Monday, June 27, 2011

පාවුලෝ කොයෙලෝ Blog


මම මෑතකදි ‘සහීර්’ කියෙව්වා. ඒත් මට හරියට තේරුම් ගන්න බැරි වුණා සමබන්ධතාවයක් ඒකාකාරී නොවී පවත්වාගන්න ඔබ යෝජනා කරන්නෙ මොකක්ද කියල. විවාහය ඔබ දකින්නෙ කොහොමද? (ශිප්රා ඇසූ ප‍්‍රශ්නය*

ඔබේ සම්බන්ධය ඒකාකාරී නොවී පවත්වා ගන්නෙ කොහොමද කියන එක අතිශය පෞද්ගලික දෙයක්. සහීර් කතාවෙදි මම කියන විදිහට නම් ඒ ප‍්‍රධාන චරිතයට එයාගෙ බිරිඳ ගැන ආදරය යලිත් අවුළුවන්නෙ බිරිඳ අහිමි වීමයි.

විවාහය ගැන මම මගේ ප‍්‍රියතම ලේඛකයෙක් වෙන ඛලීල් ජිබ්රාන්ව උපුටා කියන්නම්. මං හිතන්නෙ එයා හු`ගක් ලස්සනට විවාහය ගැන කියනවා.

”ඔබ උපන්නේ එකට

ඒ වගේම තව බෝ කලක් ඔබ එක්ව සිටිය යුතුයි

මරණයේ ධවල පියාපත් ඔබේ දින වනසා දමද්දීත්

ඔබ එක්ව සිටිය යුතුයි.

දෙවියන් ගැන මතකය නිශ්ශබ්ද මොහොතේ පවා

ඔබ එක්ව සිටිය යුතුයි.

නමුත් ඔබේ එක්ව සිටීමෙහි වාකවුළු තබා ගන්න

දෙව්ලොවින් එන සුළං ද`ග කරන්නට ඔබ අතර.

එකිනෙකාට ආදාරය කරන්න. නමුත් ආදරය බැඳීමක් නොකරන්න.

ඔබේ ආත්මයන්ගේ වෙරළතර

සයුරකට රැුළි නගන්න ඉඩ තියන්න.

දෙව්මැදුරේ කුළුණු වෙන්ව නැගී සිටිනා සේම,

ඕක් ගස් සහ සයිප‍්‍රස්

එකිනෙකාගේ සෙවනෙහි නොවැඩෙනා සේම

එක්ව නැගී සිටින්න. නමුත් එකිනෙකාට වඩා ළං නොවන්න.

ධර්මපාලගේ බැරිකම සහ සිංහල බෞද්ධයාගේ ජාතකය


අශ්වයා සහ බූරුවා එකතුවීමෙන් හැදෙන්නේ කොටළුවායි. කොටළුවාගෙන් පසු ඒ පරපුරට යන්නට තැනක් නැත. සිංහල බෞද්ධයා කියන වර්ගය ගැනිය හැක්කේ මේ කොටළු වංශයටයි. ඔවුන් මේ රටේ ස්වභාවික ජන වර්ගයක් නොවේ. ඔවුන් උපන්නේ අනගාරික ධර්මපාලගෙනි. ප‍්‍රභූ යුරෝපීයානු සමාජයටත්, සැබෑ ගැමි සිංහල පංතියටත් අයිති නැති, ජීවිතයක් අහිමි මැද පංතියක් වෙනුවෙන් ධර්මපාල නිර්මාණය කළ ජීවිතය සිංහල බෞද්ධකමයි. ධර්මපාලගේ සිංහල බෞද්ධයා හා බුදුන් අතර සම්බන්ධයට වඩා ඒ සිංහල බෞද්ධකම සහ ක‍්‍රිස්තියානිය අතර සම්බන්ධය ළ`ගය.

ඒ කාලයේ දේශපාලන ආර්ථික බලය හිමිවී තිබුණේ ප්‍රොතෙස්තන්ත ක‍්‍රිස්තියානියටයි. මිෂනරි පාසැල් වලින් දෙන නූතන අධ්‍යාපනයට ළං වෙන්නවත් භික්ෂුන් අතේ තිබුණු බෞද්ධ අධ්‍යාපනයට පුළුවන් වුණේ නෑ. හාමුදුරුවරුන්ට ගණං විද්‍යාව වගේ විෂයන් උගන්නන්න පුළුවන් කමක් වත්, මිෂනාරීන්ට වගේ සංවිධාන ශක්තියක් වත් නොතිබ්බ නිසාම බෞද්ධ අධ්‍යාපනයට යන එන මගක් නැතුවයි තිබුණෙ. මේ අතර ධර්මපාලගෙ මගපෙන්වන්නා වුණු ඇමරිකානු හමුදාවෙ හිටපු කර්නල් හෙන්රි ඕල්කට් ලංකාවට එනවා. එයා හිටපු ප්‍රොතෙස්තන්ත ආගමිකයෙක්. බැඳලා හිටියෙත් ප්‍රොතෙස්තන්ත පාදිලියෙකුගේ දුවක්. එයා පරම විඥානාර්තෙ අරගෙන මෙහේ එනවා. පරම විඥානාර්තෙ කළේ බුද්ධ දර්ශනය ප්‍රොතෙස්තන්තකරණය කරන එකයි. ඒක ඇමරිකානු එන්ජී ඕ එකක් විදිහටයි වැඩකෙරුනෙ. අද සිංහල බෞද්ධ කිය කියා එන්ජී ඕ වලට විරුද්ධ වෙන ගොඩක් අය නොකියන කතාව සිංහල බෞද්ධකම ලංකාවට එන්නෙත් එන්ජී ඕ එකක් විදිහට කියන එකයි. ධර්මපාල පරම විඥානාර්තෙ මැනේජර් කෙනෙක් විදිහට වැඩට යනවා.

ධර්මපාල මේ කාලෙදි පරම විඥානාර්තෙ ලීඞ්බීටර් එක්ක බෞද්ධයන් වෙනුවෙන් ප‍්‍රශ්නෝත්තර සංග‍්‍රහයක් කරනවා. ඒක සිංහලට පරිවර්තනය වෙන්නෙ ධර්මපාල අතින්. පස්සෙ ඔප්පු වෙනවා ලීඞ් බීටර් සමලිංගිකයෙක් ඒ වගේම ළමා අපචාරිකයෙක් කියල. මං මේ කතා කරගෙන යන්නෙ සිංහල බෞද්ධකමේ ඇතිවීම ගැන. ඕල්කොට් ගේ ඔලූව හැදිලා තිබුනෙ නෑ බෞද්ධ බහු කෝටික ක‍්‍රමය ඇතුලෙ අනිත්‍යතාව වගේ ගැඹුරු තැනකින් බුද්ධාගමට ඇතුල් වෙන්න. එයා කළේ බෞද්ධ කියන එක ක‍්‍රිස්තියානි අනෙකා කරපු එකයි. උදාහරණයක් විදිහට බුද්ධාගම (බුද්ධ-ආගම* හැදෙන්නත් ඒ කාලෙ ‘ආගම’ විදිහට හඳුන්වපු ක‍්‍රිස්තියානියට උත්තරයක් විදිහට. ඕල්කොට් බෞද්ධකම කියලා කරන්නෙ කොඩියක් මහන එක. උත්සව සංවිධානය කරන එක. අදත් කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ ඕල්කොට් හිටගෙන ඉන්නෙ මේ පරාරෝපිත සංස්කෘතිය නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ වගේම ලීඞ් බීටර් වගේ ළමා අපචාරික චරිත අතින් තමයි අපේ සිංහල බෞද්ධකම සංස්කරණය වෙන්න පටන් ගන්නෙ.

ලීඞ් බීටර් එක්ක ධර්මපාලගේ තියෙන්නෙ හු`ගක් ළ`ග ආශ‍්‍රයක්. බි‍්‍රතාන්‍යයන් විසින් ප‍්‍රසිද්ධියට පත් නොකරපු රහස් ලියැවිලි අතර සඳහන් වෙලා තියෙනවා, අනගාරික ධර්මපාලත් සමලිංගිකයෙක් වග. ඒ ගැන වැඩිදුර සනාථ කිරීම් නැති නිසා බි‍්‍රතාන්‍යයෝ ඒ ටික එලියට දාලා නෑ. දාලා තිබ්බ නම් අන්තර් ජාතික කුමන්ත‍්‍රණ වලට උදාහරණයක් විදිහට ගන්න තිබුණා මේ දවස්වල. ධර්මපාලගේ අනගාරික ජීවිතය එක්ක එයාගෙ පුද්ගලික ඇත්ත ජීවිතේ ගැන සම්බන්ධය හෙලිදරවු කරමින් ගනනාථ ඔබේසේකර ලියවිල්ලක් කරනවා.

ඒ අනුව ධර්මපාලගේ පියා ඒ කාලෙ අනෙක් මැද පංතියෙ ගොඩක් අය වගේම ප‍්‍රභූ පංතියට පනින්න ද`ගදාපු කෙනෙක් (පසුව මුහන්දිරම්, මුඞ්ලියර් දක්වා ඉහළ ගිය). ධර්මපාලගේ අයියා කෙනෙක් එඩින්බරෝ වලින් වෛද්‍ය උපාධිය ගත්ත ලංකාවෙ පලමුවැන්නා. මේ අතරෙ ධර්මපාල ‘මවගේ ඔඩොක්කුගත’ පිරිමියෙක් වෙන්න ගන්නවා. එයා ඉගෙන ගත්ත මිෂනාරි ඉස්කෝලත්, ළ`ගින්ම ඇසුරු කරපු මිගෙට්ටුවත්තෙ ගුණානන්දත් අතරෙ එයා අනන්‍යතා අර්බුදයකට යනවා. ධර්මපාල කුඩා අවධියේ පටන් ඊඩිපස් සංකීර්ණයේ පැටළුණු කෙනෙක් හැටියට ගණනාථ කරුණු විස්තර කරනවා. මේ ලිංගික අර්බුදය නිසාම ධර්මපාලගේ දුර්වල පෞර්ෂය ‘අනගාරික’ කමට ගිජු වෙනවා. ගුණානන්ද, සරණංකර වැනි බෞද්ධ අලිංගික චරිත වලට ධර්මපාලගේ ආකර්ශනය එන්නෙ මේ තහංචිමය ලිංගික සංකීර්ණයත් එක්ක.

