Tuesday, August 24, 2010

ජැක්සන් කොපෝලා සහ බඹර වළල්ල


බඹර වළල්ල චිත‍්‍රපටිය බලන්නට මගේ කකුල් දෙක ඉක්මන් නොවූ කාරණා දෙකක් තිබුණේය. එකක් එය හූස්ටන් යැයි කියන සම්මාන උළෙලකින් හොඳම අධ්‍යක්‍ෂණයට හා කැමරාවට සම්මාන ගත්තේ යැයි දාගෙන ගිය ලොකු සද්දයයි. හූස්ටන් යනු චිත‍්‍රපටි ගැන දන්නා කිසි කෙනෙක් ගණං නොගන්නා ඒ වගේම එම උළෙලට ඉදිරිපත් කරන ඕනෑම චිත‍්‍රපටියකට මොකක් හෝ වර්ගයක සම්මානයක් දෙන වර්ගයේ දෙකේ කොලේ සම්මාන උළෙලකි. ඒ සම්මානයෙන් පිදුම් ලැබුවේ නැති අධ්‍යක්‍ෂකයින් ලංකාවේ ඉන්නේ අතලොස්සකි. ඒත් සම්මාන උළෙලේ තරම දැනගත්තායින් පසු ඒ කවුරුවත් ඒ සම්මාන ගැන කතා කරන්නට ආවේ නැත. නමුත් අතුල ලියනගේ එතැනදී ලූම්පන් වැඩක් කළේය. ඒ සම්මාන මෙහේ විකුණන්නට ඔහුට එහෙම ලැජ්ජාවක් තිබුණේ නැත. ඒ වගේම ජැක්සන් ඇන්තනි වගේ සිනමාව ගැන මෙලෝ මළදානයක් නොදන්නා අයට ඒ සම්මාන ගැන කියවන්නට අවුලක්ද නැත.

දෙවන කාරණය චිත‍්‍රපටිය හා සම්මාන ටික උස්සාගෙන අතුල, මහින්ද රාජපක්‍ෂ හමුවීමට යාමය. චිත‍්‍රපටියක් උස්සාගෙන මෑත කාලයේ තමන් දුටු හොඳම චිත‍්‍රපටිය ‘මයි නේම් ඉස් කාන්‘ යැයි කියූ මහින්ද ළ`ගට යාමෙන් කියන්නේ ආණ්ඩුව කියන හැටියට ‘මහින්ද චින්තනයට‘ අනුව චිත‍්‍රපටි හදන්නට තමන් දිවුරා පොරොන්දු වෙන බවයි. මහින්ද චිත්තන සම්ප‍්‍රදායේ චිත‍්‍රපටි බලද්දී මගේ දත් හිරි වැටෙයි.

ටීවීටී එකේදී මට අතුල මුණගැහුණේය. චිත‍්‍රපටිය රට පුරා අරගෙන යන්නට ඔහු කරන දැ`ගලිල්ල ගැන එතැනදී මට දුක හිතුණි.
‘චිත‍්‍රපටියක් කරන එක නෙමෙයි වැඬේ ඒක අරගෙන යන එක‘ අතුල මට කිව්වේය.
‘හැම අධ්‍යක්‍ෂවරයෙක්ම කරන්නේ නිෂ්පාදකයාගේ සල්ලි ටික අරගෙන වැඬේ අත්ඇරලා දාන එක. මට ඒක කරන්න බෑ. නිෂ්පාදකයා බේරගන්න මං මහින්ද නෙමෙයි කවුරු ගාවට වුණත් යනවා‘

‘ඉතිං මචං මහින්ද ළ`ගට ගිය එකේ සල්ලි ටික එතනින්ම එන්න විදිහක් හදා ගත්තා නං හරිනෙ. ඔය කට්ට කන්නෙ නැතුව?‘

මං ඇහුවේ චිත‍්‍රපටිය දුවවන්නට කුඹුරක හරකෙක් තරම් මැඩවෙන ඔහු ගැන අනුකම්පාවෙනි. සිනමාව ගැන මට ඇති ශෘංගාරය හෝ සෞන්දර්ය වෙනුවට ලේ ගලන වේදනාවක් ඔහු විඳිමින් සිටියේය. අවසානයේ චිත‍්‍රපටිය බලන්නට මං රීගල් එකට ගියේ අතුලගේ ශ‍්‍රමයට හදවතින්ම උපන් ගෞරවයෙනි. චිත‍්‍රපටියක් කිරීමෙන් හා එය මා ආදරය කරන උණුසුම් පේ‍්‍රක්‍ෂකාගාරයකට පෙන්වීමෙන් ආනන්දයට හා සංතෘප්තියට පත්වන මට වඩා වෙනස්ව මේ කර්මාන්තයේ දහඩිය වගුරන කම්කරුවන් වැනි සිනමා අධ්‍යක්‍ෂවරුන් ගැන උපන් වේදනාවෙනි.

”මට ඒක විනෝදයක්... ඒත් ඔවුන්ට ඒක ජීවිතය සහ මරණය අතර වෘත්තීමය සටනක්” -ෆ‍්‍රැන්සිස් කොපෝලා
රීගල් සිනමා ශාලාව අන්ත දිළිඳුය. එතන චිත‍්‍රපටියක් වින්දනය වෙනුවට තිබෙන්නේම මුඩුක්කු වර්ගයේ ආතල් එකකි. ඒ මදිවාට ජාතික ගීතය වාදනය වන්නටද පටන් ගත්තේය. චිත‍්‍රපටියක් බැලීමේ සෞන්දර්ය විඳින්නට ආපු මම ජාතික හැ`ගීමෙන් කෙලින් වෙන්නට අකමැතිව හිඳගෙනම සිටියෙමි. පිටුපස සිටි ජාත්‍යාලයෙන් කිති කැවුණු කෙල්ලන් පිරිසක් ඒ ඉඳගෙන සිටීමෙන් මගේ සිංහලකම මැනගන්නට නොහැකිව අර්බුදයකට ගියේය.
කොහොමෙන් හෝ ඉතාම පරණ විදිහේ ප‍්‍රවේශ නාමාවලියකින් චිත‍්‍රපටිය පටන් ගත්තේය.

