මුස්ලිම් විරෝධී ජාතික දුමාරයකින් ෆේස් බුක් එක වැහිලා ගිහින්. නෝ ලිමිට් එක ඉස්සරහ පිකට් කරලා, හලාල් බඩු තහනම් කරලා අමුතු සිංහල බෞද්ධ ත‍්‍රිලකට ජනතාව සෙට් වෙලා. තවත් කට්ටියක් මේ විනෝදයට එරෙහිව, ජාතිවාදයට එරෙහිව ලොකු ෆේස් බුක් කැරළි ගහනවා.
සනීපාරක්‍ෂක තුවා වර්ගයක වඳ වෙන තෙලක් ගානවා කියල අද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය කියල එකකින් පෝස්ට් කරලා තිබුණ. බෞද්ධ සහ සනීපාරක්‍ෂක තුවා අතර සම්බන්ධය කොයි වගේ එකක්ද කියලා මේ ඇත්තන්ට හිතෙන්නෙම නෑ. ඊට වඩා විනෝදය ලොකුයි. ඉස්සෙල්ලා දෙමළා ගෙන් රට නිදහස් කර ගැනීම වෙනුවෙන් බුදුන් වදාල බණ අහන් හිටපු අපිට දැන් ගෑණු වඳ කරන තෙල් ගැන බුදුන් වදාල බණ අහන් ඉන්න වෙනවා.
මුස්ලිම් අය ගැන සිංහල බෞද්ද බහුතරය බාර ගන්න කැමති කරුණු දෙකයි. ඒ බිරියානි සහ වටලප්පන්. අනිත් ඔක්කොම ගැන අපි නෙගටිව්. ඒ ගොල්ලොන්ගෙ බිස්නස් හැකියාව ගැන (මට අනුව මුස්ලිම් ව්‍යාපාරික ක‍්‍රම විෂයක් විදිහට ඉගෙන ගන්න එක චාර්ටඞ් වලට වඩා වටිනවා) සිංහල බෞද්දයා හොඳටම නෙගටිව්. සියවසකටත් එහා කාලෙක ඉඳන් අපිත් එක්ක ඉන්න, මේ රටේ සිංහල ගෑණුන්වම කරකාර බැඳගෙන පවුල් විදිහට ව්‍යාප්ත වුණු (මුස්ලිම් ජාතිකයන් ලංකාවට අරාබියෙන් ගෑනු ගෙනාවේ නෑ) මේ සහෝදර ප‍්‍රජාව එක්ක අපි කොයි තරම් උසට තාප්ප හදාගෙනද? මෙච්චර කාලයක් අපි නොදැකපු මේ තාප්ප දෙමළා ඉවර කළාට පස්සෙ බර්ලින් තරම් උසට පේන්න පටන් අරන්.
හාමුදුරුවරු බහුතරයක් මේ වෙද්දි කියන්නෙ මුස්ලිම් විරෝධි බණ. හලාල් සහතිකේ ගැන. මුස්ලිම් ජනතාව සහ උපත් පාලනය තමයි ජනප‍්‍රියම බණ තේමාව. මෙතනදි මට කතාවෙන් පිට පැනලා වෙන කතාවක් කියල එන්න වෙනවා. ළ`ගදි අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා ෆේස් බුක් එකේ ෂෙයාර් කරලා තිබුණ ‘ගස් ගල් අදහන්න එපා කියලා බුදුන් කිව්වට අපි ඒකමනෙ කරන්නෙ’ වගේ ශුද්ධ වූ බුද්ධාගමක් ගැන කියන මේ වෙලාවෙ ‘ප‍්‍රතිපිල’ට අයිති වගේ කියමනක්. දැන් ගොඩක් හාමුදුරුවරු ෆේස් බුක් ඉන්නවනෙ. ඔන්න එහෙම ඉන්න ගමන් මාර්ෂල් ආර්ට් එහෙමත් කරන හාමුදුරු කෙනෙක් මේකට උත්තර දෙනවා.
‘බුදුන් ගස් ගල් වඳින්න එපා කිව්වා නම් ජේතවනාරාමෙන් එලියට යද්දි ඒ නැති අතරෙ වඳින්න යමක් දෙන්න කියලා ආනන්ද ඉල්ලූවාම බෝ ගහට වඳින්න කිව්වෙ ඇයි?’ කියල ප‍්‍රශ්නෙකින් පටන් අරන් එයා බුදු දහම ගැන නොදැන කතා කිරීම කියන වරදට කොපි ලියන කොල්ලව කෝචොක් කරනවා. ඊට පස්සෙ තවත් බෞද්ද පිරිවර උඩ පැන පැන ඌව කමෙන්ට් වලින් තලනවා.
