Saturday, July 25, 2015

සන්නාට කඬේ යාම


සන්නස්ගල චන්දෙ ඉල්ලන එකට මගේ යාලූවො ගොඩක් අකමැතියි. සාමාන්‍ය ජනතාවට වඩා ළ`ගින් සන්නස්ගලව දන්න ඇසුරු කරන ගොඩක් අය තමයි මේ පිරිසට අයිති. සන්නාගෙ කපටිකම්, බොළඳකම්, කඬේ යැවීම් වගේ තමන් පුද්ගලිකව දන්න අත්දැකීම් එක්ක මහා දේශපාලනයට ආවොත් කොහොම වෙයිද කියන උපකල්පනයක් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ.

මාත් ඒ ගැන හිතුව.
එක විදිහකට මේක සන්නස්ගල විසින් කරගන්නා සිය දිවි නසා ගැනීමක්. කොයිතරම් සාධනීය පැති වලින් බලන්න පුළුවන් වුණත් විචාරකයෙක් හරි ලේඛකයෙක් හරි චරිතයක් විදිහට එයා විසින් අත්පත් කරගත්ත ටික වාෂ්ප වෙලා යන තීරණයක්. ඒක අහම්බයක් නෙමෙයි.

ඒත් හැන්සාඞ් එකේ මතක හිටින කතාවක් හරි කරන්න බලාපොරොත්තුවක් සන්නස්ගලට ඇති. බන්දුල ගුණවර්ධනටත් කාලෙකට කලින් එහෙම ආසාවක් තියෙන්න ඇති. අන්තිමට නූගත් මැට්ටන්ට වඩා දේශපාලනේදි ජෝක් වෙන්නෙ දැන උගත් කට්ටිය.

සන්නස්ගල ගැන මට වැඩි අප‍්‍රසාදයක් ඇති වෙන්න පටන් ගත්තෙ එයාගෙ මාධ්‍ය භාවිතාවත් එක්ක. මාධ්‍ය ඇතුලෙ සිවිල් තග සහ තමන්ට නොතරම් අනෙකා පවා අසරණ කරලා ගන්න ත‍්‍රිලක් එයාගෙ මීඩියා වැඩ ඇතුලෙ පේන්න ගත්ත. මාධ්‍යවේදියෙක් විදිහට සන්නස්ගල ගැඹුරු දැක්මක් ඇතුව එයාගෙ කාලය හැසිරවූ වගක් පේන්න තිබුනෙ නෑ.

අනිත් එක අම්මා කියන පොත ලියපු එක. මක්සිම් ගෝර්කිගෙ අම්මාට පස්සෙ සන්නස්ගලගෙ අම්මා එනවා. මේ අම්මා ලිවීම ඇතුලෙ සන්නා සාක්ෂාත් කරගන්න හදන ආත්ම තෘප්තිය මොකක්ද? පොත ගැන එයා කියන වර්ගයේ භාව විරේචනයක්, සැහැල්ලූවක් වගේ දෙයක්ද නැත්තං හුදු දේශපාලන අරමුණක්ද?

සන්නස්ගල මේක විස්තර කරන්න කැමති වෙනවා ඇත්තේ විවෘතභාවය වගේ තැනකින් වුණත් මට සන්නස්ගල කරපු කිසිම දේක ආත්මීය විවෘතභාවයක් මුණගැහිලා නෑ (වස්සාන සිහිනයේ අවධියෙන් පස්සෙ). එයාගෙ විවෘතකම දේශපාලනිකයි. ඒ විවෘත වීමම එයාගෙ ආවරණයක්, පලිහක්, සමහර වෙලාවට ආයුධයක්. ඒ නිසා සන්නාගේ විවෘත වීමම සංවෘත වීමක් විදිහටයි මං දකින්නෙ. එයාගෙ විවෘතකම ත‍්‍රස්තවාදයක්.

එතකොට ඒක වැරදිද?

සන්නාගෙ පුද්ගලික අගතීන් දේශපාලනයෙදි අදාල වෙන්නෙ නෑ (වුණත් වෙන්නෙ සුළුවෙන්). ඒ වෙනුවට සන්නා පෙනී ඉන්න දාමරික විවෘතභාවය දේශපාලනයෙදි සාධනීය වෙන්න පුළුවන්.

වෙන වචන වලින් කිව්වොත් අපේ පරම්පරාවෙ අදහස් ‘මහා’ ව්‍යූහයක් ඇතුලෙ නියෝජනය කරන්න හොඳම අවස්ථාව සන්නා වෙන්න පුළුවන්. අසාම්ප‍්‍රදායික නවතාවයන් වෙනුවෙන් පෙනී ඉන්න, පුහු සුචරිතවාදී හෝ වර්ගවාදී කතිකාවන්ට ප‍්‍රතිවිරෝධයක් වෙන්න, තමන්ගේ රැුඩිකල් ප‍්‍රතිරූපය ආරක්‍ෂා කරන්න සන්නස්ගලට සිද්ද වෙනවා. බන්දුලට වඩා වෙනස් සංකල්ප ප‍්‍රාග්ධනයක කොටස්කාරයෙක් නිසාම එයාගෙ අතින් සංකල්ප අරගලයක් සුළු හෝ මට්ටමකින් මහා දේශපාලනයෙදි සිද්ද වෙන්න නියමිතයි. සන්නා කපටියෙක් වුණා කියල ඒකෙන් ගැලවීමක් නෑ.

මම සන්නස්ගල චන්දෙ ඉල්ලනවට අකමැති ඇයි කියල හිත හිත ඉන්න දවසක ජිප්සීස් සුනිල් පෙරේරා මුණගැහුන.

‘මල්ලි අද වෙලා තියෙන්නෙ සුදුසු මිනිස්සු දේශපාලනයට එන්නෙ නැති එක. මේක මඩ ගොහොරුවක්, වැසිකිලියක් කියල පැත්තකට වෙලා ඉන්න එක. අපිටත් අපේ දරුවන්ටත් ප‍්‍රශ්නයක් නෑනෙ, ඉතින් මොකද කියල ඒ මිනිස්සු තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවා. හොරු, මාල කඩන එවුන් පාර්ලිමේන්තුවට එනවා. එතකොට හැමෝටම ප‍්‍රශ්නයක්. අපිට ප‍්‍රශ්නයක් නැති හින්දම තමයි අපි දේශපාලනයට එන්න  ඕන. පැත්තකට වෙලා මඩ නාගන්න බෑ කියල බලන් ඉන්න සුදුස්සො වග කියන්න  ඕන නුසුදුස්සො පාර්ලිමේන්තු එන එකට...’ (වචන මේවම නොවුනත් අදහස මේකයි)

චන්දෙ ඉල්ලන්න ඇවිත් ඉන්න අනිත් අය එක්ක  බැලූවම සන්නස්ගල එතන පිටස්තරයෙක්. නොගැලපෙන්නෙක්. විශේෂාංගයක්.  සංකල්පමය තලයේ ආධිපත්‍යයක, බලයක ආශාවක් මිසක් පාරවල් වලින් සල්ලි ගහනවා වගේ ත‍්‍රිලක් සන්නස්ගලට තියෙන්න ඉඩ අඩුයි. දැනටමත් ආන්දෝලනාත්මක අදහස් දාමරිකව මහජන වේදිකා උඩ හසුරුවමින් වෙනස් දේශපාලන පිට්ටනියක එයා සෙල්ලම් කරන්න උත්සාහ ගන්න වග පේනවා. අපේ පොඩි පොඩි කල්ට් සංවාද ඇතුලෙ පවතින අදහස් ‘මාස්’ වැඩක් ඇතුලෙ ටෙස්ට් වෙන්න ගන්නවා සන්නස්ගල හරහා. ඒක හොඳ දෙයක්.

පුද්ගලික සන්නස්ගලට ද`ඩුවමක් වගේම අවුල හොඳ ආයෝජනයක් බවට පත් කිරීමක්.

මාත් එක්තරා කාලෙක සන්නස්ගලගෙ පංති ගියා. බයෝ කරන්න ගෙදරින් ඉල්ල ගන්න සල්ලි වලින් සිංහල පංතියෙ වාඩිවෙලා හිටියෙ ඔලූව කැළඹෙන ආස්වාදෙට. ඒ ලෙවල් සිංහල කරන්න සන්නාගෙ පංතියට එන හැම කෙනෙකුගෙම නට් එකක් පොඞ්ඩක් හරි බුරුල් කරන එක එයා වගකීමෙන් කරනවා. මාර්ටින් වික‍්‍රමසිංහගෙ ගම් පෙරළිය ලෝකෙ හොඳම ශෘංගාරාත්මක නවකතාව විදිහට කියවන්න සන්නට පුළුවන්. කොහොමත් ලිංගිකත්වය ගැන  ඕනවටත් වඩා විවෘත දැක්ම සන්නාගෙ රෝගයක්. කිසිම ලාභයක් හෝ තේරුමක් නැතුවම සන්නස්ගල පරම්පරා ගානක් තිස්සෙ මේ පන්සල් යන, සදාචාරවාදී තරුණයාට ප‍්‍රතිවිරුද්ධ නාගරික තරුණයා නිර්මාණය කරනවා. පස්සෙ කොළඹ සිද්ද වෙන සංස්කෘතික දේශපාලන කතිකා සංවාදවල ඉන්න ඔක්කොම වගේ සන්නස්ගලගෙ පංති ගිය උන්. හොඳට සහ නරකට දෙපැත්තටම මේ ඇක්සිඩන්ට් එක බලපාන්න පුළුවන්. ඒත් වෙනසක් අනිවාර්යයි.

