අපි මැච් එක දින්නා. සංගා වීරයෙක් වුණා. මගේ කතාව පටන් ගන්නෙ එතනින්.
මිනිස්සු පාරට බැස්සා නෙමෙයි පැන්නා. පාරවල් දිගේ සතුට දෝරෙ ගලන්න ගත්තා. හැම කෙනෙක්ගෙම මූණු පිපිලා. මගතොට නැවතිලා අඳුරන්නෙ නැති උනුත් මැච් එක ගැන වචනයක් හරි බෙදා හදා ගත්තා.
සංගා.... කියලා වැඩක් නෑනේ....
ක‍්‍රිකට් ගැන කිසි උනන්දුවක් නැති මාත් මේ ත‍්‍රිල දිහා බලන් ඉඳලා ත‍්‍රිල් වුණා. ඒ තරං ලස්සනයි මිනිස්සුන්ගෙ උතුරා යන මොකද්දෝ එක.
ඒක සතුටද? මට ෂුවර් නෑ.
ඒ මොහොතෙ ලංකාවෙ බංකොලොත් පවුල් ජීවිත ඇතුලෙ හිරවෙලා දුක් විඳින සුවහසක් පිරිමින්ගෙ නිදහස වුනේ සංගා. පිරිමින්ගෙන් ගුටිකකා ජීවත් වෙන ලංකාවෙ කරුමක්කාර ගෑණු සුවහසකගේ ආදරය වුණේ සංගා. සුරතාන්තයක් අහිමිව දුක් විඳින ඒත් කියාගන්න බැරි කාන්තා පරපුරක සුරතාන්තය වුණේ සංගා. බෙලහීන පිරිමි ගොඩකගේ උත්කර්ෂය වුනේ සංගා.
අම්මලගෙ හොඳට හැදිච්ච පිරිමියා වුණේ සංගා. දුවලට බඳින්න ඕන මිනිහා වුණේ සංගා. කොල්ලන්ට ඕන වුනේ වෙන්න සංගා. කන්න නැතුව දුක් විඳින බහුතර ජනතාවකගේ කෑම පත වුනේ සංගා. අරමුණක් නැතුව නන්නත්තාර සුවහසක් ලාංකිකයන්ගේ බලාපොරොත්තුව වුණේ සංගා.. කොටින්ම අසරණ දුබල වෙලා හිටපු ආණ්ඩුවටත් අලූත් පණක් වුනේ සංගා.
මට මතක් වෙනවා සුගතපාලද සිල්වා කරපු පීටර් වයිස්ගේ මරාසාද් නාට්ටියේ කොටසක්. සාද් කියනවා මරාගේ විප්ලවය ගැන.
ඔන්න ඔහොමයි මරා උඹේ විප්ලවය.
උන්ට දත් කැක්කුම
උගුල්ලා දමන්න ඕන වෙලා උන්ගේ දත්
රොස් වෙලා ඔවුන්ගේ හොද්ද
හොඳ හොදි ඉල්ලලා මොර දෙනවා උන්
ගෑනියෙකුට රුස්සන්නෙ නෑ ඇගේ අ`ගටුමිටි සැමියාව
ඇය හොයනවා නව රියන් සැමියෙකු
මිනිහෙකුට අප්පිරියයි සිය කැහැටු බිරිඳ
ඔහු පතනවා පුෂ්ටිමත් බිරිඳක්
මිනිහෙකුගේ සපත්තුව හිරයි
ඒත් අසල්වැසියාගේ සපත්තුව හිර නෑ
කවියෙකුගේ කවිකම හිඳිලා
සංකල්පනා හොයමින් දනිපනි ගානවා ඔහු
මාලූ බාන්නා හෝරා ගානක් පිත්ත ලා ගෙන සිටී
ඒත් මාළුවො ගිලින්නෙ නෑ ඇම
ඉතින් හැමකෙනෙක්ම එකතු වෙනවා විප්ලවේට
සපයාවි යැයි සිතා විප්ලවය සියල්ලක්ම....
ක‍්‍රිකට් සහ අපේ ජනතාව අතර සම්බන්දෙත් මේකට ගොඩක් ළ`ගයි. අපි ගොඩක් පව්.
සංගා කියන්නෙ ලෝකයට කියන්න ක‍්‍රිකට් මිස වෙන කිසිම දෙයක් නැති දුක්ඛිත ජනතාවකගේ වීරයෙක්. කිසි අනාගතයක් නැති රටක ජනතා වීරයෙක්. මෙතන තියෙන්නෙ සතුට සහ විනෝදය විතරක් නෙමෙයි.
