Sunday, October 13, 2013

මට මගේ නොවෙන..මගේම ආදරයක් තිබුණා..

‘ඔවුහු ගී ගයමින් වේදනාව උගනිති’ යි කියලා ෂෙලී කියපු කතාවක් කලූ තිරේ උඩ වැටෙනවා.
සමනළ සංධ්වනිය පටන් ගන්නෙ එතනින්.

සමනළ සංධ්වනි.... පුදුම ලස්සන නමක්. ජයන්තගෙ හැම චිත‍්‍රපටියකම මේ විදිහෙ විචිත‍්‍ර නමක් සහ යෙදුමක් තිබුණ. මේ නිකං ඉන්න මිනිස්සු සමහර නම් වල තේරුම් හොයන්න පටන් ගත්තා. ද`ඩුබස්නාමානය, ගරිල්ලා මාර්කටිං, අග්නිදාහය කටට මතක් වෙන උදාහරණ කීපයක්. වේදිකාවෙන් පටන් අරං ටෙලිවිෂන් එකට ඇවිත් එතනින් චිත‍්‍රපටි තිරය උඩට එනකල් තමන්ට සුවිශේෂ මොකද්දෝ හැඩය ඒ විදිහට රැුක ගන්න පුළුවන් වුණු එකම නිර්මාණකරුවා ජයන්තද මන්දා. (ඒත් තාම මට ද`ඩුබස්නාමානය වගේ ෆිල්ම් එකක් නං ජයන්තගෙන් දකින්න හම්බුනේ නෑ. ටීවී එකේ ගිය කතාවක් වුණත් ඒක අපේ සිනමාවට වඩා ගොඩක් ඉස්සරහ තැනක තිබුණ) එයා වෙස් මුහුණු, වෙද හාමිනේ වගේ වැඩ එක්ක ටීවී එකට ගොඩවුණේ වේදිකාවත් අරගෙන. (වෙද හාමිනේ ටයිට්ල් සීක්වන්ස් එක බලද්දි තාම ඇ`ග හිරි වැටෙනවා) සිනමාවට එනකල්ම එයා වැඩ කළේ මාධ්‍යයේ භාවිතාවන් වලට වඩා මාධ්‍යයට එයාගෙ භාවිතාවන් හඳුන්වාදෙන ප‍්‍රවේශයක. කෘතියක් කොච්චර දුර්වල වුණත් ඒ මොකද්ද ඇත්ත එක හින්ද ජයන්තගේ වැඩක් විඳින්න බැරි වෙන්නෙ නෑ. උදා විදිහට ගරිල්ලා මාර්කටිං වගේ චිත‍්‍රපටියක ආකෘතිමය පැත්තෙන් ලොකු පත හිල් තිබුණත් වෙන කිසිම කෙනෙකුගෙන් විඳින්න නොලැබෙන අධිතාත්විකවාදී අත්දැකීමක් එතන තියෙනවා. ඒක ලින්ච්ගෙ වගේ ප‍්‍රැක්ටිස් එකක්. මං මේ කියන්නෙ ලංකාවේ ලින්ච් යනු ජයන්ත චන්ද්‍රසිරියි වගේ ගොං කතාවක් නෙමෙයි.

වෙන කාගෙවත් සිනමා ප‍්‍රකාශනයක් එක්ක සසඳන්න බැරි අනන්‍ය ගුණය හින්දම ජයන්තගේ දේශපේ‍්‍රමය, සිංහල පිස්සුව එයාගෙ අයිඩියොලොජිකල් අවුල් එයාගෙ කෘති වලට බලපෑවෙ අඩුවෙන්. ඒ දේශපාලනික කාරණා අතික‍්‍රමණය කරන ප‍්‍රබල ආත්ම ප‍්‍රකාශනයක් එයාට තිබුණ. (උදා විදිහට රැුජිණ වගේ ටෙලියක එයාගෙ විද්‍යාව සහ පිටසක්වල ජීවීන් සහ කුන්ඩලිනී වගේ ඒවා එකට ගලපන්න එයා ගන්න ට‍්‍රයි එක බොළඳ වුණත් ෆන් එක තියෙන්නෙ වෙන තැනක)

දුටුගැමුණු ප්‍රොජෙක්ට් එක වාසනාවකට වගේ ගැස්සුනාට පස්සෙ ජයන්ත ‘සමනළ සංධ්වනිය’ ඔන් කරනවා (ආරංචියේ හැටියට). වෙන මොන දෙයක් නැතත් එයාට ස්තුතිවන්න වෙන්න  ඕන ආයිමත් සිනමාවට ආදරය කැඳවීම වෙනුවෙන්. මෙච්චර කල් යුද්දෙ අල්ලගෙන වියළි කලාපෙ පට්ට ගහපු සිනමාව ජයන්ත ශෘංගාරයෙන් පුරවනවා. සීතල කඳුකරයට අරගෙන යනවා. ඒකම ලොකු සතුටකින් සැහැල්ලූවකින් අපිව පුරවනවා.

කතාවෙ ඉන්ස්පිරේෂන් එක කියලා හිතන්න පුළුවන් ජියුසෙපී ටොර්නාටෝ ගේ(ඉතාලියානු උච්චාරණය වෙනස් වෙන්න පුළුවන්)  ‘මැලීනා’ එක්ක බලද්දි ඒ විශාල හැ`ගීම් පොදිය මුදාහරින්න තරමට ජයන්ත දක්ෂ වෙලා නෑ (ටෝර්නාටෝගේ කර උඩට නගින්න ජයන්තට බැරි වෙනවා) ඒ වගේම එයාගෙ විකාරරූපී අත්හදා බැලීම් දුර්වල දිශාවන්ට ගමන් කරන තැනුත් තියෙනවා. උදා විදිහට මේ කතාවෙ ප‍්‍රධාන ලොකේෂන් එකක් වෙන කුමාරි පාර්ක් එකේ පාදඩ චරිත දෙක. කතාවෙ වැදගත් සිද්ධි එක්ක ගැටගැහෙන මේ නොවැදගත් චරිත දෙක මාර වාතයක් වෙනවා.

තවත් පැත්තකින් මැලීනා ෆිල්ම් එකේ වගේම මේකෙදිත් යුද්දෙට සම්බන්ද පෙම්වතෙක් ඉන්නවා. මේ පෙම්වතා හරහා අතිමානුෂීය විදිහට ආදර සම්බන්ධතා පවත්වන උත්තර සිංහල සොල්දාදුවෙක් හදන්න ජයන්ත ට‍්‍රයි කරනවා. ඒ පූජනීය වූ නිල පේ‍්‍රමය හින්ද ඇත්තටම අපි කතාව පුරා වෙලී ඉන්න අප‍්‍රකාශිත පේ‍්‍රමය (ලල් එක) චොර වෙනවා.

ඒත් කලින් කිව්වා වගේ ජයන්තගේ වැඬේ තියෙන්නෙ මේ දුර්වලතා වලට එලියෙන්. එයා සංගීතය ඇතුලෙ ලොකු දෙයක් හොයන්න යනවා. කේමදාස මාස්ටර් නැති වීමත් එක්ක එයාගෙ හ`ඩ අහිමි වීමේ අඩුව ඇතුලට එයා කිමිදෙනවා. සංධ්වනිය පටන් ගන්නෙ කේමදාසගෙන් (ඒ සංගීත පරාසයෙන්). එතනින් එහාට ජයන්ත වෙනස් හ`ඩ ව්‍යවස්තාවකට ඇතුල් වෙන කෘතිය මේක. ඒක එක පැත්තකින් විරහවක්. අනෙක් පැත්තෙන් අලූත් ආදරයක්.

අමරසිරි පීරිස් කියන එක සිංදුවක් ෆිල්ම් එක පුරා හත් අට පාරක් තැනින් තැන ගහනවා. කෘතියෙ අන්තර්ගතයෙ නැති මූඞ් එකකින් ෆිල්ම් එකට අපිව සුපර් ග්ලූ කරලා තියෙන්නෙ. අනාත ස්ක‍්‍රිප්ට් එකක් දිගේ වුණත් අපි අපේ රොමාන්තික ගමන යනවා. පේ‍්‍රක්‍ෂාගාරය දකින්නෙ තනි චිත‍්‍රපටියක් නෙමෙයි. ඒ එක එක පේ‍්‍රක්‍ෂකයා ඒ ඒ අයගේ චිත‍්‍රපටියක ඇවිදින්න ගන්නවා. සමහර විට මේ තරං කාලයක් සිනමාවෙ දැණුන ඒ ආදරේ අඩුව හින්ද වෙන්න ඇති.

‘පව් බං... අම්මත් නැති තාත්තා’

අතරින් පතර එන සමහර දෙබසක් කවදාවත් අමතක නොවෙන ගානට පන්ච්.  ඒක ජයන්තගේ වැඩ වල හැටියක්. ඔත්තුකාරයා නාට්ටියෙදි එයා ලියන ‘ගෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිශ්ශබ්දතාවය විසින් පුබුදවනු ලබයි’ කියන ලයින් එක මට තාම තැනින් තැනදි මතක් වෙනවා.

මේ රොමාන්තික ප්ලොට් එක අපි හැමෝගෙම ප්ලොට් එකක්. ඒ කලාපෙ ඇතුලෙ අපි හැමෝටම කතාවක් තියෙනවා. වැඩිහිටි ගෑනියෙක් එක්ක පළවෙනි වතාවට ඇතිවෙන රහස් පේ‍්‍රමය. ඒ හිරිවැටීම. හැම එකක්ම මෙතන තියෙනවා. ඒත් අනුරාගය නෑ (මිසින්ග්) මැලීනා ෆිල්ම් එක වඩා පරිණතයි කියලා මතක් වෙන්නෙ ඒකයි.

මට මගේ නොවෙන
මගේම ආදරයක් තිබුණා.....

අපි කාටද එහෙම නැත්තෙ? කතාව දුර්වල ගෙතීමක් වුණත් කතාවට බැහැරින් තමන්ගෙ ජීවිතය හා සම්බන්ධ ඇත්ත නොස්තැල්ජියාවන් ගොන්නක් ජයන්ත කැන්වස් එක උඩට ගේනවා කියලා දැනෙනවා. තිරය උඩ පේන බොරුවට යටින් ඒ ඇත්ත වැඩ කරන්න ගන්නවා. සමනළ සංධ්වනියට මං අහුවුණේ ඒක හොඳ සිනමාවක් නිසා නෙමෙයි, ඒක මට පැරාසිනමා අත්දැකීමක් වුණ හින්ද.

මට මගේ අතීත හීන එක්ක ගත කරන්න ඒ තිරය උඩ ඉඩක් සහ සංගීතයක් තිබුණු හින්ද. ඒ පැය එකහමාර හෝ දෙක අපි ගී ගයමින් වේදනාව ඉගෙන ගන්නවා.

ජයන්ත එයාගෙ නිර්මාණය පටන් ගන්නෙ එස්එම්එස් යුගයට පෙර කියලා සටහනක් එක්ක.  මට ලූයිස් සීකේගෙ කතාවක් මතක් වුණා. ලූයිස් සීකේ කියන්නෙ මෙක්සිකන්-ඇමරිකන් ස්ටෑන්ඞ් අප් කොමඩියන් කෙනෙක්. එයා ස්මාර්ට් ෆෝන් (එම්එම්එස් යුගය) සහ ඒ හරහා අපි නිතර සම්බන්ද වී ඉන්න එක ගැන ටිකක් සීරියස් විහිළුවක් කරනවා.

‘මේවා (ස්මාර්ට් ෆෝන්) ‘ළමයින්ට’ විස සහිත දේවල් මං කියන්නෙ. දැන් උන් කතා කරනකොට මූන බලන්නෙ නෑ. ඒකෙන් ඒ ගොල්ලො අනිත් කෙනාව තේරුං ගන්නෙ නෑ. ළමයි කියන්නෙ කොහොමත් නරුම ජාතියක්. මොකද ඒ ගොල්ලො අත්හදා බලමින් ඉන්නෙ. නිකං හරි ළමයෙකුට හිතුනොත් තව මහත ළමයෙකුට මූනටම කියයි ‘තඩියා’ කියලා. එතකොට අර මහත ළමයාගෙ කට ඇද වෙනවා. මූණ බෙරි වෙනවා. ඔන්න එතකොට අර තඩියා කියපු ළමයා තේරුම් ගන්නවා මේ වගේ කැත මූනක් බලන්න වෙනවා අර වගේ කතාවක් කිව්වම කියලා. ඒත් එයා පටන් ගන්නෙ අර නරුම තැනින්. ඉතිං ඒ ගොල්ලො ස්මාර්ට් ෆෝන් එකෙන් අර වගේ ළමයෙකුට ‘තඩියා’ කියලා ටෙක්ස්ට් කළොත් මොකද වෙන්නෙ? ඒ ප‍්‍රතිචාරය ලැබෙන්නෙ නෑ. එතකොට ඌ හිතනවා ‘ෂා, මේක ෆන්. මට  ඕන එකෙකුට  ඕන එකක් කියන්න පුළුවන් කියල’

ස්මාර්ට් ෆෝන් හින්ද මිනිස්සු විශේෂයෙන් ළමයි ඇත්ත ප‍්‍රතිචාරයෙන් දුරස් වෙනවා කියන එකයි ලූයිස්ගෙ අදහස. එහෙම ඇත්ත මිනිස් ප‍්‍රතිචාරයෙන් දුරස් වීම (සහ මගහැරීම) නරුම සමාජයක් බිහි කරන්න හේතු වෙනවා කියලා එයා තව එහාට පැහැදිලි කරනවා. මට ගොඩක් ආකර්ශනීය වුනේ ෆෝන් එක නිසා තමන්ට තමන් මගහැරීම පැහැදිලි කරන කතාවට. ගොඩක් ගැඹුරු සංවේදනා සරල විහිළු කතා වලින් කියන්න පුළුවන් එක ලූයිස්ගෙ විශේෂ දක්ෂකමක්.

‘ඔයාට තියෙන්න  ඕන වෙන කිසි දෙයක් නොවී ඔයා වෙන්න හැකියාවක්. ස්මාර්ට් ෆෝන් වලින් මේ හැකියාව උදුර ගන්නවා. ඔයාට තව දුරටත් නිකං ඔයා විදිහට නිකං ඉඳගෙන ඉන්න බෑ. ඔයා ෆෝන් එකත් එක්ක මොකක් හරි දේකට පැටලෙනවා.  මොකද මේ හැම දේකටම යටින් අපි හැමෝගෙම ඇත්ත පැවැත්මක් තියෙනවා. ඒක හිස්. අපි මේ සදාකාලික හිස්කම එක එක දේ කරමින් වහගෙනයි ඉන්නෙ. මේ අවට කිසි දෙයක් ඇත්ත නෙමෙයි ඇත්තටම අපි තට්ට තනියම කියන දැනීම අපි හැමෝගෙම පතුලෙ තියෙනවා.

සමහර වෙලාවට... අපි තනියම වෙන කිසි දෙයක් නොබලා ඉන්න වෙලාවක... වාහනයක් දිග පාරක් දිගේ තනියම එළවගෙන යන වෙලාවක.. ඔන්න ඒක එලියට එනවා. ‘මං තනියම. මට කවුරුවත් නෑ...මං හිස්...’ මේ දුක ගලන්න පටන් ගන්නවා. ජීවිතේ කොහොමත් දුකක්. ඒ ගත කිරීමම දුකක්.