‘කායිකව දුර්වල මාවැන්නෙකු විවාහ ජීවිතයට ඇතුල්වීම සුදුසු නැත. එසේ වුවහොත් මගෙන් උපදින දරුවන්ද දුර්වල, බුද්ධියෙන් අඩු අය වෙන්නට ඉඩ ඇත’

ධර්මපාල තමන්ගේම දින සටහන් අතර ලියනවා. ධර්මපාලගේ පිරිසිදු සිංහල බෞද්ධකම දක්වා දුරදිග යන්නෙ මේ නොහැකියාවයි. දුර්වලකමයි. පරම විඥානාර්තෙ ‘මාර’ වෙන්නෙ මේ විදිහට පුද්ගලයෙක් හැටියටත් සමාජ-දේශපාලනික හැටියටත් ධර්මපාල විඳවන අනන්‍යතා අර්බුදය ඇතුලෙ.

ධර්මපාල අතරමගදි ඕල්කොට් එක්ක තරහා වෙනවා. ඕල්කොට් යුරෝපියානුවෙක් සහ නූතනත්වය හා බැඳුණු චරිතයක් වීම නිසා එයා උත්සාහ කරන්නේ ලෝක මට්ටමේ ආධ්‍යාත්මික ව්‍යාපෘතියකට. ඒත් ධර්මපාලගේ ඊඩිපස් අවුලත්, මිෂනාරි අධ්‍යාපන ක‍්‍රමය යටතේ එයා ගත්ත පුහුණුවත් එක්ක ඕල්කොට්ගේ ව්‍යාපෘතියේ දෙවෙනියා විදිහට ඉන්න එයාට බැරි වෙනවා. එයා ‘ජාතිකත්වය’ මූලික වෙච්ච තැනකට තල්ලූ වෙනවා. ඇත්ත ධර්මපාල එලියට එන්න පටන් ගන්නවා. බුද්ධ ගයාව, දළදාව වගේ ඓතිහාසික තැන් බුද්ධ ධර්මය හැටියෙන් සලකන්න ගැනීම නිසා ඕල්කොට් ධර්මපාලට විරුද්ධ වෙනවා. ‘දන්ත ධාතුව කියන්නෙ සතෙකුගේ ඇටයක්’ ඕල්කොට් එකපාරක් කියනවා. ධර්මපාල සිංහල බෞද්ධකම එක්ක පරම විඥානාර්තෙන් වෙන් වෙනවා. මේ ධර්මපාලගේ සීමිත කම. මේ නිසාම එයාට බැරි වෙනවා ඉන්දියාවෙ වගේ හරිහමන් පුනරුද ව්‍යාපාරයක් කරන්න. ජන ජීවිතය, සංස්කෘතිය එක්ක බැඳිච්ච අලූත් අදහස් පද්ධතියක් වෙනුවට ධර්මපාල අරන් එන්නෙ පරාරෝපණයක්. එලොවටත් නැති, මොලොවටත් නැති ජීවිතයක්. ඒක තමයි ‘සිංහල බෞද්ධකම’.

බුදුන් කවදාවත් ගිහියන් වෙනුවෙන් නොකියපු ගිහි ශික්ෂා වගයක් ධර්මපාල ඉදිරිපත් කරනවා. සිංහල බෞද්ධයන් වෙනුවෙන් හදපු ඒ ශික්ෂා වල හැඳි ගෑරප්පු වලින් කන්නෙ කොහොමද කියල වගේම වැසිකිලි යාමෙන් පසු ටොයිලට් පේපර් පාවිච්චි කරන්න කියලා පවා අඩංගුයි. ගංගොඩවිල සෝම, නලින්ද සිල්වා, අමරසේකර, චම්පික වගේ අයත් සිංහල බෞද්ධ යැයි කියා ගන්නා සකල ජනතාවත් බෙදා හදා ගන්නේ මේ ධර්මපාල උරුමයයි.

ප්‍රොතෙස්තන්ත ක‍්‍රිස්තියානියට දේශපාලන-සමාජ බලය හිමි වෙන්න ගත්තම බෞද්ධයන්ට ඇතිවුණු හීනමානය ඇතුලෙ මිත්‍යාවන් ගොඩනැගුණා. ක‍්‍රිස්තියානින් මරා බුද්ධ ශාසනය නංවන දියසේන කුමාරයා එයින් එකක්. බෞද්ධයන් අතර ධර්මපාල මේ මිත්‍යා චරිතෙ හැඩය ගන්නවා. ඒ නිසාම බෙංගාලි පුනරුදයෙදි රවින්ද්‍රනාත් තාගෝර් වගේ පුළුල් පරාසයක පැතිරෙන්න ධර්මපාලගේ සිතීමට බැරි වෙනවා.

”ධර්මපාලගේ යටත්විජිත මනසට හා අධිකාරවාදී සංවෘත දැක්මට බෙංගාල පුනරුදයේ අරුත් ගෝචර වූ බවක් පෙනෙන්නට නැත. උදාහරණ වශයෙන් තාගෝර් ගේ නවීකාරක චින්තාව ධර්මපාලගේ ද්වේශය ඇවිලවූ බවට පැහැදිලි සාක්ෂි තිබේ. ‘යුරෝපීය ශීලාචාරයට ගරු කරන, සියලූ ජාතීන්ගේ සම්බන්ධය සුන්දර යැයි කියන මොහු කාමභෝගියෙකි’ යනුවෙන් තාගෝර් ගැන ඔහු කියූ කියමන ධර්මපාලගේ සමාජ චින්තාව හකුලා කියන්නාක් මෙනි. බටහිරින් ආ ජාතිකවාදයට තාගෝර් සපුරා විරුද්ධ විය. ‘ජාතිය ගොඩනැගීම සඳහා මිනිසා බිල්ලට දීමේ මුග්ධ මාවත’ තාගෝර් ප‍්‍රතික්‍ෂේප කරන්නේ ප‍්‍රධාන වශයෙන් උපනිෂද් දර්ශනය මත සිට ගනිමිනි. පෙරදිග ආධ්‍යාත්මික දර්ශනයන්ගේ පුළුල් උරුමයෙන් පන්නරය ලබමිනි. යුරෝපයේ පුනරුදය හරහා නැවත ගොඩනැගෙන මානවවාදය තාගෝර්ට ප‍්‍රියවන්නේද එම උරුමය නිසාමය. බටහිර ජාතික රාජ්‍ය මොඩලය ඔහු ප‍්‍රතික්‍ෂේප කරන්නේද එම උරුමය නිසාමය. තත්වය එසේ නම් තාගෝර් යුරෝපීය ශීලාචාරයට යටවී යැයි දොස් නැගීම මහත් උත්ප‍්‍රාසයක් දනවන්නේ නොමැතිද?”

පුරවැසි මංපෙත්

සුනිල් විජේසිරිවර්ධන 223


සිංහල බෞද්ධයා ජාතක වෙන්නෙ මේ හැකිලී වියළුණු ගර්භාෂයෙන්. එහෙම උපන් ධර්මපාලගේ සිංහල බෞද්ධ චින්තාව හිට්ලර්ගේ නාසිවාදයටත් හු`ගක් ළ`ගින් නෑ වෙනවා.

”සිංහලයන් ම්ලේච්ඡු ලේ බිඳක් නැති පිරිසිදු සිංහල ජාතියකි... රටෙ සුළුතර ජනවර්ග සමග සිංහල ලේ මිශ‍්‍ර නොකිරීමට සිංහල ගැහැණුන් වග බලා ගත යුතුය කියන විට මතවාදී වශයෙන් අනුගමනය කළේ ෆැසිස්ට් ජර්මනියේ හිට්ලර්ගේ ආර්යවාදයයි”

-පුරවැසි මංපෙත්

සුනිල් විජේසිරිවර්ධන

මේ අන්තවාදයට යාම පිටුපස තිබෙන්නේ ධර්මපාලගේ පෞර්ෂයේ දුර්වලකමත් ඊටම සරිලන ලෙස සකස් වී තිබුණු සමාජ දේශපාලන පරිසරයත්. මේ දෙක ගැලපී එකතු වුණු තැන අන්තවාදී ජාතිවාදී හිංසනයන් කරා දුර දිග යන්න පුළුවන්. අද සිංහල බෞද්ධ කියන අනන්‍යතාව මේ හිංසනය එක්ක ළ`ගින්ම ගැටගැහෙන්නෙත් මේ විභවයත් එක්ක. සුනිල් ඒක පොතේ පැහැදිලිව ලියනවා.