ලංකාවෙ කවර හෝ දේශපාලන පක්ෂයකින් කරනවාටත් වඩා විශාල සංස්කෘතික ව්‍යාපෘතියක් (ප‍්‍රමිතියේ ප‍්‍රශ්න සහිතව) සන්නස්ගල දශක ගානක ඉඳන් කරගෙන එනවා.

මේ අදහස් වේදිකාව මහා එක දක්වා දිගු වීම ප‍්‍රගතිශීලියි කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම පැරණි දේශපාලනික මතවාද සහ කාරණා ප‍්‍රශ්න කරන වඩා දියුණු ප‍්‍රවේශයන් මේ හරහා ඇති වෙන්න පුළුවන්.

සන්නස්ගල කියන්නෙ යූඇන්පිය නෙමෙයි. පුද්ගලයෙක් වුණු සන්නාට පුළුවන් වෙයිද මේ කියන ධාරිතාවයක වෙනසක් කරන්න? කින්ඩියට ඇහුවත් තාර්කික ප‍්‍රශ්නයක් ඒක.

ඒත් පක්ෂයක වැඩ කොටසට වඩා වැදගත් එක්ස්පෝස් වීමක් සන්නා වගේ පුද්ගලික චරිතයක් හරහා සිද්ද වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය ආකර්ශනය නිසා වඩ වඩාත් මේ විකල්පය ජනතාවට ඇහෙන්න ඉඩ තියෙනවා. ඒක අලූත් උන්ට වඩාත් ගැලපෙන්න ඉඩ තියෙනවා. හොරු අල්ලන එකට හෝ 20 සම්මත කරන එකට වඩා සියුම් නමුත් වැදගත් සමාජමය වෙනස්වීම් සිද්ද වෙන්නෙ දේශපාලනයේ නව කතිකාවන්, ප‍්‍රවේශයන් මහ ජනතාවට ඇහෙන දකින එක ඇතුලෙ.

දැනුවත්ව හෝ නොදැනුවත්ව සිද්ද වුණත් මේක ආක‍්‍රමණයක්. ක්ෂුද්‍ර අදහස් කතිකාවක් විසින් මහා කතිකාව නතු කර ගැනීමක්. ඒක මේ කතිකාවන් එක්ක කාලයක් තිස්සෙ ජීවත් වුණු හැමෝටම වැදගත්  තැනක්.

සන්නස්ගල කියන්නෙ ලංකාවෙ පාර්ලිමේන්තුවට එක්ස්ටී‍්‍රම් එකක්. ජවිපෙ වුණත් මහා දේශපාලනය ඇතුලෙ සාම්ප‍්‍රදායික විනයගත තැනක හොඳ ළමයා වුණා. ඒත් සන්නස්ගල කියන්නෙ පුද්ගලයෙක්. යූඇන්පිය කියන්නෙ විවෘත පක්ෂයක්. ඒක වෙනස් විදිහෙ වැඩක් ට‍්‍රයි කරන්න හොඳ ඉඩක්. සන්නස්ගල කියන්නෙ එහෙම වැඩකට හොඳ ඇමක්.

බුද්ධිමය තග ඇතුලෙ ජනප‍්‍රිය වෙමින් සන්නා කොහොමත් කොළඹ මුල්ම 05 ඇතුලට රිංග ගන්නවා. එයා ළ`ග තියෙන මාධ්‍ය ප‍්‍රාග්ධනය ඒකට හොඳටම ඇති. ඒ මිසක් සන්නාගෙ පොලිටිකල් කැම්පේන් එක නම් නමටත් නොගැලපෙන තරම් දියාරු වග කියන්න  ඕන.

සන්නස්ගලගෙ පංති පෝස්ටර් හොඳ තැනක තිබුණ චන්ද පෝස්ටර් වලට වැඩිය. එයාට තිබුණ කවුරුවත් නොකරපු ප‍්‍රචාරණ උපක‍්‍රම හරහා අලූත්ම අදහස් සන්නිවේදනයකට යන්න. විශේෂයෙන්ම ඩිජිටල් ප‍්‍රජාවත් එක්ක සෙට් වෙන්න. තමන්ගෙ දේශපාලන රැුල්ල කැම්පේන් එකේ ඉඳන්ම හදාගන්න ඉඩක් තියෙද්දි සන්නස්ගල මොකද්දෝ බැලන්ස් කිරීමකට යන්න ගිහින් නාස්ති වෙනවා.

ලංකාවෙ කවුරුවත් මුද්‍රණය නොකරන පොත් සන්නස්ගල මුද්‍රණය කරලා තියෙනවා, ලංකාවෙ කිසි කෙනෙක් සල්ලි නොදාන චිත‍්‍රපටිවලට සන්නස්ගල සල්ලි දාලා තියෙනවා, තාම වුණත් විකල්ප කණ්ඩායම් සල්ලි නැති ප‍්‍රින්ටින් වැඩ වලට හොයාගෙන යන්නෙ සන්නව. බහුතරය බැහැර කරන දේ බාරගන්න, බහුතරය එපා කියන දේ කරන්න, පොඩි බුද්ධිමය චණ්ඩි ත‍්‍රිලක් සන්නස්ගල කියන චරිතය පුරාම තියෙනවා. ඒක මහා දේශපාලනේදි වෙනම පාටක් වෙයි. කවුරුවත් වැදගත් විදිහට නොගන්නා ක්ෂුද්‍ර තලයේ මාතෘකා හරහා වෙනම ප‍්‍රවණතාවයක සංවාද ඇති කරන්න පුළුවන් මන්ත‍්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉඳී.

විකල්ප කතිකාවන් වල ඉන්න අයට සන්නස්ගල වෙනුවෙන් යම් මැදිහත්වීමක් කිරීමේ යුතුකමක් තියෙනවා කියල මම හිතනවා. ඒක සන්නස්ගලට කඬේ යාමක් වෙන්නෙ අපි අපි උන් අතරෙ විතරයි. ඒත් මහ මැතිවරණ දේශපාලනයක් ඇතුලෙ ඒක අපි අපේ අදහස් වෙනුවෙන් කඬේ යාමක්.

ඒක හින්ද මං හිතන්නෙ සන්නස්ගල චන්දෙ ඉල්ලපු එක හොඳයි. ඒ චන්දෙ ඉල්ලීම පවා විකල්ප සංස්කෘතික කතිකා ජනගත කරන්න පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ විදිහට මහජන කතිරයක් හරහා ක්ෂුද්‍ර තලයේ දේශපාලන අදහස් අනාවරණය කරන්න ඉඩක් හදාගන්න එක දියුණු වැඩක්. අපිට පුළුවන් සන්නස්ගල හරහා පිට්ටනිය වෙනස් කරන්න. ඒකට අපි දන්න අඳුරන පුද්ගලික සන්නස්ගලගෙන් ටිකක් ඈතට වෙන්න  ඕන.

අදහසක් සංසිද්ධියක් ව්‍යාපෘතියක් විදිහට සන්නස්ගලව ගන්න  ඕන. සන්නස්ගලගෙ අවසානය සනිටුහන් කරන මේ චන්දෙ අපේ ආරම්භයක් වෙන්න පුළුවන්.


චින්තන ධර්මදාස

Saturday, July 18, 2015

සිනමාවට බැඳි හාද...


දවස් ගානක් කැලෑ ඇතුලෙ ෂූට් කරලා ආපහු ගෙදර එද්දි මාව ඇතුලෙන් දෙකට තුනට ඉරිලා. මට මාව අමතක වෙලා තිබුණ. දවස් ගානක් එක දිගට තිබුණ ඇසිඞ් ටි‍්‍රප් එකක් වගේ. ෂූට් එකක් කියන්නෙ රමණයක් තරම් ලස්සන මරණයක්.

ලංකාවෙ සිනමාව තවදුරටත් හුස්ම ගන්නෙ කොහොමද කියන එකට හරි උත්තරේ වෙන්න  ඕන ඒ හා සම්බන්ධව වැඩ කරන මිනිස්සු අතලොස්සකගෙ තියෙන නොසන්සිඳෙන පේ‍්‍රමය කියලයි මං හිතන්නෙ. ඒක රොමැන්ටික් කතාවක් වගේ පෙණුනත් ඊට එහා මේ මොහොතෙ සිනමාව වැඩකරන භෞතික හේතුවක් මට හිතාගන්න බෑ. මේ ගෞරවය චිත‍්‍රපටි ඩිරෙක්ටර්ලට වඩා අයිති වෙන්න  ඕන චිත‍්‍රපටි වෙනුවෙන් වැඩ කරන අනෙක් පිරිසට. ඒ කියන්නෙ යුනිට් එකේ කොල්ලොන්ගෙන් පටන්ගත්තම ආර්ට්, මේක් අප්, ස්පෙෂල් අෆෙක්ට්ස්, කැමරා, එඩිටින් වගේම ර`ගපාන නළු නිළියන්ට. ඩිරෙක්ටර් කෙනෙකුට පිටරට සම්මානයක් හරි වැදගත් වෙන්න පුළුවන්. ඒත් සිනමාව කියල එකක් තවදුරටත් නෑ කියල දැන දැන ඒ වෙනුවෙන් තමන්ගෙ ශ‍්‍රමය හරිහමන් වැටුපක් වත් නොලබා කැප කරන මේ ඉතුරු පාර්ශ්ව වල කැපවීම සහ භක්තිය මං වෙන කිසිම කර්මාන්තෙක නොදැකපු දෙයක්. කොටින්ම මාසෙ වැටුපට වැඩ කරන මාව තැගැස්සුන තැනක්.

