Tuesday, June 26, 2012

ගොන්සො - GONZO

උදේ පාන්දර මල්වතු නායක හාමුදුරුවො ටීවී එකේ ‘මුල්පිටුව’ ට පබ්ලිසිටි එකක් දෙනවා. හාමුදුරුවො දන්නෙ නෑ එයා මොකක්ද මේ කරන්නෙ කියල. බන්දුල පද්මකුමාරගෙ බාල පොලිටිකල් ප්‍රොජෙක්ට් එකට ලොකු ලොකු කවුරුත් ගාණකට නැතුව කඬේ යනවා. බන්දුල මුල් පිටුවෙ පත්තර කියවනවා විතරක් නෙමෙයි. පත්තර තෝරනවා (එයාට හිතවත්). එයාට  ඕන කරන අයට පබ්ලිසිටි දෙනවා. ආණ්ඩුවට කඬේ යනවා. පත්තර කියවනවා කියන්නෙ මේ අතරෙ පුංචි එකක් විතරයි. ඒත් බුද්ධාගම රැුකගන්න ඉන්න මහනායක හාමුදුරුවොත් මුල්පිටුවෙ ඇඞ් එකට එනවා. මං බුද්ධාගම දැන් පරණ වැඩියි කියන්නෙ මෙහෙම පාවිච්චි වෙන හැටි ඉවසන්න බැරි තැන. ලියද්දි ටීවී එකේ දැකපු හින්ද ලියන්න ආපු කාරණෙන් පිට ගිහින් දෙකක් කතා කරල එන්න වුණා. (සමාවෙන්න)

මං ලියන ආර්ටිකල් කොහොමටත් පත්තර වලින් ප‍්‍රතික්‍ෂෙප වෙනවා. සමහර ස`ගරා වලින් පවා. ලියලා දෙන්න කියලා කරදර කරපු අය වුණත් පස්සෙ ලිපිය දැක්කම අවුල් වෙනවා.

‘මේක සබ්ජෙක්ටිව් විදිහට නැතුව ලියලා දෙන්න පුළුවන්ද?’
‘භාෂාව චුට්ටක් වෙනස් කරලා දෙන්න බැරිද? උක්ත ආඛ්‍යාත තියෙන වාක්‍ය විදිහට. නැත්තං ඇකඩමික් ගතිය නැති වෙනවා’

ඒ ගොල්ලො මට නැවත ලියන්න කියනවා. උක්ත ආඛ්‍යාත එක්ක ලියන එ කමට පට්ට බෝරිං වැඩක්. හරියට දහම් පාසැලේ සමිතියෙදි දුටුගැමුණු රජතුමා ගැන කතාවක් කියනවා වගේ. මං දන්නෙත් නැති, මට අදාලත් නැති වෙන කාගෙ හරි කතාවක් නැවත කීම. ලංකාවෙ ඇකඩමික් කියන්නෙ ඒකට. වාස්තවික දැනුම. මට ඒ වගේ ලිපි කියවන්නත් කම්මැලියි. කර්තෘ ඉන්නෙ ලිපියෙන් පිට. හරියට ඉස්කෝලෙ අච්චු පොත් වල වගේ. ඒත් අපේ තාම මාධ්‍යවේදය තියෙන්නෙ ඒ වගේ තැනක. ඒක හින්දම ගොන්සො ජර්නලිස්ම් ගැන පොඩියට හරි ලියන්න මට හිතුණ.

ගොන්සො ජර්නිලිසම් කියන අලූත් විදිහෙ මාධ්‍ය රචනය අඳුන්නලා දෙන්නෙ හන්ටර් එස් තොම්ප්සන්. හන්ටර් එස් තොම්ප්සන් ව මට මුලින්ම මුණගැහෙන්නෙ ‘ෆියර් ඇන්ඞ් ලෝතින් ලාස් වේගාස්’ ෆිල්ම් එක බලද්දි. ඒකෙ ජොනී ඩෙප් කරන ඩොක්ටර් ගොන්සො ගෙ චරිතෙ පට්ට. මේ නවකතාව ගොන්සො ජර්නලිසම් වලට හොඳ උදාහරණයක් විදිහට සමහරු කිව්වට හන්ටර් එස් තොම්සන් කියන්නෙ ඒක අසාර්ථක උත්සාහයක් කියල. එයාට අනුව ඒක ප‍්‍රබන්ධ පැත්තට ගමන් කරලා වැඩියි.

ගොන්සො ජර්නලිසම් කියන්නෙ ප‍්‍රබන්ධ සහ ප‍්‍රබන්ධ නොවන දෙක අතරමැද තැනක්. මේ ස්ටයිල් එකේදි මාධ්‍යවේදියා ලියන දේ ඇතුලට එනවා. තමන්ගෙන් පිට සත්‍යයක් නෙමෙයි එයා කියන්නෙ. එයා ප‍්‍රවෘත්තියක් වෙනුවට අත්දැකීමක් විස්තර කරන්නෙ. තමන්ගෙන් වෙන්වුණු සත්‍යයක් හෝ ප‍්‍රවෘත්තියක් ගැන ලියන එක පචයක්. ඒක ඒ ලියන්නාට තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති කමක් විදිහටයි කියවද්දි දැනෙන්නෙ. උදාහරණයක් විදිහට ලංකාවෙ ජිජැක් ගැන හරි මනෝ විශ්ලේෂණය ගැන හරි ලියවෙන ලිපි ආයිමත් කියවලා බලන්න මං ආරාධනා කරනවා. ඒවා ලියන අය ලියන්නෙ හරියට බයිබලයෙ දේවල් ගැන ලියනවා වගේ. පරම සත්‍යයන් විිදිහට පාඨකයාට ඉදිරිපත් කරන්න  ඕනකමෙන්. ඒත් ඒ ලිපිය ඇතුලෙ ලේඛකයා කවුද? එයා කපටියෙක්.

”මට කිසිම තෘප්තියක් නෑ සාම්ප‍්‍රදායික මාධ්‍යවේදය ඇතුලෙ. ‘මම ඒ කතාව කවර් කළා. ඒ ගැන බැලන්ස් විදිහට ලිව්වා’ මේවා විකාර’ හන්ටර් තොම්සන් කියනවා.
’මේ වාස්තවික මාධ්‍ය රචනය වග කියන්න  ඕන ඇමරිකාවෙ පොලිටික්ස් මේ තරම් දූෂිත තැනකට වැටුණ එක ගැන. ඔයගොල්ලො කොහොමද නික්සන් ගැන ඔබ්ජෙක්ටිව් විදිහට ලියන්නෙ?’ එයා අහනවා.
තොම්සන්ට අනුව ගොන්සො ස්ටයිල් එකේ රචනයක් නැවත එඩිට් කරන්නෙ නෑ. ඒක අමුවෙන් තියෙන්න  ඕන. තොම්සන් පත්තර වලට ලියද්දි ඩෙඞ් ලයින් (ලිපි බාර දෙන අවසාන දිනය) වලට  වැඩ කරන්නම බැරි කෙනෙක් විදිහටයි ප‍්‍රසිද්ධ. එයා ලිපි එවන්නෙ අන්තිම මොහොතෙ. එතකොට කර්තෘගෙ අතින් ඒක එඩිට් වෙන්නෙ නැති හින්ද. එයාම කියන විදිහට,
 ‘එඩිට් කරන්න පරක්කු වැඩියි. ඒත් ප‍්‍රින්ට් එකට තාම වෙලා තියෙනවා’
ෆියර් ඇන්ඞ් ලෝතින් ලාස් වේගාස් කෘතියත් අසාර්ථක පර්යේෂණයක් විදිහට තොම්සන් හඳුන්වන්නෙ එයාට ඒක එඩිට් කරන්න සිද්ද වුණු නිසා.