”අනගාරික ධර්මපාල (හා ඕල්කොට්* විසින් උරදී ඉදිරියට ගෙන එනු ලැබූ බෞද්ධ පුනරුද ව්‍යාපාරය මුලදී අධිරාජ්‍යවාදී පාලනයට සම්බන්ධ වූ ක‍්‍රිස්තියානි පල්ලියට එරෙහි වන බව පෙනුනත්, ඔහුගේ වැඩවසම් යටත්වජිත මනසේ අපූර්ව රසායනය කෙලෙස කි‍්‍රයා කළේද යත්, නොබෝ කලකින්ම එය යටත්විජිත පාලනයෙන් බැට කෑ සුළු ජාතීන්ට මෙන්ම අවශේෂ පෙරදිග ආගමික දර්ශනයන්ට පවා ගර්හා කළ රෝගී ප‍්‍රචණ්ඩ මතවාදයක් වපුරන තැනට පිරිහින”

ධර්මපාලගේ ඇත්ත ජීවිතයේ මේ මධ්‍යම පාංතික බොරුව හොඳටම කැපිලා පෙණුනා. එයා කවදාවත් පහළ පාංතික පිරිස් ගණුදෙනුවට ගියේ නෑ. ඒ වගේම පළවෙනි පංතියේ ටිකට් නැතුව ගුවන් ගමන් ගියේ නෑ (ගාන්ධිට වඩා හු`ගක් වෙනස්*. වැඩවසම් මානසිකත්වයත් එක්ක ධර්මපාල හැමදාම නිලධාරිවාදය විශ්වාස කළා. මේ තැන ඉඳන් ප්‍රොතෙස්තන්ත ප‍්‍රභූකරණයට විරුද්ධ වෙනවා වෙනුවට එයා කොටළු වර්ගයක් නිර්මාණය කරනවා. මේ පොලොවෙ සංස්කෘතික මූලයන් සහ බටහිර නූතනත්වය එක්ක මුහුවුණු දියුණු සංස්කෘතියක් වෙනුවට ධර්මපාල ගේන්නෙ ජීවිතයක් අහිමි, පරාරෝපිත බොරුවක්. හිස්තැනක්. අද දක්වා දේශපාලනීකරණය වෙමින් රටම ආර්ථික, සමාජීය අවපාතයකට ඇදගෙන යන්නෙ එදා ධර්මපාල මූණ දීපු අනන්‍යතා අර්බුදයයි. හීනමානයෙන් ජාතක වුණු සිංහල- බෞද්ධ- ප්‍රොතෙස්තන්ත උරුමයයි.

මොනවා වුණත් එක තැනක ධර්මපාල අතින් ඇත්තක් කියවෙනවා.

”යුරෝපය ප‍්‍රගතිශීලීයි. ඒකෙ ආගමට තියෙන්නෙ එක දවසයි. දවස් හයක්ම ඔවුන් පාලනය වෙන්නෙ විද්‍යාවෙන්. සනීපාරක්‍ෂාවෙන්, සෞන්දර්ය කලා, විදුලිය ආදියෙන්. යුරෝපියානු සහ ඇමෙරිකානු මිනිසුන් දියුණු ඒ නිසායි”

-අනගාරික ධර්මපාල-

ධර්මපාලගේ රෝගී චින්තාව නිසා අපට මගහැරුණු ලංකාවට අවශ්‍ය ව තිබූ ඇත්්ත සමාජ ව්‍යාපාරයක් ඒ කාලෙ වැඩකළේ නැද්ද?

සුනිල් විජේසිරිවර්ධනගේ පුරවැසි මංපෙත් පොතෙන්ම මං කතාව ඉවර කරන්නම්.

‘‘කළු සුද්දාගේ අනුකාරක මාර්ගය සහ ධර්මපාලගේ වික්ටෝරියානු දේශපේ‍්‍රමයට මැදින් කිසියම් තරමක හෝ නවීකාරක ප‍්‍රබුද්ධ හ`ඩක් සිංහල සමාජය තුලින් මතු නොවීද? නිසැකින්ම එබඳු හ`ඩක් මතු විය. එහෙත් අභාග්‍යය එය සමාජයේ ආධිපත්‍යධාරී චින්තා ධාරාවක් බවට පත්වී සමාජ සංස්කෘතික ව්‍යාපාරයක් ජනනය නොකිරීමයි. කෙසේ හෝ වේවා එබඳු ප‍්‍රබුද්ධ නවීකාරක හ`ඩක් නැංවූ චින්තකයන් සහ ලේඛකයන් අතර ප‍්‍රමුඛයා කුමාරතුංග මුනිදාස විය යුතුය”

පුරවැසි මංපෙත් 224



(ආගමෙහි මනෝවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන- ගනනාථ ඔබේසේකරගේ සටහන් ඇසුරින් සකස් කෙරුණි)

-චින්තන ධර්මදාස

Sunday, June 19, 2011

සියල්ල අත්හරින්න. ඒ ගැඹුරු පත්ලට පනින්න.


‘ඔබට යමක් ඇත්තටම අවශ්‍ය නම් මුළු මහත් විශ්වයම ඔබට එය ලබා දීම සඳහා කුමන්ත‍්‍රණය කරනු ඇති’. ඇල්කෙමිස්ට් කතාවෙන් ඔබට කියන්නෙ ඒකයි.

ඔබේ ශක්තිය, ඔබේ තරංග, මොකක් හෝ නමකින් හඳුන්වන ඒ දේ විසින් ඔබ රැුගෙන යනවා ඔබට අවශ්‍ය දේ වෙතට. ඔබේ ශක්තියෙන් සමස්තයේ ආත්මය නොසන්සුන් කරන්න පටන් ගන්නවා. එකකට එකක් සම්බන්ධ සිද්ධි ගණනාවක් ඇති වෙන්න පටන් ගන්නවා.

යම් දෙයක් සිදු වීමට නම් බලවේගයන් රාශියක් එකිනෙක සම්බන්ධව කි‍්‍රයා කරන්න අවශ්‍යයි. භෞතික විද්‍යාවෙන් කියන පරිදි හැමදෙයක්ම අවසාන වශයෙන් තැනී ඇත්තෙ පරමාණු වලින්. මේ සමස්තය ඇතුලෙ ඔබත් එක් පරමාණුවක්. ඔබේ හැම ක‍්‍රියාවක්ම, ප‍්‍රතික‍්‍රියාවක්ම සමස්තය එක්ක සම්බන්ධයි. හැමදෙයක්ම එකිනෙක සම්බන්ධයි.

සමහර වෙලාවට ඔබට දැනේවි මේ විශ්වය ඔබට කතා කරන වග. ඒත් ඔබ කොහොමද තේරුම් ගන්නෙ ඒ භාෂාව. එය අපි කතාකරන භාෂාව නෙවෙයි. පොත්වල ඇති භාෂාව නෙවෙයි. කොහොමද ඒ භාෂාව තේරුම් ගන්න සිද්ද වෙන්නෙ?

ඕනෑම භාෂාවක් ඉගෙනීමට අවදානම් ගැනීම අත්‍යාවශ්‍යයි. වරදිනවාට බය නම් ඔබට බෑ කිසිම අලූත් භාෂාවක් ඉගෙන ගන්න. ඔබ ඇතුල් වෙන්නෙ ඔබ මීට කලින් නොදත් කලාපයකට. ඔබේ දැනීමෙන් පිටතට ඇති විශාල අවකාශයකට. මෙ ඉගෙනීමට නිර්භීතකම අත්‍යාවශ්‍යයි.

විශ්වයේ භාෂාව තේරුම් ගැනීමට ඔබට සිද්ද වෙන්නෙ ඔබේ ‘ඉව’ හරහා. ස්වභාවිකව ඔබට දැනෙන, භාෂාවකට ගෙන එන්නට අපහසු ඒ අපූර්ව ‘දැනීම’ හරහා. සියල්ල අත්හැර ඔබේ ගැඹුරුම තැනින් ඔබ අමතන හ`ඩට පමණක් කන්දෙමින් විශ්වයේ ගැඹුරු පතුලට පනින්න. බිය අත්හරින්න.

දැන් කියන්න. ‘මට මේ භාෂාව තේරුම් ගන්න ඕන’

-පාවුලෝ කොයෙලෝ

නිව්යෝර්ක් ටයිම්ස් හි හොඳම අලෙවිය ඇති නවකතා අතර 179 වෙනි සතිය සමරමින්.

කුමන්ත‍්‍රණකාරී අනෙකා


ලංකාවේ සිනමා විචාර ලියන එක ගැන මම ලියපු ලිපියට මහේස්ත‍්‍රාත් සමන් වික‍්‍රමාරච්චි ගිය සතියෙ උත්තර ලියලා තිබුණ. ඊගල්ටන් කියලා තවත් එයාගෙ යාලූවෙකුත් එක්කන් ඇවිත් හිටියා. මහේස්ත‍්‍රාත්වරයා සෝෂියර්ව පරිස්සං කරන්න ලියපු ඒ ලියමනෙන් මං ගේන්න උත්සාහ කරපු මූල අදහසට අදාල මොකුත් කියවිලා නැති නිසා මං එතන පැටලෙන්න යන්නෙ නෑ. මහේස්ත‍්‍රාත්වරයාගෙ උත්සාහය මං සෝෂියර් ගැන දන්න තරම පරීක්‍ෂා කිරීම වගේ දෙයක්. මගේ අදහස මහේස්ත‍්‍රාත්වරයාගේ සෝෂියර් දැනුමට ලකුණු දෙනවට වැඩි දෙයක්. කියවගෙන යද්දි මට මතක් වුණේ පරණ සෙන් කතාවක්.

දවසක් ප‍්‍රසිද්ද සෙන් ගුරුතුමෙක් මුණගැහෙන්න එනවා ගොඩක් දැනුවත් උගත් ශිෂ්‍යයෙක්. එයා එද්දි සෙන් ගුරුතුමා ප්ලේන්ටියක් බිබී ඉඳගෙන ඉන්නවා ගස්වල කොල වැටෙන දිහා බලාගෙන. ශිෂ්‍යයා ඇවිත් ගුරුතුමා මුණගැහිලා තමන් ආපු කාරණය කියනවා. ඒ අතරෙ තමන් දන්න දේවල් ගැනත් එයා කියන්නෙ කාලාන්තරයක් අමාරුවෙන් කියවපු දේවල් හින්ද.

