මගේ බ්ලොග් එකේ ලිපි වලට කියවන අය කරන කමෙන්ට් ගැන මං මොකුත් නොකියන එක කියවන අයට ලොකු අවුලක් වෙලා. කොටින්ම දැන් කියවන කවුරුවත් කමෙන්ට් කරන්නෙ නෑ. අපි සයිබර් ගනුදෙනු පටන් ගත්තත් තාම කර්තෘත්වය හොයන අර්බුදෙන් එලියට ඇවිත් නෑ කියලයි මට හිතෙන්නෙ. මාගලක් විතර දිගට අදහස් ලියැවිල්ලක් කරල කමෙන්ට් ඉඩත් ආයිමත් පාවිච්චි කරන එක එච්චර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නෑ වගේ එකක් මගේ පුද්ගලික අදහස. ඊට වඩා ඒ අදහස් ගැන කියවන අය අතර සංවාදයක් ඇති වෙන එකයි වෙන්න ඕන. මගේ ලියමන ඒ සංවාදයට ආරම්භයක් දෙනවා විතරයි. නැවත නැවත කර්තෘම හොයමින් ඒ කර්තෘගෙ පුද්ගලික සීමා ලකුණු කරමින් කරන්න යන සංවාදය අනාගතවාදී වෙන්නෙ නෑ. ඒක ආයිමත් මුල පැත්තට හැරෙන එකක්. තාම අපි බ්ලොග් වල කරන්නෙ පත්තරවල කරපු එකමයි. තමන්ගෙ අදහසක් එක්ක හැමෝටම ඉඩ තියෙන සංවාදෙකට මුල පුරනවා වෙනුවට ලියපු එකාම හොයාගෙන යන එක. මගේ ලියමන් ගැන මං ආයිමත් නොකියන්නෙ මං පරම වූ යමක් නොකියන නිසා. යම් මානයකින් යම් අදහසක් ගේනවා විතරක් නිසා. මගේ අදහස විවේචනය කරන හෝ ඊට වෙනස් විදිහෙන් යෝජනා වෙන අදහස් ගැන මට තියෙන්නෙ ප‍්‍රතිචාරයක් නෙමෙයි. මං මගේ අදහස වගේම ඒ අදහස් අලූතෙන් කියවන්නෙක් වෙනවා. යෝජනා වෙන වෙනස් මානයන් තිබුණොත් ඒ ගැන අලූතෙන් හිතනවා. ඒත් එහෙම වෙන්නෙ කලාතුරකින්.
මංම කලින් කියපු අදහසකට ප‍්‍රතිවිරුද්ධවයි අද මගේ ලියවිල්ල ලියවෙන්නෙ. එක විදිහකට ඒක මං කලින් කියපු දේම ආයිමත් ඛන්ඩනය කිරීමක්. ලංකාවෙ ලියන කියවන කට්ටිය කරන්න බයම වැඩක් මේක. කෙරුවත් එහෙම නෙමෙයි කියන්න ද`ගදාන වැඩක්. තමන්ගේ අදහස් සංගත ඒකමිතික නිශ්චිත හැඩයක පවත්වාගනිමින් ස්ථාවර පෞර්ෂයක් ගොඩනගන්නයි ‘බුද්ධිමය’ කට්ටිය මහන්සි වෙන්නෙ. ඒත් මං අදහසක් සහ සිතීමක් විතරයි. ඒ සියල්ල වෙනස් වීමට ඛණ්ඩනය වීමට සහ වෙන විදිහකින් කිව්වොත් තව දුරටත් වර්ධනය වීමට නියමිතයි.
එක්තරා සිනමාව ගැන සංවාදයක් මැද්දෙ මං කිව්වා ‘සිනමාව හෝ කලාව අත්‍යාවශ්‍යයෙන්ම එන්ටර්ටේනින් ‘විනෝදාස්වාදී’ විය යුතුයි කියල. ඒ අදහස මේ ලියමන හරහා විනෝදාස්වාදයේ සිට ‘ජීවිතය සුබවාදීව පිළිගන්නා’ (ලයිෆ් ඇෆර්මේටිව්) තැනක් දක්වා වෙනස් වෙනවා. සිනමාව හෝ කලාව විතරක් නෙමෙයි ජීවිතය පවා මේ විනෝදයෙන් ඉවත් වෙන්න ඕන. විනෝදය වෙනුවට සතුට සමාජයෙන් යෝජනා වෙන්න ඕන.
