් බුද්ධිමත් ජනතාව කාලයා විසින්ම දේවල් වෙනස් කරන තුරු බලන් ඉද්දි ඒ යුද්දෙ නැතුව පාළු ජනතාව පාරට බහිනවා. ඒක පිටිපස්සෙ තියෙන දේශපාලනික උවමනාවන් සහ බලයන් ගැන සාකච්ඡුාව මට අනුව හරිම පටු කතා බහක්. ඊට වඩා ප‍්‍රගතිශීලී ගොඩක් කාරණා මං මේ කඩාපැනීම එක්ක දකිනවා.
එකක් මේක සංස්කෘතික අරගලයක් වුණු එක. මේක යම් කිසි ආකාරයක ජීවිතයක්, පිළිවෙලක්, ඒකත්වයක් ඉල්ලා සිටින අරගලයක් කියලයි මට දැනෙන්නෙ. දේශපාලනය වෙනුවට මිනිස්සු ඉල්ලන්නෙ ආගමක්. එ් ආගමෙන් තමන්ට සදාචාරවත් අනන්‍යතාවයක්. ඒ ඇරෙන්න වෙන කිසිම අනන්‍යතා අවකාශයක් රටේ ඉතුරු වෙලා නෑ. එකම දේ දේශපේ‍්‍රමය හා දේශද්‍රෝහය විතරයි.

මේ ගැඹුරු සමාජ මානසික තත්වයන් පැත්තෙන් මිසක් බොදු බල කියන ව්‍යාපෘතිය කොහෙත්ම සීරියස් වැඩක් නෙමෙයි. ඒක පොඩි තාවකාලික කැම්පේන් එකකට වඩා එහා යන්න නියමිත නෑ. ඒත් බොදු බල නිසා වෙන ගොඩක් දේවල් එලියට එන්න ගන්නවා.

එකක් ලංකාවෙ බුද්ධාගම මේ වෙද්දි නැත්තටම නැති වෙලා ඉවරයි කියන එක. බුද්ධාගම කියන එක බිත්තරය දක්වා පහළ වැටෙද්දි කිසිම හාමුදුරු කෙනෙකුට හෝ බෞද්ධ අධිකාරියකට බැරි වෙනවා ඒ වෙනුවෙන් පෙනී ඉන්න. අඩුම තරමෙ ප‍්‍රධාන සංඝනායකවරුන් අත්සන් කරපු ප‍්‍රකාශනයක් වත් එලියට ගේන්න තරම් ලංකාවෙ බුද්ධාගම ශක්තිමත් නැති වෙලාවක්. බොදු බල කියන්නෙ අපේ රටේ බුද්ධාගම ඉවරයි කියන මළබෙරේ හ`ඩ. නිකමට හිතලා බැලූවොත් කර්මය, පටිච්ච සමුප්පාදය වගේ බුද්දාගමේ සාරාර්ථයන්  සාකච්චා කරන්න ආයිමත් ඉඩක් තියෙයිද? ආධ්‍යාත්මික මාර්ගයක් විදිහමට බුදුදහම කැන්සල් වෙලා ඒක වාර්ගික අයිතීන් ගැන බල ව්‍යාපෘතියක් දක්වා ලඝු වෙනවා. මෛත‍්‍රිය, නිදහස වගේ බෞද්ද ආචාර ධර්ම කණපිට පෙරලෙනවා.

ඉස්තෙපාන් මට ළ`ගදි හොඳ කතාවක් කිව්වා. ‘මචං බීබීඑස් එකට විරුද්දව ඉටිපන්දම් ප්‍රොටෙස්ට් එකක්වත් කරන්න දෙන්නෙ නෑ. මචං ප්‍රොටෙස්ට් කරනවා කියන්නෙ මාර වැදගත් අයිතියක්. ඒක කිසි ගානක් නැතුව මෙහෙම ඉවර වෙන කල් හැමෝම බලන් ඉන්නවා’

ඌට ඒක මාර අවුල්. ඒත් මට හිතෙන්නෙ වෙන විදිහකට. මේ අයිතීන් ගැන, නිදහස ගැන, අධ්‍යාපනය ගැන තියෙන අදහස් මේ රටේ ජනතාවට ඇත්තට අදාල නෑ කියල. නිදහස එකපාරට ඇදන් වැටුන වගේ මේ හැම අදහසක්මත් නීතියක් විදිහට කඩන් පාත් වුණා මිසක් ඒවායෙ ඓන්ද්‍රිය සම්බන්දයක් නෑ අපේ රටේ ජීවිත එක්ක. ඇත්තටම ඒවා හිස් වචන. බොදු බල වගේ ව්‍යාපෘති වලින් ඔප්පු වෙන එක ඇත්තක් ඒක.
ලංකාවෙ මේ වෙමින් යන දේට මොකක්ද කරන්න පුළුවන් කියල මං ළ`ගදි දවසක විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්ගෙන් ඇහුවා. අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක බද්ධ තැන් වලින් මේ අවුල ගැන මිනිස්සුන්ට කියන්න ගන්න  ඕනි කියල මිනිහා බරපතල විදිහට කල්පනා කරලා කිව්වා. හිනාවෙන්න බැරිකමට මට ඇ`ඩුණ. දැන් ඒ වගේ මාතෘකා ගැන සංවාද කරන්නෙ ආණ්ඩුවෙ චැනල්. ඒ තරමට ඒවා පිරිත් වගේ නොතේරෙන්න ඈතින් කියන්න  ඕන වචන මිසක් මෙහේ භාවිතාවන් නෙමෙයි. අධ්‍යාපනයට සෞඛ්‍යයට කලින් මිනිස්සුන්ට  ඕන ජීවිතයක්. අනන්‍යතාවයක්. ආණ්ඩුව විකුණගෙන කමින් ඉන්නෙ ඒක.

මේක ලොකු හිඩැසක්. මෙච්චර කාලයක් සමාජ කණ්ඩායම් සහ දේශපාලන කල්ලි කරපු සංවාද, මණ්ඩප හැම එකක්ම පේල් කියල ඔප්පු වෙන තැනක් මේක. පිටරටින් දෙන ආධාර වගේ ලැබෙන අයිතීන්, බුක්තීන් අපේ ජීවිත වලට ගැලපෙන තැනක් දක්වා අරන් එන්න කවුරුවත් වැඩ කරලා නෑ. විශේෂයෙන්ම යුද්දෙ සහ යුද්දෙන් පස්සෙ කාලෙදි මිනිස්සුන්ගෙ භාව කලාපයන් සහ සිතීමේ කලාපයන් දියුණු කරන්න වැඩියෙන් වැඩ කිරීම වෙනුවට හැමෝම තෝරගත්තෙ නිහැ`ඩියාව. ඊට පස්සෙ ඒ නිහැ`ඩියාවෙ ප‍්‍රතිඵලයක් වුණු කෙලවරක් නැති හිස්කම. අරමුණක් නැති තෝන්තු සමාජ ජීවිතය. එතනදි බොදු බල කඩා පැනීම සාධනීය දෙයක් වුනා කියලයි මට හිතෙන්නෙ.

‘ගෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිශ්ශබ්දතාවය විසින් ඇහැරවනු ලබයි’ කියල මෝරා නාට්‍යය කරද්දි ජයන්ත චන්ද්‍රසිරි කිව්වා.

උදා විදිහට බොදු බල ව්‍යාපෘතිය එක්ක අවදි වුණු සංවාද, කතිකා, ප‍්‍රතිචාර එක්ක සංස්කෘතික අවකාශයෙ ගැඹුරු නැතත් යම් අදහස් සංවාදයක් පටන් ගන්නවා. පැණියන්ගෙ අඩවියක් වෙලා තිබුණු ෆේස් බුක් එක යුද්ද පිටියක් වෙනවා. වඩා යහපත් සමාජ අවකාශයක් වෙනුවෙන් හෘදයාංගම, දියුණු අදහස් මැදිහත්වීම් සිද්ද වෙන්න පටන් ගන්නවා.

‘මේ මොහොතේ මම ලජ්ජාවෙන් විඳවමි. මගේ ආණ්ඩුව ගැන මට ලැජ්ජයි. මගේ යාළුවන් ගැන මට ලැජ්ජයි. මගේ රට ගැන මට ලැජ්ජයි. ඒ සියල්ලටම වඩා, මං ගැන මට ලැජ්ජයි. මගේ රට ගැන මේ විදිහට කිසි දවසක මට සිතී නැත. මා ගැන මෙසේ සිතෙති යි කිසි දවසක මට සිතී නැත. එහෙත් දැන් එසේ මට සිතෙයි. එසේ සිතීම, මගේ සිත පාරයි’
-ඬේවිඞ් බ්ලැකර්

විශේෂයෙන්ම ඒක ජාති ආගම් සංස්කෘතීන් ආහාර රටා චර්යා රටා එක්ක සම්බන්ද වෙමින් යන සංවාදයක් (නැත්තං විසංවදයක්). මේ ගැටීම ඇතුලෙ යම් වැදගත් ගොඩනැංවීමක් සමාජයෙ සිද්ද වෙනවා කියලයි මං දකින්නෙ. මතවාදයක් හැටියට බොදු බල අන්තවාදී සීමිත අදහස් පරාජය කිරීමේ වැඬේ ඇතුලෙ එක්තරා ඉඩක් විවෘත වෙනවා මං දකිනවා. අරමුණක්, දිශාවක්, ආරම්භයක් ලබා දීම නිසා බොදු බල මේ සංස්කෘතික පෙරළියෙදි වැදගත් කොටසක් ඉෂ්ට කරනවා. ඒක හරියටම ව්‍යාඝ‍්‍රයා අනෙක් පැත්තෙන් ඉන්න එක පිසින්ට වැදගත් වුණා වගේම.

