පහුගිය හය වෙනිදා ‘ගතෙ ඉන්ස්ටිටියුට්’ එකේ බූඩි පළවෙනි වතාවට ‘නිම්නයක හුදකලාව’ එයාගෙ අලූත් චිත්‍රපටිය පෙන්නුවා. සීමිත පිරිසකට, පළවෙනි වටයෙ විචාර කීපයක් ලබන බලාපොරොත්තුවෙන් වෙන්න ඇති. ඒකෙ පිටපත් රචනයට සම්බන්ධ වෙලා හිටපු හින්ද මාත් එතන හිටියා. අවුරුදු පහකටත් වඩා කලින් පටන්ගත්ත වැඩක් එක්තරා අවසානයකට ඇවිත් තියෙනවා දැක්කම දැණුනෙ ලොකු සැහැල්ලූවක්.
චිත්‍රපටිය අවසානයේ ඒ ගැන කතා කරන්න කීපදෙනෙක් ඇවිත් හිටියා. පමුදිත, සෞම්‍ය එක්ක ධර්මසිරි අයියත් (බණ්ඩාරනායක) එතන හිටිය. අදහස් දැක්වීමෙදි ධර්මසිරි විවේචනයක් ගෙනාවා. ඒක චිත්‍රපටියට වඩා බූඩි ගැන පුද්ගලික විවේචනයක් කියලයි මට හිතෙන්නෙ. මේ ලියමනේ ප්රස්තුතය ඒ විවේචනය ඇතුලෙ මතුවෙච්ච කාරණා.
‘මට මේක බැලූවම හිතුන මං සිනමාව දන්නෙ නෑ කියල...’ කතාව පටන්ගත්තෙ මට මතක විදිහට එහෙම.
‘චිත්‍රපටියක චරිත සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ්ත් සිනමාව සංකීර්ණ වෙන්න උවමනා නෑ..’ ධර්මසිරි බූඩිගේ සිනමා භාවිතාව ප්‍රශ්න කළා.
එහෙම තියරි තියෙනවද? කියල මට හිතුන.
අදහසක් විදිහට ධර්මසිරි පිළිගන්නා සිනමා පාසැලේ පිළිගැනීම හරි හෝ වැරදි කියන එක නෙමෙයි. ඒත් සිනමාවක චරිත (අන්තර්ගතය) සහ ආකෘතිය අතර මේ අදහස නියමයක්ද? මට හිතුනෙ ධර්මසිරි ඒ අදහසත් එක්ක තමන් නියෝජනය කරන සිනමාවෙ දශකය ප්‍රකාශ කළා.
ආකෘතික හරඹ වලට අකමැති සිනමාව. අන්තර්ගතයේ දාර්ශනික බවම මුදුනින් පිළිගන්නා කතිකාව. ඒ භාවිතාව ඇතුලෙ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා තමයි. ඒත් මට හිතෙන්නෙ ආකෘතිය පෙරලන එක වඩා ලොකු අවකාශයක් නිර්මාණය කරනවා කියල.
බූඩි කරන වැඩ විශේෂ වෙන්නෙ ඒ හින්ද. ලංකාවෙ විෂුවල් ඉන්ඩස්ටි්ර එකේ දැවැන්ත ආකෘතිකමය වෙනසක් කරපු චරිතය වෙන්නෙ බූඩි. කැමරාව ට‍්‍රයිපෝඞ් එකෙන් ගලවලා අතට ගැනීමේ ඉඳන් හෙල්ලෙන රූප රාමු, ජම්ප් කට් වගේ ගොඩක් දේවල් බයක් නැතුව තිරය උඩට දමලා ගහපු ලංකාවෙ සිනමාකරුවා එයා. ඒ පොඩි හිතුවක්කාරකම් හින්ද තව ගොඩක් උන්ට ගොඩක් දේවල් කරන්න කැලේ එලිපෙහෙලි වුණා. උදා විදිහට බූඩිගේ බකන්නිලා ප්‍රෝග්‍රෑම් එක ටීවී එකේ ප්‍රොඩක්ෂන් කලාව වෙනස් කළා.
අන්තර්ගතයට වඩා ආකෘතියේ ප්රබලතා තියෙනවා. අන්තර්ගතයෙ වැදගත්කම නොසලකා හරිනවා නෙමෙයි. ඒත් ආකෘතියෙ දාර්ශනිකත්වයත් අවතක්සේරු කරන්න බෑ. සමහර විට භාජනේ හැඩය දාලා තියෙන දේට වඩා වැදගත් වෙන්න පුළුවන්. ඒකයි මට හිතුනෙ ධර්මසිරි තමන් ඉන්න දශකය එතනදි පැහැදිලිව සටහන් කරනවා කියල. සහ මුලින්ම එයා සිනමාව දන්නෙ නෑ කියපු කතාවෙ අර්ථයත් එතන තියෙනවා.