ඒකයි අපි යන ගමන් කාට හරි ටෙක්ස්ට් කරන්නෙ. මට හොඳටම ෂුවර් 100%ක් මිනිස්සු ඩ‍්‍රයිව් කරන්නෙ ටෙක්ස්ට් කරන අතරෙ. ඉතිං ඒ ගොල්ලො මිනිස්සු මරනවා. ගොඩක් අය මිනීිමරා ගන්නවා කාර් වලින්. ඒත් මිනිස්සු තීරණය කරලා තියෙනවා අර තනිකමට මූන දෙනවට වඩා ජීවිත අවදානමක් ගන්න එක වුණත් හොඳයි කියල’

එතකොට ලූයිස් කියනවා එයා දවසක් බෲස් ස්ප‍්‍රින්ස්ටන්ගෙ ජන්ගල්ලෑන්ඞ් අහගෙන කාර් එකේ තනියම ගිය ගමනක් ගැන. ඒ සිංදුව එයාට ගොඩක් දුක හිතෙව්වලූ.

‘ඔන්න මට දුක හිතෙනවා. මට  ඕන වුනා ඉක්මනට ‘හායි’ කියල ටෙක්ස්ට් එකක් දාලා 50 දෙනෙක් ලයික් වෙනකල් ගනං කරන්න. ඒත් මං මට කියා ගත්තා. ‘දුකට ඉඩ දෙන්න. දුක් වෙන්න’
‘එකපාරට ලොකු ට‍්‍රක් එකකින් වගේ ඔයාව හප්පගෙන යන්න ඒ එන දුකට ඉඩ දෙන්න’
මං එහෙම කළා. කාර් එක පැත්තක නවත්තගෙන බැල්ලියෙක් වගේ ඇ`ඩුවා. ඒත් ඒක මාර ලස්සනයි. දුක කියන්නෙම කවියක්. දුක වෙලාවල ජීවත් වෙනවා කියන්නෙ ඔයා වාසනාවන්තයි.

ඔන්න ඊට පස්සෙ මාව සතුටෙන් පිරෙන්න පටන් ගන්නවා. මොකද දුක හැ`ගීම් වලින් පිරිලා යනකොට ඇෙ`ගන්ම ඊට ප‍්‍රතිවිරුද්ද හෝමෝනත් නිදහස් කරන්න පටන් ගන්නවා. සතුට කඩාගෙන එනවා දුක මුණගැහෙන්න. ඒක හින්ද මට ඇත්තටම දුක්වීම ගැන දැණුනෙ සතුටක්. ඇත්තටම දුක වින්දොත් විතරයි සතුටට ඇතුල්වෙන්න ඉඩක් ලැබෙන්නෙ. ඒක ඒ විදිහෙ ටි‍්‍රප් එකක්.

ඒත් අපිට අර පුංචි දුක ඉවසන්න බැරි හින්ද අපි ටක් ගාලා ටෙක්ස්ට් එකක් ගහලා ඒකෙන් මාරු වෙන්න බලනවා. එතකොට අපිට කවදාවත් සම්පූර්ණ දුකක් හෝ සම්පූර්ණ සතුටක් විඳින්න ලැබෙන්නෙ නෑ. අපි අපේ ප්‍රොඩක්ට් එකක් එක්ක සෑහීමට පත් වෙනවා විතරයි. එහෙමම ඉඳලා මැරිලා යනවා. ඒකයි මං මගේ ළමයින්ට නම් ස්මාර්ට් ෆෝන් අරං දෙන්නෙ නැත්තෙ’

ලූයිස් එයාගෙ කතාව ඉවර කරනවා. අපිට අපිව මුනගැහෙන හුදකලා මොහොත අහිමි කිරීමෙන් අපි වින්දනයක් අහිමි, ප්‍රොඩක්ට් පමණක් පාවිච්චි කරන නිර්මානුෂිකකරණයකට ලක් කිරීම නිසා එයා මේ ප‍්‍රචණ්ඩ ‘ඩිජිටල් සමාජකරණයට’ විරුද්ද වෙනවා. එක පැත්තකින් ඒක අපිට අනෙකාගේ ප‍්‍රතිචාරය සහ අනෙකාගේ පැවැත්ම අහිමි කරනවා. අනිත් පැත්තෙන් අපිට අපිව අහිමි කරනවා.

ලූයිස් මේ කරන විහිළුව විහිළුවක්මත් නෙමෙයිද කියලා මොහොතකට බය හිතෙනවා. එතකොට අපි ඇහැරෙනවා. ලූයිස් සීකේගේ කොමඩි වල අදහස ඒක. එයාගෙ විහිළුව තමයි ගත කරන ජීවිතය.
එතකොට ජයන්ත චිත‍්‍රපටියෙ එස්එම්එස් කාලෙට කලින් කියලා ලියන්නෙ ඊට පස්සෙ මේ විඳින විඳවන රොමාන්තිකය නෑහී ගිය නිසාද? ඊට පස්සෙ අපිට මේ සොඳුරු දුක අහිමි වුණු නිසාද?

-චින්තන ධර්මදාස

Sunday, October 6, 2013

මිනී එම්බාම් කරනු ලැබේ -දෙරන ලක්ස් සිනමා සම්මාන උළෙල-

හු`ගක් කාලෙකින් චිත‍්‍රපටි ගැන ආයිමත් ලියන්නෙ. ලංකාවෙ ඉඳහිටලා පෙන්නන ඉංග‍්‍රීසි හරි හින්දි හරි චිත‍්‍රපටියක් ඇරුණම දැන් මෙහේ සිනමාව කියලා එකක් නැති ගානයි. ගන්න දෙයක් නැති හින්දම ලියන්න වෙන්නෙ හිස්කම ගැන විතරයි. ඒ හිස්කම මැද්දට එකපාරට අවුරුද්දකට සැරයක් එන දෙරන ෆිල්ම් අවෝර්ඞ්ස් කඩං පාත් වුණා. ඒත් සිනමාව නන්නත්තාර වෙච්ච රටක සම්මාන දෙන්නෙ මොනවටද? එතකොට සම්මානත් නන්නත්තාර වෙනවා.

ඒත් සිනමාව කියලා එකකට ආස කරන අයට එකතු වෙන්න, දිලිසෙන්න, සිනමාවක් නැති වුණත් තියෙනවා වගේ දැනෙන්න මේ වගේ එකක්  ඕන. මං කියන්නෙ මොකක්වත්ම නැති කාන්තාරයක් මැද්දට මේ වගේ වතුර පොල්කට්ටක්වත් හැලෙන එක ලොකු දෙයක්. විශේෂයෙන්ම ඒක ටීවී චැනල් එකකින් කරන එක.

ජාතික මට්ටමේ වැඩකට මේ විදිහට පුළුවන් තරමින් හරි කර තියෙන එක ගැන දෙරනට ස්තුතිය හිමි වෙන්න  ඕන. ඒ වගේම ලංකාවෙ අනිත් කිසිම සිනමා උළෙලක නැති අලංකාරයක්, ප‍්‍රසාංගික බවක් වගේම අංශ ගණනාවක් ඔස්සේ විවිධාංගීකරණයක් දෙරන අවෝර්ඞ්ස් වල තියෙනවා. ඒක අර නැති සිනමාව ගැන හීනය වඩා හොඳින් තෘප්තිමත් කරනවා. අපි ඔක්කොම හරියට ලොකු එකක් තියෙන රටක උන් වගේ එදාට යනවා.

මේ උළෙලේ මං අර කලින් කිව්වා වගේ වෙනස් විදිහක උත්සාහයන් කීපයක් තියෙනවා. එකක් නිල ලත් කලාකරුවන්ට වගේම නිල නොලත් කලාකරුවන්ටත් මේක විවෘත කරලා තියෙන එක. ඒ කියන්නෙ චිත‍්‍රපටි සංස්ථාවෙ ලියාපදිංචි සිනමාකරුවන්ට විතරක් නෙමෙයි කෙටි චිත‍්‍රපටි හදන, වෙනස් වෙනස් සිනමා භාවිතාවන් වල යෙදෙන අයටත් මේ සම්මාන උළෙලෙ ඉඩක් තිබුණ. සමහර ප‍්‍රවීන සිනමාවෙ කට්ටිය ඒ වගේ විකල්ප සිනමාවක් තියෙනවා කියලා දැන ගත්තෙත් ඒ වේදිකාව උඩදි. එතකොට ඒ ගොල්ලො කට ඇරගෙන බලන් ඉන්නවා.

ඒත් සම්මාන උළෙලට ඉදිරිපත් වුණු චිත‍්‍රපටි වගේම මේ වතාවෙ සම්මාන තෝරන්න පත් කරලා තිබුණු ජූරියත් එක වගේ බංකොලොත්. මං හිතන්නෙ පවතින සිනමාවට සාපේක්‍ෂයි මේ වගේ උළෙලවල ජූරි වුණත්. මෙතන හිටපු සිනමාකරුවන්ගෙ නිර්මාණ හැකියාව ගැන පුද්ගලිකව ප‍්‍රශ්න කරනවා නෙමෙයි. ඒත් අවංකව සිනමා සම්මාන උළෙලක ජූරි තීරණ ගන්න හැකියාවක් තියෙන තරමෙ පරිචයක් මේ මන්ඩලයෙ කවුරුවත් පෙන්නලා නැති වගයි මගේ හැ`ගීම. බෙනට් රත්නායක, චන්ද්‍රන්රත්නම් සිනමා අධ්‍යක්‍ෂණය පැත්තෙනුත් ශ‍්‍රියානි අමරසේන රංගනය පැත්තෙනුත්, ලක්ෂ්මන් ජෝෂප් (මං හිතන්නෙ) සිනමා සංගීතය පැත්තෙනුත්, දිලීප අබේසේකර (ආපහු මං හිතන්නෙ) ප‍්‍රචාරන සම්බන්ද පැත්තකිනුත් ගන්න ඇති කියලයි පෙණුනෙ. එතනදි චන්ද්‍රන්රත්නම්ව අඳුන්නා දෙමින් ලෝක ප‍්‍රකට අධ්‍යක්‍ෂවරයෙක් කියල බොරු ජංගියක් අන්ඳන්නත් ගියා. මේක ලංකාවෙ අලූත්ම විලාසිතාව මං හිතන්නෙ. ජගත් චමිල හොඳම නළුවා වුණු මේ අමුතු ඇටේ ඇතුලෙ චන්ද්‍රන් ලෝකෙ හොඳම අධ්‍යක්‍ෂ වුණත් වෙන්න පුළුවන්. මට ඇත්තටම තේරුම්ගන්න අමාරුයි කොහෙන්ද මේ අමුතු ටයිට්ල් එක එන්නෙ කියලා. ඒක එන්නෙ කොමන් මෑන් වලින් නම්  විහිළුවට වගේ ඞීවීඞී කඬේකට ගිහින් ‘වෙන්ඞ්ස්ඬේ’ ෆිල්ම් එකත් අරන් බලන්න. ලෝකෙ කොහොම වුණත් අල්ලපු රට ඉන්දියාව එක්කවත් ගලපලා අපේ තරම තේරුම් ගන්න පුළුවන් වෙයි එතකොට. ලක්ෂ්මන් විතරයි එතන දෙන තීරනේකට තේරුමක් තියෙන චරිතයක් වුනේ. (දිලීප සිනමාවට බාහිර කාරණයක්)

ඇයි අපි ලංකාවෙ නටඹුන් සිනමාවම සම්මාන උළෙලකටත් සීමාව කර ගන්නෙ. දෙරනට පුළුවන් වුණා නම් මේ ජූරියට අඩුම තරමෙ ඉන්දියාවෙන් වත් සිනමා ප‍්‍රවීනයෙක් හෝ දෙන්නෙක් එකතු කර ගන්න, ඒක හු`ගක් සාධනීය දෙයක් වෙන්න තිබුණ. අඩුම තරමෙ අපි මේ කරමින් ඉන්න විහිළුව ගැන හරි හමන් තක්සේරුවක් ගන්න තිබුණ. ඒක ලංකාවෙ මී හරක් සිනමාවට යන්තං ඇටමැස්සෙක් ඇනපු තරම්වත් වෙන්න ඉඩ තිබුණ. ඒත් අපි අපේ පංතියෙ ළමයින්ට කියලම ලකුණු දෙන්න තීරණය කරලා.

ජනප‍්‍රියම චිත‍්‍රපටිය වුනේ සුනිල් ආරියරත්නගේ කුස පබා. මිනිස්සු වැඩි පුරම ගිහින් බලපු ජාතක කතාවක් හින්ද ඒකට ඒ සම්මානෙ කැපයි කියමුකො. ඒත් අකැප සම්මාන කීපෙකුත් ඒකටම ගිහින් තිබුණ. විශේෂයෙන් හොඳම කලා අධ්‍යක්‍ෂණය. කුස පබාගේ කලා අධ්‍යක්‍ෂණය හරියට වෙසක් නාට්ටියක වගේ. ඒකත් එක්ක ඒ සම්මාන උළෙලෙම තිබ්බ, කිසිම සම්මානයක් නොලබපු කර්ම වගේ චිත‍්‍රපටියක් බැලූවොත් කලා අධ්‍යක්‍ෂණයෙ මොකක් හරි ට‍්‍රයි එකක් එතන තිබුණ (කර්ම මං කැමති චිත‍්‍රපටියක් නෙමෙයි) ඒත් කලා අධ්‍යක්‍ෂණය කියන්නෙ ලොකුවට සෙට් ගහන එක කියලා තේරුම් ගත්ත ලංකාවෙ ප‍්‍රවීනයෙකුගෙ අතින් මේ වගේ තේරීම් සිද්ද වෙන එක අහම්බයක් නෙමෙයි. එතකොට ලක්ෂ්මන් හොඳම සංගීතය කරලා තිබුනෙ ඇත්තටම රෝහණද?

ඊට පස්සෙ හොඳම තිර රචනය ගියා හඳයාගෙ ඉනි-අවන් වලට. ඉන් අවන් වල තිබුණ ලොකුම අඩුවත් තිර රචනයමයි. ඒත් බැරි බාසාවකින් අමාරුවෙන් ලියන්න ට‍්‍රයි කරපු හින්දද කොහෙද ඒකට සම්මානයක් දෙන්න මණ්ඩලේ තීරණය කරලා තිබුණ. හැරෙන තැපෑලෙන් හොඳම චිත‍්‍රපටිය වුනෙත් ඒක. ඉනි අවන් කියන්නෙ ලාංකේය දෙමළ සිනමාවෙ මාර නැගිටීමක් විදිහට කට්ටියම අන්දන්න සහ නැවත ඇඳගන්න පටන් ගත්තා. හඳයාගෙ ඉනි අවන් කියන්නෙ ලංකාවෙ දෙමළ සිනමාවට කරපු ලොකුම අසාධාරනය කියලයි මං කියන්නෙ. මේ පාර උතුරෙ පලාත්  සබාවෙන් ඔප්පු කරලා පෙන්නපු දෙමළ ජීවිතේ හඳයාගෙ ඉනි අවන් වල තියෙනවද? එතකොට මේ මිනිස්සු ඡන්දෙ ගැහුවෙ දෙමළ කුඩු බිස්නස්කාරයන්ට විරුද්දවද? දෙමළ ජාතියෙ නිර්මාණ අයිතිය කොල්ලකෑමක් සහ අසාධාරණ විදිහට අපේ කියවීම් ඒ ශරීර උඩ අලවලා වෙන්දේසි කිරීමකට වඩා දෙයක් මට ඉනි අවන් වල පේන්නෙ නෑ. මං ඇත්තටම තාම පුදුම වෙනවා ලොකු හදවතක් ඇති අතීතයක් උරුම හඳයා මේක කරන්නෙ කොහොමද කියල.