මෑතක බොදු බල ව්‍යාපෘතියට විරුද්දව අයිතීන් සහ නිදහස වැනි දියුණු සංවාද ඇතුලෙ ජීවත් වෙන (ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සිහිනය) පිරිසක් ඉටිපන්දම් විරෝධයක් පටන් ගන්නවා. මේ විරෝධය ඇතුලෙ තියෙනවා මං කලින් කියන්න උත්සාහ ගත්ත හිඩැස, පරතරය ගැන කාරණය. බොදු බල ව්‍යාපෘතියට විරෝධයක් පිණිස ඉටිපන්දම් පත්තු කරන්න යන එක කොයි තරම් අදේශපාලනිකද? ලේසියෙන්ම ඒක ක‍්‍රිස්තියානි මූලධර්මවාදී වගේ කෝට් එකක් අන්දලා උඩ දදා ගහන්න බොදු බලට පුළුවන් වෙනවා. අනිත් අතට ඒක කෙරුණු දවස. අවුරුද්ද ඔන්න මෙන්න සිකුරාදා කියන්නෙ මිනිස්සු බොදු බල බල්ලට දාලා නෝ ලිමිට් වල පොරකන දවස. කාටවත් බොදු බල මතක තිබුනෙ නෑ. අපේ මිනිස්සුන්ගෙ චර්යාමය වෙනස ගැන තියෙන නොදැනුවත්කම මේ විරෝධය කාගෙවත් අවධානයට ලක් නොවෙන්න හේතුවක් වෙනවා. එතනදි විරෝධය පෑමේ අයිතිය වගේ දේවල් වලින් බොදු බල අසාධාරණ බව තහවුරු කරන්න යාම ආදී මේ හැම එකක් එක්කම මේ වෙලාවෙ මේ සමාජෙ සෙමියොටික්ස් (සංඥාර්ථ) තේරුම් ගන්නත් ඒ අනුව වඩා නිර්මාණශීලී ප‍්‍රවේශයක් ගන්නත් අපේ ඇක්ටිවිස්ට්ලට තියෙන නොහැකියාව පැහැදිලි වෙනවා. ඒක සීරියස් ප‍්‍රශ්නයක්. පිට්ටනිය වෙන තැනක තියෙද්දි අපි වෙන තැනක පිත්ත වැනුවට වැඩක් වෙන්නෙ නෑ. ලකුණු නෑ.

බොදු බල ආරම්භයක් විදිහට අරගෙන අපි කතිකාව වඩාත් පුළුල් කරගන්න  ඕන කියන එකයි මගේ අදහස. ඒ වෙනුවට බොදු බල සීමාවක් විදිහට අරගෙන මේ සංවාදයට ඇතුල් වෙන එකෙන් අපි තවත් පුංචි වෙනවා. ඊට පස්සෙ ජෝක් වෙනවා. බිත්තර ගැහුවට කමක් නෑ අපි කිකිළි ගැන කතා කරමු.

-චින්තන ධර්මදාස

Tuesday, April 9, 2013

තේරුණද දන් නෑ

තේරුණද දන් නෑ කියන්නෙ දීප්ති ස්ටයිල් එකට කතා මැද්දෙ පාවිච්චි කරන පොඩි දීප්තියානු කෑල්ලක්. ඒක මේ වෙද්දි ගොඩක් අය පාවිච්චි කරන ෆැෂන් එකක් වෙලා. කතා මැද්දෙ ෂර්ට් එක අර අසල්වැසියෝ ටෙලියෙ හේමසිරි ලියනගේ වගේ උරහිසින් උස්සන ගමන් ‘තේරුණද දන්නෑ’ කියල අහන්නෙ මාර ආඩම්බරේට. ඒකට මං කැමතියි. දීප්තිගේ අදහස් වෙනුවට මේ වගේ ඉගිබිගි වලින් ‘දේශපාලනය කරනවා කියන’ චරිත ඉන්ෆ්ලූවන්ස් වෙන එක.  ඕනමෙන්ටල් ෆැෂන් (ටැටු, පියර්සින් වගේ) එකක් වෙනවට වඩා බිහේවියරල් ෆැෂන් (චර්යාමය) එකක් වෙන එක මොනා වුනත් හොඳයි. ඉතින් මේ කෑල්ල මාත් හෙඩිමක් විදිහට පාවිච්චි කරන්න හිතුවෙ ඒකෙ තියෙන මේ ෆන් එක හින්දමත් ලියන්න යන අසම්බන්ධිත කතා ටික සමස්තයක් විදිහට කාටවත් ‘තේරුණද දන් නෑ’ වෙන්න පුළුවන් හින්දමත්.

සුචරිත ගම්ලත් මැරුණ. ඩයිනෝසෝරයන් වඳවෙලා යන එක අහම්බයක් නෙමෙයි. මං හිතන්නෙ මහා ආඛ්‍යාන අවසන් වීම අනිවාර්යයක්. දැන් ලෝකෙ අයිති කූඹින්ට සහ කැරපොත්තන්ට. ඒක මං කියන්නෙ අවාසනාවට ඇත්ත කතාවක් වගේ හැ`ගීමකින් නෙමෙයි. ඒක දැනුම් පරිණාමයෙ එක අදියරක් විදිහට. ඉන්ටර්නෙට් එකත් එක්ක දැනුම විෂය සන්දර්භ ගණනාවක් පුරා පැතිරුණු සංයුක්ත එකක් වීම ගැන මේ පිළිගැනීම සහ අවශ්‍යතාවය වෙනස් වෙනවා.
 සුචරිතට තිබුනෙ විශාල අවකාශයක පැතිරුණු දැනුමක්. ඒක එයා පාවිච්චි කළේ හරිම පටු දේශපාලන අවකාශයක් ඇතුලෙ කියල මට හිතෙනවා. විශේෂයෙන්ම ආර්ට් වලදි සුචරිත දේශපාලනය පාවිච්චි කළේ හරියට එක්ස් එක ෆිල්ම් ගැන කතා කරද්දි කරනවා වගේ ඌනිතවාදී දෘෂ්ටියකින්.  රොමාන්තික, ෆැන්ටසි, මිත්‍යාමය අවකාශ වල සැරිසරන ජීවිතය සුචරිතට අහිමි වෙනවා. අයිඩියොලොජිය විසින් එයාගෙ වර්ධනය දරුණු විදිහට සීමා කරනවා. භාෂාව ගැන විශාරද දැනුමක් තිබුණ සුචරිතට පාලි සංස්කෘත වගේ පැරණි ඉන්දියානු සාහිත්‍යය ගැන ලොකු කියවීමක් තිබුණ. ඒත් ඒ වියමන් වල ආත්මය විශේෂයෙන්ම පාලි සංස්කෘත වගේ භාෂාවක ටෙක්නිකල් එකට එහා තියෙන ලොකු කෑල්ල වෙන්නෙ ආධ්‍යාත්මික අර්ධය. සුචරිතට ඒ දොර එයාගෙ භෞතිකවාදී දෘෂ්ටිය විසින් වහලා දානවා. ඒ හින්දම විෂය ජීවිතයක් විදිහට අත්දකින්න සහ ඒකෙ ලයිව් විදිහට වැඩෙන්න බැරි වීමක් මට සුචරිතගේ භාවිතාව ඇතුලෙ මුණගැහෙනවා. මුහුකුරා යාම වෙනුවට එයා සදාකාලික තාරුණ්‍යයක හිර වෙනවා. මං මේ දැවැන්තයාට අපහාස කරනවා නෙමෙයි. ඒත් කියන දේ මූණට කියපු, තමන්ගෙ අදහස් වෙනුවෙන් බයක් සැකක් නැතුව පෙනී හිටපු ඒ චරිතයට මං කරන සුචරිත ක‍්‍රියාවක් කියල විශ්වාස කරනවා.

මං බෝම්බ සහ රෝස බලන්න ගියා රීගල් එකෙන් කටවුට් එක බිමට බාන දවසෙ. හෝල් එකටම හිටියෙ පස් හය දෙනයි. බැල්කනියෙ තව කපල් කීපයක් ඉන්න ඇති. ෆිල්ම් එක බලාගෙන යද්දි මට පුදුම හිතුන ඒක මේ විදිහට ගැලවිලා යාම ගැන. අනුරුද්ධගේ හැම චිත‍්‍රපටියකටම වඩා බෝම්බ සහ රෝස හු`ගක් ඉස්සරහින්. ඒ වගේම ලංකාවෙ මේ වෙලාවෙ කෙරෙන හැම චිත‍්‍රපටියකටමත් වඩා (හෝල් වල දුවන සිංහල චිත‍්‍රපටි) බෝම්බ සහ රෝස අනාගතවාදී කියල මට හිතෙනවා. ඒ කතාවෙ ටෙම්පො එක, ත‍්‍රිල් එක, නැරටිව් ගනනාවක් හරහා ගමන් කරන විදිහ ඇත්තටම බලාපොරොත්තු දනවනවා.

ඒත් ප‍්‍රධාන චරිත දෙක තෝරා ගැනීමේදි අනුරුද්ද ඇණගන්නවා කියල මං හිතන්නෙ. සීනිබෝල චරිත කරන්න ඇත්තට සීනි බෝල උන්ට බෑ. සීනිබෝල නොවෙන එකෙක් මේ සීනීබෝල ජීවිත මතු කරන්න ගත්තා නම් මීට වඩා හු`ගක් ළ`ගට චිත‍්‍රපටිය ගේන්න තිබුන. ගොඩක්ම පේ‍්‍රක්‍ෂකයා චිත‍්‍රපටිය අත්අරින්න හේතුව මේ ප‍්‍රධාන චරිත දෙක අප්පිරියා වෙන එක. ඒත් ෆිල්ම් එකේ ලිස්සලා යන පුංචි පුංචි තැන් ගොඩක් අනුරුද්ද හොඳට ක‍්‍රියේට් කරනවා. උදා විදිහට සරත් කොතලාවල කරන නිතර කහ පාට ගැන උනන්දු වෙන චරිතය. ඒක අතිවිශිෂ්ටයි. ගිරිරාජ්ගෙ පොලිස්කාරයා සහ මහේන්ද්‍රගේ ගොට්ටාගෙ චරිතයත් ඒ වගේ චිත‍්‍රපටිය වෙන තැනක හිටවන්න තිබ්බ හැකියාව පෙන්නනවා. මේ ජීවිත කලාප හරහා වඩා පුළුල් තැනකට කතාව අරන් යනවා වෙනුවට අනුරුද්ද මේ හැම එකක්ම මීඩියා ඇතුලට ගේනවා. ෆිල්ම් එක ඉවර වුණාම දැනෙන හිස්තැන එන්නෙ ඒ හින්ද. දේශපාලනිකව මේක වලංගු කාරණයක් වුනත් චිත‍්‍රපටියෙදි ගොඩනගන හැම දෙයක්ම ලොස් වෙන තැනක් වෙනවා. ඒත් වෙනස් සිනමා ප‍්‍රවේශයක් වෙනුවෙන් අනුරුද්දගේ මේ උත්සාහය අගය වෙන්න  ඕන. මේ චිත‍්‍රපටය මීට වඩා කෑලි ගලවමින් අධ්‍යනය කරන්න  ඕන. හේතුව සම්භාව්‍ය කියන කම්මැලි මොකුත් නොවෙන සිනමාව ඇරුණම මේ වේගවත්, දාර්ශනික නොවී  ජීවිතය සහ වින්දනය හඹා යන සිනමාව අපිට තාම පුරුදු නෑ. ඒ වේගයන් සහ අවකාශයන් ගැන අත්වැරදීම් ගොඩක් එක්කයි අපිට යන්න වෙන්නෙ. අනුරුද්ද පළවෙනි අත්වැරැුද්ද කරන්න තරම් නිර්භීත වුණා.