එදා එයා කළේ් නිර්දය විවේචනයක්. ඒ විවේචනය ධනාත්මක විවේචනයකට වඩා අගතිගාමී එකක්. ඒක චිත්‍රපටියට වඩා බූඩි කියන චරිතය පැත්තට යොමු වෙච්ච එකක්. නිම්නය ලිහාගන්න එයා සතු උපකරණ ප්‍රමාණවත් වුනේ නෑ කියල මට හිතෙනවා.
මුලින් කියපු සිනමාව ගැන ඉස්කෝල අදහසට පස්සෙ ධර්මසිරිගෙ කතාව බූඩිගේ ජීවිතේ පැත්තට හැරුණ. බූඩිගේ බුද්ධාගම ගැන විවේචනය වුණා. ඒ බුද්ධාගම හරිද වැරදිද වගේ විනිශ්චයකට යන්න පටන් ගත්තා. ඊට පස්සෙ බූඩිගේ තාත්තා ගැන. තාත්තාගෙ සල්ලි ගැන. ධර්මසිරි ගොඩක් ඈතට පීල්ල පැන්නා. සිනමාව පැත්තකින් තියලා මිනිහෙකුගෙ පුද්ගලික ජීවිතේ අල්ලගෙන තමන්ට රිසි සේ ප්‍රශ්න කරන ටිකක් නොතරම් තැනක ධර්මසිරි එදා හිටියා කියල මට හිතෙන්නෙ.
ඒ ප්‍රශ්න බූඩි ගැන හැමදාම හැමෝම කතාවෙන ප්‍රශ්න.
ඒත් කොයි වෙලාවකවත් කවුරුවත් නොබලන පැත්තකුත් ඒ ප්‍රශ්න ඇතුලෙ තියෙනවා.
බූඩිට චිත්‍රපටියක් කරලා ඒක එලියට දාන්න කිසි උවමනාවක් නැති එක ධර්මසිරිට වගේම මට පවා ප්‍රශ්නයක්. ඒත් බූඩි කියන සිනමාකරුවාගේ ලංකාවෙ ඇතුලෙ කවුන්ට් නොවෙන තැනකුත් ඒ අර්බුදය ඇතුලෙ තියෙනවා. බූඩි තමන් කරන සිනමාවට කොයිතරම් අවංකද කියන කාරනේ එතන තියෙනවා.
ලංකාවෙ කිසිම සිනමාකරුවෙකුට වඩා තමන්ගෙ ප්රකාශනයෙදි අවංකයි බූඩි. එයා එක්ක වැඩ කරපු අය දන්නවා ඇති, චිත්‍රපටියක් තියාගෙන එයා තලූමරන තරම. බූඩිගෙ සිනමාව තියෙන්නෙ තිරෙන් ඉස්සරහ නෙමෙයි. ඒක තියෙන්නෙ තිරෙන් පිටිපස්සෙ. තිරය උඩ බූඩිට තියෙන්නෙ මළ මතකයක්.
බූඩි චිත්‍රපටි කරන්නෙ යාලූවො එක්ක. ඒ කාලෙ ජීවත් වෙන්නෙ, ඉන්නෙ හිටින්නෙ, මරාගන්නෙ ඔක්කොම උන් එක්ක. චිත්‍රපටිය ලියවෙන්නෙ කෙරෙන්නෙ ඒ ආශ්රයෙ අතුරුඵලයක් විදිහට. බූඩි එයා ආසම පරිකල්පන වලට ඒ යාලූවො එක්ක යනවා. නිම්නයක ලියද්දි මං කවදාවත් නොදැකපු පරිකල්පන විශ්වයන්ට බූඩි මාව අරන් ගියා. කිසි ඩ්‍රග් එකක් නැතුව.