‘ඔයා අහලා තියෙනවද ගෞතම බුදුන් ගැන? හැම දේකටම මුල් වෙන මමය, මාගේය කියන අල්ලා ගැනීම අයින් කරලා විමුක්තියට යන හැටි පියවරෙන් පියවරට කියලා තියෙනවා නියමෙට.’

ගුරුතුමා හරි සතුටු වෙනවා. ‘හරිම ෂෝක්. එයා අවබෝධයට පත්වෙච්ච කෙනෙක් වෙන්නැති’

‘ජේසුස් ක‍්‍රිස්තුස්ව කියවලා තියෙනවද? අසල්වැසියාට පේ‍්‍රම කරන්න, වෛර නොකරන්න වගේ හරිම සරල මාර්ගයක් ඔස්සේ තමයි එයා විමුක්තියට මාර්ගය කියන්නෙ’

ගුරුතුමා තවත් සතුටු වෙනවා. ‘ෂාාාාා... එයත් අනිවාර්යෙන්ම අවබෝධයට පත්වෙච්ච කෙනෙක් වෙන්නැති’

ගුරුතුමා ප‍්‍රශ්නයක් අහනවා. ‘ඔයා හු`ගක් අවබෝධයට පත්වෙච්ච උත්තමයන්ගෙ දේවල් ඇසුරු කරලා තියෙනවා. ඉතිං මට කියන්න, ඔයාට කියන්න තියෙන්නෙ මොකක්ද? අනිත් අය කියපු කරපු දේවල් වලට වඩා මං ආසයි ජීවිතේ ගැන ඔයාට කියන්න තියෙන දේ අහන්න’.

ශිෂ්‍යයා කවදාවත් ඒ තැන ගැන හිතලා තිබුණෙ නෑ.

මහේස්ත‍්‍රාත්වරයාගේ ලියමන කියවද්දි මට ආපු මූඞ් එක ඒ සෙන් කතාවෙ තියෙනවා. ඊට වැඩි යමක් ඒ ගැන කියන්න යන්නෙ නෑ මං. මම මට කියන්න තියෙන දේ ගැන ලියන්නං.

ඩිස්ටි‍්‍රක්ට් 9 කියන්නෙ නීල් බ්ලොම්ප්කෑම්ප් අධ්‍යක්‍ෂණය කරපු චිත‍්‍රපටියක්. ඒකෙ දකුණු අප‍්‍රිකාවෙ ජොහැන්ස්බර්ග් කියන පලාතට ඉහලින් අභ්‍යවකාශ යානයක් නැවතිලා තියෙනවා. මාස 3ට විතර පස්සෙ රජයේ ආරක්‍ෂක හමුදා ඒ යානයට කඩාවදිනවා. එතනදි මන්දපෝෂණයෙන් දුර්වල වෙලා ගිය පිටසක්වල ජීවීන් තොගයක් ඔවුන්ට මුණ ගැහෙනවා. ඒ ජීවින් ජොහැන්ස්බර්ග් වල ඩිස්ටි‍්‍රක්ට් 9 කියන කලාපෙ පදිංචි කරනවා. මේ පළාතේ සාමාන්‍ය වැසියො මේ ජීවින් ගැන අතිථිභීතිකාවෙන් :ංැබදචයදඉස්* පෙලෙන්න ගන්නවා. තත්වය සංකීර්ණ වෙද්දි, මේ ජීවින් සහ වැසියන් අතර ගැටුම් ඇතිවෙද්දි මේ අයව ඩිස්ටි‍්‍රක්ට් 10 කියන පලාතට මාරු කරන්න රජයට උවමනා වෙනවා. මානව අයිතිවාසිකම් සහ වෙනත් අන්තර් ජාතික රටවල් හා සම්බන්ධතා ගැන දැනීමක් ඇති රජය මේකට ඒ ජීවින්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කැමැත්තක් අනුව ඒ අයව ඉවත් කරන්න උත්සාහ ගන්නවා. (කොම්පඤ්ඤ වීදියෙදි වගේ අපේ රටේ මිනිස්සු අයින් කරන හැටි ගැන අපේ රජයෙන් උපදෙස් ගන්න ඒ අයට අමතක වෙනවා* මේ වැඬේ ඒ අය වෙන කොම්පැණියකට බාර දෙනවා. ප‍්‍රධාන චරිතය ඉන්නෙ ඒ කොම්පැණියෙ. මේ වැඬේ කරගෙන යද්දි අපිට පේනවා ඒ චරිතය කොයිතරම් මේ පිටසක්වල ජීවින් ගැන අතාර්කික සැකයකින් පෙලෙනවද කියල. ඒ අතරෙදි එයා මේ ජීවින්ගෙ ද්‍රාවණයක් වගේ දෙයක් නිසා අසාදනය වෙනවා. ඒ ආසාදනය නිසා පෙරදි ඔහුත් අයත් වුණු රජය සහ සමස්ත අතිථිභීතික ජනතාවගේම ගොදුරක් බවට ඔහු පත් වෙන්න ගන්නවා. ඔහු ත‍්‍රස්තවාදියෙක් වෙනවා. ඔහුට මාධ්‍ය ඔස්සේ ලේබල් වදිනවා. පිටසක්වල ජීවින් හා ලිංගික හැසිරීමක් නිසා ඔහුට ආසාදනය වී ඇති බවත් එය ශීඝ‍්‍රයෙන් පැතිරෙන බවත් කියමින් රජය ජනතාවම අවුස්සන්න ගන්නවා.

මට හොඳටම ලංකාව මතක් වුණා. ‘කුමන්ත‍්‍රණකාරී අනෙකා’ ගැන අපේ රටේ මේ මොහොතේ ජාතික ප‍්‍රවාදය ගැන ඩිස්ටි‍්‍රක්ට් 9 හොඳ කියවීමක් කරනවා.

ජූනි 12 වෙනිදා ලක්බිම නිව්ස් පත්තරේට කුමාර් ඬේවිඞ් ලිපියක් ලියනවා.

‘ලංකාව අසමත් රාජ්‍යයක් කියන්න බෑ. ඒත් මැයි දිනයෙදි එලිදැක්ක අතිථිභීතිකා තත්වය නැවත නැවත එන්න ගත්තොත් ඒකෙන් රට හුදකලා තැනකට තල්ලූ කරයි. වීරවංස විසින් ඇති කරපු ඒ දරුණු තත්වය කොළඹ පලවෙනි වතාවට සිද්ද වුණු ලොකුම ෆැසිස්ට්වාදී ජනතා ප‍්‍රකෝපකිරීම විදිහට සටහන් වෙනවා.’

-කුමාර් ඬේවිඞ්-
මෙතනදි හදිසියෙ ඇතිවෙච්ච තත්වයක් විදිහට කුමාර් ඬේවිඞ් දකින අතිථිභීතිකාව කියන රෝගය අපේ ‘සිංහල බෞද්ධ’ කියන ජනතාවගේ ජානගත උරුමයක්. ඒ ජනතා සංකල්පය හැදෙන්නෙම අතිථිභීතිකාවෙ ප‍්‍රතිඵලයක් විදිහට. අද අපි මහා වීරයො කියලා හඳුන්වන අනගාරික ධර්මපාලගෙ ඉඳන් ගංගොඩවිල සෝම, නලින්ද සිල්වා, චම්පික රණවක, විමල් වීරවංස වගේ අය කතා කරන ජනතාව මේ අතිථිභීතිකාවෙන් පෙළෙන රෝගීන්. මහින්ද රාජපක්ෂ රජයේ ප‍්‍රධාන ජනතා පාලන උපක‍්‍රමය මේ භීතිකාව පවත්වා ගැනීම සහ ව්‍යාප්ත කිරීම. ලංකාවෙ බහුතර ජනතාව රෝගීන් කියලා අපිට කියන්න වෙන්නෙ තුනෙන් දෙකක් ඡුන්දෙ දීලා මේ අතිථිභීතික පාලනය තෝරා ගත් හින්ද. කුමාර් ඬේවිඞ් කියනවා වගේම ඒකෙන් අපි හුදකලා වෙනවා විතරක් නෙමෙයි ඊට වඩා දරුණු ප‍්‍රචණ්ඩ අවකාශයන් කරා තල්ලූ කරනවා.

අතිථිභීතිකාව කියන්නෙ අමුත්තන්, ආගන්තුකයන් විදේශිකයන් පිළිබඳ ඔවුන්ගේ සංස්කෘතිය හා දේශපාලනය පිළිබඳ ඇතිවෙන අහේතුක බිය. කොටින්ම ‘අනෙකා’ ගැන තියෙන (අද අපිට ස්වභාවික වගේ පේන* බය. ජාති, කුල, වර්ග, ගම් ඕනෑම විදිහකට බෙදිලා මේ බය ඇතිවෙන්න පුළුවන්. අනෙකාගේ සංස්කෘතිය, මතය ඉවසන්න බැරි වීමත්, කිසිම පදනමක් නැතුව පාන්පිටි වලට පවා ත‍්‍රස්තවාදී කීමත් ප‍්‍රකට කරන්නෙ අත්ථිභීීතිකා රෝගී ලක්ෂණ. අනිත් රටවලට වඩා විශේෂයක් වෙන්නෙ ඒක අපේ රාජ්‍ය මතවාදයේ කොටසක් වීම. අපේ විදේශ ප‍්‍රතිපත්තියෙ කොටසක් වීම. කිසිම රටක රෝගයක් ප‍්‍රතිපත්තියක් හැටියෙන් පිළිගන්නවද කියල මං දන්නෙ නෑ. (අපේ ජනාධිපතිගෙ යාලූ ඉරානෙ අහමදිනජාඞ්, ලිබියාවෙ ගඩාෆි වගේ අය ඇරණම*
Retiredprof.com කියන බ්ලොග් අඩවියේ, ”ශී‍්‍ර ලංකාවෙ ඛේදවාචකය- යටත් විජිතවාදයේ සිට- අතිථිභීතිකාව හරහා සිවිල් යුද්ධයට” කියන ලිපියෙ හොඳ පැහැදිලි කිරීමක් කරනවා.