ළ`ගදි බොදු බල සේනාව ගැන කතා බහක් මැද මාත් හිටියා. එතන හැමෝම වගේ වාමාංශික දේශපාලන කලාප වල වැඩ කරන අය මං ඇරුණම.  ඒ ගොල්ලො එක වගේ එක`ගයි බොදු බල සේනා අප්සෙට් කියන තැනට. මාත් එක`ගයි. ඒත් ඊට වඩා මට පේන්නෙ අනිත් කරනවයි කියන දේශපාලන ව්‍යාපෘති අප්සෙට් කියන එක. ගොඩක් දේශපාලන කන්ඩායම් බොදු බල ව්‍යාපෘතිය ඇතුලෙ අදේශපාලනික වෙනවා කියලයි මට හිතෙන්නෙ.  බෙල්ල කඩලා යන්න හරි කියල මං බොදු බල ගැන මගේ අදහස කිව්වා.

බොදු බල සේනා කියන්නෙ මට පේන විදිහට කල්ට් එකක්. මං ඒකට පක්ෂයි ඒ අදහසෙන්. කල්ට් අදහසක් රටේ ප‍්‍රධාන ධාරාවෙ අදහසක් දක්වා අරන් එනවා නං මගේ දේශපාලනික අදහස මොකක් වුනත් මට ඒක ප්‍රෝග්‍රෙසිව් වැඩක්. ඒක දේශපාලනිකව සමාජය ඇතුලෙ වැඩ කරන එක ගැන මට ප‍්‍රශ්නයක් තියෙනවා නං මං කරන්න  ඕන ඒකට විරුද්දව වැඩ කරන එක. සමාජ මතයක් විදිහට ඒක ෆේල් කරන එක.

අදහසක් සමාජයක් ඇතුලෙ දරුණු විදිහට පැතිරෙනවා කියන්නෙ ඒ අදහස පිටිපස්සෙ තියෙනවා මොකක් හරි ඇත්ත තැනක්.  මට හිතෙන විදිහට බොදු බල ලාංකේය ජනතාවට ඇත්ත තැනක කැම්පේන් කරනවා. මේක කැම්පේන් එකක්. ඒ කැම්පේන් එක ඇතුලෙ ජනතාව මොකක් හරි ‘හොඳ’ කියල කියන ‘රණවිරු’ වගේ තැනක අනන්‍යතාවයක් ලබනවා. කොහෙට හරි අයිති බවක් හ`ගවනවා. දේශපාලනයකට වඩා එතන සමාජයක්, ලයිෆ් ස්ටයිල් එකක්, මෙලොව පරලොව, නිවන හැම එකක්ම එකට ගලපගන්න අවකාශයක් නිර්මාණය කරනවා. වාමාංශික හෝ අනෙක් බලපෑම් කණ්ඩායම් තමන්ගෙ අදහස එක්ක මුනගැහෙන්නෙ ජනතාවගෙ ඇත්ත තැනක නෙමෙයි. මගේ අදහස බොදු බල නිසා ඊට වඩා වෙනස් සංස්කෘතික දේශපාලන අවකාශයක් ගැන හීන දකින අපිට හොඳ චැලෙන්ජ් එකක් මුනගැහෙනවා. ඒක ලංකාවෙ ප‍්‍රජාව ගැන ඇත්තක්. එතනට හරියට තමන්ගෙ අදහස අළෙවි කරපු එක බොදු බල කන්ඩායමේ සාර්තකත්වයක් වෙන අතරෙම මානව අයිතීන් හෝ ජනතා අයිතීන් වෙනුවෙන් අරගල කරනවා කියන අනෙක් කන්ඩායම් වල ෆේලියර් එකක්. මං එදා කිව්වෙ අපි මේ කතා කරමින් ඉන්නෙ අපේ බැරිකම. විශේෂයෙන්ම බොදු බල කියන්නෙ නාගරික ව්‍යාපෘතියක්. එතනදි අපි අතීතයක් පුරා කරමින් ඉන්නවා කියන සංස්කෘතික සංවාද කතිකා වල හිස්කම දැනෙනවා වැඩියි. සහ බොදු බල වැරදියි කියනවට වඩා මේ වෙලාවෙ පොලිටිකලි තමන්ව ටෙස්ට් කර ගන්න සහ දේශපාලනික ඇත්තක් විදිහට බොදු බල බාර ගන්න එක පොසිටිව් කියලයි මං කිව්වෙ. ආණ්ඩුවේ සම්බන්දතා සහ වෙන වෙන කුමන්ත‍්‍රණ න්‍යායන් කියන එකෙන් කරන්නෙ ඒ ඇත්ත මග අරින්න ට‍්‍රයි කරන එක.

බොදු බල තහනම් කරන්න කැබිනට් පත‍්‍රිකාවක් ආවා කියන එකෙන් මගේ යාලූවො ගොඩක් ත‍්‍රිල් වුණා. නිදහස ගැන අයිතිවාසිකම් ගැන කතා කරන කට්ටිය ආන්ඩුවෙ තහනමකට කොන්දේසි විරහිතව පක්ෂ වෙනවා.  බොදු බලෙන් කරන ප‍්‍රචන්ඩ ක‍්‍රියා ගැන නීතියෙන් ක‍්‍රියාමාර්ග ගන්න  ඕන. ඒ අයට ද`ඩුවම් කරන්න  ඕන.  ඒත් අදහසක් විදිහට, ක‍්‍රියාකාරීත්වයක් විදිහට බොදු බල තහනම් කරන එක අදහස් ප‍්‍රකාශන අයිතිය නැති කිරීමක්. එල්ටීටීඊ තහනමට විරුද්ද වෙන තැනින්ම මං බොදු බල තහනම් කරනවා නම් ඒකටත් විරුද්දයි. අනිත් අතට ඒ අදහස සමාජය ඇතුලෙ පරාජය කරනවා මිස ඒක කැන්සල් කරන එකෙන් ඒක තවත් ශක්තිමත් කරනවා.

ලංකාවෙ ගෑනුන්ට ඡන්ද අයිතිය දීපු විදිහ අවුල් කියලා ඉස්තෙපාන් මාත් එක්ක කිව්වා.
‘මචං උන් ඒක ඉල්ලූවෙ නෑ. ඒක ගැන දන්නෙවත් නෑ. එකපාරටම උන්ට ඡුන්දෙ දාන්න පුළුවන් වෙනවා. ඒක අප්සෙට් මචං. ඒ අයිතිය ගැන ලොකු ෆයිට් එකකට පස්සෙ ඒක ලැබුන නං තමයි ඒ ගැන හැ`ගීමක්, වගකීමක් එන්නෙ’
මේ කතාව ගෑනුන්ගෙ ඡන්ද අයිතිය විතරක් නෙමෙයි ලංකාවෙ කොයි දෙයක් ගැන වුනත් අදාලයි කියලයි මට හිතෙන්නෙ. චන්දන අයියා කියන විදිහට බර කරත්ත වලින් යමින් හිටපු අපිට එකපාරට බෙන්ස් අවුඩි හම්බුනාම ඒ එලවන්නෙත් බර කරත්ත එලවන විදිහට තමයි. පාර පුරා පොඞ්ඩක් තැවරිච්ච ගමන් කරත්තකාරයො කාර් වලින් එලියට බැහැලා කෑ ගහන්න ගන්නවා’
මේ අදහසම බොදු බල ගැනත් අදාලයි. නීතිය හරි වෙන උඩින් ගේන මොකකින් හරි අදහස් මගඅරිනවා වෙනුවට අත්දැකීමක් විදිහට සමාජයක් ඇතුලෙ ඒ අදහස වෙනස් කරන එකෙන් විතරයි සමාජයක් පරිණත වෙන්නෙ. නැත්තං වෙන්නෙ  ඇඳුම් මාරු කරන එක විතරයි.

බොදු බල දේශපාලනිකව ගැඹුරු වෙනසක් යෝජනා කරනවා. ඒක පිළිගත් ආයතන සම්ප‍්‍රදායට ප‍්‍රතිවිරුද්ද එකක්. දේශපාලනය වෙනුවට ආගම (විශ්වාසය, භක්තිය) පක්ෂ, නීති, ආයතන වෙනුවට සමාජය ඒ ගොල්ලො වැඩ කරන්න තෝර ගන්නවා. කොටින්ම පිට්ටනිය වෙනස් කරනවා.
මගේ අදහස වුනේ මේ කාරනා ගැන සීරියස් විදිහට අධ්‍යනය කරන්නෙ සහ තේරුම් ගන්නෙ නැතුව සාධාරණය, යුක්තිය, අයිතිය වගේ අපේ ඔලූවෙ තියෙන සංකල්ප වලින් ( මේ සංකල්ප ලංකාවෙ භෞතිකයක් දක්වා වැඩකරලා නෑ) බොදු බල ගැන කතා කරන එක අපේ සීමාවක් කියල. ඒක ගැන මොනවා හරි කරන්න කියලා ආණ්ඩුවට කියන එක හරියට පංතියෙ එහා පැත්තෙ කොල්ලා ගැහුවම තාත්තට කියනවා වගේ හුරතල් චූටි වැඩක්.  දේශපාලනය කියන්නෙ හුරතල් වෙන්න තැනක් නෙමෙයි කියල බොදු බල විසින් දේශපාලන චූටි මල්ලිලාට ටොකු අනිනවා.

ඒ රිදිල්ලට එතන කට්ටියම වටවෙලා මට හොඳට නෙළුවා.
 ‘ෆැසිස්ට්වාදියා’
‘උඹ කියන වටින එකක් දෙකක් වුනත් කැන්සල් වෙනවා මේ වගේ කතා හින්ද ’
හැමෝම එකපෙලට කෑ ගැහුවා. මං පසුපෙලට විසි වුණා
චූටි මල්ලිලා තීන්ත එක මාරු කරන්න කැමතිම නෑ. තේරුණද දන් නෑ?

