Saturday, April 28, 2012

පූසා සහ මාරේ

මේ මොහොතේ විතරක් ජීවත් වීම..... මං අපේ පූසා දිහා බලාගෙන හිතුවා.  ඕන කතාවක ඌට වැදගත් වෙන්නෙ උගේ නම කියන කොටස විතරයි. ඒක ඇහිච්ච ගමන් ඌ හැරිලා බලනවා. හරියටම ඒක ඌට ඇහෙන්නෙ ‘කෑම’ කියන සද්දෙට. ඒත් කෑමක් නෙමෙයි කියල තේරුං ගත්තට පස්සෙත් ඒ වචනෙ ඇහෙන හැම පාරකම ඌ වලිගෙ ටිකක් හරි වනනවා.  ඕන කතාවක ඉතුරු ටික ඌට අනුව ‘මිනිස්සුන්ගෙ මනස්ගාත’ විතරයි.

ඌ නිදාගන්නවා. ඒක තමයි ප‍්‍රධාන දේ. පූසෙක්ගෙ නින්ද තරම් බලන් ඉන්න ලස්සන දෙයක් තවත් නෑ. ඒක ඒ තරං පට්ට සනීප නින්දක්. ඒ ඇරුණම කනවා. විනෝදෙට දඩයම් කරනවා. රෑට අවලමේ යනවා. උදේට ආයිමත් පිවිතුරු කන්‍යාවක් වගේ වෙනවා. කිසි කෙනෙකුට, කිසි රීතියකට පූසෙක් අවනත වෙන්නෙ නෑ. ආදරේ කියන්නෙ ඌට බයිට් එකක් විතරයි. කිසිම විදිහකින් කෑම ගැන ගණුදෙනුවක් ඇරුණම ඇති කරන එකාට මොනම පක්ෂපාත බවක් වත් නෑ. ඒත් ඌට ආදරේ කරන එකෙන් ගැලවෙන්න අපිට බෑ. උගේ හැම වනචර ගතියක්ම හරිම ලස්සනයි. ඒක ඌටම ආවේණිකයි. කිසි තැනක කොපි කිරිල්ලක් නෑ.බල්ලො ඒ අතින් හරි මෝඩයි. දුකම විතරයි. මිනි්ස්සුන්ගෙ දුක්ඛිතකමට ඒක හරි ළඟයි.

අතීතයක් හෝ අනාගතයක් විසින් තීරණය නොකළ අලූත්ම අලූත් වර්තමාන මොහොතක් එක්ක ජීවත් වීමේ මට අහිමි ඌට හිමි ආනන්දය මං අපේ පූසා දිහා බලාගෙන වින්ඳා.

ඊයේ රෑ ගෙදර එද්දි ‘මාරයා’ කතා කළා. මාරයා කියන්නෙ ජගත් මාරසිංහ. මාරයා හුඟක් බොනවා. දරා ගන්න බැරි මානව සංවේදිතාවකින් ඌ දුක් විඳිනවා. ඒකට තව බොනවා. බීලා යාලූවන්ට කතා කරනවා. එකදිගට පැය ගණන් කතා කරන හින්ද යාලූවො කට් කරනවා. ඒත් මාරෙ ආයිමත් කතා කරනවා. ඒ කවදාවත් කතා කරන්නෙ පුද්ගලික විස්තර ගැන නෙමෙයි.

මාරෙ දැන් ඉන්නෙ තනියම. ‘අක්කා’ මාරෙ දාලා යන්න ගියා. අවුරුදු පනහෙදිත් ඒකට මාරෙ දාසයේ කොල්ලෙක් වගේ ඇඬුවා. මං හුඟක් කැමති ඌ කතා කරලා අක්කට කුණුහරුපෙන් බනිද්දි. ‘තෝව මං මරනවා’ මාරෙ අඬ අඬා කියනවා. ඒත් ඒක අක්කට ඇහෙන්නෙ තර්ජනයක් විදිහට විතරයි. ඒක ඇතුලෙ ආදරේ එයාට තේරෙන්නෙ නෑ.

මාරෙ එක්ක ජීවත් වෙන්න අමාරුයි. ඒකෙ දෙකක් නෑ. යාලූවො විදිහට අපිට වුණත් ඌව නිතර මුණගැහෙන්න අමාරුයි. ඌ හරිම වල් සතෙක්. මටම හිතාගන්න බැරි තරං ලංකාව ගැන දැනුමක් සිංහලෙන් කියවලා දරාගෙන ඌ ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියන වචනෙ මෙතනදි හැට හයයි අනූ නමය ඇතුළට දාන්න  ඕනි. මොකද රටේ සිද්ද වෙන හැම දෙයක් ගැනම ඌට උගේ විචාරයක් තියෙනවා. ඒ කියන්නෙ මාරෙ වටපිටාව ගැන පූර්ණ අවධානයක් ඇතුව ගත වෙනවා. එහෙම නැතුව නිකං උපන්නාට මේ ලොව වැනෙනවා විනා වර්ගයේ ජීවත් වෙන උන් දැන් ඉන්නෙ තොග පිටින්.

මහින්ද ආණ්ඩුවට එද්දි මාරෙ මහින්දට කැමති වුණා. ලේක් හවුස් එකටත් ගියා. ඒත් මහින්ද ගැන ලිව්වෙ නෑ. ඌ උගේ සිංහල ගැන තියෙන වෙනස් අදහස් ඒ කාලෙදි ලිහලා අතෑරියා. මාරෙ සිංහල බෞද්ධයෙක්. ඒත් ඌ චම්පික රණවක හරි අමරසේකර හරි වගේ බූරු බෞද්ධයෙක් නෙමෙයි. උගේ කියවීම අන්තර්ජාතිකමය කියවීමක් එක්ක වලංගුයි. ඒක අලූත්. අරගලකාරීයි. ඒත් මාරෙට වැරදිච්ච තැන අපි කොහොම ඒක කිව්වත් මිනිස්සුන්ට ඒක ඇහෙන්නෙ අර ලොකු සද්දෙ ඇතුලටම එකතු වෙලා කියන එක. ඒක තේරුණට පස්සෙ මාරෙ ලේක් හවුස් එකෙන් එලියට ආවා.

මාරෙ සයිමන් ගැන ලිව්වා. ‘මේ මොක්කුද බං සයිමන් ගැන ලියන්නෙ? උන් මොනාද මේ සයිමන් ගැන ලියන්නෙ?’ මාරෙ කේකේ සයිමන් ගැන ලිව්වම බැන්නා.
‘මචං, දවසක් මං සයිමන් එක්ක හොඳට බීලා එනවා. අඟුළානෙදි සයිමන් නැවතුණා ලොතරැුයි කඬේ ළඟ. එතන ඉඳන් අර හූරන ලොතරැුයි අරං හූරනවා.
‘මාරෙ හූරන්න’ එයා මටත් අරං දෙනවා.
‘මොනාද සර්, මෙතන හු..... නැතුව ගෙදර යංකො’ කිය කිය මාත් හූරනවා.
එයා සල්ලි ඉවර වෙනකල්ම හූරගෙන යනවා. ඇදෙන සල්ලි වලින් තව ලොතරැුයි අරං හූරනවා. මං බොද්දි දැනගත්තා එයා ළඟ තියෙන්නෙ රුපියල් දෙසීයයි. අන්තිමට මහජන සම්පත දෙකකුත් අරං එයා වැඬේ නැවැත්තුවා. සල්ලි ඉවරයි. මගේ සාක්කුවට එකක් දාලා එයා අනිත් එක දාගත්තා.

‘මාරෙ දැන් දස ලක්ෂපතියෙක්’ කියල හිනාවෙලා වැනි වැනි ආයිමත් යන්න ගත්ත.

‘මොනවා වුණත් සාක්කුවෙ බලාපොරොත්තුවක් තියෙන කොට මාරයි මාරෙ’ සයිමන් ඒ යන ගමන් කිව්වා.

මරුනෙ මචං’ මාරෙ බිව්වම සයිමන් ගැන එක දිගට කියාගෙන යනවා. ‘මචං සයිමන් කියන්නෙ ජීවත් වුණෙ තන්ත‍්‍රයානය එක්ක. මෙහෙ වෙන කවුරුවත් නෑ එහෙම ජීවිතයක් තියෙන පොරවල්. මුං පුස්සොනෙ’

මං ලියාගෙන යන කතාව දිහා ආපහු බැලූවා. හරි වින්ටේජ් ගතියක් තියෙන්නෙ. පෝර්න් වල වුණත් මං ගොඩක් කැමති වින්ටේජ් වලට.

‘සයිමන් කිව්වා මචං කවදාවත් ආර්ට් ට‍්‍රාන්ස්ලේට් කරන්න බෑ කියල. පරිවර්තනය නෙමෙයි, අනුවර්තනය කරන්නත් බෑ. සයිමන්  ඕක ලස්සනට කියනවා. නාට්‍යකාරයානෙ. ‘ටු බී  ඕර් නොට් ටු බී’ මචං හැම්ලට් නාට්ටියෙ එන ඔය අදහස කොහොමද පරිවර්තනය කරන්නෙ? ජීවිත එහෙම පරිවර්තනය කරන්න බෑ. වචන විතරක් පරිවර්තනය කරන්න පුළුවන්’

‘මරුනෙ මචං’ මාරෙ හැම කතාවක්ම ඉවර කරන්නෙ එහෙම.

මාරෙ පොත් ලිව්වා. ජ්‍යොතිශය එක්ක හොඳ අඩව්වක් ඇල්ලූවා. ‘මාරෙ කියන කේන්දර හරිද?’ සමහරු මගෙන් ඇහුවා.

‘කේන්දරවල හරි වැරදි මං දන්නෙ නෑ. ඒත් ඒක වෙන ආර්ට් එකක්. ඒක තියෙන්නෙ විඳින්න දන්න උන්ට විතරයි’ මං කියන්නෙ එහෙම.

‘කැත කතුන්ගෙ පතිවත’ දීප්ති කියන විදිහට මාරෙගෙ ‘එසේ ’(රචනා) පොත.
‘මචං, ලංකාවෙ කැත ගෑණු තමයි පතිවත ආරක්‍ෂා කරන්නෙ. ඒාක උන්ට වටිනවා වුණාට කාටවත් වැඩක් නෑනෙ’  මාරෙ මහපාරෙ ප‍්‍රඥාව ගැන කතා ගොඩක් කියනවා. ඇල්කොහොලික් ගැන හොඳම විස්තර මං කියෙව්වෙත් ‘මධුලෝලත්වයෙ ව්‍යාකරණය’ එක්ක. මධුලෝලත්වය කියන්නෙ වෙනස් ජීවිත ක‍්‍රමයක් වෙනකල් මාරෙ එයාගෙ ජීවිතේ ඇතුලෙන් තර්ක කරනවා. පරත්තෙ කැලේකට වෙලා හිටියත් ඒ තර්ක හරි බොහිමියන් තර්ක. බොරු දර්ශනවාද වෙනුවට ජීවිතේ ඇතුලෙ ගහපු කැරලි.

මාරෙට ජීවිතේ දැනෙන්නෙ සංවාදයක් ඇතුලෙ. සංවාදයක් අහිමි වීම ‘මරණය’ බාර ගන්න ඌ ලෑස්ති නෑ. ඒත් ලංකාවෙ ජීවිතේ සංවාද විසංවාද මොකක්වත් නැති මෙගා නාට්ටියක් තැනට ආවා. මාරෙ තාමත් තමන්ට අහිමි සංවාදය වෙනුවෙන් කෝල් කරනවා.

මොකද්ද මේ ‘මාර’ සංකීරණය?

දවසක් බස් එකේ යන ගමන් මාරෙගෙන් ආපු කෝල් එකක් කට් කරලා මං කල්පනා කෙරුවා. මොකද්ද මේ මගෙන් ඉල්ලන මට නොතේරෙන උදව්ව? මං ? ජොයින්ට් එකක් දාලත් කල්පනා කෙරුවා.

මාරෙ වාමාංශිකයෙක්. හැමදාම ගෙදර වෙනුවට එළිය/සමාජය තෝර ගත්ත එකෙක්. මාරෙට තියෙන්නෙ දේශපාලන ජීවිතයක්.. පවුල් වුණාට පස්සෙත් අනිත් හු`ගක් අයගෙ වගේ මාරෙගෙ ඒ සමාජ ජීවිතේ කැන්සල් වුණේ නෑ. එයා එයාගෙ ආධ්‍යාත්මික ඇම්ම ඇතුලෙ ඇත්ත ජීවිතේ මේසෙ උඩට ගෙනාවා. විසංයෝජනය කරලා බලන්න. ඇත්ත කියල හිතන හැම තියරියක්ම ඇත්තද කියල ජීවිතේ ඇතුලෙන් ටෙස්ට් කළා. ලංකාවෙ සිංහල බෞද්ධ සමාජයේ කුහකකමට එහෙම්පිටින්ම ප‍්‍රතිවිරුද්ධ පැවැත්මක් ඌට තිබුණෙ.

