Wednesday, April 4, 2012

කහවත්තේ ඝාතනය පිටුපස මීඩියා අබිරහස

පහුගිය සතියේ පත්තර වල හෙඞ්ලයින් වෙන්වුණේ කහවත්තෙ ඝාතකයන් වෙනුවෙන්. ඝාතකයො බලන්න උසාවි අවට මහජනතාව පොරකෑවා. ඝාතකයන්ගෙ ගෙවල් ගිනි තිබ්බා. ‘හොඳ වැඬේ....’ මේ එකක්වත් කර ගන්න බැරි වුණු හුදී ජනතාව ටීවී ඉස්සරහ සතුටු වුණා.

කහවත්ත ඝාතනය ගැන මීඩියා වාර්තා කළේ මේ කුඩා දැරිය දූෂණය කිරීමේ ප‍්‍රවෘත්තියක් සිද්ධියේ අප‍්‍රකාශිත කේන්ද්‍රය කරමින්. මේ මිනීමැරුමේ ආකර්ශනීය කාරණය වුණේ මේ සැගවුණු ලිංගික රසය.  පත්තරවල පිටු පිටින් ස්ත‍්‍රී දූෂණ සඳහා වෙන් වෙන්නෙත්, ඒ දූෂණය වන හැමෝම සුරූපිනියන් වෙන්නෙත් මේ සදාචාර විරෝධී පාඨකයන් වෙනුවන්. මේක ලොකු මීඩියා මාර්කට් එකක්.

ඒත් සියලූ බලාපොරොත්තු සුන් කරමින් කහවත්ත ඝාතනය හුදෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණයක් වුණා. ඒත් මියගිය පසුව කළ දූෂණයක් දක්වා විපරීත කාම තත්වයකට මේ සිද්ධිය අරන් යන්න සමහර මාධ්‍ය ට‍්‍රයි කළා. අන්තිමට දූෂණයක් සිද්ද වෙලා නෑ කියලා මාධ්‍ය යන්තමට වාර්තා කළා. ඒත් ඒක ජනතාවට ඇහෙන්නෙ නෑ. මේ මිනීමැරුමෙ එක්ක නිර්මාණය කරපු සදාචාරය කිතිකැවෙන ඒ අඳුරු ෆැන්ටසියෙ ආතල් කඩා ගන්න ජනතාව ලෑස්ති නෑ.

මේ කාරණයේ ඇත්ත තේරුම් ගන්න කහවත්ත ඝාතනය ගැන ඉන්ටර්නෙට් ප‍්‍රවෘත්ති වලට යටින් අපේ අය ලියන කමෙන්ට් කියවන්න. බහුතර පාඨක පිරිසකගෙ ආශාව ඝාතනයට සම්බන්ධ කාන්තාව දූෂණය කර මරා දැමීම.  සදාචාරය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඒ මහත්වරු දෙන්න ආසම දඩුවම ඒක.

එතකොට වඩාත් සාපරාධී කහවත්තේ ඝාතකයෝද? ඝාතනයේ සහ දූෂණයේ රසට මත්ද්‍රව්‍ය වලට වඩා ඇබ්බැහි මේ රටේ මහජනතාවද? ඒ රසය කෝටි සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් ප‍්‍රතිනිෂ්පාදනය කරන මීඩියාද?

-කොපි ලියන කොල්ලා

No comments:

Post a Comment