-චින්තන ධර්මදාස


Monday, April 1, 2013

වෙනස ඇරඹුණා පමණි

ඓතිහාසික දෙවෙනි වතාවටත් මහල්වරාවෙ බේකරියෙ සංගීත සැණකෙලිය සංවිධානය වෙනවා. ඩවුන් ටවුන් පල්ස්. ඒකයි මේ පාර නම. ෆේස් බුක්, යූ ටියුබ් වලින් ඉතා හොඳ මට්ටමක ප‍්‍රචාරයක් දුන්නා කියන එකයි මගේ අදහස. වඩාත් වැදගත් දේ මේ වැඬේ තවත් පළල් වෙමින් වෙනස් වෙනස් මියුසික් වැඩ සන්තතිකව කරමින් ඉන්න තවත් අය එක්වෙමින් තවත් පාරක් කෙරෙන එක. ලංකාවෙ මේ වෙලාවෙ කිසි දෙයක් නොකර අනිත් උන් කරන දේක දොස් විතරක් කියන වටපිටාවකදි මේ වගේ වැඩ අලූත්  හුස්මක් දෙනවා. මොනවා වුණත් කල්චරල් ප්‍රොඩක්ෂන් එකක් (සංස්කෘතික නිෂ්පාදනයක්) විදිහට මේ කනත්තක් වගේ වුණු රටක සිංදු කියන එකත් ලොකු වැඩක්.

මේ කරන්න යන වැඩෙත් එක්ක අපි ගොඩක් වෙලාවට මේ විදිහෙ ප‍්‍රසංග හඳුන්වන්න පෙළඹෙන ‘අන්ඩර් ග‍්‍රවුන්ඞ් මියුසික්’ කියන ෂොනරය ගැන මං ටිකක් කියෙව්වා. ‘ප‍්‍රධාන ධාරාවට බැහැරින් වැඩ කරන විවිධ සංගීත ධාරාවන් සමස්තයක්’ වෙනුවෙන් මේ අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියන වචනෙ පාවිච්චි කරන්න පුළුවන්. විකිපීඩියාව කියන විදිහට පොදු භාව සංකේතයන් ප‍්‍රකාශමාන කරන, වඩාත් අවංක සහ සංවේදී කියන තත්වයන්ට සමීප වෙන්න උත්සාහ කරන, ප‍්‍රධාන ධාරාවේ අතිශය වාණිජකරණය වූ සහ වට්ටෝරුගත වූ සංගීතයට වෙනස් යමක් යෝජනා කරන කියන අදහස මේ අන්ඩර්ග‍්‍රවුන්ඞ් කතාව ඇතුලෙ එනවා. ලෝක මට්ටමෙන් මේ විදිහ වුණත් ලංකාවෙ අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියලා හඳුන්වන්න පුළුවන් සංගීතයක් ඇත්තටම බිහිවෙලා තියෙනවද කියන එක ගැටළුවක්. ඒ විදිහෙ පුළුල් භාවිතාවක් තාමත් අපේ අඳුරගන්න බෑ කියන එකයි මගේ අදහස. අජිත් විසින් කරන සුගම ස්වර වෙනුවට එකිනෙක හැපෙන ස්වර භාවිතාව කියන රළු ප‍්‍රවේශය අපේ අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියන කලාපෙ ඇතුලෙ අධිනිෂ්චය වුනා කියලයි මට හිතෙන්නෙ. වෙනස් ප‍්‍රවේශයන් ගණනාවකින් තමන්ගේ සංගීතමය ප‍්‍රකාශනය ඩිවොලොප්  කරනවා වෙනුවට එකම භාවිතාවක් වටේ ගොඩක් දෙනෙක් හැසිරෙන්න ගත්තා වගේ කියල මට හිතෙනවා. මේක මේ ඊයෙ වාමාංශික කට්ටියක් කරපු මරා ගැනීමකදි හැඳින්නුවෙ ‘අජිත්ගෙ ටෙ‍්‍රන්ඞ්’ එක කියල.

මං මෙතන කතා කරන දේ මගෙන් අන්ඩර්ග‍්‍රවුන්ඞ් මියුසික් කරන මගේ යාලූවන්ට වෙන විවේචනයක් විදිහට බාර ගන්න එපා කියලා මං ඉල්ලනවා. මේක විවේචනයකට වඩා යාලූකමට කරන අදහස් සාකච්ඡුාවක්. නැතුව මං වෙන තැනක ඉඳන් ඒ අයව තව තැනක තියාගෙන කරන වාමාංශික බැට දීමේ කලාවක් ප‍්‍රගුන කරන තැනකට වැටෙන්න මට  ඕන නෑ. මාත් ඇතුළු සෞන්දර්ය ප‍්‍රවේශයක් වෙනුවෙන් වැඩ කරන පිරිසක් අතර අදහස් ගනුදෙනුවක් විදිහට මේ කතාව ලියන්නෙම උන් කරන වැඬේට ආදරේ හින්ද. ( මේ මෑතක පශ්චාත් මාක්ස්වාදියෙක් කියන කෙනෙක් මට කිව්වෙ එහෙම අදහස් වලින් වැඩක් නෑ ඒ ගොල්ලොන්ට අවශ්‍ය ආර්ගියුමන්ට් (තර්ක) කියල. වාසනාවකට මං වාමාංශිකයෙක් නෙමෙයි)

අපේ රටේ අන්ඩර්ග‍්‍රවුන්ඞ් එකිනෙකට අසම්බන්ධිත ධාරා දෙකක් විදිහට ගොඩනැගෙනවා. එකක් සිංහල ධාරාව. අනික ඒ හා කිසි ගනුදෙනුවක් නැති ඉංග‍්‍රීසි ධාරාව. බ්ලැක් මෙට්ල්, ඩෙත් රොක් වගේ පිටරට අන්ඩර්ග‍්‍රවුන්ඞ් ධාරාවන් කොපි කරමින් ඉංග‍්‍රීසි එක හැදෙද්දි බොබ් මාලෙ, ජෝන් ලෙනන් වගේ අය අනුව යමින් සිංහල එක ගොඩනැගෙනවා. මේ ධාරාවන් දෙකේම තියෙන පොදු ලක්ෂණයක් මං දකිනවා. ඒ තමයි පරාරෝපණය. විකිපීඩියා අර්ථය අනුව තමන් අවට ඇති සමාජයේ සැබෑ මූලයන් සහ ශක්‍යතාවයන්ට අවංක වීමේ අරමුණින් අන්ඩර්ග‍්‍රවුන්ඞ් මියුසික් කියන එක හැදෙනවා කිව්වට අපේ රටේ ඒක වෙන්නෙ වෙනස් විදිහට. අපි අපිට අදාල නැති වෙනස් සංදර්භයන්ට, වෙනස් ජීවිත කලාපයන්ට පරාරෝපණය වීමක් සිද්ද වෙනවා. ඉංග‍්‍රීසි ධාරාවෙ පිරිසට ලංකාවෙ පොලොව ගැන අබමල් රේණුවකවත් වැටහීමක් නෑ. සහ ඒ අය දේශපාලනික ප‍්‍රවේශයන් ප‍්‍රතික්‍ෂේප කරන තත්වයක් තියෙනවා. සිංහල ධාරාව සම්පූර්ණයෙන්ම ලංකාවෙ වම විසින් ගිලලා. ඒ වාමවාදී මළ අදහස් ප‍්‍රතිරාවය කරනවා ඇරෙන්න ලංකාවෙ ඇත්ත  ශ‍්‍රව්‍ය කලාපය එක්ක අභියෝගයකට සිංහල අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියල අපිට හඳුනගන්න තියෙන භාවිතාව වැඩ කරන්නෙ නෑ. උදා විදිහට ලංකාවෙ යම් ප‍්‍රජාවකට ඓන්ද්‍රිය සංගීතමය භාවිතාවක් එක්ක තමන්ගෙ වෙනස් අදහස් ස්ථානගත කරන්න ඒ ගොල්ලොන්ට බැරි වෙනවා.

මේ වාමවාදී (මේකට මං කියන්නෙ පරාරෝපිත කියල) අර්බුදයෙන් යම් තරමකට හරි ගොඩ ආවෙ මේ රැුල්ලෙන් දෙන්නයි කියලයි මං හිතන්නෙ. එක්කෙනෙක් අජිත් කුමාරසිරි. අනිත් එක්කෙනා ජෝන් සීනා කියපු අමිල. ඒත් කරුමෙක මහත කියන්නෙ ඒ දෙන්නා සමාජගත වීමේ සහ ඇසීමේ අවකාශය පවා මේ වම විසින් සීමා කරනවා. උදා විදිහට මෑතක පවත්වපු මං කලින් කියපු ගුටි ඇණ ගැනීම සඳහා එකතු වීමට මාතෘකාව වෙලා තිබුනෙ ‘අජිත් ගේ ගීතය දේශපාලනිකද?’ කියන එක. මේක හරි විහිළු අදහසක් මං කියන්නෙ. තේ කෝප්පයක පවා දේශපාලනය තියෙනවා කියන්නෙ හු`ගක් ඇරිස්ටෝටල්ගෙ කාලෙ ඉඳන් කියන කතාවක්. යම් සමාජ ක‍්‍රියාවක තියෙන දේශපානික ගතිකයන් තේරුම් ගැනීම දක්වා තමන්ගේ  ‘දේශපාලන දේශපාලන’ කියන බිත්ති ටිකක් ලොකු කර ගන්නවා වෙනුවට මේ සාකච්ඡුා වලින් කරන්න හදන්නෙ තමන්ගෙ දේශපාලනයට කොයිතරං එක`ගව අජිත් සිංදු කියනවද කියල හොයන්න යන විදිහෙ වැඩක්. අනිත් පැත්තෙන් අජිත්ව ඒ කඳවුරට ඒ මෝඩ සීමාවට තියලා බැඳගැනීමේ උත්සාහයක්.  ඕන ආර්ටිස්ට් කෙනෙක් (භාතිය සන්තුෂ් වුනත්) අපේ වාමවාදී පක්ෂයකට වඩා දේශපාලනිකයි. මගේ අදහස අනුව පොලිටිකල් කියන ගොළුබෙලි කට්ටෙන් එලියට එන්නෙ නැතුව ආර්ට් කරන්න බෑ. ඒ පරාරෝපිත අවකාශයෙන් එලියට ආවමයි ඇත්ත දේශපාලනයන් මුනගැහෙන්නෙ. සංගීතය පැත්තෙන් ගත්තොත්  ලංකාවෙ ශ‍්‍රව්‍ය ව්‍යවස්ථාවන් එක්ක ඇත්ත ගැටුමකට යන්න පුළුවන් ඒ විවෘත පිට්ටනියෙදි විතරයි. උදා විදිහට ආයිමත් අජිත් කුමාරසිරිව ගත්තොත් එයා නාද වලට එරෙහිව ශබ්ද කියන එයාගෙ අභියෝගය ස්ථානගත වෙන්න අවශ්‍ය විශාල වේදිකාව මේ වම නිසා ඉස්කෝලෙ පංතියකට වගේ සීමා කර ගන්නවා. අමිලගේ (ඇත්ත නැත්ත මං දන්නෙ නැති වුනත්) ජෝන් සීනා ඩයලොග් රින්ග් ටෝන් එකකට විකුණන්න කතා කරපු වෙලාවත් මේ වගේ. ජෝන් සීනා රින්ග් ටෝන් එකක් වෙන එක තමයි මට අනුව ඇත්ත ශ‍්‍රව්‍ය කලාපය මුණගැහෙන්න තිබ්බ අවස්ථාව.