නළු නිළියො කියන්නෙ විශේෂයෙන්ම විකල්ප සිනමාවෙ ර`ගපාන අය. වාණිජ සිනමාවෙ අයට නම් තාමත් ඉතිරි ඔප්ෂන් කීපයක් තියෙනවා. වැඩි ගානකට ලිංගික අලෙවියක් ලැබීමේ ඉඳන් දේශපාලනයට එනකල් ඒ ඔප්ෂන් විවිධ වෙන්න පුළුවන්. ඒත් විකල්ප සිනමාව වෙනුවෙන් එන නළු නිළියො මේ පරිප්පුව කන්නෙ මොකක් වෙනුවෙන්ද? හරි හැටි ගෙවීමක් නැතිව, සමහර වෙලාවට ඇෙ`ග් ඇඳුම් පවා නැතුව, රූගත කිරීම් වලදී හරිහැටි ඉන්න හිටින්න තැනක් වත් නැතුව,  ඒත් උපරිමයෙන් තමන්ගේ චරිතය (ස්ක‍්‍රිප්ට් එකෙන් තමන්ට භාර) ජීවත් කරවන්න කැපවෙන කෞෂල්‍යා ප‍්‍රමුඛ මේ සිනමාවට අයිති රංග ශිල්පීන් සහ ශිල්පිනියන් මේ කට්ට ඇතුලෙ ලබන තෘප්තිය.. ඒක අත්ඇරගන්න බැරි රෝගාතුර පේ‍්‍රමයක්. සමහර විට තමන් ගැන කිසිම ගරුත්වයක් හෝ වටිනාකමක් නොදෙන බව සහතික අධ්‍යක්‍ෂවරුන් එක්ක පවා මේ අය වැඩ කරනවා, තමන්ගෙ රංගන දායකත්වයේ අබමල් රේණුවක හෝ අඩුවක් නොකර. සිනමාව ගැන තියෙන පිස්සුව, භක්තිය, විශ්වාසය ඇරෙන්න වෙන කිසිම මාව තෘප්තිමත් කරන උත්තරයක් හොයා ගන්න මට බෑ.

ආර්ට් සහ මේක්අප් කියන්නෙ සිනමාවෙ ඊළ`ග අඩිය ඉස්සරහට යන්න නම් කැමරාවෙ තාක්‍ෂණයටත් වඩා වැදගත් වෙන කොටසක්. ලෙන්ස් එක දැනුම වගේම චිත‍්‍රපටියෙ කතා කරන ලෝකය ඇතුලෙ තමන්ගෙ විෂය නිර්මාණය කර ගැනීමත් මේ කාරනා දෙකේදිම අවශ්‍යයි. කරපු වැඩ වලින් සහ බලපු ලංකාවෙ නිර්මාණ වලින් මං බලාපොරොත්තු අත්ඇරගෙන හිටියෙ මේ කලාප දෙක ගැන. දියුණු කර්මාන්තයක් නැතුව කොහොමද ඒ කර්මාන්තෙ අංශ වෙනම දියුණු වෙන්නෙ? ඒත් මට මුණගැහුන අලූත් උන් හින්ද මට හිතෙන්නෙ වැඬේ සිද්ද වෙන්නෙ අනිත් අතට. කර්මාන්තයක් නැතුවමත් ක‍්‍රියේටිව් එවුන් ටිකක් තමන් විහින් මේ විෂයන් දියුණු කරමින් යනවා.  වෙන කවර කාලෙක හිටියාටත් වඩා දක්ෂ කලා සහ වේශනිරූපණ ශිල්පියො ‘ටිකක්’ අද ලංකාවෙ ඉන්නවා. ප‍්‍රතිලාභයක් හෝ අඩුතරමෙ පාවිච්චි කරන්න තැනක් හෝ නැතුවම තමන්ගේ ඇෙ`ග් අමාරුවට මේ අය විවිධ අත්හදාබැලීම් කරනවා. යූ ටියුබ් වීඩියෝ හරහා වෙන රටවල චිත‍්‍රපටි තාක්‍ෂණයන් ගැන දැනුම එකතු කර ගන්නවා. කොමර්ෂල් එකක් කරලා කිසි මහන්සියක් නැතුවම වැඩි ගානක් හොයාගන්න පුළුවන්කම තියෙද්දි චිත‍්‍රපටියක් වෙනුවෙන් දෙපාරක් නොහිතා වැඩ කරන්න ඉදිරිපත් වෙනවා. නොපවතින සිනමාවක් ඇතුලෙ වුනත් තමන්ගෙ සිහිනය ජීවත් කරවන්න මේ අය  ඕනම දේකට උපරිමෙන් එකතු වෙනවා.

යුනිට් වල ඉන්නෙ චිත‍්‍රපටි ගැන පිස්සුවෙන් ආපු උන්.  ගොඩක් වෙලාවට නළුවෙක් වෙන්න ආසාවෙන් ඇවිත් එකතු වෙච්ච එවුන්. දවල් රෑ නැතුව, කඳු කැලෑ නැතුව චිත‍්‍රපටියෙන් චිත‍්‍රපටියට මාරු වෙන උන්ට වෙන ජීවිතයක් නෑ. ඒත් හැම චිත‍්‍රපටියකටම තමන්ගෙ උපරිමය දෙන්න උන් ට‍්‍රයි කරනවා. පොතෙන් පතෙන් නොවුනත් චිත‍්‍රපටි ගානක වැඩි  කිරීම හරහා දන්න අත්දැකීම් වලින් ප‍්‍රායෝගිකම විසඳුම් දෙන්න උන්ට පුළුවන්. සමහර වෙලාවට මං වගේ ඩිරෙක්ටර්ලා පවා චිත‍්‍රපටිය අත්අරින කොට ඒක ඇදගෙන යන හයිය වෙන්නෙ මේ ‘යක්කු’  ටික.

ඩිරෙක්ටර් කෙනෙක් කියන්නෙ අව්කූටකේ ෂූට් එකක දවස් දෙකක් යද්දි හෙම්බත්  චරිතයක්. මානසිකව සහ භෞතිකව අමාරු තැන් කීපයක් පිට පිට ආපු ගමන් ඩිරෙක්ටර් කෙනෙක් වැටෙනවා. (ඉඳලා හිටලා පහල වෙන යකඩයො ඇරුණම) ඒත් ඩියුටිය, නැත්තං තමන්ගේ කාර්යය ගැන විශ්වාසය කියන එක ක‍්‍රියේටිව් තැනට වඩා ගොඩක් හයිය තැනක්. හැම වෙලාවකම තමන්ගෙ වැඩෙන් එලියට ගිහිල්ලත් චිත‍්‍රපටිය වෙනුවෙන් කරන්න තියෙන දේ කරන්න යුනිට් වල එවුන් බහින්නෙ ඒ විශ්වාසෙට. ඇත්තටම උන්ගෙ අතේ පයේ හයිය සහ විනයක් සහිත දැනුම එක්ක මීට වඩා ලේසි ජීවත් වෙන ක‍්‍රම හොයාගන්න පුළුවන්. ඒත් ෆිල්ම් උණට බෙහෙත් නෑ.

චිත‍්‍රපටියක් කියන්නෙ තිරය උඩ දකින දේ කියල කියන්නෙ නිෂ්පාදකයො, වෙළෙන්දො සහ පේ‍්‍රක්ෂකයො. ඒත් චිත‍්‍රපටි හදන හැමෝම දන්නවා චිත‍්‍රපටියෙ ඇත්ත කොටස තියෙන්නෙ තිරයට කලින්. චිත‍්‍රපටියක් හැදෙන අත්දැකීම.. ඒකයි සිනමාවෙ ඇත්ත පේ‍්‍රමනීය කොටස. ඒක ආධ්‍යාත්මික අත්දැකීමක්.

මේ වෙලාව ලංකාවෙ ආධ්‍යාත්මික සිනමාවෙ මොහොත විදිහටයි මං දකින්නෙ. විශේෂයෙන්ම නොපවතින සිනමාවක් වෙනුවෙන්, කොටින්ම පෙන්නන්න තිරයක් පවා නැතුව, බලන්න පේ‍්‍රක්ෂකයන් පවා නැතුව ලංකාවෙ චිත‍්‍රපටි හැදෙනවා. ඒ චිත‍්‍රපටි වෙනුවෙන් මිනිස්සු දවල් රෑ නැතුව වැඩ කරනවා. මෙතන හේතුව මුදල නෙමෙයි. මේ වැඩකරන්නෙ සිනමාව ගැන තියෙන භක්තිය. ආගමිකත්වය. නැත්තං ඇබ්බැහිය.

සිනමා කර්මාන්තය දියුණු වෙන්න  ඕන කියල කොයිතරම් අරගල කළත් මේ පවතින මොහොතටත් මං යටි හිතෙන් කැමතියි. ආදරයක් ටෙස්ට් වෙන්නෙ අර්බුද අවස්ථාවලදි වගේම සිනමාව ටෙස්ට් වෙන්නෙත් ඒකට පැවැත්මක් නැති තැනදි. ඒ නොදකින දේ වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීමේ ප‍්‍රමාණය තමයි සිනමාව ගැන විශ්වාසයේ තරම.

චිත‍්‍රපටියක් කරනවා කියන්නෙ කෙනෙකුට ජීවිත කාලෙදි ලබන්න පුළුවන් එක්තරා ආධ්‍යාත්මික අත්දැකීමක්. ඒක කවදාවත් කෙටි චිත‍්‍රපටියකින් ලබන්න බැරි දෙයක්. කෙටි චිත‍්‍රපටි කියන්නෙ සිනමාව නෙමෙයි කියල මං දකින්නෙ මේ තැනින්. සිනමාව ඇතුලෙදි තමන්ව පරීක්‍ෂාවට ලක්වෙන්න  ඕන. කෘතිය ඇතුලෙ ඒක සිද්ද වෙන එක කලාවට අයිති වගේම ඊට පිටින් අත්දැකීම ඇතුලෙ ඒක සිද්ද වෙන ජීවිතේට අයිතියි.