එයා කරන සිනමාව ඇතුලෙ එයා ජීවත් වෙනවා. එයා හැම දෙයක්ම පරිපූර්ණව කැමරාවෙ සටහන් වෙන්න කලින් දකිනවා. ඒ තැන් වලට එන මියුසික්, පොඩි පොඩි සවුන්ඞ් අෆෙක්ට්ස් පවා බූඩි විස්තර ඇතුව විඳිනවා. තමන්ට අවංක මොහොත එනකල්ම බූඩි ෂූට් කරනවා. එඩිට් කරනවා. කොයිතරම් වියදමක් වුණත්, නාස්තියක් වුණත් තමන්ට එක`ග නැති ආර්ට් එකක් එයා අතින් නිර්මාණය වෙන්නෙ නෑ. තමන්ගෙ ආත්මය ප්‍රකාශ වෙන තැනට ආවම විතරයි එයා චිත්‍රපටිය නිදහස් කරන්නෙ.
ඒක සිනමාකරුවෙකුගෙ අවංකකම. ඒක තමන්ට රස විඳිය හැකි වර්ගයේ පරිකල්පනයක්ද, නැද්ද කියන එක වෙනම කාරණයක්. ඒත් බූඩිගෙ රූප රාමුවක් රාමුවක් පාසා අවංක ප්රකාශනයක හුස්ම වැටෙනවා. මට හිතෙන්නෙ අපි කාල රාමු, සල්ලි රාමු ඇතුලෙන් ප්‍රශ්න කරන්නෙ බූඩිගේ අවංකත්වය. එයාගෙ සුවිශේෂත්වය.
උදා විදිහට බූඩිගේ බුද්ධාගම (බූඩිසම්). ඒක බූඩිට විතරක්ම අදාල වුණු ආගමිකත්වයක්. ඒක නියම බුද්ධාගමද නැද්ද වගේ කාරණා මට හිතෙන්නෙ තියෙන්නෙ සංදර්භයෙන් එලියෙ කියල. මැඩෝනාගේ ‘කබාලා’ ඇදහිල්ල වගේම තමයි බූඩිගේ ‘බූඩිසම්’. ඒක එයාගෙ ආර්ට් එකේ කොටසක්. බූඩිගෙ ආගමික ඇදහිල්ල පොප් වැඩක්. ඒක නිර්මාණයට බාධා වෙනවා කියල මාත් හිතාගෙන හිටියත් මං ඇත්දැකීමෙන් දන්නවා ඒකෙන් වෙනස් විදිහක මානයක් නිර්මාණය වෙනවා. බූඩි එයා විසින්ම පනවා ගත් සීමාවන් ඇතුලෙ එයාගෙ නිර්මාණ හරඹය කරනවා. එහෙම ‘මිත්’ එකක් එක්ක වැඩ කරන එක ආර්ටිස්ට් කෙනෙකුට හොඳයි සමහර වෙලාවට. ඒකෙන් නිර්මාණය තාර්කික බවෙන් අතාර්කික පැත්තට තල්ලූ කරනවා.
බූඩි ගැන තියෙන විවේචනය ගොඩක් වෙලාවට එන්නෙ අපිට ඒ වගේ වෙනසක් බාර ගන්න බැරිකමත් එක්ක. ටිකක් දරුණු හෙයාර් කට් එකක් වුණත් කට්ටක් වෙන සමාජයක බූඩි වගේ විස්තීරන චරිතයක් කොහොමත් අර්බුදයක්. විශේෂයෙන්ම අපේ කතිකාවෙ ආර්ට් කියල සම්මත වුණු අර්ත පද්දතියට බූඩි සිනමාකරුවෙක් වීම ගලපගන්න අමාරු වෙනවා. ඒක හින්ද අපිට බූඩිගේ තාත්තගේ සල්ලි වගේ දේවල් ඕනවෙනවා, අපේ පිළිගැනීම සාධාරනීකරණය කරගන්න.
ඒක හරියටම වමේ දේශපාලනය කරනවා නම් බාර් ගානෙ බොන්න සහ හඩුවට අඳින්න පළඳින්න ඕන වගේමයි. ඇෙ`ග් ටැටූ ගහන, ඉඳලා හිටලා පිල් එකක්, ස්ටෑම්ප් එකක් ගන්න, හොඳට නාන චරිතයක් අපිට බාර ගන්න බෑ වාමාංශික දේශපාලනය ඇතුලෙ. අර ආකෘතිය විසින් මේ අන්තර්ගතය අර්බුදයට යවනවා. මට හිතෙන විදිහට ආකෘතියේ ප්රබලකම ගැන හොඳ උදාහරණයක් ඒක.