ආරම්භක රූප පෙළ මගේ හිතේ බලාපොරොත්තුවක සේයාවක් ඇති කළේය. කැමරාව පාවිච්චි කරන සියුම් තැන් කීපයක් දකිද්දී මං අසුනේ තවත් හරිබරි ගැසී හිඳ ගත්තේ කිළිපොලා යන ආස්වාදයක් බලාපොරොත්තුවෙනි. නීටා ප‍්‍රනාන්දු දැක්ක ගමන් මගේ ඒ හැ`ගීම නන්නත්තාර විය. පාරේ රස්තියාදු වන වෙස`ගනක් පරිදි මේක්-අප් දමා සිටි ගැමි දුක් විඳින ගැහැණු චරිතය චිත‍්‍රපටියේ සියල්ල බිංදුවට බස්සයි.
‘මං ගස් හිටවලා ඒවා ලොකු වුණාම ඒවයේ ගෙඩි කන මිනිහෙක්‘

අතුල එකම දෙබසක් නැවත නැවත කීමෙන් චරිතයක් ගොඩනංවන්නට හදයි. කසිප්පු පෙරන බාප්පා මෙන්ම මැල් මුදලාලිද ඒ වගේය.

‘මං වළලන්නෙ මැරිච්ච මිනිස්සු‘
ඒත් මේ දෙබස් වලින් චරිතය ගැඹුරු කරනවා වෙනුවට තිර රචනය බාල කරයි. ඒ වගේම තිර රචනාව ලියැවී තියෙන්නේමත් හු`ගක් පරණ තාලේ විලාසිතාවකිනි. හොඳ යැයි මුලින්් පෙනෙන චරිත පසුව ඉතා අඳුරු චරිත බවට පෙන්වීමේ එකම විදිහක රටාවක් තිර රචනාවේ එයි. ඒක අධ්‍යක්‍ෂවරයා පේ‍්‍රක්‍ෂකයා සම`ග කරන ජෝක් එකක් වගේය. ඔහු චිත‍්‍රපටයේ චරිත ඔහුට ඕනෑ ඕනෑ හැටියට ඒ අතට මේ අතට පෙරලයි. ඒ නිසා පේ‍්‍රක්‍ෂාගාරය පොඩි උන් ටිකක් යැයි හිතාගෙන කරන සෙල්ලමකට වඩා ගැඹුරක් දෙන්නට ඒ චරිත වලට පුළුවන් වෙලා නැත. ඒ චරිතවලට ජීවිතයක් නැත. තිර රචකයා තමන්ට ඕන ඕන හැටියට චරිත වල හැඩ තල මාරු කරයි. උදාහරණයක් විදිහට මුලින්ම අපි දකින ‘අල් පැචිනෝ‘ වර්ගයේ මැල් මහත්තයා අන්තිම හරිය වෙන කොට හොටු පෙරන්නෙක් බවට පත්වෙයි. අකුරක් වත් දන්නෙ නැති වයසෙදි හිරේ ගිය ‘පොඩි එකා‘ ලොකුවෙලා එන්නේම හරි තියුණු බැල්මකින් සහ ගැඹුරු ඉරියවු වලින් යුතුවයි.
‘මට සමහර දේවල් තේරෙන්නෙ නෑ‘ කියන වෙලාවට පමණක් ඔහු මෝඩයෙක් බවට පත්වෙයි. ප‍්‍රධාන චරිතය වන පොඩි එකාගේ චරිත නිරූපණයම අවුලකි. අපිට පේන්නේම අතුලය. පොඩි එකා හිර ගෙදරදී මැරිලාය.

චරිත හැසිරෙන්නේ ඒ ඒ වෙලාවට සිද්ද වෙන සිද්දියට අනුවය. ඒ නැතුව ආරම්භයේ පටන් චරිතවලට ගොඩ නැගෙන පැවැත්මක් චිත‍්‍රපටිය පුරා ගෙන යන්නට තිර රචකයා වගේම අධ්‍යක්‍ෂවරයාටද බැරි වී තිබේ. ඒකට කියන්නට වෙන්නේ මේ චරිත ‘බංකොලොත්‘ යන්න පමණකි. පත්තර කීපයකින් ලොකුවට උඩ දමා තිබුණු මහේන්ද්‍ර නිරූපණය කරන මැල් මහත්තයා නිරූපණය වෙන්නේ ලෝකල් පැචිනෝ කෙනෙකුගේ සිට මහේන්ද්‍ර පෙරේරා දක්වා පරාසයකය. කොටින්ම වළලන්නේ මැරිච්ච මිනිස්සු කතාව පවා ඔහුට අන්තිම වෙන විට අමතක වෙයි.

චිත‍්‍රපටිය ගෝඞ් ෆාදර් වගේ කරන්නට ගිය බව පැහැදිලිය. ඒ වගේම ගෝඞ් ෆාදර් චිත‍්‍රපටිය තේරෙන්නට අතුල තාම පරිණත නැති වගත් ඒ වගේම පැහැදිලිය. ගෝඞ් ෆාදර් චිත‍්‍රපටිය පුරාම හොඳින් ගොඩ නැගුණු තව තවත් ගැඹුරින් ගැඹුරට යන චරිත වෙනුවට අතුල ගේ චරිත උන් හිටි තැන් මරු කරයි. කැලේ මාරු වෙද්දී කොටියාගේ පුල්ලිද මාරු වෙයි. ‘කලින් දැක්කේ මෙයාමද?‘ කියා නොයෙක් වර අපට සිතේ. අතුලට වගේම ගෝඞ් ෆාදර් චිත‍්‍රපටිය ජැක්සන්ට තේරෙන්නේද නැති බව ඔහු ලංකාදීපයේ කියා තිබේ. ජැක්සන් ට බඹර වළල්ල පේන්නේ ගෝඞ් ෆාදර් වගේමය. ඒක කියවද්දී මට කාරණා කීපයක් එකවර පත්තු විය.