මාලනී නැගලා හොඳම නළුවා, නිළිය සම්මාන දෙමළ නළු නිළියන් විසින් දිනන හැටි නවනින්දන් පිල්ලෙට පෙන්නන්න  ඕන කියල උදම් ඇනුවා. අපි, මහ ජාතිය විසින් අපිට  ඕන කතාව කියන්න දෙමළ ඇ`ගවල් පාවිච්චි කරන හැටි පෙන්නලා ලැජ්ජාවක් නැතුව පිල්ලෙට මොනා පෙන්නන්නද? එහෙම ලැජ්ජාවක් නැති බව නැවත නැවත ඔප්පු කරපු චරිත හරි ආඩම්බරෙන් ඒ වගේ කතා කියද්දි බලන් ඉන්න අපි ලැජ්ජ වෙනවා ඇරෙන්න මොනවා කරන්නද? පව් හඳයා...

පළවෙනි වතාවට තව දෙයක් සිද්ද වුණා. දෙරනෙන් ඊඒපී එකටත් සම්මානයක් දුන්නා. ලංකාවෙ හෝල් හදලා ඒ හෝල් වලට මිනිස්සු පුරවන්න වුණු මහන්සිය වෙනුවෙනුයි දෙරනෙ ලක්සිරි ඒ සම්මානෙ සෝමාට දුන්නෙ. ලංකාවෙ සිනමා කර්මාන්තය වෙනුවෙන් අබා රැුල්ල ආරම්භ කරපු ජැක්සන් ඇන්තනිටත් ස්තුතිවන්ත වෙන්න එයා අමතක කළේ නෑ. චිත‍්‍රපටියක් කියලා වෙසක් නාට්ටියක් හෝල් එකක පෙන්නීම සිනමා කර්මාන්තය නගා සිටුවීමක් වෙන්නෙ කොහොමද මට හිතාගන්න අමාරු වුණා. ඒ වෙලාවෙ මයික් එක ළ`ග හිටපු නිවේදකයා ලක්සිරිව අඳුන්නලා දුන්නෙ අසාමාන්‍ය වතාවක් තුෂාරා නැරඹූ සිනමාලෝලියෙක් විදිහට. එහෙම සිනමාවක් විඳපු චරිතයක් අද මෙහෙම සිනමාවක් මාරයි කියන තැනට වැටෙන කොට අපි තේරුම් ගන්න  ඕන කාරණය මොකක්ද?

වයසට යන ප‍්‍රවීනයන්ගෙන් තාමත් හිතීම වයසට නොගිය අතලොස්සෙන් එක්කෙනෙක් වෙන එම් ඞී මහින්දපාල (කැමරා අධ්‍යක්‍ෂ) ගිය සතියෙ ලක්සිරිට උත්තරයක් දීලා තිබුණ.

‘සිංහල රජ කතා හා බෞද්ධ පුරාවෘත්ත නැරඹීමට මෙරට බහුතර පේ‍්‍රක්‍ෂක පිරිස් ඇල්මක් දැක්වීම පිළිබඳව කිසිවෙකුටත් උරණ වීමට පුළුවන්කමක් නැත. බුදුන් වහන්සේ කිසි දිනෙක අනුමත නොකළ අසූ හාර දාහේ පහන් පූජා, අසූ අට රියන් බුද්ධ ප‍්‍රතිමා තැනීම, මහා පිච්ච මල් පූජා, මෙන්ම තරුණ භික්ෂූන්ට යාන වාහන, අසපු වැනි දෑ පූජා කිරීමට ලොබ නැතුව වියදම් කරන එහෙත් පාසැලකට යාමට පොතක් පතක් නැති දරුවෙකුට පිහිට වීමට, දුප්පතෙකුට සත පහක් වියදම් කිරීමට හෝ රෝගියෙකුට පිළිසරණක් වීමට අකමැති බෝඞ් ලෑලි බෞද්ධයන් බහුතරයක් සිටිනා රටක මෙවැනි දෑ සිදුවීම අස්වාභාවික නොවේ. එවැනි පිරිසක් කුලමත් කිරීමෙන් සිය අතමිට සරු කර ගැනීමටත්, ඒ හරහා සිනමා කර්මාන්තය යැයි ඔවුන් විශ්වාස කරන කුමක්දෝ රැුක ගැනීමට මාන බලන පිරිසක්ද සිටිනා බව පැහැදිලිය.

පේ‍්‍රක්‍ෂකයා සතුටු කිරීමෙන් පමණක් නොව ඉන් ඔබ්බට ගොස් ඔවුන් බුද්ධිමත් දැනුවත් එමෙන්ම නිදහස් මනසකින් යුත් පිරිසක් බවට පත් කිරීමේ අභිලාෂයෙන් කිසියම් නිර්මාණයක් කිරීමට උත්සාහ ගන්නා සිනමාකරුවන් අතලොස්ස මෙකී සිනමා ප‍්‍රවාහය ඉදිරියේ මුහුණ දී සිටින්නේ බෙහෙවින්ම අසරණ තත්වයකටයි’
- සිරි පැරකුම් මුට්ටි කාසි සිනමාව සහ ඩිජිටල් සිහිනය - එම්ඞී මහින්දපාල (රාවය)

මහින්දපාල මුට්ටි කාසි සිනමාව කියන්නේ ලක්සිරි උඩ දාන්න හදන සිනමාවටයි. මේක වාණිජමය හා සම්භාව්‍ය අතර ප‍්‍රශ්නයක් නෙමෙයි. මට අනුව මේක සිනමාව පාදඩකරණය වීම ගැන ප‍්‍රශ්නයක්. බාල මොකක් හෝ ජරාජීර්ණ නාඩගමක් කැමරාව ඉස්සරහ ර`ග දක්වා තමන්ගේ දේශපාලන ඇඳුනුම්කම් හරහා ඒක රටේ ලොකුම වැඬේ කරමින් මාධ්‍ය හරහා මිනිස්සු දක්කා උන්ගේ තුට්ටු දෙකට අනින ජාවාරම ලක්සිරිට සිනමාව නම් දෙරන- ඊඒපී ඔන්න එක ලයින් එකකට ඇවිල්ලා. මං හිතන්නෙ ඒ සම්මානෙ දීමේ අරමුණත් ඒක වෙන්න පුළුවන්.

ලංකාවෙ හෝල් හදලා සීට් කුෂන් කළා කියලා හෝ සද්දෙ ටිකක් හයියෙන් දැම්මා කියලා සිනමා කර්මාන්තය හැදෙනවා කියලා හිතුවොත් ඒක ජෝක් එකක්. කොළඹ ඉන්න කීප දෙනාට ඇරුණම ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයො කියන බහුතරයට කොලිටි කියන එක ගැන හැ`ගීමක් නෑ. තාම ගෙවල් ගොඩක ඇන්ටෙනා කරකව කරකව දිනපතා බලන්නෙ තිත් දුවන ටීවී චැනල්. එක දෙබසක් වත් ඇහුනෙ නැතත් මිනිස්සු ආදරණීය වස්සානෙ බලන්න හෝල් කඩාගෙන ආවෙ. අනිත් අතට සුපිරි හෝල් එකක වුණත් තාම පෙන්නන්නෙ අජාසත්ත නං අපි මොකද කරන්නෙ?

ඊඒපී එකෙන් සිනමා කර්මාන්තෙ ගොඩදාන එකට වඩා ඒකෙන් කරන සංස්කෘතික සීමා කිරීමක් තියෙනවා. ඒක හෝල් එකක් ඒසී කරනවට වඩා ගොඩක් බරපතලයි. ඊඒපී හෝල් වල පෙන්නන්නෙ පවුලේ සැමට චිත‍්‍රපටි විතරයි.  රටේ හොඳම හෝල් ටික අයිති සහ මාධ්‍ය බලය වැඩිම පිරිස හින්ද හැම චිත‍්‍රපටිකාරයෙක්ම බලන්නෙ මේ මන්ඩලේටම චිත‍්‍රපටිය විකුණගන්න. එතනදි දන්නෙම නැතුව මහින්ද චින්තන වර්ගයේ සංස්කෘතික සීමාව රකින්න දායක වීමකුත් සිද්ද වෙනවා. සිනමාව පැත්තෙන් මේ විදිහෙ සමජාතීයකරණයකට බලපාන ඒකාධිකාරියක් කියන්නෙ කොහෙත්ම හොඳ තත්වයක් නෙමෙයි.

මේ අතරෙ පරම ජීවන සම්මානය ලෙස්ටර්ට පිදීමකුත් සිද්ද වුණා. ඒ වැඬේ හොඳයි. ඒත් සංවිධානය වෙලා තිබුණු පිළිවෙල වේදනාවක් වුණා. හිටගෙන ඉන්නත් අමාරු තවත් ඒ වයසෙම ප‍්‍රවීනයො පිරිසක් (අමරදේව, අයිරාංගනී සේරසිංහ සහ තිස්ස ලියනසූරිය ඒ අතරෙ හිටියා) වේදකාව මැද්දෙ අතරමං කරලා එතන බලන් ඉන්න අපහසුතාවයක් ඇති කළා. ඒ ගෞරවනීය සම්මානය තවත් අයට නිගරුවක් නොවෙන විදිහකට දුන්නා නම් තමයි හොඳ. (මේක දෙරන හිතාමතා කළ දෙයක් නොවන බව පැහැදිලියි)

මේ හැම දෙයක් අතරෙම කීපයක් වුණත් එතන තිබුණු හොඳ දේවල් නරක ඔක්කොටම වඩා විශාලයි කියලයි මගේ හැ`ගීම. විශේෂයෙන් අලූත් සිනමාකරුවන් වෙනුවෙන් සුළු හෝ ඉඩක් වෙන් කිරීම. ඉල්හාම්ට පිරිනමපු හොඳම කෙටි චිත‍්‍රපටය වෙනුවෙන් වූ සම්මානය එයින් එකක්. ඒ වගේම හෙට දවසේ සිනමාව කියල වෙන් කරලා තියෙන තාම නොපෙන්නූ චිත‍්‍රපටියක් වෙනුවෙන් තියෙන ඉඩ. සම්මානයක ඇත්ත වටිනකම වෙන්නෙ කරපු දේකට ලැබෙන නම්බු නාමයකට වඩා ඉස්සරහට කරන්න තියෙන දේකට ලැබෙන අවසරයක්, තල්ලූවක් වෙන එක කියලයි මට හිතෙන්නෙ. එතනදි මේ අලූත් සිනමාකරුවන් කීප දෙනෙකුට ලැබෙන පොඩි ඉඩ වුනත් මහ දෙයක්.

මොනවා වුනත් ඉදිරිපත් වුණු චිත‍්‍රපටි දිහා බැලූවම ජූරියේ කවුරු හිටියත් සමස්තයක් විදිහට තීරණ වල ලොකු වෙනසක් වෙන්න විදිහක් නෑ. එතන තෝරන්න දෙයක් තිබුනෙ නෑ. ඒත් මං කලින් කිව්වා වගේ වෙන රටක සිනමාකරුවෙක් එහෙම හිටියා නං අඩුම තරමෙ හොඳ විචාරයක් එන්න ඉඩ තිබුණ. චිත‍්‍රපටි නැති වුණත් දෙරන සිනමා සම්මාන උළෙල හාන්සි වෙලා හිටපු සිනමා ජනතාවට පොඩි කික් එකක් දුන්නා. ඒත් දියුණු අදහසක් ඇතුව වෙනස් පෙලගැහීමක් නොකළොත් ඊළ`ග අවුරුද්ද සම්මාන ටික බෙදෙන විදිහත් දැන්ම කියන්න පුළුවන් මගේ හිතේ. එහෙම වුනොත් ඒක මිනියක් නැවත නැවත එම්බාම් කරනවට වඩා ලස්සන දෙයක් වෙන එකක් නෑ.

-චින්තන ධර්මදාස


Saturday, September 28, 2013

ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

උඩින් කිසි තේරුමක් නෑ කියලා පේන සමහර දේවල් දිහා ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්නකොට ප‍්‍රධාන (ධාරාවෙ) තේරුමට පිටින් ඊට වඩා ලොකු විකල්ප තේරුම් පේන්න පටන් ගන්නවා. උදා විදිහට ඉස්කෝලෙ යන එක. ඉස්කෝලෙ උගන්නන දේවල්, ඒ ආකෘතියෙ යල් පැනපු ගතිය සහ එකී නොකී ගොඩක් දුර්වලතා කියන්න පුළුවන් වුණත් ඉස්කෝලෙ ගිය එකෙක් සහ නොගිය එකෙක් අතරෙ වෙනස එක මිනිත්තුවෙන් කියන්න පුළුවන්. ඒක චර්යාමය, බුද්ධිමය සහ හැ`ගීම්මය කියන හැම හැඩගැහීමකටම, හරි විදිහට කිව්වොත් නිර්මාණශීලීත්වයකටම බලපානවා. ඒකෙ ඊටත් වඩා ක්‍ෂුද්‍ර තැන් තියෙනවා.  ඕ-ලෙවල් කරපු සහ ඒ-ලෙවල් කරපු උන් අතරෙ වුණත් මේ හක ළ`ග පංති දෙක අතරෙ වුණත් දැවැන්ත ජීවිතමය පරතරයක් තියෙනවා. ඒක දැනුම පිළිබඳ කාරණයක් නෙමෙයි. ඒ ලෙවල් වල වැඩ හතරම ෆේල් එකෙක් වුණත්  ඕ ලෙවල් වලින් නැවතුණු එකෙකුට වඩා වෙන ජීවිත කලාපයකට ඇතුල් වෙනවා. (මේක න්‍යායක් හෝ අනිවාර්යයක් නෙමෙයි, හුදු අත්දැකීම් සහ නිරීක්‍ෂණ පදනම් කර ගත්තු කතාවක් විතරයි)

එතකොට කාට හරි හිතෙන්න පුළුවන් කොග්ගල මහා ප‍්‍රාඥයා පහේ පංතියට විතරයිනෙ ගියේ කියල. මාත් හිතන්නෙ මාර්ටින් වික‍්‍රමසිංහ මේ වෙනස ගැන හොඳ උදාහරණයක්. මාර්ටින්ගෙ පොත් කියවද්දි ඇත්තටම පේනවා එයා පහේ පංතියට විතරයි ගිහින් තියෙන්නෙ කියල. ඒ හිතීම, ඒ ගොනු කිරීම, ඒ පැවැත්ම, ඒ ගරු කිරීම් සහ දෙකට නැවීම් හැමදෙයක්ම ඒ ඉස්කෝලෙ ගිය නැති එක එලියට කියනවා. වඩාත් මේ කාරණය තේරුම් ගන්න ලේසියි මාර්ටින් එක්ක සයිමන්ගෙ වගේ කෘති තියලා බැලූවොත්. මේක හොඳටම අහුවෙන්නෙ නිර්මාණ වලදි (ප‍්‍රබන්ධ). ජීවිතේ ගැන හිතන පරාසය, ඒ ඇතුලෙන් හොයාගෙන යන දේ, ඒ මනස් සිතියමේ සීමා වගේ ගැඹුරු කාරණා මේ වචන අතරෙ කියවෙන දැනීමට වඩා ගොඩක් දේවල් කියනවා.