ෆිල්ම් එකක් ෂූට් කරනවා කියන්නෙ දවස් ගානක වැඩක්. වැඩියෙන්ම තමන් ජීවත් වෙන පළාතෙන් පිට දුර ඈතක වෙනස්ම පරිසරයක ගොඩක් දවස් ගත කරන්න වෙනවා නම් මේ අත්දැකීම තවත් දරුණුයි. මිනිස්සු කට්ටියක් තමන්ගෙ සුවදායී පරිසරයෙන් සහ ජීවිතයෙන් වෙන් කරලා කොහේ හරි පළාතක බරපතල වැඩ ඇතුව සිරගත කිරීමක් වගෙයි.

මේ විදිහට දවස් දෙකක් තුනක් යද්දි මහන්සිය සහ කාංසිය විසින් මිනිස්සුන්ව හෙම්බත් කරනවා. කේන්තිය, ආවේගය, අසහනය, නොරිස්සීම හැමදෙයක්ම පිටාර ගලන්න ගන්නවා. අපි විසින් වහන් කරගෙන දමනය කරගෙන හුන් සත්වයා එලියට එන්න ද`ගලනවා. ඒත් කණ්ඩායමක් විදිහට එක වැඩක් ඉවර කරන්න අපිට නියමිතයි. මේ වටපිටාව ඇතුලෙ දේවල් කළමනාකරනය වෙන විදිහ හරිම මානුෂීයයි. වැඩියෙන්ම අල්ලගෙන ඉන්න පුළුවන් වෙන්නෙ යුනිට් එකට. ඉක්මනටම කඩන් වැටෙන්නෙ ඩිරෙක්ටර්.  තේ හදන කොල්ලා පවා සමහර වෙලාවල කිලෝමීටර් ගනන් අතේ කරේ එල්ලගෙන තේ, වතුර අදිනවා, කිසි හාවක් හූවක් නැතුව. මේ ශක්තීන් වැඩක් ඇතුලෙ මුහුවෙන එක චමත්කාරජනක මනුස්ස අත්දැකීමක්.

චිත‍්‍රපටියක් හැමතිස්සෙම ඒකෙ ඩිරෙක්ටර්ට වඩා විශාලයි. චිත‍්‍රපටිය කියන්නෙ ඩිරෙක්ටර්ම වුනොත් එයාගෙ තියෙන සීමිතකම ලොකු තිරයක් උඩ ලොකුවට පේන්න ගන්නවා. ඒත් වියමනක් විදිහට හැමෝගෙම දැනුම සහ මහන්සිය සෙට් එකක සෙට් වුනාම සිනමාව බිහිවෙන්න පටන්ගන්නවා. පුද්ගලික සීමිත බව නවකතාවක් හෝ චිත‍්‍රයකට වඩා එහාට යන්නෙ නෑ. ඒත් චිත‍්‍රපටියක් කියන්නෙ මේ මොහොතෙ ලෝකෙ දැවැන්තම කලාව. ඒකට සාමූහික බව අනිවාර්යයි.

එකිනෙකාගෙ රසායනයන් මිශ‍්‍රවෙලා චිත‍්‍රපටියක වේගය තීරණය වෙන හැටි, රූපයේ ස්වභාවය තීරණය වෙන හැටි, මේ දේවල් වලින් තමයි ඒ චිත‍්‍රපටියේ බීට් එක හැදෙන්නෙ. සාමූහික කලාවක් විදිහට හිතන එක ඇතුලෙයි සිනමාවෙ අනාගතය තීරණය වෙන්නෙ.

තාමත් විජයට ආදරේ කරන ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා, ගාමිනී වගේ වෙන්න ආපු ටෙක්නීෂියන්ස්ලා, පරණ ප්‍රොඩක්ෂන් ගැන තළු මර මර කතා කියන ප්‍රොඩක්ෂන් මැනේජර් ලා වගේ සිනමාවෙන් ආතුර වුණු ලොකු පිරිසක් කැමරාව වටේ ඉන්නවා. සිනමාව වෙනුවෙන්  ඕනම දෙයක් කරන්න කොන්දේසි විරහිතව සූදානම් රසික පිරිසක් පරණ සිනමාව විසින් ඉතුරු කරලා තියෙනවා. සිනමාවෙ ප‍්‍රාග්ධනය මේකයි. හෝල් එකේ කැඩෙන ටිකට් ගානට වඩා චිත‍්‍රපටියක් හැදෙන්න බලපාන පාරභෞතික හේතුව මේකයි.

එදා සිනමාව වගේ නෙමෙයි අද සිනමාවෙ ඇත්ත හේතුව තියෙන්නෙ තිරයට කලින්. ඒ යතාර්ථය පයිසෙකටවත් ගණන් නොගෙන සිනමාවට ආදරය කරන පිරිසක් ඒ වෙනුවෙන් වැඩ කිරීම මිසක් සුනිල් ටී හෝ වෙන වෙළෙන්දෙක්ගෙ කැපවීම නෙමෙයි.


-චින්තන ධර්මදාස

Sunday, July 12, 2015

ගල් ගහන්න එන්න.

ගණිකාව කියන්නෙ හරිම සරාගී වචනයක්. ඒ වචනෙ ඇහුණ ගමන්ම ගොඩක් පිරිමින්ගෙ හැ`ගීම් අවදි වෙනවා. මේ වචනෙ තියෙන සුවිශේෂීත්වය වෙන්නෙ හැ`ගීම් අවදි වෙන අතරෙම තමන්ගෙ සදාචාරය ගැන පොඩි වහගැනිල්ලකුත් කරගන්න පුළුවන් එක. පත්තරවල ගණිකා නිවාස වටලන ප‍්‍රවෘත්ති මේ තරම් පළවෙන්නෙත්, හිරු වගේ නාලිකාවල සීඅයිඒ කිය කිය නිතර ගණිකා නිවාසවලටම පනින්නෙත් මේ ජාතිය අවදි කිරීම වෙනුවෙන්.

ගණිකාව, බඩුව, ගොනා මේ විදිහට සමාජ ශෝදක අර්තෙකින් නිතර මේ වචනෙ තලූමැරීම පිටිපස්සෙ තියෙනවා ‘හියුමිලියේෂන්’ නැත්තං අනෙකාට නිර්දය ලෙස ලැජ්ජා කරමින් ලබාගන්නා ලිංගික තෘප්තියක්. මේ ඉරොටික් හියුමිලියේෂන් කියන එක මේ වෙද්දි ලෝකෙ ෆැන්ටසියක් විදිහට හොඳටම දියුණු වෙච්ච ශෘංගාර කලාපයක්. සමාජ දියුණු වෙද්දි අනෙකා පෙලීමෙන් තමන් ලබන තෘප්තීන් ක‍්‍රීඩාවන් බවට පෙරලගන්නවා. රගර්, ෆුට් බෝල්, ක‍්‍රිකට් මේ හැම ක‍්‍රීඩාවකම මුල තියෙන්නෙ දමනය කළ ප‍්‍රචණ්ඩත්වයක්. වනචාරී ආශාවක් ශිෂ්ට කර ගැනීමක්. ඒ විදිහටම අනෙකා පෙලීමෙන් තෘප්ත කරනු ලැබූ හැම ලිංගික ආශාවක්මත් ක‍්‍රීඩාවක් බවට පෙරලූනා. ඒ දියුණු සමාජ වල. අපි වගේ නොදියුණු සමාජ වල තාම ඒ වනචාරී ආශාවන් සමාජය පෙළමින් ගලන්න ගන්නවා. පත්තර පිටු උඩ, සාලෙ මැද ටීවී තිරය මත, ගල් උඩ ඉඳන් හෙලන බැලූම් අතර තියෙන්නෙ මේ අශ්ශීල ආශාව. ප‍්‍රසිද්ද මාධ්‍ය හරහා මිනිස්සුන්ගෙ ජීවිත කෙලෙසමින් තියෙනවා.

මම ගණිකාවන් ගැන කතා කරන්නෙ ‘ලඳුනේ ලඳුනේ’ සිංදුවෙ වර්ගයේ මානව පේ‍්‍රමයකින් නම් නෙමෙයි. ඒ වෙනුවට වඩා දියුණු වෘත්තීය අයිතීන් සහිත ගණිකා වෘත්තියක් වෙනුවෙනුයි මම පෙනී ඉන්නෙ. ආකල්පමය සහ නීතිමය හැටියෙන් මේ වෘත්තිමයභාවය නැති හින්ද සිද්ද වෙන්නෙ ගණිකාවො අඩුවෙන එක නෙමෙයි. ඒ වෙනුවට කිසිම අනුදැනුමකින් තොර ලිංගික සූරාකෑමක් සිද්ද වෙන එක. අපේ රටේ නීතිය වගේම මාධ්‍ය වලින් කරන්නෙත් ඒ සූරාකෑමෙ කොටසක්.

ගණිකාවක් කියන එකේ තේරුම යම් කෙනෙක් මුදලක් පිණිස යම් ලිංගික කටයුත්තකට සම්බන්ද වෙනවා කියන එක. ඒකෙ තියෙන බරපතල කාරනේ ඒ මුදල වෙනුවෙන් විකිණෙන දේ වෙන්නෙ තමන්ගෙ ශරීරය වීම. තමන්ගෙ ජීවිතය දෙයක් බවට ඌනනය කර ගන්න එකයි ගණිකා වෘත්තියෙ අත්විඳින දුෂ්කරම අභියෝගය වෙන්නෙ. දෙයක් විදිහට පාවිච්චි කරන්න, සූරා කන්න, තලාපෙලා දාන්න, කිසිම අයිතිවාසිකමක් නැති නිකම්ම නිකම් දෙයක් විදිහට ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් එකයි ගණිකාවක් එක්ක නිදාගැනීමේ බහුතර උවමනාව වෙන්නෙ (ඊට බාහිර පුංචි සොඳුරු උවමනා ඇති අයත් නැතුවා නෙමෙයි).