එකක් චිත‍්‍රපටි බැලූවාට චිත‍්‍රපටි තේරුම් යනවා කියන එක වෙන කාරණාවක් බවයි. ගෝඞ් ෆාදර් කියන්නේ අපේ චිත‍්‍රපටි ගැන කිචියක් ඇති ළදරුවා පවා දෙතුන් වර බලා දැන් විසි කර දමා ඇති චිත‍්‍රපටියකි. ලංකාවේ චිත‍්‍රපටි කරන සහ කියවන ගොඩක් අය කොපෝලා ගෙන් සහ ඬේවිඞ් ලීන් ගෙන් මෙහාට තවමත් ඇවිත් නැත. ඇත්තටම කොපෝලා- ලීන් තේරෙන වයසටවත් ඇවිත් නැත. ගෝඞ් ෆාදර් චිත‍්‍රපටියේ චරිත වල පසුබිම් දේශපාලනය ඉතා සියුම් අකාරයෙන් ගොඩ නංවා තිබේ. අඳුරු චරිත ඇතුළට ගමන් කරමින් ඒවයේ අළු සහ සුදු වර්ණ කොපෝලා මතු කරන්නේ අඳුර තුලින්මය. ඒ වෙනුවට අතුල මෙතැනදී කරන්නේ පොඩි එකාගේ වැඩකි. හොඳ චරිත වල නරක ඇති බවත් නරක චරිත වල හොඳ ඇති බවත් කියන්නට යාම බාලාංස වර්ගයේ ගොඩනැංවීමකි. ඔහුගේ හොඳ චරිත නරක කරද්දී චරිතය මෙතෙක් හැසිරුණු ජීවිත දේශපාලනයම වෙනස් වෙයි. වෙනම ජීවිතයක් වෙයි. ජැක්සන්ට මේක කොපෝලා වගේ පෙනීම හරිය. ඒ කියන්නේ ඔහුට කොපෝලා පේන්නේ අතුල වගේ කියන එකය.

ලංකාවේ පේමන්ට් එකේ පවා හොඳ චිත‍්‍රපටි වල ඞීවීඞී තිබෙන නිසා අපි කාට වුණත් අතිශය සම්භාව්‍ය මට්ටමක කෘතියක් වුණත් රුපියල් දෙසීයකට බලන්න පුළුවන්ය. නමුත් ඒ චිත‍්‍රපටිය කියවන්නට ඒ බැලීමම ප‍්‍රමාණවත් නැත. ඒකට හැදෑරීමක් උවමනාය. තමන් සහ චිත‍්‍රපටිය අතර තමන් සිටින තැනින් එහාට තමන්ව ගෙන යන සංවාදයක් උවමනාය. ජැක්සන් කොපෝලා බලද්දී වෙන්නේ ‘මං කොපෝලාත් බැලූවා‘ කියන වර්ගයේ කතාවක් මිස ‘කොපෝලා මාව වෙනස් කළා‘ වගේ සංවාදයක් නොවේ. එයාට ගෝඞ් ෆාදර් ‘පොඩි එකා‘ වගේ පේන්නේ ඒ නිසාය. ලංකාවේ ඔක්කොම ජැක්සන් ලාට බඹර වළල්ල මාර වෙන්නේත් ඒ නිසාය.

අතුල මේ කාලයේ ගෝඞ් ෆාදර් වර්ගයේ චිත‍්‍රපටියක් කරන්න හිතන්නේ ඇයි? ගෝඞ් ෆාදර් ගෙන් පසු ඊට වඩා සියුම් අකාරයෙන් සහ වඩාත් මානුෂීය සිනමාත්මක කතිකාවන් අතරින් කෙරුණු චිත‍්‍රපටි එලෝ කෝටියක් තිබේ. ඒ එක්කම මේ වන විට ලෝකයේ එම ක්ලැසිකල් වර්ගයේ ප‍්‍රවේශයන් සම`ග තාර්කිකව ගැටෙන දියුණු විකල්ප සිනමාවන් තිබේ. උදාහරණයක් හැටියෙන් ටැරන්ටිනෝගේ ගැන්ග්ස්ටර් චිත‍්‍රපටි ප‍්‍රවේශය දියුණු ආකාරයෙන් ගෝඞ් ෆාදර් සිනමාව අතික‍්‍රමණය කරයි. නමුත් අතුල සිය කූළුඳුල් චිත‍්‍රපටිය කරන්නට ආයිමත් කොපෝලා දක්වා පසුබසින්නේ ඇයි? අපේ සිනමා නොදැනුමේ තරම ඒ තරම් නිසාද? අපේ විඳීමේ අවකාශය ඇත්තේ වත්මන් ලෝකයට දශක ගාණක් අතීතයේ නිසාද? මෙබඳු කෞතුක වර්ගයේ සිනමාවකින් තමන්ගේ පළමු සිනමා ප‍්‍රකාශනය කරන්නට තීරණය වුණේ අතුල ගේ සිතීමේ සීමාවන් හරහාද?

”මට හිතෙන විදියට ගෝඞ් ෆාදර් චිත‍්‍රපටියට කලින් තමයි, ඉතා කුඩා පිරිසක් සහ උපකරණ ප‍්‍රමාණයක් එක්ක හුඟක් පුද්ගලික චිත‍්‍රපටි හදන්න උවමනා වුණු නියම ෆැන්සිස් (කොපෝලා* හිටියේ... ” -ෆ‍්‍රැන්සිස් කොපෝලා

මඳක් දුර සිට චිත‍්‍රපටිය තනිකරම ‘ගිණි අවි සහ ගිණිකෙලි 2‘ වර්ගයට වැටේ. ඒ මදිවාට ඒ කි‍්‍රයාදාම සිද්දීන් ගොඩනැගෙන්නේද මන්ද බුද්දික විදිහටය. රාළහාමිගේ කකුල් කපා දැමූ බව දැන දැනත් අපේ වීරයා, පොඩි එකා මෝඩයෙකු සේ උළු මෝලේ සල්ලි හොරකම් කරන්නට යයි. ඒ සල්ලි සුවචව කීකරුව මැල් ට ගෙනැත් දී පොඩි එකා සුවසේ නිදයි. මැල් පොඩි එකා ගේ බෙල්ල කපන්නට යන්නේ ලේන්සුවක් එහෙම මූණට දමා සිනිඳුවටය. පිටිපස්සෙන් එන රාළහාමි මැල් ට වෙඩි තියයි. මෙතැනදී පොඩි එකා හිරේ හැදී වැඩුණු එකෙකුට වඩා අඩු මාසෙන් ඉපදුණු එකෙකුගේ තත්වයට වැටේ.

තවත් තැනක පොඩි එකා ඔහු සිත් ගත් කෙල්ලගේ කෙස් වැටිය කපා දමයි. ඇගේ පියා මනෝරත්න හ`ඩා වැටෙන්නේ ඇගේ බෙල්ල කැපුවෙ නැත්තෙ ඇයි කියමිනි.

