Saturday, May 30, 2015

ආශා සියොතුන් ඉගිල ගියාවේ



මං බ්ලොග් එකට ලියන ලිපි වලින් වැඩියෙන්ම ෂෙයාර් වෙන්නෙ සහ ප‍්‍රතිචාර ලබන්නෙ දේශපාලනය නැත්්තං ආර්ට් ගැන ලියන ලිපි. අඩුවෙන්ම ෂෙයාර් වෙන්නෙ පුද්ගලික ජීවිතේ ප‍්‍රශ්න කරන ලිපි. ගොඩක් වෙලාවට අඩුවෙන්ම ජනප‍්‍රිය දේ තමයි නැවත නැවත කරන්න  ඕන වෙන්නෙ.
අමිල ගලප්පත්ති මෑතක පාර්ටියකදි මට වටින කතාවක් කිව්ව.

‘මචං උඹ මැක්‍රො දේවල් ගැන ලියන ආර්ටිකල් වලට මං එච්චර කැමති නෑ. ඒවා අපරාදෙ කියල මට හිතෙන්නෙ. උඹ මයික්‍රො දේවල් ගැන ලියන ලිපි මරු...’

අමිල මෙතනදි කියන්නෙත් මං උඩදි කියපු කතාවට සමාන කතාවක්. තමන්ගෙන් පිට මැක්‍රො දේවල් ගැන ලියන ලිපි කියවන්න, ෂෙයාර් කරන්න, අදහස් දක්වන්න වැඩි නැඹුරුවක් තියෙනවා. ඒත් ඒවා කොයිතරං පලදායීද කියල ආයිමත් හිතන්න වෙනවා. මයික්‍රො දේවල් වලට විසිල් එකයි අත්පුඩියයි නැති වෙන්න පුළුවන්, ඒත් ඒක වැඩක් වෙන්න පුළුවන්.

මේ ලියමනට මුල්වුනෙ මං එකදිගට අතනෑර බලපු ටෙලි සීරීස් එකක්. ෂෝ ටයිම් එකේ විකාශය වුණු, ද අෆෙයාර් නැත්තං ‘හාදකම’ කියන. මේක කරන්නෙ සාරා ටී‍්‍රම් සහ හැගායි ලෙවි කියන නිර්මාණකරුවන් දෙන්නා. සාරා ටී‍්‍රම් තමයි ප‍්‍රධාන. 2014දි විකාශය වුණු මේ සීරීස් එකට හොඳම ඩ‍්‍රාමා සීරීස් එකට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ලැබුණා. මේකෙ අද්විතීය චරිතය වන ඇලිසන්ගෙ චරිතය වෙනුවෙන් රූත් විල්සන් (මේ වෙද්දි මගේ ආසම නිළිය) හොඳම නිළිය සම්මානය ලැබුවා. ඒත් සීරීස් එක හොඳ වෙන්න මේ සම්මාන පිළිගැනීම් අදාල වෙන්නෙ නෑ.

මේ කතාව දිවෙන්නෙ පවුල් දෙකකට අයිති ගැහැණියක් සහ පිරිමියෙක් අතර අසම්මත සම්බන්ධයක් දිගේ. මේක එක විදිහකට ආදර සම්බන්ධයක් ගැන රෂෝමන් වර්ගයේ චිත‍්‍රපටියක්. අපි චරිත දෙක එකම සිද්දිය දැකපු දෙවිදිහක් තිරය උඩ දකිනවා. සරල විදිහට කිව්වොත් මේ අනියම් සම්බන්ධයේ වගඋත්තරකරුවන් වන ඇලිසන් සහ නොආ සලවේ දෙන්නගෙ ඇස් වලින් වෙන වෙනම අපි කතාව දකිනවා. ඒක හරිම ආස හිතෙන අත්දැකීමක්.

මගේ ජීවිතේ මම වඩාත්ම රස විඳින දෙයක් වෙන්නෙ ආදර සම්බන්ධතා ගැන පාර්ශ්ව දෙක වෙන වෙනම කියන කතා අහන් ඉන්න එක. මගේ ප‍්‍රියතම විෂය ඒක. ඒ සම්බන්ධතාවල දෙපැත්ත දකින දෙවිදිහ සහ දෙන්නම දකින්නෙ එකක් කියන විශ්වාසයේ ජීවත් වීම හරිම ආකර්ශනීයයි. මනුස්සයි. අපිට අපේ සම්බන්ධයකදි කවදාවත් අත්විඳින්න බැරි මේ යතාර්ථය වෙන කෙනෙකුගෙ ජීවිතය හරහා අපිට දකින්න පුළුවන්. ඒක කණ්ණාඩියක් වගේ.

සාරා ටී‍්‍රම් ‘ද අෆෙයාර්’ හරහා මේ සංකීර්ණතාවය ස්පර්ශ කරනවා. ඒක අතිශය සරාගී ස්පර්ශයක්. ඒ වගේම ගැඹුරු ස්පර්ශයක්. මේ සීරීස් එක එකට නරඹන්න බැරුව ගොඩක් අඹුසැමියන් අර්බුදයට යනවා. එක විදිහකට මේක තමන් සහ තමන්ගේ පෙම්වතා/පෙම්වතිය අතර තියෙන සම්බන්ධයේ දිග පළල මැනගන්න ප‍්‍රායෝගික අභ්‍යාසයක්.

‘මේක ලිවීම ඇතුලෙ මං වැඩියෙන්ම ආස කළේ මිනිස්සු ජීවිතය කෙළවගන්න හැටි ලියන්න වුණු එකට. ඒක හරි බය හිතෙන අත්දැකීමක්, එහෙම වෙන්නෙ මොකද, එහෙම වෙන්නෙ ඇයි, වගේ දේවල් හිතන්න ගත්තම. අපිට හැමතිස්සෙම  ඕන අපිට නම් එහෙම වෙන්නෙ නෑ කියල හිතන්න. නැත්තං අපි දෙවියන්ට කියනවා කාට එහෙම වුණත් අපිට එහෙම නරකක් වෙන්න එපා කියල. ඉතින් මේ විදිහෙ දෙයක් ලියන එක මම මගේ ඇතුලෙම තියෙන බය එලියට දානවා වගේ වැඩක්. ඒක එක විදිහක කැතාසිස් එකක්. ඊට පස්සෙ මං මගේ පවුල ඇතුලට යන්නෙ ගොඩක් සැහැල්ලූවෙන්..’
සාරා ටී‍්‍රම් මේ කතාව ලිවීමේ අත්දැකීම බෙදා ගන්නවා.

‘මං උත්සාහ කරන්නෙ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න ජීවිතයේ හැමතිස්සෙම නිවැරදි තෝරාගැනීම කරන එක ජීවිතය තේරුම් ගන්න හොඳ විදිහක් නෙමෙයි කියල. මට  ඕන ඒක ටිකක් අවුල් සහගත කරන්න. අපිට පුළුවන් අපේ අතීතයට ගිහින්  ඕනම සිද්දියක් අරගෙන එතනදි අපි ගත්ත තීරණය හරියටම හරි එක බව පේන විදිහට කරුණු පෙළගස්වන්න. ඒත් අපි නොදැනුවත්ව හරි තවත් මිනිස්සුන්ව රිදවනවා, තුවාල කරනවා, අපේ ගැලවීම වෙනුවෙන්. මට හිතෙන්නෙ අපි අපේ අතීතෙට ගිහින් වෙන තුන්වැන්නෙකුගෙ ඇහින් අපි පසු කළ සිද්දි දිහා බැලුවොත්, සමහර විට කතාවෙ දුෂ්ටයා අපි වෙන්න පුළුවන්. ඒක අමාරු තේරුම් ගැනීමක්. ඒක පය ගහලා ඉන්න අමාරු තැනක්. ඒත් විශ්වයේ අපි ඉන්න තැන තේරුම් ගන්න ඒක හොඳ අභ්‍යාසයක්...’

ද අෆෙයාර් සීරීස් එකේ කතාව සරලයි. පවුල සමග ගිම්හාන නිවාඩුව ගත කරන්න එන ‘නොආ සලවේ’ රෙස්ටොරන්ට් එකක සේවය කරන ඇලිසන් එක්ක අනපේක්ෂිත අනියම් පළහිලව්වක් පැටලෙනවා. ඇලිසන් කියන්නෙත් ටිකක් මදාවි තරුණයෙක් සමග විවාහ වෙලා ඉන්න තරුණියක්. ඇගේ කුඩා දරුවා දියේ ගිලී මිය යාමේ ඛේදවාචකයෙන් මනස ගලවාගැනීමේ අසාර්ථක උත්සාහයක ඇලිසන් පොරබදද්දි ආශා සුන් වුණු බලාපොරොත්තු පිරිහුණු පවුලක ප‍්‍රධානියා විදිහට නොආ දුක් විඳිමින් ඉන්නවා. මේ අනියම් ආදරය වැඩ කරන්නෙ මේ රසායනය ඇතුලෙ.

ලේඛකයෙක් වෙන්න පෙරුම් පුරන නොආට ලියන්න පුළුවන් වෙනවා. ජීවිතය ආපහු ආනන්දයෙන් සහ ත‍්‍රිලෙන් පිරෙනවා. පවුල අර්බුදයට යනවා. මරණීය තෘප්තියක ආස්වාදයේ අගිස්සෙ මේ දෙන්නා නැළවෙනවා. කතාව තියෙන්නෙ මේ සම්බන්ධය හරහා ඒ අයගෙ අනිත් වගකීම් සහගත නියම් සම්බන්ධතා අර්බුදයට යන්නෙ කොහොමද කියන එකත් එක්ක. මිනිස්සුන්ගෙ අතිශය සියුම් සංවේදනා ග‍්‍රහණය කර ගනිමින් පුද්ගලික ගැඹුරු නිමේෂයන් වල නතර කරමින් මේ අර්බුදය බලා සිටින්නාට අභිමුඛ කරනවා. තමන්ගේ හිතේ ගිල්ටියක් ඇති කරන්න පුළුවන් තරම් සමීපව සාරා කතාව මෙහෙයවෙනවා.

වැඩියෙන්ම වැදගත් වෙන්නෙ මේ කතාව දෘෂ්ටි කෝණ දෙකකින් කියවන එක. සමහර අවස්ථාවල අපි දකින මූඞ් එක විතරක් නෙමෙයි ඇඳන් ඉන්න ඇඳුම්, අවට පරිසරය පවා දෙන්නාගේ ඇස්වලින් වෙනස් වෙනවා. නොආ අතිශය අනුරාගී විදිහට දකින මොහොතවල් ඇලිසන් දකින්නෙ ආදරණීය විදිහට. ස්ත‍්‍රී පුරුෂ කියවීම් වල වෙනස දක්වා පරාසයක කතාව දිගහැරෙනවා.

සාරා මේ සම්බන්ධතා ඇතුලෙ සංවේදනා සහ තෘෂ්නා ස්පර්ශ කරන්නෙ එස්තර් පෙරල් කියන බෙල්ජියානු සමාජ හා සංස්කෘතික චර්යා පර්යේෂිකාව ඒ ගැන විධිමත්ව කරපු පර්යේෂණ පාදක කරගෙන.  එයා ලෝකෙ විවිධ ජන කොටස්වල සම්බන්ධතා ගැන පරීක්‍ෂා කරමින් ‘මේටින්ග් ඉන් කැප්ටිවිටි’ කියල පොතක් ලියනවා. ආදරය ඇතුලෙ දේශපාලනය ගැන එස්තර්ගෙ අදහස් හරි තියුණුයි. දියුණුයි.

ආදරය තියෙද්දි සෙක්ස් (ලිංගික ආශාව) වියැකෙන්නෙ ඇයි? අනුමත ආදරය තියෙද්දි තහනම් ආදරය වඩා රස වෙන්නෙ ඇයි? එස්තර් ප‍්‍රශ්න කරනවා.

