Saturday, November 29, 2014

වෙනසට බය ඇයි?



අපේ මිනිස්සු වෙනසකට බය තරම දැක්කම මට බය හිතෙනවා. ඒ වෙන කිසි දෙයක් හින්ද නෙමෙයි අනාගතයක් නැති බව දැනෙන හින්ද. වෙනස පිළිගන්න හෝ බාරගන්න ලෑස්ති නෑ කියන්නෙ ඉන් එහාට සිතීමක් වර්ධනයක් සිද්ද වෙන්නෙ නෑ කියන එක. මේකෙ ආයිමත් හොඳ වෙනස හෝ නරක වෙනස කියල නෑ. මොන විදිහක වුණත් වෙනසක් හැමතිස්සෙම හොඳයි. ඒ වෙනස අපිව අභියෝගයට ලක්කරනවා. සක‍්‍රීය කරනවා. ශක්තිමත් කරනවා. මුල්ම වානරයො සිංහල වුණා නම් තාම අපි ගස් උඩ යන වඳුරො.

කලින් දවසක කියපු විදිහට සමහර විට මේ වෙනස් වෙන්න ඇති බය එන්නෙ කන බත් ටිකත් එක්ක වෙන්න ඇති. වී ගොවිතැන එක්ක පුරුදු වෙච්ච සම්ප‍්‍රදාය රකින, ගතානුගතික රටාව අපිට ජානමය විදිහට බලපානවා නොවෙනස්ව ඉන්න. අපි ලොකුකමක් විදිහටයි ඒක කියන්නෙත්. කවදාවත් නොවෙනස්... ඒ කියන්නෙ සදාකාලික මැටි.

මේ වෙනස් වෙන්න ඇති බය පුද්ගලික ජීවිතේ ඉඳන් සමාජ සංස්කෘතික දේශපාලන හැම ඉසව්වකටම බලපානවා. උදා විදිහට අපි යාලූ වෙන කෙල්ල හෝ කොල්ලා වෙනස් වෙනවට ඇති බය, කසාදය වෙනස් වෙනවට ඇති බය, සමහර විට අපි මාර විදිහට දෙමව්පියො ගැන වර්ණනා කරන්නෙත් ඒ අය වෙනස් කරන්න බැරි වස්තූන් හින්ද වෙන්නැති. මේක යම් පමණකට  ඕනම රටක මනුස්සයෙකුට තියෙන්න පුළුවන්. ඒත් මේ වෙද්දි බටහිර රටවල් සවිඥාණකව මේ වෙනස්වීමේ අභියෝග බාරගන්න පුරුදු කරනවා.  ඕනම විෂයක. වෙනස් නොවීම සුවපහසු කලාපයක හුදකලා වීමක් විදිහට බැහැර කරනවා. හැමතිස්සෙම වෙනසේ වල්මත්බවට මුහුණ දෙන එකයි දියුණු මනුස්ස තෝරා ගැනීම වෙන්නෙ. ඒත් ලංකාව යන්නෙ පස්සට.

මේ වෙලාවෙ මෛත‍්‍රීද මහින්දද කියන්නෙත් මේ වෙනසෙ තීන්දුවක්. පුද්ගලයො විදිහට මේ දෙන්නා කිරා බලමින්,  ඕපාදූප විනිශ්චය කරමින් තාවර වෙන්න දෙයක් නෑ. දේශපාලනිකව හැමතිස්සෙම වෙනසක් සුබයි. ඒක ඉතිහාසය තහවුරු කරපු දෙයක්. ඒකෙන් දේශපාලනික, ආර්ථික, සමාජ දේහයේ ලොකු වෙනස්කම් ඇති වෙනවා. සමාජය පුළුල් වෙනවා. සිතීම වර්ධනය වෙනවා. ඇරත් සමාජයක් විදිහට සංකෝචනය තෝරගෙන අවුරුදු දහයක් ගතවෙන තැනදිවත් වෙනස්වීම තෝරා නොගන්න සමාජයක ඉරණම දෛවෝපගයි. පව්.

මේ වෙලාවෙදි පටු මනස්වල වාදය තියෙන්නෙ පුද්ගලයො දෙන්නෙක් අතර. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිහාවට වැඩෙන ක‍්‍රියාවලියක් විදිහට මැතිවරණ තෝරාගැනීමක් දකින්න තරම් පරිණත අය ඉන්නෙ සොච්චමයි. කොයිතරං ග‍්‍රාමීය මූලයන් සහිත පක්ෂයක් වුණත් මේ වෙලාවෙ ජවිපෙ කියන කතාව දේශපාලනිකව ගොඩක් පළල්.

මෛත‍්‍රීපාල කියන්නෙ අවසානයක්, නිර්වාණයක් නෙමෙයි, ගමනක එක පියවරක් කියන එක. ඊට එහාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩෙන්න  ඕන. ඒ සාකච්ඡුාව තවදුර යන්න  ඕන. ඒක ජනතාව අතර නිරන්තර කතිකාවක් වෙනවා මිස රටක් හැටියට ඒ දේශපාලනික පුහුණුව ගන්න විදිහක් නෑ. අපි පුරුදු ඉබේ ලැබෙන දෙයක් බාරගෙන මිසක් වැඩක් කරලා උපයාගෙන නෙමෙයි. අපේ රටේ නිදහස වුණත් එහෙමයි.

මේක අපේ උරුමයේ කොටසක්. අපේ වහරෙ කතන්දර හැදිලා තියෙන්නෙත් ඒ විදිහට. උදා මේ ඡුන්දෙ ගැන වුණත් ඇහුවම සමහරු ලොකුවට දෙන උත්තරයක් වෙන්නෙ ‘දන්න යකා හොඳයි නොදන්න දෙයියට වඩා’ කියල. වහරෙන් ආපු හින්ද ආප්තෝපදේශයක් වගේ කිව්වට මේක අතිශය පසුගාමී ජාතියක කතාවක්. කොයිතරම් දුෂ්ට හෝ අවාසි සහගත තත්වයක් වුණත් ඊළ`ග අවධිය නොදන්නා නිසා වෙනසක් නොකර තියාගැනීම. හරිනං වෙන්න  ඕන ඊළ`ගට එන්නෙ වඩා නරක යකෙක් වුණත් ඉන්න යකා පන්නලා අලූත් යකා තෝරගන්න එක. හේතුව අලූත් වෙන්නෙ යකා නෙමෙයි අපි හින්ද. අලූත් යකා එක්ක අපි මුහුණ දෙන්නෙ අලූත් තත්වෙකට. පරණ යකා එළවීම හින්දම අපි වෙනස් වෙනවා. ඇත්ත ගැටළුව තියෙන්නෙ අපේ පරිණාමය. ඒ පරිණාමය අනුව එලියෙ තත්වයන් වෙනස් වෙනවා. ඒත් අපි ජාතියක් විදිහට හුරු වෙලා ඉන්නෙ දෙයියෙක් වෙනුවෙන් වත් යකෙක් මාරු නොකරන්න. හරක් එක්කො කරත්තෙ බඳින්න  ඕන. නැත්තං මස් කඬේට යවන්න  ඕන. ඡුන්ද බලය වගේ එකකින් උන්ට වැඩක් නෑ.

මේ වෙනසට ඇති බය විසින් අපිව කොයිතරම් පාලනය කරනවද කිව්වොත් අනෙකාට වඩා වෙනස් වෙන්න පවා අපි බයයි. සමූහයට අනුව ඉන්නවා මිසක සමූහයෙන් වෙනස් වෙන එක අපිට අභියෝගකාරීයි. ඒ වගේම අපි සමූහයක් විදිහට වෙනස බාරගන්නත් බයයි. සමලිංගිකත්වය, මතට නිදහස වගේ සංකීර්ණ තත්වයන් නෙමෙයි කොණ්ඩෙ වැවීමක්, කොටට ඇඳීමක් වගේ සරල දෙයක් පවා බාර ගන්න බැරි තරමට අපි සමාජයක් විදිහට දුර්වලයි.

මහින්දගේ පාලනය අවසන් කරන්න වඩා පුළුල් හේතුවක් වෙන්නෙ මේ වෙනස බාර ගන්න පුළුවන් සමාජයක් ඇති කිරීමේ උවමනාව. ජාතියක් විදිහට, ආගමක් විදිහට, විශ්වාසයක්, මතවාදයක් විදිහට වෙනස් දෙයක් දරන්න, අදහන්න වගේම බාරගන්න පුළුවන් අවකාශයක් ඇති කිරීම. හැම වෙනසක්ම හතුරුකමක් හෝ ද්‍රෝහී වීමක් කියල කියවන ගුහාගත තත්වයෙන් එලියට එක. මේක නොදියුණු සමාජයක් විදිහට අපේ තිබුණු තත්වයක් රාජ්‍ය තාන්ත‍්‍රික විදිහට තහවුරු වීමක් වගේ. අතිශය තාර්කික, බුද්ධිමය හා සවිඥාණක විය යුතු රාජ්‍ය නායකත්වයක් කේන්දරවලින් පාලනය වෙන තැන දක්වාම මේ වෙනස් නොවීමේ විපාකය දුර දිග ගිහින්. විද්‍යාව දියුණු වුණත්, පෝෂෙ මොන්ටෙරෝ පැද්දත් අපි වෙනස් නෑ. කොටින්ම පුතා අභ්‍යවකාශ ගගනගාමියෙක් වුණත් මහින්ද තාම ග‍්‍රහයො ගැන කේන්දර බලනවා.

මේ පාර මැතිවරණ තීන්දුව සංස්කෘතික තීන්දුවක් වෙන තැන අතිශය සරලයි. ඍජුයි. වෛරයද, මෛත‍්‍රියද? සංස්කෘතික මායිම තියෙන්නෙ එතන. වෙනස එතන.

මෙච්චර කාලයක් අපි ජීවත් වුණේ වෛරයේ කලාපය ඇතුලෙ. අපි අපේම රටේ ජාතීන් එක්ක ජීවත් වුණේ වෛරයෙන්. දෙමළා කොයි වෙලාවෙ අපිට ගහයිද කියල නොසන්සිඳෙන බයකින් ජීවත් වෙන්න අපි තෝරගෙන තිබුණ. තාමත් මහින්ද කියන්නෙ ආණ්ඩුව පෙරළුණොත් කොටි ගහයි කියල. අපි අපේම රටේ ආගම් එක්ක ජීවත් වුණේ වෛරයෙන්. මුස්ලිම් ජාතිය වැඩිවෙනවා සිංහල ජාතිය වඳවෙනවා කියල අපි වෛර කරමින් ජීවත් වුණා. අපි ලෝකෙ අනිත් රටවල් එක්ක ජීවත් වුණේ වෛරයෙන්. කොයි වෙලාවක විජාතික කුමන්ත‍්‍රණ එනවද කියල තේරුමක් නැති සැකයකින් අපි තැවි තැවී පැහි පැහී හිටියා.