කතාවේ ගොඩක් තැන් වල හරි ගුප්ත විදිහට බර කරලා කියන දේවල් වල කිසි තේරුමක් නැත. දමිතා එක තැනකදී හරි බයානක විදිහට ‘මැල් මහත්තයාගෙන් අපිට ගැලවීමක් නෑ‘ කියන්නේ කිසි හේතුවක් නැතුවය. අන්තිමට බලන විට මැල් යනු කිසි දෙයක් කර ගන්නට බැරි මෝඩ බයියෙකි. ‘කරන දේ මං ඊළ`ගට කියන්නං‘ කියමින් හැම දෙයක්ම තිතට සැලසුම් කර ඇති බඳුව හැසිරෙන මැල් තමන්ගේ මිනීපෙට්ටි සාප්පු වසා දමමින් ගෙවල් පවා සින්න වෙද්දී කරන්නේ අසරණයෙකු ලෙස සුසුම් ලෑම පමණකි.

චිත‍්‍රපටිය පුරාම පේ‍්‍රක්‍ෂකයාට දැනෙන්නේ අතාර්කික සිද්දි හා චරිත ගණනාවක් ඔස්සේ තමන්ව මෝඩ විදිහට පහළට ගලායාම පමණකි. ඒ දුර්වලකම වසන්නට අතුල පාවිච්චි කරන්නේ කිසි තේරුමක් නැති ගුප්ත දාර්ශනික වර්ගයේ දෙබස් විතරය.

‘සිනමා සංගීතය ගැන ඉගෙන ගන්නට කසුන් කල්හාරගේ සංගීතය අහන්න‘ යැයි බඹර වළල්ලේ සංගීතය ගැන කතාවක් මට අසන්නට ලැබුණේය. මට කියන්නට ඇත්තේ සිනමා සංගීතයේ නොදැනුම ගැන උදාහරණයක් හැටියට බඹර වළල්ලේ සංගීතය ඉතා හොඳ බවය. කසුන් ගේ අතින් නිර්මාණය වී ඇති සංගීතය චිත‍්‍රපටියට කිසිඳු මෙහෙයක් නොකරයි. එය පැත්තකින් එල්ලා වනා තිබේ. ඉන් චිත‍්‍රපටියට දෙන ආලෝකයක් හෝ චිත‍්‍රපටිය බලා එළියට එන විට හිතේ ඇති කරන මූඞ් එකක් හෝ නැත. කොටින්ම සංගීතය ඇතැම් තැනක නිකං තාලයක් විතරය. කිසි අදහසක් නැත.

ලාංකීය සිනමාවෙ නවතම ප‍්‍රවේශය ඇත්තේ මෙතැන නම් ඒ සිනමාව ජැක්සන්ලාට අතුල ලාට සහ මහින්ද චින්තනයටම බාර දී වෙන වැඩක් කර ගන්නවා ඇරෙන්නට අපිට කරන්න දෙයක් නැත. ජැක්සන් විසින් ලංකාදීපයේ වැරදියට පාවිච්චි කර ඇති ඔහුගේම කියමනක් හරියට පාවිච්චි කරමින් මේ කතාව අවසන් කරමි.

‘ලාංකේය කලා සම්ප‍්‍රදායේ අලූත්ම ප‍්‍රවණතාව වැරැුද්ද ප‍්‍රමිතිගත කිරීමයි. වැරැුද්ද නිවැරැුද්ද සම`ග ගැටෙන කල් වැරැුද්ද සහ නිවැරැුද්ද වෙන් වෙන්ව හඳුනාගැනීම පහසුය. එහෙත් වැරැුද්ද නිවැරැුද්ද ලෙස ප‍්‍රතිගත වූ විට වැරැුද්දේ පැවැත්ම ස්ථාවර වන්නේය‘

කට බොරු කීවත් දිව බොරු කියන්නනේ නැත.

-චින්තන ධර්මදාස

Thursday, August 12, 2010

බිල් ගේට්ස් සහ අජිත්ගෙ ගේට්ටුව



අජිත් ගේ අලූත් වීඩියෝ එක මේල් කරලා තිබුණා. බිල් ගේට්ස් සහ මගේ වූඩි ගේට්ස් කියන එයාගෙ අලූත් සිංදුවත් එක්ක. ඒක අජිත් කියන්නෙ ඉංග‍්‍රීසියෙන්. ඒත් ඉංග‍්‍රීසියෙන් නෙමෙයි. ඉංග‍්‍රීසි තේමාවක් ගැන. ඒත් ආයිමත් ඒක ඉංග‍්‍රීසිමත් නෙමෙයි. නැත්තං අපිට ළ`ගයි. අජිත්ගේ සිංදුව තේරුම් ගන්න ඉංග‍්‍රීසි දැනගෙන හිටියට විතරක් බෑ. සිහලත් දැනගන්න ඕන. අජිත්ගේ සිංදුව විඳින්න කාලය ගත වෙලා විතරක් තිබුණට බෑ. ජීවත් වෙලා තියෙන්නත් ඕන. ඒක හරි සරියල් නැත්තං අධිතාත්විකයි. ඒක හරි හිපි යි. ඒක හරි අමුයි. ඔරිජිනල්. ලංකාවෙ ඔරිජිනල් වැඩ කෙරෙන්නෙ නෑ. ඔරිජිනල් වුණත් නිකං මන්ද බුද්ධික වර්ගයේ නැතුව ලෝකයේ අනිත් රටවල කතිකාවන් එක්ක ඔරිජිනල් ඩයලොග් එකක් තියෙන වැඩ ලංකාවෙ නිෂ්පාදනය වෙන්නෙ නෑ. ¥පත් වල ඒක එහෙම තමයි. ඒත් අජිත් පරාරෝපිතයෙක්. එයා මේ සමාජෙට අයිති නෑ. එයා ජීවත් වෙන්නෙ පාවෙවී. තනියෙම්ම විශ්වාස කරන ලෝකයක් ඇතුලෙ එයා රජෙක් වගේ ජීවත් වෙනවා. අජිත්ගෙන් ඔරිජිනල් වැඩක් නිෂ්පාදනය වෙන්නෙ ඒ හින්ද.