‘...(1948න් පසු* ප‍්‍රධාන සිංහල දේශපාලන පක්ෂ දෙක වන යූඇන්පිය සහ ශී‍්‍රලනිපය සිංහල බහුතර ඡුන්ද දිනාගැනීමට තර`ග වැදුණා. 1948-1956 වෙනකල් පාලනය ගෙන ගිය යූඇන්පිය මිශ‍්‍ර ආර්ථිකයක්, පුද්ගලික අංශයේ ව්‍යාපාර සහ පාර්ලිමේන්තු ක‍්‍රමයක් යෝජනා කළා. නමුත් 1956 දි එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක නායකත්වය දුන් ශ‍්‍රීලනිපය සිංහල බහුතරයේ අතිථිභීතික තත්වයන් අවුස්සන්න පටන් ගත්තා. මාක්ස්වාදී පක්ෂ සමග එකතුව බැංකු, කර්මාන්ත ජාතිකකරණයක් ගැන යෝජනා කළා. සිංහල බෞද්ධ අන්තවාදීන් එකතු කරගෙන සිංහල රාජ්‍ය භාෂාව කළා. ඒ ගොල්ලො දිනුවට පස්සෙ සිංහල එකම රාජ්‍ය භාෂාව කරලා රාජ්‍ය සේවයට සහ උසස් අධ්‍යාපනයට, විශේෂයෙන්ම වෛද්‍ය සහ අනෙක් විද්‍යා අංශ වලට දෙමළ ජනතාව ඇතුල් වීම සීමා කරන්න කටයුතු කළා. (ඇෆ්රිකාන්ස්/ බෝයර් කොටස් දකුණු අප‍්‍රිකාවේදි කළා වගේම*’
අපි ඉතිහාසය කියලා අද කියවන්නෙ අතිථිභීතිකාව ගැන ලියවිල්ලක්. මේ වෙනකොට අපිට මානව අයිතිවාසිකම්, සේවක අයිතීන් වගේ දේවල් පවා ත‍්‍රස්තවාදී කුමන්ත‍්‍රණ හැටියට පේන තැනට ඇවිත්. මෙගා ටෙලි නාට්‍ය දවස් හතේම ජනතාව පුරුදු කරන්නෙ අසල්වැසියා සැක කිරීම කියන තැනට. කුමන්ත‍්‍රණකාරී අනෙකා ගැන බිය අපේ සාමාන්‍ය ජීවිතෙත් ඒ එක්කම රටේ දේශපාලනයෙත් ප‍්‍රධාන භූමිකාවක්.

‘අපිට හිනාවෙන්න අනිත් උන් බලන් ඉන්නෙ’ කියන ගමේ ගෑණු කතාවෙ ඉඳන්, ‘මේ ඔක්කොම අපේ ජාතිය විනාශ කරන විදේශීය කුමන්ත‍්‍රණ’ කියන රාජ්‍ය කතාව වෙනකල් අපි විදහා දක්වන්නෙ මේ රෝගය. යුද්දෙ එක්ක අපි දෙමළ අනෙකා ගැන බයෙන් ප‍්‍රචණ්ඩත්වය බාර ගත්තා. අද විදේශීය අනෙකා ගැන බයෙන් ප‍්‍රචණ්ඩත්වය බාර ගනිමින් ඉන්නවා. ලෝකයක් වෙනුවට තනි රෝගී ¥පතක් විදිහට අපි සිතියමේ ලැජ්ජා සහගත තැනකට යමින් ඉන්නවා.
මෑතකදි හාල් වල ආසනික් කතාවක් ඇදගෙන ආපු භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ කැළණිය විශ්ව විද්‍යාලෙ පීඨාධිපති රෙදි ඇඳගෙන කියපු කතාවකින් මාව හිරිවැටුණ. අනුරාධපුරා පොලොන්නරු පළාත්වල වකුගඩු රෝගයට හේතුව ජලයේ ඇති මේ ආසනික් කියලා දැවැන්ත හෙළිදරවුවක් කරන මහාචාර්යවරයා ඒක ගැන කරපු පර්යේෂණය ගැන අහද්දි ‘ඒක අපි දැන ගත්තෙ අදෘෂ්‍යමාන බලවේගෙකින්’ කියලා කියනවා. ඒත් එයා තාමත් කැළණිය විශ්ව විද්‍යාලෙ පීඨාධිපති. දැනගන්න තියෙන හැටියට අදෘෂ්‍යමාන බලවේගය කියපු නිසා එයා කරපු සේවා කාලය දිගු කර ගැනීමකටත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කැබිනට් පත‍්‍රිකාවක් හරහා අනුමැතිය ලබා දීලා. මේ අපේ රටේ විද්‍යාව ගමන් කරමින් ඉන්න තැන.

මහාචාර්ය නලින්ද සිල්වා කියන්නෙ මේ අත්ථිභීතක තත්වෙ රට පුරාම පතුරන රෝග වාහකයෙක්. එයාගෙ අතට භෞතික විද්‍යාව ගියාම ඒක පාරභෞතික මිත්‍යාව කරා ගමන් කරන්නෙ ඒ හින්ද. භයානකම තත්වෙ තමයි ඒ අදහස් අනුමත කරන රාජ්‍ය පරිපාලන ව්‍යුහයක් සහ ජනතාවක් ඉන්න එක. හැම දෙයක්ම වගේ මේකත් තනිකර මහින්ද රාජපක්ෂගෙ ප‍්‍රශ්නයක් නෙමෙයි. මේක අපේ ඓතිහාසික උරුමයක්. කොටින්ම අපේ මාක්ස්වාදය සහ පශ්චාත් නූතනවාදය පවා මේ රෝග ලක්ෂණ වල ගිලූණා. උදාහරණයක් විදිහට පශ්චාත් නූතනවාදය ප‍්‍රකාශයට පත් කළ ඞ (එක්ස්* කණ්ඩායම පවා ඒ කණ්ඩායමෙන් පිට අය එක්ක හිනා වෙන්න පවා තහනම් කළා. පිට හැම කෙනෙක්වම සැක කිරීම සහ ප‍්‍රහාර එල්ල කිරීම ප‍්‍රධාන භාවිතාව විදිහට ගත්තා.
මේ වෙද්දි හැම තිස්සෙම අනෙකා ‘ත‍්‍රස්තවාදියෙක්’ නැත්නම් ‘කුමන්ත‍්‍රණකාරයෙක්’ කියන එක සාමාන්‍ය ඇත්තක්. රාජ්‍ය මට්ටමෙන් මාධ්‍ය සහ යුද ප‍්‍රදර්ශන කොටින්ම වෙසක්, පොසොන් ආදී බෞද්ධ යැයි කියන සැණකෙලි ආදියෙන් පවා උඩට ගේන්නෙ මේ අතිථිභීතිකාව. වෙසක් පෝය වෙනුවෙන් ටීවී එකට ආපු ඇල්ලේ ගුණවංස හාමුදුරුවො වෙසක් එකට බල්බ් ගේන්න දෙන්නෙ නැති එක පවා විජාතික බලවේග වල කුමන්ත‍්‍රණයක් කියලා කියනවා මං අහගෙන.

මේ අතරෙ 2009 මානව අයිතිවාසකම් පිළිබඳ 10 වන සැසිවාරයෙදි ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක සභාපතිවරයා ඉදිරියේ ප‍්‍රකාශයක් කරනවා.

‘ජාතිවාදය, අතිථිභීතිකාව හා සම්බන්ධ ප‍්‍රචණ්ඩත්වය රට තුල සහ රටවල් අතර, ජාතික සහ අන්තර්ජාතික සාමයට සහ ආරක්‍ෂාවට තර්ජනයක් වෙමින් තිබෙනවා. මේ නිසා අන්තර් රාජ්‍ය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අභිප‍්‍රායන් සපුරාලමින් ජාතිවාදය සහ අතිථිභීතිකාව තරන් කිරීමට මුළුමනින් කැපවී කටයුතු කිරීම අපේ වගකීමක්ි. එම පොදු අරමුණ වෙනුවෙන් ජයගත යුතු ඉලක්කයන් කාර්යක්‍ෂමව ජයගැනීමට මම ඇපකැප වෙමි’

මේ ප‍්‍රකාශය ඇත්තට කළා නම් දයාන් ජයතිලක ඩිස්ටි‍්‍රක්ට් 9 චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය මෙන් ‘ත‍්‍රස්තවාදියෙකි’. ‘කුමන්ත‍්‍රණකරුවෙකි’. එය බොරුවට කළා නම් ඔහු ද තවත් එක් රෝගියෙකි. එන්ජී ඕ සහ සියලූ වෙනස් සංස්කෘතික හා දේශපාලන මතවාද තහනම් මොහොතක ඒ වෙනස ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීම කුමන්ත‍්‍රණකාරීන්ගේ ලැයිස්තුවට වැටිය හැකි කරුණකි. මේ නිසා ලේසි දේ වෙන්නේ රටම ‘පිස්සු’ වෙද්දි ඒ පිස්සුවෙ තවත් එකෙක් වෙන එකය.