‘මං බීපු හින්ද ජේවීපී එකෙන් මාව ගත්තෙ නෑ. බොන හින්ද හමුදාවෙන් මාව මැරුවෙ නෑ’
මාරෙ මේ පිටස්තරකම ගැන කියනවා. ඒත් ඌ එහෙම විශ්වාස කරපු සමාජයක් එලියෙ ඇත්තට තිබුණෙ නෑ. පුද්ගලික පවුල කියන එක ඇතුලට මුලූ සමාජෙම ඇකිළුණා. මාරෙ තනියම එලියෙ ඉතුරු වුණා. සමාජ ව්‍යාපාර, කතිකා ඔක්කොම අහෝසි වෙච්ච කාන්තාරෙක බාගයක් තියාගෙන මාරෙ බලන් ඉන්න පටන් ගත්තා. හැම පුද්ගලික ජීවිතේකටම ඌ කරදරයක් වුණා. පුද්ගලික ටෙලිෆෝන් කෝල් දිගේ දේශපාලන ප‍්‍රශ්න සාකච්ඡුා කරන්න ගත්තා. ඒක රෝගයක්. අන්තිමට කෙළවර වුණේ එතන.

ඒත් මිනිහෙක් සමාජ සංවාදයක් ඉල්ලන එක ලෙඩක් වෙන්නෙ කොහොමද? මගේ පුද්ගලිකත්වය ඇතුලෙ මාරෙ ගෙ පොදු සංවාදය දරා ගන්න බැරි එක ගැන මට ලැජ්ජයි.

කොහොම වුණත් මාරෙ මට ආයිමත් කතා කළා. ඊයෙ රෑ.

‘මං ලංකෝනිස්ට කෙලින්ම කිව්වා මචං. නිකං අපිට පච කෙලින්න  ඕන නෑනෙ. මට  ඕකුන්ගෙ බොරු සිංහල බෞද්දකම ඇති වෙලා’

මාරෙ කෙලින්ම පටන් ගන්නෙ ප‍්‍රශ්නෙ ඌට අදාල කොටසින්.

‘මං ඌට කෙලින් කිව්වා, රෝමානු කතෝලික ආගම කොපි කරලා හදපු පන්සිල් උඩ ජීවත් වෙන බොරු බෞද්දයෝ කියල. ඇත්තනේ මචං

රෝමානු කතෝලික ආගම කළෙත් ජඩ වැඬේ. උන් අර ඇණ ගහලා මරපු කැරලිකාරයාව අල්ලලා ආයිමත් මෝසෙස්ට යටත් කළා. ඌව දෙයියන්ගෙ පුතා කළා. කැරැුල්ල ඉවරයිනෙ එතනින්. ඊට පස්සෙ දෙවියො කෙලින්ම කියනවා කියල දස පණත ගෙනාවා. ඒක ලංකාවෙ වගේ රටවල නැගලා ගියා. දෙයියො කෙලින්ම කියන එකනෙ. බුද්ධාගමට යන එන මං නැති වුණා. ඔන්න එතකොට මුං ටික එකතු වෙලා පංච ශීලය කියල එකක් හදා ගත්තා. බුදු හාමුදුරුවො කොතනකවත් ඔය පන්සිල් කියල එකක් කියල නෑ. මං කෙලින්ම කිව්වා පුළුවන් නං පෙන්නන්න කියල ත‍්‍රිපිටකයෙ කොතනින් වත් බුදුන් පන්සිල් ගැන කියපු එකක්.
මචං, පන්සිල් නරක නෑ. ඒක සමාජෙ සංවිධානය වෙන්න වැදගත් වෙන්න පුළුවන්. ඒත් අපිට ඔය බොරු පාට් දාන්න  ඕන නෑනෙ. අපි පන්සිල් බෞද්ධයො නෙමෙයි නෙ මචං’
මාරෙ සම්පූර්ණ තර්කෙම මට කියාගෙන යනවා. මං පාර අයිනෙ බස් හෝල්ට් එකකට වෙලා අහගෙන ඉන්නවා. කවුරුත් නැති පාල බස් ස්ටෑන්ඞ් එකක මහ රෑ පන්සිල් ගැන ෆෝන් කෝල් එකක් අහන් ඉන්න එකත් මාරයි.

‘මචං, මුං කරන්නෙ ලොකු පචයක්. ලංකාවෙ බුද්ධාගමට හරි සිංහලකමට හරි ඇත්තට දෙයක් කළා නං ඒක කෙරුවෙ යූඑන්පී එකෙන්. මිරිසවැටිය, රුවන්වැලිසෑය ගරා වැටිලා තියෙද්දි හැදුවෙ උන්. ගොවියන්ට කිය කිය මුන් කෑ ගැහුවට ගොවි ණය මුලින්ම ගෙනාවෙත් යූඑන්පී එකෙන්. ලේඛනාරක්‍ෂකේ හැදුවෙ කවුද? විවෘත ආර්ථිකේට බොරුවට කෑ ගහනවා මුං දැන්. විවෘත ආර්ථිකේ තිබ්බෙ නැත්තං මුං ඔය යුද්දෙ ඉවර කරන්නද? ඔක්කොම වාරි මාර්ග ක‍්‍රම හැදුවෙ යූඇන්පී එකෙන්. මුං මේ මොනාද කරන්නෙ?’

මාරෙ කතා කරන ගමන් පොඩි එකාට කියනවා රෙෆරන්ස් හොයන්න කියල. ඌ අවුරුදු හතරක විතර බට්ටෙක්. ඌත් පැහිච්ච එකෙක් වගේ එක එක කැසට් වල තියෙන කතා ප්ලේ කරනවා. ඒවා මාරෙ එකතු කරලා තියාගෙන ඉන්න කතා.

‘මචං ජේආර් ඔය විවෘත ආර්ථිකේ ගේන කොට උගේ අර අමුතු ස්ටයිල් එකට කියනවා, මං කෙරුවෙ ගාන්ධි කෙරුවා වගේ වැඩක් කියල. ලෙනින් වුණත් කිව්වා අපි විවෘත වෙන්න  ඕනි කියලා ඒත් මේ විජේවීර ඒකට විරුද්දයි කියල. මාරයිනෙ මචං’

‘මේ දැන් වගේ හැම එකකටම විරුද්ධ වෙන්න විතරක් දන්න ජේවීපී එකක් නෙමෙයි මචං විජේවීරගෙ කාලෙ තිබ්බෙ. ඌ කියනවා ජේආර් එයාගෙ බොරු දත් කුට්ටම දිවෙන් තද කර කර මේ කළේ ආර්ථිකේ විවෘත ආර්ථිකයක් කරපු එක නෙමෙයි ඒක හොර ආර්ථිකයක් කරපු එක කියල. මාරයිනෙ මචං. අපි දැක්කෙ නෑනෙ ජේආර් ගෙ බොරු දත් කුට්ටම.

මාරෙ කතාවක් පටන් ගත්තම ඒක පටන් ගත්ත තැනට සම්බන්ධයක් නැති හැම අතටම යනවා. ඌත් එක්ක කතාවක් කරගෙන යන ආතල් ඒකයි. ඒක හරියට අවසානයක් ගැන නොදන්න පාරක් දිගේ ඇවිදින්න යනවා වගේ.

‘මං රතන හාමුදුරුවන්ටත් කතා කළා. එයා කියනවා පන්සිල් තියෙනවලූ වෙස්සගිරි සෙල්ලිපියෙ. මං කිව්වා මචං, කැළණියෙ මැණික් පුටුවක් තියෙනවා කියනවනෙ. දැන් ස්කෑන් කරලා බලන්න පුළුවන් තාක්‍ෂණය තියෙනවා. ඇයි එහෙනං ගෙනල්ලා මේ මැණික් පුටුව ගැන ලෝකෙට කියන්නෙ නැත්තෙ? එහෙම එකක් නැති හින්ද. බලලා නැත්තං මුං කියන්නෙ ඒක හොරු කඩලා කියල. ඒත් දැන් තාක්‍ෂණෙන් බලන්න පුළුවන් එහෙම කඩලා නං කඩපු කාලෙ සහ විස්තර ඔක්කොම. ඒ වගේ තමයි. මේ සෙල්ලිපි කියන්නෙත් පස්සෙ ලියපුවා. ඇත්ත ඉතිහාසෙ සෙල්ලිපි වල නෑ මචං....’

? වෙලා. මට දැන් යන්න  ඕනි. යන්නං කියල කොච්චර කිව්වත් මාරෙ තව මිනිත්තුවක් ඉල්ලනවා. ඒක හින්ද මං එකපාරටම කට් කරලා දැම්මා. ඊට පස්සෙ ත‍්‍රීවීල් එකක නැග්ගා.

මං දන්නවා, ඒත් මාරෙ මට ආයිත් කතා කරනවා.

ඒක උගේ හැටි. වැඩියෙන්ම වටින්නෙ ඒ හැටිය උගේ විතරක්ම එක.

-චින්තන ධර්මදාස

ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන්න

විදර්ශන කන්නන්ගර යුධ සිනමාව ගැන දේශනේකදි මට අම්බානක බැන්නා කියල යාලූවෙක් කිව්වා.
මොනවා කියලද බැන්නෙ?

උඹයි උඹේ ලොකු අයියා බූඩියි දෙන්නම ගැන කියල බැන්නා.
උඹට දේශපාලනේ ගොඬේ වැඩක් වෙච්ච එක ගැනත් කිව්වා.
ඒ මට හම්බුණ අසම්පූර්ණ  ඕපාදූපයක්.
උඹත් එක්ක විදර්ශන අවුලෙන්ද ඉන්නෙ? සමහරු ඇහුවා.

බනින එක අවුලක් නෙමෙයි. වැඩකදි ඊට සාපේක්‍ෂ කණ්ඩායම් හරි මතවාද හරි එක්ක ගැටෙන්න  ඕනි. ඒකෙන් සංවාදයක් ඇති වෙනවා. උණුසුම් වෙනවා. අනිත් හැමදේටම වඩා ඒක වටිනවා.

ඒත් ඒ බැනුම ඊට වඩා සාධනීය තැනක් වෙනුවෙන් පාවිච්චි වුණා නම් මට සතුටුයි. දේශපාලනය ගොඬේ වැඩක් කියල මං කියන එකට විරුද්ධව ඒ විදිහෙ සද්දයක් එන එකත් ලොකු දෙයක්. නැත්තං ගොඬේ වැඩක් කියල කියන්නවත් දේශපාලනයක් නැති වෙනවා. සහ ඒක ගොඬේ වැඩක් නෙමෙයි දියුණු නාගරික වැඩක් කියල පෙන්නන්න විදර්ශන වැඩ කරනවා නම් ඒක තවත් හොඳ වෙයි. මොකද මේ අහෝසි වීගෙන යන වේගය මටත් දරා ගන්න අමාරුයි. ඒක නිසා ප‍්‍රතිවිරෝධය පවා හුදකලාව නැති කරනවා. ජීවිතය දනවනවා.
බූඩිගේ ‘මාතා’ මං විවේචනය නොකළ එක ගැන හුගක් චෝදනා ආවා. බූඩිගේ චිත‍්‍රපටිය බලලා මං මට කියන්න පුළුවන් තරම් කෙලවරට ගිහින් ඊට පස්සෙ නතර වුණා. එතනින් එහා මට තියෙන්නෙ බූඩි ගැන ආදරය. ඒක විවේචනය කරන්න මට බැහැ. ඒත් මං බලාපොරොත්තු වෙනවා කවුරු හරි මගේ සීමාවත් විවේචනය කරමින් බූඩිගේ සිනමාව දරුණු විදිහට ප‍්‍රශ්න කරයි කියල. ඒක වෙන්න  ඕන දෙයක්. ඒත් ඒ ප‍්‍රශ්න කිරීම වෙනුවට සිද්ද වෙන්නෙ මෝඩ විදිහක්. මං බූඩිව විවේචනය නොකරපු එකේ එල්ලෙන්න ගන්නවා.

මං මොකක් හරි ගැන කියන කොට මං එතන එක අදහසක් විතරයි. ඒ දේ කතාවට ගන්න, ඒ දේ සම්බන්ධ සංස්කෘතිය තේරුම් ගන්න මං අදහසක් පළ කරනවා. ඒක මගේ සීමිත අත්දැකීම් පරාසයකට සාපේක්‍ෂයි. මගේ අදහසේ උපරිම තේරුම වෙන්නෙ ඒ ගැන ඊට ප‍්‍රතිවිරුද්ධ සහ පක්ෂ අදහස් මතුවෙමින් වඩා ගැඹුරකට ඒ සංවාදය යන එක. අපි ඒ අදහසත් එක්ක විවිධ වැඩ කරන එක. සජීවී වෙන එක. ඒ ඇරුණම ඒක කේවල සත්‍යයක් වෙන්නෙ නෑ.