මොකක් හරි ලොකු අවුලක් හින්ද අපේ අන්ඩර්ග‍්‍රවුන්ඞ් ආර්ටිස්ට්ලා ජනප‍්‍රිය වීමට විරුද්දයි. පොපියුලර් වෙනවා කියන එක නිකං පොලිටිකල් නොවන හෝ අඩු තත්වයක  දෙයක් වගේ ගොඩක් අය හිතන්නෙ. පොපියුලැරිටි එකට විරුද්දව මේ විදිහට ගුහාගත වෙන එක මං හිතන්නෙ නියම ඇත්ත කන් වලට ඇතුල්වෙන්න තියෙන බයක්. යම් කිසි කන්‍යාරාමයක වගේ කොටසක් වීමෙන් ආත්මාරක්‍ෂාව සලසා ගැනීමේ උත්සාහයක්. මගේ අදහස ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙ අම්බපාලි වගේ ගණිකාවක්.

ෂොල්මො ෂර් කියන ‘ෆිලෝසොෆි ෆෝ ආර්ටිස්ට්’ නිබන්ධනයෙ කියන විදිහට අන්ඩර්ග‍්‍රවුන්ඞ් මියුසික් ගැන තියෙන බරපතල වැරදි වැටහීමක්. ඒක රේව් හෝ ඉලෙක්ට්‍රොනික හෝ කියන කිසියම් සංගීතමය ෂොනරයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. ඒ වෙනුවට ප‍්‍රධාන ධාරාවට අභියෝගයක් වෙන කවර හෝ සංගීතමය ප‍්‍රවේශයක් අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියන කාණ්ඩයට වැටෙනවා. ඒකෙ වෙනස වාණිජමය වටිනාකම් වෙනුවට බෙදාහදා ගැනීම සහ බිම් මට්ටමේ යතාර්ථයන් එක්ක ගැටීම කියන කාරණා ප‍්‍රමුඛ කර ගන්න එක. ඒ වගේම ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් තමයි ඒ අය වාණිජ ප‍්‍රධාන ධාරාවට අනුගත නොවී වැඩ කරන්නෙ. ආර්ට් කියන එක වඩා ගැඹුරු, අවංක තැනක් දක්වා ස්පර්ශ කරවීමයි මේ අභ්‍යාසයේ අරමුණ.

මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ සිංහල අන්ඩර්ග‍්‍රවුන්ඞ් මියුසික් රැුල්ලෙ අභාෂයක් වුණු ජෝන් ලෙනන්, බොබ් මාලෙ වගේ සංගීතමය භාවිතාවන් තමන්ගේ අනන්‍යතාවය එක්ක ජනප‍්‍රියතාවයට පත්වෙච්ච මියුසිික්. ජෝන් ලෙනන් එක වෙලාවක කියනවා ‘දැන් අපි ජීසස්ටත් වඩා ජනප‍්‍රියයි’ කියල. වාණිජ ධාරාවන්ට බැරි වෙනවා ඒ අයගේ ඔරිජිනල් හිතුවක්කාරකම සංවර කරන්න. ඒක ඓන්ද්‍රිය හින්ද. ඩෝර්ස් කියන සංගීත කණ්ඩායමේ ජිම් මොරිසන් රේඩියෝ චැනල් එකක් ඇතුලෙ ‘කමොන් බේබි ලයිට් මයි ෆයර්’ කියනවා. අන්ඩර්ග‍්‍රවුන්ඞ් කියන්නෙ මුළුගැන්වීම නෙමෙයි. ඒ වෙනුවට වඩා විශාල පිට්ටනියක් යෝජනා කිරීම. ප‍්‍රධාන ධාරාව විසින් මග හරින තිත්ත යතාර්ථයන් අභිමුඛ කිරීම. ඒක සරල වැඩක් නෙමෙයි කොහොමවත්.
විලියම් කෝච් කියන ආචාර්යවරයා යෝජනා කරන විදිහට තමන් යෙදෙන ආර්ට් එක සම්බන්ද දාර්ශනික ඉතිහාසය ආර්ටිස්ට් කෙනෙකුට ගොඩක් වැදගත්. ඒක ලංකාවෙ ප‍්‍රධාන ධාරාවෙ අයටත් නැති එක ඇත්ත වුණත් අන්ඩර්ග‍්‍රවුන්ඞ් ආර්ටිස්ට් කෙනෙකුට ඒක නැතුවම බැරි වෙනවා. මං කියන්නෙ ෆැක්චුවල් (සිද්ධිමය) ඉතිහාසයක් නෙමෙයි. දාර්ශනික ඉතිහාසය කියන්නෙ අදහස් පරිණාමය ගැන අවබෝදය. නීට්ෂෙ කියන විදිහට පැරණි බලපෑම් වලින් නිදහස් වෙන්නත්, ඒ බැඳීම් අවශ්‍ය පරිදි මෙහෙයවා ගන්නත් ඒ හැ`ගීම් වල ඉතිහාසය දැනගැනීම වැදගත්. (විලියම් කෝච් දක්වන උපුටනයක්)

ඇන්ඩි වාර්හෝල් ගේ මේ පොලොවෙ මීට කලින් සිද්ද වුනා කියලා හිතා ගන්න බැරි වැඩ වුණත් ඇත්තට පැලකරන්න එයාට පුළුවන් වෙන්නෙ මේ අදහස් ඉතිහාසය ගැන දැනීම ඇතුලෙ. අපේ සංගීතය කරන අය ඇතුලෙ තමන් යෙදෙන සංගීත ප‍්‍රවාහයේ අදහස් ඉතිහාසය ගැන සංසන්දනාත්මක තේරුම් ගැනීමක් තිබ්බා නං මේ විකල්ප ධාරාව ටිකක් සීරියස් තැනකට එන්න තිබුණා. යම් තරමක හෝ ඒ විදහෙ කියවීමක් සහිත කීප දෙනා අතින් මේ ධාරාව ප‍්‍රවණතාගත වීම ඇතුලෙ මේක කියවෙනවා. මේක කොහෙත්ම අවුලක් නෙමෙයි. ලංකාවෙ ඉතිහාසය ගැනවත් දාර්ශනික ඉතිහාසය කියවීමක් අපේ විශ්ව විද්‍යාල වල වත් කෙරෙන්නෙ නෑ. ඒ ආචාර්යවරුන් පවා ඉල්ලා සිටින්නෙ තවදුරටත් සිද්ධිමය ඉතිහාසය විතරයි.

ඒත් මේ වෙනස් සංගීතයක් විශ්වාස කරන පිරිස මේ විදිහට එක වේදිකාවක් උඩට එන එක බලාපොරොත්තු සහගත තත්වයක් සළකුණු කරනවා කියල මං හිතනවා. මං කලින් කියපු වාමවාදී ගුටි ඇනගැනීමේ එකමුතුවෙදි මේ තත්වය අදේශපානය වෙතට තල්ලූවීමක් හැටියෙන් කියවන්න ගත්තා. ඒ කියන්නෙ මේ වමේ ගොහොරුවෙන් ටිකක් ඈතට මේ මියුසික් කට්ටිය යමින් ඉන්නවා. වෙනස් සංස්කෘතික අරගලයක්, වෙනස් ජීවිතයක් වෙනුවෙන් අප‍්‍රකාශිත එක`ගතාවයක් ඒ අය අතරෙ තියෙනවා. සහ ඒක භෞතිකයක් කරන්න ඒ ගොල්ලො සිංදු කියනවා. ඒකමත් ඇති.

-චින්තන ධර්මදාස

Monday, March 25, 2013

දැනගෙන ගියොත් වත්තල- නොදැන ගියොත් මත්තල

සමහර වෙලාවට නිකම්ම කණට වැටෙන පොඩි වචන කෑලි අපි හිතනවට වඩා ගැඹුරු ටි‍්‍රප් එකක් ඔලූව ඇතුලෙ හදන්න පුළුවන්. මං හෙඩිමට ගත්තෙ මෑතදිම මගේ කනේ හැප්පිච්ච එක. මත්තල එයාර් පෝර්ට් එකත් එක්ක දැනගෙන ගියොත් කටුනායක පැත්තට නොදැන ගියොත් හම්බන්තොට පැත්තට කියන ලයින් එක ඊට වඩා ගොඩක් තේරුම් කියන්න පුළුවන්. මේ වාග්-මනෝමය සම්බන්ධතා කියවන්න විෂයික දැනුමක් තියෙන කෙනෙකුගෙ අපිට ලොකු අඩුවක්. උදා විදිහට ඒක ජේබී දිසානායකට කරන්න බෑ. වචන කීපයක් එහාට මෙහාට පෙරළනවාට වඩා එහා දේශපාලනික සංස්කෘතික අවකාශයක් දක්වා ඒ වාග් මනෝමය සම්බන්ධතා එලිපෙහෙලි කරන්න පොඩි නිර්මාණශීලී කෑල්ලකුත්  ඕන. සන්නස්ගලට ඒක සෑහෙන දුරට තිබ්බත්  ඕන කරන විෂයික පරාසය හා විනය නැති හින්ද ටිකක් මතුපිට හරියක නවතිනවා. (මට කොහෙත්ම ඒ ගැන දැනුමක් නෑ)

සන්නා මෑතක කියපු ලස්සන කතාවක් ෆේස් බුක් එකේ දැක්කා. නිහාල් නෙල්සන්ගෙ ‘ගුනෙ අයියගෙ බජව් දාන කාමරේ’ ගැන.