එයා ආදරය සහ ආශාව කියල දෙබෙදුමක් අඳුර ගන්නවා. ආදරය ඇතුලෙ වගකීම, සැලකීම, බලා ගැනීම, ආරක්‍ෂාව, ස්ථාවර බව වගේ දේවල් තියෙනවා. ඒත් ආශාව ඊට ප‍්‍රතිවිරුද්දයි. ආශාව කියන්නෙම ත‍්‍රාසය, අනාරක්‍ෂාව නිදහස, වගකීම් රහිත බව එක්ක බැඳෙන හැ`ගීමක්. මේ දෙක එක විට පිහිටන ප‍්‍රතිවිරෝධතා දෙකක් වීම ඇතුලෙ සම්බන්ධතා අර්බුදයට යන හැටි එයා විස්තර කරනවා.

පවුල කියන ආර්ථික සංස්ථාව දැන් වෙනස් ස්වරූපයකට පරිවර්තනය වෙමින් තියෙනවා කියලයි එස්තර් දකින්නෙ. පවුල එන්න එන්නම පුද්ගලික අවකාශයකට ගමන් කරනවා. තවදුරටත් ආරක්‍ෂාව, රැකබලා ගැනීම වගේ කාරණා සම්බන්ධ ආර්තික සංස්ථාවෙ කාර්යය පවුලට පැවරෙන්නෙ නෑ. තවදුරටත් ලිංගික ක‍්‍රියාව දරුවන් හැදීම එක්ක සම්බන්ද නෑ. ඒක තෘප්තිය සහ අනෙකා ගැඹුරින් තේරුම් ගැනීම හෝ සම්බන්ධ වීම කියන දොරටුවක්.

ආශාවෙ ඵලයන් විදිහට උපදින දරුවන් විසින් ආශාව නසන හැටි එස්තර් කියනවා. වගකීම කියන්නෙම ආශාවට ප‍්‍රතිවිරෝධයක්. පවුල ඇතුලෙ ආදරය විසින් ආශාව අර්බුදයට යවනවා. එතනදි ආශාව තියෙන්නෙ පවුලට එලියෙන්. ඒත් පවුල හෝ ආදරය වෙනුවෙන් ඒ ආශාව කැප කරන්න සිද්ද වෙනවා. ඒකෙන් මළ ජීවිත සම්බන්ද වුණු ඒකකයක් විදිහට පවුල ඉතුරු වෙනවා.

පවුල ඇතුලෙ අර්බුදය එස්තර් විස්තර කරන්නෙ ‘ක‍්‍රයිසිස් ඔෆ් ඩිසයර්’ විදිහට. ආශාවෙ අර්බුදයක් විදිහට. ආශාවෙ අර්බුදයක් තියෙන තැන පරිකල්පනය අර්බුදයට යනවා. නිර්මාණශීලීත්වය ආස්වාදය අර්බුදයට යනවා. එස්තර් කියන්නෙ ගින්නකට හුළ`ග අවශ්‍යයි කියල.

සජීවී ආශාබරිත ආදරයකට නම් දෙන්නා අතර ලොකු ඉඩ පරාසයක් තියෙන්න  ඕන කියල එයා කියනවා. අලූත් දේවල් හොයන්න, අලූත් දේවල් විඳින්න විවෘත අවකාශයක් නිර්මාණය කර ගන්න එකයි ආදර සම්බන්ධයක අභියෝගය විදිහට එයා දකින්නෙ.
‘හැම සම්බන්ධයක් ඇතුලෙම රහස් උයනක් දළුලමින් තියෙන්න  ඕන...’

ලිංගිකත්වය ක‍්‍රියාවක් බවට පත්වීම මේ මළ බවේ ලකුණක්. ඒක විලාස හෝ ආකාර වෙනස් කිරීමෙන් ජයගත හැකි අර්බුදයක් නෙමෙයි. ලිංගිකත්වය විවිධ තැන් සොයා යන ගමනක් වෙන්න  ඕන. අනාර්ක්‍ෂාවට, අර්බුදයට, අවිනිශ්චිතයට තල්ලූ කරන ලිංගිකත්වය ආශාව නොනිමී දල්වන්න සමත් වෙනවා.

මේක එස්තර් හඳුන්වන්නෙ ‘පොයෙටික්ස් ඔෆ් සෙක්ස්’ විදිහට. ඒ කියන්නෙ ලිංගිකයේ කාව්‍යය හැටියට. මෙතනදි පරිකල්පනය, සෙල්ලක්කාර බව සහ නවතාවය කියන කාරණා වැදගත් කොටසක් ඉටු කරනවා.
එස්තර් බෙල්ජියානු ජාතිකයෙක්. ඒ වගේම හිට්ලර්ගෙ යුදෙව් සමූලඝාතනයෙන් බේරුණු ජීවිතයක්. එස්තර් කියන්නෙ ඒ අත්දැකීමට හසුවී නොමැරී ගැලවුණු සහ ඊට හසුනොවුණු කියන මිනිස් කාණ්ඩ දෙකේ බරපතල වෙනසක් අඳුරගන්න පුළුවන් කියල. නොමැරී ගැලවුණු පිරිස වඩාත් ආශාවෙන් ජීවිතය වැළඳගන්නා අතර ඊට හසුනොවුණු පිරිස ජීවිතේ අවිනිශ්චිත සහ අස්ථාවර බව ගැන උවමනාවට වඩා හිතමින් ළතැවෙනවා කියල එයා විස්තර කරනවා. මරණයේ සීමාවෙදි ජීවිතේ ආශාව වැඩියෙන් දැල්වෙනවා වගේම වැඩියෙන් ආලෝකමත් වෙනවා.

ශෘංගාරය දේශපාලනිකව නිවැරදි වෙන්න අවශ්‍ය නැහැ. හැම අනියම් සම්බන්ධයක් කියන්නෙම නිදහසේ ප‍්‍රකාශනයක්. ආදරවන්තයන් මුහුණ දෙන අභියෝගය වෙන්නෙ මේ ආශාව සහ ආදරය අතර ප‍්‍රතිවිරෝධය කළමනාකරණය කරන්නෙ කොහොමද කියන එක.

එස්තර් උදාහරණ හොයන්න නැවත ළමා කාලෙට යනවා. දරුවෙක්ව නිතර ළ`ගම තියාගෙන රැුකබලාගන්නා මවක්, ඒ කියන්නෙ එලියෙ ද`ගවැඩ කරන්න නොදී, එළිය අනතුරු සහගතයි කියන හැ`ගීම පෙරදැරිව ආදරයෙන් දරුවෙක් රකින මවක් සහ  ඕනෑම ද`ග වැඩකට නිදහස දෙමින් අවශ්‍ය වෙලාවට රැුකවරණය පිණිස තමන් සිටින බව දනවන මවක් සමග හැදෙන දරුවන් දෙදෙනෙකුගේ වෙනස එයා ගේනවා. පළමු දරුවා දුක්මුසු, අනෙකාව නිතර සැක කරන, අනන්‍යතා අර්බුද සහිත දරුවෙක් වන අතර දෙවැන්නා වඩාත් නිරෝගී සම්බන්ධතා පවත්වා ගන්නා, ඉදිරිගාමී දරුවෙක් වෙනවා. මේක වැඩිහිටි වයස සඳහාත් මේ විදිහටම අදාලයි කියන එකයි එස්තර්ගෙ අදහස.

”පවුල ආශාවට සහ අලූත් අත්දැකීම්වලට ඉඩ ඇති නිර්මාණශීලී අවකාශයක් කර ගන්න. වඩ වඩාත් පුද්ගලිකත්වයට, ආත්මීය පතුලට කිමිදිය හැකි දොරටුවක් කර ගන්න..” එස්තර් පැවැත්මේ ප‍්‍රතිවිරෝදතා එකට පැවතිය හැකි ආදරයක් ගැන කතා කරනවා.

අෆෙයාර් සීරීස් එක හැදෙන්නෙ එස්තර්ගෙ මේ අදහස් සහ පර්යේෂණ ඇසුරු කරමින්. දෙන්නෙක්ගෙ ඇස් වලින් කතාව කියනවට වඩා තව තවත් චරිත වල දෘෂ්ටීන් එකතු කරමින් දෙවෙනි පරිච්ෙඡ්දය පටන් ගන්නවා කියල ‘සාරා ටී‍්‍රම්’ කියනවා.

එක එක ඇස්වලින් කියවෙද්දි ආදරයේ රොමැන්ටික් අදහස බිඳවැටෙනවා. ඒ වෙනුවට පැවැත්ම මූලික ආශාව සහ ආදරය අතර සංවාදයක් විවෘත වෙනවා.

විවෘත වීම හැමතිස්සෙම හොඳයි සංවෘත වීමකට වඩා. අවබෝධය වැඩි වෙන්නෙ කොහොමත් ඇරෙන තරම වැඩි වෙන කොටයි.

- චින්තන ධර්මදාස

Saturday, May 23, 2015

බූඩිගේ හුදකලාව


පහුගිය හය වෙනිදා ‘ගතෙ ඉන්ස්ටිටියුට්’ එකේ බූඩි පළවෙනි වතාවට ‘නිම්නයක හුදකලාව’ එයාගෙ  අලූත් චිත‍්‍රපටිය පෙන්නුවා. සීමිත පිරිසකට, පළවෙනි වටයෙ විචාර කීපයක් ලබන බලාපොරොත්තුවෙන් වෙන්න ඇති. ඒකෙ පිටපත් රචනයට සම්බන්ධ වෙලා හිටපු හින්ද මාත් එතන හිටියා. අවුරුදු පහකටත් වඩා කලින් පටන්ගත්ත වැඩක් එක්තරා අවසානයකට ඇවිත් තියෙනවා දැක්කම දැණුනෙ ලොකු සැහැල්ලූවක්.

චිත‍්‍රපටිය අවසානයේ ඒ ගැන කතා කරන්න කීපදෙනෙක් ඇවිත් හිටියා. පමුදිත, සෞම්‍ය එක්ක ධර්මසිරි අයියත් (බණ්ඩාරනායක) එතන හිටිය. අදහස් දැක්වීමෙදි ධර්මසිරි විවේචනයක් ගෙනාවා. ඒක චිත‍්‍රපටියට වඩා බූඩි ගැන පුද්ගලික විවේචනයක් කියලයි මට හිතෙන්නෙ. මේ ලියමනේ ප‍්‍රස්තුතය ඒ විවේචනය ඇතුලෙ මතුවෙච්ච කාරණා.

‘මට මේක බැලූවම හිතුන මං සිනමාව දන්නෙ නෑ කියල...’ කතාව පටන්ගත්තෙ මට මතක විදිහට එහෙම.
‘චිත‍්‍රපටියක චරිත සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ්ත් සිනමාව සංකීර්ණ වෙන්න උවමනා නෑ..’ ධර්මසිරි බූඩිගේ සිනමා භාවිතාව ප‍්‍රශ්න කළා.
එහෙම තියරි තියෙනවද? කියල මට හිතුන.

අදහසක් විදිහට ධර්මසිරි පිළිගන්නා සිනමා පාසැලේ පිළිගැනීම හරි හෝ වැරදි කියන එක නෙමෙයි. ඒත් සිනමාවක චරිත (අන්තර්ගතය) සහ ආකෘතිය අතර මේ අදහස නියමයක්ද? මට හිතුනෙ ධර්මසිරි ඒ අදහසත් එක්ක තමන් නියෝජනය කරන සිනමාවෙ දශකය ප‍්‍රකාශ කළා.

ආකෘතික හරඹ වලට අකමැති සිනමාව. අන්තර්ගතයේ දාර්ශනික බවම මුදුනින් පිළිගන්නා කතිකාව. ඒ භාවිතාව ඇතුලෙ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා තමයි. ඒත් මට හිතෙන්නෙ ආකෘතිය පෙරලන එක වඩා ලොකු අවකාශයක් නිර්මාණය කරනවා කියල.

