Saturday, October 13, 2012

කරුමක්කාර ජීවිතේ විඳින්න ශෘංගාර රිදී නිම්නයේ වැතිරෙන්න


කාලෙකට පස්සෙ ආපහු තිස්ස අබේසේකරගෙ කරුමක්කාරයෝ ෆිල්ම් එක බැලූවා. 1980 මුල කරපු ඒක තිස්සගෙ පළවෙනි අධ්‍යක්‍ෂණය. එතකොට මට අවුරුදු හතරක් විතර. ඒ වෙද්දි එයා වැලිකතර පිටපතත් ලියලා. මට අනුව ලංකාවෙ කෙරිච්ච හොඳම චිත‍්‍රපටිය වැලිකතර. ඒක අධ්‍යක්‍ෂණය කරන්නෙ ඞීබී නිහාල්සිංහ. තිස්ස අබේසේකර කියන්නෙ ලංකාවෙ බිහිවුණු හොඳම තිර රචකයා. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් මං තිස්ස අබේසේකර කියන චරිතෙ අඳුරගන්න කාලෙ තිස්ස නෙමෙයි. මට හයක් හතරක් නොතේරෙන කාලෙ තිස්ස. කරුමක්කාරයො චිත‍්‍රපටිය ඇතුලෙ එයාගෙ පේන අවංකත්වය සහ නිදහස මාව පුදුම කළා. ඒක 53 ගුණදාස අමරසේකර ලියපු කතාවක්. මං අඳුරගන්න කාලෙදි අමරස්කර එයාගෙ ‘යලි උපන්නෙමි’ අත්වැරැුද්දක් කියලා සිංහල ජාතිකත්වයක් කියන බෙලි කටුවක් ඇතුලෙ හිරවෙච්ච පුංචි ගුල්ලෙක්. ඞීබී නිහාල්සිංහ හිතාගන්න බැරි තරම් පටු විදිහට ලංකාවෙ සිනමාවෙ අවුල ලිහන්න හදන පොඩිහිටියෙක්. තිස්ස අබේසේකර ලොකු දුව වගේ කටේ තියන්න බැරි පිටපත් ලියන, දේශපාලනීකරණය වුණු, බංකොලොත් චිත‍්‍රපටි සංස්තාවෙ අබාපති චරිතයක්. මට මුණගැහුනෙ මැරිච්ච මිනිස්සු. කරුමක්කාරයො බලද්දි මට හිතුනෙ එහෙම. එදා තිස්ස ඒ චිත‍්‍රපටියෙ කරන ටිකවත් කරන්න අද අපේ අලූත් එවුන්ට බෑ. ණයට ගත්ත සම්භාව්‍ය හතර මායිමක අපි කුලියට ගත්ත අදහස් එහා මෙහා කරනවා. ඒත් කරුමක්කාරයෝ කියන්නෙ වැඩක්.
ෆිල්ම් එක පටන් ගන්නෙ පත වයිඞ් ෂොට් එකක. ගල් තලාවක් දිගේ විජේ කුමාරණතුංග හාමුදුරු කෙනෙක් ළ`ගට යනවා. ‘ආපෝ.....’ මට මුලින්ම හිතුණෙ එහෙම.

ඒත් ඊට පස්සෙ මුළු ෆිල්ම් එකේම හැ`ගීම වෙනස් වෙනවා. මිඞ් (මධ්‍ය රූප) සහ ක්ලෝස් අප් (සමීප රූප) ඇරුණම ආයිමත් දුර රූපයක් අපි දකින්නෙ අන්තිමට. ඒ මුල දැකපු රූපෙ අවස්ථා සම්බන්දෙ. ජීවිතේ හු`ගක් ළ`ගින්, එහා මෙහා දුර නොපෙනෙන තරම් ළ`ගින් අබේසේකර අල්ලන්නෙ. ඒ හින්ද ටිකක් වත් එහායින් තියෙන දෙයක් පේන්නෙ නෑ. ඒක තනිකරම වල්මත් ගමනක්. චිත‍්‍රපටියක රූපමය ආකෘතියකින් කතාවට ඒ තරම් ප‍්‍රබල අර්ථයක් දෙනවා ලංකාවෙ මං දැක්ක පළවෙනි වතාව. දැන් අපි හැමෝගෙම ස්ටයිල් එක පුළුවන් තරම් දුරට වෙලා බලන් ඉන්න එක. අපි ඉපදිච්ච හැදිච්චි වැඩිච්ච ජීවිතේ දිහා අපි අපේ සිනමාව ඇතුලෙ බලන්නෙ ගව් ගාණක් දුර ඉඳන්. ඒක තමයි ආධ්‍යාත්මික සහ සම්මානනීය රූප රාමුව. ඩෙනිස්ගෙ ’ත‍්‍රීවීල් ඩයරීස්’ දෙබසක් මතක් වෙනවා මට.