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ

මේ වචන හේමසිරි හල්පිට නැතුව මහගමසේකර ලිව්වා කියල හිතන්න සන්නා යෝජනා කරනවා. එතකොට දැනෙන සම්භාව්‍ය ෆීල් එක ඇයි නිහාල් කියද්දි අපිට මග ඇරෙන්නෙ. එතන තියෙන්නෙ සම්භාව්‍ය කැම්පේන් එකකට අපි දන්නෙ නැතුව අහුවුන තැනක්. අමරදේව හෝ නන්දා මාලනී කියන මඤ්ඤං සිංදුවක් වුනත් මාර වෙන්නෙයි ලංකාවෙ පට්ට වැඩ ටිකක් අපිට මග ඇරෙන්නෙයි අපි ඇත්තටම රසයක් නාඳුනන සමාජයක් හින්ද. කවුරු හරි, ඉස්කෝලෙ හරි, විශ්ව විද්‍යාලෙ හරි මේක තමයි මාර කිව්වොත් අපිට අපේ මාර එකක් ගැන ඉන් එහා දැනීමක් නෑ. ඒක අපේ අධ්‍යාපනය කියල දෙන සංස්කෘතික දැනුමෙ තරම. ඉතින් අපි අතර ඉන්න ගොඩක් අය ලියන, කියන දේවල් මොනවද කියල ඒ ගොල්ලො දන්නෙ නෑ. අර සම්භාව්‍ය කියන වගේ එකට ට‍්‍රයි කරනවා. ෆිල්ම් වල ඒක කාන්, බර්ලින් වගේ චිත‍්‍රපටි උළෙල වලින් තීන්දු කරනවා. සංගීතයෙ ඒක අමරදේව ළ`ගින් නතර වෙනවා.

නිහාල් නෙල්සන් කියන්නෙ ජෝතිපාල වගේම අපි නොදැක්කා වගේ හිටපු තවත් ගායකයෙක්. ලංකාවෙ ටැරන්ටිනෝ චිත‍්‍රපටියක් කරනවා නම් එයා මෙහේ සංගීතයෙන් පාවිච්චි කරන්නෙ එක්කො නිහාල් නෙල්සන් නැත්තං එම්එස් ප‍්‍රනාන්දු. ඒ ඉන්දියාවෙන් එහාට ගිය වෙනස් සංගීතයක වෙනස් ත‍්‍රිල් එකක් ඇතුලෙ ඔරිජිනල් ලංකාවෙ අත්දැකීම් කියන්න ඒ ගොල්ලන්ට පුළුවන් වුණා.
ඒත් අපි දන්නෙ නෑ අඳුර ගන්න
කවුරු හරි කිව්වොත් මිසක

ඒත් මේ සාහිත්යඉක වෙනස සමාජ මනෝ විද්‍යාත්මක අවකාශයක් එක්ක විධිමත් විග‍්‍රහයකට යන්න සන්නාට බෑ. ඒක එයාගෙන් බලාපොරොත්තු වෙන එකත් වැරැුද්දක්. අපේ විශ්ව විද්‍යාල ඇතුලෙ ඒ නිර්මාණාත්මක බව නෑ.

යුද්දෙන් පස්සෙ මං ඒ වගේ අහපු තවත් මරු ලයින් එකක් ‘කැබිතිගොල්ලෑව වගේ කට්ටියම වැටිලා’ කියන එක. යුද්දෙදි කැබිතිගොල්ලෑවෙ මළ සිරුරු විසිරිලා තිබ්බා වගේ දැන් බීලා වැටිලා ඉන්න උන් ගැන ලයිව් චිත‍්‍රයක් දෙන්න ඒ ලයින් එක මරේ මරු. අනිත් පැත්තෙන් යුද්දය ගැන අත්දැකීම් වෙනස් වින්දන කලාපයන් කරා තල්ලූ වෙන හැටි ගැන ටිකක් ගැඹුරු කතාවකුත් මෙතන තියෙනවා. මේවා සමාජ මනස ගැන විකෘත නොවූ ගවේෂණ කලාප විදිහටයි මට තේරෙන්නෙ. ඒත් අපි  දේශපාලනය සමාජ විද්‍යාව වගේ දේවල් කරන්නෙ පොත් උඩ විතරයි. අපේ සිදතා කියන විදිහට,

‘ඔෂොලා ක‍්‍රිෂ්ණමූර්තිලා හොඳයි කියවන්න. කරන්න ගියොත් කෙළ වෙනවා’
-සිදත් අර්චන

අනිත් එක කට කතා.
‘දැන් බීබීඑස් අලූත්ම යෝජනාව එන්නෙ කොත්තුවට විරුද්දවලූ. ඒ කොත්තුවෙ සද්දෙ නිසා ශබ්ද දූෂණය වෙනවා කියල. කොත්තු කඩ ගොඩක් කරන්නෙ මුස්ලිම් අය හින්ද ඒ හරහා තව අර්බුදයක් පටන් අරන් එතනින් මුස්ලිම් පල්ලියෙ ලවුඞ්ස්පීකරේ දක්වා ශබ්ද දූෂණ ප‍්‍රශ්නෙ ලොකු කර ගන්නවලූ. මේ නිසා එන යෝජනාව කොත්තුව ගොළු කිරීම. සද්ද නැතුව කොත්තු හැදීම. එතකොට අපි කන්නෙ ගොළු කොත්තු’
මේ කතාවෙ ඇත්ත නැත්ත මොනවා වුනත් ෆික්ෂන් එකක් විදිහටත් ඒක මරු. මොකද අපිට හිනා යන්නෙ ඇත්තත් ඒ තරමටම ළ`ග හින්ද. ගොළු කොත්තු කියන්නෙ මාර සංස්කෘතික වෙනසක්. ටවුන් වල පාළුව කපපු, රහ ගැන කියපු ඒ සද්දෙ ගොළු කරන එක අමරදේව නැති වෙනවට වඩා අපරාදයක්. ලංකාවෙ සංගීතෙට වඩා ඇත්තටම රැක ගන්න  ඕන නොයිස් (සද්ද). අපේ සංස්කෘතිය ගැන ලොකු කතන්දර කියන කවුරුවත් මේ වෙනකං අපේ සද්ද සංස්කෘතිය ගැන කතා කරලා නෑ. (මං මේ අත තියන්නෙ අජිත් කුමාරසිරි ගෙ කලාපයකට). අජිත් ඒකට පාවිච්චි කරන්නෙ නොයිස් කන්ස්ටිටියුෂන් එක. සද්ද ව්‍යවස්ථාව. මට අනුව නොයිස් කල්චර් එක. කොත්තුවෙ සද්දෙ කියන්නෙ අපේ නාගරික සද්ද සංස්කෘතියෙ ලොකු කොටසක්. ඇත්තටම ? කල්චර් එක කියල ඉතුරු වුනේ එච්චරයි. මට ගොළු කොත්තුව ගැන අදහස මාර වෙන්නෙත් බීබීඑස් ගැන ඒක මරු විග‍්‍රහයක් වෙන්නෙත් මේ ලොකු කතාව හින්ද. අනික ඒක දේශපාලනය ගැන හන්දියෙ ප‍්‍රජා අදහසක්. පත්තර අදහසක් නෙමෙයි.

මෙච්චර වෙලා වත්තල පැත්තට ආපු මං දැන් මත්තලට මාරු වෙනවා. මත්තල එයාර් පෝර්ට් එක ගැන ප‍්‍රචාරක දැන්වීම් ටික තරම් අවංක දැන්වීම් පෙළක් මං දැකලා නැති තරං. මත්තල ගැන හැම සීරියස් සංවාදයක්ම එතනින් කැන්සල් වෙනවා කියලයි මං හිතන්නෙ. මත්තල කියන්නෙ ළමයින්ට සෙල්ලම් කරන්න හදපු තැනක් කියලයි සම්පූර්ණ ඇඞ්වර්ටයිසින් කන්සෙප්ට් එක වුනේ. එයාර් පෝර්ට් එකක් විදිහට ඒකෙන් ලැබෙන සේවාවන් ගැනවත් ඒකෙ තියෙන පහසුකම් ගැනවත් නෙමෙයි කතාව තිබුනෙ. පොල්ල යටින් කකුල දාගෙන බයිසිකල් පදින කොලූ ගැටවුන්ට සහ ලංකාවෙ පළවෙනියා ගත්ත දරුවා ඇතුළු ප්ලේන් සෙල්ලම් කරන්න කැමති ගොඩක් දරුවන් වෙනුවෙන් මත්තල එයාර් පෝර්ට් එක විවෘත වෙන වග කියන එක මං හිතන්නෙ හරිම අවංක කතාවක්.

එක පැත්තකින් ඒක ළමයින් වෙනුවෙන් හදපු ගුවන් තොටුපොල වග කියන ගමන් අනිත් පැත්තෙන් ලෝකයේ හුරතල්ම ළමා පරපුර වුණු සමස්ත ලාංකේය ජනතාව වෙනුවෙන් මත්තල එයාර් පෝර්ට් එකක් අරින වගත් කියනවා. කියන දෙයක් විතරක් බාර ගන්න වෙන දෙයක් වෙනකං බලන් ඉන්න අපි තරම් හොඳ ළමයි ඉන්න රට කොහෙද? ඒ ළමයින්ට සෙල්ලං කරන්න එයාර් පෝර්ට්, වරායවල් හදන ආදර්ශමත් වෙනත් රටක් කොහෙද? ගොසිප් වලට කමෙන්ට්ස් දාන ‘හසන්ත සහ සූරියප්පෙරුම’ මේක කිව්වා නං හු`ගක් ලස්සනට කියනවා.