මේ වෙද්දි පෙනී ඉන්නෙ මොකක් වෙනුවෙන්ද කියන කාරනේ පවා බෞද්දයන්ට අමතක වෙලා ගිහින්. ප‍්‍රඥාවේ කෙලවර විදිහට කියන බුදුන් වගේ චරිතයක් තමන් වෙනුවෙන් තමන් නැති වෙලාවට ගහකට වැඳ වැඳ ඉන්න කියලා කියපු විස්තරයක් එකට සමපාත කර ගන්න කිසි අර්බුදයක් බෞද්දයන්ට නෑ. භක්ති මාර්ගයට එරෙහිව ඥාණ මාර්ගය ගේන්න තමන්ගේ සමස්ත මෙහෙයුම කළ ගෞතම බුද්ධ ගස් ගල්, පිළිම, ධාතු වඳින අන්ත භක්ති මාර්ගයක් දක්වා අරන් ඇවිත් ඒ මදිවට ජාතීන් අතර අවුල් වෙනුවෙන් පවා පාවිච්ච කරන පාපය ගැන කිසිම විචිකිච්ඡවක් නෑ.
‘මිත්‍යා දෘෂ්ටික වන්නේ බුදුන් නැතුව වෙන කෙනෙක් ගැන හිතාගෙන ගස් ගල් අදහන එකයි’ කියලත් ඒ හාමුදුරුවො අගට පැහැදිලි කිරීමක් කරනවා. මේවා දකින්න බුදුන් හිටියා නම් මොනවා හිතෙයිද? බුදු පිළිම අඹන අය ඒ ගොල්ලොන්ගෙ ඔලූවෙ තියෙන බිරින්දෑවරුන්ගේ දියණිවරුන්ගෙ මූණු දාලා බුදු පිළිම අඹනවා වගේ (ගොඩක් ඔය තැන තැන අඹලා තියෙන බුදු පිළිම ගැන බලන්න. ඒවා ඇත්තටම නං විකෘති කිරීම්) තම තමන්ගෙ ඔලූවෙ පමණින් දැන් එක එක බුදුවරුන් බණ කියන්න අරගෙන. අන්තිමට බුද්දාගම ඇවිත් නතර වුනේ නෝ-ලිමිට් එක වහලා දාන අරගලේකින්.
‘ ඕනම මයිනොරිටි එකක් එකට ගුලි ගැහිලා වගේ තමයි ජීවත් වෙන්නෙ. ඒ ගොල්ලො කල්ට් එකක් වගේ ටිකක් තද නීති වලින් බැඳ ගන්නවා. ඒ ගොල්ලො බයයි. ඒ කණ්ඩායම නැතුව ඒ ගොල්ලොන්ට පවතින්න විදිහක් නෑ. මුස්ලිම් කියන්නෙ ජාතියක් විතරක් නෙමෙයි. ඒක ආගමක්. එතකොට තත්වෙ ගොඩක් සීරියස්. මොකුත් කියන්න බෑ, ඒක දෙවියන්ට ගැටගහලා තියෙන්නෙ’
ඉස්තෙපාන් චූ කරන්න යන එක නවත්තලා විස්තර කළා.
‘ඒ ගොල්ලො ගොඩක් ලීගල් ඉෂුස් රිලීජස් විදිහට අරගෙන නෙ තියෙන්නෙ. ගෑණුන්ට වැරදි විදිහට සළකන එක නීතිමය ප‍්‍රශ්නයක් වුනාට මොකුත් කරන්න බෑ. ඒක ඉස්ලාම් ආගමේ විදිහ. මචං අපිට මොකද්ද අපි කරමින් ඉන්නෙ කියල අපේ දිහාම බලන්න පුළුවන් වෙනකල් මොකුත් කරන්න බෑ. එලියෙන් මේ විදිහට ෆයිට් කරන එකෙන් ඒ ගොල්ලො තවත් ඇතුලට යනවා. එලියට එන්නෙ නෑ’
සිංහල ජනතාවත් සිංහල-බෞද්ද නමින් ජාතියත් ආගමත් එකක් විදිහට හරවගෙන ඒ සුළු ජාතික ගානටම බැහැලා රන්ඩු කරන්න අරගෙන. හලාල් තියෙන ඒවා ඒ ගොල්ලොන්ට නම් හලාල් නැති ඒවා අපිට ඕන...හෙළ උරුමය කියනවා. මේ ලංකාවෙ ජාතික දේශපාලනය කරන පක්ෂ වල ඉන්න ඉස පැහුණු මිනිස්සු.