මේක මං මුලින්ම දැකලා තිබුණෙ අපේ ආච්චිගෙන්. කිසිම හේතුවක් නැතුව එලියෙ මිනිස්සු බලන් ඉන්නෙ අපිට හිනාවෙන්න කියල භීතියක් එයාගෙ හිතේ තිබුණ. මං හිතුවෙ වයස හින්ද වෙන්නැති කියල. ඒත් ආච්චිගේ භීතිය රටක පාලනය දක්වා වැඩෙන්න පුළුවන් කියල මං තේරුම් ගත්තෙ ලොකු වෙලා. අපි ජනතාවක් විදිහට ජීවත් වෙන්නෙ ආච්චිලාගෙ ඔලූගෙඩි ඇතුලෙ.

මේ සීමාව වෙනුවට ලෝකයක් එක්ක ජීවත් වෙන්න පුළුවන්, අනෙකා බාරගන්න, අනෙකා සමග බෙදාහදාගන්න පුළුවන් තත්වයක් දක්වා අපි විවෘත වෙන්න  ඕන. කැමපේන් භාෂාවෙන් කියනවා නම් අපි මෛත‍්‍රී වෙන්න  ඕන. වෛරයෙන් පනවපු සීමාවන් බිඳින්න පුළුවන් මෛත‍්‍රියෙන් විතරයි.

මෛත‍්‍රී කියන්නෙ පුද්ගල තෝරාගැනීමක් වෙනුවට සංස්කෘතික තෝරාගැනීමක් වෙන්නෙ ඒ විදිහට. මෛත‍්‍රී කියන්නෙ නමක් වෙනුවට අභ්‍යාසයක් වෙන්නෙ ඒ විදිහට. එතනදි මෛත‍්‍රීපාල සිරිසේන කියන පුද්ගලයා නාම මාත‍්‍රිකයි. ඒ පිටිපස්සෙ තියෙන පොදු සවිඥාණක උවමනාවයි වැදගත් වෙන්නෙ. ඒ උවමනාව හරහා යෝජනා කරන අලූත් දේශපාලනික වෙනසයි වැදගත් වෙන්නෙ. අපි වෙනස බාර ගන්න ලෑස්තිද? සමහර විට අපි අපි විසින්ම දොරේ ඉබ්බා දාගෙන යතුර විසි කරන්න ඉඩ තියෙනවා.

මහින්ද කියන චරිතය ස්ථානගත කළේ යුද්ධයේ උවමනාව විසින්. ඒ කාලයේ අපිව වෙළාගෙන තිබුණු බය විසින්. ඒකට මුහුණදෙන්න අපි තෝරාගත්තෙ වෛරය. මහින්ද චින්තනය හැදුනෙ ඒ වෛරයේ බෙදුම්වාදය ඇතුලෙ. ප‍්‍රභාකරන්ගෙ අනෙකා විදිහට. යුද්ධය නැති වුණත් තාමත් මහින්ද දරාගෙන ඉන්නෙ ඒ මළකුණ. ඒ ජනතාව විසින් එයාට තීන්දු කළ චරිතය. තාමත් යුද්දෙ ගැන කියනවා මිසක් ඒ පිටපත එතනින් එහාට ලියවිලා නෑ.

අලූත් ජනතා උවමනාවක් එක්ක වෙනස් චරිතයක් අපිට  ඕන වෙන්නෙ ඒ හින්ද. වෙනස් උවමනාවක් ප්‍රොජෙක්ට් කරන නායකත්වයක්. නැවත ලෝකය එක්ක, අනෙකා එක්ක සම්බන්ධ වීම යෝජනා කරන දේශපාලනයක්. පවුල රාජ්‍ය දක්වා අරගෙන යනවා වෙනුවට අපිට පවුල හා රාජ්‍ය අතර පරතරය පළල් කිරීමයි වැදගත්.

මෛත‍්‍රී කියන්නෙ මේ මොහොතේ ඒ උවමනාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දේශපාලන චරිතය. මහින්ද වගේම ඊළ`ග දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී උවමනාවකදී අපිට මෛත‍්‍රී වෙනුවටත් වෙනසක් හොයන්න වෙයි. ජවිපෙ කියන කතාවෙ වැදගත්ම ඒකයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනවරත ක‍්‍රියාවලියක් විදිහට, අපි විසින් යා යුතු ගමනක් විදිහට අරගෙන එන එක. එතනදි අපිට වැදගත් වෙන්නෙ වෙනස විතරයි. චරිතෙ නෙමෙයි. බුදුබව පතන හෝ බුදුන්ට නෑ වෙන නායකයන් ප‍්‍රාර්ථනා කිරීම වෙනුවට සක‍්‍රීය ජනතාවක්, බුද්ධිමය දේශපාලනයක් වෙනුවෙන් වැඩ කරන එක ප‍්‍රගතිශීලියි. දියුණුයි.

මේ මොහොත නිශ්චිතයි. වෛරයද? මෛත‍්‍රියද? එච්චරයි.
දැන්වත් ගස්වලින් බිමට බහිමුද?

-චින්තන ධර්මදාස

Saturday, November 22, 2014

පොදු අපේක්‍ෂකයා මම



මං ලංකාව ගැන බලාපොරොත්තු අත්ඇරගෙනයි හිටියෙ. මෝඩකම දිහාවට රට පෙරලීගෙන යන වේගය ආයිමත් කොයිම විදිහකින් වත් නවත්තන්න පුළුවන් වෙයි කියල මං හිතුවෙ නෑ. ඒකට වැඩියෙන්ම හේතුවුනේ ලංකාවෙ බුද්ධිමත් යැයි හිතෙන අතලොස්සක් දෙනා පවා ඒ අඳුර තදටම බදාගෙන හිටිය හින්ද. ඒක ජාතිවාදී හෝ වෙනයම් ඒ අයගෙ මතවාදයක් ගැන ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒ මතවාදය තාර්කිකව සංවාදයකට ගන්න පවා බැරි ආගමිකත්වයක් එතන තිබ්බ. ද්‍රෝහියාද පේ‍්‍රමියද කියන තැනට තීරණය තල්ලූ වුණා.

අනිත් පැත්තෙන් දරුණු විදිහට හැමදෙයක්ම හැමතැනක්ම මිලිටරීකරණය වෙන්න පටන් ගත්තා. ඇ`ග හිරි වැටෙන ගානට මිනිස්සු ඉවක් බවක් නැතුව වැලිපාර්ක් වල දුවන්න පටන් ගත්තා. මේ කියන්නෙ හමුදාවෙ අයගෙන් සිවිල් ශ‍්‍රම බලකායක් හදපු එක අවුලක් කියල නෙමෙයි. ඒක තමයි අපේ වගේ රටක අර වගේ යුද්ධ උන්මාදයකින් පස්සෙ හමුදාවක් පුනරුත්ථාපනය කරන්න තිබ්බ එකම විදිහ. වෙනසකට තියෙන්නෙ අපි සොල්දාදුවො විතරක් නෙමෙයි සෙන්පතියොත් පුනරුත්ථාපනය කරපු එක. හැබැයි ඒක හොඳක්.

ඒත් රට ටික ටික ස්ටෙරිලයිස් වෙන්න පටන් ගත්තා. මිනිස්සු විචාරයක් විභාගයක් නැතුව  ඕනම නීතියක් අණක් විදිහට පිළිපදින්න ගත්තා. සෞඛ්‍ය මානසිකත්වය වුණත් ආණ්ඩුවෙන් නොකියා කරපු පැනවීමක්. හැමෝම දුවන්න  ඕන. ඒ විතරක් නෙමෙයි මිනිස්සු අණක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නත් ගත්තා. ජනාධිපති කෙනෙක් වෙනුවට රජ කෙනෙක්  ඕන කිව්වා. අනාගතය අත්ඇරලා අතීතෙට ගියා. රාවණා ඇවිල්ලා ඔක්කොම විසඳනකල් බලාගෙන හිටියා. ලෝකෙන් උතුම්ම රට වුණා.

ඒ රටේ ජනාධිපති පවා තීරණ ගත්තෙ ජ්‍යොතිෂයට අනුව. කේන්දරකාරයො රටේ වඩා දැනුවත්ම පිරිස වුණා. ජ්‍යොතිෂය ඇත්තද බොරුද වගේ කතා පවා අහෝසියි. කේන්දර පත්තර පිටින් ප‍්‍රින්ට් වුණා. විශ්ව විද්‍යාල පිටින් සිල් සමාදන් වුණා. ඒක තනිකරම පිස්සුවක්. 

අධ්‍යාපනය බල්ලට ගියා. හිතනවා කියන එක වචනයක් විතරක් වුණා. එකපාරටම රටේ සංස්කෘතිය අතුරුදන් වුණා. මං හිතන්නෙ සංස්කෘතිය කියන්නෙ අතීතෙට නෙමෙයි වර්තමානයට කියල නිර්වචනයක් විදිහට අපිට ඉගෙන ගන්න සිද්ද වුණා. ජනතාව අතීතෙට පිටමං කරලා මංපහරන්නො ටිකක් රටක් කොල්ලකෑවා. කසිප්පුකාරයො ටිකක් පන්සල් ටික බින්දා. උගත් බුද්ධිමත්තු ඒ අය ආරක්‍ෂා කළා.

එකපාරටම ජ්‍යොතිෂකාරයො ටිකක් ජනාධිපතිවරණයක් කෝල් කළා. සෙනසුරු මාරුවක් වුණා. හැමදෙයක්ම එකමොහොතකින් වෙනස් වෙන්න පටන් ගත්තා. විවිධ පිරිස් සංවිධානය වුණා. පළවෙනියටම වැදගත් දේ ආණ්ඩුවේ ත‍්‍රස්තවාදයට බය නැතුව කෙලින් හිටගත්ත එක. කිසි කෙනෙක් මේ ආණ්ඩුවට කිසි දෙයක් කියන්න පුළුවන් කියල විශ්වාස කරපු මොහොතක් නෙමෙයි ඒක. මාධ්‍ය ඔක්කොමත් උසාවියත් ආණ්ඩුව බද්දට අරගෙනයි තිබුණෙ.