ඒ විදිහෙන් විචාර අදහස් පළ වෙන එකත් හරි අලූත් නිර්මාණ කලාපයක්. ‘මට සිද්දිමය දත්ත වලට වඩා වටින්නේ දෙන්නේ ප‍්‍රමෝදමය සත්‍යයන්’ (ඔලූව ඇතුලෙ අවබෝධයේ ත‍්‍රිල් එක දෙන) කියල මං කැමතිම ඩිරෙක්ටර් කෙනෙක් වුණු වර්නර් හර්සොග් කියනවා.

ඇයි මාව කලින් දැකලා නැද්ද?


ලසිත් මාලිංග කොළඹ එන්නෙ බෝල ගහන්න. බෝල ගහන එක ලංකාවෙ ජනතාවට ජාතික ප‍්‍රශ්නයක් වුනාට ඒක ලසිත් මාලිංගට අදාල නෑ. එයා කරන්නෙ බෝල විසි කරන එක. ඒත් වැදගත්ම දේ එයාට ස්ටයිල් එකක් තිබුන. බෝල විසි කරන ස්ටයිල් එකක් වගේම එයා වෙන සංස්කෘතික අවුලක් කළා. එයා සිංහයට ඇන්දා. ලංකාවෙ ක‍්‍රිකට් බලන ජනතාව තනකොල පිට්ටනියක් උඩ ජාතික මට්ටමේ  ඕර්ගි (සාමූහිකව කරන රති ක‍්‍රීඩා) එකක් දාලා සුරතාන්තයට පත්වුනා.

ඉස්තෙපාන් කියන විදිහට ක‍්‍රිකට් තමයි ලංකාවෙ හොඳම දේ. එතනදි අපි ජාති ආගම් බේද නැතුව එකට හිතන්න ගන්න හින්ද. ගම් නගර බේද නැතුව එක වෙලාවක ටීවී එක ඉස්සරහ හිට ගන්න විනයක් තියෙන හින්ද. පොලිසිය ජනතාව හැමෝම එක ආතල් එකක් බෙදා ගන්න හින්ද. ක‍්‍රිකට් කියන්නෙ අපේ සිංහල අවුරුද්දට වඩා අපේ ඇත්ත සංස්කෘතික කෑල්ලක් සහ ඒක හොඳයි කියලයි ඌ කියන්නෙ. එකක් අපි ඒ වැඬේදි දක්ෂයි. වෙන මොන වැඩකදිවත් අපි ලෝක මට්ටමේ දක්ෂයන් නෙවෙයි. අපේ අපේ කියන හැම දේකදිමත් ලෝකෙ අනිත් උන් අපිට වඩා දක්ෂයි (උදා කෘෂි වාරි වගේ වැඩ) අනික මේ වැඬේ අපි ලෝකෙ දිහාට ඇරෙන වැඩක්. අපි දූපතක් විදිහට ගුලි වෙනවට වඩා ලෝකෙ තියෙන විනයකට හුරු වෙන වැඩක්. ඒක  ඕපන් එකක් විදහටයි ඌ දකින්නෙ.

ලසිත්ගෙ මේ මාධ්‍යවේදියා ප‍්‍රශ්න කරන තැනදි ක‍්‍රිකට් ඊට වඩා හොඳ ඇරිල්ලක් වුනා කියලයි මට හිතෙන්නෙ. ඒක ඇක්සිඩන්ට් එකක්. උතුරෙදි ජාතික වීරයා වුණු සොල්දාදුවාට කරන්න බැරි වෙච්ච දේ ක‍්‍රිකට් ජාතික වීරයා වෙච්ච ලසිත් කරනවා. රටක් විසින් හදන මිත්‍යාවකට වීරත්වයකට තමන්ගේ පුද්ගලිකත්වය අභිභවා යන්න ඉඩ නොදෙන එක. අන්තිම අවදානම්කාරී වෙලාවක පවා තමන්ගේ ඇත්ත දේ වෙනුවෙන් බය නැතුව පෙනී ඉන්න එක. වඩාත්ම තමන් විසින් ස්ටයිල් එකක් විදිහට ගෙනාපු සිංහයාට තේරුමක් දෙන එක.
ඇයි මාව කලින් දැකලා නැද්ද? නිකං යනවා මනුස්සයො යන්න.

මේකත් එක්ක ලංකාවෙ මහජන ඉරිසියාව සහ කුහකකම මහා පරිමාණෙන් එලියට ආවා.
‘මෙච්චර සල්ලි ගෙවලත් තව ඉල්ලන්න? මුං සෙල්ලං කරන්නෙ රට වෙනුවෙන්ද?’
‘නෑ මං සෙල්ලං කරන්නෙ මගේ ආතල් එකට’ ලසිත්ගෙ උත්තරය වුනේ ඒක. සිංහයෙක් කියල කුක්කෙක් බලාපොරොත්තු වුනු ජනතාව ලසිත්ගේ කනේ පාරට රත් වෙලා ඇහැරුණා.
‘ලසිත් ගෙනාවෙ මාධ්‍ය වලින්. ලසිත් මේ විදිහට මාධ්‍ය වලට කතා කරන එක හරිද?’ මාධ්‍ය වලින් සදාචාරය දේශනා කරන්න පටන් ගත්තා. තමන් මාධ්‍යයට වඩා විශාලයි කියන එක ලසිත් තේරුම් අරං තිබුණ. ඊට පස්සෙ නැවත නැවත මාධ්‍ය බයිට් එකක් නොවෙන්නත් එයාට තේරුමක් තිබුන. කොටින්ම විපක්ෂයක් විදිහට රනිල් වික‍්‍රමසිංහට නැති අවබෝධයක් මේ ගම් ගැටයට තිබුණ.
ලසිත්ට ඇත්ත ස්ටයිල් එකක් තිබුණා.

(අපේ හිතුවිලි සංස්කෘතියට සැබෑ ඇරිල්ලක් වුණු ලසිත් මාලිංගගේ වචන ටික කල්ට් ලයින් එක වෙන්නෙ ඒ අදහසට ආචාරයක් විදිහට)

Thursday, March 21, 2013

සුක්කානම පිටුපස බුදුන්

‘මචං, අපි කවදාවත් වාහනයක් හරියට පදින්නෙ නෑ. ඒක කරන්නෙ බාගෙට. අපි පුෂ් බයිසිකලේක යද්දි අපි හිතන්නෙ මෝටර් සයිකලයක් ගැන. මෝටර් සයිකලයක් පදිද්දි අපි හිතන්නෙ කාර් එකක් ගැන. කොයි වෙලාවකවත් අපිට අපි පදින වාහනේ එන්ජෝයි කරන්න බැරි වෙනවා’

අජිත් කුමාරසිරි මට කිව්වෙ හු`ගක් කාලෙකට කලින්. ඒක ඇත්ත. අපි සම්පූර්ණ මනසකින් වාහනේක ගමනක් අත්විඳින්නෙ කලාතුරකින්.. ඒත් මිනිත්තු කීපෙකට. පූර්ණ මනසකින් වාහනයක් පදින අත්දැකීමක් ගැන මං මුලින්ම කියෙව්වෙ රොබර්ඞ් පර්සිග් ගෙ ‘සෙන් ඇන්ඞ් ආර්ට් ඔෆ් මෝටර් සයිකල් මේන්ටනන්ස්’ පොතෙන්.

‘මං ආසයි මේ විදිහට රට ඇතුලට යන්න. මොකකටවත් ප‍්‍රසිද්ද නැති, කොහෙද කියල දන්නෙ නැති, ඒ හින්දම යන්න සුදුසුම පළාතක පාරවල් දිගේ. හැම ආතතියක්ම නැති වෙලා යනවා මේ වගේ පරණ පාරවල් දිගේ එලවද්දි. ඉඳහිට තියෙන කොන්ක‍්‍රීට් කැඩිච්ච තැන් වලින් බම්ප් වෙවී, පාර අයින දිගට වැවුණු පූස් නැටි ගාල් මැද්දෙන් එක දිගට පේන තැනිතලාව මැද්දෙන් වැටිච්ච පාර.. තව උස තණකොල එක්ක පූස් නැටි ඉස්සරහින්. සමහර තැන් වල පුංචි දිය කඩිති. පූස් නැටි ගාල් යට පුංචි තාරාවො පීනනවා ඒ වතුරෙ. සමහර වෙලාවට ඉබ්බො. අන්න ලස්සන රතු පිහාටු තියෙන කලූ කුරුල්ලෙක්...’

ඒත් මට ඇත්තට මුණගැහිලා තියෙන ඩ‍්‍රයිවින් අත්දැකීම් ගොඩක් වෙනස්. වාහනයක් එළවීමම දරුණුම ආතතිය කර ගත්, හෝන් එකෙන් අනුන්ගේ ස්නායු පුපුරන තරමට කුප්පන, කුණුහරුප සහ ඵරුෂ වචනම පාරේ භාෂාව කර ගත් සාමාන්‍ය පොදු ඩ‍්‍රයිවින් කරන අය මට කවදාවත් වාහනයක් එළවන්න නම් නොහිතෙන ගානට සුක්කානම පිටිපස්සෙ ජීවිතය එපා කරලා තිබුණෙ.

ඇත්තටම වාහනයක් එක්ක සම්බන්දෙ කොයි වගේද? වේගය සහ ඒ වේගයේ නියාමකයා තමන් වීම කියන අවකාශය කොයි තරම් නිර්මාණශීලීව හසුරුවන්න පුළුවන්ද? ඇත්තටම මේක වාහනයක් කියන්නෙ ගමනක් යන්න තියෙන උපාංගයක් කියන මූලික තැනින් එහාට වාහනයක් මනුස්ස අභ්‍යාසයක්, භාවනාවක් කර ගන්නෙ කොහොමද කියන බොහොම පොඩි පිරිසකට අදාල අදහසක් එක්ක ගණුදෙනුවක්. ඒත් මං ඒක ගැන හිතුවා. විශේෂයෙන් ලංකාවෙ ගොඩක් අය ඒ වගේ දේවල් ගැන නොහිතන හින්ද.