මේ වීරයා මතින් රටේ හැම ආතතියක්ම පිටාර යන්න පටන් ගත්තා. තේ ඇරුණම අපිට ලෝකෙට ගෙනියන්න තියෙන බ‍්‍රෑන්ඞ් එක ක‍්‍රිකට් කියලා මුදල් නියෝජ්‍ය ඇමති පවා ඉක්මණට කිව්වා. ජාති ආගම් භේදයක් නැතුව හැමෝම එකවගේ සතුටු වුණා. සංගා මහින්දට ෆොන්සේකාට වඩා ජාතික වීරයෙක් වුණා.
කලින් හැමෝම එක ජාතියකට හෝ වර්ගයකට විතරක් සීමා වුණා. වෙන රටවලට අදාලම නැති වුණා. ක‍්‍රිකට් කිව්වම ලෝකෙ වැඩක් ඇති රටවල් අඩුවෙන්ම කරන සෙල්ලමක් වුණත් මොකක් වත් නැති අපිට ඒකවත් අන්තර්ජාතික පිළිගැනීමක් කියල හිතහදා ගන්න පුළුවන්.
මේ පිට්ටනිය ජාතීන්ට බෙදුණු පිට්ටනියක් නෙමෙයි. ජාතීන් එකතු කරපු පිට්ටනියක්. ඒත් අනිත් අතට දැන් ඉතින් ලෝකෙටම ඇරියා කියලා හිතන අපේ පුංචි අංගජාතෙත් එලියට පැන්නා.
සංගා වීරයෙක් වෙද්දි යුවරාජ් ඉන්දියාවෙ ජනතාවට දුෂ්ටයෙක් වුණා. එයාගෙ ගෙවල් ගිනි තියලා වීරත්වයෙන් පිටුවහල් කළා. යුවරාජ්ට බැරි වුණා ඉන්දියාවෙ ජනතාවට බලාපොරොත්තුවක් ගේන්න. එක වීරයෙක් හැදෙන්න තව වීරයෙක් නැති වෙන්නම ඕනි.
මේ මහා ත‍්‍රිල ලංකාවෙ දේශපාලනයට වඩා විශාල වෙනවා. අසීමිත අදේශපාලනික විනෝදයකින් රට එක පාරට වාන් දානවා. හැම කෙනෙක්ම තමන්ට පුද්ගලික විදිහට සතුටු වෙනවා. මිනී මැරුම්, මානව අයිතීන්, ජිනීවා, සිංහල බෞද්දකම හැම දේශපාලන මාතෘකාවක්ම එක මොහොතකට නිහ`ඩ වෙනවා. එක නිමේෂයකදි හදිස්සියේ බිහිවෙන වීරයෙක් හින්ද අනිත් හැම වීරයෙක්ම අවලංගු වෙනවා.
දැන් ආණ්ඩුව උඩ පැන පැන ද`ගළන්නේ මේ මොහොත නැවත දේශපාලනීකරණය කරන්න. ඒක එක මොහොතක් විතරයි. ඒ වීරත්වය නැවත පාලනයකට නතු විය යුතුයි. දැන් දොරටු දෙකක් විවෘතයි. එකක් සුපුරුදු වීරයා මරා දැමීම. අනෙක වීරයාට ඇඳ ගැනීම. ඒ කියන්නෙ භූමිකාව පිට්ටනියෙන් එලියට අරගෙන ඒම.
මේ සංගාගේ වීරත්වයේ කූටප‍්‍රාප්තිය. මෙතනින් පස්සෙ එයාට පුළුවන් රෙස්ටෝරන්ට් එකක් හරි වෙන බිස්නස් එකක් හරි කරගෙන ගානක් හොයාගෙන ජීවත් වෙන්න. ඕන නං තව කිරිපිටි, චොක්ලට්, සුපර් මාර්කට් ඇඞ් කීපයක් විකුණලා දෙන්න. වීරයාව පිට්ටනියෙ අමතක කරලා වෙළඳාම පටන් ගන්න. ඒක තමයි සුපුරුදු විදිහ. වීරයාට පස්සෙ ප‍්‍රති වීරයාගේ අවස්තාව. ඕන නං සනත් ජයසුරිය වගේ දේශපාලනයට එන්න, නැටුම් නටන්න, තව ගොඩක් අවස්තා තියෙනවා.