උදාහරණයක් විදිහට මට වර්කොහොලික් ගැන (වැඩට ඇබ්බැහිය ගැන) වෙනස් අදහසක් තියෙනවා. ඒක ආධ්‍යාත්මික මානුෂීය දෘෂ්ටිවලට පටහැණියි. මට අනුව වර්කොහොලික් වීම කියන්නෙ පරිපූර්ණ අත්දැකීමක්. ඒ වැඩය සහ වැඩය තුල තමන්, වැඩය තුල තමන් නැති වීම, ඒ විශාල වැඩ පරාසයක තමන්ව දියවී යාම වගේ විශාල ආධ්‍යාත්මික පරාසයක වින්දනයක් වර්කොහොලික් වීම ඇතුලෙ තියෙනවා. සරලව කිව්වොත් අපි කරන වැඬේ ගැන අපිට තියෙන්නෙ වහල් අදහසක් නෙවෙයි නම්, ඒ වැඩය සහ තමන් අතර සංවාදයක් පවත්වා ගන්න පුළුවන් නම්,  අපේ එළඹුම අපේ ස්වාමීත්වය පැත්තෙන් නම් ඒ වගේ තැනක වර්කොහොලික් වීම කියන්නෙ සුරතාන්තයක් වගේ දෙයක්. තමන්ව උපරිමයෙන් යෙදවෙන, ඒ තුල නැවත තමන්ව නිර්මාණය වන වෘත්තයක් ඇතුලෙ සුවදායීව කැරකෙන්න පටන් ගන්නවා.

‘ඒ වුණාට ජීවිතයක් නෑ’
‘මට මාව නැති වෙනවා වගේ දැනෙනවා’
වැඩ කරද්දි මගේ සමහර යාලූවො කියනවා.
 ඒ ගොල්ලො මාක්ස් කියපු පරාරෝපණය තාම වැඩ ඇතුලෙ අත්විඳිනවා. මෙතනදි මට කල්පනා වෙන්නෙ මේ ‘වැඩ ’ කියන එකට පරිබාහිරින් කතා කරන ජීවිතය ඇත්තටම තියෙනවද කියන එක. සරල විදිහට ඔෆිස් එකේ වැඩ හින්ද පවුලෙ සම්බන්ධතා මග හැරෙන ස්වාමියෙක් ගමු. ඔෆිස් එකේ කරන වැඩ වලදි එයාට දැනෙන්නෙ ආරක්‍ෂිත හැඟීමක්. තෘප්තිමත් බවක් (වර්කොහොලික් කෙනෙක් නම්). තමන්ගෙ දක්ෂතාවන් හැකියාවන් තවත් තියුණු වෙන ඉඩ ප‍්‍රස්ථා. ඒත් ගෙදර අපි නැවත නැවත කතා කරන පවුල් සම්බන්ධතා ඇතුලෙදි මේ චරිතෙට වෙන්න ඉඩ තියෙන්නෙ මොනවද? පවුලේ වගකීම් දරන්නා වෙන්නෙ ඔහු. ඒ වගේම නිතර ආර්ථික සමාජීය අනාරක්‍ෂිතතා මුණගැහෙන කලාපයක්. තමන්ගෙ දක්ෂතා හෝ තමන්ගෙ තෘප්තිය මුණ නොගැහෙන තමන්ගේ ජීවිතය අනුන් වෙනුවෙන් පූජා කිරීමට සිදු වන අකාර්යක්‍ෂම සම්බන්ධතා කලාපයක්. ටිකක් හිතලා බැලූවොත් අපිට පේන්න ගන්න කැත ඇත්තක් තමයි අපි මනුස්ස කියලා කියන හැම සම්බන්ධතාවක්ම අකාර්‍යක්‍ෂමතාව පදනම් කරගෙන තියෙන වග. කාර්යක්‍ෂම වඩා ඵලදායී සම්බන්ධතා ඇතුලෙ මනුස්සකම් කියල වෙනම දෙයක් ගැන හිතන්න උවමනා වෙන්නෙ නෑ. ඒක ඇතුලෙදි පුද්ගලයාට පරිපූර්ණත්වයක් දැනෙන්න ගන්නෙ නිරායාසව.

වර්කොහොලික් මගේ යාලූවො හැම කෙනෙක්ගෙම එයාගෙ මිනිස් සම්බන්ධතා කලාපය තිබුණෙ වැඩ පරිසරයට වඩා අවුල් තැනක. උදා විදිහට ඒ ගොල්ලොන්ගෙ පෙම්වතියන් පවා ආදරය කියන්නෙ ඉල්ලීමක් කියන තැනට සම්බන්ධතා අරගෙන ආවා. ඒ ගොල්ලොන්ගෙ බිරින්දෑවරුන් ආදරය කියන්නෙ ආර්ථිකය කියන තැනට කතාව අරගෙන ආවා. ඒ ගොල්ලොන්ගෙ දෙමව්පියන් ආදරය කියන්නෙ වගකීම් කියන තැනට දේවල් අරගෙන ආවා. ඒ හැම වෙලාවකදිම ආයතනගත වැඩ පරිසරය ඒ ගොල්ලොන්ට සැනසිල්ලක් අරන් ආවා. වර්කොහොලික් කියන්නෙ ඒකට.

හැම ඇබ්බැහියක්ම කියන්නෙ මගහැරුණු යම් තැනක්. සිගරට් බොන එක නවත්තන්න කලින් දෙපාරක් නෙමෙයි තුන් පාරක් හිතන්න කියල මං කියන්නෙ ඒකයි. ඒ සිගරට් එකත් එක්ක තොල් අතරට කාන්දු වුණු ඒ ජීවිතේ මගහැරුණු ආශාව ඊට පස්සෙ සදහටම නොපෙනී යාවි. වෙන මොකක් හෝ මානසික අවුලක් විදිහට ඒක ස්ථාවර වේවි. සිගරට් අරක්කු නොබොන ගොඩක් ප‍්‍රතිපත්තිවාදියො නරුම විදිහක් ගන්නෙ ඒකයි.

වර්කොහොලික් කියන්නෙත් ඒ වගේ මගහැරීමක් ගැන ප‍්‍රකාශනයක්. ඒ මනුස්ස සම්බන්ධතා. ඒ සම්බන්ධතා වලින් තවදුරටත් තමන්ව උණුසුම් වෙන්නෙ නෑ. ඊට වඩා හුදකලා විශ්වයක සකස් කරන ලද සංස්කෘතික පසුතලයක ජීවිතය තෘප්තිකර වෙනවා. වැඩ නැත්නම් කාර්යාල කියන්නෙත් නිර්මාණය කරපු සංස්කෘතියක්. කර්මාන්තමය සම්බන්ධතා එක්ක ඒ සංස්කෘතික වපසරියන් සහ සම්බන්ධතා රටා පුළුල් වෙනවා. ඒක සමහර විට එකතැන පල්වෙන සමාජ සම්බන්ධතා රටාවට වඩා එහාටත් පුළුල් වෙන්න පුළුවන්. එතනදි මිනිස්සු වර්කොහොලික් වෙනවා. ඇත්තටම ඒ වෙනකොට වැඩ ඇරෙන්න වෙන පිටත සංස්කෘතියක් නෑ. සමාජ ජීවිතයක් නෑ. ඒක උපකල්පනයක් විතරයි. සමාජ සම්බන්ධතා කර්මාන්තමය සම්බන්ධතා වලටත් වඩා අපරිණත තැනක වර්කොහොලික් කියන්නෙ දැනුවත් තෝරා ගැනීමක්. නැත්තං එතනින් එහාට තියෙන්නෙ ඩිප්‍රෙෂන්.

ඒත් මේක වර්කොහොලික් ගැන පරිපූර්ණ අදහසක් නෙමෙයි. මේක එක කතාවක් විතරයි. සංවාදයක් ඇතුලෙ පුළුවන් මං මේ කියන වැඩ සංස්කෘතිය ගැන අදහස බිඳලා සමාජ සංස්කෘතියක් ගැන විශ්වාසය තහවුරු කරන්න. ඒක අවශ්‍යයි. එතනදි මාව විවේචනය වීම අනිවාර්යයි.
විවේචනයට වඩා භයානක නිහැඬියාවයි. වාරණයයි.

මෑතක චිත‍්‍රපට සම්බන්ධ සඟරාවකට ලියන්න කියලා මට ආරාධනාවක් ආවා. මං මගේ අදහස් මං කතා කරන බාසාවෙන් ලිව්වා. පස්සෙ මට සඟරාවෙ කර්තෘගෙන් කෝල් එකක් ආවා.
‘ඔයාගෙ අදහස් ඔක්කොම හොඳයි. කිසි ගැටළුවක් නෑ. බැරිද අපිට භාෂාව ටිකක් ලිඛිතෙට ගන්න’
‘ඒ භාෂාවම තමයි මගේ වැඬේ. අදහස මට  ඕන විදිහට කියන්න ඒක  ඕනි’
මං කරුණු පැහැදිලි කළා.
‘ඒක තමයි. මට කිව්වා 14 එකෙනුත් ඔයාගෙ ලිපි දැම්මෙ නැත්තෙ ඒ හින්ද කියල’
එයා මගේ නොහැකියාව පැහැදිලි කළා.

මේ අපි තාම වැඩ කරන තැන. මගේ මේ ලියන භාෂාව පළකරන්න පුළුවන් එකම ජාතික පත්තරේ රන්දිව විතරයි. සංවාදශීලී ජාතික පත්තරයක් වුණාට රාවයට වත් ඒ  භාෂාවෙ දොරවල් අරින්න බැරි වුණා. ඒක මේ පුහු ඇකඩමියාවෙ ආරක්‍ෂක පවුර. දැනුම සරල භාෂාවට ගේන්න බෑ. ලියන එකත් කතා කරන එකත් එකක් නොවී දෙකක් වුණු දෙබිඩි පැවැත්ම ආරක්‍ෂා විය යුතුයි. ඒකයි එතන අදහස. මේක වාරණයක්. මගේ ලිවීමට පක්ෂ හෝ විපක්ෂ අදහස් එක්ක කතිකාවක් ඇති වෙනවා නම් ඒක වැඩක්.

කොයිතරම් වෙනස් අදහසක් වුණත් පරණ උක්ත ආඛ්‍යාත භාෂාවෙන් කිව්වොත් ඒකෙ ඒ වෙනස මැරෙනවා කියන එකයි මගේ අදහස. ඒ භාෂාව කියන්නෙ හැඟීම තීරණය කරන ආකෘතිය. පරණ අච්චුවක දාලා අලූත් අදහසක් කිව්වත් ඒක එලියට එන්නෙ පරණ අච්චුවෙ හැඬේටම. මේ නිහඬ වාරණයට වඩා විදර්ශන යෝජනා කරන විවේචනය මට ධනාත්මකයි.

ඒත් අපේ රටේ කතාකාවක් ගැන තියෙන පුහුණුව පටුයි. අදහස් ගැටෙන හැටියට වඩා ජනතාව දකින්න කැමති පුද්ගල ගැටුමයි. කියන අදහස් මොනවා වුණත් වැඩක් නැත. වඩා බල ආකෘතියක් ඇතුලෙ ඉඳන් පහර දෙන්නා ඔවුන්ට අනුව ප‍්‍රබලය. දිනුම පැරදුම ගැන මිසක් ඒ අදහස් සමග සංවාදයෙන් තමන්ගෙ අදහසක් නිෂ්පාදනය කරන ඵලදායීතාව ගැන අබමල් රේණුවක් දන්නේ නැත. මේ ඔවුන්ට රතු ඉරෙන්, වාද පිටියෙන් ඉගැන්නූ රස වින්දනයයි. යූඇන්පී ජේවීපී පටන් ඩෙරීඩා ජිජැක් දක්වාම අදහස් ගැටුම් ඔවුන්ට ගේන්නේ එකම ත‍්‍රිලකි.

අජිත් කුමාරසිරිගේ පවුල් ජීවිතය සහ ඒ ආශ‍්‍රිත කරුණු මිස සංගීතය හෝ ඔහුගේ සමාජ ගණුදෙනුව ගැන වචනයක් හෝ නොකියන ත‍්‍රිමාණ සඟරාව තමන් අජිත් ගැන දරන්නේ පුද්ගලික විවේචනයක් නොවේයැයි ගොන්පාට් කියන්නේ මේ කුණු ඇත්ත පාවිච්චි කරමිනුයි. පුද්ගලික දේ දේශපාලනයට ගෙන එනවා යැයි කිව්වත් ඇත්තටම වෙලා තියෙන්නෙ දේශපාලනය පුද්ගලික පටු තැනකට අරන් එන එකය. ඒ වුණත් මං කියන්නෙ විවේචනය හොඳය. ඒක නිහැඬියාව තරම් නපුරු නැත.