‘මචං තනි ගහයි ගේයි. අවෝර්ඞ් දිනන ෂොට් එකක් මචං’

අබේසේකරගෙ චිත‍්‍රපටිය බලද්දි මට මතක් වුනා තවත් චිත‍්‍රපටි දෙකක්. එකක් සර්ජි ලියෝන්ගෙ ’වන්ස් අපොන් අ ටයිම් ඉන් වෙස්ට්’. ගමට නගරෙන් කෙල්ලෙක් බැඳලා එන මිනිහෙක් ගැන කතාවක් ඒක. ඒ මිනිහට අයිති වත්ත අයිනෙන් රේල් පාර වැටෙනවා. ඒක හින්ද ගමේ චණ්ඩි මේ ඉඩම ගන්න පොර කනවා. ඒ අතරෙ මේ නගරෙන් ආපු ගෑණිගෙ සරාගිකත්වය ඉස්සරහ දණින් වැටෙනවා. කරුමක්කාරයො සංදර්භයත් මේකට හු`ගක් ළ`ගයි. දෙවෙනි ලෝක යුද්දෙට පස්සෙ සල්ලි ටිකක් හොයාගෙන ගමට එන ලොකු අයියා. ර`ගපාගන්න බැරි විජේ තමයි පොඩි මල්ලි. ඒකටත් එක්ක උපාලි අත්තනායක ර`ගපානවා තිතට. බැඳලා එන අක්කා තමයි ගමට එන ලිංගිකමය අවුල. ඒකෙන් පවුලෙ තාත්තා පුතා සම්බන්දෙ පවා අවුල් වෙනවා.
මෙතනදි තිස්ස ගීතාව ශෘංගාරකරණය කරන හැටි විශිෂ්ටයි. අමරසේකර ගමේ ඉඳන් ගම පැත්තෙන් ලියපු කතාව තිස්ස අල්ලන්නෙ නගරෙ පැත්තෙ ඉඳන්. නාගරික ඇහැකින්. ඒක මට වැඩ කරනවා වැඩියි. තිස්ස ගීතාව හැමතිස්සෙම තියන්නෙ විජේගෙ ඇ`ග උඩින්. විජේ නෙමෙයි උඩ ඉන්නෙ. එක පැත්තකින් ඒක ඒ නාගරික ගැහැණියගෙ ලිංගික ආධිපත්‍යය. ඒ චරිතය ගමට එනකොටමත් ගමේ එයා ගැන කතා පැතිරිලා ඉවරයි. සිදාදියෙන් ආපු සංකර බඞ්ඩ..

ඒ වෙනකං ගමේ කෙල්ලෙකුට කෙකර ගගා හිටපු විජේට ඒ කෙල්ලව පේන්නෙ වත් නැතුව යනවා. කන්‍යාභාවය පරිස්සං කරගෙන එයා යෝජනාවකින් කසාද බඳිනවා. විජේගෙයි මේ නෑනාගෙයි ආසාවන් ලිහෙන්නෙ කතරගමදි. ඒක අමරසේකරට ඒ කාලෙ ඉඳන්ම තිබ්බ ෆැන්ටසියක්. කතරගම කාවඩි සද්දෙට අමසේකරගෙ මස නලියනවා. කතරගම කවි පංතියට වඩා සිරා තැනක එයා කරුමක්කාරයෝ ඇතුලෙ කතරගම පිහිටුවනවා. ඒ ආවේශය-ප‍්‍රලය වීම ඇතුලෙ කරුමක්කාර ශෘංගාරය නිදහස් වෙනවා. මුලූ ෆිල්ම් එකම ගීතාගෙ ශෘංගාරයෙන් පෙ`ගිලා. තිස්ස පට්ට පිරිමියෙක් විදිහට ගීතා දිහා බලාගෙන ඉන්නවා. එතනදි මට සරජි ලියෝන් ගැහැණිය කියන විෂයෙදි තිස්සට වඩා ගොඩක් ඉස්සරහින් කියල හිතුණ.
සර්ජි ලියෝන් පට්ට පිරිමි වයිල්ඞ් වෙස්ට් කතාවක් කිව්වත් කතාව අන්තිම වෙද්දි මුහුදක් වගේ ස්ත‍්‍රීත්වයක් ඇතුලට ගිලෙනවා. තිස්ස උපරිම උත්සාහ කරනවා ඉපදෙන්න හිටපු දරුවා මැරෙන තැනදි ගීතාගෙ චරිතය විශාල කර ගන්න. ඒත් ඒකත් පොඩි පිරිමිකමක් ඇතුළෙම ගබ්සා වෙනවා. තිස්සට ගෑණු තේරෙන්නෙ නෑ....මට හිතුණ.