මං මේ කාරණේ ගැන හිතාගෙන හිතාගෙන එන්න පටන් ගත්තෙ අපිට එදිනෙදා මුණගැහෙන මිනිස්සුන්ගෙ ජීවිත පරාසවල වෙනස දිහා බලාගෙන ඉඳිද්දි. රස්සාවක් කිරීම, සල්ලි එකතු කිරීම, කසාදයක් බැඳීම, ගෙයක් හැදීම ඊට පස්සෙ ළමයි බමයි... මේ විදිහෙ තනි ඉරේ රේඛාවකට පිටින් ජීවිතේ මොනවා හරි හොයන අය සහ එහෙම කිසි ප‍්‍රශ්නයක් නැති අය කියන දෙවිදියක මිනිස්සු අපිට මුනගැහෙනවා. සීයට බර ගානක් (මගේ ගාන නම් 98ක් විතර) ඉන්නෙ ඒ මොකක් හරි ප්‍රෝග‍්‍රෑම් කරපු එක දේකට යන සෝල්ජර්ස් ලා. ඒ හැම දෙයක්ම මැද්දෙ ඒ සංස්කෘතික ජීවිතේට එලියෙන් තමන්ව තේරුම් ගන්න, තමන්ගෙ පැවැත්ම හොයා ගන්න එක එක විදිහෙ නිර්මාණශීලී දේවල් කරන සීයට කීපයක පිරිසකුත් ඉන්නවා. ඒ අයට තමන් අයිති, තමන් බෙදා හදා ගන්නා සමාජයක් තියෙනවා. අනිත් අයට තියෙන්නෙ තමන් සහ යම් ආයතනයක් (ඔෆිස් එක/පවුල) අතර යම් රේඛීය, කලින් නිර්ණය කරන ලද වැඩ කොටසක් විතරයි. අපි චිත‍්‍රපටියකට හරි, නාට්ටිකට හරි සල්ලි ටිකක් ඉල්ලගන්න මුදලාලි කෙනෙක් ළ`ගට ගියොත් අපි කියන දේ එයාට නොතේරෙන්නෙ සහ එයාට ඒක නොතේරීම අපිට ගැටළුවක් වෙන්නෙ මේ කාණ්ඩ දෙකේ අර්බුදය හින්ද. එයාට එහෙම තමන් අයිති, තමන් අවංක සංවාදයක් පවත්වගන්න සමාජයක් නෑ. එයා එහෙම දෙයක් දන්නෙ නෑ.

මට හිතෙන්නෙ මේ සොල්දාදු ජීවිත බිහි කරන්න ලොකුම හේතුවක් වෙන්නෙ දුප්පත්කම. ගඩොල් කපලා දොස්තර විභාගෙට ඉගෙන ගන්න කෙනෙක් ගොඩක් සල්ලි හම්බුකිරීමට පිටින් දොස්තරකමට තේරුමක් දන්නෙ නැත්තෙ ඒ හින්ද. ජීවිත කාලෙම ඒ දුප්පත්කම විසින් ප්‍රෝග‍්‍රෑම් කරපු ආසාව (ඔබ්සෙෂන්) එක එක මුහුණුවරින් එයාව පෙළන්න පටන් ගන්නවා. ඒ දුප්පත්කම කවදාවත් ඉවර වෙන්නෙ නෑ. මේක සිද්ද වෙන හැටි බලාගෙන යනකොට හොඳටම කැපී පේන එක පරිච්ෙඡ්දයක් තමයි ඒ-ලෙවල් සහ පළවෙනි රස්සාව අතරෙ කාලය. ඒ-ලෙවල් ඉවර කලායින් නොකළායින් රස්සාවකට යන්න වෙන ජීවිත මේ ප්‍රෝග‍්‍රෑම් එකට වැටෙනවා වැඩියි (ඒ සිද්දවීමත් කලින් ඉඳන් එන ප්‍රෝග‍්‍රෑම් එකේ කොටසක්) ඒ ගන්ධබ්බ, අයාලෙ යන, තේරුමක් නැති කාලය ගත නොවීම හින්ද ආකෘතිගත පැවැත්මට එලියෙන් මොකක් හරි තියෙනවද කියල ඒ අය දන්නෙ නෑ. ඒක අහලා තිබිලා වැඩක් නෑ. ඒ පාතාලෙට වැටෙන්න  ඕන.

බෝඩිංකාර, අසහනකාරී ඒ තරුණ වල්මත් බව අපේ ජීවිතේ වෙනස් ගැඹුරක් නිර්මාණය කරනවා. කවදාවත් පද්ධතිගත ජීවිතෙන් තෘප්තිමත් නොවෙන අසහනයකින් අපිව පුරවනවා. මං හිතන්නෙ හැම ඇත්ත සමාජ ක‍්‍රියාකාරිකයෙක් (දුප්පත් හේතු නැති) පිටිපස්සෙම මේ අයාල තාරුණ්‍යය තියෙනවා.
ඉබාගාතෙ දිගේලි වෙච්ච අදහස් පේලියක් දිගේ රෝල් වුණත් කියන්න තිබුනෙ වෙන කතාවක්. දැන් ඒ කතාවට ක්ෂණික ෙඡ්දනයක්.

මං හැත්තෑ හත දිහා බලාගෙන ඉපදුනෙ. හැත්තෑව වගේ කාලෙක ඉපදුනේ නැති එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්. මං ඒ තරමට 77 වෙනසට කැමති හින්ද. විවෘත ආර්තිකේ මාර අවුලක් කියාගෙන රටම වමට තල්ලූ කරගෙන ආපු 70 කට්ටිය (56 සිංහල සෙට් එක) හින්ද තමයි මං හිතන්නෙ අපි තාම මේ පරිප්පුව කන්නෙ. ඒකෙ අවසාන නිෂ්පාදන වුනේ මහින්ද රජපක්ෂ, බොදු බල සේනා වගේ තත්ව. ෆැක්චුවල් විදිහට 77 ගැන කතා නොකර මං වෙන ෆන් තැනකින් මේ කාලෙ ගැන මගේ කතාවට එන්නං.

මට 77 කිව්වම මතක සංසිද්ධි දෙකයි. එකක් ජේ ආර් ජයවර්ධන. මං පොඩි කාලෙ හිතුවෙ ජේආර් තමයි හැමදාම ජනාධිපති කියල. අද වුණත් මට ජනාධිපති කෙනෙක් වගේ පේන්නෙ එයාව විතරයි. ඇත්තටම ඊට පස්සෙ ඒ රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය තියෙන කිසි චරිතයක් රටේ නායකත්වයට ආවෙ නෑ. ඒ වෙනුවට නායකයාගේ පටන් සියලූ මැති ඇමතිවරු කිසි හිරිකිතයක් නැතුව දූෂණ, වංචා, මිනීමැරීම්, මංකොල්ල  ඕන එකක් කරන්න පටන් ගත්ත. ව්‍යවස්ථාවට වඩා ආගම, ජාතිය උඩට ආවා. වාමාංශික යාලූවො මේ වෙලාවෙ කියන්න පුළුවන් ජේ ආර්ගේ ව්‍යවස්තාවෙ අර්බුද. ඒත් මං කතා කරගෙන යන්නෙ සමාජ ව්‍යවස්තාවෙ අර්බුද.

ජේආර් දේශපාලනේ කරන්න ඇන්දෙ සරම. ඒත් එයාගෙ ගෙදර ඇඳුම වුනේ කලිසම. ගෙදර ගිහින් කලිසම මාරු කර ගන්න කල් ජේආර් හිටියෙ පුදුම නොඉවසිල්ලෙන්. අපි මේ වෙනකොට ඉන්නෙ ඊට ප‍්‍රතිවරුද්ද පැත්තෙ. දැන් අපිට ඉන්නෙ අහම්බෙන් කලිසමක් ඇන්ඳත් සරමට මාරුවෙන කල් නොඉවසිල්ලෙන් ඉන්න නායකයො පිරිසක්. මේ අපි බුක්ති විඳිමින් ඉන්නෙ ඒ සරං සංස්කෘතිය (56න් පටන් ගත්තු)

මගේ කතාව ජේආර් ගැන නෙමෙයි. 77 කිව්වම මට මතක් වෙන දෙවෙනි චරිතය ගැන. ඒ තමයි ජිප්සීස් සුනිල් පෙරේරා. ඒ මට ලංකාවෙ ඉන්න අයිකොනික් ආර්ටිස්ට් කෙනෙක් (කලාකරුවෙක් නෙමෙයි). සුනිල් පෙරේරා කියන්නෙ 77 සංස්කෘතික නිෂ්පාදනයක්.

සුනිල් ගැන මට මතක් වුණේ මෑතක ක‍්‍රිකට් බෝර්ඞ් එකේ වෙච්ච අවුලත් එක්ක. ඒ වගේ තැනක, ඒ වගේ පිරිසක් ඉස්සරහ ‘බොන්න වතුර ඉල්ලූවාම වෙඩි තිබ්බේ මොන රටේද?’ වගේ කතා කියන්න පුළුවන් කොන්දක් සුනිල්ට හැමදාම තිබුණ. ලංකාවෙ 77ට කලින් නිර්මාණය වුණු කුහක පැවැත්ම වෙනුවට එලිය සහ ඇතුලත එකක් වුණු දියුණු පුරවැසි පැවැත්මක් වෙනුවෙන් සුනිල් සිංදු කිව්වා. මට තේනුවර අමාරුවෙන් ගොතලා කරන චිත‍්‍ර- මූර්ති ප‍්‍රදර්ශනේකට වඩා සුනිල්ගෙ ප‍්‍රකාශන දේශපාලනික හා සමාජ විරෝධතා විදිහට දැනෙනවා.

ඒ සිංදු ඇතුලෙ එයා අ`ගහරු ලෝකෙන් එන කුරුමිට්ටො එක්ක රටේ තොටේ විස්තර කතා කරනවා. ඊට පස්සෙ කාලෙක ලූනු දෙහි ගැන කතා කියනවා. වැදි පත්තුවෙ ඔජායේ නටනවා. මේ හැම දේකින්ම එයා සමාජ පෙරලියක් කරනවා. ප‍්‍රබුද්ධයන්ට තහනං කලාපෙක සුනිල් තමන්ගෙ කලාව- දේශපාලනය- ජීවිතය විදිහට නොබෙදුණු තනි පැවැත්ම අරගෙන එලියට බහිනවා. ඒ විවෘත බව ලංකාවෙ වෙන කිසි කලාකාරයෙකුට තිබුණෙ නෑ.

සුනිල් ගැන කියවගෙන යද්දි අහම්බෙන් ලයිෆ් ටයිම්ස් එකට කරපු ඉන්ටර්විව් එකක් හම්බුණා. ඒක ලියලා තිබුණු ජෙහාන් මෙන්ඩිස් ඉන්ටවිව් එක දවසෙ එයාගෙ කැමරාමන් එක්ක සුනිල් එනකං බලන් ඉන්නවලූ. මේ සදා පෙරලිකාර දැවැන්තයා එලියට බහිද්දි සිංහයෙක් වගේ ෆොටෝ ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. ඔන්න එතකොට සුනිල් ඇවිත් බැස්සලූ. කොට කලිසමකුයි,  ‘ටේ‍්‍රනී ගයිනොකොලොජිස්ට්’ (පුහුණු වන ප‍්‍රසව හා නාරිවේදී) කියලා හරහට ගහපු ටීෂර්ට් එකකුයි ඇඳගෙන.

අර බලාපොරෙත්තු වුණු දැවැන්ත ප‍්‍රතිරූපෙ එතනම හාන්සියි. මේ කැඩිල්ල, තමන් ගැන ප‍්‍රතිරූපයෙන් නැවත තමන්ම ඇඳ නොගැනීම සුනිල්ගෙ කැපී පේන ලකුණක්. තමන්ගේ ප‍්‍රකෘතිය, තමන්ගේ ජීවිතය විවෘතව ගෙනියන්න තියෙන උවමනාවම සුනිල්ගේ දේශපාලනය වෙනවා. ඒත් අපේ රටේ දේශපාලනයේ සාමාන්‍ය පුළුවන් තරම් තමන්ව වහගන්න එක.

මම නං ගෙ`ග් පනිනවා- වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
ජීවිතේ එපා කියනවා- රේල්ලට බෙල්ල තියනවා
කෝච්චිය ළං වෙන කොට අපි නැගිටිනවා..

සුනිල් පෙරේරා පවතින සංගීතයේ කොටසක් වෙන්නෙ නෑ. එයා සුනිල් පෙරේරාගේ සංගීතයක් නිර්මාණය කරනවා. ඒක මට අනුව නූතන ජන සංගීතයක්. ඒක අපේ උරුමයක්. ඒ සංගීතය, ඒ පද මිනිස්සු කටින් කට අරගෙන යනවා. ඒ සිංදු වෙන වෙන අය තැන තැන කියනවා. සල්ලි හොයනවා. ඒත් සුනිල් කියන්නෙ මගේ ළමයි ඇරෙන්න වෙන අය ඒ සිංදු කියනවට මං කැමතියි කියල. නන්දලා ගාව ආරියරත්නලා ගාව නැති නිර්ලෝභී සමාජ ජීවිතයක් සුනිල්ට තියෙනවා.

ආරිය කරවන ආරියරත්නලා අද මෙහි රැස් වෙන්නෙ
ආචාර්යවරු මහාචාර්යවරු ප‍්‍රබුද්දයනුත් ඉන්නේ...

සුනිල්ගේ සිංදු වල තියෙන්නෙ උපහාසය. හාස්‍යය. සීරියස් දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිත තවත් අවුල් කරන්න සුනිල් අකමැතියි. ඒ වෙනුවට හිනාවෙවී කියන්න, කිය කියා තේරුම් ගන්න සුනිල් ජන ගී කියනවා. සෞන්දර්යය ඇතුලෙ භාෂාව ඇතුලෙ කරන බොරුව එයා කරන්නෙ නෑ. පද ගැලපිලි, තාල රැුකිලි වෙනුවට ඇ`ගට දැනෙන තාලෙට, කටට කියවෙන වචනෙට සුනිල් සිංදු හදනවා. මේ මොඩර්න් ජන සංගීතය කියල මං කියන්නෙ ඒකයි. ඒක ප‍්‍රබුද්දයින්ට අකැපයි කියල එයා කියන කතාව ඇත්ත.
සිංදුවලට අමතරව සුනිල් කරන්නෙ රස කැවිලි හදන එක. (මං හිතන්නෙ ඒක පවුලෙ බිස්නස් එකක්) සුනිල්ගේ ග්ලූකෝරස එකෙන් තමයි අඳුන්නලා දුන්නෙ ‘ජුජුබ්ස්’. ඒ වගේම ‘ටිපි ටිප්’. සැහැල්ලූ, ඒත් මීට කලින් අත් නොවිඳි රසක් සුනිල්ගේ හැම දේකම තියෙනවා.

මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
දුන්නෙ කිස් එකයි හැබැයි ඒක මුල් එකයි
මං දුන්නා තව එකක් දැන් දෙකයි

එපා යන්න- තවත් එන්න
ඇෙ`ග් ඇලි ඇලි ඈ යලි යලි පවසයි...

මේ ලිපියෙ එක තැනකදි සුනිල්ගෙන් සෙක්ස් ගැන අහනවා. එතකොට එයා හරිම ලස්සන උත්තරයක් දෙනවා. ‘මේක ඉංග‍්‍රීසි මැගසින් එකකට හින්ද කියන්න පුළුවන්. ඒත් සිංහල පත්තරේකට කියන්න බෑ. මොකද සෙක්ස් කියන එක ඉංග‍්‍රීසියෙන් දැම්මම ඒකෙ කිසි නරකක් නෑ. ඒත්  ඕක ‘සංසර්ගය’ හරි ‘සම්භෝගය’ හරි මොකක් හරි කියල ලිව්වොත් මිනිස්සු හිතයි මට මානසික රෝගයක් කියල’. සුනිල් සෙක්ස් ගැන කතාවට බහින්නෙ එහෙම.

එයා සෙක්ස් වලට කොච්චර කැමතිද කියලා එළිපිට කියනවා. සෙක්ස් ගැන තියෙන ඞීවීඞී එකක් දැක්කත්, පොතක් දැක්කත් මායි මගේ වයිෆුයි අතරෙ සම්බන්දය තවත් වැඩි කරගන්න මේකෙන් මොනවද ගන්න පුළුවන් කියල ඒ ගැන උනන්දු වෙන වග කියන්න සුනිල් ඇඹරෙන්නෙ නෑ. තමන්ගේ අනියම් සම්බන්ධතා ගැන, ඒකෙන් වුණු වැරදීම් ගැන වෙන කිසි සම්භාව්‍ය කලාකරුවෙකුට නැති සරල, විවෘත දැක්මකින් එයා කියාගෙන යනවා.