ඒත් එකපාරට සංවාදයක් පැන නැග්ගා. මාර්ක් සකර්බර්ග් කැරැල්ලෙ පෙරමුනේම හිටියා. ජාතිවාදී, ආගම්වාදී කඩුපොලූ නඬේ ෆේස් බුකියෙන් ගහලා පැන්නුවා. ප‍්‍රධාන මාධ්‍ය වල බලය කොහොමත් දියාරු වෙමින් තිබුනෙ. ඒ වෙනුවට ඩිජිටල් මාධ්‍ය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය පටන් අරන් තිබුන. කිසි කෙනෙකුට පාලනය කර ගන්න බැරි විදිහට අදහස් හුවමාරු වෙන්න ගත්තා. කතිකා ගොඩනැගුන. ව්‍යාපාර ඇති වුණා.
අපි දැන් ඉන්නෙ එතන. මං ලංකාවෙ කවදාවත් සිද්ද වෙයි කියල නොහිතපු තැන. පොතක් පතක් කියවලා ඇති කියල හිතෙන කිසි කෙනෙක් මහින්දට පක්ෂ නොවෙන ගානට ජනතාව මාරු වුනේ ක්වොන්ටම් පිම්මකින්. දුර්වල චරිතයක් විදිහට රනිල්ව බයිට් එකට ගන්න බලන් හිටපු රාජපක්ෂලාට හක්ක මාට්ටු වුනේ අයිස්කන්දෙ යට ටික නොදැක්ක හින්ද. ඒක තරු වලින් විස්තර කරන්න බැරි දෙයක්.

ආණ්ඩුව ඇතුලෙ දෙකේ කොලේට වැටිලා උඩ දදා ගගහා හිටපු හැම පක්ෂයකටම, චරිතයකටම හෙට්ටු කරන්නත් ලොකු අවස්ථාවක් ලැබුන. හැම පොඩි කෑල්ලක්ම අතිශය වැදගත් මොහොතක් ආවා. හෙළ උරුමය බොදු බලේට විරුද්දව තමන්ගෙ තුරුම්පුව පාවිච්චි කළා. රනිල් අයින් වෙලා පොදු අපේක්‍ෂකයෙක් ගැන කතාවක් එලියට ආවා.

පොදු අපේක්‍ෂකයා ඇත්තටම වැදගත් වෙන්නෙ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන හින්ද නෙමෙයි. ජනතා ප‍්‍රයෝගයක් විදිහට එහෙම එකක් කිව්වට කමක් නෑ. ඒත් විධායක ජනාධිපති ක‍්‍රමය ඇත්තට අහෝසි කිරීම අපේ වගේ රටක ගොඩක් නරක ප‍්‍රතිඵල ඇති කරන්න පුළුවන්. පාලකයන්ගෙ පැත්තෙන් නෙමෙයි. පුරවැසියන්ගෙ පැත්තෙන් (එහෙම ඉන්න සුළුතරේට)

බහුතරය කියන එකේ මතය කවදාවත් වඩා ප‍්‍රගතිශීලී එකක් වුණේ නෑ. අපේ වගේ රටක ඒක අනාතයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක වඩා වැදගත් බහුතර කැමැත්ත නියෝජනය වෙන එක නෙමෙයි. සුළුතර හ`ඩ පවා ඇහෙන එක.

අවුල් සහගත ජනතා නියෝජනයකින් තේරෙන නියෝජිත පිරිසක් කෙළින්න ඉඩ තියෙන පිස්සු ගැන කල්පනා කරද්දි  අඩුම තරමෙ ඉහළම විධායක පුටුවවත් පාවිච්චි කරලා තත්වය පාලනය කර ගන්න පුළුවන් වෙන එක වටිනවා. ඒ පිස්සුව කොයිතරම් වෙන්න පුළුවන්ද කියල අපිට පෙන්නුවෙත් මේ ආණ්ඩුව. අනෙක් අතට ක‍්‍රමය වෙනස් වුණාට මේ පත්වෙන මිනිස්සුන්ගෙ වැඩි වෙනසක් වෙන්නෙත් නෑ.

උදා විදිහට සිංහල බෞද්දකම වගේ පිස්සුවක උවමනාවන් ලේසියෙන්ම ක‍්‍රියාත්මක වෙන්න පුළුවන්. බලපෑමක් ඇති කළ හැකි තීරණාත්මක ජනතාව සුළුතරයක් හින්දම මේ බහුතරයක පටු මෝඩ ක‍්‍රියාකාරීත්වයන් පාලනය කරන එක අනිවාර්යෙන්ම අමාරුයි. ඒත් විධායක ක‍්‍රමය තියෙද්දි ඉතාම සුළු පිරිසකගේ අදහසක් වුණත් ඇහෙන්නට සැලැස්වීමේ ඉඩකඩ වැඩියි. පාර්ලිමේන්තුවට වග නොකීමම මෙතනදි යම් ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාරණයක් වෙනවා.

මට අනුව විධායක ක‍්‍රමය අහෝසි කරන්න පුළුවන් මට්ටමට ලංකාව තාම ඇවිත් නෑ. මේක මහින්ද පක්ෂපාතී කියමනක් නෙමෙයි. ඒත් නිකම්ම නතුවෙන, විචාර බුද්ධියෙන් හීන, පැසිව් බහුතරයක් අතරෙ ඔලූව බේරගෙන ස්වාධීනව ජීවත්වෙන්න, විවිධ මතවාද, විවිධ සංස්කෘති එකට පවතින්න, බහුතරය කියන පරණ ගෝනියෙන් හැමදෙයක්ම වැහිලා නොයන්න, විධායක ක‍්‍රමය වඩාත් ආරක්‍ෂාකාරීයි. අනෙක් පැත්තෙන් ඒක දේශපාලනිකව සාමූහවාදී අදහසක් වෙනුවට වඩා පුද්ගලවාදී අදහසකට ළ`ගයි. ඒක සිතීමක් විදිහට දියුණුයි. අපි යෝජනා කරමින් ඉන්නෙ නැවත ආපස්සට යාමක්. 

කරන්න  ඕන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වඩා ස්වාධීන කරන්න පුළුවන් තත්ව ගොඩනගා ගන්න එකයි. ඒ හරහා තුලනයෙන් වඩා සවිඥාණක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ක‍්‍රියාවට නගන්න උත්සහ ගන්න එකයි. මේ වෙනස්කම් ඇති කරන්න ජනතාව පෙළගස්සන එකෙන් අපිට පුරවැසියො ටිකක් ඇති කර ගන්න පුළුවන් වෙනවා.

තවත් පැත්තකින් බැලූවොත් මේ වෙද්දි මාධ්‍ය චැනල් වලින් රටේ දේශපාලනය ඩැහැගනිමින් තියෙනවා. තවදුරටත් ජනතාව දන්නෙ ඇත්ත දේශපාලනය නෙමෙයි. මාධ්‍ය වලින් සංස්කරණය කළ දේශපාලනය. උදා විදිහට හිරු මාධ්‍යයේ සීඅයිඒ එක ගණිකාවො, කංසා හේන් අල්ලන්න එච්චර උනන්දු වුණාට කුඩු වෙළෙන්දො අල්ලන්න උනන්දු නොවෙන්නෙ එහෙම අය රටේ නැති නිසා නෙමෙයි. සිරස මේ වෙද්දි මාධ්‍ය කොම්පැනියක් විදිහට රටේ දේශපාලනයට දරුණු බලපෑමක් කරනවා. සිරසෙන් දේශපාලන චරිත නිෂ්පාදනය කරනවා. මාධ්‍ය හරහා විකුණන ඒ චරිත ජනතා නියෝජිතයො විදිහට ඇඳගෙන පාර්ලිමේන්තුවට එනවා. 
ජනතා නියෝජිතයා වෙනුවට මාධ්‍ය නියොජිතයා ආදේශ වෙනවා. ඒ නියෝජිතියො කොම්පැනියෙ ලොක්කාගෙ උවමනාවන් වෙනුවෙන් කඬේ යනවා. සමහර දේශපාලන චරිත පවා මේ කොම්පැනිවලින් රෙන්ට් එකට ගන්නවා. මිනිස්සු පරණ පුරුද්දට රටේ ප‍්‍රවෘත්ති කියල අහන් ඉන්නෙ මාධ්‍ය වැඩසටහන්. ඒවායෙ පිටපත් රචකයො, අධ්‍යක්‍ෂවරු ඉන්නවා.

වඩා බරපතල කාරනේ වෙන්නෙ මේ මාධ්‍ය කොම්පැනි වලට ඇත්ත ජනතා බලයක් හිමි චරිතවලට පවා ත‍්‍රස්තවාදී ගැහිල්ලක් ගහන්න තරම් බලයක් තියෙන එකයි. මෙතනදි ජනතා බලය අභියෝගයට ලක්වෙන්නෙ ප‍්‍රතිවිරුද්ද ජනතා බලයකින් නෙමෙයි. පාදඩ සල්ලි බලයකින්. අසරණ වෙන ජනතා නියෝජිතයන්ට අන්තිමට ඉතුරු වෙන්නෙ මේ කොම්පැනි එක්ක ඞීල් එකකට යන්න විතරයි. එතනදි මේ මීඩියා විසින් කොල්ලකන්නෙ අපේ පොදු උවමනාවයි. 

මේ බලය එන්නෙ අර කලින් කියපු විකෘතිය හරහා. ජනතා නියෝජනය, ජනතා කැමැත්ත මීඩියා හරහා බලහත්කාරයෙන් තීරණය කිරීමෙන් රාජ්‍ය බලය තමන්ට රිසි සේ හසුරුවා ගැනීම. අද පාර්ලිමේන්තුව කියන්නෙම ජනතා නියෝජනයේ විකෘතියක්. ජවිපෙ නිතර කියන නියෝජිතයන් විසින් පක්ෂ මාරු කිරීමට වඩා සංකීර්ණයි ඒ විකෘතිය. ඒක ජනමතය කොල්ලකෑමක්. 