අජිත් ගේ සිංදුවෙ බාසාව මට මතක් කළා ළ`ගදි යුරෝපයේ විශේෂයෙන්ම එංගලන්තෙ වගේ රටවල ටීනේජ් උන්මාදයක් විදිහට පැතිරිච්ච ඩයි ඇන්ට්වුඞ් ලව. ඒ ගොල්ලො දකුණු අපි‍්‍රකානු සුදු ග්රූප් එකක්. ලෝකෙ රැුපර්ස් ලා කිව්වහම ඔරිජිනල් නම් කල්ලො වෙන්නම ඕන. ඒත් ඩයි ඇන්ට්වුඞ් ලා ඒක කඩනවා. ඇෆ්රිකානීස් කියලා ඉංග‍්‍රීසි අප‍්‍රිකානු කලවම් බාසාවකින් සිංදු කියන ගමන් උන් ඒකට භෞතිකයකුත් හදනවා. ඒ ග්රූප් එකේ ඉන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි. වයසෙන් වැඩි පාදඩ ගණයේ කොල්ලෙක් එක්ක කිසි දෙයක් තේරෙන්නෙ නෑ වගේ පේන වයසක පිස්සු කෙල්ලෙක්. පොඩි පීඩෝෆයිල් විදිහක ආස්වාදයකුත් දෙන ගමන් උන් ඔරිජිනල් දේවල් ටිකක් සමාජයට මුදා හරිනවා. එතනදි බාසාව ඔරිජිනල් වෙන එකත් ජීවිතය ඔරිජිනල් වෙන එකත් උන්ට බලපානවා. අජිත් මේකෙ දේශපාලනිකව ජීවත් වෙනවා. එයා එයාට ඕන දේ එයාට ඕන විදිහට කියනවා. ඒක අලූත් ඉංග‍්‍රීසියක් නිර්මාණය කරන ගමන්ම ඒ ඉංග‍්‍රීසියෙන් කියන්න භෞතිකයකුත් නිර්මාණය කරනවා. බිල්ගේට්ස් සමාගමේ වැඩකරන නිතර මගේ ගේට්ටුව ඉස්සරහින් යන එන කෙල්ල....එයා කා එක්කවත් හිනා වෙන්නෙ නෑ..එයා ආඩම්බරයි..මොකද එයා වැඩ කරන්නෙ බිල් ගේට්ස් ට. එයා සයිබර් අවකාශයේ සැරිසරනවා..ගොඩක් අයව සනසනවා..හිනාවෙනවා.. ආදරය කරනවා...එයා වැඩ කරන්නෙ බිල් ගේට්ස් ට...

අජිත් කියන්නෙ පරාරෝපණය ගැන කතාවක්. අජිත් ගේ පරාරෝපණය කැලේ ඉඳන් එන එකක්. ඒක ලස්සන කොලපාට කැලයක්. කුඹුරු වතුරු වලවල් තියෙන හෙලූවෙන් නිදහසේ යන්න එන්න පුළුවන් කැලයක්...ඒකෙ ඉඳන් ටවුමට එන්න වෙනවා..ටවුමේ ඇඳුම් කඩ මැද්දෙ ප්ලාස්ටික් ඩමි අතරෙදි අජිත්ට එයාව මුණ ගැහෙනවා..අජිත් වීදුරුවෙන් මේ පැත්තෙ...එයා අනිත් පැත්තෙ..අජිත් ඒ කෙල්ල දිහා බලන්නෙ කොතන ඉඳන්ද කියලා වීඩියෝ එක අපිට කියනවා. වීදුරුවෙන් එහා පැත්තෙ ඉන්න කෙල්ල ගැන අජිත් අපිට කියනවා. ඒ කතාව සම්පූර්ණ වෙන්නෙත් පුදුම සහගත ආතල් එකක් දෙන්නෙත් ඒ හින්ද.. වීඩියෝ එකේ ගොඩක් තැන් ගොඩක් බාලයි. ඒත් ඒක වැඩ කරනවා. ඒක හු`ගක් ගැඹුරුයි. ඒ වීඩියෝ එකේ තියෙනවා මියුසික් වීඩියෝ වල තියෙන දුර්ලබම දෙයක්. ගායකයාගේ ආත්මය වීඩියෝ එකෙන් කියනවා. අජිත් දේශපාලනිකයි කියන එක වීඩියෝ එක කරපු කෙනා දන්නවා. ඒ වගේම ඒ දේශපාලනයේ පාට ගැනත් එයා හොඳට දන්නවා. ඒක හින්ද අජිත් ගේ ආත්මය එළියට ගන්න එයා ට‍්‍රයි කරනවා. කොළපාට කැලෑව, වතුර, උදේ ඉර එළිය, හෙළුව අජිත්ගේ දේශපාලනේ කොටසක්. ඒ ඔක්කොම දේවල් මග හැරෙන සෙයිලම, නාගරිකත්වය, සුපර් මාර්කට් අජිත්ගේ දේශපාලනේ අනිත් කොටස. මේ දෙක අතර හැප්පිල්ල කියන්නෙ අජිත්ගේ ජීවිතය. ඒක අපි ගොඩකගෙත් ජීවිතය. එතනදි ඉංග‍්‍රීසි කියන්නෙ පරාරෝපිතයේ ලකුණක් මිසක් කඩුවක් නෙමෙයි.

ඒක නිසා වීඩියෝ එකේ කන්සෙප්චුවල් වර්ක් එක මාර සිරා. කැලෙන් එළියට එනකල් ගේන රූප පේලියත් ‘ටි‍්‍රපී‘. සමාවෙන්න මේකට සිංහල වචනයක් මං තාම දන්නෙ නෑ. සමස්තයක් විදිහට අජිත්ගේ පැත්තෙන් කරන විෂුවල් එකේ ප‍්‍රධාන චරිතයේ ගොඩ නැංවීම මරු. කෙල්ලගේ පැත්ත හැදෙන්නෙ නෑ. හිර කරපු- ටිකක් ෆැෂන් කරපු ෆ්රේම්ස්, කලූ කණ්ණාඩි, ¥විලි මැද්දෙ කෙල්ලට තේරුමක් හදන්න හැදුවට කෙල්ලගේ ජීවිතේ පැත්තෙන් සිංදුව කියන කතාව වීඩියෝ ඩිරෙක්ටර් ට අහු වෙන්නෙ නෑ. ඒත් ඒ වීඩියෝ එකේ මේ තියෙන අවුල තියෙද්දිත් සිංදුවෙ තියෙන, සිංදුවට අහුනොවෙන කතාව මතු කර ගන්න ඩිරෙක්ටර් පෙන්නන ගැඹුර පැත්තෙන් ඒක විශිෂ්ට වැඩක්.

