ලංකාවේ බුද්ධිමතෙකුට කාලයත් සමග නොදැනීම විය හැකි ඛේදවාචකය ගැන මට ඇ`ග හිරිවැටෙන තේරුම් ගැනීමක් සිද්ද වුණේ දීප්තිගෙ අලූත් වීඩියෝවක් දැකලා. ඒක ජනාධිපතිවරනෙ ගැන දීප්තිගේ දේශපාලනික විග‍්‍රහය. ඡුන්දෙ පාවිච්චි කරන ජනතාව සයිකෝසීය සහ නියුරෝසීය කියල කාණ්ඩ දෙකකට බෙදාගෙන මොනවදෝ කතාවක් දීප්ති කියනවා. ඒත් ඒ විග‍්‍රහය කාටවත් අදාල නැති එකක්. අදාල නැති විග‍්‍රහයක් දේශපාලනික වෙන්නෙ කොහොමද? මේ වෙද්දි දීප්ති අදාල නොවන දෙයක් කීමෙන් දේශපාලනික වෙන්න හදන කාණ්ඩයට වැටිලා. මේ පාර ඡුන්දෙදි සයිකෝසිකයො කාටද ඡුන්දෙ දෙන්නෙ, නියුරෝසිකයො කාටද ඡුන්දෙ දෙන්නෙ කියන එක ගංජාකාරයෙක්වත් නොකරන විහිළුවක්.
මං මේ කතාව කියන්නෙ කොහෙත්ම දීප්තිට පහර ගැහීමේ උවමනාවකින් නෙමෙයි. දීප්ති කියන්නෙ එක්තරා වකවානුවක වඩාත්ම ඉදිරිගාමී අදහස පළකරපු විචාරකයා. විලාසිතා ගැන, පෙනී සිටීම ගැන, දියුණු සංස්කෘතික කතිකාවක් ඇති කරපු කෙනෙක්. ඒත් මේ වෙද්දි කොල පාට තාප්පයක් ඉස්සරහ ඒකට නොගැලපෙන කමිසයකුත් එක්ක අදාල නොවෙන කතාවක් කියමින් එයා මෙගා බෝතලේක වතුර හලනවා.
මේකයි ඛේදවාචකය. අපේ දැනුමත් එක්ක අපිව සමාජ කතිකාවෙන් එලියට තල්ලූ වෙනවා. අපි දැනුම කියල විශ්වාස කරන දේම අපේ බාධාව වෙනවා. අපි අදාල නොවෙන ප‍්‍රදේශයේ කතිකාවලට පිටමං වෙනවා. අපි දන්නෙ නෑ. අපි ළ`ග ඉන්න කවුරුවත් කියන්නෙ නෑ. දීප්ති කියන්නෙ එතන ඉන්න ඕන මිනිහෙක් නෙමෙයි.
ඊට අනිත් පැත්තෙන්් ජවිපෙ ලංකාවෙ වඩාත්ම දියුණු දේශපාලනික ප‍්‍රවේශය බවට පත්වෙනවා. අතිශය තියුණු ප‍්‍රශ්න කිරීම් මේ වෙද්දි ආණ්ඩුවට එල්ල කරන්නෙ ජවිපෙ. අනිත් හැමෝම ගන්නෙ ජවිපෙ කියන තොරතුරු. ඒවා උඩටමත් පහලටමත් එක විදිහට අදාල කාරණා.