හන්ටර් ස්ටොක්ටන් තොම්සන් ඇමරිකානු මාධ්‍යවේදියෙක්. රම් ඩයරීස් (දැන් ඞීවීඞී එක මෙහේ තියෙනවා), ෆියර් ඇන්ඞ් ලෝතින් ලාස් වේගාස්, කර්ස් ඔෆ් ලෝනෝ, හෙල්‘ස් ඒන්ජල්ස් වගේ එක හුස්මට කියවන් යන්න පුළුවන් කෘති ගණනාවක් එයා අතින් ලියවෙනවා. මේවා නවකතා නෙමෙයි. බාගයක් ප‍්‍රබන්ධ. බාගයක් වාර්තා. ඒ වගේම හන්ටර් තොම්සන් ජීවිත කාලෙ පුරාම ඇල්කොහොල්, මරිහුවානා, එල්එස්ඞී, මැස්කලින් සහ කොකේන් අතට අහුවෙන හැම මත්ද්‍රව්‍යයක්ම පාවිච්චි කරනවා. මේ ගොන්සො ජර්නිලසම් වලට එයා දෙන ලෝගෝ එකේ තියෙන්නෙත් රතු පාට අතකින් පෙයොට් මලක් අල්ලගෙන ඉන්න රූපයක්.
පෙයොට් ගැන මං මුලින් කියෙව්වෙ කාර්ලෝස් කැස්ටනෙඩාගේ ‘ටීචින්ග්ස් ඔෆ් දොන් ජුවන්’ පොතෙන්. ඒකෙ කැස්ටනෙඩා පෙයොට් අත්දැකීම් හොයාගෙන මෙක්සිකෝවෙ යැකි ඉන්දියානුවන් හොයාගෙන යනවා. පෙයොට් වල තියෙන්නෙ මැස්කලින් කියන රසායනය. ඒක මත් වෙන්න වගේම නොයෙක් ගැඹුරු ආධ්‍යාත්මික චාරිකා වෙනුවෙන් පාවිච්චි වෙනවා. කොහොම වුණත් හන්ටර් තොම්සන් තමන්ගෙ මාධ්‍ය සම්ප‍්‍රදාය වෙනුවෙන් මේ පෙයොට් මල පාවිච්චි කරනවා. දේශපාලනික හෝ සාමාජීය නමුත් ගැඹුරු ආධ්‍යාත්මික අත්දැකීමක් කියන අදහස මෙතන තියෙනවා.
හන්ටර් තොම්සන් මාධ්‍යවේදියෙක් වෙන්න කලින් ගුවන් හමුදාවෙ වැඩ කරනවා. ඒකෙන් එයාව ‘ගෞරවනීය’ විදිහට ඉවත් කරනවා, කිසිම අණකට හෝ ප‍්‍රතිපත්තියකට අනුව වැඩ නොකරන චෝදනාව උඩ. ඊට පස්සෙ එයා සුප‍්‍රසිද්ධ ටයිම් ස`ගරාවෙ වැඩට යනවා. එයාගෙ ලේඛනය වැඩිදියුණු කර ගන්න අභ්‍යාසයක් විදිහට ස්කොට් ෆ‍්‍රිට්ස්ගෙරාල්ඞ්, අර්නස්ට් හෙමින්ග් වේ වගේ ලේඛකයන්ගෙ පොත් එයා නැවත ටයිප් කරනවා. පස්සෙ ටයිම් ස`ගරාවෙනුත් එයාව අස් කරනවා ඉහළ කර්තෘවරුන්ට ගරුසරුවක් නෑ කියන චෝදනාව උඩ.  පත්තර සහ ස`ගරා ගාණකින් තොම්සන්ට අයින් වෙන්න සිද්ද වෙන්නෙ මේ ඇෙ`ග් දුවන හිතුවක්කාරකම හින්ද. ඒත් වැදගත්ම දේ එයා ජීවිතේ අවසාන තත්පරේ දක්වාම ඒ හිතුවක්කාරකම කිසිම විදිහකින් පාවා නොදීම.
අර්නස්ට් හෙමින්ග්වේ ගැන තොම්සන්ට තියෙන්නෙ ලොකු භක්තියක්. හෙමින්ග් වේ ගේ සියදිවි නසා ගැනීම ගැන වෙනම හොයන්න පවා එයා පෙළඹෙනවා. අන්තිමට දවසක තොම්සන් බිරිඳට දුරකථන ඇමතුමක් දෙනවා.
‘හනී. අයි ඇම් ගොයින් ටු ඩයි’
ෆෝන් එක තියලා එයා ඔලූවට වෙඩි තියා ගන්නවා. තමන්ට  ඕන විදිහට ජීවත් වෙලා තමන්ට  ඕන විදිහට මැරිච්ච මිනිහෙක් හන්ටර් තොම්සන්. එයාගෙ ලිවීමේ විලාසිතාව තමයි ගොන්සො ජර්නලිසම් කියන්නෙ. ඉතින් කොහොම හරි නමක් හදාගන්න ට‍්‍රයි කරන අපේ පතෝල මාධ්‍යවේදීන්ට ඒ වගේ ස්ටයිල් එකක් ඇ`ග හිරිවට්ටන භීතිකාවක් දනවන එක ස්වභාවිකයි.
ගොන්සො ස්ටයිල් එක පත්තරවලින් ආස කරන විදිහෙ ලිවිල්ලක් නෙමෙයි. ඒක අවිධිමත්. අවසාන නිමැවුමක් නෙමෙයි. ඒක හින්ද ඒ ලියන තනි තනි චරිත මිසක් පොදුවෙ පත්තරේ දේශපාලනයක් මතු කරන්න බැරි වෙනවා. මේ ස්ටයිල් එක ඇතුලෙ ලේඛකයා පත්තරේට කඬේ යන්නෙ නෑ. ඉතින් වියයුතු පරිද්දෙන්ම පත්තර ගොන්සො කලාවට එරෙහි වෙනවා. සහ ගොන්සො කලාව ඇතුලෙ භාෂාව කීතු වෙනවා. හාස්‍යය, උපහාසය වගේම අසභ්‍ය වචන පවා පාවිච්චි වෙනවා. හන්ටර් තොම්සන්ගෙ ලියවිලි ඇතුලෙ නම් මත්ද්‍රව්‍ය ගැන පවා පොසිටිව් විදිහට ලියවෙන්න ගන්නවා. ඇත්තටම ඒක ප‍්‍රචණ්ඩ මාධ්‍යකරණයක්. මේ ස්ටයිල් එක 1960 ගණන්වල පටන් ගත්ත ‘නිව් ජර්නලිස්ම්’ කියන ගමනෙම වර්ධනයක් විදිහටත් කියනවා. මේක ටොම් වුල්ෆ් වගේ මාධ්‍යවේදීන් විසින් ‘වුණ දේ ඒ විදිහටම’ කියන්න පාවිච්චි කළ විදිහක්.

තොම්සන්ගෙන් මේ ගැන ඇහුවම එයා කියනවා ‘ වුල්ෆ් වගේ නැවත කතාවක් ගොඩනගන්න මට  ඕනකමක් නෑ. ඇත්තටම වුල්ෆ් මට වඩා හු`ගක් හොඳ වාර්තාකාරයෙක්. වාර්තාකාරයෙක් වෙන්න මට කොහොමවත්  ඕනකමක් නෑ’

මිචිගන් ඔන්ලයින් වල ජෙනිෆර් මැරිනෙල්ලි තොම්සන්ගෙ මේ මාධ්‍ය විලාසිතාව සහ බලපෑම් ගැන කතා කරනවා. ‘මේක මාධ්‍ය රචනයේ විතරක් වෙච්ච වෙනසක් නෙමෙයි. තොම්සන් නිසා සාමූහික සිතීමක්ම වෙනසකට ලක්වෙනවා. මාධ්‍යයෙන් එලියෙ තොම්සන්ගෙන් වුණු බලපෑම ගැන කියද්දි මට මතක් වෙන්නෙ ගේබි‍්‍රයෙල් රූමෙගේ ‘ද ෂෝර්ස් වී වෝල්ක්’ (අපි ඇවිදපු ඉවුරු) වගේ ආත්මීය ලියැවීම්.

හන්ටර් තොම්සන් වෙනස් මාධ්‍යකරණයක් ඇතුලෙ අද කාලෙට අවශ්‍ය සිතීමක් අඳුන්නා දුන්නා. ඒක අලූත් පරම්පරාවල ඇට,මස් ඇුතුලෙන් කිඳාබහින කලාවක්. තොම්සන් වගේ කෙලවරක් නැති හිතුවක්කාර අත්දැකීම් වල ගමන් කරයි කියල හිතන්න බැරි වුණත් අලූත් බ්ලොග් සහ පුරවැසි මාධ්‍යවේදය වගේ දේවල් හරහා මේ ස්ටයිල් එක තව දුරටත් ගමන් කරන වග පැහැදිලියි’

තියෙන ඉඩකඩ ඇතුලෙ හැමදෙයක්ම කියන්න ගියාම ඒක ඇකිලෙනවා. තෙරපෙනවා. ඒත් මට  ඕන වුණේ ගොන්සො ගැන ලොකු කැන්වස් එකක තැන තැන පාට ඉහිරවන්න මිසක් චිත‍්‍රයක් අඳින්න නෙමෙයි. ඉවර කරන්න යද්දි අපේ ඔෆිස් එකේ සිදත් කියන කතාවක් මට මතක් වෙනවා.

‘ ඕෂො ලා ක‍්‍රිෂ්ණමූර්තිලා හොඳයි කියන්න විතරක්. ඒත් කරන්න උන් හරියන්නෙ නෑ’
ඒ වගේ හන්ටර් තොම්සන්ලගෙ ගොන්සො කලාව හොඳයි ඇමරිකාවට. ඒත් ලංකාවට  ඕවා හරියන්නෙ නෑ කියල අපි පරණ පුරුදු මොට්ට ලිවිල්ලම ලියමු.

-චින්තන ධර්මදාස

Sunday, June 17, 2012

කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලයක්...