මේ මුස්ලිම් අවුලෙන් කෙලින් හෝ වටෙන් වාසි වෙන කට්ටි දෙකක් ඉන්නවා. එකක් මුස්ලිම් නොවෙන බිස්නස් කට්ටිය. මූලිකව සිංහල. මුස්ලිම් අයට බිස්නස් ගැන තියෙන දැනීම සහ හැකියාව රටේ කවුරු වුණත් දන්නවා. ඒක ඒගොල්ලොන්ගෙ ජාන වලින්ම එන තරං ගැඹුරුයි. නිරායාසයි.
ටිකක් ඉස්සර එන්ජී ඕ එකක් එක්ක යුද්දෙ හින්ද අනාත වෙච්ච සිංහල ගමකටයි ඊට යාබද මුස්ලිම් ගමකටයි මං ගියා වීඩියෝ එකක් කරන්න. සිංහල ගමේ උදවිය ඔක්කොම කිව්වෙ වතුර නෑ, අරක නෑ, මේක නෑ, ආන්ඩුවෙන් තමන්ව බලාගන්නෙ නෑ වගේ කතන්දර. ඒත් මුස්ලිම් ගමේ හැමෝම කිව්වෙ ‘අපිට එළුවො දෙන්නෙකුයි කුකුල්ලූ ටිකකුයි දෙන්න. අපි අනිත් ඒවා හදා ගන්නම්’ කියල. ඒක ඒ ප‍්‍රජාවෙ තියෙන පුදුම හැකියාවක්.
මේ විදිහෙ ජාතික බෙදීමක් ඇතුලෙන් මේ මුස්ලිම් ව්‍යාපාර බලය තමන් අතට ගන්න තවත් ව්‍යාපාරික පිරිසක් ගන්න උත්සාහය මේ ගොඩක් තැන් වලදි පැහැදිලියි. මේ සංවිධානාත්මක අවුලක් ඇති කිරීමේ ව්‍යාපාරයේ ලණු තියෙන එක පැත්තක් මේක. නෝ ලිමිට්, හේමාස් වගේ ආයතන වලට විරුද්ද මඩ ව්‍යාපාර පිටිපස්සෙ තියෙන්නෙ මේ බාල උවමනාව.
අනික ආන්ඩුව. කොටි ඉවර වුනාට පස්සෙ ටික ටික අමතක වෙමින් යන ජාතික අභිමානය කියන්නෙ මේ ආන්ඩුවෙ පැවැත්ම තීරනය කරන සාදකයක්. කෝටි ගනන් වියදමෙන් රට පුරා ඇවිදිමින් යුද්දෙ නැවත නැවත පෙන්නන්නෙ මේ අභිමානය කොහොම හරි එම්බාම් කර කර තියාගන්න. දේශාභිමානය කියන එක කොහොමත් කැම්පේන් එකක් මිසක් ස්වභාවික හැ`ගීමක් නෙමෙයි. සිංහලයන්ට මේක මුලින්ම ඇති කළේ සුද්දො. ඒ අපි සුද්දො දෙන දෙයක් කකා නිකං බලන් ඉන්න ගත්ත හින්ද. දේශාභිමානය ඇති කරලා කොහොම හරි අපේ අයව කුඹුරු ටිකට බස්ස ගත්තා. ඒ දේශාභිමානය අද පාවිච්චි වෙන්නෙත් ඒ වගේම කැම්පේන් එකක් ඇතුලෙ.