ලංකාවෙ පළවෙනි වතාවට ශ‍්‍රීලනිපය සහ එජාපය එකතු වෙන මොහොත මේක. හැමදාම දෙපැත්තෙ ඉඳන් බලය හුවමාරු කර ගත්ත පක්ෂ දෙක එකතු කරන තත්වයක් පැන නගිනවා. සමාජ වෙනසක් ඇති වෙන්න ගන්නවා. මෛත‍්‍රී කියන්නෙ ඒ උවමනාවෙ ප‍්‍රකාශනයක් විතරයි. ඒ උවමනාව මෛත‍්‍රීට වඩා ගොඩක් ලොකුයි. ඒක ඩිජිටල් යුගය එක්ක ඇති වෙන ලෝකෙ අනිත් රටවල් එක්ක මොහොතින් මොහොත දේවල් බෙදා හදාගන්න සංස්කෘතියකට ඕන දේශපාලනය. එක කාර්තුවක අවසාන මොහොතට අපේ රටේ දේශපාලනය ගාට ගාට හරි ඇවිත්. ඒක ධනේශ්වරයෙ ඊළ`ග පියවරක්. වඩා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී උවමනාවන් වෙනුවෙන් සිද්ද වෙන වෙනසක්. අනිවාර්ය තත්වයක්. මෛත‍්‍රී කියන්නෙ ඒ උවමනාව වෙනුවෙන් බහුතරයක් ස්පර්ශ කරන්න පුළුවන් චරිතය විතරයි.
එතනදි අවශ්‍ය ධනේශ්වර ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් ප‍්‍රධාන පක්ෂ එකතු වෙනවා. එතකොට වඩා දියුණු විකල්පයක අවශ්‍යතාවය ඉතුරු වෙනවා. ජවිපෙ කල්ඇතුවම ඒ හිඩැස තේරුම් ගන්නවා. මෛත‍්‍රීගෙන් එහාටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ගෙනයන සටන කියන්නෙ ඒ විකල්පයේ අවකාශය. අනිත් හැමෝම ජනාධිපතිවරණය දිහා විතරක් බලද්දි ජවිපෙ ඊට වඩා අඩියක් එහාට හිතනවා. රටේ ප‍්‍රධාන ජනතාවාදී විකල්පය වීමේ භූමිකාව. ඒක දියුණු තේරුම් ගැනීමක්. අපේ රටේ වඩා පැහැදිලි කන්සෙවේටිව්, ලේබර් දේශපාලන බෙදීමක් සළකුණු වෙනවා. රටක් හැටියටත් ඒක වඩා හොඳ තත්වයක්.
දිනන්නෙ මහින්දද මෛත‍්‍රීද කියන එකට වඩා මට වැදගත් කාරණා කීපයක් මේ ඡුන්දෙදි තීරණය වෙනවා. එකක් ලංකාවෙ මිත්‍යා විශ්වාස පදනමට කෙළ වෙන එක (ඒක මගේ උවමනාව). ජ්‍යොතිෂ අනාවැකිකාරයො, දේවාල ගානෙ පූජා, වශී ගුලි, සුබ නැකැත් ආදී ගුප්ත විශ්වාස පද්ධති කොයිතරම් ඇත්තද, නැත්තං කොයිතරං පචද කියන එකත් මේ පාර ඡුන්දෙ තීරණයක්. මේ ආණ්ඩු කාලෙ ඇතුලෙ රාජ්‍ය දේවල් විතරක් නෙමෙයි, මාධ්‍ය, එතනින් මිනිස්සුන්ගෙ ජීවිත ඔක්කොම වහගෙන මේ ගුප්ත බලි යාග පැතිරෙන්න ගත්තා. කිසිම දවසක රජයක් මේ තරම් ජ්‍යොතිෂකරණය වෙලා තිබුණෙ නෑ. තම තමන්ගේ පුද්ගලික විශ්වාස ගැන ගැරහීමක් නෙමෙයි මෙතන කියන්නෙ. ඒක ජාතික මට්ටමේ දෙයක් වීමේ අමුතු අත්දැකීමක් ගැන. මේ පාර ඡුන්දෙන් දෙකක් නැතුව කියන්න පුළුවන් ඒ බලියාග, හදි හූනියම්, කේන්දර, ජප ඇත්තද නැත්තං මඤ්ඤංද කියන එක.