‘නෝනා මට සමාවෙන්න  ඕනා
මමත් ලේ මස් වලින් හැදිච්ච මිනිහෙක්
මගේ අතින් වැරදි වුණා තමයි
ගිය දේවල් ගියා- ඒවා ගනං ගන්න එපා
නෝනා මට සමාවෙන්න  ඕනා‘

‘බඳින්න යන කවුරු හරි ඉන්නවා නං මං කියන්නෙ සෙක්ස් ලයිෆ් එක හොඳට තියාගන්න. හොඳ සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නං ඔයා සම්පූර්ණ මිනිහෙක්. ඔයාට ෆැන්ටසි තියෙනවා නං ඔයා ට‍්‍රයි කරන්න  ඕන කොහොමද ඔයාගෙ වයිෆ් එක්ක ඒ ෆැන්ටසි රියැලිටි එකකට ගේන්නෙ කියල. එලියෙ කාත් එක්කවත් නෙමෙයි..’ -සුනිල් පෙරේරා

සුනිල්ගේ ගෙයි උඩ තට්ටුවෙ තියෙන පොඩි උද්‍යානයක් ගැන මේ ලියුම්කරුවො දෙන්නා වර්ණනා කරනවා, ‘මේක බාබකිව් පාටියකට එහෙම මරු’ කියල. එතකොට සුනිල් කියනවා ඔව්, පාටියකටත් හොඳයි, ඒත් මෙතන පාටියකට වඩා හොඳ හොඳ දේවල් කරන්නත් පුළුවන්’ කියල. මේ විදිහට තමන්ගේ ජීවිතය, තමන් රස විඳින දේ  ඕන මාධ්‍යයක් ඉස්සරහ කෙලින් කියන්න පුළුවන් එකම මනුස්සයා මට මුණගැහුනෙ සුනිල් පෙරේරා. මට හිතෙන්නෙ හැම වතාවකම සුනිල් ඉස්සරහ මාධ්‍ය නිරුවත් වෙනවා (වෙන කලාකාරයො මාධ්‍ය ඉස්සරහ නිරුවත් වෙද්දි*. මං හිතන්නෙ ඒ 77 හින්ද.

‘ඔයාගෙ හැම ෆැන්ටසියක්ම රියැලිටි එකට ගේන්න  ඕන. නැත්තං ඔයා සම්පූර්ණ වෙන්නෙ නෑ. සෙක්ස් වල නරකයි කියල දෙයක් නෑ. දෙන්නම එක`ග නං එතන අසභ්‍ය හෝ විපරීත කිසි දෙයක් නෑ’
-සුනිල් පෙරේරා

ලිපියෙ තව තැනකදි සුනිල්ගෙන් අහනවා අන්‍යාගමිකකරණය ගැන. එයා කතාවක් කියනවා.
‘මගේ පුතා පොල්ගහකට වඳින්න ගත්තා කියන්නකෝ. එයා මට ඇවිත් කියනවා මේ පොල් ආගම මාර හොඳයි, මං ඒක අදහනවා’ කියලා.

එතකොට ඔය පොල් ආගම අදහන තව අය ඉන්නවද? මං අහනවා.
එයා කියනවා, ‘ඔව්, මේ ආගමේ කියන දේවල් හොඳටම ඇත්ත. මං විශ්වාස කරනවා. ඉතිං මං පොල්ගස් වන්දනාවට එකතු වෙනවා’ කියල.

මං එයත් එක්ක වාද කරන්න යන්නෙ නෑ. මං ඒකට විරුද්ද වෙන්න යන්නෙත් නෑ. මගේ පුතා මොකක් හරි ආගමක් අදහලා හොඳ මනුස්සයෙක් වෙනවා නං මට  ඕන එච්චරයි. අදහන ආගමෙන් වැඩක් නෑ. ආගම තියෙන්නෙ මිනිහගේ යහපතට, මිනිහව ආරක්‍ෂා කරන්න මිසක් මිනිහා ඉන්නෙ ආගමක් ආරක්‍ෂා කරන්න නෙමෙයි’

ගොඩක් කලාකාරයො හිතන්නවත් බය දේවල් සුනිල් තමන්ගේ ජීවිතේ ඇතුලෙ හෑල්ලූවෙන් කරනවා. එයා කියන සිංදු එහෙම්පිටින්ම වචන වෙනස් කරලා වෙළඳ දැන්වීම් වලට හරවනවා. එයාම ඒවා විකුණනවා. කලා කෘති වගේ කෞතුක වටිනාකම් දෙන එක වෙනුවට පාරිභෝගික භාන්ඩයක් වගේ කටින් කට පාවිච්චි වෙන නිර්මාණ ඇතුලෙන් සුනිල් තමන්ගෙ පනිවුඩය කියනවා. ඒක ජීවිතේ ඇත්ත පනිවුඩයක් නිසා නිර්මාණයේ කන්‍යාභාවය වගේ ගැටළු එයාට නෑ. තාමත් අපේ විකල්ප සංගීත තරුණයො පවා බයෙන් හැංගෙන මීඩියාවලට සුනිල් මූණ දෙන්නෙ කිසි ගානකට නැතුව. මීඩියා වලින් හදන්නවත් නැති කරන්නවත් පුළුවන් ජීවිතයක් නෙමෙයි සුනිල් පෙරේරාට තියෙන්නෙ. ඒ හින්දම විකිණෙනවා, විකුනනවා, නැති වෙනවා, දිය වෙනවා වගේ මනස්ගාත එයාට නෑ.

ලංකාවෙ තාමත් සුනිල් පෙරේරාව දැම්මොත්  ඕන ප්‍රොඩක්ට් එකක් විකුණන්න පුළුවන්. සුනිල් කියන්නෙ භාෂාව, පංතිය, ආගම, ජාතිය අතික‍්‍රමණය කරපු 77 නිෂ්පාදනයක්. තාමත් මේ දාර්ශනිකත්වය තේරුම් ගන්න අපිට කියවීමක් නෑ. මොකද අපේ කියවීම 77ට කලින් හදපු අච්චුවක් හින්ද. ආර්ට් එක, ස්ටයිල් එක, දේශපාලනය සහ ජීවිතය එකක් වුණු  ආර්ටිස්ට් කෙනෙක් ගැන ලංකාවෙ මට තියෙන එකම උදාහරණය වෙන්නෙ සුනිල්.

 77 කියන්නෙ ලංකාවෙ කැරැල්ලක්. ඒ කැරැල්ල, ඒ වෙනස දරන්න තාමත් අපිට බැරි වෙලා තියෙනවා. සුනිල් කියන්නෙ ඒ පොප් කැරැුල්ලෙ කැඳවුම්කරුවෙක්.

-චින්තන ධර්මදාස

Original interview from -
http://ravana.files.wordpress.com/2008/04/interview-with-sunil-perera-for-lt-part-1.pdf
http://ravana.files.wordpress.com/2008/04/interview-with-sunil-perera-for-lt-part-2.pdf

Saturday, September 21, 2013

මාලේ ගෙලේ චේ පපුවේ

අජියා බොබ්මාලේ ගැන පොතක් එලියට දැම්මා. ඒක පොතක් කිව්වට පොත් පිංචක්. කාලයක් තිස්සෙ  ඕක ගැන කතා වෙවී හිටියත් කාටවත් වෙලාවක් තිබුණෙ නෑ ඒකට මැදිහත් වෙන්න. හැමෝටම ඊළ`ග දවස ප‍්‍රශ්නයක් වෙච්ච කාලයක්. සාමාන්‍යයක් විදිහට ලංකාවෙ කවදත් නෑ කියාගත්ත ගමන් තමයි මිනිස්සු. ඒත් සල්ලි විතරක් ලැබෙන වැඩ අතරෙ අපි හිර වෙලා ඉන්න තරමත් එක්ක ඒක ඇ`ගට දැනෙනවා. එළියෙ මොකුත් නෑ. මං හිතන්නෙ දීප්ති- නිර්මාල් නොකෙරෙන මහා වාදය වුණත් මේ හිස් තැනට පොඩි රතිඤ්ඤයක් වුණා. ඒක හොඳයි. පොඩි හුස්මක්, ටික දවසකට.

මේ ඔක්කොම අතරෙ අජියා බොබ් මාලෙ ගහන්න යනවා. අපි කරන හැම වැඩක් ඇතුලෙම අපිට කරන සමාජ දේශපාලන තල්ලූව දැනෙනවා. කාලාන්තරයක් බුබුළක් වත් නොනගා හුස්ම අල්ලන් වතුර යට ඉන්න පුළුවන් අජියාටත් හුස්මක් ගන්න උඩට එන්න වෙලා. අජියත් සමාජ ප‍්‍රතික‍්‍රියාවක් ඉල්ලනවා.

ඒත් ඒ කතාව අරගෙන එන්න පුළුවන් ඉඩක් උගේ ජීවිතේ ඇතුළෙ තිබුණ. කාටවත් වෙලාවක් නැති වෙලාවක ඌ ඉතුරු කර ගත්ත වෙලාව ටිකක් තිබුණ. පොත එළි දකින මුණගැහීමට එන්න කියලා එස්එම්එස් එකක් ආවෙ එදාම හවස. පොඩි ෆේස් බුක් පෝස්ට් එකක් ඇරුණම ලොකු සද්දයක් නැති හවසක් ඒක. ගොඩක් යාලූවො ඇවිත් හිටියා. එක එක අදහස් දේශපාලන දරන ගොඩක් අය. වැඩියෙන් හිටියෙ සිංදු කියන අය. කතා කරන අයට වැඩි වෙලාවක් නොදෙන්න ඒ සිංදු කියන අය තීරණය කරලා තිබුණ.

‘මචං හැමදාම ගායකයො කළේ පොතක් හරි මොකක් හරි එකක් කරන එකෙකුගේ වැඩකට ගිහින් කුලියට සිංදු කියන එකනෙ. උන්ට මං කියන්නෙ පෝර්ටබල් බූරුවො.  ඕන තැනකට ගිහින් තිබ්බම තප්පුලනවා. මේක මචං සිංදු කියන එකෙක් පොතක් ලියලා. ඉතින් ඒකෙ සිංදුවක් කියන එක නම්බුයිනෙ බං......’ අජියා කිව්වා.

මයික් එක ගන්න කවුරුවත් නැති කතාබහක් ඒක. අජියා බොබ්මාලෙ ගැන ලිව්වෙ ඇයි කියලා පටන් ගත්ත කතාව චේ ගුවේරා ලංකාවට සීනි විකුණපු තැන දක්වා ඇදුන.

‘චේ ගුදෙරාත් ලංකාවට ආවෙ ඞීල් එක්ක දාන්නනේ මචං. කියුබාවෙ සීනි විකුණන්න’ අජිත් කවදත් ගේන දේශපාලන උපහාසෙ අරං ආවා.

‘නෑ මචං. ඒක එහෙම කියන එක වැරදියි. ඒ වෙලාවෙ කියුබාවෙ මිසයිල ප‍්‍රහාරයත් එක්ක ඒ ගොල්ලො අවුල් වෙලා හිටපු වෙලාවක්. ඒකට උදව් ගන්න, ඔව් සීනි විකුණන්න තමයි... ඒත් ඒක වෙනස් තත්වයක්’
නන්දන වීරරත්න චේව බේරගත්තා.

ඒක හරි ලස්සන මුණගැහීමක්. තමන්ගෙ මතවාදය වෙනුවෙන් කෙලින් කර ගැනීම වෙනුවට ඊට වඩා ගැඹුරු මනුස්සකමක් ඇතුලෙ අදහස් එහා මෙහා ගියා. විෂයන් මාතෘකාවන් හරහා ගමන් කළා. විහිළුත් තිබුණ. ඒක හරිම උණුහුම් හැන්දෑවක්. තාමත් අපි ජීවත් වෙනවා කියලා මට ළාවට සතුටු හිතුණ.

ත‍්‍රීවීල් වල පිටිපස්සෙ ඉන්න, වැල්ලෙ කොල්ලො ඇඳන් බහින බොබ් මාලෙව දේශපාලනික තැනක හිටවන්න ගොඩක් අයට  ඕන වුණා. ඒක නිකං බොබ් මාලෙට එක නිශ්චිත තේරුමක් දෙන්න  ඕනකමක් වගේ.

‘මාලෙ ගෙලේ
චේ පපුවේ
කිසිම දෙයක්
නෑ ඔලූවේ...’

ගීතදේව සිංදුවකුත් කිව්වා. (උගේ සිංදු පට්ට ආ... මාර වොයිස් එක...මචං ඒ වචන ඌමද ලියන්නෙ...අන්න සිරා ආ.... මේ එතන හිටපු කලින් ගීතදේව අහලා නොතිබුණු කීපදෙනක් පස්සෙ දුන්නු කමෙන්ට්ස්)

ඒත් බොබ් මාලෙව අපි වගේ කරන්න යන එක ගැන මට තිබුණෙ අවුලක්. මාලෙ ගහගෙන ඉන්න ත‍්‍රීවීල් පොරවල් එක්ක මං මාලෙ ගැන කතා කරලා තියෙනවා. උන්ට දේශපාලනික මාලෙට වඩා ලොකු මාලෙ කෙනෙක් ඉන්නවා. සමහර උන් මාලෙට පහන් පත්තු කරනවා. මාලෙ නිසා වෙජිටේරියන් වෙච්ච, කංසා ඇරුණම බියර් එකක් වත් නොබොන උන් ඉන්නවා. කොන්ක‍්‍රීට් අනන එකෙක් ඉන්නවා මාලෙ හින්දා කවදාවත් සෙරෙප්පුවක් වත් නොදාන (රස්තා තපස).

ඇමරිකාවට විරුද්ද හරි සීඅයිඒ එකෙන් මරපු හරි මාලේට වඩා ජීවත් වෙන මාලේ කෙනෙක් උන් අතර ඉන්නවා. අපේ මාලේ කවුද? අපේ පරිවර්තනය කරපු කාඞ්බෝඞ් මාලේ වෙනුවට චර්යාවක් එක්ක බෙදාහදා ගන්නා මාලේ කෙනෙක් උන්ට ඉන්නවා. ඒ මාලේ කතා කරන්නෙ සිංහල වෙන්න පුළුවන්, අහන්නෙ බස් ජෝති වෙන්න පුළුවන්. ඒත් ඒ තමන්ගෙන් පිටස්තර, අකුරු වලින් කියවපු මාලේ කෙනෙක් නෙමෙයි.

අජිත් පොත ලියලා තිබුණෙ බස්වල විකුණන්න. පැය බාගෙන් කියවලා ඉවර කරන්න පුළුවන් විදිහට. ඒක පුළුවන් තරම් කතා කරන බාසාවට ගේන්න, සරල කර ගන්න අජිත් ට‍්‍රයි කරලා තිබුණ. ඒක එතනදි කතා වුණේ මේ බස් පංතියේ ජනතාවට (බස් උපසංස්කෘතිය) දේශපාලන දැනුම ගෙනියන ව්‍යාපාරයේ තවත් කොටසක් විදිහට. අපේ මාලෙව බස් වල විකුණන්න යනවා නෙමෙයි උගේ කතාව ටිකක් විස්තර ඇතුව කියන්නයි ගියේ කියලා අජිත් කියන්න හැදුවට ඒක එච්චර ඇහුණෙ නෑ.