බඩුවක් දක්වා පිරිහෙලීම ඇතුලෙ අපි විසින් වාෂ්ප කරන්නෙ ඇයගෙ ජීවිතය. පත්තරවලට, ගොසිප් වලට අහුවෙන්නෙ නැත්තෙ ඒ ජීවිතය. එතනයි තියෙන්නෙ ගණිකාව පැවතීමේ සමාජ හේතුව. වෙනස් කිරීම කොහොම වුණත් අඩු ගානෙ තේරුම් ගැනීමකටවත් ඒ අවස්ථා සම්බන්දය දැනගන්න  ඕන.

ගණිකාවකටවත් බෑ තමන්ව දෙයක් විදිහට බාර ගන්න. එයා රහසේ දෙයක් බවට පත්වෙලා නැවත උදේ වෙද්දි බැඳීම් හා සම්බන්දතා සහිත මනුස්ස ජීවිතයක් බවට පත්වෙන්නෙ ඒ හින්ද. ඒ හැංගීම පිටිපස්සෙ තියෙන්නෙ සමාජ පිළිගැනීමක, බාර ගැනීමක උවමනාව. ඒත් මේ මාධ්‍ය සහ අනෙක් සදාචාරවාදී ගෝත‍්‍ර කරන්නෙ ඇයව දෙයක් විදිහටම සීල් කරන එක. කොන්ක‍්‍රීට් දාලා මුහුදෙ වලදාන එක.

 ඕෂෝ ළ`ග හිටපු සන්‍යාසි කෙනෙක් නැවත එයාගෙ රටට යන්න ලෑස්ති වෙනවා. එයා ඒ රටේ ගණිකාවක්. නැවත එහේ ගිහින් මුදල් උපයන්න ඒ රැුකියාවට යොමු වෙන්න වුණත් හිත ඇතුලෙන් බෑ කියනවා වගේ.

 ඕෂෝ උත්තර දෙනවා.

”වෙන මොනවා හරි කරන්න. ගණිකාවක් වෙනවා කියන්නෙ ඔයාගෙ ශරීරය පාවා දෙනවා කියන එක. සදාචාරාත්මකව ඒකෙ ඇති කිසි වැරැද්දක් නෑ. ඒත් ආධ්‍යාත්මිකව ලොකු අවුලක් තියෙනවා. ඔයා ඔයාව දෙයක් බවට පත් කර ගන්නවා. ඒක ශරීරයට කරන අපහාසයක්.

අනිත් ආගමික කට්ටිය ගණිකා වෘත්තියට විරුද්ද වෙන්නෙ වෙනමම හේතු මත. ඒත් මම විරුද්ද වෙන්නෙ ඊට වඩා වෙනස් හේතුවකට. කෙනෙක් එයාගෙ ශරීරය ගැන භක්තිවන්ත වෙන්න  ඕන. ශරීරයට ආදරය කරන්න  ඕන.

ඔයා කැමති කෙනෙකුට ඒක තෑගි කරන්න. ඒත් මුදලට විකිණීම කියන්නෙ අපහාසයක්. ඒක දෙවියන්ගෙන් ඔයාට ලැබිච්ච තෑග්ගක්. මුදලට ගත්ත නැති දෙයක් මුදලට විකුණන්න ඔයාට කොහෙත්ම අයිතියක් නෑ.

මේ ශරීරය ලැබීම ගැන ඔයා ස්තුතිවන්ත වෙන්න  ඕන. මේක තමයි ඔයාගෙ පන්සල. අනිත් ආගමික කට්ටිය ගණිකා වෘත්තියට විරුද්ද වෙන්නෙ වෙන වෙන හේතු උඩ. ඒ ගොල්ලො සෙක්ස් වලට විරුද්දයි. තෘප්තියට විරුද්දයි. මිනිස්සු සතුටු වෙනවට විරුද්දයි. ඒ හේතු උඩයි ඒ ගොල්ලො ගණිකා වෘත්තියටත් විරුද්ද වෙන්නෙ. ඒ ගොල්ලො ලිංගික ආශාවන් යටපත් කරගෙන ජීවත් වීම අනුදකින අය. ඉතා සීමිත ලිංගික ජීවිත ඇතුලෙ ජීවත් වෙන්නයි ඒ ගොල්ලො උපදෙස් දෙන්නෙ.

ගණිකාව නිසා නිදහස ලැබෙනවා. ඒකයි ඒ අය විරුද්ද. ඒ අයට  ඕන දැඩි ලෙස ඒක ස්වාමි/භාර්යා ව‍්‍රතයට නතු වුණු සමාජයක්. මිනිහා ගැහැනිය අයිති කරගෙන ඉන්නවා. ගැහැනිය මිනිහව අයිති කරගෙන ඉන්නවා. ගැහැනියත් මිනිහාත් දෙන්නම අන්තිමට එකිනෙකාට අයිති දේපොලක් විතරයි. මට අනුව ඒකත් වෛශ්‍යා ව‍්‍රතයම තමයි. ඒ අය ඒකට විවාහය කිව්වට මං කියන්නෙ ඒක සදාකාලික වෛශ්‍යා ව‍්‍රතයක්.

මම සම්පූර්ණයෙන්ම පෙනී ඉන්නෙ ආදරය වෙනුවෙන්. විවාහයට මං විරුද්ද නිසාම ගණිකා වෘත්තියටත් මම විරුද්දයි. ගණිකා වෘත්තිය කියන්නෙම කසාදෙ අතුරුඵලයක්. ලෝකෙන් කසාදෙ නැතිවෙන දවසට ගණිකා වෘත්තියත් නැති වෙලා යනවා.

මිනිස්සු ඒ අයගෙ ශරීර වලට ඇති ආදරය නිසාම තමන් ආදරය කරන අයත් එක්ක ඒ ශරීර බෙදා ගැනීමයි සිද්ද වෙන්න  ඕන. ඒකයි එකම සම්බන්ධතා විදිහ. ඒත් කසාදය ඇතුලෙ නීත්‍යානුකූල ගණිකා වෘත්තියක් සිද්ද වෙනවා. පිරිමියා ආර්ථිකය බාර ගන්නෙ තමන්ට උවමනා විදිහට පාවිච්චි වෙන්න ගැහැණිය එක`ග නම් විතරයි. පාරට වැටෙන්න බය නිසා ගැහැණිය එක`ග වෙනවා වෙන්න පුළුවන්.

පුරුෂයා විසින් අත්ඇරලා දැම්මොත් එක මිනිහෙක් වෙනුවට ඇයට පිරිමි ගානක් එක්ක නිදාගන්න සිද්ද වෙනවා. ඉතින් ඇය එක`ග වෙනවා.

කිසි වෙලාවක ශරීරය දෙයක් විදිහට සලකන්න එපා. ඔයා ආදරය කරන කෙනෙක් එක්ක ශරීරය සහ හදවත එකට පැවැත්මක් විදිහට බෙදාගන්න. එතන ආදරය නැත්තම් වෙන විදිහක් නෑ. ශරීරය බෙදාගන්න  ඕන ආදරෙන් විතරයි. ඒක නැත්තං ස්වාමි පුරුෂයා එක්කවත් ශරීරය බෙදාගන්න එපා”

- ඕෂෝ-

ගණිකාව සහ සදාචාරය කියන කාරණය  ඕෂෝ ආධ්‍යාත්මික තැනකට අරගෙන එනවා. ශරීරය පාවා දීම ඇතුලෙ සමාජයට නිදහස ගේන අතරෙ තමන්ගෙ ඇතුලෙන් පැවැත්ම මරා දැමීම ගැනයි  ඕෂෝ මේ කාන්තාව සවිඥාණක කරන්නෙ.

බ්‍රෙන්ඩා මයර්ස් පවෙල් ගණිකාවක් වෙන්නෙ එයාගෙ ළමා කාලෙදි. අවුරුදු තිස්ගානක් ගතවුණු ඒ ජීවිතේ ගැන බ්‍රෙන්ඩා කියන්නෙ පත්තරයක්වත් වැඩසටහනක්වත් වැඩිපුර විකුණන්න නෙමෙයි. එයා වගේ ජීවිතේ අහිමි වෙමින් යන තව කීප දෙනෙකුට හරි ඒ කතාව ඇහෙන්න.

”මිනිස්සු හිතනවා නම් ගණිකා වෘත්තිය හරි සරලයි, ලේසියි, ආටෝපයි කියල, (හරියට ප‍්‍රිටී වුමන් වගේ) ඒක මුලාවක්. ගණිකාවක් දවසට මිනිස්සු පස්දෙනෙක් එක්කවත් නිදාගන්නවා. ඒ කියන්නෙ අවුරුද්දට 1800ක් පිරිමි. එතන කිසි සම්බන්ධයක් නෑ. කිසි කෙනෙක් මට මල් පොකුරු අරන් එන්නෙ නෑ. ඒ හැමෝම කක්කුස්සියක් වගේ මගේ ඇ`ග පාවිච්චි කරනවා විතරයි.