ඇත්තටම විනෝදය කියන්නෙ මොකක්ද? විනෝදය කියන්නෙ අපි දුකෙන් ඉන්න කොට මුදලට ගන්න පුළුවන් තාවකාලික ත‍්‍රිලකට. අපි දවසෙ පැය ගානක් වැඩ කරලා ඉවර වෙද්දි ආයිමත් වෙන කිසි දෙයක් හිතන්න අපිට එනර්ජි ඉතුරු නෑ. ( මේ කාරණය රජයේ සේවකයන්ට ඒ තරම් අදාල නෑ) ? ටීවී එක ඉස්සරහ මොළය නොවැඩුණු ලොකු ශරීරයක් විතරක් වගේ රූප මාරු වෙනවා බලන් ඉන්නවා ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ. ඉතාමත් සරල බිංදුවේ මනසකට ගැලපෙන දේවල් විතරක්ම විනෝදය විදිහට අළෙවි වෙන්නෙ මේ යතාර්ථය හින්ද. පද්ධතියේ පීඩනය, ජීවිතය අහිමි වීම විශාල වෙන තරමට විනෝදය අළෙවි වෙනවා. ලාබ ත‍්‍රිල් වලට මාර්කට් එක ලොකු වෙනවා.
විනෝදය කියන්නෙ අපිට අහිමි සතුට. බර වැඩ කරන මිනිස්සු හවසට ගල් කාල ගහනවා වගේ අපේ චාටර් ජීවිතය පහුවෙනි දවසටත් අරගෙන යන්න අපිට ඕන වෙන්නෙ විනෝදය. විනෝදය සහ සතුට අතරෙ වෙනස සරලයි. විනෝදය කෘතිමයි. ඒක ප්‍රොඩක්ට් එකක් හරියට ෆාස්ට් ෆුඞ් වගේ. ජීවිතයේ සතුට අහිමි වීමෙන් එන කාංසියට ප්ලාස්ටර් විදිහට අපි පාවිච්චි කරන ඕන දෙයක් විනෝද කැටගරියට වැටෙනවා.ඒත් සතුටට ඊට වඩා ගැඹුරක් ඕන.
ජීවිතේ බෝරිං වෙලාවට අපි ටි‍්‍රප් එකක් යනවා. යන ගමන් සිංදු කියල, වැව් මාළු කාලා දවසෙන් දෙකෙන් අතපහු වුණු ගොඩක් මානසික එරියස් පියවගන්න ට‍්‍රයි කරනවා. ඒ විනෝදය. ඒත් සතුට මේ විදිහෙ ඩ‍්‍රැමටික් වෙනස්කම් ඉල්ලා සිටින්නෙ නෑ. ඒ වෙනුවට සතුට ගනුදෙනු කරන්නෙ පැවැත්මත් එක්ක.
ඬේවිඞ් ලින්ච් තමන් සිටින පළාතෙන් පිට සංචාර වලට අකමැති, එකම හෝටලේක එකම තැනක ඉඳගෙන එකම කෑම කන මනුස්සයෙක් විදිහට ප‍්‍රසිද්ධයි. එයාට වෙනසක් ඇතුලෙ විනෝදයක් ඕන කරන්නෙ නෑ. ඒ වෙනුවට එයාගෙ ජීවිතේ ගැඹුරු තැනකින් එයා සතුට අත්විඳිනවා. හොලිවුඞ් ෆිල්ම් එකක් වගේ ලොකු ක‍්‍රියාදාම ජීවිතයක් ඕන වෙන්නෙ ජීවිතය ඉවර වෙච්ච අයට.
මේක ආර්ට් ඇතුලට එද්දි කොහොමද? ආර්ට් කියන්නෙ එන්ටර්ටේන්මන්ට් නෙමෙයිද?
ඉස්තෙපාන් ඒක හු`ගක් හොඳට පැහැදිලි කළා.
‘මචං ආර්ට් එකක් කියන්නෙ සෙල්ෆ් (ස්වයං) එක්ස්ප්‍රෙෂන් එකක්. ඒකෙ ජෝක් තියෙන්න පුළුවන්, නැටුම් තියෙන්න පුළුවන්. ඒවා නොතිබෙන්නත් පුළුවන්. ප‍්‍රශ්නයක් නෑ. ඒත් අනිත් අයට ආතල් දෙන්න විතරක් හදනවා නම් ඒක එන්ටර්ටේන්මන්ට්. එක්ස්පීරියන්ස් එකක් ෂෙයාර් වෙන්නෙ නැත්තං එතන ප්ලෙෂර් එකක් ක‍්‍රියේට් වෙන්නෙ නෑ. අපි නිකං හිනාවෙලා, අ`ඩලා එලියට එනවා’
මට හිතෙන විදිහට ලංකාවෙ නං එක්ස්ප්‍රෙෂන් කියලා හිතාගෙන කරන දේවල් වලත් තියෙන්නෙ විනෝදයම තමයි. ඒවා සමහර විට වෙන රටවල සම්මාන පේ‍්‍රක්‍ෂාගාරයක් එන්ටර්ටේන් කරන්න හදන ව්‍යාජ ආත්ම ප‍්‍රකාශන. ජීවිතේ ගැන මූසල චිත‍්‍ර මවන එක හරි ෆිල්ම් වල නම් එක ෆේ‍්‍රම් එක දිගම වෙලාවක් තියාගෙන ඉන්න එක ආර්ට් කියල හිතන එකෙන් ජීවිතය බෙදා ගැනීමක් වෙන්නෙ නෑ.