එක පැත්තකින් මට වීරසේතුකල් මතක් වෙනවා. ඒ ‘ඉනසන්ට්‘ කියන විෂුවල් ස්පර්ශය මේ වීඩියෝ එකෙත් මට දැණුන. ඒ එක්කම පොඩි ‘මිස්ටික්‘ විදිහෙ එළඹුම අතිනුත් මේ දෙන්නා ළ`ගයි. ඒත් අජිත් ගේ වැඬේ එතනින් දේශපාලනික අදහසක් මතු කරනවා. වීරසේතුකල්ගේ හිරි වැටුණු ගතිය වෙනුවට අජිත් දාර්ශනික අදහසක් ගේනවා. දෙන්නම සිහිනමයයි. ඒත් අජිත් තාම පාවෙනවා විතරයි. ඉගිල්ලෙන්නෙ නෑ.

ඒත් මේ වෙනස ලංකාවෙ විඳින්න ලැබෙන පලවෙනි වතාව. අනිත් පැත්තෙන් අජිත් ලංකාවෙ සිංහල කියන බාසාව වෙනුවට ලෝකෙට කතා කරන්න පුළුවන් අපේ බාසාවක් යෝජනා කරනවා. ¥පතට සිංදු කියනවා වෙනුවට ලෝකෙ කොටසක් විදිහට සිංදු කියන්න ගන්නවා. ඒ වගේම පිටකොටුවෙ පේමන්ට් එකේ වගේ කොපි මියුසික් වීඩියෝ සදහටම උරුමය වුණු අපිට සවිඥාණක අදහසක් ඇතුව කතිකාවක් යෝජනා කරන වීඩියෝ සම්ප‍්‍රදායක් මුණ ගැහෙනවා.

ජීවත් වෙන එක ආතල් වැඩක් කියලා හිතන්න මීට වඩා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ මට.

Thursday, August 5, 2010

ලංකාවෙ පරිවර්තන කරන ගොයියෝ


ළ`ගදී මං පාවුලෝ කොයියෝ කියවන්න ගත්තා. ඉංග‍්‍රීසි පොතකින් පටන් අරන් ආසාව වැඩිවුණ හින්ද පරිවර්තනය වෙලා තිබ්බ සිංහල පොත් කීපෙකුත් කියවන්න පටන් ගත්තා. ඉංග‍්‍රීසි පොත්ම ගන්න සල්ලි අතේ නොතිබ්බ එකත් ඒකට බලපෑවා. මොකද හු`ගක් කාලෙකට කලින් මං සිංහල පරිවර්තන කියවන එක අත්ඇරලා දැම්මා. ඒ පරිවර්තන විදිහ මට දිරවගන්න අමාරු වුණ හින්දමයි. කොයි කර්තෘ කෙනෙක්ගේ පරිවර්තනයක් කියෙව්වත් එකම විදිහක් වගේ ගතියක් ලංකාවෙ පරිවර්තනවල තියෙනවා. උදාහරණයක් විදිහට මොරාවියා කියෙව්වත්, කැල්විනෝ කියෙව්වත් කියවන්න වෙන්නෙ එකම බාසාවෙන්. ටික දුරක් යද්දි ඔරිජිනල් කර්තෘගේ බලපෑම අඩුවෙලා අඩුවෙලා ගිහින් පරිවර්තකයාගේ ඒකතානමය ගතිය ඇතුලෙ අපි මෝහනය වෙන්න ගන්නවා. ලංකාවෙ පොත් පරිවර්තනය කියන්නෙ හරි කම්මැලි මිනිස්සුන්ගෙ වැඩක්. ගොඩක් වෙලාවට ඉංග‍්‍රීසි හරි නැත්නම් ‘දැදිගම වී රුද්රිගු‘ වගේ වෙන බාසාවක් හරි පුළුවන් වුණාම ගෙදර විශ‍්‍රාමික සුවයෙන් ඉඳන් පරිවර්තනය කරගෙන යනවා. ඉතිං අර පරිවර්තකයාගේ තියෙන ඕලාරිකකම ඇරෙන්න පොතේ අලූත් ඉර එළියක් විඳගන්න නෑ. ඒක හිස්. රසයක් නෑ. කොයියෝගේ ‘ඇල්කෙමිස්ට්‘ සිංහලෙන් කියවන්න ගිහින් මං නාගත්තට පස්සෙ ඉංග‍්‍රීසි පොත අරං කියවන්න ගත්තා. සිංහල පොත හරියටම කොයියෝ ගේ නෙමෙයි වගේ. ඒකෙ පාවුලෝ නෑ.

ලංකාවෙ පරිවර්තකයො පොතක් පරිවර්තනය කරනවා කියන එක අරගෙන තියෙන්නෙ හරි ලේසියට. පොතක් පරිවර්තනය වෙද්දි භාෂා දැනීම කියන්නෙ පුංචි කාරණයක් විතරයි. පරිවර්තකයා සතු සමාජ සංඥාර්ථවේද ගැන දැනුම එතනදි ලොකු දෙයක් කරනවා. ඒක පරිවර්තනය වෙන භාෂාව අයිති සමාජය වගේම ඔරිජිනල් පොත අයිති භාෂා සමාජය පිළිබඳවත් තියෙන දැනුමක්. ඒත් අපේ රටේ පරිවර්තන වල තියෙන්නෙ විලාසිතාවක්. පරිවර්තන පොත්වල වෙනම භාෂාවක් ලියවෙන්නෙ. ඒක පරණ රුසියන් සාහිත්‍ය පරිවර්තන වල ඉඳන්ම එහෙමයි. ඒක කියවන අය සිංහල ඇතුලෙ සිංහල නොවෙන තැනකට යනවා. සිංහල රුසියානුවො මෑතක් වෙනකල් අම්බානක හිටියා කොළඹ. දැන් ටිකක් අඩුයි. පරිවර්තනය හරියට සිද්ද නොවුණොත් එතනදි ඔරිජිනල් ලේඛකයා මරලා දාන එක විතරක් නෙමෙයි, කියවන සමාජය පරාරෝපණය කිරීමකුත් සිද්ද වෙනවා. අපේ පරිවර්තන කීපයක් කියවන්න ගත්තොත් කොයි ලේඛකයා ලිව්වත් ඒක අන්තිමට කෙළවර වෙලා තියෙන්නෙ පරිවර්තකයාගේ භාෂා උවමනාව උඩ. ඉතිං කොයි පොතක් කියෙව්වත් එක වගේ. ඒවයේ දෙබස් කියල ලියවෙන්නෙ විකාර. ඒ පොත් වල චරිත කතා කරන්නෙ ‘නුඹ මා කියූ දේ ඇසුවා නම්..‘ වගේ අමුතු භාෂාවකින්. ලංකාවෙ පරිවර්තන නන්නත්තාර වෙන්න එක හේතුවක් තමයි පොත් පරිවර්තනය කියන එක සංස්කෘතික සමාජ වටිනාකම්වල පරිවර්තනයක් හැටියෙන් දකින්න තරම් දැනීමක් මේ පරිවර්තකයන්ට නැති එක. ඒක ඒ අයට පුද්ගලික වැඩක්. තමන් කැමති පොතක් පරිවර්තනය කරගෙන යනවා. කෘතියෙන් පරිවර්තකයාට කිසිම අභියෝගයක් නෑ.