මේ පාර ලියන්නෙ මොකක් ගැනද කියල කල්පනා කරද්දි මට කාලෙකට ඉස්සර සිරිමල් පාරාදීසෙට ලියපු පෙරවදනක් මතක් වුණා. සිරිමල් පාරාදීසෙ කරද්දි පත්තරේට ආවෙ පෙරවදන ලියන්න විතරයි. ලොකු පත්තරේ හිස් පිටුවක් මැද්දෙ ඌ මෙහෙම ලිව්වා,
කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලයක්...
එච්චරයි. පාරාදීසෙ කවදාවත් ලංකාවෙ සිද්ද නොවුණු විදිහෙ වැඩක් වුණෙ සිරිමලාගෙ මේ හිතුවක්කාරකම හින්ද. ආයිමත් එහෙම පත්තරයක් ලංකාවෙ වෙන එකක් නෑ. ඒ සිරිමලාට ඇරෙන්න එහෙම වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නැති හින්ද.

කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලයක්...ආයිමත් එහෙමයි. කිසි දෙයක් සිද්ද වෙන්නෙ නැති, කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නැති කාලකණ්ණි කාලයක්. හැමෝම තමන් මැරෙන කල් ඉවසන් ජීවත් වෙනවා. කාගෙවත් ජීවිත පුංචි පුද්ගලික තිතකින් එහාට ලොකු වෙන්නෙ නෑ. අතීතෙන් එහාට වැඩෙන්න භෞතිකයක් නෑ. දේශපාලනයක් නෑ. පාලකයො ඇරෙන්න වෙන කාටවත් ජීවිතේ ගැන අදහසක් නෑ. ජීවිතේ හැමතැනම. කෑලි කෑලි.

මේ පත්තරේම කොමර්ෂල් බ්‍රේක් කියලා පළවෙන ආර්ටිකල් එකක ඒක ලස්සන විදිහකට කියල තිබුණ.
‘අපේ සිනමාව, කලාව හාරන්නෙත් අතීතය. කියන්නෙත් අතීතෙ හාරන්න කියල මිසක් අනාගතේ ගැන හිතන්න නෙමෙයි. ඉතිං හොරුත් අතීතෙ හාරන්න පටන් අරං. නිධන් හාරනවා කියන්නෙ ඒ අතීතෙ හාරන එකේ භෞතික මුහුණුවර’
වචන වෙනස් වෙන්න පුළුවන්. ඒත් අදහස වුණේ ඒක.

කාලෙකට පස්සෙ මියුසික් වැඩක් තිබ්බ හින්ද පාර්ක් ස්ටී‍්‍රට් පැත්තට ගියේ අලූත් මොකක් හරි අහන්න පෙරේතකමට. ගොඩක් දේවල් ලස්සනට තිබුණ. බොන්න තිබුණ. කන්න තිබුණ. ලස්සනට ඇඳගෙන කට්ටිය ඇවිත් හිටියා. වාදනය වුණත් සෑහෙන මට්ටමක තිබුණ. ඒත් ලොකු දෙයක් හිස්. කොච්චර බලන් හිටියත් ඇ`ගට දැනෙන්නෙ නැති දුරක්. පිටස්තර ගතියක්.

ඒ වැඬේ ඇතුලෙ අදහසක් තිබුණෙ නෑ. විෂයක් විදිහට සංගීතය ඇතුලෙ ඒකෙම වූ ශ‍්‍රව්‍ය ව්‍යවස්ථා එක්ක හැප්පෙනවට වඩා එහායින් ජීවිතේ ව්‍යවස්ථාව එක්ක හැප්පෙන්න ඒ සංගීතය පරිණත වෙලා තිබුණෙ නෑ. ඒක තමයි අවුල. මිනිස්සු පුංචි පුංචි තිත් ඇතුලෙ ලොකු වෙන එක. මං මේ කතාව කෙලින් අහලා තියෙන්නෙ අජිත් ගෙන් විතරයි.

මට සංගීතය කියන්නෙ පැෂන් එකක් නෙමෙයි. ඒක මට මිෂන් එකක්.
එලියට බැස්සොත් මරණයක්. පත්තරයක් පෙරළුවොත් මිනීමැරුමක්. ටීවී එක දැම්මොත් ලෙඩක් ගැන කතාවක්. මගේ යාලූවො ගොඩක් අසනීපෙන්. තව අය භාවනා කරලා ඵලාවබෝධය කරලා. මං වගේ අය එලිවෙච්ච වෙලාවෙ ඉඳන් ? යක්කු ගස් නගින වෙලාව වෙනකල්වැඩ. ඉස්සර වගේ හැන්දෑවට ප්ලේන්ටියක් ගහලා  ඕපදූපයක් කතා කරන්න කවුරුවත් නෑ. ජීවිතේ මේ තරං හුදකලාවක් දැනිච්ච කාලයක් මට මතක නෑ.
යුද්දෙ තියෙද්දි මිනිස්සු හැමෝම ට‍්‍රයි කළේ ජීවත් වෙන්න. නීට්ෂේ කියනවා වගේ ගිනිකන්දක් උඩ ඉන්න කොට තමයි ජීවිතේ හරියට දැනෙන්නෙ. සටන් බිමක් විදිහට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. යුද්දෙ නැති වුණාට පස්සෙ ඒ හිස්කම පිරෙව්වෙ මරණය. ලංකාවෙ හැමෝම පැසිව් ජීවත ගත  කරන්න පටන් අරං. බුදුන් කියනවා වගේ ‘ජීවත් වුණත් මළාක් වැනි’ ජීවිත අපිට තියෙන්නෙ. සිකුරු මාරු වෙන කල් අහස දිහා බලන් ඉන්න සහ ඒ අපල මැකෙන්න බෝධි පූජා කරන අසරණ ජනතාවක් උදේට හවසට ඇෙ`ග් හැපෙනවා. අපි දන්නෙ නැති වුණාට සමාජය වාෂ්ප වෙලා ගිහින්. ආණ්ඩුවට දොස් කියලා වැඩක් නෑ. මහින්ද රාජපක්‍ෂ කියන්නෙත් මේ හිස්කමේ ප‍්‍රකාශනයක් විතරයි. රත්තරං, නිධන්, ගුරුකම්, වෙදකම් සහ හින්දි නිළියන්ට එපිටින් රාජ්‍ය තන්ත‍්‍රයක් නෑ. ෆොන්සේකා කියන්නෙත් මේ කාසියෙම අනිත් පැත්ත මිසක් අලූත් විකල්පයක් නෙමෙයි.

පුරාවිද්‍යා චක‍්‍රවර්ති හාමුදුරුවොත් කිව්වා, ‘ආණ්ඩුව නිධන් හාරන්න  ඕන තමයි. ඒකෙ වැරැුද්දක් නෑ’ කියල. ඒකට දයාසිරි ජයසේකර හොඳ උත්තරේකුත් දුන්න.

‘දන්න විදිහට මේ රටේ චක‍්‍රවර්තිලා හිටියෙ දෙන්නයි. එක්කෙනෙක් බයිලා චක‍්‍රවර්ති එම්එස් ප‍්‍රනාන්දු. අනිත් එක්කෙනා පුරාවිද්‍යා චක‍්‍රවර්ති අපේ හාමුදුරුවො. මං කියන්නෙ හාමුදුරුවනේ ඔය දෙක පටල ගන්න එපා’
මේ අපි මුහුණ දෙන්නෙ අපේ ඇත්තට. අපේ ඇතුලෙ හැමදාම තිබුණු බොරුවට. උතුරෙ ප‍්‍රභාකරන් හින්ද අපිට අරමුණක් තිබුණ. අපි ලෝකෙ දරුණුම ත‍්‍රස්තවාදී කණ්ඩායමේ අනෙකා විදිහට අපි ලොකුවට පෙණුනෙ. ඒකෙන් අපේ දූපත් ගතිය වැහුණ. හැමදාම පුපුරන බෝම්බ මැද්දෙ මිනිස්සු ජීවත් වෙන්න ආසාවෙන් පොරබැදුවා.

ඒත් යුද්දෙ ඉවර වුණත් එක්කම අපි ලෝකෙන්ම හුදකලා වුණා. අපේ රටේ නායකයට වත් බටහිර රටකට යන්න බැරි තත්වයක් ඇති වුණා. රටේ ඇමතිවරු කොකා කෝලා සහ ගූගල් තහනම් කරන්න කතා කළා. අපි ආයිමත් දූපතක් වුණා. වෙළඳ දැන්වීම් ඔක්කොමත් ‘පරණ කතා’ ගැන. චිත‍්‍රපටි ඔක්කොම රජ කතා වුණා. අන්තිමට ඉතිහාසෙ කුවේණි ඇඳුමෙ පාටට ගැළපෙන ජංගියක් පවා ඇන්දා. ඒ ගැන ලස්සන කමෙන්ට් එකක් දාලා තිබුණ.