කරුමක්කාරයෝ එක්ක මට මතක් වුණු අනිත් ෆිල්ම් එක ‘බොර දිය පොකුණ’. ඒකත් ලංකාවෙ චූල වංස කතාවක්. ඒත් සත්‍යජිත් මාඉටිපේ ගැහැණිය ගැන තිස්සට වඩා ගොඩක් දන්නවා. ජීවිතේ ගැන සත්‍යජිත්ගෙ තේරුම් ගැනීම විශාලයි. ඒත් කරුමක්කාරයො සිනමා භාවිතය පැත්තෙන් තිස්ස ඉස්සරහින්. ඒක මාර රූප සංයෝජනයක්. එක තැනක අක්කා එකේ ඇඳේ ඉන්න මල්ලිගෙ සීන් එකත් එක්ක කැපෙන්නෙ වේගෙන් පාං බයිසිකලේ පදින මල්ලිව. ඒ අසම්මත ආස්වාදයේ තරම හොඳටම දැනෙන දර්ශන හුවමාරුවක් ඒක. සිනමාත්මක පැත්තෙන් තිස්ස අමරසේකරගෙ ගමේ කරුමක්කාර කතාව ලෝක සිනමාවෙ තැනක තියනවා.
මේ අසූ ගණන් වල අපිට තිබ්බ සිනමාව සහ ජීවිතේට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව මං ජොයින්ට් එකක් පත්තු කළා. දැන් අපි හදන්නෙ කොටළු චිත‍්‍රපටි. ඒවා වඳයි. වඳ ඒවා රැුක ගන්න යුරෝපීය රටවල් උදව් කරනවා තමයි. ඒත් මේ තරං හුස්ම ගන්න සිනමාවක් තිබුණු අපි, අපිවම පරාරෝපණය කර ගත්තු සිනමාවකට ගියේ කොහොමද? අසූව කියන්නෙ ලංකාවෙ විශිෂ්ටතම චිත‍්‍රපටි හැදිච්ච කාලයක්. පාර දිගේ, එක් ටැම් ගේ, දඩයම මේ වගේ තව ගොඩක්. ඊට පස්සෙ අනූ ගනන් වලදි අපි මේ පරාරෝපිත අවකාශෙට ඇතුල් වෙනවා. අද අපි විකල්ප සිනමාවෙ දැවැන්තයො කියල අදහන ගොඩක් අය මේ පරාරෝපිත සිනමාවෙ නිර්මාර්තෘවරු. සමහර විට ඒක තේරුම් ගන්න බැරි වුණු සමාජ දේශපාලන අවකාශෙ වෙන්න පුළුවන්. ඒත් සිනමාව අපෙන් එන්න එන්නම දුරට යන්න ගත්තා. අන්තිමට අපේ සිනමාව අන්තර්ජාතික සිනමාවක් වුණා. යුරෝපෙට  ඕන බඩු නිපදවා අපනයනය කරන කර්මාන්තයක්.