බූඩි කරන වැඩ විශේෂ වෙන්නෙ ඒ හින්ද. ලංකාවෙ විෂුවල් ඉන්ඩස්ටි‍්‍ර එකේ  දැවැන්ත ආකෘතිකමය වෙනසක් කරපු චරිතය වෙන්නෙ බූඩි. කැමරාව ට‍්‍රයිපෝඞ් එකෙන් ගලවලා අතට ගැනීමේ ඉඳන් හෙල්ලෙන රූප රාමු, ජම්ප් කට් වගේ ගොඩක් දේවල් බයක් නැතුව තිරය උඩට දමලා ගහපු ලංකාවෙ සිනමාකරුවා එයා. ඒ පොඩි හිතුවක්කාරකම් හින්ද තව ගොඩක් උන්ට ගොඩක් දේවල් කරන්න කැලේ එලිපෙහෙලි වුණා. උදා විදිහට බූඩිගේ බකන්නිලා ප්‍රෝග‍්‍රෑම් එක ටීවී එකේ ප්‍රොඩක්ෂන් කලාව වෙනස් කළා.

අන්තර්ගතයට වඩා ආකෘතියේ ප‍්‍රබලතා තියෙනවා. අන්තර්ගතයෙ වැදගත්කම නොසලකා හරිනවා නෙමෙයි. ඒත් ආකෘතියෙ දාර්ශනිකත්වයත් අවතක්සේරු කරන්න බෑ. සමහර විට භාජනේ හැඩය දාලා තියෙන දේට වඩා වැදගත් වෙන්න පුළුවන්. ඒකයි මට හිතුනෙ ධර්මසිරි තමන් ඉන්න දශකය එතනදි පැහැදිලිව සටහන් කරනවා කියල. සහ මුලින්ම එයා සිනමාව දන්නෙ නෑ කියපු කතාවෙ අර්ථයත් එතන තියෙනවා.

එදා එයා කළේ් නිර්දය විවේචනයක්. ඒ විවේචනය ධනාත්මක විවේචනයකට වඩා අගතිගාමී එකක්. ඒක චිත‍්‍රපටියට වඩා බූඩි කියන චරිතය පැත්තට යොමු වෙච්ච එකක්. නිම්නය ලිහාගන්න එයා සතු උපකරණ ප‍්‍රමාණවත් වුනේ නෑ කියල මට හිතෙනවා.

මුලින් කියපු සිනමාව ගැන ඉස්කෝල අදහසට පස්සෙ ධර්මසිරිගෙ කතාව බූඩිගේ ජීවිතේ පැත්තට හැරුණ. බූඩිගේ බුද්ධාගම ගැන විවේචනය වුණා. ඒ බුද්ධාගම හරිද වැරදිද වගේ විනිශ්චයකට යන්න පටන් ගත්තා. ඊට පස්සෙ බූඩිගේ තාත්තා ගැන. තාත්තාගෙ සල්ලි ගැන. ධර්මසිරි ගොඩක් ඈතට පීල්ල පැන්නා. සිනමාව පැත්තකින් තියලා මිනිහෙකුගෙ පුද්ගලික ජීවිතේ අල්ලගෙන තමන්ට රිසි සේ ප‍්‍රශ්න කරන ටිකක් නොතරම් තැනක ධර්මසිරි එදා හිටියා කියල මට හිතෙන්නෙ.

ඒ ප‍්‍රශ්න බූඩි ගැන හැමදාම හැමෝම කතාවෙන ප‍්‍රශ්න.
ඒත් කොයි වෙලාවකවත් කවුරුවත් නොබලන පැත්තකුත් ඒ ප‍්‍රශ්න ඇතුලෙ තියෙනවා.

බූඩිට චිත‍්‍රපටියක් කරලා ඒක එලියට දාන්න කිසි උවමනාවක් නැති එක ධර්මසිරිට වගේම මට පවා ප‍්‍රශ්නයක්. ඒත් බූඩි කියන සිනමාකරුවාගේ ලංකාවෙ ඇතුලෙ කවුන්ට් නොවෙන තැනකුත් ඒ අර්බුදය ඇතුලෙ තියෙනවා. බූඩි තමන් කරන සිනමාවට කොයිතරම් අවංකද කියන කාරනේ එතන තියෙනවා.

ලංකාවෙ කිසිම සිනමාකරුවෙකුට වඩා තමන්ගෙ ප‍්‍රකාශනයෙදි අවංකයි බූඩි. එයා එක්ක වැඩ කරපු අය දන්නවා ඇති, චිත‍්‍රපටියක් තියාගෙන එයා තලූමරන තරම. බූඩිගෙ සිනමාව තියෙන්නෙ තිරෙන් ඉස්සරහ නෙමෙයි. ඒක තියෙන්නෙ තිරෙන් පිටිපස්සෙ. තිරය උඩ බූඩිට තියෙන්නෙ මළ මතකයක්.

බූඩි චිත‍්‍රපටි කරන්නෙ යාලූවො එක්ක. ඒ කාලෙ ජීවත් වෙන්නෙ, ඉන්නෙ හිටින්නෙ, මරාගන්නෙ ඔක්කොම උන් එක්ක. චිත‍්‍රපටිය ලියවෙන්නෙ කෙරෙන්නෙ ඒ ආශ‍්‍රයෙ අතුරුඵලයක් විදිහට. බූඩි එයා ආසම පරිකල්පන වලට ඒ යාලූවො එක්ක යනවා. නිම්නයක ලියද්දි මං කවදාවත් නොදැකපු පරිකල්පන විශ්වයන්ට බූඩි මාව අරන් ගියා. කිසි ඩ‍්‍රග් එකක් නැතුව.

එයා කරන සිනමාව ඇතුලෙ එයා ජීවත් වෙනවා. එයා හැම දෙයක්ම පරිපූර්ණව කැමරාවෙ සටහන් වෙන්න කලින් දකිනවා. ඒ තැන් වලට එන මියුසික්, පොඩි පොඩි සවුන්ඞ් අෆෙක්ට්ස් පවා බූඩි විස්තර ඇතුව විඳිනවා. තමන්ට අවංක මොහොත එනකල්ම බූඩි ෂූට් කරනවා. එඩිට් කරනවා. කොයිතරම් වියදමක් වුණත්, නාස්තියක් වුණත් තමන්ට එක`ග නැති ආර්ට් එකක් එයා අතින් නිර්මාණය වෙන්නෙ නෑ. තමන්ගෙ ආත්මය ප‍්‍රකාශ වෙන තැනට ආවම විතරයි එයා චිත‍්‍රපටිය නිදහස් කරන්නෙ.

ඒක සිනමාකරුවෙකුගෙ අවංකකම. ඒක තමන්ට රස විඳිය හැකි වර්ගයේ පරිකල්පනයක්ද, නැද්ද කියන එක වෙනම කාරණයක්. ඒත් බූඩිගෙ රූප රාමුවක් රාමුවක් පාසා අවංක ප‍්‍රකාශනයක හුස්ම වැටෙනවා. මට හිතෙන්නෙ අපි කාල රාමු, සල්ලි රාමු ඇතුලෙන් ප‍්‍රශ්න කරන්නෙ බූඩිගේ අවංකත්වය. එයාගෙ සුවිශේෂත්වය.

උදා විදිහට බූඩිගේ බුද්ධාගම (බූඩිසම්). ඒක බූඩිට විතරක්ම අදාල වුණු ආගමිකත්වයක්. ඒක නියම බුද්ධාගමද නැද්ද වගේ කාරණා මට හිතෙන්නෙ තියෙන්නෙ සංදර්භයෙන් එලියෙ කියල. මැඩෝනාගේ ‘කබාලා’ ඇදහිල්ල වගේම තමයි බූඩිගේ ‘බූඩිසම්’. ඒක එයාගෙ ආර්ට් එකේ කොටසක්. බූඩිගෙ ආගමික ඇදහිල්ල පොප් වැඩක්. ඒක නිර්මාණයට බාධා වෙනවා කියල මාත් හිතාගෙන හිටියත් මං ඇත්දැකීමෙන් දන්නවා ඒකෙන් වෙනස් විදිහක මානයක් නිර්මාණය වෙනවා. බූඩි එයා විසින්ම පනවා ගත් සීමාවන් ඇතුලෙ එයාගෙ නිර්මාණ හරඹය කරනවා. එහෙම ‘මිත්’ එකක් එක්ක වැඩ කරන එක ආර්ටිස්ට් කෙනෙකුට හොඳයි සමහර වෙලාවට. ඒකෙන් නිර්මාණය තාර්කික බවෙන් අතාර්කික පැත්තට තල්ලූ කරනවා.

බූඩි ගැන තියෙන විවේචනය ගොඩක් වෙලාවට එන්නෙ අපිට ඒ වගේ  වෙනසක් බාර ගන්න බැරිකමත් එක්ක. ටිකක් දරුණු හෙයාර් කට් එකක් වුණත් කට්ටක් වෙන සමාජයක බූඩි වගේ විස්තීරන චරිතයක් කොහොමත් අර්බුදයක්. විශේෂයෙන්ම අපේ කතිකාවෙ ආර්ට් කියල සම්මත වුණු අර්ත පද්දතියට බූඩි සිනමාකරුවෙක් වීම ගලපගන්න අමාරු වෙනවා. ඒක හින්ද අපිට බූඩිගේ තාත්තගේ සල්ලි වගේ දේවල්  ඕනවෙනවා,  අපේ පිළිගැනීම සාධාරනීකරණය කරගන්න.

ඒක හරියටම වමේ දේශපාලනය කරනවා නම් බාර් ගානෙ බොන්න සහ හඩුවට අඳින්න පළඳින්න  ඕන වගේමයි. ඇෙ`ග් ටැටූ ගහන, ඉඳලා හිටලා පිල් එකක්, ස්ටෑම්ප් එකක් ගන්න, හොඳට නාන චරිතයක් අපිට බාර ගන්න බෑ වාමාංශික දේශපාලනය ඇතුලෙ. අර ආකෘතිය විසින් මේ අන්තර්ගතය අර්බුදයට යවනවා. මට හිතෙන විදිහට ආකෘතියේ ප‍්‍රබලකම ගැන හොඳ උදාහරණයක් ඒක.

මේ වෙනස බාරගන්න බැරිකමත් එක්ක අපිට බූඩිගේ ආර්ට් එක දකින්න බැරි වෙනවා. උදා විදිහට ඇන්ඩි වාර්හෝල් ලංකාවෙ හිටියා නම් නන්නත්තාර වෙනවා. යුරෝපීය අන්තර්ගතය මූලික සිනමා සම්ප‍්‍රදායකට එරෙහිව බූඩි තනියම හොලිවුඞ් ආකෘති මූලික සිනමාව වෙනුවෙන් පෙනී ඉන්නවා. වැඩියෙන්ම අර්ථයෙන් සහ ධර්මයෙන් එතන ඉන්නවා.

ධර්මසිරි කියපු නරකම කතාවක් වුනේ බූඩිගේ තාත්තාගෙ සල්ලි ගැන කතාව. ඒක නරක මතුපිට අර්තෙන් නෙමෙයි. බූඩි තාත්තගේ සල්ලි වලින් සිනමාව කරන එකෙන් ලංකාවෙ සාමාන්‍යයෙන් චිත‍්‍රපටි හදන සම්ප‍්‍රදායෙන් එයාව වෙනස් කරනවා. කාගෙ හරි ප්‍රොඩියුසර් කෙනෙක්ගෙ සල්ලි වියදම් කරලා කර අරින එකට වඩා අවංක විදිහට බූඩි තාත්තගෙන් ඉල්ලගෙන චිත‍්‍රපටි හදනවා. අනුන්ට පාඩු කරනවා වෙනුවට තමන්ගෙ හිතුවක්කාර සිනමාවෙ අවදානම තමන්ගෙ පවුල ඇතුලටම ගන්නවා. සිනමාව කියල හොරකම් කරන, ඞීල් දාන, ආත්මයක් නැති බහුතර සිනමාකරුවන් රොත්තක් ඉස්සරහ බූඩි ළමයෙක් තරම් අහිංසකව ඉන්නවා .