-චින්තන ධර්මදාස

Monday, June 13, 2011

පාවුලෝ කොයෙලෝ- බ්ලොග් එක.




දවසක් මගෙන් කෙනෙක් ඇහුවා, ‘මොකක්ද ඔබ මැරුණට පස්සෙ සොහොන් කොතේ ලියන්න ඕන?’
’මාව ආදාහනය කරාවි. ඒත් නිකං හරි මට සොහොන් කොතක් තිබුණ නම් ඒකෙ ලියාවි, ‘පාවුලෝ කොයෙලෝ මියගියේ ඔහු ජීවත්ව සිටිද්දීයි’ කියල.

‘මොකක්ද ඒ? හැමෝම මැරෙන්නෙ ජිවත්ව ඉඳිද්දි තමයිනෙ කොහොමත්? එතකොට එයා ඇහුවා.

‘නෑ. ඒක ඇත්ත නෙමෙයි.එකම විදිහකට දේවල් නැවත නැවත සිද්ද වෙනවා නම්, එයා තවදුරටත් ජීවත් වෙනවා නෙමෙයි. ජීවත්ව ඉඳිද්දි මැරෙන්න නම් අවදානම් බාර ගන්න ඕන. එහෙම ඉන්න නම් ඒකට ගෙවන්න සිද්ද වෙනවා’

සමහර වෙලාවට යම් දේකට කැමති නිසා හරි අකමැති නිසා හරි, බය හිතෙන ඒත් ඔබ කළ යුතුම වන දේවල් කරන්න සිද්ද වෙනවා.

මං හිතන්නෙ නෑ සියදිවි නසා ගැනීම විකල්පයක් කියල. ඒත් අපිට ජීවිත කාලයකදි කීප වතාවක්ම මැරෙන්න සිද්ද වෙනවා, ජීවිතය තේරුම් ගන්න. මෙතනදි ‘මැරෙනවා’ කියන්නෙ පරණ වටිනාකම් වලින් වෙන් වෙන්න සිද්ද වෙන එක සහ අපි නොදන්නා කලාපයක් දක්වා යන්න සිද්ද වෙන එක. එතන අපිට අනාරක්‍ෂිත බවක් දැනෙන නමුත් අපිට යම් තෘප්තිමත් හැ`ගීමක් ගේන නිසා ඒ අලූත් තැනට යන්න සිද්ද වෙනවා.

සමහර සොහොන් කණු වල මෙහෙම සටහන් තිබුණා.

‘උත්සාහ කරන්න එපා’ – චාල්ස් බුකොව්ස්කි.

‘හොඳම දේ තාම ආවෙ නෑ’ ෆ‍්‍රෑන්ක් සිනාට‍්‍රා

‘මම ලෝකය එක්ක පෙම්වතුන් අතර මෙන් දබරයක් අරගෙන ගියා’ රොබර්ට් ෆ්‍රොස්ට්

‘අන්තිමට මං නිදහස්. සර්ව බලධාරී දෙවියන්ට ස්තුතියි. අන්තිමට මං නිදහස්.’ මාර්ටින් ලූතර් කිං

‘ලෝකයක් ප‍්‍රමාණවත් නොවූ ඔහු දැන් මේ සොහොන් කණුවෙන් වැසී ඇත’ – මහා ඇලෙක්සැන්දර්

‘ඔබේ ආත්මයට සත්‍යය’ ජිම් මොරිසන්

දැන් ඔබ මට කියන්න. ඔබේ සොහොන් කණුවේ ලියන්නෙ මොකක්ද?

පරිවර්තනය- ව්‍යාධදේව

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු


මහා සිංහලයේ වංසකතාව ලියූ ජැක්සන් ඇන්තනි අලූත්ම ඓතිහාසික සත්‍යයක් රණවිරු සුපර් ස්ටාර් හිදී එලිදරවු කළා. ඒ අපේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගෞතම බුදුන්ගේ ලේ ඥාතියෙක් බවයි. රාජාවලිය ඒ අතට මේ අතට පෙරලා ගෞතම බුදුන් හා දුෂ්ට ගාමිනී ලේ ඥාතීන් වග තීන්දු කළ පසු එයා දුෂ්ට ගාමිනී සහ මහින්ද රාජපක්‍ෂගේ ලේ ඥාතීත්වය කැප කොට තීන්දු කළා. මීට කලින් ජැක්සන් චිත‍්‍රපටියක් කරමින් පණ්ඩුකාභයගේ තාත්තා චිත‍්‍රසේනව ජේසුස් වහන්සේට ඇන්දුවා. ජැක්සන් මේ කරන වැඬේට මං හරි කැමතියි. මට අනුව ජැක්සන් හොයා ගත්ත වැදගත්ම කාරණේ මහින්ද රාජපක්‍ෂ සහ ගෞතම බුදුන්ගේ ලේ ඥාතීත්වය නෙවෙයි. ලංකාවේ ඉතිහාසය කියන්නෙ සත්‍යයක් නොව ජෝක් එකක් බව සහතික කොට ප‍්‍රකාශ කිරීමයි. මහාවංසෙ කියන ප‍්‍රබන්ධය හැමදාම ඒ කාලෙ හිටපු රජාට පක්ෂ විදිහට ලියපු බොරුවක් කියලා ජැක්සන් තේරුම් ගත්තා. පුරාණ මහාවංස කතුවරුන්ට අනුව යමින් ජැක්සන් නූතන මහාවංසෙ මහින්දට පක්ෂය ලියන්නෙ ඒ හින්ද.

‘ඔව්හු (සිංහලයෝ* ඇ`ගට පතට නොදැනී බොරු කියති. නොඅසුවන බොරු වලට වඩා අසුවන බොරු කීමටද ඔව්හු සමත්ය. ඔවුන්ගේ බොරු නිතරම එළිදරවු වන්නේය. එහෙත් එය නින්දාවට කරුණක් ලෙස ඔවුන් සළකන්නේ නැත’

-එදා හෙළදිව

රොබට් නොක්ස්
ජැක්සන් මේ වගේ සොයා ගැනීමක් එළි කරන්න කලින් වෙසක් දවසෙ අත්තනායක එම් හේරත් ටීවී එකේ බණ කිව්වා. එයා කියන විදිහට ඉස්සර අද වගේ දානෙකට පස්සෙ හාමුදුරුවරුන්ට ෂොපින් බෑග් වල දාලා පිරිකර අතට දෙන්නෙ නෑලූ. ඒ වෙනුවට පිරිකර අරන් පන්සලට යනවලූ. විහාර මහා දේවි මේ විදිහට පිරිකර අරන් පන්සලට ගිහින් හාමුදුරුවන්ට කිව්වලූ එයාට දරුවෙක් දෙන්න කියල. ඇස් දිහා එක එල්ලේ හාමුදුරුවෝ බලන් හිටපු ටිකට විහාර මහා දේවි ගැබ් ගත්තලූ. ගැමුණු කුමාරයා ඉපදුනෙ එහෙමලූ. එතකොට මහින්ද රාජපක්‍ෂ ලේ ඥාතීත්වය දරන්නෙ එහෙම හාමුදුරුවන්ගෙ ඇස් දිහා බලන් ඉඳපු එකෙන් උපන් ගැමුණුට.

අත්තනායක කථිකාචාර්යවරයා තව කතාවක් එතනදි කිව්වා. එයා ඉස්කෝලෙ සිංදු කියන්න ගියාම එයාගෙ ගුරුවරයා එයාට ගැහුවලූ පයින් එකක් කියපු සිංදුව කැත හින්ද. එදා ඉඳන් කවදාවත් එයා සිංදු කිව්වෙ නෑලූ. ඒ පයින් පාර එයාට සදා අමරණීය සිහිවටනයක් වුණාලූ.
මේ අතරෙ ස්වාධීන රූපවාහිනියෙ වෙනස කියලා වැඩසටහනක් පටන් අරන්. ඒක ගෙවල් වල යක්කු භූතයො එළවන තොවිල්කාරයො ප‍්‍රසිද්ද කරන තුට්ටු දෙකේ වැඩසටහනක්. ඒකට දැවැන්ත ජනතා ප‍්‍රතිචාරයක් ලැබෙන අතරම දැන් ඒකෙ උණුසුම් ප‍්‍රතිඵල ඇතිවෙන්න පටන් අරන්. මේ වෙද්දි මොණරාගල ගමක්ම මේ යක්ෂ උවදුරකට අහුවෙලා කියලා ස්වර්ණවාහිනියෙ කිව්වා. දැන් යක්කු වැහෙන්නෙ ගම් පිටින්. හන්දි ගානෙ තොවිල්. චැනල් ගානෙ පිරිත්.
මේ සිද්ධි ටික පෙළට ලියාගෙන ගියේ ලංකාව මේ වෙද්දි යමින් සිටින මානසිකත්වය ගැන කෙටි වැටහීමකට. දැන් රටක් පිටින්ම අපි මානසික රෝගීන් වෙන්න අරගෙන. ඇත්ත බොරුව ගැන හිතා ගන්න බැරි, අනාගතයක් දිශාවක් නැති, අරමුණක් පේන තෙක් මානෙක වත් නැති සමාජයක් හැටියට අපිට දැන් පිස්සු. සකල බුද්ධාගම ම ඒ මානසික රෝගයේ ප‍්‍රකාශනයක් වෙලා. පිරිත්, බණ ෆැෂන් එකකට වඩා ලෙඩක් ගාණට ඇවිත්. ඉතිහාසය කැමති කැමති විදිහට ලියන්න පුළුවන් වෙලා.