‘විජය කුමාරයා එන විට කුවේණි සිටියේ කපු කැට කැටය. ඉන් අදහස් වන්නේ අපට දියුණු සංස්කෘතියක් තිබුණු බවය. කපු කැට්ටේ ඇඳුම් හදා ගන්නය. ඇඳුම් හදාගන්න පුළුවන් නම් ජංගියක් හදා ගන්නවා කියන්නේ සිම්පල් වැඩකි. ඇඳුම් හදාගෙන ජංගි මසාගෙන අඳිනවා පමණක් නොව ඒවා රෝස පාටින් වර්ණ ගැන්වීමට පවා අපේ මුතුන් මිත්තන් දැන සිටියාය යන්න චිත්තර පටියකින් හෝ අනාවරණය වීම අපට මහත් ආඩම්බරයකි’

ඊට පස්සෙ රාවණා එලියට ආවා. දැන් හැම පත්තරේකම පිටුවක් හෝ දෙකක් රාවණා ගැන පට්ට කෙප්ප වලින් පිරිලා. තවත් කට්ටියක් රාවණා ආයිමත් ඇහැරෙනකල් බලන් ඉන්නවා. ඉතුරු පිටු ටික පුරවන්නෙ හදි හූනියම් සහ යක්‍ෂ කතා. භාවනා සහ මේ සෝවාන් සකෘදාගාමී ඵල ලැබීම ගැන කතා වලටත් තියෙන්නෙ හොඳ ඉල්ලූමක්. මේ අපි කියවන්නෙ සහ ලියන්නෙ මොනවද කියන එක ගැන කියවන උන්ටවත් ලියන උන්ටවත් ලැජ්ජාවක් නෑ. මගේ එහාපැත්තෙ අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලත් උනන්දු වෙන්නෙ මැරුණට පස්සෙ ඉපදෙනවද නැද්ද කියල හොයන්න. මාත් අන්තිමට නතර වෙලා කියවමින් ඉන්නෙ දීපක් චොප්රා ගෙ ‘ලයිෆ් ආෆ්ටර් ඩෙත්.

මේක විෂබීජයක් වගේ ආසාදනය වෙනවා. ආර්ථිකය, දේශපාලනය හා සමාජය මිත්‍යාවක් වෙද්දි මිත්‍යා සියල්ල ඇත්ත වෙන්න පටන් ගන්නවා. හැම පංතියකම අය එක එක විදිහට මේ ලෙඬේට ගොදුරු වෙනවා. ඒ දවස්වල පශ්චාත් නූතන තත්ව ගැන සංවාද කරපු විශ්ව විද්‍යාල අචාර්යවරු තමන්ගෙ ළමයින්ට ජනප‍්‍රිය පාසැල් ඉල්ලලා ගේට්ටුවල එල්ලිලා වැඩවර්ජන පටන් අරගෙන. සමස්ත සමාජයේ මානසික බිඳ වැටීමක්, සමාජ මානසික අවපාතයක් උඩුදුවන වග පැහැදිලි වුණත් ඒ ගැන බෝධි පූජාවකින් එහාට කරන්න දෙයක් කවුරුවත් දන්නෙ නෑ.

මට සිරිමලා ගැන ඉරිසියා හිතුණ. එදා මහජන පුස්තකාලෙ, විශ්ව විද්‍යාල ඇතුලෙ සංවාදයක් හැදෙන්න අවකාශයක් තිබුණ. එදා කොල්ලො කෙල්ලො මැරෙන දවස බලාගෙන ජීවත් වුණේ නෑ. ඒ වෙනුවට දේශපාලන සමාජ සවිඥාණකත්වයක් ජීවත් වෙන්න තේරුමක් හදලා දුන්නා. පාරාදීසෙ වැඩියෙන්ම විකිණෙන යොවුන් මාසිකය වුනේ ඒකයි. ඒත් අද මොකක්ද විකුණන්න පුළුවන්?

අද වැඩියෙන් ආර්ට් කරන්න කට්ටිය එකතු වෙනවා කියලා අපිට පේන්න පුළුවන්. ඒත් ආයිමත් ඒ කරන ආර්ට් ඇතුලෙ පේන්නෙ මේ තියෙන හිස්කමම විතරයි. කොටින්ම චිත‍්‍රපටියක් කෙරෙන්නෙ පිටරට සම්මාන වෙනුවෙන් විතරයි. (මේ රටේ පෙන්නන්න කරන චිත‍්‍රපටි ඇතුලෙ තියෙන්නෙ ටැක්ස් සහ තවත් නොයෙක් මගඩි) මෙතනදි චිත‍්‍රපටි කරන අය අනිත් අය වගේමයි. ඔහේ අහස දිහා බලාගෙන ඉන්න එක ඇරුණම අනිත් හැම ශ‍්‍රී ලාංකිකයෙක්ම ට‍්‍රයි කරන්නෙ කොහොම හරි රට පනින්න. මියුසික් කරන, ෆිල්ම් කරන, ලොකු ආර්ටිස්ට් ලා පවා පොඩි ජොබ් එකක් සෙට් වෙනකල් ඉන්නෙ ඇමරිකාවට හරි වෙන කොහේ හරි පැන ගන්න. ඒ බංකොලොත්කම අපේ රටේ මේ වෙලාවෙ ඇත්තක්. ලියන්න ගත්තම කිසි අදහසක් නොඑන හිස්කමත් ඒ අරාජිකකමේ පුද්ගලික ප‍්‍රකාශනයක්.

‘මචං, මේ ළ`ගදි කියවපු එකක තිබ්බ අදහසක්. අපි සවුන්ඞ්ස් කියලා කිව්වට එහෙම සවුන්ඞ්ස් කියන එක ඇත්ත නෙමෙයි කියලා ඩයලොග් එකක් යනවා. ඒක මරු. උන් කියන්නෙ සවුන්ඞ් එකක් ඇහෙන්නෙ, ඒකට අදහසක් දෙන්නෙ ඔලූව ඇතුලෙ තියෙන ඉමේජ් එකක් කියල. හීනවලදි වගේ. සද්දෙ ඇහෙනවා වගේ දැණුනට ඇත්තට පේනවා විතරයි. හොඳට බැලූවොත් අපිට හැම සවුන්ඞ් එකක් එක්කම පේන්නේ රූපයක්. එතකොට සද්දෙ කියන්නෙ ස්වභාවයෙන්ම ද්විතියික කාරණයක් කියලා උන් ඒක දෙකේ කොලේට දානවා. මචං ලෝකෙ එහෙම තැනක සංවාද යනකොට මගේ ‘පිච් අවුට්’ කියලා අපේ ප‍්‍රශ්න කරන්න එනවා. අනේ මචං මං කියන්නෙ මේකයි. ‘මං උඹලට සිංදු කියන්න ආවෙ නෑ. කරුණාකරලා පටලවාගන්න එපා. මං සිංදු කියන්නෙ නෑ. මං උඹලව අවුල් කරනවා විතරයි’.

අජිත් කුමාරසිරි ජාඇල ඉඳන් ඇවිත් හවස චැට් එකකට සෙට් වුණා. ගොඩක් කාලෙකින් ගොඩක් දුර ඉඳන් ඇවිත් හරි කරන කතා බහ මිසක් වෙන කිසිම දෙයක් නැති සංස්කෘතික කාන්තාරෙක අපි. තාමත් එකතු වෙන්න තරම් මනුස්සකමක් තියෙන, එකතු වෙලා කතා කරන්න තරම් අදහසක් තියෙන යාලූවන්ව වෙනදට වඩා වටින්නෙ ඒකයි.

නැත්තං මේ දූපත ගොඩක් පාළුයි.

-චින්තන ධර්මදාස

ටෙලිවිෂන් වංශකතාවක කෙලවර. හිරු නගීද? නැත්තං බහීද?


ජීවිතේ යන්නෙ කලාව කියන හැටියට නෙමෙයි. ජීවිතේ යන්නෙ ටීවී එකේ නරකම දේවල් වල හැටියට.
-වූඩි ඇලන්

අලුත් ටීවී චැනල් එකක් එනවා කිිව්වම හැමෝටම  ඕන වුනේ වෙනසක්. හැම චැනල් එකක්ම තිබ්බෙ එකම රාමුවක. එකම වෙලාවට ටෙලි නාට්ටි. එකම වෙලාවට ප‍්‍රවෘත්ති.  හරි බෝරිං.  ඕනකරන්නෙ කොයි වගේ දෙයක්ද කියලා හරියට නොතේරුණත් මොකක් හරි දෙයක් හැමෝටම  ඕන වෙලා තිබුණ.

ටීවී එක පුදුම විදිහට දියවෙලා යමින් තිබුණෙ.(සහ තියෙන්නෙ) ලෝකෙන් සම්පූර්ණයෙන් හුදකලා වුණු විශ‍්‍රාමික දෙමව්පියෝ විතරක් ටීවී එක ඉස්සරහ වාඩි වෙලා හිටියා. තරුණ කියලා කොටසක් හිටියෙ නෑ. ඒ ගොල්ලො ටීවී එකෙන් අයින් වෙලා ඉන්ටර්නෙට් එකට සෙට් වුණා. ඉතුරු කීපදෙනා වයසක මතවාදම තරුණ කියලා බෙදාහදා ගත්තා. පෝය බණත් එකට වැඩිහිටියො එක්ක බෙදා හදා ගන්න නව ගංගොඩවිල සෝම විසින් ඇති කරපු තරුණ පරපුර වගේ කොටස් මෙතන හිටියා. තාමත් වැඩිම පිරිසක් බලන්නෙ මේක කියල සංඛ්‍යා දත්ත වලින් කියන හින්ද දිගට ඇඞ් හම්බුණා. ඒත් මේ ඇඞ් බලන්නෙ සල්ලි දීලා බඩුවක් ගන්න පිරිසද කියල හොයන්න ඒ ප‍්‍රචාරකයන්ට උවමනා වුනේ නෑ. එකම කට්ටියක් ඇඩුත් බැලූවා. බණත් ඇහුවා. මෙගාත් බැලූවා. එන්න එන්න සරල ප‍්‍රාථමික කතා වලින් දවස රැුක ගන්න චැනල් පුරුදු වුණා.