දර්ශනය පිළිබඳ ආචාර්යවරයෙක් වන බිල් බෲවර් විනෝදය සහ සතුට අතර වෙනස පැහැදිලි කරනවා.
”විනෝදය ශාරීරිකයි කියල කියන්න පුළුවන්. ඒත් සතුට කියන්නෙ ආධ්‍යාත්මික දෙයක්. ඔයාට විනෝද වෙන්න බෑ ඔයා ලෙඩින් නම්, ඔයාට හොඳටම මහන්සි නම්, ඔයාගෙ අතේ සල්ලි නැත්නම්. ඒත් සතුටට මේ සීමා අදාල වෙන්නෙ නෑ. ජීවිතේ ඉතාම දුක්ඛිත මොහොතක වෙන්න පුළුවන් ඔබට ගැඹුරුම සතුට මුණගැහෙන්නෙ.
ව්‍යායාම පිණිස සමහරු උදේට දුවනවා. මේක හරි අමාරු වැඩක් එක දිගට කරගෙන යන්න. ඒ මහන්සිය, අමාරුව, ඇතුලෙන් ඔවුන් යම් ගැඹුරු තෘප්තියක් අත්විඳිනවා. ඒක විනෝදය නෙමෙයි. වේදනාව ඇතුලෙන් එන වෙනස් තේරුමක් එක්ක ලැබෙන සතුටක්.
අපි කෑම කන විදිහ ගැන බලන්න. ඒ කෑම උයන්න, මේසෙට ගේන්න, කතා බහ කරමින් කෑම ගන්න, මේ හැම දේකම තියෙන පරිපූර්ණතාව අපිට මගඇරෙනවා. කෑම එක්ක ගත කරමින් කෑම කන එකේ සතුට වෙනුවට අපි අද අත්විඳින්නෙ වෙනස් වෙනස් කෑම ගොඩක් තෝරමින් හැකි ඉක්මණින් අනුභව කිරීමේ විනෝදය විතරයි. සතුට කියන්නෙ පිරීමක්. විනෝදය කියන්නෙම හිස්කමක්.
විනෝදය හරි අමුතු දෙයක්. විනෝදයට මිනී මරන්න වුණත් පුළුවන්. විනෝදයට වෙඩි තියන්න පුළුවන්. රෝමන් කාලෙ මිනිස්සු සිංහයන්ට කන්න දාලා රෝමන්කාරයො සතුටු වුණා. ඒත් සතුටට මිනි මරන්න කෙනෙකුට බෑ. සතුට කියන එක ඇතුලෙ යම් සදාචාරයක් ක‍්‍රියාත්මක වෙනවා. ඒත් අවාසනාවට අපේ වේගවත් ජීවන රටාවෙ සතුටකට ඉඩක් නෑ. ගෙවලා ගන්න විනෝදයකින් අපිට සෑහෙන්න වෙනවා. විනෝදය ඔබව තෘප්තිමත් කරන්නෙ නෑ. ඒ වෙනුවට නැවත නැවත අතෘප්තියට පත් කරනවා. ඒකෙන් මේ පද්ධතියෙ දැති රෝද අවශ්‍ය විදිහට කැරකෙනවා.
මේ විනෝදය ඇතුලෙන් මාධ්‍ය අපේ ජීවිත පාලනය කරන්න පටන් ගන්නවා. විනෝදය ඇතුලෙ අපේ මානව සදාචාර අගයන් උඩුයටිකුරු කරනවා. මේකට කියන්නෙ ‘සාපරාධී මාධ්‍යකරණය’. මාධ්‍ය ඇතුලෙ විනෝදය පිණිස අලෙවි කරන මිනිමරුම්, ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, දූෂණ කොයි තරම්ද? මේ වෙද්දි අපේ පවුල් ඇතුලෙ සදාචාරය පාලනය කරන්නෙ මෙගා ටෙලි නාට්‍ය වලින්.