අනිත් කාරණේ තමයි ඇඞ්වර්ටයිසින් සහ මීඩියා කියන දෙක දේශපාලනයේදී කොයිතරං දුරට අදාලද කියන එක. මේ වෙලාවෙ තත්වය ගත්තොත් ආණ්ඩුවට තියෙන ඇඞ්වර්ටයිසින් හැකියාව වැඩියි. විපක්ෂයට කටවුට් එකක් ගහන්න කණුවක් හොයාගන්න බැරි ගානට රටේම කටවුට් ගහන්න ආණ්ඩුවට පුළුවන්. ඒ වගේම ඕන දෙයක් කරලා දෙන්න රටේ ලොකු ඇඞ්වර්ටයිසින් කොම්පැනිත් තියෙනවා. මාධ්‍ය බලයත් එහෙමමයි. රජයේ මාධ්‍ය ටික පැත්තකින් තිබ්බම, අනිත් ඕනම මාධ්‍යයක වුණත් තමන්ගෙ බලය ක‍්‍රියාත්මක කරන්න ආණ්ඩුවට පුළුවන්්. මෑතක ප‍්‍රචාරය වුණු එක වාද- විවාද වැඩසටහනකදි මහින්දානන්ද ඇමතිවරයා ඒ පුද්ගලික නාලිකාවට ප‍්‍රසිද්දියේ කියනවා, ‘මේ චැනල් වලට ලයිසන් දුන්නෙ අපි’ කියල. ඒක අයිතිය ගැන ප‍්‍රකාශයක්.
හරිවැරැද්ද කොහොම වුණත් මාධ්‍ය බලයෙනුත් ඉදිරියෙන් ඉන්නෙ මහින්ද. දිව්රුම් දෙන දවසෙ ලංකාවෙ පත්තර ඔක්කොම පරණ නිව්ස් එකක් කවරෙට දාන්න එක`ග වෙනවා. මෙය මුදල් ගෙවා ප‍්‍රචාරය කරන දැන්වීමකි කියල ගහන්නෙ නැතුව.
ඉතින් එක විදිහකට මේ ඡුන්දෙ මාධ්‍ය හා ප‍්‍රචාරණ හැකියාව සහ ජනතාවගේ දේශපාලනය ගැන හොඳ ස්ටඩි එකකුත් වෙනවා. මාධ්‍ය සහ ඇඞ් කොයිතරම් දුරටද ජනතාවට දේශපාලනික තීරණයකදි බලපානවද කියන කාරනේ මේ ඡන්දෙ දිනන්නෙ කවුද කියන තීන්දුවෙ අතුරු පණිවුඩයක්. අනිත් පැත්තට මේ වෙලාවෙ ප‍්‍රධාන මාධ්‍ය සහ ඒවායේ ප‍්‍රචාරණයට ඩිජිටල් මාධ්‍ය හොඳ තරගයක් දෙනවා. මේ දෙක අතරින් වඩා ප‍්‍රබල වෙන එක ගැන හැ`ගීමකුත් මේ කතිරෙ තියෙනවා.
ඡන්දෙත් එක්ක ෆේස්බුක්වල ෂෙයාර් වෙන සමහර ක‍්‍රියේටිව් දේවල් ගැන කතා කරද්දි මගේ ගොඩක් යාලූවො කිව්වෙ, ‘ ඕවායේ මොනවා ගියත් වැඩක් නෑ. ගම්වලට ෆේස්බුක් නෑනෙ’ වගේ කතන්දර. ඒ ඇරුණම, කොළඹ වෙනස් වුණාට ගම එහෙමමයි’ වගේ දේවල්. ඒත් මගේ අදහස ගම කියල දෙයක් නෑ කියන එක. ලංකාව කියන්නෙ කොළඹ.
මෙතනදි කොළඹ කියන්නෙ දිස්ත‍්‍රික්ක සීමාව නෙමෙයි. නාගරික දැනුම- තොරතුරු හුවමාරු වෙන වපසරියට අයිති කියන එක. පොලොවෙන් සීමාව මනින විදිහ දැන් ටිකක් පරණයි. මේ කොළඹ අපි හිතනවට වඩා ලොකුයි සහ තීරණාත්මකයි. ගම කියන්නෙ මේ කොළඹ මිනිස්සු දකින හීනයක්. හීන වල ඡුන්ද ගනං කරන්නෙ නෑ.