‘ගොඩක් නොසතුටෙන් ජීවත් වෙන මිනිසුන් වැඩි වශයෙන් ටීවී බලන අතර සතුටෙන් ජීවත් වෙන අය වඩාත් කියවීමට සහ සමාජ ආශ‍්‍රයන්ට යොමු වෙයි. වැඩියෙන් ටීවී බැලීම ඔවුන්ට ඒ මොහොතේ සතුටක් දෙන නමුත් කල් යන තත්වය වඩා නරක අතට හැරෙන්නට ඒක හේතුවක්’
-සෝෂල් ඉන්ඩිකේටර් රිසර්ච්

ජාතික නාලිකා වලට පස්සෙ ටීවී ඇත්ත අභියෝගයක් විදිහට බාර ගත්තෙ සිරස. ලක්‍ෂපතිආරච්චිට සිරස යන තැන ගැන හොඳ දැනීමක් තිබ්බා. වෙනස්ම වැඩසටහන් මාලාවක්, වෙනස් කාල සටහනක් එක්ක සිරස අලූතෙන් ටෙලිවිෂන් පටන් ගත්තා. එච්චර කල් එක තැන හිටවුණු කැමරාව එහාට මෙහාට හෙල්ලෙන, නාගරික අත්දැකීමක් එතන තිබුණ. ඒත් හැම ව්‍යාපෘතියක් වගේම ඒකත් ඉවර වුණා. සිරස ගන්න දෙයක් නැති තැනට පල්ලම් බැස්සා. යුද්දෙ අන්තිම වෙද්දි සිරසෙ දේශපාලනය බංකොලොත් වුණු එක මේකට හේතුවක් වෙන්න පුළුවන්. සිරස ප‍්‍රවෘත්ති පවා ඇල්වතුර වගේ වුණා.

මේ අතරෙ වෙන දේශපාලනේක වැඩ පටන් ගත්තා. මොලේට වෙඩි වැදිලා දුමින්ද සිංගප්පූරුවෙ ඉද්දි රෙනේද සිල්වා හිරු ටීවී ගුවන්ගත කළා. එතන නිමල් ලක්‍ෂපතිත් හිටියා. සිරසෙන් ආපු ගොඩක් අයත් හිටියා.  සල්ලිත් තිබුණ. දේශපාලනෙත් තිබුණ.

‘හිරු හොඳට නගියි’ මටත් හිතුණ.

මටත් ටීවී චැනල් එකක් ගැන අලූත් බලාපොරොත්තුවක් තිබුණ. ඒවෙද්දි ටීවී එක පවුල් අතර සම්බන්දෙ අන්තිම පුරුක වුණු හින්ද. චිත‍්‍රපටියක්වත් බලන්න නොයන ශ‍්‍රී ලාංකේය පවුල එකට ඉඳගෙන බලන් ඉන්න අන්තිම පුංචි තිරේ හින්ද. එතනින් එහාට හැමෝම තම තමන්ගෙ කාමරවල තනි තනි ලැප්ටොප් දිග ඇරගෙන. ලෝකයක් එක්ක එකපාර සම්බන්ධ වුණත් අපිට එහා කාමරේ මිනිහත් එක්ක තේකක් බොන තරම් සම්බන්ධයක් නෑ. ඒක නිසා අලූත් ටීවී එකක් ගැන මට බලාපොරොත්තුවක් තිබුණ.

හිරු බය නැතුව තරුණ පිරිසකට ඉලක්ක කරන්න තීරණය කරල තිබුණ. ඉන්දියන් එම්ටීවී එක සිංහලෙන් කරන්නයි සැලසුම් කරලා තිබුණෙ. ඒත් අන්තිම වෙද්දි අවදානම ගැන බයක් එන්න ඇති.
සුපුරුදු උදේ වැඩසටහන් ටික ආවා. දොස්තරලා, සාස්තරකාරයො, නළු නිළියො ආවා. ඒ මැද්දෙ කොහෙටවත් නැති කෑලි කෑලිත් ආවා. ? මෙගා ටිකත් ආවා. තිබුණට වඩා හු`ගක් කැතට ඒවා වීඩියෝ කරලත් තිබුණ. හැමතැනම සිංදු තිබුණ. හැමතැනම ප්‍රෝග‍්‍රෑම් තිබුණ. ඒවා මොනවද කියල වෙන වෙනම හොයාගන්න බැරි තරම් ඔක්කොම එක වගේ. එක ගොඬේ.

හිරු ටෙලි නාට්ටි බෙල්ට් එක කිසිම සැලසුමක් නෑ. මෙලෝ රහක් නෑ. එක්ටැම්ගේ ෆිල්ම් එක ටෙලියකට අරං ඒක කාලා. මේක්අප් පුරෝගත්ත පියුමි එක්ක හැ`ගීමක් ඇතුව දෙබසක්වත් කියාගන්න බැරි අමිලව දාලා. ජෝගෙ ඒ අද්විතීය චරිතෙ කොපි කරන්නෙ රොජර්. හර්බට් රංජිත් පීරිස්ව මතක් වෙලා ඇත්තටම මට ඇ`ඩුණ.

ලංකාවෙ පළවෙනි ඩිජිටල් බ්‍රෝඞ්කාස්ට් එක හිරු ටීවී. මෙච්චර කල් ලංකාවෙ 95%ක් බලන්නෙ අපේ එක කියල කිය කිය හිටපු අයිටීඑන් එකේ තනි බලය අභියෝග කරේ හිරු. ඒත් හිරු මොනාද පෙන්නන්නෙ?
ජාතික රූපවාහිනියටත් වඩා අන්ත මැදිරියක් ඇතුලෙ මළානික නිවේදක නිවේදිකාවො ටිකක් එලෝ මෙලෝ දැනුමක් නැතුව උදේ වැඩසටහන් පටන් ගත්තා. තමන් කියන්න  ඕන මොනවද, තමන් වැඩසටහන අරං යන පදනම හෝ හේතුව මොකක්ද කියන තාර්කිකත්වය වෙනුවට ඒකට අපි කියන්නෙ ‘මරු කියවනවා’ කියල.
කිසිම සංවාදයක් ඒ අවශ්‍ය කාරණා දක්වා අරං එන්න අවශ්‍ය අවම කාලය, මූඞ් එක වගේ දේවල් ගැන කිසි දැනුමක් නැති විදිහට වැඩසටහන් අතන මෙතන මාරු වුණා. දකින මුල් රූප රාමු කීපෙකින්ම චැනල් එක ගැන කියන්න පුළුවන් වෙන නරකම අදහසක්, අතිශය ආධුනික  කාලසටහන් සකස් කිරීමක්. ඒ වගේම එක්තරා වැඩසටහනකින් ඊළග වැඩසටහනට රූප මාරු වුණාට මනස මාරුවෙන්න ගත වෙන කාලය වගේ දේවල් හිරුට කොහෙත්ම වැදගත් නෑ. ආයුර්වේදෙ ගැන කතා කර කර ඉඳලා එක පාරට හනිමුන් එකක නොකිය යුතු කරුණු දහයක් මැද්දට වැටෙන්න ඉඩ තියෙනවා. ඊටපස්සෙ ඇඞ් ගෝනියක්. රැුඳී සිටින්න පෝලිමක්. වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් එක හත් අට වතාවක් රිබන් වලින් ඔතලා ඉරේ කෑලි හයි කරලා ආයිමත් නළුවෙක් එක්ක කතාවක්.

‘පරණ දේවල් ආයිමත් සමාජයට මතක් කරන එක වැදගත් නේද?’

මෙහෙම ලිව්වට මේක නොතේරෙන්න පුළුවන්. පුදුම හිතෙන දේ කිසිම ආරාධිතයෙක් වාක්‍ය දෙකකට වඩා කතා නොකරන එක. ආවා නම කියන්නත් කලින් එයා ගිහින්. අපි ඊළ`ග වැඩසටහනේ. මේක දිහා ටික වෙලාවක් එක දිගට බලන් හිටියොත් ඔලූව රිදෙන්න ගන්නවා. ඒ අර්ථයක් රහිත රූප හුවමාරුව ඔක්කාරය ඇතිකරනවා.