 දෙවෙනි පිටුවෙ අන්තිම. දැන් මං කතා කරන්නම කැමති කොටස. උපාලි අත්තනායක කරන අයියාගෙ චරිතෙ. මේ අයියා ගමෙන් සල්ලි හොයන්න සිදාදියට ආපු තරුණයෙක්. සිදාදියේ ජීවිතේ විසින් ඒ පිරිමියාගේ ශෘංගාරය එහෙම්පිටින්ම අහිමි කරනවා. නගරය විසින් තරුණියව ශෘංගාර කලාපයක් කරද්දි ඒ නගරයේ තරුණයාව නපුංසකයෙක් කරනවා. ගමේ හැමෝම අක්කාගේ සරාගිකත්වයෙන් කැළඹෙද්දි අයියා යන්තමින් වත් නොසැලෙන්නෙ ඒකයි. මේ නපුංසකයා හැමදෙයක් ගැනම දැනුවත්. ජීවිතේ ලොකු තාප්පවල වාහනවල හැප්පිච්ච මිනිහෙක්. මේක මට අමරසේකරට වඩා තිස්ස විසින් නිර්මාණය කරන චරිතයක්. මේ චරිතෙ එයාගෙ ගොඩක් කතා වල එනවා. මහගෙදර තිස්ස අබේසේකරම ර`ගපාන්නෙ මේ චරිතය. විරාගයෙ අරවින්ද වෙනකල් වැඩෙන්නෙ මේ එකම චරිතය. මේක තිස්සගෙන් ජීවිතය ගැන තමන්ගෙ බාර ගැනීම කියවෙන තැනක්.

මේ නපුංසකයා එක්ක ජීවිතේ අත්ඇරලා යන අනිත් අන්තය මුණගැහෙනවා. පැවිද්ද. ඒ පලා යාම බාර ගන්න යද්දි අයියා ආයිමත් තමන්ගෙ ගෑණි එක්ක නිදා ගත්ත මේ මල්ලිව හෙයාගෙන එනවා. එයා කියනවා, ‘බලපං අක්කයි මායි..අපි ජීවිතෙන් පැනලා ගියේ නෑ..අපි ජීවිතේට මූණ දුන්නා..’ අසූ ගණන් වලදි අපේ සිනමාව යෝජනා කළේ නැවත ජීවිතය. ඒත් අද අපි සිනමාව ඇතුලෙ නැවත නැවත යෝජනා කරන්නෙ මරණය..
මේ තිර පිටපත ලියවෙන අවබෝධය ඇතුලෙ හැම චරිතයක්ම පුදුම හිතෙන තරමට බැලන්ස් වෙනවා. ගෙදර අක්කාගෙ (නෑනා නෙමෙයි) චරිතය ගේන හැටි හරිම සියුම්. ඒක චිත‍්‍රපටිය ඇතුලෙ නොපෙන්නා කියන කතාව. සිදාදියෙන් ආපු අක්කා ගෙදර බින්න බහිද්දි ගෙදර අක්කා සිදාදියේ ගණිකාවකගේ තැන වෙනකං යනවා. ගෙදර පියා සහ සහෝදරයින් එකම ගෑණිව අඹු කර ගැනීමේ අපචාරය දරන්න බැරි තැන අක්කා ගමේ මුදලාලිගේ ගෙදර ගිහින් නවතිනවා. මුදලාලි පළවෙනි වතාවට අක්කා ළ`ගට එන සිදුවීම තිස්ස ගොඩනගන විදිහට මගේ ඇ`ග හිරි වැටුණා. ඒ රිද්මය.. ‘මට නැති වෙන්න දෙයක් නෑනෙ මහත්තයා’ ඒ දෙබස් කියවෙන ටෝන් එක හීනෙන් පවා බය ගන්නන සුළුයි.  තිස්ස ගෑණු ගැන දන්න දිග පළල යන්තමින් වත් එළි කරන්නෙ අක්කාගෙ චරිතය කියලයි මං හිතන්නෙ. ගීතාගේ චරිතය ශෘංගාරය ඇතුලෙ විනාස වෙද්දි තිස්ස මේ චරිතෙ ගොඩ දා ගන්නවා.