අපේ වාමාංශික- මාක්ස්වාදී- ඇමරිකන් විරෝධී- මඤ්ඤං මාලේ ගැන මිනිස්සු දැනුවත් කරන්න යනවා නං ඒක කැම්පස් කොල්ලො ටිකක් බස්වලට නැගලා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැන දැනුවත් කරන්න යනවා වගේ තැනකින් එහාට යන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. ඒත් බස්වලට දේවල් ලියන්න ට‍්‍රයි කරනවා කියන එක මට ගොඩක් පොසිටිව් දෙයක්. ඒ මිනිස්සුන්ගෙ බාසාවෙන්, ඒ මිනිස්සු හිතන පතන දේවල් එක්ක අපේ විදිහක පොඩි චැට් එකක් දානවා වගේ. ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ පිරිලා පොත් අට්ටි පිටින් කියවන ගෝත රොත්තට ලියනවට වඩා අර ලිවීම ලයිව්. ඒක ඇත්ත විවෘත වීමක් කියලා මං කියන්නෙ. භාෂා ආකෘති ඇතුලෙ, මේ කියවන නිකාය ඇතුලෙ ඒ ජීවිත ගනුදෙනුව වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් ඒක ලොකු නිදහස් වීමක්. සාහිත්‍යය කියන ආකෘතියෙන් එලියට ලියන එක. මට හිතුනෙ අජිත් උත්සාහ කරන්නෙ ඒකට.
‘මොනාද මචං, රුපියල් පනහට පොතක් විකුණලා උඹට සිගරට් එකක් වත් බොන්න පුළුවන්ද?’ සර්පයා ඇහුවෙ ජෝක් එකට.

‘අනේ මේ... උඹ ලොකු ගණං වලට පොත් විකුණලා කරන්නෙත් එච්චරනෙ බං.. ’ අජිත් හැරෙන තැපෑලෙන් උත්තර දුන්නා.

ඒත් බස්වලට ලියන එක අමාරු වැඩක්. ඒකට අපි ඇතුලෙ, අපේ සිතීමේ ආකෘති වලින්ම කරදර කරනවා. අපිට බස් එක කියලා පේන්නෙත් අපේ සිතියමේ එක කොණක් විතරයි. අජිත්ගේ පොතේ කවරෙන්ම බස් එකේ කියවන උන්ව ටිකක් ඈත් කරනවා කියලයි මට හිතෙන්නෙ. බස් සංගීතය අනිත් සංගීත වලින් වෙනස් වෙනවා වගේම බස් ග‍්‍රැෆික්ස් කියන එකත් වෙනස්. එතන රූප භාෂාව වෙනස්. වර්ණ භාෂාව වෙනස්.

අනිත් පැත්තෙන් බොබ් මාලෙගේ ජීවිතේ ගැන කියන්න ගියත් මගදි අජිත් ආපහු මාලෙගේ දේශපාලන වටපිටාව ඇතුලෙ අතරමං වෙනවා. එයාගෙ ලව් එක, එයාගෙ ආගම, එයාගෙ පිස්සුව... මේ දේවල් ගැන කතන්දර විස්තර වෙනුවට මාලේ ගැන විකිපීඩියා විස්තරයක් වගේ ක‍්‍රමානුකූල කතාවක් අජිත් අතින් ලියවෙන්නෙ. ඒක හරි ලස්සනයි. ඒත් ආපහු ඒක කියවන්නෙ අපි.

මාලෙ ගැන කතන්දර, මාලෙගේ ආදර හසුන්, විශේෂයෙන්ම මාලෙගේ ආගමික ඇදහිල්ල වගේ දේවල් අජිත් අතින් මගඇරෙනවා. බොබ් මාලේ ගැන මිත් එක අජිත් ආයිමත් රියල් එකකට ගේන්න හදනවා. එතනදි ආපහු ඒක දේශපාලනික උත්සාහයක සීමාවෙන් නතර වෙනවා.

ඒත් අජිත් මේක ලියන්නෙ අවුරුදු ගානකට කලින්. වෙන ගොඩක් දේවල් ගැන ලියන්න පුළුවන්කම තියෙද්දි ඇයි එයා බොබ් මාලෙ ගැන මෙහෙම පොඩි කතාවක් ලියන්නෙ....?

ඒ කතාව කියවගෙන යද්දි මට අමුතු දෙයක් දැණුන. අජිත් මාලේගේ ජීවිතේ ඇතුලෙන් ආපහු තමන් ගැන කියවන්න උත්සාහ කරනවද කියල. ජීවිතේ යම් අවිනිශ්චිත, නන්නත්තාර හන්දියකදි අජිත්ට තමන්ව ආපහු කියවගන්න  ඕන වුණා වගේ හැ`ගීමක් මට තෝරා ගත් ප‍්‍රවෘත්ති අතරෙ තිබුණ. දැනුවත්ව හෝ නොදැනුවත්ව මාලේ අජිත්ගේ ජීවිතේට අතදාලා.

මට පොත රසවත් වුණු ලොකුම හේතුව තිබුණෙ ඒක. තමන්ව හොයාගැනීමේ උත්සාහයක් විදිහට වෙනත් චරිතයක් ඇතුළෙ කිමිදීම. ඒ චරිතය තමන් හරහා යලි ලිවීම. මාලේ ගැන අජිත් ලියන මේ රුපියල් පනහෙ ලියුම මට ත‍්‍රිල් වෙන්නෙ එතනදි. ඒක හරි අවංකයි. ආගමිකයි.

ඇත්තටම අජිත්ගේ පොත ගැන ලියන්න නෙමෙයි පටන් ගත්තෙ. ඒ හමුවීම ඉවර වෙලා ගෙදර එද්දි මුනගැහුණු වෙන යාලූවෙක් ගැන කතාවක් ලියන්න. ඒත් නුගේගොඩදී බොබ් මාලේ මුණගැසීම මගේ නොස්තැල්ජියාවත් එක්ක ගොඩක් දුර ගියා. එදා ? මුණගැහුනු යාලූවා තාම එතන.

-චින්තන ධර්මදාස


Saturday, September 14, 2013

දෙයියොත් සූදු කෙළී

මේ දවස් වල ෆේස් බුක් එකේ ද්වන්ධව සටනකට කලින් දෙපාර්ශ්වයේ පිරිසගේ වහසි බස් ඇහෙනවා එහෙන් මෙහෙන්. ඒ දීප්ති හා නිර්මාල් අතර මහා වාදය අරඹයා. මඩ ගැසීමේ දේශපාලනයක් ඇත කියන තේමාව යටතේ මේ දෙපැත්ත ඇණකොටා ගැනීමට නියමිතයි. මට හිතෙන්නෙ ඇත්ත මාතෘකාව වෙන්න  ඕන නිර්මාල් ගැන කියපු කතා (විශේෂයෙන් ගෑනු කතා) ඇත්තද නැත්තද කියන එක. මේක සංවාදයක් නෙමෙයි මරා ගැනීමක් නැත්තං වාදයක් වෙන්න  ඕන කියල දීප්ති කියල තියෙනවා. මේ ගැන උනන්දු අනෙක් දෙපාර්ශ්වයේ පිරිස යමක් කමක් කියවන, අදහස් නිෂ්පාදනයට ඍජුව හෝ වක‍්‍රව දායක වෙන අය. එක පැත්තකින් මට දීප්ති සහ නිර්මාල් මේ වගේ තේරුමක් නැති කුළල් කා ගැනීමකට උනන්දු කාරණය මේ චරිත ගැන පීචං හැ`ගීමක් දෙන අතරෙම ඒ පොරකෑම වෙනකල් බලන් ඉන්න අයගේ ත‍්‍රිල අප්පිරියාවක් ඇති කරනවා.

සංවාදයක් වෙනුවට වාදයක් ඉල්ලන එකේ තේරුමම වෙන්නෙ තේරුමක් නැති මමත්ව (ඊගෝ)කේන්ද්‍රීය ගහමරා ගැනීමක් විතරයි  ඕනි කියන එකමයි. එතන කියන කරන කවරක් වුණත්, ඒක බුදු වීම තරම්ම සංසුන් වෑයමක් හැටියෙන් පෙනුනත් ඒක යට තියෙන්න පුළුවන් මේ ඊගෝ ඇවිළීම විතරයි. ඒ කියන්නෙ ඒ වචන සහ ක‍්‍රියා නිකං ආයුධ විදිහට පාවිච්චි වෙනවා මිසක අදහසක් තේරුමක් වෙනුවෙන් පාවිච්චි නොවෙන වගයි.

එතකොට මේ සටන ඉල්ලා සිටින අය විඳින්න යන්නෙ වෝර් ආර්ට් එකක්ද? වඩා හොඳ ග්ලැඩියේටරයා කවුද කියන එකද? එතකොට මේ රටේ යුධවාදී මහා ජනතාව ලබන ප‍්‍රමෝදයේ සහ මේ සමාජ දේශපාලන ක‍්‍රියාකාරිකයන් ලබන ප‍්‍රමෝදයේ වෙනස මොකක්ද? මං කියන්නෙ ඒ පුද්ගලික ප‍්‍රශ්න (නිර්මාල් සහ දීප්ති අතර වගේ) ගෙවල් වල විසඳ ගන්න. සමාජය වේදිකාවක් කර ගන්න එක විගඩමක් විතරයි.

වාදයක් කියන්නෙ අනෙකාව තේරුම් ගන්න හෝ ඒ අදහස් අතර සංසර්ගයක් ඇති කරන වෑයමක් නෙමෙයි. ඒක සෙක්ස් වෙනුවට යුද්ධය ඉල්ලනවා වගේ වැඩක්. මර්වින් සිල්වාගේ කතාවකට වඩා ආතල් එකට වඩා මේ දෙන්නාගේ වාදයකදි ලැබෙයි කියල අනුමාන කරන්න පුළුවන් ත‍්‍රිල් එක මොකක්ද?

මට හිතෙන්නෙ මේ අපේ සිතීමේ ලොකු අවුලක් පෙන්නන තැනක්. මේ අවුල හැම තැනම පේනවා. ඒත් නොදැක්කා වගේ ඉන්නවා. අපි මොන තරම් දියුණු කතිකාවන් පොත් වලින් කියෙව්වත් අපේ තත්වානුරෝපනය (කන්ඩිෂන් වීම) වෙනස් නොවෙන බව පෙන්නන හිඩැසක්. අනිත් පැත්තෙන් සමාජයේ අපි දරන දේශපාලනය තාමත් නිව්ටෝනියානු යාන්ත‍්‍ර විද්‍යාවේ සීමාවෙන් මෙපිටට ඇවිත් නැති වග කියන සරල සළකුණක්. අපි නිව්ටෝනියානු සිතීම වෙනුවට ක්වොන්ටොම් සිතීමකට උත්සාහ කළොත් තත්වය කොහොම වෙයිද?

මෙතනදී මං ක්වොන්ටොම් භෞතිකවාදය (ද්විඝටනාත්මක භෞතිකවාදය කියන විහිළුව නොවේ) ගැන ගණිතමය පැහැදිලි කිරීම් මගඇරලා ඒ විද්‍යාත්මක තර්කනය පාදක වෙන සිතීම පැත්තට ෆෝකස් වෙන්නම්.

ගොඩක් වෙලාවට අපි කතාවෙදි මිනිස්සු වර්ග කරනවා. දීප්තිට අනුව නිර්මාල් තක්කඩියෙක් වෙන්න පුළුවන්. නිර්මාල්ට අනුව දීප්ති හිට්ලර් වෙන්න පුළුවන්. ඒත් මට අනුව මේ අය කවුද? නැත්තං වෙන කාට හරි සාපේක්‍ෂව නිර්මාල් හා දීප්ති කවුරු වෙන්න පුළුවන්ද? අපි එකිනෙකාට මුණගැහෙන්නෙ තවත් කෙනෙකුගේ එක නිමේෂයක් විතරයි. අපි ඒ නිමේෂය ඝනීභවනය කරනවා. ඒක චරිතයක් කරනවා. එතකොට අපිට හැමදාම ඒ පුද්ගලයා මුණගැහෙන්නෙ ඒ චරිතෙ ඇතුලෙ විතරයි. ඒත් ඊට පිටින් ඒ පුද්ගලයාට තවත් නිමේෂයන් දහස් ගානක් තියෙනවා. සාමාන්තර යතාර්ථයන් තියෙනවා.  එතකොට දීප්ති නිර්මාල් ගැන හරි නිර්මාල් දීප්ති ගැන හරි නිශ්චිත යමක් දන්නවද? මං කියන්නෙ එහෙම වෙන්න බෑ.

මං කියන්නෙ සරල නිව්ටෝනියානු යාන්ත‍්‍ර විද්‍යාවෙන් පදම් වුණු අපේ ජීවිත වල සමීකරණ හෝ අපි දේශාලනය කියන තැන මේ තරමට ප‍්‍රාථමිකයි. අපි මේ හිර වෙච්ච පුංචි කොටුව වෙනස් කරන්න හදන්නෙ නෑ. ඒ කොටුවෙන්ම නැවත අර්ථ ගැන්වෙමින් අපි මරා ගන්න කොටුව ඇතුලට කතා කරනවා.

නිශ්චිත හෝ පරම හෝ යමක් නැත ඇත්තේ අනේක සංඛ්‍යාත සම්භාවිතාවන් ප‍්‍රමානයක් විතරයි කියල ක්වොන්ටොම් සිතීම ඇතුලෙ කියනවා. ඒ වගේම භෞතිකය මූලික සිතීම මෙතනදි අභියෝග වෙනවා.

ද්‍රව්‍යය යනු නැවත අවකාශයක්ම හෝ ශක්ති තරංගයක් විතරයි කියන තැනින් එහාට ඒ ද්‍රව්‍යය ද්‍රව්‍යයක් බවට පත්වෙන්නෙ එය නිරීක්‍ෂණය කරන්නාගේ බලපෑමෙන් කියලත් විද්‍යාත්මක සීමා ඇතුලෙ යලි යලිත් ඔප්පු කරනවා. ක්වොන්ටොම් විද ්‍යාඥයන්ට අනුව මුහුදු රැල්ලක් සහ ඒ රැල්ල වදින වෙරළේ ගලක් කියන්නෙ එකම ක‍්‍රියාකාරීත්වයක්. ඉතාම කුඩා අංශුව හොයාගෙන ගිය නිව්ටෝනියානු සිතීම ක්වොන්ටොම් ඉවුරෙදි තව දුරටත් තමාගෙන් බැහැර, තමන්ගෙන් වෙන් වුණු අංශුවක් පවතිනවද කියන තර්කනයක නන්නත්තාර වෙනවා. තමන්ගෙන් බාහිර ලෝකයක් කෑලි වලට ගලවමින් ගියා නිව්ටන්ට තමන්ගෙම වල්ගය මුණගැහෙනවා. සියල්ල තමන්ද අයත් සමස්තයක් පමණයි. අන්වීක්‍ෂීය විශ්ලේෂණ වෙනුවට ටිකක් පසුපසට වී බලන සමස්තයක් තේරුමක් ඇති දෙයක් කියනවා කියන තැනට විද්‍යාව එනවා. මේ විද්‍යාත්මකය වෙනස් වීමත් එක්ක විශ්වය වෙනස් වුණා. එක යතාර්ථයක් වෙනුවට එක විට පැවතිය හැකි සමාන්තර යතාර්ථ කදම්බයන් ගැන මිනිස්සු කල්පනා කළා. එතකොට හේතුඵලවාදයට වඩා වැඩි සම්භාවිතාවන් ගානක් තියෙන එළඹුම් වලින් මිනිස්සු හිතන්න උත්සාහ කළා. සයිබර් අවකාශය සහ ත‍්‍රිමාන සජීවීකරණ හරහා අපි දැන් අත්විඳිමින් ඉන්නෙ ඒ නව යතාර්ථයන්. ඒත් අපි තාමත් කෙටේරිය අතින් අරන්. ඊට කලින් ලෝකය ගොඩනැගූ තර්ක ඇතුලෙන් කවදාවත් පැහැදිලි කර ගන්න බැරි මේ සනාථවීම් ඉස්සරහා ඇල්බට් අයින්ස්ටයින් පවා තක්බීර් වුණා. ක‍්‍රිස්තියානි පල්ලියේ සිතීමේ රේඛාවෙන් එලියට යා ගන්න බැරුව අයින්ස්ටයින් තමන්ටම ඔප්පු වෙන සත්‍යයන් පවා නොපිලිගනිමින් හිටියා. ‘දෙවියො සූදු කෙලින්නෙ නෑ’ අයින්ස්ටයින් අන්තිමට ක්වොන්ටොම් නිගමනයන් බැහැර කරන්නේ එහෙම. මේ අයින්ස්ටයින් තමයි බුදු දහම හොඳයි කිව්වා කිය කිය ලංකාවෙ බෞද්ධයො උද්දාම වෙන්නෙ.