ක‍්‍රමය මොකක් වුණත් තමන් වෙනුවෙන් සජීවී මැදිහත් වීමක් කරන මට්ටමකට සක‍්‍රීය වෙන්න  ඕන ජනතාවයි. ඒක මාධ්‍ය වලට පවරා දිය හැකි හෝ පවරාගත හැකි කාරියක් නෙමෙයි. ඉතාම පුංචි අයිතියට පවා සමාජයේ හ`ඩක් නැගෙන්න  ඕන. බට්ටි වගේ අය වෙනුවෙන් කරපු විකල්ප සමාජ මැදිහත් වීම් වැදගත් වෙන්නෙ ඒකයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එක දැනුවත් සංවාදයක්, ක‍්‍රියාකාරීත්වයක් ඇතුලෙ සිද්ද වෙන දෙයක් මිස කොලේක කෙටුම්පත් කළාට උඩින් වැටෙන දෙයක් නෙමෙයි. තමන්ට අවශ්‍ය විලාසිතාවක තමන්ට අවශ්‍ය සයිස් එක නැතිකම පවා තමන්ව නොතකා හැරීමක් විදිහට ප‍්‍රශ්න කිරීමේ ක්ෂුද්‍ර අවකාශයන් දක්වා ජනතාව සංවේදී වෙන්න  ඕන. ආණ්ඩුවකට පුළුවන් ඒ අවකාශය පුළුල් කරන්න විතරයි. මහින්ද කළේ ඒක පුළුවන් තරම් අකුලන්න උත්සාහ කරපු එක. පාදඩ අවිඥාණක පුද්ගලිකත්වයක් ඇතුලෙ මිනිස්සුන්ගෙ ජීවිත හිස් කරන එළඹුමක් ඒක. 

ඒක හින්ද වඩා වැදගත් විධායක ක‍්‍රමය අහෝසි කරන එක නෙමෙයි. මේ පවතින ක‍්‍රමය අහෝසි කරන එකයි. දූෂණය වංචාව වගේ දේවල් කොහොමත් අපේ වගේ රටක දේශපාලන සංස්කෘතිය. ඒවායෙ කරන්න පුුළුවන් සාපේක්‍ෂ වෙනස්කම් විතරයි.  වඩා වැදගත් වෙන්නෙ අපේ සමාජ- සංස්කෘතික අවකාශය කොයිතරම් පුළුල් කරනවද කියන එකයි. අපිව නැවත දිශානත කරන්නෙ අතීතයටද අනාගතයටද කියන කාරනෙයි.
මං පොදු අපේක්‍ෂකයා පිළිබඳ ව්‍යාපාරයට කැමති ඒකයි. ඒක නැවත බලාපොරොත්තුවක්. ඒක නිර්නාමික විප්ලවයක්. පොදු අපේක්‍ෂකයා කවුද, එයා දිනයිද, මහින්ද පරදියිද කියන එක නෙමෙයි වැදගත්. හිතන්න පුළුවන්, ප‍්‍රශ්න කරන්න පුළුවන්, විරුද්ද වෙන්න පුළුවන් සුළු පිරිසක් හරි තාමත් ඉන්නවා කියන එකයි වැඩිය වැදගත්.

අපිට සව්දිය පුරන්න ඒ වෙනස ඇති.

-චින්තන ධර්මදාස

Saturday, November 15, 2014

කරුවලට බයද?



බම්බලපිටියෙ ඩුප්ලිකේෂන් පාරෙ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානය ආයිමත් වටළලා (නීති විරෝධී කියන්නෙ නීත්‍යානුකූල ගබ්සා මධ්‍යස්ථාන තියෙන හින්ද නෙමෙයි). මේ ගබ්සා මධ්‍යස්ථානය අල්ලන එක ප‍්‍රවෘත්තියක් විදිහට කියවෙන්නෙ ඒක ජනතාවට හිතකාමී, මාර හොඳ දෙයක් විදිහට. ඒත් මේ මධ්‍යස්ථානය මං දන්න කියන පරම්පරා ගානක මිනිස්සු ගොඩ දෙනෙක් අමාරුවෙ වැටුණම උදව්වට තිබ්බ තැනක්. ව්‍යාපාරික හෝ ලාභ හෝ මොනයම් අරමුණකින් හෝ වේවා අනවශ්‍ය ගැබ් ගැනීමක් වුණොත් වගකීමක් ඇතුව ඒ අවුලෙන් නිදහස් වෙන්න පුළුවන් තැනකට කොළඹ තිබුණෙ  ඕක.

ගබ්සාවට විරුද්ධ සදාචාරවාදී තර්ක මෙතනදී ගේන්න පුළුවන් වුණත් ලංකාවෙ හැම පස් දෙනෙකුටම වත් එක්කෙනෙක් ජීවිතේදි මේ අර්බුදයට මූණ දෙනවා (ඇකඩමික් රිසර්ච් වලින් නෙමෙයි ප‍්‍රායෝගිකව ගත්ත දත්ත) ඇමරිකාව වගේ රටක නම් අවුරුදු 45 වෙද්දි කාන්තාවන්ගෙන් 30%ක් එක්වරක් හෝ ගබ්සාවක් කරගෙන තියෙනවා. අනිවාර්යෙන්ම ලංකාවෙ ඇමරිකාවට වඩා වැඩියි. හේතුව ඇමරිකාවෙ තරම් ලිංගික නිදහසක්, උපත්පාලන දැනුවත් කිරීමක් ලංකාවෙ නැතිකම. ඒ කොහොම වුණත් මේ පසුගාමී නීති හින්ද මිනිස්සු අමාරුවෙ වැටෙනවා. ඒකෙන් ගබ්සාව වැළකෙනවා කියල හිතන එක ගොංකමක්. කොයිම කෙනෙක්වත් ආසාවට හෝ විනෝදයට ගබ්සා කරගන්නෙ නෑ. මේ හින්ද වෙන්නෙ තවත් අන්තරායකාරී අප‍්‍රවේශම්කාරී ක‍්‍රම වලින් මේක කරගන්න ගිහින් ජීවිත නැති වෙන එක විතරයි. ඒත් ප‍්‍රශ්නයක් නෑ. නිව්ස් විදිහට දවස ගානෙ විකුණන්න පුළුවන්නෙ.

ආයිමත් ටික කාලෙකින් සුපුරුදු විදිහට මේ මධ්‍යස්ථානය පවතින්න පුළුවන් වුණත් මේ විවරය එක්ක ගබ්සාව ගැන කරුවල අදහස් හුවමාරුවකට මාව තල්ලූ වුණා.

ගබ්සාව පාපයක් කියන එක දෙවියන්ගෙ කැමැත්ත අවහිර කිරීමක් හෝ දෙවියන්ගෙ තෑග්ගට පයින් ගැසීමක් කියල ක‍්‍රිස්තියානියෙත්/ මුස්ලිම් ආගමෙත්,  ප‍්‍රාණඝාතයක් කියල බුද්ධාගමෙත් ඇදහිලිවන්තයො අදහනවා. සංවිධානාත්මක ආගමික මිත්‍යාවක් විදිහට මේක නීතිය දක්නා තල්ලූ වෙලා තියෙනවා.

තමන්ගේ හෘදය සාක්ෂිමය ගැටළුවක් මත අනුන්ගෙ ජීවිතය සීමා කිරීමක් නීතියක්, සම්මුතියක් වෙලා. තව කාලයක් යද්දි අපි හරක් මස් නොකන නිසා උනුත් හරක් මස් නොකෑ යුතුයි කියන අදහසත් ලංකාවෙ නීතියක් වෙන්න පුළුවන්. විද්‍යාත්මක සාක්ෂි සහ තර්ක ගෙනාවත් නීතියෙන් ගබ්සාවට ඇති තහනම පිටිපස්සෙ දැඩිවම තියෙන්නෙ ආගමික බලපෑමක්.

ගබ්සාව ඒ ගැබ දරන කාන්තාවගේ අයිතියක් කියන පිළිගැනීම දක්වා සමාජයක් දියුණු වෙන්න  ඕන. එහෙම නැතුව ගැබක් ගැන කරන හැම ආගම්වාදී, සදාචාරවාදී, නීතිමය ඇ`ගිලි ගැසීමක්ම බලහත්කාරයක්. තවත් කෙනෙකුගෙ ජීවිතයට කරන්න පුළුවන්  උපරිම කුහක බලපෑමක්. තමන්ගෙ ශරීරය ගැන තමන්ට තීරණයක් ගැනීමේ හැකියාව අමානුෂික විදිහට කරන උදුරා ගැනීමක්. ඒක ලිබරල්වාදී ක‍්‍රියාකාරීන් ලස්සනට කියනවා.

මාක්ස්වාදීන් හෝ ෆැසිස්ට්වාදීන් යුතෝපියානු අනාගතයක් වෙනුවෙන් වහල් කඳවුරක, වධ කඳවුරක මිනිස්සුන්ව හිර කර තැබුවාටත් වඩා දුෂ්ට ලෙස තමන්ගෙ ශරීරය තුලම තමන්ව හිරකාරයෙක් කර පාලනය කිරීමක් කියල.

මේ ගැන ජීවිතයට පක්ෂව කියල අදහස් කියන ‘කුහකයො’ කියන්නෙ ගබ්සාව දරුවාගෙ අයිතිය ඩැහැගැනීමක් විදිහට. නූපන් කළලයක නොදන්නා ජීවිතයක් වෙනුවෙන් දන්නා, ජීවත් වෙන ගැහැණියකගෙ ජීවිතයක් ලංසු තියනවා. ගබ්සාවට විරෝධී තර්කයෙ සරල කතාව ඒක. මෙතනදී නීතිය සහ මාධ්‍ය ඇතුලෙ දැනගෙන කරන ලොකු භාෂා බලපෑමකුත් තියෙනවා. ‘නූපන් දරුවා’ වගේ යෙදීම් නිකම්ම භාවාතිෂය ප‍්‍රලාප විතරයි. ඒ වෙනුවට කළලය කියන වචනය පාවිච්චි කළොත් දැනෙන අපරාධමය ගතිය අඩුයි. ඒත් අර රොමාන්තිකකරණය හරහා පාලනය, බලහත්කාරය ක‍්‍රියාත්මක කරනවා. ජනතාව එක`ග කරනවා. ගබ්සාවක් කරන තත්වයට පත් වෙන, ඉන් අසරණ වෙන ගැහැණියගේ ජීවිතය හෝ මනෝභාවය ගැන පයිසෙකටවත් සැලකිල්ලක් පාවිච්චි වෙන මාධ්‍ය භාෂාවෙ නෑ.

ගබ්සාව ගැන නීති සදාචාර පැනවීම් කරන්න තියා ඒ ගැන අදහස් පළකිරීමක්වත් කරන්න බාහිර සමාජයකට හෝ කිසිම පිරිමියෙකුට අයිතියක් තියෙනවා කියල මං පිළිගන්නෙ නෑ. ඒ අර්ථයෙන් මං පවා මෙතන කරමින් ඉන්නෙ අදාල නැති බලහත්කාරයක් වෙන්න ඉඩ තියෙනවා.