පළවෙනි වතාවට සීමිත ප‍්‍රදර්ශනයක් විදිහට චිත‍්‍රපටියක් පෙන්නලා ප‍්‍රවීනයෙක්ගෙන් බලාපොරොත්තු වුණු මෙහෙය එදා ධර්මසිරි අතින් ඉෂ්ට වුනේ නෑ. ඒක බූඩිගෙ පැත්තෙන් වගේම එදා ඇවිත් හිටපු නරඹන්නන්ගෙ පැත්තෙනුත් අසාධාරණයක්. ඒ චිත‍්‍රපටියෙ ප‍්‍රකාශනය හඳුනාගැනීම සහ ඒ ප‍්‍රකාශනය පවතින සිනමාව ඇතුලෙ ස්ථානගත වීම විස්තර කරනවා වෙනුවට ධර්මසිරි බූඩි එක්ක පුද්ගලික අගතියක පැටළුනා. ඒකෙන් චිත‍්‍රපටිය ඇකිළුනා.

මේ කියන්නෙ බූඩිගේ සිනමාව ඇතුලෙ ප‍්‍රශ්න නෑ කියන එක නෙමෙයි. ඒ ප‍්‍රශ්න එදා ධර්මසිරි මතු කළ වර්ගයේ ඒවා නෙමෙයි කියන එකයි. බූඩිගේ සිනමාවෙ ප‍්‍රශ්න කතාවට ගන්න එක වැදගත්. ඒකෙන් ඒ භාවිතාව ගැන හොඳ දෙබසක් ඇතිවේවි.

මට හිතෙන්නෙ බූඩි සිනමාකරුවෙක් විදිහට මතු කරන මරු ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි, සිනමාව තියෙන්නෙ කොතනද කියන එක. ඒක තියෙන්නෙ තිරෙන් ඉස්සරහද, නැත්තං පිටිපස්සෙද? එහෙමත් නැත්තං හරියටම තිරය උඩද? සිනමාකරුවා අනුව සිනමාවෙ ආර්ට් එක තියෙන තැන වෙනස් වෙන්න බැරිද?
බූඩිගේ සිනමාව අඳුරගන්න බූඩි එක්ක වැඩ කරන්නම වෙනවා.

(ධර්මසිරි බණ්ඩාරනායක කියන්නෙ එයාගෙ සිනමාව නිසාත් එයාගෙ ජීවිතය නිසාත් මම ගොඩක් ගරු කරන චරිතයක්. මේ ලිපිය එදා ධර්මසිරි කළ විචාරය පමණක් පාදක කර ගත්ත එකක්. ධර්මසිරිට ඇ`ගිල්ල දිගු කිරීම කිසිසේත්ම මේ ලියමනේ අරමුණක් නෙමෙයි)

-චින්තන ධර්මදාස

Saturday, May 16, 2015

මැයි 19 සහෝදරත්වයේ දිනය



යුද්දෙන් පස්සෙ ලංකාවෙ ගමන් දිශාව වෙනස් කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කරන්න තිබුනෙ පොඩි දෙයක් කියල මට නිතර හිතෙනවා. ඒත් මැදමුලනෙ ඔලූවකට ගැලරියෙ විසිල් එකකට වඩා දුර හිතන්න බැරි වුණා. ඒකෙන් රටක් විදිහට ලංකාවම ආපස්සට ගිය කාලෙ දික් වුනා.

මැයි 19 ඒ හැරවුම කරන්න තිබුන දවසක්. යුද ජයග‍්‍රහනය උඩ පැන පැන සමරනවා වෙනුවට එදා රටේ ජනාධිපති විදිහට බෙදුනු ජාතීන් එකතු කරන දවසක් කරන්න තිබුන. අභිමානයෙන් ජාතික කොඩිය උස්සගෙන දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් කියල අලූත් බෙදීම් අඳුන්නලා දෙනවා වෙනුවට අනාගතය වෙනුවෙන් ජනතාව එක්සත් කරන්න තිබුන. මහින්දට මේ වගේ  කතාවක්  කරන්න  තිබුණ.

‘‘මේ  යුද්දෙන් අපි කවුරුවත්  ජයග‍්‍රහණය  කළේ  නෑ.  මේ්  යුද්දෙන්  අපි  හැමෝම  පරාදයි.  උතුරෙ  මැරුනෙත්  දකුණෙ  මැරුනෙත් මේ්  රටේ්  මිිනිස්සු.  අපි  මේ්  මරාගැනීමට සදාකාලික  තිතක්  තියන්න  මේ  දවස  මතක  තියා  ගන්න  ඕ්න.  මේ  දවස  අද  ඉඳන්  අලූුතෙන්  ආරම්භ  වෙන  එක  මිිනිස්  ජාතියක  සහෝදරත්වයෙන්  සමරන  දවසක් වෙන්න  ඕ්න’’

ඒක විජයග‍්‍රාහී දිනයක් වෙනුවට අහිමි වුණු සහෝදර සහෝදරියන් සැමරෙන දවසක් කරන්න තිබුණ.

එකම රටක දෙපැත්ත බෙදිලා අවුරුදු 30 ගානක් කරපු යුද්දයක් ගැන ලැජ්ජා වෙනවා ඇරෙන්න ආඩම්බරෙන් සමරන්න තියෙන්නෙ මොකක්ද? සමරන හැම වතාවකම අලූත් වෙන වේදනාවක් සහ නැවත නැවත ගිනි පිඹින වෛරයකට වඩා ලැබෙන්නෙ තියෙන්නෙ මොකක්ද?

මෑතක ගල්කන්දෙ ධම්මානන්ද හාමුදුරුවො  කියන අනිත් හාමුදුරුවරු නොකියන බණක් ෆේස් බුක් එකේ ෂෙයාර් වුණා. ධම්මානන්ද හාමුදුරුවො අහන්නෙ අරන්තලාවෙ ඝාතනය වගේ දේවල් නැවත නැවත ස්මාරක විදිහට හදන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල. අමතක කළ යුතු, පසුතැවිලි විය යුතු දේවල් වෛරයෙන් සහ ද්වේශයෙන් යළි යළිත් සමරමින් අපි ජාතියක් විදිහට යන්නෙ කොයිබටද කියල හිතන්න වෙනවා.

රටක් විදිහට උතුර දකුණ යා කරන සිතීමක් නැති මන්දමානසිකත්වය ලෝකෙට කියන්න ආයිමත් මැයි 19 දවසක් ළ`ග එනවා. අවුරුදු දහයක් තිස්සෙ මහින්ද විසින් පැලපදියම් කරපු ජාතිවාදෙට එකපාර වතුර පාරක් ගහන්න යහපාලන ආණ්ඩුව නිර්භීත ඇති කියල මං හිතන්නෙ නෑ. අනිත් පැත්තට ඒ වගේ දෙයක් ඇති විමල් ප‍්‍රමුඛ පාදඩ දේශපාලක රොත්තට ඊට වඩා ජාතිවාදයක් අවුලන්න. එතකොට මෛත‍්‍රී පාලනය යටතෙත් 19 සමරන්න බල කිරීමක් තියෙනවා.

ඒත් මේ සැමරුම හමුදා බලය සහ වීරත්වය ප‍්‍රදර්ශනය කරන තිරශ්චීන බවෙන් යම් තරමකට හරි මුදවන්න ආණ්ඩුව වග බලාගන්න  ඕන. මේ ආණ්ඩුව ගැන විශ්වාසය තැබු සුළුතර ජනතාව පෙලන සුළු මුහුණුවරක්, හ`ඩක් ඊට නොලැබෙන්න වගේම ඒ ජයග‍්‍රහණය සිංහල දෙමළ මුස්ලිම් හැම ජන කොටසකගේම නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමට ලත් අවස්ථාවක් විදිහට යළි අර්ථගැන්වීමත් ආන්ඩුවෙ වගකීමක්.

‘ඔබට යුද්දයක් සඳහා සූදානම් වීම සහ එය වැළැක්වීම යන දෙකම එකවිට කළ නොහැකියි’
- ඇල්බට් අයින්ස්ටයින්

එදා මහින්දට තිබුණ ජාතියක් විදිහට ශෝක වෙන දිනයක් සමරන්න. අපි අනෙක් ජාතියේ අහිමිවීම, වේදනාව බෙදාහදා ගන්නා දවසක් විදිහට සැබෑ මානුෂික මෙහෙයුමක් අරඹන්න. ඒ හරහා ජාතිවාදයෙන්, ආතතියෙන් පිපිරෙන්න ඔන්න මෙන්න හිටපු ජනතාවට එකතු වෙන්න පුළුවන් පාලමක් හදන්න. ඒත් මහින්ද හැමදාම රටේ පාලකයො වගේ අවශ්‍ය දේ නොකර හිිටියා. අවුරුදු පහකට පස්සෙ අපිට ආයිමත් ඒ අවස්ථාව ඇවිත් තියෙනවා.

යුද්දෙන් අවතැන් වූ ජනතාවගේ ප‍්‍රශ්න තියෙනවා. තාමත් සරණාගත කඳවුරුවල මිනිස්සු ජීවත් වෙනවා. උතුරේ ඉඩකඩම් ප‍්‍රශ්න සහ යලි සාමාන්‍ය පැවැත්ම ස්ථාපිත කිරීම ගැන අර්බුද තියෙනවා. ඒ උතුරෙ. දකුනෙ තාමත් යුද මානසිකත්වයෙන් පෙළෙන රෝගී මහජනතාවක්ම ඉන්නවා. යුද්දෙන් මානසිකව සහ ශාරීරිකව ආබාධිත සොල්දාදුවො ඉන්නවා. මැයි 19 කියන්නෙ රජය මේ සියලූ දේවල් එක්ක සම්බන්ධ වෙන තැනක්.

යුද්දයම තමයි සාමය
නිදහසම තමයි වහල්කම
අඥානකමම තමයි ශක්තිය

ජෝර්ජ්  ඕවෙල් එයාගෙ 1984 කියන පොතේ ලියනවා. කවුරු හරි සිංහලට පරිවර්තනය කළ යුතුම පොතක් ඒක. 1949 ලිව්වට මහින්ද ගැනම  ඕවෙල් ලිව්වද කියලත් හිතෙන තරමට ළ`ගයි.

‘‘අපි බලය ඉල්ලන්නේ බලය සඳහාමයි. අපිට වැඩක් නෑ අනිත් අයට ඒකෙන් වෙන හොඳක් ගැන. අපිට  ඕන බලය. බලයමයි. නියම බලය කියන්නෙ මොකක්ද කියල උඹට තේරේවි. අපි ඉස්සර රට පාලනය කළ අයට වඩා වෙනස්. අපි දන්නවා අපි මොනවද කරන්නෙ කියල. අනිත් හැමෝම බයගුල්ලො. ජර්මානු නාසින් සහ රුසියානු කොමිනිස්ට්කාරයින් අපේ කිට්ටුවටම ආවත් ඒ ගොල්ලොන්ට කවදාවත් පුළුවන් වුනේ නෑ ඒ ගොල්ලොන්ට  ඕන දේ තේරුම් ගන්න. ඒ ගොල්ලොම සමහර වෙලාවට විශ්වාස කළා ඒ අයට බලය තියෙන්නෙ පොඩි කාලෙකට කියල. නිදහස සමානාත්මතාවය  උරුම මිනිස්සු පිරිසක් ඊට එහායින් ඉන්නවා කියල. අපි එහෙම නෑ. බලය වෙන දෙයක් වෙනුවෙන් නෙමෙයි. බලය බලය සඳහාමයි. ඒකාධිපතිත්වය  ඕන වෙන්නෙ විප්ලවය (හෝ ජයග‍්‍රහනය) ආරක්‍ෂා කරන්න නෙමෙයි. විප්ලවය හෝ ජයග‍්‍රහනය  ඕන වෙන්නෙ ඒකාධිපතිත්වය ස්ථාපිත කරන්නයි. දූෂනයේ අරමුණ දූෂණයයි. භීෂණයේ අරමුණ භීෂණයයි. බලයේ අරමුණ බලයයි. දැන් උඹට මාව තේරෙනවා නේද?’’ 1984 ජෝර්ජ්  ඕවෙල්

මේ ජයග‍්‍රහනයේ මිත්‍යාවෙන් අපි එලියට එන්න  ඕන. ඒකට සමාජීය විදිහට සංකල්පමය තලයේ වෙනසක් පටන් ගන්න  ඕන. මං හිතන්නෙ නෑ ආණ්ඩුවකට ඒක බාරගන්න පුළුවන් කියල. ඒක සමාජ සංවිධාන මට්ටමෙන්, පුරවැසි මට්ටමෙන් දියත් වෙන්න  ඕන කාරණයක්. සමාජ මනස යළි පිරිසිදු කිරීමක්, ප‍්‍රකෘතිමත් කිරීමක් අවශ්‍යයි.