උදාහරණයක් විදිහට ‘17 අගේන්’ කියලා ඒකෙ යන ප්‍රෝගෑම් එකට එකපාර දුසිමක් විතර ආරාධිතයො එනවා. දා හතේදී ඒ ගොල්ලො ගැන කියාගෙන යනවා. එහා පැත්තට මෙහා පැත්තට කැපෙද්දි සමහර වෙලාවට මේ කවුද මොනවද කරන්නෙ කියලවත් මතක නෑ. අඩු ගානෙ ටින් නම දාන්නෙ වත් නෑ. බලන් ඉද්දි ඔලූව ඔල්මොරොංදං.

‘බෝරිං වෙයි කියල බය හින්ද ප්‍රොඩියුසර්ලා වැඩියෙන් ගැටුම් ඇති කරන්න දේවල් කරනවා. ඒ ගොල්ලො කැමතියි පුද්ගලයො අතර ගැටෙනවට. ඔවුන්ගෙ මතවාද අතර ගැටෙනවට වඩා. ඒ ගොල්ලො අවධානය ඇදලා ගන්නෙ ක‍්‍රීඩාව සහ ක‍්‍රීඩකයන් වෙත. ඒ වෙනුවෙන් අවදානමේ ඇති දේ ගැන ඒ අය කියන්නෙ නෑ. ඒකට තමයි වෘත්තිමය පළපුරුද්ද කියන්නෙ’
-පියරෙ බෝර්ඩියෝ

මේකට තෝරගෙන ඉන්න වැඩසටහන් ඉදිරිපත් කරන අයගෙන් ගොඩක් අයත් කතා කිරීමේ කලාව දන්න අය නෙමෙයි. කිසිම ආකර්ශනයක් වැඩසටහන එක්ක තියාගන්න ඒ ගොල්ලන්ට බෑ. (කැරිස්මා එකක් නෑ) ඉරියවු අතින් වගේම අදහස් අතිනුත් මේ ඉදිරිපත් කරන්නන් හු`ගක් පිටිපස්සෙන්. පළවෙනි වතාවට මට අයිටීඑන් වගේ චැනල් වුණත් මොකක් හරි දෙයක් දන්නවා කියලා හිතුණ. අඩු ගානෙ පරණ හණමිටි අදහස් ගැන හරි උන් කන්ෆිඩන්ට්. මේකෙ ප‍්‍රසන්ටර්ස් ලට තමන් කියන දේ විශ්වාස නෑ.

චැනල් එකක් විදිහට ගොඩක් දේවල් තිබිලත් හරියට  ඕන තැනට හිරු ගන්න බැරි වුණේ ඇයි? හරි දිශානතියක් නැති වීමේ අවුල පැහැදිලියි. තරුණ කියන කොටසට පටන් ගත්තට අන්තිමට අනිත් හැම චැනල් එකකම දේවල් එම්ටීවී දේවල් එක්ක කෑලි කෑලි කොත්තු කරන එකෙන් හිරු කොහෙටවත් නැති වෙනවා.  ඔහේ රූප ගොඩක් එහේ මෙහේ යනවට අමතරව කිසි වැඩසටහනක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගන්න කාලයක් හිරුගෙ නෑ.

අනිත් අතට හිරු රේඩියෝ එක විෂුවල් කරන්න ගන්න ට‍්‍රයි එකකුත් ඒක ඇතුලෙ පේනවා. හිරු මෙගා බ්ලාස්ට් වගේ රේඩියෝ දැන්වීම් ලොකු අකුරු වලට කපලා ඔක්ටපෑඞ් තාලෙට හොල්ල හොල්ල නටවලා කතා කරන්නෙ කාටද? එම්ටීවී එක්ක මේ මෙගා බ්ලාස්ට් කොහොම ගැලපෙනවද කියලා හිතාගන්න බෑ. ඇත්තටම හිරු පායන්නෙ අගුණකොලපැලැස්සටද?

‘මොකද්ද අනේ ඒ චැනල් එක? මොකුත් නෑනෙ.’

ගොඩක් අය මට කිව්වෙ එහෙම. ලොකු හිස්කමත් ඇරෙන්න කිසි දෙයක් හිරු අරං ඇවිත් තිබුනෙ නෑ. අනිත් චැනල් වල තියෙන ප‍්‍රවෘත්ති වත් නැති වුණාම සම්පූර්ණයෙන්ම හිස් වගේ. නිමල් මේ මොකද කරගත්තෙ? මට හිතුණ.

බරපතල වැරදි කීපයක් එතන තිබුන. ඉන්දියාවෙ එම්ටීවී එක ලංකාවට ගැලපෙන තරම ගැන හොඳ සමීක්‍ෂණයක් හිරු එකට නැති වග පැහැදිලියි. ‘නෝ මාස්ක්’ වගේ වැඩසටහනක් ගත්තොත් ඒ ආකෘතියම නැවත හිතන්න  ඕන තත්වයක්. වෙස්මූණක් ඇඳන් කෙනෙක් කියන අදහසකට ලංකාවෙ තියෙන වලංගුකම මොකක්ද? ඒක සීරියස් විදිහට මේ රටේ බාර ගනීද?

දෙවෙනි එක කිසි තේරුමක් නැති වේගය. වැඩසටහන් සහ රූප මාරු වීම් ගැන ඇස කන හා මනස සම්බන්ධ වෙන කාලය ගැන වැටහීමක් නැතිකම බරපතලයි. හැම වැඩසටහනකම තියෙන මේ හදිස්සියෙන් මොඩර්න් ගතියක් එකතු වෙන්නෙ නෑ. ඒ වෙනුවට පේ‍්‍රක්‍ෂකයා කිසි දෙයක් දකින්නෙ නැතුව යනවා.

අපිළිවෙල- හැම අපිලිවෙලක් යටම ඒකට අදාල පිලිවෙලක් තියෙන්න වෙනවා. එහෙම නොවුණු අපිලිවෙල දේවල් ඔහේ තිබිලා නැති වෙලා ගියා. කිසි කෙනෙක් බාර ගන්නෙ නැතුව. චැනල් එකක මේ අපිලිවෙල ඉලක්ක ගත පේ‍්‍රක්‍ෂක මනසෙ එහා මෙහා යාම් එක්ක සමපාත වෙන්න  ඕන. හිරු එකේ මේ ඉලක්ක ප‍්‍රජාව අන්තිම අවුලක්. අවුරුදු හැට ගානක ඉඳන් විසි ගාණට විනාඩියෙන් මාරුවෙනවා කියන්නෙ ඇ`ග රිදෙන වැඩක්. ඒක ටීවී බලන ජනතාව කරන්න කැමති වෙන දෙයක් නෙමෙයි.

‘ටෙලිවිෂන් බලන්නෙ හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන්නවත් වෙන කිසිම දෙයක් කරන්නවත් කම්මැලි මිනිස්සු. ඒ ගොල්ලො කොටින්ම හිතන්නවත් කැමති නෑ’
- සෝෂල් ඉන්ඩිකේටර් රිසර්ච්

අදහසක් නැතිකම- තරුණ කියන කොටසට කතා කරන, ඒ කියන්නෙ ෆේස්බුක් එකෙන් එලියට ඒ අයව අරන් එන්න හිතන වැඩකට අදහසක් තියෙන්න  ඕන. උදා විදිහට එම්ටීවී එක (ඉන්දියාවෙ නෙමෙයි) වාරණයන්ට එරෙහිව, අයිතිවාසිකම් ගැන විවිධ අරගල කරන්නෙ මේ අදහසත් එක්ක. ඒ ප‍්‍රජාවට ඒක සීරයස්. ඒක ජීවිත ක‍්‍රමයක්. විලාසිතාවක් නෙමෙයි. හිරුගෙ තියෙන ලොකුම අඩුවත් මේකයි. අද තියෙන අනිත් හැම බාල චැනල් එකක්මත් ජීවිත ක‍්‍රමයක් යෝජනා කරද්දි හිරු කියන්නෙ විලාසිතාවක් වෙනවා. පෝයට මිහින්තලේ යන එකෙන් භාවමය වටිනාකමක් ලැබෙනවා වෙනුවට හිරු ටීවී එකට ඒක අවාසියක්.
ටීවී කියන්නෙ රේඩියෝ නෙමෙයි- රේඩියෝ එකේ කරන දේවල් ටීවී එකේ කරන්න බෑ. ඒ වගේ කරන්න පුළුවන් එකම දේ බණ කියන එක විතරයි. (බුඩිස්ට් එකයි ටීඑන්එල් කරන්නෙ ඒක) විෂුවල් මීඩියම් එකේ වේගය සහ ඒ රූප මාරු වීම් සංස්කෘතික විදිහට කියවා ගැනීම (රේඩියෝ එකේ) සද්ද එහා මෙහා මාරු වීමට වඩා විශාලයි. ඒ වගේම රේඩියෝ එකට හිතාගන්නවත් බැරි ඔලූවෙ කැක්කුමක් ටීවී එකට දෙන්න පුළුවන් ඒ විදිහට. අනික රේඩියෝ අහන ජනතාවමයි ටීවී බලන්නෙත් කියල හිතුවොත් වෙන්නෙ ලොකු අනාගැනීමක්. රේඩියෝ අහන ජනතාව ටීවී එක ඉස්සරහ වාඩිවෙද්දි ඒ ගොල්ලො ඉල්ලන්නෙ වෙන දෙයක්. එකම ජනතාව පංති මාරු කරනවා. ඒත් පාරවල් ගහලා තියෙන හෝර්ඩින් දකිද්දි හිරු ටීවී කියලා ට‍්‍රයි කරන්නෙත් හිරු රේඩියෝ එකේම ඒ කිසි දෙයක් නැති සද්දෙ විතරද කියල සැක හිතෙනවා. ඒ හෝර්ඩින් පට්ට කැතයි. බාලයි.  ඒ කොහොම වුණත් හිරු රේඩියෝ එක ටීවී එකට ගෙනාවොත් නං කියන්න වෙන්නෙ හිරු නෙමෙයි මරු.