පොතක් පරිවර්තනය වෙද්දි ඔරිජිනල් පොත ගැන අධ්‍යනය කරන්න ඕන කරන කාරණා කීපයක් තියෙනවා. එකක් කතාවේ ආඛ්‍යාන විලාසය. කතාව ගොඩ නැගෙන හැටි. උදාහරණයක් විදිහට ඉතාලෝ කැල්විනෝගේ පොතක් ලියවෙන්නෙ ආඛ්‍යානයේ ලොකු වෙනස්කම් එක්ක. ඒ ආඛ්‍යාන වෙනස්කම් ඒ සමකාලීන අනික් කර්තෘවරුන් අතර ඉටුකරන සමාජ උවමනාව ගැන වැටහීමක් ඇතුව පරිවර්තනයේදී ඒ වෙනස්කම කරන්න සිද්ද වෙනවා. පොතේ භාෂාමය විදිහට ආකෘතිය මාරු වුණු පමණින් ඒ වෙනස සිද්ද වෙන්නෙ නෑ. ඒ ආකෘතික වෙනස කියවන්නාගේ ඔලූව ඇතලෙ කරන විප්ලවය ගැනත් පරිවර්තකයාට හැ`ගීමක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට ටැරන්ටිනෝගේ චිත‍්‍රපටියක් කොපි කරලා අපිට රෝයිද සිල්වා වගේ වැඩක් කරන්න පුළුවන් වෙයි. ඒත් ඒක ඔරිජිනල් ටැරන්ටිනොගේ වැඩක් වගේ දැනෙන්න ඒ ආකෘතියෙන් ජීවිතය අල්ලන තැන ගැන දැනීමක් තියෙන්න ඕන. ඒ එක්ක ඔරිජිනල් පොතේ චරිත ගොඩ නැගෙන හැටි. ඒ චරිත කතා තේමාව එක්ක බැඳෙන විදිහ..කතාව ඇතලෙන් මතු කරන ප‍්‍රධාන ගැටළුව, එ ගැටළුව සමාජය ඇතුලෙ වැඩ කරන කතිකාව, සහ අන්තිමට ලේඛකයාගේ විලාසිතාව කියන කාරණා ගණනාවක් පරිවර්තනයේදී අදාලයි. පරිවර්තනය කියන්නෙ අධ්‍යනමය වැඩක්. නැත්නම් වෙන්නෙ ‘සෙසෑන්‘ පරිවර්තනය කරන පරිවර්තකයාගේ සද්ධර්ම රත්නාවලී වර්ගයේ චින්තාව පරිවර්තනය ඇතුලෙ පේන්න ගන්න එක.

ලංකාවෙ හු`ගක් අමාරුවන් කරපු වැඩක් තමයි ‘ලොලිටා‘ පරිවර්තනය. ඒත් ඒක මෙලෝ යකෙකුට කියවන්න බෑ. නබකොව්ගේ ඉංග‍්‍රීසි පොතේ තියෙන රහෙන් මංචාඩියක් වත් සිංහලට ගන්න පරිවර්තකයන්ට බැරිවෙනවා. ඒ පරිවර්තනය ශාස්තී‍්‍රය කතිකාවක් ඇතුලෙ කරපු වැඩක්. ඒ වුණාට වැඩක් නෑ. පරිවර්තනය ඇතලෙ ශාස්ත‍්‍රීය අධ්‍යනය විතරයි තියෙන්නෙ. හැ`ගීම නැතිනම් ජීවිතය නෑ. මේ සමබරතාවය ආරක්‍ෂා කරගන්න එක පරිවර්තනයකදී අනිවාර්යයි. නැතිනම් අපි පොතක් ලියනවා නෙමෙයි. පොතක් මරනවා.

පරිවර්තනයක් කියන්නෙ භාෂාවන් දෙකක් අතරෙ සිද්ද වෙන හුවමාරුවක් නෙමෙයි. ඒක සංස්කෘතින් දෙකක් අතරෙ හුවමාරුවක්. මේ කාරණය කපටි විදිහට අපේ පරිවර්තකයො මුල ඉඳන් පාවිච්චි කළා. රුසියාවෙ ඉඳලා ආපු අය රුසියන් කතා පරිවර්තනය කරන්න ගත්තා. සමහර අය ප‍්‍රංස ඔරිජිනල් භාෂාවෙන් පරිවර්තන කරන්න ගත්තා. ඒත් වැඬේ සිද්ද වුණේ නෑ. හැම පරිවර්තනයක්ම පරිවර්තකයාගේ දූපත් ඔලූ ගෙඩිය ඇතුලෙ ගිලූණා.

පරිවර්තන ගැන අධ්‍යනය කරන කට්ටිය පරිවර්තකයෙක් දකින්න ඕන ප‍්‍රධාන අංශ දෙකක් ගැන කතා කරනවා. එකක් text style එක. ඒ කියන්නෙ වියමන පරිවර්තනය කරන ආකාරය. පරිවර්තකයාගේ ඇත්ත අභියෝගය තියෙන්නෙ මෙතන. සමාජ වියමනක් හැටියෙන් ඔරිජිනල් පොතේ වියමන, සංඥාර්ථ අපේ භාෂාවට පරිවර්තනය කරන්නෙ කෙහොමද කියන එක. කියවන්නා පරාරෝපණයකට අහු කරන්නෙ නැතුව ඔරිජිනල් පොතේ වියමන උඩින් ගමන් කරවන්න පරිවර්තකයාට පුළුවන් වෙන්න ඕන. අනිත් කාරණය authoral style එක. ලේඛකයාගේ ලේඛන විලාසය අපිට පරිවර්තනය කර්නනෙ කොහොමද කියන එක. අපේ උක්ත ආඛ්‍යාත, සිංහල කියවන පණ්ඩිතයන්ගේ මනස්ගාත ආදී ඔක්කොමගෙන්ම වුණත් එලියට ගිහින් පරිවර්තනය වෙනුවෙන් භාෂාව නිර්මාණය කරන්න මෙතනදි පරිවර්තකයා නිර්භීත වෙන්න ඕන.