කොයිතරම් ගැඹුරට තර්කනය මෙහෙයවන්න පුළුවන් වුණත් අයින්ස්ටයින්ට වුණත් පුළුවන් වුණේ දී ඇති රේඛාවක් දිගේ හිස්තැන් පුරවන්න විතරයි. වෙනස් පැරඩයිමයක් ධනාත්මකව පිළිගන්න තරම් නිර්මාණශීලීත්වයකට ඉඩක් ඒ සිතීම ඇතුලෙ තිබුනෙ නෑ. අයින්ස්ටයින්ටත් එහෙම නම් අපිට කොහොම වෙන්න පුළුවන්ද?

‘‘අලූත් අදහසක් ප‍්‍රතික්‍ෂේප කිරීම ලේසියි. මොකද ඒක වෙනස් ආකාරයක පැවැත්මක් ඉල්ලා සිටිනවා. අපි කලින් දේවල් කරපු විදිහ දැකපු විදිහ වෙනස් කරන්න යෝජනා කරනවා. ඒකෙන් අවිනිශ්චිතතාවය ඇති වෙනවා. අතීතය විසින් අනාගතය නිර්මාණය කරනවා කියලා හිතාගෙන ඉන්න සරල රේඛීය මිනිස්සු මේ විදිහෙ අලූත් අදහස් වෙඩි තියලා දානවා.

මිනිස්සු වෙනස් වෙන්න අකමැතියි. 16 වෙනි ශතවර්ෂෙ ගැලීලියොට වුණෙත් මේකමයි. ඒත් විසි වෙනි ශතවර්ෂෙදිත් අපිට අලූත් දේ දකින්න, පිළිගන්න, තේරුම් ගන්න බැරි කරන බාධාව මොකක්ද?

ඒ තමයි පැරඩයිමය. වෙබ්ස්ටර් ඩික්ෂනරියෙ විදිහට ඒක රටාවක් හෝ ආකෘතියක්. වෙන විදිහකට කිව්වොත් පැරඩයිමයක් කියන්නෙ නීති රෙගුලාසි පද්ධතියක්. ඒවායින් වැඩ දෙකක් කරනවා. එකක් සීමාව ලකුණු කිරීම (ජීවිතයේ, විශ්වයේ). අනික ඒ සීමාව ඇතුලෙ ප‍්‍රශ්න විසඳීමෙන් කොයි තරම් සාර්ථක වෙන්න පුළුවන්ද කියන එක කියා දීම (බුද්ධිමතෙක්, ඇකඩමිකයෙක්, ජනාධිපතිවරයෙක්)

තෝමස් කූන් හොයලා බැලූවා විද්‍යාඥයො කොහොමද ඒ ගොල්ලොන්ගෙ අලූත් සොයාගැනීම් එක්ක බලකරන  ඒ අයගේ පැරඩයිම් වෙනස කර ගන්නෙ කියල. එතනදි එයා දැක්කා ඇත්තටම පැරඩයිමය මගින් ඒ විද්‍යාඥයන් විසින් නිරීක්‍ෂණය කරන නිගමනය කරන දේ පවා සීමා කරන බව. දත්ත තත්වානුරෝපිත පැරඩයිමයට අනුව හැඩ ගස්වන බව. පැරඩයිමයට එක`ග දත්ත සහ විශ්ලේෂණ ඉතාමත් පැහැදිලි, නිවැරදි විදිහට පිළිගත් ඒ විද්‍යාඥයො පවතින පැරඩයිමයේ අපේක්‍ෂාවන් ඉටු නොකරන සොයා ගැනීම් වලදි ඇකිලෙනවා.  සමහරු ඒවා නොදැක්කා වගේ ඉන්නවා.

වෙන වචන වලින් කිව්වොත් අපි ඉන්න පැරඩයිමය අපේ අත්දැකීම් පාලනය කරනවා. ඒ දත්ත අවශ්‍ය විදිහට විකෘති කරලා නැවත පිළිගන්වනවා.

පැරඩයිම් වෙනසක් සිද්ද වෙද්දි හැමෝටම ආපහු බිංදුවෙ ඉඳන් පටන් ගන්න වෙනවා. ඒකෙන් විද ්‍යාව වෙනස් වෙනවා. ආර්ථිකය වෙනස් වෙනවා. දේශපාලනය වෙනස් වෙනවා.  මේ දැනුම තව දුරටත් අදාල නොවී යනවා. පරණ පැරඩයිමයේ ඔයා කොයිතරම් ලොක්කෙක් වුණත් අලූත් එකේදි අලූත් ලොක්කො බිහි වෙනවා.

මේ පැරඩයිමයන් තුල ජීවත් වීම නරක දෙයක් නෙමෙයි. ඒක ජීවිතේ  ඕනම කාරණයකට අදාල සාමාන්‍ය තත්වයක්. ඒත් සැබෑ තේරුම්ගැනීම විසින් බලකරද්දිත් පැරඩයිමය වෙනස් කරන්න අපිට බැරි වුණොත් අපි වඳවෙලා යනවා’

මේ මං ඉන්ටර්නෙට් එකේ අහම්බෙන් කියවපු නමක් නැති ලියවිල්ලකින් කොටසක්. මට හිතෙන්නෙ අපි අත්විඳිමින් ඉන්න තත්වෙ මේකයි. අපි අවශ්‍ය මොහොතේදීත් පැරඩයිමය වෙනස් නොකර ආරක්‍ෂා කරනවා. සයිබර් දේශපාලනය විසින් බලය, දැනුම පිළිබඳ තත්ව වෙනස් කරන්න බලකරද්දිත් අපි තාම පානදුරාවාදෙට කතා කරනවා.

නිව්ටන්ට අනුව ‘ඒක හෝ මේක’ කියලා කියන තර්කනය ක්වොන්ටොම් සම්භාවිතාවන්ට අනුව එකවර දෙකම විය හැකි තැනට වෙනස් වෙනවා. එක විට වෙනස් යතාර්ථයන් රැුසක් පවතින්න පුළුවන් විශ්වයකට අපි ඇතුල් වෙනවා. නිවටන්ගෙ සිතීමට අනුව පද්ධතිය ඇතුලෙ නොගැලපීම් පරස්පරතා තියෙන්න බෑ. හැම දෙයක්ම එක රූලට පිරිද්දෙන්න  ඕනි. ඒත් ක්වොන්ටොම් සිතීමට අනුව පරස්පරතා කියන්නෙත් ප‍්‍රවාහයේ කොටසක්. දුෂ්ටයා සහ වීරයා කියන්නෙ දෙකක් නෙමෙයි එකක්.

නිව්ටන්ගෙ විද්‍යාව කාලෙදි මේ සිතන්නො ගොඩක් ප‍්‍රාථමික අවුලක පැටළිලා හිටියෙ. ඒ අය පල්ලියට විරුද්ධවයි හිතුවෙ. ඒ විරෝධය ඇතුළෙම ඒ අය පල්ලියේ ක‍්‍රියාවට ප‍්‍රතික‍්‍රියා කරන ‘ලීනියර්’ සිතීමක් ඇතුළෙ හිර වෙනවා. අන්තිමට විද්‍යාව ඇතුළෙත් අපිට මුණගැහෙන්නෙ අපාය සහ ස්වර්ගය. ධන සහ ඍණ. ක‍්‍රියාව සහ ප‍්‍රතික‍්‍රියාව.

ඒත් ක්වොන්ටොම් සිතීම යෝජනා කරන්නෙම මේ තාර්කික ප‍්‍රවාහයෙන් එළියෙ යමක්. වඩා ආධ්‍යාත්මික, සවිඥාණක තත්වයක්. මමත්වය වෙනුවට සමස්තය වගේ එළඹුමක්. එක පරම වූ සත්‍යයන් වෙනුවට දහස් සංඛ්‍යාත සමාන්තර සත්‍යයන්.

මං මේ කියන්න හදන්නෙ අපි කඬේ සීනි පන්සීය ගන්න තැන ඉඳලා විෂයන් ගැන ලොරි ටෝක් දෙන තැන දක්වා එකම සිතීමේ ආකෘතියක් (නිව්ටෝනියානු ආකෘතියක්) බෙදා හදා ගන්නවා කියලා. මාතෘකා වෙනස් වෙන්න පුළුවන්. ඒත් සිතීමේ අංශූ (තාර්කිකත්වය) හැසිරෙන්නෙ එක රටාවකටමයි.

නිව්ටන්ට අනුව දේවල් ගැන නිශ්චිතව කියන්න පුළුවන්. ඒත් ක්වොන්ටොම් සම්භාවිතාවන්ට අනුව එහෙම නිශ්චිත වූ කිසි දෙයක් නෑ. ඒ වෙනුවට අපිට තෝරා ගැනීම් ලක්ෂ ගානක් විවෘත වෙලා තියෙනවා. සත්‍යය හා අසත්‍යය තවදුරටත් දෙකක් නෙමෙයි. එක විට පැවතිය හැකි සමාන්තර යතාර්ථ විතරයි. අයින්ස්ටයින් දෙයියො සූදු කෙලින්නෙ නෑ කිව්වට ක්වොන්ටොම් විද්‍යාඥයො දෙයියොත් සූදු කෙළිනවා කියන්නෙ මේ හින්ද.

අපේ සමාජ දේශපාලන ක‍්‍රියාකාරී කට්ටිය මේ නිව්ටන්ගෙ සපත්තුවෙන් එලියට බැහැලා වඩා සංවාදයට විවෘත, ප‍්‍රතික්‍ෂේපය වෙනුවට පිළිගැනීම යෝජනා කරන, යුද්ධය වෙනුවට සංසර්ගය යෝජනා කරන සාකච්ඡුාවකට එන්න උත්සාහ ගන්නවා නං අපි ටිකක් අනාගතවාදී වේවි. නැත්තං අතීත උරුමය කරේ තියාගෙන ආශ්චර්යය දකින මහින්ද පරපුරේම කවදාවත් ලොකු නොවෙන  පොඩි ළමයි වගේ අපි ‘හා බය නැත්තං නහය අල්ලලා පෙන්නනවා’ වගේ කතා කිය කිය ඉඳීවි.

පැහැදිලිද මන්දා.

-චින්තන ධර්මදාස


Saturday, September 7, 2013

ඉබ්බා සහ හාවා (ඉබ්බාගේ ලෝකයට පසුවදනක්)

විමුක්තිගේ චිත‍්‍රපටි උළෙලෙදි ගත්තත් හොයාගන්න බැරි වෙලා කියවන්න කල් ගිය ඉබ්බාගෙ ලෝකෙ එක හුස්මට කියෙව්වා. ඒක හරිම හොඳ ට‍්‍රයි එකක් ලේසි විදිහට සංකීර්ණ තේමා මුණගස්සන්න. විශේෂයෙන්ම ඒ දාර්ශනික තර්කනයට එලියෙන් විමුක්තිගෙ අත්දැකීම තියාගෙන කතා කරන එකෙන් සංවාදය සජීවී වෙනවා. සන්නස්ගල ප‍්‍රින්ට් කරපු හින්ද සමහර විට මේ පොත කඩ වල ඇති. සන්නස්ගල ප‍්‍රින්ට් කරපු හින්ද සමහර විට මේ පොත කඩවල නැතුවත් ඇති.

විමුක්තිගෙ ‘ලයිට් ඉන් ද යෙලෝ බී‍්‍රතින් ස්කයි’ ෂෝර්ට් ෆිල්ම් එක මං තාම බලලා නෑ. එහෙම වුණා නම් විමුක්ති කියන කාරණා එයාගෙ කෘතියත් එක්ක කරන ගනුදෙනුව ගැන ටිකක් බරපතල විදිහට කතා කරන්න තිබුණ. ඒක හින්දම මේ පොතෙන් ඉදිරිපත් කරන අදහස් ගැන සංවාදයට ගන්න තිබුණ හොඳම වපසරිය මට අහිමි වෙනවා. ඒත් පරමත්වය ගැන, ලෝකය සමස්තයක් හැටියෙන් ලබන කේවල අවබෝධයක් ගැන විමුක්තියානු අත්දැකීමත් මෙයිසු කියන අලූත් දාර්ශනිකයා ගැන වංගීස කරන අඳුන්නා දීමත් මට කතාවට ගන්න පුළුවන්. ‘මම’ නැති කිරීම වගේ අතිශය සාංදෘෂ්ටික කාරණා ගැන කරන සාකච්ඡුාවක් හින්ද පොඩි පොඩි දෙයින් පුද්ගලික රිදවාගැනීම් නොවේවි කියලා හිතනවා.

විමුක්ති ආධ්‍යාත්මික අත්දැකීමක් හරහා නිර්මාණකරනය ගැන කියන්න උදාහරණයක් විදිහට ගන්නෙ ඬේවිඞ් ලින්ච්. උත්තර- අනුභූතික කියලා මෙතන කියන්නෙ ට‍්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් ගැන වෙන්න  ඕන. තමන්ගේ භාවනාව හරහා වඩා ලොකු මාළුන් (ලොකු අත්දැකීම්) අල්ලා ගන්න පුළුවන් වුණා කියල ලින්ච් කියනවා. මං හිතන්නෙ මේ කාරණය විමුක්තිට වඩා වෙනස් තැනක්.

ට‍්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියන්නෙ මහාරිෂි මහේෂ් යෝගි විසින් ‘විද්‍යාත්මකව සහතික කරන ලදී’ කියලා බටහිරට විකුණපු ස්පරිචුවල් ප්‍රොඩක්ට් එකක්. ඒකෙන් කරන්නෙ තේරුමක් නැති එක වචනයක් මන්ත‍්‍රයක් වගේ එක දිගට හිතෙන් කියමින් ඉන්න එක. එතකොට නිතරම අතීතය සහ අනාගතය අතර පැද්දෙමින් නිර්මාණය වෙන මනස අවුල් වෙනවා. සිස්ටම් එක කැඩෙනවා. මෙතනදි මනසින් තොර යමක් අත්දකින්න පුළුවන් කියන එක තමයි එයාගෙ සිද්ධාන්තෙ වුණෙ.

මේක ලින්ච් පාවිච්චි කරන්නෙ හරිම පටු විදිහකට. අටුවම් බැහැපු බටහිර සිතීමක් සහිත ලින්ච්ට මේක අවශ්‍ය වෙන්නෙ වඩා කාර්යක්‍ෂම වෙන්න, හොඳ නිර්මාණ කරන්න, ස්ටෙ‍්‍රස් අඩු කරන්න වගේ දේවල් වලට. විමුක්ති මෙතන කතා කරන ‘මම’ නැති කිරීම වගේ දේවල් වලට භාවනාව පාවිච්චි කරන්න එයාට  ඕන වෙන්නෙ නෑ. ඒක ටිකක් ආසියාතික අ(සනීපයක්) හින්ද. ලින්ච් එයාගෙ භාවනාව හරහා අත්විඳින සිහිනමය, අවිඥාණයට කතා කරන සුළු අත්දැකීම් ප‍්‍රතිනිෂ්පාදනය කරනවා. හැබැයි ඇත්තටම එයාගෙ ගැඹුරු හෝ වෙනස් හෝ අත්දැකීම් වලින් වෙනස් සිනමාවක් නිර්මාණය වෙනවා. ලින්ච්ට බෑ පවතින සිනමා ආකෘති ඇතුලෙ කතා කියන්න. එයා ලින්චියානු සිනමාවක් නිර්මාණය කරනවා. මට හිතෙන්නෙ ඒ වගේ අනුභූතින් කලින් සකස් කරන ලද ආඛ්‍යාන වලට කොටු වෙනවට වඩා විශාල නොන්- ආර්ට් කියන කලාපයක් එක්ක ගනුදෙනු කරනවා (කලාවේ කලාපය විශාල කරනවා) ලයිට් ඉන් ද යෙලෝ බී‍්‍රතින් ස්පේස් ඒ වගේ සිනමාවක් එක්ක ගනුදෙනු කරනවද කියලා මං දන්නෙ නෑ.