එක්ස් එකේ දීප්ති පිළ කරන ත‍්‍රිමාණ ඇතුලෙත් විදර්ශනගෙ යුද සිනමාව ගැන කතාව අතුලෙත් මං දකින එක පොදු අවුලක් තියෙනවා. ඒ විවේචනය නෙමෙයි. විවේචනයෙන් එහාට ඵලදායීතාවයක් එතන යෝජනා නොවෙන එකයි. තියෙනවා යැයි උපකල්පනය කරන යමකට (මනුස්සකම වගේ) සාපේක්‍ෂව විවේචනය ගොනු නොකර (උදා විදිහට අජිත් කුණු බක්කි වලින් අහුලපු පත්තර වලින් දැනුම ලබා ගත්තා කියල ත‍්‍රිමාණ සඟරාවෙ කියන්නෙ හරියට ඒක නොවිය යුතු දෙයක් වගේ) ඇත්තට යම් කතිකාවක් හෝ යමක් සිදුවන වේදිකාවක් නිර්මාණය වෙන තැනට මේ විවේචනය අරගෙන එන්න  ඕන. ඒක අදහස පැත්තක තියෙද්දි අදහස පළකරපු අයගෙ පුද්ගලික ජීවිතය හොයනවා වගේ ඩුප්ලිකේට් වැඩක් නෙමෙයි. ඒකට ඔරිජිනල් අදහසක්  ඕන කරනවා.

-චින්තන ධර්මදාස

Saturday, April 7, 2012

I AM NOT SEXY-අජිත් කුමාරසිරි


වොල්වර් බැලූවට පස්සෙ මං හිතං හිටියෙ අල්මදෝවාගෙ චිත‍්‍රපටි ආයිමත් නොබලන්න.  මට ‘ද ස්කින් අයි ලිව් ඉන්’ බලන්න වුණේ ඒමි ගෙ රෙකරමාදුවට. ඒක මාව හොල්මන් කළා. මොලෝ ඩ‍්‍රාමා කියන එක මේ තරම් ගැඹුරු හැඬේකින් පාවිච්චි කරනවා මං දැකලා නෑ. ගෑණු ශරීරයක් ඇතුලෙ සිරකළ පිරිමියෙක් ගැන කතාව අල්මදෝවා කියන විලාසය විශ්මිතයි. හැම රූප රාමුවක්ම, හැම පුංචි විස්තරයක්ම, ඒ කතාවෙ හැම ඇමිණුමක්ම සිනමාවට එකතු වෙන්නෙ අලූතෙන්. ඉඳුල් කරපු දේවල් වෙන වෙන පිඟන් වල නැවත නැවත රස කරනවා වෙනුවට අල්මදෝවා තමන්ගෙ විශ්වය ඇතුලෙන් මෙතෙක් අපි නොදුටු නොඇසු කතාවක් අරං එනවා. ඒක නවකතාවක් පාදක කර ගත්ත චිත‍්‍රපටියක්. අල්මදෝවා කියන විදිහට මේ චිත‍්‍රපටිය කියන්නෙ ඒ කතාවෙ ප‍්‍රබන්ධය. එයාගෙ සමලිංගික ජීවිතය ඇතුලෙ කැරලි ගහන සංවේදනා එයා කැමරාව ඉස්සරහට අරං එන විදිහෙ පරිණතකම සහ ඒ සිනමාවෙ ඇත්ත දැනිච්ච පාරට මාව පස්සට විසි වුණා. තාම අපි කොහෙද?

අජිත් ගෙ ෂෝ එකට පස්සෙ බලපු ෆිල්ම් එක ෂෝ එක ගැන ලියන්න ගිය කතාවෙ ඉස්සරහට පැන්නා. 31 වෙනිදා නෝ මෝර් මාර්ක්ස් ගැනයි මට ලියන්න  ඕන.

අජිත් ගැන දීප්ති සහ තවත් අය නොයෙක් කතා කියනවා.
‘ගිටාර් වල කම්බි කඩන එක අජිත් හිතන්නෙ රැඩිකල් කියල...’ - ත‍්‍රිමාණ සඟරාව

ඒත් අජිත් කුමාරසිරි කියන්නෙ කවුද? ඒක වටෙන් නැතුව කෙලින් බලන්න පුළුවන් ඇත්තක්.
අජිත් හැමදාම ගිටාර් එකත් එක්ක තමන්ගෙ ජීවිතේ කියන්න උත්සාහ කළා. ඒ කතාව කවුරුවත් ඇහුවත් නෑහුවත් අජිත් ඒක කිව්වා.

‘එයා සිංදු කියද්දි හරියට බල්ලො බුරනවා වගේ’
හුඟක් සුමට සිංදු අහන බහුතර ජනතාව කිව්වා.
‘ඇපල් කන්න
මිදිත් කන්න....
කළු බල්ලො බුරන හඳපානට
ඔයත් එන්න.....’
අජිත් කිව්වෙ එහෙම.

අජිත් සිංදු කළේ විකුණන්න නෙමෙයි. කවදාවත් එයා මීඩියා විශ්වාස කළේ නෑ. මං තාම එයත් එක්ක අවුල් වෙන තරමට එයා ඇඞ්වර්ටයිසින් විශ්වාස කළෙත් කරන්නෙත් නෑ.
‘මං රජෙක්..
මං බුරනවා... (අයි ඇම් අ කිංග්- අයි ඇම් බාර්කිංග්)

අජිත්ගෙ කටහඬ කොමර්ෂල් වැඩ වලට පාවිච්චි කරන්න හුඟක් අය ට‍්‍රයි කළා.
‘මචං උඹලට කඩයක් දාගන්න  ඕන නං ඒක උඹලගෙ උගුරෙ දා ගනිල්ලා. උඹලගෙ බඩු විකුණන්න මං මගේ උගුරෙ කඩයක් දාන්නෙ නෑ’
අජිත් අමුවෙන් කිව්වා.

මේ දේවල් මං කියන්නෙ මේක මාරයි කියන එකෙන් නෙමෙයි. ඒක තමයි උගේ හැටිය කියන එකෙන්. මේ දේවල් හොඳටම දන්න ඒත් වෙන වෙන දේවල් කියන අපේ දේශපාලන යාලූවො මෙතනදි කරන්නෙ තක්කඩිකමක්. හරිම නරුම විදිහකට ඒ අය අජිත්ව මග අරිනවා. තනි මිනිහෙක් විදිහට සමාජයේ කිසි කොන්දේසියකට එකඟ නොවී අජිත් අරං යන වෙනස් ජීවිතය වෙනුවෙන් පෙනී ඉන්නවා වෙනුවට මේ වාමාංශිකයො හරිම වැඩවසම් චෝදනා අරං එනවා.

ඇයි ඒ?

කියන්න තැනක් තිබ්බත් නොතිබ්බත් අජිත් අලූතෙන් සිංදු හැදුවා. ඒ සිංදු යාලූවොන්ට අහන් ඉන්න කිව්වා. එහෙම අහන් ඉද්දි අපිට අජිත් ගෙ කොන්සර්ට් එකක් කරන්න හිතුණ.
‘නෝ මෝර් මාර්ක්ස්’ වමත් එක්ක කික් එකට හැප්පෙන්න මරු ටයිට්ල් එක.
‘උන්ට රිද්දන්න එපා. මට වමෙත් යාලූවො ඉන්නවා. දකුණෙත් යාලූවො ඉන්නවා’ අජිත් කිව්වට අපි කතා දාහක් කියල අපි ආස ටයිට්ල් එක දැම්මා.

අජිත් නෝ මෝර් මාර්ක්ස් කියන්නෙ කාල් මාක්ස් සම්බන්ධ තැනකට නෙමෙයි. ඒ වෙනුවට එයා ඒක ශෘංගාරයත් එක්ක ගැටගහනවා. රහස් පේ‍්‍රමයක් කරගෙන යන කෙල්ලක් එයාගෙ රහස් පෙම්වතාට කියන කතාව ‘නෝ මෝ මාර්ක්ස්’ කියන්නෙ. හපලා පාරවල් තියන්න එපා... අහුවෙයි කියල. අනිත් පැත්තෙන් ගෑණියෙක් ‘නෝ මෝර් මාර්ක්ස්’ කියද්දි වෙන දේශපාලනික මෙටෆර් එකක් ගේනවා. අජිත්ගෙ සිංදු වල තියෙන විශේෂත්වය ඒක. දේශපාලනය ශෘංගාරාත්මක තැනකින් අල්ලන එක. පාර්ලිමේන්තුවෙ නැතුව ඇඳ උඩ තියෙන දේශපාලනය ගැන කතා කරන එක.

‘මං දැකලා නෑ
උතුර සුන්දරද බබා’

අජිත්ට බනින කට්ටියට අමතරව අජිත්ගෙ පස්සෙන් වැටුණ කට්ටියකුත් හිටිය. ඒ ගොල්ලො අජිත්ගෙ වැඬේ සම්පූර්ණයෙන් තේරුම් ගන්න හදිස්සි වැඩියි. අජිත්ට වඩා කෙලින්ම දේශපාලනික වචන එක්ක සිංදු ආවා. ඒත් වැඩ කළේ නෑ.

‘මේ විදිහෙ අයිඩියා එකක් එක්ක සිංදු කියන ගොඩක් අයගෙ මියුසික් අවුල් වෙනවා. මේ දෙක එක ගාණට යන්නෙ හරි කලාතුරකින්. අජියා මේක ගාණට බැලන්ස් කරනවා. වචනත් මරු. මියුසික් පැත්තත් මරු’ බූඩි ෂෝ එක බලලා යන්න කලින් කිව්වා.

අජිත්ගෙ වචන සරල ව්‍යවහාරික වචන. ලිඛිත පාරිභාෂික පද ඒ සිංදු වල නෑ. ඒ වගේම එයා මෙලඩි විදිහට ගන්නෙත් ප‍්‍රබුද්ධ හැඩ නෙමෙයි. සරල සාමාන්‍ය මිනිස්සුන්ගෙ කන්වල ගැටෙන නාද. ඒක නිසා ඒ සිංදු ගොඩක් කැචි. ඒත් ඒ කටහඬ සහ වචන හුරුපුරුදු මෙලඩි අස්සෙන් ඇවිත් අහන් ඉන්න අය අවුල් කරනවා. වැඩියෙන්ම මං කැමති තැන අජිත් දාර්ශනික නොවෙන එක.

‘අම්මගෙ රෙද්දක් තාත්තා ඇන්දේ ආසාවෙන්
තාත්තගෙ සරම අම්මා ගැලෙව්වෙත් සන්තෝසෙන්
තාත්තා මල් බොනවා
අම්මා හිනැහෙනවා
අපි පෙරටම යනවා
දේවල් පහු වෙනවා...’

‘මං වල් නෑ...’ අජිත් නැවත නැවත කියනවා.

කිසි දෙයක් නොවෙන හිස්තැන ඉවසන් ඉන්න බැරි තැන අපි අජිත් ගෙ ෂෝ එක කළා. ඒ අදහසට හැමෝම එකතු වුණා. අජිත් එක්ක බෑන්ඞ් එකට එකතු වුණු අය ඉඳන් ෂෝ එකේ වැඩ වලට සම්බන්ධ වුණු කිසි කෙනෙක් සල්ලි බලාපොරොත්තුවකින් එතන හිටියෙ නෑ. ඒක වෙන ලොකු උවමනාවක් එක්ක සම්බන්ධ වුණා. වචන නැති සතුටක් ඒ මහන්සිය ඇතුලෙ පත්තු වුණා. අපි වගේම ඒ හැමෝටමත් දරා ගන්න බැරි හිස්කම.....ජීවිතය ගැන අලූත් අදහසක්  ඕන කම.

ගෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිශ්ශබ්දතාවය විසින් පුබුදුවනු ලබයි- ජයන්ත චන්ද්‍රසිරි ඔත්තුකාරයා නාට්‍යයෙදි පෝස්ටර් ගැහුව.

අජිත් මුල ඉඳලම හිටියෙ සුරතාන්තෙක. සිංදු කියද්දි එයා උපරිම තෘප්තියෙන් වෙව්ලූවා. ස්ටේජ් එක එයාට වැදගත් වුණේ නෑ. එයා සිංදු කියන්න ගත්තා. අලූතෙන් ලියන්න ගත්තා. ඒත් අන්තිම වෙනකල් කාටවත් රිහර්සල් එකක් බලන්න බැරි වුණා.