ඒ අතරෙ පුංචි අවස්තාවක් තියෙනවා වීරයා තව ටික කාලෙකට හරි ජීවත් කරන්න. ඒ හැමෝම වෙනුවෙන්, ඒ බලාපොරොත්තුව වෙනුවෙන් යම් පමණක වත් මැදිහත්වීමක් කරන්න. පිළිකා වලට සල්ලි එකතු කිරීම වගේ සූකිරි වැඩ වලට එළියෙන් ජාතික ප‍්‍රතිරූපයක් විදිහට යම් සීරියස් සමාජ දේශපානික වගකීමක් ගන්න.
උදාහරණයක් විදිහට ඉම්රාන් කාන්. 92 වර්ල්ඞ් කප් එක ගන්න වීරයා වෙන්න එයා. ක‍්‍රිකට් වලින් පස්සෙ ඒ වීරත්වය එයා සමාජය වෙනුවෙන් ආයෝජනය කරනවා. සාධාරණය සඳහා පෙරමුණ නමින් පක්ෂයක් ගොඩනගලා එයා ජාතික සභාවට එනවා. පාකිස්තානු ඇන්ටි ඩ්‍රෝන් මෙහෙයුම වෙනුවෙන් ලෝකෙට හ`ඩක් වෙන්නෙ ඉම්රාන් ඛාන්. මේ කියන්නෙ අර්ජුන රණතුංග වගේ අවසනාවන්ත ඉරණමකට මුහුණදෙන්න හෝ සනත් ජයසූරිය වගේ විහිළුවක් වෙන්න නෙමෙයි. ඇටකටු දිරන එකට වඩා වැදගත් සමාජ වගකීමක් ගන්න කියන එක විතරයි.
එක විදිහකට ඉතිහාසෙ කරේ තියාගෙන ඉස්සරහට යන්න හදන එකට වඩා ක‍්‍රිකට් වගේ දෙයක් සංස්කෘතික උරුමයක් විදිහට බාර ගන්න එක ටිකක් හරි හොඳ වෙයි. ඒක අපේ බෙදුණු ඉතිහාසෙට පස්සෙ ගොඩනගපු නූතන ඉතිහාසෙ කොටසක් හින්ද.
සංගාගේ හාද්ද
මැච් එක දින්න ගමන් සංගාගේ බිරිඳ පිට්ටනියට දුවගෙන එනවා. එයා සංගා වැළඳගෙන දෙන අතිශය රොමාන්තික දෙතොල් හාද්දක් ෆේස්බුක් පිටු වැහෙන්න පැතිරුණා. ඒ දැවැන්ත ජාතික වීරත්වයේ මොහොතක මහා ජන උන්මාදයේ ගහගෙන නොගිහින් බිරිඳගේ දෙතොල් සිපගන්න තරම් උණුසුම් මිනිහෙක් වීම ගැන ක‍්‍රිකට් නොබලන මටත් හැ`ගීමක් ඇති වුණා මොකකටවත් වඩා අපේ රටේ ජාතික වීරයෙක් මේ වගේ ප‍්‍රසිද්ද මොහොතක දෙතොලක් සිපගන්නා පළවෙනි වතාව මේක. අපේ රට එහෙම රොමාන්තික දේවල් නිර්මාණය වෙන රටක් නෙමෙයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ජාතික වීරයා හාද්දට ඇති තහනමට එදා පිට්ටනියෙදි අභියෝග කරනවා. දුටුගැමුණුට, මහින්දට හෝ ෆොන්සේකාට බැරි දේ සංගාට තාම කරන්න පුළුවන් වෙනවා.
ඒ තමයි ප‍්‍රසිද්දියේ ආදරය කිරීම.
මට මැච් එක දින්න එක කොහෙත්ම අදාල වුනේ නැතත් මේ හාද්ද ගොඩක් දැණුන. දුප්පත් සදාචාරයක ගිලිලා දුක් විඳින සුවහසක් ලාංකේය ජනතාව වෙනුවෙන් විවෘත කළ ඒ නිමේෂය. ඒක වීරත්වය නැවත ආදරයට පෙරලීමක්. අපි මෙච්චර කල් දැක්කෙ වීරත්වය නැවත නැවත වෛරයට සහ වංචාවට පෙරලීමක් විතරයි.
ඒ හාද්ද ඇත්තටම ලස්සනයි. ඒක වීරයෙකුටම ගැලපෙන හාද්දක්. ඒක වීරයාගේ සමුගැනීමේ හාද්ද නොකර වීරත්වය ආදරයට කැඳවන හාද්දක් වෙනවා නම් කියන බොළඳ බලාපොරොත්තුව මටත් ඉතිරි වුණා.
-චින්තන ධර්මදාස