මැයි 19 සහෝදරත්වයේ දිනය හැටියට සමරන්න අලූත් පරපුර ගත්ත තීරණය වැදගත් වෙන්නෙ මේ පසුබිමෙන්. ජාතීන් විදිහට බෙදුනු හැත්තක් විදිහට නැතුව මනුස්සයො විදිහට උනුන් තේරෙන හ`ගින රොත්තක් ඇති කර ගන්න එක මේ වෙලාවෙ ලොකු ව්‍යායාමයක්.

රටේ වෙනසක් අත්‍යවශ්‍ය වෙලාවක තරුණ පරම්පරාව ආමන්ත‍්‍රණය කරන්න පුළුවන් විදිහට, යම් දිශාවක් දක්වන්න පෙරට ඒමම අලූත් පරපුර ඒ වෙලාවෙ කරපු අලූත් වැඩක්. ඒ වෙනකල් තිබුනෙ පරණ පරපුරේ කීපදෙනෙකුගේ සංවාදයක් විතරයි. ඒ වෙලාවෙ ෆේස්බුක් වල ඉන්න, දේශපාලනිකව පිළුණු වෙලා නැති, ශ‍්‍රී  ලංකා, යූඇන්පී හෝ ජේවීපී නොවෙන තරුණ කොටස්වලට අවශ්‍ය වෙනස වෙනුවෙන් මැදිහත් වෙන්න අලූත් කැඳවීමක්  ඕන වෙලා තිබුනෙ. මං හිතන්නෙ අලූත් පරපුර ඒ කොටස තමන්ගෙ උපරිමෙන් කළා. විශේෂයෙන් මහින්දගෙ වගේ පාලනයක භීෂණයක් ඉස්සරහ, ජයග‍්‍රහනයක විශ්වාසයක් හෝ ආරක්‍ෂාව පිළිබඳ තැකීමක් හෝ නැතිව ඒ වෙලාවෙ ආණ්ඩුවට විරුද්දව පාරට බැස්සා. වඩා වැදගත් වෙන්නෙ ඒක සංවිධානයක් විදිහට න්‍යාය පත‍්‍ර, සැලසුම් ඇතුව කළ පෙනී සිටීමකට වඩා තනි තනි පුද්ගලයන් විදිහට එක අරමුණක් වෙනුවෙන් එකතු වීීමෙන්  නිර්්මාණය  වීීම.

මහින්ද ගෙදර යැවීම කියන්නෙ ආරම්භයක් විතරයි. ඊට පස්සෙ අලූත් පරපුර මේ රටේ අලූත් තරුණ මතවාදයක් වෙනුවෙන් වැඩ කරන්න  ඕන. ගංගොඩවිල සෝම හෝ බොදු බල සේනා හෝ රාවණා පරපුරේ මොළ සේදීමට ලක්වුණු අලූත් උන් පුනරුත්ථාපනය කරන්න සිද්ද වෙනවා. ලෝකයක් විදිහට, මිනිස්සු විදිහට අනාගතවාදීව හිතන්නෙ කොහොමද කියන එක මේ වෙද්දි ලංකාවට පේන්නෙ විජාතික කුමන්ත‍්‍රණ විදිහට. තමන්ගෙ අසල්වැසි දෙමළ ජාතිකයා පේන්නෙ ත‍්‍රස්තවාදියෙක් විදිහට. මේ විකෘතිය යළි ප‍්‍රකෘතිමත් කරන්න සංකල්පමය තලයේ දැවැන්ත වැඩ කොටසක් කෙරෙන්න තියෙනවා.

මැයි 19 සහෝදරත්වයේ දිනය යනුවෙන් හඳුන්වමින් අලූත් පරපුර මේ කරන්න නියමිත වැඬේ මං දකින්නෙත් ඒ සංවේදී මිනිස් ආත්මය යළි කැඳවීමක් විදිහට. මේ දවස මේ වෙද්දි රණවිරු දිනය විදිහට ගැසට් කරලා පවා ඉවරයි. ඒ කියන්නෙ නීත්‍යානුකූල ඉතිහාසය ජාතිවාදී විදිහට ලියවිලා හමාරයි.

ඒත් වාසනාවකට අනාගතයේ යම් දවසක ඉතිහාසය විදිහට කියවන්නෙ මේ ලිඛිත කොල පිටු නෙමෙයි. ඒ වෙනුවට ෆේස්බුක් සහ විවිධ පුද්ගල තලයේ ක්ෂුද්‍ර ඉතිහාසයන් එක්ව අරගෙන කියවන ගුනාත්මක ඉතිහාසයක් අනිවාර්යෙන්ම ඉතිරි වේවි. අපි උත්සාහ කළ යුත්තේ ඒ නව ඉතිහාසයේ පරිච්ෙඡ්දයකට අපිට පුළුවන් තරමින් දායක වෙන්නයි. ඒක රාජ්‍ය ඉතිහාසයක් වෙනුවට පුරවැසි ඉතිහාසයක් වෙන්නෙ එතකොට.

මැයි 19 සහෝදරත්වයේ දිනය කියන සංකල්පය වෙනුවෙන් අපි තැන් තැන් වල වුනත් අපිට හැකි පමණ බෙදාහදා ගැනීම් කරන්න  ඕන. බහුවාර්ගික රටක, බහු සංස්කෘතික සමාජයක අපේ පුරවැසි සම්බන්ධතාවල දිග පළල පැහැදිලි කරන මිම්මක් මේ දවසට ගේන්න පුළුවන්. වෙනස් සංස්කෘතියක, වෙනස් ජාතියක හෝ වර්ගයක මනුස්සයෙක් එක්ක අපිට තියෙන මතකයන් මොනවද... ඒවා බදා වැළඳ ගැනීමට තරම් සුන්දරද නැත්තං ඉරා විසි කිරීමට තරම් අසුන්දරද?


අපේ සමාජ ජීවිතය අපි නැවත කියවන්න පටන් ගන්න  ඕන. එකම ප‍්‍රජාවකට, එකම ආගමකට, එකම ජාතියකට හෝ එකම මතවාදයකට කොටුවුනු ජීවිතයක් වෙනුවට වඩා විශාල සමාජ අවකාශයක්, මිනිස් අවකාශයක් වෙනුවෙන් අපි එකතු වෙන්න  ඕන.

මැයි 19 කියන්නෙ ඒකට හොඳ ආරම්භයක්. වැනසුනු තැනින්ම යළි අරඹන්න.. අහිමි වුණු තැනින්ම අත්වැල් බැඳගන්න... කාදල් කියන්නෙත් ආදරේමයි කියන්න...

සහෝදරත්වයේ දිනයට උණුසුම් මිනිස්සු විදිහට එකතු වෙන්න...


- චින්තන ධර්මදාස

Saturday, May 9, 2015

මංමුලා සති අන්තය : The Lost Weekend


අපිට නිතරම  ඕන වෙනවා නිශ්චිත සත්‍යයන්. ඒවා පුළුවන් තරම් වෙනස් නොවෙන ඒවා වීමත් වැදගත්. ගොඩක් වෙලාවට අපේ අනිශ්චිත ජීවිතේට නිශ්චිත හැඩයක් දෙන්නෙ අපෙන් බාහිර තියෙනවා කියලා අපි උපකල්පනය කරමින් ජීවත් වෙන මේ නිශ්චිත සත්‍යයන්. මේ සත්‍යයන් කියන්නෙ ඉර පායන්නෙ නැගෙනහිරින් බහින්නෙ බටහිරෙන් වගේ දේවල් නෙමෙයි. හැමදෙයක් ගැනම සමාජීය විදිහට අපි ගොඩනගාගත්ත නිශ්චිතයන්. කොටින්ම පුද්ගලයන් ගැන පවා අපිට ඒ විදිහෙ නිශ්චිතයන් තියෙනවා. උඹ දැන් වෙනස් වෙලා බන්, ඉස්සර එකා නෙමෙයි, වගේ ප‍්‍රකාශ එන්නෙ ඒ නිශ්චිතයන් පොඞ්ඩක් හෙලවෙද්දි.

මෑතකදි මට මුණගැහුනු ගෘහ නිර්මාණ ශිල්පය තමන්ගෙ විෂය කරගත්ත මහාචාර්යවරයෙක් හු`ගක් හිත්ගන්නා සුළු සංකල්පයක් එක්ක වැඩ කරනවා. එයා ගෘහ නිර්මාණ විෂය අවකාශය පිළිබඳ විෂයක් විදිහට ගන්නවා. ‘පීපල්ස් ස්පේසස්’ (ජනතා අවකාශ) කියන දැක්ම හරහා එයා යම් ගෘහ හෝ නගර නිර්මාණයක් තේරුම් ගත යුත්තේ ඒ තුල වෙසෙන ජනතාව ඒකට දෙන අදහසින් කියල විස්තර කරනවා. උදා විදිහට කොෆි ෂොප් එකක මට තියෙන අදාලත්වය නෙමෙයි තව කෙනෙකුට තියෙන්නෙ. ඒ කියන්නෙ මට ඒක මිතුරන් මුනගැහෙන තැනක් වෙද්දි තව කෙනෙකුට පුස්තකාලයක් වෙන්න පුළුවන්. මේ විවිධ අර්ත ගැන්වීම් සමස්තයක් තුලින් ගොඩනැගෙන අවකාශය තේරුම් කරන ඒ ආචාර්යවරයා එයාගෙ කෘතිය කර ගන්නවා.

ඒ කතාව මෙතනට කෙලින්ම අදාල නොවුනත් මට හිතෙන්නෙ මිනිස්සු කියන්නෙත් ඒ වගේ අවකාශයන්ම තමයි. කෙනෙක් ඇසුරු කරන අනෙකුන් විසින් දෙන අර්ථ නිරූපන වලින් ඒ කෙනාගෙ සමාජ ප‍්‍රතිරූපය නිර්මාණය වෙනවා. යම් අවකාශයක් අධිපති විදිහට නිශ්චිත නාමකරණයක් සිද්ද වෙනවා වගේම (මාලිගාවක්, පන්සලක් විදිහට) පුද්ගලයන් ගැනත් බහුතර හෝ බලවත් අර්ත ගැන්වීම් අනුව ප‍්‍රතිරූපය තීරණය වෙනවා. අපිට අපේ ජීවිත අනාරක්‍ෂිතභාවයෙන් තොරව පවත්වාගෙන යන්න නිශ්චිත සමාජ ප‍්‍රතිරූපයන්  ඕන කරනවා. එයා බේබද්දෙක්, මෙයා බඩුකාරයෙක්, අරයා සිල්වතෙක්... සෙලවෙන අනිශ්චිතයන් සමූහයකට සාපේක්‍ෂව ජීවිතය අරගෙන යන්න අපිට හුරුවක් නෑ.