බයිබලය පරිවර්තනය කරපු ඉයුජින් ඒ නීඩා‘ මේ ගැන හොඳ කතාවක් කියනවා. එයා කියන විදිහට සමහර විට පරිවර්තනයකදි තීරණාත්මකම වෙන කාරණය සමාජ සංඥාර්ථවේදයන් හඳුනා ගැනීමයි. මිනිස් සමාජ අතර සියලූ සංඥාවන් ග‍්‍රහණය කළ හැකි පොදු බිමක් ගොඩ නගා ගැනීමයි. පරිවර්තනයේ කිසිම ශුද්ධභාවයකින් මේ සංඥාවන් කේතකරණය සහ විකේතකරණය නොතකා හරින්න බෑ කියලා එයා අවධාරණය කරනවා.

මෑතකදි අපේ රටේ ඕෂෝ පරිවර්තනය වෙන්න ගත්තා. ඕෂෝගේ දේශන වලින් ගත්ත නිසා හැම කෙනෙක්ම වගේ කතා කරන භාෂාවෙන් පරිවර්තනය කරගෙන ගියා. ඒත් ඒ පොත් කියවද්දි අපිට ඕෂෝව තේරෙනවද? ඕෂෝ ඔරිජිනල් පොතේ කියන කාරණා පරිවර්තනයේදි මග ඇරුණෙ කොහොමද? ආධ්‍යාත්මික හෝ වෙනයම් ආත්මීය ගැඹුරකට යන පොතක් පරිවර්තනය කරද්දි පරිවර්තකයා ඒ ලේඛකයාගේ සිතිවිලි අවබෝධ කර ගත්ත හැටි වචන වලට දැනෙනවා. උදාහරණයක් විදිහට ඕෂෝ ගේ නිහ`ඩතාවයන්, පාවිච්චි කරන වචන වල තියෙන ගැබ්බර ගතිය, අපේ පරිවර්තකයාට අහුවුණේ නෑ. අනික ඉංග‍්‍රීසි හැම පොතක්ම ලියවුණේ ඕෂෝගේ ආශ‍්‍රමයේ සන්‍යාසි අතින්. ඒ වන්දනා ගමන අරන් යන්න අපේ එදිනෙදා පරිවර්තකයාට බෑ. ඉතිං ඒ දෙවල් නිකං දැනුම් කෑලි විදිහට එක එක තැන ගණිකා සේවයේ පාවිච්චි වෙලා වසංගත වෙලා මැරිලා ගියා.

පොතක් පරිවර්තනය වෙද්දි වචන වල තේරුම් වෙනුවට වාක්‍ය සහ කතිකාවන් අතර තේරුම් අල්ලගන්න ඕන. වාග්මය සහ වාග්මය නොවන සමාජ සංදර්භයන් දැනෙන්න පටන් ගන්න ඕන. ඔරිජිනල් පොතේ තියෙන මේ සංද්ර්භ තේරුම් ගැනීම කෙහොම වුණත් අපේ කට්ටියයට අපේ රටේ සංදර්භයන් ගැන තියෙන තේරුම් ගැනීමත් පට්ට අල්පයි.

හැම පොතක්ම යම් කිසි පණිවුඩයක් අරන් යනවා. ඒ පණිවුඩය සාහිත්‍යයේදී බහුතලීයයි. අපිට එක දිගට කතාව පරිවර්තනය කරගෙන ගියාට ඒ පණිවුඩයේ සමස්තය අහුවෙන්නෙ නෑ. ඒක සරල රේඛීය වෙන්න ගන්නවා. ඒ එකක්ම ඔරිජිනල් පොත කර්තෘ සහ කියවන්නා අතර යෝජනා කරන සම්බන්දය ගැනත් පරිවර්තකයාගේ දැනුමක් තියෙන්න ඕන. ඒක අපේ පරිවර්තනය සහ කියවන්නා අතර ගොඩනැගෙන සම්බන්යට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලේඛකයෙන් නිතරම ලියන්නෙ තමන්ගෙ කියවන්නා සම`ග ගොඩ නැගෙන ආදරය තුල. ඒ ආදරය ඇතෙුල කියවෙන වචන එතනින් එළියට ගත්තොත් වෙන්නෙ වෙන වැඩක්. අපේ පරිවර්තන වල ආදරය නැති වුණේ ඒ විදිහට.
අපේ රටේ පරිවර්තන වලින් වෙච්ච විනාසය සුළුපටු නැහැ. සමහර අය තාමත් පාළු රුසියානු සිහින වල නන්නත්තාර වෙනවා. අපේ සිංහලෙන් කියවපු මාක්ස්වාදියො පිස්සු කෙලින්න ගත්තා. ඕෂෝ සිංහලෙන් කියවලා ගොඩක් කට්ටිය බඩු කාරයො වුණා. ඔරිජිනල් ලේඛකයාව මරලා හංගනවට අමතරව කියවන අය රොතු පිටින් ගෙ`ග් ගියා.
මෑතදි දේශපාලනිකව X එකේ කට්ටිය මරා ගත්තා ෆ්‍රොයිඞ් පරිවර්තනය වැරදියි කියලා. ඊට පස්සෙ තවත් කට්ටියක් ‘ජිජැක්‘ ව පරිවර්තනය කරන්න ගත්තා. මේ හැම දෙයක්ම වෙන්න ගත්තෙ අපේ රටේ තියෙන අවිධිමත්, අශාස්ත‍්‍රීය පිස්සුව ඇතුලෙ. දැනුම, රසය විතරක් නෙමෙයි සිතීම පවා මේ හින්ද විකෘති වෙන එක අනිවාර්යක්.

ඒක නිසා ලංකාවේ සිංහල පරිවර්තන කියවන එක අතිශය භයානකයි.
ඩික්ෂනරිය පෙරල පෙරල හරි ඉංග‍්‍රීසියෙන් කියවන එක සෞඛ්‍යයට හිතකරයි.

චින්තන ධර්මදාස