ගබ්සාව ගැන පක්ෂව හෝ විපක්ෂව විධිමත් ලියැවීම් අදහස් පළකිරීම් මාධ්‍ය වල පවා කෙරෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඒවා වනචර ප‍්‍රවෘත්ති විදිහට විතරයි ෂෙයාර් වෙන්නෙ. මුලින්ම මට හිතුනෙ ඒ අපේ නොදියුණුකම කියල. නිශ්ශබ්ද වීමම වාරණයක්. තහංචියක්. එක පැත්තක් එහෙම වෙන්න පුළුවන්. ඒත් අනිත් පැත්ත ඊට වඩා ගැඹුරු වෙන්න පුළුවන්.

ඒ තරම් බහුලව, රහසිගතව, ගොඩක් අය මුහුණ දෙන මේ ට්‍රෝමැටික් අත්දැකීම ගැන නැවත කතා කරන්න කවුද කැමති වෙන්නෙ? හැම කෙනෙක්ම කැමති ඒ අඳුරු පැල්ලම අමතක කරලා නැවත දරුවන්ට ආදරේ කරන උත්තම මවක් වෙන්න. ඒ ගබ්සාව කළ කෙනා තමන් නොවෙන්න. කරුවල මගඅරින්න. මේ අසරණකම ඇතුලෙ ජීවිත ඉරෙනවා.

මට මතක් වෙනවා සත්‍යා එයාගෙ නොපෙන්නපු චිත‍්‍රපටිය ‘බොරදිය පොකුණ’ ගැන නිතර කියන කතාවක්. ‘මචං, ඒක මගේ යාලූවන්ට පෙන්නුවම උන්ට හොඳටම තරහ යනවා. මේ වගේ කුණු ජරාව මොකටද බං පෙන්නන්නෙ කියල අහනවා. මං හොඳටම දන්නවා උන්ට මේ දේවල් මේ විදිහටම සිද්ද වුණා කියල...’

බොරදිය පොකුණ කියන්නෙ ගබ්සාවක් තරම්ම අඳුරු අත්දැකීමක්. මිනිස්සු ඒකට අකමැති වෙන එක අතිශය මානුෂිකයි. තමන්ගෙ පැවැත්ම ඒ අඳුරු දිශාවන් දක්වාම බාර ගන්න පුළුවන් කතිකාවක් සමාජයේ නැතිකම. පිළිගැනීම වෙනුවට තමන්වම බැහැර කිරීම දක්වා ජීවිත පරාරෝපණය වෙලා තිබීම. පව්.

ලංකාව වගේ රටක ගබ්සාවට තියෙන නීතිමය විරෝධය එක්තරා විදිහක ත‍්‍රස්තවාදයක්. එක පැත්තකින් ලිංගික ජීවිතය තහනම් කරලා, ලිංගික අධ්‍යාපනය සීමා කරලා, කොන්ඩම්, උපත්පාලන ක‍්‍රම ගැන ලැජ්ජාශීලී කරලා අරගෙන යන සමාජයක අනිවාර්ය විදිහට වැරදෙන තැනදි තියෙන්නෙ ඉතුරු කරලා තියෙන්නෙ දිවි නසාගැනීමක් (භෞතික හෝ මානසික අර්ථයෙන්) විතරයි. සමාජයක් හැටියට ගබ්සාව ගැන හෘදය සාක්ෂිමය අවුලක් තියෙනවා කරන්න  ඕන ඒක බුද්ධිමය තැනක් දක්වා අරගෙන එන එකයි. පුළුවන් තරම් දියුණු උපත් පාලන ක‍්‍රම සමාජගත කරන එකයි. සදාචාරය ටිකක් පළල් කරන එකයි. මේ විදිහෙ ලිංගික අධ්‍යාපනයේ සහ ලිංගික දේ භාරගැනීමේ විවෘතකමක් ඇති නොකර ගබ්සාවට දක්වන විරෝධය ජීවිතයට පක්ෂ එකක් නෙමෙයි.

මං ගොඩක් කැමතියි අයින් රැන්ඞ් ගැහැණියක් විදිහට මේ ගැන දරන ප‍්‍රවේශයට. අදහස් වලට විතරක් නෙමෙයි ඒවා පළකරන විදිහටත්.

එයා කියනවා, ‘කලලයට ජීවත් වීමට ඇති අයිතිය ගැන කතාව විසකුරු විකාරයක්. උපදින තුරු කලලයකට දරුවෙකුගේ අයිතිය හිමි වෙන්නෙ නෑ’ කියල.

‘ඇබෝර්ෂන් එකක් කියන්නෙ ගැහැණියකගේ සදාචාර අයිතියක්. වෙන කිසි කෙනෙකුට අයිතියක් නෑ ඇගේ ශරීරය වෙනුවෙන් නීති පනවන්න’

මිනිස් ෙසෙල එකතුවකට ජීවිතයක් තියෙනවා කියල හිතන එක මෝඩ අදහසක් කියලයි අයින් රැන්ඞ් තර්ක කරන්නෙ. එහෙම නං උණ්ඩුක පුච්චය කපලා අයින් කරන එකත් පාපයක් වෙන්න  ඕන කියල එයා විහිළු කරනවා. ජීවිතයක් විදිහට වැඩෙන්න ඇති හැකියාව කියන්නෙ ඇත්තට ඒ මොහොතෙ පවතින එකක් නෙමෙයි කියල එයා කියන්නෙ සමාජය ඇතුලෙ ගැහැණියකගේ ජීවිතේ සීමාව පළල් කරමින්.

මං ගොඩක් කැමති අයින් රැන්ඞ් එයාගෙ අදහස් කියන මේ දරද`ඩු විලාසයට. ගොඩක් රොමැන්ටිසයිස් කරලා තියෙන මේ වගේ මාතෘකාවක් එයාගෙ විලාසය හින්ද තාර්කික තැනකට පෙරලෙනවා. මානුෂීය ගැටේ පොඞ්ඩකට ලිහෙනවා. අනික එයා කාන්තාවක්. මේවගේ තත්වයක් ඇතුලෙ අර්බුදයට යන ජීවිත වලට අයින් රැන්ඞ් වගේ අදහස් හුස්ම ගන්න ඉඩක් හදනවා. මං හිතන්නෙ වඩා මානුෂීය වෙන්නෙ ඒක.

මුරේ රොත්බාර්ඞ් කියන දාර්ශනිකයත් මේ අදහසට සමාන්තරව කතිකාව ඉස්සරහට අරගෙන යනවා. තවත් කෙනෙකුගේ ශරීරයක් ඇතුලෙ පරාරෝපිතව වැඩෙන කිසිම ජීවියෙකුට ස්වාධීන පුද්ගලයෙකුගේ අයිතිය හිමි නොවෙන විත්තිය රොත්බාර්ඞ් කියනවා.

මේ හැම අදහසක්ම ආයිමත් පිටතින් කරන බැලීම්. සමාජයේ සදාචාර තර්කයට දෙන ප‍්‍රති උත්තර. වඩා වැදගත් වෙන්නෙ අපි මේ ප‍්‍රශ්නෙ ඇතුළතින් බැලීම දක්වා ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් ගන්න එක. උදා විදිහට ගබ්සාවට විරුද්ද වීම හරහා, ඒක අපකීර්තිමත් කිරීම හරහා අපි වගකීමක් නැති දෙමව්පියන් තොග පිටින් හදනවා. තමන් පාපයෙන් බේරෙන්න ඔහේ ළමයි එලියට දානවා. දරුවෙක් වෙනුවෙන් තමන් සූදානම්ද කියන සවිඥානක තීරණය ගන්න පුළුවන් පසුබිමක් අහිමි කරනවා.

එක පැත්තකින් තමන්ගේ ආර්ථික සමාජීය තත්වය, තව විදිහකින් තමන් පුද්ගලයෙක් විදිහට ප‍්‍රාර්ථනා කරන ජීවිත අරමුණු, ඒ හැරුණු විට උපදින දරුවා වෙනුවෙන් තමන්ට කළ හැකි කැපකිරීමේ ප‍්‍රමාණය, මේ වගේ ගොඩක් අභ්‍යන්තර සිතා බැලීම් වලින් පස්සෙ ජීවිතේ ගන්න  ඕන වැදගත්ම තීරණයක් අපි අහම්බයක් කරනවා. ඒක හින්ද අපේ වගේ රටක විශේෂයෙන් ගොඩක් ඉන්නෙ ඇක්සිඩන්ටල් බේබිස්ලා.

මේ බබ්බු ලොකු වෙලා තමයි අද අපි ඉන්න සමාජය නිර්මාණය වෙලා තියෙන්නෙ. කාට හරි සිහියක් තියෙන කෙනෙකුට හිතෙන්න පුළුවන්ද මේ වගේ රටක, තමන් විඳිනවා වගේ ජීවිතයක තවත් ජීවිතයක් හිර කරන්න? ඒක පුද්ගලික අතිශය සවිඥාණක තීරණයක් වෙන්න  ඕන.

කතාව කියන්න  ඕන අනිත් පැත්තට. තමන් වෙනුවෙන් හෝ තමන්ගෙ ජාතිය වෙනුවෙන් දරුවන් උපද්දන්න එපා කියල. දෙමව්පියෙක් කියන වගකීමේ ප‍්‍රමාණය සහ ඒ පිණිස තමන් ගන්නා තීරණයේ ප‍්‍රමාණය ගැන මිනිස්සු දැනුවත් කරන එකයි වෙන්න  ඕන. කාලකණ්ණි ජීවිතයක් මැරෙන කල් ගත කරන්න ඉපදෙනවට වඩා නිවැරදි තීරණයක් හින්ද කළල අවධියේ නැති වෙලා යන එක ගෞරවනීයයි. පාපය වෙන්නෙ අනිත් පැත්ත. මෝහය තියෙන්නෙ එතන.

ගබ්සාවක් ගැන ගන්න තීරණය ආත්මාර්ථකාමී නොවෙන්නෙ ඒ හින්ද. එක පැත්තකින් ඒක ඒ මොහොතේ මවක් වීමට තරම් මුහුකුරා නොගිය කාන්තාවකගේ ජීවිතය බේරනවා. අනිත් පැත්තෙන් අනවශ්‍ය දරුවෙක් විදිහට ඉපදිලා ජීවිතේ කාලකණ්ණි කර නොගැනීමෙන් නූපන් දරුවා බේරනවා. ලංකාවෙ දරුවො විදිහට ඉපදිච්ච මං වගේ ගොඩක් දෙනෙක් දන්නවා එහෙම සවිඥාණක තීරණයක් ගන්න අපේ දෙමව්පියො පරිණත වෙලා හිටියා නම් කොච්චර හොඳද කියල.