කොහොම වුණත් මේ පුද්ගල/ඉදිකිරීම් අවකාශයන් නිශ්චිතව අර්ත ගන්වද්දි ඒකෙන් සුළුතරයකගේ හෝ අර්ත බැහැර කරනවා. හරියට මහාවංශය ලියද්දි පොදු ජනතාවගේ ජීවිත බැහැර කරනවා වගේම. ඒත් ඒ බැහැර වුණු නෑසෙන හෙ`ඞ් අර්තයත් මහා එකට එකතු කරගන්න පුළුවන් නම් යමක් ගැන අපේ තේරුම් ගැනීම පළල් වෙනවා. ජිවිතේ ගැන සංවේදීතාව වැඩිවෙනවා. ඒකෙන් ජීවිතේ ගැන අපි ගොඩනගාගෙන ඉන්න නිශ්චිතයන් අවුල් වෙන්න පුළුවන් වුනත් අනිශ්චිතයන් අතර අනිශ්චිත විදිහෙ ජීවිතේක අත්විඳීමක් එතන තියෙන්න පුළුවන්.

මේ වගේ පූර්විකාවක් දිගේ එන්න වුනේ මට ළ`ගදි කියවන්න ලැබුන, ඒ විදිහට සමාජීය නිශ්චිතය විසින් කොන් කරපු ජීවිතයක් ගැන කතා කරන්න. එයාගෙ නම ‘මේ පැන්ග්’. එයා ජෝන් ලෙනන්ගෙ අනියම් පෙම්වතියක්. ලෙනන් ගැන චිත‍්‍රපටියක් කරනවා නම් මං අනිවාර්යෙන්ම ඒක කරන්නෙ මේ පැන්ග් ගෙ කතාව පාදක කරගෙන. අපි දන්න ප‍්‍රසිද්ද ලෙනන් වෙනුවට පුද්ගලික ලෙනන්ව තේරුම් ගන්න දොරක් ‘මේ පැන්ග් ’. ඒක යෝකො ඔනො හරහා විවෘත වෙන තැනක් නෙමෙයි. යෝකො ඔනො කියන්නෙ ලෙනන්ගෙ ප‍්‍රසිද්ද ප‍්‍රතිරූපයෙ භාරකාරිය. එයා ‘මේ පැන්ග් ’ ගේ ජීවිතය ලෙනන්ගෙ ඉතිහාසෙන් මකන්න පුළුවන් හැමදෙයක්ම කරනවා.

ජෝන් ලෙනන් සහ යෝකෝ ඔනෝ කියන්නෙ එක්තරා විදිහකට විකල්ප ආදරවන්තයන්ගෙ දැවැන්ත ප‍්‍රතිමා. එතනදි ‘මේ පැන්ග් ’ කියන්නෙ ඒ සුරුවම කුඩු කරන ගැහැණිය. ලෙනන් ‘මේ පැන්ග් ’සමග ගතවුණු කාලය ගැන කියන්නෙ ‘ මංමුළා වූ සතිඅන්තය’ කියල. ලෙනන්ට ඒක සති අන්තයක් වුනාට ‘මේ පැන්ග් ’ට අවුරුදු එකහමාරක්. ඊට පස්සෙත් දිගින් දිගටම තිබුණු ඇසුරක්. ජෝන් ලෙනන්ගෙ සති අන්තයක් ‘මේ පැන්ග් ’ ගෙ ජීවිතයක්.

එයා පොතක් ලියනවා, ලවින්ග් ජෝන් කියල. ඒ පොත ලොකු ආන්දෝලනයක් කරනවා ලෙනන්ගෙ රසිකයො අතරෙ. හැමෝටම  ඕන ‘මේ පැන්ග් ’ව බැහැර කරන්න. එයා මහා ආදර සළකුනක් අවුල් කරනවා. දැවැන්ත ලෙනන් කෙනෙක් සහ පේ‍්‍රමයේ දෙව`ගනක් බඳු යෝකෝ කෙනෙක් ඉස්සරහ ‘මේ පැන්ග් ’ කවුද?
‘මේ පැන්ග් නොතිබුණු ආදර කතාවක් ගැන ප‍්‍රබන්ධයක් කරනවා..’ යෝකො ඔනෝගෙ පැත්තෙන් ප‍්‍රකාශ වෙන්නෙ එහෙමයි. ලෙනන්ටත් ඒක සති අන්තයක් විතරයි. ඒත් මේ පෙන්ග්ට ඒක ජීවිතය තරම් ලොකු ආදරයක් වෙන්න බැරිද? ලෙනන්ගේ සහ ඔනෝ ගේ පේ‍්‍රමය ඇත්තක් වෙන්න නම් ‘මේ පැන්ග් ’ ගේ පේ‍්‍රමය බොරුවක් වෙන්නම  ඕනද?

හැම ප‍්‍රසිද්ද ප‍්‍රතිරූපයක් පිටිපස්සෙම අනාරක්‍ෂාවෙන් පෙළෙන, ඉරිසියාවෙන් නළියන, වකුටු මිනිහෙක් ජීවත් වෙනවා. යෝකෝ ඔනෝ ළ`ග ඉන්නෙ සාමය ගැන සිංදු කියන සාන්තුවර ජෝන්. ඒත් බොරුකාර, ප‍්‍රචණ්ඩ, ස්ත‍්‍රී ලෝලී පුංචි ජෝන්ගේ ජීවිතය තියෙන්නෙ ‘මේ පැන්ග් ’ ළ`ග.

‘මේ පැන්ග් ’ ට ඒ කාලෙ කෙල්ලෙකුට ලැබෙන්න පුළුවන් ඞී‍්‍රම් ජොබ් එකක් ලැබෙනවා. යෝකෝ ඔනෝ සහ ජෝන් ලෙනන්ගේ පුද්ගලික සහ නිෂ්පාදන සහායිකාව විදිහට. එන වැඩ කරගෙන යන අතරෙ ගිම්හානෙ දවසක යෝකෝ ඇවිත් මේ පැන්ග්ට කතා කරනවා.

‘මායි ජෝනුයි අතරෙ සම්බන්දෙ අවුල් වෙන්න පටන් අරන්...’
‘මේ පැන්ග් ’ විතරක් නෙමෙයි ලෝකෙම කලබල වෙන ප‍්‍රවෘත්තියක් ඒක.

‘මං දන්නවා එයා ඔයාට කැමතියි. වෙන කවුරුවත් එක්ක සම්බන්ද වෙනවට වඩා මං කැමතියි ඔයා එයා එක්ක යාලූ වෙනවා නම්...ඔයාට වෙන සම්බන්දෙකුත් නෑනෙ..’

‘මේ පැන්ග් ’ හිටගැස්සෙන කතාවක් යෝකෝ ගානකට නැතුව කියනවා. ‘මේ පැන්ග් ’  මුලින්ම මේ යෝජනාවට කැමති වෙන්නෙ නෑ. ස්වභාවික පස්සට තල්ලූ වීමක් ඒක.

ඒත් ජෝන් පස්සෙ දවසක ලිෆ්ට් එකකදි  ‘මේ පැන්ග් ’ව බලහත්කාරෙන් කිස් කරනවා.
‘මේ දවස එනකං මං අමාරුවෙන් ඉවසන් හිටියෙ...’

ලෙනන් කියනවා. ‘බයවෙන්න එපා... කිසි දේකට බය වෙන්න එපා...’ පස්සෙ එයා ගල්වෙලා ඉන්න ‘මේ පැන්ග් ’ ව අස්වසනවා.

ජෝන් ලෙනන් සහ ‘මේ පැන්ග් ’ ආදරය පටන්ගන්නෙ මේ විදිහට. කිසිම අයිතියක් හෝ බලයක් නැති යටහත් ආදරයක ගොදුරක් විදිහට.

මේ අතරෙ ස්ත‍්‍රීවාදී සමුළුවක් අමතන්න යෝකො ඔනෝ චිකාගෝ යනවා. ජෝන් ලෙනන් ‘මේ පැන්ග් ’ එක්ක ලොස් ඇන්ජලීස් යනවා. කුප‍්‍රකට සැන්ටා මොනිකා වෙරළ නිවාසයේ ලෙනන්ගේ අප‍්‍රකට ආදරය ලියවෙන්නෙ මෙතන ඉඳන්.

මේ ආදර පරිච්ෙඡ්දය ලෙනන් යෝකෝ සහ ඒ යුගලට පක්ෂ පිරිස හඳුන්වන්නෙ ‘ලොස්ට්’ (මංමුළා වුණු) කාලයක් විදිහට. ඒත් ‘මේ පැන්ග් ’ ගේ මතකයන් කියන්නෙ ඒ ආපහු නිර්මාණශීලීත්වය ළං කර ගත්ත, පුද්ගලික අභ්‍යන්තර තේරුම් ගැනීම් සිද්ද වුණු, පේ‍්‍රමයේ උපරිම කාලයක් හැටියට. අසම්මත තරම්ම ඇත්ත වුණු ආදරයක කතාවක් ඒක.

ඒක ලෙනන්ගේ අඳුරු පරිච්ඡ්දයක්. බීට්ල්ස් කන්ඩායමෙන් කැඩිලා අපහසුතා සහ අවිනිශ්චිතතා මැද්දෙ වල්මත් කාලයක්. ඒ අතරෙම යෝකෝ ඔනෝ එක්ක සම්බන්දය බිඳ වැටෙමින් තියෙන අතරෙදි. ලෙනන්ගේ යාලූවො කියන්නෙ අධික ලෙස බොන්න පටන් අරගෙන හිටපු ලෙනන්ගේ බීපු කාලෙ ලව් එකක් කියල ‘මේ පැන්ග් ’ . ඒත් ‘මේ පැන්ග් ’ට අනුව ලෙනන්ට ඒ අඳුරෙන් ගොඩඑන්න උදව් කරන්නෙ එයා. කිසි දෙයක් නැවත නොඉල්ලන, කිසි අයිතියක් නැති ආදරයක් වෙනුවෙන් තමන්ගේ ආත්ම පරිත්‍යාගයේ ශුද්ධභාවය වෙනුවෙනුයි එයා සටන් කරන්නෙ.

පුද්ගලික ලෙනන්ගේ ජීවිතයේ යටිතලයක් දිගඇරෙන්නෙ මේ ගැහැණු සටනත් එක්ක. ලෙනන්ට මුලින්ම සින්තියාව කසාද බඳින්න සිද්ද වෙන්නෙ එයා නිසා සින්තියා ගැබ් ගැනීමෙන්. ඒක ලෙනන්ට ලොකු අවුලක් වෙනවා. එයා පුළුවන් තරම් කසාදය රහසේ තියාගන්න හදනවා. අතිශය සාමාන්‍ය ගැහැණියක් වුණු සින්තියා එක්ක ජීවිතය ලෙනන්ට ගැලපෙන්නෙ නෑ. එයා යෝකෝ ඔනෝ එක්ක අනියම් ඇසුරක් පටන්ගන්නවා.

ලෙනන් මේක විස්තර කරන්නෙ චිත‍්‍ර ප‍්‍රදර්ශනයකදි පළමුවර දැකීමෙන් ඇතිවුණු ආත්ම ප‍්‍රහර්ෂය නිසා සිද්ද වුණු උත්තුංග ආදර බැඳීමක් විදිහට. ඒත් ලෙනන් කාලයක් පුරා සින්තියාට හොරෙන් ඔනෝ එක්ක ගනුදෙනුවක් කරනවා. අන්තිමට මහාරිෂිගේ පැමිනීම බලන්න සින්තියා ගිය අතරෙදි ලෙනන් ඔනෝව ගෙදරට ගෙන්න ගන්නවා. මේ සිද්දිය මත සින්තියා දික්කසාද වෙනවා.

සාමය ගැන සිංදු කිව්වට ලෙනන්ගේ ජීවිතය ප‍්‍රචණ්ඩ එකක්. නිතරම රණ්ඩු වලට පැටලෙන, බීගෙන මිනිස්සුන්ට තඩිබාන, කොටින්ම සින්තියාට පවා පහර දෙන වර්ගයේ එකක්. ලෙනන් සහ සින්තියාගේ පුතා ජූලියන් මේ ප‍්‍රචණ්ඩත්වය නිසා දැඩි මානසික පීඩනයකට ලක්වෙනවා. එක වෙලාවක කතාබහක් අතරෙ හිනාවෙවී හිටපු ජූලියන්ගෙ ඇ`ගට ලෙනන් කඩා පනිනවා.