‘ඔයා තරුණ කාලෙදි හිතනවා මේ මාධ්‍යයට පිටිපස්සෙ කුමන්ත‍්‍රණයක් ඇති. අපිව මෝඩයො කරන එකයි ඒකෙ සැලසුම කියල. ඒත් ඔයා පරිණත වෙද්දි තේරෙනවා ඒක වැරදියි කියල. මීඩියා කරන්නෙ මිනිස්සු ඉල්ලන දේවල් විකුණන එක විතරයි කියල’
-ස්ටීව් ජොබ්ස්

හිරු ගැන තිබ්බ බලාපොරොත්තුවත් ඉවරයි කියන්නෙ අපිට ටීවී එක ගැන තිබ්බ බලාපොරොත්තු ඉවරයි කියන එක. ජීවිත විලාසයක් විදිහට ටීවී ආපහු ගේන්න බැරිද කියන ඇත්ත අභියෝගෙට මුහුණ දෙනවා වෙනුවට හිරු ගියේ වෙනම අවුලක් ඇතුලට. මාධ්‍යයක කාලෙ ඉවරයි කියන්නෙ ඇත්තටම ඒකට වෙන්න ඇති. එතනින් එහාට මැජික් නෑ. පිස්සු කෙලිනවා විතරයි.

-චින්තන ධර්මදාස

Sunday, June 3, 2012

Story of O

















අසාමාන්‍ය කිසි දෙයක් නෑ.. කිසි දෙයක් අමුතු නෑ
මොකක්වත්ම නැති ගානයි
පරණ විදිහමයි... ඒ පරණ වැස්සමයි
මෙතන එක්ස්ප්ලෝෂන්ස් නෑ
ඊට පස්සෙ
සාමාන්‍ය නැති දෙයක්... මොකද්දෝ අමුත්තක්..
ඒ කිසි දෙයක් නැති හිස්තැනින්..

මං දැක්කා පියාඹන පීරිසියක්
ඉගිල්ලෙනවා ඔයාගෙ ජනේලෙට එහායින්
ඔයා දැක්කද... ඒක නොපෙනී ගියා...
ඒමී... එන්න මගෙ තාප්පෙ උඩින් ඉන්න...
ඇවිත් කියවන්න ‘ස්ටෝරි ඔෆ්  ඕ’
කියන්න විශ්වාසෙන් වගේ
මේ ශතවර්ෂෙ අන්තිමේ
වෙනසක් තියෙයි
ඔයාටයි....මටයි...

මේ ලෝකෙ මං ආසම සිංදුව. ඒක කියන්නෙ ඬේමියන් රයිස්...එයාගෙ පපුව ගැඹුරෙන්ම එන කෙඳිරියත් එක්ක... ඬේමියන් රයිස් මේ සිංදුව කියල නොතිබුණා නම් මං කවදාවත් ඔයා ළ`ගට එන එකක් නෑ... ඒමී මට කිව්වා.

ඬේමියන් රයිස් කියන්නෙ අයිරිෂ් ගායකයෙක්. තමන්ගෙම සිංදු ලියන..තමන්ම ලියන සිංදු කියන.. ඇත්ත ගායකයෙක්.. රයිස් මුලින් වැඩ කරන්නෙ ‘ජුනිපර්’ කියලා බෑන්ඞ් එකක් එක්ක. පස්සෙ රෙකෝර්ඞ් ලේබල් එක්ක එයාගෙ ආර්ට් එකට කරන්න වෙන සීමාවන් වලින් කළකිරිලා එයා බෑන්ඞ් එකෙන් අයින් වෙනවා. සිංදු කියන එක අත්ඇරලා ආයිමත් ගම් පළාතට ගිහින් වගා කරන්න පටන් ගන්නවා. එහෙදි අහම්බෙන් එයාගෙ සිංදු අහන හිතවතෙක් තමයි එයාට මෝබයිල් ස්ටුඩියෝ එකක් දෙන්නෙ ඉස්සරහට වැඩ කරගෙන යන්න.

ඒමී සිංදුව එන්නෙ රයිස්ගෙ ‘ ඕ’ කියන ඇල්බම් එකේ. මොකක්ද මේ ‘ ඕ ගේ කතාව’?

අවුරුදු දා හතරෙ පහලොවෙ කාලෙදි අපි ෆිල්ම් බලන්න එකතු වෙනවා වීඩියෝ ප්ලේයර් එකක් තියෙන කවුරු හරි යාලූවෙකුගෙ ගෙදරට. ඒ ගෙදර කවුරුවත් නැති දවසට. හොඳට සෙක්ස් තියෙන වීඩියෝ එකක් හොයාගෙන ඇවිත්  බලන එක කියන්නෙ මාර ලොකු වැඩක්. ආතල්ජනක අපරාදයක්. ඒ කාලෙ තියෙන්නෙත් වීඑච්එස්. ගොඩක් වෙලාවට ඒවායෙ පුස්.

ඔහොම දවසක අපි මෝටර් බයිිසිකලේකුත් තල්ලූ කරගෙන (ඒක පැද්දට වඩා කළේ තල්ලූ කරපු එක) වීඩියෝ සෙන්ටර් එකට ගිහින් යාන්තං රැවුල වැවිලා තිබ්බ අපේ යාලූවෙක් ඉස්සරහට දාලා අරං ආපු සොෆ්ට් පෝර්න් එකක නම ‘ස්ටෝරි ඔෆ්  ඕ’. ඒ වීඩියෝ කඩවල ‘පෝර්න්’ කියලා ගොඩක් වෙලාවට දෙන්නෙ (සම්භාව්‍ය) ෆිල්ම්ස්. මං මුලින්ම ‘ලේඩි චැටර්ලි ගේ ආදරවන්තයා’ බැලූවෙත් ඒ වගේ හොරෙන් ගෙනාපු වීඑච්එස් එකකින්. ඊට පස්සෙ ඒ නම හොයාගෙන මෙල්වින් ගුණසේකර පරිවර්තනය කරපු ‘අවසර කල් රහස් තැන’ තඩි පොත පුස්තකාලෙ පෙරළලා අරං ඇවිත් කියවන්න ගත්තා. හරිහමන් කෑලි හොය හොය මුලූ පොතම කියවන්න වුණා.

කොහොම වුණත් ‘ස්ටෝරි ඔෆ්  ඕ’ බලපු දවසෙ කරන්ට් ගිහින් අපිට වීඩියෝ එක එලියට ගන්න බැරි වුණා. ගෙදර අයට අතේ මාට්ටු. පස්සෙ කට්ටියම පෝලිමට තියලා ‘මොනවද මේ බලන්නෙ?’ කියල උන්ගෙ අම්මයි තාත්තයි ඇහුවා.
මං කිව්වා,
‘ඒක සම්භාව්‍ය චිත‍්‍රපටියක්’ කියල.
ඇත්තටම තාමත් මට ‘ෆිල්ම්’ කිව්වම එන ශෘංගාරය මේ හැම රහස් දෙයක්මත් එක්ක එකතුවුණු අමුතු නිදහසක් ගැන හැ`ගීමක්.

‘ස්ටෝරි ඔෆ්  ඕ’ ගැන මගේ මතකය ආයිමත් ඇවිස්සුණේ මේ සිංදුව අහද්දි. මොකක්ද මේ ‘ස්ටෝරි ඔෆ්  ඕ’?

‘ස්ටෝරි ඔෆ්  ඕ’ කියන්නෙ 1954 පීඩකකාමය සහ ලිංගික යටත්වීම වගේ කලාප හරහා ලියවෙච්ච ප‍්‍රංශ ශෘංගාරාත්මක නවකතාවක්. ඒකෙ කර්තෘ විදිහට සඳහන් වෙන්නෙ  ‘පෝලින් රේගේ’ කියලා නමක්. ඒත් ‘ඈන් ඩිස්ක්ලෝස්’ කියන ප‍්‍රංශ ලේඛිකාවයි මේ කතාව ලියන්නෙ. ඒ ‘මාර්ක්ස් ඩි සාද්’ ගෙ රචනා වලට මාර විදිහට ආශක්ත වෙලා හිටපු එයාගෙ පෙම්වතා වෙනුවෙන්. මේ පෙම්වතා ‘ජීන් පෝලන්’ ඡයාරූප ශිල්පියෙක්. එයා ඈන්ට කිව්වෙ කවදාවත් ගෑණියෙකුට ‘සබ්මිෂන්’ කියන වර්ගයේ සාද් තරම් භාවමය කෘති කරන්න බෑ කියලා. ඈන් අභියෝගය බාර ගන්නවා. එයා ජීන්ට එවන ආදර හසුන් විදිහට මේ නවකතාව ලියන්න පටන් ගන්නවා. ඇත්තටම ඒ ලියවිල්ලෙන් ජීන් අන්දමන්ද වෙනවා.