‘මචං මට එහෙම කියන්න බෑ. හරියට සිංදුවක් උපරිමෙන් කිව්වම මගේ දණිස් ඉඳන් පණ නැති වෙනවා. මට ඒ එනර්ජි එක  ඕන අන්තිම දවසට’

අපිට ප්ලෑන් කර ගන්න ගොඩක් දේවල් තිබුණ. සිංදු ටික හරියට නැතුව කිසි දෙයක් කර ගන්න බැරුව අවුලක්. කලින් අජිත් එක්ක වැඩ කරලා අත්දැකීම් තියෙන අය කෝල් කළා. ‘අජිත් අනාගන්නවා’ ඒ ගොල්ලො කිව්වා.

ඒ අතරෙ වමේ කට්ටිය අජිත්ට කෝල් දෙන්න ගත්තා. ‘ඔහොම වමට විරුද්ද කැම්පේන් එකක් කරන්න උඹට වටින්නෙ නෑ’ ඒ ගොල්ලො කිව්වා.
‘උන්ට රිදෙනවා. ඔය කැම්පේන් එක නවත්තපන්’ අජිත් අපිට කිව්වා. ඒ අතරෙ මරාගෙන මැරෙන වම ඇවිත් අපිට උදව් කළා.
‘31 පුළුවන් නම් ෂෝ එක තියලා පෙන්නපන්’ ඒ ගොල්ලො කිව්වා.

‘ෂෝ එක අවුල් වෙන්නෙ නෑ නේද?’ අපි අපිලිවෙල ගැන බයෙන් අජිත් ගෙන් ඇහුවා.
‘මං උඹලගෙ හිත් රිද්දන්නෙ නෑ’ අජිත් කිව්වෙ එච්චරයි. ෂෝ එක ගැන තිබ්බ හැම අවුලක්ම දූරින්භූත වෙන්නත් විප්ලවේට ලෑස්ති වෙනවා වගේ වැඩකරන්නත් ඒ වචන ටික ඇති.
අපි ෂෝ එක කළා. කිසි දෙයක් කලින් සැලසුම් කරලා නොතිබ්බත් හැමෝම එක අප‍්‍රකාශිත සැලසුමක වැඩ කරල තිබුණ.
‘මට තියෙන චැලෙන්ජ් එක මගේ මේ ඉන්න සාමාන්‍ය ජීවිතේ කොහොමද මයික් එක ඉස්සරහට ගෙනියන්නෙ කියල. එච්චරනෙ..’ අජිත් එයාගෙ රෝල් එක තේරුම් අරං තිබුණ.

හරිම ලස්සන හැන්දෑවක්. එලියෙ වැස්ස වැටුණ. රුපියල් පන්සීයේ දාහේ ටිකට් අරං අජිත් සිංදු කියනවා බලන්න ආපු යාලූවන්ගෙන් හෝල් එක පිරුණ.

අජිත් මයික් එක්ක ළඟට ගියා.

හීන්සැරේ ඔබ ආවා
මගෙ ලෝකෙට..
මා බලා සිටියා..
ආදරේ නොකියා..

එයා සිංදු කිව්වෙ නෑ...
වෙඩි තිබ්බා විතරයි....

හරිම නිහතමානී විදිහට තමන්ට ජීවිතේ දැනෙ හැටි අජිත් එයාගෙ  ඕඩියන්ස් එකත් එක්ක බෙදාගත්තා. ඒ නිරායාස අවංකකම මං මෙතෙක් දැක්කෙ අජිත්ගෙම විතරයි.

අජිත් කියන්නෙ ලෙජන්ඞ් එකක්. ඒක එදා ෂෝ එකට ආපු හැමෝටම දැණුන.
සිංදු කියල ඉවර වෙලා එකතු වෙච්ච සල්ලි වලින් හෝල් එකේ ගණං ගෙවලා හිස් අතින් එලියට ආවත් හැමෝටම තිබිච්ච ත‍්‍රිල් එකට වැස්සෙ බොරැුල්ල හන්දියෙ කෑ ගැස්සෙන ගාණයි.

වහලා තිබ්බ ඊඒපී එකත් ඇරගෙන හැමෝම ජයපැන් බිව්වා. ඒ බලාපොරොත්තුව වෙනුවෙන්. කෝමා එකක ඉන්න ජීවිතේ වෙනුවෙන්.


I am a bastard
I am a bastard like a butterfly..

ජාඇල බස් එකක නැගලා අජිත් ගෙදර ගියා.

- චින්තන ධර්මදාස

Wednesday, April 4, 2012

ගල පෙරළමුද? එක්ටැම්ගේ සහ තවත් කතා


රුපියල් දෙසීයට පේමන්ට් එකේ තිබිලා එක්ටැම්ගේ ඞීවීඞී එක ගත්ත. දෙසීයට පාරට ඞීවීඞී එන එක නවත්තන්න ට‍්‍රයි කරල වැඩක් නෑ. ඒක තමයි මිනිස්සුන්ගෙ ළගට යන්න තියෙන හොඳම විදිහ. හෝල් එකක ලොකු තිරයක තමන්ගෙ ෆිල්ම් එක බලලා මමත්වයෙන් පිම්බෙන උද්දාමය ඇරුණම චිත‍්‍රපටිකාරයෙකුට තියෙන ලොකුම  ඕනකම තමන් හදපු ෆිල්ම් එක රටේ හැම කෙනෙක්ම නරඹන එක. පේමන්ට් එකේ ඞීවීඞී කොපි වෙනවා කියලා නීතියෙන් තග දාන එකා ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි. බිස්නස්කාරයෙක්.
‘දුවන මී හරකෙක් නවත්තන්න හදන එක නෙමෙයි කරන්න  ඕන. ඌට නගුලක් හයි කරන්න විදිහක් හිතන එක’ - ලලිත් කොතලාවලගෙ තාත්තා එයාට කියල තිබුණ.

පේමන්ට් එකේ කොපි නොවෙන ගාණකට ඞීවීඞී එක එලියට දාන්න විදිහක් හිතන්න  ඕන. අමාරුවෙන් ගාණ තියාගෙන ඇවිත් තමන්ගෙ ෆිල්ම් එක බලන පේ‍්‍රක්‍ෂකයාගෙ සාක්කුව දිහාවටම (තිරෙන් ඉස්සරහටම) හැරිලා ඉන්නෙ නැතුව ඇත්තට සල්ලි තියෙන තිරෙන පිටිපස්සටත් හැරෙන්න  ඕන.

කොහොම වුණත් එක්ටැම්ගේ ඞීවීඞී එකේ කවරෙ එහෙම නං අන්තිමයි. අරන් බලන්න තියා හැරිල බලන්නවත් හිතෙන් නෑ. ඒක ඇතුලෙ තියෙන චිත‍්‍රපටියෙ ගැඹුර ගැන මයිල් ගහක තරම් දෙයක් කවරෙ නෑ. චිත‍්‍රපටිය හැදුණ වර්ෂය, ඒකෙ ධාවන කාලය, නිෂ්පාදන නාමාවලිය, කිසි දෙයක් ඒකෙ සඳහන් නෑ. එකම දේ කලූ පාටට බය හිතෙන්න කොපි කරලා අහුවුණොත් නඩු දානවා කියන වැදගත් පණිවුඩය විතරයි. ලංකාවෙ චිත‍්‍රපටිවල ඞීවීඞී එක හැදෙන විදිහ මීට වඩා කර්මාන්තමය වෙන්න අත්‍යාවශ්‍යයි. හුදෙක්ම වෙළඳාම වෙනුවෙන් අතිබාල විදිහට නිෂ්පාදනය කරන මේ තැටි සහ පේමන්ට් එකේ කොපි අතරෙ නිෂ්පාදන තත්වයෙන් කිසි වෙනසක් නෑ. අඩුම තරමෙ ඞීවීඞී කවරෙ නිර්මාණ වටිනාකමක්වත් අන්තර්ගත නෑ. ඞීවීඞී කවරෙන් තමයි ඒක ඇතුළෙ ෆිල්ම් එකට මූඞ් එක හදන්නෙ. ඒක බාල වෙනවා කියන්නෙම ඇතුළෙ තියෙන දේටත් බාල අගයක් එනවා කියන එක.

ඒත් මං එක්ටැම්ගේ ඞීවීඞී එක ගත්ත.

චිත‍්‍රපටියෙ පටන් ගැන්මම මාව උස්සලා පොලොවෙ ගැහුව. ඒ ලොරි ඩ‍්‍රයිවර් සහ ගෝලයා අතර සම්බන්ධය. ඒ සරල පොඩි හුවමාරුව ඇතුලෙන් චරිත ගැන දෙන හැගීම....පිටපත කොහොම ලිව්වද කියල හිතුණ මට.

ලොරි ඩ‍්‍රයිවර් සහ ගෝලයා එන්නෙ පාර අයිනෙ පොඩි බත් කඬේකට. ඒක බත් අම්මගෙ බත්කඬේ. බත්අම්මට ලස්සන දුවෙක් ඉන්නවා. එයාගෙ නම අහලා නොකිව්ව නිසා සරත් මහත්තයා එයාට බත්දුව කියලා කියනවා. සරත් මහත්තයා කියන්නෙ අලූතෙන් පාර හදන්න ආපු  ඕවර්සියර් මහත්තයා. එයාට ඉංග‍්‍රීසිත් පුළුවන්. ගමේ හැම කෙල්ලෙක්ම ට‍්‍රයි සරත් මහත්තයට. ඒත් සරත් මහත්තයා බත්දුවට, එයාගෙ ඇත්ත නම මාලා, දෙන්න හදන්නෙ සුදු රෝස පැළයක්. ඒත් එයාට  ඕනි කහ රෝස පැළයක්. එයා ලොරිය එළවන විල්සන් අයියගෙන් කහ රෝස පැළයක් ඉල්ලනවා හැමදාම...

මේ කතාව මේ විදහට අතිසියුම් තල ගණනාවක් දිගේ එකපාර අරගෙන යනවා. දෙබස් රචනයෙන් මං ලංකාවෙ දැකපු හොඳම ෆිල්ම් එක මේක. ඒ වගේම හැම චරිතයක්ම පුංචි පුංචි ගති ලක්ෂණ එක්ක සජීවි කරන හැටි පුදුමාකාරයි. කොටින්ම මට ඒක බලාගෙන යද්දි හිතුණ ජිම් ජාර්මුෂ්ලා කවුද කියල හර්බට් ලත් එක්ක බලන කොට. ලොරියෙ ගෝලයා කොස්තා නිතර ඉන්නෙ කොට කලිසමක් එක්ක හැට් එකක් දාගෙන. එයා බොන්නෙ බීඩියි සිගරටුයි විතරයි. කෝට් එකයි සරමයි අඳින විල්සන් බොන්නෙ සුරුට්ටු විතරයි.

මේ වගේ චිත‍්‍රපටි ඇයි වෙන රටවල ඇගයීමට ලක් නොවුණෙ?

‘ඒ කාලෙ මේ වගේ නෙමෙයිනෙ. තමන්ගෙ දේ කියන්න පුළුවන් නං, ඒක ස්ක‍්‍රීන් එකට ගෙනල්ලා මිනිස්සු බලනවා නම් එච්චරයි ඩිරෙක්ටර් කෙනෙකුට  ඕන. සම්මාන උළෙලවල් ගැන එහෙම උනන්දු වුණෙත් කීප දෙනයි. 83වත් 89වත් වෙන්න කලින් නෙ. ගොඩක් නිදහසක් තිබුණ ඒ අයට. මේ එකපාර ඇතිවුණ සම්මාන ගැන උනන්දුව ස්ටඩි කරන්න  ඕන කාරණයක්. දැන් තියෙන හිරවීමත් එක්කයි මේ සම්මාන ගැන හිතාගෙනම ෆිල්ම් හැදෙන්නෙ’
සත්‍යා කිව්ව. ඇත්ත..හර්බට් රංජිත් පීරිස් වගේ මිනිහෙක් සම්මාන පස්සෙ යන එකත් ටිකක් හිතාගන්න අමාරු දෙයක්. ‘මං බුබුළක් ඇතුලෙ ජීවත් වෙන මිනිහෙක්’ හර්බට් කිව්වෙ එහෙම. ඇල්කොහොල් සෞන්දර්යයේ මුනිවරයෙක් දක්වාම භාවනාවක එයා යෙදිලා හිටියා. සයිමන්ගෙ පොප් වර්ෂන් එක.

ඒත් ඒ ‘පොප්’ කියන එක කියවන්න අපේ සමාජය වැඩිලා තිබුණෙ නෑ. ඒ චිත‍්‍රපටි පතීලගෙ, ඔබේසේකරලගෙ වගේ නොතේරෙන සම්භාව්‍ය ගතියෙන් අපේ ‘ප‍්‍රබුද්ධයන්ට’ දැණුනෙ නෑ. කතාව පුරාම එකින් එක සියුම් සම්බන්ධතා හරහා හර්බට් සිනමාත්මක ආඛ්‍යානය ගොඩනගන හැටි 80 වගේ කාලෙක නෙමෙයි අද පවා පුදුම සහගතයි. හැම රූප රාමුවක්ම ඉතාමත් නිවැරදි හිතීමක් එක්ක ෆේ‍්‍රම් වෙනවා. කොතනින් ස්ටිල් එකක් ගත්තත් ඒක මාර ෆොටෝ එකක්. මේක ඩොනල්ඞ් කරුණාරත්න ගෙ දක්ෂකම. සිනමාව ගැන මේ දැනීම ඊළග පරම්පරාව අතට ආවෙ නැත්තෙ ඇයි?