‘ඇයි උඹ හිනාවෙන්නෙ? මං ආස නෑ උඹ හිනාවෙනවට. කට වහගනින්’ ලෙනන් තර්ජනය කරනවා. මේ තර්ජනය ජූලියන්ට කොයිතරම් බලපානවද කිව්වොත් එයාට ඊට පස්සෙ කාලයක් යනකල් හිනාවෙන්න පවා බැරි වෙනවා. ජූලියන් කියන විදිහට ලෙනන්ට වඩා පෝල් මැකාට්නි එයාට තාත්තෙක් වෙලා තියෙනවා.
යුද්දයට එරෙහිව සිංදු කිව්වට ලෙනන් ඇත්තට සල්ලි දෙන්නෙ ප‍්‍රචණ්ඩත්වය වගුරන කල්ලි කණ්ඩායම් වලට.

එතකොට ලෙනන් කියන්නෙ දුෂ්ටයෙක්ද? එක අන්තයක් වෙනුවට අනිත් අන්තය ගන්නවට වඩා මට හිතෙන්නෙ පබ්ලික් ජෝන් හ ප‍්‍රයිවෙට් ජෝන් එකතු කර ගැනීමෙන් ලෙනන්ගේ ජීවිතය වඩා විශාල වෙනවා කියල. ඒක අපෙන් පිට නිශ්චිත මහා අර්ථ ගොඩනගා ගැනීම වෙනුවට යතාර්ථවාදීව පැවැත්ම තේරුම් ගැනීමකට බල කරනවා කියල.

මාස 18ට පස්සෙ ලෙනන් ආයිමත් යෝකෝ ඔනෝ ළ`ගට යනවා. ‘මේ සහ ජෝන්ගේ සම්බන්ධය හඳුන්වා දුන්නේත්, පාලනය කළේ සහ අවසානයේ නැති කර දැම්මේත් යෝකෝ ඔනෝ විසිනුයි’ කියල ලවින්ග් ජෝන් පොතේ කියනවා.

එයා ගෙදර ගියාට පස්සෙත් අවුරුදු පහක් විතර යනකල් අපි මුණගැහුනා. එයා කොහොමද එක පැත්තකට ‘මං යෝකෝ එක්ක සතුටින් ඉන්නවා’ කියල අනිත් පැත්තට ‘මගේ ජීවිතේ හොඳම දවස් මං ගතකළේ ’මේ’ එක්ක. මං තාම එයා එක්ක’ කියල කියන්නෙ? ඒක එහෙම වෙන්න බෑනෙ. ඒත් ජෝන්ගෙයි මගෙයි අතර විශේෂ යමක් තිබුන. ඒත් හැමෝම කතා කරන්නෙ ඒක ජෝන්ගෙ බේබදු කාලෙ විදිහට....’

ජෝන්ගේ ලොස්ට් වීකෙන්ඞ් එකට දෙන වටිනාකම ’මේ පැන්ග්’ගේ ජීවිතේට දෙන වටිනාකමයි. ලෙනන්ගේ පැත්තෙන් ඒක පුළුවන් තරම් අවතක්සේරු කරන්න යද්දි ’මේ පැන්ග්’ තමන් සතු හැමදේකින්ම ඒ පරිච්ඡ්දය ආරක්‍ෂා කරන්න යන්නෙ ඒ හින්දයි. ’මේ පැන්ග්’ සල්ලි නිසා ලෙනන් එක්ක පැටලෙන්න හදනවා වගේ මුලින්ම එන සිතුවිල්ලක් ඇත්තට ටිකක් ඈතයි. ’මේ පැන්ග්’ තමන්ගේ වැටුපට අමතර කිසි දෙයක් ලෙනන්ගෙන් ගන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි ලෙනන් ආපහු යද්දි ’මේ පැන්ග්’ට දවස ගත කර ගන්න සල්්ලි නැති  අර්බුදයකට මූනදෙන්න වෙනවා. පස්සෙ කාලෙක නැවත විවාහ වෙන ’මේ පැන්ග්’ ඒ විවාහයත් අසාර්තක තැනදි තනියම තමන්ගේ ෆෙන්ෂුයි ආභරන නිෂ්පාදනයක් පටන් ගන්නවා. තමන්ගෙ සමස්ත ජීවිතයම තීරණය කළ මාස 18 ගැන එයා ලියන්න ගන්නෙ මේ අතරෙදි.

ජෝන් ලෙනන් සහ තමාගෙ අතීත සැමරුම් විදිහට එකතු කරගත්ත පිංතූර ’මේ පැන්ග්’ පොතක් විදිහට ප‍්‍රින්ට් කරනවා. ‘ඒ පිංතූර වල ඉන්න ජෝන් අනිත් කොයි තැනකටත් වඩා සන්තෝසෙන් ඉන්න වගක් පේනවා’ කියල මැදිහත් විචාරකයො කියනවා. ඒක වෙන්න පුළුවන්. ඒ ජෝන් ලෙනන් තමන්ගේ මහා ප‍්‍රතිරූපයෙන් නිදහස් වෙලා ගතකරපු අප‍්‍රසිද්ද කාලය. පරිච්ෙඡ්ද දෙකක් අතර නාඳුනන පොඩි ගැප් එකක්. ඒ ගැප් එකේ නතර වුණු ජීවිතය ’මේ පැන්ග්’.
සමහර වෙලාවට අපිට අපිව මුණගැහෙන්නෙ අතරමං වුණු වෙලාවට.


ජෝන් ලෙනන්ව සම්පූර්ණයෙන් තේරුම් ගන්න අපි කාටවත් බැරි වේවි. ඒත් ලෙනන් මනුස්සයෙක් විදිහට තේරුම් ගන්න ‘මේ පැන්ග්’ ගෙ කතාව නැතුව බැරි වේවි.

චින්තන ධර්මදාස

Saturday, May 2, 2015

සුරතල්ද මාධ්‍ය?

19 සම්මත වුනා. තුනෙන් දෙකක් නෙමෙයි සරත් වීරසේකර ඇරෙන්න ඔක්කොම ඒකට අත ඉස්සුවා. නාමල් රාජපක්ෂ පවා.. විමල් වීරවංස පවා.. බොරු හේතු හදාගෙන හරි අන්තිමට අත ඉස්සුවා. අත උස්සන්නම බෑ වගේ අය නෑවිත් හිටියා. එතකොට ලංකාවෙ හිටපු එකම දේශපේ‍්‍රමියා සරත් වීරසේකරද?

19 නොගෙනෙන්න මැදමුලන පෙරමුන ද`ග දැම්මා. නානාප‍්‍රකාර විධි වලින් ට‍්‍රයි කළා. මුරුත්තෙට්ටුවෙ ආනන්ද වගේ තක්කඩි චීවරධාරීන්ව පිටපත් පවා නැතුව එලියට දැම්මා, විරෝධය පළ කරන්න. ඒත් ජනතා සංවිධාන වලට පුළුවන් වුනා ආයිමත් කඳවුරක් හදන්න. අවශ්‍ය වෙලාවෙදි පුරවැසි සංවිධාන විදිහට ශක්තිමත් මතයක් ඉදිරියට ගේන එකයි වැදගත්. මහින්දගෙ කාලෙ නම් මේ බලකිරීම් කිසි දෙයක්  ඕන වෙන්නෙ නෑ.

පණත දැනගන්නත් කලින් පණත සම්මතයි. ඒත් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතගැටුම් තියෙනවා. තාම ඒක ගෙදර ගිය මහින්දගෙ පිළ සහ අනෙක් බහුතරය විදිහට ළාමක තැනක තිබුණත් එහෙම සංවාදයක් හැදෙන්න ඉඩක් නිර්මාණය වෙලා තියෙනවා. කොහොම වුණත් ජනතා බලවේග විසින් අන්තිමට මැදමුලනෙ මතය ෆ්ලැට් කරලා දැම්මා. එහෙම හ`ඩක් දැන් සමාජයෙ තියෙනවා. මට අනුව මේ දින සියයෙ සිද්ද විය යුතු වැදගත්ම කාරණා දෙක ඒක.

එකක් ආයිමත් නෛතික රාමුවක් පාලනයට අරගෙන එක. කොයිතරම් අවාසිදායක වුනත්, ඉවසීමේ සීමාවෙන් එලියට කොයිතරම් තදින් තල්ලූ කරනවා වුණත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ඇතුලෙ ඒවාට උත්තර හොයන එක. පිරිමි නෑ වගේ පෙනුනත් අමාරු දේ වෙන්නෙත් ඒක. මෛත‍්‍රීට ඒක කරන්න කොන්දක් තිබුන.

දෙවෙනි එක පුරවැසියා නැවත නිර්මාණය කරන එක. ඒක ආණ්ඩුවකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිවිල් සංවිධාන විසින්, ඇති වෙන අවකාශය ඇතුලෙ වැඩ කිරීම හරහායි ඒක නිර්මානය වෙන්නෙ. එහෙම නැවත සංවිධානය වීමේ අවකාශයන්, උවමනාවන් අලූත් පාලනය හරහා ඇති වෙලා තියෙනවා. ඒක මහින්ද විසින් අහෝසි කරපු නැත්තං තහනම් කරපු තත්වයක්. මහින්ද පාලනය කළේ පුරවැසියා රහිත සමාජයක්. භයානක විදිහට ලංකාවෙ බහුතරය ඒකට එක`ග වෙමින් හිටියා.

දවස් සීයක් ඇතුලෙ මේ වෙනස් තත්වයන් දෙක නිර්මාණය වීමම යහපාලනය ගැන ආඩම්බර වෙන්න පුළුවන් ප‍්‍රතිඵල විදිහටයි මං දකින්නෙ. පඩි වැඩ කළාද, බදු අඩු කළාද වගේ සිල්ලර කාරණා වලට වඩා මේ ආණ්ඩුවට කරන්න තියෙන වැඬේ බරපතලයි. නැවත රටට පිළිගත හැකි රාමුවක්, ශික්ෂණයක් අරන් එන එක. තමන්වම ශික්ෂණය කර ගැනීම හරහා ඒක කරන්න වෙන එක. ඒ දේට පපුව පුම්බගත්ත බයියෙකුට වඩා ඇත්තට දැවැන්ත පෞර්ෂයක්  ඕන වෙනවා.

තමන්ගේම බලතල කප්පාදු කරන්න තමන් විසින්ම සංශෝධනයක් ගෙන එන්න තරමට නිර්භීත වුණු පළවෙනි ජනාධිපතිවරයා විදිහට මෛත‍්‍රී ඉතිහාසගත වෙනවා. ඉතිහාසෙ කියන එකේ මොනවා ලියවෙයිද කියල මං දන්නෙ නැති වුණත් ඒක ඓතිහාසික පියවරක්. විධායකය අහෝ්සි කරන්න ජනතාවට දුන්නු පොරොන්දුව රකිමින්, විධායකයා විදිහට හිඳිමින් විධායකය අහෝසි කරපු එකම ජනාධිපතිවරයා හැටියට මෛත‍්‍රීට ඒ ගෞරවය හිමි වෙන්න  ඕන.

‘ඔය පුටුවෙ ඉඳගන්න කවුරුවත් ආයිත් නැගිටින්න හිතන්නෙ නෑ..’ කියලා සම්මත කරගෙන හිටපු ගොඬේ අදහස වෙනස් කරන්න පුළුවන් වුණු දියුණු ශික්ෂනයක් එයා පෙන්නුවා. ලොකු පවුල් පෙළපත් වලින් ආපු කිසිම නායකයෙකුට ඒ දේශපාලන ශික්ෂනය තිබුනෙ නෑ. බලය අත්හැරීම කියන කාරණය නායකත්වයේ ලකුනක් විදිහට ගෙන ඒම මෛත‍්‍රී පාලනයේ සුවිශේෂතාවක්. බයියෙක් වෙන්නෙ හෝ නොවෙන්නෙ ඉපදිච්ච බිම අනුව නෙමෙයි වැඩ කරන විදිහ අනුව කියන එක 19න් ඔප්පු කළා.