මේ වෙද්දි මහා ප‍්‍රජාව වෙච්ච සිංහල බෞද්දයා මුස්ලිම් සුළු ප‍්‍රජාව පස්සෙන් වැටිලා. ඒ ගොල්ලො හදන ළමයි ගානට ළමයි හදන්න පවා උපදෙස් දෙනවා. මේක සංකෝචනය වීමක්. අපි කොයිතරම් විශාල සහ පැතිරුණු සංස්කෘතියක් වුනත් වැඩක් වෙන්නෙ නෑ අපි මනසින් සුළු ප‍්‍රජාවක් තරමටම සංකෝචනය වෙලා නම්. බයට පත් වෙලා නම්..අනාරක්‍ෂිත නම්. ඇත්ත තත්වෙ වෙන්නෙ අපි අපිවම සුළු ප‍්‍රජාව කොට සිතීමේ ෆෝබියා එකකට ගොදුරු වෙලා. ජාතියක් විදිහට අපේ අනාරක්‍ෂිත බව එක එක තැනින් පිටාර යන්න පටන් අරන්. මුලින් දෙමළ. දැන් මුස්ලිම්. ඊළ`ගට ක‍්‍රිස්තියානි.. ඊට පස්සෙ...
අපිට මනක්කල්පිත හෝ හතුරෙක් නැතුව ජාතියක් විදිහට පවතින්න බැරි තරම් දුර්වල වෙලා. මුස්ලිම් හො වෙනයම් හෝ සංස්කෘතික බාධකයක් මගහරවන්න නම් ගෝලීය ප‍්‍රාග්ධන තත්වයන් එක්ක වඩා වේගයෙන් මුහුවෙමින් වඩාත් විශාල සංස්කෘතික අවකාශයක් විවෘත කර ගැනීමේ දියුණු සිතීමකට යනවා වෙනුවට සිද්ද වෙන්නෙ අපි ඉන්ටර්නෙට් තහනම් කරගෙන, කොට ගවුම් තහනම් කරගෙන ඒ සංස්කෘතික ගුල ඇතුලටම රිංගන එක. දැන් අපිත් මුස්ලිම් සංස්කෘතියෙ තරම්ම සීමාවලට ළං වුණු සංස්කෘතියක්. ඒවා අප‍්‍රකාශිත වුනත් පැහැදිලි සීමා. ඉතින් අපිට අපිව පේන්නෙත් ඒ තරමටම පුංචියට.
රිසානා මැරුණු එක සහ ඒක බේරගන්න අරාබියට එරෙහිව සටන් නොකිරීම ගැන මගේ සිංහල යාලූවෙක් මුස්ලිම් යාලූවෙක්ට දොස් කියන්න ගත්තා. මුස්ලිම් යාලූවා කරබාගෙන ඉඳලා හොඳ උත්තරයක් දුන්නා.
‘මචං මේ, මං ලංකාවෙ ඉඳන් අරාබියෙ නීති වෙනස් කරන්න යන්නෙ නෑ. ඒක ඒ රටේ නීතිය. ඒත් අපිට රිසානාව බේර ගන්න තිබුණ. අපේ ආන්ඩුව ඒක කලේ නෑ. අපි අහන්න ඕනි අපේ ආන්ඩුවෙන් ඇයි රිසානාව බේර ගත්තෙ නැත්තෙ කියල. අරාබියට බැනලා වැඩක් නෑ.
මචං, ඕන රටක නීතිය හැදෙන්නෙ ඒ රටේ මිනිස්සුන්ට සාපේක්‍ෂව. සවුදියෙ ඔහොම නීතිය තිබුණට ඩුබායි වලදි ඒක වෙනස් වෙනවා. එහෙම තදට පාලනය කරලා තිබ්බෙ නැත්තං සවුදියෙ ඔයිට වඩා ගොඩක් අපරාද වැඩිවෙන්න පුළුවන්’
මගේ සිංහල යාලූවගේ කතාවට වඩා මුස්ලිම් යාලූවාගෙ තර්කයේ හිතන්න දෙයක් තිබුන. ඒත් සිංහල යාලූවා එක දේම දිගටම කිව්වා.
‘රිසානා මැරුවා...රිසානා මැරුවා....’
අපිට ජීවිතයක් නෑ. කාගෙ හෝ ඉත්තො වෙනවා ඇරුණම අපිට අපි හුස්ම ගන්නවද කියලවත් ෂුවර් නෑ. කොයිතරං සංස්කෘතික ආගමික සීමා ඇතුලෙ වුනත් මුස්ලිම් අයට තාමත් ජීවිතයක් තියෙනවා. සමාජයක් තියෙනවා. අපි කරන්න ඕන උන්ට ඉරිසියා කරන එක නෙමෙයි අපිට ජීවිතේ මගඇරුණු තැන හොයා ගන්න එකයි.
කොහොම වුනත් ඒක තියෙන්නෙ ෆේස්බුක් එකෙන් එලියෙ.
-චින්තන ධර්මදාස