කොයි තරං ලිංග පාක්ෂික විදිහට පේන්න ඉඩ තිබුණත් මෙතනදි කියන්න වෙන ඇත්ත කාරණය ගෑණුන්ට වාහන එළවන එක අමාරු වැඩක්. කොයිතරම් උත්සාහ කළත් ඒ විෂයෙදි නිර්මාණශීලී වෙන්න ඒ ගොල්ලොන්ට බැරි වෙනවා. මේක හොඳටම පැහැදිලි වෙන්නෙ ගැහැණියක් සහ පිරිමියෙක් තමන්ගෙ වාහනේ එක්ක පවත්වන සම්බන්ධතාවය ඇතුලෙ. පිරිමියෙකුට වාහනය දේකට වඩා යමක්, ගමන් සගයෙක් වගේ සප‍්‍රාණික තැනකින් දැනෙනවා. ඒත් ගැහැණියකට වාහනය දෙයක්, උපකරණයක් විතරමයි. වාහන එක්ක ගෑණු සම්බන්ධ කරන වෙළඳ දැන්වීම් කොයිතරං නිර්මාණය වුණත් ඒවා නැවතත් පිරිමි පරිකල්පන විතරයි.

ඒකට හේතුව වාහනය සහ ඒ හා සම්බන්ධ භාවිතා සියල්ල පිරිමි ආශාවක් ඔස්සේ නිර්මාණය වීම කියලයි මට හිතෙන්නෙ. වාහන සම්බන්ධ සියලූ සංස්කෘතික කාරණා මෙහෙයවෙන්නෙ පිරිමි අතර. ගැහැණියක් හැම තිස්සෙම ඒ ලෝකෙට පිටස්තරයෙක්. ඒ හින්දම ගැහැණියකට වාහනයක් එළවනවා කියන්නෙ වැඩක්, වගකීමක්, වදයක් මිස පැවැත්මක් නෙමෙයි. ඒ හින්දම ගෑණියෙක් වාහනයක් එළවනවා කියන්නෙ පාරෙදි වේදනාවක්.

ඒත් වාහනයක් එළවන විදිහෙන් ඒ එළවන මනුස්සයගෙ ගොඩක් අභ්‍යන්තර කාරණා එලියට එනවා. වාහනයක සුක්කානම අල්ලන පීඩනය, ගියර් මාරු කරන විදිහ, මාර්ගය තේරුම් ගන්න විදිහ, මේ හැම දෙයක් එක්කම අපිට එළවන කෙනාගෙ පෞර්ෂය තේරුං යනවා. කොහෙත්ම බලාපොරොත්තු නොවන ආකාරයක කියවීමක් හින්දම සුක්කානම පිටිපස්සෙදි කෙනෙක් මනෝ විශ්ලේෂණ සෝපාවක ඉන්නවට වඩා විවෘතයි. ලංකාවෙ මේ ද්‍රව්‍යමය, කිසි පිළිගැනීමක් හෝ විශේෂඥභාවයක් නොපිළිගන්නා වාහන එළවන එක වෙන රටවල ජීවිතය සම්බන්ධ ගැඹුරු භාවිතාවක් දක්වා සංවර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන් සවිඥාණකව වාහන පැදවීම කියන පුහුණු වැඩමුළු, සාකච්ඡ දියත් වෙනවා.
‘වාහන පැදවීම කියන්නෙ විභාගයක් පාස් කරනවා වගේ වැඩක් නෙමෙයි. මුලින්ම ගමනාන්තයට වඩා ගමනට ප‍්‍රධානත්වය දෙන්න මනස හුරු කරන්න...’
-සෙන් සහ වාහන පැදවීමේ ආර්ට් එක (වැඩමුළුවක්)
‘පොලිසියට අහුවෙන්නෙ නැත්තං ඩ‍්‍රයිවර් කෙනෙක් වඩා වේගෙන් යනවද? ඇයි ඒ? ඇස් වහගෙන හිතන්න කවුරුවත් ඔයා දිහා බලාගෙන නැත්තං ඔයා හැසිරෙන විදිහ.. හැම තිස්සෙම පූනීලාකාර විදිහට බලන්න පුරුදු වෙන්න බිංගෙයක් ඇතුලෙන් දකිනවට වඩා. එතකොට ළ`ග වගේම දුරත් එක විට පැහැදිලිව දකින්න පුළුවන්’
මේ වැඩමුළුවේදී දේශකයෙක් විසින් වාහන එළවන එක බෞද්ධ පුහුණුවක්, භාවනාවක් බවට පත් කරන හැටි ඒකට සහභාගි වුණු කෙනෙක් විස්තර කරනවා.
‘ඉස්සරහ බාධාවන් දුර ඉඳන් දකින්න. වේගය අඩු කරන්න...’

‘අපි ඇක්සිඩන්ට් කියල කියන දේවල් කොයි තරමක් ඇත්තටම ‘ක‍්‍රෑෂස්’ කියල කියන්න  ඕන ඒවද?’ අභ්‍යන්තරයේ මානසික ව්‍යාකූලතා සුක්කානම පිටුපසදී මෝචනය වීම සහ ගැටීමක් සඳහා පොළඹවන අවිඥාණක තෙරපීම් ගැන ඒ වැඩමුළුවෙදි සජීවී සංවාදයක් කරනවා.

ඇත්තටම ස්වයංක‍්‍රීය ගියර් වාහනේකට වඩා ගියර් මාරු කරන වාහනයක් එළවද්දි ඒ එළවීමේ රිද්මය දැනෙනවා වැඩියි. ඒ වේගය, නැවතීම්, පැනීම් සියල්ල එක්ක වාහනයේ හුස්ම හ`ඩ පරිපූර්ණ අත්දැකීමක් දනවනවා. නිදහස් විවෘත මාවත් වලදි වගේම ට‍්‍රැෆික් වැඩි නගරයෙදි වුණත් මේ ආස්වාදය අඩු නැති වගයි මගේ දැනීම. හැම ට‍්‍රැෆික් ලයිට් එකක් ඉදිරියෙදිම අපේ මානසික වේගය පරීක්‍ෂාවට ලක් වෙනවා. සෙන් ඩ‍්‍රයිවින් කියල පොතක් තියෙනවා කෙවින් සහ ටොඞ් බර්ගර් කියන ජන මාධ්‍යවේදියෙක් සහ මනෝවිශ්ලේෂකයෙක් එකතු වෙලා ලියපු.

‘සුක්කානම පිටුපස බුදුන්’ ඒ පොත පටන් ගන්නෙ එහෙම. ‘වාහනයේ ඉග්නිෂන් ද`ගරයේ තැන්පත් ඒ ශක්තිය දැල්වීමෙන් ඇන්ජිම පණ ගන්වා ඉන් ගියර් මාරු කර හයිවේ එක දිගේ වේගයෙන් යන ගමන් සෙන් මනස අභ්‍යාස කිරීමයි මේ පොතේ අරමුණ. ඒ ඔබේ ස්වභාවික පැවැත්ම සොයා යාමක්. ඔබේ අභ්‍යන්තරයේ ද`ගර ගැසුණු ඔබ නිදහස් වීමක්’

වාහනයක් එළවනවා කියන්නෙ පූර්ණ එළඹ සිටි සිහිය අවශ්‍ය වෙන වෙලාවක්. මනසේ නිරන්තර කච කචේ නවත්තන්න සිද්ද වෙන වෙලාවක්. ඒක හරියටම යෝගා පුහුණුවක් වගේ. හැම වංගුවක්ම, නැම්මක්ම, බාහිර අභ්‍යන්තර වෙන්වීමකින් තොරව අත්විඳින්න ඒ අත්දැකීමට දියවෙන්න සිද්ද වෙනවා. නිකංම ගමනක් යනවා වෙනුවට ගමනක අත්දැකීමක් බවට ඔබ පත්වෙනවා කියන්නෙ වෙනස් පැවැත්මක්.එහෙම නැත්තං හැමෝටම වාහන එළවන්න පුළුවන්. ඒත් පූර්ණ අත්දැකීමක් විදිහට එළවන එක අත්විඳින්න අතේ ඇ`ගිලි ගානට වැඩි පිරිසකට බැරි වෙනවා.

එක දවසක් සෙන් භාවනා ඉගෙන ගන්න අයික් කියන කෙනා හූ සුන්ග් ආරාමයට එනවා  වාහනේ බැටරිය පන ගන්වන්න වයර් දෙකක් ඉල්ල ගන්න. වයසට යමින් ඉන්න රෝෂි, එයා කලින් රේස් පැදපු ඒත් දැන් සෙන් ආචාර්යවරයෙක්. එයා කබල් වාහනේ හදමිනුයි ඉන්නෙ. එයා කියනවා බැටරිය පන ගන්වන්න නං ප‍්‍රශ්නෙකට උත්තර දෙන්න කියල. ‘මොකද්ද සෙන් ඩ‍්‍රයිවින් කියන්නෙ?’ රෝෂි අයික් ගෙන් අහනවා. අයික් ටිකක් වෙලා කල්පනා කරනවා. එයාගෙ මූනට කපටි හිනාවක් එනවා. මං දන්නවා,
‘විවෘත පාරක් දිගේ යන විවෘත මනසක්’

රෝෂි එකපාරටම ස්පැනර් එකකින් ගහලා අයික්ව එළව ගන්නවා. ‘ගිහින් ඉගෙන ගෙන වරෙන්’

අවුරුදු 8ට පස්සෙ ආයිමත් අයික් යනවා වාහනේ පණගන්වන්න බැටරි වයර් ඉල්ල ගන්න. රෝෂි පේන්න නැති හින්ද එයා වෙන කෙනෙක් ගෙන් අහනවා රෝෂි කොහෙද කියල. එතකොටම වාහනයක් යට ඉඳන් රෝෂි එලියට ඇදිලා එනවා.

‘ආ, දැන් උඹට මොකක්ද කියන්න තියෙන්නෙ?’  තාමත් පරණ ප‍්‍රශ්නෙමයි. අයික් ඔලූව පාත් කරගෙන අහනවා.
‘මොකද්ද සෙන් ඩ‍්‍රයිවින් කියන්නෙ?’

‘විවෘත පාරක් දිගේ යන විවෘත මනසක්’ සෙන් ආචාර්ය රෝෂි හයියෙන් හිනාවෙනවා. ඒ මොහොතෙ අයික් අවබෝධයට පත් වෙනවා.

භාවනාවක් විදිහට වාහනයක් එළවනවා කියන්නෙ වාහනය හා තමන් එක පැවැත්මක් වෙන මොහොතක්. වෙන විදිහකට කිව්වොත් මිනිහෙක් විදිහට අපේ පැවැත්ම වාහනයක් දක්වා මාරු වෙන තැනක්. අපි ඉස්සරහින් අනන්තය දක්වා විහිදුණු මහ පාරක්.

ඔබව සොයා යන ගමන අරඹන්න. ඉතිං ගියර් එක මාරු කරන්න.