චින්තන ධර්මදාස



Saturday, November 8, 2014

කොහොමද බයියන්ගෙ වැඩ?



ලංකාවෙ ජනගහනයෙන් බහුතරයක් මං හිතන්නෙ හි`ගන්නො. හි`ගන්නා කියන්නෙ අතපාලා කීයක් හරි හොයාගන්න භෞතික අර්තෙන් නෙමෙයි. ආත්මීය හි`ගන්නො කියන අදහසෙන්. මේ ආත්මීය හි`ගනකම අපි හිතනවට වඩා ගැඹුරුයි. තමන්ගෙ ඇතුළතින් යමක් පිටතට දෙනවා කියන එක නොදන්නාකම. එහෙම එලියට දෙන්න තරම් දෙයක් නැති කම. ඒ වෙනුවට එලියෙන් හැමදේම අරගෙන තමන්ව පුරවගන්න ද`ගලන එක. ඒක සල්ලි වෙන්න පුළුවන්, කීර්තිය වෙන්න පුළුවන්. අඩුම ගානෙ සම්පූර්ණ හිනාවක්වත් එලියට දෙන්න බැරි තරමට ලංකාවෙ මිනිස්සු දුප්පත් වෙලා.

අපි දන් දෙන්නෙ හි`ගනකමට. මහා දානයක් දුන්නත් ඒකෙන් වඩා හොඳ මතු ආත්මයක් ලබන්න. අපි ආර්ට් කරන්නෙ හි`ගනකමට. නවකතාවක්, චිත‍්‍රපටියක් පවා කරන්නෙ සම්මානයක්  ඕනකමට. ඒ පිළිගැනීම නැතුව තමන් කවුරුවත් නෙමෙයි. ඒ පිළිගැනීමෙන්, පිටතින් ලැබෙන චරිතෙන් තමයි තමන්ට ආත්මයක් ලැබෙන්නෙ.

මේක බුදුන්ටවත් නොතේරිච්ච තැනක්. ඒ කියන්නෙ උත්පත්තියෙන් පස්සෙ පිටතින් ආත්මයක් ලැබීම කියන එක. මේක හින්දම අපි ගොඩක් දුප්පත් රටක්. ජාතියක් විදිහට අපි හි`ගනයි. එක්කො ලෝකෙන් හි`ගාකන එක හරි නැත්තං අතීතෙන් හි`ගාකන එක හරි තමයි අපේ පැවැත්ම. අපේ උරුමය, අපේ ජාතිය, මේ විදිහට අපේ කියන හැමදේම පිටිපස්සෙ තියෙන්නෙ මේ කැත ආත්මීය හි`ගනකම.

මේ හි`ගනකම එක්ක තියෙන අනිත් කාරණේ තමයි නිර්මාණාත්මක නැතිකම. කිසිම නව්‍යකරණයක් හෝ නව සිතීමක් සිද්ද නොවීම. අපි හැමදේම කරන්නෙ එලිය දිහා බලාගෙන. අපි චිත‍්‍රපටි හදන්නෙ කාන්ස් දිහා බලාගෙන. මේක සමහර විට අපේ ආහාර රටාව එක්ක සම්බන්ද ඇති.

අපේ සමෘද්ධියේ සිරාම තැන තමයි බතින් බුලතින් සරුයි කියන එක. මේක රටට කරගත්තොත් හරි කියන එකයි පොදුජන පැතුම. බත් කියන්නෙ බඩ පිරෙන්න කන්නයි, බුලත් කියන්නෙ හප හපා ඉන්නයි කියන එක. කන්නයි ඉන්නයි තිබුණොත් ඇති. සමහර විට ඒක පෙරදිග චින්තනය වෙන්නැති.

මෑතකදි ඉනටර්නෙට් එකේ ෂෙයාර් වුණා චීනෙ ගැන කරපු රිසර්ච් එකක්. ඒකෙදි ඒ අය කියන්නෙ සමහර විට අපේ ආහාර රටාව අපි හිතනවට වඩා ජීවිතේට බලපෑමක් කරන්න පුළුවන් කියල. චීනෙ උතුරු පළාතෙ තිරිගු වවන කොටසක් සහ දකුණෙ බත් වවන කොටසක් අතරයි මේ සමීක්‍ෂණය කරන්නෙ. මේක හින්ද ජාතික හෝ වෙනත් සංස්කෘතික මට්ටමකින් සිද්ද වෙන්න පුළුවන් වෙනස අවම කර ගන්නවා.

මෙතනදි ඒ පර්යේෂකයන් අනාවරණය කරනවා තිරි`ගු වැවීම හරහා ඒ ජන පිරිසටත්, බත් වැවීම හරහා අනෙක් ජන පිරිසටත් තීන්දු වුණු චර්යාවන් ගොඩනැගෙනවා කියල. උදා විදිහට තිරි`ගු වවන ජනතාව වඩාත් පුද්ගලවාදී, ඒ වගේම නිර්මාණශීලී, අලූත් විදිහට හිතන හැඩගැහෙන ජනතාවක් වෙද්දි බත් වවන පිරිස වඩා සාම්ප‍්‍රදායී, සමූහවාසී, අලූත් දේට බයක් සහ වෙනසට අකමැති චර්යාවන් දරනවා. මේකට හේතු වෙන්නෙ මේ කර්මාන්ත දෙකට අවශ්‍ය වන ශ‍්‍රම රටාවෙ සැකැස්ම හින්ද. ගොවිතැන වඩා සාම්ප‍්‍රදායී, සාමූහික ශ‍්‍රමය අවශ්‍ය, ගතානුගතික ක‍්‍රමෝපායන් උඩ පදනම් වෙද්දි තිරි`ගු වගාව නවීන, පුද්ගලික මුහුණුවරක් ගන්නවා. ගොවිතැන හින්දම බත බුලත තිබ්බම ඇති කියල පුරුදු වෙනවා. මඩ හෝදගෙන රජ පුටුවෙ ඉඳගන්න දවස එනකං බුලත් හප හපා ඉන්නයි තියෙන්නෙ.

මේ හින්දම වඩා අතීතෙට හැරිච්ච පරපුරක් ඇති වෙනවා. වඩා දූපතට වැහිච්ච සංස්කෘතියක් ඇති වෙනවා. කන එකෙන් අපි කවුද කියල තීරණය වෙනවා.

ඒත් ලෝකෙ දියුණු වෙනවා. වඩා පුද්ගලවාදී, මනසක් ඇති මිනිස් පිරිසක් නිර්මාණය වෙනවා. ඒ අය නව නව තාක්‍ෂණයන් හොයා ගන්නවා. බත් කලා බුලත් හප හපා ඉන්න අතරෙ මේ තාක්‍ෂණයන් අපිටත් මුණගැහෙනවා. ඒවා අනුව අපේ ජීවිත වල බල දේශපාලනයන් වෙනස් වෙන්න ගන්නවා. එතකොට නිරායාසයෙන්ම හි`ගනකම ඇති වෙනවා. හැමදෙයක්ම සිද්ද වෙන්නෙ එලියෙ මිසක් ඇතුලෙ නෙමෙයි. අපි දන්නෙ කන්නයි ඉන්නයි විතරයි.

මේක ජාතිය දිහා බලන ද්වේශසහගත විදිහක් කියල කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් අපි නැවත අපේ සැකැස්ම ගැන ක‍්‍රිටිකල් හිතීමකට යන්න  ඕන කියලයි මට හිතෙන්නෙ. ඒක බැරිකමමත් අපේ දුප්පත්කමේ ලකුණක්.

කෘෂිකර්මාන්තය වඩාත් නිර්මාණශීලී වුණු යුගයක් තියෙන්න ඇති. වාපී සංස්කෘතීන් සහ මහා විහාර හැදුනෙ ඒ කාලෙ වෙන්නැති. ඒත් දැන් ඒ උරුමය අපේ කරුමයක් වෙමින් යනවා. අපි අපේ සිතීම කුඹුරෙන් එහාට නොගැනීමේ අවුල අපේ දේශපාලනික, සමාජීය, සංස්කෘතික හැම දේකින්ම පේන්න පටන් අරගෙන තියෙනවා.

මෑතක ජනාධිපතිතුමා අයවැය ප‍්‍රකාශය කරලා ඉවර කරපු විදිහ මේකට හොඳ උදාහරණයක්. ‘කොහොමද ගමේ බයියොන්ගෙ වැඩ?’ කියල මහින්ද රාජපක්‍ෂ අහද්දි ලංකාවට වෙලා තියෙන අවුල මොලේ තියෙන  ඕන කෙනෙකුට දැනෙන්න  ඕන. අපි රාජ්‍ය තන්ත‍්‍රය පවා ඒ තැනට අරගෙන ඇවිත්. මහින්ද කිව්වෙ ඇත්ත. අපි මේ අත්විඳිමින් ඉන්නෙ ගමේ බයියොන්ගෙ වැඩ තමයි. අපේ අධ්‍යාපනය, රටක් විදිහට සිතියමේ අපේ තැන, දකින දකින වතුර වල වටේ ඉදිවෙන වෝකින් පාත්, නැව් නොඑන වරායවල්, ප්ලේන් නැති එයාර් පෝර්ට්... එකී නොකී හැමදේම ගමේ බයියොන්ගෙ වැඩ.

මේ උරුමය හින්ද අපිට ගන්න පුළුවන් පැති දෙකයි තියෙන්නෙ. නලින්ද සිල්වා ගත්තොත් මේක හරියටම පැහැදිලි වෙනවා. එකක් එයා කියන අනුකාරකවාදය. ඒක තමයි කොළඹ අපි සංවර්ධනය කියල දකිමින් ඉන්නෙ. ඒක දකින්න විතරයි පුළුවන්. විඳින්න බෑ. ඒ විඳින්න  ඕන කරන සංස්කෘතිය, ආත්මය එතන නෑ. එතන තියෙන්නෙ තහනමක් විතරයි. අන්තිමට දුවන්නෙ මොකටද කියල නොදැන අපි ඔහේ දුවනවා. මේක ගීතදේව ලස්සනට කියනවා. මං හිතන්නෙ රුවන් බන්දුජීවගේ කවියක් ඒක.

උයනක් කියන්නෙ මේකද?
උයනක් කියන්නෙ මේකද?

ලෑලි වෙන තුරු බඩවල්
පිරිමි දුවනා එකටද?
රවුම් වන තුරු පුකවල්
ගෑණු ඇවිදින එකටද?