‘අපේ ෆිල්ම් වල උඹට දැනිලා නැද්ද පැන පැන යන ගතියක්? කතාව හරියට කියන්න දන්නෙ නෑ. පැන පැන යන්නෙ. ඒක වෙන රටවල ෆිල්ම් බලද්දි තේරෙනවා. උන්ගෙ බාලම එකා වුණත් කතාව ස්මූත් විදිහට ගෙනියන්න දන්නවා’
ඩෙනිස් (ත‍්‍රීවීල් ඩයරීස් කරපු ඩෙනිස්) දවසක් මාත් එක්ක කිව්වා.

ඒ කතාව ඇත්තක්. විශේෂයෙන්ම අපේ සම්භාව්‍ය කියන ෂොනරයෙ ෆිල්ම් යන්නෙ පැන පැන. ඒක නැරටිව් එකේ දුර්වලතාවයක්. ඒත් සම්භාව්‍ය අය හිතුවෙ ඒක ප‍්‍රබුද්ධ ලකුණක් කියල. විශේෂයෙන්ම යුරෝපීය චිත‍්‍රපටි වගේ වෙන්න අපේ චිත‍්‍රපටි හදපු සම්භාව්‍ය අයගෙ මේ පැන පැන යන ගතිය කැපී පේනවා.

ඒක්ටැම්ගේ ෆිල්ම් එකේ ඒ විදිහට පැන පැන යන නැරටිව් එකක් නෑ. ඒක හොඳටම සුමට විදිහට ගලාගෙන යනවා. ඒ වගේම හර්බට් සමහර තැන්වල කිසි බයක් නැතුව නැරටිව් එකත් එක්ක පිස්සු කෙළිනවා. උදා විදිහට ෆිල්ම් එකේ විල්සන් ලොරියක් අරං මහ ? ඇවිත් බත් අම්මටයි මාලා ටයි කතරගම යන්න කතා කරනවා. ඊළග සීන් එකේදි කතරගම වෙහෙරක් ළග විල්සන් මාලාගෙන් බඳින්න අහනවා. ඊළග එකේ බඳිනවා. ඊට පස්සෙ එකේ කෙලින්ම වෙන ගෙදරක පදිංචියටත් ගිහින්. මේ වේගය හර්බට් හරිම මොඩර්න් විදිහට චිත‍්‍රපටිය ඇතුලෙ ගේනවා. එතනදි මට මතක් වුණෙ ප‍්‍රසන්න විතානගේ ව. පවුරු වළලූ (ප‍්‍රසන්නගේ හොඳම ෆිල්ම් එක* චිත‍්‍රපටියෙ සංගීතා වතුර බේසමත් එක්ක හදිස්සියෙන් දුවගෙන යද්දි බේසම හලලා ආපහු එන දර්ශන නැතුව කෙලින්ම යන තැනින් ආපහු එන තැනට ඇබ්රප්ට් කට් එකක් ගන්න ඒක එඩිට් කරපු ලාල් පියසේනට  ඕන වුනාලූ. ප‍්‍රසන්න හොඳටම තක්බීර් වුණාලූ ඒක ලොකු අවුලක් වෙයි කියල. ඒ තරම් සරල අත්හදාබැලීමකින් පවා කලබල වෙන අපේ මෑත පරපුරට වඩා හර්බට් ල කොච්චර ඉදිරිගාමීද?

හර්බට් මේ කතාව කියන්නෙ බදුල්ල පැත්තෙ ගමක් ගැන. ඒත් ඒ ගමේ හර්බට් අපේ කොළඹ ඔලූගෙඩි ඇතුලෙ තියෙන ගැමිකම මවන්න යන්නෙ නෑ. දුගී බව, ලිංගික අසහනය, නූගත්කම වගේ අපේ අනෙක් චිත‍්‍රපටිකාරයො විෂය කරගන්නා සමාජ විද්‍යාව වෙනුවට හර්බට් බය නැතුව තමන්ගෙ චිත‍්‍රපටිය ඇතුලෙ වෙනස් යතාර්ථයක් නිර්මාණය කරනවා. විවෘත ආර්ථිකයත් එක්ක අලූතෙන් හැදෙන සිතීමට ඒ චරිත හැසිරීම් හුගක් ළගයි. පාර දිගේ චිත‍්‍රපටියෙ තියෙන නාගරික සිතීම හර්බට් බදුල්ලෙත් හිතනවා.

එක තැනක මාලා සහ සරත් මහත්තයා ආදර ගීතයක් කියනවා. ඒක පයිනස් කැලයක් හර්බට් මුලූ සිංදුවම කරන්නෙ එකම ෂොට් එකකින්. කැමරාව චරිත පහුකරගෙන ගිහින් කැලේ ගස් කොලං වල හැපිලා ආයිමත් චරිත ළ`ගටම එනවා. මේ ආදර කතාව පස්සෙ දවසක අවසන් වෙනවා. එතකොට මාලා තනියම මේ කැලේට එනවා. කලින් සිංදුවෙ කැමරාවම ඊට ප‍්‍රතිවිරුද්ධ අතට කරකැවෙමින් මාලා හොයාගෙන එනවා. එක්ටැම්ගේ චිත‍්‍රපටිය පුරාම හර්බට්ගේ නිරායාස සිනමා දැනුම අපිට පේනවා. ඒක ඇෙ`ගන් එන එකක්. අමාරුවෙන් හිරවෙලා ගන්න එකක් නෙමෙයි.
මාලාගෙ චරිතය ඒ විදිහට ලියන්න පුළුවන් ගෑණු ගැන ඒ විදිහෙ අවබෝධයක් තියෙන කෙනෙකුටම විතරයි. හැගීම් එක්ක එහාට මෙහාට පැද්දෙන මාලාගෙ හිත බලා ඉන්න චමත්කාරය. ඒ වගේම ප‍්‍රචණ්ඩය. කිසි දෙයක් ගැන ස්ථිරව අනුමාන කරන්න බැරිය. දෙබස් සහ හරිම ඇත්ත කෙළිකම් එක්ක හර්බට් මාලා එයාට හම්බුණු පෙම්වතියන් ළගටම අරං එනවා. ඒ වගේම පිරිමි හිත මේ ගෑණුකම කියවද්දි වෙන වැරැුද්ද ගැන එයා සරත් මහත්තයට හොඳට කියල දෙනවා.
I MISREAD YOUR FAIRY TALES (මං ඔයාගෙ සුරංගනා කතා වැරදි විදිහට කියෙව්වා) අජිත් කුමාරසිරි සිංදුවක කියනවා.

මේක හර්බට් ගෙ ජීවිතය. ඒක කියන්න එයාට සිනමාව මාධ්‍යයක් විතරයි. එතනදි සිනමාව තමන්ට  ඕන විදිහ පාවිච්චි කරන්න එයා නිර්භීතයි.
කතාව හොලිවුඞ් හැපි එන්ඩින් එකකින් ඉවර කරන්න හර්බට් ට හොඳටම පුළුවන්. ඒක සම්භාව්‍ය විදිහට කරන්නත් එයාට පුළුවන්. ඒත් එයාට  ඕන පොප් තැනකින් කතාව ඉවර කරන්න. මාලා හැමදෙයක්ම අත්ඇරලා ආයිමත් සරත් මහත්තයා හොයාගෙන එනවා. ඒ කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. තමන්ගෙ ඇතුලෙ අවුලෙන් නිදහස් වෙන්න. මේ අවසානයට එන එකෙන් හර්බට් පිරිමි හැමෝම එකග ගැහැණිය ගැන අවුල විනාස කරනවා. එයා මුහුදක් තරම් විශාල ගෑණු මුහුදක එක්ටැම්ගෙයක් උඩ ඉඳන් ලයිට් ගහන තැනක් දක්වා පිරිමියා ඇදගෙන එනවා. මුහුද සහ මාලනීගේ සමීප රූපයක් උඩ නිමි කියල වැටෙනවා.

මේ චිත‍්‍රපටිය ආයිමත් කතාවට ගන්න  ඕන චිත‍්‍රපටියක්. අපිට තියෙන්නෙ බුදු වෙන්න  ඕන එකාට ඇණ ගහලා ඇණ ගහන්න  ඕන එවුන් බුදු කරපු සිනමාවක්. ඒක හින්ද දේවදත්තලා තව ගොඩක්  ඕන වෙනවා ගල් පෙරලන්න. එක්ටැම්ගේ කියන්නෙ ඒ වගේ එක දැවැන්ත ගලක්.
අපි පෙරළමුද ඒක?

-චින්තන ධර්මදාස

කේමදාස ගැන මට හිතෙන හැටි


කේමදාස පොඩි Mass වැඩක් හදනවා අර පේ‍්‍රමදාස හදපු පහසු නිවාස ක‍්‍රම ස්ට‍්‍රක්චර් එක වගේ. ඔතන තියෙන්නේ ඇල්කොහෝල් බේස් වැඩක් නිසා නැගලා ගියානේ. කේමදාසගේ ම්යුස්ක් පැටර්න්ස් වල හාමොනික් ස්ට‍්‍රක්චර් එකකට වඩා ආර්කිටෙක්චරල් ගතියක් ආවා. නිකං තැනකින් එක ක් ගලවලා අනිත් එක තියන්න පුළුවන් වගේ දෙයක් තිබුනා එක්ස්ප්‍රෙශන් මූඞ් එකකට වඩා. ප‍්‍රකාශනයකට වඩා ඒක ජ්‍යාමිතියක්. ඒක හොඳද නැද්ද කියන එක නෙමෙයි මෙතන කාරනය. මට හිතෙන විදියට එක්ස්ප්‍රෙශන් එක යම් පන්ති කණ්ඩායමක ආගමික ආකෘතියට හිරවෙනවා වගේ දෙයක් ඒක.

අජිත් කුමාරසිරි

උඹේ කටෙත් ඩොට් මගේ කටෙත් ඩොට්

දැන්වීම් ආයතන ඇතුලෙ මහ බල අධිකාරියක් තියෙන්නෙ ඉංග‍්‍රීසි භාෂාවට. ඉංග‍්‍රීසි දන්නවා නම් ඒජන්සි ඇතුළෙ වැඩ නොකර ඉන්න පුළුවන්. මට තාම තේරුම් ගන්න බැරි ඉංග‍්‍රීසි කතා කිරීම තුල නිකං ඉන්න පුළුවන් වීම සහ සිංහල කතා කළොත් වරදින්න තියෙන ලොජික් එක මොකක්ද කියලා. මට සෑහෙන ප‍්‍රශ්න ඇතිවුණා මං සිංහල විතරක් කතා කිරීම නිසා. මං සෑහෙන්න පාච්චල් වෙච්ච අවස්ථා තියෙනවා. ඒත් එතනදි මං තීරණය කළා, මං කවදා හරි මගේ භාෂාවෙන් තමයි උඹලට උත්තර දෙන්නෙ කියල
-ප‍්‍රගීත් ප‍්‍රසංජය

මං පත්තරේ ගිය ප‍්‍රගීත්ගෙ ඉන්ටර්විව් එකෙන් කොටසක් අරං ෆේස්බුක් එකේ දැම්මා. ගොඩක් අය ඒකට හුගක් සක‍්‍රීය විදිහට එකතු වුණා. මට කෝල් එකකුත් ආවා.

‘උඹ කියන්නෙ ප‍්‍රගීත් කරන එව්වද හරි? උඹ කැමතිද ඔය සම්මාන ගත්ත ඇඞ් එකට?’

මං ඒ සම්මාන ගත්ත කැම්පේන් එකට කැමති නැත. මං ප‍්‍රගීත්ගෙ වැඩ වලට විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක්ද නැත. කොටින්ම ඒ ඉන්ටර්විව් එකේ ඉතුරු කොටස මේ කොටසේ තියෙන සාධනීය ගුණයත් එහෙම්පිටින්ම විනාස කරනවා. ඒත් මේ කොටසට මං කැමතිය.

මගෙන් මේ ප‍්‍රශ්නෙ අහන යාලූවා කරන වැරැුද්දක් තියෙනවා. කවුරු හරි කියන එක අදහසකින් ඒ මිනිහව සමස්තයක් විදිහට තේරුං ගන්න යන එක. ඒ අදහස ඒ කියන කෙනාගේ සමස්ත ජීවිතයේ පිළිඹිඹුවක් විදිහට ගන්න එක. මට එහෙම එකක් නැහැ. ඒ අදහසට එක`ග වෙද්දි එයාගෙ ජීවිතේ අනිත් සමස්තයටම එක`ග නොවෙන්න මට පුළුවන්.