ක්ලයන්ට්ස්ලා නිතරම වගේ ප‍්‍රචණ්ඩයි. මට පස් සැරයක් වෙඩි වැදිලා තියෙනවා. දහතුන් වතාවක් පිහි ඇනුම් කාලා තියෙනවා. මට කියන්න තියෙන්නෙ සමාජය ඒ අයට එහෙම කරන්න ලේසි කරනවා. ඒ අයගෙ මානසික රෝග, අවුල් ඔක්කොම ගණිකාවන්ගෙ පිටින් යන්නෙ. පොලිසියකට ගිහින් පැමිනිල්ලක් කරන්නවත් ඉඩක් අපිට නෑ.

මට අවුරුදු 40 දි විතර එක රෑක මාව ක්ලයන්ට් කෙනෙක් කාර් එකෙන් එලියට විසි කරලා දැම්මා. මගේ ඇඳුම දොරේ පැටළුණු හින්ද මාව ගෙවල් බ්ලොක් දෙකක් විතර දුර ඇදි ඇදී ගියා. මගේ මූණත් ඇෙ`ග් පැත්තකුත් දරුණු විදිහට තුවාල වුණා.

මාව දැකපු දොස්තර කලබල වෙලා පොලිස් නිලධාරියෙක් කැඳෙව්වා. පොලිස් නිලධාරියා මං දිහා බලාගෙන ඉඳලා දොස්තරට මෙහෙම කිව්වා.
‘ආ.. මං මෙයාව දන්නවා. මෙයා පාරෙ ඉන්න ගණිකාවක්නෙ. ෂුවර් එකට කාගෙ හරි පර්ස් එකකට වැඩක් දීලා ඇති. හොඳ වැඬේ මුංට...’

ඒ ගොල්ලො හිනාවුනා. මාව හදිසි අනතුරු වාට්ටුවෙන් එලියට ඇදලා දැම්මෙ හරියට මං බෙහෙතක් දාගන්නවත් තරම් වටින්නෙ නෑ වගේ.

මං ඇත්තටම වාසනාවන්තයි. මං දන්න ලස්සන ගෑනු ළමයි කොච්චරක් පාරෙ මරලා දාලා තියෙනවද?

මම ඩ‍්‍රග්ස් වලට වැටෙන්නෙ නැතුව අවුරුදු 14ත් 15ක් විතර රස්සාව කළා. ඒත් අමාරු තැනක් එනවා. කවුරු හරි කොට්ටෙන් ඔයාගෙ හුස්ම හිර කරලා මරලා දාන්න හරි, පිහියෙන් බෙල්ල කපන්න හරි හදන කොට... ඔයාට මොනවා හරි දෙයක්  ඕන වෙනවා ජීවිතේ ඉස්සරහට ඇදගෙන යන්න.

මිනිස්සු එක එක දේවල් කියනවා ගණිකා වෘත්තිය ගැන. සමහරු හිතන්නෙ මේක නීතිගත කළාම හරි යයි කියල. ඇත්තටම එක එක ගැහැණුන්ගෙ කතාව වෙනස්. නීතිගත කරනවා වගේ දෙයක් හොඳ වෙයි ප‍්‍රයිවෙට් කැම්පස් එකේ ගාන ගෙවා ගන්න ගණිකා වෘත්තිය කරන අයට වගේ නම්. ඒත් පොඩි කාලෙම අපචාරයට ලක්වුණු ළමයෙකුට... වෙන විකල්පයක් තියෙනවා කියලවත් නොදන්න දරුවෙකුට ඒක ගැලපෙන්නෙ නැහැ. එයා උත්සාහ කරන්නෙ කන්න විදිහක් හොයා ගන්න.

මං අහන්නෙ ගණිකා වෘත්තිය නීතිගත වුනොත් ඔයා යාලූවො කී දෙනෙකුට බලකරන්න ලෑස්තිද දැන් කරන රස්සාව අත්ඇරලා ඒක කරන්න කියල. ඔයාගෙ නෑදෑයොන්ට ඒ විකල්ප රස්සාව දෙන්න ඔයා ලෑස්තිද?

මං තව එකක් කියන්නම්.. අපි හිතමු අර කැම්පස් එකට සල්ලි හොයන ගෑනු ළමයට මේ ප‍්‍රශ්න නෑ කියල. එයාට ඉන්නෙ නිශ්චිත ඉහල පංතියෙ ක්ලයන්ට්ස්ලා ටිකක් කියල. ඒත් පළවෙනි වතාවට එයාට එක්කෙනෙක් වද දෙන්න ගත්තමයි තේරෙන්නෙ මේ රස්සාවෙ ඇත්ත තත්වෙ.  ඕනම වෙලාවක ඒ විදිහෙ විකෘතියෙක් මේ රස්සාව ඇතුලෙ මුනගැහෙන්න පුළුවන්. එයාගෙ පිටිපස්සෙ තව කට්ටියක්ම ඉන්නවා. උන් ඔයාට බලහත්කාරකම් කරනවා, දූෂනය කරනවා..  සල්ලි මංකොල්ල කනවා. ඔයාට ජීවත් වෙන්න විදිහක් නැති තැනක් එනවා. ඒකයි ගණිකා වෘත්තියෙ යතාර්ථය”

කොයි තරම් දුක වුණත් බ්‍රෙන්ඩා කියන්නෙ ලස්සන කතාවක්.

‘කොයිතරම් හානියකට පස්සෙ වුනත් ජීවිතයක් ඉතුරු වෙලා තියෙනවා. කොයිතරම් වදවේදනා වලට පස්සෙ වුණත් ජීවිතයක් තියෙනවා. ඔයා කිසි වටිනාකමක් නැති දෙයක්, කුණු කෑල්ලක් කියල මිනිස්සු කිව්වත් තවත් ඉතිරි ජීවිතයක් තියෙනවා. මං කියන්නෙ පොඞ්ඩක් එහෙම නෙමෙයි. ගත කරන්න තව ලොකු ජීවිතයක් තියෙනවා..’

බ්‍රෙන්ඩා එ විදිහට පාරට වැටුණු අයට බලාපොරොත්තුවක් දෙනවා. ඒ අය දේවල් නෙමෙයි මිනිස්සු කියල එයා මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ අය එක්ක ජීවිතේ බෙදා හදාගන්න මැදිහත් වෙනවා.

(උපුටාගැනීම - බීබීසී ප‍්‍රවෘත්ති ස`ගරාව)

මට හිතෙන්නෙ සදාචාරය කියන්නෙ ඒකට. ඒක ආදරයේ ප‍්‍රතිඵලයක් වෙන්න  ඕන. ලංකාවෙ මගේ ජීවිත කාලෙ ඇතුලත ඒ විදිහට සදාචාරය වෙනුවෙන් මැදිහත් වුන එක චරිතයක් මට මුණගැහිලා තියෙනවා. ඒ උදුල් පේ‍්‍රමරත්න. පොලිසියෙන් ගණිකාවක් කියල බට්ටිව බූට් සපත්තුවට පාගලා දාන්න යද්දි උදුල් බට්ටි වෙනුවෙන් හිටගත්තා. බට්ටි කියන්නෙත් ජීවිතයක් කියල සමාජයටත් නැවත බට්ටිටත් කියල දුන්නා. පොඩියට කළා වුණත් ඒක ලොකු අරගලයක්.

සදාචාරය හොයන්න  ඕන සමාජ සංසිද්දියේ හෝ හේතුවේ මිස පුද්ගලයා ඇතුලෙ නෙමෙයි. ජීවිත දේවල් බවට පත් කරන එකට කියන්නෙ අපචාරය. මිනිස්සු මිනිස්සු විදිහට තේරුම් ගන්න පුළුවන්, බාර ගන්න පුළුවන් සදාචාරයක් අපිට තියෙන්න  ඕන. ඒකට අපචාරී මාධ්‍ය සහ සමාජ සංස්කෘතිය කෙලින් ප‍්‍රශ්න කරන්න  ඕන.

‘ ඕන වෙලාවක ජැක්ට (බූරුවාට) ජැක් කියන්න.ඉස්කෝප්පෙට ඉස්කෝප්ප කියන්න. ඒත් වෛශ්‍යාවට නෝනා කෙනෙක් මෙන් අමතන්න වග බලා ගන්න.’

-පැටි‍්‍රක් රොත්ෆස් (ලේඛක)

-චින්තන ධර්මදාස









Sunday, July 5, 2015

ඕකත් විප්ලවයක්ද?




පහුගිය ජනවාරි 08 වෙනිද සිද්ද වුනේ සරල සාමාන්‍ය බල පෙරලියක් කියන තැන ඉඳන් අත්වැරැුද්දක්, කුමන්ත‍්‍ර‍්‍රණයක් කියන තැන දක්වා විවිද කතා කියන කට්ටිය ඉන්නවා. මහින්දට කඬේ යන පිරිස් විතරක් නෙමෙයි කවදාහරි මහා ඔක්තෝම්බර් විප්ලවයක් වෙනකල් බලන් ඉන්න වර්ගයේ වාමාංශිකයොත් මේ අතර ඉන්නවා. සමාජයේ සිද්ද වෙන වැදගත් සවිඥාණක වෙනස්කම් වලට බරක් තියන්න බැරි  වෙන එකම මේ අයගෙ දේශපාලන නොදැනුම සටහන් කරනවා.

මගේ ජීවිත කාලෙදි දැකපු ලොකුම විප්ලවීය වෙනස සිද්ද වුණේ ජනවාරි 08 වෙනිද. කවදාවත් කවුරුවත් වෙනස් කරන්න බෑ කියල හිතපු රාජාණ්ඩුවක් පෙරලන්න පුරවැසි කණ්ඩායම් වලට පුළුවන් වුණා. යහ පාලනය කියන්නෙ අරකද මේකද කියල අහන ගොඩක් ප‍්‍රගතිශීලී කට්ටිය අමතක නොකරන කාරනේ වෙන්නෙ ජනවාරියේ මහින්ද පැරදුනේ නැත්තං වෙන්නෙ මොකක්ද කියන එකයි.