මේ වෙනස බාරගන්න බැරිකමත් එක්ක අපිට බූඩිගේ ආර්ට් එක දකින්න බැරි වෙනවා. උදා විදිහට ඇන්ඩි වාර්හෝල් ලංකාවෙ හිටියා නම් නන්නත්තාර වෙනවා. යුරෝපීය අන්තර්ගතය මූලික සිනමා සම්ප්රදායකට එරෙහිව බූඩි තනියම හොලිවුඞ් ආකෘති මූලික සිනමාව වෙනුවෙන් පෙනී ඉන්නවා. වැඩියෙන්ම අර්ථයෙන් සහ ධර්මයෙන් එතන ඉන්නවා.
ධර්මසිරි කියපු නරකම කතාවක් වුනේ බූඩිගේ තාත්තාගෙ සල්ලි ගැන කතාව. ඒක නරක මතුපිට අර්තෙන් නෙමෙයි. බූඩි තාත්තගේ සල්ලි වලින් සිනමාව කරන එකෙන් ලංකාවෙ සාමාන්‍යයෙන් චිත්‍රපටි හදන සම්ප්‍රදායෙන් එයාව වෙනස් කරනවා. කාගෙ හරි ප්‍රොඩියුසර් කෙනෙක්ගෙ සල්ලි වියදම් කරලා කර අරින එකට වඩා අවංක විදිහට බූඩි තාත්තගෙන් ඉල්ලගෙන චිත්‍රපටි හදනවා. අනුන්ට පාඩු කරනවා වෙනුවට තමන්ගෙ හිතුවක්කාර සිනමාවෙ අවදානම තමන්ගෙ පවුල ඇතුලටම ගන්නවා. සිනමාව කියල හොරකම් කරන, ඞීල් දාන, ආත්මයක් නැති බහුතර සිනමාකරුවන් රොත්තක් ඉස්සරහ බූඩි ළමයෙක් තරම් අහිංසකව ඉන්නවා .
පළවෙනි වතාවට සීමිත ප්‍රදර්ශනයක් විදිහට චිත්‍රපටියක් පෙන්නලා ප්‍රවීනයෙක්ගෙන් බලාපොරොත්තු වුණු මෙහෙය එදා ධර්මසිරි අතින් ඉෂ්ට වුනේ නෑ. ඒක බූඩිගෙ පැත්තෙන් වගේම එදා ඇවිත් හිටපු නරඹන්නන්ගෙ පැත්තෙනුත් අසාධාරණයක්. ඒ චිත්රපටියෙ ප්රකාශනය හඳුනාගැනීම සහ ඒ ප්රකාශනය පවතින සිනමාව ඇතුලෙ ස්ථානගත වීම විස්තර කරනවා වෙනුවට ධර්මසිරි බූඩි එක්ක පුද්ගලික අගතියක පැටළුනා. ඒකෙන් චිත්‍රපටිය ඇකිළුනා.
මේ කියන්නෙ බූඩිගේ සිනමාව ඇතුලෙ ප්‍රශ්න නෑ කියන එක නෙමෙයි. ඒ ප්‍රශ්න එදා ධර්මසිරි මතු කළ වර්ගයේ ඒවා නෙමෙයි කියන එකයි. බූඩිගේ සිනමාවෙ ප්‍රශ්න කතාවට ගන්න එක වැදගත්. ඒකෙන් ඒ භාවිතාව ගැන හොඳ දෙබසක් ඇතිවේවි.
මට හිතෙන්නෙ බූඩි සිනමාකරුවෙක් විදිහට මතු කරන මරු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි, සිනමාව තියෙන්නෙ කොතනද කියන එක. ඒක තියෙන්නෙ තිරෙන් ඉස්සරහද, නැත්තං පිටිපස්සෙද? එහෙමත් නැත්තං හරියටම තිරය උඩද? සිනමාකරුවා අනුව සිනමාවෙ ආර්ට් එක තියෙන තැන වෙනස් වෙන්න බැරිද?
බූඩිගේ සිනමාව අඳුරගන්න බූඩි එක්ක වැඩ කරන්නම වෙනවා.
(ධර්මසිරි බණ්ඩාරනායක කියන්නෙ එයාගෙ සිනමාව නිසාත් එයාගෙ ජීවිතය නිසාත් මම ගොඩක් ගරු කරන චරිතයක්. මේ ලිපිය එදා ධර්මසිරි කළ විචාරය පමණක් පාදක කර ගත්ත එකක්. ධර්මසිරිට ඇ`ගිල්ල දිගු කිරීම කිසිසේත්ම මේ ලියමනේ අරමුණක් නෙමෙයි)
-චින්තන ධර්මදාස