ඒ ඉන්ටර්විව් එකේ ඉතුරු කොටසෙ ප‍්‍රගීත් ගොඩක් කියනවා මේ පොළොවෙ ගුණ සුවඳ ගැන. එයා ඒ වචනම පාවිච්චි කරනවා. ඒක මාව හිරිවැටෙන තත්වයක්. එක පැත්තකින් මේ පොළොවෙ එහෙම එකක් ගැන එයා විශ්වාස කරනවද? අනෙක් අතට ඒ ඔය ඇඞ් එකේ පෙන්නන එකද? යූ එකේ හදිස්සියෙ පටන් ගත්ත නයනතාරාගෙ කොමර්ෂල් බ්‍රේක් එක අහම්බෙන් කියවද්දියි මට මේ ගැන හිතන්න හිතුණෙ.

‘මට නං ඒවා හරි පච. අර බැරි බැරි ගානෙ ජාතික ගීයට නැගිටින වයසක මනුස්සයා බලන් ඉද්දි දත් හිරි වැටෙනවා. ඉන්දියාවෙ වගේ ඔහොම අමාරුවක් අපේ රටේ නෑනෙ‘
-    කොමර්ෂල් බ්‍රේක්

ඒත් ප‍්‍රගීත් මේ මතු කරන ප‍්‍රශ්නෙ ඇත්තක්. සහ ඒක කෙලින් මේ විදිහට අහන්න මීට කලින් කාටවත් කොන්දක් තිබ්බෙ නැති එකත් ඇත්තක්. ඇඞ්වර්ටයිසින් වල ඉංග‍්‍රීසියට තියෙන්නෙ නිර්මාණශීලීත්වයට සාපේක්‍ෂ වටිනාකමක් නෙමෙයි. ඒක පාංතික, මෝඩ, තැනකින් එන එකක්. ඒ වගේම ක්ලයන්ට් ලා ගොඩකටත් කැම්පේන් එකක් තෝර ගනිද්දි අදහසට වඩා ඉංග‍්‍රීසිය වැඩ කරන අවස්ථා අනන්තයි. ඒක මට හිතෙන්නෙ ලංකාවෙම පොදු හීනමානයක්. හැබැයි ඊට ප‍්‍රතිවිරුද්ධව ප‍්‍රගීත් කියන යෝජනා වලට මං එක`ග නෑ. ඒ කියන සිංහල ඒජන්සි සංස්කෘතියවත්, එක වචනයක්වත් ඉංග‍්‍රීසියෙන් කතා නොකර ඉඳීමවත් කියන දෙකම එන්නෙ ඒ සිංහල හීනමානෙම තව කොණකින් හින්ද.

ලංකාවෙ ඇඞ්වර්ටයිසින් පටන් ගන්නෙ ඉංග‍්‍රීසි මධ්‍යම පංතියේ අය. ඒ ගොල්ලො ගොඩක් අයට යුරෝපියානු නෑ කම් තිබුණ. ඒ වගේම ඇඞ්වර්ටයිසින් වලට ආවෙ ඒ පංතියෙ ටිකක් හිපි විදිහට හිතන කට්ටිය. ඒ ගොල්ලොන්ට වෙනස් දේශපාලනයක් තිබුණෙ. අන්තර්ජාතික සිතීමක් තිබුණෙ මේ හින්ද ඇඞ්වර්ටයිසින් වල ඇතිවුණු සංස්කෘතිය විචිත‍්‍රයි.

පස්සෙ මේ පංතිය පිරිහුණා. එන්න එන්න සිංහල ආධිපත්‍යයට නතුවුණා. එතකොට ඇඞ්වර්ටයිසින් සංස්කෘතියත් වැටුණ. සිංහල ඇඞ්වර්ටයිසින් සංස්කෘතිය කියන්නෙ මහින්ද චින්තනේ වගේ එකක්. ඒක ක‍්‍රියේටිව් දෙයක් එක්ක සම්බන්ධ වෙනවට වඩා සම්බන්ධ වෙන්නෙ දේශපාලන මිත්‍යාවක් එක්ක. ඒ ඇඞ්වර්ටයිසින් හරියට ජැක්සන් ඇන්තනිගෙ ඉතිහාසෙ වගේ. සිංහල කියන ඇඞ්වර්ටයිසින් සංස්කෘතියෙන් වුණේ ඇඞ්වර්ටයිසින් කියන එක ආයිමත් මේ ¥පතේ සීමාවන් ඇතුලෙ හිර කරන එක.

මං කැමති ඇඞ්වර්ටයිසින් වල තියෙන ඒ ඉංග‍්‍රීසි හිපි කමට. ඉංග‍්‍රීසිය ලොකු වෙන්න ගත්තෙ ඒ පරම්පරාව හින්ද නෙමෙයි. ඇඞ්වර්ටයිසින් වලට ආපු සිංහල පරම්පරාව හින්දමයි. සිංහල දන්නෙ නෑ වගේ  ඉන්න ඒ අය ට‍්‍රයි කරන්න ගත්තා. ඇත්ත පංතිය එළි වෙනවට බයේ ඒ ගොල්ලො හු`ගක් අවුල් වුණා. මේකෙ අනික් කොණ විදිහටයි සිංහල ඇඞ්වර්ටයිසින් සංස්කෘතිය එන්නෙ. ඒක අජූතයි. කුහකයි. කැතයි. බොල්. සමහර ඒ වගේ ඒජන්සි වල තාම උදේ ජාතික ගීයට කෙළින් හිටගෙන ඉන්න වෙනවා. ඇඞ්වර්ටයිසින් වල තිබිච්ච නිදහස වෙනුවට ජාතිකත්වය කියන සීමාව එන්න ගන්නවා.

ටීවී ආපු මුල් කාලෙ බටහිර වගේ වෙන්න ට‍්‍රයි කරපු ඇඞ් මැද්දෙන් ආපු ‘මාමේ අන්දරේ’ ‘මහදැනමුත්තයි ගෝලයො රොත්තයි’ වගේ ඒවා ඇරුණම අදහසක් ඇතුව අපේ ඇත්ත තැනකින් වැඩ කරන්න ගත්තෙ දිලීප. දිලීපගේ ඇඞ් වල බොරු මහේශාක්‍ය සිංහලේ තිබ්බෙ නෑ. ඒ වෙනුවට අපිට ළ`ග ඇත්තක්, ඉන්සයිට් එකක් ඒවයෙ තිබ්බ. ජගරි වලට දිලීප කරපු ඇඞ් එක එහෙම ඇඞ් එකකට එහා ගිය රසක් ඉතුරු කරනවා. සිංහලට ළංවෙනවට වඩා ඒ ඇඞ් ට‍්‍රයි කරන්නෙ ජීවිතේට ළංවෙන්න.

දිලීපගෙ ඇඞ් වල (මං මෙතන හිතාගෙන කතා කරන* ලොකු තාක්‍ෂණික විපර්යාස නෑ. මහා සිනමාවෙ ෂොට් නෑ. හරියටම කතාව කියාගෙන යන සරල රූප පෙළක් විතරයි. (මේ වෙද්දි දිලීපත් කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි ඇඞ් කරනවා. චීස් කැකර් සහ මව්බිම පත්තරේට කරපු ඇඞ් ටික වගේ ඒවා හොඳටම අබලන්* අනිත් අය සිංහල කියල හිතන්නෙ එකතැන තියාගෙන ඉන්න දුර රූපෙකට. එක ෂොට් එකේ කතාව වෙලා ඉවර වෙන එකට. ඒක සිංහල නෙමෙයි ‘වෙන්න සිංහල’.

ඒත් ප‍්‍රගීත් මේ කියන කතාව ඇත්ත. කැම්පේන් එක ඉදිරිපත් කරන්නෙ සිංහලෙන් නම් ඒක ක්ලයන්ට් ළ`ගට දහ පාරක් යන්න වෙද්දි ඊට වඩා පට්ට ගොන් අදහසක් ඉංග‍්‍රීසියෙන් කළොත් එක පාරින් වැඬේ ගොඩ යන වාර අනන්තයි. ඒ වගේම ඒජන්සි ඇතුලෙ වුණත් ඉංග‍්‍රීසියෙන් ඉදිරිපත් වෙන අදහසට වැඩි බලයක් තියෙන තැන් ගොඩයි. ඒත් ඒකට විසඳුම සිංහල ඇඞ්වර්ටයිසින් සිංහල ඇතුලට අරන් යන එක නෙමෙයි. සිංහල ඇඞ්වර්ටයිසින් ඇතුලට අරන් එන එක. මේ දෙක වැඩ දෙකක්. දිලීප කරන්නෙ මං කියන දෙවෙනි එක. ඒක උපසංස්කෘතියක් විදිහට ඇඞ්වර්ටයිසින් ඇතුලෙ තියෙන, සිංහල බෞද්ධ සමාජයෙ නැති ‘නිදහස’ වාරණය කරන්නෙ නෑ.

ඒත් දෘෂ්ටිවාද වලින් එලියට ඇවිත්, අපේ එදිනෙදා ජීවිතේ දැනෙන තැන් වලින් කතා කරන වෙනස් හැඩයක් තියෙන ප‍්‍රකාශනයක් ඇඞ්වර්ටයිසින් ඇතුලෙ අපිට හදන්න වෙනවා. වාණිජමය හැටියෙන් ඒක ඔප්පු කරලා පෙන්නන්නත් වෙනවා. ඒකට හරියන සංකල්ප විතරක් නෙමෙයි රූප සහ ලියන භාෂාවන් හදන්න වෙනවා. මං මේ කියන්නෙ ටීවී ඉස්සරහ මෙගා දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඇ`ගට නොදැනී බහින ඇඞ්වර්ටයිසින් කලාවක්  ඕනෙ කියන එක නෙමෙයි. ඒ අයව ටිකක් හොල්ලන, ඒ හෙල්ලිල්ල ඇතුලෙ ඒ අයව පොළඹන ඇඞ්වර්ටයිසින්  ඕන කියන එකයි. ඒක භාෂාමය හිතීමෙන් එහා එකක්.  ඕන කෙනෙකුට දැනෙන තැනක්.

ඇඞ්වර්ටයිසින් කියන්නෙ 20 වෙනි ශතවර්ෂයේ ශ්‍රේෂ්ටතම කලා මාධ්‍යය.
-මාර්ෂල් මැක්ලූහන්

මං ප‍්‍රගීත්ව උපුටලා ෆේස්බුක් එකේ දාන්නෙ මේ ගැන සංවාදයක් හදන්න. ඉංග‍්‍රීසි විරෝධයක් හදන්න නෙමෙයි. ඇඞ්වර්ටයිසින් ඇතුලෙ බඩු විකුණනවට වඩා එහායින් මොකක් හරි අලූත් අදහසක් එලියට එන්න ඉඩක්  ඕන නිසා. එන්න එන්නම ලංකාව වගේම ලංකාවෙ ඇඞ්වර්ටයිසිනුත් පිරිහෙනවා. වෙනස් දෙයක් එක්ක අවදානමකට මූණ දෙනවට වඩා පරණ එකක් එක්ක ඔහේ යන්න ක්ලයන්ට්ලා වැඩිය කැමතියි. එතකොට අපි එම්බාම් කරන උන් වගේ එකම මිනියට ආයිමත් ආයිමත් පව්ඩර් දානවා.

මං උපුටාගත්තෙ ඒ බාරගැනීමට අනින හොඳ ටොක්කක්. මට ඒ ටොක්ක ඇන්නෙ කවුද කියලා වැදගත් නෑ. ටොක්ක විතරයි වැදගත්.

-චින්තන ධර්මදාස

ශ‍්‍රී ලාංකේය අපි, මට පේන හැටි


ලාංකේය කිව්වම මට මතක් වෙන්නෙ පරණ සිද්ධියක්.  මං ඒක මෙහෙම කියන්නම්. පොඩි කාලෙ මං ගිය ඉස්කෝලෙ නිදහස් දවසක උත්සවයක් තිබුණා. පිට්ටනිය මැද්දෙ ජාතික කොඩි උස්සලා කිරිබත් කන්න දුන්නා. මටත් බඩගිනි නිසා පිට්ටනිය දිගේ ඇවිදගෙන ගියා කොඩිය යටට කිරිබත් කන්න. එතකොට ඔක්කොම කාලා. මට එක කිරිබත් කෑල්ලක් වත් හම්බුණේ නෑ. දැන් ආපහු ඇවිදන් යන්න  ඕනි පිට්ටනිය කෙළවරට. කට්ටිය බලාගෙන ඉන්නවා. මං කරපු දේ මාත් කිරිබත් කෑවා වගේ කට හොල්ල හොල්ල ඇවිදගෙන ආවා. ඔන්න  ඕක තමයි මට ශ‍්‍රී ලාංකික කිව්වම මතක් වෙන්නෙ. ලෝකෙ අපිව ගණං ගන්නෙවත් නෑනෙ. ඉතින් අපි බොරුවට කට හොල්ල හොල්ල එනවා.