විමුක්ති විසින් අත්දකින පරම වූ යමක් ගැන එයා මේ සංවාදය ඇතුලෙ කියනවා. ඒ පරම වූ යම ආගමික අර්ථයෙන් ගලවාගෙන යළි වාස්තවික ලෝකය නිර්මාණය කරන්න වංගීස මෙයිසු හරහා සටන් වදිනවා. මට දැණුනු පළවෙනි අර්බුදය වුණේ භාෂාව ඇතුළෙ විස්තර කරන්න බැරි දෙයක් භාෂාවෙන් කියන්න යාමෙන් වෙන අවුල. මෙයිසුට තේරුම් ගන්න පුළුවන් තර්කය විතරයි. භාෂාමය නොවෙන අත්දැකීමක් වචන කරන්න යද්දි ඒ වචන අතර පවතින තේරුම් ගන්න එයාගෙ දේශපාලනික සීමාව එයාට ඉඩ දෙන්නෙ නෑ. වංගීස කියන විදිහටම එයා එන්නෙ සහසම්බන්ධතාවාදය (අපි එක්ක සම්බන්ධ වෙන සීමාවෙන් එහාට අපිට යමක පැවැත්ම ගැන කිසිවක් කියන්න බෑ, අපි දන්නෙ නෑ කියන අදහස මූලික තර්කනයක්) එක්ක සංවාදයකට නෙමෙයි. ඇතුළතින් පුපුරුවා හරින කුමන්ත‍්‍රණයකට. එතකොට අපි නිකං රතු ඉර වගේ ප්‍රෝග‍්‍රෑම් එකක් බලාගෙන ඉන්නවා කියල මට හිතෙන්නෙ. ආත්මීය අතිශය ආගමික අත්දැකීමක් බෙදාගනිමින් හිටපු  විමුක්ති අන්තිම වෙද්දි මෙයිසු එක්ක එක තැනක හිටගන්නවත් එක්ක මට ඒ සංවාදයේ පැවැත්ම- නොපැවැත්ම තීරණය කර ගන්න බැරුව අනාථ වුණා.

මට හිතෙන්නෙ අපි දේවල් සරල රේඛීයව ගන්නවා වැඩියි. උදා විදිහට තමන්ට චත‍්‍රක් චිත‍්‍රපටියට ලැබුණු ප‍්‍රශංසා නිසා ලැබුණු සතුටත් පියාගේ හදිසි වියෝව නිසා ලැබුණු වේදනාවත් හරහා (ආනුභූතික ඉරිතලා යාමක්) තමන් වෙනස් යතාර්ථයක් ගැන ලැබූ අත්දැකීමක් විමුක්ති විස්තර කරනවා. මට හිතෙන්නෙ ඒක අපි සිද්ධාර්ථ චරිතෙන් ලේසියට ගලවගත්ත ඛන්ඩනයක්. ඒත් සිද්ධාර්ථගේ ඇත්ත හොයාගෙන යන ඇත්ත උවමනාව ගත්තොත් ඒක ලේයර්ඞ් එකක්. එක පැත්තකින් සතර පෙර නිමිති දැකීම නිසා තමන්ගේ සංකේත විශ්වයේ ඇති වුණු හදිසි කැළඹීම. ඒක තමයි පොතේ කියන දේ. අනිත් පැත්තෙන් රාහුලගේ උපත හින්ද සිද්ධාර්තගේ ඇතුලෙ ඇති වෙන මහා කැළඹීම. මං හිතන්නෙ ඒ සංකීර්ණ මානුෂ කතාව ගැන අපිට වැඩි විස්තර නෑ. ඊට අමතරව තවත් එකී නොකී ගිණිය නොහැකි තරම් කතා රේඛා ගණනාවක් සිද්ධාර්තගේ අභිනිෂ්ක‍්‍රමණ සිදුවීම හරහා ගමන් කරනවා වුණත් අපි කියවන්නෙ එක කතා රේඛාවක් විතරයි. හැබැයි ඒ කතා රේඛාවෙත් එතන නැරටිව් එක දුර්වලයි.

මට ලෝක ඉතිහාස තත්ව උදාහරණ කරලා පෙන්නමින් දේශපාලන විද්වත්තු තර්ක කරන කොට බලන් ඉන්න අමාරු ඒකයි. තමන් නොදන්නා සංදර්භයක් තමන්ගේ දැනුමෙන් ඌනනය කරන විකෘතිය ඇරුණම මොකක් හරි එක කාරණයක් නිසා දෙවෙනි එක සිද්ද වුණා කියන තර්කනය මට පේන්නෙ අතිශය ළදරු විදිහට. ඒක හරිම ද්විමානී කියවීමක්. සංදර්භයක් අහෝසි කිරීමක්. මෙයිසුගේ නැරටිව එකේ බේසික් වියමන හැදෙන්නෙ මේ දුර්වලතා උඩ.

කොහොම වුණත් ඒ ආත්මීය අත්දැකීම ඇතුලෙ විමුක්ති වෙනස් අධිතාත්වික ආත්මීය කලාපයකට යනවා. ලංකාවෙ සිනමාකරුවෙක් තමන්ගෙ ආධ්‍යාත්මික ඛන්ඩනයන් මේ තරම් විවෘතව කතා කරනවා මං දැකපු පළවෙනි වතාව මේක. සහ තමන් සහ ලෝකය අතර සම්බන්ධය තේරුම් ගන්න භාවනාව යෝජනා කරන පළවෙනි තැන. ඒත් හරිම පැටළිලි සහගත විදිහට එයා අන්තිමට මෙයිසු කියන තමන්ගෙන් බැහැර පරම වූ අනිශ්චිත යතාර්ථයක් ඇත කියන තැනට එක`ග වෙනවා.

වංගීස ගොඩක් අමාරුවෙන් ගැඹුරු කරන්න හැදුවත් මට මෙයිසු කියන්නෙ හරිම සරල මැට්ටෙක්. මැට්ටෙක් කියන්නෙ ගනිතමය මෝඩයෙක් කියන එක. ‘වෙනස් නොවෙන එකම දේ වෙනස් වීමයි’ කියලා ත‍්‍රීවීල් වල පිටිපස්සෙ ගහන ස්ටිකර් එකක කතාවකට වඩා දෙයක් එයා කියන්නෙ නෑ (හැඳින්නීම ඇතුලෙ). ඒ වගේම වෙනස්ව වෙනස්ව දාර්ශනිකයන් එක්ක සංවාදයට නොගිහින් ඒ ඔක්කොමටම ගහන්න පුළුවන් තනි එකක් හදන්න යාම මෙයිසුගෙ වෑයමේ අපරිණත බව හොඳටම පැහැදිලි කරනවා. විශේෂයෙන්ම කාන්ටියානු හෝ සහසම්බන්ධවාදියො කියලා මෙයිසු හඳුන්නාගන්නා දාර්ශනිකයන්ගෙ ආත්මීය තේරුම් ගැනීම් හුදු භාෂාවෙ පරිමාණයෙන්ම, තර්කයක් විදිහටම මැනගැනීමෙන් මට තේරෙන්නෙ නෑ එයා අපිට අලූත් දෙයක් කියනවා කියලා. ඒක අලූත් වාක්‍යයක් හදනවා වගේ වැඩක් විතරයි.

තමන්ගේ මනසින් පිටත ගසක් පවතී
තමන්ගේ මනසින් පිටත ගසක් නොපවතී
ඒ ගැන දන්නෙ නෑ

මුලින් කතාව ජෝන් ලොක් වගේ කෙනෙක්, දෙවෙනි කතාව විඥාණවාදියෙක්  සහ තුන්වෙනි කතාව සහසම්බන්ධවාදියෙක් කියනවා කියල අරගෙනයි මෙයිසු තර්කය ඉදිරිපත් කරන්නෙ. එතනදි ගසක් පැවතීම හෝ නොපැවැතීම විය හැකියි කියන, මං මේ කඬේට සීනි ගේන්න ආපු ගමන් කියන විදිහෙ කතාව මෙයිසු අනිශ්චිතය අනිවාර්යක් කිරීම විදිහට ගන්නවා. එහෙනම් අනිශ්චිත වූ යතාර්ථයක් ඇත කියල කියනවා. ඒ යතාර්ථය තුල පැවැතීම සහ නොපැවතීම දෙකම එක තියෙන්න බැරි නිසා පැවැත්ම හා සංදිග්ධ නොවන (ගැටළුකාරී නොවන)දේවල් ඇත කියනවා. මට මේ තර්කනය දැකපු ගමන් මතක් වුනේ බුදුන්ගෙ කාලෙ කතාවක්.

එක බමුනෙක් බුදුන් මුණගැහෙන්න එනවා. ‘බුදුනි දෙවියන් ඉන්නවා නේද?’ දෙයියො ගැන විශ්වාස කරන බමුණා අහනවා. බුදුන් කියනවා ‘නෑ’ කියලා. බමුනට අවුල්. කමක් නෑ බුදුන්නෙ කිව්වෙ. එයා එලියෙ ගිහින් කියනවා ‘දෙයියො නෑ  ඕයි. බුදුනුත් කිව්වා’ කියලා. ඊට පස්සෙ තව බමුනෙක්වත් ඇදගෙන ඇවිත් අහනවා ‘බුදුනි, දෙයියො නෑ නේද?’ කියලා. බමුණා ගැන දන්න බුදුන් කියනවා ‘ඇයි නැත්තෙ’ කියල. බමුණ නෝන්ඩි. ඒ මදිවට හොඳටම අවුල්. බුදුන් පච නොගහන වගත් එයා දන්නවා. ඉතින් මිනිහා අහනවා ‘බුදුනි, දෙයියො ඉන්නවද? නැද්ද?’ කියල. ඔන්න බුදුන් උත්තරේ දෙනවා. ‘දෙවියෝ ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ’ කියලා.

මෙයිසු පැනපු ගමන් අනිශ්චිතයේ යතාර්ථය කියන්නෙ  ඕකට. ඒක කන්ටෙක්ස්ට්  එකම කණපිට ගැහීමක්. බුදුන්ගේ සිද්දිය ගත්තොත් එතනදි උත්තර දෙන්නෙ බමුණගේ නිශ්චිත යමක්, පරම වූ යමක් තිබේ කියල බාර ගන්න ඇති උවමනාවට. ආශාවට. ඒ ආශාව අනිශ්චිත කිරීම ඇතුලෙ විතරයි බමුණට ඊළ`ග දේ (ඊළ`ග ස්ටේජ් එක) තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. මෙයිසුට තියෙන්නෙත් ඒ  ඕනකම. පරම වූ යමක්, විද්‍යාත්මක යමක් තිබේ කියලා ආපහු ලෝකෙ හදා ගන්න. එයා තාම පුංචි ළමයෙක් කියල මට හිතෙන්නෙ ඒකයි.

මේ යතාර්ථය ආපහු ගොඩනැගීම අවශ්‍යයි කියල පෙන්නන්න වංගීස උදාහරණයක් පාවිච්චි කරනවා. ඒ තමයි වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් එකට පහර දීමේ සිද්දිය. එතනදි අල්කයිඩා එක ඒ පහර දීම දෙවියන්ගේ අණක් විදිහට අර්ථ දැක්වීම මේ හානිකර ආගමික යතාර්ථයන් ඇතිවීමක් විදිහට වංගීස විස්තර කරනවා. විද්‍යාත්මක යතාර්ථයක්  ඕන වෙන්නෙ එතකොට. මුස්ලිම් දෙවියන්ගේ යතාර්ථය වෙනුවට ක‍්‍රිස්තියානි දෙවියන්ගේ යතාර්ථය.

මට හිතෙන්නෙ මේ විදිහෙ අන්තගාමී ආගමික යතාර්ථයන්ගෙන් වෙන හානිය වළක්වන්න තාර්කික උත්තර වලින් බෑ. මොකද තර්කනය කියන්නෙත් වෙනම පල්ලියක් හින්ද. ඒත් මෙයිසු කියන්නෙ එයා මේ අදහස් ඇතුළතින් පුපුරුවනවා කියල. මට මතක් වෙනවා මහින්ද බලයට එන්න කලින් මට නිර්මාල්ව මුණගැහුන දවසක්. මහින්ද බලයට එන එක හානිකරයි, මං කිව්වා. නිර්මාල් මෙයිසුගෙ කතාව කිව්වා. ‘ඇතුළට ගිහින්  ඕන පුපුරවන්න’ කියල. ඒත් මහින්දට ඇතුළක් තිබුනෙ නෑ. තියෙන්නෙ පිටතක් විතරයි. ගොඩක් වෙලාවට මේ භෞතිකවාදියො විඥාණවාදින්ටත් වඩා ආත්මීයයි. රොමාන්තිකයි.

මෙයිසු කරන්නෙත් පිටතක් විතරක් තියෙන දේක ඇතුළක් හොයන්න යන එක. මොකක්වත්ම නැත්තං අනිශ්චිත බව හරි පැවැත්මක් විදිහට යලි ගොඩනගන එක. ආගමික අන්තවාදය වගේ දේකදි තර්කනය අදාල නෑ. ඒක භක්තියක්. ඒක පැවැත්ම ඇතුලෙ නොපැවැත්ම එක්ක සංවාදයක්. මෙයිසු මගඅරින්න හදන සංදිග්ධතාවයක්. භාෂාව බිඳීමෙන් හෝ ඒක යලි පිරිද්දිමෙන් නෙමෙයි ප‍්‍රකට හේතුවට වඩා අප‍්‍රකට ලක්ෂ සංඛ්‍යාත හේතු අතරෙ කිමිදෙන්න වෙනවා ඇත්තට ඒ වගේ දේකට උත්තර හොයන්න නම්. මෙයිසු වගේ කම්මැලියෙකුට ඒක කොහොමවත් කරන්න බෑ. එයා පැවැත්ම ගැන ප‍්‍රශ්නයකට ෂෝර්ට් කට් හොයන අලස හිතන්නෙක්. ඒ අන්තවාදයේ පැවැත්ම ඇතුළට ගිහින් ඒ පැවැත්ම අවබෝධ කර ගැනීමෙන් (ඒ හා තර්ක කිරීමෙන් නොවේ) ඒ කලාපය ඊට වඩා විශාල කරනවා මිස නැවත ක‍්‍රිස්තියානි විද්‍යාත්මක තර්කනය ඇතුළට වෙනස් ආගමික ආඛ්‍යානයන් ගන්න හදන එක මට හිතෙන්නෙ ප‍්‍රතිගාමී වැඩක්.

මෙයිසු ගැන තව පොතක් පරිවර්තනය කරගෙන යනවා කියලත් වංගීස කියල තිබුණ. සමහර විට ඒ සමස්ත දර්ශනය මීට වඩා පලල් තේරුම් ගැනීමක් යෝජනා කරනවා ඇති. ඒත් මේ සරල කාටීසියානු හිරවීම ඇතුලෙ නම් එයාගෙ නැරටිව් එක අතිශය සීමිතයි වගේම කිසි වැලියු ඇඩිෂන් එකක් නෑ.

-චින්තන ධර්මදාස