මුල දුර රූපෙ ඉඳන් සමීප රූප වලින් දිග හැරිච්ච ෆ්ලෑෂ් බැක් එක නිමා කරමින් අන්තිමට ආයිමත් දුර රූපෙකට එනවා. ඒ විජේ පැවිදි වෙන තැන. මේ ආකෘති හරඹය මාර විදිහට වැඩ කරනවා. කුණ්ඩලකේශී කතාව වගේ පටන් ගන්න ෆිල්ම් එක අවසානයෙදි ඒ ධර්ම පද්ධතියටම අභියෝග කරනවා. ඒක ජීවිතේ ගුටි කාලා ඉගෙන ගත්තු නාගරික නපුංසකයෙකුගෙ අභියෝගයක්. ඇතිවීම නැතිවීම දරා ගන්න බැරිව විජේ වගේ අය ථේරවාදී බුදුන් ළ`ග හැකිලෙද්දි, ඇතිවීම නැතිවීම විඳවීම ඇතුලෙන්ම අවබෝද කර ගත්තු අයියා මහායාන බුදුන් දක්වා විශාල වෙනවා. මට තිස්සගේ තරුණකම දැනෙන්නෙ මේ මතවාදී පරාසයන් හින්දම.
ෆිල්ම් එකේ සංගීතය ෆිල්ම් එකේ පිහිටීම ගැන හොඳ සංඥාවක් දෙනවා. ඒක හරිම රොමාන්තික නාගරික සංගීතයක්. පේ‍්‍රමසිරි කේමදාස මේ සංගීතෙ රෝගී වියුක්ත අඩිවයක් වෙනකං අරං ගියා. මේ වෙද්දිත් අපේ සිනමාවෙ මාරයි කියල හිතන්නෙ ඒ අද්භූත සංගීතය. කරුමක්කාරයො චිත‍්‍රපටියෙ පසුබිම් සංගීතය කරුමක්කාර සංගීතයක් නෙමෙයි. ඒක වාදනය වෙන්නෙ ජීවිතය පැත්තෙ ඉඳලා. ටිකක් වැඩිපුර එළලා තිබුණ. ඒත් ඒක හරි අදහසක් ඇතිව කරපු සංගීතයක්.

මං ඉපදිලා අවුරුදු කීපෙකින් මැරිච්ච ඒ දැවැන්ත සිනමාකරුවාගේ පළවෙනි වැඬේ අන්තිම ටයිට්ල් එකත් යනකං මං බලන් හිටියා. තනියම කොම්පියුටර් තිරේ ඉස්සරහ නැගිටලා තනියෙං හෙමින් අත්පුඩියක් ගැහුවා.
හු`ග කාලෙකට පස්සෙ මං ඇත්ත සිනමාවක් ඉස්සරහ පේ‍්‍රක්‍ෂකයෙක් වුණා.

-චින්තන ධර්මදාස

6 comments:

  1. සහතික ඇත්ත.. ඩී බී නිහාල්සිංහ ඒ මහතයගේ කුටුම්බ ජීවීත්ය නිසා අපට අහිමි වෙනවා. තිස්සත් නෑ. හඳයා ගෙදර ගෑනී මරාගෙන කකා තනි තටුවෙන් පියාඹන්න යනවා. විදුට රූපවාහිනිය මිලක් නියම කරනවා. වෙන උන්ට විදු වටින්නේ නෑ. එකම එක ච්ත්‍රපටයක් ළඟදි බැලුවා ටිකක් හිතට අල්ලපු. සුළඟ එනු පිනිස. ඒ මගේ රසය. ඒ උනාට ලංකාවේ සිනමාවේ මට අමතක නොවනම චරිත වන ඩොමී, ඩී ආර්, පියදාස විජේකෝන් ඉන්න ගෙදර හිටිය රෝස කැකුල රෝසා ගීතයට කරන රංගනය තරම් රංගනයක් මම එක චිත්‍රපටයක වත් දැකලා නෑ. රෝසා මුළු ෆිල්ම් එකේම නෑ. ඒත් මට රෝසාව මැවිලා පේනවා. ඩොමී වගේම මමත් රෝසා එකක නිදාගන්නව..

    ReplyDelete
    Replies
    1. හඳයා ගෙදර ගෑනී මරාගෙන කකා තනි තටුවෙන් පියාඹන්න යනවා.ඩොමී වගේම මමත් රෝසා එකක නිදාගන්නව. මාර නිර්මානාත්මකයි. දාර්ශනිකයි. හ:! හ:! ඔබට සතුටුයි ද දැන්?