මේ කෙලවරක් නැති විනෝද සයුර කියන්නෙ සමාජයට සුබ නිමිත්තක් නෙමෙයි. ආයිමත් සතුට හොයාගෙන යන්න මිනිස්සු පොළඹවනවා වෙනුවට මේ අර්ථයක් නැති හිස්කමක නැවත නැවත ගිල්වීම ශිෂ්ටාචාරයක් විදිහට අපිව වල්මත් කරනවා.
ආර්ට් ගැන වුනත් කියන්න තියෙන්නෙ එච්චරයි. ඒ ආර්ට් එකෙන් ඔබට යමක් වුණාද? ඔබට ලැබුණු හැමදේම කොකා කෝලා කප් එකයි පොප් කෝර්න් මල්ලයි වගේ ඒ පුටුව උඩම අත්ඇරලා අත් දෙක වන වන එලියට එනවා කියන්නෙ ඔබ හිස් විනෝදයක් වෙනුවෙන් පැය ගානක් නාස්ති කරලා. ඒත් එලියට එද්දි ඔබට ගෙදර අරන් යන වෙනසක් ඉතුරු වෙලා නම් එතන යම් ජීවිත ගනුදෙනුවක් සිද්ද වෙලා තියෙනවා. ආර්ට් එකක් වෙලා තියෙනවා.
විනෝදය තාවකාලිකයි. සතුට කියන්නෙ දිගු කල් පැවැත්මක්.
ඒ වගේම හොඳට බැලූවොත් පෙනේවි විනෝද වෙන්න නම් ඔබ යමක් කරන්නම ඕන. ඒක ගොඩක් වෙලාවට මිළක් නියම වුණු ක‍්‍රියාවක්. ඒත් සතුටු වෙන්න ක‍්‍රියාවක් අවශ්‍ය නෑ. අපේ ස්වභාවික පැවැත්ම ම සතුට. ඒක මගඅරුණම දෙන එම්එස්ජී තමයි විනෝදය.
විනෝදය හැම තිස්සෙම අවසන් වෙන්නෙ වෙහෙසක්, හිස්බවක්, ඉච්ඡුාභංගත්වයක් එක්ක. ඒත් සතුට නිතරම ඔබව ඊට වඩා උසස් මානසිකත්වයකට අරන් යනවා. විනෝදය පිණිස ඔබ විනෝදයම හොයාගෙන යන්න ඕන. ඒත් සතුටට එහෙම නිශ්චිත මාවතක් නෑ. ගොඩක් වෙලාවට සතුට වෙනත් දෙයක් නිසා ඉපදෙන යමක්. සතුට ලබන්න නම් සතුටට වඩා උසස් දෙයක් හොයාගෙන යන්න වෙනවා”
මේක ගොඩක් කාරණා එක්ක සම්බන්ධයි. මේ විනෝදශීලී සමාජයෙ අපි මනුස්ස සම්බන්ධතා ඇතුලෙත් හොයන්නෙ විනෝදය විතරයි. ආදරය පවා ෆේස්බුක් ආදිය එක්ක ඉන්ස්ටන්ට් විනෝද සාදකයකට එහා යන්නෙ නෑ. පැවැත්මේ ගැඹුර හොයන්නටම දෙසූ බුදුන්ගේ දහම පවා මුස්ලිම්කාරයෙකුට බිත්තරයක් ගහන විනෝදය ඉක්මවා යන්නෙ නෑ. ආණ්ඩුව වුණත් පාටියක් දාන්න යුනිට් පහක් දෙන විනෝද කතාවකට වැඩි යමක් කරන්නෙ නෑ.
මේක විනෝදයට එරෙහි යතාර්ථය හඹා යන දේශපාලන අරගලයක් වෙනුවෙන් යෝජනාවක් නෙමෙයි. නීට්ෂෙ හරියටම කියන විදිහට දේශපාලනය දුර්වල වෙද්දි විතරයි ජීවිතය නැත්තං සංස්කෘතිය විශාල වෙන්නෙ. වෙනස් විදිහකට කිව්වොත් ජීවිතය සහ දේශපාලනය අතර තියෙන්නෙ ප‍්‍රතිවිරුද්ද සම්බන්ධයක්. විනෝදය කියන්නෙම දේශපාලනික කාරණයක් වෙන අතරෙ ඊට ප‍්‍රතිවිරුද්ධ සතුට කියන්නෙ ජීවිතය සම්බන්ධ කාරණයක්. දේශපාලනයෙන් විනෝදය මිස සතුට ඇති කරන්න බෑ. ඒක කරන්න පුළුවන් සවිඥාණක පුද්ගල අභ්‍යාසයකින්ම විතරයි.
-චින්තන ධර්මදාස