‘සමූහ හිස්ටීරියාව කුඩා, ළඟින් බැඳුණු, විශේෂයෙන් ම හුදකලා වුණු ප‍්‍රජාවන් තුළ වඩාත්

බහුල ය’ - www.wisegeek.com/what-is-mass-hysteria.htm
දැන් අපේ සංස්කෘතිය තවත් කිසිවක් හා ගැටෙන්නේවත් ගැටෙමින් අර්ථ නිපදවන්නේ වත් නැහැ. උතුරේ දෙමළ සංස්කෘතිය අපි සහමුලින්ම විනාශ කරලා ඉවරයි. අපේ අනෙකාව විනාශ වුණු තැන් පටන් අපි අපේම සයිකෝසීය ලෝකෙක අතරමං. ‘අපේ ඉතිහාසය’, ‘අපේ සංස්කෘතිය’, ‘අපේ බුදුදහම’ වගේ නානා විධ විකාර මාධ්‍ය ඔස්සේ ජීවිත වලට කාන්දු වෙන්නෙ ඒ හිස්තැන හරහා. සිංහල බෞද්ධ ගුලියක් ඇතුලෙ අපි අපේම මනකල්පිතයක් නිපදවාගෙන. පිටරටින් එන හැම එකක්මත් විදේශීය කුමන්ත‍්‍රණ, ත‍්‍රස්තවාදී සැලසුම් වගේ ප‍්‍රවාදයන් හරහා අපේ දේශපාලනික/සංස්කෘතික ප‍්‍රකාශකයන් දැනුවත්ව සහ උන්ම නොදැනුවත්ව රට තල්ලූකරන්නෙ මේ ආගාධයට. අනෙකෙක් නැති අපි මවා ගත් අපිම පමණක් ඉතිරි අන්ධකාරයක්. නිෂ්පාදනයක්, ආර්ථිකයක් හෝ සංසන්දනාත්මක කිසිම විෂයික තත්වයක් එතන ඉතිරි නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නෙ මට අනුව පුද්ගලයෙකුට වඩා මේ ව්‍යාධියෙ රෝග ලක්ෂණයක්. මහින්ද චින්තනය කියන්නෙ ඒ රෝගයෙ පැතිරීම. සිනමාවට, සංගීතයට, සාහිත්‍යයට හෝ කලාවට මේ මතවාදී හිස්කම විනිවිදින්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව මේ ව්‍යාධිය අපේ ගැඹුරුම තැනක් එක්ක සම්බන්ධ වීම. ඒ අපි ජාතියක් වශයෙන් පෙලෙන අනාරක්‍ෂිත බව පිළිබඳ හැ`ගීම. ඒක හැම ජීවිතයකම ප‍්‍රකාශනයක් බවට පත්වෙලා. අපි සමාජයක් වශයෙන් තීන්දු කරලා තියෙන්නෙ ආපසු අතීතයට හැරෙන්නයි.

‘..ඉන් (අපේකම/අපේ සංස්කෘතිය** ජනනය කෙරෙන සංස්කෘතික ආධ්‍යාත්මික ගැටළු හා රෝගී තත්වයන් කිහිපයක් හඳුනා ගැණින. ඒවා අතර ආත්මාර්ථකාමී බව, ස්වයං කේන්ද්‍රීය දෘෂ්ටිය ‘අනෙකා’ තමා සේම මනුෂ්‍යයෙක් ලෙස නොපෙනීමේ රෝගය, අනෙකා කෙරෙහි වූ සැක සහ බිය, නිවට බව, දීනකම, කුහකකම යනාදිය අවධානයට හසුවිය.’

පුරවැසි මංපෙත්-
සුනිල් විජේසිරිවර්ධන

නැවත ඒ කියන ‘අපේකම’ ට යනවා කියන්නෙම මේ කියන ලක්ෂණවලට සමාජයක් හැටියෙන් වැඩි වැඩියෙන් අඩංගු වීමයි. ලෝකයේ ගණුදෙනු කරන දැනුම සහ සංස්කෘතික අවකාශයන් එක්ක පෑහෙන්න අපිට තිබුණු නොහැකියාවම බලයක් නැත්නම් දේශපාලනයක් වශයෙන් තහවුරු කර ගැනීමත් එක්ක අපි ලෝකෙන් තනිවෙන්න තීන්දු කරලා. මහින්ද ලෝකයේ වෙනත් රටවල අත්සන් කරන ගිවිසුම් සහ විදේශයන් සමග එළඹෙන රටට විශාල වශයෙන් හානිකර ව්‍යාපෘතින් වගේම අපේම රටේ සේවක අරගලයන්වලදී මිනිසුන්ට වෙඩි තැබීම වගේ දේවල් වුණත් සාධාරණීකරණය කරන්න පුළුවන් ඉඩක් සහ පිළිගැනීමක් ගොඩනැගෙන්නෙ මේ අනාරක්‍ෂිත බවේ සහ දරුණු හුදකලාවේ ප‍්‍රතිඵලයක් විදිහට.
යුද්ධයෙන් දෙමළ ජනතාව පැවැත්මක් වශයෙන් සහමුලින්ම අවසන් කිරීමත් එක්ක, බුදු දහම වැනි අපගේ අධ්‍යාත්මික දොරටු පවා හුුදු ජාතිවාදී හීනමාන තත්වයන්ට ලඝු කිරීමත් එක්ක, අපි වත්තේ අල බතල වවාගෙන ජීවත් වෙන තැනක් දක්වා හුදකලා වෙන්න ගත්තා. නොදැනුම සහ අසංස්කෘතිය බලයක් හැටියට පාවිච්චි වෙන්න පටන් ගත්තා. කොටින්ම අද උතුරේ දෙමළ ජනතාව යුද්ධයේදි අසාධාරණ හැටියෙන් මරා දැම්මේද කියන එක ගැන පරීක්‍ෂණයක් පවත්වනවාට පවා අපේ සිංහල බෞද්ධයා විරුද්ධයි. ඒක ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් මිස මානව අයිතිවාසිකම් පිළිබඳ කොන්දේසියක් හෝ එකගතාවයක් හැටියෙන් දකින්නවත් අපේ සිතීමේ ඉඩක් නැහැ. මෑතක ආණ්ඩුවට පක්ෂපාත ත‍්‍රීවිලර් සමාගමක හැම ත‍්‍රීවිලරයකම පිටිපස්සෙ ගහලා තිබුණෙ ‘කුමන්ත‍්‍රණ පරදවමු’ කියල. රටට එන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරී තත්ව ගැන ක‍්‍රියාත්මක වෙන්න තරමට අපේ ත‍්‍රීවිල් ජනතාව පවා දැනුවත් වෙලාද? නැත්නම් මේ වචන පිටිපස්සෙ තියෙන්නෙ ජාතියක් වශයෙන් අපි සාමූහිකව ගොදුරු වේගෙන යන දරුණු මානසික රෝගයක්ද?
‘සියලූ මානසික ප‍්‍රබෝදයන් සහ අතිරික්තයන් දේශපාලනික කාර්යයක් හෝ මතවාදී න්‍යායපත‍්‍රයකට සේවය කිරීම හැඳින්වීමට සුදුසු ම නම දේශපාලන සමූහ හිස්ටීරියාවයි. මෙබදු දේශපාලනයන් සැම විට ම අමතන්නේ මනසේ ගැඹුරුම පතුලේ ඇති ඊර්ෂ්‍යාව, කෑදරකම බඳු හැඟීම් ය. ’