නලින්ද සිල්වා චෝදනා කරන මේ අනුකාරකවාදය ඇත්තක්. ඒක එක ඔප්ෂන් එකක්. අනික නලින්ද සිල්වාම ඉන්න කුඹුර. අතීත මෝචනය. අපි ජීවත් වෙන  ඕන තැනක්,  ඕන කෙනෙක් දිහා බැලූවම මේ අන්ත දෙක අඳුරගන්න පුළුවන්.

අපිට ඉතිහාසෙන් සවිඥාණක අත්මිදීමක් අවශ්‍යයි. රොකට් එකක් වුණත් වායුගෝලය තරණය කළාට පස්සෙ පහල කොටස අත්හරිනවා. මේ කියන්නෙ ඉතිහාසය ප‍්‍රතික්‍ෂේප කිරීමක් නෙමෙයි. නව නිර්මාණාත්මක අර්තයකින් ඒක බාර ගැනීමක්.

මං සුජිත් අක්කරවත්තගෙ ලියවිලි වලට කැමති වෙන්නෙත් ඒකයි. මං හිතන්නෙ නෑ සුජිත් ඉතිහාසෙ ගැන ඇත්ත ලියනවා කියල. මං හිතන්නෙ නෑ කාටවත් එහෙම ලියන්න පුළුවන් ඇති කියල. සුජිත් කරන්නෙ ඉතිහාසය ලිංගික සහ වෙනත් නව මානයන්ගෙන් කියවන්න ගන්න එක. මේක ඉතිහාසෙට නෙමෙයි මාක්ස්වාදෙටත් වෙනවා නම් වැදගත්. කුඹුරෙන් එලියට බැහැලා ආයිමත් කියවන එක. තරමක් දුරට එහෙම වෑයමක්වත් දරන්නෙ වික‍්‍රමබාහු විතරයි.

ආයිමත් ජනාධිපතිවරණයක් එන්න යනවා. මං හිතන්නෙ තීරණය කරන්න තියෙන දේ ඉතාමත් සරලයි. ආයිමත් අපි ඡුන්දෙ දෙන්නෙ බයියන්ටද? නැත්තං රටක් විදිහට වෙනස් සිතීමක දිශානතියක් අපි පටන් ගන්නවද? ඒක ජනතාවක් විදිහට ගන්න  ඕන තීරණයක් නෙමෙයි. තනි තනි මිනිස්සු විදිහට ගන්න  ඕන තීරණයක්. ඒ තීරණය පක්ෂ නායකයන් වුණත් වගකීමක් ඇතුව ගන්න අවශ්‍යයි. එතනතදියි පොදු අපේක්‍ෂකයෙකුගෙ උවමනාව වැඩියෙන්ම දැනෙන්නෙ.
මේ හි`ගනකම වෙනස් කරන්න  ඕන.

-චින්තන ධර්මදාස

Saturday, November 1, 2014

දේවදූතයො යන්න යනවා, පව්කාරයො ඉතුරු වෙනවා.



‘කන්නලාගෙ තාත්තා නැති වෙලා’
මට යායුතු තවත් මරණයක් එකතු වුණා. මේ නොවැම්බර් මාසෙ මළවුන්ගෙ මාසෙ හින්දමද කොහෙද ගොඩක් අය සමුගන්නවා. කොහොම වුණත් ඒ මරණය ගැන මට ආපු පළවෙනි දැන්වීම.

‘දන්නෙ නැද්ද? කේ. ඞී කියන්නෙ පරණ ෆිල්ම් පොරක්’
‘මාර සිංදු තොගයක් ලියලා තියෙන්නෙ...’
‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු.. ඒකත් කේ. ඞීගේ..’

දෙවෙනි තුන්වෙනි විස්තර දැනගනිද්දි මං මගේ නොදැනීම ගැන ලැජ්ජ වෙන්න පටන් ගත්තා.
‘කොච්චර වැඩ කරපු මිනිස්සු ඉන්නවද එහෙම කවුරුවත් නොදැන මැරිලා යන...’ මාධවයා කිව්වා.

කේ. ඞී නිකලස් කියන්නෙ පුදුම පරාසයක එහා මෙහා යන්න පුළුවන් නිර්මාණශීලීත්වයක් තිබ්බ කෙනෙක්. ඒක මං දැනගත්තෙ කලාභවනෙ දාලා තිබ්බ සිංදු අහද්දි. බයිලා වල ඉඳන් සම්භාව්‍ය, කලාත්මක, සාහිත්යයික  ඕනම විදිහක සිංදු කේ. ඞී ලියලා තිබුණ.

‘දේව මන්දීරේ... පුදසුන අබියස වැතිරී බැතියෙන්..
ආයාචනා කරම්... දැවෙන සිතේ..
සංකා සෝ දුක් නිවන ලෙසේ...’

ඒ කාලෙ හැම බූට් එකකදිම ඇෙ`ග් හිරිගඩු පිපෙන්න වැදිච්ච සිංදුවකුත් ඒ අතරෙ තිබුණ. පාර්ලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එක පවා ලියපු කේ. ඞී නිකලස් ගැන මං මොකුත්ම දැනං ඉඳලා නෑ. (ඒක ලංකාවෙ හැදිච්ච මං ආසම කොමඩියක්)

කේ. ඞී නිකලස්ලා චිත‍්‍රපටි කළේ සම්මාන ගන්න නෙමෙයි. දළුගම ස්ටුඩියෝ එකේ නිතර රස්තියාදු ගහපු චිත‍්‍රපටි පිස්සන්ගෙන් කෙනෙක් කේ. ඞී. ඒ ආසාව චිත‍්‍රපටි ගැනම වූ ආසාවක් මිසක් එතන සම්භාව්‍ය පීචං භේදයක් තිබුනෙ නෑ. රිදී තිරය උඩ  ඕන දේකට උන් ලව්. ඒ චිත‍්‍රපටි පිස්සුවට ලිව්වා, ඇසිස්ට් කළා, සෙට් එකක  ඕන දෙයක් කළා මිස ටයිට්ල් ගැන පවා කේ. ඞීලා උනන්දු වුණේ නෑ. සිනමාව ගැන තියෙන ඒ ආදරේ මාර පිවිතුරු එකක්.

වෙන්න  ඕන විදිහටම කේ. ඞීලා වෙන වෙන අය වෙනුවෙන් පාවිච්චි වෙන්න ඇති. ඒ පාවිච්චි වීම ගැන හිතන්න හෝ ඒ ගැන කළකිරෙනවා වෙනුවට දිගටම ඒ අය දිගටම තමන්ගෙ වැඬේ කරගෙන ගියා. දෝංකාරයක් පවා නොඇසෙන ප‍්‍රපාතයකට මැරෙන කල් සිංදු කියන්න කේ. ඞී නිකලස්ලාට හයිය තිබුණ. (මෙතන කේ. ඞී නිකලස්ලා කියලා ලියන්නෙම තවත් ඒ වගේ පරපුරක් ඉන්න හින්ද)
ඒක ආදරයක්. විචාරයක්, ප‍්‍රතිචාරයක් අනවශ්‍ය, තමන්ගෙ කලාව තමන්ගෙ ප‍්‍රකාශනය වෙච්ච මිනිස්සුන්ට විතරක් කරන්න පුළුවන් විදිහෙ ආදරයක්.

මට අද සිනමාව ගැන හිතුණ. මාත් ඇතුළු තවත් සිනමාකරුවො ගොඩක් ගැන හිතුන. කේ. ඞී නිකලස්ලට සිනමාව හෝ තමන් කරන කවර හෝ කලාවක් ගැන තිබුණ පැෂන් එක තවදුරටත් අපි ළ`ග තියෙනවද?
මං හිතන්නෙ සිනමාව මැරෙන්න අරගෙන. සිනමා පිස්සන්ගේ විචිත‍්‍රත්වය නැතුව සිනමාවක් පවතින්න බෑ. ඒ ආදරය අහිමි සිනමාවක් කියන්නෙ මැරිච්ච පිංතූර පෝලිමක් විතරයි.

මේ අතරෙ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ්ස් අතිඋත්සවාකාරෙන් පැවැත්වුණා. ඒ සංදර්ශනේට දීපු මාධ්‍ය ප‍්‍රචාරය හින්දම මට ඒකට යන්න ලැජ්ජ හිතුණ. හිරු ඒ සිනමා සම්මාන උළෙල අරගෙන තිබ්බෙ මෙගා බ්ලාස්ට් තැනින්මයි. අර වචන කණපිට ගහන බයිලා එක විතරයි අඩු.

මට දැනිච්ච විදිහට ඒ සම්මාන උළෙල තරමට අපේ සිනමාව ලොකු නෑ. ඒක හින්දම හිරු සම්මාන උළෙල සිනමාවෙන් පරාරෝපිත වෙන කොහෙද අවකාශෙක තමයි තිබුණෙ. ඉන්දියාවෙ තරු විසිතුරු සහ විශාල පරිමාණයේ විනෝද වරුසාවක් ඉස්සරහ අපේ නළු නිළියො පුංචි වෙලා ගියා. අපේ සිනමාව ඒකට අදාල නොවෙන පිට්ටනියක කිච වුණාදෝ කියල හිතුන.

උදා විදිහට අනිල් කපූර්, බිපාෂා බාසු, ඔබ්රෝයි එන එක සම්මාන උළෙලක විශේෂිතම කාරණය වීම පොඩි අවුලක්. වෙන රටවල ආර්ටිස්ට්ලා එන එක හොඳ දෙයක් තමයි. ඒත් ලොකු ගණං ගෙවලා මේ වගේ අය ගෙන්නද්දි අපේ සිනමාව (හෝ ඒ වගේ එක) හෑල්ලූවට ලක් වෙනවා. අපේ නිර්මාණ ගැන කිසි හැ`ගීමක් නැතුව අනිල් කපූර්ලා ප්‍රොෆෙෂනල් බොරු කියද්දි ඒක දැනෙන්න ගන්නවා.

මේ හැම දෙයක් එක්කම මට හිතුනෙ හිරු සිනමා සම්මාන උළෙල සිනමාවෙන් බැහැර වෙන තැනකට මොකක් හරි කියන්න හදනවා කියල. සිනමාව තුල ස්ථානගත නොකර ඒ සම්මාන උළෙල ස්ථානගත කරන්නෙම පොදු ජනප‍්‍රියවාදී තැනක. එතනට හරියන්න අපේ තරු නෑ කියල ගන්න තීරණයක් නිසා හිරු කට්ටිය ගෙවලා වෙන රටවලින් තරු ගෙන්නනවා. ඊළ`ගට අපේ රටේ සිනමාව ඒ තරමට මදි හින්ද වෙන රටවලින් ගෙවලා සිනමාවත් ගෙන්නාවිද?