ගම නගරය කියල නෑ දැන් හැම කොල්ලෙකුටම කෙල්ලෙකුටම ෆේස්බුක් පිටුවක් තියෙනවා. ලැප්ටොප් නැත්තං ස්මාර්ට් ෆෝන් තියෙනවා. ගෙදර වයසක උන්දැලට නැත්තං රට ගිය දරුවන්ට තියෙනවා. කොහොම හරි ගෙදර තීරණ ගන්න වැඩි පිරිසක් ඩිජිටල් මාධ්‍ය තොරතුරු හුවමාරු කර ගන්නවා. අයිටීඑන්, රූපවාහිනී බලන පිරිස වැඩියි කියන මාර්කටින් දත්ත වලට වඩා විකෘතියි ඇත්ත. ඇතුලෙ ගම් වල වුණත් දියුණු වෙන්න ටිකක් හරි ඕන උන් ඩයලොග් බැරි නං පිටකොටුවෙන් සැටලයිට් ඇන්ටනාවක් හරි ගහගන්නවා. බට ඇන්ටෙනාවෙ සීමාවෙන් මිදෙනවා. එතකොට අයිටීඑන් රූපවාහිනී දේශපාලනය තාම කොච්චර අදාලද කියන කාරනේ ප‍්‍රශ්නකාරී වෙනවා. මේ පාර ඡන්දෙදි ලංකාව කියන්නෙ කොළඹ කියල එක්කො ඔප්පු වෙනවා, නැත්තං බොරු වෙනවා.
මෛත‍්‍රී පාලනයක් ගැන කතිකාව ඇති වෙන්නෙ කොළඹ (නාගරිකව). ඒ සංවාදය පැතිරෙන්නෙ ඩිජිටල් මාධ්‍ය පෙරටුකරගෙන. මේ අදහස කොයිතරම් ලංකාව වෙනස් කරන්න සමත් වෙයිද? මෛත‍්‍රී පොලොන්නරුවෙ වුණාට තරගය තියෙන්නෙ ගමද නගරයද කියන එක අතරෙ. ගමේ උවමනාවන්ද, නාගරික උවමනාවන්ද වඩා ප‍්‍රබල කියන එක. ආණ්ඩුව පෙනී ඉන්නෙ රට බේරා ගැනීම, විදේශීය කුමන්ත‍්‍රණ වගේ ග‍්‍රාමීය සංවාද තලයක. ආණ්ඩුවෙ ඇමති කෙනෙක්ම ප‍්‍රසිද්දියෙ කිව්වා ‘අපි දැන් බඩ පිරෙන්න කාලා තියෙන්නෙ. ඉතින් තව ඕන නං අතුරුපස ටිකක් කයි’ කියල. විපක්ෂය මේ වෙලාවෙ පෙනී ඉන්නෙ යහපාලනය, සාධාරණය වගේ නාගරික කතිකාවක. දයාන් ජයතිලක කියන්නෙ මේ කතිකාව ජනතාවට වැඩක නෑ කියල.
මට හිතෙන්නෙ මේ ඡන්දයේ පුද්ගලයන් අතර තරගෙට වඩා ඉන්ටරෙස්ටින් වෙන්නෙ මේ සංස්කෘතීන්, කතිකාවන් අතර තරගය. සමාජ ගතිකයන් යළි සකස් වීම කොහොම සිද්ද වෙනවද කියල බලන් ඉන්න එක. ජනතාව කියන මහා සාමූහිකයෙන් බැහැර කරන්නෙ හෝ තෝරා ගන්නෙ අදහසක්, සංස්කෘතියක් මිස පුද්ගලයෙක් නෙමෙයි.
මේක අපේ තනි තනි ක්ෂුද්‍ර දේශපාලන තර්ක උඩ අදාල නොවී ඉඳීමේ වෙලාව නෙමෙයි. වෙන විදිහකින් කිව්වොත් එහෙම ඉඳීම දේශපාලනය නෙමෙයි. ඒ වෙනුවට මේ සක‍්‍රීය ප‍්‍රවාහයේ කොටසක් වෙන්න, පුළුවන් තරම් සංස්කෘතික වෙනසක් විදිහට මැදිහත් වෙන්න, ජනතාවක් විදිහට බෙදාහදා ගන්න මොහොතක් මේක.
කතිරයකින් හරි ඒකට දායක වෙන්න ඕන.