මේ අස්සෙ මාධ්‍ය නිදහසට තර්ජනයක් සිද්ද වෙන නීතිත් සම්මත වෙන්න යනවා කියල තව පැත්තකින් විරෝධයක් ආවා. විශේෂයෙන් සිරස වගේ මාධ්‍ය උඩ පැන පැන මේ ජනතා අයිතිය වෙනුවෙන් පෙනී හිටියා.
මැතිවරණ කාලෙකදි පක්ෂග‍්‍රාහීව ක‍්‍රියා කරන මාධ්‍යවල පාලනය මැතිවරණ කොමසාරිස් විසින් පත් කරපු බලධාරියෙකු අතට ගන්න පුළුවන් වෙන එක තමයි මේ හාහෝවට හේතුව වුනේ. මේ ගැන වද වෙවී ඉන්නවට වඩා 19 අනිත් කාරණා සම්මත වෙන එක වැදගත් හින්ද මේ කාරණය අධිකරනයට තියලා ආණ්ඩුව ඉතුරු ටික අරන් පාර්ලිමේන්තුවට ගියා.

අපිව හිතන්න පුරුදු කරලා තියෙන විදිහට බැලූ බැල්මටම මේක මාධ්‍ය නිදහස කප්පාදු කිරීමක් වගේ පේන්න පුළුවන්. එතකොට මැතිවරණයකදි වෙනස් මත දරන මාධ්‍ය මේ හරහා පාලනය කරන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා. ඒත් මේ නීතිය අනුව තමන් යම් පක්ෂයකට සහාය දක්වනවා කියල එලිපිට කියලා මාධ්‍යයකට පුළුවන් තමන්ගේ පක්ෂග‍්‍රාහී මත ප‍්‍රචාරය කරන්න.

මේක ජනතාවට වැදගත් වෙන මාධ්‍ය නිදහසක කප්පාදුවක්ද? නැත්තං මාධ්‍ය ජාවාරම්කරුවන්ට අවාසි වෙන දේශපාලන තීන්දුවක්ද? වෙන විදිහකින් කිව්වොත් මාධ්‍ය වලින් ජනතාව ගලවා ගැනීමේ නීතියක්ද?
ජනමාධ්‍ය කිව්වට ඒකෙ තේරුම මේ කිසි මාධ්‍යයක් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක නෙමෙයි. ජනතාවට තමන්ගෙ මාධ්‍ය නිෂ්පාදන අලෙවි කරනවා කරන අදහස. මෙතනදි ඒ මාධ්‍යවල උවමනාව තමන් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නා බවක් ප‍්‍රදර්ශනය කරන එක. ඒත් ඒක ජනතා රැවටීමක්.

පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාවෙ කවදාවත් කුඩු ගැන ප‍්‍රවෘත්ති මොකුත් නෑ. සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට කිව්වට ඒ චැනල් එකේ ප‍්‍රවෘත්ති ඔක්කොම ඒ නාලිකාවෙ හිටපු නිවේදකයො ගැන. දැන් ඒ ගොල්ලො මන්ත‍්‍රී නිවේදකයො. සත්‍යය පළමුව කිව්වට කොටස් වෙළඳපොලේ ජාවාරම් ගැන අන්තිමටවත් කියන්න අනිත් චැනල් එකට අමතක වෙනවා.

ජනමාධ්‍ය වලින් තවදුරටත් ජනතාවට තොරතුරු අරන් එන්නෙ නෑ. ඒ වෙනුවට මාධ්‍ය වලින් කරන්නෙ තමන්ට අවශ්‍ය තොරතුරු වසන් කිරීම. නැත්තං වෙනත් තොරතුරු හරහා ජනතාව නොමග යැවීම. එතකොට තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කියල මාධ්‍ය මේ මොහොතෙ ඇත්තට සටන් කරමින් ඉන්නෙ තොරතුරු විකෘති කිරීමේ අයිතිය රැකගන්න.

හැම මාධ්‍ය අයිතිකාරයෙකුටම ඒ අයගෙ සැ`ගවුණු දේශපාලන අරමුණු තියෙනවා. මාධ්‍ය වෙළඳාම කියන්නෙ අනිත් කිසි වෙළඳාමකට වඩා වෙනස් විදිහක එකක්. අනිත් හැම බිස්නස් එකකදිම නිෂ්පාදකයා විසින් තමන්ගෙ නිෂ්පාදනය ජනතාවට විකුණලා ලාභයක් ගන්න අරමුණු කරනවා. ඒ වෙනුවට මාධ්‍ය ලාභය වෙනුවට බලය අරමුණු කරගෙනයි මෙහෙයවෙන්නෙ. ලංකාවෙ හැම මාධ්‍ය ආයතනයක්ම පවත්වාගෙන යන්නෙ පාඩු පිට. ඒ පාඩුවට වඩා විශාල බලඅරමුණක උවමනාවෙන්.

මේ තත්වය අතිශය බරපතලයි. සමහර මාධ්‍ය ආයතන වලින් කරන්නෙම තුට්ටු දෙකේ නිවේදකයන් මහජන නියෝජිතයන් කරන එක. තමන්ගේ මාධ්‍ය හරහාම ප‍්‍රචාරය ලබා දෙමින් ඒ අයව එක එක පක්ෂ හරහා ඡුන්්ද වලට දානවා. ඒ නියෝජිතයන් හරහා ජනතා දේශපාලන පක්ෂවල නායකත්වයන්ට බලපෑම් කරන්න තරමට සදාචාර විරෝධී දේශපාලනයන් මේ මාධ්‍යවලින් කිසි බයක් හිරිකිතයක් නැතුව එලිපිට කරනවා.

මාධ්‍යවල ශික්ෂණය සඳහා නීති ගෙන ඒම අවශ්‍යයි කියලා ආණ්ඩුවට වැටහීමම ප‍්‍රගතිශීලී කාරණයක්. තමන්ට පක්ෂව වැඩ කළ මාධ්‍යයන්ට පවා එරෙහිව යමින් අවශ්‍ය නීති සම්පාදනයට කටයුතු කිරීම ඉතාම ගරු කටයුතු වැඩක්. ජනමාධ්‍ය කියන නමට සහ ඇන්දීමට මුවා වෙමින් මාධ්‍ය ජාවාරමේ යෙදෙන මේ තක්කඩින්ව වහාම පාලනය කරන්න  ඕන.

ලංකාවෙ කිසිම ටීවී චැනල් එකකට මේ වෙලාවෙ තමන් සත්‍යවාදී හෝ පිරිසිදුයි කියලා පෙනී ඉන්න බෑ. එකක අයිතිකාරයා කුඩු වෙළෙන්දෙක්. තව එකක කොටස් වෙළඳපොලේ ඞීල්කාරයෙක්. අනිත් එකේ පොලිටිකල් ගේම්කාරයෙක්. පත්තර ගත්තත් මේ තත්වයෙ වෙනසක් නෑ. එතකොට ජනතාව පෙනී ඉන්න  ඕන මේ අයගෙ නිදහස ආරක්‍ෂා කරන්නද?

නාලක ගුණවර්ධන මේ මාධ්‍ය ශික්ෂණය ඇතිකිරීම ගැන හොඳ සංවිධිත අදහසක් ගේනවා. ඒ විශ්ලේෂණය සහ පැහැදිලි කිරීම එයාගෙ බ්ලොග් එකේ පවර් පොයින්ට් එකක් විදිහට තියෙනවා. මාධ්‍ය ගැන යම් නීති හෝ රීති සකස් කරද්දි ඉතාම වැදගත් වෙන සහ සිතා බැලිය යුතු කාරණා නාලක ඞීටේල් ඇතුව විස්තර කරනවා.
විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය හරහා පුරවැසි මාධ්‍ය කලාප විවෘත වෙලා තියෙන මේ වගේ අවධියක ප‍්‍රධාන ධාරවෙ ජනමාධ්‍ය වල අවශ්‍යතාවය ආයිමත් ප‍්‍රශ්න කරන්න  ඕන එකක්. ජනතාව දැනුවත් කිරීම වෙනුවට මේ මාධ්‍ය හරහා සිද්ද වෙන්නෙ ජනතාව සීමා කිරීම වෙන්න පුළුවන්. පහුගිය අවුරුදු දහයක කාලයක පුරාම ජනමාධ්‍යවේදින් ඉටුකරපු කාර්යය හිතලා බලන්න විතරයි තියෙන්නෙ.

ඒ වගේම මේ මාධ්‍ය කොයිතරම් නූතනද කියන ප‍්‍රශ්නෙත් තියෙනවා. මේ වෙද්දි ටීවී බලනවා කියන්නෙම පරණ පරම්පරාවකට අයිතියි කියන තත්වයක්. දේශපාලන අතින් විතරක් නෙමෙයි සමලිංගික අයිතීන්, අපචාර වැළැක්වීම්, සමාජයේ රසවින්දනය වගේ සංස්කෘතික කලාප අතින් ගත්තත් මේ ජනමාධ්‍ය කරමින් ඉන්නෙ අතිශය පසුගාමී කටයුත්තක්. වෙන විදිහකට කිව්වොත් මැට්ටන් කරනවාට වඩා ජනතාවට ඒකෙන් සිද්ද වෙන සේවයක් නෑ.

මහින්ද තමන්ට අවශ්‍ය විදිහට මාධ්‍ය පාලනය කළේ පාර්ලිමේන්තුවට පනත් ගෙනල්ලා නෙමෙයි. උදේට දාන කෝල් එකෙන්. එතකොට තමන්ට නැතිවෙනවා කියලා නොදැණුන නිදහසක් මේ පණත නිසා නැති වෙයි කියල මාධ්‍ය වලට දැනෙන්නෙ ඇයි?

සමාජය ශිෂ්ට වීම, ශික්ෂණය වීම, සාධාරණ වීම කියන කාරණා වලට දේශපාලකයන් වගේම මාධ්‍ය අයිතිකාරයනුත් බයයි. ඒ අය තමන්ගේ බල සෙල්ලම කරගෙන යන්නෙ අවිචාරයේ මාළු බාමිනුයි. විචාරය, විනිවිදභාවය මාධ්‍යවලට කැඳවන කිසි නීතියකට ඒ අය කැමැත්තෙන් එක`ග වෙන එකක් නෑ.

මාධ්‍යවල අයිතිය සහ ඒ අයිතිකාරයන්ගෙ වෙනත් ව්‍යාපාර ආදිය ගැන විනිවිදභාවයක් මාධ්‍යවලට තියෙන්න  ඕන. තමන්ගේ මතය, තමන් පෙනී ඉන්නා පක්ෂය ගැන ජනතාව රැුවටීමකින් තොරව දැනුවත් කිරීමේ වගකීමක් මාධ්‍යවලට තියෙන්න  ඕන. ඒ වගේම මාධ්‍ය රැුවටීමෙන් නිදහස් වීමේ අයිතිය ජනතාවට තියෙන්නත්  ඕන.
ඒක ආණ්ඩුවෙන් ගේන්න  ඕන නීතියක් නෙමෙයි. මාධ්‍ය ශික්ෂණය කිරීමේ ඉල්ලීම් එන්න  ඕන පුරවැසියන්ගෙ පැත්තෙන්. මාධ්‍ය මගින් මෙහෙයවෙන ජනතාවක් වෙනුවට ජනතාව මගින් මෙහෙයවෙන මාධ්‍යයක් ඇති කිරීමේ ව්‍යායාමයක් මේ මොහොතෙ අවශ්‍යයි.
මාධ්‍ය නිදහස වෙනුවට මාධ්‍ය වලින් නිදහස කියන එක ජනතාවගේ සටන් පාඨයක් වෙන්න  ඕන.

-චින්තන ධර්මදාස