- අජිත් කුමාරසිරි


කහවත්තේ ඝාතනය පිටුපස මීඩියා අබිරහස

පහුගිය සතියේ පත්තර වල හෙඞ්ලයින් වෙන්වුණේ කහවත්තෙ ඝාතකයන් වෙනුවෙන්. ඝාතකයො බලන්න උසාවි අවට මහජනතාව පොරකෑවා. ඝාතකයන්ගෙ ගෙවල් ගිනි තිබ්බා. ‘හොඳ වැඬේ....’ මේ එකක්වත් කර ගන්න බැරි වුණු හුදී ජනතාව ටීවී ඉස්සරහ සතුටු වුණා.

කහවත්ත ඝාතනය ගැන මීඩියා වාර්තා කළේ මේ කුඩා දැරිය දූෂණය කිරීමේ ප‍්‍රවෘත්තියක් සිද්ධියේ අප‍්‍රකාශිත කේන්ද්‍රය කරමින්. මේ මිනීමැරුමේ ආකර්ශනීය කාරණය වුණේ මේ සැගවුණු ලිංගික රසය.  පත්තරවල පිටු පිටින් ස්ත‍්‍රී දූෂණ සඳහා වෙන් වෙන්නෙත්, ඒ දූෂණය වන හැමෝම සුරූපිනියන් වෙන්නෙත් මේ සදාචාර විරෝධී පාඨකයන් වෙනුවන්. මේක ලොකු මීඩියා මාර්කට් එකක්.

ඒත් සියලූ බලාපොරොත්තු සුන් කරමින් කහවත්ත ඝාතනය හුදෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණයක් වුණා. ඒත් මියගිය පසුව කළ දූෂණයක් දක්වා විපරීත කාම තත්වයකට මේ සිද්ධිය අරන් යන්න සමහර මාධ්‍ය ට‍්‍රයි කළා. අන්තිමට දූෂණයක් සිද්ද වෙලා නෑ කියලා මාධ්‍ය යන්තමට වාර්තා කළා. ඒත් ඒක ජනතාවට ඇහෙන්නෙ නෑ. මේ මිනීමැරුමෙ එක්ක නිර්මාණය කරපු සදාචාරය කිතිකැවෙන ඒ අඳුරු ෆැන්ටසියෙ ආතල් කඩා ගන්න ජනතාව ලෑස්ති නෑ.

මේ කාරණයේ ඇත්ත තේරුම් ගන්න කහවත්ත ඝාතනය ගැන ඉන්ටර්නෙට් ප‍්‍රවෘත්ති වලට යටින් අපේ අය ලියන කමෙන්ට් කියවන්න. බහුතර පාඨක පිරිසකගෙ ආශාව ඝාතනයට සම්බන්ධ කාන්තාව දූෂණය කර මරා දැමීම.  සදාචාරය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඒ මහත්වරු දෙන්න ආසම දඩුවම ඒක.

එතකොට වඩාත් සාපරාධී කහවත්තේ ඝාතකයෝද? ඝාතනයේ සහ දූෂණයේ රසට මත්ද්‍රව්‍ය වලට වඩා ඇබ්බැහි මේ රටේ මහජනතාවද? ඒ රසය කෝටි සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් ප‍්‍රතිනිෂ්පාදනය කරන මීඩියාද?

-කොපි ලියන කොල්ලා

දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඞ්ස් ගැන ලියනවද? නොලියනවද?


දෙරණ මියුසික් අවෝර්ඞ් මේ පාර බැලූවෙ ටීවී එකෙන්. පහුවෙනිදා. කොළඹින් එලියෙ වාද්දුවට ඒක අරන් යන්න වෙච්ච එක ලොකු අවාසියක්. ඒක තැන් තැන්වල හිස් වෙලා තිබ්බ පුටු ගොඩෙන් පෙණුනා. ගිය පාර තරම් ඇ`ගට දැනෙන ගතියක් මේ පාර තිබුණෙ නෑ. සමහර විට මට සජීවී අත්දැකීම මිස් වෙච්ච හින්දා වෙන්නැති. ඒත් මට දැණුනෙ මේ පාර හැම දෙයක්ම ගාණට මිම්මට බැලන්ස් කරන්න ගිහින් අවෝර්ඞ්ස් වල අදහසක් නැති වෙලා කියලා.

ගිය පාර සම්මාන ගැන ආපු ලොකු අවුල නිසා මියුසික් වීඩියෝ හදන එක කට්ටියක් කොහොමත් ඇවිත් හිටියෙ නෑ. ඒත් ඒ අවුල ගැන බයෙන් හැමදෙයක්ම සමබර කරන්න ගියාම ඒක නිකං සරසවි සම්මාන වගේ වෙනවා.

සිකුරාදා ? දිහා සෙනසුරාදා උදේ ටීවී එක ඉස්සරහ ඉඳන් බලන් ඉද්දි මට දැණුනෙ එන්න එන්නම දෙරන අවෝර්ඞ්ස් දෙරණට වැඩියෙන් කොමර්ෂල් දෙන අය ගැන වැඩියෙන් හිතන්න අරන් කියලා. හොට් ඇන්ඞ් ස්පයිසි සිංදුව, සීඅයිසී ගොවි ගීතය වගේ දේවල් පිටිපස්සෙ ඒ වාණිජ ගතිය ගොඩක් දැණුන.

ඉරාජ් ස්ටේජ් එකට ඇවිත් පිස්සුවක් කෙළියා. එයාගෙ ෆෑන් කෙනෙක් කියලා රෝද පුටුවකින් එන මල්ලි කෙනෙක්ව අමාරුවෙන් උස්සලා අරන් එයා ලොකු ර`ගපෑමක් කළා. අවෝර්ඞ් එක ඒ මල්ලිට පිරිනමන්න  ඕන කියලා මහා මනුස්සකමක් මවා පාලා බැහැලා යද්දි ආයිමත් අවෝර්ඞ් එක උදුරගන්නවත් මං දැක්කා. මේ විදිහෙ තුට්ටු දෙකේ ර`ගපෑම් වලට මේ ස්ටේජ් එක ඉඩදෙන එකම අවුලක්. ලාංකේය මියුසික් වීඩියෝ කලාව අන්තර්ජාතික මට්ටමට අරන් යනවා කියලා ඒක කහටගස්දිගිලිය දිහාට අරන් යනවා නම් ඒක ප‍්‍රශ්නයක්.

ගියපාර විකල්ප මියුසික් වීඩියෝ ආර්ට් එකකට වැඩි ඉඩක්, අදහසක් දීපු නිසාම මං ඒ ගැන ලිව්වා. වෙනස් දෙයක් කරන චැනල් එකක් විදිහට මං දෙරන ගැන හිතුවා. ඒත් මේ පාර වැඬේ අනාගෙන.

ඉන්ද්‍රචාපාගේ දෑසින් වීඩියෝ එකට ලොකු පිලිගැනීමක් ආපු එක සතුටක්. ඒත් දෑසින් වීඩියෝ එකට වඩා ගොඩක් කතාවට බඳුන් වෙන්න  ඕන වීඩියෝ එකක් කිසි ඇගයීමක් නැතුවම කැපිලා ගිහින් තිබුණා. ඒක මට ඒ විනිශ්චය මණ්ඩලය ගැන තියෙන ලොකු ගැටළුවක්. විශේෂයෙන් බූඩි, ඉලංගො සහ මහින්දපාල වගේ අය ඉඳිද්දි අමිල ගලප්පත්තිගේ ඉරුණු අත්තටු වීඩියෝ එක ඒ විදිහට මගඇරුණෙ කොහොමද?

රොක් කිව්වම නිතර අපි දකින හදිසි ෙඡ්දන සහ අඳුර කියන සම්මතයන්ට එහා ගිහින් අමිල ඒ වීඩියෝ එක කරලා තිබුණ. ඒ වීඩියෝ එක පිටිපස්සෙ හොඳ කන්සෙප්ට් එකක් තිබුණ. සහ ඒක ලොකු වෙනසක්. ඒත් අමිලගේ පියානෝව කියන කිසි වැදගැම්මකට නැති වීඩියෝ එක තරම් වත් ඉරුණු අත්තටු ඇගයීමක් ලැබුවෙ නෑ. මට අනුව ඒක විනිශ්චය මණ්ඩලයේ අතිශය සීමිතකමක්. සංස්කරණය, රූපරචනය වගේ ගොඩක් පැති වලින් ඒ වීඩියෝ එක වෙනස් විදිහට හිතලා කරපු එකක්.

ඊට වඩා මට දැණුන බරපතල කාරණයක් වුණේ දුක්ගන්නා රාළගේ ජාතිමාමක වේශනිරූපණය. දුකාගේ ගොවි ගීතයට මොකක් හරි සම්මානයක් දුන්න එකේ වැරැුද්දක් නෑ. ඒත් ඒකෙ දෙමළ වර්ෂන් එක හොඳම දෙමළ ගීතය වීම ලොකු ගැටළුවක්. ඒ මදිවට දුකා ස්ටේජ් එක උඩ සම්මානෙ අරගෙන ආවේගෙන් කිව්වෙ මොකක්ද?

‘මේ වෙලාවෙ අපේ රටට විදේශ වලින් නොයෙක් තර්ජන එනවා. පූජා (උමාශංකර් ඔයාගෙ භාෂාවෙන් කියන්න අපි දෙමළ අයට  සළකන විදිහ’

මේ වචන මීට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් දුකාට කියන්න  ඕන වුණේ අපි සිංහල වෙලත් දෙමළ අය වෙනුවෙන් සිංදු හදන්නෙ ඒ අය ගැන ආදරේ හින්ද වගේ කතාවක්. ඒත් මේ සම්මානේ පිටිපස්සෙ තියෙන කාලකණ්ණි ඇත්ත මොකක්ද? හොඳම දෙමළ ගීතයේ සම්මානය පවා සිංහල අපිම ගන්නවා කියන එක. හොඳම දෙමළ ගීතයට තේරෙන්න වත් දෙමළ නිර්මාණයකට ඉඩක් නෑ. දෙමළ ගීතය කරන්නෙත් සිංහල අපිම තමයි. සිංහලත් අපේ. දෙමළත් අපේ. මේක අසාධාරණයි. ඒත් දුකා පූජා ට කිව්වෙ මේක තමයි මාර කියලා.

මං පූජා උමාශංකර් ගෙ රසිකයෙක් නෙමෙයි. ඒත් පූජා මේ හදිසි අවස්ථාවෙ පුදුම තරම් වගකිව යුතු විදිහකින් හැසිරුණා. අපේ නිළියෙක් නම් නාන නෑම මට මැවිලා පෙණුනා. පූජා දුකා කියපු මරි මෝඩ කතාව පරිවර්තනය කළේ නෑ. එහෙම කළා නම් පූජාට ආයෙ ඉන්දියාවෙ පැත්තෙ යන්න වෙන්නෙත් නෑ. පූජා තාල සහ රාග එකතු වීම ගැන බොරුවක් කියලා ගාණට වැඬේ ගොඩ දැම්මා. නිළියක් විදිහට එයාගෙ පේ‍්‍රක්‍ෂකයන් ගැන වගකීමෙන් ඒ හැසිරීම විශේෂයෙන් අගය කරන්න  ඕන.

සිනමා කෘතියක් ආශ‍්‍රයෙන් කළ හොඳම වීඩියෝ එක විදිහට උදයාට සම්මාන දෙකක් හම්බුණා. ඒත් ඒකෙ තර`ග කරලා තිබුණෙ උදයා විතරයි. මට දැනෙන විදිහට මෙයාකාර සම්මාන දීම අවුලක්. සමහර වෙලාවට අපහාසයක්. මේ විදිහෙ කිසි තේරුමක් නැති කැටගරි (අංශ ගණනාවක් වෙනුවෙන් බොරුවට සම්මාන බෙදලා දාලා තිබුණා.

හැමෝම සතුටු කරන්න හැමෝටම සම්මාන දෙන තැනක් විදිහටයි දෙරන අවෝර්ඞ්ස් මේ පාර මං දැක්කෙ. නොලියා ඉන්න කියලා තීරණය කරලත් ආයිමත් කොටින් හරි ලිව්වෙ මේක අපරාදයක් හින්ද.

අදහසක් ඇතුව හරි තැනක මේ වැඬේ පොසිෂන් කරන්න. හොඳ චැලෙන්ජ් එකක් වුණු වැඩක් මේ විදිහට දියාරු වෙනවා දැක්කම දුකයි.

-ව්‍යාධදේව