      Delete
  2. චින්තන මට අනුව නම් කරුමක්කාරයෝට වඩා විරාගයේදී තිස්ස ඉස්සරහින්, බලපන් කරුමක්කාරයෝ ඇතුළෙ තිස්ස බයයි. තිස්ස හැම මොහොතකම ක්ලෝසප් වලිනුයි මීඩ් වලිනුයි අමරසේකරගෙ චරිත කියවන්න ගියාට තිස්ස බයයි, ඒ බය හොදට පේනවා. මං හිතන්නේ කරුමක්කාරයෝ ලියලා ආයිත් අවුරුදු ගාණකට පස්සේ තමන්ගෙ නිර්මාණය වෙනුවෙන් පෙනී සිටීම අතෑරපු අමරසේකරට තිබුණු බය තිස්සටත් තිබිලා තියෙනවා ෆිල්ම් එක ෂූට් කරද්දිම.

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්....
    මට පෙනෙන ව්දිහට දැන් ලංකවෙ සම්භහවය කියාගන්නා ගොඩක් ච්ත්‍රපටිවල ඉන්නෙ ගණිකාවොයි ආර්මි කාරයො.එකත් හරියට කුඩා රාමුවක් වගේ. ච්ත්‍රපටිවල තියන sex ආර්ට් එකක් විදිහට දැනෙන්නෙම නැතිතරම්.
    (Perfume-The Story of a Murderer ච්ත්‍රපටියේ Perfume එකේ සුවද දැනිල එතන ඉන්න හැමොම sex කරන්න ගන්නව ස්වර්ගයට ගියා වගේ එ සුවද අපිටත් දැනෙන්න ගන්නවා එ අමුතු ගතිය,
    sid n nenciඑකෙත් sex ගැන අමුතු අදහස්)
    Tarantino වගේ මරණය artඑකක් විදිහට දකින්න ලංකවෙ කාටවත් බැරි උනා.
    මිනිසුන්ගෙ ඇතුලෙ තියන විකාර අදහස් ගැන ලංකවෙ ච්ත්‍රපටි හැදුනද?(රාගය හැර)
    දැන් ලංකවෙ සම්භහවය කියාගන්නා ගොඩක් ච්ත්‍රපටිවල ඉන්නෙ ලංකිකයො ඇත්ත ලංකිකයො ද?

    ReplyDelete
  4. හැබෑට? චින්තන.. ඔයාට මග ඇරිච්ච දේවල් දැන් අහම්බෙන් අහුවෙනවාවත්ද? ඔයා බැරිවෙලා අභ්‍යන්තරයෙන් සෙලවුණාවත් ද?.. ඔයා එපාාාා කියන දැණුම. අවංකත්වය. පරණ ලෝකය. විකිණීම ඇතුළේ දිය වෙලා ගිය අතීතය. ඔයා ඔජවඩන ඇඩවර්ටයිසින් ඇතුළේ දිය වෙලා ගිය කලාව. ඔයාලගෙන් සහ එයාලගෙම මළ මිනීවලින් විස්තාපනය වුනු නිහාල්සිංහ. තිස්ස. උපාලි. මේ කරුමක්කාර අවතාර දකින කොට දුක හිතුනාවත්ද? වේලිච්ච වර්තමානය, බොරු නාමික ලිබරල්කරණය, බටහිරකරණය, ඩිජිටල් නල මාර්ග, ඒවා මහින්දගෙ හම්බන්තොට හිස් පාරවල් වගේ කියල හිතුනාවත්ද? ඒවා පිරෙන්න ඕනැ අතීතයෙන්. කාලය නෙමෙයි. අතීතය කියන්නේ තට්ටු... ඒක අවුරුදුවලින් මනින්න බෑ වගේ බහුබූත හිතට ආවාවත්ද?... නැත්නං ඔයාගෙ දක්ෂතාවයට සරිලන විදිහට ඇතුළෙන් පරිණත වෙන්නවත් යනවද? හබැයි එතකොට ඔයාට දැන් තියෙන සැප, අනුග්‍රහ, අර කාර් එක, කෝපි කඩ, ඒ තට්ටු වෙනුවට මාරු කරගන්න වෙනවා. ඊට වැඩිය හොඳ නැද්ද ඉන්න විදිහට ම ඉඳල, හිතෙන හිතෙන වෙලාවට දෙපැත්තටම අාවඩල, මැරෙන්න කලින් ඕනැ නං ස්වයං විවේචනයක යෙදිල මැරෙන එක?

    ReplyDelete