රට සහමුලින්ම මෝඩකමේ ගිලෙමින් තිබුනෙ. සංවර්ධනය කියන්නෙ පාරවල් හදන එක කියල සමස්ත ජනතාවම පිළිඅරගෙන හිටියෙ. කොළඹ පාරවල් වල ගල් අල්ලනවා ගලවනවා නැවත අල්ලනවා. අන්තිමට පාරට වඩා ලොකු පේමන්ට් හැදෙනවා. මහ පාරෙ සන්නද්ධව ඇවිත් මිනී මරලා පස්සෙ අමතක වුණා කියල කියන්න පුළුවන් විදිහට රටේ නීති හැදුන. විරුද්ද මතයක් දරන අයට සුදු වෑන් පහසුකම් ලබා දුන්නා. රටේ මාධ්‍ය කියල දෙයක් තිබුණෙ නෑ. හොරකම කියන එක සරල සාමාන්‍ය ශ‍්‍රී ලාංකේය උරුමය වුණා. සිනමාව කලාව නන්නත්තාර වුණා. ලෝකෙ සිද්ද වෙන හැම දියුණුවක්ම ලංකාවට එරෙහි කුමන්ත‍්‍රණයක් වුණා. අපි ගූූගල් ෆේස්බුක් වලට පවා රාජ්‍ය මට්ටමෙන් එරෙහි වෙන ජාතියක් වුණා.

සියල්ල සංක්‍ෂිප්තව කිව්වොත් අපි අභිමානයක් නැති ජාතියක් වුණා. ලෝක මට්ටමෙන් වගේම රට ඇතුලෙත් කිසිම කෙනෙකුට ආත්ම අභිමානයක් කියල දෙයක් ගෑවිලාවත් තිබුනෙ නෑ. අරුම පුදුම අධ්‍යාපන ඇමතිවරු සහ අනෙක් කටයුතු ඇමතිවරු රටේ ඇතිවුණා. මේ හැමදේකම තියෙන භෞතික පරිහානියට වඩා දරුණු වුනේ රටේ සිද්ද වෙමින් පැවති මානසික පරිහාණිය. අපි සමාජයක් හැටියට අපි ගැන වටහා ගනිමින් සහ පිටතට ප‍්‍රක්‍ෂේපණය කරමින් ඉන්නෙ මොකක්ද කියන එක.

අන්ත ජාතිවාදී කෙලවරකට රට ගමන් ගනිමින් තිබුණ. මහින්දට පක්ෂ නම් දේශපේ‍්‍රමී, විපක්ෂ නම් දේශද්‍රෝහී.. බෙදුම් ලකුණ තිබුනෙ එච්චරයි. රට හෘදය සාක්ෂියක් රහිතව එල්ලෙමින් පැද්දෙමින් තිබුණ.

යම් පමණකට හෝ සමාජය ගැන සවිඥාණකත්වයක් ඉතිරිව තිබුණු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් මේ ප‍්‍රවාහය වෙනස් කරන්න එකතු වෙන්නෙ මේ පසුබිමේදි. කිසිම බලාපොරොත්තුවක් තබා ගත නොහැකි කාලයක තමන්ගේ ජීවිත තර්ජන පවා නොතකා මේ අවසාන උත්සාහය දරන්නට මේ මිනිස්සු එකතුවීමම අහම්බයක්. මහින්දගෙම භාෂාවෙන් කියනවා නම් ආශ්චර්යයක්.

ආණ්ඩුව උපරිම ද`ග දැමීමෙන් පවා පාලනය කරගත නොහැකි වුණු ඩිජිටල් මාධ්‍ය හරහා දැවැන්ත කැරැල්ලක් ඇරඹෙන්නෙ මෙතනදි. ඒක තනිකරම තාක්‍ෂණික විප්ලවයක්. නූතන සමාජ පෙරළියක්. උදලූ කෙටේරි අරගෙන කොළඹ වටකරන ග‍්‍රාමීය විප්ලව සිහිනයේ පසුවෙන වාමාංශිකයො මේක විප්ලවයක්ද කියල අහන්නෙ ඒකයි. ලෝකයේ බිහිවුණු දුර්දාන්තම පාලනයක් එක ලේ බිංදුවක් හෝ නොසොල්ලා පෙරලා දමන්නට හැකිවුණු සිවිල් සමාජ අරගලයක් විප්ලවයක් නෙමෙයි නම් වෙන මොන බුබ්බක්ද? (නදීක ගුරුගේ වචනයක්)

වැදගත්ම දේ මේ වෙනස පුරවැසි සමාජයෙන් ආපු වෙනසක් වුණු එක. මේක පාර්ලිමේන්තුව ඇතුලෙ බල පෙරලියක් හෝ හුදෙක් පක්ෂ ජරමරයක් නෙමෙයි. ජනතාවගේ සවිඥාණක නැගී සිටීමකට අනුගත වෙන්න දේශපාලනයට සිද්ද වෙනවා. මෛත‍්‍රී කියන්නෙ ඒ අදහස වෙනුවෙන් හිටගත්ත නායකත්වයක් මිස වෙනස කියන්නෙ මෛත‍්‍රී නෙමෙයි. රටම තමන් යටත් වැසියන් හැටියට කිසි පැකිලීමකින් තොරව බාරගෙන තමන්ගෙ පාඩුවෙ පොඩි පොඩි හොරකම් කරගෙන අගේට ජීවත් වෙමින් යද්දි නැවත මිනිස් අයිතීන්, විධිමත් රාජ්‍ය ආයතන සහ යාන්ත‍්‍රණ අවධාරණය කරන හ`ඩක් සමාජයට ගේන්න මේ නාගරික කණ්ඩායම් වලට පුළුවන් වෙනවා. අනිවාර්යෙන්ම මේක මහ ජනතාවගේ අරගලයක් නෙමෙයි. මේක සිවිල් ජන කොටසෙ අරගලයක්. ජනප‍්‍රිය තේමාවන්ට විරුද්දව ගිය, නැවත සමාජය ගැන විශ්වාසය අවධාරණය කරපු අරගලයක්. බුද්ධියකින් තොර පාදඩකම පෙරළන්නට ඒ සංවිධානගත වීම ඇතුලෙ පුළුවන් වුණා.

මේ විප්ලවය හෑල්ලූ කරන පිරිස් ප‍්‍රශ්න කරන්නෙ දින සීයෙ පොරොන්දු ලැයිස්තුව අතේ තියාගෙන. ඒ එකින් එක පොරොන්දුව ඉටු නොවුණු පදනම උඩ යහපාලනය ආපහු මහින්ද පාලනය කරා වුණත් පෙරළා දමන්න ඒ අය ලෑස්තියි. දින සීයෙ පොරොන්දු ඇතුලෙ අසාර්ථක වෙන්නෙ ආණ්ඩුව මිස පුරවැසි අරගලය නෙමෙයි. ආණ්ඩුවට බැරි වෙනවා ඒ පුරවැසි ප‍්‍රතිරූපය රකින්න. පුරවැසි සංවිධාන වලට සිද්ද වෙනවා අරගලය ඉවර නැති බව තේරුම් ගන්න.

ජනවාරි 08න් පස්සෙ ජනතාව වෙනුවෙන් හිටගත්ත හැටියට පෙනී හිටපු නායකයො ආයිමත් තම තමන්ගෙ බලය  ලොකු කර ගැනීමේ ව්‍යාපෘති දක්වා පසුබැස්සා. එතෙක් පුරුදු පුහුණු වෙමින් හිටපු කුහක, හොර, හීන ආත්ම ලාභයන් වෙනුවෙන් වැඩ කරන්න ගත්තා. විශේෂයෙන්ම පොදු පෙරමුණ සහ යූඇන්පිය අතරෙ බලය තමන් අතට ගැනීමෙ පොරය බලන් ඉන්න කැතයි. තමන්ගෙ පක්ෂය සහ තමන්ගේ බලයේ ත‍්‍රිල ඇරුණම ඊට වඩා ලොකු දේශපාලන විශ්වයක ආස්වාදයක් විඳින්න මේ දේශපාලකයො පොඩි වැඩියි. ඉතා නුදුරු අනාගතයෙදි තමන්ගෙ දේශපාලන භූමිකාවන් අවලංගු වෙන්න නියමිත වග දකින්න ඒ ඔලූ ළපටි වැඩියි.

ඒ කොහොම වුණත් මේ අවුල සාපේක්ෂයි. මහින්දගේ පාලනයේ වියවුල එක්ක බලන කොට මේක අවුලක් නොවෙන ගානයි. ජනතාව විදිහට ජීවත් වීමේ නිදහස බුක්ති විඳින්න, ගෞරවනීය ජීවිතයක අයිතිය ලබා ගන්න ජනවාරි 08න් පස්සෙ වේදිකාවක් හැදුන. උදා විදිහට විද්යා දැරිය දූෂණය කිරීම කොටි නැවත නැගිටීමේ කුමන්ත‍්‍රණයක් කියන පැලැස්තරයෙන් මුදාගෙන සමාජ පාදඩකරණයේ ප‍්‍රතිඵලයක් හැටියට නීතිමය ද`ඩුවම් ලබා දෙන්න පුළුවන් තත්වයක් ඇතිවුණා. දෙමළ මිනිස්සු සහ පොඩි එවුන්ගෙ බෙලි කපලා මරා දාපු හමුදා සොල්දාදුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. දැරියන් සිය දෙනෙක් දූෂණය කළ සතුටට පාර්ටි දාන මන්ත‍්‍රීවරුන් හිටපු රටක මේ වෙනස සෑහෙන ලොකු වෙනසක්.