මේ කිසි දෙයක් නරක දේවල් නෙමෙයි. සිනමාව ඒ තරම් නොවුණට සම්මාන උළෙලක් මේ තරම් වෙන්න බැරිද කියලත් හිතන්න පුළුවන්. සමහර විට මේ ජනප‍්‍රියවාදී රැුඩිකල් ප‍්‍රවේශයෙන් සිනමා කර්මාන්තයේ පිබිදීමක් ඇතිවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම සිනමා උළෙලේ තත්වය අන්තර්ජාතික මට්ටමෙන් පවත්වාගෙන යන්න ඒ අය වුණු මහන්සිය අගය කරන්නම  ඕන.

ඒ වගේම සම්මාන සහ ඇගයීම් වල මැදිහත්බව සහ පිළිගතහැකි බව ගොඩක් වැදගත්. ඒත් මට හිතෙන්නෙම මේක සිනමාවෙන් එලියෙ සිද්ද වෙච්ච දෙයක් කියල. ඒ වගෙම සිනමාව තමන්ට අදාල නොවන වපසරියක පොසිෂන් කිරීම සිනමාවට හානියක් කියල. (උළෙල නොනැරඹූ මගේ අදහස් බෙහෙවින් දෝෂ සහිත විය හැකි බව කරුණාවෙන් සලකන්න)

කාලෙකට පස්සෙ මාරයා කතා කළා. හරි විදිහට කිව්වොත් මං ෆෝන් එක ආන්සර් කළා. සුජිත් අක්කරවත්තගේ පොත් කීපයක් එලියට එන එකෙන් ඌ පිනා ගිහින්. සුජිත් එක්ක සංවාදය හරහා මතු කරගත්ත කාරණා ගොන්නක් එක දිගට කියාගෙන ගියා.

‘මචං අපේ හාමුදුරුවරු වැඩිය එලියට අදින්නෙ නැති සූත‍්‍ර තුනක් තියෙනවා. එකක් අංගුලිමාල සූත‍්‍රය. මිනිස්සු නවසිය අනූනවයක් මරන අංගුලිමාල කියන පෝරිසාදයා එක මොහොතකින් රහත් වෙනවා. අවබෝධයට පත් වෙනවා. කිසිම වත්පිළිවෙත් පිරීමක්වත්, බණ භාවනා කිරීමක් වත් නැතුව. දරුණු අපරාධකාරයෙක්. ඒත් එක මොහොතකින් නිර්වාණය අවබෝධ කරගන්නවා.

මචං මේක අපේ හාමුදුරුවරුන්ට කියන්න පුළුවන් කතාවක් නෙමෙයි. එතකොට පින්පව් කතාව අවුල් වෙනවා. ඒත් මචං මේ
ක බුදුන්ගෙ මාර ලස්සන තැනක්.

දෙවෙනි එක සර්කානි සූත‍්‍රය. සර්කානි ශාක්‍යසිංහ කියන්නෙ සුද්දෝධන ගෙ මල්ලිගේ පුතා. සර්කානි බේබද්දා. ශාක්‍ය පරම්පරාවටම නිගා දෙමින් පාරෙ තැන තැන බීලා වැටෙනවා. සුද්දෝධනගෙන් පස්සෙ එක්තරා වෙලාවක රාජ්‍ය බාරගන්න කියල සර්කානිට කියනවා. එයා ප‍්‍රතික්‍ෂේප කරනවා. සර්කානි කසාද බඳින්නෙත් නෑ. බිබී, සිංදු කිය කිය, ඇවිද ඇවිද, තැන තැන වැටි වැටි සර්කානි සතුටෙන් ජීවත් වෙනවා.

මේ විදිහට බිබී ඇවිදින මේ ඇල්කොහොලික් සර්කානිව ශාක්‍ය වංසෙන් නෙරපනවා. අන්තිමට සර්කානි බීලා ඇවිදිද්දි පාරෙ වැටිලා මැරෙනවා. මිනිය වළලන්නවත් ශාක්‍යයෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.
බුදුන් ආනන්දත් එක්ක සර්කානි හොයාගෙන යනවා. ගිහින් මිනිය වළදානවා. බුදුකෙනෙක් අතින් වැළලෙන පළවෙනි මිනිහා සර්කානි.

ආපහු එද්දි බුදුන්ට ශාක්‍යයන්ගෙන් බරපතල චෝදනා. ඒ වගේ අපහාසයක් කළා කියල වර්ගයට.
‘සර්කානි බුද්ධ වංශයෙ කෙනෙක්. එයා සෝවාන් ඵලයට ඇවිත් හිටපු කෙනෙක්..’
ශාක්‍යයන්ගෙ හකු මාට්ටු වෙන්න බුදුන් උත්තර දෙනවා. මචං, ඇල්කොහොලික් සර්කානි අවබෝධයට පත් වුණා කියල කොහොමද අපේ් හාමුදුරුවරු කටක් ඇරලා කියන්නෙ? (දැන් මේක මරු ඥානසාර වගේ කෙනෙකුට..)

තුන්වෙනි සූත‍්‍රයෙන් මචං ඔය ස්ත‍්‍රීවාදය අනං මනං කුඩු වෙලා යනවා.  ඕසාක මන්ත‍්‍ර සූත‍්‍රය.
ඔන්න සිටු කෙනෙක් තමන්ගෙ පුතාව යවනවා ශිල්ප ඉගෙන ගෙන එන්න කියල. කල වයස හරි නං, පුතා දක්ෂයෙක් නං, ශිල්ප කෙලවර ඇදුරගෙ දුවෙක් බැඳගන්නත් පුළුවන්. නැත්තං අස්සයෙක් අරන් එන්න පුළුවන්.

ඉතින් මේ ඇදුරට දුවලා නෑ, පුතා එනවා අස්සයෙක් අරගෙන.
‘මං ශිල්ප කොරලා අහවරයි අප්පොච්චි...’ කොල්ලා කියනවා.
දැන් මුගේ කලවයසත් හරි. කසාදයක් කරලා දෙන්න. අප්පොච්චා අහනවා,
‘උඹ  ඕසාක මන්තරෙත් ඉගෙන ගත්තද?’ කියල.
‘එහෙම එකක් නං ඉගැන්නුවෙ නෑ..’ කොල්ලා කියනවා.

ආපහු මේකව ඇදුරා ළ`ගට යවනවා කසාදයක් කරගන්න කලින්  ඕසාක මන්ත‍්‍රය දැනගෙන වරෙන් කියල. ‘ආ... ඒකත් එහෙමද කියල...’ ඇදුරා වැඬේ බාර ගන්නවා.

‘එතකං ඔය මගේ වයසක අම්මට තෙල් සාත්තු කරගෙන ඉඳපං...’ කියල ගුරා වැඩකුත් බාර දෙනවා. ගුරාගෙ අම්මා ඇස් දෙකත් හරියට නොපෙනෙන මැහැල්ලක්. ඇඳේ ඉන්නෙ.

දවස ගානෙ අර කොල්ලා ඉතින් මේ ආච්චිගේ ඇ`ගපතේ හැමතැනම තෙල් ගාලා සාත්තු කරනවා. ටික ටික ආච්චි වෙනස් වෙනවා. වෙන වෙන හැ`ගීම් පහලවෙනවා.

අන්තිමට කොල්ලට කියනවා තමන්ට ඒකා එක්ක රමණය කරන්න  ඕන කියල.
කොල්ලා ගිහින් මේක ගුරාට කියනවා. ගුරා කියනවා, ‘තමන් ඉන්න කල් ඒක කරන්න හිත හදාගන්න බැරිය කියපං’ කියල.

‘ගුරුතුමා ඉන්න කං මගේ හිතට හරි නෑ...’ කියල ඒකා මැහැල්ලට කියනවා.
එතකොට මැහැල්ල සැලසුම් කරනවා ගුරා, ඒ කියන්නෙ තමන්ගෙ පුතාව මරන්න. කණවැල අල්ලගෙන ඇවිත් පොරොවෙන් නිදාගෙන ඉන්න පුතාට කොටනවා.

ඒත් කලින් සැලසුම් කර ගත්ත විදිහට එතන තියෙන්නෙ කෙසෙල් කඳක් හින්ද අවුලක් වෙන්නෙ නෑ.
‘මං ඔසාක මන්ත‍්‍රය ඉගෙන ගත්තෙ නෑ අප්පොච්චි මං ඒකෙ ජීවත් වුණා...’ කියල කොල්ලා ඇවිත් තාත්තාට කියනවා.

‘එහෙනං උඹ ගෑනියෙක් බඳින්න සුදුසුයි’ කියල තාත්තා කොල්ලව නතර කර ගන්නවා..
මාරයා තවත් කියාගෙන කියාගෙන යනවා.

‘මචං සුජිත් අක්කරවත්ත මේ ලියන ටෝන් එක මාරයි. ඒක අර බටහිර දාර්ශනික එකත් නෙමෙයි, මාක්ස්වාදී එකත් නෙමෙයි.. ඒක හින්ද ඌට මාර තැන් ටිකක් ඉතිහාසෙ අහුවෙනවා...

ඉතිහාසෙ කියන්නෙ අතීතෙට නෙමෙයිනෙ බං.. අතීත දත්ත පාවිච්චි කරලා අනාගතේදි කරන කියවීමකට. ඉතිහාසෙ කියන්නෙ අනාගත විෂයක්....’

ගොඩක් වෙලා ඉඳන් මං කබඞ් එක උඩ තියෙන බුදු පිළිමෙ දිහා බලාගෙන. මගේ ඇස් වලට කඳුළු ආවා. ඒ බුදුන් ගැන හිතිලා නෙමෙයි. මාරයා ගැන හිතිලා.

අදහස් හිතන්න, කතා කරන්න, බෙදා ගන්න මාරයාට තිබුනා නොසිඳෙන පැෂන් එකක්. ප‍්‍රසිද්ධියට, දේශපාලනයට, හෝ වෙනයම් අරමුණකට නොවූ උවමනාවක් තිබුනා අදහස් ගනුදෙනුවකට..
‘මාව හම්බු වෙන්න වරෙං..’ හැමදාම වගේ මාරයා කියනවා.

කේ. ඞී නිකලස් වගේම දවසක මාරයාත් සමුගනීවි. කවුරුවත් නොදන්නා තරමට පුංචි, ඒත් ගොඩක් ලොකු විශ්වයන් වල ජීවත් වුණු මිනිස්සු ගොඬේ එකෙක් විදිහට.

අන්තිමට තරු විතරක් ඉතුරු වෙයි.

-චින්තන ධර්මදාස