මේ පොතට පූර්විකාව ලියන්නෙත් ඒ පෙම්වතා, තමන් මේ ලේඛිකාව ගැන කිසි දෙයක් නොදන්න ගානට. මේක ඇත්තටම ඒ දෙන්නා අතර ආදර ගණුදෙනුවක්. පොත මුද්‍රණය වෙන්නෙ ඒ ආදරේ ලකුණක් විදිහට. තමන් නොසිතපු තරම් අඳුරු ගැඹුරු තැන් දක්වා කිමිදෙන්න තමන්ගේ පෙම්වතියට තිබුණු හැකියාව ගැන ආඩම්බරයක් විදිහට. පිරිමි කවුරුවත් විශ්වාස කළේ නෑ මේ පොත ඇත්තටම ගැහැණියක් විසින් කළා කියන එක.

1955දි මේ පොතට ප‍්‍රංශ සාහිත්‍යය සම්මානය පිරිනමනවා. (ඒ සම්මානෙ නම කියන්න ගියොත් මගේ දිව උළුක් වෙනවා) ඒත් පොත අසභ්‍ය රචනාවක් කියන චෝදනාව යටතේ අධිකරණයට යනවා. මේ ගැන ප‍්‍රංශ සදාචාර කමිටුව විසින් යෝජනා කරන ද`ඩුවම් ප‍්‍රතික්‍ෂෙප කරත් වර්ෂ ගණනාවකට මෙහි මුද්‍රණය තහනම් කරන්න අධිකරනෙට සිද්ද වෙනවා.

අවුරුදු ගාණකට පස්සෙ අසූ ගාණක් වයස ඩොමිනික් අවුරි කියන විද්වත් කාන්තාවක් පිළිගන්නවා මේ වෙස්මුහුණු හා කොටු කළ මාළිගා ආශ‍්‍රිත පරිකල්පනය තමන්ගේ කියලා. ඊට අවුරුදු දහයකට විතර පස්සෙ ඈන් ඩිස්ක්ලෝස් මරණාසන්නව ඉඳිද්දී හෙලි කරනවා ‘ස්ටෝරි ඔෆ්  ඕ’ ගැන ඇත්ත. එතකොට එයාට වයස 90ක් සහ ඊට කලින් ඩොමිනික් කියන නමින් පෙනී ඉන්නෙත් ඇයමයි..මේ විදිහට ජීවිතේ ඇතුලෙ කැරලි ගහන දෙයක් හැටියට කලාව පාවිච්චි වෙද්දි ඒක හැමදාටම හුස්ම ගන්න දෙයක් විදිහට දැනෙනවා කියල මට හිතෙනවා. ආයිමත් මට ඬේමියන්ගෙ සිංදුව මතක් වෙනවා.

ඒත්, මං ප‍්‍රාතිහාර්යයක් නෙමෙයි..
ඔයා සාන්තුවරියක් නෙමෙයි
ගමනාන්තයක් නැති මේ පාරෙ
තවත් එක සොල්දාදුවෙක් විතරයි....

‘ ඕ’ ගෙ පෙම්වතා විසින් ශෘංගාරයේදී තමන්ගෙ සිරුර සහ අනන්‍යතාව දියකිරීම, කැපකිරීම ගැන පුහුණු වෙන්න ඇයව පිරිමි කණ්ඩායමක් අතට පත් කරනවා. පියවරෙන් පියවර තමන්ව සම්පූර්ණයෙන් දිය කර හැරීමෙන් තෘප්තිය ලැබීම ප‍්‍රගුණ කරන ඇය සම්පූර්ණ වස්තුවක් බවට පත්වෙන තුරුම ඇගේ පුහුණුව තීව්ර කරනවා. ඒක නෙගටිව් දෙයක් විදිහට නෙමෙයි කතාව ඇතුලෙ එන්නෙ. ආර්ට් එකක් විදිහට. වෙනස් ගැඹුරු වින්දන මානයන් විදිහට. ඒ පරිකල්පනයේ අපූර්වත්වය වෙන්නෙ ආත්මය ඇතුලෙන් ඇත්ත ගැහැණියක් පිරිමියෙකුගේ වස්තුවක් බවට පරිවර්තනය වීමේ සංතෘප්තිය අත්දකින ඇත්තක් එතන නිර්මාණය වෙන හින්ද. සහ දේශපාලනය, හෝ දර්ශනය වෙනුවට මේ ගමනෙදි ආදරය සහ ශෘංගාරය පමණක්ම ආගම වෙන හින්ද. මේ අත්දැකීම සහ අත්විඳීම ගැන ප‍්‍රබන්ධය වෙනස් යතාර්ථයක් ඒ අවංකකම ඇතුලෙ. අවසානෙ කොහොම වුණත් මේක ආදරයේ අභ්‍යාසයක්. පීඩකකාමයේ (සේඩිස්ම්) පියා විදිහට සැලකෙන මාර්කස් ඩි සාද්ට වඩා එහාට යන්න ඈන්ට පුළුවන් වෙනවා. සාද් දකින පිරිමි ආස්වාදය ඇතුලෙන් ගිහින් ඊට විෂය වෙන ගැහැණු මනසෙ තෘප්ත සංවේදනා අවදි කරන්න ඈන් ‘ස්ටෝරි ඔෆ්  ඕ’ කරනවා. අවසානයේ වෙස්මුහුණකින් සැරසී, දම්වැලකින් බැඳී සුරතල් සතෙක් සේ මහා ප‍්‍රභූ පිරිසක් අතරට ඇවිද එද්දී ‘ ඕ’ අත්විඳින ‘සේඩිස්ම්’ වල ස්ත‍්‍රී අර්ධය (ස්වපීඩකකාමයේ ප‍්‍රාතිහාර්යය) ඈන් පලවෙනි වතාවට ලෝකෙට අඳුන්නා දෙනවා.

‘ස්ටෝරි ඔෆ්  ඕ’ කියන්නෙ ඒ කතාව.

මේ කතාව ගැන විචාරකයො එක එක දේවල් කිව්වා. ‘ ඕ’ කියන නම පාවිච්චි කිරීමේ හේතුව පවා ඒ ගොල්ලො කතා කළා. ඒ චරිතයේ නම කෙටි කිරීමට අමතරව ‘ඔබ්ජෙක්ට්’ (වස්තුව) කියන තේරුමත් මෙතනදි බලපාන්න ඇති කියලා මත පළවුණා. ඒ වගේම ‘ ඕ’ කියන අකුරෙ ස්වරූපය හැටියට නිකම්ම ‘හිලක්’ කියන රූපමය අදහසත් මේ නමේ තියෙනවා කියලා සමහරු කිව්වා. කොහොම වුණත් ස්ත‍්‍රීවාදියෝ මේ කතාවට මුල ඉඳලාම තදටම විරුද්ධ වුණා. ගැහැණියක් වස්තුවක් බවට පත්කිරීමේ පිරිමි අධමභාවය උත්කර්ෂයට නංවනවා කියලා ඒ ගොල්ලොන්ට ජුවල් නැග්ගා. කොහොම වුණත් ‘බීඞීඑස්එම්’ (බොන්ඩෙජ් සහ ඩිසිප්ලින්/ඩොමිනන්ස් සහ සබ්මිෂන්/සේඩිස්ම් සහ මැසොකිස්ම්) කියන ශෘංගාර කලාපෙ යෙදුම් ගණනාවක් ‘ස්ටෝරි ඔෆ්  ඕ’ නිසා බිහිවුණා.

ස්ත‍්‍රීවාදීන්ගේ විරෝධය ගැන කියද්දි මට සයිමන් ගැන අහපු ප‍්‍රබන්ධයක් මතක් වෙනවා. සයිමන්ගෙ කෘතිවල පිරිමි ලිංගික දෘෂ්ටියට තදින්ම විරුද්ධ ‘කුමාරි’ කියලා විද්වත් ඒත් ලස්සන ගෑණියෙක් මහජන පුස්තකාලෙ වේදිකාව උඩ සයිමන්ට පට්ට යන්න බනිනව(ලූ). සයිමන් හරිම ආසාවෙන් වේදිකාව පහළ ඉඳන් අහන් ඉන්නව(ලූ). බැනලා ඉවර වුණාම සයිමන් කියනව(ලූ), කුමාරි... ඔය තරම් සියුමැලි රතුපාට දෙතොල් තියෙන්නෙ ඔය තරං නපුරු වචන කියලා බනින්න නෙමෙය කුමාරි....ඔය රතුපාට සරාගී දෙතොල් තියෙන්නෙ මං වගේ පිරිමින්ව ඉඹින්න... කියල.

-චින්තන ධර්මදාස