සිවිල් සංවිධාන පැත්තෙනුත් ජනවාරි 08න් පස්සෙ වැඬේ ආණ්ඩුවට බාර දීලා අපි ගෙවල් වලට ගියා. ඒකයි අපේ පුරුදු විදිහ. ඒත් මෙතනදි ආණ්ඩුව කියන්නෙ ද්විතියික කාරණයක් කියන එක අපිට අමතක වුණා. තවදුරටත් වඩාත් සංවිධානාත්මකව සමාජ ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් වැඩ කිරීම අනිවාර්යෙන්ම අවශ්‍ය මොහොතක ආණ්ඩුව දිහා බලාගෙන කාලය ගත වුණා. නැවත එළඹෙන මහ මැතිවරණය අවධාරණය කරන්නෙ මේ අවශ්‍යතාවය.

නිර්මාල් යෝජනා කරලා තිබුණු විදිහට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම මෙතනදි හොඳ වෑයමක් වෙන්න පුළුවන්. ඒත් මට හිතෙන්නෙ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරමින් ශක්තිමත් ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම හරහා රටේ විවිධ විෂයන් වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්ති ගොඩනගා ගැනීම මේ මොහොතේදී තීරණාත්මකයි. එතනදි වඩා වැදගත් වෙන්නෙ දූෂිතයන්ව පාර්ලිමේන්තුවට නොගැනීමේ දරුණු බල කිරීමක්. ප‍්‍රධාන පක්ෂ දෙකටම මේ පීඩනය සිවිල් සංවිධාන පැත්තෙන් එල්ල වෙන්න  ඕන. විවේචන එල්ල වෙන්න  ඕන. අවශ්‍ය ශිෂ්ට පාර්ලිමේන්තුවක් වෙනුවෙන් ජනතාව උනන්දු කරන්න  ඕන.

මෙතනින් එහාට තියෙන්නෙ හොරු ඇල්ලීම හෝ වැරදි සෙවීමේ දේශපාලනය නෙමෙයි. රටේ දැක්මක් ඇතිව වැඩ කරන සැලසුමක් නිර්මාණය වෙන්න නම් ප‍්‍රධාන පක්ෂ දෙක රටට වග කියන අන්දමින් ප‍්‍රතිසංවිධානයක් වීම අනිවාර්යයි. එතනදි පුරවැසියන්ට අවශ්‍ය පරිදි පක්ෂය නිර්මාණය කර ගැනීමේ උවමනාව දැනෙන තරමට තල්ලූව ප‍්‍රබල වෙන්න  ඕන. විපක්ෂය ශක්තිමත් කිරීම මෙතනදි ද්විතියික කාරණයක්.

‘‘අසාධාරණය, දුගීබව,  වහල්බව,  මෝඩකම  මේ  වගේ  දේවල්  සමහර  විිට  විිප්ලවයකින්  වෙනස්  කරන්න  පුලූුවන්.  ඒත් මිිනිස්සුන්ගෙ  ජීීවිිතේ  කියන්නෙ  නපුරට  විිරුද්දව  සටන්්  කිරීමම  නෙමෙයි.  මිිනිස්සුන්ට  ධනාත්මක  අරමුණු  අවශ්‍යයි.  පුද්ගලිකව  වගේම  සාමූහිකවත්.  විිශාල  පරිිමාණයක  එවන්  අරමුණු  සමාජයකට  අවශ්‍යයි.  සමහරවිිිට  සමාජයට  නොගැලපෙන  තරමට..’’

ඉසයියා  බර්්ලින්

ඩිජිටල් මාධ්‍යකරණයත් එක්ක රටේ දේශපාලනය වෙනස් වෙලා ඉවරයි. තවදුරටත් ආණ්ඩුවේ බලය දෙවියන් වහන්සේගේ බලය විදිහට ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ. වෙළඳ බලය තීරණාත්මක බලය විදිහට වැඩ කරන්නෙ නැහැ. මාධ්‍ය බලය ප‍්‍රධාන ගාමකය විදිහට පවතින්නෙ නැහැ. ඒ වෙනුවට අසංවිධානාත්මක නමුත් සවිඥාණකව එකිනෙකා සම්බන්ධ පුරවැසි නාලිකා අන්තර්ජාලය හරහා ක‍්‍රියාත්මකයි. අනෙක් රටවල සිද්ද වෙන නව ප‍්‍රජාතාන්ත‍්‍රික වෙනස්කම් හරහා ඒ මොහොතේම යාවත්කාලීන වන, දූපතෙන් එහා අවකාශයක මනසින් සැරිසරන නව පුරවැසි ප‍්‍රජාවකට සරිලන දේශපාලනයක් පක්ෂ වලට නිර්මාණය කර ගන්න සිද්ද වෙනවා. ඒ නූතන දේශපාලන රටාව තේරුම් ගන්න බැරි වෙන ඩයිනසෝරයො වුණත් වඳ වෙලා යනවා.

හොඳම උදාහරණය පොලිස් සේවයේ විනය හැදෙන්න වඩාත් බලපෑවෙ ආයතනික නීති හෝ පරිපාටි නෙමෙයි. ඒ වෙනුවට මිනිස්සු හොරෙන් ගත්ත මෝබයිල් වීඩියෝ ක්ලිප් සහ සෙල්ෆි. ඒ හරහා වැඩි විනිවිදභාවයකින් වගේම සහෝදරත්වයකින් යුත් සේවයක් සපයන්න පොලිසියෙ අයටත් සිද්ද වුණා. දඩ සෙල්ෆි හැටියට මෑතක ප‍්‍රසිද්ද වුණු දඩ කොල ලියන අතරෙ ගත්ත සෙල්ෆි ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියපු කතාව වුණත් ප‍්‍රගතිශීලියි. ඒකෙන් පොලිසියෙ හිතවත් මහජන සේවය ගැන හැ`ගීමක් රටවැසියන්ට ඇති වෙනවා වගේ තැනකින් එයා ඒක බාර ගත්තා. ඒක ඇත්තක්. ඉස්සරහට අපි නිරන්තරයෙන්ම තවත් පිරිසක් විසින් නිරීක්ෂණය කරමින් සිටින ජීවීන් බවට පත්වෙනවා. දේශපාලකයන්ට අනිත් අයට වඩා කැමරා ප‍්‍රමාණයක් අනිවාර්යෙන්ම එල්ල වෙනවා. ඩිජිටල් දේශපාලන යුගයට ගැලපෙන දැක්මක් ඇතිව තමන්ගෙ ව්‍යාපෘති නිර්මාණය කර ගන්න බැරි බඩ තඩියන්ට විශ‍්‍රාම යන්න සිද්ද වෙනවා.

‘ඩිිජිිටල්  විිප්ලවය කියන්නෙ ලිවීීම  සහ  මුද්‍ර‍්‍ර‍්‍රණය  සොයාගැනීමටත්  වඩා  අතිශය  වැදගත්  පෙරලියක්’

- ඩග්ලස්  එන්ගල්බර්ට්

මෙතනදි වඩා භයානක අවදානම වෙන්නෙ මහින්ද සාධකය. කිසිම ලැජ්ජාවක් ඇති මිනිහෙක් නොකරන ආකාරයෙන් පැරදුණු දවසේ පටන් පන්සල් ගානෙ කතා පවත්වමින් මහින්ද අගමැති වෙන්න ද`ගලනවා. මහින්ද කියන්නෙ ප‍්‍රතිවිප්ලවය. නැවත ජාතිවාදය, ආගම්වාදය, දූෂණය හොරකම සහ මැරකම. දේශපාලනය ඇරෙන්න අනිත් හැම කුජීත පුද්ගල මිනිස් ගතියක්ම තමයි මහින්දගෙ දේශපාලනය. ගූගල් වලට ගල් ගහපු හෙංචයියන් පිරිවරාගෙන එන මහින්දගේ කතිකාව කියන්නෙම යටත්වැසියන්ගෙ උවමනාව.

ලංකාවෙ මහා ජනතාව කියන එක ගත්තොත් එක විදිහකට ඓතිහාසික ස්ව පීඩකකාමයකින් පෙළෙන පිරිසක්. බීගෙන ඇවිත් තඩිබාන මිනිහටම පෙම් කරන ගෑනියෙක් වගේ තමන් පෙළන්නාටම වන්දනා කරන මානසිකත්වයක්. අනාගතය, අභියෝගය වෙනුවට අතීතයටම වදින්නට කැමති ගුහාගත ආත්ම කොටසක්.

හොරකමෙන් අවුරුදු දහයක් තිස්සෙ දුවපු යාන්ත‍්‍රණයන් හොරකම නැතුව දුවන්න දන්නෙ නැහැ. සංවර්ධනය අඩාල වෙලා කියල අපි දකින්නෙ ඒ දුවන තෙල් නැතිකම. මේ සියල්ල නැවත ගොඩනගන්න ශක්තිමත් ව්‍යාපාරයක්  ඕන වෙනවා. ඒක ආණ්ඩුවකට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ජනවාරි විප්ලවය රැකගැනීම වෙනුවෙන් නැවත පළල් සංග‍්‍රාමයක් කරන්න  ඕන වෙන්නෙ ඒ නිසයි. පුරවැසි සමාජයක් ඇති කර ගැනීම වෙනුවෙන් ජනවාරියේ පටන් ගත් නාගරික විප්ලවය ගම් දනවු කරා ගෙනයමින් ගෞරවනීය ජීවිතයක උවමනාව කියල දෙන්න සිද්ද වෙනවා. හෘදය සාක්ෂිය කියන්නෙ මොකක්ද කියල ආයිමත් උගන්නන්න වෙනවා. මහින්ද ඇත්තට පරාද වෙන්නෙ එදාට.