http://drsanity.blogspot.com/2006/10/political-mass-hysteria-and-neo.html
තවදුරටත් ලංකාවේ මානසික රෝග කියලා දෙයක් නැහැ. ඒවා රූපවාහිනී වැඩසටහන් මගින් සාමාන්‍ය සහ සැබෑ බවට අර්ථකතනය වෙමින් යනවා. භූත, පේ‍්‍රත, පිසාච සහ සියලූ වර්ගයේ ආගමික මිත්‍යාවන් අපේ විද්‍යාවන් බවට පත්වෙමින් යනවා. ජනතාවම පරම හොඳ වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ගේම ඇත්ත ස්වභාවය ප‍්‍රතික්‍ෂේප කරමින් සිටිනවා. ඒ කියන්නෙ අපි අපි විදිහටම දෙකට පැලිලා පුහු සදාචාර අර්ධයක් විතරක් පිළිගනිමින් සැබෑ ආශාවන් සහ උවමනාවන් සහිත අර්ධය යටපත් කරන්න අරගෙන. වෙන්න තියෙන දේ මොකක්ද? දරුණු නොදැනුමක් අවිශ්වාසයක් අනාරක්‍ෂාවක් අතර අපි සමූහ පරාරෝපණ තත්වයක් ස්වභාවික හැටියෙන් පිළිගැනීමයි. රෝගය නිරෝගී බව ලෙස සහ සාමාන්‍යය රෝගී/එන්ජී ඕ/විජාතික කුමන්ත‍්‍රණ බවට තහවුරු වීමයි. මොණරාගල සාමූහික භූතාවේශය වගේම වඩාත්ම ජනප‍්‍රිය ගුවන් විදුලි නාලිකාව වෙන්නෙ වැඩියෙන් පිරිත් ප‍්‍රචාරය කරන එක වීම පිටිපස්සෙ තියෙන භයානක ඇත්ත ඒකයි. ඉතිහාසය පර්යේෂණයක් වෙනුවට මිත්‍යාවක් දක්වා ගෙන යාම සහ බණ පද ආශ‍්‍රයෙන් ශිෂ්ටාචාරයක් වශයෙන් ප‍්‍රතික්‍ෂේප වුණු දේවල් නැවත සමාජගත කිරීම (දරුවන්ට පහර දීම, අනෙකාට තමන්ගේ මතය විශ්වාස කිරීමේ අයිතිය* වගේ තත්ව ඇතිවෙන්නෙ මේ අන්ධකාරය ඇතුලෙ.
මේ තත්වය හුදු මහින්ද රාජපක්ෂ ගෙ නිර්මිතයක්ද? නැහැ. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මේ රෝගී තත්වය විසින් කළ නිර්මාණයක්. එයා මේක දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරනවා තමයි. ඒත් මේ ප‍්‍රජා මානසිකත්වයෙ ගතිකයන් වල කිසිම පාලනයක් කිසිවෙක් අතේ නැහැ. ජැක්සන් ඇන්තනි මහින්දව ගෞතම බුදුන්ගෙ නෑයෙක් කරලා ලැජ්ජ නැතුව ගෙදර යනවා. ඒක ජැක්සන් ඒ වේදිකාව උඩදි හදපු කතාවක්ම නෙමෙයි. ඒක මේ රටේ ජනතාව නිර්මාණය කර දුන් ප‍්‍රබන්ධය. ජනතාවට අවශ්‍ය ඉතිහාසය. බුදුන්ගේ අවිහිංසාවාදය, තෘෂ්ණාවෙන් අත්මිදීම සහ අනිත්‍ය දුක්ඛ අනාත්ම මූලික දර්ශනය වෙනුවට ජනතාව විශ්වාස කරන අනෙකා විනාශ කර දැමීම, මිත්‍යාව, සහ හීනමානය බුද්ධ දර්ශනය හැටියෙන් පිලිගැනීම දැනට කාලයක් තිස්සෙ අපේ රටේ කරගෙන ආවා. ඒක ඉතිහාස කාරණයක් වශයෙන් ගෙනහැර දැක්වීම විතරයි ජැක්සන් එදා කළේ. බුදුන් වදාල ධර්මය හා මහින්ද චින්තනය යනු දෙකක් නොව එකක් යන අර්ථයයි එදා එයා තීන්දු කොට නිවාරණය කර දුන්නෙ. ජනතාවට තියෙන්නෙ සාධුකාර දෙන එකයි.
ජනතාවක් සහ රටක් විදිහට මේ අපායට අපි යමින් ඉන්නෙ ඇයි? පෙර වකවානු වලදි මෙබඳු අවිද්‍යාවන්ට සහ ප‍්‍රලාපයන්ට එරෙහි ඒ වගේම වෙනත් දියුණු සංස්කෘතින් හා ගැටෙන සංවාද කතිකාවන් රටේ මතු වුණා. වෙනත් සංස්කෘතික අවකාශ නිර්මාණය වුණා. ඒත් යුද්ධයේ අවසාන භාගය වෙනකොට ගංගොඩවිල සෝම ප‍්‍රමුඛ හීනමානී, හුදකලා, අපරිණත මතවාදයක් රටේ සමස්ත අවකාශයෙ අරක් ගත්තා. තිස් වසරක අවසානයක් නැති යුද්ධය ඇතුලෙ සිවිල් පුරවැසි සමාජය අහෝසි වෙන්න ගනිද්දි මේ තනි ගුලිය ඇතුලට සියල්ලෝ ගමන් කළා. ඉතිරි අය නිහ`ඩ වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නෙ ඒ සමස්තය ඇතුුලෙ. කොළඹ සහ නාගරික ජනතාව අමාරුවෙන් ගොඩනගා ගත් දැනුම සහ සංවාද එහෙම්පිටින්ම අවලංගු කරගෙන මේ ජාතිවාදී ගොහොරුවට පැතිරෙන්න ආර්ථික සමාජ සංස්කෘතික කොන්දේසි හැදුණෙ යුද්ධයත් එක්ක ආපු මේ අනාරක්‍ෂාව ඇතුලෙ. අදත් මහින්ද තමන්ගේ බලය තහවුරු කර ගන්න මේ ත‍්‍රස්තවාදය තියන වචනය පාවිච්චි කරන්නෙ මේ මානසිකත්වයට කතා කරන්න. මේ රෝගයට ආමන්ත‍්‍රණය කරන්න. පාන්පිටි වලට පවා ත‍්‍රස්තවාදය කියන තරම් භීතියකට ජනතාව ගෙනියන්න මේ භෞතිකයට පුළුවන් වුණා. ඒ වෙනකොට සිවිල් සමාජ කතිකාව සම්පූර්ණයෙන්ම නිහ`ඩයි. විදේශයන් ගෙන් හුදකලා වුණු කොදෙව් මානසිකත්වයක් එක්ක සිතීමක් නැති ඇදහීමක් විතරක් ඇති ‘ප‍්‍රජාවක්’ දක්වා රට ඇදගෙන ගියා. සිංහල බෞද්ධ බොරුව අපේ ආධ්‍යාත්මික මාර්ගය වුණා. ඒකට අනුව ප‍්‍රභාකරන් සහ දෙමළ ජනතාව ඉවර කර දැමීම බුදුන් විසින් වදාල ධර්මයේ කොටසක්.

අපි යුද්ධය දිනුවා. අපේ උතුරු නැගෙනහිර අපි සමග බැඳුණු අපේ විසංවාදය අපි ඉවර කළා. අනෙකෙක් නැති ¥පතක් ඇතුලෙ අපි අපේ අනාරක්‍ෂිතබවේ දේශපාලනයක් රාජ්‍යයක් වයෙන් පිහිටෙව්වා. ඒ රාජ්‍යය තුල නිදහස, අයිතීන්, බඩගින්න, දිළිඳුකම හෝ කිසිම සැබෑ ශිෂ්ට කොන්දේසියක් අදාල නෑ. ඒ වෙනුවට අපි භූතයො පේ‍්‍රතයො සහ ත‍්‍රස්තවාදීන් ගහන අපිම නිර්මාණය කර ගත් මිත්‍යාවක් අදහමින්. ඒ මිත්‍යාවෙන් අපේ ජීවිත වලට අර්ථයක් දෙන්න පටන් ගන්නවා. හොරකම්, වංචා, ¥ෂණ, මිනිමැරීම් වගේ දේවල් කරන තනි තනි සිංහල බෞද්ධයා සාමූහිකව විශ්වාස කරන්නෙ ජාතිය රකින, අනුන් වෙනුවෙන් කැපවුණු පරමාදර්ශී සිංහල බෞද්ධකමක්. තුලනාත්මකව සහ සංසන්දනාත්මකව බැලීම කියන අදහස පවා රටේ සිතීමෙන් ඉවත් වුණා. ඒ නිසා සේවක අයිතීන්, විශ්ව විද්‍යාල අධ්‍යාපන, විරැුකියාව වගේ ප‍්‍රශ්න මේ දේශපාලනයේ නැහැ. ඒවා ත‍්‍රස්තවාදී හෝ භූතදෝෂ විදිහටයි ගන්න වෙන්නෙ.
තාමත් රටේ පොදු ජනතාව ජීවත් වෙන්නෙ යුද්ධයක් ඇතුලෙ. යුද්ධයක් අවසානයෙ සංස්කෘතික අවකාශයන් යලි නිර්මාණය කිරීමේ අවස්ථා ඇති කරනවා වෙනුවට රජය රට මේ මානසිකත්වය ඇතුලෙම අරගෙන යන්න තීන්දු කළා. ඒ භාෂාවම, ඒ අර්ථයන්ම පාවිච්චි කරමින් පාලනය ගෙනියනවා ඇරෙන්න ඒ අවකාශයෙන් එළියට මේ ආණ්ඩුවට පැවැත්මක් නෑ. අපි මේ කරමින් ඉන්නෙ යුද්ධය දිගට පවත්වාගෙන යාමක්. යුද මානසිකත්වයෙන් එලියට එන්න රට ඇතුලෙ සමාජයක් විදිහට බලවේගයන් ක‍්‍රියාත්මක වුණේ නැහැ. අනෙක් අතට ඒ බලවේගයන් ත‍්‍රස්තවාදී හැටියෙන් වාරණයට ලක්වුණා.
මේ විදිහට යන්න පුළුවන් නම් අවුලක් නැහැ. ඒත් විජාතික කුමන්ත‍්‍රණ කිය කිය හෝ අපිට සිද්ද වෙනවා වෙනත් රටවල් එක්ක ගණුදෙනු කරන්න. ඒ රටවල් එක්ක ආර්ථික දේශපාලන හා සංස්කෘතික දේවල් හුවමාරු කර ගන්න. ඒ වගේම ඔවුන් අපේ රට මේ වෙනකොට පිරිහුණු සමාජ දේශපාලන තත්වයක් හැටියෙන් හඳුනගෙන ඉවරයි. ජිනීවා වල සාකච්ඡුා සහ එක්සත් ජාතීන්ගේ ප‍්‍රතිචාර වලින් පැහැදිලිව පේන ඇත්ත ඒක. තවදුරටත් වෙන රටක අපිට ලංකාවෙ පුරවැසියෙක් කියලා රෙද්දක් ඇඳගෙන කියන්න බෑ. අපි ශිෂ්ටත්වයෙන් එලියට තල්ලූ වෙලා.

ඉතිං අපි ජැක්සන් කියන ඉතිහාස කතා අහගෙන ඉන්නවා. ආයිමත් රජෙක් රජකම් කරන යුගයක් අදහන මානසික රෝගීන් විදිහට හැම ශිෂ්ට සංස්කෘතික මුණගැසීමක්ම කුමන්ත‍්‍රණ කියලා උපවාස කරනවා. මහින්ද රාජපක්ෂගේ ලේ නෑයෙක් වෙච්ච ගෞතම ( ඇත්ත ගෞතම බුදුන් නෙමෙයි* ගෙ බණ අහලා නිවන් දකින්න සාධුකාර දෙනවා.

-චින්තන ධර්මදාස